Thursday, November 23, 2017

ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය.

අද මුලින්ම කියන්නට තිබෙන්නේ ඇරියස් වෙච්ච කතාවකි.   ඒ මොකක්ද කිව්වොත් පහුගිය එකොළොස් වෙනිදා හැලපකඩේ බ්ලොගයට වසර පහක් පිරීමය.   ඒ වෙනුවෙන් යමක් ලියන්නට සිතා සිටියත් දිනය ගැන හාංකවිසියක වත් මතකයක් නොවීය.   ඒ පහුගිය කාලය පුරා මුහුණ දීමට සිදුවූ කරදර කනස්සලු ආදිය හේතුවෙන් බ්ලොගය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නට හැකියාවක් නොතිබුණු නිසාය.   ඒ නිසා ඇරියස් වුනු කතාව මෙසේ දිග හරිමි. 

 බ්ලොග් යන වචනයද බ්ලොග්වල කියවන්නට කතා ආදිය තිබෙන බවද ඉස් ඉස්සෙල්ලාම මා දැනගත්තේ ලක්බිම පත්‍රයෙනි.    2012 වර්ෂයේ ඕමානයේදී මා කියැවූ ඉරිදා ලක්බිම පත්‍රයක හිස් අහස බ්ලොග් අඩවියෙන් උපුටා ගත් කතාවක් පළකර තිබු අතර කතාව රස වැටුණු මම එදා සිට බ්ලොග් යනු කුමක්දැයි සොයන්නට පටන් ගත්තෙමි.    කෙසේ වෙතත් මගේ උත්සාහය සාර්ථක වුයේ නැත.    එයින්ද ටික දවසකට පසු කුමක් හෝ වෙබ් පිටුවක තිබී W3LANKA හෙවත් පැරාගේ බ්ලොගයට පිවිසෙන්නට හැකිවිය.    ඒ බ්ලොගයේ රෝලෙන් වෙනත් වෙනත් බ්ලොග් අඩවි කියවන්නට හැකියාව ලැබුණු අතර ඉන්පසු ටික දවසකින්ම මම මගේ සිත්ගත් බ්ලොග් අඩවි සියල්ලේම තිබු කතා සහ කමෙන්ට් සම්පූර්ණයෙන්ම කියවා හමාර කළෙමි. 

ඉන්පසු මගෙ අවශ්‍යතාව වුයේ මේ බ්ලොග්වල පළවන කතාවලට කමෙන්ට් කිරීමය.   නමුත් බ්ලොගයක් නොමැතිව කමෙන්ට් කරන්නට නොහැකිවූ අතර බ්ලොගයක් සාදා ගන්නේ කෙසේද යන්න ගැන මට කිසිම දැනීමක් හෝ හෝදිසියක් නොවීය.    මගේ ඥාති පුත්‍රයෙක් වූ ශානුක ඕමානයට පැමිණෙන්නේ මේ අතරවාරයේය.    ශානුක මුළු රැය පුරාම අවදියෙන් සිටිමින් මුහුණු පොතේද බ්ලොග්වලද කරක් ගසා එළිය වැටෙද්දී නින්දට යයි.    දවල් ඉර හැරුණු පසු අවදිවී කෑම කා නැවතත් ලැප් එකට හිස ඔබාගනී.    දවසක්දා මම බ්ලොගයක් නිර්මාණය කරගැනීමට මට ඇති අවශ්‍යතාව ගැන ශානුකට කීවෙමි.     ශානුක එදාම මා වෙනුවෙන් බ්ලොගයක් නිර්මාණය කල අතර අප දෙදෙනාම එකතුවී අවශ්‍ය වෙනස්කම් කරමින් බ්ලොගය හැඩ වැඩ කර අවසන් කළෙමු.    එදා සිට බ්ලොග්වල කමෙන්ට් කරන්නට මට හැකිවුනත් යමක් ලියන්නට සිත් නොදුන්නේ මා ලියනදේට අනෙක් අය කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි මගේ සිත තුළ තිබු සැකය නිසාය. කෙසේ වුවද සැකය අතරින්ම මමත් දෙසැම්බර් මාසයේ කෙටි පෝස්ටුවක් පල කළෙමි.    එයට ලැබුණු ප්‍රතිචාර මා දිරිගන්වන සුළු විය.    කෙමෙන් කෙමෙන් ලිවීමේ වේගය දියුණු කරගෙන පෝස්ට් පළකලෙමි.   එම වේගය කෙතෙක්ද යත් මාස කීපයක් ගතවන විට දවසකට එක බැගින් පෝස්ට් දමන්නට පටන් ගත්තෙමි.    එම වේගය අඩු කළේ අටමාය ඔහු මට කීවේ පෝස්ට් එකක් පළකර එයට ප්‍රතිචාර ලැබෙන්නට කල් වේලා ලබාදී අනෙක් පෝස්ටුව පළකරන ලෙසයි.    එමතුද නොවැ අටමා හැලපකඩේ බ්ලොගයේ කතාවක් අටම්පහුරේ පළකර හැලපකඩේ බ්ලොගයට අවශ්‍ය කරන ප්‍රචාරය නොඅඩුව ලබාදුන්නේය.   මාතලන් ඔහුගේ සින්ඩියට හැලපකඩේ ඇතුල් කරගත් අතර ඊට පසුව වෙනත් සින්ඩි වලද හැලපකඩේ බ්ලොගයට ඉඩ ලැබුණු බැවින් එතෙක් කල් ඉතා අඩුවෙන් තිබු ප්‍රතිචාර ඉක්මනින් ඉහළ යන්නට විය.

බ්ලොගය ආරම්භයේදී පෝස්ට් කොපමණ ලිවිය යුතුද අවුරුදු කීයක් බ්ලොගය ලිවිය යුතුද ගැන කිසිම අදහසක් මාහට නොමැතිවූ අතර මගේ සිතේ තෘප්තියට දිගින් දිගටම බ්ලොගය ලියාගෙන ගියෙමි.   ඉතින් එසේ ආරම්භවූ බ්ලොගයට අද වන විට අවුරුදු පහක් පිරී ඇති අතර බ්ලොග් පෝස්ට් දෙසිය පනහ ඉක්මවා ලියැවී ඇත.    බ්ලොගයට ආගිය අය හෙවත් බ්ලොග් ට්‍රැෆික් හාරලක්ෂ පනස් දහසකට ආසන්න වී ඇත.    මෙය මා බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයක් බව අවංකවම කියන්නට කැමැත්තෙමි.    බ්ලොගය නිසා ඇතිවූ බ්ලොග් මිතුරුකම් හා පුද්ගලික මිතුරුකම්ද බොහෝය.    ඉතින් බ්ලොගයට වසර පහක් සපිරෙන මේ මොහොතේ හැලපකඩේ බ්ලොගයට අතදුන් බ්ලොග් හිතමිතුරු සියලු දෙනාටම මගේ අවංක ආදරය හිතවත්කම පුදකිරීමට කැමැත්තෙමි.    ඒ වගේම කියන්නට තවත් දෙයක් ඇත.පහුගිය මාස කීපයක් ඇතුළත මට බ්ලොගය පැත්ත පළාතේ එන්නට නොහැකි උනේ හැලපි ගේ අසනීප තත්වය නිසාය.   ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නට තරම් කරුණු ඇත.    ඇත්ත වශයෙන්ම කිවහොත් හැලපි මරුකටට ගොස් ආපහු ආවාය කිව්වොත් නිවැරදිය.    ඉතින් හැලපිව බලාගන්නටද කෑම බීම බේත් ටික වෙලාවට දෙන්නටද තිබුණු නිසාවෙන් බ්ලොගය ලියන්නට හිතේ නිස්කලංකයක් නොවීය.   එමෙන්ම මා සහභාගී විය යුතු අවස්ථාවන් කීපයක්ම මගහැරී ගියේය.   ඒ සම්බන්ධයෙන් මාහට ඇත්තේ බලවත් සිත් තැවුලකි.  

ඉතින් කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇත.       සුද්දාගේ අන්නාසි සොමිය නැවත පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි෴

Friday, November 17, 2017

වෙරළු මල්.


                          මුළු රැය නිදාගෙන අළුයම          පිබිදීලා
                          එළියට ආමි සුපුරුදු සුවඳක්         දැනිලා
                          වටපිට බලනවිට හොඳහැටි ඇහැ ඇරලා
                          ගේ අද්දර වෙරළු පැළයේ මල්     පිපිලා