Tuesday, February 19, 2019

මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තූති කතාව, සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.



අවුරුද්දකට වරක් මහාබෝධියේ පැවැත්වෙන ලොකුම උත්සවය වූ වෙසක් මංගල්‍යය ඒ අවුරුද්දේ මහ ඉහළින් පැවැත්වුණේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි.  කෙනට් පාර පටන් ගන්නා තැන සිට ආරම්භ වූ පෙරහැර නැටුම් ගැයුම් වලින් අලංකාර විය.  මහාබෝධිය දක්වා පෙරහැර ගමන් කිරීමේදී පොලිසියෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබිණි.  ආගමික කටයුතු අවසානයේ උත්සව සභාව පැවැත්විණි.  කලින් සකස් කළ වැඩ සටහනට අනුවම උත්සවය පැවැත්වුණු නිසා වෙනදා පැය දෙකහමාරක් තුනක් කතාකරන ආචාර්ය සිද්ධාර්ථන් ගේ කතාවට ලැබී තිබුණේ විනාඩි පහක කාලයකි.  කෙසේ වුවද පැය කාලක පමණ කතාවකින් පසු ආචාර්ය සිද්ධාර්ථන් ව නවතා ගැනීමට සංවිධායකයන්ට හැකිවිය.  මේ සියලු උත්සව කටයුතු විටින් විට ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය.  උත්සවයේ අවසන් කතාව වන ස්තූති කතාව කරන්නට සිටියේ ධම්මදින්න හාමුදුරුවෝ ය.  උත්සවය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන නිසා ස්තුතී කතාවද කළ යුත්තේ ඉංග්‍රීසියෙනි.  ඉංග්‍රීසියෙන් ස්තුතී කතාව කරන්නට ධම්මදින්න හාමුදුරුවෝ දත මැදගෙන හිටියත් පොඩි පරහකට තිබුණේ ධම්මදින්න හාමුදුරුවන්ට ඉංග්‍රීසි බැරි වීමය.

ඉංග්‍රීසි බැරිය කියා ධම්මදින්න හාමුදුරුවන් පසුබැස්සේ නැත.  උන්වහන්සේ ගේ කතාව සකස් කරදීම අපට පැවරිණි.  අපි උත්සවයට සතියකට පෙර සිට ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව හදන්නට පටන් ගත්තෙමු.  මුලින්ම අපි කළේ මහාබෝධියට ගොස් ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව සිංහලෙන් ලියා ගැනීමය.  ලියාගෙන අවසන් වන විට තරමක් රෑ වෙලාය.  "මහත්තුරුන්ට මහන්සිත් ඇති නේද?" කියන හාමුදුරුවෝ තේ ගෙනෙන්නට ගෝලයෙකුට කියන විට "තේ නම් ඕනෑත් නෑ හාමුදුරුවනේ" කියා අපි ඇද පැද කිව්වේ තේ එපා නිසාම නොවේ.  "එහෙනම් වෙන මොකුත් ගෙන්නන්නකෝ" කියන හාමුදුරුවෝ විස්කි බෝතලයක් ගේන්නට මුදල් දෙති.  විස්කි බෝතලය අවසානයේ අපි සතුටින් නිවෙස් බලා විසිර යන්නෙමු.  පහුවදාද අපි මහාබෝධියට එකතුවෙන්නේ හාමුදුරුවන්ගේ සිංහල කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටය.  ප්‍රසිද්ධ සභාවක් මැද කෙරෙන කතාවක් නිසා ඒ කතාව බොහෝ ප්‍රවේසමෙන් පරිවර්තනය කර අවසන් කළ යුතු බැවින් අපට එදාද කතාව සම්පූර්ණයෙන් පරිවර්තනය කර ගැනීමට නොහැකිව හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාරය ලබා විසිර යන්නට සිදුවේ.  කෙසේ හෝ අපි සතියක පමණ කාලයක් හාමුදුරුවන්ගේ කතාව සඳහා ගතකල අතර අවසානයේ කතාව පරිවර්තනය කර ශුද්ධ කර අලංකාර කර බලන විට ඉතිරිවී තිබුණේ හාමුදුරුවන් අපට කියපු සිංහල කතාවට හාත්පසින්ම වෙනස් කතාවකි.  කතාව හාමුදුරුවන්ට බාරදුන් විට ප්‍රීතියෙන් පිනාගිය උන්වහන්සේ අපට බොහෝසේ ස්තුතී කළහ.

ස්තුතිය අවසානයේ අපි හාමුදුරුවන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ කතාව එක්වරක් නොව දහවරක් පමණ කියවා වචනවල උච්චාරණය පුහුණු වෙන්නට කියාය.  ඊටද හේතුවක් තිබුණි.  ඊට කලින් අවුරුද්දේ සමිත හාමුදුරුවන්ට අපි හදා දුන් කතාව උන්වහන්සේ සභාවේදී කියවන්නට ගොස් වරද්දා ගත්තේය.  වචන උච්චාරණය එහෙම පිටින්ම වැරදිය.  නවත්වන්නට අවශ්‍ය තැන නවත්වන්නේ නැත.  වාක්‍යවල මැදදී නවත්වයි.  ඊට පහුවදා ලොක්කා අපට කතාකළේය.

" මොනවද අයිෂේ අර හාමුදුරුවො ඊයෙ කියපු කුණුහරුප? කවුද ඔය කතාව හදල දුන්නෙ?"

අපි මුවින් නොබැන සිටි තැන කතාව අප විසින් හදා දෙන ලද්දක් බව ලොක්කා ප්‍රත්‍යක්ෂ කරගත්තේය.

" කතා හදල දෙන එකේ වැරද්දක් නෑ, ඒ වුණාට කියවන හැටිත් පුරුදු කළා නං තමයි හොඳ." කියා කතාව හමාර කළේය.  ධම්මදින්න හාමුදුරුවන්ටද අපි බැගෑපත් වුණේ කතාව වැරැද්දුවොත් එහෙම ඒ වැරද්දත් අපි පිට පැටවෙන නිසාය.  කෙසේ වුවද ප්‍රතිපලයේ වෙනසක් වුයේ නැත.  අපි ලියාදුන් කොළය එකවරක් වත් කියවන්නට කරදර නොවූ ධම්මදින්න හාමුදුරුවෝද කතාව වැරද්දු අතර අන්තිමේදී කළේ සෙවරල් කොන්ක්‍රීට් වැනි කතාවකි.

කෙසේ වුණත් ඉතා අලංකාරව පැවති වෙසක් උත්සවය සතුටින් අවසන් වූ අතර උත්සවය අවසානයේ ආරාධිතයින් සඳහා තේ පැන් සංග්‍රහයක් විය.  කාන්තාවන්ට තේ පැන් සංග්‍රහයට සහභාගී වෙන්නට කියා අපි දෙතුන් දෙනෙක් සමන් සමග ඔහුගේ කාමරයට ගියේ සමන් ලංකාවෙන් එනවිට ගෙනැවිත් තිබූ විස්කි බෝතලයක් හිස් කරන්නටය.  වැඩේ පටන්ගන්නා විටම සංඝානන්ද හාමුදුරුවෝ කාමරයට වැඩම කළහ.  ඊට ටික කලකට පෙර මහාබෝධියට පැමිණ සිටි සංඝානන්ද හාමුදුරුවෝ ඉතා අලංකාරව බෝධි පූජා පැවැත්වීමෙහි සමතෙකි.  උන්වහන්සේ අහගෙන ඉන්න උපාසක අම්මලාට අඬන්නට බෝධි පූජා කවි ගායනා කරයි.  හාමුදුරුවෝ විස්කි බොන්නේද අමුවෙනි.  ඔහු ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය.  තව එකක් වදින විට උන් හිටි තැන්ද අමතකවූ හාමුදුරුවෝ පිස්සු කියවන්නට වූයෙන් කාමරයෙන් එළියට වැඩම කරවුයේ බොහෝ අසීරුවෙනි.

හාමුදුරුවන් කාමරයට එන විට අපි කතා කරමින් හිටියේ ඊට අවුරුදු කීපයකට පෙර සමන් කළ වැඩක් ගැනය. මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් සම්මාන උළෙලක නිවේදකයා වුයේ සමන්ය.  ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස මහතාය.  සමන් සිය සුපුරුදු වාග් චාතුර්යයෙන් සභාව මෙහෙයවමින් කථිකයන් හඳුන්වා දුන්නේ එක් එක් කථිකයා ගැන වර්ණනාවක් ද සමගිනි.  අවසානයේ ජනාධිපති ප්‍රේමදාස මහතා සභාව ඇමතීමේ වාරයද පැමිණියේය.  මයික්‍රපෝනය ඉදිරියට ගිය සමන් කථිකයා හඳුන්වන්නට පටන් ගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ කිලර් කැසට් පටයේ එන ගීතයක කොටසකිනි.

"කළුවර දළු කඩාගෙන කෑ මහ රෑට
ගිණි මල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ලා හිරු එබෙනා පැයට
රැකගත් යෞවනය ගිනිගත් ටයර යට"

වනමල්ය වනමල්ය (ගීතය මෙතැනින් අසන්න)

"දැන් ඔබ අමතන්නේ ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස!!"

මා මේ උත්සවය රූපවාහිනියෙන් නැරඹු නිසා මේ ගැන සමන්ගෙන් අහන්නට සිත්විය.  සමන් සිනාසෙමින් කීවේ මෙවැනි කතාවකි.

" සමන් ඉවරයි කියල ඔක්කොම කිව්වා.  අහගෙන හිටපු චරිත රත්වත්ත(එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති) ඔළුවෙ අත ගහගත්තා.  ඒ වුණාට මට කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ ප්‍රේමදාස මහත්තය මැරෙනකල්ම."

" ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි ප්‍රේමදාස මහත්තය ඉස්සරහ තියාගෙන එහෙම කිව්වෙ කියලා?"

" අනේ මංදා බං, කිව්වද කියවුණාද කියල මට අදත් හිතාගන්න බෑ."

අපි සිනාසෙද්දී සමන් තවත් කතාවක් කීවේය.  අඳුකොළ සමන් අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍යයක් වූ අතර එය 1989 දී පමණ රූපවාහිනියෙන් විකාශය විය.  එයද මා ඉතා ප්‍රියකළ ටෙලි නාට්‍යයක් වූ අතර අද අඳුකොළ ටෙලි නාට්‍යයේ කොටසක් හෝ අන්තර්ජාලයේ කිසිම තැනකින් සොයාගන්නට නොහැකිවීම කණගාටුවට කරුණකි.  මේ ටෙලියේ ප්‍රධාන චරිත වසන්ත කොටුවැල්ල සහ අරුණි දේවරාජා රඟ පෑ අතර ජෝ අබේවික්‍රම, මානෙල් ජයසේන, ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර සහ දයා තෙන්නකෝන් සහාය චරිත රඟපෑහ(අරුණි දේවරාජා රඟ පෑ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය අඳුකොළ විය.  මහාචාර්ය ලෝනා දේවරාජා මහත්මියගේ දියණිය වූ අරුණි රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු රඟපෑමෙන් ඉවත් වීම නිසා ක්ෂේත්‍රයට දක්ෂ නිළියක් අහිමි වූ බව මගේ විශ්වාසයයි)  සමන් කී කතාව මෙයයි.

" අපි අඳුකොළ ෂූට් කරන කාලෙ ජේ වී පී කලබල තදටම තිබුණා.  කතාවෙ හැටියට ජෝ මහත්තයට තුවක්කුවක් තිබ්බා.  මිනිහ ඇවිදින්න යන්නෙ ඕකත් කරගහගෙන.  දවසක් ජෝ මහත්තය අරුණිත් එක්ක ඇවිදින්න යද්දී පැත්තක තියලා තිබ්බ තුවක්කුව දැකල ආසාවට තුවක්කුව අතට ගන්න අරුණි කොකා ගස්සනවා.  වෙඩිල්ල පත්තු වෙද්දි තුවක්කුව ආපහු විසිවෙන සැරට අරුණි විසිවෙලා වැටෙනවා.  තුවක්කුව තව පැත්තකට වීසි වෙනවා.  ඒ වෙලාවෙ ජෝ මහත්තය අරුණිට කරපු වැඩේ ගැන දොස් කියනවා.  ඔන්න ඔය සීන් එකයි ගන්න තිබ්බෙ.  ඒ කාලෙ වැඩේට තුවක්කුවක් හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මුලදි මුලදි තුවක්කුව බලාගන්න වෙනම ගෝලයෙක් දාල හිටියත් ෂූටිං කෙරීගෙන යද්දී ඒ උනන්දුව නැතිවෙලා ගියා, ඊට පස්සෙ ගස්වලට, ගල්වලට, බෝක්කු කණුවලට තුවක්කුව හේත්තු කරල තිබ්බ මිසක බලාගන්න වෙනම කෙනෙක් හිටියෙ නෑ.  ඔන්න දැන් අපි ෂූට් එකට ගියා, අරුණි තුවක්කුව අරගෙන කොකා ගැස්සුවට තුවක්කුව පත්තු වුණේ නෑ.  ඊට පස්සෙ අරගෙන තුවක්කුව සුද්ද කරල ආපහු පතුරමක් දාල ආයෙ ගැස්සුවත් පත්තු වෙන්නෙ නෑ.  දැන් ලොකු ප්‍රශ්නයක් සීන් එක කරගන්න බෑනෙ.  ඔය වෙලාවෙ තමා පැත්තකට වෙලා ෂූටිං බලාගෙන හිටපු කොල්ලො දෙන්නෙක් මගෙ ලඟට ආවෙ.

" ඇයි සමන් අයියා ප්‍රශ්නයක්ද? මේ කොල්ලො මගෙන් ඇහුවා."

" ඒකනෙ මල්ලි තුවක්කුව පත්තු වෙන්නෙ නැතිව ගියානෙ."

විනාඩි පහක් ඉන්න සමන් අයියෙ කියල කොල්ලො දෙන්නා සයිකලේ නැගල යන්න ගියා.  මේ දෙන්න ටිකකින් ආපහු ආවෙ තුවක්කු හතරක් අරගෙන.  "මෙන්න සමන් අයියෙ ඔයාට ඕනැ තුවක්කුව තෝරලා ගන්න" කියල තුවක්කු ටික මගෙ අතට දුන්නා.  මම ජෝ මහත්තය ළඟ තිබ්බ තුවක්කුවෙ පෙනුමට හරියන එකක් තෝරගෙන ආපහු ටේක් එකට ගියා.  එක ටේක් එකෙන්ම ෂොට් එක ඕකේ වුණා.  වැඩේ ඉවරවුණාට  පස්සෙ තුවක්කුව ඉල්ලගත්ත කොල්ලො දෙන්නා සයිකලේට නැගල යන්න ගියා.  ආයෙම උන් ඒ පැත්තෙවත් ආවෙ නෑ."

" දේශප්‍රේමියෝ දෙන්නෙක් වෙන්න ඇති." අපි කීවෙමු.

" වෙන කවුද, කොච්චර වුණත් උන් දෙන්නා වෙලාවට එතන හිටියෙ නැත්නං මම ලොකු අමාරුවක වැටෙන්නෙ." සමන් කතාව අවසන් කළේය.

ඉලන්දාරිකම හොඳටම ඔලුවට ගසා තිබූ නිසා ධම්මදින්න හාමුදුරුවෝ මහාබෝධියේ කාලය ගතකලේ සැහැල්ලුවෙනි.  නිතරම මහාබෝධියේ ඉන්න කපිල, රාජා වැනි අය සමග හිතුණු හිතුණු වෙලාවට වාහනවල නැගී ඇවිදින්නට ද ධම්මදින්න හාමුදුරුවෝ පුරුදු වුණේය.  ඔහොම ටවුමේ ඇවිදින ගමන් රෑ බෝ වුන වෙලාවට අපේ ගෙදරට ගොඩවෙන්නේ රෑ දානය සොයාගෙනය.  අපේ අම්මාත් අපේ ගෙදර ඇවිත් හිටපු දවසක පොඩි හාමුදුරුවෝ අපේ ගෙදරදී අපිත් එක්ක මේසයේ වාඩිවී රෑ දානය වළඳනවා දුටු අපේ අම්මාගේ කට අප්පල්ල වගේ හායි ගා ඇරුනේ මෙහෙම දෙයක් කවදාවත් දැක නැති නිසාය. 

හැමදාම අනුන්ගේ වාහනවල නොයා තමන්ටම කියා වාහනයක් ගත්තා නම් නරකදැයි දවසක් රාජා හාමුදුරුවන්ට කියූ පසුව හාමුදුරුවෝත් වාහනයක් මිලදී ගැනීම ගැන උනන්දු වන්නට වූහ ෴

Wednesday, February 6, 2019

සමිත හාමුදුරුවන්ගේ වෛද්‍ය සායනය, අඹ වෙළෙන්දාගේ ගසා කෑම,මහාබෝධියේ වෙසක් උත්සවය,ලොක්කාගේ විස්කි පානය සහ කරුපාගේ සැළකිලි.

අපි ලියමින් හිටපු සේනගේ කතාව මැදට භික්‍ෂු පරිච්ඡේදයක් ආව නිසා සේනගේ කතාව ඉවර කරන්නට නොහැකි විය.  හාමුදුරු කතා ටික මේත් එක්කම ලියා අහවරයක් කරන්නට හිතුවේ ඊට පසු සේනගේ කතාව ලියන්නට සිතාගෙනය.

සමිත හාමුදුරුවෝ මහාබෝධියේ ඉන්න කාලේ අවුරුදු පතා කළ සමාජ සත්කාරයක් වූයේ කාංචිපුරම් පැත්තේ දුප්පත් ගමක වෛද්‍ය සායනයක් පැවැත්වීමය.  සායනය කළේ ඒ ගමේ ඉන්න හාමුදුරුවන්ගේ හිතවතෙකු වූ බෞද්ධ මහත්මයකුගේ ගෙදරය.  ඒ අවුරුද්දෙත් හාමුදුරුවෝ සායනය පවත්වන්නට කටයුතු සුදානම් කරගෙන කාංචිපුරම් යන්නට මටත් ආරාධනා කළහ.  වාහන දෙකක්ම යන නිසා ඉඩ තියෙන බැවින් සිය පවුලම කැටුව පැමිණෙන්නැයි වැඩිදුරටත් කීහ.  කාලය මට මතක හැටියට 1999 හෝ 2000 වසරේ ග්‍රීෂ්ම කාලයයි.  ඔය කියන ග්‍රීෂ්ම කාලය දකුණු ඉන්දියාවට කොයි තරම් තදින් බලපවත්වන්නේද කිව්වොත් පාරේ තාර පවා උණුවෙන තරමට රස්නය තදය.

ඉතින් එක නිවාඩු දවසක අපි කට්ටියම කාංචිපුරම් ගියේ හාමුදුරුවන්ගේ මුලිකත්වයෙනි.  වෛද්‍යවරයා වුණේ ඇපලෝ රෝහලේ වැඩකරන අපේ හිතවත් ජෝශප් තරුණ මහතාය.  වාහන දෙකේම බෙහෙත් ද්‍රව්‍ය සහ ඒ ගමේ ළමයින්ට දෙන්නට පාසැල් උපකරණ පටවා තිබුණි.  උදේම පිටත්වුණ අපි උදේ දහයටත් පෙර කාංචිපුරම් වලට ලඟා වූයෙමු.  ගමේ අය විසින් වෛද්‍ය සායනය පවත්වන්නට ගිය අයව ආදරයෙන් පිළිගන්නා ලදුව කල් වෙලා නොහැර සායනය ආරම්භ විය.  මටත් බෙහෙත් ගැන සුළු දැනීමක් තිබුණු නිසා ඒ පැත්තෙන් වෛද්‍යවරයාට උදව් කරන්නට හැකිවිය.  හාමුදුරුවෝ සිය හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී ඉන්නා අතර තල් අතු හෝ පොල් අතු සෙවිළි කළ කුඩා ගෙවල් ඇති ඒ ගමේ සුන්දරත්වයෙන් වශීවූ හැලපිත්, හැලපැට්ටාත් ගමේ අය සමග එකතුවී ගෙයක් ගෙයක් ගානේ ඇවිදින්නට වූහ.

දවල් කෑමට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු ක්‍රමයට ආහාර පිළියෙල කොට තිබුණු අතර අපි ඒ කෑම කෑවේත් ඒ අයගේ පිළිවෙලට බිම ඉඳගෙන කෙහෙල් කොළවලට බත් මාළුපිණි බෙදාගෙනය.  හවස දෙක දෙකහමාර වෙද්දී සියළුම රෝගීන්ට ප්‍රතිකාර කොට සායනය අවසන් කරන ලදී.  අපි ආපසු එන්නට වුයේ අව්ව නිසා පරිසරය හොඳටම ගිනියම් වී තියෙද්දීය.  කුඹුරු මැදින් ගම් මැදින් වැටී ඇති පාරේ ආපහු එද්දී එක තැනක තල් වලු කීපයක් තියාගෙන සිටි මනුස්සයෙක් දැක හාමුදුරුවෝ වාහන නතර කළහ.  තල් කුරුම්බා ග්‍රීෂ්ම දාහයට දිව ඔසුවක් සේය.   තල් කුරුම්බා විකුණන මිනිහා කපාදුන් කුරුම්බා ලොඳ හිතේ හැටියට කවුරුත් සප්පායම් වුණේ වෙලාවේ හැටියට ඒවා අපූරු කෑමක් නිසාය.

එන ගමන කාංචිපුරම් ටවුමේ ටිකකට වාහන නතර කළේ ගෙවල්වල ගෙනයන්නට අලුත් එළවළු පළතුරු ටිකක් ගන්නටය.  අඹ කඳු පිටින් ගොඩගසා තිබුණේ අවටපිට සුවඳින් පුරවමිනි.  හැලපි එළවළු තෝරද්දී මම අඹ විකුණන වෙළෙන්දෙක් ලඟට කිට්ටු කළේ අඹ ටිකක් ගන්නටය.  ලොකු අඹයක් මට මතක හැටියට පයිසා පනහක් හෝ හැටක් මිළ විය.  මම උරයක් පුරා අඹ මිලදී ගත්තෙමි.  මගෙත් වෙළෙන්දාගේත් අතර වූ ගණුදෙනුව දොස්තර ජෝශප් මුල සිටම අසා සිටි බව මම දැන නොසිටියෙමි.  සල්ලි බේරද්දී දොස්තර ජෝශප් වහාම එතැන පෙනී සිටියේය.

" අඹ ගෙඩියක් කීය ගානෙද ගත්තේ?" දොස්තර ජෝශප් අසා සිටියේය.  මම මිළ කීවෙමි.

" මේ අඹයක් එච්චර වටින්නෙ නෑ! මේ මිනිහ වැඩිපුර සල්ලි අරගෙන."  කී දොස්තර ජෝශප් වෙළෙන්දා ලඟට ගොස් ඔහුට බැන වදින්නට විය.

" මෙයා විදේශිකයෙක් බව දැනගෙන උඹ වැඩිපුර සල්ලි ගසා කෑවා නේද? මනුස්සයින්ව ඔය විදියට ගසා කන්න උඹට ලැජ්ජා නැද්ද? වහාම වැඩිපුර ගත්ත සල්ලි ආපහු දීපං."

වියදම් වුණේ සුළු මුදලක් නිසා වැඩේ අතහැර දාන්නැ'යි මම දොස්තර ජෝශප්ට කිව්වත් ඔහු එයට කැමති වුණේ නැත.

" නෑ නෑ එහෙම අත ඇරියොත් මෙයා තව අයට ඔය වැඩේ කරනවා'යි" කියූ දොස්තර ජෝශප් ගේ ගෝරනාඩුවට බයවූ වෙළෙන්දා වැඩිපුර ගත් මුදලට තවත් අඹ ගොඩක් මට ලබාදීම නිසා ප්‍රශ්නය සමථයකට පත්විය.

මහාබෝධියේ බලය වෙනත් කණ්ඩායමක් අතට පත්වුණේ ඔය වකවානුවේදීය.  ලංකාවේ ආණ්ඩු බලය විවිධ දේශපාලන පක්ෂවලට මාරු වෙනවා මෙන්ම මහාබෝධියේ පාලන බලය සංවත්සරයේදී එක් එක් කණ්ඩායම් වලට මාරුවෙයි.  එවර මහාබෝධියේ බලය අල්ලාගත්තේ බානගල උපතිස්ස හාමුදුරුවන්ද තිනියාවල පාලිත හාමුදුරුවන්ද ඇතුළු කණ්ඩායමකි.  සමිත හාමුදුරුවෝ සහ ජයතුංග මහතා සේවය අවසන් කර ලංකාවට පිටත් කර හරින ලදී.  මහාබෝධිය පාලනය කරන්නට අලුතින් පත්වුණේ රතනජෝති හාමුදුරුවෝය.  උස මහත ඇති කාර්යශූර හිමිනමක්වූ රතනජෝති හාමුදුරුවන්ගේ සහායට ටික දිනකින් තවත් තරුණ හාමුදුරු නමක් පත්කර එවන ලදී.  වයස අවුරුදු විසි ගණන් වල සිටි උපසම්පදාව වත් ඒ වනවිට ලබා නොසිටි පොඩි හාමුදුරුවන්ව අපි ධම්මදින්න යනුවෙන් හඳුන්වමු.

රතනසාර හාමුදුරුවන් වැඩිපුර කැමතිවුනේ පුජා වත්පිළිවෙත්, දාන මාන, දරුවන් පැවිදි කිරීම ආදී ආගමික කටයුතු වලට වුවත් ධම්මදින්න පොඩි හාමුදුරුවෝ වැඩිපුර ඇලුම් කළේ පෙරහැර, උත්සව පැවැත්වීම් ආදී ලොකු ප්‍රචාරයක් ලබාදී කරන මහා පරිමාණයේ වැඩවලටය.  හාමුදුරුවරුන් දෙන්නාගේ ක්‍රමය දෙවිදියක් වුණත් පොඩි හාමුදුරුවන්ගේ වැඩවලට ලොකු හාමුදුරුවෝ බාධා කරන්නට නොගියේ ප්‍රශ්න ඇතිවන නිසා මෙන්ම බානගල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වූ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වැඩි බලයක් තිබුණු නිසාත්ය.  හාමුදුරුවරු දෙන්නාගේ කෑම පුරුදුද එකිනෙකට වෙනස්ය.  ලොකු හාමුදුරුවෝ කොළ කැඳ වළඳන්නට, බත් මාළුපිණි, එළවළු, කරෝල, මැල්ලුම් වලට වැඩි මනාපයක් දක්වද්දී පොඩි හාමුදුරුවෝ වළඳන්නට කැමති වුණේ ප්‍රයිඩ් රයිස්, ප්‍රයිඩ් චිකන් ආදී පොෂ් කෑම වර්ගය.  ඒ නිසාම දෙන්නාට දානය හදද්දී අපට කෑම දෙවිදියකට හදන්නටද සිදුවිය.  කොහොම වුණත් හාමුදුරුවරු දෙදෙනාම මගෙත් එක්ක ඉතා හොඳ මිත්‍රකමක් පවත්වාගෙන ගිය නිසා මට නම් කිසිම අවුලක් ඇතිවුණේ නැත.

හැම මාසයකම අවසානයේ මහාබෝධියේ මාසික ගිණුම් තුලනය කොට විස්තරය කොළඹ මහාබෝධියට යැවීම අනිවාර්ය කාර්යයකි.  කලින් මේ රාජකාරිය කළේ ජයතුංග මහත්තයා වුණත් ජයතුංග මහත්තයා ලංකාවට ගිය පසු ඒ රාජකාරිය කරන්නට වුණේ රතනජෝති හාමුදුරුවන්ටය.  ගිණුම් හදන්නට නොදන්නා රතනජෝති හාමුදුරුවෝ ඒ රාජකාරිය කරවාගත්තේ මට කියලාය.  මාසයකට වවුචර විස්සක් වත් නැති මහාබෝධියේ ගිණුම හදන එක මට කජු කන්නා වගේ වැඩක් වුණත් හාමුදුරුවන්ට එය ලොකු වැඩක්වූ නිසා මහාබෝධියට යන එන වෙලාවල්වලට හාමුදුරුවෝ මට තෑගිත් දෙන්නට පුරුදු වුණේ කරන උදව්වටය.  තෑගි වශයෙන් ලැබුණේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගෙන් හාමුදුරුවන්ට ලැබෙන තේ කොළ පැකට්, සිද්ධාලේප කුප්පි, පොත් ආදී දේවල්ය.  මට දුන්නාය කියා හාමුදුරුවන්ට අඩුවක් නැත්තේ හාමුදුරුවන්ට ලැබෙන දේවල් කාමරයක් පුරවා ඇති බැවින්ද ලංකාවේ තේ කොළ අපට නිතරම නොලැබෙන නිසා ඒවා අපට වටින බැවින්ය.  මම වඩා කැමති වුණේ හාමුදුරුවන්ට ලැබෙන පොත් මට දෙන එකටය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙද්දී ඒ අවුරුද්දේ වෙසක් මාසයද උදාවිය.  වෙසක් එකට උත්සව පවත්වන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවන් ලැස්ති වුණේ මාස ගණනකට පෙර සිටය.  මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පොඩි හාමුදරුවන්ගේ අභිප්‍රාය විය.  වෙනදාට පන්සිල් අරන් රැස්වීමක් තියා තේ බොන්නට දී ඉවර කරන වෙසක් උත්සවය වෙනුවට නව අංගෝපාංග සහිත වෙසක් උත්සවයක් පොඩි හාමුදුරුවෝ සුදානම් කළහ.  කෙනට් පාරේ සිට එන පෙරහැරකට පසු නැටුම් සංදර්ශනයක්ද මහා පිංකමක් හා රැස්වීමක්ද එම වැඩ පිළිවෙලට අයත් විය.  මුළු වැඩ සටහනම සජීවීව ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නටද කටයුතු යොදා තිබිණි.  ඊට අමතරව මහාබෝධි පරිශ්‍රයම වෙසක් කූඩු වලින් හා විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද්දේ විශාකපට්නම් වල හා කොචින් වල පුහුණුව ලබන නාවික හමුදාවේ කොල්ලන් විසිනි.  නේවි එකේ කොල්ලන්ට මාස තුනකට වරක් ලැබෙන දීමනාව ලබාගන්නට එන්නේ මගේ ලඟට නිසා උන් මාත් එක්ක ගොඩක් හිතවත්ය.  ඒ නිසාම හවසට කට්ටියම සැට් වෙන්නේත් අපේ ගෙදරය.  නේවි කොල්ලෝ එන්නේ හිස් අතින් නොවේ, උන් කෑමද බීමද ඇතිවෙන්නට අරගෙන එති.  නමුත් ප්‍රශ්නය වී තිබුණේ ඒ හෝටල්වල හදන මස් මාළු ලුණු මිරිස් රහක් හෝ සැරක් නැති එකය.  ඒ නිසාම හැලපි කීවේ අපරාදෙ සල්ලි වියදම් කර කඩෙන් මෙලෝ රහක් නැති කෑම ගේන්නට අවශ්‍ය නැති බවය.  "අපට ලුණු මිරිස් සැරට පොල් සම්බෝලයක් තිබුණත් ඇති අක්කේ" කියා කොල්ලන් කීවත් "පව්, ලංකාවෙ කොල්ලොනේ" කියන හැලපි හැමදාම ලොකු බත් හැලියක් උයා කොල්ලන්ට කන්නට දෙයි.

වෙසක් උත්සවය සාර්ථක කරගන්නට අපටත් විශාල දායකත්වයක් දක්වන්නට සිදුවී තිබුණි.  වැඩට ඇවිත් හිටපු අයගේ කෑම බීම, ඊට අමතරව නෑම( ග්‍රීෂ්ම කාලයේ මහාබෝධියේ නල ළිං වලින් එන්නේ ලුණු වතුරය.  ඒ නිසා මහන්සි වී දාඩිය පෙරාගෙන වැඩකරන කොල්ලන් ගෙවල්වලට එක්කරගෙන ගොස් නෑමේ පහසුව සලසන්නටද සිදුවිය) ආදී සැම දෙයක්ම සොයා බලා කළ යුතු විය.  පොඩි හාමුදුරුවන් පේන්න නැති වෙලාවට මගහැර ගෙදර ගියත් ටිකකින් පොඩි හාමුදුරුවෝ ගෙදරට කතා කර වහාම එන්නැයි අණ කරති.  වෙසක් උත්සවයේ සුදානම දැන් පිමි පනිමින් ඉදිරියට යයි.  අපේ කාර්යාලයටත් අලුතින් ලොක්කෙක් ආවේ ඊට මාස කීපයකට පෙරය.  අලුත් ලොක්කාද මේ වගේ මහ පරිමාණයේ උත්සව වලට බොහෝ කැමැත්තක් දැක්වූ අයෙක් වීම නිසා පොඩි හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට ඔහුගේ පූර්ණ සහයෝගය ලැබිණි.  වැඩ සටහන ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට එන නිවේදකයාට ගුවන් ටිකට්පත් ලබාදීම ප්‍රශ්නයක් වී තිබියදී ලොක්කා වහාම ඒ සඳහා අනුග්‍රහය දෙන්නට ඉදිරිපත් විය.

අපේ හිටපු ලොක්කා ඉතා හොඳ මහත්මයෙකි.  ඒ වුණාට වැලට සිගරැට් බොයි.  නිදියගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම සිගරැට් එක කටේ ගහගත්තු ගමන්මය.  උදේට කාර්යාලයට එන්නේ සිගරැට් බන්ඩල් එකකින් බාගයක් අරගෙනය.  දවල් කෑමට ගෙදර යන්නේ ඒ ඔක්කොම බීලා ඉවර කරලාය.  හවසට සිගරැට් බන්ඩලයේ ඉතිරි බාගය අරගෙන එයි.  නිල නිවසේ තනිවම ජීවත්වූ අලුත් ලොක්කා වඩා කැමති විස්කි බොන්නටය.  පරණ ලොක්කා සිගරැට් බොනවා වගේම අලුත් ලොක්කා නිදාගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම විස්කි බොයි.  ඒ බොන්නෙත් අපි වගේ වීදුරුවකට වක්කරගෙන සෝඩා කලවම් කරගෙන නොවේ, රෙඩ් ලේබල් බෝතලය කටේ තියාගෙනය.  දවසක් අපේ මහජන සම්බන්ධතා නිලධාරියා වූ නාගේශ්වරන් කාර්යාලයේ ගෝලයා වූ කරුපයියාට කතාකළේය.  දෙමළෙන් කළ කතාවේ සිංහල පරිවර්තනය මෙහෙමය.

" කරුපා, ලොකු මහත්තය හැමදාම හවසට බෝතලේ කටේ තියාගෙන විස්කි බොනවා, අද හවසට ගිහිං මහත්තය බොන තැන සෝඩා බෝතලයක්, වතුර බෝතලයක්, වීදුරුවක් එහෙම තියපන්.  ඔහොම අමුවෙන් විස්කි බොන්න හොඳයැ."

" හොඳයි ෂර්" කියා කරුපා පිටත්ව ගියේය.  මේ කතාව මමත් අහගෙන හිටපු නිසා පහුවදා වැඩට ගිය විට කරුපාට කතාකර විස්තරය ඇහුවෙමි.

" ඈ කරුපා, ඊයෙ ගිහිං ලොකු මහත්තයට සෝඩා, වීදුරු එහෙම දුන්නද?"

" අයියෝ ෂර්, හරි වැඩේනෙ උනේ."

වෙච්ච දේ මට හිතාගත හැකිය.  පැලෙන්නට හිනාව ආවත් අමාරුවෙන් තදකරගෙන හිටියේ විස්තරය කරුපාගේ කටින්ම අහගන්නටය.

" ඇයි, මොකෝ ලොකු මහත්තය සෝඩා එපා කිව්වද?"

" නෑ නෑ මම ගිහිං එළියෙ ස්ටූල් එක උඩ වීදුරු, සෝඩා, වතුර බෝතල් එහෙම තියල බලාගෙන හිටියා.  ලොකු මහත්තය විස්කි බෝතලේකුත් අරන් උඩ ඉඳල පහළට බැස්සා.  මමත් ඈතට වෙලා බලාගෙන හිටියා.  අර මම තිබ්බ වීදුරු,බෝතල් දැක්ක විතරයි කෑ ගහන්න ගත්තා.  වට් ඊස් දිස්, හූ කෙප්ට් දිස් ෆකින් ග්ලාසස් ඇන්ඩ් සෝඩා, ත්‍රෝ දීස් බ්ලඩි බොට්ල්ස් අවේ, කියල අර වීදුරු,බෝතල් ඔක්කොම වීසි කරල විස්කි බෝතලේ කඩල කටේ තියාගෙන චූස්, චූස්, ගාල බීගෙන බීගෙන ගියා.( ලොක්කා බෝතලේ කටේ තියාගෙන බීපු ආකාරය කරුපා රඟපා දැක්වීය) මම හෙමිහිට කුස්සිය පැත්තෙ ගේට්ටුවෙන් එළියට පැනගත්තා."

මට හිනාව නවත්වා ගන්නට බැරිවිය.

" හිනා තමයි, තව පොඩ්ඩෙන් මමත් ගුටි කනවා, ආයෙ නම් නාගේෂ් මහත්තයගෙ ලණු කන්නෙ නෑ"යි කියමින් කරුපා යන්නට ගියේය.

මහාබෝධියේ වෙසක් උත්සව කමිටුව අපේ අලුත් ලොක්කාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් රැස්වී වැඩවල ප්‍රගතිය සාකච්ඡා කරයි.  ආදී කාලයේ පටන් ලොක්කාගේ හොඳම හිතවතෙකු වූ අර්ජුන කමිටුවේ ලේකම්ය.  එක රැස්වීමකදී අර්ජුන කීවේ මුළු උත්සවයම රූපගත කොට වැඩ සටහනක් ලෙස ප්‍රචාරය කරන්නට රූපවාහිනී සංස්ථාවට යැවිය යුතු බවය.  ලොක්කා ඒ වැඩේටත් එක පයින් කැමැත්ත දුන්නේය.  දැන් වෙසක් උත්සවය ළඟ ලඟම එයි.  වෙසක් එකට දින දෙකකට පමණ පෙර හාමුදුරුවෝ ලෑස්ති කර ගත් නැටුම් කණ්ඩායමද, ලංකා මහාබෝධියේ නියෝජිතයා ලෙස සමන්ද, ලක්හඬ ගුවන් විදුලියෙන් රවිමල් හඳුවලද චෙන්නායි නගරයට පැමිණ මහාබෝධියේ ලැගුම් ගත්හ෴