Sunday, November 11, 2018

ගුණේගේ කතාව, නන්දකුමාර, ගුණසේකර, පණ්ඩුලගම ගම් උදාව, කොත්තු, ගුණේගේ තුන් මාසෙ දානෙ ගෙදර සහ එරික්ගේ ගෝරනාඩුව.

                                                   Photo: Google images
අපේ හිතවත් ගුණේ යන්නම යන්න ගියේ අපි කවුරුවත් බලාපොරොත්තු නොවූ වෙලාවකය.  බලාපොරොත්තු වුණේ නැතැයි කීවේ ගුණේට වැළඳී තිබු අසනීපය නිසා ඔහු යන බව අපි දැන සිටියත් මෙච්චර ඉක්මනට යාවි කියලා නම් තුන් හිතකවත් තිබුණේ නැත.  ඒ කියන්නේ අපි කට්ටිය ගුණේගේ සැප දුක් බලන්නට ගිය වෙලාවෙත් කිසිම අපහසුවක් නොපෙන්වා බොහොම හොඳට අපිත් එක්ක කතා බහ කරමින් සිටිය නිසාය.  ගුණේ අසනීප වූ වෙලේ අපි කට්ටියම ගුණේ බලන්නට ගිය කතාව  මම මීට කලින් පෝස්ටුවක ලීවෙමි.  ඒ ගියේ ජූනි මාසයේ අග සතියේ වගේය.  එදා අපි යද්දී ලලනිත්, එරිකුත් අපි යන්න කලින් ගුණේලාගේ ගෙදර ගිහිං හිටියේ අපට සළකන්නටය.  උන් දෙන්නාට ගුණේ මස්සිනා වී ඇත්තේ ගුණේගේ පුතා ලලනිලාගේ දුව බැඳපු හේතුවෙන්ය.  එදා අපි කට්ටිය කතාකරමින් සිටියදී ඊළඟ මාසයේ ලලනිලාගේ ගෙදර යන එක ගැනද කතාකරද්දී ගුණේ අපට කීවේ ඌ ඊළඟ සතියේ ආපහු ඇඩ්මිට් වෙන බවත් ඒ ගිහින් එනතුරු ලලනිලාගේ ගෙදර යෑම පමා කරන්නට කියාත්ය.  අපි ඒකටත් හා කීවෙමු.  නමුත් සතියක්වත් ගතවුණේ නැත.  හදිසියේම මට කතාකරපු එරික් ගුණේගේ අවසානය ගැන දැන් වුයේය.

සාමාන්‍යයෙන් රෝහල්වල වැඩ කරන අයට මරණය එපමණ සංවේදී කරුණක් නොවේ.  මිනිහෙක් මැරෙන එක ඔවුන්ට ඉතාම සාමාන්‍ය දෙයකි.  රෝහල් රස්සාව කරන කාලයේ මටත් ඔය කියන මරණයට සංවේදී නොමැතිකම තිබුණු නිසා මරණ ගැන ඉතාම අඩු ලංසුවට ගණන් ගැනීම හේතුවෙන් අපේ අම්මාගෙන් බැණුම් අහන්නට සිද්ද වුනු වෙලාවල් ද අඩු නොවීය.  කොහොම වුණත් රෝහල් රස්සාවෙන් අයින්වී සෑහෙන කාලයක් ගතවන විට මගේ සිත ආපසු මරණයට සංවේදී වන තත්ත්වයට පත්විය.  ඉතින් අපි කට්ටියම ගුණේගේ මරණ ගෙදර ගිහින් ගෙට පහළ වත්තේ ජම්බෝල ගහ යට තියාගෙන බෝතල් කීපයක්ද හිස්කර ගුණේටද සමුදී ආපහු ආවෙමු.

ගුණේ ගියායින් පසුව මට දැඩිව දැනෙන්නට වුයේ මට ගුණේව අති විශාල ලෙස මිස් වී හෙවත් මග හැරී ඇති බවයි.  එදා ගුණේ බලන්නට ගිය වෙලේ විහිළු කරමින් හිටියා මිසක අපේ පරණ විස්තර කතාබහ කරමින් රස විඳින්නට බැරි වුණේ එදා කට්ටිය වැඩි වූ නිසාය.  කොහොම වුණත් මම ඒ ගැන එච්චර ගණන් නොගත්තේ ආයෙම දවසක හමුවූ විට කතා කරන්නට හැකි නොවේදැයි සිතමිනි.  නමුත් බලාපොරොත්තු නොවූ තරම් ඉක්මණින් ගුණේ මෙලොව හැර යෑම මගේ හිතට ඇති කළේ දුකකටත් වඩා මහා හිස් බවකි.  කතා කරගන්නට තිබූ දේවල් දැන් ඉතින් කාත් එක්ක කතා කරන්නටද?  ආයෙම ගුණේ හමුවුණොත් හමුවන්නේ මාත් ගුණේ ගිය තැනටම ගිය දාකය.  ඒත් අහම්බෙන් හමුවුණොත් විතරය.  නැත්නම් මළවුන් සමග මෙලොවදී කෙසේ කතා කරන්නද?

ආර්. කේ. නාරායන් විසින් රචිත ඔහුගේ ජීවිත කතාව වූ My Days පොතේ එහෙම කතාවක් කියැවේ.  විවාහ වී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකදී බිරිඳ මියයෑම නාරායන් මහත්සේ කම්පාවට පත්කළ සිදුවීමක් විය.  බිරිඳ ගේ මරණයෙන් පසු ඔහු කා සමගවත් ආශ්‍රය නොකොට දැඩි හුදෙකළා දිවියක් ගත කරද්දී මිතුරෙකුගේ මාර්ගයෙන් මළවුන් සමග කතා කරන තැනකට යයි.  වීදුරුවක් ආශ්‍රයෙන් තමන්ට අවශ්‍ය මළවුන් ගෙන්වාගත් විට පැන්සලක උදව්වෙන් කතා බහ කළ හැක.  නාරායන් බිරිඳ සමග අදහස් හුවමාරු කර ගත්තේ එහෙමය.  ඒත් ගුණේ එක්ක නම් හිස් වීදුරුවකින් කතා කරගන්නට බැරි බව මට සිතේ.  වීදුරුව පුරවා තිබුණේ නම් සමහර විට ගුණේ එන්නට පුළුවන.

අවසන් වරට මගෙත් එක්ක කතා කරද්දීත් ගුණේ කීවේ " අරක්කු,සිගරැට් බීල හැදෙන ලෙඩක් හැදුන නං දුක නෑ මචං" කියාය.  අපි එදා යද්දිත් ඌ හිටියේ සැටියේ දිග ඇදී සිගරැට් එකකුත් අදිමින් කකුල් ටීපෝව උඩ තියාගෙන ටීවී එකේ ගිය පරණ හින්දි චිත්‍රපටයක් බලමිනි.  තමන්ටය කියා ඉන්නට ගෙයක් හදාගත් පසු ගුණේ බොහෝ සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත්වූ බව මට කීවේ ලලනිය.  අවුරුදු තිස් ගාණක් රස්සාව කළත් ගුණේට ගෙයක් හදාගන්නට බැරිවිය.  සාමාන්‍යයෙන් රජයේ සේවකයන් වූ අප හැම දෙනාගේම ඉරණම එයයි.  ලැබෙන වැටුප මාසය කන්න අඳින්නටවත් මදිය.  ඒ මදිවාට ගත්ත ණයවලට වැටුපෙන් සෑහෙන කොටසක් අඩුවේ.  ඉතින් රජයේ සේවකයෙකුට ඉඩම් කෑල්ලක් මිළට ගෙන ගෙයක් හදා ගැනීම බොහෝ දුරට සිහිනයක්ම පමණය.   ගුණේත් රස්සාව කරනතුරුම ජීවත්වුණේ අනුන්ගේ තැන්වලය.  පසුකලෙක ගුණේගේ පුතා පිටරට රස්සාවකට ගිහින් හම්බ කළ මුදලින් ගුණේට අයිති ඉඩම් කෑල්ලක ගෙයක් හදන්නට පටන් ගත්විට බොහෝ සතුටුවූ ගුණේ ගේ හදන්නට මුළු සිතින්ම උනන්දු විය.  අවසානයේ අංග සම්පූර්ණ නූනත් පදිංචි වෙන්නට හැකි තරමට ගේ හදාගන්නට ඔවුන්ට හැකිවිය.

ඒ ගෙදර තියෙන්නේ තරමක කන්දක බෑවුමේ ය.  වාහනයක් ගෙදරට ගන්නට අමාරු තරම්ය.  පාරෙන් හැරී තරමක නැග්මක් සහිත කොන්ක්‍රීට් පාර එක්වරම මහගිරි දඹය සේ කෙළින් ගමන් කරයි.  බර වාහන වූ රානිලා, ස්වප්නලා ඔය ටික අදින්නේ කෙඳිරි ගාමිනි.  බොහෝ වෙලාවට උන්ව ඇදගෙන යන්නට සිදුවේ.  ගුණේට නම් පුරුදුවෙලාද කොහෙද ඒ කන්ද එච්චර ගාණක් නැත.  අපි අමාරුවෙන් උඩට නගින විට ඌ හිනාවෙයි.  ගුණේ ඔහුගේ ජීවිතය ගතකලේද අමාරු ලේසි කිසි දෙයක් ගණන් නොගෙන හිනාවෙමිනි.  අපි ඔක්කොම වැලිසර ඉද්දි ගුණේ මාරුවක් ඉල්ලාගෙන අනුරාධපුරේට ගියේ කොහෙ ඉන්නද, කොහොම කන්නද ආදී කිසි දෙයක් නොසිතා සැහැල්ලුවෙනි.

අනුරාධපුරයේදී ගුණේගේ සද්ධි විහාරිකයා වුයේ තවත් ගුණේ කෙනෙකි.  ඔහු ගුණසේකර නම් ගුණේට වඩා තරමක් වැඩිමහල් පවුල් කාරයෙකි.  ගම අනුරාධපුර පළාතේම කලත්තෑවයි.  බිරිඳ අතහැර දමා, ලොකු මහත්වූ දුවත් සමග ඔහු පදිංචි වී සිටියේ රෝහල ඉදිරිපිටම තිබුණු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පොම්ප හවුස් එක සතු නිල නිවසකයි.  සෞඛ්‍ය දෙපාර්තමේන්තු සේවකයෙක් වූ ඔහුට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවසක් කොහොම ලැබුණා දැයි කවුරුත් නොදනී.  ගුණසේකර ගුණේටත් වඩා ජොලියට බර කෙනෙක් විය.  අපි ගුණේ මුණගැහෙන්නට අනුරාධපුරේ ගිය විට ගුණේ නොහිටියත් හිටියාටත් වඩා හොඳට ගුණසේකර ආගන්තුක සත්කාර කරයි.  පසුකාලීනව ගුණේ ගුණසේකරගේ දුව එක්ක විවාහ වු විට එතෙක් කල් මචං කියාගෙන සිටි ගුණසේකර ගුණේගේ මාමණ්ඩියා බවට පත්විය.  විවාහය සිදුකර ගන්නට 1983 කළු ජූලිය වෙලේ නගරය පුරා නැගුණු දුම්රොටු හා ගිණිදැල් මැදින් කච්චේරියට ගිය බව ගුණේ මගෙත් එක්ක පස්සෙ දවසක කීවේය.    විවාහයෙන් අවුරුදු දෙක තුනකට පසු කඳාන රෝහලට මාරුවක් ලබාගත් ගුණේ දරු පවුලද සමග ආපහු ගමට ආවේය.  ඒ වනවිට ඔවුන්ට පුතෙක්ද ලැබී තිබුණි.

කෙසේ වුවද ඒ විවාහය වැඩිකල් පැවතුණේ නැත.  ටික කලකින්ම දෙන්න දෙමාල්ලන් අතර අඬ දබර ඇතිවන්නට විය.  එහෙම අඬ දබර වැඩිවී ගුණේගේ බිරිඳ අපේ අනික් ගුණේලගේ ගෙදර ඇවිත් නැවතුන බව මට කීවේ අනික් ගුණේය.  එහෙම අඬ දබර කරගන්නට හේතුව මම කවදාවත් සොයා නැතත් මේ කතාව ලියන්නට හිතපු වෙලේ මම අනික් ගුණේගෙන් ඒ ගැන ඇහුවත් සාමාන්‍යයෙන් කතා බහ අඩු පුද්ගලයෙක් වූ ඔහු කීවේ ඒ ගැන වැඩි දෙයක් ඌ නොදන්නා බවත් ගුණේගේ බිරිඳ ඇවිත් මාසයක් දෙකක් සිට යන්නට ගිය බවත්ය.   ගෑනු පටලැවිල්ලක් වෙන්නට බැරිදැයි මම ඇසුවිට අනික් ගුණේ කීවේ එහෙමත් වෙන්නට බැරි නැත කියාය.  මම එහෙම ඇහුවේ අපේ කණ්ඩායමේ සිටි ලස්සනම තරුණයා වූ ගුණේට කාන්තා ආකර්ෂණය අඩු නැතිව තිබුණු නිසාය.  ගුණේ එක්ක කතාකරන්නට ලැබුණත් මම ඔය ප්‍රශ්නය උගෙන් අහන එකක් නැති වෙන්නට පුළුවන.  කොහොම උනත් ගුණේගේ පවුල් ජීවිතය එතැනින් නිමාවුණු අතර ඔහු ආයෙම කසාදයක් කරගන්නට හිතන්නේ නැතිව පුතාත් සමග ජීවිතය ගෙනගියේය.

ඊට බොහෝ පසු කලකදී මම හැලපිත්, හැලපැට්ටාත් සමග අනුරාධපුරයට ගිය ගමනකදී ගුණසේකර සොයාගෙන ඔහු පදිංචිවී සිටි ගෙදරට ගියෙමි.  ඒ වන විට එතැන ගෙවල් තිබුණේ නැත.  ඔක්කොම කඩා බිමට සමතලා කරලාය.  ඒ ළඟ ගෙදරක හිටපු කෙනෙකුගෙන් විස්තර ඇසුවිට ඔහු කීවේ ගුණසේකර විශ්‍රාම ගෙන කලත්තෑවේ ඔහුගේ ගමට ආපසු ගිය බවත් ඊට පසු තිබුණු ගෙවල් නගර සභාවෙන් කඩා දැමු බවත්ය.  විස්තරයක් දැන ගන්නට වෙන කෙනෙක් නොසිටි නිසා මම කඩවුණු බලාපොරොත්තු ඇතිව ආපසු ආවෙමි.

ඒ කාලයේ නම් ගුණේගේ තව යාලුවෙක් රෝහලේ සිටියේය.  ඒ රෝහලේ ලැබ් එකේ වෛද්‍ය කාර්මිකයෙකු ලෙස වැඩකළ නන්දකුමාර් නම් ද්‍රවිඩ තරුණයෙකි.  හිතවත් වූ විට අපි ඔහුගේ නම නන්දකුමාර විදියට සිංහලට හරවා ඇමතුයෙමු.  හොඳ බොන්නෙකු වූ නන්දකුමාර, අපි ගුණේව හමුවන්නට ගියවිට ඔහු එවේලේ  නොසිටියොත් අපිට ආගන්තුක සත්කාර කරන්නට එක්කරගෙන යන්නේ හොරපොලකටය.  ඒ කාලයේ අනුරාධපුරේ නව නගරයේය පුජා නගරයේය කියා වෙනසක් නැතිව හොරපොලවල් සිය ගාණක් තිබුණු බව මට මතකය.  සමහර හොර පොළවල් ලයිසන් අරගෙන අරක්කු විකුණන තැන්වලට වඩා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන ගිය අතර අඩුවකට තිබුණේ ලයිසන් එක පමණි.  හෝටලවලද ඉස්සරහ කොටසේ කෑම තේ ආදිය විකුණන අතර පසුපස කොටස තනිකරම බාර් එකක් ලෙස පවත්වාගෙන යන ලදී.  මේ හොරපොලවල් සියල්ලම නන්දකුමාර හොඳින් දන්නා හඳුනන තැන් වූයේ ඔහු ඒවායේ නිරන්තර පාරිභෝගිකයකු නිසාය.

එක පොසොන් සමයක දෙවෙනි දවසේ හවස වගේ මමත්, ගුණේත්,නන්දකුමාරත් රෝහල ඉදිරිපිට වාඩිවී කතා කරමින් සිටියෙමු.  කලින් දවසේ අනුරාධපුර පූජා නගරය පුරා ඇවිද්ද අපිට එදා පූජා නගරයේ ඇවිදින්නට කම්මැලිය.  කුමක් කරන්නද කියා සිතමින් සිටියදී මිහින්තලේ යන්නට යෝජනා කළේ නන්දකුමාරය.  යෝජනා ස්ථිර වී මිහින්තලේ යන්නට මගට බැස්ස නන්දකුමාර ඉස්සෙල්ලාම ගියේ හොර පොළකටය.  එතැනින් අසෝකා වීදුරුවක් පුරා ලැබුණු කලවම් අරක්කු උගුර බඩ පපුව පුච්චාගෙන යන තරමට සැර විය.  ඊට පසුව බස් එකකට නැගී මිහින්තලයට ගොස් බැසගතිමු.  මිහින්තලේ එදා අඩිය තියන්නට බැරි තරමට ඊස් මීස් නැතිව සෙනග පිරී තිබුණි.  පඩිපෙළ නැග උඩට යනවා තබා හිතන්නටත් බැරිය.  ටිකක් වෙලා එහේ මෙහේ ඇවිදිමින් හිටියත් මොනා කරන්නදැයි සිතා ගන්නට බැරිය.  දන්සැලකින් රෑට කෑම කා ආපහු යමු කියා අපි කතා කරගත්තෙමු.  හැම තැනම තිබුණු දන්සැල් වලින් එකක පෝලිමේ ඉන්නවිට නන්දකුමාරට උවමනා වුණේ තවත් ෂොට් එකක් දාගන්නට වුණත් ඔහු මිහින්තලේ හොර පොළවල් ගැන ඔහු නොදැන සිටීම හේතුවෙන් එම අදහස අතහැර ගන්නට සිදුවිය.  පෝලිමේ දන්සැල ඇතුළට ටික ටික ගමන් කළෙමු.  ඒ දන්සැලේ කෑමට දුන්නේ කහබත්, පරිප්පු සමග සීනි සම්බෝලය.  දැඩි කුසගින්නෙන් සිටි අපට ඒ කෑම දිව්‍ය භෝජනයක් මෙන් රසවත් විය.  එදා අපි කාපු කෑමේ රස අදත් මට සදා නොමැකෙන මතකයක්ය.  අද නන්දකුමාර කොහේ සිටිනවාදැයි නොදනිතත් 83 කළු ජූලියේ අනුරාධපුර හැර දමා පලාගිය ඔහු අද සිටිනා තැනක ද හිතවත්කමේ සුවඳ නොඅඩුව හමනු ඇති බව මම හොඳින් දනිමි.

අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව තිබුණේ 1984 වර්ෂයේ බව මගේ මතකයයි.  ගම් උදාව බලන්නට ඔපමණ දුර යන්නට මගේ අදහසක් තිබුණේ නැත.  අපේ හිතවත් පොඩි මහින්දට කටුපොත පැත්තෙන් මනමාලියක් බලා මඟුල තීන්දු කරගෙන තිබුණේ ඔය කාලයේය.  අපි කට්ටියත් පොඩි මහින්ද කෙල්ල බලන්නට වරින්වර කටුපොත යද්දී ඒ පැත්තේ යන්නට පුරුදුවී සිටියේ හොඳට කා බී ඔයෙන් නාගෙන දවසක් ගතකිරීමේ සොමිය ලබාගන්නටය.  කටුපොත උදවිය ගම් උදාව බලන්නට බස් එකකින් අනුරාධපුරේ යන බවත් තමාටත් ඒ එක්ක යන්නට කතා කර ඇති බවත් පොඩි මහින්ද අපිත් එක්ක කීවේ මේ අතරය.

" අපිත් ගම් උදාව බලන්න යමු." ආරි මගෙත් එක්ක කීවේ දවසක් කතා කරමින් ඉද්දීය.

" කෝච්චියෙද?" මම ඇසුවෙමි.

" නෑ, අපි සයිකලේ යමු.  ගත්තට පස්සෙ තවම දුර ගමනක් ගියෙත් නෑනෙ."

ඒ ආරි අලුතෙන් 185 සයිකලයක් ගත්ත කාලයේය.  සයිකලයේ හොඳ නරක බලාගන්නත් එක්ක ඉස්සෙල්ලාම අනුරාධපුරේ යන එක හොඳ බව ආරි සිතන්නට ඇත.  තීරණයක් ගන්නට හිතන්න කාලයක් අවශ්‍ය නොවූ නිසා එතනදීම ගමන යන්නට කතිකා කර ගෙන අපිත් එදාටම අනුරාධපුරේ යන්නට එන බව පොඩි මහින්දටත් කීවෙමු.  අපි එන බව මම ගුණේටත් දන්වුයෙමි.  ගමනේ කාලසටහන වුණේ පොඩි මහින්දලා යන බස් එකත් එක්කම අනුරාධපුරේ ගිහින් අටමස්ථානයත් වැඳ පුදාගෙන රාත්‍රියේ ගම් උදාව බලා පසුදා ආපසු ඒමය.  අපි දෙන්නා රාත්‍රියේ ගුණේත් සමග නවතින අතර පොඩි මහින්දලාගේ බස් එක ඒ රාත්‍රියේම ආපසු ඒමට නියමිත විය.

නියමිත දවසේ එනම් 1984 ජූනි මාසයේ අග හෝ ජුලි මුල අපි ගමන පිටත්වුනෙමු.  ඉන්න තැන දැනගන්නට අද වගේ ජංගම දුරකථන නොතිබුණත් අපි දෙන්නා කෙසේ හෝ පොඩි මහින්දලා ගිය බස් එක අල්ලාගෙන ඒ පසුපස අනුරාධපුරයට ලඟා වන විට හවස්වී තිබිණ.  අටමස්ථානය බලා කට්ටියම තිසා වැවට ඇවිත් නාන්නට පටන් ගත්හ.  මමත් ආරිත් එතැනදී කට්ටියගෙන් කැපී කෙළින්ම රෝහලට ගියේ ගුණේ හමුවන්නටය.  ගුණේ අපි එනතුරු මග බලා සිටියේය.  එදා රෑ පණ්ඩුලගම ගම් උදාව බලන්නට අපි දෙන්නාත් සමග ආවේ ගුණේත්, ගුණසේකරත්, නන්දකුමාරත්ය.  සුපුරුදු විදියට ගම් උදාවට යන්න කලින් නන්දකුමාරගේ මෙහෙයවීමෙන් බෝතලයක් දෙකක් හිස්වුණු අතර ගම් උදාවට අපි ගියේ බමරු වගේය.  ගම් උදාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියට ඇතුල්වන මග දෙපසම ඉතා අලංකාර එළවළු වගාවක් විය.  පළ බරින් පිරුණු බණ්ඩක්කා ගස් සහ මෑ වැල් යන එන අයගේ ඇඟේ දැවටේ.  පෝලිමේ ඉන්නා ගුණසේකරත්, නන්දකුමාරත් දළු බණ්ඩක්කා කරල් සහ මෑ කරල් කඩාගෙන චර චර ගගා කන්නට වුයේ මරු බයිට් එක කියමිනි.  මගේ ඇඟ සීතල වුණේ කවුරුවත් දැක්කොත් කියා උනත් උන් දෙන්නාට ඒ ගැන වගේ වගක් නැත.  කරල් කඩ කඩා කන්නට කියා අපි දෙතුන් දෙනාටද දෙති.

ගුණසේකරගේත්, නන්දකුමාරගේත් පිස්සු වැඩ එක්ක ගම් උදා භුමියේ රවුම් ගැසූ අපි එළියට බැස්සේ රෑ දහයට විතරය.  දැන් කට්ටියට හොඳටම බඩගිනි දැනේ.  ඒ ගමන අපි කඩ පනහේ තිබුණු රෑ කඩයකට ගොඩවුණේ රෑට කෑම කන්නටය.  ගුණසේකර ඇණවුම් කළ කෑම වර්ගය මම ඊට කලින් කා තිබුණේ නැතුවාක් මෙන්ම දැක තිබුණේද නැත.  ඒ කොත්තු කියන කෑම වර්ගය බවත් මස් හොදිත් කලවම් කරගෙන හැන්දෙන් කෑ යුතු බවත් කියා දුන්නේද ගුණසේකරය.  මම නමෝ විත්තියෙන්ම කොත්තු කෑවේ එදා ඒ කඩ පනහේ කඩයෙනි.  ඊට පසුව නම් විවිධාකාර විවිධ රසයෙන් යුත් කොත්තු සිය ගණනක් කන්නට ලැබී ඇතත් අද වනවිට නම්  හරියාකාර කොත්තුවක් කන්නට තැනක් හොයාගන්නට නැත. හැම තැනම ඇත්තේ නානා ප්‍රකාර රසකාරක පුරවා රසය මරා හදන කොත්තුය.  සමහර ඒවායේ හොදි පුරවා ලුණු වැඩිකර ඇත.  ඉඳිආප්ප කොත්තු කොච්චර ගහනවාද කීවොත් ඉඳිආප්ප රැලක්වත් දකින්නට නැත.  කාලෙකට ඉස්සර කොත්තු මහින්ද ටවුමේ රේල් ගේට්ටුව ළඟ කොත්තු කරත්තයක් දාගෙන ඉන්න කාලයේ ඌ ගහන කොත්තුව හොඳම ප්‍රමිතියෙන් තිබුණා මට මතකය.  මොකක්දෝ හේතුවකින් ඒ කරත්තෙත් නැතිව ගිය පසු කොත්තු මහින්ද කුමාරිගේ රෑ කඩේ කොත්තු ගැහුවේය.  කොත්තු ගහන අතරම මල් ව්‍යාපාරයක්ද කරගෙන යන්නට ගොස් පොලිසියෙන් අල්ලන් ගිය කොත්තු මහින්ද අද දකින්නටවත් නැත.

ගුණේගේ හත් දවසේ දානය ඒ සතියේම යෙදී තිබුණත් කට්ටිය එකතු කරගන්නට අමාරු නිසා එදාට එන්නට බැරි බව මම එරික්ට කළින්ම කීවෙමි.  ඒ වුණත් තුන්මාසේ දානෙට කට්ටියම එකතුවී එන බව වැඩි දුරටත් කීවෙමි.  තුන් මාසයේ දානය යෙදී තිබුණේ පහුගිය මාසයේ මුල දවසකය.  අපි කට්ටියම එකතුවී ගුණේ වෙනුවෙන් පූජා කරන්නට පිරිකරත් අරගෙන දානෙ ගෙදර ගියෙමු.  එදා චන්දරේට එන්නට නොහැකි වුණේ උගේ රස්සාවෙන් නිවාඩු ගන්නට බැරිවූ නිසාය.  ඩේවිඩ් ආවේ අපි කට්ටියට බොන්නට විස්කි බෝතලයකුත් අරගෙනය.  දානයේ වැඩ කටයුතු හොඳින් අවසන් විය, අපේ කට්ටිය වෙනුවෙන් දානය දෙන්නට උදව් කළේ අනික් ගුණේය.  අපි පැත්තක ඉදිකර තිබු මඩුවකට වී වල්පල් කතා කරමින් සිටියෙමු.  හාමුදුරුවන්ගේ දානය අවසන් වී දානය කන්නට ගිහියන් වූ අපටත් ආරාධනා කරන ලදී. 

පිංකම අවසානයේ කරන්නට තුබූ කාරිය වුණේ අපි අරගෙන ගිය විස්කි බෝතලය හිස්කිරීමය.  ඒ කටයුත්ත ගෙදර කරනවාට ගුණේගේ පුතා කැමති නොවෙනු ඇති බව කී එරික් බෝතලයත් අරගෙන පහළ ගෙදරට යන්නට යෝජනා කළේය.  අපි එනතුරු බලා නොසිට කන්නට කියා රාණිටත්, ස්වප්නා ටත් කීවත් තවම කන්නට බැරිය කියූ උන් දෙන්නා අපි එනතුරු ඉන්නම්ය කී නිසා අපි කට්ටියම පහළ ගෙදරට පල්ලම් බැස්සෙමු.   කාන්තාවක් විතරක් ඉන්න ඒ ගෙදර අපි මීට කලින්ද බොන්නට ගිහින් පුරුදු තැනකි.  ගෙදරට ගිය අපිව ආදරයෙන් පිළිගත් ඒ කාන්තාව අපට වීදුරු ද ලෑස්ති කරදී " මහත්තයල ඉන්න එහෙනං, මම දානෙ ගෙවල් පැත්තෙ යනවා" යි කියා යන්නට ගියාය.

බෝතලය කඩා වීදුරුවලට දාගත්තා පමණය, හපන්නට මොනා හරි ගේන්නම්ය කියා ගිය එරික් දුවගෙන ආවේය.  

" ඒයි, අන්න බං අරහෙට එන්නලු." එරික් හැති දමමින් කීවේය.

" නෑ බං, මෙහෙ හොඳයි, කවුරුත් නැති තැනනෙ. අනික එහේ හරියට කවර් වෙච්චි තැනකුත් නෑනෙ." කියා මම කීවෙමි. 

" අනේ මංදා, මෙහෙ බොනටට උන් නං කැමති නෑ වගේ." කියූ එරික් එකෙල මෙකෙල වෙමින් හිටියා මිස බොන්නට පටන් ගත්තෙත් නැත.

ටිකකින් ගුණේගේ පුතාත්, උගේ බිරිඳවූ ලලනිගේ දුවත්, ලලනිත් යන තුන් දෙනාම අපි හිටපු තැනට ආවේ  අපිවත් බෝතලුත් අත් අඩංගුවට ගෙන උඩ ගෙදරට ගෙන යන්නටය.  කරන්නට දෙයක් නැති නිසා අපි හතර දෙනාටත් උන් එක්ක ආපහු දානෙ ගෙදරට යන්නට සිදුවිය.  එහේ අපට ලෑස්ති කර තිබුණේ ගෙට ඇතුල්වෙන තැනම තිබුණු ගබඩා කාමරයක් වගේ කුඩා කාමරයකි.  තැඹිලි වලුද, කෙසෙල් කැන් ද, හාල් ගෝනිද, බිස්කට් පෙට්ටිද ගොඩගසා තිබු ඒ කාමරය උඩ වහළයට ගසා තිබු ඇස්බැස්ටස් තහඩු රත්වී පෝරණුවක් මෙන් ගිනියම්ව තිබුණි.  ඒ මදිවාට කාමරය තිබුණේ ගෙට ඇතුල් වෙන දොර ලඟම නිසා එතැනින් යන එන අය සියල්ලන්ටම ඇතුලේ ඉන්න අයව පෙනේ.  අනික් ගුණේත් මමත් කාමරයට යෑම කෙළින්ම ප්‍රතික්ෂේප කළෙමු.

" එතකොට උඹල එන්නෙ නැද්ද?" එරික් ඇසුවේය.

" බෑ බං, ඔතන බොනවට වඩා සාලෙ තියාගෙන බොන එක හොඳයි." අනික් ගුණේ කීවේය.

එරික් කොච්චර කිව්වත් ගෙරි මාලු කෑවත් බෙල්ලෙ එල්ලගෙන කන සිරිතක් නැතැයි කියූ අපි එළියට වී රාණිත්, ස්වප්නාත් එක්ක කතා කරමින් සිටියෙමු.  ඩේවිඩ් ද එක්කරගෙන දෙකක් දාගෙන ආපු එරික් අපි දෙන්නාට බනින්නට විය.

" තොපි යාළුවොද? යාළුවො නෙවෙයි තොපි මරුවො. තොපි මාව කෑවනං මීට වඩා හොඳයි. ගෙදර හිටියනං ඉවරයි.  මීට පස්සෙ මම නෙවෙයි තොපිත් එක්ක බොන්න එන්නෙ."

එසේ අපට බැන්න එරික් ඊළඟට බනින්නට ගත්තේ ලලනිටත්, ගුණේගේ පුතාටත්, උගේ පොඩි දුවටත්ය.

" ඔවුන් තුන්දෙනා තමයි ඔක්කොම කෙරුවෙ.  අගේට අරෙහෙ ඉඳන් කරගන්න තිබ්බ වැඩේ. මුන්ට මෙතෙන්ට ගේන්න ඕනෑ වුණා.  ඕකව මට අල්ලන්නෙම නෑ, මගුල ගන්න හිටිය ඒකටත් බෑ කිව්වනෙ." 

කියමින්ව ගුණේගේ පුතාට බැනවදින එරික් වරින්වර කාමරේ ඇතුළට ගොස් වෙරිය අලුත් කරගෙන එයි.  අපි කතා නොකර හිටියේ කතාකළා නම් උගේ බැනිල්ල වැඩිවෙන නිසාය.

" මම නානගේ කඩෙන් කෑම එකක් අරං ගෙදර යනවා.  තමුසෙ එහෙම මට කෑම ගේන්න එපා, ගෙනාවොත් වීසි කරනවා."

කියා ලලනිට ගෝරනාඩු කළ එරික් දවල්ටත් නොකා යන්නට ගියේය.  ටිකකින් විතර දවල්ට කෑම ගත් අපි පිටත්වී ආවෙමු.  පහුවදා මට කතාකළ එරික් සිදුවූ දේ ගැන කණගාටුව ප්‍රකාශ කර සමාවෙන්න යැයි කියා සිටියේය.

" සමාවෙන්න දෙයක් නෑ බං, උඹ කරපු වැඩක් නෙවෙයිනෙ.  අපි ඒක එතැනින් අමතක කළා."යි මම කීවෙමි.

පසුව මම ලලනිට කතා කළ විට ඇය කීවේ එදා රාත්‍රියේ හොඳටම බීගත් එරික් ඇයට පලු පැලෙන්නම බැන වැදුණු බවය.  ඊළඟට අපට හමුවන්නට නියමිතව තිබුණේ ඒ මාසයේම අග අනික් ගුණේලාගේ ගෙදරදීය෴                                                                                                                                                                          

Sunday, November 4, 2018

ගඩොල් වාඩිකරුවන්ගේ කතා, ගඩොල් පිච්චීම සහ වලං පිච්චීම, පුස්තකාලෙ පන්සල, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ගිලන්පස පූජාව, සිල්වාගේ වැඩ සහ හාමුදුරුවන්ට දෙසු කාමසුත්‍රය.


අපේ ගම කාලාන්තරයක සිටම දක්ෂ ගඩොල් බාස්ලා සිටින ගමක් හැටියට නම්දරා ඇති ගමකි.  ගඩොල් කොන්ත්‍රාත් කරුවන් හෙවත් මුදලාලිලා යම්කිසි ඉදිකිරීම් වැඩබිමකට ගඩොල් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගත් විට මේ ගඩොල් බාස්ලාට පණිවිඩයක් යවා ගෙන්වා ගෙන අවශ්‍ය ගඩොල් කප්පවා ගැනීමට කටයුතු යොදාගනිති.  සේන ගියේත් මෙන්න මේ වගේ ගඩොල් කොන්ත්‍රාත්තුවක වැඩ කරන්නටය.  පස්සෙ දවසක සේන මට කීවේ ඒ දවස්වල පටන්ගෙන තිබුණු දඹුල්ල උසාවියේ ඉදිකිරීම් සඳහා තමන් කැපු ගඩොල් යොදාගත් බවය.

ගඩොල් වාඩියක ජීවිතය දුෂ්කරය, කර්කශය.  ගඩොල් වාඩිකරුවන්ට නවාතැනක් ද ගඩොල් කපන්නට අවශ්‍ය මැටි, දහයියා ආදියද වෙනත් ආම්පන්න ද කොන්ත්‍රාත් කරුවා විසින් සපයනු ලැබේ.  නවාතැන බොහෝවිට අත්හැර දැමු ගෙයක් හෝ පොල්ලතු මඩුවක් වේ.  වාඩිකරුවන් මෙහි පදිංචි වී වැඩ පටන්ගනිති.  උදේම අවදිවන වාඩිකරුවන් දවාලටත් එක්ක කෑම උයාගනිති.  ඔවුන්ගේ අහාරය නිතරම පාහේ කැකුළු බතක්, කරෝල කටු හොද්දක් සමග පොල් සම්බෝලයකින් සමන්විතය.  මේ දළ ආහාරය උදේ කෑමට ගෙන ඔවුන් ගඩොල් පොළට ගොස් වැඩ ආරම්භ කරති.

ගඩොල් කැපීමේදී එක්වරම මැටි අනා ගඩොල් කපාගන්නා සිරිතක් නැත.  අද ගඩොල් කපන්නේ ඊයේ සවස හොඳින් පාගා පදම් වන්නට තබාගත් මැටි වලිනි.  දවස අවසානයේ ද පසුවදාට අවශ්‍ය මැටි ප්‍රමාණය පාගා පදම් වන්නට තැබීම ඔවුන්ගේ සිරිතයි.  අද මෙන් අති විශාල ගඩොල් කැට නොකපන ඒ කාලයේ ඔවුන් කැපුවේ ඉංජිනේරු ගල් කියා කතාවට කියැවුණු කුඩා ප්‍රමාණයේ ගඩොල්ය.  එමෙන්ම ඒ ගඩොල් කැපුවේද වරකට එක බැගින්ය.  දැන්නම් එකවර ගඩොල් හතරක් කපන ගඩොල් අච්චු තිබුණත් එදා බාස්ලා තනි අච්චුවෙන් ගඩොල් කපා ගත්හ.

ගඩොල් පොළේ පදම් කළ මැටි ගොඩ ළඟ වාඩිගන්නා ගඩොල් බාස් අච්චුව වතුරේ පොඟවා මැටි දමා අතින් සකසා ගඩොල ඉදිකරන විට ඔහු ළඟ ඉන්නා සහායකයා එම ගඩොල තමන් අතේ ඇති ලෑලි කැබැල්ලකට ලබාගනී.  දහයියා ඇතිරූ එම ලෑලි කැබැල්ලේ තබන ගඩොලට උඩින්ද දහයියා ඉස පැත්තකට ගෙනගොස් වියලෙන්නට තබයි.  දහයියා ඉසින්නේ ගඩොල් පැලීම සහ එකිනෙක ඇලීම වළක්වා ගන්නටය.  පෝරණුවේ දී මේ දහයියා පිළිස්සී යයි.  එක ගඩොලකට පසු අනෙක කපන්නට බාස් ගතකරන්නේ විනාඩියකටත් අඩු කාලයකි.  ගඩොල කපා අවසන් වන විට සහායකයා එතැන පෙනී නොසිටියේ නම් ඌට ලැබෙන්නේ කුණු බැණුම් ය.

වාඩිකරුවන් තරමක් හොඳ ආහාරයක් සකසා ගන්නේ රාත්‍රී කෑමටය.  අත හැර දමා ඇති හේන්වල කැලේට වැවී ඇති අමුමිරිස්, කැකිරි, පුහුල්,කරවිල ආදිය ඔවුනට සොයාගන්නට ලැබේ.  අතේ මිටේ ඇති නම් ගමේ නිෂ්පාදනයක් වන හොර අරක්කු බෝතලයක් ද රෑ කෑමට පෙර හිස්කරති.  මුදලාලිගෙන් ගඩොල් බාස්ට සුමාන කාසි ලැබෙන්නේ සතියට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික මිළදී ගන්නටය.  ඔය තොරතුරු සොයාගන්නට මම අපේ ගමේ පරණ ගඩොල් බාස්ලා දෙතුන් දෙනෙකුට කතා කළෙමි.  එක බාස් කෙනෙක් මගෙත් එක්ක කීවේ කිරිවෙහෙර හදද්දී ඒ ඉදිකිරීමටද තමන් ගඩොල් කැපු බවය.  " මොනවද ඉතින්, ඒ කාලේ අපට හම්බුනේ ගඩොල් දාහකට රුපියල් පහළොවයි.  බඩු ගණන් අඩු නිසා ඒක ජීවත්වෙන්න ඇති." ඔහු වැඩිදුරටත් කීවේය.

අවශ්‍ය ගඩොල් ප්‍රමාණය දහදාහ හෝ පහළොස් දාහ කපා අවසන් කර වියලා ගත් පසු ගඩොල් පෝරණුව පිළිස්සීමට කාලය එළඹේ.  ගඩොල් පෝරණුව පොල්ලතු වැසූ උස මඩුවකි.  පිළිස්සීම සඳහා දර දමන්නට උදුන් කටවල් තබා ගඩොල් පෝරණුව පිළිවෙළට සකස් කරන්නේ පළපුරුදු ගඩොල් බාස්ලා විසිනි.  පිටත ගඩොල් අතර ඇති කුඩා ඉඩවරය හෙවත් කුස්තූරු මැටි අනා හොඳින් ගා වසා දැමු පසු ගඩොල් පෝරණුව පුළුස්සන්නට සුදානම්ය.  ගඩොල් පුළුස්සන්නේ ද වලං පෝරණුවක් පුළුස්සන ආකාරයටමය.  වෙනස ඇත්තේ වලං පෝරණුව පුළුස්සද්දී ඒ සඳහා පොල්ලෙලි පමණක් යොදාගන්නා අතර ගඩොල් පිළිස්සීම සඳහා දර පාවිච්චි කිරීමය.

වළඳක් ඉදිකර නිමාකර ගැනීමද කර්මාන්තයකට වඩා කලාවක් බව එය බලාසිටීමේදී පෙනීයයි.  කාන්තාවන් වලඳක මුලික හැඩය සකපෝරුවේ සකස් කරගෙන අතින් තලා හැඩ වැඩ දමා වළඳ නිමාකර ගන්නා ආකාරය බලන්නට ලස්සනය.  මුට්ටි, ඇතිලි, කොරහ, මැටිකෝප්ප, වසන මූඩි ආදී සියල්ල නිමැවෙන්නේ කාන්තාවන්ගේ දෑතිනි.  වෙසක් සමය එළැඹෙන්නට පෙර මේ කාන්තාවන් යුහුසුළු වන්නේ මැටි පහන් තැටි සාදා ගැනීමටය.  පදම් කරන ලද මැටි ගොඩක් සකපෝරුව මත තබා කරකවමින් එකක් පසුවට එක බැගින් වතුර යහමින් පාවිච්චි කරමින් පහන් තැටිල්ලේ හැඩය මතුකර ගන්නා ආකාරය බලා සිටීමට ලස්සනය.  හැඩය මතුකර ඇඟිල්ලෙන් පැත්තක් ඇද කර කෙන්දකින් යටින් කපා පහන් තැටිල්ල ඉවතට ගනිති.  වෙසක් එළැඹෙන්නට පෙර හැමතැනම පෝරණු වල පිළිස්සෙන්නේ පහන් තැටිලි ය.

මේ මෑතකදී අපේ ගෙදර  විශාල මැටි කොරහක් එළියට අරගෙන තිබෙනු මම දුටුවෙමි.  අද මෙන් ආගිය අතේ ප්ලාස්ටික් බේසම් නැති ඒ කාලයේ කුඩා දරුවන් නාවන ලද්දේ මැටි කොරොස් වලය.  කුඩා කාලයේ අපේ අම්මා මාවද නාවන්නට ඇත්තේ ඒ කොරහේ වෙන්නට ඇති බව මට සිතුණේ කොරහ එච්චරටම පැරණි නිසාය.  කොපමණ පරණ වුවත් ඒ කොරහ මේ වන විටත් ඉතා හොඳ තත්ත්වයෙන් ඇත.

වලං පුළුස්සන්නට සුදානම් වන විටද ගඩොල් පිළිස්සීමේදී මෙන්ම ගින්දර දමන්නට කටවල් තබා වලං අඩුක් කර මුළු පෝරණුවම වැසෙන්නට මැටි ආලේප කරගනී.  හරියටම අති විශාල පාත්තරයක් මුනින් අතට නැමුවා මෙන් මැටි ආලේප කර අවසන්වූ වලං පෝරණුව දිස්වේ.  විශේෂයක් වන්නේ එසේ මැටි ආලේප කිරීමේදී මැටිවලට පිදුරුද මිශ්‍ර කර ගැනීමය.  පෝරණුව උඩ වලං නමා ඒ උඩින් පිදුරු තට්ටුවක් අතුරා මැටි ගා ගනිති.  පිදුරු මිශ්‍ර කිරීමෙන් වියලීමේදී ඇතිවන පැලුම් සිදුවීම වැළකේ.  ඉන්පසුව ඇත්තේ ගිණි දැමීමයි.  මා මුලින් සඳහන් කළාක් මෙන් මේ සඳහා තනිකරම පාවිච්චි කරන්නේ පොල්ලෙලිය.  ගිණි දැමීමෙහි දීද ඒ සඳහා ක්‍රමයක් ඇත.  පෝරණුවට එක්වරම ගින්දර දමන්නේ නැත.  මුලින්ම කරන්නේ අමු පොල්ලෙලි ගිනිතබා ගිණි පිටවීමට නොදී පෝරණුව දුම් ගැස්සවීමයි.  එක්වරම ගිණි තිබ්බොත් ගිණි සැරට වලං සියල්ල පැලී විනාශවී යයි.  මුලින් දුම් ගස්සන්නේ පැලීම වළක්වා ගැනීමටය.  මෙයට වලං තැම්බීම යනුවෙන් ව්‍යවහාර කරනු ලැබේ.  පැය ගණනක් මෙසේ දුම්ගසා තම්බාගත් වලං වලට දුම්ගැසුණු පදම හරිගිය බව දැනුණු පසු ක්‍රමයෙන් වේලුනු පොල්ලෙලි දමා ගින්දර රශ්මිය වැඩිකරයි.  පදම හරිගිය බව පළපුරුදු වලං විශේෂඥයින් දැන ගන්නේ පෝරණුවෙන් හමන සුවඳිනි.  රාත්‍රියේ පටන්ගන්නා මේ පිළිස්සිල්ල මහ පාන්දර වනතුරු එක දිගට ඇදීයයි.  පෝරණුවේ වලං සියල්ල හොඳින් පිළිස්සී ඇති බව සැක හැර දැනගත් පසු ගින්දර දමන කටවල් වසා පෝරණුව නිවෙන්නට හරී.

ගඩොල් පිළිස්සීමද මේ ආකාරයටම සිදුවේ.  දුම්ගසා ගඩොල් තම්බා ගත් පසු දරදමා ගින්දර වැඩිකරමින් ගඩොල් හොඳින් රත් පැහැයට හැරී පිළිස්සෙන තුරු දවසක්ම පුළුස්සා ගනිති.  ගඩොල් පෝරණු වලට දමන්නේ පොල්ලෙලි නොව දර කොටය.  බොහෝ විට මේ සඳහා පොල් ගස් කැපු විට පරාල පැලීම සඳහා මුල් කුට්ටි ගෙන ඉතිරිවෙන අග කොටස යොදාගනී.  මේවා ව්‍යවහාරයේ පෝරන් කොට යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසාය.  මෙසේ ගඩොල් කොන්ත්‍රාත් කරුවාට අවශ්‍ය ගඩොල් ප්‍රමාණය නිෂ්පාදනය කර දීමෙන් පසු බාස්ලා මුදලාලි හමුවී ගණන් හිලව් බේරාගෙන සිය ගම් බිම් බලා පිටත්වෙති. 

මේ විදියට සේන ගඩොල් වාඩියට ගොස් මාසයක් පමණ ගතවිය.  අපි කට්ටිය සුපුරුදු විදියට ඩැනිස් ගේ කාමරයේ රැස්වී ගුරාත් සමග පිස්සු නටමින් කාලය ගතකළෙමු.  චිත්‍රපටි, සංගීත සංදර්ශන,නාට්‍ය, ටීටර්, සල්පිල්, කටින පිංකම් ආදී අහල පහළ ඇති සියලුම උත්සව වලට අතේ සල්ලි නැතත් අපේ සහභාගිත්වය අනිවාර්ය වූ එකක් විය.  අපේ ගමට අල්ලපු ගමේ තිබුණු පුස්තකාලෙ පන්සලේ පිංකමක් පටන් ගත්තේ මේ කාලයේදීය.  පුස්තකාලෙ පන්සල පටන්ගෙන ඒ වනවිට වැඩිකලක් ගතවී තිබුණේ නැත.  පුස්තකාලෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ විපුලසිරි හාමුදුරුවෝ කලින් වැඩ වාසය කළේ ටවුමේ පන්සලේය.  ටවුමෙ පන්සලේ නායක හාමුදුරුවන් වූ මණ්ඩාවල හාමුදුරුවන් එක්ක ආරෝවක් ඇතිකරගත් විපුලසිරි හාමුදුරුවෝ පන්සලෙන් එළියට වැඩමකර වදාළෝය.  උන්වහන්සේට ඉන්නට ඉඩක් දුන්නේ එවකට රටේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණියයි.

ඒ වනවිට ඉඩම් නැති අයට නොමිලේ බෙදාදෙමින් තිබුණු ඉඩමක මහපාර අයිනේ අක්කර කාලක් මැතිණිය හාමුදුරුවන්ට දුන්න නිසා හාමුදුරුවෝ ඒ ඉඩමේ පන්සලක් හදාගෙන පදිංචි වූහ.  පන්සලක් කිව්වාට එය යන්තම් ගඩොලින් බැඳගත් කාමර දෙකකින් යුත් තැනකි.  වැඩ වාසය කරන්නට තැනක්  ඇත්නම් ඉතිරි හරිය කරගන්නට දන්නා වීරියවන්තයකු වූ විපුලසිරි හාමුදුරුවෝ නිකම් බලා නොසිට තමන් දන්නා හඳුනන අහල පහළ අය අල්ලාගෙන මොන මොනවා හෝ පිංකම් ආදිය කරමින් මුදල් එකතුකර පන්සල වැඩි දියුණු කරන්නට උත්සාහවන්ත වුහ.  අවුරුදු දෙක තුනක් ගතවෙන විට පන්සලට තට්ටු දෙකකින් සමන්විත බුදු මැදුරක්, සංඝාවාසයක් හා බණ මඩුවක්ද එකතු කරගන්නට හාමුදුරුවන් සමත් විය.  බුදු මැදුර මුල් කර ගනිමින් නිතරම පාහේ පිංකම් පැවැත්වූ අතර බණ මඩුව පංති පවත්වන්නට ප්‍රයිවෙට් ටියුෂන් කාරයන්ට කුලියට ලබාදෙන ලදී.  සංඝාවාසයේ කොටසක පන්සලට එන ළමයින්ගේ ප්‍රයෝජනය සඳහා පුස්තකාලයක් ආරම්භ කරන ලදී.  ලස්සන නමක් තිබුණත් අද පවා ඒ පන්සල පුස්තකාලෙ පන්සල කියා හඳුන්වන්නේ ඔය පුස්තකාලය නිසාය.  ඒ වන විට විපුලසිරි හාමුදුරුවෝ කුඩා දරුවන් දෙන්නෙක්ද ගෝලයන් වශයෙන් පන්සලේ මහණ කරගන්නට සමත් වුහ.

මේ හාමුදුරුවන් දෙදෙනාටම එනම් විපුලසිරි හාමුදුරුවන්ට සහ මණ්ඩාවල හාමුදුරුවන්ට තිබුණු මහා පොදු සාධකය වශයෙන් දැක්විය හැක්කේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සමග තිබූ ඉතා කිට්ටු හිතවත්කමයි.  කොටින්ම මේ දෙදෙනා අත්තනගල්ල ආසනයේ බණ්ඩාරනායක මැතිණියගේ අග සව් දෙනම මෙන් කටයුතු කළහ.  ඒ නිසාම මේ පන්සල් දෙකේ තිබුණු කුඩා පිංකමකට වුවද අගමැතිනියගේ සහභාගිත්වය නොවරදවා දැකිය හැකි විය.  එක පන්සලක පිංකමකට සහභාගිවී අනික් පන්සලේ පින්කමට වැරදිලාවත් යන්නට බැරිවුණොත් එහෙම අගමැතිකම පැත්තක තබා කුණු බැණුම් අහන්නට වෙන බැවින් අගමැතිනිය වරද්දන්නේ නැතුවම පන්සල් දෙකේම පිංකම් වලට නොවරදවා සහභාගී වුවාය.

අගමැතිතුමිය දවසක් පුස්තකාලෙ පන්සලේ කටින පිංකමට ආපු වෙලාවේ වෙච්ච සිද්දියක් මගෙත් එක්ක කොල්ලෙක් කීවේය.  එහා ගමේ කොල්ලෙක් වූ ඔහු අපේ ගමෙන් කසාද බැඳගෙන පදිංචිවී සිටියි.  ඌ නාන්නට එන්නේ අපේ ලිඳටය.  කතාව කිව්වේ මමත් නාන්න ගිහින් හිටපු වේලාවේය.

' ඊයෙ අපේ පන්සලේ කටින පිංකම නෙ, මමත් ගිහිං හිටියෙ, මැතිනිත් ඇවිල්ල හිටිය.  පිංකම වෙලාවෙ බණ මඩුවෙ මැතිනිට වාඩිවෙන්න මෙට්ට දාල ලෑස්ති කරලා තිබුණේ.  වැඩේ කියන්නෙ මැතිනිට බිම වාඩිවෙලා ඉඳල නැගිටගන්න බෑ, වයසයිනෙ දණිස් අමාරුවක්.  විපුලසිරි හාමුදුරුවො මේක දැකල මට කතාකරල කිව්වා ගිහිං මැතිනිව නැගිට්ටවන්න කියල.  කිව්වහම නොගිහිං බෑනෙ, මම මැතිනි ඉඳගෙන ඉන්න තැනට ගියාට මොකද මැතිනිගෙ ඇඟට අත තියන්න බයයි, ඇයි අප්පා රටේ අගමැතිනි නොවැ, අපි මොක්කුද? මාව වෙව්ලනවා.  මැතිනි මේක දැක්කා, 'මොනවද ළමයො බලාගෙන ඉන්නෙ, අල්ලන්න මට නැගිටින්න'. මැතිනි  හිනාවෙලා එහෙම කිව්වම මගෙ හිතෙත් තිබුණු බය නැතිවෙලා ගියා.  කිහිළි දෙක අස්සෙන් අත දාල එක පාරටම මැතිනිව නැගිට්ටෙව්වා, මටත් වෙන වැඩ'.  ඌ කීවේ සිනාසෙමිනි.

එදා සැරේ පුස්තකාලෙ පන්සලේ තිබුණු පිංකම වුණේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයකි.  පිංකම සතියක් පුරා පැවැත්වීමට නියමිත විය.  ධාතු ප්‍රදර්ශනයක් යනු ලංකාවේ කොහෙ පන්සලක තිබ්බත් මුදල් ගලා එන උල්පතකි.  පිංකම් සංවිධානය කිරීමේ ලා විශේෂඥ දැනුමක් ඇති විපුලසිරි හාමුදුරුවෝ මේ පිංකමද කිසිම අඩුපාඩුවක් නොමැතිව කරන්නට වග බලාගත්හ.  පිංකමේ පළවෙනි දවසේ විවෘත කිරීම අගමැතිනියගේ ප්‍රධානත්වයෙනි.  අපි කට්ටියත් පිංකම පැවැත්වුණු හැම දවසකම නොවරදවාම පන්සලට ගියේ ධාතු කොහොම වෙතත් ධාතු බලන්නට එන කෙල්ලන් බලන්නටය.  ධාතු ප්‍රදර්ශනය කෙරුණේ බුදු මැදුරේ උඩ තට්ටුවේය.  පඩිපෙළ දිගේ උඩට යන බැතිමතුන්ට ධාතු වන්දනා කර පහළට එන්නට අනිත් පැත්තෙන් තාවකාලික තරප්පු පෙළක් ඉදිකර තිබුණේ එකම පඩිපෙළින් සැදැහැවතුන් උඩට පහළට යන්නට ගියවිට සිදුවන අවහිරය  මග අරින්නටය. 

පිංකම පැවැත්වුණු දෙවෙනි හෝ තුන්වෙනි දින රාත්‍රියේ අපි කණ්ඩායම සියලුම දෙනාගේ සාක්කු පීරා සොයාගත් මුදලින් මිළට ගත් සිගරැට් දෙකක් සාමූහිකව උරමින්  පන්සල ඉදිරිපිට තණබිස්සේ වාඩිවී සිටියෙමු.  සිගරැට් දෙකට වියදම් කළ මුදල වන සත හතළිහ හෝ පනහ සොයන්නට සියල්ලන්ගේම ආධාර වුවමනා වීම නිසාම එවකට අප කණ්ඩායම සතුව තිබූ ආර්ථික ශක්තිය ගැන යම් අදහසක් ඔබට ලබාගන්නට හැක.  ඉතින් එදා රාත්‍රියේ අවංකවම කිවහොත් අපි හිටියේ දැඩි කුසගින්නෙනි.  කඩේකින් කන්නට තබා බොන්නට අලියා බීම බෝතලයක් වත් මිළදී ගැනීම සිහිනයක් පමණක්ම වූ ඒ රැයේ අපි කතාකළේ කුමක් හෝ බඩට දා ගන්නේ කෙසේද කියාය.  පන්සලේ රාත්‍රියට දානය නැත.  තිබුණ එකම විසඳුම වුණේ ගිලන්පස ටිකක් වැළඳීමයි. 

නිකංම බුදුගෙයි ගිලන්පසට තබන නිවිච්ච තේ මෙලෝ රහක් නැත.  නමුත් ධාතුන් වහන්සේලාට පුදන අෂ්ඨපාන පූජාව  නම් පාන වර්ග කීපයකින් විසිතුරු විය.  ලොකු වීදුරු පුරවා අලියා බීමද, තේ, කිරිතේ, කෝපි, දොඩම් යුෂ, පළතුරු යුෂ ආදී පානයන්ගෙන් සමන්විත වූ අෂ්ඨපාන බන්දේසිය සුදු රෙදි කඩකින් වසාගෙන උඩට ගෙනගොස් පුජාකළ බැතිමතියන් ආපසු එනතුරු අපි බලාගෙන සිටියෙමු.  ඒ කාලයේ තිබුණු ආනයන සීමාවන් නිසා ඇපල් සහ මිදි ලංකාවේ දකින්නටවත් නොතිබුණු නිසා නොවන්නට ඇපල් යුෂ සහ මිදි යුෂද එදා ඔය බන්දේසියට එකතුවන බව මට නොඅනුමානව කිව හැකිය.  සෙනග අඩුවූ වෙලාව අල්ලා අපිත් උඩට නැග්ගෙමු.  අපට තිබූ එක වාසියක් වුණේ උඩ ධාතූන් වහන්සේලාට එළිය දෙන්නට සවිකර තිබූ අති විශාල වෝල්ටීයතාවකින් යුතු ලොකු විදුලි බල්බය රත්වූ විට ස්වයංක්‍රීයව විනාඩියක් දෙකක් නිවී තිබී නැවතත් පත්තු වීමය.  අපි කතාකරගෙන තිබුණේ උඩ අඳුරුවූ සැණින් අතට අසුවන වීදුරුව අරගෙන ගිල දමා එළිය පත්තු වෙන්නට පෙර අනෙක් පැත්තෙන් බිමට බසින්නටය.  අපි ටික උඩ අඳුරු වෙනතුරු එකෙල මෙකෙල වෙමින් සිට අඳුරුවූ සැණින් අෂ්ඨපාන බන්දේසිය සිං සිං ගා හිස්කර බිමට බැස ගතිමු.  කවුරුවත් මාට්ටු වුණේවත් කලබලයක් ඇතිවුණේවත් නැතිවුණත් පොඩි අවුලකට තිබුණේ අනික් උන් රසවත් පානයන් බොද්දී මට අසුවී තිබුණේ වතුර වීදුරුව වීමය.

අද වන විට පුස්තකාලෙ පන්සල ලොකු ගොඩනැගිලි කීපයකින්ද චෛත්‍යයකින්, බෝධියකින් හා එය වටකළ රන්වැටකින් ද, ඉදිරිපස මකර තොරණකින් හා වටේටම ලයිට් සවිකළ ගාම්භීර තාප්පයකින්ද සැදුම්ලත් ලොකුම ලොකු විහාරයකි.  විපුලසිරි හාමුදුරුවන් අපවත්වී අඩු තරමින් දැනට අවුරුදු විස්සක් විසිපහක්  වත් ගතවී ඇති අතර ධාතු ප්‍රදර්ශනයන් නම් දැනටත් පැවැත්වේ.  මීට මාස කීපයකට පෙර තිබුණු සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ධාතූන් වහන්සේලා වැඩම කෙරෙව්වේ චොපර් එකකිනි.   අපේ ඉස්කෝලෙ පිට්ටනියට බාන ලද චොපරයෙන් ගෙන ආ ධාතු මනාව සැරසු රන්සිවි ගෙයක තබා පන්සලට ගෙනෙද්දී චොපර් එක උඩ කැරකෙමින් මල් ඉස්සේය.  විශාල සද්දයක් සහිතව ධාතු ප්‍රදර්ශනය හාමුදුරුවන් විසින් ආරම්භ කළත් පොඩි පරහකට තිබුණේ බලාපොරොත්තු වූ තරම් ජනකායක් ධාතු වඳින්නට නොපැමිණීමය.  මම ධාතු වඳින්නට නොගියත් ඒ දවස්වල එතැනින් යද්දී එද්දී ධාතු වඳින පෝලිමේ විස්සකට තිහකට වැඩි පිරිසක් සිටිනවා මම එක දවසකවත් නොදුටුවෙමි.  මම හිතන විදියට මෙදා සැරේ ධාතු ප්‍රදර්ශනයෙන් නම් හාමුදුරුවන්ට අතින් පාඩුය. 

ආපහු අතීතයට ගියොත් ඔය නොදන්නාකමට කොල්ලො කාලෙ කළ පන්සල් පාළු කිරීම් ආදී වහුටු වැඩ අතහැර දමා රස්සාවක් කරමින් පිළිවෙලක් වී ජීවිතය ගත කරමින් ඉන්නා කාලයේත් මම පුස්තකාලෙ පන්සල ඇසුරු කළෙමි.  විපුලසිරි හාමුදුරුවන්ගේ අපවත් වීමෙන් පසු පන්සලේ භාරකාරීත්වය පිටින් ගෙනාපු හාමුදුරු නමකට පැවරුණේ විපුලසිරි හාමුදුරුවන් පැවිදි කරගත් ගෝලයින් දෙන්නාම හොඳට ඉගෙනගෙන රස්සාවල් සොයාගෙන සිවුරු හැර ගිය බැවිනි.  අලුත් නායක හාමුදුරුවෝ කළුය, කොටය, සිවුර හැරෙන්නට දුටු පමණින් හාමුදුරු ගතියක් නොපෙනේ, නම කියන්නටද බැරිය.  දවසක්දා ඒ හාමුදුරුවෝ අපේ ගමේ මලගෙදරකදී කළාවූ අනුශාසනාවක් ඇසු පමණින් මම හාමුදුරුවන් කෙරෙහි පැහැදුනු සිත් ඇත්තෙක් වීමි.  එය එතරම්ම ඖචිත්‍යයෙන් යුක්තය, කර්ණ රසායනය,ශෝකී සිත් නිවී සැනසී යයි.  හාමුදුරුවන්ට කතාකළ මම එතැන් සිට ලැබෙන හැටියට පුස්තකාලෙ පන්සලට යන්නට එන්නට පටන් ගත්තේ හාමුදුරුවන් සමග කතා කරමින් සිත් පහදවා ගන්නටය. 

මීට අවුරුදු දහයකට පමණ කළින් මම රස්සාව කරන්නට පිට රටකට යද්දී යනවාය කියා කියන්නට හාමුදුරුවන් මුණ ගැහෙන්නට ගිය වෙලේ පිරිත් ටිකක් කියා මට සෙත් පැතු හාමුදුරුවෝ පිරිත් නූලක්ද මගේ අතේ ගැටගසා ගමනට ආශීර්වාද කළහ.  ඊට අවුරුදු හතර හමාරකට පමණ අපසු මම ආපහු ලංකාවට ඇවිත් බැලු කළ හාමුදුරුවෝ පන්සලේ සිටියේ නැත.  අහන්නට කෙනෙක්ද නැත, දන්නා කරන අයගෙන් ඇසුවිට කිව්වේ හාමුදුරුවන් පන්සල හැරගොස් ඇති බවය.  වෙච්ච දේ ගැන හරි විස්තරයක් කියන්නට කවුරුවත් ඉදිරිපත් වුණේත් නැත.  

සංජේ කාර්යාලයේ අපේ බ්‍රාන්ච් එකට යොදවා සිටි අලුත් රියැදුරාය.  ඔහුද අපේ ටවුමේ කොල්ලෙක් වගේම අති පණ්ඩිතයෙකි.  අපේ පැත්තේ වෙන හැම දෙයක්ම සංජේ දනී.  සංජේ ගේ පියාද කාලයක සිටම මගේ හිතවතෙකි.  ඔහුට ටවුමේ කොණ්ඩ කපන ලොකු සැලුන් එකක් ඇත.  හැලපි වරින් වර කොණ්ඩය කපාගන්නට යන්නේ මේ සැලුන් එකටය.  කොණ්ඩ කපන්නේ ගෝලයන්ය.  සැලුන් එකේ අයිතිකාරයාවූ සංජේ ගේ තාත්තා කොණ්ඩ කපන්නේ නැත.  ඒ ඔහුට සතියේ ආර්ථික විග්‍රහය, වර්තමාන දේශපාලන විශ්ලේෂණය වැනි බොහොම වැදගත් වැඩ කරන්නට ඇති නිසාය.  හැලපි ඇතුලේ කෙල්ලන් කොණ්ඩය කපන පැනට ගොස් කොණ්ඩය කපාගන්නා තුරු සංජේ ගේ තාත්තා මගෙත් එක්ක කතාවට වැටේ.  කතාවක් කිව්වාට ඇත්තටම වෙන්නේ ඔහු කියවන දේ මම අහගෙන ඉන්නා එකය.  සංජේත් තාත්තා වගේම එකෙකි.  ඌත් නොදන්නා දෙයක් හෝ නොදන්නා කෙනෙක් නැත.

වාහනයේ යන ගමන් මම සංජේත් එක්ක ගමේ රටේ වෙන දේවල් ගැන කතාකරන්නට පුරුදුවී සිටියේ අපේ පැත්තේ සිද්දවෙන දේවල්වල අගමුල ගැන විස්තර දැනගන්නට ඌට වඩා හොඳ කෙනෙක් නැති නිසාය.  දවසක්දා මම නිකමට වගේ පුස්තකාලෙ පන්සලේ හාමුදුරුවන් ගැන සංජේගෙන් ඇහුවෙමි. 

" සංජේ, අර පන්සලේ අවුරුදු කීපෙකට කලින්  හිටපු කළු හාමුදුරුවන්ට මොකද උනේ බං? ඒ හාමුදුරුවො දැන් නෑනෙ."

" ඔය කියන්නෙ අර කොට හාමුදුරුවොද? ඒ හාමුදුරුවන්ට මරු වැඩේනෙ වුණේ, ඔයා ඒක දන්නෙ නැද්ද?  සංජේ සිනාසෙන්නට විය.

" නෑනෙ, මම රට යද්දී හිටියා, ගිහිං ඇවිත් බලනකොට නෑ.  එච්චරයි මම දන්නෙ."

" හාමුදුරුවො බොහොම හොඳට පන්සලත් දියුණු කරගෙන හිටියා, ලස්සනට බණ කියන හින්දා සෙනගත් හොඳට ආවා, සල්ලි බාගෙනුත් අඩුවක් තිබුනෙ නෑ.  ඔන්න ඔහොම ඉද්දි තමා සිල්වා පන්සලට කිට්ටු කළේ."

සිල්වා ඕල් රවුන්ඩර් කෙනෙකි.  ඔහු නොකරන වැඩක් නැත, ඉඩකඩම් දේපොළ විකුණාදීමේ බ්‍රෝකර් වැඩ, ගෙවල්වල ඉන්න කොල්ලන්ට රස්සාවල් සොයාදීම, කෙල්ලන්ට මඟුල් කතා කිරීම, ගෑණුන්ට මැද පෙරදිග රස්සාවල් හදා දීම, ළමයින්ව ඉස්කෝලවලට දැමීම, රස්සාව නැතිවූ අයට රස්සාව හදා දීම ආදී මෙකී නොකී සියළු කටයුතු දවසෙන් දෙකෙන් කරදීම සඳහා එදිනම ඇඩ්වාන්ස් එකක් ඉල්ලා ගන්නා සිල්වාව ඊට පසු දකින්නට වත් ලැබෙන්නේ නැත.

" සිල්වා පන්සලට ගියෙ පන්සල හදන්න වෙන්න ඇති." මම කීවෙමි.

" පන්සල හදයි ඕකා, පන්සල හදන්න නෙවෙයි ඌ හැදෙන්න ගියෙ. ඕකා පන්සලට ගිය ගමන් මම දැනගත්ත මූ හාමුදුරුවොත් විනාශ කරල පන්සලත් විකුණල තමයි පස්ස බලන්නෙ කියල."

හාමුදුරුවන්ට හිතවත් වී ටිකෙන් ටික හාමුදුරුවන්ගේ ඔළුවට වල්පල් දමමින් හාමුදුරුවන්ව නොමග යවන්නට  සිල්වාට ගතවී ඇත්තේ සුළු කාලයකි.  කොටින්ම හැම සුත්‍රයම දත් හාමුදුරුවන් නොදන්නා සුත්‍රය වූ කාමසුත්‍රය සිල්වා හාමුදුරුවන්ට දේශනා කර ඇති අතර සිල්වාගේ කාමසුත්‍ර දේශනාවට වශීවූ හාමුදුරුවෝ සිල්වා කියන කරන හැම දෙයක්ම හිස් මුදුණින් පිළිගත්හ.  මෙසේ සුක්ෂ්මව වැඩ කටයුතු කළ සිල්වා ටික දවසකින්ම හාමුදුරුවන්ට ස්ත්‍රී පහස ලබාදෙන්නට කටයුතු කළේ හාමුදුරුවන්ටත් හිතාගන්නට බැරි ආකාරයටය.  සිල්වා ඊට පසු හාමුදුරුවන්ගේ ප්‍රධාන උපදේශකයා බවට පත්විය.  මෙන්න මේ විදියට කාලය ගතවෙද්දී දවසක් සිල්වා හාමුදුරුවන්ට යෝජනා කළේ මේ නිකංම පොඩි පොඩි තැන්වලට යනවාට වඩා පිට පළාතකට ගිහිං දවසක් ගතකර සොමියක් අරගෙන එන්නටය.  හාමුදුරුවෝත් යෝජනාවට එක පයින්ම කැමති වූහ.

"  ඔන්න ඔය රත්නපුර පැත්තෙ ගෑනියෙක්ලු, ඒ ගෑනිගෙ මිනිහත් දැනුවත්වයි වැඩේ කෙරෙන්නෙ කියල සිල්ව කිව්වෙ, කොහොම හරි හාමුදුරුවොත් සිල්ව එක්ක ඒ ගෙදරට ගිහිං."

කාන්තාවත් සමග යහන්ගත්වූ හාමුදුරුවෝ තමන් අනුදත් කාමසුත්‍ර පාඩම් රෑ තුන්යමක් වෙනතුරු කාන්තාව සමග ප්‍රායෝගිකව රඟදක්වා අවසන පසුදා උදේ පිටත්ව එන්නට සුදානම් වුහ.

" උදේ හාමුදුරුවෝ ආපහු එන්න ලෑස්ති වෙලා එළියෙ පුටුවක ඉඳගෙන තේ එකක් බිබී ඉද්දි අර ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු.  ඒ වැන්දේ හාමුදුරුවො පෙන්නපු වැඩ ගැන ගෑනි සතුටුවෙලා හිටපු හින්ද කියලයි සිල්ව හිනාවෙවී කිව්වෙ."

" කොහොමහරි ඒ ඇවිත් වැඩිකලක් හාමුදුරුවො පන්සලේ හිටියෙ නෑ.  පන්සලට ආපු කෙල්ලක් යාළු කරගෙන සිවුරත් ගලෝල දාල ඒකිත් අරගෙන අතුරුදහන් වුණා."

සංජේ කතාව හමාර කළේය.  ඊට ටික දිනකට පසු ස්ථාන මාරුවක් ලැබූ මම ඕමාන් රටේ සේවයට ගියෙමි.  සංජේ ද පත්වීමක් ලැබී ස්වීඩනයේ ස්ටොක්හෝම් වල සේවයට ගිය බව මම පසුදිනෙක දුටුවෙමි.  සංජේ රස්සාව අවසන්කර ලංකාවට ඇවිත් ඉන්න බව ආරංචිවී මම ඌ ගැන තොරතුරක් දැනගන්නට සංජේ ලාගේ තාත්තගේ සැලූන් එකට ගියෙමි.  සංජේලගේ තාත්තා මියගොස් ටික කලක් ගතවී ඇති බව කියූ සැලුන් එකේ කොල්ලන් සංජේ ඉන්න තැනක් ගැන විස්තරයක් නොදන්නා බව කීහ.  පන්සලට නොගියත් දැන් පුස්තකාලෙ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ ද මාත් එක්ක හිතවත්ය. දානයකදී පිංකමක දී හමුවුණාම කතා බහ කරනවා ඇරෙන්නට ඊට වඩා ලොකු හිතවත්කමක් අපි අතරේ නැත෴

( ප. ලි සේනගේ කතාව අවසන් කරන්නට තව කොටසක් පමණ ලියන්නට ඇත.  පෝස්ටුව දික්වෙන නිසා ඒ කොටස ආයෙමත් ලියන බව දන්වා සිටිමි)