Tuesday, February 27, 2018

නාරායන් සොයා යාම, ආර්.කේ.රාමචන්ද්‍රන්, මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ගේ මදන මෝදකය,තුර්කි කෝපි, කැපුචිනෝ සහ අරාබි කෝපි.

පළමු කොටස
දෙවැනි කොටස

ඇපලෝ රෝහලේ ණය අයකරගැනීමේ නිලධාරියා වන රාමනා රෙඩ්ඩි මගේ හොඳම හිතවතෙකි.    රෙඩ්ඩි පමණක් නොවැ මදුරාසියේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල්වල ණය අය කරගැනීමේ නිලධාරීන් සියල්ලන්ම පාහේ මගේ හිතවතුන්ය.    ඒ මන්ද යත් ඔවුන් අපට ණයට කරදෙන ශල්‍යකර්ම හා වෙනත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාසයේ අන්තිමට චෙක්පත ලබාගැනීමට තියෙන්නේ මගේ අතින් නිසාය.   හැම දෙනාගේම පරමාර්ථය වන්නේ චෙක්පතේ බර වැඩි කරගැනීම බැවින් ඔවුහු මා සමග කිට්ටු හිතවත්කමක් පවත්වාගෙන ගියහ.   මාසේ අන්තිමට වැඩිම බර ඇති චෙක්පත ලබාගන්නා වන රාමනා රෙඩ්ඩි චෙක්පතේ බර ගැන ඉඳහිට පොඩි බරබරයක් දැම්මත් හිතවත්කම නැති කර නොගන්නට වග බලාගත්තේය.   ඉතින් මම නාරායන් ගැන රෙඩ්ඩිට කතා කළෙමි.   මගේ කතාව අසා සිටි රෙඩ්ඩි, නාරායන් ගැන සොයා බලා හවසට කතා කරන්නම් යැයි කීවේය.  කිව්වත් වගේම හවස මට කතාකළ රෙඩ්ඩි නාරායන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් අමුත්තන්ට ඔහු බැලීම තහනම් වුවත් අවශ්‍යම නම් උදව්වක් කරන්නට හැකි බවත් කීවේය.  ඇපලෝ රෝහල තියෙන්නේ අපේ ගෙදර සිට පයින් යන දුරක නිසා මම ඒ සැන්දෑවේ ම රෝහලට ගොස් රෙඩ්ඩි ගේ උදව්වෙන් මුහුණටත් ඇඟ හැම තැනටත් බටද වයර්ද සවිකර සිටි නාරායන් දැකබලා ගත්තෙමි. දවස 2001 මැයි 12 වෙනිදා බව හරියටම කිව හැකි වන්නේ පසුවදා නාරායන් මියගිය බැවිනි.

ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයකු වූ ආර්. කේ. නාරායන් ගැන ලියැවුණු ලිපිවලින්, විශේෂාංග සහ අතිරේක වලින් පසුවදා සිටම පුවත්පත් පිරී යන්නට විය.  මම ඒවා හැම එකක්ම පාහේ එකතු කර තබා ගත්තේ පසුවට ප්‍රයෝජනයක් වේවි යැයි සිතාගෙනය.    පසු දවසක මට හමුවුණු අර්ජුනට නාරායන් සෙවීමේ අසාර්ථක ඒක පුද්ගල මෙහෙයුම ගැන කීවිට සිදුවූ දේ ගැන ඔහුද දුක්විය.   නමුත් පසුව දැනගන්නට ලැබුණු අන්දමට නාරායන් ඔහුගේ ජීවිතයේ අන්තිම කාලයේ කිසිවෙකුත් හමුවීම හෝ සම්මුඛ සාකච්ඡා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. නාරායන් ගැන මා ළඟ තිබු කරුණු ගොණුකර ලිපියක් ලිව්වොත් නරකදැ යි අර්ජුන යෝජනා කර සිටියේය.   නමුත් ලිපියක් ලිවීමට ප්‍රමාණවත් කරුණු මගේ ළඟ නොතිබූ අතර තිබණු තොරතුරුද හැම කෙනාම පාහේ දන්නා සහ පත්තරවල පට්ට ගසා තිබුණු ඒවාය. නාරායන් ගේ පවුලේ කවුරු හරි හමුවෙන්නට ලැබුණොත් ඔහුගේ ප්‍රසිද්ධ නොවූ තොරතුරු යමක් දැනගන්නට හැකිවේ යැයි කී අර්ජුන මගේ ළඟ ඇති විස්තර වලට ඒවාද එකතුවූ විට ලිපියකට සෑහෙන තරම් තොරතුරු එකතුවෙන බව කියා සිටියේය.

ඊළඟට අප ඉදිරියේ තිබුණු ප්‍රශ්නය වුණේ නාරායන්ගේ පවුලේ කෙනෙක් සොයා ගැනීමය. ඔහුගේ පොත්වල කියැවෙන අන්දමට නාරයන්ට සහෝදර සහෝදරියන් හත්දෙනෙක් සිටියත් නාරායන්ගේ බාල සහෝදරයා මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධම කාටුන් ශිල්පියෙකු වූ ආර්.කේ. ලක්ෂ්මන් හැරෙන්නට වෙනත් කිසිවෙක් ගැන හෝඩුවාවක් සොයා ගන්නට නොතිබුණේ ඔවුන් අප්‍රසිද්ධ අය බැවිනි.  ලක්ෂ්මන් ඒ වනවිට ටයිම්ස් ඔෆ් ඉන්දියා පත්‍රයේ සේවය කළ අතර බොම්බායේ පදිංචිවී සිටි හෙයින් ඔහුව හමුවීම අපහසු කාරියක් විය.   නමුත්  ඊට පසු නාරායන් ගැන මටත් වඩා උනන්දුවක් ඇතිකරගත් අර්ජුන නාරායන් ගේ සොයුරු සොයුරියන් ගැන සොයා බලන්නට විය.   එක දවසක හවස අර්ජුන මාව හමුවන්නට කාර්යාලයට ආවේ හැති දාගෙනය.

දන්නවද, නාරායන්ගෙ මල්ලි කෙනෙක්ව හොයාගත්තා ! අර්ජුනගේ දෑස් දිළිසෙයි.

මරුනෙ, කොහෙද මිනිහ ඉන්නෙ?

බෙසන්ට් නගර් වල, නම රාමචන්ද්‍රන්, මම කතාකරල හම්බවෙන්න වෙලාවකුත් දාගත්තා හෙට හවස යමු !

පසුවදා සවස අර්ජුනත් මමත් නාරායන්ගේ සොහොයුරු රාමචන්ද්‍රන් සොයා බෙසන්ට් නගර් වලට ගිය ගමනට අර්ජුනගේ හිතවතෙකු වූ කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් වන රැන්ඩෝර් ගයි ද එකතු විය.  කතාව පටිගත කරගන්නට මම ගෙදර තිබුණු කැසට් රැකෝඩරයද උස්සාගෙන ගියෙමි. බෙසන්ට් නගර් වල තට්ටු නිවාසයක දෙවෙනි තට්ටුවේ නිවෙසක සිය බිරිඳත් සමග පදිංචි වී සිටි රාමචන්ද්‍රන් අපව ආදරයෙන් පිළිගත්තේය.   රාමචන්ද්‍රන්, නාරායන්ගේ කපාපු පළුවක් නොහොත් නාරායන් ම දැයි සිතෙන තරමට එක සමාන විය.   අපි ආගිය තොරතුරු කතා කරමින් ඉන්නා අතර රාමචන්ද්‍රන් මහත්මිය අපට බොන්නට කෝපි පිළිගැන්වූවාය. ගෙදරට ආ අමුත්තන්ට කෝපි පිළිගැන්වීම දකුණු ඉන්දියාවේ චාරිත්‍රයකි.   නැවුම් එළකිරිද තද කහටැති කෝපිද මුසුකර සීනි ඉතා ස්වල්පයක් දමා කුඩා කෝප්පවල පිළිගන්වන මේ කෝපි පළමුවතාවේදී බොන්නට තරමක් අපහසු ගතියක් දැනුණත් පුරුදු වූ විට ඉතා රසැති පානයකි.

කෝපි පමණක් නොවැ වෙනත් බොහෝ රසැති පානයන් හෝ කෑම වර්ගයන් ද දිවට නුහුරු නම් පළමුවරට කන බොන විට අප්‍රියජනකය.  වතාවක් මම පියෝ ඇපල් ජුස් හෙවත් ඇපල් පමණක් යුෂ පොඩි උන් දෙතුන් දෙනෙකුට බොන්නට දුන් විට උන් ටිකක් බී කට ඇඹුල් කර ඒවා ප්‍රතික්ෂේප කළෝය.   ඒ ඇපල් යුෂ ඇඹුල් නැතිවුනත් සීනි සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමුසු ඇපල් යුෂ බීමට උන්ගේ දිව නුපුරුදු නිසාය.  රසයට දිව පුරුදු වීම ගැන මීට අවුරුදු දෙසීයකටත් එහා කාලයක ඇලෙක්සැන්ඩර් ඩුමා ද කතාකර තිබේ.   ඒ ඔහුගේ සුප්‍රසිද්ධ ග්‍රන්ථයක් වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නම් නවකතාවේ එන මොන්ත ක්‍රිස්තෝ දුපතේදී සිටුවරයා හමුවන ප්‍රාන්ස් ට දුපතේ අන්තර් භෞම ගුහාවලදී පිළිගැන්වූ රාත්‍රී භෝජන සංග්‍රහය අවසානයේදී ය.   ඒ මොහොතේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා සහ ප්‍රාන්ස් අතර ඇතිවන කතාබහ පොතෙන්ම උපුටා දක්වන්නට මට අවසර දෙන්න.

" මට ලොකු ආශාවක් ඇතිවුණා ඔබ කියන දේ ඇත්තක්ද නැත්නම් අතිශයෝක්තියට නගපු වර්ණනාවක්ද කියලා පරීක්ෂා කර බලන්න," යි ෆ්‍රාන්ස් කීය.

"පරීක්ෂා කර බලන්න සිංඤෝර් ඇලඩින්; ඔව්, පරීක්ෂා කර බලන්න; ඒ වුනාට එක පරීක්ෂණයකට පමණක් සීමා කරගන්න එපා; අනිත් සෑම දේකදී වගේම, මේ දෙයෙහි ත් අපි ප්‍රචණ්ඩ හෝ වේවා මුදු මොළොක් හෝ වේවා, දොම්නස් සහගත හෝ වේවා, සොම්නස් සහගත හෝ වේවා, අලුත් හැඟීම්වලට අපේ ඉන්ද්‍රියයන් ක්‍රමයෙන් පුරුදු කරගන්න ඕනෑ.- මේ දිව්‍යමය දේ සමග ස්වභාව ධර්මයේ සටනක් පවතිනවා; ස්වභාව ධර්මය සන්තෝෂයට නොවෙයි අසන්තෝෂයටයි ඇලී පවතින්නෙ.    යටපත් කරනු ලබන ස්වභාව ධර්මය, මේ සටනින් පරාජය ලැබිය යුතුයි.   තථ්‍යය සිහිනයට තැන දිය යුතුයි.   ඊට පස්සෙ සිහිනය ස්වාධිපත්‍යයෙන් ඒකාධිපති වී රජ කරන්නට පටන් ගන්නවා.   එතකොට සිහිනය ජීවිතය වෙනවා;ජීවිතය සිහිනය වෙනවා.  ඉතින් තාත්ත්වික ජීවිතයේ දුක්ඛ වේදනා කාල්පනික ලෝකයේ සුඛ වේදනා බවට හරවන ඒ වෙනස් වීමෙන් ඇති වන්නේ කුමන තරමේ වෙනස් වීමක් ද! තවත් ජීවත් වීමේ ආශාවක් නැතිව යන ඔබ සදාකාලික ව සිහින දකිමින් සිටින්නට ආශා කරනවා! ඔබේ ඒ සිහින ලෝකයෙන් මේ ලෞකික තලයට ඔබ යළිත් ආවාම, නියෝපොලිතානු වසන්තයකින් ලප්ලන්ත ශිශිරයකට පැමිණියා වගේ ඔබට පෙනී යනවා - පාරාදීසයෙන් පොළෝ තලයට, ස්වර්ගයෙන් නරකාවාටයට පහත් වුණා වගේ පෙනී යනවා! මෙය තොල ගා බලන්න, මගේ ප්‍රිය ආගන්තුකය,- මෙය තොල ගා බලන්න!"

මේ ආරාධනයට ෆ්‍රාන්ස් ගේ එකම පිළිතුර වුයේ ඒ අද්භූත ජනක රසායනයෙන් තම සංග්‍රාහකයා අනුභව කළ ප්‍රමාණය තරම් ම ප්‍රමාණයක් තමාද ගෙන මුවෙහි තබා ගැනීමය.   " මොන යක්ෂයෙක්ද!" යි ඒ දිව්‍යමය මෝදකය ගිල දැමීමෙන් පසුව ඔහු පැවසීය.    " මම දන්නෙ නෑ මේකෙ ප්‍රතිඵලය ඔබ විස්තර කළ විදියටම ප්‍රසන්න වේවිද කියලා. නමුත් ඔබ කියන තරම් මේ ද්‍රව්‍යය රස පුර්ණ බවක් මට නම් දැනෙන්නෙ නෑ."

"එහෙම නොදැනෙන්නෙ ඔබේ තල්ල ඔය ද්‍රව්‍යයේ උතුම් තත්ත්වයට ඔබින අන්දමට හැඩ ගැහිලා නැති නිසා; මෙන්න මේක මට කියන්න, දැන් ඔබ ඉතාමත් ප්‍රියකරන මුහුදු බෙල්ලන්, තේ, පෝටර්, බීර, ට්‍රෆ්ල් පැළෑටි ආදී නානා විධ ආහාර වර්ග ඔබ මුලින්ම අනුභව කළ අවස්ථාවේ දී ඔබ ඒවාට ආශාවක් දැක්වූවාද කියලා?    රෝමකයන් උන් කෑ වළි කුකුලන් ජතුක පුරවා කෑ බවත් චීනුන් වැහි ලිහිණින්ගේ කූඩු ආහාරයට ගත් බවත් ඔබට විශ්වාස කරන්න පුලුවන්ද? බෑ! හොඳයි, අන්න ඒ වගෙ තමයි මේ කංසාත්. සුමානයක් මේක කන්න, එතකොට ඔබට දැන් නීරස, ඔක්කාරය කරවන මේ දේ තරම් රසවත් දෙයක් මුළු ලෝකයේම නැහැ යි කියලා වැටහිලා යාවි.  දැන් ඉතින් යමු අපි මේ පැත්තකින් තියෙන අනිත් කාමරේට.   - ඒක ඔබේ කාමරේ - අලි අපිට කෝපිත් දුම් පයිප්පත් අරගෙන ඒවි."

මොන්ත ක්‍රිස්තෝ  සිටුවරයා මහත් අභිරුචියකින් වර්ණනා කළ හා ඔවුන් දෙදෙනා අනුභව කළ ඒ රසායනය ගැන ඔබ කුමක් සිතුවත් මගේ පුද්ගලික අදහස නම් ඔවුන් කෑවේ මදන මෝදක රසායනයක් බවය.   ඒ එසේනම් මදන මෝදකයේ ඉතිහාසය අප සිතනවාට වඩා ඈතට දිවයනවා යැයි කල්පනා කළ හැක.   මන්දයත් ඩූමා රචනා කළ පොත්වල කල්පිත කථාන්තර අතරේ කියැවෙන ස්ථාන, රථ වාහන, කෑම බීම ආදී විස්තර සියල්ලම ඔහුගේ සත්‍ය අත්දැකීම් නිසාය.

අපි කතාව පටන්ගත්තේ කෝපි වලින් නිසා තවත් කෝපි කතාවක් කියන්නට සිතේ. මෙයත් ආරම්භ වෙන්නේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයාත් ෆ්‍රාන්සුත් කෝපි බොන තැනින්ය.

" අලි කෝපි පානය රැගෙන ආවේය.

" කොහොමද ඔබ කෝපි බොන්නෙ?" අමුත්තා පිළිවිසීය. "ප්‍රන්ස විදියටද තුර්කි විදියටද ? සැරටද බාලටද? සීනි දාලා ද නොදාලා ද? උණු උණුවේ ද සීතලට ද? ඔබට කැමති හැටියකට දෙන්න පුළුවන්. ඕන විදියකට සූදානම් කරලා යි තියෙන්නෙ."

"මම තුර්කි විදියට බොන්නම්," යි ෆ්‍රාන්ස් පිළිතුරු දුන්නේය."

තුර්කි විදියට කිරිත් සීනිත් දමා හදන කෝපි වලට වඩා මම බොන්නට කැමති වුණේ සීනි නොදා පිළිගන්වන අරාබි කළු කෝපි බොන්නටය.  අරාබි ක්‍රමයට හදන කෝපි තිත්ත වුවත් කැපුචිනෝ තරම්ම තිත්ත නැත.  බොහෝ අවස්ථාවලදී අපට අරාබි කෝපි බොන්නට ලැබෙන්නේ ඕමාන් හි මස්කට් ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ මන්දිරයේදීය.   අරාබි කෝපි කුඩුකරද්දී කරදමුංගු මිශ්‍ර කරන අතර කෝපි හදද්දී රෝස වතුර හා සැෆ්රොන් ටිකක්ද මුසු කරන බැවින් කෝපිවල ඇත්තේ තිත්ත මිශ්‍ර අමුතුම මිහිරි රසකි.   දිග හොටක් ඇති දිළිසෙන පෝච්චිවල දමා ගෙන එන කෝපි පිළිගන්වන්නේ අඬු නොමැති කුඩා පිඟන්මැටි කෝප්ප වලටය.    

කෝපි දෙන්නට පෙර දුඹුරු පැහැති දිගැටි පැණි බේරෙන අලුත්ම රටඉඳි කෑමට ලැබේ.   රටඉඳි එකක් දෙකක් හෝ ඇති තරමක් කෑමෙන් පසු එතැනම තබා ඇති වතුර භාජනයෙන් ඇඟිලි සෝදා පිසගත් විට කෝප්පය අතට දී කෝපි ඉතා ස්වල්පයක් වක්කරති.    කෝපි ටික බී අවසානයේ හිස් කෝප්පය නිකම්ම අතේ තබාගෙන සිටියොත් ආයෙම කෝපි ටිකක් ලැබේ.  කෝපි බීවා ප්‍රමාණවත් නම් අතේ තියෙන කෝප්පය ඇඟිලිවලින් එහාට මෙහාට සෙලවිය යුතුය, නොසොල්වා ඉන්න තුරුම සංග්‍රාහකයා නොකඩවා කෝපි වක්කරයි.    මේ කෝපිවල සැබෑ රසය දැනෙන්නේ එයට දිව හුරුවුණු පසු බැවින් සාමාන්‍යයෙන් එක් වතාවක් එන අමුත්තන්ට මේ මිහිරි පානයේ සැබෑ රසය විඳගන්නට නොලැබේ.   එහෙත් නිතරම පාහේ විශේෂ අමුත්තන් පිළිගන්නට යන මම මේ කෝපි පානය බොහෝ වාරයක් රසවිඳ ඇත්තෙමි.   අරාබි කෝපිවල යම්කිසි වාජීකරණ ගුණයක් ඇතැයි කොච්චියා ද කොහෙද මට කියා තිබුණත් ඒ කතාවේ ඇත්ත නැත්ත මම නොදත්තෙමි෴

Sunday, February 18, 2018

ස්වප්නාගේ දානය, චන්දරේ ගේ මඟුල, එරික්ගේ ඔරොප්පුව සහ කේටරින් සර්විස්.


'අපට ලැබෙන්නේ අප බලාපොරොත්තු වන දේ නොවැ අපට හිමි දේය'! මේ කතාව මම ස්වප්නාට කීවේ මේ ඊයෙ පෙරේදා මඟුල් ගෙදරකදී ස්වප්නා මුණ ගැසුණු වේලාවේය.    පහුගිය මාසයේ එක දිගට මඟුල් ගෙවල් කීපයකම යන්නට වුන අතර ඒවායින් සමහරක් හෝටල්වල තිබුණු අතර අපිත් එක්ක වැඩකරපු පැරණිම සගයෙක් වන චන්දරේ ගේ බාල දුවගේ මඟුල ගත්තේ ගෙදරමය.    දැන් දැන් ගෙවල්වල ගන්නා මඟුල් වලට යන්නට ලැබෙන්නේ කලාතුරකින් නිසාත් අපේ පරණ යාළුවන් ඔක්කොම පාහේ මුණගැහෙන දවසක් නිසාත් මම සතුටින්ම මඟුල් ගෙදර ගියෙමි.    

චන්දරේගේ ගෙයත් වත්තත් හොඳට ඉඩකඩ තිබෙන නිසා වත්ත හැමතැනම මඩු ගසා සරසා පුටු මේස තබා එන අයට වාඩිවෙන්නට ලෑස්ති කර තිබුණු අතර සංගීත කණ්ඩායම සඳහාද අති විශාල වේදිකාවක් ඉදිකර තිබෙනු දක්නට ලැබිණ.  සංගීත කණ්ඩායමට අමතරව උඩරට නැටුම් කණ්ඩායමක් සහ ඉන්දියන් විදියට ඇඳගෙන බෙර ගහමින් සිංදු කියන කණ්ඩායමකුත් වරින්වර වැඩ පෙන්නුවේ ඇවිත් හිටපු අයගේ විනෝදය සඳහාය.   මඟුල් ගෙදර අපේ පරණ යාළුවන් ඔක්කොම වගේ කල් වේලා නොඉක්මවා ඇවිත් සිටියෝය.   ස්වප්නා සාරියකුත් ඇඳගෙන ඇවිත් හිටියේ පොඩි ඇතින්නියක් වගේය.    ඇයගේ රුව පැරණි කවි සමයෙන් වනනවා නම් ගන්නට තියෙන කවිය වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණියේ එන මේ ප්‍රසිද්ධ කවියයි.

සිසිවන උවන සිහිනිග ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙ පුරඟන
ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ස්වප්නා ගේ සිහිනිඟ නම් මිටින් තියා දෑත බදලා වත් අල්ලන්නට හැකි වෙන්නේ යන්තමිනි.   පුළුලුකුළ නම් හරියටම කවියේ කිව්වාක් මෙන් රිය සකයුරුමය.   පොඩි පරහකට තියෙන්නේ පුළුලුකුළ පමණක් නොවැ  උඩ ඉඳන්  පහළට මුළු ශරීරයම රියසක යුරු වීමය.   තිසර තන ගැන වනන්නට පැරණි කවි සමය අතහැර නූතන කවියක පිහිට ලබන්නට කැමැත්තෙමි.

පළමුව දෙළුම් රැක්කා
දෙවනුව තැඹිලි වික්කා
පසුව වට්ටක්කා
වැලක එල්ලී සිටිනු දැක්කා

ඉතින් ස්වප්නාගේ රූප සොබාව වැනිල්ල නවතා ආපහු කතාවට ගියොත් ගේ ඉස්සරහ පැත්තේ තිබුණු හට්වල සෙනගද සද්දේද වැඩිය.   සංගීතය පටන් ගත්තායින් පසුව සද්දෙ දෙගුණ වී ළඟ ඉන්න එකා කියන දේද නෑහෙන තරම් නිසා කට්ටියම පුටුත් අරගෙන ගිහින් වාඩි වුණේ ගෙයි පිටිපස්ස පැත්තට වෙන්නටය.   එතැන හට් නැති උනාට වටේ ගස් තියෙන නිසා සෙවනය.   අපි කට්ටිය වාඩිවී සිසිල් බීමකුත් බොමින් ආගිය කතා සහ පරණ කතා  කියවමින් ඉද්දී චන්දරේ එතැනට මේසයක්ද බෝතල් හා බයිට්ද එව්වේය.    

බොන්නට හදිස්සිය තිබුණේ එරික්ටය, ඌ අපේ කණ්ඩායමේ ලලනිගේ මනුස්සයා උනත් ඒ කාලයේ සිටම ලලනිට වඩා අපි යාලු පිට් එක පවත්වාගෙන ගියේ එරික් එක්කය.     බෝතලේ කඩපු ගමන්ම එරික් මෙලෝ සිහියක් නැතුව ගහන්නට පටන් ගත්තේය.    ඒ කොහොමද කිව්වොත් අපි එක ෂොට් එකක් ගද්දී ඌ ෂොට් දෙක තුනක් දාගනී.    ටිකක් හිමිහිට බොන්න කිව්වට අහන්නෙත් නැත.    සුපුරුදු විදියට ගෑණු ටික බයිට් පිඟන් හිස්කරද්දී බෝතලයද හිස්විය.   බෝතලෙන් තුන්කාලක් විතර බිව්වේ එරික්ය, ඉතුරු ටික අපි තුන්දෙනා බීවෙමු.   බෝතලේ ඉවරවූ පසු වටපිට බැලු එරික් මේසේ උඩ තිබුණු අපේ වීදුරුද හිස්කලේ එක හුස්මටය.    දැන් එරික්ට හොඳ පදමට වැදී කෙලින් හිටගන්නවත් බැරි සයිස්ය. 

බෝතලේ ඉවරවුණත් තව බෝතලයක් ගෙන්නා නොගත්තේ එරික් ඒකෙත් වැඩි හරිය බීගෙන බිම වැටුණොත් එහෙම උස්සාගෙන යන්නට වෙන නිසාය.   ඌ දැන් මෙලෝ සිහියක් නැතුව නන්දොඩවයි.   මම එතැන තිබුණු ටැප් එක ළඟ චන්දරේගෙ මස්සිනා එක්ක කතා කරමින් සිටිද්දී එරික් එතෙන්ටද ඇවිත් කියවන්නට ගත්තේය.    එරික්ගේ ඔලුව වටේට කෙස් තිබුණත් මැද තට්ටේය.   මට හොඳ වැඩක් මතක්වී එරික්ට කතා කළෙමි.

ඒයි  වරෙන්කො පොඩ්ඩක් !

මොකක්ද බං මළ කරදරේ! එරික් වැනි වැනී ආවේය.

උඹ මේකට ඔලුව අල්ලපන්, මම ටැප් එක අරින්නං!

ඒ මොන මඟුලකටද?

ඇයි යකෝ වෙරි බහින්න නෙ!

එරිකාට යකා නැග මට පලු යන්න බනින්නට විය.

මට කියන්නෙ උඹ අල්ලපන්කො, අනේ අම්මප! අපිත් හිතාගෙන ඉන්නෙ උඹල මහ බුද්ධිමත් මිනිස්සු කියලනෙ, ඔන්න බුද්ධියෙ හැටි!ඇයි පස්ස ගහන්නෙ ඇවිත් පෙන්නපන්කො මට ටැප් එකට ඔළුව අල්ලන හැටි.

එරික් ආවේස වූ කපුවා වගේ මට බැනගෙන බැනගෙන යයි, උගේ මූණ යකෙක්ගෙ වගේ විකෘති වෙලාය, ඇස්වලින් ගින්දර පිටවෙයි, කඩදාසියක් මුණට දැම්මත් එවෙලෙම දැවිලා අඟුරුවෙලා යන සයිස්ය.    මම වචනයක් වත් නොකියා පැත්තකට වී බලා සිටියෙමි.   උගේ බැනිල්ලට ගෑණු ටික බයවෙලාය, ලලනි හිමිහිට මට කතාකලාය.

ගණන් ගන්න එපා අනේ, දැන් එයාට හරියට කේන්ති යනවා !

මම මොනවා හරි කියා ආයෙම ගෝරිය වැඩිවෙයි කියා ලලනිට බය හිතිලාය, වෙරිවෙච්ච එකෙක් බැන්නාට මට කිසිම ගණනක් නැත, වෙරි උන උන් බයිට් කරන්නට ගිහිං මම බැණුම් අසා ඇත්තේ අදක ඊයෙක නොවේ.  ගෑණු ඒවා දන්නේ නැත, එඩ්ඩාත්,ගුණේත් එරික්ට යාප්පුවෙන් කතාකර පැත්තකට ඇදගෙන යද්දිත් එරික් කියවයි.

උඹේ ලොකුකම මට පෙන්නන්න එන්න එපා,  මට ඔය එකෙක්වත් ලොකු නෑ  තේරුණාද?  වරෙන් මම උඹට නාන හැටි කියල දෙන්න, මොකද පස්ස ගහන්නෙ?

ස්වප්නා බයවෙලා ඉන්නේ එරික්ගේ බැනිල්ලට මම හිත නරක්කර ගනී කියලාය.   ඇය බීතවී මගේ දිහා බලාගෙන ඉන්නේ ඒ නිසාය.

මේකට යකා වැහිලද මංදා?  ස්වප්නා කියයි.

වැඩේ ඔය විදියට ඇදී යද්දී කෑමට ආරාධනා ලැබුණි.  එරික්ට කෑම තියෙන තැනට ගියත් බෙදා ගන්නට බැරිය.   ඒ නිසා ඌ මේසයක  වාඩිකර ලලනි කෑම පිඟානක් බෙදා ගෙනැත් දුන්නාය.  කෑම එක උඩින් පල්ලෙන් අත ගෑ එරික් ටිකකින් කෑම පිඟානේ මුහුණ ඔබාගෙන නිදි කිරන්නට විය.   වෙරි බහින්නට අයිස්ක්‍රීම් දෙක තුනක් කවමු කියා ගුණේ කියපු නිසා ගෙනැත් දුන් අයිස්ක්‍රීම් එරික් ඇඟේ හලාගත්තේය.  කොහොම නමුත් අයිස්ක්‍රීම් දෙකක් විතර කවාගන්නට පුළුවන් වුණේ හත අටක් හැලුවාට පසුවය.   ඊට පසු එරික් ට පුටුවේ නිදාගන්නට ඇර අපිත් කෑමට ගියෙමු.    මඟුල ගෙදර තිබුණත් කෑම සපයා තිබුණේ කේටරින් සර්විස් එකකිනි. 

කේටරින් සර්විස් වලින් දෙන කෑම ඔක්කොම එකම රස බව මා මෙන්ම කේටරින් සර්විස් කෑම කා ඇති හැමෝම දන්න කාරණයක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත.   කේටරින් සර්විස්වලින් දෙන කෑමවල තියෙන චිකන්ද, මාළුද, පරිප්පුද, කජුද, බටු මෝජුද, ඉස්සෝද,කට්ලට්ද  ආදී මෙකී නොකී කෑම සියල්ලම එකම රසය.   ඒ නිසා හැමදේම බෙදාගෙන බලාපොරොත්තු කඩ කරගන්නවාට වඩා එක දෙයක් බෙදාගෙන කන එක හොඳ බව මගේ පුද්ගලික අත්දැකීමයි .    ඒ කොහොමද කිව්වොත් බතුත් පරිප්පු ටිකකුත් බෙදාගෙන කෑමය.   අවශ්‍ය නම් පපඩම් කෑලි කීපයක්ද, සැරක් වගේ උවමනා නම් මැලේ අච්චාරුවෙන් ළූණු සහ මිරිස් ස්වල්පයක්ද  එකතුකර ගත හැකිය.    අපි කට්ටිය පෝලිමේ ටික වෙලාවක් ගතකර කෑම බෙදාගෙන කන්නට එනවිට එරික් පුටුවක ඉඳගෙන වටපිට බලමින් සිටියේය.   මම උගේ ලඟින්ම වාඩිවී කන්නට පටන් ගත්තෙමි, ඌට දැන් අර කළින් බැනපුවා මොකුත් මතක නැත, මගෙත් එක්ක සුහදව කතා කරයි.

බලපංකො මුන් කියන සිංදු, මෙලෝ රහක් නෑනෙ බං!

එරික් කියන්නේ සංගීත කණ්ඩායම ගැනය.  මගෙත් ලැජ්ජ නැතිකමට ආයෙම කට ඉස්සර විය.

ඉතිං බල බලා ඉන්නෙ නැතුව ගිහිං කිව්වනං හරිනෙ!

මම බලා හිටියේ ආයෙම මූ මට බනින තුරු වුණත් පුදුමයකට වගේ එරික් මගේ කීම හිස් මුදුනෙන් පිළිගෙන සංගීත කණ්ඩායම පැත්තට ගියේ කැපිච්ච පණුවන් සේ ඇඹරෙමින් දඟලමින් නටන කොල්ලන් අතරිනි.    ස්ටේජ් එක ඉස්සරහට ගිය එරික් අත දික්කරමින් සංගීත කණ්ඩායමට මොනවාදෝ කියනු පෙනිණි.   ඈත ඉන්න නිසා එරික් කියනදේ අපට ඇහෙන්නේ නැත, ඌ ආපහු ආවේ සිනාවකින් මුව පුරවාගෙනය.   

තවත් ටික වෙලාවක් මඟුල් ගෙදර ගතකර චන්දරේගෙන් සමුගෙන අපි ආපහු ආවේ ගියා වගේම සුහද සිතිනි.  ඔය ඉහතින් කියා ඇති කතාව මම ස්වප්නාට කීවේ ආපහු එද්දී කතාකළ පැරණි රසාංග අතරේ ස්වප්නා කියූ නෝක්කාඩුවකට පිළිතුරු වශයෙනි.   ඇගේ ස්වරයේ වුයේ එදා අපි වෙන් නොවුණා නම් අද මේ ගමන මීට වඩා රසවත් වෙන්නට තිබුණා නොවේද වැන්නක් බව මට වැටහිණි.    කරගත් මඟුල ගැන ශෝකයක්ද ඇගේ වතේ තැවරී තිබුණු බව මට පෙනුණත් මම ඒ ගැන වැඩිදුර කතා කරන්නට නොගියේ දැන් ඒ පරණ දේවල් ගැන කතාකර කිසිම පළක් ප්‍රයෝජනයක් නැති හේතුවෙනි.

මඟුල් ගෙදර ඉවරවී දවස් තුන හතරකින් චන්දරේ මට කතාකළේය. 

අනේ මචං, එදා මට උඹල ගැන බලන්නවත් වෙලාවක් තිබ්බෙ නෑනෙ! හරියට කන්න බොන්න වත් ලැබුණද දන්නෙ නෑ, කොහෙද මට එක තැනක ඉන්න බැරි තරමට වැඩ ගොඩ !

ඒව හරි බං, දන්නවනෙ උඹේ ගෙදර අපි ආගිය නැති තැනක් යැ! 

කියන්නට උවමනා උනත් මම චන්දරේට නොකියූ කාරණය වුණේ මඟුල ගෙදර ගත්තා වගේම කෑම ටිකත් ගෙදරම හැදුවානම් කොච්චර හොඳද කියලාය.    ගෙවල් වල ගන්න මඟුල් ගැන කියද්දී මට මතක් වෙන්නේ ගුණේගේ අයියාගේ මඟුලයි.  ඒ මීට බොහෝ කාලයකට පෙර අපි කණ්ඩායමක් වශයෙන් ගිය පළවෙනි මඟුල හැටියට මගෙ හිතේ සටහන් වී ඇත.   කතාව මෙතැන ලිව්වොත් පෝස්ටුව දිග වැඩිවන නිසා ආයෙම ලියන කතා ගොඩට දමන්නට සිතුවෙමි෴

Monday, February 5, 2018

රස්තියාදු ගැසීම, කොළ කැඳ, දෙල්, කළුවාමෝදර අවුරුදු උත්සවය, බිරියානි සහ ඩැනිස් ගේ සොමිය.


අපි කොල්ලො කාලෙ වැඩිපුරම රස්තියාදු ගැහුවේ පොඩි මහින්දලගේ කඩේය.   හරියටම කිව්වොත් පොඩි මහින්දලගෙ ගෙදරය.     මුලින් මුලින් ඇල්බීනු මුදලාලිගේ කඩේ ළඟ රස්තියාදු වුනු අපි කණ්ඩායමම පොඩි මහින්ද කඩේ පටන්ගත්තාට පසුව එතැනට සේන්දු වුණේ කඩේටත් වඩා පොඩි මහින්දලගෙ ගෙදර ඉස්සරහ කාමරේ කුලියට අරගෙන පදිංචිවී රෙදි මෝලේ වැඩට ගිය ඩැනිස් නිසාය.   අපට ඒ ගෙදර අපේ ගෙදර වගේ හැසිරෙන්නට ඉඩකඩ තිබුණේ ගෙදර හිටියේ අම්මාත් තාත්තාත් පොඩි මහින්දත් පමණක් නිසාවෙනි.    ඩැනිස්ගේ කාමරයේ කොල්ලන් පිරී නොහිටියේ ඔහු වැඩට ගිය වෙලාවට විතරය.    අපිට වඩා දෙගුණයක් වයස වගේම දරු තුන්දෙනෙක් ඉන්න පවුල් කාරයෙක් උනත් ඩැනිස් එක්ක අපි ඇසුරු කළේ සම වයසේ යාළුවන් වගේය.    අහළ පහළ ගස්වල වැල වරකා ඉදී තිබුණොත් ඒවා බාගෙන කාමරේට ගෙනැත් කෑම, අලවත්තෙන් අන්නාසි කඩාගෙන ඇවිත් කෑම, රෑට හොර කුරුම්බා කඩාගෙන ඇවිත් බීම ආදිය අපි දිනපතාම වගේ කරපු දේවල්ය.    ඩැනිස් උදේට ගෙදර ඉන්න දවස්වල කට්ටිය එකතුවී චූඩා ගේ ගහෙන් දෙල් කඩා තම්බාගෙන කන එක තවත් වැඩකි.    දෙල් තම්බන්නේ ඩැනිස්ය, දෙල් කැඩුවායින් පසුව ඩැනිස් දෙල් පොතු අරින්නේ පිත්තල හැන්දකින් සුරලාය.   සුද්ද කර කෑලි කපාගන්නා දෙල් මුට්ටියේ දමා තම්බා ගත් පසු වතුර පෙරා දිය වේලෙන්නට ඇර පොල් ගෙඩියක් ගා මුට්ටියට දමා කූරු ගා කලවම් කරගන්නා ඩැනිස් කොච්චි ලුණුමිරිසක්ද හදයි.    ඒ විදියට හදන දෙල් හරිම රසය, සමහර දවස්වලට කොළ කැඳ හදයි.    අලවත්තෙන් කොළ ජාති එකතු කරගෙන එන අපි පොල් ගෙඩියකුත් ගල් කරගෙන එන්නට අමතක කරන්නේ නැත.   රතුහාල් ටිකක් ලිප තබා කොළ ටික වනේ කොටා ඉස්ම ගෙන පොල් කිරිද දමා ලොකු මුට්ටියක හදන කොළ කැඳ හැලිය හරිම ප්‍රණීතය.

හැබැයි ඩැනිස් රෑට බීගත්තොත් නම් වනයකි, නිකම් වනයක් නොවැ සාල වනයකි.    ඒ වේලාවට අපි කරන්නේ සිංදු කියන එකය, නැත්නම් ඩැනිස් කියවන්නට පටන් ගනී.    ඔහුගේ කියවිල්ලට අහු උන එකාට බේරීමක් නම් නැත.    ඉස්සර මැරතන් දුවපු කාලේ වෙච්ච දේවල් කියවන්නේ ළඟ ඉන්න එකාගේ ඇඟට ඇන ඇනය.    කියවිල්ල ඉවර වෙද්දී ළඟ හිටපු අහිංසකයාගේ ඉල ඇටවලට පත්තු බඳින්න තරමට කැක්කුමය.   ඒ. නිසා හොඳම දේ සිංදු පටන් ගන්නා එකය, සිංදු කියන්නේද ඩැනිස් මය.    මාතලන් චිත්‍රපටයේ පරණ සිංදු වලින් පටන් ගන්නා බජව්ව ඉවර වෙන්නේ මහ රෑ ජාමයේ ඩැනිස් ගේ වෙරිමත හිඳුනු වෙලාවටය.   ඒ වෙනතෙක් කාටවත් යන්නට අවසර නැත, ගියොත් ගෝරි දමයි.    ඩැනිස් ගේ ගෝරි ගැන මට තව කතාවක් මතක්වේ.    ඒ කතාව මීට කළින් පෝස්ටුවකද මා ලියා ඇති බව මතකය.   කතාව මෙහෙමය.

එක සිංහල අලුත් අවුරුද්දක මම කළුවාමෝදර ඩැනිස්ලගේ ගමට ගියේ ඩැනිස් ගේ ආරාධනයෙනි.    මට අමතරව ගුරාද උගේ යාළුවාවූ මොහොමඩ් ද අවුරුදු කන්නට කළුවාමෝදර ඇවිත් සිටියෝය.   උදේ අවුරුදු කෑමෙන් පසුව අපි අවුරුදු උත්සවය බලන්නට ගියෙමු.    ඩැනිස් අවුරුදු උත්සවයේ ප්‍රධාන සංවිධායකයෙකි.   තරඟ පවත්වා තෑගී බෙදාදී ඉවර වන විට රෑ බෝ විය.   අවුරුදු උත්සවයේ සංවිධායකයෙක් හා ගමේ හොඳ දළකාරයෙක් වූ මහරාජා අවුරුදු උත්සවය සංවිධානය කළ සියල්ලන්ටම බොන්න බෝතල්ද කන්නට බිරියානි ද අලුත්ගමින් ගෙන්නෙව්වේය.    බෝතල් පාටිය ඉවරවුණේ මහ රෑ වෙද්දීය, ඩැනිස් හොඳ පදමටම බීගෙන කියවන්නට පටන්ගෙන සිටි නිසා ගෙදර ගිහිං කන්නට බිරියානි පාර්සල් ටිකද අරගෙන වදෙන් පොරෙන් ඩැනිස්ද කැමති කරවාගෙන ගෙදර එන්නට පිටත් වුණෙමු.     වෙලාව මහ රෑ දොළහත් පහුවී ඇති නිසා හොඳටම බඩගිනිය, මට උවමනා උනේ ඉක්මනට ගෙදර ගිහිං රෑට කන්නටය.    මමත් ඩැනිසුත් ඉස්සරහින් ගිය අතර ගුරාත් මොහොමඩුත් ආවේ අපට පිටුපසිනි.   අපි ගියේ කැලෑ පාරකිනි, පාර අයිනෙන් අකුළෙන් වැසුණු ඇළක් ගලායයි.    ඩැනිස් ලවුස්පීකරයක් දැම්මාසේ ගමටම ඇහෙන්නට කියවමින් එද්දී මම වචනයක් වත් කතා නොකර ගියේ වචනයක් වැරදුණොත් හෙම පුතයාගේ හැටි දන්නා නිසාය.   මගේ නිහඬතාව ගැනද ඩැනිස් සමහර විට කියයි.

මොකද උඹ ගොළුවෙක් වගේ සද්ද නැතුව යන්නෙ? කටේ පිට්ටුද?

ඒ උනාට කතා කරන්නට බැරිය, සමහර විට මම මෙහෙම කිව්වාය කියා සිතමු.

හරි කරුවලයි නේද?

කොක්කක් නැතිව කොක්කක් සොයමින් යන ඩැනිස්ට ඒ හොඳටම ඇතිය.   ඔහු වහාම මට මෙසේ ප්‍රතිචාර දක්වනු ඇත.

ඈ යකෝ, රෑ උනාම කරුවල වෙන්නෙ නැතුව එළිය එනවද? තොපේ ගමේ රෑට එළියද? නිකං බොරු සෝබන දාන්න එනවා මෙතන, ඉඳපිය තොගෙ පුච්චානම් යන්න හොඳ වැඩක් කරන්න!

කියා පුකට පයින් පාරක් දී ඇළට තල්ලු කරන්නටද බැරි නැත.    මම සද්දෙ වහගෙනම ගමන් කළෙමි.    පස්සෙන් එන ගුරා මොහොමඩ් එක්ක රණ්ඩු වෙන්නට පටන් ගත්තේ ඔය අල්ල පනල්ලේ ය.   උන් දෙන්නා බැන ගන්නේ දෙමළෙන් නිසා අපිට උන් කියන මෙලෝ දෙයක් නොතේරේ.     ඩැනිස් හොඳ පරීක්ෂාවෙන් දෙන්නාගේ රණ්ඩුවට කන් දීගෙනම යන්නේ කොච්චර ඇඟ නලියෑවත් රණ්ඩුවට මැදිහත් වෙන්නට භාෂාව නොදන්නාකමට නිසා මිසක උවමනාව නැති නිසා නොවේ.    එකපාරටම චකස් ගා සද්දයක් ඇහුණේ මේ අතරය, සමහර විට ඇළ ඉවුරේ සිටි ගෙම්බෙක් ඇළට පනින්නට ඇත.    වහාම ආපහු හැරුණු ඩැනිස් රණ්ඩු වෙන දෙන්නා ලඟට දිව ගියේ අට්ටාලෙට නැගපු වෙසමුනියා සේ මාරාවේෂයෙනි.

ඈ බොල තෝ යාළුවට ගැහුව නේද? 

අතේ තිබුණු බිරියානි පාර්සලය ඇළට විසිකළ ඩැනිස් ගුරාගේ බෙල්ලෙන් අල්ලාගෙන හොලවයි.    එක පාරටම කඩා වැටුණු මේ හෙණගෙඩිය මොකක්ද කියා අදහා ගන්නටවත් බැරිව ගුරාත් මොහොමඩුත් බීතවී බලා සිටිති.

තෝ දැනගන්, තොගෙ යාළුවා උනාට තෝත් එක්ක ආවට ඌ දැන් ඉන්නෙ මගෙ ගමේ, මගෙ ගෙදර.  යකෝ  මගෙ ගෙදර ඉන්න එකාට ගහන්න තෝ කවුද?

 මට ගෙහුවෙ නෑ අයියෙ! 

මොහොමඩ් වෙවුලමින් කියයි.   ඒ ගමන ඩැනිස් ගුරාව අතහැර මොහොමඩ්ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය.

ආ! තෝ යාළුවව සුද්ද කරන්න එනවද? මට බොරු කරන්න තොපිට බෑ දැනගනියව්, තොපි දෙන්න නෙවෙයි මේ කළුවාමෝදර එකෙකුටවත් මට පාට් දාන්න බෑ බොලව්, තොපි නටන්නෙ මේ ඩැනිස්ගෙ හැටි දන්නැතුවයි, තොපිත් එක්ක තිබුණු යාළුකම් අදින් ඉවරයි, ආයෙ උඹල නෙවෙයි මේ කළුවාමෝදර එන්නෙ.  ඩැනිස්ගෙ ගෙදරින් බත් කාල ඉවරයි කියල හිතාගනියව්! තොපි නැතුවට මට ඕනෑ තරං යාළුවො එහෙ ඉන්නවා. තොපි වගේ හාල් පාරුවො නෙවෙයි දන්නවද උන් හොඳ කොල්ලො! තව මුංට බුරියානිත් කවන්න හුහ්!

කියූ ඩැනිස් මුලින්ම මොහොමඩ් අතේ තිබුණු බිරියානි පාර්සලයද ඊළඟට ගුරා අතේ තිබ්බ පාර්සලයද උදුරා ඇළට විසිකර ආපහු යන්නට හැරෙන විට දැක්කේ බිරියානි පාර්සලයත් තුරුළු කරගෙන සිටි මාවය.

ආ ! තෝද ?  සද්ද නැතුව ඉන්නකොට මම දැනගෙන හිටිය තෝ යටිකුට්ටුවෙක් කියල.  මුං දෙන්නව කොටෝල හොඳ එකා වගේ ඉන්නව මෙතන. තොට බෑ මාව තම්බන්න ගං ඕකත් මෙහාට !

කියූ ඩැනිස් මගේ අතේ තිබු බිරියානි පාර්සලයද උදුරා ඇළට විසිකළේය.   පාර්සලය මගේ අතේ තිබුණත් ඇලේ තිබුණත් වෙනසක් නැත්තේ හතර දෙනෙකුට එක කෑම පාර්සලයකින් වැඩක් නැති නිසාය.   කෑම ටික ඔක්කොම ඇළට පුජා කළ ඩැනිස් තනියම ආපහු ගෙදර යන්නට හැරුණේ අපට බලු බැණුම් බැන වදිමිනි.

දැන් මම ගෙදර ගිහිං තොපි තුන් දෙනාගෙම ඇඳුම් අල්ලල එළියට විසිකරනවා.  ඕනෑ තැනක පලයව්,  තොපිට  ගැහුවෙ නැත්තෙ ගමට ආපු බල්ලෙකුටවත් මම ගහන්නෙ නැති හිංදා! ඒ වගේ ජරා වැඩ මං කරන්නෙ නෑ, උඹලට තේරුණාද?  ඕනෑ තැනක ගිහිං බුදිය ගනිව් හැබැයි මගෙ ගෙදරට එන්න බෑ!

මහ රෑ කරුවලේ යන්නටත් තැනක් නැති නිසා අපි තුන්දෙනාද ඩැනිස් පස්සෙන් හිමිහිට ගෙදරටම යාගත්තෙමු.    ඩැනිස් ගේ බිරිඳ හෙවත් අක්කා කරුණාවන්ත කාන්තාවකි.   ඇඳුම් පොඩිකරගෙන ඇඟේ මඩ ගාගෙන එන අපි දුටුව ඇය වෙලා තියෙන දේ තේරුම් ගන්නට ඇත.   අක්කා ඩැනිස්ව ඉක්මනට ඇඳට දැම්මාය.  ඇඳට වැටී ටික වෙලාවකින් ඩැනිස් ගොරවන්නට විය.   ඇල් වතුර ටිකක් බීපු අපිද බඩගින්නේම නින්දට ගියෙමු.   

පහුවදා උදේ අපිට ඇහැරුණේ ඩැනිස් ගේ සද්දෙටය.  ඒ වෙනකොට හොඳටම එළිය වැටිලාය.

හා හා නැගිටපල්ල නැගිටපල්ලා! හොඳටම දවල් වුණා ඉන්න බෑ බඩගිනියි, ඉක්මනට මුණ කට හෝදගෙන ලෑස්ති වෙයල්ලා, කොහෙද ඊයෙ රෑට කන්නවත් හම්බුනායැ!

අපි සුදානම් වූ පසු ඩැනිස් අපිවත් වාහනේ දාගෙන අලුත්ගම ටවුමට එක්කරගෙන ගොස් උදේට ජයටම කෑම කන්නට අරං දුන්නේය.   ආපහු ගෙදර ඇවිත් තුන් දෙනාටම ටී ෂර්ට් ද තොප්පිද දුන්නේය.  කළින් දා රෑ වෙච්ච සිද්දිය ගැන ඩැනිස් කීවේ,

අමතක කරල දාපල්ලා, ගමේ වැඩක්නෙ! කියාය.  එදා හවස අපි ආපහු ගමේ ආවේ ඩැනිස් ද එක්කරගෙනය.   

තවත් අවුරුද්දක් විතර රෙදි මෝලේ වැඩකරපු ඩැනිස් රස්සාවෙන් අයින්වී ආපහු ගමට ගිහිං ටුවරිසම් කරන්නට පටන් ගත්තේය.   ඒ ටුවරිසම් හොඳටම නැගලා ගිය කාලය නිසා ඩැනිස් අතේ යහමින් සල්ලි ගැවසෙන්නට විය.   වැඩි කලක් යන්නට පෙර ගාලු පාරේ මුහුද පැත්තට වෙන්නට තිබුණු ඔවුන්ගේ ඉඩමක  ඩැනිස් අලුත් ගෙයක් හදා පවුල පිටින්ම පදිංචියට ගියේය.    තව අලුත් වාහනයක්ද ටුවරිසම් වලට දැම්මේය.  ඒ වන විට ඩැනිස් දරුවන් පස් දෙනෙකුගේ පියෙකි.    මේ කාලය වනවිට මමද රස්සාවට යමින් සිටි නිසා කළින් වගේ ඩැනිස් ගේ සොමිය නිතරම ගන්නට ලැබුණේ නැත.    ඩැනිස් ද අපේ ගමට ආවේ මඟුලක් මරණයක් වැනි අත්‍යාවශ්‍ය කටයුත්තකට පමණය.   ඩැනිස් ගේ ගෙදර කටයුත්තක දී අපිත් නොවරදවාම කළුවාමෝදර ගියෙමු෴

(ලියන්නට හිටියේ වෙන කතාවක් නමුත් ලියැවුණේ අමුතුම කතාවකි.  ඩැනිස් ගේ සොමිය තවදුරටත් ලියන්නට ඇති නිසා තවත් කොටසකට කල් තබමි)