අවුරුද්දේ අවසන් මාසයේ අවසන් දින කීපයද වේගයෙන් ගෙවීයමින් පවතී. වැලිකතරේ මේ දිනවල සීතල නොඅඩුව ඇතත් ලංකාවේ මෙන් සිත කිතිකවමින් ගත දැවටෙන සිහිල් සුළං රැළි පහස නොලැබීම දනවන්නේ අඩුවකි. අපේ රටේ නම් දෙසැම්බරයේදී ගත දැවටෙන සිහිල් සුළං මා අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගෙනගොස් අත හරින්නේ හරි අපූරු තැනකය. එනම් රාගම නිව් ජෙම් සිනමාහල ඉදිරිපිට පාරේ ඇති කන්ද උඩටය. ඉස්පිරිතාලයේ වැඩ ඇරී එන අපි එතන පාර අයිනේ ඇති අප්සරා හෝටලයෙන් එළවළු රොටී කා තේ බීම නොවරදවාම කරන කටයුත්තකි. කඩෙන් කා බී එළියට එන අපි කන්ද බැසගෙන රාගම දුම්රියපොළට පියමනින්නේ හවස පහයි හතළිහේ කෝච්චිය අල්ලා ගන්නටය. නත්තලේ පවන් රැළි ගත දැවටෙන්නේ ඒ වෙලාවටය. අපි කියා කිව්වේ මමත්,ගුණේත්,චන්දරේත්,ඩේවිඩ්,සරත් හා විජේසිරිටත්ය. අපිත් එක්ක කඩවල රස්තියාදු ගහන්නට කැමැත්තක් නොමැති කෙල්ලන් දෙතුන් දෙනා කළින් කෝච්චියේ ගෙදර යන්නට යති. රාගම ටවුමේ එදත් අදත් තේ කඩවලට පසුව වැඩියම ඇත්තේ රේස් බුකි බව මගේ විශ්වාසයයි. ඒ කාලයේ රේස් බුකි වූ තැන් අද රේස් බයි රේස් පොළවල්ය. ඉස්පිරිතාලේ අපිත් එක්ක වැඩකරපු සොයිසාගේ අයියාත් රේස් බුකියක් කළේ රාගම දැන් තියෙන ගුවන් පාලම පටන් ගන්නා තැනට පොඩ්ඩක් එහායින් පාර අයිනේය. ඒ කාලේ ගුවන් පාලමක් හදන්නට හිතලාවත් නැති නිසා නිතරම වැහෙන රේල් ගේට්ටුවට හසුවන වාහන පෝලිම මේ පැත්තෙන් පල්ලිය හරියටද ඒ පැත්තෙන් රාගම ඉස්පිරිතාලය හරියටද දික්වී තිබීම සාමාන්‍ය දෙයකි. කෝච්චියට වෙලාව ලංවන තුරු අපි සොයිසාගේ අයියගේ රේස් බුකියට වී කාලය ගතකරමු. අද ලංකාවේ රේස් ව්‍යාපාරය සුමතිපාල මුදලාලි ගේ ස්පෝටින් ස්ටාර් තනි සම්බුද්දියට අයිති කරගෙන තිබුණත් ඒ කාලයේ ස්පෝටින් ටයිම්ස් කියාද රේස් ව්‍යාපාරයක් ස්පෝටින් ස්ටාර් සමග තරඟයට කරගෙන ගියා මට මතකය.
සොයිසා ගේ අයියාගේ බුකියද ස්පෝටින් ස්ටාර් බුකියකි. ඌ උදේට දිනුම් තියෙන ටික දෙනාට දිනපු මුදල් ලබාදී රේස් කොලය කියවමින් වැඩ පටන් ගනී. ඕලෝන් දාන්නට රේස් සුදු කාරයින් එන්නේ හවසටය. සොයිසාගේ අයියා ළඟ මාස ගාණක රේස් පත්තර එකතුවක් තිබේ. ඌ ඒ සියල්ලම දිග ඇරගෙන එදාට දුවන අස්සයන්ගේ පැටිකිරිය හොයන්නට පටන් ගනී. ඔහු රේස් දුවන අස්සයන්ගේ දෙමාපියන්, අස්සයා කලින් දිනු රේස් ගණන, එවෙලේ නැග්ග ජොකියා, එදා අස්සයා පිට පටවා තිබු බර, මෙදා නගින ජොකියා කවුරුන්ද යන්න ආදී වශයෙන් මෙකි නොකී දේවල් සියල්ලම සළකා බලා හවසට ඕලෝන් චිට් එක දමන්නට අස්සයන් කීප දෙනෙක් තෝරා ගනී. කොපමණ නිමිති බලා අස්සයන් තෝරාගෙන ඔට්ටුව දැම්මත් පහුවදාට උන් ඔක්කොම නෝ වෙයාර්ය. දිනා ඇත්තේ හිතුවෙවත් නැති අහක හිටපු අප්සෙට් අස්සයන්ය මුන් දිනයි කියා මම නිකමට වගේ කියන අස්සයන්ට ඌ සවුත්තුවට හිනාවුනත් පහුවදා බැලුකොට දිනා ඇත්තේ ඒ අස්සයන්ය. බුකියට ඕලෝන් චිට් දාන්නට සෙනග ඇදෙන හැන්දෑ වරුවේ සොයිසාගේ අයියාට වැඩ වැඩිවේ. ඒ වෙලාවට ඔහු බුකියෙ ඉන්නා අපිවද වැඩට අල්ලාගනී. එන අයට ඕලෝන් චිට් ලිවීම අපට පවරා ඌ මුදල් ගණුදෙනු පටන්ගනී.
" රංජි පුතේ මෙන්න මේ අස්සයෝ තුන්දෙනාට දහයක් ගහපං!"
කවුරුන් හෝ වයසක මනුස්සයෙක් කොළේ ලකුනුකල අස්සයන් පෙන්නමින් රංජිට කියයි.
" ඔය චිට් එක මෙන්න මෙයාට කියල ලියෝගෙන වරෙන්කො රෝගුස් මාමෙ!"
රංජි මාව පෙන්වයි, ඔන්න ඔය ආකාරයට චිට් ලිවීම පටන්ගත් මට කිසි කරදරයක් නැතිව විවිධාකාර චිට් වර්ග ලිවීමේ පරිචය ටික දිනකින්ම ලැබුණේ රංජියාගේ මග පෙන්වීමෙනි. වින් පමණක් ඇති චිට්ද, වින් ඇන්ඩ් ප්ලේස් දෙකටම මුදල් යොදනා චිට්ද, ඩී.ටී.ඩබ්ලිව්.ඕ හෙවත් ඩබල් ට්‍රිබල් වින් ඔන්ලි චිට්ද ආදී වශයෙන් බුකියෙ භාවිතාවන විවිධ චිට් වර්ග ලිවීම මට විනෝදයක් විය. එහෙත් ඒ වනතුරුම රේස් කොළය කියවන්නට ඉගෙන ගෙන නොසිටියෙමි. වැලිසර ළය රෝහලේ නේවාසිකව ඉන්නා රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ගේ පහසුව පිණිස සොයිසා ජංගම බුකියක් ආරම්භ කළේ ඔය කාලයේදීය. උදේට අයියාගේ බුකියෙන් ගන්නා රේස් පත්තර ටික වාට්ටුවල ඉන්නා රේස් අන්තුවන්ට බෙදාදෙන සොයිසා හවසට චිට්ද මුදල්ද එකතුකරගෙන රාගමට ගොස් බුකියට බාරදෙයි. මෙතැන් සිට පෙනී පෙනීම වෙනත් පැත්තකට හැරෙන්නට සිදුවන්නේ තවත් රසවත් කතාවක් කියන්නටය. එය වනාහි අපේ හිතවත් කොච්චියාගේ නත්තල් සාදයේ විස්තරයයි. මා පුරාගෙන ආ කතාවේ ඉතිරිය තවත් දවසක කියන්නට තබාගෙන දැන් නත්තල් සාදයේ කතාව පටන්ගනිමි.
අපි අන්තිමට කොච්චියාගේ නිවසට ගියේ කොච්චි හාමිනේගේ උපන්දින උත්සවයටය ඒ ඔක්තෝබර් මාසයේය. ඊට පසුව ගෙදර ඇවිත්ද සෙට් වෙමුය කියා දහ වතාවකට වඩා කොච්චියා මට ආරාධනා කළත් මාහට තිබු වැඩ කටයුතු හේතුවෙන් ආරාධනා පිළිගන්නට නොහැකි විය. ඒ සම්බන්ධයෙන් කොච්චියා නෝක්කාඩු කියමින් සිටි අතර නත්තල් පාටියට නම් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය කියා කළින්ම කියා සිටියේය. වැඩිදුරටත් ඔහු කොච්චි හාමිනේටද කියා තර්ජනාත්මක ආරාධනාවක්ද ඉදිරිපත් කළේය. වාසනාවකට මෙන් දවල් දවසේ කොච්චර වැඩ තිබුණත් නත්තල් රාත්‍රියේ වැඩ කිසිවක් නොතිබුණෙන් කරදරයක් නැතුවම කොච්චියාගේ නිවසට යන්නට ලැබීම මට මෙන්ම හැලපිටද සතුටක් විය. නත්තලට අවශ්‍ය කලහලමනා කොච්චියා එකතු කරන්නට ගත්තේ ඊට දින ගණනාවකට පෙර සිටය. අප දෙදෙනාට අමතරව කොච්චි යුවළගේ ආරාධනය ලබා තවත් හත්අට දෙනෙක්ම නිවසට පැමිණ සිටියහ. සාදයට ආ පොඩි උන් දෙන්නා අපට හුරතල් රසය නොඅඩුවම සැපයුහ. පැමිණි අයගේ බඩකට පමණක් නොව ඇසද පිනවන්නට කොච්චි හාමිනේ සහ ඇයගේ සහායිකාවන් දෙතුන් දෙනා සාර්ථක උත්සාහයක් දරා තිබුණි. මා කියනවාට වඩා ඒවා ඔබටම දැක බලාගන්නට මෙතැන් සිට සාදයේ පිංතුර ටික ඉදිරිපත් කරමි. සාදය පටන් ගත්තේ ඩෙට් කේක් හා අයිසිං තැවරූ ෆෘට් කේක් සමග ෆෘට් කොක්ටේලයකිනි.
ඉන්පසුව කන්නට දුන්නෙ හැම් සමග බැටළුමස් මිශ්‍රකර ඇතුළට දමා සාදා තිබු මෆින්ය. පෘට් කොක්ටේලයට එහායින් ඇත්තේ ක්රේන්බෙරි යුෂ,ඉඟුරු යුෂ සමග ලෙමන් යුෂ සහ ස්ට්‍රෝබෙරි යුෂට බොම්බේ සෆාරි ඩ්‍රයිජින් මුසුකර සෑදු විශේෂ කොක්ටේලයයි. එයනම් මිහිරිම පානයකි කික් එකද අඩුවක් නොමැතිව හොඳින් තිබුණි. ටිකක් වෙලා කොක්ටේල් පානය කළ පසු හයි කොමිෂනර් බෝතලයක්ද ලැබුණේ තවත් වැඩිපුර කික් එකක් අවශ්‍ය අයටය. කොච්චියා කොක්ටේල් වීදුරු තුන හතරක් ළඟ ළඟ නවාගත්තේ එහි ඇති මිහිරි රසය නිසාමය. අප අතර ඇතිවූ කතාවට මුලික වුයේ බ්ලොග් ලිවීමේදී ඇතිවන ඩොමැස්ටික් සෙන්සර් ය. කොච්චි හාමිනේත් හැලපිත් දෙදනාම ළඟ සිටි නිසා මේ කතාබහ බෙහෙවින් රසවත් වූ බවත් ගෑනුන් අපි දෙන්නාගේම රෙදි ගලවන්නට සමත්වූ බවත් කීවාට වරදක් නැත. රාත්‍රී කෑම මේසයේ පළහන ලද ටර්කියෙක් සහ බැටළු ගාතයක් තිබුණේ ප්‍රෝන් රයිස් සමග කන්නටය.තව තවත් ජාති බොහොමයක් තිබුණත් විස්තර කරන්නට නොයන්නේ පිංතුර වලින් බලාගත හැකි බැවිනි.
මේ පින්තුරය පසුබිමේ සිටින්නේ කොච්චියා ය.
තවත් පිංතුර බොහොමයක් ඇතත් ඒවායේ අප පෙනී සිටින බැවින් පළ නොකරන්නේ කොච්චියාගේ ඉල්ලීම පරිදිය. රාත්‍රී ආහාරය ගෙන ගෙදර ආ බව මට මතක තිබුණත් කොච්චියා උදේ කතාකර මගෙන් ඇහුවේ හොඳින් ගෙදරට ළඟාවූනාද කියලාය. මධ්‍යම රාත්‍රිය ලඟාවන විට කොච්චියාගේ ගෙදර පහළ පාමසියේ ඉන්නා ඩොක්ටෝර් හෙවත් ජානි බායි සාදයට පැමිණියේය. ඔහුටද කොක්ටේල් පානය බොහෝ රසවත් වූ බව පෙනුණි. ඉතිං කොච්චියාගේ නත්තල් සාදයේ තොරතුරු දැනට ඔපමණය. තව විස්තර අවශ්‍යනම් ලබන අවුරුද්දේ පමණ සලකා බලන්නට පුළුවන. එතෙක් උදාවුණු නත්තල සහ උදාවෙන 2017 නව වසර ඔබ සියලු දෙනාටම දුකෙන් තොර සැපෙන් බර සියලු පැතුම් ඉටුවන වැඩි වැඩියෙන් බ්ලොග් ලියැවෙන බ්ලොග් වලි අඩුවන සුබම සුබ නව වසරක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා වන මමද හැලපිය සහ හැල පැට්ටාත්ය෴