Monday, July 23, 2018

දෙසතිය මතක - බුත්තල ගම් උදාව, සිරිසේන කුරේගේ ඉන්ටවිව් එක, මාළිගාවිල බුදු පිළිමය, රියැදුරන් බඳවා ගැනීම සහ බණ්ඩා ගේ අවුල.


අගමැති ප්‍රේමදාසයන් නිවාස හා ඉදිකිරීම් ඇමති තනතුරේද කටයුතු කරනා කාලයේ පොඩියට වගේ ආරම්භ කළ ගම් උදාව ප්‍රදර්ශනය ටිකෙන් ටික සරුවී මහා ප්‍රදර්ශනයක් බවට පත්වෙමින් තිබිණ.  ගම් උදාව ප්‍රදර්ශනය පැවැත්වෙන නගරය පමණක් නොවැ ඒ දිස්ත්‍රික්කයම සංවර්ධනය කිරීමට නිලධාරීන්ට නියෝග ලැබී තිබුණු අතර එම නියෝග අනුව ප්‍රදේශයේ නගර, විද්‍යාල, පාරවල් ආදී පොදු ස්ථාන ගම් උදාව ප්‍රදර්ශනයට සමගාමීව අලුත්වැඩියා කිරීම හෝ අලුතෙන් ඉදිකිරීම ලහි ලහියේ සිදු කෙරිණි.  සමගාමී යන වචනය සිංහල භාෂාවට එකතුවන්නේ මේ ගම් උදා සංකල්පය නිසා බව මගේ අදහසයි.   අගමැති ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්වීමෙන් අනතුරුව ගම් උදාව අදාළ පළාතම උත්කර්ෂයට පත්කරන මහා මංගල්‍යයක් බවට පත්විය.  1992 බුත්තලදී පැවැත්වුණු ගම් උදා ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රේමදාස මහතාගේ අවසාන ගම් උදාව වුයේ 1993 දී එතුමා ඝාතනය වූ නිසාය.

බුත්තල ගම් උදාව පැවැත්වෙන දින වකවානු ලං ලංව එත්ම අපටද වැඩ රාජකාරි බහුල වන්නට විය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වශයෙන් සෑම ගම් උදාවකටම සහභාගී වුවද මෙවර ගම් උදාව විශේෂයක් වුයේ දෙපාර්තමේන්තුවට අලුතින් පත්ව ආ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් වරයා ප්‍රේමදාස මහතාගේ හොඳම චක් ගෝලයෙක් වීම හේතුවෙන් ගම් උදාවට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනදාට වඩා ඉහළ සහභාගිත්වයක් ලබාදීම අවශ්‍ය බව ඔහු තීරණය කිරීම නිසාය.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම ප්‍රධානීන් කැඳවා පවත්වන ලද සාකච්ඡාවකදී තීරණය වුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන රාජකාරි ගැන මහජනතාවට අවබෝධයක් ලබාදීම අත්‍යාවශ්‍ය බවය.  ඒ සඳහා දෙපාර්තමේන්තුවේ සෑම අංශයක්ම ගැන උදාහරණ සහිතව විස්තර කිරීම සඳහා නිලධාරි, නිලධාරිනියන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු කුටියේ ස්ථානගත කිරීම, ඡායාරුප ප්‍රදර්ශනයක් පැවැත්වීම, මාධ්‍ය සඳහා සන්නිවේදන පහසුකම් ලබාදීම, දෙසතිය අළෙවි සැලක් පැවැත්වීම යන අංග වලට අමතරව රජයේ චිත්‍රපට අංශය විසින් සෑම දිනකම චිත්‍රපට ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමටද තීරණය විය.  ඊට අමතරව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරුප ශිල්පීන් විසින් සමස්ත ගම් උදාව ආවරණය කිරීම සහ චිත්‍රපට අංශයෙන් ද ගම් උදාව චිත්‍රපටගත කිරීම සුපුරුදු පරිදි සිදුවේ.  ගම් උදාව වෙනුවෙන් දෙසතිය විශේෂ කලාපයක් ඌව වෙල්ලස්ස පිබිදීම තේමා කොටගෙන නිකුත් කිරීමද වැඩ සටහනේ තවත් අංගයකි.

මේ කාර්ය භාරය සාර්ථක කරගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සෑහෙන පිරිසක් දිවා රෑ නොබලා කටයුතු කරන්නට වූ අතර අවශ්‍ය ප්‍රතිපාදන ද නොඅඩුව නිකුත් කෙරිණි.  කොළඹ සිට බුත්තලට යන ගමන් ද එන්න එන්නම වැඩිවන්නට විය.  මුලින්ම අප කණ්ඩායමක් බුත්තල ගම් උදා භූමියට ගියේ ගම් උදාවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති ගොඩනැගිල්ල භාර ගැනීමටය.  දෙසතිය බෙදාහැරීම භාරව සිටි මට පැවරී තිබු කාර්යය වුයේ දෙසතිය අළෙවි සැල ස්ථානගත කර පවත්වාගෙන යෑමය.  ඒ සඳහා සුදානම් වීමට දින කීපයක් ප්‍රමාණවත් වුවත් ගොඩනැගිල්ල භාර ගැනීමට යන කණ්ඩායම සමග බුත්තල යන්නට මටද නියම කරන ලදී.

ඒ කාලය වන විට දෙපාර්තමේන්තුවේ රාජකාරි ගමන් බිමන් ගැන හොඳ අත්දැකීමක් ලබා සිටි මට මේ ගමනද තවත් එක් ගමනක් පමණක් විය.  එවකට තනිකඩ කොල්ලෙකු වූ මට ඕනෑම වෙලාවක දින තුන හතරක් වුවද ගෙදරින් පිට ගතකිරීම ඉතා සාමාන්‍ය කරුණක් වීම සහ කොළඹින් පිට යන්නට අකමැති අය මෙන් කන්කෙඳිරි නොගා සැහැල්ලුවෙන් රාජකාරි බාරගැනීම මා මේ ගමනට පිටත් කිරීමට බලපෑ හේතුවක් වන්නට ඇත.  මෙවැනි ගමන් නම් ඉල්ලා වුවද බාරගැනීමට මා කැමති වන්නේ ඒවා හුදෙක් රාජකාරි ගමන්වලට වඩා විනෝද ගමන් බවට අප විසින් පත්කර ගැනීම හේතුවෙනි.  විශේෂයෙන් යන රාජකාරිය එපමණ භාරදුර එකක් නොවීම, දෙපාර්තමේන්තු වාහනයක හොඳ සුව පහසුවට ගමන යන්නට හැකිවීම, ආහාර පාන වෙනුවෙන් කරදර වන්නට නොමැතිවීම නිසා ගමන වෙනුවෙන් ලැබෙන ගමන් වියදම් මුළු මුදලම අතේ ඉතිරිවීම වැනි සිත් ගන්නා සුළු දේවල් අප මෙවැනි ගමන්වලට ඇද බැඳ ගත් කරුණු විය.

ජනාධිපති ප්‍රේමදාසයන්ගේ පාලන සමයේ ගම් උදාව ප්‍රදර්ශනයට අමතරව ජනාධිපති ජංගම සේවා, පදවි ප්‍රාප්ති උත්සවය වැනි උත්සව අඩුවක් නැතිව රට වටා පැවැත්වුන බැවින්ද ඒ හැම උත්සවයකටම සහභාගී වන්නට සිදුවුන බැවින්ද ඒ කාලයේ මගේ අතමිටද  සරුව පැවතුන බව මතක තිබේ.  රාජකාරිය නොඅඩුව ඉටුකර මුදලක්ද උපයා ගන්නා අතර විනෝද වීමද උපරිමව සිදුවූ හෙයින් ආයාසයකින් තොරව ජීවිතය ගතවී ගියේය.  රාජකාරි ගමන්වලදී යන අනෙක් අයගෙන් මට පැනවෙන කොන්දේසියක් වන්නේ කණ්ඩායමටම උදේ කෑම රැගෙන ඒමය.  ඒ වෙනදෙයක් නිසා නොවැ අපේ අම්මා හදාදෙන ඉඳිආප්ප සහ තිබ්බොටු මුසුකළ කහ පොල් මැල්ලුම ඔවුන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වී තිබීම නිසාය.  මේ බව දන්නා අම්මාද අපි උදේ පාන්දර ගමනක් යද්දී කට්ටියටම ඇතිවෙන්නට කෑම සාදා වාහනයට දමයි.

ඒ මා පළමුවෙන්ම බුත්තල නගරයට ගිය ගමනයි.  ඉතා කුඩා ප්‍රත්‍යන්ත කඩමණ්ඩියක් වූ බුත්තල විශාල වෙනසකට භාජනය වී නාගරීකරණය වෙමින් පැවතුණ බව බැලු බැල්මටම පෙනෙන්නට තිබිණි.  කොළඹ සිට බුත්තලට යන හැම පාරක්ම විශාල කර කාපට් අතුරා තිබු අතර පාලම් බෝක්කු ආදිය පළල් කොට අලුත්වැඩියා කර තිබුණි.  ගම් උදා භුමිය වුයේ බුත්තල ටවුමේ සිට කිලෝමීටරයක් පමණ ඈතට වන්නටය.  ගම් උදා භුමිය ඉදිරියෙන් බලන විට ඈතින් වෙල්ලස්ස කඳු වැටිය අලංකාරව දර්ශනය වූ අතර තොප්පිගල කන්ද ගම් උදා භුමිය ඉදිරිපිට තේජාන්විතව නැගී සිටියේය.  එවකට තොප්පිගල පසුපස බෑවුම එහෙම පිටින්ම කොටි කඳවුරු වලින් සමන්විත විය. 

මෙතරම් ජනතාව සේනාවක් එකතුවන ගම් උදාව වැනි ප්‍රදර්ශනයකට එවකට ඉතා බලවත්ව සිටි කොටි සංවිධානයෙන් විරුද්ධතාවක් මතුවන්නේ නැතිද යන්න හෝ ප්‍රදර්ශනයට කොටින්ගෙන් ප්‍රහාරයක් එල්ලවෙයි යන්න ගැන අපට ප්‍රශ්නාර්ථයක් තිබුණත් ජනාධිපති ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධව ඉතා නිහඬ වතක් අනුගමනය කළේය.  ගම් උදා භුමියේ ආරක්ෂාව වැඩිකර තිබුණ අතර කොටි ගැන කිසිම තැකීමක් නොමැතිව ප්‍රේමදාස මහතා හැම සතියකම ගම් උදා භුමියේ වැඩ කටයුතු කෙරෙන ආකාරය බලන්නට කොළඹ සිට බුත්තලට ගියේය.  කෙසේ වුවද බුත්තල ගම් උදා ප්‍රදර්ශනය අවසන් වන තුරුම කොටින්ගෙන් කිසිම කරදරයක් වුයේ නැත.  ඒ සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා සහ කොටි සංවිධානය අතර කිසියම් රහසිගත එකඟතාවක් තිබු බව සමහර අය රහසින් වගේ කරපු කතාවල යම් කිසි සත්‍යයක් තියෙන්නට ඇතැයි මට සිතුණේ මේ කතාත් එක්ක වෙච්ච දේත් සංසන්දනය කර බැලීමේදීය.

දැන් දැන් ගම් උදා ප්‍රදර්ශනයට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සුදානම පිමි පනිමින් ඉහළ යයි.  හැම සතියකම වාගේ දෙපාර්තමේන්තුවේ කවුරුන් හෝ එක එක වැඩවලට බුත්තල යාම සාමාන්‍ය දෙයක් විය.  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලැබී තිබු ගොඩනැගිල්ල බාර ගත් පසුව එහි ඇතුළත ඉදිකිරීම් සහ අලංකරණය සඳහා චිත්‍රපට අංශයෙන් වඩු බාස්ලා සහ මේසන් බාස්ලා ගම් උදාවට යවා තිබු අතර දෙසතිය කර්තෘ මණ්ඩලයේ කීප දෙනෙක් බුත්තලට ගොස් දින ගණනක් ගතකර විශේෂ දෙසතිය කවරයේ කතාවට අවශ්‍ය වන අමුද්‍රව්‍ය එකතු කරගෙන පැමිණ තිබුණි.  ඉතිරිවී තිබුණේ නිවාස සහ ඉදිකිරීම් ඇමති සිරිසේන කුරේ මහතාගේ ඉන්ටවිව් එක පමණකි.  ඒ සඳහා ඔහුව සම්බන්ධ කරගත් විට දැනගන්නට ලැබුණේ සිරිසේන කුරේ මහතා ඒ වනවිට සිය අමාත්‍යාංශය කාර්ය මණ්ඩලයත් එක්කම බුත්තල ගම් උදා භූමියට ගෙනගොස් ඇති බවයි.  අමාත්‍යංශයේ සියලුම වැඩ කෙරෙන්නේ බුත්තල සිට බැවින් එහි ගොස් අවශ්‍ය සම්මුඛ සාකච්ඡාව කරගන්නා ලෙස දැනුම් දුන් අතර ඒ සඳහා දිනයක් හා වේලාවක් ද ලබා දෙන ලදී.

මට කලින් කියන්නට අමතකවී ගිය කරුණක් වුණේ මොනරාගල කැලෑවක් මැද කඩා වැටී වල්බිහිවී තිබු මාළිගාවිල බුදු පිළිමයද ප්‍රතිසංස්කරණය කොට නගා සිටුවන ලද්දේ බුත්තල ගම් උදාවට මාස කීපයකට පෙර බවය.  පිළිමය නගා සිටවුවාට පසු තිබෙන ආකාරය දැක්වෙන පිංතුර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ එතෙක් නොතිබූ බැවින් මාළිගාවිල පිළිමයේ පිංතුර ගැනීමද අත්‍යාවශය කාරණයක් විය.  මාළිගාවිල බුදු පිළිමය තිබු තැනට යන්නට බුත්තල සිට මොනරාගල පාරේ ටික දුරක් ගොස් හැරී යා යුතු විය.  බුත්තල යන එන වෙලාවක මාළිගාවිලටත් ගොස් පිළිමයේ පිංතුර ටිකක් අරගෙන එන්නට යැයි ලොක්කා කීප සැරයක්ම මතක් කළත් යන වෙලාවට ඡායාරුප ශිල්පියෙක් සපයා ගැනීමේ අපහසුව නිසා වැඩේ දිනෙන් දින කල් යමින් තිබුණි.  ගම් උදාව අවසන් වෙන්නට පෙර කෙසේ හෝ පිළිමය ඡායාරූප ගත කළ යුතු බව අපි කතා කර ගත්තෙමු.

සිරිසේන කුරේ මහතා විසින් සම්මුඛ සාකච්ඡාව සඳහා දී තිබු දිනය ද පැමිණි බැවින් මාව ඒ ගමනට ද නම් කර තිබුණි.  අපි උදේ පාන්දර පිටත් වී දවල් කෑම වෙලාවට බුත්තල ගම් උදා භූමියට පැමිණියෙමු.  අපේ අදහස වුණේ හවස් වෙන්නට පෙර සම්මුඛ සාකච්ඡාව අවසන් කර මාළිගාවිල ගොස් පිළිමයේ පිංතුර ද රැගෙන නැවත ආපසු පැමිණීමටය.  අපි මුලින්ම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ල ට ගොස් නා කියාගෙන පිරිසිදු වී  ඇඳුම් ද මාරුකරගෙන කියපු වෙලාවටම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට ගියත් ඒ වන විට සිරිසේන කුරේ මහතා පිටත ගොස් තුබූ අතර ඒ එතෙක් ආපසු පැමිණ තිබුණේ නැත.  ආයෙම ගොඩනැගිල්ලට ගොස් දවල්ට කෑම ද කා බලාපොරොත්තුවෙන් සිටියෙමු.  සිරිසේන කුරේ මහතා ආපසු පැමිණි බව අපට දැනගන්නට ලැබුණේ හවස හතරට පමණ ස්පීකරයෙන් කියන විටය.  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැමිණි කණ්ඩායම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට වහාම පැමිණෙන ලෙස නිවේදනය කෙරුණි. 

ඉක්මන් කර එතැනට ගිය අපිව සිරිසේන කුරේ මහතා ආදරයෙන් පිළිගත්තේ ප්‍රමාදය ගැන දැඩි කණගාටුවද පළ කරමිනි.  ආගිය කතාවලින් පසුව ප්‍රණීත තේ පැන් සංග්‍රහයකි.  ඉන්පසුව සම්මුඛ සාකච්ඡාව ආරම්භ විය.  සම්මුඛ සාකච්ඡාව දැඩි තර්ක විතර්ක වලින් පිරුණු එකක් වූ අතර වඩාත්ම කතාවට ලක්වුණේ ගම් උදාවට වියදම් කරන මුදල් වලින් රටට ප්‍රයෝජනයක් වේද යනුවෙන් දෙසතිය කණ්ඩායම ඇසු ප්‍රශ්නය යි.  එසේ ඇදී ගිය කතා බහ අවසන් වන විට ඇඳිරි වැටී තිබු අතර අපි සිරිසේන කුරේ මහතාගෙන් සමුගෙන ආපසු පිටත්වන්නට සැරසුණු අතර මාළිගාවිල යෑමේ අදහස අත්හැර දමන්නට සිදුවුණේ ඒ වෙලාවේ ගොස් පිංතුර ගැනීමට නොහැකිවීම නිසාය.  පිංතුර ගන්නට අපත් සමග ගොස් සිටි තිස්ස කොතලාවල උදේ සිටම හොඳ ළමයෙක් වගේ සිටි නමුත් ආපහු එන්නට වාහනය පාරට දැම්ම වෙලේ සිටම නොසන්සුන් ගතියක් පෙන්වන්නට වූ නිසා බෝතල් පාටිය බුත්තලින් ම පටන් ගන්නට සිදුවිය. 

අපි රියැදුරන් දෙන්නෙක්ම රැගෙන ගොස් තිබුණේ යනකොට එකයි එනකොට එකයි වශයෙන් වැනට් එක පදවන්නට දෙන්නටය.  එක රියැදුරෙක් අලුතෙන්ම බඳවාගත් කෙනෙක් වූ අතර අනිකා දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියැදුරෙකි.  පරණ රියදුරා උදේ සිටම රිය පදවා ආපසු යන ගමන අලුත් රියදුරු ට ලබාදී පස්සට ඇවිත් හොඳට බෝතලය සප්පායම් වන්නට විය.  මේ අලුත් රියදුරා ඇල්දෙනිය නම් තරුණයෙකි.  ඒ වගේම ඔවුන් දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලද්දේද අලුත් ක්‍රමයකටය.  එතෙක් කල් රියැදුරු, කාර්යාල කාර්ය සහායක ආදී තනතුරුවලට බඳවා ගැනීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නොවූ අතර දෙපාර්තමේන්තු හෝ අමාත්‍යංශ වල ඉහළ නිලධාරීන්ගේ හිතවතුන්, ඥාතීන් වැනි අය ඒ තනතුරු වල පුරප්පාඩු වලට බඳවා ගනු ලැබුහ.  පුරප්පාඩු නැත්නම් පුරප්පාඩු හදාගෙන හෝ අවශ්‍ය අය බඳවා ගත් අවස්ථා ද විය.  88 - 89 තරුණ නැගිටීම ඇතිවූ අවස්ථාවේ ඒ කැරැල්ල ට හේතුවූ කරුණු සහ දිය යුතු විසඳුම් සොයා ගැනීමට ප්‍රේමදාස ජනාධිපති තුමා විසින් තරුණ අසහන කොමිසම පත්කරන ලදී.  

මගේ මතකය නිවැරදි නම් මේ කොමිසමේ සභාපති වරයා වුයේ මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතාය.  මෙම කොමිසම තම වාර්තාවෙන් පෙන්වා දුන් එක දෙයක් වුයේ රජයේ රැකියා පුරප්පාඩු සඳහා පිරිස් බඳවා ගන්නා ආකාරය පිළිබඳව රටේ තරුණ පිරිසගේ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.  එයට විසඳුමක් වශයෙන් රජයේ රැකියා පුරප්පාඩු වලට තරඟ විභාග පවත්වා පාරදෘශ්‍ය ආකාරයට රැකියා සඳහා පිරිස් බඳවාගත යුතු බව කොමිසම යෝජනා කළේය.  කොමිසමේ මෙම නිර්දේශ ප්‍රේමදාස මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක කරන ලදුව රජයේ සේවාවන් සඳහා තරඟ විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලදී.  රියැදුරන් බඳවා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය වුයේ නියමිත අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ කළ අයැදුම් කරුවන්ට ලිඛිත විභාගයක් පවත්වා ඒ විභාගය සමත්වූ අයගේ නම් ලැයිස්තුව ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ තබා ගැනීමයි.  අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට රියැදුරන් අවශ්‍ය වූ විට ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කළ යුතු විය.  එවිට එම ඉල්ලීම අනුව ලැයිස්තුගත රියදුරන්ගේ නම් ඇතුළු විස්තර අදාල ආයතනයට ලබාදෙයි.  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ද රියැදුරන් සඳහා එසේ ඉල්ලීමක් කළ විට විභාගය සමත් අයගේ විතර ලබාදෙන ලදී.  රියැදුරන් පස් දෙනෙක් අවශ්‍ය නම් දහ දෙනකුගේ පමණ විස්තර ලබාදෙයි.

ඒ අය කැඳවා රියැදුරු ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වුයේ රථවාහන පොලිස් නිලධාරියෙක්, දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන නිලධාරී, පරිපාලන නිලධාරියා ඇතුළු කණ්ඩායමකි.  සමත්වූ අය හත් දෙනෙකුට පත්වීම් ලිපි නිකුත්කර බඳවා ගන්නා ලදී.  ඇල්දෙනිය ද එවැනි රියැදුරෙකි. ඔවුන් රියැදුරන් වශයෙන් ඉතා හොඳ සේවාවක් දෙපාර්තමේන්තුවට ලබා දුන්හ.  එම ලිඛිත විභාගය පැවැත්වුණේ එක් වරකි.  ඉන්පසුව එම විභාගයට වෙච්ච දෙයක් නැතිවුයේ දේශපාලන බලපෑමෙන් විය හැකිය.  මා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාරුවී ගොස් අවුරුදු දොළහකට පමණ පසුව මට නැවත ඇල්දෙනිය හමුවුයේ ඩුබායි හිදීය.  මා ඩුබායි රටට ගිය විටෙක ඇල්දෙනිය ගුවන් තොටුපොළ ට පැමිණ සිටියේ මා කැඳවා ගෙන යාම සඳහාය.  එවකට ඔහු ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ රියැදුරෙකු ලෙස සේවය කරමින් සිටියේය.  දුටු විගසම ඇල්දෙනිය මා හඳුනා ගත් අතර අපි පරණ කතා කියමින් මා නවාතැන් ගන්නා ස්ථානයට ගියෙමු.  කොන්සල් කාර්යාලයේදී මට මා සමග ගමන් ගිය තවත් රියැදුරෙකු හමුවිය.  ඔහු ගැන කතාවක් ද මතක් වෙන නිසා ඔහුව නියම නමින් හඳුන්වා නොදී බණ්ඩා යැයි කියමු.

බණ්ඩා ද කිසිවෙක් සමග ප්‍රශ්න ඇති කර නොගෙන සිය රාජකාරිය හරියටම කරන රියැදුරෙකි.  ගම මිනුවන්ගොඩ පැත්තේය.  ගුවන් තොටුපොළට රාජකාරි ගමන් යන හැමදාකම පාහේ මම ගියේ බණ්ඩා සමගය.  මේ රාජකාරී ගමන් වැඩිපුරම යෙදී තිබුණේ රාත්‍රියේය.  බණ්ඩා රාත්‍රියේ මා කැඳවා ගෙන යන්නට අපේ ගෙදරට පැමිණෙන අතර ගෙදරින් රෑට කෑම කා පිටත්වී ගුවන් තොටුපොළෙන් මා බස්සන බණ්ඩා රාජකාරි අවසන්වී කීයට හෝ මා ආපසු එනතුරු වාහනයට වී නිදාගනී.  මේ ආකාරයට දිගින් දිගටම කාලය ගතවී ගියේය.  දවසක් දා නුපුරුදු අංකයකින් මට ලැබුණු දුරකථන ඇමතුමකි.  මේ කවුරුන්දැයි සිතමින් මම ඇමතුම ලබාගත්තෙමි.

" මේ .... මහත්තයද?" ඇමතුම කාන්තාවකගෙනි.

" ඔව්, කවුද මේ?"

" මහත්තයො, මම බණ්ඩගෙ වයිෆ්"

"ඔව්, මොකක්ද උවමනාව"

" මහත්තය රෑට එයාපෝට් යන්නෙ බණ්ඩත් එක්ක නේද?"

" ඔව්, ගොඩක් දවස්වලට යන්නෙ එයත් එක්ක, වෙන අය එක්කත් යනවා."

" එතකොට මහත්තය එයාපෝට් එකේ වැඩ ඉවරකරලා එනතුරු බණ්ඩ කොහෙද ඉන්නෙ?"

" බණ්ඩා වාහනයට වෙලා නිදාගන්නවා."

" මහත්තය බැස්සයින් පස්සෙ බණ්ඩට ඕනෑ තැනක යන්න පුළුවන් නේද?"

ඇය වටින් ගොඩින් මගෙන් අහන්නේ බණ්ඩා ගේ කොටුවක් ගැන දැනගන්නට බව මේ වන විට මට වැටහෙමින් පැවතුණි.  මට ඇය ගැන ඇතිවුයේ අප්‍රසාදයකි.

" ඔව්, බණ්ඩට ඕනෑ තැනක යන්න පුළුවනි. හැබැයි එයා මම කීයට ආවත් ඒ වෙලාවට වාහනේ ඉන්න ඕනෑ. එහෙම නැතිවුණොත් ඒක එයාට ප්‍රශ්නයක්, මෙච්චර කල් බණ්ඩා මම කොයි වෙලාවට ආවත් වාහනේ හිටියා. මිනිහ කොහෙවත් යන්නෙ නෑ කියල මම දන්නෙ එහෙමයි."

" මම මෙහෙම කතා කළා කියල මහත්තය බණ්ඩට කියන්න එපා."

මම ඇයට පොඩි අවවාදයක්ද දුන්නෙමි.

" නෑ මම බණ්ඩට කියන්නෙත් නෑ වෙන කාටවත් කියන්නෙත් නෑ, හැබැයි මෙහෙම පිට අයගෙන් බණ්ඩා ගැන අහන එක බණ්ඩට හොඳ නෑ.  මම කිව්වෙ නැතුවට වෙන කවුරුවත් එහෙම කරයි කියල හිතන්න එපා.  එතකොට ඒ අය මේවට අතිනුත් කෑලි දාල හැමතැනම ප්‍රචාරය කරයි.  එතකොට බණ්ඩගෙ තත්වෙ මොකක්ද?  ඒ නිසා තම තමන්ගෙ ප්‍රශ්න තමන්ම කතා කරලා විසඳ ගන්න එකයි හොඳ."

ඒ කාන්තාව මගේ අවවාදය පිළිගත්තා දැයි නොදත් නමුත් ඇය එහෙම අවවාදයක් හිතට ගන්නා ගැහැණියක් නොවන බව ඇගේ කතාවෙන්ම මට වැටහුණි.  කෙසේ වුවද මා නොකිවූ මුත් බණ්ඩා ට කතාව පසුව ආරංචි වී ඇත.  බොහෝ දුරට බිරිඳගෙන්ම විය යුතුය.  තමන්ව ආරක්ෂා කරමින් මා කතා කිරීම ගැන පැහැදුනු බණ්ඩා ඊට පසුව මා සමග බොහෝ හිතවත් විය.  ඇල්දෙනිය මා බණ්ඩා ට හඳුන්වා දුන්නේ, 

" මේ අපිත් එක්ක ඉස්සර වැඩකරපු මහත්තයෙක්, උඹ දන්නවද?" යනුවෙන් වුවත් බණ්ඩා එකෙණෙහිම කීවේ, 

" ඇයි බං මම මේ මහත්තේලෑ ගෙදරින් කෑම කාලත් තියෙනවා" කියලාය.

පසුවදා බණ්ඩා මාවත් හැලපිවත් ලංකා හෝටලයකට එක්කරගෙන ගොස් රෑ කෑමක් දුන්නේ පැරණි යාලුකමටය෴