Monday, June 23, 2014

140.එකගෙයි කෑම සහ තෙරේසාගේ ආදර අන්දරය




 අපි පහුගිය දවස්වල දිගටම එකගෙයි කෑවා මතකයි නේද,එකගෙයි අවුරුද්ද ගැන කියල එකගෙයි කෑමේ ආරම්භය ගැන ලියන්නට මම හිතාගෙන හිටියට රවී ඉස්සරවෙලා තිබුණා.කොහොම වුනත් ද්‍රෙෳපදී  අර්ජුන ඇතුළු සහෝදරයන් පස්දෙනෙකුට භාර්යාව වීම හේතුකොටගෙන එකගෙයි කෑම ආරම්භ වී තිබෙනවා කියා විශ්වාස කරනවා.

ඔය විස්තරය හිතවතෙක් මගෙත් එක්ක කිව්වෙ ඌන පූර්ණයකුත් එක්කයි.කතාව මෙහෙමයි.ඔන්න ඉතිං ද්‍රෙෳපදී  සහෝදරයන් පස්දෙනා එක්කම දැහැමින් සෙමෙන් දීගකෑම කරගන යනවා සහෝදරයො පස්දෙනත් කිසිම අරෝවක් ආරාවුලක් නැතුව සමාදානෙන් බෙදාගෙන වළඳනවා.කට්ටිය සහෝදරයො පස්දෙනෙක් නිසා වැඩේ සංකීර්ණයි සමහරවිට එකවර දෙන්නෙකුට හෝ කීපදෙනෙකුට ද්‍රෙෳපදී එක්ක සමහන් සුව විඳීමේ අවශ්‍යතාව ඇතිවුනොත් එහෙම ලොකු පටලැවිල්ලක් වෙන නිසා මේ අය ඒකටත් උපක්‍රමයක් යොදාගෙන තිබුණා.උපක්‍රමේ මොකක්ද කිව්වොත් ද්‍රෙෳපදිගේ කුටියට ගිය සහෝදරයා ඔහුගෙ මිරිවැඩි සඟල හෙවත් පාවහන් කුට්ටම ගලවල දොර ඉදිරියෙන් තියල තියනව, කෙනෙක් ඇතුලෙ ඉන්න බව වෙන සහෝදරයෙක් හෙම ආවොත් ඒ ලකුණෙන් දැනගන්නවා.

ලංකාවෙ නං ඔය වගෙ වෙලාවට දොරට කුල්ල හේත්තු කලාලු,එහෙම නැත්නං අමුඩ ලේන්සුව දොර පලුව උඩ පිටට පේන්න දාල තිබ්බලු ඒ වැඩේ නං හරිම ප්‍රායෝගිකයි සහ නිර්මාණශීලියි නේද.කුල්ල වෙනුවට  ගලෝපු චීත්තෙ හරි හැට්ටෙ හරි දොර උඩින් දැම්මත් අපූරුවට ගැලපෙනව,ඔය වෙලාවට අමුඩ කෑලියි චීත්තයි බම්බු ගහන්නයැ  නැද්ද මං අහන්නෙ.කාන්තාවො පවා එකගෙයි කෑම ලජ්ජාවක් විදියට හිතුවෙ කෙරුවෙ නෑ තමුන් එකගෙයි කන බව ඔවුන් ප්‍රකාශකළේ මෙන්න මේ ආකාරයටයි.

මං ඒ දෙන්නටම බත් උයල දෙනවා...

මේ චාරිත්‍රය ඇතිවෙන්නටත් පැවතගෙන එන්නටත් වඩාත්ම හේතුභූත වී තිබෙන්නෙ ලංකාවෙ විශේෂයෙන්ම උඩරට පළාත්වල තිබු ඉඩම් හිඟයයි.කුඩා ඉඩම් කැබැල්ල තවත් කුඩා කොටස්වලට බෙදීම මගහරවා ගන්නට සහෝදරයන් දෙදෙනෙකුට හෝ වැඩි ප්‍රමාණයකට එක් බිරිඳක් සමග දීග කෑමේ චාරිත්‍රය බිහිවන්නට ඇති.කොහොම වුනත් එකගෙයි කෑමේ චාරිත්‍රය පිළිබඳව ප්‍රමාණවත් අන්දමේ සංවාදයක් සිදුවී නැති බව මගේ පුද්ගලික අදහසයි.

කේ ජයතිලක මහත්තයගෙ එකගෙයි අවුරුද්ද කෙටිකතාවට අමතරව තව සිංහල ලේඛකයො දෙන්නෙක් ඔය චාරිත්‍රය සම්බන්ධ නවකතා දෙකක් ලියා තිබෙනවා.  

ඉරහඳ පායන ලෝකේ-සෝමවීර සේනානායක 
බැද්දෙගෙදර-ජයසේන ජයකොඩි 

බැද්දෙගෙදර ලංකාවෙ මගෙ පොත් ගොඩේ තිබුනට දැන් මගෙ ළඟ නෑ ඉරහඳ පායන ලෝකෙ මම කියවා තිබුනට පොත මා ළඟ නෑ.ඊට අමතරව ඒ සම්බන්ධව ලියැවුණු දෙයක් කියවල තියෙනව කියල මගෙ මතකයෙ නම් නැහැ.

ඉතිං ද්‍රෙෳපදී පාවා ගත්ත සහෝදරයින් පස්දෙනාගෙන් වැඩුමල්ම සහෝදරය දවසක්දා ද්‍රෙෳපදිත් එක්ක සමාගමයේ යෙදෙන්න ඇයගේ කුටියෙ දොරකඩ තමන්ගෙ සෙරෙප්පු කුට්ටම ගලවල තියල කුටියට ඇතුල්වුණා,සෙරෙප්පු ගලවලා තියනව කියපුවම ඔන්න මට තව කතාවක් මතක්වුනා අමතක වෙන්න ඉස්සර ඒ කතාවත් කියල ඉන්නං ඈ.

කපිතාන් එඩ්වර්ඩ් ජේම්ස් කෝබට් හෙවත් ජිම් කෝබට්ගෙ පොත් ඔබ කියවා ඇතියයි මා සිතනවා,කොහොම වුනත් පස්සෙ දවසක ජිම් කෝබට් ගැනත් යමක් ලියන්න මගෙ අදහසක් තිබෙනවා,ඔහු ලියූ My India(1952)පොත 2005 දි ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර යනුවෙන් සිංහලට පරිවර්තනය වුනා.ඒ පොතේ ඇති කතාවක් වන "සුල්තානා;ඉන්දියාවේ රොබින් හුඩ්"යන කතාවේ මෙන්න මේ ආකාරයට කොටසක් තියෙනව.

"දැඩි පාලනයකට නතු නොකෙරුණු ඇතැම් අපරාධකාරී වරිගයන්ට අයත් සමහර සාමාජිකයන් පෞද්ගලික නිවාසවල රාත්‍රී මුරකාරයන් සේ රැකියාවන්හි නිරත වූ අතර,මා දන්නා පරිදි ඇතැම් අවස්ථාවන්හි ඔවුන් කාවල් කරන ගෙදර එළිපත්ත මත ඔවුන්ගේ පාවහන් යුවළ තැන්පත් කර තැබීම පමණක්ම ඒ ගෙවල් බිඳීමට එරෙහිවූ ප්‍රාමාණික සහතිකයක් විය.සමහර විට මෙය කප්පම් ගැනීමක් සේ ඇඟවූනත්,එය තුට්ටු දෙකේ කප්පම් ගෙවීමක් වන්නේ අපරාධකාරයාගේ තත්වයට අනුව මුරකාර වැටුප රුපියල් තුනේ සිට පහ දක්වා ගණනක් වන නිසාය.ඒ සියල්ලටමත් වඩා මේ මුදල වුව ඇඟපතට නොදැනී ලේසියෙන් උපයන්නක් වුයේ,මුර උන්නැහේට කරන්නට තිබු එකම රාජකාරිය වූ කලි,රාත්‍රී කාලයෙහි අදාළ ස්ථානයෙහි සිය පාවහන් යුවළ තැන්පත් කොට පසුදා පාන්දර එය ආපසු ගැනීම පමණක් ම වූ නිසාය."
(ඉන්දියානු දිළින්දන්ගේ කතන්දර 116 පිට)

ඉතිං ආපහු කියමින් හිටපු කතාවට ආවොත් වැඩිමල් සහෝදරයා ද්‍රෙෳපදීගෙ කුටිය ඇතුළට ගියායින් පස්සෙ එළි පහළියෙ රස්තියාදු ගහමින් හිටපු බල්ලෙක් එළියෙ දොරකඩ තියල තිබ්බ හම් සෙරෙප්පු කුට්ටම ඩැහැගෙන යන්න ගියා,මේ අතරෙ  ද්‍රෙෳපදීගෙ සමාගමය පැතුව තව සහෝදරයෙක් ඇය හමු වන්නට කුටියට පැමිණියා,එළියෙ කිසිම බාධකයක් පෙනෙන්නට නොතිබූ නිසා සතුටුවූ ඔහු කෙළින්ම කුටියෙ දොර ඇරගෙන ඇතුල් වුනා.අවාසනාවකි!කුටිය තුළ ද්‍රෙෳපදිය සමග සිත්සේ රති කෙළියේ යෙදෙන සොහොයුරාය.කිනම් අබග්ගයක් වීදැයි එකෙක් තුෂ්නීම්භූතව ගිය අතර කුමන හේතුවකට සොහොයුරා දොර ඇරගෙන පැමිණියේදැයි අනිකා වික්ෂිප්තව බලා හිඳිනු දක්නා ලදී.

අන්තිමේදි සිද්ද වෙච්ච දේ හොයාගත්තා මේ වෙච්ච විලිලජ්ජා නැතිවෙන වැඩේට සහමුලින්ම වගකිවයුතු බල්ලත් හොයාගත්තා.හොයාගෙන බලු සංහතියටම මහ දරුණු සාපයක් කළා.

අහෝ නීච සුනඛය,තා විසින් කිසිම වග විභාගයක් නොමැතිව මේ කරන ලද්දාවූ අවක්‍රියාව හේතුවෙන් මා  මලණුවන් ඉදිරිපිට හෑල්ලුවට ලක්වීමි,ලජ්ජාවට පත්වීමි තවෙකෙකු දැනගත්තේ නම් ඇතිවන නවනින්දාව බොහෝය,දරාගත නොහැකිය එබැවින් තට හා තගේ බලු සංහතියටම සාප කරමි,මින්පසු තා ප්‍රමුඛ බලු සංහතියේම රමණය එළිපිට සියලු දෙනා ඉදිරියේම වේවා!රමණ කර්තව්‍යයෙන් පසු මහත්වූ අපහසුතාවකට පත්වී දකින සියලු දෙනාගේ නින්දා අවමන් විඳින්නට සිදුවේවා!!තොප හිසමත පතිත මේ සාපය ඉරහඳ පවත්නා තුරුම වේවා!!!

සාපය පලදුන්නා ඊට පස්සෙ බල්ලොන්ගෙ සමහන් වීම එළිපහලියේ සිදුවුනා,කොච්චර වුනත් බල්ලො මේ ගැන හිටියෙ දස විලිලජ්ජාවෙනුයි.කට්ටියම එකතුවෙලා මේ ගැන කතිකාකරල තම බලු පරපුරට කරන ලද්දාවූ සාපය අයින් කරවා ගන්නට පෙත්සමක් ඔප්පු කරන්නට තීරණය කළා.පෙත්සම ලියල එහෙම  කට්ටියම එකතුවෙලා පිළිගන්වන්නට යනවා.පෙත්සම ගෙනියන්නෙ කටේ තියාගෙනයි එහෙම ගෙනියද්දි ගලන දාඩියෙන් පෙත්සම පොඟනව(බල්ලන්ට දහඩිය ගලන්නෙ දිවෙන් කියල කවුරුත් දන්නවනෙ)මේ වැඩේට ප්‍රතිකර්මයක් හොයපු බල්ලො පෙත්සම රවුං කරල එකෙකුගෙ පශ්චාත් භාගයට ඇතුල්කළා බොලාට අපට තේරෙන බාසාවෙන් කිව්වොත් රෝල් කරල පුකේ ගැහුවා.අන්තිමට පෙත්සම බාරදෙන වෙලාව ආවහම පෙත්සම කාගෙ පුකේ ගැහැව්වද කියල බල්ලන්ට හොයාගන්න බැරිවුනා.එතැනදී පෙත්සම හොයාගන්නට බල්ලො හැම එකාම අනිකගෙ පශ්චාත් භාගය ඉවකර බල බලා ගියා ඒ පුරුද්ද තමයි බල්ලන්ට ඔය අදටත් තියෙන්නෙ.

ඔය සාපෙ පලදීල තියෙන ආකාරය අපට දැනටත් බල්ලො රැලේ වැටෙන කාලෙට දැකගන්නට පුලුවන්නෙ නේද,පාරවල් වල එහෙම කෝච්චි පෙට්ටි අමුණල වගේ ඔය ඉන්නෙ.ඔහොම කියද්දි මට කතාවක් මතක්වුනා ඒ මම වැලිසර ඉස්පිරිතාලෙ වැඩ කරමින් හිටපු සමයයි,දවසක මාත් එක්ක රාජකාරි කරමින් හිටපු සුන්දර ලලනාවක් වැඩ ඉවරවෙලා යන්න සුදානම් වෙනවා.

මම ගෙදර යනව අනේ පරක්කු වෙනව...

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න,පයින් යන්නෙ මොකටද ඔන්න අද කෝච්චියෙම ගිහෑකි අර පෙට්ටියක් ෂන්ටිං කරලත්  තියෙන්නෙ...

ඒ වෙනකොට වාහන පාක් කරන ගරාජ් එකේ දඩ බලු පූට්ටුවක්.

කෙල්ල මට රවල අනික් පැත්ත හැරිල පුපුරන්න එන  හිනාව වහගන්න ලේන්සුවක් මුණට තදකරගෙන දුව දුවගෙන යන්න ගියා...

ඉස්පිරිතාලෙ ගරාජ් එකේ වාහන දෙකක් තිබුණා එකක් ඇම්බියුලන්ස් එක අනික ඉස්පිරිතාලෙට බඩු ගේන පස්ස දිග ලෑන්ඩ් රෝවර් ජීප් එක,ජීප් එකේ ඩ්‍රයිවර් කයිතන් පෙරේරා,කයිතන් පෙරේරට පමුණුගම පැත්තෙ ඉස්පෙයාවීල් එකක් හෙවත් අමතර කාන්තාවක් එක්ක ඇයි හොඳයියක් තිබුණා, කළු හීන්දෑරි මේ කාන්තාවට අපි තෙරේසා කියල කියමු.තෙරේසගෙ රස්සාව වුනේ පල්ලිවල තියන මංගල්ලවලදී මීගමු අලුවා වැලිතලප ආදී රසකැවිලි විකුණන එකයි. මූදුබඩ ලයින් එකේ තියෙන පල්ලි ඔක්කොගෙම මංගල්ලවල තෙරේසා රසකැවිලි වෙළඳාමෙ යනවා.

ඉස්පිරිතාලෙට කිට්ටු පාත පල්ලියක බඩු විකුණන්න ආවොත් හෙම  රෙද්දයි හැට්ටෙයි ඇඳල කොන්ඩෙත් තද වෙන්න  ඉස් මුදුනට කරල බැඳගත්තු තෙරේසා කයිතන් පෙරේරව බලල යන්න නොවැරදීම ඉස්පිරිතාලෙට එනව අපට දැක බලාගන්න පුළුවනි.ඇය එනකොට එන්නෙත් කයිතන් පෙරේරට දවාලට කන්න හොඳ රසට හදපු මාළුපිණිත් එක්කං බත් එකකුයි අතුරුපසට පළතුරුයි පුවාලු කෙසෙල්ගෙඩියි රස කැවිලියි ඒ විතරක්ද කන්න ඉස්සෙල්ල බොන්න අරක්කු බාගෙකුත් තෙරේසගෙ   වට්ටියෙ තියෙනව.ලෑන්ඩ් රෝවරේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙන මේ යුවළගෙ පෙම් ජවනිකාව අපි රසවිඳිනවා.

ඊට පස්සෙ  සරුසාර දිවා බෝජන සංග්‍රහය,කයිතන් පෙරේරා ඉස්සෙල්ලම අරක්කු බාගෙ  කඩල ගහනව, දෙක වදිනකොට මොකක්හරි පරණ කතාවක් ඇදල අරං තෙරේසට බනින්න ගන්නව බාගෙ ඉවර වෙද්දීං ගෝරිය නැගලම යනවා.

තෝ මොන මඟුලකට මෙහෙ ආවද පට්ට බැල්ලි...

හනේ මං මහන්සිවෙලා කෑමත් හදාගෙන ආවටද ඔයා මට මෙහෙම කතා කරන්නෙ...

තෙරේසා මුණ වහගෙන ඉකිබිඳිමින්  අඬනකොට උරිස් ගැස්සෙනවා.

ඉහි ඉහි  අනේ සන්තානං මෑණියනේ මට සැනසීමක් නැති හැටි...

සැනසීම,ඉඳපිය තොට මම සැනසීම දෙන්ට,තොගෙ බඩකඩුත්තුවත් අරං මෙතනිං මක බෑවිලා යනවද නැද්ද ...

කයිතන් පෙරේරා තෙරේසට බැනල බැනල සීට් එකට හේත්තුවෙලා ඇස් දෙකත් පියාගෙන හතිඅරින කොට තෙරේසා ඉකිබිඳිමින් කයිතන් පෙරේරට කන්න කෑම එක බෙදනවා.

මම තොට සැරයක් යන්නෙයි කිව්ව නේද ආයෙ එනව මෙතැන ලබ්බක් උස්සගෙන තොගෙ මළදානෙ මට ඕනැ නෑ බොල...

එහෙම කියන්න එපා අනේ මම ඔයාටම කියල උයාගෙන ආපු එකේ ටිකක් හරි කන්නකො ඔයාට කන්න බැරිනම් මං කවන්නද...

ගිහිං කවාගං තොගෙ මහ එකීට ආව මෙතන කවන්ට ඉඳපිය මං තොට කවන හැටි පෙන්නන්නං...

ජීප් එකෙන් එළියට පනින කයිතන් පෙරේරා වළං කඩේට පැන්න ගොනා වගෙ තෙරේසගෙ අතේ තියෙන බත් පිඟානත් පොළොවෙ ගහල කෑම පෙට්ටියත් විසිකරල තෙරේසටත් දෙකක් ගහල එලවනවා,අඬමින් වැළපෙමින් සාපකරමින් ආපහු යන තෙරේසව ඔන්න අපට මුණගැහෙනවා.

මොකද නැන්දෙ අඬන්නෙ ගෝරියක්වත් ගියාද...

වෙච්ච වැඩේ හොඳටම දැනගෙන හිටියත් නොදන්නව වගේ අපිත් අහනව.

අනේ පුතේ බලන්නකො අර අසප්පුරුස මිනිහ මට ගහල එලෙව්වනෙ මං මෙච්චර මහන්සිවෙලා ඔය මිනිහට කෑමත් හදාගෙන ආවට ඒකවත් සැලකුවද.

අනේ මනුස්සයෙකුට මෙහෙමත් දුක් දෙන්න පුලුවන්ද ඉහි ඉහි ඉහි...

අඩුවෙලා තිබුණු ඉකිය ආපහු පටන් ගන්නවා.

හා හා නැන්දෙ  ආයෙමත් මෙතන අඬන්න ලෑස්තිවෙන්න එපා,කයිතන් පෙරේරට මොකක් හරි කේන්තියක් යන්න ඇති පස්සෙ හරියාවි දැන් ඔය කඳුළු පිහිදාගෙන යන්නකො...

ඔය වසවර්ති මිනිහට කන්න ගෙනාපුවා මේං, දැන් මේව කාට දෙන්නද  ඔය පුතාල කන්න...

ඔන්න අපටත් මීගමු අලුවා වැලිතලප සහ කෙසෙල්ගෙඩි ලැබෙනවා,තෙරේසා ගේන මීගමු අලුවා හරිම රසයි මම කොහොමත් තෙරේසා ගේන මීගමු අලුවා කන්න හරිම මනාපයි  අපේ ගෙවල්වල කොහොම අලුවා හැදුවත් ඒ රස ගන්න බෑ.

රණ්ඩුවෙලා ගුටිකාල ගියාට තෙරේසගෙ ආදරේ අඩුවෙන්නෙ නෑ තව දවස් කීපෙකින් ආයෙම කයිතන් පෙරේරා බලන්න එනව ඒ ආවමත් පුරුදු විදියමයි.තෙරේසා-කයිතන් පෙරේරා යුවළගෙ ආදර කතාව මොන විදියෙ අවසානයක් කරා ළඟාවුනාද කියල කියන්නට නොහැකිවීම ගැන මට හරිම කණගාටුයි.මොකද කිව්වොත් මම වැලිසර ඉස්පිරිතාලෙ හිටපු ඉතාම හොඳ ළමයෙක් වීම හේතුවෙන් වැඩිකල් නොයාදීම මට හැඳල ලාදුරු රෝහලට මාරුවක් ලැබීම නිසා අවුරුදු හතක් වැඩ කරපු තැන හැරදා යන්නට සිදුවුනා.

ලාදුරු ඉස්පිරිතාලෙ කියපු කරපු දේවල් ඒක වෙනම පරිච්ඡේදයක්. 

අතීතයෙ අපිත් එක්ක හිටපු ආශ්‍රය කරපු යාළුවො හිතවත්තු වෙලාවකට සිතුවම් පටක් වගේ මගෙ හිතේ ඇඳෙනවා දැන් ඒ අය ජීවතුන් අතර ඇද්ද ඉන්නවනං කොහෙද ආදී දේවල් මතක් වෙද්දි හිතට මහා පාලු හැඟීමක් දැනෙන්නෙ නිරායාසයෙන්මයි.ආයෙම කවදාවත් ඒ අය දකින්න ලැබෙන්නෙ නෑ කියල හිතෙද්දි තරමක දුකකුත් හිත පහුරුගානවා. බලාගෙන යනකොට ස්වභාවයෙන්ම නොස්ටැල්ජියාව  ටිකක්  විතර වැඩිපුර  තියෙන මට මේ වගේ හිතෙන එක අරුමයක් නොවෙයි නේද෴


Friday, June 20, 2014

139.අයියර් යුවළ සමග රුදුරු ජාතිවාදයේ බිහිසුණු ගිනිදැල් මැදින්.


අද ලියන්නට බලාපොරොත්තු වුනේ වෙනත් කතාවක් නමුත් මල්මි ලියල තිබුණු කතාවක් නිසා වාර්ගික කලබල සම්බන්ධව බලා තිබු චිත්‍රපට ගැන මගේ මතකයත් අවදිවුනා.වාර්ගික කලබල නිසාවෙන් මල්මි නරඹා තිබු චිත්‍රපට කීපයක් ගැන ඇගේ මතකයට ආ බව ඇය ලියා තිබුණා,ඒ චිත්‍රපට සියල්ලමත් එක්කම මා නරඹා තිබු තවත් අපූරු චිත්‍රපටයක් වෙත  මගෙ මතකය මා රැගෙන ගියා.

කාලය 2004 හෝ 2005 වර්ෂය විය යුතුයි.ඒ මා බ්‍රසල්ස් නුවර රාජකාරි කරමින් සිටි සමයයි.එක්තරා හවසක කාර්යාලයෙන් පිටවී ගෙදර යමින් සිටි මා සමග පෙරේරා මහතා එකතුවුනා.ඔහු අත තිබු ඩීවීඩී පට දෙකක් ගැන මා ඇසූ විට එකක් මට බලන්නට ලබාදුන්නා.ඒ මිස්ට ඇන්ඩ් මිසිස් අයියර් චිත්‍රපටයයි.ගෙදරදී මා චිත්‍රපටය නරඹන්නට ගත්තේ එතරම් උනන්දුවකින් නොවෙයි.නමුත් චිත්‍රපටය පටන්ගෙන ටික වේලාවකින්ම මා එයත් සමග ඒකාත්මික වුනා.මුලු හදවතින්ම චිත්‍රපටය සමග ජීවත් වෙන්නට වුනා.චිත්‍රපටයේ කතාව කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.

මීනක්ෂි අයියර් මහත්මිය ඇයගේ අතදරුවාත් සමග (බටහිර බෙංගාලයේ විය යුතුයි)කඳුකර නගරයක පිහිටි තම දෙමාපියන්ගේ නිවසේ සිට ඇයගේ සැමියා සිටින චෙන්නායි නුවරට යාම සඳහා කල්කටාවෙ දුම්රිය පොළට  බසයෙන් යන්නට බස්පොළට පැමිණීමෙන් චිත්‍රපටය ආරම්භ වනවා.බස් පොලේදී  සිය පියාගේ මිතුරෙකු විසින් එම බසයේම කල්කටාවට යන ඡායාරුප ශිල්පියෙකු වන රාජු චෞද්රී ඇයට හඳුන්වා දෙන්නේ ළදරුවාත් සමග තනිවම ගමන් කරන ඇයට උපකාරයක් අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනවත් වන බැවින්.ඉතා අලංකාර කඳුකර මාර්ගයක ගමන්කරන බස්රථය ගොම්මන් ඇඳිරිය කඩාවැටෙමින් පවතින මොහොතේ  එක් තැනක නතරවන්නේ මාර්ග තදබදයක් නිසාවෙනුයි.ඉදිරියේ හින්දු මුස්ලිම් වාර්ගික කලබල තදින් ඇතිවී ඇති බැවින් බසය ඉන් ඔබ්බට ගමන් කරවීම අපහසු බව කියැවෙනවා.මීනාක්ෂි අයියර් ඇයගේ නමින්ම කියවෙන ආකාරයට ද්‍රවිඩ බ්‍රාහ්මණ කුලයේ හින්දු කාන්තාවක් වන අතර රාජු චෞද්රී මුස්ලිම් තරුණයෙක්.කුරිරු ජාතිවාදයේ බිහිසුණු ගිනිදැල් මැදින් ඔවුන් දෙදෙන අතදරුවාත් සමග චෙන්නායි නුවරට යන ආකාරය චිත්‍රපටයට වස්තු විෂයය වනවා.

තිරකතාව ලියා මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අපර්ණා සෙන්,ඇයගේම දියණිය වන කොංකෝනා සෙන්ශර්මා මීනාක්ෂි අයියර් ලෙසත් රාහුල් බෝස් රාජු චෞද්රී ලෙසත් අමතක නොවන අති විශිෂ්ට රංගනයක යෙදෙනවා.එය රංගනයක් යැයි හඳුන්වන්නටත් මා තරමක් මැලි වන්නේ ඔවුන් සිය චරිතයන්හි ඒ තරම් හොඳින් ජීවත්වන බැවිනුයි.එපමණක් නොවෙයි කුඩා ළදරුවාගෙන්ද ආකර්ශණීය රඟපෑමක් උකහා ගන්නට අධ්‍යක්ෂවරිය සමත්වී තිබෙනවා.සංගීතය උස්තාද් ශකිර් හුසේන් එමෙන්ම ගීත ගායනා කර ඇත්තේද උස්තාද් වරුන් පිරිසක් වීම විශේෂයි.

චිත්‍රපටයේ නම්වැල දෙස බලනවිට ඔබට පෙනීයන එක කාරණයක් නම් මේ නම් අතර සිනමාවේ එකම තරුවක් හෝ නොමැතිවීමයි.2002 ජුලි 19 වනදා ප්‍රථම වරට ඉන්දීය ප්‍රේක්ෂකාගාරයට පිවිසි ජනප්‍රිය තරු රහිත මේ චිත්‍රපටය අතිශය සාර්ථකව තිරගත වුනා පමණක් නොව ජාතික හා අන්තර්ජාතික සම්මාන කීපයක් ලබාගත් අතර භාෂා කීපයකටද නැගුණා.

වියරු ජාතිවාදයේ භයංකර ගිනිදැල් අතරට සීතල දියදහරාවක් එල්ල කරන අධ්‍යක්ෂවරියගේ සාර්ථක උත්සාහය ඔබේ රස වින්දනය සඳහා ලබාදීමට උචිතම මොහොත මෙය යැයි මට හැඟුණ නිසා කතාව මේ අයුරින් ඔබවෙත ගෙන එන්නට සිතුණා.හැකියාවක් ඇත්නම් ඔබේ වටිනා කාලයෙන් පැය දෙකක් වැයකර චිත්‍රපටය නරඹන්න.කාලයත් මුදලත් අපතේ ගියායි හිතෙන එකක් නෑ෴

                                  




Tuesday, June 17, 2014

138.1915 ශත සංවත්සරය සහ රහුමාන් මාස්ටර්ගෙ කතා.


අවුරුද්දෙන් බාගෙකුත් ඉවරයි මේ දවස්වල කවුරුත් කතා කරන්නෙ 2014 මුස්ලිම් කෝලාහලය ගැන නොවැ.1915 මුස්ලිම් කෝලාහලේට අවුරුදු සීයක් පිරෙන්නට ඔන්න මෙන්න කියල තියෙද්දී ඒ කියන්නෙ අවුරුදු 99 කට පස්සෙ නැවතත් සම්පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහ සංඝරත්නයේ ආශීර්වාදය සහිතව මහා මුස්ලිම් කෝලාහලයේ ශත සංවත්සරය මහා ඉහළින් සැමරීම අපි කාටත් ජාත්‍යාලය දනවන හිතට ඉමහත් සුව ගෙනදෙන සිරුර රෝමෝද්ගමනය කරවන මංගල කාරණයක් හැටියට සලකන්නට පුළුවනි.

ඒ වුනාට මම අද කියන්නට හදන්නෙ මුස්ලිම් කෝලාහළේ ගුණපණ ගැන නොවෙයි ඊට හාත්පසින්ම වෙනස් දෙයකුයි.කෝලාහලෙ ගැන  මහාචාර්ය මාතලන් වගේ අය ලියාවි. මම අද මුස්ලිම් යාංහෑලි ටිකක් ලියන්නං.සිංහල අයගෙ දෙමළ අයගෙ යාංහෑලි ඕනෑතරම් අහල තිබුනට මුස්ලිම් යාංහෑලි අහල නෑ නේද,මේ හෑලි ටික මට ලැබුනෙ කින්නියාවෙන් ළඟ පාතකින් එහෙම නෙවෙයි.

කින්නියාව දන්නවනෙ නැගෙනහිර පළාතෙ ත්‍රිකුණාමලේ කිට්ටුව තියෙන විශාල මුස්ලිම් ජනගහනයක් ඉන්න ගමක්.ත්‍රිකුණාමලයත් කින්නියාවත් කලපුවෙන් වෙන්වී තියෙන නිසා මෑතක් වන තුරුම ගමන් බිමන් සිදුවුනේ පාලම් පාරුවකිනුයි.දැනට අවුරුද්දකට විතර කලින් කළපුව උඩින් පාලමක් දාපු නිසා පාලම් පාරුව දැන් අනවශ්‍යයි.

කින්නියාවෙ අල්......මහා විද්‍යාලෙ උගන්නන රහුමාන් මාස්ටර් අපේ කතාවෙ කතානායකයායි.ඔහු ඉස්කෝලෙ ගණිතය සහ ඉංග්‍රීසි ඉගැන්නුවා කොල්ල කාලෙ ඉඳන්ම රහුමාන් මාස්ටර්ට ටිකක් නුහුගුණ ගතිය තිබුණා.ඔන්න දවසක් යාලුවෙක් එද්දී රහුමාන් කාමරේ ඇඳේ උඩුබැලි අතට නිදාගෙන මහ හයියෙන් සිංදුවක් කියනව,යාලුව එළියට ගිහිං තව ටිකකින් එද්දී රහුමාන් මුනින් අතට නිදාගෙන සිංදු කියනව...

මොකද බං ඒ ගමන මුනින් අතට...

තැටියෙ ඒ පැත්තෙ සිංදු ඉවරයි දැන් අනිත් පැත්තෙ සිංදු යනව...

ඉන්දියන් හමුදාව ලංකාවෙ හිටපු කාලෙ ඒ කියන්නෙ අසූ ගණන්වල කොටි හොයාගෙන කින්නියාවටත් ඇවිත් රහුමාන් මාස්ටර් ටවුමට යද්දි කතාකරල ...

ඒයි පුලි (කොටි) දන්නවද?

අපොයි ඔව් හොඳට දන්නව...

ඒ ගමන ජීප් එකේ දාගන ලොකු රවුමක් ගැහුවට කොටියෙක් තියා නැට්ටක්වත් දැකල නෑ.

තව එක තැනක් තියෙනව යමු ටවුමට...

ටවුමට ගියපු රහුමාන් මාස්ටර් හමුදාවත් එක්ක කෙළින්ම සිල්ලර කඩේකට ගිහිං...

ආ මේ තියෙන්නෙ පුළි(සියඹලා)...

කියල පත සියඹලා ගෝනියක් පෙන්නල,රහුමාන් මාස්ටර්ගෙ කතාවලිනුයි වැඩවලිනුයි වරුවක් තිස්සෙ බයිට්වෙලා හිටපු ඉන්දියන් කාරයින්ට හොඳටම කේන්ති ගිහිං ඇට තැලෙනකල් ගහල ගහල කානුවකට තල්ලු කරල දාල යන්න ගිහිං ,ඔය වැඩෙන් සෑහෙන කාලෙකට පස්සෙ යාලුවෙක් මුණගැහිල ඔය විස්තරේ අහල,එතකොට ඉන්දියන් හමුදාව ලංකාවෙන් ගිහිල්ලත් එක්ක...

ඉන්දියන් ආමි එකෙන් හොඳට ගුටිකෑවලු නේද...

ඒකනෙ කොච්චර වටිනවද මට හම්බවුන චාන්ස් එක,දැන් තමුසෙලට ඉන්දියන් ආමි එකෙන් ගුටිකන්න  අතින් වියදං කරගෙන ඉන්දියාවට යන්න එපායැ බලනවකො මට මෙහෙදීම හම්බවුනානෙ...

දවසක්දා රහුමාන් මාස්ටර්ගේ පුතා ජමාල්දීන් යාලුවොත් එක්ක වත්තෙ ළිඳක් හාරනවා,උඩ පස කපල අරං දැන් වල ඇතුලට බැහැගෙන පස් කපන කොල්ල තාත්තට කෑ ගැහුවා...

තාත්තෙ දැන් වෙල්ලෙයිමනල්(සුදුවැල්ල) එනව...

වෙල්ලෙයිමනල් කියන්නෙ කලපුවෙන් එහා පැත්තෙ තියෙන ගම ඊළඟට ත්‍රිකුණාමලේ...

ඊට පස්සෙ ට්‍රින්කො එයි බලාගෙන පරිස්සමෙන් හාරපන්...

දවසක්දා මාස්ටර් පංතියක පොඩි ළමයින්ට ගණන් උගන්නන ගමන් බෝඩ් එකේ ගාණක් ලිව්වලු...

99+1= ?

ඉස්සරහ හිටිය ළමයෙකුට කතාකලා...

උත්තරේ කීයද?

සීයයි...

මෙහෙට වරෙන්...

අඩිකෝදුවෙන් දෙකක් තලල..

දැන් කියපං කීයද...

සීයයි...

ඉඳපන් උඹට මම සීයක් දෙන්ඩ...

කියල කොල්ලට හොඳටම තැලුව පොඩි එකා කෑ ගගහ අඬනවා...

දැන් කියපං...

සීයයි...

ආයෙම තලන්න ගත්තා...

මේක බලාගෙන හිටපු පංතියේ මොනිටර් හිමිහිට ගිහිං වැඩේ ප්‍රින්සිපල්ට දැනුම් දීල ප්‍රින්සිපල් දුවගෙන එනකොටත් රහුමාන් මාස්ටර් කොල්ලට ගහනව කොල්ල කෑ ගගහ අඬනව...
හා හා මොකද මොකද රහුමාන් ඔය ළමයව මරන්න හදන්නෙ,මොකෝ ළමයට උත්තරේ හරියට කියාගන්න බැරිද...

නෑ නෑ සර් උත්තරේ හරියටම හරි තලනකොටවත් මු උත්තරේ වෙනස් කරාවිද කියල මම ටිකක් තලල බැලුවා...

රහුමාන් මාස්ටර්ගෙ තව කතා ටිකක් තියෙනව ඔක්කොම එක දවසෙ කියන්න බෑනෙ ආයෙම ලියන්නං. ආ තව එකක් රහුමාන් මාස්ටර්ගෙ පුතා ජමාල්දීන් ඉන්නවනෙ ඌටත් නුහුගුණේ,පොරගෙත් මරු කතා ටිකක් තියෙනව.


Sunday, June 15, 2014

137.කරත්තය සමග ඉදිරියට


අද මම ඉදිරිපත් කරන්නේ මහාචාර්ය සෝමරත්න බාලසුරිය විසින් 1991 දී ලියන ලද කරත්තය නම් කෙටි කතාවයි.ඔහු විසින් ලියන ලද කරත්තය කෙටි කතාව ඇතුළත් කරත්තය කෙටිකතා පොතට 1991 දි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබුණා.මේ කතාවත් එකගෙයි අවුරුද්ද මෙන් ඒකාංග ටෙලි නාට්‍යයකට නැගුණත් සුපුරුදු විදියට මට බලන්නට ලැබිල නැති බව කිවයුතුයි.කෙටිකතා ගැන සාකච්ඡා කිරීමේදී පළමුවෙන් හොඳ කෙටිකතා කීපයක් හෝ අධ්‍යයනය කිරීමේ ඇති වැදගත්කම නිසා මා මේ කෙටිකතාවද තෝරාගත්තා.කියවලම කතාකරමු.
                                                                                                                                                         කරත්තය
කටුකම්බි ගසා වැලි ගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වටකරන ලද පොලීසියට කරත්තය දක්කාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය.පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තය දක්කාගෙන එනු ලැබූ ඔහු දුටු කවුරුත් සිනාව මැඬ බියෙන් මෙන් ඉවත බලා ගත්හ.රයිපලය අතින් ගෙන මුර සේවයේ යෙදී සිටි පොලිස් රාළහාමිට බකස් ගා හිනා ගියේය.රියැදුරු රාළහාමි මුවින් නොබැණ හිස පහත් කරගෙන කරත්තය දක්කාගෙන ගියේ තමා පොලිස් ඇඳුමින් සිටියද රියැදුරු නිසාය.ඔහු ගොනා ලිහා දමා කරත්ත රෝදයේම ලණුව ගැටගසා පොලීසියට එනවිට කරත්තකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියේය.ඔහු මොහොතක් ඒ දෙසත් තව මොහොතක් කරත්තය සහ ගොනා දෙසත් බලා සිටියේ මේ ඒ කරත්තකාරයාමදැයි නිශ්චය කරගැනීමට බැරිවාක් මෙනි.

නම-රණසිංහ

වයස-44

රක්ෂාව-කරත්ත රස්සාව

විවාහකද-නෑ

පදිංචිය-කරත්තෙ

මං අහන්නෙ උපන්නේ කොහෙද කියල-උපන්නෙ දිවුල්ලෑවෙ පදිංචිය කරත්තෙ

තමා ඉගෙනගෙන තියෙනවද-ඔව්

කීයටද-ජේස්ටය පාස්

රාළහාමි මඳ විරාමයක් ගත්තේය.සැකකරුට නොදැනෙන සේ ඔහුගේ හිස සිට ඇඟිලි තුඩු දක්වා ගණ ව කළුවට වැඩී ගෙතී ඇති හිසකේ හා රැවුල දෙසද තැනින් තැන උස්ව මතුව ඇති සුදු හිසකේ දෙසද බුලත් කෑමෙන් දුර්වර්ණව ගෙවීයමින් තිබුණු දත් දෙපෙළ දෙසද බලා සිටියේය.ඔහුගේ මඳක් ගිලී ගිය තියුණු පුංචි දෑස් තමාගේ නිල ලාංඡනය කෙරේ එක එල්ලේ යොමුව ඇති අයුරු ඔහුට පෙනිණ.

තමා ඒ කාලේ ඔච්චර ඉගෙන ගෙන ඇයි රස්සාවකට නොගියෙ?

ඇයි මම රස්සාවක් කරනව.

මම අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්?

එහෙම එකක් තියෙනව ද?

එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි රාළහාමි දැඟිලි අතර රඳවාගෙන තිබු පැන එසේ තිබියදීම ඔහුගේ කම්මුල හරහා පහරවල් දෙකක් ගැසුවේය.කරත්තකරු එම පහරවල් පහසුවෙන් ඉවසීය.කිසිම හැඟීමකින් තොර අඩක් ගිලී ගිය පුංචි ගුලි දෙකක් බඳු දෑස් කිසිම හැඟීමකින් තොරව රාළහාමිගේ නිල ලාංඡනය වෙත යොමුවී තිබිණ.තමා අතින් ගිලිහී විසිවී ගිය බෝල්පොයින්ට් පැන ඔහු අහුලා දෙතැයි රාළහාමි සිතීය.මොහොතක් බලා සිට ආවේශවූ කලක මෙන් නැගී සිටි රාළහාමි දෑතින් ඔහුගේ හිසකේ අල්ලා කිහිප වරක් සොලවා ඔහු සිටෙව්වේය.

'හොඳට හිතා ගන්නවා අහන දේට විතරක් උත්තර දෙනව.නිකම් පණ්ඩිතකම් කතා කරල උගත්කම් පෙන්නන්ඩ ගිහින් මැරුම්කන්ඩ එපා-හොඳට හිතා ගන්නවා මේ ඉන්නෙ කොහේද කියල'කරත්තකරු ඒ කිසිවක් තේරුණේ නැතිවාක් මෙන් සිටියේය.ඒ මොහොතේ රාළහාමි වෙනත් කිසියම් කාරණයකට යන්නාක් මෙන් ගොස් විසිවී ගොස් තිබු පැන අහුලාගෙන නැවතත් තම අසුනේ හරිබරි ගැසී වාඩිවිය.ඊළඟ ප්‍රශ්නය කුමක් විය යුතු දැයි ඔහු මඳක් කල්පනා කළේය.මෙසේ ප්‍රශ්න කර පුරුද්ද අඩු නිසාත් වෙනත් සැකකරුවන්ගෙන් මෙන් අනුපිළිවෙළට අසන ප්‍රශ්නවලට කවුරුත් දෙන පිළිතුරු නොවීම නිසාත් ඔහු තුළ සුළු තැතිගැන්මක්ද කෝපයක්ද හට ගැනෙමින් තිබිණ.ඊළඟ ප්‍රශ්නය ඇසීමට ඔහු කරත්තකරුගේ මූණ දෙස බැලුවේය.තමා හිසකේවලින් ඇදීමෙන් අවුල්වී ගිය කැරලි වී ගිය දිගටි හිසකේ පිම්බී අඩි හයක් පමණ වූ ඔහුගේ උස තවත් වැඩිවීමෙන් පෙනිණ.ඉතා පළල් උරහිස්ද අතරින් පතර පැසුණු වැඩුණු රැවුලද තමා වෙතම එල්ලවී තිබුණු තියුණු දෑස් ද දණහිස දක්වා වැටුණු හීන් දිගු දෑත් ද රාළහාමි තුළ සියුම් භීතියක් ඇති කළේය.

තමා ඉදිරියේ වූ බෝල්පොයින්ට් පැන මැදිකර පොලිස් පොත වැසූ රාළහාමි නැගිට ඔහු දෙස නොබලාම ඉවත් වී ගියේය.කරත්තකරු තවමත් හිටගත් වනම සිටියේය.පොලිස් ගොඩනැගිල්ල ඉදිරියේ නවතා ඇති පරණ ජීප් රථයත් ඊට එපිටින් තිබු කරත්තයත් රෝදයේ ගැටගසා ඇති ගොනාත් ඔහුගේ කටින් රූරා වැටෙන කෙලත් ඔහුගේ දෑසට හසුවිය.මොහොතකින් එම ඡායා බොඳවන්නාක් මෙන් විය.හිස්වල තලප්පා බැඳගත් මිනිස්සු කඩිසර ගමනින් පොලිසිය දෙස වරක් හෝ නොබලා ඉදිරියට නැමීගන මෙන් ගමන් කළහ.

'මගේ රැකියාව මට සුදුසුය.එය තවෙකෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය.උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරත්ද?ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය ඇතුළුව මම ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වී සිටිමි.දෙමළ මුදලාලිලා සමග මා කතා කරන්නේ දෙමළෙනි.මා සමග උගත් ෆිල්ම් පෙයාර් සඟරාවෙන් නර්ගීස් ඇතුළු රූමත් නිළියන්ගේ පින්තූර කපා අලවමින් සිටි ගුණරත්න අද අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකි.ඩිමයි කොළවල දවස පුරා ශුද්ධ ගණිත ගැටලු විසඳූ මම කරත්ත දක්කමි.ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් ඒ ඒ තැන්වලට යොමු වූයේ කෙසේ ද යන්න මිස මගේ රැකියාවේ නුසුදුසුකම ගැන නොවේ.'

'හා දැන් ඉඳගන්නව-ඉඳගෙන මම අහන ප්‍රශ්නවලට උත්තර දෙනව.'

රාළහාමිගේ රළු පරළු කටහඬ මෙන්ම ස්වරූපයද ලිහිල් වී ඇත්තාසේ ඔහුට හැඟුනි.මේසය මතවූ තොප්පිය ඔහු පැළඳ ගත්තේ ඇයි දැයි කරත්තකරු තුළ විමතියක් ඇතිවිය.එය නිල නියමයක් විය යුතු යයි ඔහු සිතුවේය.කරත්තකරු හරිබරි ගැස්සී චකිතයකින් තොරව තමාගේම තැනක මෙන් බංකුවේ වාඩි වූ සැටිත් දෑත් තම මේසය මත තබා ඉදිරියට නැමී සිටින සැටිත් දුටු රාළහාමිට ඔහු තමාගෙන් ප්‍රශ්න කරන්නට යන්නාක් මෙන් හැඟී ගියේය.ඔහුගෙ දෑත් ඉවතට ගන්නා ලෙස නියෝග කළ යුතු යයි ඔහුට සිතිණ.එහෙත් ඔහු එසේ කළේ නැත.තමා අවසානයට ඇසු ප්‍රශ්නය කුමක්දැයි දැනගැනීමට යළි ඔහු පොත පෙරළා ගත්තේය.

තමාගේ ලඟම මිත්‍රයෝ කවුද?

ගොනයි බල්ලයි.

මොකා යකෝ?

කරත්තෙ අදින ගොනයි.පඩංගුවෙ ඉන්න බල්ලයි.

රාළහාමි නැගිට්ටේය.අඩි හය හතක් දිග මේසය වටා දිගු අඩි තබමින් කොට බිත්තිය පිටුපසින් කරකැවී එත්ම කරත්තකරු අන්දමන්දවී පිටුපස බැලුවේය.කරත්තකරුගේ දෑත් දෙවැලමිට උඩින් දඬුඅඬුවකට අසුවූවා සේ දැනිණ.ඒ සමගම කොට බිත්තිය උඩින් ඔහු ඇතුළු සාලයට ඇදී ගියේය.ඔහු කොතරම් වේගයෙන් ඇදුණේද කිවහොත් ඔහුගේ තුනටිය බිත්තියේ වැදීමෙන් බුරුල්වූ බදාම කෑලි කීපයක් ගැලවී තිබිණ.ඒ සමගම රවුමකින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් පසුපසට ඇදී ගිය දකුණතින් මිනිසකුට ඉසිලිය නොහැකි තරමේ බර පහරක් කරත්තකරුගේ කම්මුලට එල්ල විය.කරත්තකරු සිටියේ පහර අපේක්‍ෂාවෙනි.තුනටියේ වේදනාව මැඩගෙන පිටුපසට අංශක කිහිපයක් බර වී ඔහු පහර මග හැරියේය.රාළහාමිට වැරදී ගිය පහරේ වේගය නවතාගත නුහුණුව පය ලිස්සා ගොස් කකුල් පටලැවී දණ බිම ඇනී දෑත් බිම ඔබා දෑතට අස්සෙන් යටිකුරු වූ මුහුණින් යුතුව කරත්තකරු දෙස බැලීය.කරත්තකරු හිස පිටුපසට අඹරවා පිටුපස බලාගෙන දකුණතින් තුනටිය පිරිමදිමින් සිටියේය.

ඒ සමගම කටින් විසිල් හඬක් නගමින් දෑත් පිරිමදිමින් ශාලාවට තවත් රාළහාමි කෙනෙකු පැමිණියේ කිසියම් කාරණයකට පිටවී යාම සඳහාය.සිදුවූ දෙය ඉවෙන් මෙන් දැනගත්තාක් මෙන් 'දෙන්ඩද වැඩක් රාළහාමි'කියමින් ඔහු කරත්තකරුගේ අතක් අඹරවා රවුමක් කැරකෙන්නට හැර ඈතට තල්ලුකර හැරියේය.ඒ වනවිට ඉරියව්වෙන් නැගිට සුදානමින් සිටි රාළහාමි ඔහුගේ ඉල ඇන්දට පා පහරක් එල්ල කළේය.කරත්තකරු පිටුපසට විසිවී යත්ම අනෙක් රාළහාමි ඉදිරියට නැමී අත්පුඩි තලා උඩ පැන මුහුණට පහරක් දුන්නේය.අව්වට වේලීමෙන්ද වැස්සට තෙමීමෙන්ද කළුවී පදම්වී තරමක් දියව ගොස් තිබුණ ඔහුගෙ කම්මුල් පිපිරෙන්නට මෙන් ඉදිමී ආවේය.කරත්තකරු දකුණත මැදැඟිල්ල කම්මුල මත ගෑවෙන නොගෑවෙන ගාණට තබා බලනවාත් සමගම යටිබඩට එල්ලවූ පා පහරින් ගසක් පෙරළුණා සේ බිම ඇද වැටුණේය.

ඔහුට සිහිය එනවිට සිටියේ කුඩුවේය.දැරිය නොහැකි තරම් මුත්‍රා පහ කිරීමේ උවමනාවක්ද ඉල මරන්ද කඩා කුඩු කර ඇත්තාක් වැනි වේදනාවක්ද වතුර පිපාසයක්ද ඔහුට දැනිණ.කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ දෑසට කඳුළු බිඳු කිහිපයක් පුරා තිබිණ.ඔහු අමාරුවෙන් නැමී දෑසත් නළල් තලයත් පිසදා ගත්තේය.

වරින් වර ජීප් රථ පිටත්වන හා පැමිණෙන හඬවල්ද පසුව කිසිවකු සිවුරුහම්බාන හඬක්ද යළි දැඩි නිහඬතාවක් ද මතු විය.ගොනාත් බල්ලාත් කරත්තයත් ඔහුට මතක් විය.ඔහු හෙමින් ඇනතියාගෙන කුඩුවේ යකඩ පොලු අල්ලාගෙන ඉස්සී කොට බිත්තිය සහ පොලිස් මේසය උඩින් පාර දෙස බැලුවේය.ගොනා ඔසවාගත් හිසින් යුතුව පළමු දුටු ඉරියව්වෙන්ම ඔහේ බලාගෙන සිටියේය.බෝන්ලී බිම තබා ඇති කරත්තයේ පිටුපස කොටස බොහෝ ඉස්සී ඇත්තාසේ ඔහුට හඟින.බෝන්ලී කැඩී ඇති දැයි ඔහු කල්පනා කළේය.පෝටිකෝවේ කණුවක් හරස්වී කරත්තය දෙකඩව පෙනීම නිසා මේ විසුළු පෙනුම දෙන්නේ යැයි ඔහු නිගමනය කළේය.මෙසේ තවත් දින කීපයක් ගියොත් බෝන්ලී වේයන් විසින් කනු ඇත.කොයි මොහොතේ හෝ තමා ප්‍රශ්න කිරීමට ගතහොත් ගොනාට බල්ලාට කෑම හා වතුර දිය යුතු බව කිව යුතුය.බල්ලා පඩංගුවේ නිදා සිටිනු ඇතැයි හේ නිගමනය කළේය.

නමුත් සවස් භාගයේ කිසිවකු ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත.වරින් වර ජීප් රථ වලින් ගෙන එන්නන් එන්ඩ එන්ඩම වැඩි විය.පැමිණ භාර වූවෝ ද වූහ.ඔහුගේ කූඩුවට තවත් දෙදෙනෙකු ඇතුළු කරන ලදී.ඔවුන් තල්ලුකර වසා දැමු රාළහාමි ඔහුගේ මූණ දෙසවත් නොබලා කූඩුව වසා ගියේය.

සවස ඔහු ගෙන ගියේ ඕ අයි සී මහතාගේ කාමරයටය.ඔහු සමග තවත් අයකු සිවිල් ඇඳුමෙන් සිටියේය.දෙදෙන ඔහු පිලිබඳ කාරණාකාරණ ඉංග්‍රීසියෙන් සාරාංශ කරගැනීමෙන් ප්‍රශ්න ඇසීම ඇරඹිණ.කරත්තකරු ගොනාටත් බල්ලාටත් කෑම වතුර දිය යුතු බව කියා සිටියේය.පොලිස් රාළහාමි කෙනෙකු කැඳවා සතුන්ට කෑම වතුර දෙන ලෙස අණ කරනු ලැබිණ.

'හරකුන්ට බල්ලන්ට කන්ඩ බොන්ඩ දෙන්ඩ වෙලා තියෙන්නෙත් අපිටනේ'ඈත්වෙමින් යන රාළහාමි කියනු ඔවුනට ඇසුනද ඒ නෑසුනාක් මෙන් සිටියෝය.

'තමා එදා රාත්‍රියේ ත්‍රස්තයන්ට කෑම උයල දුන්නද'

'මම කීප දෙනෙකුට කෑම උයල දුන්න-මම දන්නේ නෑ ඒ ත්‍රස්තයෝද නැද්ද කියල'

'ඇයි උයල දෙන්ඩ හිතුණෙ '

'මම උයන්ඩ ලෑස්ති කර කර උන්නෙ හැන්දෑවට-ඒ අයටත් කෑම ටිකක් උයල දෙන්ඩ කියල කිව්ව-මං ළඟ තිබුණ මුට්ටි හට්ටි පුංචි එව්වා-ඒ අය ලොකු මුට්ටි ගෙනාවා-මම ඉව්ව-ඔවුනුත් උදව් වුණා.'

'ඒ කවුරුත් කලින් දැනගෙන උන්නෙ නැද්ද'

'නෑ'

'දන්නෙ අඳුනන්නෙ නැති අයට කන්න උයල දීමේ සිරිතක් තියෙනවද?'

'බඩගින්නෙ ඉන්නව නම් මිනිහෙකුට නෙමේ සතෙක් සිවුපාවෙකුට උනත් කන්ඩ දෙනවා තියෙන හැටියට'

'එතන තමන්ගේ ගෙදර නෙමෙයිනෙ?'

'මට ගෙදරක් නෑ දවස් හත ගෙවෙන්නේ හත් පොලක -හවස එක පොලක බඩු බාලා -පහුවදා පොල ඉවර උනාම අහුරගෙන අනික් පොලට ගෙනියනවා'

'කෑම උයවගන්න තමාම හොයාගෙන ආවේ?'

'ඒක මම දන්නේ නෑ-මං සෙනසුරාදා ඔය ගාවට යනවා-ගොනා හොඳට නාවනවා-බල්ලත් නාවනවා-එතන හොඳ හෙවන-ගේකට වැඩිය සනීපයි-එදා තමයි මං කරත්ත රෝද වලට තෙල් දාන්නෙ-ගොනාගේ අංවල නළලෙ කොහොඹ තෙල් ගාන්නෙ-ඇටමැස්සෝ වහනවට-ඒ වෙනකොට හොඳට බඩගිනියි-තනි මිනිහෙකුට උයන එක මහා කම්මැලි වැඩක්-ඒත් කතා කර කර උයනකොට ඒකෙ ගාණක් නෑ.'

'කවුරු එක්කද කතා කරන්නේ?'

'ගොනයි බල්ලයි එක්ක'

'මොන බාසාවෙන්ද?'

'වෙලාවෙ හැටියට මගේ කටට එන ඕනෑ බාසාවකින් කතා කරනව-උන්ට අපිට වගේ බාසා ඕන නෑ-උන්ට කතා කරන විදිහෙන් තේරෙනවා-බල්ලා දන්නවා ඌට නාන්ඩ කියනකොට-ඒත් ඌ එකපාරට දුවල ගිහින් ඔයට පැනල නාන්නෙ නෑ-ඌට නාන්ඩ කිව්වම ඌ පැනල දුවන්නේ අනිත් පැත්තට-එතකොට කුණුහරපයක් කියන්ඩ ඕනෑ-වෙට්ටුවක් දෙකක් දාන්ඩ ඕනෑ-එතකොට දුවල ගිහින් ඔයට පනිනවා-ගොනා උනත් එහෙමයි.'

'ඉතිං නිකං ඉන්නකොට පොත්පත් කියෝනව ඇති නේද?'

'වැඩක් නෑ-කිසි වැඩක් නෑ-අහුලගත්තාම පත්තර කෑලි කියවනව'

'දේශපාලන ලිපි තිබුනොත්?'

'නෑ අකුරු අමතක වෙනවට'

ඔහු පෙනෙන තරම්ම මෝඩයෙක් නොවන බවත් පෙරෙට්ටුව තිබීම හොඳ බවත් ඔව්හු ඉංග්‍රීසියෙන් කතිකා කර ගත්හ.

'තමා කීයට ඉගෙනගෙන තියෙනවද?'

සීනියර් සමත් බවත් තමා කලක් අධ්‍යාපනය කළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බවත් දෙමළ කතා කළ හැකි නමුත් ලිවීමට අකුරු අමතක බවත් පරිස්සමින් තෝරා බේරා ගත් වචන පුරුද්දමින් ඔහු ඉංග්‍රීසියෙන් කීවේය.කලක් භාවිත නොවීම නිසාද බුලත් කෑමෙන් ගොරෝසුවූ කටෙහි වචන පටලැවී රෝල්වී පිටට විසිවන්නාසේ ඔහුට දැනිණ.

ඒ සමගම දැඩි නිහඬතාවක් මතුවිය.බාපත්වලට හේත්තුවූ ගමන්ම නිලධාරීන් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණුවත් නොබලා නිහඬව සිටියහ.

මඳ වේලාවකට පසුව දිග සුසුමක් ඇද පිට කළ සිවිල් ඇඳුමින් සිටි නිලධාරියා පෙරෙට්ටුව තියල ඉවරයක් කරමු නේදැයි සිංහලෙන් ඇසුවේය.

රාළහාමි කෙනෙකු විසින් තරුණයන් හත් අට දෙනෙක් පෙළ ගස්වනු ලැබුහ.ඔවුන් අතර රැවුල්කාරයෝද දැලි රැවුල පවා නැත්තෝ ද වූහ.එහෙත් කාටත් පොදු ලක්ෂණ දෙකක් විය.එකක් නම් ඇහිබැම,නාස්,තොල්කට ඉදිමී ලේ පැන විකෘති වී තිබීමය.අනික එකකුවත් ස්ථූල ශරීරයක් ඇත්තකු නොවීමය.

'එදා කෑම කෑව කට්ටියෙන් කවුරු හරි මෙතන ඉන්නවද?'

ඔහු මඳක් මුහුණු විපරම් කළේය.හිටියත් කිව යුතුද?අනික කිසිවකු දෙස උනන්දුවෙන් බැලීමේ හෝ විපරම් කිරීමේ පුරුද්දක් ඔහුට නොවීය.අගගිය මුලගිය තැන් ඇසීමේ පුරුද්දක් ද නැත.මට කවුරුත් එකයි.

'එහෙනං කවුරුත් අඳුනන්නෙ නෑ.මෙයා ගිහිල්ලා දානව.'

පොලිස් රාළහාමි ඔහු ඇදගෙන මෙන් ගොස් කුඩුව තුළට තල්ලු කළේය.කුඩුවේ මුල්ලට හේත්තුවී මූණු ඉදිමී කළුතලා වැටී සිටි දෙදෙන ගැස්සී අවදිවී නැගිටින්නට මෙන් හදා නැවතත් නින්දට වැටුණෝය.මුත්‍රා බරින්ද පපුවේ හා ඉලකටුවල වේදනාවෙන්ද කොතරම් වේදනාවට පත්වී සිටියේද කිවහොත් සිහි මුර්ඡාවී යනු ඇතැයි ඔහුට සිතිණ.රාත්‍රියේ වරින් වර ඇසුණ ශබ්දද අඳෝනාද වෙඩි හඬවල්ද නින්දට බාධාවක් විය.දවසක් දෙකක් යනවිට පිපාසය-බඩගින්න-දුගඳ-අඳෝනා-පරුෂ වචන-පුරුදු පිළිගත් දේවල් බවට පත්වෙමින් තිබුනේය.

එහෙත් තවමත් ඉසිලිය නොහැකි වූයේ දුගඳයි.මේ සියල්ල මැඩගෙන යහපත් දෙයක් සිතන්නට ඇත්නම් කොතරම් මැනවිද?

අද මා මෙහි මුත්‍රා කළත් මගේ බල්ලා මුත්‍රා කරන්නේ බොහෝ ඈතට ගොස් මා දෙස බලා වරදක් නැතැයි හැඟුණු පසුවය.මගේ ගොනා වතුරේ මුත්‍රා කරන්නේ හෝ මළපහ කරන්නේ නැත.නෑවීමට පෙර ඔහු ඒ කාරි දෙකම කරයි.පහුගිය කාලයේම මම එක හිත් දරා ජීවත් වුණෙමි.කිසිවක් ගැන ගැඹුරට කල්පනා කිරීමට හෝ පසුතැවීමට සිදුවී නැත.සතියකට වරක් පසුකරන වෙල්යායවල් පාලම් බෝක්කු මඩවගුරුවල ලගින මී හරක් රංචු වෙල්යාය උඩින් සැරිසරන කොක්කු ගිරා රංචු තේක්ක යායවල් අළු පැහැ වලාකුළු බදාගත් තිස්සව හා දෙමටව කඳු වැස්ස අව්ව මගේ විෂය ලෝකයයි.ගොනා හා බල්ලා මගේ මිතුරෝය.මා වඩාම කතාකර ඇත්තේ ගොනා සමගයි.ඔහුට මම කවි සිව්පද කියමි.

මේ සිතුවිලි මැද ඔහුට ගොනා සිහිවිය.ඔහුගේ පිත්තල අංකොපු දිලිසෙන සේ මැදිය යුතු බවත් ගෙවී ගිය ලාඩම් ගැසිය යුතු බවත් ඔහු කල්පනා කළේය.ලාඩම් ගැසීමට ගොනා පෙරළා වද දිය යුතුය.මේ යෝග දෙකින්ම මිදීමට කිසිවකුට පුළුවන්කමක් නැත.තට්ටයට ගෙවෙන තෙක් බලා සිට ලාඩම් ගැසීම හැර වෙන කළ හැකි දෙයක් නැත.

එදින දහවල් රාළහාමිකෙනෙකු පැමිණ ඔහු කුඩුවෙන් එළියට ගත්තේය.

'ඈ බං උඹේ ගම මොකක්ද?'

වරක් මගේ පදිංචිය තෝරා බේරා ගැන්මට ගොස් මගේ ඉලකටු කැඩුවේය.පදිංචිය කරත්තයේ බවත් උපන්නේ දිවුල්ලෑවේ බවත් පොතේ සටහන් වී තිබේ.දැන් පදිංචිය ගැන යලිත් අසයි.කවුරු හෝ යමක් අසන්නේ ඔහුට අවශ්‍ය පිළිතුර ලබා ගැනීමටය.ඉන් ඔබ්බට ඇති සත්‍ය ඔහුට ප්‍රිය මනාප නොවේ.

'කියපං බං උඹේ ගම'

'දිවුල්ලෑව'

'රාළහාමි මගෙ ගොනා'

'ගොනෝ උඹට හරක් බලන්ඩ වෙලාව තිබුනට අපට නෑ.උඹ අඳුනන දෙන්නෙකුගෙ නම් කියපං'

'අයියා ....මිස්ට ගුණසිංහ'

'වෙන....ග්‍රාම සේවක?'

'ග්‍රාම සේවක කවුද දන්නෙ නෑ ...පරණ රාළහාමි දන්නව.'

ජීප් රථයේ පිටුපසට ඔහු දා ගත්තේය.ඉදිරිපස වුයේ ඔහුගෙන් ප්‍රශ්න කළ නිලධාරි දෙදෙනාය.ඔහුට තනිවට රාළහාමි හොඳින් සන්නද්ධව සිටියේය.කරත්තකාරයාගේ මග පෙන්වීම උඩ රථය පැදවෙමින් ගස් කොළන් ලඳු කැලෑ කනතු පසුකරමින් තිබිණ.

ජීප් රථය අයියාගේ ගේ මිදුලේ නතර විය.අයියා ජීප් රථය දෙසට ආවේ බුලත් විටෙක ඉතිරිය සපමිනි.ඔහු කිසිම චකිතයකින් තොරව මල්ලි දෙස බලා සිටියේය.

'කවුද මේ'

'මල්ලි'

'මිනිහගෙ බඩු මුට්ටු පොත්පත් මෙහෙ තියෙනවද?'

'ඔව්'

අයියා ඔහුගේ බඩු මුට්ටු දමා තිබු තරමක විශාල ට්‍රන්ක පෙට්ටිය ඔසවා ගෙනවුත් එළියෙන් තිබ්බේය.එය ඔහු ලවාම අරවන ලදී.අරිත්ම කරත්තකරුට ඔහුගේ කුඩා කාලය සිහි විය.පාසැලේ බෝඩිමට රැගෙන ගිය පෙට්ටිය මෙයයි.එකල ඉන් නික්මුණු අලුත් ඇඳුම් පොත්පත් සබන් පුයර එකමුසුව ආ සුවඳ ඇත්දැයි ආඝ්‍රාණය කිරීමට ඔහු නාස්පුඩු අකුලා මඳක් ඒ දෙසට නැඹුරු විය.

පොත්පත් එකිනෙක පරීක්‍ෂා කරන ලදී.රතුපාට මොනිටර් පොත් මිටි කිහිපයක් ද ඉංග්‍රීසි සිංහල පොත් මිටි කිහිපයක් ද දෙමළ කවි පොත් පිංච කිහිපයක් ද උඩින්ම විය.රාළහාමි ඒවා එකිනෙක පිරික්සන ලදී.ඉන් පොත් දෙකක පසුපස කවරයේ වූ රැවුල්කාරයන් දෙදෙනෙකුගේ ඡායාරූප දුටු ඔහු ඒ දෙක වහා අත්අඩංගුවට ගත්තේය.තම කබායෙන්ම දූලි පිසදා ඉහළ නිලධාරියා අත තැබීය.ඒ ෂේක්ස්පියර්ගේ මැක්බත් සහ තාගෝර් ගේ චිත්‍රයි.

'තමුසෙ ඒ කාලේ නාට්‍යකාරයෙක් වගේ'

'ඒ ඒ කාලේ අපට නියම කරල තිබුණ පොත්'

ඊට යටින් තිබුණේ අතින් සාදන ලද විශාල ඩිමයි පොතකි.ඒ ඔහු විසින් ගණිත ගැටලු විසඳීමට පාවිච්චි කළ අත් පොතයි.එයට යටින් වුයේ 'රාජ්‍ය සේවය පිණිසයි'යන්න මුද්‍රණය කළ විශාල කවරයකි.එහි ඔහුගේ ක්‍රීඩා සහතික හා ජ්‍යෙෂ්ඨ සහතිකය විය.එය පරිස්සමින් ගත් රාළහාමි වෙදඟිල්ලෙන් එයට දෙවරක් තට්ටු කොට දුවිලි විසිවෙන්නට හැර ඕ.අයි.සී.මහතා අත තබන ලදී.එහි දුඹුරු පාට සීල් එක හැර ඉතිරිය තැනින් තැන කාවන් විද තිබිණ.

'ඒ කාලේ හැටියට මිනිහට හොඳ රස්සාවක ඉන්ඩ තිබුණා' ඕ.අයි.සී.අනෙක් නිලධාරියාට ඉංග්‍රීසියෙන් නමුත් රහසින් කියන්නාක් වැනි ස්වරයකින් කීවේය.

'ඒක තමයි සර්'

තම දෙබසට උත්තර බැඳී ගමයාගේ පිළිතුරින් නිලධාරි දෙදෙන වික්ෂිප්ත වූහ.

අව්වට වේලී කොරල ගැසී ගිය සමින් ද බුලත් කෑ රතුවී ගිය තොල්වලින් ද තෙල් ගා දිලිසෙන මඳක් තට්ටය පෑදුණු හිසින් ද යුතු ගමයා කිසිම හැඟීමකින් තොරව බලාගෙන සිටියේය.එහෙත් ඔහුගෙ දිව හකුපාඩා අතර කරකැවෙමින් අහුමුළුවල ඉතිරිව තිබු පුවක් කෑලි සොයමින් දිව ඔහුට අකීකරුව මෙන් ක්‍රියාකාරීව පැවතිණ.

'තමුසෙ මොකද කරන්නෙ'

'ගොවිතැන් කරනව'

කරත්තකරු ජීප් එකට යළි නංවා ගත්තේය.අයිය මලෝ දෙදෙන කිසි කතා බහක යෙදුණේ නැත.ඈත් වෙමින් තිබු ජීප් රථය දෙස සෑහෙන වෙලාවක් බලා සිටි අයියා 'ඌ වරදක් කරන එකෙක් නෙමේ'කියමින් ගේ දෙසට ගියේය.

පසුවදා උදේ පාන්දරින් සන්නද්ධ කණ්ඩායම් කීපයක් පිටත් විය.පෞද්ගලික වාහන කීපයක් යොදා සැකකරුවන් වෙනත් ස්ථානයකට ගෙනයන ලදී.දහවල් වනවිට තවත් කීපදෙනෙක් පැමිණ භාර වුහ.ඔවුනට පා පහර බැගින් දී ලකප් කරන ලදී.

සවස් වනතුරු කිසිවෙකුට වතුර කඳුලක්වත් ලැබුණේ නැත.පැවති පාළු නිහඬතාව බිඳී ගියේ සරම් ඇඳගත් ස්වේච්ඡා නිලධාරීන්ගේ පැමිණීමෙනි.ඔවුහු කෙටි බිත්තිය උඩ ඉඳගෙන සිගරට් උරමින්ද වහසිබස් දොඩමින් ද සිටියහ.මේ අතර පැමිණි රාළහාමි, 'මෝඩයා අද යවන්න කිව්වා-තව ටිකෙන් ඒකත් අමතක වෙනවා'යි කියමින් කූඩුවේ දොර හැරියේය.

'දැන් ඉතින් යනව යන මඟුලක'

කරත්තකරු ඉතා සෙමින් නැගිට ඇනතියා ගත්තේය.දනහිස් දෙකට අත තබා නැගී සිටි ඔහු පාර දෙස මොහොතක් බලා සිටියේය.කරත්තය තුබූ තැනම වේලෙමින් තිබිණ.

'රාළහාමි ගොනා?

තමුසෙටත් වැඩිය ගොනෙක් කොහෙන්ද ඕයි?දැන්වත් පණ බේරාගෙන යනවා-තවත් වද නොදී-තව පැයයි අඳුරු නීතියට නැත්නම් මැරුම් කන්නයි වෙන්නෙ'

ස්වේච්ඡා භටයෝ නොයෙකුත් උසුළු විසුළු කතා කියමින් ද සිගරට් උරමින් ද සිටියහ.ඔහුට ඒ කිසිවක අගක් මුලක් තේරුණේ හෝ ගණන් ගත්තේ හෝ නැත.ඔහු සිතුවේ ගොනා ගැනය.ගොනා පොලීසිය පිටුපස තණ කමින් තමා එන තුරු වරින් වර හිස ඔසවා බලා සිටිනු ඇතැයි යන සිතුවිල්ල ඔහුට ඇති විය.ඒ සමගම ගොනා මේ දින කීපයට ඇදී ගොස් සිටිනු ඇතැයි යන කණගාටුවක්ද-නමුත් අද යළි ප්‍රකෘති ලෝකයට ඇතුළු වන්නේය යන්න සිහිවී සියලු වේදනා මැඩගත් ඉහවහා ගිය ප්‍රීතියක්ද ඔහු සිත තුළ උපන්නේය.

'තමුසෙ යනව ද නැත්නම් ආයෙ කුඩුවට යනව ද?'

'මට යන්ඩ ගොනා ඕනෑ'

'ඇයි තමුසෙ වගේ ගොනෙකුට ඔය කරත්තෙ අදින්ඩ බැරි ද?'

'මං කියන්නේ මට මගෙ ගොනා ඕනෑ කියන එකයි'

'තමුසෙ ගොනා හොයනවා-මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගොනාට මොනව වෙයිද ඕයි'

ස්වේච්ඡා සේවකයෝ අත්පුඩි තලමින් සිනාසෙන්නට වුහ.ඔහුට ඒ කිසිවක් ඇසෙන බවක් හෝ දැනෙන බවක් හෝ පෙනෙන්නට නොතිබිණ.ඉදිමී කළුවී තිබුණ මුහුණෙහි දෑස් තවත් කුඩාවී ඇත්තා සේ විය.දිග අඩි තබමින් සතකු වට කරන්නාක් මෙන් ඔහු රාළහාමි දෙසට ලඟා වන්නට විය.රාළහාමි ඔහු දෙසම බලාගෙන පිටුපසින් පිටුපසට යමින් මේසය උඩ තිබු මැෂින් තුවක්කුව දෙසට පසුබසින්නට විය.කරත්තකරුගේ දකුණත ඉර්ධියකින් මෙන් දික්වී රාළහාමි ඇදගත්තා සේ විය.වැලමිටෙන් අල්ලා කරකවා විසිකරන ලද රාළහාමි විසිවී ගොස් කෙටි බිත්තිය පාමුල වැටී එයට හේත්තු වී සිටියේය.කෙටි මැෂින් තුවක්කුව කරත්තකරුගේ අතට හුරු නැතත් එහි හුරුබුහුටිකම ඔහු ප්‍රිය කළේය.තමා කැඩෙට් භටයකුව සිටියදී පස් කන්දේ සවි කළ ලාංඡනයට හැර කිසිම සතකුට තුවක්කුවක් එල්ලකර නැති බව ඔහුට සිහි විය.


Wednesday, June 11, 2014

136.ආදිබාස්ගෙ කරත්ත මඩුව ගුණපාලගෙ කල්කිරියාව සහ ආරියගෙ අවකල්කිරියාව.




ආදිබාස්,ගමේ ඔක්කොම කිව්වෙ එහෙමයි ඒ හින්ද අපිත් ආදිබාස් කියලම කිව්වා නම ආදිරිස් කියල දැනගත්තෙ පස්සෙයි,ආදිබාස් කෙරුවෙ කරත්ත රස්සාව ඒ කිව්වේ කරත්ත දක්කන එක නෙවෙයි මිනිහ ගේ අයිනෙ මඩුවක් දාගෙන කරත්ත රෙපෙයාර් කෙරුවා.අපි ඉස්කෝලෙ යද්දිං සමහර දවස්වලට ආදිබාස් කලුවට කලුවෙ උඩට කමිසෙකුත් නැතුව සරම කැහැපොට ගහගෙන කරත්ත රෝදයක් කරකවගෙන ඒ පස්සෙන් දුවගෙන වගේ එනව හම්බවෙනවා, හරියට අපි ටයර් පැද්දා වගේ ඇයි ඉස්සර අපි කොල්ලො ඔක්කොටොම පරණ ටයර් තිබුනනෙ පරණ කාර් ටයර් එකක් හොයාගන්න බැරි එකා පරණ මෝට සයිකල් ටයර් එකක්වත් හොයාගන්නව,ටයර් එකත් රෝල් කරගෙන කටිං සද්දෙත් දාගෙන අපි පාරෙ දුවන්නෙ ආඩම්බරෙන් පපුව පුම්බගෙනයි...

ආදිබාසුත් ඒ වගේ සෙල්ලමට කරත්ත රෝද තල්ලු කරනව කියල අපි හිතුවට එයා බඩ වියත රැකගන්න කැඩිච්ච කරත්ත රෝද හදන්න ගේනව හරි හදල ගෙනියනව හරි කියල අපි තේරුම් ගත්තෙ ගොඩක් කල් පහුවුනාට පස්සෙයි.ඔය කරත්ත රෙපෙයාර් වැඩේට ගොඩක් වෙලාවට ගන්නෙ දොඹ ලීය හැබැයි සූරිය ලීය තියනවනං නොම්බර එකයි ඒ වුනාට සුරිය දොඹ වගේ සුලබ නෑ, ආදිබාස් උන්දැට නං දොඹගස් පෙන්නන්න බෑ දොඹ ගහක් කොහෙහරි දැක්කොත් මොන ජාතියක් දාල හරි ඒ ගහට වැඩේ දෙනව හරියට ජේමිස් කාරයට වස්සො පෙන්නන්න බෑ වගේ තමා,ජේමිසුත් එහෙමනෙ මිනිහ කරන්නෙ කරත්ත දක්කන එක, කොහෙ හරි ගෙදරක නහ විදපු අවුරුදු දෙකතුනක වස්සෙක් ඉන්නව දැක්කොත් ජේමිසාව එතනින් හොල්ලනව බොරු. මොන ආකාරයෙන් හරි බඩගාල බඩගාල වස්සව අරගෙන මිසක පස්ස බලන්නෙ නෑ,අරං ගිහිං වස්සව කරත්තෙට කර හුරුකරල කාට හරි විකුණනවා වස්සට ඔපර් එක එන්නෙ කොතනදිද එතනදීම හරක ලෙහෙල දීල කරත්තෙත් ඇදගෙන ගෙදර එනව,වතාවක් නිට්ටඹුවෙදී වස්සව විකුණල කරත්තෙත් ඇදගෙන ගෙදර ඇවිත් තිබ්බා,හැබැයි හරක අකීකරු නං කියනදේ අහන්නෙ නැත්නං ආයෙ කිසිම සමාවක් නෑ කෙලින්ම වස්සව මස්කඩේ ලෙස්ලිට විකුණල දානවා...

ඔයවගේ කරත්තෙ බැඳපු හරකව වික්ක සන්දියක මිනිහට සෑහෙන දවසක් යනතුරු වෙන වස්සෙක් හොයාගන්න බැරිවෙලා,සැන්ටිං මුදලාලිගෙ කඩේට වෙලා කම්මුලට අතත් තියාගෙන ලෝකෙම එපාවෙලා වගේ බලං ඉන්නවලු...

මොකද ඕයි සසර කළකිරිල වගේ විරෝපට්ටං ගහගෙන ඉන්නෙ...

කඩේට ආපු ආරියදාස ඇහුවා...

බලනවකො ඕයි මට ගොනෙක් නැතුව ඉන්නම බැරි හැටි...

මේ දෙබස පස්සෙ කාලෙක කඩේ ළඟ තුඩ තුඩ කියැවෙන රස කතාවක් බවට පත්වුනා,ඉතිං ආයෙම ආදිබාස්ගෙ දොඹගස් පිස්සුව ගැන කතාවට ආවොත් ඔය කාලෙම අපේ ගල්ලිඳ ගාව ඇළ අයිනෙ වෙලට නැමුන දොඹගස් දෙකතුනක් තිබුණා,ආදිබාස් මේ ගස්ටිකට පෙරේතකමෙන් හිටියට අපේ තාත්ත ආදිබාස්ට ගස් වික්කෙ නෑ එහෙම කියල ආදිබාස් ගස්වලට තිබුන කෑදරකම අත ඇරියෙත් නෑ,අපි ඔය ගස්දිගේ බඩගාල වෙළට නැමිච්ච අතු දිගේ ගිහිං වතුර පිරිච්ච වෙළට පනින සෙල්ලමක් කරමින් හිටපු දවසක ආදිබාස් නියර දිගේ අපි දිහා බල බල යනව දැක්කා හැන්දෑවෙ මිනිහ අපේ ගෙදර ආව...

ඕං රාළහාමි මං නොකිව්වයි කියන්න එපා ඔය දොඹගස් ටික හින්ද මේ ළමයි ලොකු කරදරයක් කරගන්නව...

ඒ මොකක්ද බං...

නෑ රාළහාමි මේ ළමයි කොයි වෙලාවෙත් ඔය ගස් උඩට නැගල වඳුරො වගේ වෙළට පයිනවා හොඳයි ඔය වෙලාවක අතක් පයක් එහෙමෙහෙ උනොත් එහෙම කාට කියන්ඩද...

ඒක තමයි බං මං ඉන්නෙ ඔය ගස්වල අතු ටික කාට හරි කියල පාහල දාන්න...

පිස්සුද රාළහාමි ඔන්න ඔය ගස් දෙක තුන  මුලිම්ම කපල දාන්න,මටත් ඕනෑනං කරල දාන්න බැරුවයැ...

ඔන්න ඔය වගේ සුකුරුත්තං කරලත් ආදිබාස්ට ගස්ටික ගන්න හම්බවුනේ නෑ,ඒ දවස්වලම කන්දෙහේනෙ රාළහාමිගේ කරත්තෙ රෙපෙයාර් එක කරන්න කොන්ත්‍රාත් එක ආදිබාස්ට ලැබුණා රෝදවල ගරාදි කැඩිලා බෝස් ගෙඩිය පුපුරල තිබ්බ කරත්තෙ ආදිබාස් මඩුවට අරං ආවා,වැඩේ ලස්සනට කරල දෙන්න ඕනෑ හින්ද ගිහිං බෝගහවත්තෙ ලී මඩුවෙන් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව සූරිය ලීත් අරං ඇවිත් වැඩේ බොහොම ඕනැකමින් කළා වැඩේ යද්දිං රාළහාමි දවසක් කරත්ත මඩුවට ආවා...

කොහොමද බාස් උන්නැහේ වැඩේ යනවද...

එහෙනං රාළහාමි,ඕං කාටවත් වචනයක් කියන්ඩ බැරිවෙන්ඩ වැඩේ කරල ඇති මේ ආදිරිස් බාස් එහෙමයි. මේං බලන්ඩකො සූරියත් බෝස් ගරාදිත් බෝස්...

තියන උනන්දුවට ආදිබාස්ට වචන එහෙම්පිටින්ම පැටළුනා මිනිහට කියන්න ඕනැවෙලා තිබ්බෙ බෝස් ගෙඩියත් සූරිය ගරාදිත් සූරිය කියලයි,ඔය කතාවත් අදවෙනතුරුත් අපේ ගමේ කියවෙනවා,ආයෙම දවසක් ආදිබාස් ගේ ඉස්සරහ ගහෙන් කොස් ගෙඩියක් කඩන්න කෙක්කක් මානගෙන ඉන්නකොට අබේ කඩේ ගිහිං එනිං ගමන ඔතනින් යනවලු...

ඈ මාමෙ  ඔය කොස් ගෙඩිය ඇඟට වැටෙන්නෙ නැද්ද...

කොල්ලෝ තොපි අද ඊයෙ එවුං අපි එහෙමද, ආදිකාලෙ ඉඳල අපට මේ වැඩ කරල හොඳට පුරුදුයි බං...

කියල කෙක්කෙන් දමල ඇද්ද පාර පත කොස් ගෙඩිය දඩෝං ගාල ආදිබාස්ගේ ඇඟට වැටුන,එතනම බිම දෙරිගහපු ආදිබාස් සිහිනැතිවෙන්න කලින් කියල තියෙන වචනෙත් ගමේ තාම කියවෙනවා...

කරුණාවතියේ කොස්...

කරුණාවතී කිව්වෙ ආදිබාස්ගේ ලොකු දුව පොඩිදුව සිරියාවතී  ඔන්න ඔය ගිරුවාපත්තුව පැත්තෙ ඉඳන් රෙදිමෝලෙ රස්සාවට ආපු ගුණපාල සිරියාවතීව සහේට ගත්තා, ආ ඊට කලින් වෙච්ච වැඩක් කියන්න අමතක වුනා රෙදිමෝලෙ වැඩට ආපු ගුණපාල රත්තරංගෙ ගෙදර ඉස්තෝප්පු කාමරේ බෝඩින් වුනා,ඔය කාලෙ අපේ ගමේ හරියට පොල් රා තිබුණා පොල්වත්තෙ උක්කුවා සැන්ටිං මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ අතුරක් ඇදල මල් කැපුවා.උදේට හවසට ඌ රා කළගෙඩි තුන හතරක් විකුණ ගන්නවා.ගුණපාල නිවාඩු දවස්වල උදේට රා බෝතල් තුන හතරක් කාමරේට ගෙනත් තියාගෙන බොනවා,සමහර වෙලාවට අපිටත් අඬගහනව,ගිහිං බීල ආවට අපටත් එච්චර බොන්න බෑ  බඩ පිරෙනවා.ඔය කාලෙ දවසක්  මහින්දගෙ අත් ඔරලෝසුවකට තුන්ඩු ඇද්දා තුන්ඩු ඇදිල්ලෙන් පස්සෙ ලැබුණු ලාබෙන් අපි කට්ටිය රා කළයක් ගෙනත් හොඳට බිව්වා.පුරුදු නැති නිසා  ඔලුව කැරකෙන්න ගත්ත,මට එතන ඉන්න බෑ මම කෙළින්ම ගෙදර ආවා.ඇඳට ගිහිං හොඳ ළමය වගේ නිදාගෙන ඉන්න බැලුවා,මොන පිස්සුද ඔලුව පාත්කලා විතරයි බඩ කැලත්තිලා ඕක් ගාල බීපුව ඔක්කොම එළියෙ.ඊට පස්සෙ ඇතිවෙච්ච තත්වය ඉතාම සෝචනීයයි මහත්වරුනි.කියන්න අවශ්‍ය නෑ.

එහෙමයි කියල මට්ටු වුනේ නං නෑ,කොහොමින් කොහොමින් හරි ඉතාම කෙටි කලකින් හොඳ රා ගුඩ්ඩෙක් බවට පත්වුනා.අපි කට්ටිය කොච්චර හොඳ රා බොන්නන් බවට පත්වුනාද කිව්වොත් පස්සෙ කාලෙක නිළමෙගෙ රා පොලට අපි කොල්ලො ටික රා බොන්න යද්දී එතන රා බොමින් ඉන්න අප්පුහාමිල ටික ඉක් ඉක්මනට රා කටු දෙක තුන ළඟ නමාගන්නෙ අපි කට්ටිය එතන රා කළ ටික ඔක්කොම හිස් කරන බව සහසුද්දෙන්ම දන්න නිසයි.ඉතිං ඔය ආකාරයට ගුණපාලගෙනුත් හැකි හැම අවස්ථාවෙම රා බොනකොට ගුණපාල අබේට යෝජනාවක් කරල තිබුණා,ඒ මොකද්ද කිව්වොත් සමරිසි කර්තව්‍යයකට ආරාධනාවකුයි.අබේ ගුණපාලට මොකුත්ම නොකියා ඇවිත් කතාව අපිත් එක්ක කිව්වා,ගුණපාලව මෝරා කරගෙන රා බොන්න පෑදුනු හොඳම අවස්ථාවක් නිසා අබේ අපි කියපු විදියට කටයුතු කරමින් ගුණපාලට බලාපොරොත්තු තබා ගත හැකි ආකාරයට හැසිරුනා.

ඔන්න ඔය කාලෙම අපේ ගමේ ටීටර් එකක් නිෂ්පාදනය වෙමින් පැවතුනා ගමේ ඉපදිලා නාට්‍ය කලාවේ තරමක දුරක් ගිහිං ඒ වෙනකොට වෙන ගමක පදිංචි වෙලා හිටපු කලාකාරයෙක් ඔහු කලින් කරපු  නාට්‍යයක් ගමේ නළු නිළියො යොදවාගෙන නැවත නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා,හැමදාම රාත්‍රියට රොබට්ලගෙ පාලු ගෙයි පුහුණුවීම් කෙරුනා එක්කො චන්දරේලගෙ ගෙදර.රඟපාන්න වත් වෙන මොකුත් කරන්නවත් ලැබුනෙ නැතත් අපිත් නොවරදවාම රෑට පුහුණුවීම් වලට ගියා,ඔන්න ඔහොම දවසක රාත්තිරියෙ එක පාරටම දොරළඟ පෙනී හිටපු ගුණපාල අබේට යන්න කතාකළා,අබේ අපටත් සංඥාවක් කරල ගුණපාලත් එක්ක ගියා දෙන්නට යන්න ඇරපු අපි අඳුරට මුවාවෙලා උංගෙ පස්සෙන් පාරෙ යන්න වැටුණා.

දැන් දෙන්න යනව යනවා අබේ ගුණපාලව ගම හැම තැනම ගෙනියනවා නාරංවත්තෙ පිට්ටනියටත් ගෙනිච්චා,අපිත් හොරෙන් හොරෙන් පස්සෙන් යනවා අන්තිමට දෙන්න ප්‍රජාමණ්ඩලේ මඩුවට රිංග ගත්තා.වතුර පාරක් ගහන්න අබ්දුල්ලා ගිහිං ඇල්බීනු මුදලාලිගෙ ලිඳෙන් වතුර බාල්දියකුත් ඇදගෙන ආවා.අබේට වදින්නෙ නැතිවෙන්න ගහන්නත් ඕනෑ,දෙන්න එක්ක ඇතුලට ගියාම අබේ ෂේප් එකේ එළියට එන්නත් ඊට පස්සෙ වතුර පාර ගහන්නත් අපි සෙට් වෙලා හිටියෙ.ඒ උනාට වැඩේ ගැස්සුනා,අබ්දුල්ලා ප්‍රජාමණ්ඩලේ ජනේලෙ ලඟින් මාරුවෙනව ගුණපාල දැක්කා...

අන්... අන්න කවුද එනවා...

කියපු ගමන් එළියට පැනපු ගුණපාල කඟවේනා වගේ දුවන්න ගත්තා, අබ්දුල්ලා පිටිපස්සෙ ඉඳන් ගහපු වතුර පාර දුවන ගුණපාලයට හරියට වැදුනෙ නෑ,මේ වැඩේ අපිට නං හරි ජොලි අපි හු කිය කිය හිනාවුනා වැඩේ ඔය විදියට අවසාන වුණායින් පස්සෙ අපි කට්ටිය මුදලාලිගෙ කඩේ එළියෙ  ඉඳගෙන කතා කර කර ඉද්දි ගුණපාල සරමයි කමිසෙයි මාරුකරගෙන කඩේට ආවා.

හුහ් මම නං අහුවෙයි ඔව්වට මම ගඟෙන් එහා පැත්තෙ එකෙක් හරිද...

නූලෙන් බේරිලා ගිය එකා ඇවිත් පාරම් බාන්න ගත්තා,ගුණපාලයගෙ පස්සෙන් එළවපු කණ්ඩායමේ ගඟෙන් එහා පැත්තෙ නුනට ගඟ ලඟම කෙනෙකුත් හිටියා,ඒ ඩෙනිස් ඩෙනිස්ල කළුවාමෝදර. ගඟ ළඟමයි හැබැයි ගඟෙන් මෙහා පැත්තෙ,දකුණෙ නොවෙයි බස්නාහිර පළාතෙ,කතාබහ ගති සිරිත් ඔක්කොම දකුණෙ හැබැයි ඉන්නෙ බස්නාහිර පළාතෙ ඒකත් මරු වැඩේ නේද.අපි කොල්ලො කට්ටියත් එක්ක එකට සැට්වෙල හිටපු එකම වැඩිහිටියා වුනේ ඩෙනිස් ඔහු අපි කරපු හොඳ වැඩ බලු වැඩ හැම දේටම වෙනසක් නැතිව සමෝසමේ සම්මාදම්වුණේ වැඩිහිටිකමත් අමතක කරමිනුයි.

ඩෙනිස් හොඳ මළල ක්‍රීඩකයා රෙදිමෝලෙ අවුරුදු උත්සවේ මැරතන් එක ඩෙනිස් ඉන්නකං හැම අවුරුද්දෙම දිනුවා.ඔහුගෙ සමකාලීනයො වුනේ එස් එල් බී රෝසා මේජර් විමලදාස වගේ දුර දුවපු ක්‍රීඩකයනුයි.ඩෙනිස් කොහොමහරි නිකං රස්තියාදු ගහමින් හිටපු අපිවත් ක්‍රීඩාවට සම්බන්ධ කරගත්තා හැමදාම හවසට නාරංවත්තෙ පිට්ටනියට අපි කට්ටියව එක්කං ගිහිං එක්සයිස් කරන්න පටන්ගත්ත, ඔහොම ටික දවසකින් අපි සමගි ක්‍රීඩා සමාජය ආරම්භ කළා.ඊට පස්සෙ ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශ මට්ටමේ තරඟවලට ගියා,ඒ කාලෙ කිව්වෙ ඩී ආර් ඕ මීට් කියලයි.මළල ක්‍රීඩා තරඟ බලන්න අපිත් එක්ක කොළඹ ගියා.ඔය ආකාරයට ඩෙනිස්ගෙන් ක්‍රීඩාව ඉගෙන ගනිපු පොඩි උන් අද හොඳ ක්‍රීඩා උපදේශකයන් වෙලා ඉන්නෙ ඩෙනිස්ට පිං සිද්දවෙන්නයි.ක්‍රීඩාව කරද්දි මත්පැන් බොන්න දුම් බොන්න හොඳ නෑ කියල ඔක්කොලම ඒ වැරදි පුරුදු අත ඇරල දැම්මා,නොමඟ යමින් හිටපු කොල්ලො රැළක් හරිමගට අරගෙන ගමට රටට වැඩක් ඇති මනුස්සයො කරන්න ඩෙනිස් කලේ කවදාවත් දෙමව්පියන්ට කරන්න බැරි රාජකාරියකුයි.

හැබැයි බීපු වෙලාවට නං ඩෙනිස් වනේ,නිකං වනේ නෙවෙයි සාලවනේ.කියවන්න ගත්තම ඉවරයක් නෑ ඒ කියන්නෙත් දුවපු හැටියි රෙකෝඩ් තියපු හැටියි අර අහිංසක මනුස්සය පොඩි මහින්දලගෙ තාත්තත් එක්කයි,ඇයි ඩෙනිස් නැවතිල හිටියෙ පොඩි මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේනෙ,ඉතිං රෑට කන්න කියන්න ආපුවම පොඩි මහින්දලගෙ තාත්ත කෝච්චියට අහුවෙනව,ඒ මනුස්සය රැකෝඩ් කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද දන්නෙ නැති මිනිහ, ඉතිං පැය ගණන් කට ඇරගෙන අහගෙන ඉන්නව.මොකෝ අහරෙමයි මෙහෙමයි කියන්නයැ අපි කට්ටිය හිටියොත් නං ඉතිං ඩෙනිස්ගෙ වෙරි බහිනකල් බජව්වක් දානව ඩෙනිස් ඔහුගෙ ප්‍රියතම සිංදුවක් වෙච්ච මාතලන් චිත්‍රපටයේ උපතලබා සිංදුව කියන්න ගන්නව,කියන්නෙත් උච්චස්වරයෙන් අහළ පහළ හැමතැනටම ඇහෙන්න.සේන ඔලුව පාත් කරගෙන ඩෝලෙ ගහනව හැබැයි කවුරු හරි සිංදුව වැරැද්දුවොත් ඌ ඉවරයි.

ඔය වගේ කෙනෙක් බොහොම ප්‍රියකරන සිංදු තියෙනව,ඔන්න ආරි ඉන්නවනෙ උගෙ කැමතිම ගීතය  "පොඩි කාලෙ ඉඳ" මරල බිම දාල  හිටියත් ඔය සිංදුව ඇහුනොත් ආරියා නැගිටිනවා. දවසක්දා අපේ ගෙදර පොඩි පැදුරක් එලුවා,අපේ පුතාගෙ උපන්දිනයක් දවසකද කොහෙද සංගීත කණ්ඩායමත් මගේ යාළුවො කීපදෙනෙක් උන්ට අපේ ගෙදර එන එක ලේසියි,වෙන තැන්වලට වගේ භාණ්ඩ උස්සං යන්න ඕනැ නෑ කෙළින්ම ඇවිත් මගෙ සර්පිනාවයි තබ්ලා කුට්ටමයි සෙල්ලං කරන එකනෙ.එදා උදේ ඉඳන්ම ආරි අපේ ගෙදර වැඩට ත්‍රී වීල් එකෙන් එහෙ මෙහෙ දිව්වා උදේ බඩු ගේන්න ටවුමට ගියා අරක්කු ගේන්න බාර් එකට ගියා,තව තව වැඩවලට දිව්වා හැන්දෑවෙ කේක් එක ගේන්න ගියා පාටිය පටන් ගද්දි මූ හොඳ ඇඳුමකුත් ඇඳගෙන අපේ ගෙදර ආවා.

දෙක තුන වදිනකොට ආරි සිංදු කියන්න ගත්තා පැදුරෙ හොඳ හරිය වෙද්දී ආරිට හොඳටම වැඩිවෙලා පැදුරෙම බුදි,අපි ඒ ගමන පොඩි කාලේ ඉඳ කිව්වා සිංදුව යද්දී මැරුණ වගේ වැටිල හිටපු එකා නැගිටල නටන්න ගත්තනෙ.එදා ගත්ත පින්තූරවල ආරිය හිටපු ටික ඔක්කොම ආරි මළාට පස්සෙ මම උන්ගෙ ගෙදරට දුන්නා දැන්නං අපරාදෙ කියල හිතෙනව පින්තුර ටික විනාස කරලද දන්නෙ නෑ,මැරෙද්දිත් ගෙදර අය ආරිය එක්ක තරහෙන් හිටියෙ උගෙ අවකල්කිරියාව හින්ද ගෙදර කසිප්පු විකුණනවයි බීල රණ්ඩු වෙනවයි ළමයි ලොකුනෙ උන්ට ලැජ්ජයි,ඒ කාලෙ ලොකු කොල්ල පොලිසියට කෝල් දෙනව අරක්කු විකුණනවය අල්ලං යන්න කියල.

මේ මෑතකදි මම ලංකාවට ගියපු වෙලාවක ආරිගෙ පිංකමක් ගෙදර තිබිල මාත් සහභාගී වුණා,එදා දවල්ට අපි කට්ටිය එකතුවෙලා කෑම කද්දි මම ආරිගෙ ලොකු පුතාගෙන් ප්‍රශ්නයක් ඇහුවා,දැන් මිනිහ බැඳල දරුවෙකුත් ඉන්නව...

මොකද හිතන්නෙ දැන් තාත්ත හිටියනං හොඳයි කියල හිතෙනවද..

අවුරුදු දහයකට පස්සෙ තාත්ත වෙනුවෙන් පුතාගෙ ඇහේ කඳුළක් දිළිසෙන්නට ගත්තා.

කොච්චර මොනව කළත් හිටියනං හොඳයි කියල දැන් හිතෙනව මාමෙ...

පියෙකුගෙ අගය තේරෙන්න පියෙක් වෙන්නම ඕනෑ, ඔය ළමය ලැබෙන්න හිටියෙ අපි සිරීපාදෙ ගහන කාලෙ, දරුව හම්බවෙන්න අම්මව ඉස්පිරිතාලෙට ඇතුල් කලාට දරුව ලැබෙන්න දවස් දෙකක් තුනක් ප්‍රමාදවුනා.ආරි ඒ දවස්වල හැමදාම උදේ හවස ඉස්පිරිතාලෙට යනවා,රෑට ඇවිත් ෂොට් එකක් දාගන්න ගමන් අපිත් එක්ක දුක කියනව...

තාම ළමය හම්බවුනේ නෑනෙ බං...

අපිත් ඉතිං ආරියට විහිලු කරනවා දැන් නං පව් කියල හිතෙනව,ඔය ටික මම ආරිගෙ ලොකු පුතාට කියල දුන්නා දරුවන්ට පියෙකුගෙ අගයක් නැතිවුනාට පියෙක් දරුවන් වෙනුවෙන් කොච්චර දුක් විඳිනවද,එහෙම තමා ළමයින්ට තාත්තගෙ අගේ ඉස්සරහට වැඩි වැඩියෙන් දැනේවි. ජීවත්වෙලා ඉන්නතුරු මොන නස්කූනි වැඩ කළත් මට නං ආරිය හරිම සුන්දර මනුස්සයෙක්,ආරියගෙ වැඩ නිසා මම ඇතිපදං විනෝද වෙලා තියෙනව මිසක කවදාවත් මම ආරිව හෙළා තලා කතාකරල නෑ.

මම පහුගිය දවස්වල ගෙදර ගිහිං ඉද්දි අපි කට්ටිය රාත්තිරියෙ ලොකු මල්ලිලයි කොට්ටං ගහ යට කතා කරමින් ඉන්නකොට සුපුරුදු විදියට ආරි ගැනත් කතාව ඇදුනා,කතාව කිව්වේ වෙනුජ ආරි බැඳල හිටියෙ වෙනුජගේ ලොකු නැන්දගෙ දුව හින්ද වෙනුජ ආරිට කිව්වේ ආරි අයිය කියලයි.

දවසක්දා අවුරුදු උත්සවයක් ඉවරවෙලා අපි ගෙදර එන්න එනකොට ආරි අයිය හොඳටම බීල ඉස්සරහට එනවා...

මල්ලියෙ මට ඕනැනං අර හරකගෙ අං දෙකෙන් අල්ලල අඹරෝල පස්ස බිම අනින්න පුළුවනි කරල පෙන්නන්නද...

මාත් හා කිව්වෙ මේ යකා හරකව අල්ලගනී කියල හිතල නෙවෙයි,ඒ වුනාට පොර හරක ලඟට ගිහිං අං දෙකෙන් ඇල්ලුවා...

ශ්....ෂ්ෂ්ෂ්....ගාල මගෙ ලඟින් ආරි අයිය උඩ යනව විතරයි මං දැක්කෙ,දුවල ගිහිං බලපුවම ඔලුව පැලිල ලේ ගලනවා ඉක්මනට හුදකලාටත් කතාකරල කාරෙකේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා.දැන් ඇක්සිඩන්ට් වෝඩ් එකට දාල ඩොක්ට කෙනෙක් ආරි අයියට මැහුම් දානවා.මැහුම් දාන්නෙ මෙහෙම කිය කියා...

ඔයාල විතරයි අපි ගැන හිතන්නෙ,මේ නිවාඩු දවසෙ අපට ඕවටයිම් එකක් වත් කරගන්න ලැබෙන්නෙ ඔයාල මෙහෙම කරගන්න හින්දනෙ,ඒකම කොච්චර දෙයක්ද. නැද්ද මං අහන්නෙ...

මට හිනාව නවත්තගන්න බෑ,බොහොම අමාරුවෙන් හිනාව තදකරගෙන මැහුම් දානකන් හිටියා,මහල ඉවර වෙනකල්ම ඩොක්ට ඔය වගේ කතා කිව්වා...

ආරි දවසක්දා මට ඩිනර් එකක් දුන්න කතාවකුත් තියෙනව ඒකත් මරු කතාව හිනාවෙලා ඉළ ඇදෙනවා,දැන්නං කියන්න බැරිවෙයි මේක දැනටත් දිග වැඩියිනෙ.ආයෙම දවසක කියන්නං.

Sunday, June 8, 2014

135.වෝටර්ලූ සිහිවටනය.




අමතකවීම කියන රෝගය හරිම තදයි,මේ අනික් පැත්ත හැරෙනකොට හිතාගෙන හිටපුදේ අමතක වෙනව.ලඟපාත තියෙන දේ, ඉන්න අයව අමතක වෙනකොට මැමරි චිප් එකේ අප්සැට් එකක්ද කියලත් හිතුනට අතීතයෙ දේවල් බොහොම හොඳට හිතේ තියෙන නිසා එහෙමයි කියන්නත් බෑ.මොකද මේ කතාව මම බොහොම කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටියා,ඒ කියන්නෙ බ්ලොග් ලියන්න ගත්ත මුල් කාලෙ විතර ඉඳල නමුත් වැඩේ දිගින් දිගටම කල්ගියා,ඉතිං මතක්වුන වෙලාවෙ ටක් ටක් ගාල ලියන්න හිතුවා,අනික් කාරණේ මම හැමදාම පරණ ගම්මැදි හෑලියි කාටවත් සතපහකට වැඩක් නැති කුණුහරුපයි පොළොව පැලෙන බොරුයි ලිය ලියා ඉන්නව කියල කණින් කොණින් කතාවකුත් ඇහෙන නිසා කාටත් පාහේ යමක් දැනකියා ගන්න අධ්‍යාපනික වටිනාකමකුත් ඇති ඉස්කෝලෙ යන ළමෙකුට රචනයක් ලියන්නවත් දෙයක් ලියන්නට අද කල්පනා කළා.කතාව මෙහෙමයි.

වෝටර්ලූ කියන නම අපි කවුරුත් අහල තියෙනවනෙ,ඒ කියන්නෙ නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ ස්ථානය යමෙකුගෙ විනාශයකටත් ඔය වචනය පාවිච්චි කරනව, ඔහුගේ වෝටර්ලුව එහෙම නැත්නම් එතැන ඔහුට වෝටර්ලුවක් විය, ආදී වශයෙන් වචනය යොදන තැන් මා දැක තිබෙනවා.නමුත් නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ අවසාන සටන සිදුවූ වෝටර්ලු කියන ස්ථානය පිහිටා තිබෙන්නේ බෙල්ජියමෙයි.හරියටම තැන කිව්වොත් බ්‍රසල්ස් සිට කිලෝමීටර් දහඅටක් දුරින් තිබෙන වලුන් පළාතෙයි.මුළු බෙල්ජියමටම තිබෙන එකම බෞද්ධ සිද්ධස්ථානය වන තායි පන්සලත් පිහිටා තියෙන්නෙ වෝටර්ලු වල නිසා අපට නිතරම පාහේ වෝටර්ලු යන්න සිද්ද වුනා.ආ තව දෙයක් මතක් වුණා වෝටර්ලු කියල කෝච්චි ස්ටේෂන් එකක් ලංඩන් වලත් තිබෙනවා,ඒ කියන්නෙ යුරෝපෙ ඉඳල යන කෝච්චි නවත්වන ලංඩන්වල ප්‍රධාන දුම්රිය ස්ථානය,නමුත් ඒ ස්ටේෂන් එකක් පමණයි වරද්දගන්න එපා.

අපිනං ඒ කාලෙ බැස්කියුල් හංදියෙන් බස් එකකට නැගල වෝටර්ලු ගියා,ග්‍රීෂ්ම සෘතුවෙ හොඳට ඉර පායා හිනැහෙන දවසක බස් එකේ ඔය දුර යන එක හරිම සුන්දර අත්දැකීමක්,පාර දෙපැත්තෙ කහපාටට වල් සූරියකාන්ත මල්, කැලෑ රෝස මල්,තව නම කියන්නෙ දන්නෙ නැති ලස්සනම ලස්සන දම්පාට මල් ජාතියක් ඔය ඔක්කොම මල් හුළඟට නැලවෙද්දී ඒ මැදින් යනකොට සුන්දරත්වය මිසක මොනම කල්පනාවක්වත් හිතට එන්නෙ නෑ.මුල කාලෙ වෝටර්ලු ගියාට ඔය නිශ්චිත ස්ථානය තියෙන තැන අපි දැනගෙන හිටියෙ නෑ ඉතිං අපි බස් එකේ රියදුරු තුමාගෙ පිහිට පැතුවම  අපි කියනදේ හරියට තේරෙන්නෙ නැති නිසා මුලදී ඔහුටත් ටිකක් කොයිල් වුනා,අපි ඇහුවෙ නැපෝලියන් මියුසියම් කියලයි.ඒ කාලෙ අපි කාටවත් ප්‍රංශ භාෂාවෙ පටුත්වයක් තිබුනෙ නෑ රියදුරු තුමාට ඉංග්‍රීසි බෑ.ඉතිං අපි අහද්දී ගොඩක් කල්පනා කරල එහෙම "ආ මුසී මුසී" කියල හිනාවෙලා අපි අහන්නෙ මේකයි කියල තේරුම් ගත්ත ඒ කරුණාවන්ත රියදුරු තුමා එතනට හැරෙන තැන බස් එක නවත්තල එයත් බස් එකෙන් බැහැල මේ පාරෙන් ගිහිං යන්න කියල අපට පෙන්නල දුන්නා.

ඒ මුල්ම දවස ඊට පස්සෙ නං සංචාරවලට එන අමුත්තො යාළුවො එක්ක හෙම දහ පහළොස් සැරයක් යන්නට සිදුවුනා,කිසිම විශේෂත්වයක් නොතිබුණු මේ භූමි භාගය ස්මාරකයක් හැටියට සිංහයෙක් මුදුනේ හිටවපු කන්දක් හදල හදල කෞතුකාගාරයක් හදල සංචාරක ආකර්ෂණයක් හැටියට අද වසරකට විශාල මුදලක් උපයනවා.මේ ස්මාරකය නරඹන්න යන සංචාරකයෙකුට මුලින්ම පැනොරාමා එකේ චිත්‍රපටයක් පෙන්වා ඊට පස්සෙ මුළු යුද්ධ භූමිය වටේම කෝච්චියක් වගේ වාහනයකින් ගෙනිහින් විස්තරය කියාදීලා කෞතුකාගාරය බලන්නට දීල ඊට පස්සෙ සිංහ කන්ද නගින්නට දෙනවා,මේ සියල්ලටම ඒ කාලෙ කෙනෙකුට යුරෝ 4.50ක් හෝ පහක් අයකලා මට මතකයි.ඊට අමතරව සති අන්තවලට යුද්ධයේ සජීවී දර්ශන අතීතයේ තිබු යුද්ධායුධ වලින් ඒ ඇඳුම් ඇඳගත්ත පිරිසක් විසින් නිරූපණය කර පෙන්වනවා.

නැපෝලියන් බොනපාට් අධිරාජයාගේ ප්‍රංශ හමුදාව  1815 ජුනි 18 වැනිදා එදා නෙදර්ලන්තයට අයත් බිමක් වූ මේ ස්ථානයේදී රටවල් හතක ඒකාබද්ධ හමුදාවන්ට නායකත්වය දුන් ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාට පරාජය වුනා.සටනේ විස්තර මා මෙතැන ලිවීම තේරුමක් නැති ක්‍රියාවක්,සම්පූර්ණ විස්තරය මා ලියනවාට වඩා හොඳට ජාලයෙන් බලාගන්නට පුළුවනි.ආතර් වෙල්ස්ලි හෙවත් වෙලිංටන්හි ඩියුක්වරයාටත් වෙනම කෞතුකාගාරයක් නිර්මාණය කර තිබෙනවා එහි පිංතුරත් මගේ ළඟ තියෙනව නමුත් ඒ පින්තුර වෙන දවසක ඉදිරිපත් කරන්නම්.

                                            පැනොරාමාව

                                       සිංහ කන්දට නැගීම


                           නැපෝලියන් බොනපාට් අධිරාජයා




                                     සටන  සැලසුම් කිරීම




                                             සටන





                             සිංහ කන්ද උඩට පෙනෙන දර්ශනය



                                 සිංහ කන්ද නැගගත් හැලපැට්ටා




Thursday, June 5, 2014

134.එකගෙයි අවුරුද්දට වචනයක්.



 අද මම කෙටිකතාවක් පළකරන්නට හිතුවා,විශේෂත්වය නම් මේ කෙටිකතාව මා ලියු එකක් නොවීමයි,ලාංකික යථාර්ථවාදී කතා කලාවේ පුරෝගාමියෙකුද විශිෂ්ට ගනයේ ලේඛකයෙකුද වු දිවංගත කේ ජයතිලකයන් 1971 වසරේ පලකළ එකගෙයි අවුරුද්ද නම් කෙටිකතාව මා පළකරන්නේ හොඳ කෙටිකතාවක් යනු කුමක්දැයි අපේ සහෘදයන්ට හඳුන්වා දීමටත් කෙටිකතාව හා නවකතාව යන දෙකේ වෙනස ගැන ලිපියක් ලිවීමටත් මේ කතාවෙන් කියැවෙන චාරිත්‍රය සම්බන්ධයෙන් ඉදිරියට දීර්ඝව සාකච්ඡා කිරීමට මා  අදහස් කරන නිසාත් යන කරුණු  හේතුවෙනුයි.

කතාව කොටස් වශයෙන් පළකරන්නට හෝ අකුරක් ඉස්පිල්ලක්  අඩුවැඩි කරන්නට මට අයිතියක් නැති නිසා කතාව ඒ ආකාරයෙන්ම පළකරනවා, කියවලම කතා කරමු...
                                                                                     එකගෙයි අවුරුද්ද.
සිංහල අලුත් අවුරුදු රාශියක මතක මගේ සිතෙහි තැන්පත්ව පවතී.දිරාපත් මේ මතකයන් අතර එක අවුරුද්දක මතක පමණක් මළ කෑමක් පවා නොමැතිව වරින් වර විදුලි කොටයි.මින් පෙර අවුරුදුවල චාරිත්‍රවාරිත්‍රවලට මා මුහුණ දුන්නේ කුඩා දරුවෙකුගේ ස්වාභාවික උනන්දුවෙනි.මෙයින් පසු අවුරුදුවල ඒවා නිරීක්ෂණය කිරීම මා උවමනාවෙන්ම වාගේ මගහරින්නට ඇතැයි සිතේ.

හැම බක් මහකම කාලගුණය ඒකාකාර නොවේ.එවර බක් මහ ලැබූ තැන් සිට වහින්නට මෙන් මුළු අහස වලාකුළු වලින් බරව පැවති නමුත් වැස්සේ නැත.එහෙත් එයින් ගස් කොළන් වියලා හරින දැඩි දාහය මර්දනය වී යයි.පහළින් ඉහළටත් ඉහළින් පහළටත් විහිදී යන ඉපනැල්ලෙන් පඬු පැහැ ගැන්වුණු කුඹුරුයාය එළා ලු මහා මාගලක් මෙන් දිස්වූ අයුරු මට මතකය.කමත්වල තවම පිදුරු කඳු විය.ගෙයි මුළු මුළුවල වී ගොඩවල්ය.අතීත බොහෝ සිද්ධීන්ට පොදු අද්භූත,චමත්කාරජනක හැඟීම් සහිතවය,මේ ශාන්ත සෞභාග්‍යමත් පරිසරය මැදින් ගලා ආ කොවුල් හඬ මට සිහිකළ හැක්කේ.කොවුල් නදින් කුල්මත් වන අම්මා ගොයම් වැඩද අතහැර අවුරුද්දට සුදානම් වන්නීය.අලුත් අවුරුද්දට කළ යුතු වැඩ රාශියක් ඇයට ඇත.බිත්ති කිරිමැටි ගෑම,ගෙබිම ගොම පිරිබඩලීම,කැවුම්,කොකිස්,මුං අග්ගල තැනීම,අවුරුදු කෑමට අඩුවැඩිය සකස් කිරීම-තව කීයක්ද?

අවුරුද්දට කලින් ගෙදරට ලියමනක් ආවේය.තාත්තා නමට පිට නම ලියා තිබු එය අම්මා වරින් වර ඒ මේ අත පෙරළමින් බලමින් සිට ඔහු පැමිණි විගස අතෙහි තැබුවාය.ඔහු ලියමන කඩා තමාටම කියවා ගන්නට විය.

"කවද්ද එනවයි කියන්නෙ?"කියවා අවසන් වන තුරු තනි බැල්මට ඔහු මුහුණ බලා සිට අම්මා ඇසුවාය.

"දොළොස් වෙනිදා ඊට ඉස්සර කඩේ වැහුවොත් හුඟක් පාඩුලු."

"මගෙ අම්මේ!ඊට නරකයැයි අවුරුද්ද දවසෙම ආවානම්."

"උඹලා නම් ඔහෙ කියයි ගෙදර ඉඳගෙන. කඩයක් කරන මිනිහනෙ ඒකෙ තියෙන අමාරුව දන්නෙ.අවුරුදු කන මිනිසුන්ට ඕනැ දවසට බඩුමුට්ටු ටික ගන්ට නැති තැනකට ඊට පස්සෙ උන් ආයිමත් ඒවියැ."

ඊට අම්මා කිසිවක් කීවේ නැත.ඔවුන් අතර ඇති වූ කතාබහට මා උනන්දුවෙන් සවන් දුන් නමුත් ඔවුන් හරියටම කතා කරන්නේ කවුරුන් හා සම්බන්ධ කුමක් ගැනද යන්න මට වැටහුනේ නැත. ඒ නිසා තාත්තා ඉවත ගිය විගස මම ඒ ගැන අම්මාගෙන් විමසුවෙමි.

"කවුද අම්මෙ එනවයි කියන්නෙ?"

"පුතාගෙ පුංචි තාත්තා."

"කවුද අම්මෙ පුංචි තාත්තා කියන්නෙ?"

"අර ගිය අවුරුද්දෙත් පුතාට තෑගි ගොඩාක් අරගෙන ආවෙ.අන්න එයා."

පුංචි තාත්තා ගැන මා නොදැන සිටියේ නොවේ.මට තාත්තලා දෙදෙනෙකුන් සිටිතියි යන කතාව ඊට පෙර නොයෙක් වර මා අසා ඇත.අම්මා හෝ තාත්තා කතා කරන විට 'හිඟුරක්ගොඩ එක්කෙනා'නමින් හඳුන්වන්නේ ඔහු බවද මම දැන සිටියෙමි.අනික් අයට සිටින්නේ එක තාත්තා කෙනෙකි.ඇතැම් විට දෙදෙනෙකු සිටින නමුත් එය සාමාන්‍ය නොවේ.එසේම ඒ තරම් 'නම්බුකාරද'නොවේ.මිනිසුන්ගේ කතාබහෙන් මෙවැනි හැඟීමක් මසිතට පිවිසී තිබිණ.එහෙයින් මට අර ප්‍රශ්නය ඇසීමට උවමනා නොවීය.එය ඇසුණේ ඉබේටමය.කෙසේ වුවත් සිත තුළ නළියන කුකුසකින් ගැලවී ගන්නට මම අපොහොසත් වීමි.මම අම්මාට හොරෙන් පුංචි තාත්තා එවූ ලියමන සොයා ගෙන කියවීමි.එය මෙවැන්නක් විය.                                                                                                                                                                                                                                                                                                                                                     හිඟුරක්ගොඩදීය.
                                         තිසරණාධාර වේවා!
ආදරණීය අයියේ,
අයියලාගේ සැප සනීප බොහෝ කලකින් දැනගන්ට නොලැබීම නිසා බලවත් සේ කනගාටු වෙනවාය.මම මේ අප්‍රේල් මස දොළොස්වෙනිදා අලුත් අවුරුද්දට ගමට ඒමට අදහස් කර ඉඳිමි.අවුරුදු දවස්වල බඩු ගැනීමට බොහෝ අය එන නිසා ඊට කලින් කඩේ වැහුවොත් හුඟක් පාඩුය.         
 මැණිකේත් පුතාත් සනීපෙන් පසුවෙනවා ඇතැයි සිතමි.ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි.
                                                             
                                                           සුවෙමි.සැපවේවා!
                                                           මීට,
                                                           යටහත් කීකරු මල්ලී,
                                                           අගෝරිස්.

ලියුම ලැබීමෙන් පසු අම්මා කෙරේ වැඩි උද්‍යෝගයකුත් වැඩි දීප්තියකුත් දක්නට ලැබිණ.ඈ අමුතු පණක් ලද්දියක මෙන් දුව පැන කඩිසරව කටයුතු කරන්නට වූවාය.ඈ වැඩියෙන් කතා කරන්නේ අවුරුද්ද ගැනය.අවුරුද්දට එන බව කියා හිඟුරක්ගොඩින් ලියමනක් ලැබුණු බවද අසල්වැසියෙකු සමග ඉඳහිට පවසන්නීය.

"උඹට නම් ඉතිං මොකද?මොනවයින් අඩු පාඩුවක්ද?"කියමින් ඇතැම් ගැහැනියක් එවිට මඳ සිනහවෙන් ඇගේ මුහුණ බලන්නීය.අම්මා එවිට ලජ්ජා වෙතියි මා සිතන නමුත් ඈ එය පිළිගන්නේ ප්‍රීතියෙන් පිරුණු මුහුණකිනි.තාත්තා තුළ පිටතට පෙනෙන තරම් විශාල උනන්දුවක් නොදක්නා ලද නමුත් උන්දෑද වෙන දාට වැඩි උනන්දුවකින් හා ඕනෑකමකින් කටයුතු කරන බව දක්නට ලැබෙයි.

ගෙවල් දොරවල් පිරිසිදු කොට අලුත් පෙනුමක් දෙන ලද්දේ මුළුමනින්ම අම්මා විසිනි.අවුරුද්ද ඔන්න මෙන්න කියා තිබියදී ඈ කැකුළු හාල් සේරු කිහිපයක් දියේ දමා පොඟවාගෙන කොටන්නට වුවාය.ඈ හතිලාගෙන මෙය කොටනු දුටු විට තාත්තා පිට අයට නොපෙනෙන පරිදි හොරෙන් හොරෙන් ඊට උදවු විය.තාත්තා කවදත් ගෙදර වැඩකට අම්මාට උදවු වෙන්නේ පිට අයට නොපෙනෙන පරිද්දෙනි.ගෙදර වැඩපලවලදී බිරිඳට උදවු කරන සැමියෙකු ගැන තාත්තා පමණක් නොව අම්මාද අවඥාවෙන් කතා කරනු මා අසා ඇත.
                          
'ඒ ගෑනි මිනිහට කියල වීත් කොටව ගන්නව.'
                          
'ඒ මිනිහා ගෑනිට බයේ කියන කියන මර වැඩ කරනව.'
                          
'ඌ ගෑනි කිව්වොත් ලිඳකට හරි පනීවි.'

දොළොස්වෙනිදාට එළි වු තැන් සිට ගෙදර පිරී පැවැත්තේ බලාපොරොත්තුවලිනි.එක අතකින් අවුරුද්ද එන බලාපොරොත්තුව.අනික් අතින් පුංචි තාත්තා එන බලාපොරොත්තුව.පුංචි තාත්තා මෙවරත් තෑගිබෝග රැසක් ගෙන එනු ඇතැයි මමද බලාපොරොත්තු වෙමි.ඔහු ඒමට තව වේලා ඇතත් වරින් වර අම්මා පාර දෙස බලන්නේ දැන් දැන් එතියි සිතන්නාක් මෙනි.

බලාපොරොත්තු වැඩියත් පැවැත්තේ අම්මාත් මාත් තුළය.තාත්තා නම් උදේම මල්ලකුත් රැගෙන කිරිඳිවැලට ගියේය.ඊයේ,සතියේ පොළට ගිය ඔහු බරටම තුනපන බඩු මලු කීපයක්ම ගෙනාවේය.අම්මා ඒවා එකිනෙක පරීක්ෂා කර කල්පනා කරමින් අඩුපාඩු විය හැකි දේ ඔහුට ඇඟෙව්වාය.

"වම්බටු ටිකක් තෙල් දාලා ගත්තොත් හොඳයි නේද?"ඈ වරක් ඇසුවාය.

"අච්චාරුවක් හදන්නට විනාකිරිත් නැතුව ඇති.ගිය අවුරුද්දට ගෙනාවට පස්සෙ ගෙනා එකක්යැ"ඈ නැවතත් මතක් කළාය.

තාත්තා ඒවා අනුමත කරමින් අමතක වු දේ මතක් කරමින් සිතේ සටහන් කර ගනු දක්නට ලැබිණ.

"වරුවක් බලන් හිටියා මාළුකාරයා එනකල්.මොකක්වත් නෑ.හුරුල්ලොයි සාලයොයි විතරයි.පස්සෙ ඌරු මස් ටිකකුත් ගත්තා.කැලණිය වඳින්ට වගෙ සෙනග"තාත්තා කිරිඳිවැලෙන් ගෙන ආ බඩු මල්ල බිම තබමින් කීය.

"මේ දවස්වල හැම තැනම ඔහොමලු.කී කාලෙකට වතාවක්ද ඉතින් අවුරුද්දක් එන්නෙ?කෝකටත් හොඳයි මස් ටිකක් ගෙනා එක.අරුමැක්කෙ එන මිනිහට පුළුවනැ හුරුල්ලො විතරක් උයලා දෙන්ට." 

මස් මාළු ගෙන ආ නමුත් අප දවාලට බත් කෑවේ වෙනදා මෙන්ම එළවලුවකුත් කරවල හොද්දත් සමගය.මාළු හා මස් ව්‍යංජන හතරක් සේ පොල් කිරි නොදමා හතර විදියකට සෑදු අම්මා ඒවා ඇතිළිවලම වසා තැබුවාය.

"මස් කෑල්ලක් දෙන්නද?"කෑම කන අවස්ථාවේදී අම්මා තාත්තාගෙන් ඇසුවාය.

"තිබුණාවෙ,එතකොට ගන්න"තාත්තා කීය.

අම්මාට ඉස්පාසුවක් නැතිව වැඩ ඇතත් කෑමෙන් පසු වරින් වර ඉස්තෝප්පුවට පැමිණ තාත්තා සමග ස්වල්ප වේලාවක් කතා කරමින් සිටියාය.

"එකයි තිහේ කෝච්චියෙන් ගම්පහට ආවොත් නම් බස්සෙක අල්ලා ගන්න පුළුවන් වේවි.නැත්නම් තිරික්කලේක තමයි එන්ට වෙන්නෙ."

"බස්සෙක අහු උණා නම් තව ටිකකින් ඒවි."

"සිරිනේරියගෙ තිරික්කලේ ගත්තොත් ඌත් නම් බස්සෙකට පහු වෙන එකක් නැහැ."

"හෙට අනිද්දත් නිවාඩු එකේ අද පුලුවන් නෙ මුන්ට බස්සෙක දෙපාරක් දුවන්ට.ඒ තරම් සෙනඟ ඇති."

"උන්ටත් දැන් සල්ලි වැඩි වෙලා කරගන්ට දෙයක් නෑ."

පුංචි තාත්තා දුර එනු මුලදීම දැක්කේද අම්මාය.

"ආං! අර එන්නෙ මතක් කරන කොටම" කියමින් ඈ බිම වාඩිවී සිටි තැනින් නැගිට දකුණතින් පිටුපස පිස දැම්මාය.

ඔහු අතේ පාර්සල් රාශියක් විය.අපි ඔහු එනතුරු නොඉවසිල්ලෙන් ඉස්තෝප්පුවේ හිටගෙන බලා සිටියෙමු.අම්මාගේත් මගේත් මුහුණින් කටින් හිනා හැළෙයි.

පුංචි තාත්තා ළං වන විට අම්මා ඉදිරියට ගියාය.මමද ඇය ළඟින් වීමි.ඔහු පාර්සල්වලින් ගොඩක් අම්මාට දී ඉතිරි ඒවා පුටුවක් මත හැළීය.

"බරටම පාර්සල් උස්සාගෙන" යි  අම්මා ඒවා දෑතින් ගනිමින් කීවාය.පුංචි තාත්තා පුටුව මත තැබූ පාර්සල් අතරින් කැඩූ එකක් තෝරා මා අත තබා හිස අතගෑය.එහි වුයේ සීනිබෝලය.

"බස්සෙක අහු වෙන්ටැති?"තාත්තා කතාවට මුල පුරමින් ඇසීය.

"ඔව් එනකොටම බස්සෙක තිබුණා.සෙනග නම් උතුරනව.අපරාදෙ කියන්ට බෑ එව්දියෙස් කාරයා දුටුව තැනක කවදාවත් මාව දාලා යන්නෙ නෑ."

"ඌ හොඳ ගුණේ ඇති එකා."

"මෙහෙටත් තාම වැස්ස නැද්ද."

"තාම නෑ.ඒ උණාට මෙදා වෙනදා වගෙ තද ඉඩෝරයක් තිබුනෙ නෑ."

"එහෙ නම් තාම වේලෙනව.හැබැයි අස්වැන්න කාලෙ හින්ද හොඳයි.හාන කාලෙටත් මෙහෙම හිටීවිද මන්දා?"

"කොහොමද ඉතින් කුඹුරු වැඩ කරන්නෙ?"

"වැව් තියෙනවනෙ.වැව තමයි මිනිස්සුන්ගෙ ගැලවුම්කාරයා.ඒ උණාට වැවුත් හිඳෙනව."

"කතා කරන්ට බැරියැ,මුණ කට ටිකක් හෝදගෙන.අන්න මම වතුර දැම්මා.මෙන්න සරමක්" අම්මා මැදිහත් වුවාය.

"ංආ!සරමක් නම් මාත් ගෙනැත් ඇති"පුංචි තාත්තා තුවාය අතට ගති.

පුංචි තාත්තා ගෙන ආ පාර්සල්වල ඇත්තේ මොනවාදැයි බලන්නට මට මහත් ආශාවක් ඇත.අම්මා ඒවාට අත වත් තබන්නට නොදී රැකගෙන සිටින්නීය.ඒවා දකින්නට ඉඩ ලැබුණේ පුංචි තාත්තා මුහුණ කට සෝදා ගෙන තුවායෙන් දෙකන් පිසිමින් ඉස්තෝප්පුවට ආ ඉක්බිතිවය.ඔහු එක් එක් පාර්සලය ලිහමින් ඒවායේ ඇති දේ තුන් දෙනා අතර බෙදන්නට විය.තාත්තාට සරමක් බැනියමක්,අම්මාට කම්බායක් හැට්ට රෙද්දක්,මට පුංචි සරමක් හා බැනියමක්,ඔහු නොලිහු පාර්සල් කිහිපයක් විය.ඉන් සමහරක වුයේ කැවිලි වර්ගය.සමහරක අවුරුද්දට අඩුවැඩියයි.

"සිල්ලර තුනපහ නම් මොකවත්ම ගෙනාවෙ නෑ.මොකටද එහෙ හිටන් උස්සගෙන එන්නෙ.මෙහෙන් ගන්ට තියෙද්දී.තව අඩුපාඩු මොනවද කිව්වොත් මට කිරිඳිවැලට දුවලා අරගෙන එන්ට පුළුවනි."

"මොනවටද..........? ඒ සේරම ජාති මෙහෙන් ගත්තා.මේ ගෙනත් තියන ජාති මදිවට!"අම්මා කීවාය.

"මම ඊයෙත් පොළට ගියා.අඩුපාඩු තිබිච්ච ඔක්කොම අද කිරිඳිවැලෙන් ගත්තා."තාත්තාද කීය.

"අද නම් වහී වාගෙ"තාත්තා අහස දෙස බලා කියයි.

"කොහෙද?මේ දවස් ටිකේම ඔහොම තමයි.නිකම් ගොඩ ගොරවල යනව."

තාත්තා මඩපලං සරමකුත් පුංචි තාත්තා පලයකාට් සරමකුත් ඇඳ සිටිති.තාත්තාගේ උඩු කය හිස්ය.පුංචි තාත්තා අත් දිග මේස් බැනියමක් ඇඳ සිටී.ඔහු තාත්තාට වඩා එළලුය.ඊට වඩා මඳ ඔතැනි කමකුත් ඇත්තා සේය.තාත්තාගේ මෙන් ඔහුගේ අත පය ගොරෝසු නැත.

සවස තාත්තා වෙල පල්ලෙහා ඇවිදින්ට ගියේය.මම වත්තේ ඔබ මොබ යමින් සිටියෙමි.පහළ ළිඳට ගොස් සිටි අම්මා නාගෙන ගෙදර ආවාය.ළඟින් යන විටත් ඇය සබන් සුවඳය.පුංචි තාත්තා ගෙනවුත් තිබු අලුත් සුවඳ සබන් ඈ පාවිච්චි කරන්නට ඇත.අම්මා තවම තරුණය.අද ඇගේ ඒ තරුණභාවය නට නටා ඉස්මතු වෙයි.

මඳ වෙලාවකට පසු ගෙටවුත් සාලයට ගියවිට මා දුටු දර්ශනය බලාපොරොත්තු නුවුවක් විය.පුංචි තාත්තා සාලයේ ජනේලය අද්දර පුටුවක වාඩිවී සිටියේය.අම්මා ඒ ලඟම ඉදිරිපිට මිටි බංකුවේ ඉඳියි.ඔහු ඇගේ හිස පීරමින් උකුණන් බිඳියි.ඇගේ උඩුකය පුංචි තාත්තාගේ දෙදණහිස් අතර හිරවී ඇත.මා සාලයට ඇතුළු වන විට එය බලාපොරොත්තු නුවූ අවස්ථාවක සිදු වූවක් හෙයින් අම්මා මඳක් වික්ෂිප්ත වූවාය.එහෙත් ඈ ඒ මොහොතේම එය නිවාගෙන යළි සන්සුන් වූවාය.මටද ලජ්ජාවක් ඇතිවූ නමුත් එය නොපෙන්වීම සඳහා සාලයේම නැති බඩුවක් සොයා පසුව එය සෙවීම පිණිස කුස්සියට රිංගුවෙමි."ඒ ළමයත් මේවට පුරුදු වෙන්ට එපායැ?"අම්මා කියනු මට එතැනට යන්තමට ඇසිණි.

මා ගෙයින් පිටවූයේ සාලය හරහාම අවුත් ඔවුන් දෙසද ආරූඪ කරගත් යථාස්වභාවයකින් බලමිනි.අම්මා මහත් සුවදායක සතුටකින් ඔලුව දීගෙන ඉඳින්නීය.ඈ ඔලුව වරින් වර ගස්සා දෙකන් අතරින් දෑත් යවා කෙස් කළඹ සකස් කළාය.ඔවුහු එසේ ඉඳ ඉතා කුළුපග ලීලාවකින් කතා කරති.වැඩිපුර කතාකළේ පුංචි තාත්තාය.අම්මා වරින් වර හිස සොල්වා කන් පාදමින් ඕනෑකමෙන් සවන්දෙයි.

ඔවුහු තාත්තා එනතුරුම මේ අන්දමට සිටියහ.ගෙට ගොඩවුණු තාත්තා වරක් පමණක් ඔවුන් දෙස බලා හිස හරවාගෙන කුස්සියට ගියේය.අම්මා පුංචි තාත්තාගේ දෙකලවාවලට දෑත් ගසා නැගිට "මං එන්නම් අය්යට තේ එකක් හදලා දීලා"කියමින් කුස්සියට ගියාය.ඒ ගියාට පසු ඈ යලිත් පුංචි තාත්තා කරා නාවාය.පුංචි තාත්තාද ඈ එනතුරු බලා නොසිට නැගිට වෙනත් වැඩ කටයුතුවල යෙදෙන්නට විය.

එදා රාත්‍රී කෑම මේසය මඟුල් මේසයක් හා සම විය.අය්යා මලෝ දෙදෙන ඔවුන්ට පෙරැත්තද කරමින් කෑම බෙදුහ.අම්මා හැම දෙයක්ම තාත්තාට පළමුවෙනුත් ඊළඟට පුංචි තාත්තාටත් බෙදුවාය.ඒ හැම දෙයක්ම කිරා බලා බෙදුවාක් මෙන් සමෝසම විය.හැම දෙනාම මටද විමස විමසා බෙදුහ.පුංචි තාත්තා මට යමක් බෙදනවිට හෝ බෙදන්නට විමසන විට "ඔයා නිකම් ඕවා අනල දානව විතරයි.කන්නෙ නෑ.පේන්නෙ නැද්ද? කැඳ නැති ගෙදරක වගෙ"යැයි අම්මා හෝ තාත්තා කියයි.

කෑමෙන් පසු පිළිසඳර සමයයි.වෙනදා කුප්පි ලාම්පුවේ කණමැදිරි එළියෙන් එළිය වන ඉස්තෝප්පුව තේජවන්තව බබලන පැට්‍රොමැක්ස් ලාම්පුවෙන් ආලෝකවත් වෙයි.ඉස්සර වතාවක එය ගෙනැවිත් ඇත්තේ පුංචි තාත්තාය.අවුරුද්දට ගේ ඉදිරිපිටින් තාත්තා පත්තු කළ මල්පැලේ පොල්තෙල් පහනේ දුබල එළිය පැට්‍රොමැක්ස් ආලෝකයෙන් ඉවතට තල්ලු වෙයි.

"කොහොමද මේ දවස්වල වෙළඳාම සරුද?"තාත්තා අසයි.

"වෙළඳාම නම් කවදත් නරක නෑ.නමුත් ණය එකතු කරන එක තමයි හරිම කරදරේ."

"අතේ සල්ලි දීලා බඩු අරගෙන ණයට දෙන්ට ඕනැයි"අම්මා කියන්නීය.

"ණයට නොදී අමාරුයි.එතකොට උන් දෙමළ මරක්කල කඩවලට යනවා.කොහොමටත් සිංහල මිනිස්සු වැඩියෙන් කැමතියි දෙමළ මරක්කල කඩවලින් බඩු ගන්ට."

"ඒ මොකද ඒ?"

දෙමළ මිනිහා මරක්කලයා කවදත් අපෙන් වෙන් වෙච්ච එකාමයි.ඌ දුප්පත් වෙලා ඉඳගෙනම වෙන් උණත් එකයි.පොහොසත් වෙලා වෙන් උණත් එකයි.සිංහලයා දුප්පත් මිනිහෙක් හැටියට එකට ඉඳලා සරු උණහම වෙන් වෙනව.මිනිස්සු ඒක ඉවෙන් වගෙ දැනගෙන සිංහලයො දියුණු වෙනවට කැමති වෙන්නෙ නෑ.දුප්පත් සිංහල මිනිහෙක් දියුණු වෙනව කියන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට තමන්ගෙන් එකෙක් නැතිවෙන එක.නැති වෙනව විතරක් නෙවි.ආඩම්බරකාරයෙක් ඇති වෙනව.

"ඒක නෙවි උන් වෙළඳාමට සූරයි"තාත්තා කීය.

"ඉතින් උන් කොහොමද ණය එකතු කරගන්නෙ?"අම්මා කුතුහලයෙන් අසයි.

"සල්ලි නුදුන්නොත් අස්වැන්න කාලෙට කුඹුරටම ගිහින් වී ටික අරගෙන එනව.උන් ණය දෙන කොට දෙන්නෙ වෙස්සන්තර රජ්ජුරුවො වගෙ.ණය එකතු කරන කොට යම රජ්ජුරුවො වාගෙ.ඉතින් අපට පුළුවනැ ඒ විදියට කටයුතු කරන්ට."

"ඒක තමයි මම කිව්වෙ සිංහලයට වෙළඳාම් කරන්ට බෑ කියල.ඕනැවට වඩා හිත උණු වෙනව."

"අනේ ඉතින් වෙළඳම් කරයි කියලා මනුස්සයො උණහම එහෙමත් කළ හැකිද?"අම්මා අසන්නීය.

"එහෙ මිනිස්සුන්ට නම් කොහොමත් ඒක කරන්න බෑ.උන් ඒ තරමට අහිංසකයි.තියෙන සිංහල කඩ ටික හරි දාලා තියෙන්නෙ පිටින් ගිය මිනිස්සු.දැන් තමයි ඒ අය ටිකක් හරි වෙළඳාමට බහින්නෙ.කලින් නම් ඒවාට කැමැත්තක් තිබිලම නෑ."

මම පුංචි තාත්තා ගෙනවුත් දුන් රතිඤ්ඤ පෙට්ටියේ එක එක රතිඤ්ඤය ගලව ගලවා පත්තු කරමි.පානට අල්ලා නූලට ගිනි දැල්වීමත් සමග සිහින් එළිය කූරු රැසක් ශීඝ්‍රයෙන් විහිදුවන රතිඤ්ඤ කරල මිදුලට විසි කළ විට ක්ෂණික ආලෝකයක් හා මහ හඬක් නඟාගෙන පුපුරයි.රතිඤ්ඤ අවසන් වූ විට නිලා පත්තු කරමි.කතා කරන අතර අම්මා මගේ ක්‍රියාව ගැනත් වචනයක් දෙකක් ඇතුළත් කරන්නීය.

"වෙනද මෙලහකට හොඳටම නිදි.අද නිදිමත පළාතක නෑ."

"හෙටයි අවුරුදු.හෙටටත් ටිකක් ඉතුරු කරගනින්."

මම ඒ නොඇසු කන්ව ම‍ගේ කාරියෙහි යෙදෙමි.

මට දී තිබු රතිඤ්ඤත් නිලාත් අවසානය.මම තාත්තා ඉඳගෙන සිටින ඇඳේ බිත්තිය අයිනෙන් දිගා වෙමි.පුංචි තාත්තා ලී පුටුවෙහිය.අම්මා බංකුව මතය.තවමත් ඔවුහු කතා කරමින් සිටිති.

"අය්යා මේ පාර මීගහකුඹුර වැඩ කළේ නැතෙයි?"

"මොකද නැත්තෙ?ඕක අඳේට දුන්නා නම් ඔය අස්වැන්නෙන් බාගයක් ගන්න පුලුවන්ද?බලාපන්කො අර එහා කාමරේ මුතු ඇට වගෙ තියෙන වී ගොඩ දිහා,එක බොල් ඇටයක් තියෙනවද කියලා."

"ඕක බේරාගන්න එක තමයි වැඩේ.දැන් හැමෝම එයි ඕකෙන් බිත්තර වී ඉල්ලාගෙන"අම්මා ඊට එක් වන්නීය.

"අර පබිලගෙ වී කොටහ ගෙනත් දුන්නෙ නැද්ද?"එයින් අමතක වුවක් මතක් කරමින් තාත්තා අසයි.

"වටද්දර අක්කා අද ළිඳ ළඟදි හම්බ වෙලා කිව්වා අවුරුද්ද පහුණ හැටියෙම ඒක ගෙනැත් දෙනවයි කියලා."

"හැමදාම ඔහොම තමයි කියන්නෙ.ණයක් ගන්න කොට තියෙන ඕනෑකම නෑ ඒක ගෙවන්න.මීට පස්සෙ නරකයි ඕකුන්ට කිසි දෙයක් දෙන්ට."

කතාබහ අතරින් කාලය ගත වී යයි.

පැට්‍රොමැක්ස් ලාම්පුව නිවේ.සඳ නැග ඒ.කොළ අතුරින් පෙනෙන සඳ මඬලින් ගලා හැලෙන සුදුරැස් බිත්තියේද විසිරෙයි.එක එක හැඩකොළ අතු එහි ලස්සණට සටහන් වී ඇත.අවදිව සිටීමට උත්සාහ කළත් සීතල,නිසල බව,සඳ රැස මා නින්දේ ඔබාලයි.

මට රෑ ඇහැරිණි.වෙනදාත් තාත්තලා කතාබස් කරමින් සිටින අතර මට මෙසේ නින්ද යයි.එහෙත් පසුදා උදේ නැගිටින විට මා සිටින්නේ මෙතැන නොව ගෙයි ඇඳේයි.අද වෙනසක් ඇති බව සිහිනෙකින් මෙන් මට දැනෙයි.මෙසේ අවේලාවට ඇහැරෙන්නට ඇත්තේත් ඒ නිසා විය යුතුය.

ඇඳේ මා ළඟ කෙනෙක් සැතපෙයි.මම හෙමින් හිස මඳක් ඔසොවා ඒ කව්දැයි බලමි.ඒ තාත්තාය.ඇයි තාත්තා මෙතැන?කෝ අම්මා?

සඳපහන බිත්තියෙනුත්,ඇඳෙනුත් ගෙබිමෙනුත් බැස ගොස් ඇත,එය මිදුලේ පෙරටත් වඩා ඝනව පවතී.නමුත් ඉස්තෝප්පුව අද්දර අඩි දෙකක පමණ කළුවර තීරුවක් ඇඳී ඇත,ඒ ගෙයි සෙවණැල්ලයි.රෑහි නාදය නොනවතින ගීතයක් මෙන් ඇසෙයි.මට යළිත් නින්ද යන්ට ඇත.

පසුදා මා අවදිවුයේ ප්‍රබෝධමත් ලෝකයකටය.ගේ පමණක් නොව වත්ත පිටියත් වෙනදාට වඩා ආලෝකවත් වී ඇතැයි සිතේ,තාත්තා ඇඳේ නොවීය.ගෙතුළ කලබල ශබ්දය ඇසේ.මම පොරොවා සිටි රෙද්ද දෝත විදහා පස්සට වීසි කරමින් ඇඳෙන් පැන්නෙමි.අම්මාත් පුංචි තාත්තාත් ගෙයි රාමෙට වැඩ.අතුපතු ගෑම්.අස්පස් කිරීම්.අඩුවැඩිය පිළිවෙළ කිරීම්.

"ංආ මෙන්න පුතත් නැගිටලා ඇවිත්"පුංචි තාත්තා කීය.

"අදද අම්මේ අවුරුදු?"

"ඔව්!පුතා.ඒක නේන්නම් මේ තරම් වැඩ.ඒක හින්ද හොඳ පුතා වගෙ පෙරැත්ත කරන කල් ඉන්නෙ නැතුව අඟුරු කෑල්ලකින් හොඳට දත් ටික මැදලා වෙලට ගිහින් මූණ සෝදගෙන එන්න."

වෙනදා නම් මා යන්නේ අම්මා දෙතුන් වරක් ආදරයෙන් කියා බැරි තැන තර්ජනයද කළාට පසුවය.එහෙත් අවුරුද්ද දා එසේ නොකොට එක්වරම යන්ට සිතීමි.

"කෝ දෙන්න එහෙනම් අඟුරු කෑල්ලක්."

අම්මා ලිපෙන් අඟුරු කෑල්ලක් ගෙනාවාය.මා එය ගැනීමට අත දික් කළ නමුත් ඈ එය මගේ අතට නොදී මේසය මත තැබුවාය.මම එය රැගෙන හප හපා දත් මදිමින් වෙල දෙසට දුව ගියෙමි.

"ංආ අන්න හොඳ පුතා.දැන් ඉතින් ඔය පරණ ඇඳුම ගලෝල දාලා පුංචි තාත්තා ඊයෙ ගෙනැත් දීපු අලුත් ඇඳුම් ඇඳ ගන්න."මා මූණ සෝදාගෙන ආපසු පැමිණි විට අම්මා කීවාය.

"මෙන්න පුතාට තව රතිඤ්ඤ පෙට්ටියක්.හැබැයි මේක පත්තු කරන්නෙ අවුරුද්ද ලබන වෙලාවට."මම ඇඳුම්වලටත් කලින් පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය අතට ගතිමි.

අම්මා මිරිස් අඹරයි.එළවලු කපයි.පුංචි තාත්තා පොල් ගායි,බෝංචි කඩයි.අවුරුද්ද ලැබීමෙන් පසු වැඩපල නතර කළ යුතු නිසා ඔවුහු දැන්මම මේවා පිළියෙළ කර තැබීමට යති.තාත්තා වෙලේ සිට ගෙදර පැමිණියේ ඔවුන් මෙසේ එක සීරු වැඩෙහි යෙදී සිටියදීය.තාත්තා නම් ගෙදර වැඩපලට සහභාගී වෙන්නේ නැත.ඒ තියා මේ වෙලාවට ගෙදර ඉන්නේවත් නැත.අද අවුරුද්ද නිසා ඔහුට යාමට තැනක් නැත.ඔහු හැමදාම යන තේ කඩයත් වසලාය.අම්මා සාමාන්‍යයෙන් ඔහුට වැඩ නියම නොකරන නමුත් අදනම් ඔහුගෙනුත් ගැනීමට තරම් වැඩ ඇත.

"දැන් අවුරුද්ද ලබන කොට ලිප් නිවන්න එපායැ.පුළුවන්ද ඔය ගල් තුනක් ළං කරලා එළියෙන් ලිපක් බඳින්ට?"

ඔහු අම්මාගේ අණපනත් නොතකන්නෙකු වුවද එදා සුවච කීකරු සේවකයෙකු මෙන් එය කරන්ට විය.ඔහු එය අවසන් කළ විට අම්මාගෙන් තවත් ආරාධනයක් පැමිණියේය.

"පුළුවන් නම් ඔය අඩි දෙක තුන නැඟලා පුවක් මලක් කැඩුවා නම් පන්සලට ගෙනියන්න."

තාත්තා මෙයද කිසි පැකිළීමක් නැතිව ඉටු කළේය.ඉන් පසු ඔහුට කරන්නට දෙයක් නොමැති විය.ඔහු කෙළේ වරින්වර මිදුලට බැස පයින් තම සෙවණැල්ල මැනීමය.

උදේ පියවර පහකුත් අඟල් දෙකට හතර අතින් රතිඤ්ඤ පත්තු වන්නට විය.මමද පුංචි තාත්තා දුන් රතිඤ්ඤ පෙට්ටිය ගලවා ගිනි තැබීමි.එය එකිනෙක පරයා හඬ නඟමින් පත්තු වන්නට විය.අම්මා ලිප ගිනි නිවුවාය.සියල්ලෝම වැඩ අත්හිටවූහ.දැන් නොනගතයයි.ගත පමණක් නොව සිතද සැහැල්ලුය.බලන බලන හැම පැත්තේම ඒ සැහැල්ලු නිවුණු ගතිය දක්නට ඇත.

"පුතත් සුදු සරමයි බැනියමයි දාගෙන ලෑස්ති වෙන්න පන්සලට ගිහින් එන්ට"මඳ වෙලාවකට පසු මට කියූ අම්මා තොමෝද මුහුණ අත්පා සෝදාගෙන ඇඳ පැළඳ ගන්නට වුවාය."තාත්තා ඉතින් ගමේ පන්සලේ බුදුන් වඳින්නෙ නෑ නෙ." ඒ අතර ඈ පුවක්මල සුද්ද කරන තාත්තා දෙස බලා කීවාය.තාත්තා ඇත්තටම ගමේ පන්සලට යන්නේ නැත.කලින් කතා කරගෙන සිටියාක් මෙන් ඇගේ ඇණවුමක් නැතිවම පුංචි තාත්තා නම් ඇඳ ගත්තේය.

අම්මා තෙල්, මල්, පහන් අතට ගත්තාය.පුංචි තාත්තා ඒවා ඇගෙන් ඉල්ලු නමුත් ලැබුණේ පුවක්මල පමණි.

''අපි ගිහින් එන්නම් ඉක්මනට."

"අපි ගිහින් එන්නම් අය්යෙ."

"අපි යනව තාත්තෙ."

තාත්තා ඒ හැමට පිළිතුරු දුන්නේ හිස වැනීමෙනි.තනිවන තාත්තා දකින මට කනගාටුවකුත් උපදියි."තාත්තා විතරයි ගෙදර අපි ඉක්මනට එමු"යි අම්මාද කීවාය.අම්මාත් මාත් ඉදිරියෙන්, පුංචි තාත්තා පස්සෙන්,ගමන ඉතා හෙමින්.තාත්තා ගමනක් යන විට නම් ඔහු පස්ස නොබලා ඉදිරියෙන් යයි.අප ඔහුට ලං විය යුත්තේ හති දමා දිවීමෙනි.

පුංචි තාත්තාට මග දිගට කීප පළකදීම නතර වීමට සිදු විය.පාර අයිනෙ ගෙවල සිටියෝ අරුමැක්කේ ගමට පැමිණි ඔහු දැක වචනයක් දෙකක් කතා කිරීමට සිතූහ."කවද්ද ආවෙ? "කොහොමද දැන් සරුද?"කවද්ද යන්නෙ?"වැනි එක් බඳු ප්‍රශ්නමය හැම දෙනාම ඇසුවේ.පුංචි තාත්තා මේ ඒකාකාරී ප්‍රශ්නවලින් තෙහෙට්ටුවට පත් නොවී මඳක් නතර වී හැම දෙනාටම පිළිතුරු දෙයි.ඔහු නතර වූ විට අම්මාත් මාත් මඳක් ඔබ්බට ගොස් රැඳී සිටිමු.ඔහු ඉක්මන් ගමනින් අපට එක් වෙයි.ඇතැම් ගැහැනියක් අරුමයක් දුටු සේ නොපෙනී යන තුරුම මිදුලේ හිටගෙන අප දෙස බලා ඉඳියි.

පන්සලේ සිට අප ඉක්මනින් ගෙදර ආවේ නැකතට ලිප පත්තු කළ යුතු වූ බැවිනි.පියවරකුත් අඟල් දෙකට යලිත් රතිඤ්ඤ හඬ ඇසෙන්නට විය.අම්මා කලින් අළු ඇද සුද්ද කර තිබු ලිප උතුර බලා දැල්ලුවාය.පුංචි තාත්තාද ළඟ ඉඳගෙන ඇගේ හැම වැඩකටම උදව් වෙයි.

කිරිබතක්,සුදුබතක්,හත්මාලුවක්,මසක්,මාළුවක්,අලු කෙසෙල් බැදුමක්,අල හොද්දක්,පපඩම් යන මේ සියල්ල ඔවුහු මැජික් බලයකින් මෙන් ඉතා ස්වල්ප වේලාවක් ඇතුළත පිළියෙල කර දැක්වුහ.අම්මා ඉවීමට දක්ෂියෙකැයි ගම්ලියෝ කියති.ඇගේ ඒ දක්ෂකම මතු වන්නට මෙවැනි අවස්ථාවක්ම එළඹිය යුතු වෙයි.

ගෙයි මැද සාලයේ පැදුරු එළෙයි.ඒ මතට බත් මාළුපිනි පමණක් නොව කැවුම්,කොකිස්,මුං කැවුම්,අග්ගලා හා කෙසෙල් ගෙඩිද පැමිණෙයි.අපි-පිරිමි තුන්දෙනා-ඒ අවුරුද්දට නියමිත පාට වු නිල් පැහැති රෙදි හැඳ නැගෙනහිරට මුහුණ ලා වාඩි වීමු.අම්මා පීරිසියක් මත තැබූ පොල්තෙල් පහනක් ගෙනවුත් තාත්තා ඉදිරියෙන් තබා ගිනි පෙට්ටියක් ඔහු අතට දෙන්නීය.තාත්තා නියමිත මොහොතේ ගිනිකූරක් ගසා එය දල්වයි.

අම්මා කිරිබත් කුට්ටියක් ගෙන වට්ටියක තබයි.ඉන්පසු ඈ ඉතිරි කෑම වර්ගවලින්ද ස්වල්පය බැගින් ගෙන එහි තැන්පත් කරන්නීය.අපි අප බෙදාගත් සියලු දෙයින්ද ස්වල්පය බැගින් එහි තබමු.ඉන් පසු ඈ එය පොල්තෙල් පහනත් සමග ගෙන් පිටතට ගෙන ගොස් ගස් දෙබලක තැන්පත් කරන්නීය.ඒ අවුරුදු දේවතාවාට කරන පූජාවයි.දැන් හැමෝම කෑම කති.බෙදිල්ලට පොර.පෙරැත්තය.

ගනුදෙනු අවස්ථාවේදී තාත්තාට මුලින්ම බුලත් අත දී වැන්දේ අම්මාය.බුලත් කොළයකම ඔතා ඈ දුන් රුපියල් පහට ඔහු දහයක් දුන්නේය.අම්මා රුපියල් පහක් දුන් විට පුංචි තාත්තා දුන්නේ රුපියල් පණහකි.හැම දෙනාගෙන්ම මට රුපියල් දෙක බැගින් ලැබිණ.

මුළු දවසම කවුරුත් ගත කරන්නේ ඉතා සන්තෝෂයෙන්!අපි රාත්‍රිය මැද්දටම කතාබස්  කරමින් ඉඳිමු.කිසිවෙක් අදවත් මා ගෙතුළ නිදි කරවීමට උනන්දුවක් නැත.මමද ඔවුන්ගේ කටවල් දෙස බලා ඉඳිමි.කතාව දැන් බිඳ වැටෙමින් නැගිටිමින්,එකතු වෙමින් අමාරුවෙන් ඉදිරියට යයි.මටද නිදිමතය.මට නින්ද ගිය නොගිය තරම්ය.

"හොඳටම රෑ වෙලා,දැන් නම් නිදිත් මතයි"කියමින් අම්මා නැගිට්ටාය.

"මට වතුර වීදුරුවක් දෙනවද?"පුංචි තාත්තා ඇසීය.තාත්තා මා ලඟින්ම ඇඳේ දිගා විය.

අම්මා වතුර වීදුරුවක් ගෙනාවාය.පුංචි තාත්තා ඉන් කට සෝදා උගුරක් බී වීදුරුව තැබීමට ගෙට ගියේය.අම්මා ඉස්තෝප්පුවේ දොර වසා පොල්ල දැම්මාය.

ඉස තෙල් ගෑමේ නැකත වුයේ පහළොස් වෙනිදාය.එදා සම්පූර්ණයෙන්ම තාත්තාගේ දවස විය.ඔහු උදේම හීරළු ගෙදරට ගොස් දිවුල් කොළ මිශ්‍ර නානු රැගෙන ආවේය.ඉස්තෝප්පුව මැද කුඩා සුදු වියනක් බැඳ එහි දිවුල් කොළ එල්ලා ලීය.පයට ඉඹුල් කොළ එලීය.නැකත ලැබූ විට සුදු  ඇඳගත් අම්මා ඉඹුල් කොළ මත නැගිණ."සබ්බීතියා විවජ්ජන්තු,සබ්බරෝගෝ විනස්සතු.මේ ලැබූ අලුත් අවුරුද්ද සියලු රෝග පීඩාවලින් තොර සැපවත් එකක් වේවා"යි ඔහු ඈ හිස නානු මිශ්‍ර තෙල් ගාමින් ආශීර්වාද කළේය.ඈට ඉක්බිතිව නැගුණු බාප්පාටත් මටත් ඔහු එසේම හිස තෙල් ගා ආශීර්වාද කළේය.අවසානයේ තෙමේම තම හිස මත තෙල් ගාගති.

පුංචි තාත්තා පැමිණ සිටි කාලය අප කවුරුත් ගත කෙළේ ඉතාමත් ප්‍රීතියෙනි.තාත්තා වෙනදාට වඩා ගෙදර අඩුපාඩු අඩුවැඩිය එළවලු මාළුපිනි සොයා පිරවීය.අම්මා වෙනදාට වඩා රසට ඒවා ඉවුවාය.පුංචි තාත්තාද නිකම් නොඉඳ දෙන්නාගේම වැඩවලට උදව් විය.කිවුලෙ ලියැද්දේ ඉතුරු කොටසත් සල්ලිවලට ගන්නයි කියා ඔහු රුපියල් දෙසීයක් තාත්තාට දුන්නේය.නොයෙක් විට ඔහු මා ලං කරගෙන යාළුවෙකු සමග මෙන් නොයෙක් කයි කතන්දර කියවීය.හිඟුරක්ගොඩ පළාතේ කැලෑබද ජීවිතය ගැන කළ විස්තරයි,මගේ සිත වැඩියෙන්ම ගත්තේ.එහේ ගෙවල් දොරවල් කුඩාය.සතා සරුපයාද ඇත.ඒත් මගේ සිත තුළ ආශාව වර්ධනය වෙයි.

"පුතත් කැමතිද හිඟුරක්ගොඩ යන්න?"වරෙක ඔහු මගෙන් අසයි.

"ඔව්"මම එක්වරම කියමි.

"එහෙනම් එන්න අම්මයි තාත්තයි එක්ක"

"අපොයි අම්මලා එන එකක් නැහැ."

"ඇයි නැත්තෙ.පුතා උපදින්ට ඉස්සර අම්මයි තාත්තයි කීප වතාව එහෙ ගිහින් සුමානෙ දෙක ඉඳලා ඇවිත් තියෙනව."

"ඒ වුණාට දැන් නම් කොහෙවත් යන්නෙ නෑ."

"දැන් එහෙමයැ හරියට වැඩ නෙ."

"වැඩ!වැඩ!හැමදාමත් වැඩ!"

"එහෙම කියන්ට එපා.මේ සේරම අපි මහන්සි වෙලා හම්බ කරන්නෙ පුතාටනෙ."

"මට?"

"ඔව්,පුතාට...පුතාටයි....පස්සෙ පුතාට නංගියෙක් හෙම හම්බ උණොත් ඒ නංගිටයි"

"නංගියෙක්?...මට කොයින්ද නංගියෙක්"

"නෑ තමයි.ඒ උණාට අම්මා හරි කැමැත්තෙන් ඉන්නව පුතාට නංගියෙක් ගෙනැත් දෙන්ට.ඒකයි මට එහෙම කියවුණේ."

මම සිතුවිල්ලට වැටෙමි.ඒත් මට නංගියෙකු ලැබෙන සැටියක් සිතාගැනීමට නොහැකිය.

"අපි යමුද පුතා වෙල පැත්තෙ?"

"යමු."

වෙල අද්දර කැලෑ රොද පසු කරද්දී පුංචි තාත්තා ගස්කොළන් පිළිබඳව හුඟක් කරුණු මට කියා දුන්නේය.වදුලෙන් ඉදුණු හිඹුටු ගෙඩියක් කඩාගත් ඔහු එය මට කන්ට දුනි.දං පේර කා තිබුණත් මා හිඹුටු කා තිබුණේ නැත.එය ඉතා රසවත් යැයි මට සිතුණි.පුංචි තාත්තා හැමදාම මෙහි ඉන්නේ නම් කොයි තරම් හොඳද?

පසුවදා අප කාටත් එතරම් ප්‍රීතිමත් දිනයක් නොවීය.එදා රැකීරක්ෂා සඳහා පිටත් වන වේලාවට පුංචි තාත්තා ගෙදරින් පිටව හිඟුරක්ගොඩ යෑමට තීරණය කර සිටියේය.එදා උදේම අම්මා කෑම පිළියෙල කළාය.උදේ වැඩිකම නිසා කෑවේ පුංචි තාත්තා පමණකි.අප කාගේත් මුහුණු සෝබරව පැවතිණි.ඔහු මඳක් වේලා පුටුවක් මත හිඳ ගෙන සිට උතුර බලා දකුණු පය පෙරට තබා ගමන් ඇරඹීය,අපි ඔහු පසුපස ගමන් ගතිමු.වැට කඩුල්ල ළඟදී ඔහු සමු ගන්නා විට අම්මාත් මමත් ඔහුට වැන්දෙමු."මල්ලිට තුනුරුවන්ගෙ පිහිටයි"තාත්තා කීය.අපි තිදෙන ඔහු නොපෙනී යන තුරු එහි බලාසිටියෙමු.