Wednesday, May 30, 2018

අධි පොසොන් පෝය, මහින්දාගමනය, පොසොන් දන්සැල්, විජයපුරයේ ක්‍රෂ් එක සහ ප්‍රඥා ප්‍රදීප දල්වා.

අධි පොසොන් පෝය යෙදී තිබුණේ ද වෙසක් මාසයේය.  ඔරිජිනල් පොසොන් පෝය වගේ උත්සවාකාරයෙන් අධි පොසොන් පෝය සැමරුවේ නැතත් තැන් තැන්වල දන්සැල් තිබුණු බව දැනගන්නට ලැබුණි. එහා ගමේ තමන් ඇතුළු කට්ටිය එකතුවී මඤ්ඤොක්කා දන්සැලක් දුන් බව මට කිව්වේ අපේ පැත්තට එන චූං පාන් කොල්ලාය.  නුවර පාරේ තිබුණු කහබත් දන්සැලකට මටත් ආරාධනාවක් තිබුණත් නොගියේ දුර නිසා මෙන්ම කම්මැලිකම නිසාත්ය.  ඒ වුණාට දන්සැලේ සංවිධාකයින් මටත් කහබත් පාර්සලයක් ගෙදරට එවන්නට කටයුතු කර තිබුණි.   මෙලෝ රහක් නැති ඒ කහබත් පාර්සලය කාපු මට කහබත් කියන නමද එපාවුණා මෙන්ම දන්සැලට නොගිය එක මොනතරම් හොඳදැ'යි සිතුනි.

කොහොමත් අපේ පළාතේ වෙසක් උත්සවය මෙන් පොසොන් උත්සවය සරු නැත.  ඒ වුණාට ටිකක් උඩහට වෙන්නට වැඩිපුරම සරු වෙසක් නොවැ පොසොන්ය.  ඒ පළාතේ පොසොන් සැරසිලි මෙන්ම දන්සැල්ද පොසොන් පෝයට නොඅඩුව දක්නට ලැබේ.  ලංකාවාසී අපට වඩා වැදගත් විය යුත්තේ වෙසක් පෝයද පොසොන් පෝයද යන කාරණය ගැන මම නිකමට වගේ කල්පනා කළෙමි.  වෙසක් කියන්නේ සම්බුදු තෙමඟුලය.  පොසොන් යනු ලංකාවට බුදුදහම ගෙන ඒම හෙවත් මහින්දාගමනයයි.  එදා මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම නොගෙනාවා නම් කෙතරම් උසස් වුවත් සම්බුදු තෙමඟුල ගැන ලංකාවාසීන්ට දැනගන්නට ලැබෙන්නේ නැත.  ඒ නිසා අපි තර්කානුකූලව සිතුවහොත් ලංකාවාසී බෞද්ධයන් වූ අපට වඩා වැදගත් විය යුත්තේ මහින්දාගමනය යෙදුණු පොසොන් පෝය යැයි සිතිය හැක. 

මහින්දාගමනයේ පළවෙනි කොටස ලංකාවේ ප්‍රදර්ශනය වුණේ වාර්තා තබමිනි.  දවස් සීයක් නොවැ අවුරුදු දහයක්ම මහින්දාගමනය දිව්වේ කොහොම දිවිල්ලක්ද කියා අපි කතාකරන බාසාවෙන් කිව්වොත් බැඳගෙන දිව්වේය.  මහින්දාගමනයේ පළවෙනි කොටස ප්‍රදර්ශනය වීමෙන් පසුව එය බැලු සංඛ්‍යාව ගැන රටේ ලොකු කතාබහක් ඇතිවිය.  කට්ටියක් කිව්වේ බලපු අය වැඩියි කියා වුණත් තව කට්ටියක් නොබලපු අය වැඩියි කියා තර්ක කළෝය.  මේ හාහෝව අවුරුදු තුනකටත් වඩා ඇදී යද්දී අන්තිමට බලපු අය වැඩියි යයි තර්ක කළ අය නිවැරදි බව පහුගිය පෙබරවාරි මාසේ හරියටම සොයා ගත්තේ නොබලපු අය වැඩියි කියපු උන්ට කට උත්තරත් නැති කරමිනි.  දැන් අපි බලා ඉන්නේ මහින්දාගමනයේ දෙවැනි කොටස එනතුරුය.  පළවෙනි කොටසේ තිබුණු ත්‍රිල් එකේ හැටියට දෙවැනි කොටසත් ෆුල් සීරියල් එකක් වෙන බව මට කටපුරාම කිව හැකිය.

ඒ කතාව පැත්තක තබා ආපහු ප්‍රස්තුතයට ආවොත්, මිහින්තලේ ගියවිට මිහිඳු හිමියන් වැඩ සිටි ගල දකින හැමදාම මට ඇතිවෙන ප්‍රශ්නයක් නම් මිහිඳු හිමියන් මේ ගල උඩට ආවේ කොහොමද කියන එකය.  මිහිඳු හාමුරුවන් සහ අනෙකුත් හාමුදුරුවරුන් හතර දෙනා එර්දි බලයෙන් ගල උඩට වැඩියත් ඒ සමග ආ සුමන සාමණේර හාමුදුරුවෝත් අනික් උපාසකයාත් කොහොම ආවාද යන්න විවාදයට තුඩුදෙන කරුණකි.  ප්‍රබන්ධ කතා පැත්තකට දමා තර්කානුකූලව සිතතොත් මගේ අදහස නම් මිහිඳු හිමියන් පළමුව නැව් මගින් ලංකාවට පැමිණ ඊට පසු මිහින්තලයට වැඩියා කියලාය.  නැතිනම් මිහිඳු හිමියන් කිසිම සද්දක් නැතුව ගල උඩට වැඩීමත් එදාම දේවානම් පියතිස්ස රජතුමා මිහින්තලේ දඩයමේ යාමත් සිදුවන්නට ඇති සම්භාවිතාව ඉතා අඩුය.  ඒ නිසා දුර්වල ප්‍රබන්ධයකට වඩා දේවානම් පියතිස්ස රජතුමාගේ මිතුරෙකු වූ ධර්මාශෝක රජතුමා දේවානම් පියතිස්ස රජතුමාගේ අනුදැනුමද ඇතුව සිය පුත්‍රයා ලංකාවට පිටත් කර එව්වාය කීම වඩාත් සත්‍යයට සමීප බව මගේ විශ්වාසයයි.

ඒ කොහොම වුණත් පොසොන් පෝයට අනුරාධපුරයත්, මිහින්තලයත් මහත් බැතියෙන්ද, උත්සවශ්‍රීයෙන්ද ඇලලී යන බව නම් අමුතුවෙන් කිව යුතු නැත.  අසූව දසකයේ මුල් භාගයේ වගේ කොල්ලන්වූ අපි පොසොන් පෝයට අනුරාධපුරේ වන්දනාවේ යාම සිරිතක් වශයෙන් නොකඩවා කළ දෙයකි.  එදවස වැලිසර ළය රෝහලේ රස්සාව කළ අපට අනුරාධපුරේ යෑම එච්චර වියදම් යන කටයුත්තක් නොවේ.  ගමන් වියදම් අවශ්‍ය නොවන්නේ වොරන්ට් එකක් ලියාගත් විට නොමිලේම ගමනාගමන පහසුකම් සැපයෙන නිසාය.  කෑම බීමෙන් ප්‍රශ්නයක් නොවන්නේ අනුරාධපුරේ බැලු බැලු අත ඇති නා නා ප්‍රකාර දන්සැල් නිසාය.  නවාතැන් ගැන ගැටළුවක් ඇති නොවන්නේ අපිත් එක්ක වැලිසර වැඩකරපු ගුණේ ස්ථාන මාරු ලබා ඇවිත් අනුරාධපුරේ චෙස්ට් ක්ලිනික් එකේ වැඩකළ නිසාය.  පෝයට අනුරාධපුරේ යන්නට විශේෂයෙන් මට තවත් උත්තේජනයක් වුයේ ඒ කාලයේ විජයපුර පැත්තේ හිටපු මගේ ක්‍රෂ් එකක් බලන්න යන්නටත්  හැකි වෙන එකය.  

පෝයට කලින් දවසේ උදේ කෝච්චියේ නැගී අනුරාධපුරයට එන අපි කෙළින්ම ගුණේට වාර්තාකර නවාතැන් සපයා ගන්නෙමු.  ඊට පසුව අනික් උන් ටවුමේ ඇවිදින්නට යද්දී මම උන් ටික මග හැර බස් එකට නැගී විජයපුරට ගොස් කෙල්ලද බලා එහෙන් දවල්ට කෑමද කා හවස් වෙද්දී ටවුමට එමි.  මේ යුවතිය ගැන වෙනම කතාවක ලියන්නට තරම් විස්තර ඇති නිසා ඒ ගැන වැඩි විස්තර මෙතැන ලියන්නට අදහසක් නැත.  ක්‍රෂ් එක බලන්නට මම තනියම යන එක ගැන අනික් සගයන්ගේ කිසිම මනාපයක් නැති වුණත්, මම ඒ ගමන තනියම යන්නට නිතරම වග බලාගන්නේ අනික් උන් ටික එක්කරගෙන ගියොත් ලෝක ලෙඩක් වෙන නිසාය.  එකම දවසක් විජයපුර යද්දී ගුණේව අඬගහගෙන ගියා මට මතකය.  ගියාට එදා කෙල්ල කොහෙද ගමනක් ගිහින් ගෙදර හිටියේ නැත.  ගියා වෙනුවට තේ එකක් බී අපි දෙන්නා ඊළඟ බස් එකේ ආපහු ආවෙමු.

පූජා නගරයේ සෙනගින් පිරුණු පාරවල් පුරා රස්තියාදු ගහන එකත් හරිම විනෝදජනකය.  බැතිසිතින් වන්දනාවේ යන උවසු උවැසියන්ගෙන් මෙන්ම ජොලියට අනුරාධපුරේ ආපු කොල්ලන් කෙල්ලන්ගෙන්ද පාරවල් පිරී පවතී.  අපගේ වැඩි උනන්දුව ඇත්තේ කිචි බිචි ගගා එහෙ මෙහෙ යන විසේකාර කෙල්ලන් ගැනය.  මේ මම කියන කාලයට අවුරුදු අටකට පමණ පෙර සිට අපේ ගමේ කට්ටියක් සිසිල් පැන් දන්සැලක් දෙන්නට පටන් ගත්තේ ථුපාරාමය ඉදිරිපිටය.  ටිකක් දවල් වෙද්දී ඒ දන්සැල ලඟට යන අපි දන්සැලේ කටයුතුවලට උදව් පදව් කරන්නට ඉදිරිපත් වෙමු.  ඒ දන්සැල ඉස්සරහපිට තියෙන්නේ ගම්පහ බැන්ඩියමුල්ලේ සංවිධානයකින් දෙන ඩඩ්ලි සේනානායක අනුස්මරණ අලියා බීම දන්සැලය.  අපි ඉන්න දන්සැලට වම් පැත්තේ  ඇත්තේ පෑලියගොඩ කට්ටියක් දෙන බත් දන්සැලය.  ඒ දන්සැල් වලින් කන්නට බොන්නට අපිට පෝලිමේ ඉන්නට සිදු නොවන්නේ දන්සැල් වල වැඩකරන අයට පෝලිමේ නොතබා කෑම බීම දෙන බවට දන්සැල් වල ඇති අලිඛිත එකඟතාව නිසාය.  අලියා බීම දන්සැලෙන් ඇති පමණට බීම බොන අපි බඩගිනි වෙද්දී බත් දන්සැලට කිට්ටු කළ විට දන්සැලේ වැඩකරන අය "මේ දන්සැලේ මල්ලිලානේ" කියා පිටුපස දොරෙන් ඇතුළට ගෙන හොඳට කෑම ටික පිළිගන්වති.

දවල් කෑමෙන් පසුව මහන්සියක් ද නිදිමතක් ද දැනේ.  ඒ වෙලාවට පාර අයිනේ ගහක් යට හෝ ගලක් උඩ සෙවන ඇති තැනෙක ගිමන් හරිද්දී සමහරවිට නින්ද යයි.  නන්දා මාලිනී ගායනා කරන අතිශය ජනප්‍රිය ගීතයක් වූ "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මම මුලින්ම ඇහුවේ එක රාත්‍රියක ඔය විදියට ගල් බංකුවක් උඩ ඉඳගෙන ඉද්දිය.  එදා රාත්‍රියේ ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වුණේ මහමෙවුනා උයනේදීය.  භක්ති ගීත කියන තැන සෙනග වැඩිය.  සෙනග ගොඩේ තෙරපෙමින් ගීත රස විඳින්නට බැරි නිසා අපි හිටියේ ඈතින් ඉඳගෙනය.  ළඟ නොහිටියාට ඉස්පීකර් හැමතැනම ඇති නිසා ගීත හොඳින් ඇසේ.  නන්දා මාලිනී ගායනා කළේ භක්ති ගීත පුහුණුවූ ලංකා බැංකු සේවක සේවිකාවන් සමගය.  මුලින්ම ඇය ගැයූ "බුදු සාදු බුදු සාදු" සහ "බුදු කරුණා" ගීත ගැයිණි.  "බුදු සාදු" ගීතය නන්දා මාලිනි මුලින්ම ගැයූ ගීතයයි.  මේ ගීතයේ පළවෙනි වර්ෂන් එකේ නොවැ දෙවැනි හෝ තුන්වැනි වර්ෂන් එකේදී "බුදු සාදු" පදය ගැයුනාට පසුව ඉතාම මිහිරි වයලීන් වාදනයක් වේ.  ඒ වයලීන් වාදනය කෙතරම් මිහිරිද යත් අසා සිටිද්දී වයලීන් රාවය ඉවර වෙනවා තේරෙන්නේ නැත, වදින්නේ පපුවටය.  මම කියන එක ඇත්තදැයි නිකමට අසා බලන්න.  බුදු සාදු.

මේ වගේම ලගන්නා තවත් ගැයුමක් මගේ මතකයට එයි.  ආරාධනා චිත්‍රපටයට අමරදේවයන් ගැයූ "ජීවිතයේ තනිමංසල" නම් ගීතයේ ගායකයා විසින් "ආරාධනා" යනුවෙන් ඇද පැද ගයන කොටසය.  එතැනදීද ඔහු මොනතරම් රසට ගයනවාද කිව්වොත් ඒ කොටස කොතනින් කොහේ ගියාදැයි අහන රසිකයාට නොතේරේ.  ආරාධනා

ඉතින් නන්දා මාලිනි කියූ ගීත කීපයකට පසුව ගැයුණේ ඇය විසින් ගයන ලද නවතම ගීතයකි.  "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මුළු මහමෙවුනා උයනම නළවමින් ගැයෙද්දී මා ගීතය අසා සිටියේ වශී වූවාක් මෙනි.  උසස් පද රචනයද සංගීතයද ගැයුමද ස්ථානයට මොන තරම් ඖචිත්‍යයකින් යුක්ත වුවාද කිවහොත් පොසොන් සඳපානේ සිහිල් සුළං රැළි වදිමින් ගීතය අසා සිටි මා එවේලේ මොහොතකට හිටියේ අමුතුම ලොවක බව මට අද මෙන් මතකය.  එදා මා පළමුවරට ඒ ගීතය අසද්දී දැනුණ රසය ඒ ආකාරයටම විඳගන්නට ඊට පසු දහස් වර ඇසුවත් නොහැකිවිය.  ප්‍රඥා ප්‍රදීප දල්වා

ඒ ගීත අතීතයයි.  ගීතය පළමුවරට ඇසුවාක් මෙන්ම මම පළවෙනි වතාවට කොත්තු කෑවේද අනුරාධපුරයේ කඩ පනහේ කඩයකිනි.  ඒ එක්තරා අවුරුද්දක අනුරාධපුරයේ පණ්ඩුලගම තිබුණු ගම් උදාව බලන්නට ආරිත් එක්ක ගිය දවසකය.  ඒ කතාව ටිකක් දිග නිසා මෙතැනම ලියන්නට බැරිය.  එන පොසොන් පෝයට ඒ කතාවත් විජයපුරයේ කතාවත් කියන්නට බලාපොරොත්තු වෙමි෴ 

Monday, May 14, 2018

රස්තියාදු ගැසීම, චිත්‍රපටි බැලීම, අපේ හෝටල්, මුස්ලිම් හෝටලයේ සුප් එක, තෝසෙ කඩේ, ගුළි කාරයෝ සහ තෙල් බේත් වෙළෙන්දෝ.



අවසන් නොකළ කතා කීපයකම ඉතුරු හරිය ලියන්නට ඇතත්, ඒවා ලිවීම ඉදිරියට කල්දමා අද කියන්නට යන්නේ වෙනම කතාවකි.  මම මීට කලින් ලියූ පෝස්ට් කීපයකම වගේ කෑලි කෑලි ලියා තිබුණත් කතාව හරියටම ලියා ගන්නට බැරිවිය.  ඇත්තටම කිව්වොත් කතාවක් මගේ හිතේ තිබුණත්, කතාව ඔබත් සමග බෙදාගන්නට අවශ්‍යයි කියා හිතුණත් කතාව කොහෙන් පටන් ගන්නද, මොන විදියකට කියාගෙන ඉදිරියට යන්නද ආදී කිසිදෙයක් දැනට හිතේ නොතිබුණත් සමහරවිට නීරස එහෙම නැත්නම් බෝරිං වගේ වෙයි කියා හිතුණත් කියන්නට දෙයක් ඇතැයි මම අවංකව සිතන නිසා හිතෙන තැනකින් කතාව පටන් ගෙන කියාගෙන යන්නට සිතා ගත්තෙමි.  සුපුරුදු විදියට මේ මීට අවුරුදු බර ගණනකට පෙර කතාවකි.  මේ කතාව ලියන්නට උත්තේජනය ලැබුණේ අපේ මිත්‍ර චෙෆාකි කළ යෝජනාවක් නිසා බවද කිව යුතුමය.

සාමාන්‍ය පෙළ විභාගය අවසන් කර ගෙදරට වී රස්තියාදු ගහමින් සිටි කාලයේ, අපේ ඉවරයක් නොවන රස්තියාදු ගැහිල්ල ගැන ගෙවල්වලින් තිබුණේ දැඩි විරෝධයකි.  ගෙවල්වලින් කොපමණ විරුද්ධකම් පෑවත් අපේ රස්තියාදුව නවත්වන්නට ගෙදර අයට හැකි වුණේ නැත.  ඔය කියන කාලයේ අපි වැඩියෙන්ම ඇබ්බැහි වී සිටියේ චිත්‍රපට බලන්නටය.  අපේ ටවුමේ තියෙන සීගිරි හෝල් එකට එන චිත්‍රපට හැම එකම නැත්නම් අඩු තරමින් එන චිත්‍රපට වලින් වැඩි හරියක් බැලුවාය කියන නම්බු නාමය කොල්ලන් අතරේ ලබා ගැනීමට කවුරුත් කැමැත්තක් දැක්වුවෝය.

 සිලෝන් තියටර්ස් සමාගමේ චිත්‍රපට පෙන්නන හෝල් එකක් වූ සීගිරි හෝල් එකට ලැබෙන්නේ දෙවැනි වටයේ චිත්‍රපට පෙන්නන්නටය.  චිත්‍රපටයක් දාපු දවසේම බලන්නට නම් අලුත්ම චිත්‍රපට පෙන්නන සිලෝන් තියටර්ස් සහ සිනමාස් සමාගම් දෙකේම හෝල් දෙකක් තිබුණු ගම්පහට යන්නට සිදුවේ.  සාමාන්‍යයෙන් සිනමාස් සමාගමේ හෝල්වල ඇම්. මස්තාන්, ජේ. සෙල්වරත්නම්, ලෙනින් මොරායස්, නීල් රූපසිංහ වැනි අධ්‍යක්‍ෂ වරුන් විසින් තැනු ඇක්ෂන් හෙවත් ක්‍රියාදාම චිත්‍රපට පෙන්වන අතර සිලෝන් තියටර්ස් සමාගමේ හෝල්වල පෙන්වන්නේ බොහෝදුරට කලාත්මක චිත්‍රපටය.  තරුණයන්ගේ මහත් ප්‍රසාදය දිනු ගාමිණි ෆොන්සේකා වැනි නළුවන් පෙනී සිටින ක්‍රියාදාම චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවමින් බැඳගෙන දුවන අතර කලාත්මක චිත්‍රපට දින කීපයකින් ගැලවී යන්නේ ප්‍රමාණවත් නරඹන්නන් නොමැතිවීම හේතුවෙනි.

නිධානය, තුන්මං හන්දිය, දෑස නිසා වැනි පසුකාලීනව අතිශය සම්භාවනාවට පාත්‍රවූ චිත්‍රපට පවා ප්‍රදර්ශනය ආරම්භ කොට දින කීපයකින් අවාසනාවන්ත ලෙස ගැලවී ගියේ ගාමිණී රඟපාන සුරයා ගණයේ චිත්‍රපට නරඹන්නන් පිරී ඉතිරී ගිය සිනමාහල් වල ප්‍රදර්ශනය වෙද්දීය.  චිත්‍රපටයක් ගලවා තවත් එකක් එනතුරු ගතවෙන දින කීපයක කාලය තුළ පෙන්වන්නට ඉංග්‍රීසි, හින්දි හෝ දෙමළ චිත්‍රපට හෝල් වලට ලැබේ.  භාෂා භේදයකින් තොරව මේ එන හැම චිත්‍රපටයක්ම පාහේ බලන්නට පුරුදු වී සිටි අපට ඒ හේතුවෙන් සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම කසිකබල් චිත්‍රපටද තොග පිටින් නරඹන්නට ලැබීම වාසනාවක් වුණේ පසුකලෙක හොඳ සහ කබල් චිත්‍රපට මොනවාදැයි වෙන් වශයෙන් තෝරා ගැනීමට එයින් ලැබුණු පිටිවහල නිසාය.

අපේ ටවුමේ තිබුණු හෝල් එකට චිත්‍රපට ලැබෙන්නේ කෝච්චියේය.  හැම තැනම තැලී පොඩිවී ඇද හොකර වුනු යකඩ පෙට්ටිවල බහා එන චිත්‍රපටය ඉස්ටේසමේ ප්ලැට්ෆෝම් එකේ පසෙක තබා තිබේ.  චිත්‍රපටයේ නම සහ පෙට්ටිය තුළ ඇති රීල් ගණන ලියු කොළයක් පෙට්ටියේ පියනේ අලවා ඇති නිසා ඊළඟට හෝල් එකේ පෙන්වන චිත්‍රපටය කුමක්දැයි අපට කළින්ම දැනගන්නට ලැබේ.  හෝල් එකේ වැඩකරන පොඩී මාමා අත් කරත්ත කාරයෙක් අඬගහගෙන ඉස්ටේසමට ගොස් චිත්‍රපටය හෝල් එකට අරගෙන එයි.

සාමාන්‍යයෙන් අපි බලන්නට යන්නේ හයයි තිහේ සෝ එකය.  චිත්‍රපටයට ටිකට් දෙන්න පටන් ගන්නේ හයට විතර වුණත් හවස හතර වන විට අපි ටවුමේ පෙනී සිටින්නෙමු.  හය වෙනතුරු අහන්න බලන්නට ඕනෑ තරම් දේවල් ටවුමේ ඇත.  ටවුමට ගිහිං පළමුවෙන්ම කරන කාරිය වෙන්නේ හෝටලයකට ගොඩවැදී කන එකය.  දවල්ට ගෙදරින් හොඳට බත් කා බඩ පුරවාගෙන හිටියත් ගෙදර කෑමට වඩා හෝටලයෙන් කන කඩචෝරු හරිම රසය.  අද වන විට හරියකට කෑම වේලක් රසට කන්නට හෝටලයක් අපේ ටවුමේ නැතත් අද වැසී ඇති හෝටල් ගණනාවක් එදා ටවුමේ ක්‍රියාත්මක වී තිබිණි.  නම් වශයෙන් කිවහොත් ගාමිණි හෝටලය හෙවත් ගාමිණිය, ලියනගේ හෝටලය හෙවත් ලියනගේ එක, බෙන්තර හෝටලය හෙවත් බෙන්තරේ, ජනහිත හෝටලය හෙවත් ජනහිතේ, ආරියසිංහල හෝටලය හෙවත් බෝ ගහ ළඟ රවුම් කඩේ, සුමනගිරි හෝටලය හෙවත් සුමනගිරිය සහ මුස්ලිම් හෝටලය ඉන් කීපයකි. 

අද වන විට අපේ ටවුමේ තිබෙන්නේ මේ හෝටල් අතුරින් ජනහිතේ සහ සුමනගිරිය පමණය.  අනික්වා ඔක්කොම වැසී ගිහිල්ලාය.  හැමදාම හවසට හොඳ රසට උණු උණුවේ හරක් මස් සුප් එකක් තෙල් පෑදෙන තෙම්පරාදුවක් ද දමා කටට රසට බොන්නට පිළිගන්වන මුස්ලිම් හෝටලයේ සුප් එක සමග උණු රෝස් පාන් ගෙඩියක් කන්නට අප බොහෝ ප්‍රිය කළෙමු.  අවුරුදු ගණනාවක් ඒ කෑම කාපු අපි කිසිමකෙනෙක් වඳ වුණේ නැතත් අද මුස්ලිම් හෝටලය ආගිය අතක් නැත්තේ සිංහල ජාතිය සහ ආගම මුස්ලිමුන් ගෙන් බේරාගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුණ අපේ වීරෝදාර දේශ හිතෛෂීන් නිසාම විය හැකිය.  ඒ කාලයේ ටවුමේ තෝස කඩයක් නොතිබුණත් සුරුට්ටු කඩ සහ සිල්ලර කඩ කීපයක්ද විශාල රෙදිපිළි කඩයක්ද දෙමළ ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන ගියත් 1983 දී කඩ ටික මංකොල්ල කා පුළුස්සා දැමුවිට කඩවල හිටිය උන් පණ බේරාගෙන පැනගියෝය.  ඒ වුනාට අද වන විට තෝසේ කඩ දෙකක්ම ටවුමේ ඇති නිසා වර්තමානයේ සිංහල ජාතියට තර්ජනය ඇතිවී ඇත්තේ දෙමළුන් නිසා නොවැ මුස්ලිමුන් නිසා බව නොවැරදී කටපුරාම කිවහැකිය.

එක තෝසේ කඩයක් තියෙන්නේ ටවුම මැදමය.  ශ්‍රී රංගාස් කැෆේ යනුවෙන් නම තබා ඇති ඒ හෝටලයේ  මුදලාලි ඇතුළු සේවකයන් සියල්ලම දෙමළ අයයි.  තෝසේ කඩේ අපේ ටවුමේ ඉතාම ජනප්‍රිය හෝටලයක් වී ඇතුවාක් සේම කඩේ වැඩකරන අයද ඉතා සතුටින් වැඩ කරගෙන යති.  මමත් දවස් කීපයක් මේ හෝටලයෙන් කෑම ගෙනැත් කා ඇත්තෙමි.  ඔහොම කද්දී මට තේරුණ දෙයක් වුණේ ඒ සයිවර් කෑමවල රසයේ පොඩි වෙනසක් ඇති බවයි.  වෙනස තියෙන්නේ සාමාන්‍ය සයිවර් හෝටලයකට වඩා මේ හෝටලයේ හදන කෑමවල ලුණුරස සහ මිරිස් සැර වැඩි කමයි.  සයිවර් උපන් ඉන්දියාවේ පමණක් නොවැ වෙන වෙන රටවලදීත් ඉන්දියන් සයිවර් කෑම රසබලා පුරුදු මට මේ වෙනස හොඳින් දැනුන නිසා වැරද්දක් ඇත්නම් නිවැරදි කරවා ගැනීම යුතුකමක් ලෙස මම සැලකුවෙමි.  ඒ නිසා දවසක් උළුඳු වඩේ ගන්නට ගිය වෙලාවක මම මුදලාලිට මේ කතාව කීවෙමි.  මුදලාලි සුහදව මා සමග කතාකරමින් කියාසිටියේ මේ වගේ පැමිණිල්ලක් ලැබුණු පළවෙනි දවස කියාය.  රටේ නගර දහඅටක ශ්‍රී රංගාස් කැෆේ දහඅටක් ඇතැයි කියූ මුදලාලි ඒ නම් දහඅටම එක දිගට කියාගෙන ගියේය.  කෙසේ වුවත් මගේ පැමිණිල්ල ඵල දරා ඇති බව මට තේරුණේ ඊයේ කෑ උළුඳු වඩේ සහ ඒවා කන්නට දුන් අමු මිරිස් චට්නිය සුපුරුදු සයිවර් රසට තිබුණු නිසාය.

මුස්ලිම් හෝටලයෙන් සුප් එක සප්පායම් වී එළියට එන වෙලාව වෙනවිට ටවුම මැද තියෙන තුන්මං හන්දියේ සෙනග පිරී හිඳිති.   දැන්නම් හතරමං හන්දියක් වී තිබුණත් එදා එතැන තිබ්බේ තුන්මං හන්දියකි.  තුන්මං හන්දිය ගැන මතක් කරන විට මට තවත් කතාවක් මතක්වේ.  සපත්තු කඩේ හිමිකරුවා වූ බාරොන් මහත්තයා විනෝදකාමියෙකි.  කාට හෝ ලණුවක් දී විනෝද වීම ඔහුගේ සිරිතකි.  බාරොන් මහත්තයා ළඟ හිටපු අවුරුදු හතළිස් පහක් පණහක් වයසැති එක ගෝලයෙක් අහිංසකයෙකි.  කඩේ වැඩ කරන්නට දැණුමක් තේරුමක් නොතිබුණු ඔහුට පැවරී තිබුණ ප්‍රධාන කාරිය වුණේ දවල්ට ගෙදර ගිහින් බාරොන් මහත්තයාගේ කෑම එක ගෙනැත් දෙන එකය.  තුන්මං හන්දියෙන් යන බයිසිකල් ඇතුළු වාහන හන්දියේදී අතින් සංඥා කර ධාවනය වීම ඔහුට ප්‍රශ්නයක් වී තිබිණ.  දවසක් මේ ගැන ඔහු බාරොන් මහත්තයාගෙන් ඇසුවිට හන්දියේදී අතින් සිග්නල් දමා යන එක සිරිතක් බව බාරොන් මහත්තයා ඔහුට කීවේ විහිළුවටය.  එදා සිට මනුස්සයාද බයිසිකලෙන් හන්දිය පහුකරද්දී අතින් වමට සිග්නල් දමා කෙළින් ඉස්සරහට යන අතර බාරොන් මහත්තයා ඔහු කරන මේ වැඩේ කඩේ කට්ටියද අඬගහගෙන එළියට වී බලා සිටින්නේ බක බක ගා සිනාවෙමිනි.  වමට සිග්නල් දමා කෙළින් ඉස්සරහට යන එකාට පස්සෙන් එන රියැදුරන් අම්ම මෝ නැතුව බැන වදින්නේ ඇයි කියා අහිංසකයා ඒ වනවිටත් නොදැන සිටියේය.

මේ වෙලාව වනවිට තුන්මං හන්දිය ළඟ පේමන්ට් එකේ කඩල විකුණන ආච්චි කඩල බේසමත් රැගෙන හන්දියට ඇවිල්ලාය.  කළු කඩල හෙවත් කොණ්ඩ කඩල තම්බා ළූණු මිරිස් එකතුකර තෙල්දමා පොල් කෑලි මිශ්‍රකර විකුණන්න ගෙනැත් ඇති කඩල බේසමෙන් හමන සුවඳට කෙනෙකුට කඩල මුලක් නොකා යන්නට හිතුණොත් පුදුමයකි.  කඩල පමණක් නොවැ වෙනත් බොහෝ ආහාර ද්‍රව්‍යද පිටරටින් ආනයනය කිරීම තහනම් කර තිබූ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී කොණ්ඩ කඩල යනු දුර්ලභ කෑමකි.  ඒ වුනාට කඩල ආච්චි කොහෙන් හෝ කඩල ටිකක් අමාරුවෙන් සොයා තම්බාගෙන ඇවිත් විකුණයි.  කඩල ටිකට මිරිස් කරලක්ද දමා කැන්ද කොළවල ඔතා විකුණාගන්නට ආච්චි යුහුසුළු වෙද්දී පැය බාගයක්වත් යන්නට පෙර කඩල බේසම හිස්වෙයි. මාස කීපයක් ගතවන විට ආච්චිගේ කඩල වෙළඳාම සම්පූර්ණයෙන් ඇනහිටියේ කඩල සපයා ගන්නට ඇති අපහසුව නිසා වියයුතුය.

සමහර දවස්වල හවසට සයිකල් කාරයෙක් ඇවිත් සයිකලයෙන් වැඩ පෙන්වයි.  සයිකලයෙන් වැඩ දාන්නට ගොඩක් ඉඩ උවමනා නිසාවෙන් ඔහු වැඩ දාන්නේ තුන්මං හන්දියේ නොවැ බස් ස්ටෑන්ඩ් එකේය.  ඔහුගේ සයිකලය මහා පුදුමාකාර එකකි.  එහි රෝද ඉස්සරහටද පස්සටද අතින් සහ පයින් කරකවන ඔහු හිටපු ගමන් සීට් එක උඩ ඔලුවෙන් හිටගෙන අතින් පැඩල් කරකවමින් සයිකලය පැදගෙන යයි.  ආයෙම සයිකලයේ දිගාවී ඉස්සරහ රෝදය අතින් කරකවමින් වටයක් යයි.  මේ වැඩ බලාගෙන ඉන්නවිට වෙලාව ගතවෙනවා නොදැනේ.

ටවුමේදී හැමදාම පාහේ හමුවන තවත් චරිතයක් නම් බේත් තෙල් වෙළෙන්දන් ය.   සමහරු බේත් ගුළි විකුණන අතර සමහරු බේත් තෙල් විකුණති.  දවසක් තුන්මං හන්දියේ රාවුතර් ස්ටෝර්ස් ඉස්සරහ කඩල ආච්චිගේ පොට් එකේම ගුළි වෙළෙන්දෙක් දේශනාවක් පවත්වන විට මමත් ආරිත් සෙනග ගොඩේ ඉස්සරහටම වී බලාගෙන සිටියෙමු.  සාමාන්‍යයෙන් මේ වෙළෙන්දන් කවුරුත් පාහේ කට වාචාලයන්ය.  එදා ගුළි වෙළෙන්දා වික්කේ ඉතා දුර්ලභ මහාර්ඝ වාජීකරණ ගුළි රාජයෙකි.  වැඩිහිටියන්ට පමණක් වැදගත් වන මේ දේශනාව පොඩි කොල්ලන් වූ අපි ඉස්සරහට වී කටත් ඇරගෙන අසා සිටීම ඔහුට රිස්සුවේ නැත.  මේ ගුලිය දියකර වැලකට දැම්මත් වැල ගහක් වගේ කෙලින්වී උඩට යන බව කී වෙළෙන්දා ගුළියක් පාවිච්චි කර ගෙදර නෝනාගෙන් ලැබෙන සැළකිලි බලාගන්නට කියා කියමින් වටයක් යමින් ගමන ඉස්සරහ උන්න ඉලන්දාරින්ගෙන්  " බැඳලද? බැඳලද?" කියා අහගෙන ගියේ සවුත්තුවටය.  ගොඩක් දෙනෙක් වෙළෙන්දා ගේ ප්‍රශ්නයෙන් පසු බැස්ස අතර අපේ එක කොල්ලෙක් "ඔව්" කියා කීවේය.  ඒ ගමන වෙළෙන්දා ලෑස්ති වුණේ ඌව මඩවන්නටය.  ඒ උනාට අපේ ආරි ඒකට ඉඩදුන්නේ නැත.  ඌ කෙළින්ම වෙළෙන්දාගෙන් ගේම ඉල්ලුවේය.

" මේ හලෝ, මේක අපේ ටවුම, අපට ඕනැ තැනක අපි ඉන්නවා.  තමුසෙ ගුළි බැරිනං ළඟ තියෙන ගුළි දෙක හරි විකුණ ගත්තට අපට කමක් නෑ.  හැබැයි අපේ කොල්ලන්ට පාට් දාගෙන එන්න එපා, තේරුණාද?"

හැඩිදැඩියෙකු වූ ආරි ඒ ටික කියපු විදියට වෙළෙන්දා පසු බා ගියේය.  ඊට පස්සෙ මිනිහා අනං මනං කතා නොකර ගුළි ටික විකුණා ගන්නට විතරක් උනන්දු විය.  

සමහර දාට එතනට එන්නේ බේත් තෙල් කාරයෙකි.  බේත් තෙල් කාරයා ළඟ අඩුවැඩිය ගොඩකි.  ඉස්සෙල්ලාම බිම කිළුටු රෙද්දක් දිග හැර දමා ඒ මත ඔහුගේ අඩුවැඩිය තබයි.  ඇලුමිනියම් තැටියක ඇති ගාම්භීර අඳුරු පැහැති තෙල් මත තැබූ සත්ව ඇට කටු ගොඩකි,  මොණර පිල් මිටියකි,  අගනා ඖෂධ යැයි කියන වේලුනු ලී කැබලි රැසකි,  මැරිච්ච සර්ප ඔළුවකි, ලොකු හා පොඩි කවච කීපයකි, පිත්තල පහනකි, මොනවාදැයි හරියට කියන්නට බැරි තව තව කෑලි ලීපයකි. මෙකී නොකී හැම දෙයක්ම ඔලොගුවෙන් එළියට  ගෙන තබන බේත් තෙල් කාරයා වටේට ඒ වනවිටත් නොඉවසිල්ලෙන් වටවී බලා සිටින මිනිස්සු පොදියකි.  කිසි කලබලයක් නැතිව තමන්ගේ වෙලාව ගෙන වැඩේට පසුබිම හදා ගන්නා බේත් තෙල් කාරයා ඊළඟට දේශනාව පටන් ගනී. 

වෙළෙන්දා ගේ දේශනාව ඒ විදියටම කියන්නට අද මට අමතක වුණත් ඔහු කියන්නේ තමන් ළඟ ඇත්තේ ඉතා අසීරුවෙන් හින්දා ගත් අනර්ඝ බේත් තෙලක් බවය.  මේ තෙල් හිඳින්නට ඔහු අවුරුදු ගණනාවක් මහන්සි වී අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ඇත.  මදාරා, සඳුන් දර ආදී සමහර කළමනා ගෙන්වා ගෙන ඇත්තේ හිමාල අඩවියෙනි.  බිං කොහොඹ සොයාගෙන ඇත්තේ වැදි රටෙනි.  තෙල් හිඳින්නට ගින්දර සොයාගන්නට අපමණ මහන්සියක් දැරූ බව කී අතර නිකම්ම අපේ ගෙවල්වල තියෙන ගින්දරෙන් ගිනිතියන්නට නම් එපමණ මහන්සියකින් සඳුන් දර සොයාගත්තේ කුමකටදැ යි  ඇසු බේත් තෙල් කාරයා ගින්දර ඕපපාතිකව හැදුණු තැනකින් ලබාගත යුතු යැයි කියා ඔහු ගින්දර ගත්තේ අකුණක් ගසා ඇවිලෙමින් තිබු කොළ අත්තකින් බව කිවේ බලා සිටි අයගේ නළල රැලි කරවමිනි.  එපමණ වියදමක් සහ මහන්සියක් දරා හිඳගත් තෙල් රාජයා ආලේප කළ පමණින් කැඩුණු බිඳුණු ඇටකටු තිබුණා වගේම හාවෙන බවත් ඇට කටු පමණක් නොවැ කැඩුණු ලීයක් පවා මේ තෙල්වලින් තිබුණා වගේ හා කරන්නට හැකි යැයි කීවේය.  ශරීරයේ වේදනා කැක්කුම් ඇති තැන්වල ගාන්නට මීට වඩා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තවත් නැති බව කියූ ඔහු තමන්ට අහම්බෙන් වගේ මේ ටවුමට එන්න හිතුණු එක මිනිස්සුන්ගේ භාග්‍යයක් යැයි වැඩිදුරටත් කීවේය.

දේශනාවේ මේ හරිය වෙනවිට වටේ හිටපු මිනිස්සුන්ගේ කුතුහලය උපරිමයටම නැග ඇති බව ඔවුන් කටත් ඇරගෙන බලා හිඳින විදියෙන් පෙනේ.  තෙල් ටික එළියට ගන්නට මේ හොඳම වෙලාව බව වෙළෙන්දා දනී. ඉස්සෙල්ලාම තෙල් කුප්පියක් සල්ලි දී ලබාගන්නේ වෙළෙන්දාගේම තැරව් කාරයෙකි.  කතාවත් එක්කම ඉතුරු තෙල් කුප්පි ටික විකුණා ගන්නට බේත් තෙල් කාරයාට වැඩි මහන්සියක් දරන්නට වෙන්නේ නැත.  බලාගෙන හිටිය කාන්තාවන් එහෙම මේ මහාර්ඝ තෙල් කුප්පිය මිලදී ගන්නේ තමන් ගන්නේ පාට කරපු පොල්තෙල් යැයි හීනෙකින් වත් හිතා නොවේ.  ඇලුමිනියම් තැටියේ අඳුරු පාටට දමා ඇත්තේ පිච්චිච්ච එන්ජින් ඔයිල්ය.  හොඳ වෙලාවට බේත් තෙල් කාරයා ඇන්ජින් ඔයිල් විකුණන්නේ නැත.  පොල්තෙල් ගෑවාට ඇඟට කිසිම අගුණයක් නැති නිසා බේත් තෙල් කාරයාත් මොන මොනවා හරි කියා කීයක් හරි හම්බ කරගැනීමේත් වරදක් කියන්නටත් බැරිය෴

Sunday, May 6, 2018

සුද්දාගේ කිරිබත් දන්සැල, අන්නාසි පළදාව, නූඩ්ල්ස් දන්සැල, පළතුරු සහ අපේ දන්සැල් වන්දනාව.


අවුරුදු මාසය තුළම වෙසක්ද ඇවිත් ගියේය.   දැන් තියෙන්නේ වෙසඟේ සුන්බුන් පමණකි.   වෙසක් ගැන ලියනවිට කියන්නට තියෙන්නේ දන්සැල් කතාය.  සුද්දා හැම වර්ෂයක් පාසාම දෙන කිරිබත් දන්සැල මේ අවුරුද්දේද හොඳින් පවත්වන්නට අදහස් කරගෙන සිටියේය.  දන්සැල දෙන්නට සුද්දා සුදානම් වුණේ මාස කීපයකට පෙර සිටය.  මෙදා සැරේ කුඹුරු වැඩ නොකළ නිසා සුද්දා වී තොගයක් මිළට ගත්තේ විශේෂයෙන්ම දන්සැලටය.  අවුරුද්දට වී කොටාගෙන ගෙදර යන ගමන් මටත් කැකුළු හාල් ටිකක් දුන්නේ අවුරුද්දට කිරිබත් උයන්නටය.  මෙදා සැරේ කිරිබත් දන්සැලෙන් හාල් කිලෝ සීයක කිරිබත් දෙනවා යි කියූ සුද්දා කිරිබත් පිසින්නට පොල්යගෙඩි එකසිය පණහක් ද කැඩුවේය.

කිරිබත් දන්සැල දෙන්න හාලුත් පොලුත් සොයාගත් පමණින් බැරිය.  තවත් ජාති හැට හුටහමාරක්ද සොයාගත යුතුය.  කිරිබත් පිසින්නට භාජන, දර, උයන කස්ටිය,ලුණුමිරිසට අවශ්‍ය කළමනා, හට්, පුටු පමණක් නොවැ කිරිබත් බෙදා දෙන්නට කැන්ද කොළයේ පටන් සියල්ලම සොයා  සපයා ගත යුතුය.  සුද්දාට මේවා තනියම කරන්නට ද බැරි ඌට මේ කියපු දේ මේ මතක නැති නිසාය.  කොහොමින් කොහොමින් හරි දන්සැල දෙන්නට පෙරදා රෑ වන විට අඩුම කුඩුම සියල්ලම එකතැන් කරගන්නට හැකිවුණේ අපි කීප දෙනෙකුගේ ද මහන්සියෙනි.  

කිරිබත් දෙනවිට ඒත් එක්ක හොඳ ලුණුමිරිසකුත් නොදුන්නොත් හරි නැත.  මීට අවුරුදු හත අටකට ඉස්සර මට මතක හැටියට 2010 වර්ෂයේ වගේ මටත් සහභාගී වෙන්නට ලැබුණු කිරිබත් දන්සැලකදී දන්සැල බාගයක් දෙනවිට ලුණුමිරිස අවසන් විය.  ඊට පසුව දෙන්නට වුණේ කිරිබත් විතරය.  එහෙම වෙනවිට ලැජ්ජාව දන්සැලේ සංවිධායකටය.  මීට පසුව දන්සැල් දෙනවිට කිරිබත් වගේම ඇතිතරමට ලුණුමිරිස් ද දෙන්නට වග බලාගනිමු ය කියා මම එදා සුද්දාට කීවෙමි.   ඊට පස්සෙ අවුරුද්දේ දන්සැලේ එය ක්‍රියාත්මක වුණු අතර ඉන් අනතුරුව අවුරුදු පහක්ම මට කිරිබත් දන්සැල මඟ හැරුනේ රටේ නොසිටි හේතුවෙනි.  පහුගිය අවුරුද්දේ දන්සැලට ඉන්නට බැරිවුණේ දන්සැල දවසේ අපි ලොකු පුතාලගෙ ගමේ ගිය නිසාය.  

මෙදා සැරේ කිරිබත් දන්සැලේ ලොකු ළූණු කිලෝ තිහක්ම ලුණුමිරිසට කෙටුවේ නැත්නම් මදිවන බැවිනි.  දන්සැල දවසේ අපි වැඩ පටන් ගත්තේ පාන්දර තුනටය.   කිරිබත් පිසින්නේ කිලෝ දහයේ හැලි වලය පොල් ගා කිරි මිරිකා හාල් සෝදා පටන් ගත් උයමන නිසා පාන්දර පහමාරට පළමුවෙනි කිරිබත් හැලිය බාගෙන කෑලි කපන්නට මේසයට යවන්නට හැකිවිය.   එළිය වැටෙන විට දන්සැලේ වැඩට කට්ටිය දෙතුන් දෙනා ගණනේ ඇවිත් සෑහෙන පිරිසක් එකතු වුහ.  එතැන් සිට එක එක හැලිය බා ගනිමින් කෑලි කප කපා බෙසම්වල අහුරන්නට කට්ටිය මෙලෝ සිහියක් නැතුව වැඩ කළහ.  ඊළඟට ප්‍රශ්නය වෙන්නේ කිරිබත් කෑලි අඩුක් කළ බේසම් හිස් කරගැනීමයි.  නැතිනම් කපන කපන කිරිබත් අහුරන්නට බේසම් මදිවෙයි.  ඒ නිසා පිරී ඇති බේසම් හැකි ඉක්මනට හිස් කරන්නට අවශ්‍ය වෙයි.

ඒ වනවිට එළියේ හට් එකත් ගසා කැන්ද කොළත් කඩා මේස උඩ ගොඩ ගසා තිබු නිසා දන්සැල පටන් ගැනීමේ සංඥාව සුද්දාගෙන් ලැබුණි.  එතැන් සිට එක සීරුවට පැය තුන හතරක් යනතුරු දන්සැලේ කට්ටියට ඉස්පාසුවක් නැතිව වැඩය.  කට්ටියක් හිස්වෙන භාජන අයින් කර කිරිබත් පිරවූ භාජන ගෙනැත් තබති.  ලුණුමිරිස් පිරවූ භාජන ගෙනැත් තබති.  ඉවර වෙන ඉවර වෙන ගානට කැන්ද කොළ කඩ කඩා ගෙනැත් තබති.  සමහරු නම් භාජන ගෙදරින්ම ගෙනැත් කිරිබත් අරන් ආපහු යති.  දන්සැලේ එක්කෙනෙකුට දෙන කිරිබත් ප්‍රමාණය ගැන සුද්දා  සීමා පනවා නැත.  අවශ්‍ය ප්‍රමාණයට කිරිබත් නොදෙනවා නම් ඒ දන්සැලෙන් ඇති වැඩක් නෑ කියා කියන සුද්දා එන අය ඉල්ලන ප්‍රමාණය අනුව කිරිබත් දෙන්නට කියයි.  දෙකක් ඕනෑ නම් එහෙමය, පහක් හෝ දහයක් නම් එහෙමය.  දන්සැල දෙන්නේ වෙසක් පෝයට පහුවදා නිසා එදා උදේ පානුත් නැත, කඩවල කෑමත් නැත.  දන්සැලට එන අයත් ඒ අයගේ පවුල්වල අයත්, කලින්දා සිල් අරගෙන පන්සලේ සිට ගෙදර යන උපාසක උපාසිකාවනුත් උදේ කෑම ලබා ගන්නේ දන්සැලෙන් නිසා පැමිණෙන අයගේ ගණනද බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.

උදේ දහයට විතර දන්සැල අවසාන කළේ වැඩ කරපු අය හෙම්බත් වී හිටපු නිසාය.  විශේෂයෙන් පිටිපස්සේ මඩුවේ කිරිබත් හැඳිගාපු ගෑණු උදවිය එකක් ඉවරවෙනකොට එකක් බැගින් ගිණි රශ්මියට මුහුණ දෙමින් කිරිබත් ලොකු හැලි පිටින් උයා බෙහෙවින් මහන්සි වී සිටියෝය.  වැඩ කරන අයට සැරින් සැරේ බිස්කට් ද අග්ගලා ද තේ ද දුන්නේ සුද්දාගේ බිරිඳය.  මෙදා සැරේ විශේෂයක් හැටියට ඉඹුල් කිරිබත් ටිකකුත් හදමු කියා මම සුද්දාට කළින්ම යෝජනා කර සිටියෙමි.  ඉඹුල් කිරිබත් හදන්නට හාල්මැස්සන් බැදුමකුත් පිළියෙළ කර ගත්තෙමි.  ඒ වුනාට කිරිබත් වලට තිබු ඉල්ලුමත් දන්සැලට ආව සෙනගත් එක්ක ඒ වැඩේ කරන්නට තියා හිතන්නටත් බැරිවුයෙන් හාල්මැස්සන් බැදුමද කිරිබත් එක්කම බෙදන්නට ඉස්සරහට ඇරියෙමි.

අන්තිම කිරිබත් හැළිය උයා කෑලි කපාගත්තේ දන්සැලේ වැඩ කරපු අයට හෙවත් ස්ටාෆ් එකටය.  කට්ටියම කිරිබත් බෙදාගෙන කතාබහ කරමින් කන ගමන් වෙනදා නම් රෑ බත් දන්සැලක් දෙන්නටද කතා කරගනී.  නමුත් මෙදා ගමේ තරුණ පිරිස එදා රෑට නූඩ්ල්ස් දන්සැලක් ප්‍රජා ශාලාවේ පවත්වන්නට කටයුතු කර තිබුණු නිසා මේ අවුරුද්දේ සුද්දාගේ බත් දන්සැල දෙන්නට අවස්ථාවක් නැතිවිය.  නූඩ්ල්ස් දන්සැලේ දෙන්නට ලෑස්ති කරගෙන තිබුණේ නූඩ්ල්ස්, සීනි සම්බෝල,පරිප්පු හොදි හා අන්නාසි පෙතිය. ඉතින් නූඩ්ල්ස් දන්සැලද එදා රාත්‍රියේ උත්සවාකාරයෙන් ආරම්භ වුණත් එච්චරම සාර්ථකත්වයක් දකින්නට නොලැබුණේ ජනතාවගේ පැමිණීම පහළ මට්ටමක තිබුණු හේතුවෙනි.  තම්බන්නට ගෙනා නූඩ්ල්ස් කිලෝ පහේ කවර ගණනාවක් තම්බන්නට නොහැකි වුනු අතර පිළියෙළ කළ විශාල නූඩ්ල්ස් හැලියක්ද පරිප්පු හැලියක්ද අතවත් නොතබා ඉතිරි විය.

සුද්දාගේ කොටුවේ අන්නාසි වලට අවුරුදු සමයේ පටන් තිබුණේ ඉතා හොඳ ඉල්ලුමකි.  වෙසක් සතියේ දන්සැල් එක්ක ඉල්ලුම තවත් ඉහළ ගියේය.  හොඳට අව්ව තිබුණු නිසා අන්නාසිද මී මෙන් රසය.  අපි සුද්දාගේ කොටුවේ අන්නාසි කප කපා ගෙදරට ඇද දම්මෙමු. කඩවලට දමන්නට හිතන්නටවත් අවශ්‍ය නැතිවුනේ කට්ටිය සුද්දාගේ ගෙදරටම ඇවිත් අන්නාසි අරගෙන යාම නිසාය.  දවසක් අපි කීපදෙනෙක් සුද්දගේ ගෙයි ඉස්සරහට වී පොඩියට කර්තව්‍යයක් කරමින් ඉද්දී කට්ටියක් ආවේ ප්‍රයිඩ් රයිස් දන්සැලකට අන්නාසි කිලෝ සීයක් ගෙනියන්නටය.  ඒ දන්සැල තිබුණේ සුද්දාගේ කිරිබත් දන්සැලට පහුවදාය.  අන්නාසි අරගෙන යනකොට දන්සැලට අපටත් එන්නට කියා ඒ අය ආරාධනා කළහ.  ඉතුරු වෙච්චි අන්නාසි ඔක්කොම කොල්ලො ටික නූඩ්ල්ස් දන්සැලට අරගෙන ගියහ.  

සුද්දාත් මමත් ප්‍රයිඩ් රයිස් දන්සැල දවසේ හවස සුද්දා ළඟ තිබුණු පළතුරු ටිකක් පාවිච්චි කළේ ප්‍රයිඩ් රයිස් කන්නට ඇපිටයිසර් එකක් හැටියටය.  අපි දන්සැල ලඟට යනකොටත් එතැන පාර දිගට පෝලිමය.  ඒ වෙනකොට ආරාධිතයන් අතින් දන්සැල විවෘත වුණා විතරය. අපට නම් පෝලිමේ යන්නට වුණේ නැත, දන්සැලේ සංවිධායකයින් අපිව අරගෙන ගිහින් ඉස්සරහින් වාඩිකර කන්නට යැයි කියා පිඟන් අතට දුන්හ.  ඒ වෙනකොට වෙලාව හවස හය හමාර වුණා විතරය.  අපි කවදාවත් ඒ වෙලාවට රෑට කෑම කන්නේ නැති නිසාත් හැලපිට ප්‍රයිඩ් රයිස් පාර්සලයක් අරගෙන එන්නම්ය කියා පොරොන්දු වී ආපු නිසාත් අපි දෙන්නා කල්පනා කළේ කෑම ටික අරගෙන යන්නටය.  

එහෙම වුණාට පොඩි ප්‍රශ්නයකට තිබුණේ ඒ දන්සැලේ කෑම කන පිඟන් වලට ලන්ච් ෂීට් එලා නොතිබීමය.  සංවිධායකයෙකුගෙන් ලන්ච් ෂීට් දෙකක් ඉල්ලුවත් ඔහු කීවේ කට්ටිය කෑම පාර්සල් අරගෙන යන එක ඉවරයක් නැති නිසා ලන්ච් ෂීට් නොගෙනා බවයි.  එහෙම නම් අපි යමු යි කියා යන්න නැගිටිද්දී සුද්දාට කල්පනාවක් ආවේය.  "පොඩ්ඩක් ඉන්නැ" යි කියූ සුද්දා වැටෙන් පැන ළඟ තිබුණු උගේ ගෝලයෙකුගේ ගෙදරට ගිහින් ලන්ච් ෂීට් අරගෙන ආවේය.  ලන්ච් ෂීට් වල කෑම පාර්සල් කරගෙන එන්නට පිටත් වුණෙමු.

මගක් එනවිට ගත්ත පළතුරු ටික මදි මදි වගේ කියා මට හිතුන නිසා සුද්දාගෙනුත් ඇහුකොට ඌටත් එහෙමය.  එහෙනම් කෙළින්ම ටවුමට ගිහින් තව මොනවා හරි කරමුය කියා ටවුමට ඇල්ලුවෙමු.  ඒ එද්දී මග ගෑස් කඩේ ළඟ ගෑස් කඩේ මුදලාලි දෙන බත් දන්සැලය.  ගෑස් කඩේ අයිනේ විශාල මඩුවක් හදා සරසා දෙන බත් දන්සැල කන්නට තිබුණු පෝලිමේ කෙළවර තිබුණේ ක්වාටස් වල ගේට්ටුව ළඟය.  එතනට එද්දී " හෝව්,හෝව් පොඩ්ඩක් නවත්තන්නැ" යි කියපු සුද්දා බැහැගෙන දන්සැල පැත්තට ගියේය.  ඒ හරියේ ඉන්න ගෑස් කඩේ මුදලාලි ඇතුළු ඔක්කොමලා සුද්දාගේ ඥාතීන් සහ හිතවතුන්ය.  සුද්දා දන්සැලට ගියේ නැත, කඩේ ඇතුළෙන් පිටිපස්සට ගිහින් නොපෙනී ගියේය.  ටිකකින් සුද්දා ආපහු ආවේ කෑම පාර්සල් දෙකක්ද අරගෙනය.

ආයෙම පිටත්වී වැඩිදුර යන්නට ලැබුණේ නැත, ගල් බෝක්කුව ළඟ ආප්ප දන්සැලකි.  එතැන තියෙන පෝලිම අර දෙතැනටම වැඩිය.  සුද්දාට ආප්ප කන්නටද උවමනා විය.  ඉන්න සෙනග දැක සැලෙන්නේ සුද්දා නොවේ.  " ඔහොමම ඉන්නැ " යි කියූ සුද්දා ආප්ප දන්සැලට කිට්ටු කළේය.  ගියාට ඉක්මනට ආපහු ආවේ ආප්ප කවරයකුත් අරගෙනය.  " කිසි ප්‍රශ්නයක් වුණේ නෑ, දන්සැල දෙන්නෙ මගෙ ගෝලයො කට්ටියක්, මේ ටික බයිට් වලට ගමු " යි සුද්දා කීවේය.  

ටවුමට ගිහින් බොන දේවලුත් අරගෙන ආපහු සුද්දලාගේ ගෙදරට එනකොට වෙලාව රෑ අටට කිට්ටුය.  අපේ වැඩේ ඉවරවෙන්නට පරක්කු වෙන නිසා හැලපිට කන්න මගේ කෑම පංගුව කොල්ලෙක් අතේ ගෙදරට පිටත් කර වැඩේ පටන් ගතිමු.  අපි දෙන්නා පොඩියට පටන් ගත්තු වැඩේට තවත් දෙන්නෙක් එකතු වීම නිසාවෙන් වැඩේ දුරදිග ගොස් මම ගෙදර එනකොට රෑ දහයත් පහුවෙලාය.  දැන් හොඳටම බඩගිනිය,ගෙදර ඇවිත් කන්න බලනකොට අපි දන්සැලෙන් කාලාම එයි කියා සිතූ හැලපි ඉතුරු කෑම ටික මල්ලිලාගේ ගෙදරට පිටත් කරලාය.  ගෙදර කන්නට දේකට තිබුණේ පරණ පාන් කෑල්ලක් විතරය෴