Wednesday, March 21, 2018

ඩැනිස් ගේ සොමිය, කැතිඩ්‍රාල් බියර්, ඩේවිඩ්, කේබල් කාර්, නාදන් ගේ කඩේ, පප්පාගේ විස්තරය, ගෙස්ට් හවුස් එක සහ කොකු.


අද ලියන්නට බලාපොරොත්තු වුණේ නාරායන් සොයා යාම කතාවේ කොටසක් වුණත් පාඨකයන් කීප දෙනෙක්ම වගේ ඩැනිස් ගේ කතාව ගැන අදහස් දක්වා තිබු නිසා මේ කතාව ඉවරයක් කරන්නට සිතුවෙමි.   ඒත් ඉවරයක් වේදැයි නොදන්නේ කතාව ලියාගෙන යද්දී කුමන පැතිවලට හැරේවි දැයි කලින් කියන්නට බැරි නිසාය.  කොහොම වුණත් මම මේ දවස්වල සීරිස් තුනක කතා ලියාගෙන යමි.   එකක් නම් නාරායන් ගේ කතාවය.   අනෙක් සීරිස් දෙක ස්වප්නා ගේ දානය කතාව සහ ඩැනිස් ගේ සොමියයි.   මේ සීරිස් තුනෙන් කෙටිම එක ඩැනිස් ගේ සොමිය විය හැකි යැයි මට සිතේ.   කොපමණ දිග කතා පෙළක වුවද අවසානයක් තිබිය යුතු හෙයින් මේ සීරීස් තුනම හැකි ඉක්මණින් ඉවර කරන්නට උත්සාහ කරමි. 

අපි අන්තිමට නැවැත්තුවේ ඉස්ටේසමේ දී හමුවුණු කොල්ලා එක්ක හෝටල් කාමරයක් සොයා ගන්නට යන ගමන ආරම්භයේදීය.   දැන් කොල්ලා තේ එක බොමින් ඉස්සරහින්ද අපි තුන්දෙනා කොල්ලා පසුපසින්ද ගමන් කරමින් පාරවල් කීපයක් පසුකර සෑහෙන දුරක් ගමන් කළෙමු.   ඒ අතරතුර කොල්ලා හෝටල් කීපයකට ගොඩ වැදී විපරම් කළත් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහුගේ මුහුණින් පෙනිණි.   ඒ ගමන කොල්ලා ඇවිදීම නවතා පෝන් එක අතට ගත්තේය.   කෝල් කීපයක් තැන තැනට දුන් පසු ඔහුගේ මුහුණ එළිය විය.

" ඉක්මනට යමු, එක කාමරයක් තියෙනවලු ! "යි කොල්ලා කීවේය.   ආයෙම ගමන පටන් ගත් අපි වීදි කීපයක්ම පසුකර ගොස් එක් හෝටලයකට ඇතුල් වුණෙමු.   කොල්ලා කාමරය සොයාගත්තේ ඒ හෝටලයෙනි.   කොල්ලාම හෝටලයේ අය සමග කතාකර දවසකට යුරෝ 120 කට කාමරය වෙන්කර දුන්නේය. 

" අද මම උදේ වරුව නිවාඩු, ඒ හින්ද හොඳට ගියා!" යි කියමින් කොල්ලා අපෙන් සමුගත්තේය.   අහම්බෙන් හමුවූ ඒ පරාර්ථකාමී තරුණයා නොවන්නට එදා රාත්‍රිය අපට ගෙවන්නට වෙන්නේ බොහෝදුරට රයින් ගඟ අයිනේ බංකුවකය.   කාලයක් යනතුරු කොල්ලා මගෙත් එක්ක ඊ මේල් වලින් යාලු මිතුරුකම් පැවැත් වුවත් පසුකාලීනව අපි දෙන්නාටම ඊ මේල් ලියාගැනීම එපාවිය.

හෝටලේ කාමරය ඉතා කුඩා එකකි, අපි තුන්දෙනාට යන්තමට වගේ සෑහෙයි.   කාමරයේ පදිංචි වීමෙන් පසුව අපි ඉක්මන් වුණේ දවල්ට කෑම කා ඇවිදින්නට යන්නටය.   කොහේ හරි රටකට ගියොත් යන එන තැන් ගැන අපි තුන්දෙනාගේ එකඟතාවක් කවදාවත් ඇතිවෙන්නේ නැත.   ඒ මොකද කිව්වොත් හැලපි වඩා කමතිවෙන්නේ ඇඳුම් කඩවලත් සුපර් මාකට් ගානේත් රස්තියාදු වෙන්නටය.   හැලපැට්ටා කැමති මැක්ඩොනල්ඩ් සහ KFC වලටය.   මගේ රුචිය වෙනම එකකි.   කෞතුකාගාර හා වෙනත් පුරාණ ස්මාරක බලන්නටද ඒ රටේ ජන ජීවිතය ගැන දැනගන්නට ද මම කැමැත්තෙමි.   කෞතුකාගාර බලන්නට අපේ දෙන්නා එක්ක ගිහිං මම ඉස්සෙල්ලාම පාඩමක් ඉගෙන ගත්තේ ප්‍රංශයේ දීය.   ලුව්ර බලන්නට ගියදා එහි තියෙන අගනා මිළ කළ නොහැකි පුරා වස්තූන් ගැන කිසිම සැළකිල්ලක් නොදැක්වූ අපේ දෙන්නා බලන දෙයක් මට ගිහිං බලා එන්නට කියා පැත්තකට වී ඉඳගෙන සිටියෝය.   පුරාණ මිසරයේ නයිල් නදී නිම්නයේ ශිෂ්ටාචාරය ද පාරාවෝ රජවරුන් හා පිරමීඩ ගැනද මුන් දෙන්නා එක්ක කුමන කතාද?   ඒ දෙන්නා වෙනුවට දැනුම් තේරුම් තියෙන යාලුවෙක් එක්ක ආවානම් මොන තරම් දේවල් දැක බලාගෙන සාකච්ඡා කරන්නට තිබුණාද කියා මා කල්පනා කළේ කේන්තියෙනි.    එක්සත් රාජධානියේදී හා ඉතාලියේදී ද වුණේ ඒ ටිකමය.   ඉතින් ජර්මනියේදී ඒ වැරැද්ද ආයෙම නොකරන්නට ඉටා ගත්තේ අපේ දෙන්නා එක්ක කටුගෙවල් වලට යෑම ටිකට් වලට ගෙවන මුදලටත් පාඩු නිසාය.

අපි දවාලට කෑම කෑවේ ඒ ලඟම තියෙන KFC එකකිනි.   කැතිඩ්‍රාල් යනු කොලෝන් වල ඇති විශාලතම පැරණි දේවස්ථානයක් වන අතර එය කොලෝන් නගරයේ සංකේතය ලෙසද හැඳින්වේ.   දවල්ට කද්දී මම බොන්නට ගත්ත කුඩා බියර් බෝතල් දෙකේ වෙළඳ ලකුණ වුයේ කැතිඩ්‍රාල යයි.   කැතිඩ්‍රාල් හෝ ඩෝම් යනුවෙන් වෙළඳ ලකුණ යොදාගෙන නිෂ්පාදනය කරන බියර් වර්ග හතර පහක්ම ඇතිබව පසුව දැනගන්නට ලැබිණි.   අපේ රටේ මොන යම් හෝ ආගමික සිද්ධස්ථානයක පිංතුරයක් මත්පැන් වර්ගයක වෙළඳ ලකුණ හැටියට යෙදුවොත් කොහොම ජංජාලයක් වේවිද කියා මම කල්පනා කළෙමි.   කොලෝන් දුම්රිය පොළෙන් පිටතට පැමිණ කැතිඩ්‍රාලය ලඟින් පහළට බැස ගඟ පැත්තට යද්දී හමුවන අති විශාල ප්‍රතිමාව ඩේවිඩ් ගේය. 





ගඟේ බෝට්ටු සවාරියක් යන්නට අපි තුන්දෙනා මුල්වරට එකඟතාවකට පැමිණියෙමු.   ගඟ අයිනේ හිඳ අපි මාරුවෙන් මාරුවට පිංතුර ගද්දි එය දුටු ජර්මන් ජාතිකයෙක් තුන්දෙනාටම එක තැන ඉන්නට කියා පිංතුර අරගෙන දුන්නේය.   ඊට පස්සේ එතැනම තිබුණු තොටුපොළෙන් බෝට්ටුවකට ගොඩ වැදී ගඟේ සවාරියකට එකතු වුණෙමු.   ගඟ දිගේ යද්දී අපි දැක්කේ කේබල් කාර් ගඟ උඩින් එහාට මෙහාට යන හැටිය.   කේබල් කාර්වල යන්නටත් තුන්දෙනාම කැමති වුන නිසා බෝට්ටුව ආපහු එනවිට කේබල් කාර් යන තැනට ලඟින් තිබුණු තොටුපොළේ බැහැගෙන කේබල් කාර් එකක ගඟ උඩින් අනික් පැත්තට ගිහිං ඒකෙම අපහු ආවෙමු.   සාමාන්‍යයෙන් මේ කේබල් කාර් සේවය තියෙන්නේ ගඟේ එහා පැත්තට යන අයගේ පහසුව සඳහා වුණත් කේබල් කාර් අපට මැජික් වගේ නිසා ගමන බෙහෙවින් විනෝදමත් එකක් විය.   ගඟ උඩින් යද්දී ගඟේ බඩු  ගෙනයන යාත්‍රා ලස්සනට දර්ශනය වේ. 












ඊළඟට බලන්නට ගියේ චොකලට් පැක්ටරි එකය.   ඒ ගැන මම මීට පෙර ලියා ඇති නිසා දැන් ලියන්නට නොයමි.   චොකලට් පැක්ටරිය නරඹා එනවිට දවස ගතවී හමාරය.   අපට ආපහු එන්නට තිබුනේ රෑ කෝච්චියේ වුණත් පහුවදා දවල් වෙන්නට පෙර හෝටලයෙන් පිටත් වුණේ හිටියානම් එදාටද ගෙවන්නට වෙන නිසාය.   

දවසම ටවුමේ රස්තියාදුවක් ගසා බලන්නට ඇති තැන් බලමින් දවස ගතකර හවස් වෙද්දී ඉස්ටේසමට ගොස් රෑ කෝච්චියේ නැග ආපහු මිඩි ඉස්ටේසමට එද්දී රෑ නවය පමණ විය.   මිඩි කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මැද කියන එකටය.   එතකොට මිඩි ඉස්ටේසම බ්‍රසල්ස් හි මධ්‍යම දුම්රිය නැවතුම් පොලය.   උතුරු නැවතුම නෝඩ් වන අතර දකුණ සුයිඩ් ය.   මේ නැවතුම් තුනම ගමනාන්ත බව නොකිවමනාය.   එහෙත් දුර ගමනාන්ත හා අන්තර් ජාතික දුම්රිය පිටත් වන්නේ මිඩි වලින් නිසා මිඩි බ්‍රසල්ස් හි ලොකුම නැවතුම ය.   අපේ ගෙදරට එන්න තියෙන ට්‍රෑම් කාර් ද ආරම්භ වන්නේ මිඩි වලිනි.   ට්‍රෑම් කාර් රෑ දොළහ වෙනතුරු දුවන නිසා වෙලාව ගැන ප්‍රශ්නයක් නැත. 

ට්‍රෑම් කාර් ගැන කියද්දී මට තව කතාවක් මතක්වේ.   ඒ අපි බෙල්ජියමට ගියපු මුල්ම දවස්වල වෙච්ච වැඩකි.   ඒ කාලේ ට්‍රෑම් කාර් ගැන හෝ විවිධ මාර්ගවල දුවන ට්‍රෑම් අංක ගැන මට කිසිම දැනීමක් නොවීය.   දවස හරියටම කිව්වොත් දෙසැම්බර් 25 වෙනිදාවක් නොහොත් නත්තල් දවසක හවසය.   එදා මම බ්‍රසල්ස් හි තියෙන එකම ලංකාවේ කඩේ වන නාදන් ගේ කඩේට ගියේ බඩු ටිකක් ගන්නටය.   ගමන යන්නට හැලපැට්ටා ද මා සමග එකතු විය.   නාදන් ලාගේ කඩේට ට්‍රෑම් එකේ ටිකක් දුර යන්නට තිබේ.   අපි දෙන්නා කඩේට ගිහින් බඩුත් අරගෙන නාදන්ගේ සංග්‍රහය ද භුක්ති විඳ ආපසු ට්‍රෑම් නැවතුමට ආවේ ගෙදර එන ට්‍රෑම් එක අල්ලා ගන්නටය.   ටිකකින් ට්‍රෑම් එකක් පැමිණි අතර එහි අංකය 4 විය.   අංක 4 ට්‍රෑම් අපේ පාරේ යනවා දුටු මතකයක් මට තිබුණු නිසා අපි දෙන්නා ට්‍රෑම් එකට ගොඩවුනෙමු.   ටිකක් දුර යද්දී අපට පෙනුණේ ට්‍රෑම් එක යන්නේ අපට හුරුපුරුදු පාරේ නොවන බවය.   ඊළඟ නැවතුමේදී ට්‍රෑම් එකෙන් බැසගෙන දැන් කුමක් කරන්ට දැයි කතා කරමින් හිටියෙමු.   පාර වැරදුන නිසා හැලපැට්ටා හොඳටම බය වෙලාය.

" මම කිව්වනෙ තාත්තට, දන්නෙ නැති ට්‍රෑම් වල නගින්න එපා කියල! "

හැලපැට්ටා කියයි.   මම ට්‍රෑම් හෝල්ට් එකේ හිටිය කෙනෙකුට කතාකර පාර ඇහුවෙමි.   ඔහු කීවේ දැන් එන ට්‍රෑම් එකේ නැගී ආපහු ගොස් තවත් හන්දියකින් බැස වෙනත් ට්‍රෑම් එකකින් යන්නට කියාය.   අද නත්තල් දවස නිසා කොච්චර රවුම් ගැහුවත් ටිකට් ගන්නට අවශ්‍ය නැති නිසා බය වෙන්නට එපා යැයි ඔහු කීවේ සිනාසෙමිනි.   ආපහු එන ට්‍රෑම් එකකට නැග ටිකක් දුර එද්දී දැක පුරුදු හන්දියක් දුටුව නිසා එතැනින් බැස ගතිමු.   ඒ හන්දියේ සිට අපේ ගෙදරට පයින් යන දුරය.   ගෙදරට එනතුරුම හැලපැට්ටා මට දොස් කීවේය.

දැන් ඉතින් අවුරුදු විස්සක් පමණ අතීතයට ආපසු යන්නට වුවමනා වෙන්නේ ඩැනිස් ගේ කතාව කියන්නටය.   කීප දෙනෙක්ම පප්පාගේ විස්තර දැනගන්නට ආශාවෙන් ඉන්න නිසා ඉස්සෙල්ලාම පප්පා ගැන විස්තරේ කියමි.   මම කළින් කියා තිබුණා වගේ පප්පා උස මහත දේහධාරී පුද්ගලයෙකි.   විනෝදකාමියෙක් වගේම සල්ලි කාරයෙක් නිසා හොඳට වියදම් කර තමන්ගේ සොමිය නොඅඩුව ලබාගනී.   වයස හැට පැන තිබුණත් කොල්ලෙක් වගේ හොඳ ශරීර ශක්තියෙන් යුතුව ඉන්නේ පප්පා ගේ ක්‍රමානුකුල ආහාර රටාව නිසා විය යුතුය.  පප්පා උදේට කෑම කන්නේ උදෑසන හයටය.   කරකරපු පාන් පෙති දෙකතුනක් මාමලේඩ් ජෑම් සහ බටර් සමග උදේට කන ඔහු කන ගමන් පෘතුගීසි පෝට් වයින් කුඩා බෝතල් දෙකක් විතර බොයි.  දවල්ට කෑම හරියටම දවල් දොළහටය.   ගනකමට හැදු කෝන් සුප් එකක් සමග කුළු බඩු දමා සැර නැතිව තම්බා පිළියෙළ කළ මස් පෙත්තක් කන ඔහු දවල්ට බොන්නේ රෙඩ් වයින් ය.   ඊට පසු පළතුරු කයි.   රෑට කෑම ගැන කිසිම තැකීමක් නැත.   තියෙන මොනවා හෝ සුළු දෙයකින් රෑ කෑම සපුරා ගන්නා පප්පා විස්කි බොන්නේ කෑමෙන් පස්සේය.   ඩැනිස් හවස ඉඳන්ම බීගෙන වැඩිවුණ පසු කාත් එක්ක හෝ කොක්කක් ඇදගනී.   කොක්කට කවුරුවත් නැතිම නම් කොක්ක දාගන්නේ පප්පා එක්කය.   ඊට පසු මහ රෑ වෙනතුරු බනිමින් ද තර්ජනය කරමින් ද හඬමින් ද ගතකරන ඩැනිස් කෑමක් නැතිවම නිදාගනී.

දෙන්නාගේ මිතුරු කමට අවුරුදු කීපයක් ගතවූ පසු පප්පා ඩැනිස්ට යෝජනාවක් කළේය.   යෝජනාව නම් වැල්ලේ තියෙන ඩැනිස් ගේ ඉඩම් කෑල්ලක ගෙස්ට් හවුස් එකක් හැදීමය.   ඉඩම ඩැනිස්ගෙන් වන අතර ගෙස්ට් හවුසියට ආයෝජනය කරන්නේ පප්පාය.   පප්පා ලංකාවට ආවිට ඔහුට නවතින්නට ගෙස්ට් හවුස් එක තනි සම්බුද්දියට දිය යුතු අතර පප්පා ලංකාවේ නැතිවිට ඩැනිස් ගෙස්ට් හවුසියේ කවුරු නවත්වා ගත්තත් පප්පාට ප්‍රශ්නයක් නැත.   මේ ආකාරයට දෙන්නා එකඟතාවකට පැමිණ පප්පා රට සිට ගෙස්ට් හවුසිය හදන්නට ඩැනිස්ට මුදල් එව්වේය.   අද ඉන්නා උන් නම් සංචාරකයෙකු ගෙන් මෙවැනි ආයෝජනයක් ලැබුණොත් ඒ මිනිහා ගෙන් පුළුවන් තරම් මුදල් ගසා කා හදපු දේකුත් නැතුව පොල්ල තියා සංචාරකයාට  ලංකාව පැත්ත බලාගෙන බත් කන්නේවත් නැති තරමට ලංකාව එපා කරවන විදියට වැඩ කළත් ඩැනිස් ඒ ආකාරයේ පජාති වැඩ කරන තුට්ටු දෙකේ මිනිහෙක්  නොවේ.

පප්පා එවපු සල්ලි වලින් ඩැනිස් හොඳ ලස්සනට ගෙස්ට් හවුස් එක හැදුවේය.   සල්ලි මදිවන විට අතින්ද වියදම් කළ ඩැනිස් ගෙස්ට් හවුසිය නිමකළ පසු ගෙනැත් දැම්මේ හොඳම ගෘහ භාණ්ඩය.   බිත්තිවල එල්ලන්නට පිංතුර තෝරා දීම හා ඒවා එල්ලන තැන් පෙන්වා දීම මට පැවරුවේ " උඹ ඉතින් කලාබරය නොවැ! 'යි කියමිනි.    පිංතුර වලට වැඩි ආයුෂක් නැති බව මම දැන සිටියත් මොකුත් නොකියා ඉල්ලපු උදව්ව කරදුන්නෙමි.   ගෙස්ට් හවුසිය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා වුයේ පප්පාය.   එතෙක් කල් ලංකාවේදී ඩැනිස්ගේ ගෙදර හෝ හෝටලයක නවතින පප්පා ඊට පසු ලංකාවට ආවිට නැවතුනේ අලුත් ගෙස්ට් හවුස් එකේය.   එමෙන්ම ඩැනිස් හම්බවෙන්නට කළුවාමෝදර යන අපගේ නවාතැන වුයේද ගෙස්ට් හවුසියයි.   පප්පා හිටියා කියා අපට වෙනසක් නොවුණේ පප්පාද අපේ හොඳම මිත්‍රයෙක් නිසාය.

රෑ වෙද්දී ගෙස්ට් හවුසියේ අප අරඹන සාජ්ජය ඩැනිස්ගේ පැරණි රසාංග වලින් පටන් ගෙන කොල්ලන්ගේ බයිලා වලින් ද පප්පාගේ ජර්මන් ගීත වලින්ද හැඩවෙන්නේ ගෙස්ට් හවුසිය දෙදරවමිනි.   ඩැනිස්ට පදම වැඩිවෙද්දී කාත් එක්ක හරි කොක්කක් ඇදගනී.   කොක්ක නිසා සාජ්ජය ඇනහිටින එකට පප්පා කැමති නැත.   එවිට පප්පා මාලු කාරයෙක් කද කරට ගන්නාසේ කඳ නවා ඩැනිස්ව කරට ගනී.   අඩි හයක් විතර උස හතර රියන් පුරුෂයෙකු වූ ඩැනිස්ව සෙල්ලම් බඩුවක් සේ කරගහ ගැනීම පප්පාට සුළු දෙයකි.  ඩැනිස් අත පය විසිකරමින් විරෝධය පළකළත් පප්පාගෙන් බේරෙන්නට බැරිය.  පප්පා ඩැනිස්ව කරතියාගෙන ලඟම තියෙන ඩැනිස්ගේ ගෙදරට ගෙනගොස් ඔහුව ඇඳට දමා සිනාසෙමින් ආපසු ආවේ ඩැනිස් නිදි යැයි අපට අතින් කියමින් සාජ්ජයේ ඉතුරු හරිය පටන් ගන්නටය.   

තවත් දවසක අපි කට්ටිය ඩැනිස් එක්ක ගෙස්ට් හවුසියේ සෙට් වී සිටියෙමු.   එදා පප්පා ලංකාවේ නොසිටි දවසකි.   කොක්කක් ඇදගත් ඩැනිස් හොඳටම රණ්ඩුවී අපට බැන වැදුණේය.   බැන වැදී නතර නොවූ ඔහු ගෙස්ට් හවුසියේ කාමරයක ඇඳක් පෙරලා දමා ඇඳ පොල්ලක් ගෙන කන්නාඩි මේසයේද අල්මාරි වලද වීදුරු වලට පහර දී සල සලාං ගා කුඩු කළේය.   ඉන්පසු ටී වී ස්ටෑන්ඩ් එකට පයින් ඇන ටී වී එක බිමට පෙරළා දැම්මේය.   බිත්තිවල එල්ලා තිබු පිංතුර එකින් එක ගෙන පොළොවේ ගසා කුඩුකර දැමීය.   ගෙස්ට් හවුසිය යකුන් නැටු පිටියක් කර වටපිට බැලු ඩැනිස්,

" ඇද්ද තොපිට!"යි කියා අපට ගෙස්ට් හවුසියෙන් එළියට බහින්නැ යි අණකර දොර ලොක්කර යතුරද ගෙන ගෙදර ගියේය.   අපි එදා රෑ නිදා ගත්තේ ගෙස්ට් හවුසියේ ඉස්තෝප්පුවේය.  පහුවදා එළිය වැටෙන විටම ඩැනිස් ගෙස්ට් හවුස් එකට ඇවිත් අපිව ඇහැරවුයේය.    අපි කට්ටියට කන්නට කෑමද බොන්නට තේ ද ඔහු ගෙනැවිත් තිබුණි.   දවල් වනවිට වඩු බාස් කෙනෙක් එක්කර ගෙන ආ ඩැනිස් කැඩුණු ඒවා හදන්නට අවශ්‍ය බඩුද අලුත්ගමින් අරගෙන ආවේය.   අපේ දවසම එදා ගතවුණේ කැඩුණු බිඳුණු බඩු අලුත්වැඩියා කරන්නටත් ගෙස්ට් හවුස් එක සුද්ද පවිත්‍ර කරන්නටත්ය෴

ප. ලි. - ලබන සතියේ ඩැනිස්ගේ මල්ලීගේ පොඩි දුවගේ විවාහ මංගල්‍යයයි.  ඩැනිස්ගේ බිරිඳ හෙවත් අක්කාත් දු දරුවනුත් මඟුල් ගෙදරදී මට මුණගැසෙනු ඇත.   මා රටේ නොසිටි කාලයේදී සිදුවූ දේවලුත් දැනගෙන කතාවේ අවසාන කොටස ලියන්නට බලාපොරොත්තු වෙමි.

Wednesday, March 14, 2018

ඩැනිස්ගේ සොමිය, පොසොන් සැරසිල්ල,අලුත්ගම රෑ කඩේ, පප්පා, ජර්මන් සංචාරය සහ කොලෝන් වලදී හමුවූ තරුණයා.





රයින් නදියේ දිවෙන යාත්‍රා පසුපස කෑම සොයා ඉගිලී එන ලිහිණින් රංචුවක්  

පළමු කොටස
අපේ ගමෙන් සහ රෙදි මෝලේ රස්සාවෙන් සමු ගෙන ගමට ගිය ඩැනිස් පූර්ණකාලීනව සංචාරක ව්‍යාපාරයට නැඹුරු වුනාය කියා මා මීට පෙර කතාවේදී කියා ඇත.    ඩැනිස් ගමෙන් සමුගත්තද ඔහුගේ තොරතුරු අපට නොඅඩුව ලැබෙන එක නම් නැවතුනේ නැත.   රැකියාවක් ලැබුණු නිසා මටත් කළින් වගේ කළුවාමෝදර පැත්තේ නිතරම යැවෙන්නේ නැත   දුරස්වී සිටියත් අපේ සම්බන්ධකම් අඩු වුණේ නම් නැත.  සංචාරකයන් එක්ක ගමන් බිමන් යද්දී ඩැනිස් කරන දේවල්ද අපට ආරංචි වෙයි.    

බීමත්ව ඉන්න වෙලාවට ඩැනිස් තමන් එක්ක යන සංචාරකයන්ගේ කෑම බීම නවාතැන් බිල් ද ගෙවන්නේ උන් එක්ක තර්ක කරමිනි.    ඩැනිස් එක්ක යන ටුවරිස්ට් ලාට සුවිප් එකක් ඇදුනා වගේ කියා කට්ටිය කතාවුණත් සමහර වෙලාවට ඒ නිසාම ඩැනිස් ට එන සංචාරකයන් වැඩිවෙන්නට එයම හේතුවක් නොවුනේදැයි කවුරු දනිත්ද?    කොහොම වුණත් ටුවරිසම් වලින් ඩැනිස්ට ජයය.   තාම පදිංචි වී ඉන්නේ මහගෙදර නිසා ගාලු පාරෙන් මුද පැත්තට වෙන්න තියෙන තමන්ගේ ඉඩමක  ඩැනිස්  අලුත් ගෙයක් හදන්නට පටන් ගත්තේය.

වෙසක් පෝයට අපි ගමේ  හදන වෙසක් සැරසිල්ල පොසොන් වලට කළුවාමෝදර ගෙනියන්නට යෝජනා කළේ ඩැනිස් ගේ මල්ලිය.   යෝජනා ස්ථිර වී පොසොන් වලට සතියක් තියා බඩුත් ලොරියක පටවාගෙන කට්ටිය කළුවාමෝදර ගිහිං වැඩ පටන් ගත්තේ හැකි ඉක්මනින් සැරසිල්ල අටවා ගන්නටය.   සැරසිල්ල හදන්නට නියමිතව තිබුණේ ඩැනිස් ලාගේ ගේ ඉස්සරහ තියෙන පාලු ඉඩමේය.   ඒ ඉඩමේම තියෙන පාලු ගෙයක කට්ටියට නවාතැන් ගන්නට ලෑස්ති කර තිබුණි.   මට ප්‍රශ්නයකට තිබුණේ රස්සාව නිසා දින ගණනක් එක දිගට නිවාඩු ගන්නට බැරි කමයි.   ඩැනිස්ට ඒකටත් උත්තරයක් තිබුණි.

"වැඩ ඉවර උනාම ගෙදර නොගිහින් කෝච්චියෙ නැගල අලුත්ගමට වරෙන්! මම ඇවිත් එක්ක යන්නං!"

ඩැනිස්ගේ යෝජනාව ඒ විදියටම ක්‍රියාත්මක විය.   වැඩ පටන් ගන්නට කලින් අපි අපිටම පනවා ගත් තහනමක් වුයේ වැඩ කරන අතරේ බොන්නට තහනම් කියලාය.   බීමේ තහනම දවස් කීපයක් හොඳින් ක්‍රියාත්මක වුණත් දවසක් දා චූටියා ගමේ කොල්ලෙක් එක්ක ඇවිදින්නට ගිහිං හොඳටම බීගෙන ආවාට පසු තහනම නිකංම අවසාන විය.   දැන් වැඩේ ශීඝ්‍රගාමී ව කෙරීගෙන යයි.   ඩැනිස් හැමදාම වගේ රෑට ඇවිත් කතා කරමින් ඉන්නවාට අමතරව සමහර දාට කට්ටියම වාහනේ දමාගෙන රෑ කඩේට එක්ක ගිහිං කන්න බොන්නට අරගෙන දෙයි.   දවසක්දා රෑ එකට විතර ඩැනිස් ආවේ හොඳටම බීගෙනය.

" හා යමල්ල තේ බොන්න!"

කට්ටියම සද්ද නැතුව වාහනේට නැග්ගේ බෑ කිව්වොත් එහෙම ඩැනිස් ගේම ඉල්ලන නිසාය.   ගමේ පාරේ සිට ගාලු පාරට වාහනය දමාගත් ඩැනිස් එළවන්නේ ඉස්සරහින් එන වාහනවලට බැණ වදිමිනි.   ලයිට් ඩිම් නොකර එන උන්ගේ ඇඟට කපයි.   අලුත්ගම රෑ කඩයක් ළඟ වාහනය නතර කළ ඩැනිස් කට්ටියටම කිරි තේ ඕඩර් කළේය.    තේ හදනතුරු අපි බලා සිටියදී කඩේ කොල්ලෙක් මේසයකට වාඩිවී සිටි මනුස්සයෙකුට තේ එකක් ගිහිං දෙන හැටි ඩැනිස් දැක්කේය.

" ඈ යකෝ අපි බලං ඉද්දි උඹ පස්සෙ ආපු උන්ට තේ දෙනව නේද? ඉඳපිය තොට මම හොඳ වැඩක් කරන්නැ'යි කියූ ඩැනිස් කොල්ලාගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. 

" නෑ නෑ මහත්තය ඒ මහත්තයල එන්න කළින් ආපු එක්කෙනෙක්" යි කඩේ කැෂියර් කීවේ කොල්ලාව බේරා ගන්නටය.   ඒ ගමන ඩැනිස් කොල්ලාව අතහැර කැෂියර් එක්ක ගෝරිය පටන් ගත්තේය.

" එහෙම එක එකා කියන විදියට නටන එකෙක් නෙවෙයි මේ ඩැනිස්, උඹල හොඳට අහගනිල්ලා කුඩු කරනව කඩේ, මට පාට් දාන්න ආවොත් වෙනදේ බොලා දන්නැතුවයි."

ආදී වශයෙන් ඩැනිස් කැෂියර්ගේ පලු අරිද්දී හොඳ වෙලාවට අලුත්ගම පොලිසියේ ජීප් එක පැට්‍රෝල් යන ගමන් තේ බොන්නට කඩේ ඉස්සරහ  නතර කරපු නිසා ඩැනිස් සද්දෙ වහ ගත්තේය.   ජීප් එක ආවේ කැෂියර් ගේ හොඳ වෙලාවට කියා අපි කීපදෙනෙක් කතාවුනෙමු.

පොසොන් උත්සවය වෙනුවෙන් කළුවාමෝදරදී අපි ඉදිකළ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන මහා පොසොන් සැරසිල්ල උත්සවාකාරයෙන් ආරම්භ වුණේ පොසොන් දවසේදීය.   වැඩේ හොඳට තිබුණත් පරහකට තිබ්බේ ජනකාය මදිකම නිසා ටිකට් කවුන්ටරයෙන් එතරම් ආදායමක් නොලැබීමය.   ඊටත් අපේ ගමේ වෙසක් එකට පෙන්නද්දී සෙනග බොහෝ සෙයින් අද්දවා ගන්නට සමත්වූ මේ සැරසිල්ලට කළුවාමෝදරදී ජනතා ප්‍රතිචාරය අඩුවුණේ කුමන හේතුවක් නිසාද කියා අපි කාටවත් හිතාගන්නට නොහැකි විය.   ලොකු මුදලකට කියා ලැබුණේ ආරම්භක උත්සවයේදී ආරාධිත අමුත්තන් කීප දෙනෙක්ගෙන් ලැබුණු මුදල් කවර ටිකය.   අපේ සැරසිල්ල සෙනග නැතුව වේලෙද්දී ගාලු පාර අයිනේ ඉදිකර තිබු මිහිඳු හාමුදුරුවන් ලංකාවට වැඩීම කියා ඇඳපු පිංතුර හතරක් පහක් පෙන්නන සැරසිල්ලට සෙනග ඇදුණේ මූද ගොඩ ගලන්නා වාගෙය.   අන්තිමට අපි තේරුම් ගත්ත කාරණය වුණේ රෑ පානේ සෙනග ඩැනිස්ලාගේ ගමට එන්නට හොර නිසා මේ තත්ත්වය ඇතිවූ බවය.   කොහොම උනත් සැරසිල්ල අතින් පාඩු වුනාට පසු අපි ලොරියකට බඩුත් පටවාගෙන ආපහු ගමට පිටත් වුණෙමු.

පසුකාලීනව ඩැනිස්ගේ ගෙදර එක එක උත්සව වලට වගේම දවස දෙකේ නිවාඩු ගතකරන්නටත් කීප වාරයක්ම කළුවාමෝදර ගියවිට ඩැනිස් මදි නොකියන්නට කරන සංග්‍රහ සත්කාර වගේම රෑ හඳපානේ වැල්ලේ කකුළුවන් අල්ලන්නට යන එකද මතු නොවැ ඩැනිස්ගේ ගෝරිද අදටත් අමතක නොවන මිහිරි මතකයන්ය.   මේ කාලයේ ඩැනිස් අලුතෙන් හදපු ගෙයි පදිංචියට ගිහිං හිටපු නිසා ඔහුට අසීමිත නිදහසක්ද මදි නොකියන්නට මිළ මුදල් අත මිටේ ගැවසුන නිසා යාළුවන් වගේම අතවැසියන් ගෙන්ද අඩුවක් නොවීය.

සංචාරක කර්මාන්තයේ යෙදෙන කවුරුත් පාහේ ආශාවෙන් බලාපොරොත්තු වන සිහින සංචාරකයා ඩැනිස්ට මුණ ගැසුණේ මෙන්න මේ කාලයේදීය.   ඩැනිස්ගේ සිහින සංචාරකයා වුයේ අවුරුදු හැටක් පමණ වයසැති මුහුණ පුරා කෙටි රැවුලක් වවාගත් විනෝදකාමී ජර්මන් ජාතිකයෙකි.   ඔහු ඩැනිස් සමග ආරම්භ කළේ බඩ බැඳගත් මිතුරුදමකි.    මේ ජර්මානුවාගේ නම කුමක්දැයි මම අදටත් නොදනිතත් ඩැනිස් ඔහුට පප්පා කියා ඇමතූ බැවින් අපිද ඔහුට පප්පා යැයි කීවෙමු.    හැම අවුරුද්දකම ග්‍රීෂ්ම සෘතුවේ ලංකාවට එන පප්පා මාසයක් දෙකක් ලංකාවේ නිවාඩුව ගතකරයි.    වතාවක් ඩැනිස්ද ජර්මනියේ රවුමක් ගසා ආවේ පප්පා ගේ අනුග්‍රයෙනි. 

ජර්මනියට යන්නට ලැබේයැයි පමණක් නොවැ රටින් පිට යන්නට මම හීනෙකින් වත් හිතා නොතිබුණු ඒ කාලයේ ඩැනිස්ද පප්පාද කියන ජර්මනියේ විස්තර අපි අසා සිටියේ පොඩි උන් සුරංගනා කතා අසා සිටින්නාක් මෙනි.   සාමාන්‍යයෙන් යම් රටකට යෑමට හෝ යම් අවස්ථාවක් ලබාගැනීමට මා කෙදිනක හෝ ආශාවෙන් සිහින මවාගෙන සිටියේ නම් බොහෝ පසුකලෙක වුවද ඒ ආශාව සපුරා ගන්නට ඉඩ ලැබෙන බව ම‍ට පසුකලෙක වැටහුණු දෙයකි.    එසේ වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසාදැයි නොදනිතත් මට ජර්මනියට සංචාරයක් සඳහා යන්නට ලැබුණේ ඊටත් අවුරුදු විසි ගණනකට පසුවය. 

බෙල්ජියමේ සිට ගොඩින් ඒ කියන්නේ මෝටර් රථයකින්, බසයෙන් හෝ දුම්රියෙන් යන්නට හැකි රටවල් කීපයක් වේ.   යන්නට පුළුවන් රටවල් කීපයේම සංචාරය කරන්නට මගේ හිතේ තිබුණ ආසාව සපුරාගන්නට ටික කාලයකදීම හැකි වුණත් ජර්මනියට යන්නට නොහැකි වුණේ කාරණා කීපයක් නිසාය.  මුලින්ම කියන්නට තියෙන්නේ යුරෝපා රටවල සංචාරය අධික වියදම්කාරී කටයුත්තක් බවය. කෑම බීම මෙන්ම නවාතැන් වලද අයකරනා මිළ බෙහෙවින් ඉහළ මට්ටමක පැවතීම අප වැනි දුප්පත් සංචාරකයන්ට දරාගත නොහැකිය.  වෙන රටවල් වලට ගිය ගමන් වලදී මා බොහෝවිට කළේ මිතුරෙකුගේ නිවෙසක නැවතී සිට සංචාරයේ යෙදීමයි. එවිට කෑම බීමද නවාතැන් ද නොමිලයේ ලැබෙන අතර උණුසුම් මිතුරු ඇසුරක ආස්වාදය ද නොඅඩුව ලැබේ. 

බ්‍රසල්ස් සිට ජර්මනියට යන්නට ඇති ලඟම ගමනාන්තය වන්නේ බ්‍රසල්ස් සිට ජර්මනියේ කොලෝන් දක්වා දුම්රියෙන් යෑමය.   කිලෝමීටර් 183 ක් වන දුර තාලිස් දුම්රිය පැය දෙකහමාරකින් ගෙවා දමන අතර අධිවේගී ඊයු රේල් දුම්රිය එම දුර පැය එකහමාරක පමණ කාලයකින් ගෙවා දමයි.   බර්ලිනයේ මගේ මිතුරන් සිටියද කොලෝන් හි දන්නා කිසිකෙනෙක් නොසිටි හෙයින් හෝටලයක නවතින්නට සිදුවේ. නවතින්නට හෝටලයක් කොලෝන්වලට ගිහින් සොයාගන්නවා කියා සිතාගෙන අපි ගමන පිටත්වුණේ 2006 දවසකය.  කාල වකවානු එක්වරම සිහියට නගා ගන්නට අපහසු නිසා මම ගමනේ පිංතුර සී ඩී එක ආයෙම බැලුවෙමි.

ගමනක් යන්නට පිටත්වන විට හැලපි කියන්නේ මිඩි ඉස්ටේසමේ සහ කෝච්චියේ කෑම ගොඩක් මිළ නිසා මගට කන්නට යමක් ගෙදරින් හදාගෙන යන එක ලාබයි කියාය.   එහෙම කියන හැලපි මගට කන්නට සැන්විචස්, ටෝස්ට් හෝ වෙනත් යමක් සුදානම් කරගනී.  මිඩි ඉස්ටේසමට ගිහින්ද කඩ දෙක තුනකට ගොඩ වැදී තවත් මොන මොනව හරි කන්නට ගනී.   කෝච්චියේ රෙස්ටොරන්ට් එක විවෘත කරන්නේ ගමන පටන්ගෙන ටික වෙලාවකින්ය.   එතැන් සිටම කෝච්චියේ යන අය රෙස්ටොරන්ට් එකෙන් කෑමද කෝපිද මිළදීගෙන සුවඳ හමමින් දුම්රිය මැදිරිය හරහා එහාට මෙහාට යද්දී මුලින්ම හැලපැට්ටාත් ඊළඟට හැලපිත් මුහුණ නරක් කර ගනිති.   දැන් දෙන්නාටම ගෙදරින් ගෙනගිය කෑම අමතකවී කෝච්චියේ කෑම උවමනා වෙයි.   අන්තිමට ඒ දෙන්නා කෝච්චියේ රෙස්ටොරන්ට් එකෙන් කෑම ගෙනත් කද්දී ගෙදරින් අරගෙන ගිය කෑම ටික මට කන්නට සිදුවේ.   ගමනක් යන හැමදාම සිද්ද වෙන්නේ ඔය ටිකය.

අපි කොලෝන් වලින් කෝච්චියෙන් බහිද්දී වෙලාව උදේ දහයමාර විතර වෙන්නට ඇත.   ඔක්තෝබරයේ තරමක සීතලක්ද ඇති නිසා සාමාන්‍ය කබා ඇඳගෙන එන්නට සිදුවිය.   ඉස්ටේසම පැත්තක තියෙන ටැක්සි නැවතුම් පොළට ගියේ ඉස්සෙල්ලාම නවතින්නට තැනක් සොයාගන්නට සිතාගෙනය.   ප්‍රශ්නය ඇතිවුණේ එතැන් සිටය.   රියැදුරන් ඔක්කොම කතාකරන්නේ ජර්මන් භාෂාවය.   පස්සේ කට්ටියම එකතුවී තරමක ඉංග්‍රීසි දැනුමක් ඇති රියදුරෙක් සොයාගත්හ.   ඔහු කීවේ හෝටල් සොයාදෙන්නට බැරි බවත් දන්නා හෝටලයක් ඇත්නම් එක්ක යන්නට පුළුවන් බවත්ය.   කොලෝන් වලට ලෝකයේ හැම අතින්ම ගඟ ගලන්නා වගේ සංචාරකයන් එන නිසා හෝටල් කාමරයක් සොයා ගන්නට අපහසු බව අපි දැන ගත්තේ ඒ වේලාවේය.   

දැන් කුමක් කරන්නදැයි කල්පනා කරමින් සිටිද්දී එතැන තිබු කුඩා කඩයකින් තේ කෝප්පයක් මිළදී ගෙන එයට සීනිද දමා හැඳි ගාමින් සිටි තරුණයෙක් අප ලඟට ආවේ මේ අතරේය.   ඔහු අපේ කතාව මුල සිටම අසා සිටි සෙයක් පෙනිණි.   " මොකුත් ප්‍රශ්නයක් දැ?"යි ඔහු ඉංග්‍රීසියෙන් ඇසුවේය.   මම කතාව කීවිට ඔහු මඳක් කල්පනා කර " යමු" යි කියා පාරට බැස්සේය