Thursday, January 30, 2014

111.මා සමග එක්වූ ඔබ සැමට



අදට දවස් විසිපහක් වෙනව බ්ලොගේ පාළුවට යන්න ඇරලා,අපි පහුගිය හයවෙනිදා ලංකාවට පිටත් වුනු ගමන එන්න වුනේ ඊයෙ රෑයි,අද උදේ වැඩට ගියා.ලංකාවේදී බ්ලොග ලියන්න බැරිවුනාට අනික් බ්ලොග් ඔක්කොම කියෙව්වා, නමුත් කමෙන්ට් එකක්වත් කොටාගන්න විදියක් නැතිවුනේ සිංහල තිබුනෙ නැති නිසායි.
ඉතිං විශේෂයෙන්ම මේ ලිපිය හදිසියෙන් ලියන්නෙ බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන්ට ස්තූති කරන්නටයි.මෙය කොයි ආකාරයට කරන්නදැයි මා බොහෝ වෙලා කල්පනා කළත් නිශ්චිත අදහසක් හිතට නොආ නිසාවෙන් පුරුදු ආකාරයටම ඔහේ ලියාගෙන යන්නට තීරණය කළා.
මගේ ආදරණීය මව අසනීපව ලෙඩ ඇඳට වැටුණු මොහොතේ මා ඒ ගැන පෝස්ටුවක් ලිව්වා.අම්මගෙ රෝගී තත්වය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරුන්ගේ නිගමනය වුනේ ප්‍රතිකාර කිරීමෙන් ඇයට පීඩා නොකොට නිසංසලේ අවසාන ගමන යන්නට ඉඩදීම වඩාත් සුදුසුයි යන්නයි.ඒ අනුව සේලයින් අධාරයෙන් දින දෙක තුනක් ජීවත්වූ ඈ පස්වෙනිදා රාත්‍රියේ නිහඬවම අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන අවස්ථාවේ මා හැරෙන්නට අනෙක් දරුවන් සියලුදෙනාම ඇය වටේ සිටි අතර මා නියෝජනය කරන්නට මෙන් අපේ පුතා එවේලේ කිරිඅම්මාගේ අතින් අල්ලගෙන සිටියා.

ඉතිං මවගේ අභාවය ආරංචි වූ මොහොතේ පටන් බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන් සියලු දෙනාම පාහේ මාවෙත තම ශෝකය ප්‍රකාශ කළා,එමෙන්ම මා හිතවත් මිතුරු කෙන්ජි විශේෂ පෝස්ටුවක් ලියමින් මවගේ වියෝව  සියල්ලන් වෙත දැනුම් දුන්නා.

විවිධාකාරයෙන් ශෝකය ප්‍රකාශ කලාවූ සියළුම සොයුරු සොයුරියන්ටත්,සදාදර සොයුරු කෙන්ජිටත්,මා වෙනුවෙන් ඔබ සමග සම්බන්ධීකරණ කටයුතු වල නියැලුණු සොයුරිය සඳාටත්,පුද්ගලිකව මගේ 
නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වූ මාතලන්,නලීන් දිල්රුක්ෂ,අටම්පහුර,දමිත් ගුණවර්ධන,ඉවාන් පවුලූශා,රසික නානායක්කාර(රනා),රජ වීදියේ උමේෂ්,කළු ජෙමා යන සොහොයුරන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරන අතර පුද්ගලිකව ස්තූති කිරීමට හැකියාවක් නොමැතිවීම ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි.

මෙම දුක්මුසු අවස්ථාවේ ඔබ සියලු දෙනා මා සමග ශෝකය බෙදා ගැනීම මට මහත් වූ ධෛර්යක් වූ බවද මෙහිදී නොකියාම බැරිය.

Friday, January 3, 2014

110.මතකයන් බිඳක්.






අපේ අම්මලගෙ ගම වෙච්චි බෝතලේ ගමත් එක්ක අපිට ඉතාම ළඟ සම්බන්ධයක් තිබුනට තාත්තාගෙ අම්මගෙ ගම වුනු මගලෙගොඩත් එක්ක අර තරං ළඟ සම්බන්ධයක් තිබ්බෙ නෑ...මගලෙගොඩ ගැන මට තියෙන එකම මතකය මම බොහොම පොඩි කාලෙ දවසක අම්මත් එක්ක මගලෙගොඩ තාත්තලගෙ ගමේ ගිය දවසක මතකයයි...ආච්චිලගෙ ගෙදරදී විජේපාල මාමා මාව වඩාගත්තම මම කෑගගහ අඬා වැටුන මතකයි...

එදා එහෙ යද්දී කඩේක තිබුණු ලස්සන මැටි බළලෙක් දැකපු මම ඒ බළලව අරං දෙන්න කියල අම්මට කිව්වා, ගාන අහපුවම රුපියල් එකයි පණහයි,ඒ වුණාට බළලව ගත්තොත් අපිට ආපහු කෝච්චියෙ යන්න සල්ලි මදි කියල අම්ම කිව්වා...ආච්චිලගෙ ගෙදර ගිහිං ආපහු එනකොටත් ඒ කඩේ ලඟදි බළලව අරං දෙන්න කියල මම අම්මට කිව්වා,ඒ ගමනත් අම්ම ආපහු අම්මගෙ පොඩි පර්ස් එක ඇදල අරං ඒකෙ තිබ්බ කාසි ටික බැලුව...කාසි මදි නිසා අපට බළලව නැතුවම ආපහු එන්න වුන එක මගෙ හිතට හරි නොගියත් බළලව අරං දෙන්න අම්මට අවංක උවමනාවක් තිබුනත් සල්ලි මදි නිසා කරගන්න බැරිවුණු බව මගේ පුංචි හිතට වැටහුණු නිසා මම අඬන්නෙ නැතුව අම්මත් එක්ක ආපහු ආවා...

අතීතය නැවත නැවත සිද්ධ වෙනව කියනවනෙ, ඔය වැඩේම ඊට ගොඩක් කාලෙකට පස්සෙ මගෙ හිතේ අවුරුදු හතළිහකට විතර පස්සෙ ආපහු සිද්ද වුනා...ඒ අපි ඉන්දියාවෙ හිටපු කාලෙ සැරයක් බැංගලෝර් සහ මයිසූර්වලට ට්‍රිප් එකක් ගියා, වැඩේ කියන්නෙ අම්ම ඔය දවස්වල අපේ ගෙදර ඇවිත් හිටිය නිසා ගමනට අම්මත් එකතුවුණා, මයිසූර්වල මාළිගාව ලඟදි මැටි එළදෙනෙක් සහ පැටියෙක් දැකපු පුතාට ඒකට හිත ගියා...ගාන අහපුවම කඩේ මිනිහ හොඳටම වැඩි ගාණක් කියපු නිසා මම එපා කිව්වත්, ''අනේ පුතේ ඔන්න ඕක අරං දෙන්න'' කියල අම්ම කිව්වා...

මේකට මෙච්චර ගාණක් දෙන එක අපරාදයක් අම්මෙ,මුං කොහොමත් මෙතනට එන ටුවරිස්ට්ලට අස්ප ගණන් කියන්නෙ, මේකම වෙන තැනකින් මීට ගොඩක් අඩුවට ගන්න පුළුවන්...

මම නොවටිනා ගාණක් කියපු එක එදා පුතාට තේරුනේ නෑ, වෙන මොනවටද මම සල්ලි දෙනව දැකපු පුතා...

තාත්ත ළඟ සල්ලි තියෙනවනෙ ඇයි මට හරක අරං දුන්නෙ නැත්තෙ,කියල ඇහුවා...

ඒ එළදෙනම වෙන තැනකින් ඊට ගොඩක් අඩුවට මම පුතාට අරගෙන දුන්න,ඔන්න දැන් පුතාටත් වඩා අම්මට සතුටුයි...

මගලෙගොඩදී අපි දෙන්නට බළලව ගන්න බැරි වෙච්චි එක අම්මට මතකද...

අම්මට ඒ සිද්ධිය මතකෙ තිබුනෙ නෑ මම විස්තරේ කිව්ව...

මගේ අම්මේ ඒ මොන කාලෙකද ළමයො...

අම්ම හිනාවුනා,එදා අම්ම ළඟ සල්ලි තිබුනනං ගාන බලන්නෙ නැතුව මට බළලව අරං දෙනව කියල ඊට අවුරුදු හතළිහකට පස්සෙදි ආයෙමත් මට ප්‍රත්‍යක්ෂ වුනා,අම්මල එහෙම තමයි...

තාත්ත නැතිවෙද්දී අපි ඉස්කෝලෙ යන ළමයි, තාත්තගෙ පැන්ෂන් එක ලැබෙන්න ගොඩක් ප්‍රමාද වුණේ පයිල් එකේ තිබ්බ අඩුපාඩු ගොඩක් නිසා කියල දැන් තේරුණාට ඒ කාලෙ තේරුමක් තිබුනෙ නෑ...දවසක් ඉස්කෝලෙ ඇරුනු වෙලේ අම්ම මාව හම්බවෙන්න ටවුමට ඇවිත් හිටියා,මාත් එක්ක හෝටලේකට ගිහිං අපි දෙන්න තේ දෙකක් බිව්ව...

ඊට පස්සෙ අම්ම මාත් අඬගහගෙන තැපැල් කන්තෝරුවට ගියා, අම්ම ළඟ මගෙ තැපැල් කන්තෝරු පාස් පොත තිබුණා, දන්නවනෙ තැපැල් කන්තෝරු පාස් පොත බැංකු පොතක් වගේ පොඩි පොතක්,තැපැල් කන්තෝරුවට ගිහිං මුදලක් දුන්නම ඒ වටිනාකමට පොතේ මුද්දර වාගෙ දෙයක් අලෝනවා...

ඒකෙ තිබ්බ මුදලක් ගන්න හදපුවම තැපැල් මහත්තය මගෙ වයස අහළ අවුරුදු දොළහට අඩු නිසා තවම සල්ලි ගන්න බෑ කිව්වා...ඒ වෙලාවෙ අම්ම හරිම බලාපොරොත්තු කඩවෙච්චි තත්වෙකට පත්වුනා මට මතකයි, හරියට මුදලක් අතේ නැතුව තුන්වේල ළමයින්ගෙ බඩ පුරවන්නෙ කොහොමද කියල හිතන්න ඇති...ඒ අම්මලගෙ හැටි තමන්ට කන්න මුට්ටියෙ බත් ඉතුරුවුණේ නැතත් දරුවන්ට බඩ පිරෙන්න කන්න දෙනවා...

අම්ම අපිත් එක්ක ඉන්දියාවෙ හිටපු කාලෙ අපේ පුතා පොඩියි හරිම දඟයි දඟකම කිව්වොත් දවසක් ගෑස් ගේන මනුස්සය ගෑස් සිලින්ඩරෙත් කරතියාගෙන තට්ටු තුනක් නැගල ගෙට ඇවිත් සිලින්ඩරේ බිමින් තිබ්බ විතරයි මෙයා දුවගෙන ඇවිත් අර මිනිහගෙ ඇඟට පැන්න පාර මනුස්සයට මොකක්ද උනා...එහෙමම පපුව අල්ලං බිම ඉඳගත්ත, විනාඩි දහයක් විතර ගියාම හරිගියෙ, අපි ඒ ගමන මිනිහට සිසිල් බීම එකකුත් දීල වැඩිපුරත් සල්ලි දුන්නා...

පුතාගෙ දඟකාරකම අඩුවෙන්න මට බුදුහාමුදුරුවො ළඟ අධිෂ්ඨානයක් කරන්න ඕනෑ ළමයිනේ...

අම්ම එහෙම කිව්වම මට හිනාගියා ඒ වුනාට, ''ඔහොම තමා අම්මෙ පොඩිඋන්'' කියල මම කිව්වෙ නෑ,මහාබෝධියෙ හාමුදුරුවෝ හම්බවෙලා කතාව කිව්වා...

හාමුදුරුවනේ මේ බුදු පිළිමෙ ළඟවත් අම්මට බාවනාවක් කරන්න ලෑස්ති කරල දෙන්න පුළුවන් නං හොඳයි...

නෑ නෑ මහත්තය අම්මට එන්න කියන්න, මම උඩ සැතපෙන පිළිමෙ ළඟ ලෑස්ති කරල දෙන්නංකො, මොකටද මෙතන සෙනග අස්සෙ ඉන්නෙ...

ඒ ගමන පහුවදා උදේ මම අම්මව මහාබෝධියට එක්ක ගියා, දවල් කෑම අපේ ගෙදර මුරට හිටපු පොලිස්කාරය මනිවන්නන් අතේ යැව්වා,මනිවන්නන් ගිහිං කෑම දීල ආපහු ආවා...

කොහොමද මනිවන්නන් කෑම දුන්නද,අම්ම මොකද කරන්නෙ...

නෝන මෙහේම ඉන්නව සර්...

අම්ම වැඳගෙන ඉන්න හැටි මනිවන්නන් කරල පෙන්නුවා...

එතකොට ලොකු සාමිත් හිටියද...

හිටිය සර් ලොකු සාමි හොඳට නිදි...

ඒ කිව්වෙ සැතපෙන පිළිමෙ ගැන...

අපේ ගෙට ඉස්සරහ ගෙදර හිටපු පොඩි එකා සූරියා,පුතාගෙ වයසෙමයි දෙන්නම ඩොන් බොස්කෝ එකට උදේට ගියෙ එකටමයි...සූරියගේ වැඩේ පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට ගෙදරින් පැනල පුතත් අඬගහගෙන බෝල ගහන්න යනඑක...අපේ අම්ම ඒ දවස්වල ලංකාවෙන් පිරිත් කැසට් එකක් ගෙන්නගෙන හැමදාම හවසට පිරිත්  අහනව, සූරිය දවසක් පුතාව හොයාගෙන එනකොට ඔය කැසට් එක දාල පිරිත් යනව...මම සාලෙ පත්තරයක් බල බලා හිටියෙ සූරියා මගේ ලඟට ආවා...

මොකද්ද අංකල් හැමදාම හවසට දාන ඔය සිංදුව...

මන්දන්නෙ නෑ සූරියා ඔය ආච්චි දාන සිංදුනෙ, ගිහිං ආච්චිගෙන්ම  අහල බලන්නකො...

සූරිය කෙලින්ම ගෙට ගියා අම්ම කාමරේ වැඳගෙන පිරිත් අහනව...

අයියෝ ග්‍රෑන්ඩ්මා මොනවද ඔය අහන සිංදු, බෝරිං නැද්ද ග්‍රෑන්ඩ්මා, කාජා බූජා ඕවත් සිංදුද, දාන්නකො හොඳ නම්බර් එකක්...

සූරිය ඉංග්‍රීසියෙන් කියාගෙන කියාගෙන ගියා,උන්ගෙ ප්‍රනවුන්සේෂන් එකත් දර පළනව වාගෙනෙ...අපේ අම්ම උඩබිම බලනව මේ මොකක්ද මේ පාත්වෙච්චි මරාලෙ කියල,අම්මට මූ කියන දේ තේරෙන එකක්යැ...මට එතන ඉන්න බෑ හිනායන හින්ද මම හෙමිහිට මාරුවුණා...

මූ නං දෙමළෙක්ම තමයි...

අම්ම කෙන්තියටම කියනව  මට යන ගමන් ඇහුණා....

කීප තැනකදිම කතාව සුපුරුදු විදියට පීළි පැනල වටේ යන්න ගියත් බොහොම අමාරුවෙන් ට්‍රැක් එකේ අරගෙන ආවෙ මේ අපේ අම්ම ගැන විතරක් කියවෙන කතාවක් නිසයි...

දැනට සතියකට විතර උඩදී අම්ම එකපාරටම වගේ ඇඳට වැටුණා,තාම ඇඳේමයි සේලයින් එකක්, අමාරුවෙන් පොවන දෙයක් ඇරෙන්න කෑමක් බීමක් නෑ...

හිතේ වේගෙටම  අම්ම ගැන අතීත මතක අකුරු කරන්නට ගත්ත පුංචි උත්සාහයක් මේ...