Wednesday, September 17, 2025

නිහඬතාව, හැලපැට්ටාගේ වගතුග, දික්ඔය සිට අක්කරේපත්තුවට, හැක්වීම සහ අලුතෙන් ලැබුණු තෑග්ග.


අපේ බ්ලොග් ලිවීම නැත්තටම නැතිවී ගොසින් දැන් අවුරුද්දකටත් කිට්ටුවේගන එයි.  ඒ කියන්නේ මම අන්තිමට පෝස්ටුවක් දැම්මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර්ය.ඒ නිසාවෙන් අදත් එදත් අතර කාලය තුල සිද්ද වුනු දේ ටිකක් කතාකලොත් හොඳයි කියා සිතේ. 

පහුගිය දෙසැම්බරයේ පෝස්ටුව දැම්මායින් පසු මම හිතා සිටියේ  දිගටම ලියන්නටය.  නමුත් අවාසනාවකට මෙන් ලෙඩ දිදී තිබුනු ලැප්ටොපය අවසන් ගමන් ගියේ මගේ බලාපොරොත්තු සුන් කර ලමිනි,  අවුරුදු හය හතක් පරණ එකක් වූ ඒ ලැප්ටොප් එක ආපහු හදනවා නම් ලොකු මුදලක් යන බවත් එහෙම හැදුවත් වැඩි කලක් වැඩ ගන්නට බැරි බවත් කියූ කොම්පියුටර් කාර්මිකයා නොකියා කියන්නේ හදලා වැඩක් නැති බව යැයි මට තේරුම් ගියේය. ඉතින් අකැමැත්තෙන් වුවත් බ්ලොග් ලිවීමට සමුදෙන්නට සිදුවිය. පෝන් එකෙන් බ්ලොග් බලන්නට හැකි උනත් ලියන්නට බැරිය. ඉතින් ඔය විදියට ඊයේ වෙනතුරු කටයුතු සිදුවිය.

හැලපැට්ටා ගැනත් යමක් නොකිව්වොත් පෝස්ටුවේ අග මුල ගැට ගහගන්නට බැරිය. දික්ඔය සනීපදායක සීතලේ වැඩ කරමින් සිටි හැලපැට්ටා ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට ගිණිගහන අව් රශ්මිය ඇති අක්කරේපත්තුවට මාරු කළේය.  තනියෙන් නෙවෙයි යුවලමය.  කියන්නට අමතක විය හැලපැට්ටා දැන් තනියම නොව ජෝඩුවකි.  ඌ විවාහ උනේ ගිය අවුරුද්දේ මුලය.  ඉතින් දෙන්නාම දික්ඔය සිට අක්කරේපත්තුවට පැමිණ පදිංචි වූහ.  ඒ නිසාම අපි දෙන්නාටත් දෙතුන් සැරයක්ම අක්කරේපත්තු යන්නට ලැබිණි. මෙහෙම ඉද්දී ගිය අවුරුද්දේ දෙසැම්බර් වල හැලපැට්ටාගේ බිරිඳ(තවම බ්ලොග් සහෘදයන් නමක් දමා නැති නිසා නමක් නැත) අසනීප විය.  රෝගය පපුවේ සෙම වැනි තත්ත්වයකි.  අවටපිට බහුලව ඇති දුහුවිලි නිසා විය හැකිය.  කෙසේ හෝ රෝහලේ නවත්වා බේත් දුන්නද අඩුවක් නැති තැන නිව්මෝනියා තත්ත්වයෙන් කොලඹට මාරු කරන්නට යෙදුනි.  දෙසැම්බර් අග අසනීප වූ රෝගියාට ජනවාරි අග වෙනතුරු කොලඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකක තුනක නැවතී ප්‍රතිකාර ගන්නට තරම් රෝගය දරුණු විය. බොහොම අමාරුවෙන් සනීප කරගත් පසු රෝහලෙන් අවවාද කළේ දුර ගමන් වලිනුත් දුහුවිලි සහිත පරිසරයෙනුත් ඈත්වී සිටින ලෙසය. දැන් ඉතින් ආපසු අක්කරේපත්තුවට යන්නට බැරිය.  බොහොම අමාරුවෙන් තත්ත්වය සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු කාරණා පැහැදිලි කළ පසු මාස හතරක තාවකාලික මාරුවක් කොලඹ මහ රෝහලට ලැබුණි.  

දැන් හැලපැට්ටා අක්කරේපත්තුවේ තට්ට තනියමය.  මාසෙකට දෙවතාවක් පමණ ගෙදර එයි.  මාස දෙක තුනකට සැරයක් අපි දෙන්නාත් එහෙ ගිහින් සතියක් දෙකක් නැවතී ගේ සුද්දකර හැලපැට්ටාට කෑම හදාදී ආපසු ඒම සිරිතක් කර ගත්තෙමු.  අක්කරේපත්තුවට යන එකම පට්ට කට්ටකි.  එය පැය 10 ක පමණ ගමනකි.  උදේ හතට මඩකලපු කෝච්චියට නැග මඩකලපුවට යන විට හවස හතර පහුවෙයි.  මඩකලපුවෙන් බස් එක  අක්කරේපත්තුවට යනවිට හයහමාරත් පහුවෙයි. ආපසු ඒම නම් කිසි අවුලක් නැත,  රෑ අටට කොළඹ සුඛෝපභෝගී ඒසී බස් එකට නැගගත් විට පාන්දර තුනහමාරට පමණ නිට්ටඹුවෙන් බැසගත හැක.  බස් එක කුරුණෑගලින් හයිවේ නොදා ආවොත් හතර විතර වෙයි. මගක් එද්දී එන නිදිමතට නින්ද ගියවිට ආපහු ඇහැරෙන්නේ රෑ දොළහට විතර කදුරුවෙල හරියේ කෑමට නැවැත්තුව විටය.  ආයෙම යන නින්ද කැඩෙන්නේ නිට්ටඹුවේදී කොන්දොස්තර ඇහැරවන විටය. පැය හය හතක ගමනක් ආවද කියාවත් නොදැනේ.

අක්කරේපත්තුව මරු ටවුමකි. රශ්නය ඇරෙන්නට අනෙක් හැම අතින්ම, කෑම බීම අතින් ඉන්න මිනිස්සු අතින් බැලුවම සුපිරිය.  ඔනෑතරම් අලුත් මස් මාලු අපි මෙහෙ ගන්න ගණන් වලට සාපේක්ශව හරි අඩුවට ගත හැක. කඩ කෑමද ඒවගේමය.  හැලපැට්ටා පදිංචිවී සිටියේ ටවුමේමය.  හරියටම කිව්වොත් පල්ලිය ලඟය.  ගෙවල් අයිතිකාරයා වන නිසාම් වයස නැතත් වයසයි වගේ පේන ලොකු බඩක් ඇති හොඳ මනුස්සයෙකි.  පල්ලිය ලඟ ඇති බිල්ඩිම ඔහුගේය.  බිල්ඩිමේ පහල තට්ටුව හාඩ්වෙයාර් එකකට සහ තව කඩ කීපයකට බදු දී තිබේ.  උඩ තට්ටුව ගෙවල් දෙකකි.  එකක හැලපැට්ටාය, අනිකේ තවත් දොස්තර කොල්ලෙකි.  කොච්චර ඉල්ලගෙන ආවත් දොස්තරලාට ඇරෙන්නට වෙන කාටවත් ඒ ගෙවල් දෙක කුලියට නොදෙන බව නිසාම් කියයි. ඊට අමතරව නිසාම් කුඹුරු වවයි.

"මටත් කුඹුරු ටිකක් තියනවා" දවසක් නිසාම් මගෙත් එක්ක කතා කරමින් ඉද්දී කීවේය.

"කොච්චරක්ද?" මම ඇසුවේ කුඹුරු සබ්ජෙක්ට් එක මගෙත් ප්‍රියතම එකක් නිසාය.

"පොඩ්ඩයි, අක්කර විස්සක් විතර"

"හොඳ පොඩ්ඩ"

"ඔව් පොඩ්ඩ තමයි,  මෙහෙ අයට අක්කර සීය හමාර තියනවා" නිසාම් කීවේය. 

අක්කරපත්තුවේ සිට කල්මුණේට යද්දී පාර දෙපැත්තේ පේන තෙක් මානයේ විශාල වෙල් යායකි. වෙල් යාය පහුකල ගමන් විවිධ නම්වලින් ඇති හාල් මෝල්‍ ය. ගොයම් කපන කාලයට අස්වැන්න පාරේ වේලන දර්ශනය අක්කරපත්තුවේ සිට සම්මන්තුරේට යනතුරු පාර අයිනේ දැක බලාගත හැක.  රත්න සහල් මෝලේ විශාල කන්ටේනර් ලොරි පාර අයිනේ නවත්වා වී කිරයි. සම්මන්තුරේ හරියේද අනික් පැත්තට පොතුවිල් පහුකරගෙන ආරුගම්බේට යනතුරුම වී කිරනවා මම දැක්කේ  රත්න ලොරි විතරය.  නිසාම්ලා වැනි කුඹුරු හිමියන් වෙල්වල දඟලන්නේ නැත.  වෙලට යන්නේ වී විකුණා සල්ලි ගන්නට විතරය.  ඉතුරු වැඩ සියල්ල කරන්නේ කුඹුර වැඩ කරන්නට දී ඇති ගොවියාය.

අක්කරේපත්තුවට ගිහින් ඉද්දි අවම වශයෙන් මම දවසකට තුන් සැරයක් වත් ටවුමට යමි.  උදේම යන්නේ උදේට කෑම ගේන්නය.  උදේට කන්නට කිරි ආප්ප හෙවත් පාල් අප්පම් ද වණ්ඩු ද තෝසේ ද ඉඳිආප්පද පරෝටා සහ පොල් රොටීද පිට්ටු හෙවත් පුට්ටුද ඇත.  අපි වඩා කැමති පාල් ආප්පම් සහ වණ්ඩු වලටය.  වණ්ඩු යනු අපි මෙහෙ කන වණ්ඩු නොවේ. ලා පැණි රසකුත් එක්ක ඇති මේ වණ්ඩුව හරියටම අණ්ඩ නැති සුදුපාට කෝප්පයක් මුනින් අතට නැමුවා මෙනි.  අනික පාල් ආප්පම්ය,  හරියටම සුදු ආප්පය වුණත් බොහෝ කිරි රසය. දෙකක් එකට අලවා ඇත.  එතකොට එක කියන්නේ දෙකකි.  මම මුලින්ම මේවා ගද්දී දහයක් ඉල්ලා ගෙනාවිට විස්සක් ලැබී දවසම කිරි ආප්ප කන්නට සිදුවිය.  උදේ ගමනින් පසු දවල් දහයට එකොළහට පමණ ආයෙම ටවුමට යන්නේ දවල්ට උයන්නට එළවලු මාලු හෝ මස් ගෙනෙන්නටය.  හවස බොහෝවිට යැවෙන්නේ මොකුත් ගෙදර නැතිනම් පානයට අරගෙන එන්නටය.  ඒ එන ගමන රෑකෑමටත් යමක්ගෙ නෙන්නට සිදුවෙන්නේ රෑටත් ගෙදර ඉවීමක් සිදු නොකරන බැවිනි.  

මම ටවුමේ යනවිට බොහෝ දෙනෙක් මා දෙස බලන්නේ මම පිටස්තරයෙක් බව බැලූ බැල්මටම ඔවුන්ට පෙනීයන බැවිනි.  සාමාන්‍යයෙන් එහේ උදවිය ටී ෂර්ට්, ෂෝට් ඇඳගෙන පාරට බසින්නේ නැත.  මාත් එක්ක මුලින්ම හිතවත් උනේ කුකුල් මස් කඩේ කොල්ලාය.  ඌ කඩේ ඉස්සරහ ඉඳගෙන සිටින අතර කුකුලන් රංචුවක් කඩේ ඇතුලේ වී ඇට ඇහිඳිමින් සිටිති.  ඕඩරය ලැබුණු විට එකෙකුට ආගම කියා කටට වතුර ටිකක් වත්කර ෂොට් එක දෙනු ලැබේ.  ඒ දර්ශනය බලන්නට මම අකමැති නිසා කොල්ලාට ඇඟිල්ලෙන් එක පෙන්නා මම මාකට් එකට යමි.  ආපසු එන විට මස් ටික තරාදියට දමා ලෑස්ති කර තිබේ.  හරක් මස් හෝ එළු මස් කඩවල ඒ ප්‍රශ්නය නොමැත.  ඒවා රෙඩිලි ඇවේලබල්ය.  ඌරු මස් කඩ කොහෙවත් නැති බව කියන්නට අවශ්‍ය නොවේ.  

කඩේට ගිහින් මස් කිරවා ගන්නා අතරේ කොල්ලා මගෙත් එක්ක කතාවට වැටෙන්නේ උගේ කුතුහලය සංසිඳුවා ගන්නටය.

"අයියා කොහෙද ඉන්නෙ?"

"ම්ම් පල්ලිය ලඟ, නිසාම්ගෙ ගේ දන්නවද, අන්න ඒ ගෙදර උඩ තට්ටුවෙ" මම කියමි.

"ඔව් ඔව්, මෙහෙ මොකද කරන්නෙ?"

"පුතා බලන්න ආවෙ. ඒ ගෙදර පුතාල ඉන්නෙ"

"දිගටම ඉන්නවද?"

"නෑ නෑ සතියක් විතර ඉන්නවා"

මම දිගටම හිටියොත් උගේ බිස්නස් එකටත් හොඳ බව උපන්ගෙයි බිස්නස් කාරයන් වන උන් දනිති. රොටී ගන්නට හෝටලයකට ගියත් සල්ලි ගන්න එකා මගෙන් ඒ ප්‍රශ්නයම අසා විස්‍තර දැනගනී.     සාමාන්‍යයෙන් ඒ තොරතුර වටේටම පැතිරී යන නිසා බොහෝ අය ඊට පසු මාව දැනගනී.  වයසක මුස්ලිමුන් නිතරම පාහේ සිංහල කතාකළත් කොල්ලන්ට බොහෝවිට සිංහල බැරිය.  විශේෂයෙන් කොල්ලන් ගණන් කියද්දි උන්ට සිංහලෙන් කියන්නට බැරිව හිරවී සිනාවෙමින් මා දෙස බලයි.  "සොල්ලුංග තම්බි" කියා මම කියද්දී ඌ ටක් ගා ගණන දෙමලෙන් කියයි.  සමහර කොල්ලන් එච්චර දඟලන්නේ නැතුව ගාන කැල්කියුලේටරයේ හදා මට පෙන්වා මුදල් ගනී.

ජූලි මාසය අන්තිමේ හැලපිත් මමත් හැලපැට්ටා බලන්නට ගියේ ඔහුට අගෝස්තු සිට කොලඹට මාරුවක් ලැබී ඇති නිසා ගෙයි බඩු අස්කරගෙන එක්ක එන්නටය. ගෙදර තිබුනේ බඩු ටිකක් උනත් අහුරන්නට කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් අවශ්‍ය වුනේය.  පෙට්ටි කීපයක් ගන්නට තැනක් නිසාම්ගෙන් විපරම් කළෙමි.   

"සල්ලිවලට ගන්න ඕන් නෑ, මගෙ ෆාමසියට බේත් එන පෙට්ටි තියනවා. මම හොයල දෙන්නම්"  නිසාම් පොරොන්දු විය.

පෙට්ටි ගෙනෙන්නට නිසාම් මගෙත් එක්ක ෆාමසියට ගියේය. බෙහෙත් තොග බාන්නේ ගබඩාවකටය.  ෆාමසියේ බේත් අඩුවෙන විට ගබඩාවෙන් බේත් ගනෙයි.  ඒ සඳහා ගබඩාවේ කෙල්ලන් දෙන්නෙක් සිටී. උන්ට සිංහල තේරෙන්නෙ නැත.නිසාම් උන් එක්ක කතාකර පෙට්ටි ඉල්ලා ගත්තේය.  අපි පෙට්ටිත් අරගෙන ආපහු එන ගමනේ නිසාම්ගෙන් මෙදා සැරේ අස්වැන්න ගැන ඇහුවෙමි.

"මට හොඳයි, මේ සැරේ වී මිටියක් හත්දාහ ගානෙ වික්කා" නිසාම් කීවේය.  

ටවුමේ සිට ඔරලෝසු කණුව පසුකර අම්පාර පැත්තට ටික දුරක් යද්දී වයින් ස්ටෝස් එක පිහිටා තිබේ.  බියර් එකක්වත් බොන්නට කියා මම වයින් ස්ටොස් එකට ගියෙමි.  අක්කරපත්තුව සහමුලින්ම වාගේ මුස්ලිම් ටවුමක් නිසා බාර් එක පාලුවට ගොස් ඇතැයි මම සිතා සිටියත් බාර් එකේ තිබුනු පෝලිම් දෙකේම සෙනග පොදිකමින් සිටියහ. පහුවදා උදේ හැලපිගේ නංගී ඇතුලු තුන්දෙනා පැමිණුන අතර එදා රෑ බස් එකෙන් මම ගෙදර ආවෙමි.  අනික් කට්ටිය එදා නැවතී පහුවදා උදෙන් කාර් එකෙන් පිටත් වීමට නියමිත විය.

හැලපැට්ටා අගෝස්තු මුල නව සේවා ස්ථානයට වාර්තා කළේය.  අක්කරේපත්තුවේ ඉද්දී ඌ අඩුම වශයෙන් මාසෙට දෙවතාවක් ගෙදර ඇවිත් ගියේය. කොලඹට ආ පසු ගෙදර එන්නෙම නැත.   එන්නට නිවාඩු නැත කියයි. සෙනසුරාදාත් වැඩ කියයි.   මගේ තර්ජනාත්මක ඉල්ලීමකට අනුව ලැප්ටොපය එකලස් කර දෙන්නට ගිය සතියේ ආවේය.

තව කතාවක් කියන්නට අමතක විය.  පහුගිය ජනවාරි මාසේ මගේ යාලුවෙක්ගේ මෙසේජ් එකක් මෙසෙන්ජර් වලට ආ අතර මම එයට ප්‍රතිචාර දැක්වූයෙමි.  ඒ ටිකකින් මට මතක් වුණේ එය යම්කිසි හැකරෙකුගෙන් ලැබුනු එකක් වෙන්නට බැරිද කියාය.  ඒ නිසා ඊට පසු ලැබුනු ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදක්වා සද්ද නැතුව සිටියෙමි.මොහොතකින් ඒ කාලකණ්නි බල්ලා මගේ එෆ්බී එක හැක් කළේය.  ටික දවසකින් එය නැවත යථා තත්වයට පත්කර ගත්තත් එෆ්බී ආයතනය මට තහනමක් දමා තිබුණේ එහි නීති වලට පටහැනිව පෝස්ට් දමනවා කියලාය.  හැකරාගේ වැඩ නිසා මට දවස් 180 ක තහනමක් වැටුණි.  ආපසු පහුගිය මාසේ එෆ්බී එක හදාගත්තත් ඒ අලුත් එකක් විදියට නිසා මගේ අවුරුදු දහයක පමණ තිබූ පැරණි වටිනා පින්තූර ඔක්කොම  නැතිවිය.

ඉතින් මේ මාසයේ හැලපිත් හැලපැට්ටාත් එකතුව මට අලුත් ලැප්ටොප් එකක් අරගෙන දුන්නේ මම ලියන්නට නැතුව කම්මැලි කමින් ඉන්නවා කියලාය.ඔක්කොම පරණ වැඩකෑලි ටික හැලපැට්ටා ආපහු දමා දුන්නේ මගේ ඉල්ලීමටය.  මම ලියන්නට ගත්‍තේ එහෙමය.

ඉතින් මගේ බ්ලොග් මිතුරු කැල ආදරයෙන් මතක් කරමි.  පහුගිය කාලයේ මම නොලිව්වත් ඔබලා බ්ලොගයට ගොඩ වැදී යාමම ලොකු දෙයකි.  බලාපොරොත්තු වෙන්නේ පරණ කතන්දර ටිකක් නැවත ලියන්නටය.  එක කේස් එකක් ඇත.  ඒ මට හැලපයා නමින් කමෙන්ට් කරන්නට බැරිකමය.  වදින්නේ ඇනෝ කමෙන්ට්ස්ය. ආපහු එය හදා ගන්නේ කෙලෙසදැයි මම නොදන්නවා උනත් එයත් කෙසේ හෝ හදාගත යුතුමය.

1 comment:

  1. හලෝ හැලපේ,

    සැහෙන කාලෙකින්. මාත් ඉතිං අපේ හැලපේගේ පරණ පොස්ට් කියෙව්වා ඉන්න ගමන්.

    දැන් නං බ්ලොග් ලියවෙන්නේ අඩුවෙන් තමයි. ගොඩක් අය ෆේස්බුක් එකෙනි ලියන්නේ. මම නං ඒකෙ නැති නිසා ලොකුවට දන්නේ නෑ.

    හැබැයි ඔය හැලපගේ ෆේස්බුක් එක නතර කෙරෙව්වේ හැලපේ ආයේ බ්ලොග් එකට ගෙන්න ඕනී හින්දාද දන්නේ නෑ.

    ඉතිං හැලප අද නං උදේ ඉදං වහිනවා. බෝතලයක් ගහන්න කියපු දවසක්.

    මම මේ තව ඩිංගකින් කන්තෝරුවෙන් නිවාඩුක්‌ දාලා අඩියක් ගහන්න යන්න සුදානම. එතකොට පොටෝ එකක් දාන්නම්කෝ.

    ReplyDelete

ඔබේ අදහස්