
අපි ගෙතුළ තබා තිබු පුටුවල වාඩිවී ටික වෙලාවක් බලා සිටියත් ගොඩ්ප්‍රි තවමත් නැත. ඒ වෙනුවට ඔහුගේ බිරිඳ අපිත් සමග කතාකරයි. ගෙයි සාලයේ තබා තිබු මාළු ටැංකියක් අස්කර වතුර පුරවන තරුණයෙකි. ඔහු පුතා බව ගොඩ්ප්‍රිගේ බිරිඳ කියයි. ගේ ඇතුලේ සිට තරුණියක් ඇවිත් අප දෙස බලා ආපසු ඇතුළට ගියාය. ඒ පුතාගේ බිරිඳ බව අපි අහන්නටත් පෙර ගොඩ්ප්‍රිගේ බිරිඳ කීවාය. ඒ තරුණිය ඊළඟට ආවේ බීම බෝතලයක් සහ වීදුරු කීපයක් ට්‍රේ එකක තබාගෙනය. බීම වීදුරුව බී දැමු ප්‍රියන්ත එළියට ගොස් මිදුලේ කැරකෙමින් හිටියේ අපේ කතාවල ඔහුට වැදගත්කමක් නැති නිසාය. ගොඩ්ප්‍රිගේ බිරිඳ අප සමග කියමින් හිටියේ ඒ වනවිට දිනෙන් දින උණුසුම් තත්වයකට පත්වන මහ මැතිවරණය ගැනය. කෘත්‍රිම බීම වර්ග බොන්නේ නැති නිසා බීම වීදුරුව අතේ තබාගෙනම මම ඇයට සවන්දෙමින් සිටියෙමි. මා බීම වර්ග බොන්නේ නැද්ද කියා ඇය ඇසුවිට ඇල්වතුර වීදුරුවක් ඇතොත් හොඳයි කියා මම කීවෙමි. නෑ නෑ තේ එකක් හදන්නම් කියූ ඇය නැවතත් මැතිවරණය ගැන කතාබහ පටන් ගත්තාය. රංජන් රාමනායක දිවුලපිටියේ බොහෝ ජනප්‍රිය බව ඇය කීවේ මහත් අභිරුචියෙනි. ඇය තද යූ ඇන් පී කාරියක් බව ඒ වනවිට මම ඇගේ කතාවෙන්ම දැන සිටියෙමි. මට මතක්වුනේ ගොඩ්ප්‍රිලාද පරම්පරාවෙන්ම යූ ඇන් පී කාරයන් බවය. එකල ඔවුන් හලාවත ආසනයේ මහජන මන්ත්‍රී සහ කතානායක ෂර්ලි කොරයා මහතාගේ දැඩි අනුගාමිකයන් වී සිටියහ. ගොඩ්ප්‍රි තවම නැත,මට මතක් වුනේ ගොඩ්ප්‍රිත් එක්ක මුලින්ම හලාවත ඔවුන්ගේ ගෙදර ගිය දිනයයි.
හලාවත ගමනේ මුලික අරමුණ වුයේ අපේ ගෙදර තිබුණ දානයකට මාළු ගෙන ඒමයි. දානයට මාළු සැපයීම ගොඩ්ප්‍රි බාරගත්තේ බලෙන්මය. හුදෙක් මාළු සැපයීම පමණක් නොව හලාවත ඔහුට කරන්නට හැකියාව තිබුණ දේවල් පෙන්වීමටද ඔහුට අවශ්‍ය වී තිබිණි. ගොඩ්ප්‍රිගේ ගමන් සගයා ලෙස ඔහුගේ උදව්වට මාව පත්කරන ලදී. දානයට දවසකට කලින් දවසේ දවල් අපි දෙදෙනා හලාවත බලා පිටත්වීමු. ඒ මගේ ප්‍රථම හලාවත ගමනයි. ටවුමෙන් මීගමු බස් එකට ගොඩවුන අපි මීගමුවෙන් බැසගත්තේ හලාවත බලා යන බසයට ගොඩවීම සඳහාය. බස් එකට නගින්නට පෙර ගොඩ්ප්‍රි මාත් සමග ගියේ බස් නැවතුම්පොළ අසළ තිබු කොරනේෂන් හෝටලටයටය. අපි දෙන්නා කොරනේෂන් හෝටලයෙන් උණු පාන් සමග මස් හොදි සප්පායම් වූයෙමු. පසුව මට තේරුන පරිදි මෙය ගොඩ්ප්‍රි චාරිත්‍රයක් හැටියට කරන දෙයකි. උදේ දහවල් රාත්‍රියේ හෝ දවසේ කුමන වේලාවක මීගමුවට පැමිණියද බඩගින්නක් තිබුනද නැතුවද කොරනේෂන් හෝටලයෙන් බඩපුරා කෑම ඔහු නොවරදවා සිදුකළේය. හලාවත සිට ආපසු එනවිටද මේ චාරිත්‍රය මෙසේමය. එමෙන්ම ඊට පසුවද මා සමග හලාවත ගිය හැමදාමත් මේ සිරිත ඒ ආකාරයෙන්ම සිදුවිය. හලාවත කලපුව සහ පුත්තලම බලා දිවෙන රේල්පාර අසළ තිබු ගොඩ්ප්‍රිගේ නිවසට අපි ළඟාවූනේ ගොම්මන් යාමයේය. එදා රාත්‍රියේ අපි ගොඩ්ප්‍රිගේ මවගේ රසවත් රාත්‍රී භෝජනයෙන් සන්තර්පණය වී නින්දට ගියෙමු.
පහුවදා උදයේ අපි දෙන්නා හලාවත මාළු වෙළඳපොළට ගියේ අතරමග තිබු ගොඩ්ප්‍රිගේ මිතුරු ඇන්ටනිගේ ගෙදරට ගොස් ඔහුවද ගමනට එක්කාසු කර ගැනීමෙන් පසුවය. ඒ ගොඩ්ප්‍රිට වඩා හොඳින් ඇන්ටනි වැල්ලේද මාකට් එකේද ඉන්න අය දන්නා බැවිනි. එදා උදේ වැල්ලෙන් ගොඩ ගෙනා අලුත් මාළු වෙළඳපොලට කඩිමුඩියේ ගෙනෙන ඒ උදෑසන මාළු වෙළෙන්දන් ඉතා කාර්යබහුල වුහ. මාළු ගන්නට පැමිණ පොදිකන සෙනග අතරින් ඇන්ටනි ඉස්සරහට යයි අපි දෙන්නා ඔහුගේ පස්සෙන් ගියෙමු. මාළු ලෑලි අතරින් රවුමක් යන ඇන්ටනි එක් මාළු වෙළෙන්දියක් ළඟ නතරවිය. ඇය ඉදිරියෙන් බිම අතුරා තිබු ලොකු මාළු කීපදෙනාගෙන් එකෙක් ඇන්ටනිගේ සිත පැහැර ගත්තා විය හැකිය. වෙළෙන්දිය ඉදිරියේ බිම ඇන බාගත් ඇන්ටනි කතාකරන්නට විය.
මාර්තක්කේ මුං දෙන්නෙ කොහොමද?
මාර්තා මාළුවන්ගේ මිළ ගණන් පිළිවෙලින් කීවාය මිළ මට අද මතක නැත. මතක්වනවිට අද සිනාගියත් ඇන්ටනිගේ සිත්ගත් රාත්තල් පහළොවක් පමණ බර තෙල් ගෑවාක් සේ දිලිසෙන අලුත් පරා මාළුවාට ඇය කීවේ ඉලක්කම් දෙකේ ගණනක් බව නම් හොඳට මතකය. ගණන ඇන්ටනිට හිතට ඇල්ලුවේ නැතිබව ඇඹුල්වී ගිය ඔහුගේ මුහුණින් පෙනුණි.
යකෝ මාර්තක්කේ අබිං විකුණන්නා වගේ මාළු විකුණන්න පුලුවනෑ, එහෙම නෙවෙයි වැඩේ කෙරෙන හැටියට ගාණක් කියාපංකො මොකෝ අපි පිට එවුවොයැ අපිත් හැමදාම මේකෙ කරක් ගහන උන්නෙ...
හරි උඹම ගාණක් කියපංකො එහෙනං...
ඇන්ටනි කියපු ගණන කිසිසේත්ම මාර්තාගේ සිත් නොගත් බව පෙනුණේ ඇය අහක බලාගත් නිසාය.
මට දෙන්න පුළුවන් එච්චරයි බං ,එහෙනං අපි යන්නද?
එයටද මාර්තා මුවින් නොබැන සිටියේ ඒ අපූරු මාළුවා විකුනාගන්නට කිසිසේත්ම කරදර වෙන්නට උවමනා නැති බව අත්දැකීමෙන්ම දන්නා නිසා විය හැකිය.
ඕං මාර්තක්කේ එහෙනං අපි ගියා...
එහෙම කිව්වත් ඇන්ටනි තවමත් යන්නේ නැතුව එකෙල මෙකෙල වෙමින් ඉඳිමින් මාර්තා ලව්වා මාළුවාගේ ගණන් අඩුකරගන්නට බලයි. මාර්තාද සද්දක් නැතුව මුවේ කොණක තිබු කළු සුරුට්ටුවෙන් දුම් ගුලි පිටකරමින් සිටී. ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් කතාවුනේ ආයෙම මාකට් එකේ රවුමක් ගසන්නටය. ටිකක් එහාට ගිය ඇන්ටනි ගොඩ්ප්‍රිට කීවේ මාර්තාගේ මාළුවා ඇය කියන ගණනට හොඳටම වටින බවත් තවත් කීයක් හෝ අඩුකර ගන්නට පුළුවන්නම් ගජලාබයක් බවත්ය. ඒ අතරම ඒ අපූරු මාළුවා වෙනත් ගැණුම්කරුවෙකු ඩැහැගෙන යාවිදැයි යන සැකයද ඇන්ටනිගේ සිතේ විය. මාළුවා පෙනෙන හරියෙන් ඉන්නට ඔහු නිතරම වගබලා ගත්තේ ඒ නිසාය. නිකමට මෙන් ආයෙමත් මාකට් එකේ රවුමක් කැරකුණු ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් නැවතත් ආවේ මාර්තාගේ මාළු ලෑල්ලටය. ඒ ගමන නම් මාළුවා පිට යන්නට නොදෙන්නට ඇන්ටනි හිත හදාගත් බව පෙනෙන්නට තිබිණි. ආයෙමත් මාර්තා සමග කේවල් කළ ඔහු දෙන්නාටම එකඟවිය හැකි ගණනක් කතාකර ගනුදෙනුව කම්මුතු කළේය. මාකට් එකේ කොල්ලෙකුට කියා මාළුවා පලා අතුනුබහන් ඇද දමා ලුණු කුඩුකර ඇතුළේ ගා හොඳින් පාර්සල් කරවා දුන්නේද ඇන්ටනිය. ගොඩ්ප්‍රිත් මමත් එදා හවස්වෙන විට මාළුද රැගෙන ගෙදරට සම්ප්‍රාප්ත වුයේ සුපුරුදු ලෙස මීගමුවේ කොරනේෂන් හෝටලයේ චාරිත්‍රයද නොඅඩුව ඉටුකරමිනි. දවාලට ගොඩ්ප්‍රිගේ අම්මාගේ රසවත් කෑම වේල කුස පිරෙන්නටම ගිල දමා පිටත්වූ අපි ඊට පැයකට හමාරකට පසුව මීගමුවෙන් බඩපුරා මස් හොදිත් සමග පාන් කෑවේ මොන ආකාරයකට කොහාටදැයි අද නම් හිතාගන්නටත් බැරිවුණත් එකල කොලු වයසේ සිටි අපගේ කෑම රුචිය බෙහෙවින් ඉහළ තත්වයක තිබු බවනම් මට හොඳහැටි මතකය. ගෙදරට මාළු කුරියා බාරදුන් ගොඩ්ප්‍රි මාළු ගේන්නට අපේ තාත්තා දුන් මුදලෙන් කීයක්ද ඉතුරුත් දුන්නේ මෙච්චර ලොකු මාළු කුරියෙක් ගෙනැවිත් සල්ලිත් ඉතුරු උනාදැයි ඇසු තාත්තාද විස්මයට පත්කරවමිනි. ගොඩ්ප්‍රිට අවශ්‍ය වුනේද අපේ තාත්තා විස්මපත් කිරීම බව මා සිතුවෙමි. ඉතුරු මුදලත් අතේ තබාගෙන ගොඩ්ප්‍රි දෙස පුදුමයෙන් බලාසිටි අපේ තාත්තා දෙස බැලු ගොඩ්ප්‍රි හක හක ගා සිනාසී අහිංසකව ඒ සතුට විඳගත් ආකාරය මට අද මෙන් මතකය. නමුත් සත්‍යය නම් ගොඩ්ප්‍රි තාත්තා දුන් මුදල් වියදම් කළේ මාළුවා මිළදී ගන්නට පමණක් වීමයි. ඉතිරි වියදම් සියල්ලම ඔහු සියතින් දැරුවේය.
මීට බොහෝ ඈත කාලයක සිදුවූ මේ සිද්ධිය අදටත් මතකයේ කිසිම මළකෑමක් හෝ නොමැතිව ඉතා පැහැදිළිව මගේ හිතේ සටහන්වී තිබෙන්නේ ඒ මා එවැනි දෙයක් අත්දුටු පළමුවන වතාව නිසා විය හැකිය. ඊට පසුකාලීනව මෙන්ම අද වනතුරු මා කොතෙකුත් මාළු මිලදීගෙන ඇතත් මේ ලෙසට මතකයේ ඇත්තේ තවත් එකම එක සිද්ධියක් පමණකි. එනම් කිරින්දේ ධීවර වරායේදී එක්තරා කපටි පුද්ගලයෙක් මා රවටා අධි ශීතකරණයේ තිබී අරගත් හද්දා පරණ කුණුවූ ගල් මාලුවෙක් අද උදේ අල්ලාගෙන ආ එකෙක් කියා නොවටිනා මිලකට මට විකිණු අවස්ථාවයි. ඒ සිද්ධිය මෙන්ම කළු කෙට්ටු නරියෙකුගේ මෙන් කපටි මුහුණක් තිබු ඒ පුද්ගලයාගේ කපටි සිනාවද අදටත් මගේ මතකයේ හොඳින් තැන්පත්වී ඇත. ඊට පසුව නම් මා කිසිදිනෙක කුණු මාළු මිලදීගෙන නැත. ඒ මාළු වෙළෙන්දන්ගේ හොඳකම නිසා නොව මා මාළු ගන්නේ විශ්වාස මෙන්ම තෝරාගත් වෙළෙන්දන් එක්කෙනෙකුගෙන් හෝ දෙන්නෙකුගෙන් නිසාය. නැත්නම් අපේ ටවුමේ මාළු කඩේ විකුණන්නේම කුණු මාලුය. අපේ ගමේ කොල්ලන් කියන්නේ ඒ මාළු කූරයියන් මුහුදේ ගතකළ කාලය මෙන් දෙගුණයක කාලයක් ඩීෆ්‍රීසර් එකේ ගතකර ඇතැයි කියාය. ටවුමේ මාළු විකුණන සියලු දෙනාම අපේ අල්ලපු ගමේ කොල්ලන් වුවද ගමේ කමටවත් උන්ගෙන් හොඳ මාළු කෑල්ලක් ලබාගන්නට බැරිය. චාටුකතා කියමින් විකුණන්නේම කුණු හෝ කුණුවෙන්නට ඔන්න මෙන්න කියා ඇති මාලුය. ඒ නිසා මම දැන් වැරදිලාවත් ටවුමේ මාළු ලෑලි දෙස බලන්නේ නැත. උදේ පාන්දර සයිකලේ පෙට්ටියත් බැඳගෙන මීගමු ගොස් අලුත් මාළු ගෙනත් විකුණන කොල්ලෙක්ගෙන් දැන් මාළු ගන්නෙමි. ඌ විකුණන මාළු ගිණි ගණන්ය,කොහොමද කිව්වොත් මීගමුවෙන් හයසීයට ගන්නා ඉස්සන් ඌ මට විකුණන්නේ එක්දාස් දෙසීයටය. එහෙම වුනත් ප්‍රශ්නයක් නැත්තේ ගාන වැඩිවුණත් මා රැවටී නැති නිසාය.
උදේ පාන්දර අපේ ටවුමට මාළු අල්ලන තංගල්ල වැනි ඈත පළාත්වලින් ඩීෆ්‍රීසර් වෑන් වල පටවාගෙන මාළු ගෙනත් විකුණයි. ටවුමේ මාළු කාරයන් කරන්නේ ඒ තොගේටම උන්ගේ කුණුමාලුත් ඩීෆ්‍රීසර් වෑන්වල ගෙනත් විකුණා ගන්න එකය. ඒ වගේම ඉතා නිර්මාණශීලී ආකාරයට තමන්ගේ කුණුමාලු තොග විකුණා ගන්නා මාළුකාරයන් පිරිසක්ද වේ. ඒ පානදුර වැල්ලේ මාළුකාරයන්ය. ඉතුරුවී ඇති කුණු මාළු ටික බෝට්ටුවල පටවා මුහුදට ගෙනයන ඔවුහු උදේ පාන්දර රස්සාවට ගිය ධීවරයන් ආපහු එන්නා සේ ගෙනගිය මාළුවලට මුදු වතුරද ඉහගෙන පාලම ළඟින් ගොඩ දමා අලුත් මාළු කියා ගජරාමෙට විකුණති. මේ සිද්ධිය මා අත්දැක්කේ ඒ කාලයේ පානදුර උස්වත්තේ පදිංචිවී හිටපු තිලක් අයියලාගේ ගෙදර ගියපු දවස්වලදීය. තිලක් අයියා පානදුර ටවුමේ මාළු මිළදී ගන්නේ නැත. එහි ගියවිට අපි කන්නේ ගඟේ මාළුය. දවල්ට ගඟට නාන්නට යන අපි ආපහු එන්නේ ගඟෙන් අල්ලපු ඉස්සන් පොදියක්ද අරගෙනය. ඒ ගඟ මොකක්ද කියා අද මට මතක නැත හමුවෙන්නේ පානදුර සිට හොරණ පාරේ යනවිට වියයුතුය. අපි නාගෙන ආපහු එනතුරු තිලක් අයියාගේ අක්කා උයන්නේ නැතුව බලා ඉන්නේ ගඟේ මාළු අරං එන බව ඇය දන්නා නිසාය. නාගෙන ඇවිත් ගෙයි තියෙන බෝතලය අරගෙන වීදුරුවෙන් කටකපා එකක් ගිලදමන තිලක් අයියා සීඩී එකක් යන්ත්‍රයට දමයි ඔහු බොහෝවිට දාන්නේ නෘත්‍ය ගීතය. දෙකක් තුනක් වදින කළ වාදනය වෙන ගීත තාලයට තිලක් අයියා බඩ හොල්ලමින් සාලයේ නටයි,බොන අපිට බයිටට අක්කා ගෙනත් තියන්නේ ඩෙවල් කල ගඟේ ඉස්සන්ය. හොඳටම නටා වෙහෙසට පත්වෙන අපට ඉන්පසුව ලැබෙන්නේ අක්කාගේ සරුසාර දවල් අහාරයයි. කෑමෙන් පසුව ගේ පිටුපස ඇති අලංකාර පැළපොල් වගාවේ ගස්යට වාඩිවී සිටියදී වෙල් හුළං වදිනවිට එතනම හොඳට නින්ද යයි. දවසක් බිරිඳත් සමග තිලක් අයියලාගේ ගෙදර ගිය විට අපි දෙන්නාද පොල් පැළ දෙකක් සිටවුවා මට මතකය අද ඒ පැළ දෙක ගෙඩි හැදෙන මහගස් වී ඇතුවාට සැක නැත.
ගෙදර ඇතිකළ බලු පැටියාට තිලක් අයියා බොහෝ ආදරය කළේය. කුඩුවක දමා හදපු ඌට ගෙදර අයට කන්නට නැති කෑමද දෙමින් සැපසේ ඇතිකරන්නට ඔහු පසුබට වුයේ නැත. දවසක් තිලක් අයියලාගේ ගෙදර ගිය වෙලාවක බලු පැටියා බලන්නට මම ගියද තිලක් අයියා ඌ ගැන එච්චරම සතුටකින් කතාකළේ නැත. හේතුව ඇසුවිට ඔහු කීවේ මම මෙච්චර හොඳ කෑම කන්න දෙද්දීත් මේ බල්ලා එළියට දැම්ම විට වේලිච්ච ගොම කන බවය. ඉතිං තද වෙන්නෙ නැද්ද කියූ තිලක් අයියා ඒ මුගේ පැටිකිරියේ වැරැද්ද යයි කීවේය. මොන තරම් හොඳ බල්ලෙක් උනත් පැටිකිරිය සවුත්තු නම් උගෙන් ඇති වැඩක් නැතැයි කී තිලක් අයියා බලු පැටියාට තිබුණ ආදරය දැන් නැතිවී ගොස් ඇති බවද කීවේ මා සිනා ගන්වමිනි. 2004 වසරේ ඇතිවූ සුනාමිය දකින්නට තිලක් අයියාට නොහැකි විය. එවකට මා හිටියේ යුරෝපා රටකය එය ශීත සෘතුවේ නොවැම්බර් මාසයේ ඉර එළියක් දකින්නට නැති උදයකි. ඇටකටු පවා විනිවිද යන ශීතලක් තිබු ඒ අඳුරු උදයේ අහන්නට අකමැති මුසල පණිවිඩය දුන්නේ අපේ මස්සිනාය. මම පසු දවසක තිලක් අයියාගේ අක්කාට කතා කර මගේ ශෝකය පළකර සිටියෙමි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තිලක් අයියා සමුගත් ආකාරය ඇය හඬමින් මා සමග විස්තර කළාය. හක හක ගා සිනාසෙන තිලක් අයියාගේ සොඳුරු රුව මගේ හිතේ දැන් නැත්තේ ජයට හැඳ පැළඳගත් තිලක් අයියා උඩුකුරුව සයනය කරන පිංතුරයක් අක්කා මා වෙත තැපෑලෙන් එවා තිබු නිසාය. ඇය මට ඒ පිංතුරය නොඑව්වා නම් මා වඩා කැමතිය෴