අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය. එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි. තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් පසුව වුවද මොකුත් නොලිව්වේ කම්මැලිකම නිසාය. ලිවීම අතපසුවූ කාලයේ මට කතාකරමින්ද ඊ ලිපි එවමින්ද නොලියන්නේ මන්ද යැයි ඇසු සියළුම පාඨකයින්ට මගේ ස්තූතිය පිරිනමමි.
ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය. මහන්සි වී පෝස්ටුවක් ලියු විට ප්‍රමාණවත් පාඨක පිරිසක් එය නොකියවන්නේ නම් ලිවීමට වඩා නොලියා සිටීම යෙහෙකි යැයි සිතේ. කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි. බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.
මා විසින් ලියන්නට පුරන ලද අවසන් නොවූ කතා දෙකක් ඇත. එනම් සේනගේ කතාව සහ ත්‍රිකෝණය කතාවයි. කෙසේ හෝ එම කතා ද්විත්වයද අවසන් කළ යුතුය. බ්ලොගයේ මෙතෙක් ලියු පෝස්ටු ප්‍රමාණය 296 ක් වන අතර 2019 අවසන් වනවිට පෝස්ටු 300 ක් සම්පූර්ණ කරන්නට සිතා සිටියද එය කළ නොහැකි විය. කෙසේ වුවද අදත් මා ලියු සේනගේ කතාව කියවමු.
සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය. අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු. ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය. විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය. ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය. මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය. නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය. වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.
අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය. පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි. සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය. සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය. නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය. රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි. නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ, සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි. නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි. රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ.
නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය. ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි. ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත. ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි. එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි. ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය. සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.
මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි. නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය. ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය. ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය. ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය. අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්‍රිට් බෝතලයක් කළවම් කරයි. වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි. තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි. දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී. ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය. ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය.
මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි. ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය. එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය. ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය. මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි. ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි. වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ "රොටියාගේ අලුත් පෙම්වතා කවුද?" යන්නයි. මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය. සිනාවෙමින් අසා සිටි ඩැනිස්,
"මූට අපි හොඳ වැඩක් කරමු!" යි කීවේය.
"ඒ කිව්වෙ?
"උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!"
"කමක් නැද්ද?"
"උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?"
මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි. ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය. සතියක් ගතවන්නට ඇත. දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.
"මොකද සේන මේ පාන්දර?"
"ඊයෙ රෑ ආවේ, උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?"
"මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ. සේන යන්න මම ටිකකින් එන්නම්."
සේන පිටත්වී ගියේය. ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින් සිටියේය. මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය. මමත් එකක් අරගෙන දල්වාගතිමි. කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි. ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය. ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය. සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.
"පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු."
අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය. ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත. ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන "උගේ" ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.
"මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?" නිළමේ අසයි.
"නිලමේ අයියව බලල යන්න කියල ආවා!"
"ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? " නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.
"ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා."
"එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?"
නිළමේ ආපහු එළියට බැස්සේය. උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය. ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය. මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය. කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය. අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය. මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය. එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය. මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි. හාල් පොත් බැලු මහප්පා "මොකා මේවා ලියනවද මං දන්නෑ" කියමින් සිනාසුනේය.
ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය. හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය. හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය. කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි. කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ 65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි. ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය. 70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය. "අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා" යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි. හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය. හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.
පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී. මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය. කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි. ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි. අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.
කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.
හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි. ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි. ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි. හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය. අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය. ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය. බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි. බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය. එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.
බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි. එතන ඇත්තේ අමුතුම සුවඳකි. හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක. හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි. සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි. මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය. දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි. හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන. අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.
සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි. කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි. ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත. ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය. නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි. පාර වන්නේ සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි. නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය. නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය. මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය෴
හුරේ නින්දෙන් ඇහැරිලා. කියවන්න කලින් කමෙන්ට් එක දැම්මෙමි.ස්තූතියි.
ReplyDeleteකුමාර කොහොමත් බලාගනමනේ හිටියෙ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහාල් පොත ගැන මතක් කලහම පරණ මතක අළුත් වෙනවා. අපේ කොල්ලා අඳින්න ආස පරණ ටී ෂර්ට් එකක් තියනවා.ඒක දැන් උගේ සයිස් එකෙන් බාගයක් විතර ඒත් ගෙදර ඉන්න කොට එක අඳින නිසා මම හිනාවෙනවා හාල් පොත වගේ ඒකම අඳින්නේ ඇයි. කියලා.එහෙම කිව්වට පස්සේ මට අක්කටයි මල්ලිටයි ඔය උපමාව පැහැදිලි කරන්න මට හාල් පොත කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න වුණා.
ReplyDeleteහැලපෙගෙ බ්ලොග් ලිවීමට කම්මැලි වීම ගැන කියලා පිටුව එක හේතුවක් නම් සාධාරණය කියලා හිතෙනවා. පාඨකයන් අඩුවීම සහ ඒ නිසාම කමෙන්ට් අඩුවීම. ඒ වගේම ඉස්සර බ්ලොග් ලිව්ව ගොඩක් අය ෆේස්බුක් එකේ පදිංචි වෙලා. ෆේස්බුක් එකේ ලියන ඒවා එවලෙම කියවන්න පුළුවන් වීම නිසා එහෙම වෙන්න ඇති. සමහරු ලියන්නෙම නෑ.හැලපෙ වගේම ලියන්න දක්ෂයෙක් වුන.හෙන්රි ජයවර්ධන ගුරුන්නාන්සේ අකුරක් ලියපු කාලයක් මතක නෑ.ඒ වගේ තව ගොඩක් ඉන්නවා. මම පොඩි යෝජනාවක් කරන්නම්.බ්ලොග් එකේ නමින්ම ෆේස්බුක් පේජ් එකක් පටන් අරං බ්ලොග් එකේ ලියන එක එතන අමුණන්න.
ඔය සමාගම් කඩේ කපල එකතු කරන කූපන් කොලේක අලවල තමයි සමූපකාර සමිතියට යවන්නේ.ඒකත් පනයන වැඩක්.අපේ තාත්තා හැත්තෑව දශකයේ ගමේ සමූපකාර කඩේ කොමිටියේ හිටියා.ඒ වගේ ශාඛා කමිටු වල ඉන්න අයගෙ ජන්දෙන් සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරිලත් හිටියා අවුරුදු කීපයක්. ඒ නිසා ඔය වෙන හොරකම් ගැන තාත්තා කියනවා මට මතකයි.
FB පේජ් එකක් දැනටමත් තියෙනවා. ඒකට අලුතෙන් ලියනවද ලියපුවා දානවද කියල තාම හිතුවෙ නෑ.
Deleteකුමාර ඔන්න මමත් එකක් ලිවුවා. හැලපෙගේ ස්ටයිල් එකට කැමතිනම් මගේ ඒවටත් කැමති වෙනවා. මොකද අපි දෙන්නම පඳුරු තලන නිසා.
Delete, සඳෙන් එහා කඳු
නැවත දැකීම සතූටක්.. දිගටම ලියන්න හැලප්ස්
ReplyDeleteස්තුතියි කුෂ්. දිගටම ලියන්න තමයි හිතං ඉන්නෙ.
Deleteහැලපයිය කාලෙකින් ඇවිත් තියෙන්නෙ
ReplyDeleteඔව් කාලෙකින් තමයි. පහුගිය ටිකේ එන්න බැරිඋනා නොවැ.
Deleteඉතිරි ටිකත් ඉක්මනට ලියන්න
ReplyDeleteතව අවුරුද්දකින් විතර තමයි ඉතිං.
Deleteනෑ.ඊට කලින් ලියන්නම්.
Delete/ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය. /
ReplyDeleteඔය කියමනම තියෙනව නේද කේ ජයතිලකගෙ "කාලො අයං තෙ" පොතේ?
ඒ කෑල්ල එතැනට ගැලපෙනව නේද බං?
Deleteසිරාවටම ඒ අවස්ථා දෙකම එක සමානයි. අපි කලිිං කියවපු පොත්වවල කෙටස් අපටම අනාගත ලියවිලි වලදි ගැළපිලා එනව. මට ඒක කීප විටක්ම වෙලා තියෙනව.
Deleteඅපිනං කෝල් කරල අහයි ඔහේ නලියන්නෙ මන්දැයි කියල.
ReplyDeleteනලියනවා නං නිළමෙ පෙරාපු බඩු අහවරවෙලා වෙන්ටෑ
Deleteතවුසෙ ළඟ මගෙ නම්බර් එකවත් තියෙනවයි?
Deleteඅපි හොඳට ඔහේගෙ නොම්බරේ දන්නව. හැක්..
Deleteදැන් නම් අර මාදුවගෙ කුඹුරේ ගොයම් ටික කපලා ඇති මයෙ හිතේ.
ReplyDeleteඅපොයි ඔව්. කපල මටත් වී දුන්නා. දැන් ඊළඟ කන්නෙට වෙල හානවා.
Deleteනිළමෙට රා වලින් පෙරන්න උපදෙස් දෙන්න ඇත්තෙ ඔහේල වෙන්න ඇති කියල මට හිතෙන්නෙ.
ReplyDeleteඅපේ උපදෙස් ඌට උවමනා නෑ. ටිකක් පෙරපුවම නැගල ගියා.
Deleteදිග විවේකයක් උනත් රස නම් එමමයි.. අවුරුදු තිහකින් තිස්පහකින් අතීතයට ගියා සුටුස් ගාල.. ලියන්න නෙවෙයි කොමෙන්ටෙකක් දාගන්නවත් බැරි කලබල මේ ටිකේ වැඩ. :/
ReplyDeleteවැඩ අස්සෙම කමෙන්ට් කළේ .ඒ මදැයි.
Deleteමටනම් මතක විදිහට හාල් පොත ආවේ 1970 න් පසුව මැතිණිගේ කාලේ. 1965-70 යූ එන් පී ආණ්ඩුව හාල් සේරු 2 ක් නොමිලේ දුන්නා. ඒක එක සේරුවකට කැපීම තමයි ඔබ ඔය කියන්නේ.
ReplyDeleteහාල් පොත 70 ට කලින් තිබුණා.
Delete//ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය........ කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි. බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය//
ReplyDeleteඅද කතාව බොහොම අගෙයි. ඔබේ කතාවේ සෑහෙන ඇත්තක් ඇති නමුත් එහෙමයි කියලා නොලියා ඉන්න එපා. කතාව බලලා හිමීට ලිස්සලා නොගිහින් , අපිත් කොහොම හරි කෙමෙන්ට් එකක් දාන්නම්. මට බ්ලොගර් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරන්න දෙන්නෙ නෑ.
සමස්තයක් වශයෙන් කියවීම අඩුවී තියෙන්නෙ, බ්ලොග් ලියන්නන් වරකට එකා දෙන්නා ගාණේ වාශ්පවීම නිසයි. ඉතුරුවෙලා ඉන්න ඔහෙලත් කම්මැලි කලොත් සිංහල බ්ලොග් ලෝකෙට අබ සරණයි.
-බස්සා-
නෑ කොහොමත් බ්ලොග් එක අත ඇරලා බුකියෙ පදිංචි වෙන්න අදහසක් නෑ. දෙකේම ඉන්නවා.
Deleteහැළපෙ උන්නැහේ, දැන් කොරෝනා නිසාත් බ්ලොග්ස් කියවන ගණන ටිකක් අඩු වෙලා. ඒකට මොකෝ? ඔයාලා වගේ අයත් නොලියනවා නං කවුද ලියන්නේ?
ReplyDeleteඒක තමයි ලියන්න ගත්තෙ නිදී.
Deleteමං හිතන්නේ හැලපේ දැං සිංහල බ්ලොග් වල ලොකු ගෝ එකක් නෑ. හොඳම වැඩේ තමා බුකියේ පේජ් එකක් අටවං ඒකෙන් එන එක. මොකද බ්ලොග් වලට එන්නෙ හැමදාම දන්න කිහිප දෙනා විතරයි. ඊට අමතරව කව්රු හරි ගුගල් සර්ච් කරල ආවොත් මිසක්කා. (මුල් ජේද දෙක විතරයි කියෙව්වේ)
ReplyDeleteහැක්!
Deleteතවුසෙ හැලපයියව දන්නෝද ඕයි.
Deleteඅප කුඩා කාළයේ "බුකිය" යැයි කිව්වේ එංගලාන්තයේ දුවන අස්පයොන්ට, මෙහේ ඉදන් ඔට්ටු අල්ලන සූදු පොලටය. එහෙ මෙහේ අඳුරු මුළුවල අටවාගත් මෙව්වාට සමහරු කිව්වේ "හොරබුකි" කියාය. බුකිවල ගැවසුනේ කිසිදාක ගොඩ නේන, නන්නත්තාරවූ අවසනාවන්තයන් රැලකි. බුකි මුදලාලිලා ලස්සයට කිදි දැම්මේ මේ අවසනාවන්තයන්ගේ රීරි මාංසයෙනි.
Deleteනූතන බුකියේත් මේ ලක්ශණ අඩු-වැඩි වශයෙන් දැකිය හැක.දැන් සිංහල බ්ලොග් වල ලොකු ගෝ එකක් නැති වුනත්, බුදු හැලපයියේ උඹ මේකෙම හිටහං.
අම්මපා මැරෙමි මම නොකා
ඔය බුකිය නං එපා
හෙට මැරුණත්- බ්ලොග වැහුවත්
බුකි බහින්නෙ නෑ
හුටා , වැරදුනා! ලක්සයට කොඩි
Deleteබුකියෙ පේජ් එකක් නම් තියෙනවා.ඒ උනාට මේක අපි උපන් තැන නොවැ.දැන් ඉතුරු ටික කියවපන්.
Deleteඔව් ඇනෝ. මේක දාල කොහෙ යන්නද.
Deleteභ්‍රමණ චලිතය ක්‍රෑන්ක්ශාෆ්ටයක් උපයෝගී කොටගෙන ඉදිරියට පිටුපසට චලනය වන රේඛීය චලිතයක් බවට පත්කරගත හැක.
ReplyDeleteඑහෙමද ඇනෝ? දැනගන්නට ලැබීම සතුටකි.
Deleteliyapan ban onna ohe ... comment nokarata kiyawana aya aduwak na neda
ReplyDeleteකියවන අයත් අඩුයි බං. කෝ අද සිංහල?
Deleteමේකේ ඉවර කරපු නැති කතා අටෝරාසියක් තියනවා මයෙ හිතේ.. අර කුලියපිටිය පැත්තෙන් හිරයක් ගන්න ගිය ඉස්කෝලේ මහත්තයාගේ කතවත් ඉවර නෑනේ නේද?
ReplyDeleteමොන ඉවරයක්ද? උන්ද තාම බිසෝගෙ පුරං කුඹුර අස්වද්දෝනව ඇති.හැලපෙ කමෙන්ට් මදි කිව්වනෙ? දෙඤ්ඤංකො ඇස්ටි හැලෙන්න
Deleteඔව් බං, උන් දෙන්න ඒ දවස්වල බැන්දුව නං මෙලහකට ළමෙකුත් ඉන්නවා.
Deleteතැන්කු ඇනෝ!
Deleteඅර බෝතල් ඇනෝ තාම නෑනේ.ගෝල්ලීප් එකක් ගහනවා වගේ.
ReplyDeleteගෝල්ලීප් නෙමෙයි එයාගෙ බ්‍රෑන්ඩ් එක "ගෝලීප්"
Deleteකොමෙන්ට්ස් බලාගෙන ලියන්න එපා...
ReplyDeleteඒකට රෙස්පෙක්ට් ඈ
Deleteඅන්නේම එන්ඩ
Deleteකමෙන්ට්ස් පමණක් නොවෙයි, කියවීමත් අඩු වෙලා බං.
Deleteමුලක් මැදක් මතක නැති වුනත් ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteකියවද්දී මතක් වේවි.
Deleteබඹරාගේ තියරිය:
ReplyDeleteඉගිලෙන බොහෝ සතුන්ටමෙන් ලස්සන හැඩයක්වත්. බරට සරිලන විශාල තටු දෙකක්වත් බඹරාට නැත. ඌගේ තටු මැණ ගණනය කල එයරොඩයිනමික් විශේෂඥයින් කීවේ, ඌට ඉගිලිය නොහැකි බවය.
එහෙමනං ඉගිලෙන්නේ කෙසේද යැයි ඇසූ විල බඹරා කීවේ ඔය එයරොඩයිනමික් තියරි තඹේකට මායිම් නොකරන ලෙස, "අන්සතු දිනපොත" ලියන හාදයා ඌට කී බවය. සිංහල මරණ බවට නෙක චෝදනා එල්ල වුවද, ඒවාට නොසැලී තාමත් එලෙසම ලියන, කමෙන්ට් තඹේකට මායිම් නොකරන, උන්දෑට හිතුනොත් විතරක් පිළිතුරු දෙමින් දශකයක් සපුරන මේ ගොයියාට, අප ස්තූතිවන්ත වියයුතු බව මට සිතේ.
සිංහල බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගයේ, හොඳ ලියන අප්පුලා මෙන්ම උන්ට වල කැපීමට මඩ බ්ලොග් පවා අටවාගත් අයද සිටියහ. ඒ කාලයේ බ්ලොග් අප්පුලා හොර බුකි රිංගුවේ, වටපිට බලා හොර රහසේ කසිප්පු තිප්පොලට රිංගන කලිසං මහත්තුරු වගේය. කකා නං කීවේ තමාගේ බ්ලොගය "ප්‍රමෝට්" කර ගැනීමට එහි යන බවය. වරකට එකා, දෙන්නා බැගින් බුකි ගතවුන බ්ලොග්කරුවෝ සමහරක්, තමංගේ බ්ලොග් මකා දමා එහි බින්න බැස ගත්හ. තව සමහරක් පැදුරටත් නොකියා වාෂ්පවිය.
ආ..දැන් මඳ් මොකද්ද මේ කියන්න ගත්තෙ?..
මොකක් කියන්න ගත්තත් මරු කතාව ඇනෝ.දැන් බ්ලොග් කාරයො හොයාගන්න නං බුකියට යන්න ඕනෑ.
Deleteහැමදාම ගොඩවෙලා බලනවා අලුත් එකක් ලියලද කියල....හාල් පොතට පස්සේ නේද කූපන් කපන කාඩ් ආවේ ??
ReplyDeleteහාල් පොතේ තමයි කූපන් තිබ්බෙ. හැමදාම එනවට රෙස්පෙක්ට්.
Deleteහැලපයියේ ඔන්න ඔහේ ලියපන්,කියවන උන් දැන් නෙමේ නම් පස්සේ හරි කියවයි.කාලෙකට පස්සේ ලිව්වත් උඹේ වටේ තැලිල්ල ඒ විදියටම ඔය තියෙන්නේ.
ReplyDeleteඔව් බං. පස්සෙ හරි කියවයි නොවැ.
Deleteඇඳිරි නීතිය නිසා ගෙදර ඉන්න එකේ මේ කමෙන්ට් දාලා තියෙන අයට උත්තර දුන්නා නම් අපූරුයි ආයිබොවන්ඩ. කමෙන්ට් මදි නිසා ලියන්න කම්මැලියි කියනවා වගේම තමයි අපි දාන කමෙන්ට් වලට උත්තර නැති වුණහම ආයි කමෙන්ට් දාන්න හිතෙන්න නෑ.
ReplyDeleteහරි හරි ඔච්චර කේන්ති ගන්න එපා. උත්තර දාන්නත් කම්මැලි කමේ බං හිටියෙ.
Deleteඔය තියෙන්නෙ කමෙන්ට්.
ReplyDeleteඉතින් ලියන්න
ඔව් ඔව් ප්‍රා. මෙදා සැරේ ඇතිවෙන්න කමෙන්ට් තියෙනවා. මේ දවස්වල අනික් බ්ලොගේට යමක් ලියන්න හදන්නෙ.
Deleteමොනවා කියනවාද.අපි එකා කමෙන්ට් දහය ගානේ දානව කියල පොරොන්දු වෙනවා ඊ ළඟ පෝස්ට් එකට.😀
Deleteහුටා! අනිත් බ්ලොගෙ? හපෝයි බාගෙට ගෙවිච්ච හොට
Deleteහාල් පොතේ ෆොටෝ කොහෙන්ද හොයා ගත්තේ
ReplyDeleteGoogal.
Delete//බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.//
ReplyDeleteනොලිව්වට කියවන අයත් ඉන්නවා. ඔය කොමෙන්ටුත් තියෙන්නෙ. පස්ස නොගහා ලියන එක හොඳයි කියල හිතන්න.
ස්තුතියි හෙන්රි. ලියමු කියමු. ඔයත් ලියන්න.
Deleteකොමෙන්ට් නොකලට මම නම් කියවනවා,නොලියා සිටියොත් බලන දේවල් අඩුවෙන නිසා චොම්මෙන්ට් කලේ
ReplyDeleteකොමෙන්ට් නොකලට මම නම් කියවනවා,නොලියා සිටියොත් බලන දේවල් අඩුවෙන නිසා කොමෙන්ට් කලේ
ReplyDeleteහැලපයත් බැහැල ඉන්නේ , කාලෙකින් හැලප කෑවේ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletecomments dawe nathi unata aniwarayen sathiyata parak hari avlla oluwa daala yanwa aluthen mona hari daalada balanna.asawen kiyawana blog ekak
ReplyDeleteකොමෙන්ට් නොදැමීමට හැම පෝස්ට් එකක්ම කියවනවා. සැලෙන්න එපා. ලියන්න.
ReplyDeleteනැවත දැකීම සතූටක්.
ReplyDeleteදිගටම ලියන් නැත්නම් සුදු වෑන් එකක් එවන්න හිටියේ.😂
ReplyDeleteනමට ගැලපෙන්නේ සුදු දඬු මොණරයක්
Deleteඅයියෝ මගේ කමෙන්ට් එක ?
ReplyDelete