Saturday, December 29, 2012

08.පංති සටන....




 මම කලිනුත් කියල තිබුණා වගේ අපේ අමිල පුතා මේ දවස්වල අපිත් එක්කනෙ ඉන්නෙ.එයා තමයි මගේ කොම්පියුටර් උපදේශකයා.බ්ලොගේ හදල දුන්නෙත් එයාමනෙ.

අපේ අම්මගෙ නංගි මැණිකෙ පුංචිඅම්ම බෝලානටනෙ දීල ඉන්නෙ,අම්මලගෙ ගම බෝතලේනෙ.මැණිකෙ පුංචිඅම්මගෙ ලොකුපුතා සිසිර,සිසිර බැන්දෙ අපේපොලිසියෙ මාමගෙ ලොකුදුව වසන්තනෙ.එයා ටීච කෙනෙක් මේ දෙපොලගෙවැඩිමල් සහ එකම පුතා තමයි අමිල.එයාගෙ එකම නංගි චතුරිකා,මේදවස්වල කැම්පස් එකේ.

අමිල උසස් පෙළ කරන දවස්වලම තමයි ජෙප්පො එයාට කොක්ක ගහල
තිබුණෙ.

මේ කොල්ලට ගහපු කොක්ක එයා ගිලල තිබුණෙ මඩකනයො ඇම ගිලිනවා වගේ.මොකද වෙන මාලු ඇම කාපුහාම කටුව ඇමිණෙන්නෙ කටේ හරි උගුරෙ හරිනෙ,ඒත් මඩකනය ගිලිනව ඇම බඩටම,මොකෝ වමාරන්නයැ...

මේ ගිලපු කොක්කෙ ආනුභාවයෙන් අමිලත් ජෙප්පන්ගෙ සාමාජිකයෙක් වුනා..

මේ අතර ලැජ්ජා දෙකකිනුත් ඒ ලෙවෙල් ගොඩ දා ගන්න බැරිවුණු අමිලව එයාගෙ තාත්තා දන්න කොම්පැණියකට කතාකරල එතන වැඩට දැම්ම.

පක්ෂෙ වැඩයි රස්සාවෙ වැඩයි සමෝසමේ කරගෙන ඉන්න අතරෙදි තමයිපක්ෂය තුල මහා පිපුරුමක් ඇතිවෙලා දෙකට කැඩුණෙ.ඒකෙන් තවත් පක්ෂයක් බිහිවුණානෙ කුරුටුගාමී පක්ෂය කියල,අමිලත් මෙන්න මේ නව කුරුටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් වුණා.
තාම ළදරු පක්ෂෙනෙ.පළපුරුදු සාමාජිකයින් බොහොම හිඟයි.ඉන්න
ටිකදෙනත් පක්ෂයට බොහොම වටිනවා.වැඩ ගොඩයිනෙ.රට තුල පක්ෂය ව්‍යාප්ත කරන්න ඕනෑ,පක්ෂයේ මතය රටේ පතුරුවන්න ඕනෑ,අලුත් සාමාජිකයන් පක්ෂයට බඳවා ගන්න ඕනෑ,සම්බන්ධතාවන්
ඇතිකරගන්න ඕනෑ,ආදී වශයෙන් වැඩ රාශියයිනෙ.
පක්ෂයෙන් අපේ අමිලට දැන්නුවා සහෝදරයට භාරදූර වගකීමක්
පවරන්නයි යන්නෙ,ඒ වැඩ රස්සාව කරන ගමන් කරන්න බෑ,ඒ නිසා
වහාම රස්සාවෙන් අයින් වෙලා ඇවිත් පක්ෂයේ පූර්ණකාලිකයෙක් හැටියටවැඩකරන්න කියලා.

රස්සාව වාගෙද පංති සටන? ඒක ජයග්‍රහණය කරපුදාට රස්සාවල්
 ඕනැතරම් කරන්න බැරියැ...

මෙහෙම හිතපු අමිලත් තාත්තා අමාරුවෙන් හොයල දීපු රස්සාව උදේට
ගහන කෙළ බෙට්ටක් වගේ අහකට දාල පක්ෂයේ පූර්ණකාලිකයෙක්
හැටියට බැඳුනා.

ඔය රුසියාව,චීනය වගේ රටවලත් විප්ලවය කාලෙ ඉගෙනගනිමින්
හිටපු තරුණ තරුණියනුත්,රස්සාවල් කරමින් හිටපු තරුණ තරුණියනුත්
ඒවයින් අයින්වෙලා රතු හමුදාවට බැඳිලා යුද්ද කලාලුනෙ...

විප්ලවය ජයග්‍රහණයෙන් පස්සෙ තමයි ඒ අය තම තමන්ගෙ අධ්‍යාපනය
සම්පූර්ණ කලෙත්,ආපහු රස්සාවලට ගියෙත්.ඒ අයව හැඳින්වුණෙත්
විප්ලවයේ වීරයන් හැටියටනෙ..

පංති සටන ජයග්‍රහණය කරපු දාට අපේ අමිලත් වීරයෙක් තමයි..

කොහොමද අමිලගෙ වාසනාව?
 
වෙනදට තාත්තට කියල උදේ හවස රස්සාව කරන තැනට දාගත්තු
අමිල දැන් ගෙදර එන්නෙ මාසෙකට සැරයක් දෙසැරයක් විතර.

අනේ,අම්මයි තාත්තයි දැන් ඉන්නෙ ගිණිගොඩක් උඩ.ඇයි යකෝ මෙච්චර දවස් මොන මගුලක් කලත් රෑට ගෙදර ආවනෙ,

තරුණයන් ගැන මේ දවස්වල අහන්න ලැබෙන ආරංචිත් එච්චර හොඳ නෑ.

ඔක්කොටොම වැඩිය අමිලගෙ ආතා,අපේ පොලිසියෙ මාමා,එයා ඉන්නෙත් අමිලලගෙ ගෙදරනෙ,මාමත් දැන් බලාගත් අත බලාගත්වනමයි.

කට්ටියටම මේක දරාගන්න බෑ...

පෝන් එකට කතාකරල අනේ පුතේ ගෙදර එන්න කිව්වොත් අමිලගෙන් ලැබෙන්නෙ කර්කෂ උත්තරයක්,ඒකෙන් මවුපියන්ගෙ හිත තවත් පෑරෙනවා.

මේ විදියට කාලය ගතවෙද්දි තමයි පක්ෂය රටපුරා ව්‍යාප්ත කිරීමේ උදාර අරමුණින් පූර්ණකාලිකයින් රටපුරා ගම්වලට පත්කරන්නෙ.
ඒ අනුව අමිලටත් ගමක් බාරවෙනවා.පක්ෂයේ මතය ගමතුල ව්‍යාප්තකරන්නත් අලුතින් අය කොකුගහල පක්ෂයට බන්දාගන්නත් තමයි මූලිකවශයෙන් අමිලට තියෙන්නෙ.එයාට බාරදුන්නෙ මීගමුව පැත්තෙ ධීවරගමක්.ගමේ මුලු පිරිමි ජනගහණයම ධීවරයො,ඔක්කොම කතෝලිකයො,ඉතිං පක්ෂයට සම්බන්ධකම් තිබුණු ගෙදරක අමිලත් ගිහිංනවතිනවා. 

 ප.ලි.මම මේ දවස්වල මෝනාලිසා ඊළඟ කොටස ලියාගෙන යනවා...මෝනාලිසා කතාව කියවන්න හුඟ දෙනෙක් උනන්දු නිසා ආප්ප බානව වගේ ලියල බෑනෙ...ගුණාත්මක භාවය රැකගන්න වෙනව ඒකයි ප්‍රමාද...ඔයාල ඒ කතාවට කැමතිවෙනකොට මගේ වගකීමත් ඉහළ යනව...
ඉතිං එතෙක් කියවන්න මම පහුගිය අවුරුද්දෙ ලියපු කොටස් දෙකකින් යුත් මේ කතාව නොකියවූ අයගේ පහසුව පිණිස නැවත පලකරන්නට සිතුණා...කියවපු අය මට බනින්න එපා ආපහු පට්ට ගහනව කියලා...වැඩි දෙනෙක්ගෙ අවධානයට යොමු නොවූ මෙවැනි කතා කීපයක්ම තියෙනවා...
මෝනාලිසා එනතුරු මේ කතා කියවන්න.

Sunday, December 23, 2012

07.ප්‍රියයන්ගේ ආගමනය

වසරකට ආසන්න මගේ තනිකඩ ජීවිතය අවසන් කරමින් පසුගියදා මගේ ප්‍රිය බිරිඳ පැමිණියා.

විප්‍රවාසය අපට නුපුරුදු දෙයක් නොවෙයි.කොහොමත් පහුගිය වසරකට කිට්ටු කලයක් මම උත්සාහ කලේ රාජකාරි කටයුතුත් නිවසේ වැඩත් සමබරව කරගන්නයි.ඒත් එය හිතන තරමට ලේසි නැහැ.එක පැත්තකට අඩුපාඩු සිදුවෙනවා.ඉවුම් පිහුම් කරන එක මගේ විනෝදාංශයක් නිසා පුතාගෙත් මගෙත් කෑමවේල මටම පිළියෙල කරගන්න හැකිවුණා හෝටල්වලට නොගොස් සහ පිසූ ආහාර ශීතකරණයේ තබා රත් කරමින් කන්නෙ නැතිව(සතියටම සෑහෙන කෑම එකවර පිසගෙන ශීතකරණයේ තබා රත් කරමින් ගැනීම මා බොහෝ තැන්වල දැකපුරුදු දෙයක්)
 
මේ නිසා හැමදාම අපගේ ආහාර වේල එදිනම පිසගත් එකක් වුණා.සතියකට දෙකකට වරක් වෙනසකටත් එක්ක හෝටලයකින් ඉන්දියන් කෑම ගත්තේ විශේෂයෙන් පුතා ප්‍රියකල නිසා.
 
බිරිඳගේ පැමිණීමත් සමගම ගෙදර දොර කටයුතුවලිනුත් පුතාගේ වැඩවලිනුත් මට නිදහසක් ලැබේවි.පැමිණි දිනයේ පටන්ම ඇය මහන්සි වෙන්නේ අවුල් ජාලයක්ව පැවති නිවස මනුස්ස වාසයක් හැටියට පිලියෙල කරගන්නයි.මමත් මගේ ශක්ති ප්‍රමාණයෙන් ඇයට උදව් කරනවා.ඒ නිසාම පහුගිය දිනවල බ්ලොගය හිතේ හැටියට ඇසුරු කරන්නත් බැරිවුණා.තව සතියකින් හමාරකින් මේ වැඩ කටයුතු එකලාසයක් වුණහම පරණ පුරුදු ජීවිතේට එකතුවෙන්න පුලුවන්වෙයි.

කොහෙ හිටියත් අපේ ගෙදරට හිත මිත්‍රාදීන්ගේ පැමිණීම සාපේක්ෂ වශයෙන් වැඩියි.මට මතකයි මීට දශකයකට පමණ පෙර අපි හිටිය නිවෙසට මා වැඩකල කාර්යාලයේ සේවය කරන කීප දෙනෙක්ම එන්න පුරුදුවෙලා හිටියා.හවස් අතේ පැමිණෙන ඔවුන් ආරාධනයකින් තොරවම කැබිනට්ටුව විවෘත කර සුරා විතක් වත්කරගන්නවා(කොහොමත් ඔවුන් සඳහාම බෝතලයක් මා එතන තබා තිබුණා)ඉන්පසුව මුලුතැන්ගෙයින් යම් කටගැස්මක් රැගෙන හෝ කටගැස්මක් නැතිනම් යමක් පිලියෙල කරගෙනයි සුරා රස බලන්නේ.

බිරිඳ මට කෙලින්ම නොකිව්වත් මේ ගැන ඇගේ එතරම් ප්‍රසාදයක් නොතිබුණු බව මට තේරුණා.මම ඇයට මෙහි පසුබිම පැහැදිලි කළා.

මිනිහෙක් තමන්ගෙ ඔලුව නිදහස් කරගන්න ප්‍රශ්ණ තියෙන තැනකට එන්නෙ නෑ...එහෙම ආවොත් ඒ මිනිහගෙ ඔලුව තවත් නරක් වෙනවනෙ....

සතුට සාමය තියෙන තැනකට තමයි මිනිස්සු එන්නෙ...ඒ පරිසරය ඔයා මෙච්චර කල් රැකගෙන හිටියා...නැතිනම් ඔය කවුරුවත් මෙහෙට එන්නෙ නෑ....

මා පැහැදිලි කළදේ ඈ ඉතා හොඳින් තේරුම් ගත්ත පමණක් නොවෙයි ඉන්පසුව ඒ ගැන කතා කලේ නෑ.ඒ වගේම අපි ඒ නිවස හැරදා එනතුරුම මිතුරන්ගේ පැමිණීම නැවතුනෙත් නෑ.

ඉතිං පැමිණියාත් සමගම ලොකු කාර්යයකට උරදෙන්න ඇයට සිදුවෙනවා,ඒ තමයි අයිවන්ගේ නත්තල් සාදය.සාදයට තැනක් සොයමින් සිටි කාර්යාලයේ ඉන්න එකම කතෝලිකයා වන අයිවන්ට සාදය අපේ ගෙදර ගන්න කියලා මම කිව්වෙ බිරිඳ දැනුවත් කිරීමකින්වත් තොරවයි.කොහොමටත් අපේ මිතුරු මිතුරියන් 40ක් පමණ මේ 24 දා රාත්‍රියේ නත්තල් සාදයට පැමිණේවි.එහිවැඩි බරක් කරගහන්නට වෙන්නේ ඇයටයි.

නත්තල් සාදයත් බිරිඳගේ පැමිණීම වෙනුවෙන් දියයුතු සාදයත් දෙකම එකක් ලෙස සලකන ලෙසට මා මිතුරන්ට කීවිට ඔවුන් එයට එකහෙලා විරුද්ධ වුණේ මම දඹුලුත් ගිහිං තලගොයිත් මරාගන්න හදනවායි කියමින්.

ඉතිං පුතාත් මමත් ඔබව සාදරයෙන් පිළිගන්නා අතරම ඔබගේ පැමිණීම අපට සතුටක් පමණක් නොව ශක්තියක් බවත් නොකියාම බැහැ.අපේ පවුල වෙනුවෙන් ඔබගේ ඇති කැපවීම මෙවර ඔබ ක්‍රියාවෙන්ම පෙන්වා තිබෙනවා.

ඔබට ප්‍රීතිමත් විප්‍රවාසයක් වේවා.

(නත්තල් සාදයේ පිංතූර පසුව ගෙන එන්නම්)

Tuesday, December 18, 2012

06.නාන ලිඳේ කතාව....2

ඔය විදියට කාලය ගතවෙලා යද්දි තාත්තා,මහප්පා,සීයා සදහටම ලෝකෙන් සමුඅරං ගියා,පොඩි අපි ලොකුවෙලා රස්සාවල් කරන විවාහ වෙන වයසට ඇවිත් මහගෙදර හැරයන්න පටන්ගත්තා, මමත් ගෙයක් දොරක් හදාගෙන මහගෙදරට සමුදුන්නා,මම ගෙයක් හදාගත්තෙ වෙන්දේසි ඉඩමකිං කෑල්ලක් අරගෙන, හැබැයි අපේ ගෙදරට වැඩි දුරක් නෑ.   මහගෙදර අපේ මල්ලි කෙනෙකුට(බාලම මල්ලි නෙවෙයි )කාගෙත් එකඟත්වයෙන් දුන්නා.

මහගෙදර හැර ගිහින් සෑහෙන කාලයක් විප්‍රවාසයේ හිටිය මට ගෙයක් වත්තක් තියෙනවද කියලවත් බලන්න කාලයක්වත් අවශ්‍යතාවක්වත් තිබුණෙ නෑ.

මේ විදියට ඇලේ වතුර ගොඩාක් ඒදන්ඩ යටින් ගලාගෙන ගියාට පස්සෙ උදාවුණු එක් තද ඉඩෝර කාලෙක අපි ඉන්න ගෙදරටත් වතුර නැතිවුණා.බොන්න වතුරත් ගෙනාවෙ මහගෙදර බොන ලිඳෙන්.

එක සති අන්තයක මම බිරිඳට කතාකලා,

අපි ගිහිං ගෙදර ලිඳෙන් නාගෙන රෙදිත් හෝදගෙන එමු නේද .. කියලා රෙදිත් අරං අපි ඉස්සර නාපු ලිඳට ගියා.

මහගේ ගාව තියෙන තැඹිලි ගහ ගාවින් පඩි ටික පහලට බැහැලා ලිඳ ගාවට ගිය මම දැක්ක දෙයින් මගේ පපුව හෝස් ගාලා ඇවිලිලා ගියා.

ඉස්සර බලන්න ලස්සනට තිබුණු ලිඳට ගොඩපර ගෙඩියි,අඹගැටයි උණකොලයි වැටිලා වතුර බොරපාට වෙලා,නාන අයට ගොඩින් එන්න තිබ්බ පාරයි,වෙලෙන් ඇවිත් ඇලෙන් පැනල එන්න තිබ්බ පාරයි දෙකම වහල ගස් හිටවල වැටවල් බැඳලා,ලිං මිදුල හේදිලා ගිහිං.

එතනම තිබුණු දැවැන්ත චීන කොට්ටං මුලක් උඩ වාඩිවුණු මම සිහි එළවා ගන්න බැලුවා.

පස්සෙ ආරංචි කරල බැලුවාම මිනිස්සුන්ට එන්න නැතුව පාරවල් වහල තියෙන්නෙ අපේ මල්ලිගෙ පවුල,වතුර ටිකක් දැකල නැති එකියක්ද කොහෙද(ගම වැලිගම  )පරම්පරා ගණනක් ගමේ මිනිස්සු නාපු ලිඳ අහිමි කෙරුවා.
තනියම නාන්න වහගත්ත නම් නාපියව්කො දියවෙනකම්,අනේ..උං නාන්නෙ බොන ලිඳෙන් වතුර පොම්ප කරගෙන.

මේ සිද්දිය වෙලා දැං අවුරුදු තුන හතරක් ඇති,ගමේ අහිංසක මිනිස්සුන්ට මේ ගෑණි කරපු දේ ගැන මගෙ හිත තාම හඬා වැටෙනවා.අපේ සීයල,තාත්තලා කවදාවත් මේවාගෙ දේවල් දකින්න බලාපොරොත්තු වුණේ නෑ.
අම්මලත් එක්ක ලිඳට නාන්න එන පොඩිඋන් ගෙදර යන්නෙ අපේ මිදුලෙ තිබුණු පිනිජම්බු ගහේ ගෙඩිත් කඩාගෙන,

අපේ අම්මල,තාත්තල කවදාවත් පොඩිඋන්ට මොකුත් කිව්වෙ නෑ...
නිකං වැටිල යන එකනෙ,ඔහෙ කඩාගෙන පලයල්ල කියල නිකං හිටිය මිසක්....

හැබැයි එකක්,ගමේ කිසිම කෙනෙක් තව මේ වෙනකං කටක් ඇරල මට කිව්වෙ නෑ අනේ අපිට නාන්න තිබුණු ලිඳ නැතිකලානෙ කියල.මම හිටියනම් අඩුතරමින් දැනගෙනවත් හිටියනම් කොහොමත්ම ඔය ලිඳ වහන්න දෙන්නෙ නෑ...ඒත් දැන් ප්‍රමාද වැඩියි.

මේ ටික මම ලිව්වෙ මගෙ හිතේ තෙරපෙන දුකයි,කේන්තියයි අඩුකරගන්නයි,වෙච්චි දේ ගැන ගමේ අයගෙන් සමාව ගන්නයි.
මේ කරපු පජාති වැඩේට මගෙ කිසිම සම්බන්ධයක් නෑ කියල ගමේ එකෙක් හරි දැනගත්තොත් මට ඒ ඇති.

Monday, December 17, 2012

05.නාන ලිඳේ කතාව....1

පොඩිකාලෙ ගෙදරදි රෑ නින්දට යන්නෙත් උදේට අවදි වෙන්නෙත් එක සමාන ගීතයක් අසමින්,ගීතය තමයි ගෙට පහළ තිබුණු නාන ලිඳේ කවුරුහරි නාන සද්දය.
පාන්දර ඇහැරෙන වෙලාවෙ ඉඳන් රෑ නින්දට යනතුරු නොකඩවා ඇහෙන මේ ගීතය අපේ හිත්වලට කොයිතරම් සමීප වෙලා තිබුණද කිව්වොත් ඒ සද්දය නෑසෙන වෙලාවට පාලුවක් දැනෙන තරමයි.

මහරෑටත් නාන සද්දය ඇහෙනවිට තාත්තා උපහාසාත්මක සිනාවක් පාමින්,
මොකාද යකෝ මේ මහ රෑ.... කියා කියන වාර අපමණයි.
මේ ලිඳ පිහිටල තිබුණෙ අපේ මහගෙදරට පහළින්,දැන් තියෙන මහගෙදරට කලින් තිබුණු ගේ කඩලා හදපු අලුත් ගෙදරට ගෙවැදුනේ 1969 අවුරුද්දෙ.ඒ වෙන විටත් නාන ලිඳට අවුරුදු 50 ක් විතර වයසයි.මොකද ලිඳ කපපු කාලය දැන් ඉන්න කවුරුත් දන්නෙ නැහැ.මේ ලිඳ ගෙට හොඳ නෑ කියල සැරයක් අලුත් නාන ලිඳක් කපන්න ලෑස්ති වුනා,නැකත් බලලා කිරිබත් කාල වත්තෙම එහා කොණේ ඇල අයිනෙ සුබ මොහොතින් ලිඳ කපන්න ගත්තත් වැඩිදුර කපන්න කලින්ම ගල මතුවුණා.ගල්වෙඩි කොච්චර නම් ගැහුවද,මොන,ගලේ ඉවරයක් නැහැ.පස්සෙ වැඩේ අතඇරල දැම්මා.පස්සෙ කාලෙක ඒකට දාපු කුණුවලින්ම වල පිරුණා.ආයෙත් පරණ ලිඳටම පුරුදු වෙන්න වුණා.

ලිඳේ නාන වතුර ගලාගෙන ගියේ ඒ එක්කම තිබුණු ඇලට,ඇලට එහා පැත්තේ කුඹුරු පේලිය,කුඹුරු පේලිය දිගයි,පළල අඩුයි,එක නියරයි.ඊට එපිටින් එගොඩහ ගම්ගොඩ,ඒ පැත්තෙ අය තමයි වැඩියත්ම අපේ ලිඳට නාන්න ආවෙ,අපේ පැත්තෙ ගෙවල් වටපිටාවෙ ඉන්න අයත් ඔක්කොම නාන්න එනවා.අපේ වත්තට අල්ලපු වත්තෙත් නාන ලිඳක් තිබ්බත් ඒකෙ නාන්නෙ ගෙදර අය විතරයි,ගමේ අනික් අය යන්නෙ නෑ ඒ අයට අපේ ලිඳ ලඟ නිසා.
එහා ගොඩේ ඈත කෙළවරේ රජයෙන් හදපු පොදු නාන ලිඳක් තිබුණා,ඒකට කිව්වෙ මහලිඳ කියලා.ඒ ලඟ අහල පහල කට්ටිය නාන්නෙ මහලිඳෙන්.
ඔන්න ඔය විදියට තමයි අපේ ගමේ අය තම තමන්ගෙ නෑමේ අවශ්‍යතා සම්පූර්ණ කරගත්තෙ.ගෙදරක ලිඳක් වුණාට අපේ ලිඳේ මහලිඳට වැඩියෙන් සෙනග නෑවා.මොකද වතුර ටික නිල් පාටට අතින් ගන්න තරමට පිරිලා ඉතිරිලා තිබුණු නිසා නාපුවාම හොඳට ඇඟට දැනෙනවා.

හැබැයි ගමෙන් බාගයක් නෑවත් ලිඳ ඉහින්න හතරදෙනෙක් එකතු කරගන්න හරි අමාරුයි.බොහොමයක් වෙලාවට ඉන්නෙ ගෙදර අයයි තව එක්කෙනෙක් දෙන්නෙකුයි.ඉතිං අපේ පණ යනවා වතුර ඉහලා,ඇයි ඒ දවස්වල හැම තැනම වතුර මෝටර් තිබ්බ එකක්යැ.උදේ පටං ගත්තහම දවල් වෙනතුරුම වතුර ඉහල දාල ලිං පතුලෙ එකතුවෙලා දඟලන මාලු ටික වතුර බාල්දියකට දාල ඊට පස්සෙ මඩටික අදිනවා.ඔය රාජකාරි ටික කරල ඉවර වෙනකොට හවස් වෙනව,අපට මඩ හෝදල නාගන්න වෙන්නෙත් අල්ලපු වත්තෙ ලිඳෙන්.

වැහි කාලෙ එකදිගට දවස් තුන හතර වහිනකොට වතුර ගලලා වෙලයි,ඇලයි,ලිඳයි එක මට්ටමට එනතුරු වතුර පිරෙනවා.
අලුත් වතුරට තමයි ඇලේ ඉන්න ආඳො උඩට එන්නෙ,කීප දෙනෙක්ම මන්නා,කඩු අරගෙන අපේ වත්ත පහල මහ ගොරොක් ගහ ගාව(අර අතඇරලදාපු ලිඳ ලඟ, පස්සෙ ඒකට අපි කිව්වෙ ගල්ලිඳ කියලා) රැකල ඉන්නවා උඩ එන ආඳන්ව කොටන්න.

නාන ලිඳ ලඟ තිබුණු පුවක් ගහ සිනිඳුවට දිලිසෙන්න මැදිල තිබුණෙ නාන්න එන කාන්තාවො පිට අතුල්ලලාමයි.ඒ එක්කම බිම තවත් සිනිඳු ගලක් තිබුණා රෙදි අපුල්ලන්න.

ලිඳෙන් ගමේ උදවිය නාන එක අපේ ගෙදර අයට සතුටක් වුණා.තද ඉඩෝර කාලෙට ලිඳ හොඳටම හිඳෙනකොට වතුර ටිකක් තිබුණෙ උදේට විතරයි.ඒකත් කට්ටිය උදේම නාල යනවා,අපට නාන්න වතුර නෑ.සමහරදාට අම්මා ලිං මිදුලෙ පොල් අත්තක් හරහට දානවා අපි නාල ඉවරවෙනතුරු.
මට දෙයියන්ගෙ ලෙඩ හැදිල හිටිය කාලෙ ලිඳට කවුරුවත් නාන්න ආවෙ නෑ කියල මහප්පට හොඳටම තරහගිහින්,

එකෙකුටවත් ආයෙ නාන්න එන්න දෙන්නෙ නෑ...

කියකියා පාරම්බෑව,පැළඉණි කම්බි අරං ගිහිං එන පාරවල් වහන්න හැදුවා.නාන අය නම් ඕවයින් සැලුණෙ නෑ,උන් දන්නවා කොච්චර කෑගැහුවත් ඒ වෙලාවට විතරයි කියලා.

Saturday, December 15, 2012

04.පිස්සෙක්

පළකරන්නට සූදානම් කලේ වෙන ලිපියක්,ඒත් මගේ හුදකලා වූ කොලුවා කතාවට සිරා දාල තිබුනු කමෙන්ට් එක නිසා තවත් පරණ කතාවක් මතක් වුණා.
මේකත් සේකරයන් සම්බන්ධ වෙන කතාවක්,පත්තරේක දැක්කෙ.කොයි කාලෙද කියල මතක නැතත් කතාව මතක හිටියා.පත්තරේට මේ කතාව කියලා තිබුණේ චිත්‍රා බාලසූරිය මහතා,ඔහු තමයි පරසතු මල් හා තුංමං හන්දිය චිත්‍රපට ද්විත්වයේ නිෂ්පාදකවරයා,කතාව මෙහෙමයි.

ඒ මහගම සේකරයන් තුංමං හන්දිය හදන අවදිය.තුංමං හන්දිය තිරගත වුනේ 1970 දි එතකොට මේ කියන කාලය 1968 හෝ 1969 වියයුතුයි.

දවසක් සේකරයන් චිත්‍රා බාලසූරිය හමුවෙන්නට ඔහුගේ ගෙදර ඇවිත් ඉන්නකොට දයනන්ද ගුණවර්ධනයන් මහාචාර්ය සරච්චන්ද්‍ර එක්ක එහෙට ඇවිත්,ඒ දෙන්න ඇවිත් තියෙන්නෙ රා බොන්න.

හතර දෙනාම ගම්පහ ඉඳන් ජඇල ගිහිං බාලසූරිය මහත්තය දන්න මුදලාලි කෙනෙක් හම්බවෙලා රා කළයකුත් අරගෙන හා දැන් ඉතිං බොමු කියල කියපුවාම සරච්චන්ද්‍රයන් කියනවා

අපෝ මේ ගෙවල් ඇතුල හිරවෙලා රා බීල වැඩක් නැහැ,අපි ටිකක් එලිමහනෙ නිස්කලංක තැනකට ගිහිං බොමු කියලා.
සරච්චන්ද්‍රයන්ට රාත් එක්ක ස්වභාව සෞන්දර්යයත් රසවිඳින්න ඕනැවෙලා.ඒ ගමන කට්ටිය ආපහු ගම්පහ එනකොට කිරිඳිවිට හරියෙ තියෙන දර්ශනීය වෙල්යාය දැක්ක ගමන් සරච්චන්ද්‍රයන් කියනවා
අන්න තැන..අපේ වැඩේට හරියටම හරියනව..

වෙල්යාය මැද ගහක් මුල නිල් ගොයම පිස එන සිහිල් සුළං රැලිවල පහස විඳිමින් කට්ටීය රා කළේ සප්පායම්
 වෙනව.

ඔන්න වැඩේ නැගලම යනකොට පොලිස් ජීප් එකක් ඇවිත් පාරෙ නතර කලා.ජීප් එකෙන් බැස්ස පොලිස් නිලධාරියාගේ සංඥාවට චිත්‍රා බාලසූරිය පාරට ආවා.

මොකද වෙලේ කරන්නෙ? පොලිස් නිලධාරියා අහනවා.
නිකං හුලං වැදි වැදි ඉන්නවා...
අර තුන්දෙනා කවුද?
සරච්චන්ද්‍රයි,මහගම සේකරයි,දයානන්ද ගුණවර්ධනයි...

පොලිස් නිලධාරියා චිත්‍රා බාලසූරියගෙ ඉහේ සිට දෙපතුල දක්වා බැල්මක් හෙලුවෙ නොපහන් පෙනුමක් මුහුණට නගාගෙන.
ජීප් රථයට ගොඩවී දොර වේගයෙන් වසාගනිමින් ඔහු කියපු දේ චිත්‍රා බාලසූරියට හොඳට ඇසුණා,

පිස්සෙක්ද කොහෙද,අපි යමු...



ප.ලි. මේ කතාවෙන් අපට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි ඒ යුගයේ හිටපු පොලිස් නිලධාරීන් පුද්ගලයන් ගැන විශේෂයෙන් කලාකරුවන් ගැන කොතරම් දැණුවත්ද කියන එක.

අද දවසේ මෙහෙම දෙයක් වුණානම් අර ශ්‍රේෂ්ට කලා කරුවන් තිදෙනාට රා කලයත් ඔලුවෙ තියාගෙන පොලිසියට යන්න නොවෙයි කියලා කාටද කියන්න පුලුවන්?

Wednesday, December 12, 2012

03.හෘදයාංගම ස්තූතිය

මගේ බ්ලොග් ආගමනය වෙනුවෙන් පලකල පූර්විකාවට මා බලාපොරොත්තු නොවු තරම් ප්‍රතිචාර ලැබීම මට සතුටට පමණක් නොව විශ්මයටද කරුණක් වුණා.

බ්ලොග් ලෝකයේ ජනප්‍රිය තරු පවා බ්ලොග් පිටුවට ගොඩවැදීම සතුටට හේතුවක් මෙන්ම ඔවුන්ගේ අතිශය නිහතමානී භාවය මොනවට පෙන්වාදීමක්.

හිතවත් ඔබ සැමගේ ආගමනය මා දිරිමත් කිරීමට මෙන්ම මගේ හදවත උණුසුම් කිරීමටද සමත්වූ බව මෙහිදී නොකියාම බැහැ.මගේ මීළඟ ලිපියෙන් මා ගැනත් බ්ලොග් ලිවීමට පැමිනි හැටි ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා. 
අද රාත්‍රියේ මම ටිකක් දුර ගමනක් යනවා.ආපහු එන්නේ සෙනසුරාදා.ආපු ගමන් පලකරන්නට ලිපිය ලියලයි යන්නෙ.

Tuesday, December 11, 2012

02.හුදෙකලාවු කොලුවා

මහගම සේකර කියන්නෙ මා ඉතා ආදරය කරන කලාකරුවෙක්.ඔහුගෙ  කවි කීපයක් මගේ හිත අතීතයට රැගෙන ගියා.සේකර ශූරීන්ගෙ උපන් ගම රදාවාන,පසුකාලීනව ඔහු ගම්පහ පදිංචියට යනවා.දෙමාපියන් බලන්නට ඉඳහිට රදාවානට යෑම ඔහුගෙ සිරිතක්

මෙයින් කියවෙන්නෙ නිසැකයෙන්ම ඔහුගේ අත්දැකීමක්,ඒත් බලන්න මෙය අපේ හිත්වලටත් කොතරම් සමීපද කියල.

කලාතුරකින් දවසක ගමට යනවිට
අපේ ගමේඉස්කෝලය පෙනෙයි මට
සිංහල උලු සෙවිලි කළ ඒ වහල යට
සඟවා තිබේ මග ජීවිතයෙහි සතුට

ඈත අහස දෙස නිකමට දෑස හෙලා
කොලුවෙක් සිටී පංතිය කෙලවරට වෙලා
ගහ කොල කියන දෙය ඇසෙනා මුත් කනට
ගුරුතුමා කියන දෙය නෑසෙයි ඔහුට

ඔහුගේ මුහුණ හොඳහැටි නොපෙනුනත් මට
ඒ ඉන්නේ මා යයි සැක සිතෙයි මට

Sunday, November 11, 2012

01.පූර්විකාව



ඉතිං මමත් බ්ලොග් එකක් පටන්ගන්නයි හදන්නෙ.ගොඩක් කාලෙක ඉදන් දැකපු හීනයක් හැබැවුනා වගේ හරිම සතුටක් හිතට දැනෙනවා.

බ්ලොග් කෙරුවාවට මගේ හිතේ ආසාවක් ඇතිකරපු කතන්දර සූරීන්ටත් බ්ලොග් එකක් හදාගන්න බැරුව හිටපු මට ලස්සන බ්ලොග් පිටුවක් හදල දුන්නු අමිල ශානුක හෙට්ටිආරච්චි පුතාටත් මගේ අවංක ආදර ස්තූතිය.

ඉතින් ඉදිරියට මගේ ජීවිත අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.