Sunday, September 28, 2014

සාහිත්‍ය උත්සවය කරුමක්කාර කතාවක් සඳැස් සහ නිසඳැස්



අපි එදා සාහිත්‍ය උත්සවයට  හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල චෙන්නායි ගියා වගේ මතකයි නේද?මේ ගෙවිල යන සාහිත්‍ය මාසෙ ඒ කතාවෙ කොටේ  ලිව්ව නං හොඳයි නේද කියල මට නිකමට වගේ හිතුණා.කොටේ කියල කිව්වෙ ඉතුරු ටිකට,අපි කියන්නෙ එහෙමනෙ. ඔන්න මම ගෙදර ඉන්නකොට කවුරුහරි යාලුවෙක් ඇවිත් කැරකි කැරකි ඉඳල එහෙම මගේ දිහා හොරෙන් වගේ බලල මට මචං කියල කියන්න ඇහැකි සමකාලීන යාලුවෙක් නං,

කොටයක්වත් නැද්ද බං...

කියල අහනව,මට වැඩිය ගොඩක් වයසින් අඩු නමුත් යාළුවො වගේ ආශ්‍රය කරන එකෙක් නං,

කොටයක් එහෙම නැද්ද අයියෙ...

කියල අහනවා,වැඩේ කියන්නෙ වැඩිහරියක්ම ඉන්නෙ ඔය දෙවෙනියට කියපු වර්ගයෙ යාළුවො.මුල් වර්ගෙ යාළුවො බොහොම අඩුයි,අබේ කියන්නෙ මට හිටපු ඔය මුල් වර්ගයෙ යාලුවෙක්.පොඩි කාලෙ ගමේ එකට සෙල්ලං කරපු එකට ටවුමෙ ක්ලාස් ගියපු එකට රස්තියාදු ගහපු හිත හොඳ කොල්ලෙක් වෙච්ච අබේගේ ජීවිතේ පසුකාලීනව එකම ඛෙදාන්තයක් වුනා.ඒ කියන්නෙ සමකාලීන යාළුවො ඔක්කොම පාහේ රස්සාවල් වලට යද්දි අබේ අංගොඩ පිස්සන් කොටුවට ගියා.ඒ අසූ ගණන්වල මුල, එදා ඉඳල පහුගිය අවුරුද්දෙ සදහටම මෙලොව හැරයන තුරුම ඔහුට පිස්සුවත් එක්කම ජීවත් වෙන්නට සිදුවුනා.සැරෙන් සැරේ පිස්සු හොඳවෙලා ගෙදර ආවත් මාසයක් වත් ඉන්න ලැබෙන්නෙ නෑ ආපහු පිස්සු තදවෙලා ඉස්පිරිතාලෙ යන්න වෙනවා. අබේගෙ මුළු ජීවිත කාලෙම ගෙවුනෙ ඔය ආකාරයටයි.මොනව කරන්නද පෙර කරුමයක් වෙන්න ඇති.

කරුමයක් කියපුවම මට මතක්වුනේ ගාමිණී වියන්ගොඩ පරිවර්තනය කළ ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් ගෙ "කරුමක්කාර කතාවක්" පොත.මම කියවල තියෙන ඉතාම රසවත් ඒ වගේම ඉතාම අනුවේදනීය පොතක්.මේ සාහිත්‍ය මාසෙ ඒ පොත ගැන ඔයගොල්ලන්ට මතක් කරන්නට ලැබීමත් සතුටක්.පොත ගැන මතක්කලාට ලියන්න මතකක් නෑ. ඒ හින්ද දවස් දෙකක් පොත හෙව්වා.හොයාගෙන ඊයෙ හවස කියෙව්වා.ඔය පොත මම කී වාරයක් කියවල ඇද්ද.ඒත් ආයෙම කියවද්දි පළවෙනි සැරේට කියවනව වගේ අලුත් මානයන් පෙනෙන්න ගන්නව.පොතෙන් කොටස් කීපයක් උපුටල දක්වන්නත් හිතුණාත් එහෙම කරන්නට අමාරුයි.මොකද එහෙම ලියන්නට ගියොත් මුළු පොතම ලියන්නට වෙනවා ඒ තරං රසවත්.කොහොම උනත් පොතේ කතානායකයා වුන සන්තියාගෝ නසාර් ගැනත් බයාදෝ සැන් රොමාන් හා ඇන්ජලා විකාරියෝ ගැනත් පුදුමාකාර දුකක් කනගාටුවක් ඇතිවන්නේ ඒ තුන්දෙනාම  මේ කතාවෙ වින්දිතයෝ නිසාම නොවෙයි.හරියටම බැලුවොත් කතාවෙ චරිත සියල්ලම පාහේ වින්දිතයනුයි.කරුමක්කාර කතාවක් කියවල ඇතිවුන හිතේ අමාරුව නිවා ගන්නත් එක්ක මම වෙන පොතක් අරං කියෙව්වා.

ඒ පොත වී ඩී ද ලැනරෝල් මහතාගේ "හපන්කම් මෝඩකම් සහ පුරසාරම්" කියන රසවත් පොතයි.වී ඩී ද ලැනරෝල් මහතා ගැන හෝ ඔහු විසින් ලියන ලද පොත් ගැන කිසිම  කතාබහක් බ්ලොග් අවකාශයේ මෙතෙක් ඇතිවී නැති නිසා මුලින්ම එතුමන් ගැන හැඳින්වීමක් කළොත් වටිනවා කියල මට හිතුණා.ඔහුගේ පොතේ නව මුද්‍රණයේ පුර්විකාවෙන් උපුටාගත් කොටසක් මා මුලින්ම ගෙනඑන්නට කැමතියි.

"පාසල් ගුරුවරයෙකු,කවියෙකු,ලේඛකයෙකු,සඟරා සංස්කාරකවරයෙකු,පුවත්පත් කලාවේදියෙකු හා ජන සමාජයේ අතීත තොරතුරු ගවේෂණයෙහි යෙදුණු සුවිශේෂ පුද්ගලයෙකු වශයෙන්ද වික්ටර් දුකී ද ලැනරෝල් සුරීන් අතිවිශේෂ මෙහෙයක් ඉටුකොට තිබෙන බව එතුමන්ගේ ජීවන තොරතුරු දෙස නිරීක්ෂණයෙහි යෙදෙන්නකුට ඉඳුරා පෙනෙන සත්‍යයකි.
ඩී ඩබ්ලිව් වික්‍රමාරච්චි සූරීන් මුල්ම පත්‍රකලා ගුරුවරයෙකු වශයෙන් දස්කම් දක්වන යුගයේ දී ලේඛන කලාවට පිවිසි ලැනරෝල් සූරීහු දිනමිණේ මාර්ටින් වික්‍රමසිංහ,සිළුමිණේ පියසේන නිශ්ශංක,සිංහල බෞද්ධයා හි හේමපාල මුනිදාස සමග විද්වත් භාෂා විශාරද කුමාරතුංග මුනිදාස වැනි විශාරදයින් සමග උරෙනුර ගැටෙමින් සිය ලේඛනයෙන් පාඨක-ලේඛක ප්‍රසාදයට පාත්‍ර වූහ."

සඳැස් කවියෙහි මහත් සූරකම් දැක්වූ ලැනරෝල් සූරීන් ලයු කවිවල බොහෝවිට මුල අග යන දෙතැන්හිම මනාව එළිසමය රැක ඇති ආකාරය ඔහුගේ පොතේ ඇති කවි කීපයකින්ම උදාහරණ ලෙස පෙන්වන්නට පුළුවනි.

"මා විසින් මේ කවි ලියන ලද්දේ 1910 යේ මා සොළොස් වියෙහි සිටියදීය.ඒ කාලයේ කවරෙකුට වුවත් මා ලියුමක් ලියන්නේ කවියෙන්ම ය.මේ නොබෝදා ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ මහා නායක පදවියට පත්වී වදාළ එවකට සාමණේර නමක්වූ කලුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ට යවන ලද ලියුමක ඇතුළත් කවිවලින් කීපයක් මෙසේය.

වනසේකර සුසැදු සුහද සොමි ගුණ මන නන්           දා
පණසේකර සුරැඳු නොමඳ සිල් මුතු මිණි කන්          දා
පැණසේකර පැලඳු නිබඳ මුදුන අවිදු      සින්            දා
පැණසේකර සමිඳු සැරද විදු සඳ කොඳ නන්             දා 

සසුන් නියා පැවිදිව සෙව් නිවන්  අ                         ගී
නුසුන් දයා ලෙව්හට සෙව් සදම්   ම                        ගී
හසුන් පියා එව් සමිඳුනි ඔබ        සුලැ                     ගී
කසුන් තියා කිව්වොත් ඊටත්      අන                      ගී

සඟරා හසුන් ලැබ සැබැවින් තොස් වී                    මී
තියුරා එයින් ඔබ මොබ රැව් දෙයි සේ                    මී
අදරා ගුණෙන් ඔබ සුව මන් රැඳි      දෑ                   මී
මෙවරා මමන් පොබ පොබ වී හිත  කා                  මී

මීසරි ලකර සඳ තොරතුරු ගැන     ආ                   ල
පාහැරී දුසිරි අබිමන් නොවමින්      කෝ               ල
බෝමිරි සතර සැල වික්ටර් මම්       බා                  ල
වී පිරි පතර මෙ හසුන් එව්වෙමි      ලෝ                ල

ඒ කාලයේ කවි ලියන්නන් විසින් හපන්කමක් ලෙස සලකන ලද කවියකට එළි වැට ගණනක් තැබීමේ සිරිතට මාද වාල් වීමෙන් මේ කව් කොතරම් අර්ථ රසයෙන් පිරිහී ඇතිදැයි සලකා ගත හැකිය.වර්තමාන කවි ලියන්නන් එළි වැට ගැන වැඩිපුර නොසලකා කවියෙහි අර්ථ රසය ගැන සැලකුම ප්‍රශංසනීය බව කිව යුතුය.
එහෙත් එක්තරා උගතුන් පිරිසක් විසින් අලුත් කවි සම්ප්‍රදායක් ලෙස දැනට පළකර ගෙන යන නිසඳැස් කවි හෙවත් පැලලි කවි සම්බන්ධයෙන් නම් එබඳු ප්‍රශංසාවක් කිරීමට ඉඩක් නැත්තේය.මේවාත් කවි නම් අපේ ගම්වල වෙද මහත්තැන් ලියන කසාය සීට්ටුවද නිසඳැස් කවි ලෙස සැලකීමෙහි වරදක් නැත."

ලැනරෝල් සූරීන් එසේ කීවත් නිසඳැස් කවියෙහි ආරම්භකයා ලෙස සැලකෙන ජී බී සේනානායකයන් මුල් යුගයේ ලියු අපූරු නිසඳැසක් මගේ මතකයට නැගෙනවා.

හිස නවාගති ඈ
සිහින් රතැඟිලි පටලවාගති
සතියකට පෙර ගෙනාවර
විළිබරය මගෙ රන්වන් මනාලිය.

ජී බීසේනානායකයන් මේ කුඩා කවට යොදාගෙන ඇති ප්‍රබල රූපක හේතුවෙන් මනාලියගේ රුව පාඨකයාගේ සිත් තුල සිත්තම් වෙනවා.
 
ඒ වගේම වී ඩී ද ලැනරෝල් සූරීන්ගේ සමකාලීන ගත්කරුවෙක්වූ පියදාස සිරිසේන මහතා 1929 දී ප්‍රකාශයට පත්කළ "චින්තා මාණික්‍ය රත්නය" පොතෙන් උපුටාගත් කව් කිහිපයක් මෙහි ගෙනහැර දක්වන්නේ මේ කව් හා ලැනරෝල් සුරීන් ලියු කව් දෙආරක් වුවද මනාසේ එළිසමය රැකගැනීමට ගෙන ඇති  ආයාසය ඔබට පෙන්වීමටයි.

"සේ සත    සඳ කිරණ කිරණෙව් යස දිමු             ත
ලෝනෙත      සසුන් සුරකින නිතර දිවි යු            ත
දී අත      රාජසිහ කුමරුන් කළ සම                    ත
මාඉත      කඳ සුරිඳු සැරදේ මුළු දිය                    ත

උතු මග සුසැදු සිරිපා මුනිඳු සමතැ                       ස
මතු  ලක් සසුන් වැඩුමට සිතැති අදහ                   ස
කතු සඳ දෑ පතර සිරිසෙන් නමැති ර                    ස
සිතු මිණි රුවන කෙළෙ සිය දන වැඩ පිණි           ස "

සඳැස් සහ නිසඳැස් දෙ ආරම අතැඹුලක් සේ ප්‍රගුණ කොට වචන වලින් මහත් විස්කම් පෑ තවත් කලාකරුවෙක් වන මහගම සේකරයන් මෙහිදී නිතැතින්ම මගේ මතකයට නැගෙනවා.ඔහු සිය මව ගැන ලියු අමරණීය නිසඳැසක් මේ...

ඇවිද ලඳු දෙණි  කැලෑ බිම්වල 
රැගෙනවිත් තුන්හිරිය පන්කොළ 
යොදා කුකුළු සායම් රතු හා කොළ 
වියා නෙක් විසිතුරු රටා පැදුරු 
මේ මහා විශ්වයම රටාවක් බව
මට කියාදුන් අම්මා ඔබය.

අඬනවිට මා කුඩා අවදියෙහි බඩගිනිව 
තම්බා බතල දළු 
පොල්ගා මුසුකොට කවා 
බඩගිනි නිවු අම්මා ඔබය 

ගල්වා හිසෙහි තෙල් යහමින් 
එල්ලා කරෙහි පංචායුදය 
අල්ලාගෙන අතින් මා 
පාසැලට රැගෙන ගිය 
අකුරු නුගත් අම්මා ඔබය. 

සේකරයන් සිය බිරිඳ ගැන ලියු සඳැස් කවි දෙකක් ... 

පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිඳ  ඔබය 
දුන් පුතුන් ආදරයෙන් රැක බලනා බිරිඳ       ඔබය 
හීන් සීරුවේ මාගැන හෝදිසියෙන් සිටින     ඔබය 
මාත් එක්ක සංසාරේ එකට හිටිය බිරිඳ        ඔබය.

කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා    විට 
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නලවන       විට 
මටත් වඩා මගෙ හිත ඔබ හඳුනන බව දැනෙනා       විට 
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ           මට 

පසුකාලීනව සේකරයන් ලියු නිසඳැස් තුළ අර්ථ රසය මෙන්ම ශබ්ද රසයද නොඅඩුව දකින්නට ලැබුණා.ඔහුගේ නිර්මාණකරණයේ අග්‍ර පලය ලෙස මාදකින "ප්‍රබුද්ධ"කාව්‍ය සංග්‍රහයේ එන නිර්මාණයකින් උදාහරණයක් සපයන්නට පුළුවනි.

බිඳෙන් බිඳෙන් ජලේ 
පයිප්පයෙන් වැටේ 
බෙලෙක්ක ටින් රැගත් 
ළමෝ වටා සිටිත්
කකා කකා කියා 
හඬත්ය කාකයෝ 
ඇසුත් කනුත් පුරා 
නගින්නෙ දුවිළියි 
උඩින් උඩින් දෙපා 
තබා මඩෙන් මිදී 
සුරංගනාවියෝ 
මුඩුක්කුවෙන් බසිත්.

(බෝඩිම හැරෙන්නට සේකරයන්ගේ වෙනත් කාව්‍ය ග්‍රන්ථ මේ අවස්ථාවේ මා සතුව නොතිබූ නිසා ඉහත උපුටා ගැනීම් සියල්ලම මගේ මතකයෙන් සටහන් කළෙමි. එබැවින්  යම් යම් අඩුපාඩු තිබිය හැක.)

බෝඩිම කාව්‍ය ග්‍රන්ථය කියවාගෙන යද්දි මා අපූරු කරුණක් නිරීක්ෂණය කළා.එනම් පොතේ තිබූ නිසඳැස් කීපයක්ම පසුකාලීනව ඉතාම ජනප්‍රිය ගීත බවට පත්වී ඇති බවයි.

මා මිය ගිය දවසක 
සොහොන් කොතේ 
ලියන්න දුක් ගීයක් 
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් 

අඩ සඳ බැස ගෙන යන සඳ 
සීතල අඳුරු රැයක 
රෑහි නගන රැව් අතරින් 
එතකොට ඒ ගී හඬ මට ඇසේවි

මේ ලොව යම් කිසිවෙකු 
මා හට පෙම් කළ බව 
එතකොට ඒ ගී හඬ මට කියාවි.


එතෙක්දවස් මාතුලවූ 
කළකිරීම 
යසෝදරා කුමාරියනි 
දැන සිටියේ ඔබ පමණය 
එයින් මිදෙන මගක් සොයා 
මා නිබඳව 
සිතිවිල්ලෙන් සිටිනා සඳ 
ඔබ මාවෙත දයා සිතින් 
සැනසිලි බස් 
කී හැටි මට සිහිපත් වෙයි

මේ නිසඳැස් කව් දෙකම  මා මළ පසු හා යසෝදරා යනුවෙන් ජනප්‍රිය  ගීත දෙකක් වී ඇති බව අපි සියල්ලන්ම දන්න දෙයක්.ඉතිං ජනප්‍රිය කවියන් ගැනත් කවි ගැනත්  කතාකලා,මේ කතාව කවියෙක් හැටියට කිසිම තැනක් නොලබා නිහඬවම මියගිය සැබෑ කවියෙක් ගැනයි.

මට දුරින් නෑදෑයෙක් වුන මිළී අක්කව විවාහ කරගෙන හිටපු ගුණරත්න අයියා ඈත දකුණේ ගමකින් අපේ පළාතට ඇවිත් තිබුණේ රෙදි මෝලේ රස්සාව කරන්නටයි.ඔහු රෙදිමෝලේ ජල සම්පාදන අංශයේ සේවකයෙක් හැටියට වැඩ කළා.හැන්දෑවට වැඩ ඇරිලා ටවුමෙන් දෙකක් දාගෙන බමරා වගේ අපේ පාරෙන් ගෙදර යන්න එන ගුණරත්න අපට හම්බ උනොත් එහෙම පොත්වල තියෙන කවි සහ  ඔහුගේ නිර්මාණ වන හිටිවන කවිද කියමින් ගෙදර යාමත් අමතක කර දමා පැය ගාණක් අපිත් එක්ක විනෝද වීම පුරුද්දක් හැටියට කළා.

කවි කියමින් රස්තියාදු වීමත් පදමට බීමත් ඇරෙන්නට රස්සාව ගැන කිසිම ඇල්මක් නොදැක්වූ ගුණරත්නට අවවාද කරල බැරිතැන අංශ ප්‍රධානියා ඔහුව වැඩපොළෙන් දුර දීඇල්ලේ ඔයේ ජල පොම්පාගාරයට මාරුකළා.දැන් ඔහුට වෙනදා මෙන් හවසට ගෙදර එන්නට ලැබෙන්නෙවත් හිතු හැටියට බොන්න යන්න ලැබෙන්නෙවත් නැහැ.මාස ගානකින් දකින්නට නොලැබුණු ගුණරත්න හිටපු ගමන් ගමේ ප්‍රාදුර්භූත වෙන්නට ගත්තම මෙච්චර කල් කොහෙ ගිහිං හිටියද කියල අපි ඔහුගෙන් ඇහුවා.

බලන්න මල්ලී, මම හවසට කාලක් ගහල කවියක් දෙකක් කියාගෙන ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ  සතුටෙන් හිටපු මිනිහ, මාව ඔයේ පොම්ප හවුස් එකට මාරුකළානෙ.

ඉතිං එතන  හරි නැද්ද?

හරි නැද්දත් අහනව,කතා කරන්න මනුස්සයෙක් තියා බලු බල්ලෙක් ළඟ පාතක නෑ.කුරුල්ලන්ගෙ කෑ ගැහිල්ලයි වතුර පොම්පෙ සද්දෙයි විතරයි.මං වගේ ජොලියෙන් හිටපු මිනිහෙකුට කරපු මේ අපහාසෙ දරාගන්න පුලුවන්ද?

ෂඃ හෙන අප්සැට් එක තමයි.

මාසයක් ඉවසගෙන හිටිය,ඊට පස්සෙ ගිහිං සර් දැන් මට මාරුවක් දෙන්න කියල පෝමන් මහත්තයට කිව්වා.තව මාසෙකින් ඇවිත් කියනව කියල ඒ මහත්තය කිව්වා.ආයෙම මාසෙකින් ගියා ඒත් වැඩේ හරිගියෙ නෑ.මට හරි කේන්තියි ඊට වැඩියෙ දුකයි, මම කවියකුත් ලියාගෙන ලොකු මහත්තය ලඟට ගියා.ගිහිං මගෙ දුක කියල කවියත් පිළිගැන්නුවා.

ඒ ගමන මොකද උනේ?

මොනව වෙන්නද,මගෙ කවිය කියවල ලොකු මහත්තය බොහොම සතුටු වුණා.ගුණරත්න හරි කවිකාරයෙක්නෙ කියල මට යන්න කිව්වා.මාත් එන්න ආව.ඊළඟ සතියෙ මගෙ මාරුව ලැබුණා.

මරුනෙ මොකද්ද ගුණරත්න අයියෙ ඔය කවිය.

ඔන්න එහෙනං අහගන්න.

ගුණරත්න බොහොම මිහිරි සරින් කවිය ගායනා කළා.හැබැයි මට දැන් මතක තියෙන්නෙ කවියෙ පද දෙකක් විතරයි.මීට අවුරුදු තිහකටත් ඉස්සෙල්ල අහන්න ලැබුණු කවියෙ මුල පදයත් අග පදයත් මට හොඳට මතකයි.

පුහුලන් කන වවුලන්ගේ සහ බකමුහුණන්ගේ හඬ ඈත ඇසේ
..............
..............
ජලාසයක් මැද මා අද තනිවී රජයට සේවය කරමි        මෙසේ

ඉතිං කතාව ඔහොමයි.මේ අපූරු කවිය මතකයට නගාගන්නට මම කොච්චර මහන්සි ගත්තත් කවිය සම්පූර්ණයෙන් මතකෙට එන්නෙ නෑ.ඒ නිසා බ්ලොග් අවකාසයෙ ඉන්න අපේ ප්‍රතිභා සම්පන්න කවි කිවිඳියන්ට මේ කවිය සම්පූර්ණ කරන්න කියල මම ආදරයෙන් ආරාධනා කරනවා. ප්‍රතිභාව උතුරා හැලෙන්නට තිබුනත් කිසිම ඇගයීමකට ලක්නොවී අතීතයේ දවසක නිහඬවම මෙලොවින් සමුගත් ඒ රසවතාට අපි සම්පූර්ණ කළ කවිය පිළිගන්වමු.මැරුණු වෙලාවෙ මරණ දැන්වීම් වල ඇරෙන්න ජීවිත කාලයේ වෙනත් කිසිම විදියකින් මුද්‍රණය නොවූ ගුණරත්න අයියගෙ නම අද බ්ලොග් අවකාශයෙ ඔබත් එක්ක බෙදාගන්නට ලැබීම මට හරිම සතුටක් සේම පමාවී හෝ මා විසින් ඉටුකළ යුතු  යුතුකමක් සම්පූර්ණ වුණා කියල මට හිත හදාගන්න පුළුවනි෴



                                                                                                                                                                                                                                                       
                                                              

Sunday, September 14, 2014

මගේ මුල් පොත, ලින්ඩ්බර්ග් ,ඩීමන් ආනන්ද සහ රංසිරිගේ සංග්‍රාමය.


අබියෝග කොහොම උනත් මේ සාහිත්‍ය මාසෙ මම හිතං හිටියෙ පොත් ගැන පොතක් දාන්නමයි.සැප්තැම්බර් මාසෙ කියන්නෙ පොත් කියවන නොකියවන සැම සියලුම දෙනාම පොත් ගන්න පොත් ගැන කතාකරන පොත්වලින් සපිරුණු මාසයක් නොවැ.සාහිත්‍ය උත්සවය එතකොට පොත් ප්‍රදර්ශනේ ඔක්කොම පැවැත්වෙන්නෙ මේ පොත් මාසෙමයි.මේ සෑම සියලු සුබ කරුණක් නිසාම පොත් ගැන අපිත් යමක් ලිවිය යුතුමයි.

හැබැයි මම ලියන්න හදන්නෙ මා කියවූ හොඳම පොත් දහය නොවෙයි.මම කියවල තියෙන පොත් සම්භාරය දහයකට ලඝු කරන්න කිව්වොත් අවංකවම මට ඒ වැඩේ කරන්න බැහැ සහ ඒ හේතුවෙන් තවත් පොත් රාශියකට අසාධාරණයක් වෙනවා කියල මට හිතෙනවා.ඒ නිසා මම පොත් කියවන්න පෙළඹුන ආකාරයත් මා කියවූ සහ රස විඳි පොත් සමහරකුත් ඔබත් එක්ක බෙදාගන්නට මා බලාපොරොත්තු වෙනවා.

කොළඹ පොත් ප්‍රදර්ශනේ මෙවර පැවැත්වෙන්නෙ පාළොස්වැනි වතාවට උනාට පොත් ප්‍රදර්ශනේට මමනං දෙතුං සැරේකට වඩා ගිහිං නෑ.රටේ හිටියේ නැතිවීමමත් නෙවෙයි රටේ හිටපු අවුරුදුවලත් සමහර වෙලාවට මම ප්‍රදර්ශනේට ගියෙ නෑ.ඇත්තටම කිව්වොත් පොත් ප්‍රදර්ශනේ සෙනග පිරුණු මහ කලබලකාරී තැනක් කියල මට හිතෙනවා.හොඳ වෙළඳ කුටිවල ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ සෙනග ඊස්මීස් නැතුව පොරකනවා තෙරපෙනවා  සාහිත්‍යය කොහොම වෙතත්  ඇතිවෙන්න තෙරපිලා හිරවෙලා ගෙදර එන්න පුළුවනි.ඇත්තටම මට එහෙම වෙලා තියෙනවා.පොත් ගන්නකොට මහා ලොකු ලාබෙකුත් ලැබෙන්නෙ නෑනෙ.සීයට විස්සක ඩිස්කවුන්ට් එකක් ලැබේවි.මරදානෙ පොත් ප්‍රකාශකයින්ගේ කඩවල ඔය සියේට විස්ස හැමදාම ලැබෙනවා.සූරිය ප්‍රකාශකයන්ගේ පොත් සාප්පුවෙ ළමයා මට සියේට තිහක ඩිස්කවුන්ට් එකක් දෙනවා.ඉතිං  නිවාඩු වෙලාවක මරදානට ගිහිං නිවී සැනසිල්ලෙ අලුත් පොත්වල සුවඳ විඳිමින් පොත් ගන්න එන සැබෑම සාහිත්‍ය රසකාමීන් එක්ක කතාබහක යෙදෙමින් තමන්ට ඕනෑ කරන පොත් තෝරගන්න පුළුවන් එකේ විලාසිතාවක්  හැටියට ගිහිං පොත් ප්‍රදර්ශනේ හිරවුණේ තෙරපුනේ නැතුවට මක්වෙනවද?

දැන් පොත් ගැන කතාකරමු.මට පොත් ගුල්ලෙක් වෙන්නට අපේ ගෙදර වැඩිහිටියන්ගෙන් නං අනුබලයක් ලැබුණය කියන්න බෑ.කිව්වහම මොකද අපේ තාත්තල අම්මල පොත් ගෙදර ගෙනත් කියවපු සාහිත්‍ය රසකාමියෝ නෙවෙයි.මං පොඩි කාලෙ අපේ ගෙදර තිබුනෙ උම්මග්ග ජාතකෙයි,සතිපට්ඨාන සුත්‍රයයි,සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලියයි කියන පොත් තුන විතරයි.හැබැයි මම ඉස්සෙල්ලම කියෙව්වෙ අපේ අයියගෙ පොත් ගොඩේ තිබුන විජයබා කොල්ලයයි.ඒ පොත්වල තිබ්බ  විස්තරවලින් හතරෙන් තුනක්වත් තේරුණේ නැතුවට අයියට ඒ කාලෙ විභාගෙට නියමවෙලා තිබ්බ පොත් වෙච්ච ජීව භාෂාව,බිම්ගෙයි සිරකරුවා එහෙමත්  කියවල ඉවරකළා.අර මුලින් කියපු පොත් තුනත් කියෙව්වයි කියල අමුතුවෙන් කිවයුතු නෑනෙ.

ඔන්න ඔය ආකාරයට මගේ කියවීම ගෙදරින් පටන්ගත්තා.ඔය මං ප්‍රාථමික විද්‍යාලයට යන කාලෙ.මං ගිය ගමේ  ඉස්කෝලෙ පුස්තකාලයක් තිබුනෙ නෑ.හයවෙනි පංතියේ ඉඳල යන්න ගනිපු සෙන්ට්‍රල් එකේ නං පොත්වලින් පිරුණ බොහොම ගාම්භීර පුස්තකාලයක් තිබුනා හැබැයි අපට ඒ පුස්තකාලෙට යන්න ලැබුනෙ අටවෙනි පංතියට පාස්වූනාට පස්සෙයි.සාපෙළ ලියද්දි මම ඒ පුස්තකාලෙ පොත් සියල්ලම වගේ කියවල ඉවරකරල දැම්මා.ෂර්ලොක් හෝම්ස්ව මම මුල්වරට රසවින්දේ ඉස්කෝලෙ පුස්තකාලෙනුයි ෂර්ලොක් හෝම්ස්ගෙ කතා හයක් හෝ හතක් තිබුණු පොතක් පුස්තකාලයෙ තිබුනා.ඊට අමතරව රයිඩර් හැගාඩ්ගෙ ඇලන් ක්වාටමන් පොතත් මම කියව්වා හොඳට මතකයි.එතකොට කාඕ යු පාඕ ලියු මගේ කුමර දිවිය එහෙම හැබැයි කියවපු වෙනත් පොත් ගැන විශේෂ මතකයක් නෑ.

ඊට අමතරව අපේ පංතියේ සියලු දෙනාම පාහේ කිසිම භේදයක් නොමැතිව ඩීමන් ආනන්ද ලියූ ජේම්ස් බොන්ඩ් පොත් සහ මාරක කතා පොත් හවුලේ බෙදාගනිමින් රසවින්දා.මගේ කියවීමේ රුචිය දියුණු තියුණු කරන්නට ඩීමන් ආනන්ද ලියූ ජේම්ස් බොන්ඩ් පොත් බෙහෙවින් ඉවහල් වුනා කිව්වොත් එය නිවැරදියි.මේ ගැනත් මට වැඩිපුර යමක් කියන්න තිබෙනවා.

අපේ ටවුමෙ තොරොම්බල් කඩවල සහ පෙට්ටි කඩවල ඉදිරිපස වහලේ එල්ලා ප්‍රදර්ශනය කර තිබූ ඩීමන් ආනන්දගේ පොතක මිළ සත හැත්තෑපහයි.ඉන්ටවල් එකේදී ඉස්කෝලෙ ටක්ෂොප් හෙවත් ටක් එකෙන් දවල්ට යමක් කන්නට ගෙදරින් දෙන සුළු මුදලෙන් කීයක් හරි ඉතුරුකරගෙන දුකසේ එකතුකරගන්නා සත හැත්තෑපහක් ටවුමෙ කඩේට දීල අලුතින්ම පිටවුන  ජේම්ස් බොන්ඩ් පොතක් අයිතිකරගන්නෙ හරිම ආඩම්බරයකිනුයි.පංතියේ බොහොම දෙනෙක් ඔය විදියට පොත බැගින් ගත්තු පොත් විස්සක් විසිපහක් පංතියේ කොල්ලන් අත නිතරම ඉතාම රහසින්  පරිහරණය වුනා.අපි නොදන්නව උනාට අපේ පොත් කෙරුවාව ගැන බොහොම තියුණු විමසිල්ලකින් හිටපු අපට සිංහල උගන්නපු පන්තිය බාරව හිටපු ගුරුතුමා වන ජයවර්ධන සර් එක දවසක හදිසියෙන්ම පොත් දඩයම පටන් ගත්තා.ඩෙස්ක් යටින් වේගයෙන් අතින් අතට පොත් හුවමාරු උනත් පොත් විසිගානක් විතර සර් පහසුවෙන්ම අත්අඩංගුවට ගත්තා.සියලු දෙනාටම පොදුවේ කළ බැන වැදීමකින් දඬුවම අවසන්වුනත් අත්අඩංගුවට ගත්ත පොත් ටික කවදාවත් ආපහු ලැබුනෙ නෑ.ජයවර්ධන සර් පොතක් සත විසිපහ ගානෙ පොත් ටික ටවුමෙ කඩේට දීල දැම්ම කියල කොල්ලො විහිලු කරගත්තා.සර් පොත් මිටියත් අරං ටවුමෙ කඩේට යනව දැකපු උනුත් ඔය අතර හිටියා.

ඩීමන් ආනන්දගෙ පොත් ලිවිල්ල ගැන රසවත් කතාවක් මේ මෑතකදී කියවන්නට ලැබුණා.මේ රසවත් කතාව තිබෙන්නේ චින්තන ජයසේනගේ චින්තන කතා පොතෙයි.ඔයගොල්ලන්ගෙ රස වින්දනය සඳහා ඒ කතාවත් මෙතනම ලියන්නං.

"ඩීමන් ආනන්ද සහ ඔහුගේ මාරක කතා ගැන මගෙ සිත් ඇද බැඳ ගත් තවත් සිදුවීමක් විය.ඔහු උදේට කැප්ටන් මුද්‍රණාලයට එයි."ලේ මාපිලා" පිටු කීපයක් ලියාදෙයි.ඊළඟට යන්නේ චන්ද්‍රාලෝක මුද්‍රණාලයට ය.එතැනද "007 ජේම්ස් බොන්ඩ්"පිටු කීපයක් ලියා දෙයි.එමෙන් ම තවත් මුද්‍රණාලයකට ගොස් මාරක කතාවක තවත් පිටු කීපයක්  ලියා දෙයි.ඩීමන් ගේ පොත් සැට් එකම සතියකින් ඉවර වෙයි.ඔහුගේ ප්‍රකාශකයා වුයේ මරදානේ සුරුට්ටු කඩේ ලිංගම් මුදලාලිය.ලිංගම් මුදලාලි සයිකලයකින් පැමිණ මුද්‍රණය කරන ලද පෝරම රැගෙන යයි."

මේ අපි එකල බොහොම ආශාවෙන් රස විඳපු පොත් ගණනාවක උපතයි.මේ කතාව දැනගන්නට ලැබුනෙ නම් ඊට බොහෝ කාලයකට පසුවයි.

ඩීමන් ආනන්ද ගෙ පොත් වලට අමතරව පංතියේ කොල්ලන් අත ඉතාම රහසිගතව හුවමාරුවූ තවත් පොත් වර්ගයක් තිබුණා.දැන් වැල පොත් යයිද එදා වල්පොත් යයිද හඳුන්වපු සරණ වැනි වැල පත්තර වෙළඳපොළට එන්නට පෙර යුගයේ තරුණයන් කියවූ මකුණා,රති රහස්,මඟුල්දා රෑ වැනි පොත් බොහොම විශ්වාසයෙන් යුතුව පංතියේ කොල්ලන් එකිනෙකා අත හුවමාරු වුනේ ඒ පොත් ඉස්කෝලෙට හෝ ගෙදරට අහුවුනා නං ලැබෙන්නට තිබු දඬුවම ඉතාම බරපතල එකක් වීම නිසයි.

එතකොට අපේ ගමේ සිසිර ප්‍රජාමණ්ඩලේ සාමාජිකයෙක් වෙලා ඒ පුස්තකාලයත් පරිහරණය කරන්නට ලැබුණා. පියසේන නිශ්ශංක මහතාගෙ වදුල, ගිනිසිසිල වැනි පොත්  පළමුවරට රස විඳින්නට ලැබුනෙ ප්‍රජාමණ්ඩලේ පුස්තකාලයෙනුයි.ඊට අමතරව ඒ පුස්තකාලයෙන් කියවන්නට ලැබුණු තවත් විශේෂ පොතක් ගැන මගෙ මතකය අවදිවෙනවා.එනම්   "ලින්ඩ්බර්ග් ගේ වීර ගමන" නම් පරිවර්තන කෘතියයි.චාල්ස් ඒ ලින්ඩ්බර්ග් විසින් ලියාතිබු පොත සිංහලට පෙරලූ  පරිවර්තකයාගේ නම මට දැන් මතකයක් නෑ.විශේෂය වන්නේ එදා කියවූ ඒ පොත ඉන්පසුව අද මේ වනතෙක් කිසිම දිනෙක මට නැවත දකින්නට ලැබී නොතිබීමයි.පොතෙන් කියැවෙන්නේ තැපැල් ගෙනයන ගුවන් නියමුවෙකු වූ චාල්ස් ඒ ලින්ඩ්බර්ග් (ස්ලිම්) (1902-1974)Spirit of st. Louis නම් තනි එන්ජිමේ කුඩා ගුවන් යානය පදවාගෙන  ඇමෙරිකාවේ නිව්යෝක්හි ලෝන්ග් අයිලන්ඩ්  සිට ප්‍රංශයේ ල බුර්ජේ  දක්වා නොනැවතී ගිය වික්‍රමාන්විත ගමනේ විස්තරයයි.අද නම් මෙය ඉතා සාමාන්‍ය ගමනක් වුවත් එදා 1927 ට පෙර කිසිවෙකු ඇමෙරිකාවේ සිට ප්‍රංශය දක්වා එක එල්ලේ පියාසර කර නැහැ.ගමන වෙනුවෙන් ඔර්ටීග් ත්‍යාගය දිනාගත් ලින්ඩ්බර්ග් ඇමෙරිකාවේ ජාතික වීරයෙකු වශයෙන් සම්මානයට පාත්‍රවුනා.

අපේ ලොකුඅම්මා කෙනෙක් හා සමග විවාහවී සිටි ප්‍රාචීන භාෂා පඬිවරයෙක් වූ අලුත්ගම මහප්පා සතුවද ඉතා හොඳ පොත් එකතුවක් තිබුනා.මගේ පාසැල් මිතුරන්වූ රණසිංහ හා ඉලංගසිංහ නවාතැන් ගෙන සිටියේද ඒ නිවසේම නිසා ඔවුන්ගේ කාමරයට වදින මා වැඩි කලක් යන්නට පෙරම මහප්පාගේ පොත් එකතුව කියවා අවසන් කර දැමුවා.1955 දී පළමුවරට එවරස්ට් කඳු මුදුන තරණය කළ එඩ්මන්ඩ් හිලරි(1919-2008) සහ ටෙන්සිං නෝර්ගේ දෙපළගේ කණ්ඩායම් නායකයාවූ කපිතාන් ජෝන් හන්ට් විසින් රචිත  "හිමගිර තරණය" පොත හා කපිතාන් ජිම් කෝබට් (1875-1955) ලියූ "කුමාඕන් හි මිනී කන ව්‍යාඝ්‍රයෝ" යන පොත් දෙක එහිදී කියවූ අමතක නොවන පොත් දෙකක්.මෙයින් හිමගිර තරණය පොතද ඉන්පසුව කිසිදිනෙක මට ආපසු දකින්නට ලැබී නැහැ.




















ළිහිණි පොත් ගණනාවක්ද සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද ටී බී ඉලංගරත්නයන් ගේ විලම්බීත,තිලක,තිලක හා තිලකා ඇතුළු ඔහුගෙ අනෙක් පොත් ද වැවදෙනියේ ඇල් ඩී මැන්දිස් මහතාගේ පොත් සියල්ලමද පාසැල් ගුරුවරියක්වූ අපේ පෝටවත්තෙ නැන්දා ගේ ගෙදරදී කියවූවා.අපේ අල්ලපු වත්තේ හිටපු මායක්කගේ නංගිල දෙන්න වෙච්ච ශාන්ති අක්කා සහ මාලා අක්කාත් කියවීමේ රුසියන් වූ නිසා ඒ දෙන්නා ගෙනත් කියවන පොත්ද කියවීමේ අවස්ථාව මට ලැබී තිබුනා.

ඉන්පසු යෞවන වයසේදී රුසියන් සාහිත්‍යය සහ සෝවියට් සාහිත්‍යය අඩුවක් නොමැතිව ඇසුරු කරන්නට ලැබුනේ ඉතා අනර්ඝ නිමාවකින් යුත් සිංහල පරිවර්තන කෘති සෝවියට් සංගමයේ මුද්‍රණය කර වටිනාකමට බොහෝ අඩු එනම් නාමික වටිනාකමකට ලංකාවේ අලෙවි කළ නිසයි.නම් වශයෙන් කියන්නට අපහසු තරම් පොත් ප්‍රමාණයක් මේ හේතුව නිසා කියවන්නට ලැබුණා.

මේ මා ඉතා කෙටියෙන් ලියුවේ කුඩා අවදියේ මගේ කියැවීමේ ආරම්භයත් එය වැඩි දියුණුවූ ආකාරයත් ගැනයි.උසස් අධ්‍යාපනය ලැබූ අවදියේත් රැකියාව කරද්දි හා කොළඹ මහජන පුස්තකාලයෙනුත් කියැවූ පොත් සංඛ්‍යාව ගණන් කරන්නට බැරිතරම්.මා පොත් මිලදීගෙන එකතුකරන්නට වුනේ විවාහ වුවාටත් පසුවයි.ඒ සම්බන්ධයෙන් වෙනම පෝස්ටුවක් හෝ එසේ නොමැතිනම් මා ලියන වෙනත් කතා තුළ වරින්වර ලියැවේවි.කෙසේ වුවත්  ජීවිත කාලය තුළ මා කියැවූ නොගිණිය හැකි පොත් කන්දරාව මගේ ජීවිතය එළිය කළ  ආලෝක ධාරාවක්ම  වූ  බව නම් කිව යුතුමයි.

ලියාගෙන යද්දී විවිධ අතුරු කතා ගණනාවක් මතක්වුනත් අතුරුකතා ලිවීම හෙවත් වටේ යෑම හෙවත් පඳුරු තැලීම ප්‍රස්තුතයට බාධාවක් නිසා බොහොම ඉවසිල්ලෙන් අදාළ මාතෘකාව ගැන ලිව්වත් කතා දෙකක් නම් නොලියාම බැහැ.එකක් තිලක හා තිලකා කතාවට සම්බන්ධයි.

ටී බී ඉලංගරත්නයන් ගේ තිලක හා තිලකා නවකතාවෙන් 1976 දී නිෂ්පාදනය වූ අමරනාත් ජයතිලකයන් අධ්‍යක්ෂණය කළ තිලක හා තිලකා චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකවූ තිලක හා තිලකා ලෙසින් රඟපෑවේ කරුණාරත්න හඟවත්ත සහ වජිරා නිර්මලී යන නළු නිළි දෙපළයි.පසුකලෙක රසාදරී පොන්සේකා සමග විවාහවූ කරුණාරත්න   හඟවත්තයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට ගියා.              2008 දී පමණ මාද සම්බන්ධවුන ආතර් සී ක්ලාක් මහතාගේ 90 වන උපන් දින සැමරුම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරාධනා කරන ලද විද්‍යාඥයන් කිහිප  දෙනා අතර මහාචාර්ය කරු හඟවත්ත මහතාද සිටියා.ගුවන් තොටුපොළේදී ආරාධිතයන් පිළිගෙන ඔවුන් නවාතැන් ගත් හෝටලයට රැගෙන ඒමෙන් පසුව හෝටලයේ ලොබියේදී මට මහාචාර්ය කරු හඟවත්ත මුණගැසුනා.ආගිය කතාබහ අතරතුරදී මා තිලක හා තිලකා චිත්‍රපටය ගැනද ඔහුගෙන් විමසා සිටියා.

"හැබැයි එදානං අපි දැක්කෙ කරුණාරත්න හඟවත්ත කියල නළුවෙකුයි...

"ඔව් ඔව් ඒ මම තමයි...

සුහද සිනහවක් පාමින් ඔහු කියාසිටියා.ඉන් වසරකට පමණ පසු ලොස් ඇන්ජලීස්හි පන්සලකදී මහාචාර්ය කරු හඟවත්ත මට නැවත මුණගැසුණා.අද ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයායි.

දෙවෙනි කතාව හැටියට බස්සි ඇය කියැවූ පොත් ගැන ලියූ පෝස්ටුවක දැකපු පොතකින් මගේ පැරණි මතකයක් අවදිවුනා.කමෙන්ටුවක් හැටියට ඇයගේ බ්ලොගයේ නොලියා මේ කතාව මගෙ පෝස්ටුවටම එකතුකරන්න හිතුවෙ මෙයත් යම් පමණකට පොත් ගැන කතාවක් නිසායි.

කාලය 1989 වසර විය යුතුයි.ඒ මා බෙන් ෆිල්ම්ස් ආයතනයේ නැවතී සිටිමින් රැකියාවට ගිය සමයයි.නිවාඩු දවස්වලට පන්නිපිටිය නිවසේ සිට බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණෙන කුලසේන පොන්සේකා බෙනට් සමග සාකච්ඡා කරමින් ඔහුගෙ සිරියහන නවකතාවෙන් ටෙලි නාට්‍යයකට තිර පිටපතක් සකස් කරමින් සිටියා.( පසුව මෙය කලු හංසයෝ නමින් ටෙලි නාට්‍යයට නැගුණා) ඒ කුලසේන පොන්සේකාගේ රංසිරිගේ සංග්‍රාමය නම් යොවුන් නවකතාව මුද්‍රණය වෙමින්  තිබූ කාලයයි.දිනක් කුලසේන බෙනට්ගෙන් උදව්වක් ඉල්ලුවා.බෙනට් ඒ මොහොතේම එතන සිටි රුවන්ටත් මටත් කතාකර වැඩේ බාරදුන්නා.

මල්ලි මෙන්න මේ කුලේ අයියගෙ පොතක් ගහල තියෙනවලු කැලණියෙ, හවසට උඹල දෙන්නට කැළණි ගිහිං ඒ පොත් ටික  පන්නිපිටියට  ගෙනත් දාන්න පුළුවන් නේද?

රුවන්ට ලයිසන් තිබුනට පාරෙ එලවල පුරුද්දක් නෑ.එදා හවස පාරෙ එලවන්න පණ බයේ කකුල් දෙකත් ගැහෙමින් හිටි රුවනුත් මාත් බෙන් එකේ ලයිට්ඒස් වාහනෙන් කැලණියට ගියා. තැන් දෙක තුනකින් පාර අහගෙන පොත් ගහපු ප්‍රෙස් එකට ගියාම පොත් ටික ගබඩා කර තිබුන තැනට අපිව එක්කං ගියා.පොඩි කන්දක් උඩ වගේ තිබුන වහල තිබ්බ කඩ කෑල්ලක පොත්ටික අහුරල තිබුනා.එතන වාහනේ හරවන්න ඉඩ නැති නිසා දොරකඩට රිවස් කරන්නට උනා.අමාරුවෙන් රිවස් කරද්දි තැන තැන වැදිල වාහනේ ඉස්සරහයි පස්සයි දෙකම පොඩ්ඩ පොඩ්ඩ තැලුනත් කරදරයක් නැතුව පොත් ටික පටවගෙන එතනින් පිටවෙන්න අපට පුලුවන්වුනා.

කිසිම අතුරු ආන්තරාවක් නැතුව පන්නිපිටියට ඇවිත් කුලසේනගෙ ගෙදරට පොත්ටික බාරදීල අපි පිටත්වෙද්දි කුලසේන පොත් දෙකක අස්සන් කරල අපි දෙන්නට දුන්නා.

..........සොයුරාට කර්තෘ ගෙන් තුටු පඬුරකි.
කුලසේන සාන්සේකා.

කියල පොතේ ලියා තිබුණා.රුවන් පොත පැත්තකට දාල නිකං හිටියට මම නං එදා රාත්‍රියෙ ම පොත කියවල ඉවරකළා.අමුතු විදියක ලස්සන කතාවක්, පොතේ තියෙන සිද්ධීන්වල රූප මට මැවිලා පෙනුනා.

රුවන් අපි කුලයට කියල මේ පොත ගම්මු බං,පුළුවන් වෙච්ච කාලෙක ටෙලියක් ගහගන්න බැරුවයැ,බැරිවුණොත් විකුණන්න හරි පුළුවන්නෙ...

පොතේ යමක් දැකපු මම රුවන්ට එහෙම කිව්වෙ පොතේ රූපගතකිරීමේ අයිතිය තනියම ගන්න තරං වත්කමක් මට තිබ්බෙ නැති නිසා රුවන්වත් හවුල් කරගෙන පොතේ අයිතිය ලබා ගන්නටයි.

වැඩක් නෑ බං,ඔය පොතෙන් ටෙලියක් කරන්න බෑ.වෙන පොතක් හොයාගන්න බලපං...

රුවන් ඒ විදියට මගෙ අදහස එතනම නිෂ්ප්‍රභා කලහම මටත් කරගන්න දෙයක්  නැතිවුනා,පොත ගැනීමේ අදහස එහෙමම යටගියා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සෙ ජයලත් මනෝරත්න ඒ පොතේ අයිතිය අරං ජගත් බෙනරගම රංසිරි හැටියට දාල කරපු රංසිරිගේ සංග්‍රාමය ටෙලිනාට්‍යය රටේම ජනප්‍රිය වෙද්දි රුවන්වත් මමවත්  බෙන් ෆිල්ම්ස් එකේ හිටියෙ නෑ. කුලසේන දීපු රංසිරිගේ සංග්‍රාමය සිහිවටනයක් හැටියට මම අද තව වෙනකං ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා෴


Monday, September 8, 2014

සංචාරක සටහන් දෝෆාර් සහ ඔලිම්පික් මතකයක්.


 එදා සවස් යාමයේ සලාලා දේශීය (Domestic කියන වචනෙට සිංහලෙන් මොකද්ද කියන්නෙ කියල  දන්නෙ නෑ )ගුවන් තොටුපළට (මේ ගුවන් තොටුපොළ අන්තර්ජාතික ගුවන් තොටක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනවා. නව ගුවන් තොට සැලසුම් කිරීමේ කාර්යයට අපේ හිතවත් චෙපාකිත් හවුල්වී ඇති බව මෙහිදී සඳහන් කලයුතුයි)ගොඩබැස්වූ යානයෙන් පිටවූ අපි පා ගමනින්ම පිටවීමේ පර්යන්තයට ඇවිදගෙන එද්දී නුපුරුදු අත්දැකීමක් විඳීමේදී ඇතිවන සතුට මුවපුරා විහිදුනු පුළුල් සිනහවක් සමගින් හැලපැට්ටාගෙන් පිටවුණා.

නියමයි අප්පා...
ඔහු මෙතෙක් කල් ගුවන් යානාවලින් පිටවී ගමන් කර ඇත්තේ බසයෙන් හෝ ගුවන් යානයටම සවිකරන බ්‍රිජ් හෙවත් පාලමෙනුයි.ගුවන් යානයෙන් බැස පා ගමනින් යන ප්‍රථම අවස්ථාව මෙයයි.

පිටවීමේ පර්යන්තයේ ආගමන කටයුතු මොකුත් නැහැ තරමක ප්‍රමාදයකින් අපේ ගමන් මලු එකතු කරගෙන ගුවන් තොටුපොළෙන් පිටතට ඇවිත් අපිව එක්කං යන්න එන්නට පොරොන්දුවෙලා හිටිය ට්‍රයිකෝ ආයතනයේ ඉන්දිකට කතාකළා.වෙලාව හවස පහමාරට විතර ඇති අපි පහට එනවා කියල ඉන්දිකට මම කලින්ම කියල තිබුනත් ඔහු ඇවිත් හිටියෙ නැහැ.

ඉන්දික අපි ඇවිත් ඉන්නෙ...

ආ හවසද එනවයි කිව්වෙ පහට කිව්වම මම හිතාගෙන හිටියෙ පාන්දර පහට කියලනෙ,සුරේෂ්වත් කතාකරගෙන මම පාන්දර එන්නයි හිටියෙ...

කමක් නෑ එහෙනං අපි ටැක්සියකින් හෝටලේට යන්නං...

එපා එපා ඔහොමම ඉන්න මම සුරේෂ්ට එන්න කියන්නං විනාඩි පහ හයක් යයි...

කෝකටත් මම සුරේෂ්ටත් කතාකළා,ඇනුම් බැණුම් වරුසාවයි.

එන වෙලාව කෙළින්ම මට කිව්වනං මම ඇවිත් ඉන්නවනෙ දැන් ඉතිං මම එනකං ඉන්න එකයි...
එහෙම කිව්වට සුරේෂ් පරක්කු වුණේ නෑ ඉක්මනට ඇවිත් අපිව හෝටලේට එක්කරගෙන ගියා,ගුවන් තොටුපොළේ ඉඳන් සලලා නගරයට යන පාරට වැටුනම මතක්වෙන්නෙම කුරුණෑගල පුත්තලම් පාර පොල් ගස් මග දිගටම අග නගරයෙ මග දිගට ඉඳිගස් යම්සේද සලාලා වල බැලු බැලුඅත පෙනෙන්නෙ පොල්ගසුයි. සලාලා අවට කඳු වළල්ලට කරීෆ් සමය (Monsoon)උදාවන විට හවස් කාලයේ කඳු පෙදෙස පුරාම දැඩි මීදුම් වලාවක් පැතිර යනවා. අපි කඳුකරයේ ගිය එක තැනක පිංතුරයක් ගූගල් වල තිබී මට ලැබුණා.ඒ මෙම පිංතුරයයි එම ස්ථානයේම මා ගත්  පිංතුරය ඊට යටින් තිබෙනවා.
මා මින් පෙර දෙවතාවක් සලාලාවල සංචාරය කර තිබුනත් කරීෆ් සමයේ සලාලා වලට පැමිණියේ පළවෙනි වතාවටයි.දවසපුරා වරින්වර ඇදහැලෙන වැස්ස නිසා ධාවනය වන බොහෝ වාහන මඩ ඉහී යම් තරමකට අපිරිසිදුව ඇති බවක්ද පෙනීයනවා.

මේ රාමදාන් සමයයි උපවාසය අවසන් කරන ඉෆ්තාර් අවස්ථාවේ බෙදාදීමට  කෑම පාර්සල් බීම බෝතල් සහ වතුර බෝතල් කඳු ගොඩගසා තිබෙනු මහ මග තැන් තැන්වල දැකගන්නට පුළුවනි.මේ තැන් පසුකරගෙන සුරේෂ් අපව රැගෙන ගියේ දෝෆාර් හෝටලයටයි.හෝටලයේ ශ්‍රී ලාංකික කළමනාකරු අශෝක අප බලාපොරොත්තුවෙන් කලින්ම පැමිණ මග බලාගෙන සිටියා.දෝෆාර් කියන්නෙ හෝටලේ නම වගේම ඒ පළාතෙත් නමයි.
සරුසාර දෝෆාර් පළාත මේ රටට දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලැබුණු තෑග්ගක් කියා කිවහොත් නිවැරදියි.දේශීය කෘෂිකර්මාන්තයේ වැඩි පංගුවකට දායක වන්නේ දෝෆාර් පළාතයි.පාකිස්තාන ජාතිකයින් මෙහි ඉඩම් බද්දට ගෙන එළවලු හා පළතුරු වැවීමේත් සත්ව පාලනයෙත් යෙදෙනවා.මේ මා කලින් වතාවක සලාලා ගිය අවස්ථාවක ගත් පිංතුර කීපයක්.

වර්ග කිලෝමීටර් 99,300 ක්  විශාල දෝෆාර් ප්‍රදේශය මේ රටට හිමිවීම ගැන කතා දෙකක් මට අහන්නට ලැබුණා.මන්ද අතීතයේ මේ බිම්කඩ අයත්ව තිබුනෙ යේමනයටයි.යේමනයෙන් කුමාරියක් මේ රටට දීග දෙනවිට ඇයට තෑග්ගක් ලෙස මේ බිම ලබාදුන් බව එක කතාවක කියවෙන අතර යේමනයට මුදල් ගෙවා මේ පළාත මිළදී ගත් බව තවත් කතාවක සඳහන් වෙනවා.මොන ආකාරයට අයිති වුවත් දෝෆාර් පළාත රටට මහත්ම සම්පතක් බව නම් කිවයුතුමයි.මෙහි එක් අන්තයක  පවතීන්නේ යේමන දේශ සීමාවයි.නමුත් ගොඩබිමෙන් යේමනයට යන්නට නොහැකි ආකාරයට දේශ සීමාව කලක සිට වසා දමා ඇත්තේ යේමනයේ පවතින අභ්‍යන්තර යුද්ධය නිසා රටේ සිවිල් පාලනය අනතුරට ලක්වී ඇති හේතුවෙනුයි.

යේමන් යන්න මගෙත් හරිම ආසාවක් තිබුනත් රටේ තත්වය නිසා බයකුත් තිබෙනවා.ඒ වුනත් ශ්‍රී ලාංකිකයන් යම් ප්‍රමාණයක් යේමනයේ රැකියාව කරනවා.මේ මෑතකදී මගෙ හිතවතෙකුට රාජකාරියක් සඳහා යේමනයට යන්නට සිදුවුනා.ඔහුගේ රාජකාරිය තිබුනෙ සානා අගනුවරමයි.අගනුවර වීදි දෙපස පවා ගිනිඅවි ගත් පුද්ගලයින් දකින්නට ලැබුණු බව ඔහු මා සමග කීවා.මේ වගේ කතා අහන්නට ලැබෙනකොට යේමන් යන්නට බියමුසු වුවත් දැඩි ආශාවක් ඇතිවෙනවා.ඒ අයගෙ පිංතුර කීපයක් ගන්නට ඒ පින්තුරත් එක්ක පෝස්ට් එකක් ලියාගන්නට තියේනම් මොන තරම් වාසනාවක්ද.සානා අගනුවර පමණක් විදේශිකයන්ට යම් තරමකට ආරක්ෂා සහිත වුවත් විදේශිකයෙක් අගනුවරින් පිටතට යනවානම් ජීවිතය දෙවියන්ට බාරකාර යායුතු බවත් මගේ හිතවතා කිව්වා.කොහොම වුණත් මටත් යේමනයේ සංචාරය කරන්නට දෙවියන් උදව් කරාවිය කියන බලාපොරොත්තුව තවම මගේ හිතේ කොණක පවතිනවා.

යේමන් කිව්වහම මට තව පුද්ගලයෙක් මතක් වුනා ඔහුගෙ නම අලි,යේමන් ජාතිකයෙක්.යුරෝපෙ ඉද්දි කාලයක් තාවකාලික රියැදුරෙක් හැටියට අලි අපිත් එක්ක වැඩ කලා.මගෙත් එක්ක  බොහොම හිතවත්කමින් හිටියත් ඔහු තමන්ට පොඩි හෝ වැරද්දක් සිදුකල කෙනෙකුට සමාවක් නොදෙන පලිගන්නා ජාතියෙ කෙනෙක්.ඒ යේමන් ජාතිකයන්ගේ ස්වභාවය වෙන්නට ඇති. අලි අරාබි භාෂාවට අමතරව ප්‍රංශ භාෂාව ඉතා හොඳින් කතාකළා.මට ඒ කාලෙ ප්‍රංශ පොඩ්ඩක් වත් බැහැ.අලි ඉංග්‍රීසි භාෂාවෙන් කතාකරන්න දැනගෙන හිටියෙ යර්ස් නෝ පමණයි.ඒත් අපි දෙන්න මොන විදියෙන් හෝ අදහස් හුවමාරු කරගත්තා.ඒ දවස්වල  යාළුවො මට කරපු විහිළුවක් තිබුණා."එක්කො උඹ ප්‍රෙන්ච් කතාකරයි නැත්නං අලි සිංහල කතාකරයි".ඒත් පිටසක්වළ ජීවියෙක් එක්ක හරි වැඩ කරන්න උනා නං මොන ආකාරයකට හරි අදහස් හුවමාරු කරගන්න එපායැ.පවතින තත්වයට අපි අනුවර්තනය විය යුතුයි.

ඒ උනාට අනුවර්තනය වෙන්නට බැරි තත්ත්වයනුත් යම් යම් තැන්වලදී දකින්නට පුළුවනි.අපට කොච්චර නාන්න අවශ්‍ය වුනත් ජරා වතුරකට අනුවර්තනය වෙන්නට පුළුවනිද?බැහැනෙ.ජරා වතුරක් කියපුවම මට මතක් වුනේ ජරා වතුරක අපි ගියපු ගමනක්.ඒ රෝමයේ ටයිබර් නදියේ.ඒ කාලෙ නං බෝට්ටු ගියා දැන් වතුර කොච්චර ජරා වෙලාද කිව්වොත් බෝට්ටු යන්නෙත් නෑ කියල මේ මෑතකදි රෝමෙට ගිහිං ආපු කකා කියල තිබුනා.ඒ ගමනත් ඔයගොල්ල එක්කම යන්න තියේනං හොඳයි.

ගඟ දිගේ උඩට බෝට්ටුවේ ඇවිත් අපි  බැස්ස තැනත් විශේෂ ස්ථානයක්.මොකද 1960 දි රෝමයේ පැවැත්වූ ඔලිම්පික් උළෙල තිබුන ක්‍රීඩාංගනය එතනමයි.ඔලිම්පික් තරඟවල ඔරු පැදීමත් තියෙන්න ඇත්තෙ එතනම ඇති ටයිබර් නදියෙ වෙන්නට ඇති.ඒ කාලේ ගඟේ වතුරත් හොඳට තියෙන්න නැතැයි. අපි ගිය වෙලේ ගත්ත පිංතුරටිකක්  හම්බවුණා ප්‍රසිද්ධ කරන්න හැකි ටික බලමු නේද?

වතුරෙ කුණු පාට පේනව නේද?

බෝට්ටුවට ගොඩවුනේ මෙතනින්.






බැස්සෙ මෙතැනින්


ඔලිම්පික් ක්‍රීඩාංගනයට ඇතුල්වන දොරටුව.

ක්‍රීඩාංගනය.






ක්‍රීඩාංගනය වටාම නිරුවත් ක්‍රීඩකයන්ගේ ජීවමාන ප්‍රමාණයේ රූප නෙලා තිබෙනවා.අතීතයේ ඔලිම්පික් තරඟවල පිරිමි ක්‍රීඩාකලේ නිරුවතින් යයි කියවෙන අතර කාන්තාවන් ක්‍රීඩා කලාද එසේනම් ඔවුන් ක්‍රීඩා කලේ කෙසේද යන්න ගැන සඳහනක් නෑ.

1960 රෝම ඔලිම්පික් උළෙල ගැනත් යමක් කිව්වොත් හොඳයි නේද.බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වන මොහොමඩ් අලි ඔහුගෙ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තෙ මෙම ඔලිම්පික් තරඟාවලියේදීයි.එවකට ඔහු කැසියස් ක්ලේ නමින් හැඳින්වුනා.පසුකලෙක සුදු හම ඇත්තවුන්ට පමණක් ඇරුණු අවන්හලකට සිය මිත්‍රයෙකුත් සමග ගිය මොහොමඩ් අලිට අවන්හලට ඇතුල්වන්නට ඉඩ ලැබුනෙ නෑ.මෙයින් කළකිරීමට පත් ඔහු තමා දිනාගත් ඔලිම්පික් රන් පදක්කම ඔහියෝ නදියේ පාලම උඩ සිට ගඟට අතහැරිය බව මොහොමඩ් අලිගේ ජීවිත කතාවෙ කියැවෙනවා.

1960 රෝම ඔලිම්පික් තරඟ සඳහා ලංකාවේ සහභාගිත්වය පහත පරිදි වී තිබෙනවා.
මොරිස් කුමාරවේල් -බයිසිකල් පැදීම 
ලීනස් ඩයස්             -මලල ක්‍රීඩා
ධර්මසිරි වීරකෝන්  -බොක්සිං
සුමිත් ලියනගේ       -      "
ටෝනි විලියම්ස්      -පිහිණුම් තරඟ

ක්‍රීඩාංගනයේ ඉඳගෙන සිසිල් බීමක් පානය කරමින් ඉද්දි ගලවල බිම තිබ්බ මගෙ සන්ග්ලාස් එක හෙවත් සඟ එතනින් නැගිටල එද්දී දාගන්න අමතක වුනා.අපි ඉඳගෙන ඉන්න තැන බිම සන්ග්ලාස් එක තියෙනව එක පින්තුරෙක සටහන්වෙලා තියෙනවා.මම ඒ පින්තුරෙ බලල හිත හදාගන්නවා෴

Monday, September 1, 2014

150.සංචාරක සටහන් රජරට සේවය සහ කතා දෙකක්.


ඇත්ත වසයෙන්ම පහුගිය මාසෙක විතර කාලෙ තුල මම ගොඩක් අවිවේකයෙන් හිටිය කිව්වොත් නිවැරදියි.බ්ලොග් වැඩෙත් හරියට කරගන්න බැරිවුනා ඉතිං ඒ විස්තරෙත් කිව්වොත් හොඳා කියල මට හිතුනෙ මම ගියපු වෙන සංචාර ගැන ලියන්නෙ අවුරුදු ගණන් පහුවෙලානෙ මේ සංචාරෙ ගැන උණු උණුවෙන්ම ලියන්නත් පුළුවන් නිසා වගේම මේ  රට ගැන මම ලියන පළවෙනි වතාව වීම මෙහි ඇති වෙනසයි.අපි පහුගිය මාසෙ පොඩි සංචාරයක්  කළා.මේ ඒ සංචාරෙදී මම දැකපු කරපු දේ ඔබත් එක්ක බෙදාගන්න ගත්ත පුංචි උත්සාහයක්.අපි ගිය තැන මෙහෙ ඉඳන් කිලෝමීටර් 1200 කට විතර කිට්ටු වෙන්න දුරක.හැබැයි එක රටක තියෙනවා වෙන්න බෑ කියන තරමට තැන් දෙක වෙනස්.ලියනවට වඩා පින්තුර වලින් කතාව කියන්න පුළුවනි.මම මේ එහෙ ගිය තුන්වෙනි වතාව උනාට හැලපියි හැලපැට්ටයි ගියෙනං පළවෙනි වතාවටයි.මේ කාලෙ අගනගරයට  තදින්ම ග්‍රීෂ්මෙ උනාට එහෙ හරි සීතලයි.කොටින්ම මෙහෙ 40C වෙද්දි එහෙ 16C ඔන්න වෙනස.තියෙන සීතල ගැන පසුබිමේ තියන අහසින්ම ඔබට හිතාගන්න පුළුවනි.අගනගරේ ගොඩක් අය දැඩි රශ්මියෙන් බේරීම සඳහා මේ පළාතෙ සංචාරයේ යෙදෙනවා දැන් බලන්න මේ අපි ගියපු මේ ගුවන් යානය ගත්තත් වෙන සෘතු වලට එන යානාවලට වඩා සාපේක්ෂව විශාලයි. මෙවැනි විශාල යානා යොදවන්නෙ මේ දිනවලට පැමිණෙන දේශීය සංචාරකයන්ගේ ගණන දිනෙන් දින වැඩිවෙන නිසායි.සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව හෝටල් ගාස්තුත් විශාල ලෙස ඉහළ යනවා.

නගරයේ සියල්ලන්ම මේ හද කිතිකැවෙන සුළු සංචාරක සමය උදාවෙනතුරු ඇඟිලි ගනිමින් ඉන්නව කිව්වොත් එය නිවැරදියි.නගරේ සියල්ලන්ම කිව්වම ඔන්න මට ගීතයක් මතක් වුනා.ඒ ප්‍රවීන ගායන ශිල්පී හරුන් ලන්ත්‍රා ගායනා කළ ගීතයක එන කොටසක්.

"නගරේ සියල්ලෝ නිදියාවී සුවසේ-ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ"

ඒ ගීත කොටස තියෙන්නෙ හරූන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක ගායනා කළ ආනන්ද මේ රෑ කියන ඉතාම රසවත් මනබඳින ගීතයෙයි.ගීතය මෙතෙන්ට ඔබන්න මම යූ බටේ සර්ච් කරද්දි මට ගීත දෙකක් ලැබුණා. එකක් නම් බහරේන් හි ප්‍රසංගයක කවුදෝ කෙනෙක් මේ ගීතය ගායනා කළ අවස්තාවක් සහ අනෙක ගායක හරුන් ලන්ත්‍රාම සන්ෆ්ලවර්ස් සමග ගායනා කරපු මේ ගීතය.ගීත දෙකම කිසිසේත්ම ඔහුගේ මුල් ගායනාව වගේ මගේ හිතට වැදුනේ නැති නිසා මම ගීතය ගෙනත් මෙතන දැම්මෙ නැහැ මොකද මට අප්‍රසන්න  දෙයක් ඔයගොල්ලන්ට දෙන්නට මම කැමති නැති නිසා.හරුන්  ලන්ත්‍රා සන්ෆ්ලවර්ස් එක්ක ඔහුගෙ මනරම් අමරණීය ගීත විනාශ කරල දැම්මට කිසිදෙයක් කියන්න අපට අයිතියක් නෑ කියල මට හිතෙනවා.ඒ වගේ අසරණ අඩියකට වැටිල හිටපු අහිංසක ගායකයෙක්  සන්ෆ්ලවර්ස්ලට තමන්ගෙ ගීත ගාණකට විකිණුවේ ඉන්න හිටින්න තැනක් කන්න දෙයක් නැතුව බේත් ටිකක් ගන්න ක්‍රමයක් නැතුව කිසිම කෙනෙක්ගෙ ඇල්මක් බැල්මක් නැතුව දරිද්‍රතාවෙ පතුලෙ ඉද්දියි.නමුත් කිසිම අගහිඟයක් නැතුව හිටපු විශාරදල නිපුන්ල හිටං හුදෙක් සල්ලිවලටම පෙරේතකමෙන් තමන්ගෙ ලස්සන ගීත සන්ෆ්ලවර්ස්ලත් එක්ක එකතුවෙලා කිසිම හිරිකිතයක් නැතුව අනුභව කරපු හැටිත් අපි දැක්කනෙ.හරියට තමන්ගේ දරුවො වික්ක වගේ කියලයි මට නං හිතෙන්නෙ. ඔය සන්ෆ්ලවර්ස් ලාගෙන් බේරුනේ ගායක ගායිකාවො කීයෙන් කීදෙනාද?ඔන්න මම ලස්සන කතාවක් කියන්නං.

මම චෙන්නායි වල පදිංචි වෙලා හිටපු සංදියෙ ලංකාවෙන් ඇවිත් හිටපු මනුස්සයෙක් ආපහු ලංකාවට ගිහිං එන්න යනවා කියල මොනාද ලංකාවෙන් ගේන්න අවශ්‍ය කියල අහපුවම කපුගේගෙ සී ඩී එකක් ගේන්න කියල මම මිනිහට සල්ලි දුන්නා.සති දෙකකට විතර පස්සෙ මනුස්සය ඇවිත් මෙන්න මහත්තයට මම නියම සී ඩී එකක් ගෙනාව කියල රෙකෝඩ් කරපු සී ඩී එකක් මට දීල ගියා,අහල බලපුවම ඒ සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ විශාරද ගුණදාස කපුගේ සන්ෆ්ලවර්ස් එක්ක කරපු නන්ස්ටොප් හෙවත් නොනවතින ගීත තැටියක්.මට ආපු දුකයි කේන්තියයි පිටකරගන්න විදියක් නැතුව  ගමනක අවසානය කියල සී ඩී එකේ ලියල පැත්තකට දැම්මා.කපුගේ ඇත්ත වශයෙන්ම මියගියේ සන්ෆ්ලවර්ස් එක්ක සිංදු කියපු දා කියල මම තවමත් විශ්වාස කරනවා.ඒ ක්‍රියාවට ලංකාවෙ රසිකයන්ගෙන් ආව විරෝධය හමුවේ ඔහු කරපු දේ සාධාරණීකරණය කරන්නට කපුගේ දෙවරකට හේතු දෙකක් ගෙනහැර පෑවත් කවුරුවත් ඔහු කියපු දේ විශ්වාස කලේ නැහැ.කපුගේට දවසක් පැල නැති හේනේ ඇතුළු මනහර ගීත කීපයක් ලියාදුන් නීතිවේදී රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කපුගේ කළ මේ ක්‍රියාව හේතුවෙන් දණ්ඩෙන් පහරලත් නයෙක් සේ කිපී කපුගේ සමග තිබූ සියළුම හිත මිත්‍රකම් නැවැත්වූ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් පුවත්පත්වලට නිකුත් කළා.ගායකයෙක් ලෙස කපුගේ ගහගත්ත මඩ පාර හෝදන්නට හිතවතුන් බොහෝදෙනෙක් උත්සාහකලත් ඒ ව්‍යායාමය කිසිසේත්ම සාර්ථක වුයේ නෑ.ශාරීරිකව මියෙන තුරුම කපුගේ ඒ කළු පැල්ලම සමගම ජීවත්වුනා.එක පැත්තකින් ලංකාවෙ කලාකරුවන්ගේ ඛේදවාචකයත් සමගම සමහරුන්ගෙ මුදල්වලට තියෙන කෑදරකමත් මේ සිද්ධීන් වලින් අපට පෙනී යනවා.

ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ කපුගේට රජරට සේවයට දඬුවම් මාරුවක් ලැබෙනවා ඔහු මෙන්ම දඬුවම් මාරුවක් ලබා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් නිවේදකයානන්ද එකල සේවය කලේ රජරට සේවයෙයි.වැව් බැඳි රටේ සියළුම ජන මාධ්‍යවලට ඉහළින් රජරට සේවය ඔසවා තබන්නට ඔවුන්ගේ හපන්කම් ඉවහල් වුනා.මහින්ද දිසානායක වැනි ගීත රචකයන් කරුණාරත්න දිවුල්ගනේ වැනි ගායකයන් බිහිවන්නේ ඔවුන් රජරට සේවයේ සේවය කළ සමය තුළදීයි.රජරට සේවය කියපුවම මට තව කතාවක් මතක් උනා මේ කතාව එන්නේ චින්තන ජයසේනයන් ලියූ චින්තන කතා පොතෙයි.

"ඊට වසර ගණනාවකට පසු කල්පිටි ගොස් සිටි පාලිතත් ,මාත් හමුවීමට සංස්කෘතික අධ්‍යක්ෂ උපාලිද සිල්වා මහතා පසුදා පැමිණියේය.අපි තිදෙනම අනුරාධපුරයට ගියෙමු.

එවකට අනුරාධපුර රජරට සේවයේ අධ්‍යක්ෂවරයා ව සිටියේ මගෙ හිතවතෙක් මෙන්ම ඥාතියෙකු ද වූ මල්වානේ රඹුටන් වල්ලක් ලෙස හැඳින්විය හැකි ජී ටී වික්‍රමසිංහ මහතාය.ජිට්ටා අප දුටු හැටියේම කාර්යාලයෙන් එළියට පැමිණියේය.බෝතල් දෙකක් ද ගත්තේය.පසුව ඔහුගේ නිවහනට ගියේය.ඇඳුම් මාරුකර ගත් පසු ඔහු ඇසුවේ මෙයයි.

'උඹල වැඩිය කැමති ආරණ්‍ය ගතෝවාද,රුක්ඛ මූල ගතෝවාද?' කියාය.එහි අදහස ගේ ඇතුලෙ බොනවද ගහක් යට බොනවද කියන එකය.ඊට අමතරව ජී ටී ගේ රස කතා පටන් ගත් විට උපාලිට ඇතිවුයේ පුදුම සතුටකි.ජී ටී ත් මාත් යාන් හෑලි තරඟයට කියන්නට පටන් ගතිමු.

මෙයට අමතරව තවත් සිදුවීමක් සිදුවිය.මෙකල ගුණදාස කපුගේ වැඩ තහනමට ලක්වී අනුරාධපුරයේ සිටියේය.මම කපුගේ හමුවීමට ගියෙමි.කපුගේ අප දැකීමෙන් "කම්පනයට" පත්විය.ඔහු බෝතල් දෙකකින්ම අප "කම්පනය"කොට ඔහුද අපේ රථයෙන්ම කම්පනයෙන් ගෙදරට බස්සා ජිට්ටාගේ නිවහනට ගියෙමු."

රජරට සේවය හා  නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් සම්බන්ධ මේ කතා පුවත මා මීට බොහෝ කාලයකට පෙර දිවයින මීවිත අතිරේකයේ තිබී කියැවූවක්.කතාව කොපමණ මගේ සිත් ගත්තාද කිවහොත් එය අද දක්වාත්  මගේ මතකයේ රැඳී තිබෙනවා. ලේඛකයා කතාව ලියා තිබූ රසවත් සහ අලංකාර ආකාරයටම ඒ වචන වලින්ම මට මතක නැතත් මතකයේ ඇති ආකාරයට කතාව මෙහි ලියා දක්වන්නම්.

ගත සිත නලවන සිසිල් සුළඟක් වැව් බැඳී රට හරහා හමා යමින් තිබුන එක් සොඳුරු සැන්දෑ යාමයක ප්‍රේමකීර්තිගේ හිතවතෙක් ඔහු හමුවන්නට රජරට ගුවන් විදුලි සේවයට පැමිණියා.හිතවතා ආදරයෙන් පිළිගත් ප්‍රේම් ඔහුත් සමග පාරට පැමිණ මිතුරෙකුගෙන් ඉල්ලා ගත් මලකඩ කා කෑලි හැලෙන කබල් බයිසිකලයක ඔහුව නංවාගෙන නගරයෙන් සැතපුම් තුන හතරක් ඈත හේනක පැලකට  රැගෙන ගියා.එහි තිබූ හොර අරක්කු පොළෙන් ඔවුන් දෙදෙනාට ලැබුණු  කොච්චිත් මිශ්‍රකර  හොඳ සැරට තෙල් දැමූ කරෝල සමග තම්බාපු මඤ්ඤොක්කා කටගැස්මද සමග වීදුරු කීපයක් සප්පායම් වූ ඔවුන් හොර අරක්කු පොලේ හිතවතාගෙන් සමුගෙන පාරට පැමිණියේ එදින සවස ප්‍රේම් විසින් ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීමට නියමිත හෙයින් හැකි ඉක්මනින් ආපසු රජරට සේවයට යාගන්නටයි.අනුරාධපුර නගර සීමාවෙන් ඇතුල්වී මඳ අඳුරේ වේගයෙන් පැදයමින් තිබු බයිසිකලය එකවරම නතරවුනේ  ලයිට් නැති සයිකල් ඇල්ලීමට ඉදිරියේ රථවාහන පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණ නිසයි.සයිකලයද සමග දෙදෙනාවම පොලිසියේ කාමරයකට ගාල් කරනු ලැබුයේ ඒ සමගම අල්ලා ගනු ලැබූ තවත් සයිකල්  කරුවන් රාශියක්ද සමගයි.

තම කාමරය තුළ රාජකාරියක නිරත වෙමින් සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට අසල චෝදනාගාරය තුළින් සුපුරුදු කටහඬක් අසන්නට ලැබීමෙන් ඔහු මඳක් විමසිලිමත් වුනා.

සම්පූර්ණ නම කියනව...

සමරවීර මුදලිගේ දොන් ...

රජරට සේවයේනිත්‍ය ශ්‍රාවකයෙකු වූද ප්‍රේමකීර්ති රසිකයෙකු වූද පොලිස් නිලධාරියාට තම සිත තුළ වූ සැකය තහවුරු කරගන්නට ගතවුයේ සුළු මොහොතයි, ඊළඟ මොහොතේ ඔහු චෝදනාගාරය ඉදිරියේ පෙනී සිටියා.

පෙරේරා  ඔය මනුස්සයව එළියට දානවා...

ඇයි සර් මුං දෙන්න ලයිට් නැතුව ආව මදිවට හොඳටම බීලත්...

කටවහගෙන කියපු දේ කරනව සාජන්...

ස්ථානාධිපති වරයාගේ කාමරයට ගෙන ආ ඔවුන් දෙදෙනාට සිදුවූ අකරතැබ්බය ප්‍රේමකීර්තිගේ මුවින්ම ඔහුට දැනගන්නට ලැබුණා.

එතකොට තව විනාඩි කීපයකින් නිව්ස් යනවා...

ඔව්...

නිව්ස් කියවන්නෙ ඔබයි ...

ඔව්...
  
මාත් එක්ක යමු එන්න...

පොලිස් ස්ථානාධිපති වරයාගේ අතින් පණ ගැන්වුන ජීප් රියට ප්‍රේමකීර්ති හිතවතාත් සමග නැගුනු මොහොතකින් ජීප් රථය අඳුර දෙබෑ කරගෙන රජරට සේවය දෙසට ධාවනය වුනා.වේගයෙන් ආදී ආ ජීප් රථය ගුවන් විදුලි සේවය ඉදිරියේ නවතනවාත් සමගම බැසගත් ප්‍රේම් ප්‍රවෘත්ති  ගුවන්ගත වන මැදිරියට ඇතුල් වනවිටත් ප්‍රවෘත්ති ප්‍රකාශයේ ආරම්භක වාදනය ප්‍රචාරය වෙමින් තිබුණා.මැදිරියෙන් පිටත පුටුවකට බරදුන් පොලිස් නිලධාරියා ප්‍රේමකීර්ති විසින් ඉදිරිපත් කරන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දී සිටියේ මහත්වූ සැනසිලිදායක හැඟීමෙනුයි.

එදා ඇරඹුණු ඔවුන් දෙපොළගේ මිත්‍රත්වය සැම සතියකම අනුරාධපුර වැවක් අසල ඇති අවන්හලකදී වැඩි දියුණු වුනා.වැව් තලයේ නැලැවෙන ජල තරංගයන් සිලි සිලි හඬ නංවමින් ඔවුන් දෙදෙනාගේ රසබස් අසාසිටියා.අවුරුදු කීපයකට පසු ප්‍රේම් ස්ථාන මාරුවක් ලබා ආපසු කොළඹට යනතුරුම මේ දෙපොළගේ මිත්‍ර සන්ථවය නොනැවතී ගලාගිය බව කියවෙනවා෴