Sunday, September 18, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 16 - රුවන්ගේ ඩයට් කිරීම, කුවේට් යුද්ධය, නීතාගේ සාංගීක දානය සහ ඉඳිආප්ප තැම්බීම.


අදට මාසයකටත් වඩා ගතවී ඇති පරණ පෝස්ටුව වෙනුවට අලුත් එකක් ලිවිය යුතු වුවත් ලියන්නට වස කම්මැලිය.   මීට මාසයකට පමණ පෙර හැලපි  හැලපැට්ටාත් සමග මා තනිකර දමා යන්නට ගියේ විප්‍රවාසයේ ඇති තනිකමේ නියම අරුත මට පසක් කර දෙමිනි.   කෙසේ වුවද හැලපි ලංකාවේ සිටි කාලය පුරාවටම මට බ්ලොගයේ මොකුත් ලියාගන්නට බැරිවිය.   ඒ කාර්යාලයේ රාජකාරි වලට අමතරව ගෙදර වැඩද තනියම කරගන්නට උන නිසාය.   හැලපැට්ටාගේ රාජකාරි එකලාසයක් කර   අවසානයේ දැනට දින කීපයකට පෙර ආපසු පැමිණි හැලපි කුස්සියෙන් මාව නෙරපා දමා ගෙදර වැඩ කටයුතු තමන්ගේ අතට පවරා ගත්ත වෙලාවේ මට දැනුණේ පුදුමාකාර සහනයකි.    දැන්නම් කෑම ටික පමණක් නොව තේ කෝප්පයද වෙලාවට අතට ලැබේ.   ලද  නිදහසෙන් ප්‍රයෝජන ගැනීම මගේ යුතුකමකි.   ඉතිං ආපසු පරණ කතාවේ ඉතිරි හරිය කියන්නට වෙලාවයි.

ඉන්ද්‍රාගෙන් සමුගෙන බොරැල්ලෙන් තලවතුගොඩ බසයක නැගී බෙන් ෆිල්ම්ස් එකට එනවිට එහේ හරිම කාලගෝට්ටියකි.   මොකද කිව්වොත් රුවන්ට දරුණු බඩේ අමාරුවක් හැදිලාය.    ඌ බඩ බදාගෙන මර ලතෝනි දෙයි.    මොනම අත් බේතකටවත් බඩේ අමාරුව සුව නොවේ.   බඩේ අමාරුව අඩුවෙන්නට අන්තිමට හොයාගෙන තිබු එකම බේත වුයේ එකෙක් රුවනයාගේ මහබඩ උඩ වාඩිවී සිටීමය.  මම එනතුරු ප්‍රභාත්ද කුමාරද උගේ බඩ උඩ මාරුවෙන් මාරුවට වාඩිවී සිට ඇති අතර මා ගෙට ගොඩවුණු විගස දැන් ඇත්තේ මගේ වාරය යයි කියා උන් දෙන්නා බඩ උඩ ඉඳගෙන සිටීමේ සේවාවෙන් ඉවත් වුවෝය.    මාව රුවන්ගේ බඩ උඩ ඉන්දවා ප්‍රභාත් කෙල්ල බලන්නට ගිය අතර කුමාර කොණ්ඩය කපාගන්නට යැයි කියා පැලවත්තට ගියේය.     රුවන් ඇඳේ හාන්සිවී පොතක් කියවමින් සිටින අතර මම උගේ අලිබඩ උඩ වාඩිවී ඈනුම් අරිමින් සිටියෙමි.

"මොකද බං උනේ?" යි මම රුවන්ගෙන් ඇසුවෙමි.

"අනේ දන්නෙ නෑ බං, එකපාරට බඩේ වේදනාවක් ආව. මක්කොල්ලවත් ඉවසගන්න බෑ බඩේ ඇසිඩ් ගතිය වැඩිවෙලාද මංදා" රුවන් කීවේය.

" මේ කෝලං කරල වැඩක් නෑ බං, හරිහමං දොස්තර කෙනෙක්ගෙන් බේත් ටිකක් ගම්මු. අන්න මං කෑම ගෙනල්ල ඇති කාල ඉඳින්. උඹට කන්න පුළුවන්ද?

"ඔව්, කන්න නං පුළුවනි ඒ උනාට හිටපු ගමන් බඩේ වේදනාව එන එක තමා ඉවසන්න බැරි, මේ ලෙඩේ නිසා උඹලටත් කරදරයි මාව ගෙදර ගිහිං දාපල්ලා." රුවන් කීවේය.

ගෙදර ඇරලවන එක හොඳයි කියා මටත් හිතුන නිසා පහුවදා රුවන්ව මාවනැල්ලේ ගෙදරට එක්කරගෙන ගොස් විස්තරය කියාදී ආපහු ආවෙමි.    ගෙදරින් රුවන්ව එදාම පේරාදෙණියේ රෝහලට ඇතුල් කිරීමෙන් පසු බඩේ අමාරුව ඇපෙන්ඩිසයිටිස් බව හඳුනා ගන්නා ලදුව පහුවදාම ඇපෙන්ඩිසය කපා ඉවත් කරන ලදී.

සතියකට පමණ පසු රුවන් තාත්තාත් සමග ආපහු බෙන් එකට ආවේ රෝහලෙන් දෙන ලද කෑම වට්ටෝරුවකුත් අතැතිවය.    වෛද්‍යවරයා කියා ඇත්තේ රුවන් මහත වැඩි නිසා හැකි ඉක්මනින් ඇඟ අඩුකර ගැනීම අවශ්‍ය බවයි.      බර අඩු කර ගැනීමට අදාළ කෑම වට්ටෝරුව මට බාර දුන් රුවන්ගේ පියා ඒ පිළිවෙලටම රුවන්ට කෑම දෙන්නට මාව පොරොන්දු කරවාගෙන ආපසු ගියේය.   වෛද්‍යවරයාගේ කෑම වට්ටෝරුව අනුව රුවන්ට උදේට කන්නට නියමිතව තිබුණේ ක්‍රීම් ක්‍රැකර් විස්කෝතු දෙකකුත් ඇඹුල් කෙසෙල් ගෙඩියකුත්ය.   දවල්ට බත් කෝප්පයක් එළවළු, මාළු හෝ මස් සමග සහ රාත්‍රියට එළවළු සුප් සමග කරකළ පාන් පෙත්තකි.    උදේට පාන් බාගයක් හෝ තුන්කාලක් හොද්දකුත් සමග ඇඟට නොදැනී ගිලදමන රුවනයාට විස්කෝතු කෙසෙල්ගෙඩි සමග දෙනවිට මුහුණ ඇඹුල් කරගෙන අපි කන දේවල් කන්නට ඉල්ලා රණ්ඩු වෙයි.   කොහොම හරි දවස් දෙකතුනක් ගතවෙද්දී මම වැඩට ගිය පසුව ඌ බත් උයා පොල් සම්බෝලද හදාගෙන ඒකට තක්කාලිත් කලවං කරගෙන බඩ පිරෙන්නටම ගිලදැමු බව කුමාර මට කිව් පසුව රුවන්ට ඩයට් කරන එක මම නැවැත්තුවෙමි.   ඌ අදටත් එදා වගේම දැවැන්ත ශරීරයක් ඇත්තෙකි.

ඔය ආකාරයට බෙන් එකේ අපේ ජීවිතය ගලායද්දී මම සුපුරුදු පරිදි කාර්යාලයේ රාජකාරියට ගියෙමි.   ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කළේ ඔන්න ඔය කාලයේදීය.    එයට ක්ෂණිකව අමෙරිකාව විසින් ප්‍රතිචාර දැක්වීම නිසා මැද පෙරදිග දැඩි යුද උණුසුමක් හටගත්තේය.   අපේ කාර්යාලයේ නීතාගේ මහත්තයා වැඩ කලේත් මැද පෙරදිග රටකය.   ඒ රටට යුද්ධයේ හුළඟක් වත් නොවදින නමුත් නීතා මහත්තයාට හැමදාම කරදර කළේ  ගෙදර එන්නට කියාය.    නීතාගෙන් බේරෙන්නට බැරි තැන අන්තිමේ ඔහු රස්සාවෙන් අස්වී ලංකාවට ආවේය.    සැමියාගේ පැමිණීම සහ තව තව හේතු කීපයක් නිසා නීතා ගෙදර සාංගීක දානයක් ලෑස්ති කර දානයට එන්නට කියා අපටද ආරාධනා කළාය.     නීතා පදිංචිව සිටි කිඹුලාවල ගෙදර බෙන් එකට බොහොම ළඟ නිසා කලින්දා රෑ ගෙදර ඇවිත් තියෙන වැඩවලට උදව් කරන්නට කියා ඇය මට වැඩි දුරටත් කීවාය.

" එදාට වෙන කව්ද එන්නෙ?" යි මම නීතාගෙන් ඇසුවෙමි.

" ඇයි ඔයාගෙ සයිකො එකත් ඒවි!"යි  ඇය කීවේ සිනාසෙමිනි.

" එහෙනං කට්ටිය ඕනැ තරම් ඔය ඉන්නෙ!"

" නෑ වැඩ තියෙනවා ඔයත් ආවට වැඩිවෙන්නෙ  නෑ! "  යි නීතා කීවේ කතාව නවතමිනි.

කිඹුලාවල ඒ දිනවල භීෂණය දරුණුවට පැතිරී ගිය පෙදෙසකි.     ඊට දින කීපයකට පෙර තරුණයන් තුන් හතර දෙනෙකු මරා ගෙනැත් වෙල්යායට දමා තිබුණා මට මතකය.    ඒ ගැන ටිකක්  බයෙන් සැකෙන් වුවද දානයට පෙරදින රෑ මම නීතලාගේ ගෙදරට ගියෙමි.    ඒ වනවිටත් නීතලාගේ ගෙදර ඇවිත් සිටි ඉන්ද්‍රාත්, කුමාරිත් නීතලාගේ කුස්සිය පැත්තේ එළියේ වාඩිවී කතා කරමින් සිටියහ.     මා එනු දුටු ඉන්ද්‍රා  විළිබර සිනාවක් පෑවාය.

"මතක් කරනකොටම ඔය එන්නෙ! "යි මා දුටු කුමාරි කීවාය.

" ඇයි මම නැතුව පාලුවෙන්ද හිටියෙ?" යි මම ඇසුවෙමි.

" අනේ මම නං නෙවෙයි.  පරක්කු වෙලාය,රෑ වෙනකොට බයයිය කියා කියා මෙච්චර වෙලා කියෙව්වෙ මෙන්න මෙයා! "යි ඉන්ද්‍රා දක්වමින් කුමාරි කීවාය.   ඉන්ද්‍රා මුහුණද රතුකරගෙන කුස්සිය ඇතුළට ගියේ මට තේ එකක් ගෙනෙන්නටය.

" කෝ ඔය කාණ්ඩෙ  ඔක්කොම එන්න වැඩ තියෙනවා!" නීතා කතා කරයි.

නීතා ලෑස්ති වෙන්නේ උදේ හීලට ඉඳිආප්ප තම්බා ගන්නටය.    හාමුදුරුවන්ට දානෙට පන්සලට යවන්නටත් ගෙදරට එන අයට  උදේට කන්නට දෙන්නටත් ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් අවශ්‍යය.    අද මෙන් ක්‍ෂණික හාල්පිටි මිශ්‍රණ නොමැති එකල ඉඳිආප්ප තනා ගත්තේ පාන්පිටි තම්බා උණුවතුර මිශ්‍රකර ගැනීමෙනි.    පාන්පිටි ඉඳිආප්ප තැම්බීමට මිශ්‍රණය සාදා ගැනීම ඉතා ප්‍රවේශමෙන් කළයුත්තේ පදම වැරදුනහොත් ඉඳිආප්ප මිරිකා ගැනීම අසීරු වන නිසාය.  මන්ද යත් ඉඳිආප්ප වංගෙඩියට දමන පිටි මිශ්‍රණය ගලක් මෙන් තදවී මිරිකන්නට නොහැකිව යන බැවිනි.    නීතා අපට කතාකළේ ඉඳිආප්ප මිරිකන්නටය.    නමුත් ඒ වනවිටද ඇබැද්දිය සිදුවී අවසානය, නීතාගේ නංගිලා අතින් මිශ්‍රණයේ පදම වැරදී තිබිණි.    අපට සිදුවුයේ දත කාගෙන අමාරුවෙන්  ඉඳිආප්ප මිරිකන්නටය.

"ඔන්න මෙදා සැරේ නං වරද්ද ගන්න එපා, ගානට කලවං කරගන්න නැත්නං මිරිකල එපාවෙනවා!" මා එලෙස කීවේ දෙවෙනි වඩියත් මිශ්‍ර කරන්නට සැරසෙන කාන්තාවකටය.  එහෙත් අවාසනාවකට ඒ මිශ්‍රනයේද පදම වැරදී ගියේය.     ඉන්ද්‍රා ඉඳිආප්ප මිරිකන්නේ මගේ ලඟින්ම ඉඳගෙනය.   මම දත්මිටි කාගෙන ඉඳිආප්ප මිරිකනු දැක ඇය මදෙස බලා සිටියේ උවමනාවෙනි.

" මෙයාට ඉඳිආප්ප හදන්නත් පුළුවන් කියල අපි  දැනගෙන හිටියෙ නෑනෙ නේද ඉන්ද්‍රා?"  කුමාරි කියන්නේ ඉන්ද්‍රා දෙස බලමිනි.

"ඔය ගොල්ලො ආඩම්බරේට කතා කළාට අපටත් කුස්සියෙ වැඩ ටිකක් තේරෙනවා!" 

මා එසේ කීවේ ඇත්තද එයම නිසාය.  බෙන් එකට එන්නට පෙර ඉවුම් පිහුම් කිසි දෙයක් නොදැන සිටි මම බෙන් එකේදී අපි දෙතුන් දෙනාට උයා මුලික හුරුවක් ලබාගත්තා මෙන්ම කිචි ධර්මේත් සමග එකතුවී ඉඳහිට කඩාපාත් වෙන දහපහළොස් දෙනෙකුට වුවද උයන්නට හැකි තත්වයකට දියුණුවී සිටියෙමි.

" අනේ හොඳයි උයන්න දැනගෙන ඉන්න එක කොච්චර දෙයක්ද!" කුමාරි කීවාය.

" ඒකනෙ, පවුල් වුන කාලෙක පවුලගෙන් ගුටි කන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙනව කියන්නෙ පොඩි වැඩක්ද ?"

ඉවත බලාගෙන ඉන්නා ඉන්ද්‍රාගේ උරිස්  ගැස්සෙන ආකාරයෙන් පෙනී යන්නේ ඇය අපේ සංවාදය නොමඳව රස විඳින බවය.     කතාව අතරම වැඩද නොනවත්වා කරගෙන ගියත් ඉඳිආප්ප මිරිකීම එන්න එන්නම අසීරු බව අතට තේරේ.

" අමාරුද? " ඉන්ද්‍රා සිහින් හඬින් මගෙන් අසයි.

" මොනා කරන්නද? ඉතුරු හරියත් මිරිකල දාමු !"   මඳ සිනා පෑ ඇය නැවතත් තමන්ගේ කාර්යයේ නිරතවූවාය.

අප ඉඳිආප්ප තම්බා අවසන්වන විට මැදියම් යාමය එළඹෙමින් තියෙන්නට ඇත.   නිදිමතේ ඈනුම් අරිමින් සිටි කුමාරි ඒ වන විටද ගෙට ගොස් සිටි අතර  ඇය කොහේට හෝ වී නිදාගෙන ඇතියැයි ඉන්ද්‍රා කීවේ සිනාසෙමිනි.    ඇඳි පුටුවක හාන්සිවී හිඳගෙන දල්වාගත් දුම් වැටියකින් දුම්ගුලි යවමින් සිටි මගේ ලඟට ඉන්ද්‍රා පැමිණියේ වටපිට බලමිනි.

"එළිවෙනකන් සිගරැට් බිබී ඉන්නද කල්පනාව? " ඉන්ද්‍රා පුටු ඇන්දේ හිඳගත්තේ  සීරුවට මගේ උරයට බරවෙමිනි. ඇගේ සුමුදු පහස ගතට සුවදායකය.

"ඇයි වෙන මොනා හරි වැඩක් එහෙම තියෙනවද ? "

" නෑ මට ගිහිං නිදාගන්න කියල නීත කිව්වා!"

"ඉතිං!"

" මට නිදාගන්න යන්න බෑ මාත් මෙහෙමම ඉන්නං!"

" මරුනෙ, තව පුටුවක් අරං එනවා අපි මෙතැන නින්දක් දාමු!"

" කෝ මෙයා, ආ මෙතනද?  අන්න ඔයාට ඇඳක් ලෑස්ති කරලා තියෙනවා ඉන්ද්‍රා , ඔයා ගිහිං නිදාගන්න.   නිදාගන්න තැනක් හදල දෙනකල් ඔයා ටිකක් ඉන්න!" අප සිටි තැනට එක්වරම ආ නීතා නොනවත්වාම කියවාගෙන ගියාය.   ඉන්ද්‍රා නීතා පසුපස ගියේ මා දෙස බැලුම් හෙළමිනි. නැවතත් කල්පනා ලෝකයේ තනිවී සිටි මගේ දෑස් විටින්විට පියැවී යන්නට විය.

" ආ එන්න!" යි නැවතත් මා සිටි තැනට පැමිණි නීතා කීවාය.

" ඇයි නීතා!"

" ඇයි නෙවෙයි ගිහිං ටිකක් නිදාගන්න,හැබැයි ඇඳන් නං දෙන්න නෑ ඔක්කොගෙම නිදාගෙන ඉවරයි!" නීතා මා රැගෙන ගියේ දානයට ඉඩ ගන්නට ගෙයි සාලයේ තිබු බඩු බාහිරාදිය පැත්තකට ඇදදමා තිබු කොටසකටය.   එතැන තිබු සෝපාවකට ඇඳ රෙද්දක් දමා මට නිදාගන්නට ඉඩ සකසා තිබුණි.

"හ්ම් මෙතනින් නිදාගන්නකො, එළිවෙන්නත් තව ටික වෙලාවයි තියෙන්නෙ!" යි කියූ නීතා යන්නට ගියාය.

මම වටපිට බැලුවෙමි ගෙයි කුස්සිය ප්‍රදේශය බොහෝ කාර්ය බහුල වුණත් අපි සිටි හරිය දැඩි නිහඬතාවකින් යුක්ත විය.   ගණ අඳුර ලාවට මැකී ගියේ කොහේදෝ ඈතින් දැල්වුණු විදුලි බුබුළක පාණ්ඩු පාට ආලෝකයෙනි.    

දෑස් අඳුරට හුරුවීමෙන් පසු මට වටපිට පෙනෙන්නට විය.   මා දෙපස තිබු කාමර දෙකෙන් එකක කුමාරි නීතාගේ දරුවන්ද සමග නිදයි.   අනෙක් කුඩා කාමරයේ ඇති එක් ඇඳක නිදා සිටින්නේ ඉන්ද්‍රාය,  අනෙක් ඇඳේ නීතාගේ ආච්චි කෙනෙක් නිදා සිටියාය.   නිදිමතක් නැතත් මට දැනුණේ මහා පාළුවකි.    මම සැටියේ බාගෙට හාන්සිවී කල්පනා කරමින් සිටියෙමි.

" ආ නිදාගන්න ආවෙ මෙතනටද?" යි කොහෙදෝ සිට එතැනට පැමිණි ඉන්ද්‍රා ඇසුවාය.

" ඇයි තමුසෙටත් නින්ද යන්නෙ නැද්ද?"

" නෑනෙ, කෝ එහාට වෙන්නැ!" යි මට කී ඉන්ද්‍රා ද   සැටියේ වාඩිගත්තාය.     

ඇර දමා තිබු ජනේලයෙන් හමන්නේ සීත සුළඟකි.   සුළඟට ජනෙල් තිර රෙදි සට පට ගා හතර අතට සෙලවෙන්නේ පණ ඇවිත් මෙනි.  දැඩි ශීතයට ඉන්ද්‍රාගේ සිරුර කිළිපොලා යනු දෙතුන්විටක්ම මට දැනුණි.

" සීතලද? "

" ම්ම්ම් " ඉන්ද්‍රාගේ ආලිංගනය සීතල මකන්නට කදිමය෴