Friday, August 30, 2013

84.වරායෙ කිටියා,ජයසිරිගෙ ඩ්‍රයිවිං සහ තවත් කතා


අහවල් වැදගත්කමකටද මං දන්නෑ පහුගිය දවස් කීපයෙම මාධ්‍යය පුන පුනා අනුභව කලේ නළුවෙකුගේ තාවකාලික පැවිද්ද කියන ප්‍රවෘත්තිය...මේ පැවිදිකමේ රස්නය බ්ලොග් ලෝකයටත් තරමකට වැදිලා තිබ්බා...

මේ ප්‍රබල ප්‍රචාරණයේ මූලික අරමුණ ඉදිරියේදී නිපදවන්නට නියමිත චිත්‍රපටයකට පූර්ව ප්‍රචාරයක් ලබාගැනීම කියන එක කාටත් රහසක් නොවෙයි...ඒ වුනාට ඉතිං හැම මාධ්‍යයක්ම ඔය ප්‍රවෘත්තිය පස්සේ දුවල තිබුනෙ දුවන්නන් වාලේ කෙට එළදෙනත් දිව්වහේ තමයි...කාට කියන්ඩද.

ඔය ටික කිව්වේ මගේ කතාවට ආරම්භයක් හැටියටයි...මොකද මේ මහණ වෙච්චි කතා දකිනකොට මටත් එක කතාවක් මතක් වුනා.

කාලය 1993 වර්ෂයෙ මැදභාගය,ඒ වෙනකොට මම වැඩකලේ වරායේ රැජිණ පාලමේ තිබුණු කාර්යාලයක...නමුත් කාර්යාලය අයිති වෙලා තිබුනෙ වරාය අධිකාරියට නොවෙයි වරාය හා නාවික අමාත්‍යාංශයට...අමාත්‍යංශයේ තදයො ටික ඔක්කොම හිටියෙ G.O.H හෝටලේ ලඟ තිබුණු වරාය හා නාවික අමාත්‍යාංශ බිල්ඩිමේ නිසා අපේ වැඩවල හරි වැරදි හොයන්නවත් වැඩට ඇඟිලි ගහන්නවත් කෙනෙක් හිටියේ නෑ...ඒ නිසාම අපි ඉතා උනන්දුවෙන් රාජකාරි කටයුතු කරගෙන ගියා.
අපි කොච්චර නිදහසකින් ඔෆිස් එකේ වැඩ කලාද කිව්වොත් රජයේ කාර්යාලයක වැඩ කරනවා කියල හිතුනේ නෑ ඒ තරමට කට්ටිය එකමුතුව වැඩකලා...

ඔය කාර්යාලයේදී තමා මහණවෙලා හිටපු චරිතය මට මුණගැසෙන්නේ...ඔහු කාර්යාලයේ දුරකථන ක්‍රියාකරවන්නා නම ක්‍රිස්ටෝපර්...අපි පටබැඳපු හුරතල් නම කිටී...ටිකක් විතර මලපැනපු වෙලාවට කිටී ඔය නමටත් කෑගහනවා...

පූසන්ට කියන නමක්නෙ යකෝ මට දාල තියෙන්නෙ...

ඔෆිස් එකේ හිටපු හොඳම උපාසකයා කිටී...නිතරම බණ පදයක් හරි බණ කතාවක් හරි මෙනෙහි කරමින් වැඩ කරන්නෙ...ටික කාලෙකට ඉස්සර කිටී තාවකාලික පැවිදි භාවයක් අරගෙන කඳුබොඩ ආරණ්‍යයේ සතියක්ද දෙකක්ද භාවනා කරලා තියෙනව...ඒ තාවකාලික පැවිද්ද ගැන කිටී කතා කරන්නෙ හරිම ආඩම්බරෙන්...

ඔය කතා නිසාම කිටී අපි හැමෝගෙම බයිට් එක බවට පත්වුනා...

 උපාසකය උනාට කිටී කෑමට බීමට බොහොම ලැදියි...කාර්යාලයෙ අපි කෑම කන්නෙ කණ්ඩායම් හැටියට කීප වතාවකටයි...අපි කට්ටිය කෑම කන කාමරේට ගිහිං ගෙදරින් ගෙනාපු කෑම එක දිග ඇරගන්නකොට කිටී එතනට එනවා...ඒ කෑම ජාති චෙක් කරන්න...

ආ...අද අඹ මාලුව නේද...කජුත් තියෙන්නෙ...

ඔහොම කියද්දි ඒ කෑමවලින් කොටසක් කිටීටත් ලැබෙනව...කිටී කෑම කද්දි අර ඔක්කොමත් එක්ක බොහොම උජාරු කෑම වේලක් කන්න ලැබෙනවා.

ගෙදරින් කෑම ගෙනාවෙ නැති දවසට වරායෙ බත් පාර්සලයක් ලේසියෙන්ම ගන්න පුළුවනි...දවල් දොළහට විතර ජනේලෙ ළඟට වෙලා බලාගෙන හිටියම තමන්ගෙ කෑම පාර්සල් විකුණන වරාය සේවකයො කෑම පාර්සලෙ ඉහළට උස්සගෙන ඇවිදිනව,එකක් රුපියල් දහයයි...
ඔය වරායෙ කෑම පාර්සලේ අපට නං තනියම කන්න බැරි තරමට විශාලයි...අවුන්ස පහක් හයක් බර මාලු කෑල්ලක්,ඒ මාලුකෑලි හොද්දට නොදා ලුණු ගම්මිරිස් දාල වෙනම තම්බල ගන්න ඒව මගෙ හිතේ...හොදි පැකට් එක වෙනම තියෙනව,එළවලු දෙකක්,පරිප්පු හරි මුංඇට හරි වෑංජනයක්, ඔය මොන ජාති තිබුණත් බැදපු කරවල කෑලි කීපයකුයි පොල් සම්බෝලෙයි අනිවාර්යයි...

බ්‍රහස්පතින්දාට කුකුල් මස් සහ කහ බත්, අන්නාසි කෑල්ලකුත් කෑම එකේ තියෙනවා...හැබැයි බැදපු කරවලයි සම්බෝලයි එදාටත් කෑම එකට අඩංගුයි...

ඔය වරායෙ කුස්සියෙ මාලු බයිට් නං බොහොම රසට හදනවා...සැරයක් මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වැඩකරන කාලෙ මොකක්ද වැඩකට නිවාඩු දවසක ඔෆිස් ගියා...ගිය වැඩේ ඉවර කරලා එදා ඇවිත් හිටිය කට්ටිය පොඩියට කර්තව්‍යයක් කරන්න සෙට්වුණා...කරුමෙට එදා බාර් ඔක්කොම වහලා අමද්‍යප දිනයද කොහෙද...කොම්පඤ්ඤ වීදියෙ හොර පොට් වලත් බඩු ඉවරයි,කට්ටිය වාහන අරගෙන පිස්සු බල්ලො වගේ හැම තැනම දිව්වට වැඩක් වෙලා නෑ...අන්තිමේ ඔන්න කටත් ඇදකරගෙන මගෙ ළඟට ආවා...

ම්ම්හ්...අපි දන්න කොහෙවත් බඩු නෑ...

ඉතිං මොකද කරන්නෙ...මම ඇහුවා...

අර යාලුවටවත් කතා කරල බෝතලයක් ගන්න ලෑස්ති කරගන්න බැරිවෙයිද...

මම කැමති නෑ බං හැම තිස්සෙම ඌට කරදර කරන්න...

බැරි අමාරු දවසකටවත් උදව්වක් නැති යාළුවො මොකටද...

කොහොමහරි එදත් මගෙ යාලුවා උදව් කළා...

සැරෙන් සැරේට කතාකරන්න මට බෑ ගේන තරමක් එකසැරේ ගෙනෙල්ලා...

කර්තව්‍යය පටන්ගද්දිම අපේ ඩ්‍රයිවර් මොළේ සුනිල් හෙවත් මොළයා යාළුවෙකුට කතාකළා...

ඌට මොළේ සුනිල් කියන්නෙ ඩ්‍රයිවර්ල අතර ඉන්න මොළකාරය නිසා...ඕනෑ වැඩකදි  ලෙඩකදි ඔපීනියන් දෙන්නෙ මොළයා තමයි...

තව ඩ්‍රයිවර් කෙනෙක් හිටියා ජයසිරි කියලා...ඌට දෙන දෙන වාහනේ හප්පනවා...සැරයක් එක ෆොක්ස්වාගන් වෑන් එකක් හැප්පුවා කෙලින්ම කන්ඩම්...ආයෙ මොනම ආකාරයකටවත් හදන්න බැරිවුණා...

දවසක් උදේ පාන්දර ඔෆිස් එකේ පත්තර කියවන කට්ටියවත් දාගෙන ජයසිරි ගාලු පාරෙ එනවා...රෑ තිස්සෙ බීල හිටපු මූට නින්ද ගිහින් මොරටුව හරියෙදි පාර අයිනෙ නවත්තල තිබුණු ලොරියක හැප්පිලා...ලොරියෙ ඉඳල තියෙන්නෙ මාලු ගේන්න මීගමු යන මාලු විකුණන කණ්ඩායමක්...උදේ පාන්දර කට්ටිය ලොරියත් අරං මීගමු ගිහිල්ලා මාලු ගෙනත් එක එක්කෙනා ගෙවල් ගානෙ ගිහිල්ලා විකුණනවා...ඔය ලොරියෙ පිටිපස්සෙ දොරේ ඉඳගෙන හිටපු මනුස්සයෙක් වෑන් එක හැප්පුනු වේගෙට පාරට ඇදං වැටිල ඔලුව බිම වැදිල සිහි නැතිව ගිහිං ඉස්පිරිතාලෙ...වෑන් එකේ ඉස්සරහ පැත්ත කුඩේ කුඩු, වෑන් එක දැකපු ඔක්කොමල ඇහුවෙ මේකෙ ඉස්සරහ ගිය මිනිස්සු ඉතුරුවුණාද කියලයි...අපි උදේ වැඩට යද්දි ජයසිරිය පොලිසියෙ කූඩුවෙ...

දවල් වෙද්දි නාරාහේන්පිට රථවාහන උසාවියට දානව කිව්වා...අපිටික උසාවියට ගියගමං පෙරකදෝරුවො ටික මොක්කුද වගේ අපිව වටකරගත්තා...අපිත් එකෙක් අල්ලල එහෙම ඉන්නකොට ජයසිරිව අරං ඇවිත් උසාවියට දැම්මා...නඩුකාරය වචනයක්වත් කතාකරනව ඇහෙන්නෙවත් නෑ තෝල්කය තමයි ඔක්කොම නඩු අහන්නෙ...කොහොමහරි ජයසිරියට ඇපදුන්නා...උසාවියෙන් එළියට එන්න උනේ නෑ පොලිසියෙන් අපිව ආයෙම නතරකළා...

බලපුවම ඉස්පිරිතාලෙ ගෙනිච්චි මනුස්සයා සිහිය එන්නෙ නැතුවම මැරිලා...

ජයසිරිව මරණ පරීක්ෂකයා ළඟට දානව කියල අපටත් එතෙන්ට එන්න කිව්වා...

මරණ පරීක්ෂණ උසාවිය ළඟ ඒ මනුස්සයගෙ ගෙදර අය නෑදෑයො යාළුවො පිරිලා ඉන්නවා...අපට ටිකත් බයත් හිතුණා හිටියෙත් මැරයො වගේ අය නිසා...වෑන් එකේ ගිය අය සාක්කි දීල ඉවරවුණාම මරණ පරීක්ෂක තුමා කතාකලා...

දැන් මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ නිලධාරී මහත්වරුත් ඇවිත් ඉන්නවනෙ...මරණකරු ඉතාම අහිංසක පුද්ගලයෙක් නිසා ගෙදර අයට ආධාරයක් කරන්න කටයුතු කරන්න...

මරණෙ කටයුතු කරගන්නත් උදව් කරනවය...ගෙදර අයටත් ආධාරයක් කරනවය කියල රථවාහන උසාවියෙ ඇපමතම රියදුරු මුදාහරින්න කියල අපේ පැත්තෙන් කිව්වා...

ඔන්න ඔය විදියට ජයසිරිවත් අරං අපි එළියට ආවා...

පෙට්ටිය අරං දෙන්න මරණෙ ගෙදරට ගෙනියන්න ආදී වියදම් සියල්ලම ජයසිරිට බලාගන්න කිව්වා...ඌත් කැමතිවුණා...ඔෆිස් එකෙනුත් මැරුණු මනුස්සයගෙ ගෙදරට ආධාරයක් දුන්නා...

දවසක්දා අපි ඡායාරූප අංශයෙ ඉඳගෙන රේඩියෝ එකේ ක්‍රිකට් මැච් එකක්  අහනවා...ජයසිරියත් ඔතන හිටියා...

ආපෝ...වැඩක් නෑ බං...ලංකාවෙ විකට් එකපිට එක  යන්නෙ හරියට ජයසිරි වාහන හප්පනව වගේ ...

රංජිත් කියපුවම අපට ඉළ කැඩෙන්න හිනා...

ජයසිරිය නැගිටල ඉණට අත් දෙක තියාගෙන රංජි දිහා ටිකක්වෙලා රවල බලාගෙන ඉඳල එළියට බැහැල යන්න ගියා...

මොළයගෙ යාළුවා වරායෙ කුස්සියෙ වැඩකරන කෙනෙක්...
 

මචං අපට බයිට් එකක් හදල දියංකො...
 

පැයකින් විතර බයිට් එක ගෙනියන්න එන්න කියල යාළුවා කිව්වා...
 

මොළේ අපිවත් දාගෙන මෝදර පැත්තෙන් වරායෙ කුස්සියට ගිහිල්ල යාලුව දීපු ලොකු පාර්සලෙත් අරන් ආපහු ආවා...
 

ලෙහෙල බැලුවම ඉස්ටු දාපු ලොකු කට්ටාවෙක්...කට්ටාවො මාලුවට කන්න බෑ කරවල විතරයි...ඔය විදියට කට්ටාවො කෑවෙ මාත් එදාමයි...
 

යාළුවා හොඳට ලුණු ගම්මිරිස් කහ එහෙම දාල ගෑවිච්චි තැන කන්න පුළුවන් විදියට රසට කට්ටාවව ඉස්ටු දාලා තිබුණා...
 

ලෝක අමද්‍යප දිනයෙදි කට්ටාවො බයිට් එකත් එක්ක අපි ගැහුව ගැහිල්ලක් කරටි කැඩෙන්න...

අපි හිටිය කාර්යාලය වටේට කැන්ටින් කීපයක්ම තිබුණා...දවල් එක වෙද්දි ඔය කැන්ටිවල ආප්ප පුච්චන්න පටන් ගන්නවා...දවල්ට බත් නැතිව වෙන මොනව හරි කන්න හිතුනු දාට අපි ආප්ප අරං එනවා...ආප්පයක් ලොකු දීසියක් විතර විශාලයි...ආප්ප කන්න ලුණු මිරිසුයි මාළුහොදියි කැන්ටිමෙන් ලැබෙනවා...
 තව කැන්ටිමක් අපේ ඔෆිස් එක ඉස්සරහම තිබුණා...ඒ කැන්ටිම ඉතාම මෑතකදි විවෘත කරපු එකක්...ඒ දවස්වල වරාය ඇතුලෙ පොඩ්ඩක් ඔලුව රිංගවගන්න ප්‍රමාණවත් ඉඩක් තිබ්බොත් එතන කැන්ටිමක් දානවා බිස්නස් හොඳයිනෙ...ඒ කැන්ටිමේ එළවලු රොටී, රෝල්ස්,කට්ලට් එහෙම උණුවෙන් කන්න අපි කට්ටිය යනවා...
 

බාස් කෙනෙක් කෑම හදන්නෙ ඔන් ද ස්පොට්...මගෙත් විනෝදාංශෙ කෑම හදන එකනෙ...මම ඔතෙන්ටම වෙලා කෑම හදන හැටි බලන් ඉන්නකොට...
 

මහත්තය බොහොම උවමනාවෙන් බලාගෙන ඉන්නෙ අපේ බඩේ පාර ගහන්නද දන්නෑ...
 

බාස් කියනවා...

රැජිණ පාලමේ ගේට්ටුව ඉදිරිපිට පාරෙන් එහා පැත්තෙ වරාය උසාවිය තිබුණු ගොඩනැගිල්ලෙ කොණේ එක කැන්ටිමක් තිබුණා...කිටියගෙ දත් ගලවන්න එක්කරං  යන්නෙ ඔය කැන්ටිමට.

ක්‍රිස්ටෝපර් ප්ලේන්ටියක් බොමුකො...

ජුලියස් කියනවා...

අද සල්ලිත් එච්චර නෑ...හා යමුකො හැබැයි ප්ලේන්ටී විතරයි හරිද...

ආ...යං යං එන්ඩලා කට්ටියම...

ජුලියස් අපටත් අඬගහනවා...

ඔක්කොටොම කලින් කැන්ටිමට ගොඩවදින්නෙ ජුලියස්...

අර කෙහෙල්ගෙඩි ඉදිලද මුදලාලි...දෙන්නකො ඔය වැලිතලපත් දෙන්න...මල්ලි කට්ටියටම ප්ලේන්ටී දාන්න...

අපි වැලිතලපයි ඉදිච්ච කෝලිකුට්ටුයි කනකොට කිටිය බලාගෙන ඉන්නවා...ටිකකින් බලාගෙන ඉන්න බැරිව යනවා...තවදුරටත් ඉවසගෙන ඉන්න බැරිතැන...

මටත් දෙන්න...

කිටී කන්න පටන් ගන්නකොට අපි තේ බීල ඉවරවෙන්නත් ලඟයි...

අපි යනව ක්‍රිස්ටෝපර්...මුදලාලි ඔය මහත්තය ඔක්කොගෙම සල්ලි ගෙවයි...

අපි ඔෆිස් එකට ඇවිත් ටිකවෙලාවක් යද්දි තමා ඔන්න කිටිය බැන බැන ඔෆිස් එකට එන්නෙ...

ආයෙ කතා කරපල්ලකො තේ බොන්න යන්න...
 

අපි සද්ද නැතුව ඉන්නව...ටික දවසකින් කිටියට ඒ සිද්දිය අමතක වුණාම ආයෙම කැන්ටිමට එක්ක යනවා...

 මතු සම්බන්ධයි........

Tuesday, August 27, 2013

83.නීතගේ පුතා,විමල්ගේ මඟුල සහ තවත් බොන කතා 2


නීතගේ පුතා ,විමල්ගේ මගුල සහ තවත් බොන කතා

අපි ඇතුළට එනකොට හිටියෙ නෑ නේද...මම හිතුවේ නෑයි  කියල...මාව මතක නැද්ද හැම සැරේම ගාලු ආවහම අපි නවතින්නේ මෙහෙනෙ...එන්න ඇතුළට...

ආ...මේ අපේ මහත්තයනේ...කාලෙකින්, මට එකපාරටම ඔහේව අඳුන ගන්න බැරිවුනා නොවැ ... 

මනුස්සය ඇතුළට ආපුවම හේරත් අසෝක වීදුරුවෙන් කට කපල එකක් පුරවල දුන්නා...ඒකත් බීල හේරත් දීපු රුපියල් දහයත් සාක්කුවේ දාගෙන පොර සමුගත්ත.

මහත්තයලට තව ඕනෙනම් මට කතා කරන්න මම ගෙනත් දෙන්නම්...

ඔවුන් ෂොට් එකක් දාගන්න කරන දේවල් තමයි ඔය...හේරත් කිව්වා.

ඊට පස්සේ නම් මනුස්සයගෙන් කිසිම කරදරයක් වුණේ නෑ.

මංගල්ලෙන් පස්සේ විමල් යුවල ඔවුන් දෙන්න කාලයක් තිස්සෙ හදල නිමකරපු අතුරුගිරිය පාරේ අරංගල ගෙදර පදිංචි වුනා...

බෙන් ෆිල්ම්ස් එකේ ඉන්නතුරු අපි හැම සති අන්තයකම විමල්ලාගේ ගෙදර ගියා...උදෙන්ම ගියාම තුන්වේලම එහෙන් කාල රෑ වෙලා ආපහු එන්නේ...නටන්න දඟලන්න පිනුම් ගහන්න විතරක් නෙවෙයි ගේ පෙරලුවත් උන් දෙන්න මොකුත් කියන්නේ නෑ...සතුට සමගිය පිරුණු ඒ වගේ කැදැල්ලක් කවදාහරි අපිටත් ලැබෙන්න කියල ඒ දවස්වල අපි හිතුවේ... 

එක අවුරුද්දක මම හිතන්නෙ 91දෙසැම්බර්වල විමල් අපට නත්තල් කෑමක් දුන්න...අපිත් වේලාසනින්ම අරංගල ගියේ එදා රෑට නත්තල් කෑමක් අපේ අල්ලපු ගෙදරත් තිබුණු හින්ද ඒකටත් එන්න බලාගෙනයි...

කුස්සියෙ ලලිතයි විනෝද්ගේ නෝනයි ජයටම කෑම ලැස්ති කරද්දී අපි ටික බෝතලයකට වටවුනා...

ඒ කාලෙ එච්චර බීලා කරල පුරුදුත් නෑනෙ...ඒ මදිවට බොන්න හිටියේ අපි දෙන්නයි...අනික් උන් ටික වටවෙලා බයිට් කෑවා...

වීදුරුව තනිකරලා කොහෙවත් යන්න හොඳ නෑ කියන පාඩම මම එදා හරියටම ඉගෙන ගත්තා...

කොහොමත් අනික් උන් ටික ලෑස්තිවෙලා හිටියෙම මට වැඩිකරවන්න...

බොනව බොනව බීලා ඉවරයක් නෑ...නැගිටල පොඩ්ඩක් එලියට ගියොත් අරුන් ටික ආපහු වීදුරුව කටටම පුරෝනවා ...

ඇයි බං මේ උඹ බීලා තියල ගියපු එකනෙ...

මාව බයිට් එකට අරගෙන උන් හොඳටම විනෝද වුනා...


කෑවද නැද්ද මතකත් නෑ ඇහැරනකොට මම හිටියේ එලිය කාමරේ ඇඳේ...හැන්දෑවේ ආපහු බෙන් එකට ඇවිත් මාව වෑන් එකෙන් එලියට ගත්තෙත් උස්සල හරහට මළමිනියක් වගේ...රෑ කෑමට අල්ලපු ගෙදරට යන්නත් බැරිවුනා කොහේ යන්නද ඇහැරුනේ පහුවදා උදේනෙ...

හැබැයි මට කරපු වැඩේට ඊළඟ සතියේදී මම අයියලව අල්ලගත්තා...සිකුරාදා  වැඩ ඇරිල එද්දි මම අරළුපෙති පැකට් එකක් අරගෙන ආවා...ගෙනත් ඕක පරිස්සමෙන් කාමරේ තියල තිබ්බා...

එකෙක් කාමරේ අදිද්දී ඔය පෙති දැකලා...

මොනවද බං මේ...

හා හා තියපන් තියපන් තිබුණු විදියටම...උඹලට ඕව වැඩක් නෑ උඹල පොඩිඋන්....

අනේ කියපන්කො බං...

මමත් වටපිට බලල කටහඬත් පාත් කරලා රහසින් වගේ...

ඕක රහස් බේතක් බං...කාටවත් එහෙම කියන්න එපා...

මගේ අතිනුත් අල්ලන් ඌත් බොහොම රහසින් අහනවා..

මොනවටද මචං බොන්නෙ... මම කාටවත් කියන්නෙ නෑ...

පුරුස සක්තිය වැඩිවෙන්න බං පුරුස සක්තිය වැඩිවෙන්න...ඔන්න උඹ අරුන්ට එහෙම කියල තිබුනොත් පුතෝ අපි දෙන්නගේ යාළුකම් එතනින් ඉවරයි හරිද...

කියාගෙන මම එලියට ආවා...අරූ දවසෙම මගේ පස්සෙමයි...

අනේ බං මටත් පෙත්තක් දියන්කො...

කනක් ඇහෙන්න නෑ දැන් වැඩේ හරියාගෙන එන්නෙ ...අනික් දෙන්නත් නිකං සැකෙන් සැකෙන් අපි දිහා බලනවා...

උඹට හින්දයි දෙන්නේ හරිද...රෑට උණුවතුර ටිකක් අරං මේ පෙත්ත බීපන්...

පොර පෙත්තත් අරගෙන ගියා...ටිකකින් අනිත් දෙන්නත්  එනව...

ඒයි උඹ අරූට විතරක් දුන්නේ අපටත් දෙකක් දීපං...

මොනවද බං...

උඹ යාලුවෙක්ද...අරූට විතරක් වාජීකරණ පෙති දීල...

ඔන්න උන් දෙන්නටත් දෙකක් දුන්නා...

තුන්දෙනාම එදා රාත්‍රියේ මගේ උපදෙස් පරිදි මහානුභාව සම්පන්න රහස් වාජීකරණ ඖෂධය පානය කළා...

බෙන් එකේ තිබ්බ කාමර දෙකේ අපි දෙන්න දෙන්න නිදාගත්තෙ...මමයි එකෙකුයි එක කාමරේක අනික් දෙන්න ඊළඟ කාමරේ...

මහ රෑ වෙද්දී මගේ කාමරේ හිටපු එකා නැගිට්ට...

මොකද බං...

නෑ නිකං බඩ ටිකක් අප්සැට් වගේ...

ඒ මොකද රෑට කාපු දෙයක්වත් නරක්වෙලාද...එහෙමනං වෙන්න විදියක් නෑ රෑට කෑවෙත් පාන්නෙ...

අරූ සිං ගාල ටොයිලට් එකට රිංගගත්තා...

ටිකකින් අනික් කාමරෙත් සද්ද බද්ද ඇහෙනව...උන් දෙන්නත් නැගිටල...

එදා රෑ එළිවෙනකන් තුන්දෙනාටම බඩගියේ හරියට ටැප් එක ඇරිය වගේ...මගේ මතු බුදුවෙන මෑණියන්ගෙ දහසක් ගුණකඳ ගායනා කරමින් තුන්දෙනා එළිවෙනකන් ටොයිලට් එක බදුඅරන් වගේ පදිංචිවෙලා හිටියා...

උදේ තුන්දෙනාම ඇඟේ පන කඳුලක් නෑ වගේ වැටිච්චි තැන්වල වැටිලා ඉන්නව...මම හොඳට සීනිදාල කෝපි හදල තුන්දෙනාට බොන්න දුන්න...

ආ මේ කෝපි ටික බීපල්ල...බඩයන්න බීපුවම කිරි බොන්න හොඳ නෑනෙ...දවල්ට මං බත්ටිකක් උයල තැම්බුං හොද්දක් හදල දෙන්නංකො...අද තැම්බුං හොදි ඇරෙන්න වෙන දෙයක් කන්න හොඳ නෑ...මට ඔහොම ප්‍රශ්නයක් නෑනෙ මම දවල්වෙලා අයි ටී එන් හන්දියට ගිහිං බුරියානි එකක් කාල එන්නංකො...

තොට කිව්ව කියල හිතාගන්...

හා...දැන්ද තොපිට අමාරුව තේරෙන්නෙ...එදා මට පොවනකොට ඔව්ව මතක් උනේ නෑ නේද බොලව්...එදා මම කන්නත් නැතිව කබරයා දදා ඉන්නකොට තොපි හිනාවුනා නේද...ඒකට රිටන් එක තමයි ඔය හම්බවුනේ තොපි දැනගනියව්...

මොනවද කාපු රිළව් වගේ තුන්දෙනාම මගේ දිහා බලං හිටිය විතරයි...මොකුත් කිව්වෙ නෑ...
ඔන්න ඔය ආකාරයට කාලය ගෙවිල බෙන් ෆිල්ම්ස් එකෙන් සමු ගන්න කාලෙත් ලංවුනා...මුලින්ම සමුගත්තෙ මම... 

ඊට පස්සේ අපි මුණගැහුනේ කලාතුරකින්...ජීවිතේ වගකීම් වැඩිවෙද්දී නොයෙකුත් ප්‍රශ්නවලට විසඳුම් හොයද්දි පරණ සම්බන්ධකම් ඈත්වෙන එක මටත් පොදුයි...

විවාහ වුනා... දරුවො ලැබුනා...ගෙවල් හැදුවා...වෙන රටවලට යන්න වුනා...ආදී වශයෙන් ජීවිතය ඉතාම සංකීර්ණ වෙද්දීත් යාළුවන් එක්ක සම්බන්ධතාව පවත්වා ගන්න මම උනන්දු වුනා...විශේෂයෙන්ම විමල්ට මම කොයි රටේ හිටියත් කතාකලා...

අවුරුදු ගානක් පෙම්වතුන් හැටියට ඉඳල කරගත්තු විමල්ගේ විවාහය දරු දෙන්නෙකුත් ලැබුනට පස්සේ දෙදරා ගිහිං කියල මට වටින් ගොඩින් ආරංචි ලැබුනා...නමුත් විමල් මට කිසිම දෙයක් කිව්වෙ නෑ මම ඇහුවෙත් නෑ...

මට මුලදීම ඒ ආරංචිය විශ්වාස කරන්නත් අමාරු වුනා...කවුද හිතන්නෙ පරමාදර්ශී පෙම්වතා සහ ස්වාමිපුරුෂයා මෙහෙම වැඩක් කරගනී කියල...අපටත් අවවාද අනුසාසනා කරපු මනුස්සයනේ...

දවසක් සරත් අයිය ගෙදර ආපු වෙලාවක අපේ ගෙදර ඇවිත් කතා කර කර ඉද්දි ඔය කතාව කිව්වා...සරත් අයියා නිෂ්පාදන කළමනාකරුවෙක් වගේම ක්ෂේත්‍රයේ කවුරුත් හොඳින් දන්න අඳුනන කෙනෙක්...විමල් මගේ හොඳ යාලුවෙක් කියල සරත් අයිය දන්නවා...

මල්ලි විමල් ඔය ටෙලිවල  රඟපාන කෙල්ලක් එක්ක දැන් ඉන්නෙ ඔය නිට්ටඹුව පැත්තෙ...

දික්කසාද වෙලාද සරත් අයියෙ...

ඒක නං මම හරියටම දන්නෙ නෑ මල්ලි  වෙන්වෙලා කියල විතරක් දන්නව...

ඔන්න දික්කසාද කියනකොට මට තව කතාවක් මතක්වුනා...මේක කලකට පෙර දිවංගත අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් කියූවක්...

දික්කසාද වෙච්චි නෝනා කෙනෙක් තවත් නෝනෙක් එක්ක තමන්ගේ අත්දැකීම් කියනවලු...

අපි දෙන්න කේස් එකක් පයිල් කරලා හොඳින් වෙන්වුනා අනේ...

දරුවො දෙන්න දෙන්න බෙදාගත්තා...

ගෙවල් දෙකත් දෙන්න බෙදාගත්තා...

කාර් දෙක දෙන්න බෙදාගත්තා...

එතකොට ඔයදෙන්න හම්බකරලා තිබුණු සල්ලි...ඒවට මොකද කලේ...

අනික් නෝනා අහනවා...

ආ...සල්ලිද  සල්ලි ටික දෙපැත්තේ ලෝයර්ල දෙන්න බෙදාගත්තා...

විමල්ගේ සුන්දර පවුල් ජීවිතය නිමාවට පත්වෙලා කියල මම හරියටම දැනගත්තෙ සරත් අයිය කියපුවමයි...

සුන්දර කියනකොටත් පොඩි කතාවක් මට මතක්වුනා...ඒකත් කියල ඉන්නංකො...

ඒ අපේ තෙල් ඉහිරෙන තරුණ වයස...අලවත්ත පාරෙ කොහුමෝලට ටිකක් එහාපැත්තෙ තිබ්බ මැණිකෙ අක්කලගේ පාලු ගෙදරට පවුලක් ඇවිත් පදිංචිවෙලා...ගෙදර මනුස්සය සුන්දරම්...සුන්දරම්ගෙ රස්සාව කසිප්පු විකුණන එකයි කුකුල්ලු ඇතිකරන එකයි...


සුන්දරම්ට නවයොවුන් වයසෙ දුවෙක් හිටියා...තාත්ත යකා වගේ වුනාට දුවනං හරියටම උදේ පින්නට තෙමුණු  මල් කැකුළක් වගේ ලස්සනයි...තරුණ කොල්ලො ඔය කෙල්ලට ආකර්ශණය වෙන එක අහන්නත් දෙයක්ද...

අපි කට්ටිය එකතුවෙච්චි ගමන් කතාකරන්නෙ ඔය කෙල්ල ගැන...

අද මොකද කරන්නෙ බං...

යමුද සුන්දරම්ගේ කෙල්ල බලන්නවත්...

වචනෙ පිටවෙන්නත් කලින් කට්ටියම ගමනටත් පිටත්වෙලා...

සුන්දරම්ල හිටපු ගේ තිබුනෙ හුදකලා පරිසරයක...වටපිටාවේ වෙන ගෙවල් නෑ...

අලවත්තෙ පාරට එහා පැත්තේ ඇළ...ඇළ උඩින් සුන්දරම්ලගේ  ගෙට යන්න පොල්කොට ඒදන්ඩක්‌ දාල තිබුණා...

අපි කට්ටිය ගිහිං ඔය ඒදන්ඩ උඩට වෙලා ඉඳගෙන ඉන්නව...සුන්දරම්ගෙ ගේ පැත්ත පාලුයි...කෙල්ල තියා සුන්දරම්වත් පේන්න නෑ...

ටිකක්වෙලා බලාගෙන ඉඳල අපි සිංදුවක් කියන්න පටන්ගන්නව...

සත්‍යම් ශිවම් සුන්දරම්...සත්‍යම් ශිවම් සුන්දරම්...
ආ ආ ආ....සත්‍යම් ශිවම් සුන්දරම්...

කට්ටියම මහහඬින් ගීතය අනුභව කරනව...කරච්චලේ උත්සන්නවෙලා කනක් ඇහෙන්න නැති තැන සුන්දරම් එලියට එනවා...

මෙතන ඇවිත් බෙරිහන් දෙන්න තියාගත්තෙ යනවලකො ඕයි යන මඟුලක අපට අපේ රස්සාව කරගන්න දීල...

සුන්දරම්ගෙ බැනිල්ල අපට ගාණක් නෑ...කෙල්ල ඉන්නවනං බැනිල්ලත් සුන්දරයි...මේ සිද්දවෙන දේවල් ඔක්කොම කෙල්ල ජනේලෙ ලඟ ඉඳන් හොරෙන් බලාගෙන ඉන්නෙ...

අපෙන් බේරෙන්න බැරුවද කොහෙද සුන්දරම් කෙල්ලව වැඩිකාලයක් ගෙදර තියාගත්තෙ නෑ...නගර සභාවෙ කුණු ට්‍රැක්ටරේ වැඩ කරන කොල්ලෙකුට දීග දුන්න...

කෙල්ල නැතුව ගේම පාලුයි...

සුන්දරම්ලගේ ගෙදර බෝතලයක් ගහද්දි සුන්දරම් කියන්නෙ බොහොම දුකෙන්...

තමුසෙට විතරද...අපටත් කොච්චර පාළුද...මොන මගුලකටද ඕයි කෙල්ලව මෙච්චර ඉක්මනට දුන්නේ...

කරගන්න බැරිකමටමයි දුන්නෙ...කොල්ලො මෙතන කැරකෙන්න ගත්තනේ දවසෙම බල්ලො වගේ...කෙල්ලව තනියම ගෙදර දාල මට කොහෙවත් යන්න නෑ...ඒකයි මම ඉක්මනටම නිදහස්වෙන්න කල්පනා කලේ...

පස්සේ කලෙකදී කෙල්ලටත් නගර සභාවෙම රස්සාව හම්බ වුනා...දැන්නං උන්ගෙ දරුවොත් බැඳල ඇති...කොයි කාලෙද...

මතු සම්බන්ධයි...





Friday, August 23, 2013

82.නීතගෙ පුතා,විමල්ගෙ මඟුල සහ තවත් බොන කතා

අපි බත්තරමුල්ලෙ පන්නිපිටිය පාරෙ බෙන් ෆිල්ම්ස් එකේ පදිංචි වෙලා ඉන්න කාලෙ මම රස්සාව කලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙ...මාව ඉස්සෙලම අනුයුක්ත කරපු බ්‍රාන්ච් එකේ හිටපු අය මට තාම මතකයි...රංජිත්,වීරක්කොඩි,චිත්‍රා,නීතා ඒ ඔක්කොම  මට වඩා ගොඩක් සීනියර් අය...පස්සෙ කාලෙකදි පුවක් වල්ල පොළොවෙ ගැහැව්වා වගේ තැන් තැන්වලට මාරුවීම් අරගෙන ගියත් නීතලගෙ ගෙදර තිබුණෙ බෙන් ෆිල්ම්ස් එකට ආසන්නව කිඹුලාවල නිසා ඇයව නිතරම මුනගැහුණා...හරියටම ඊට අවුරුදු විස්සකට පස්සෙ එකම අමාත්‍යාංශයක එකම ශාඛාවෙ නීතත් මමත් මුණගැසුනා...රාජ්‍ය සේවය ඔහොම තමයි. නීතලාගෙ ගෙදර තිබුණු උත්සව දානමාන ආදියටත් මම නිතරම ආරාධනා ලැබුවා...නීතට හිටියෙ පොඩි පුතෙකුයි දුවෙකුයි ඒ කාලෙ ඒ දෙන්නම හුඟක් පුංචියි.

දැනට සති දෙකකට විතර කලින් තරුණ නාවික හමුදා නිලධාරීන් දෙන්නෙක් ගිය කාර් එක මහ පාන්දර කන්ටේනර් වාහනයක හැප්පිලා කාර් එකේ හිටපු නාවික හමුදා නිලධාරීන් දෙන්නා එතනම මියගිය පුවතක් මම පත්තරවල දැක්කා...

ඊට පහුවදා ටොරොන්ටෝවල ඉන්න රජීන්ද්‍රාගෙන් මට පණිවිඩයක් තිබුණා...

නීතගෙ පුතා හදිසි අනතුරකින් මියගිහින්...

බලපුවාම නීතගෙ පුතා අර මියගිය නාවික නිලධාරීන්ගෙන්  එක්කෙනෙක්...

ඒ කාලෙ අපිත් එක්ක හුරතල් වෙච්චි පොඩි කොලු පැටියා ගැන අතීත මතක අවදිවුණේ එතකොටයි...

සැරයක් චිත්‍රා අහුන්ගල්ලෙ ඒ ගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා කාර්යාලයෙ අපිට ආරාධනා කලා...

නීතලගෙ ගෙදර අයයි ජයන්තලගෙ ගෙදර අයයි මමයි අපි දහදෙනෙක් විතර ජයන්තලගෙ වෑන් එකේ අහුන්ගල්ලෙ යන්න සූදානම් කරගත්තා...ලාල් ගාල්ලෙ ඉඳල කෙලින්ම එහෙට එනව කිව්වා...

කරුමෙටම ගමන යන්න කලින් දවසෙ මට නයිට් ෂූටිං එකක්...

ඔයාල යන්න මම බස් එකේ එන්නම්...මම අනික් අයට කිව්වා...

එදා ෂූට් කලේ වසන්තිගෙ සිංදුවක්...දවල් ඉඳලම අපි වැඩ...
දර්ශනයට පෙනී ඉන්න ඕනැකරන අවශේෂ අය හොයල එකතුකරල කෙල්ලන්ට රැළි ගවුම් අන්දවල ගෑණුන්ට ආදි කාලෙ විදියට සාරි අන්දවල පිරිමි අයට කෝට් කලිසම් අන්දවල වෑන්වල පටවගෙන සෙට් එකට අරගෙන ආවා...සෙට් එක තිබ්බෙ රාජගිරිය පැත්තෙ පරණ වලව්වක...

දර්ශනයට පෙනී ඉන්න අරන් ආපු අයට කන්න බොන්න දෙන්නයි පිරිමින්ට අරක්කු ගෙනත් දෙන්නයි අස්සෙ බෙනාගෙත් එක එක වැඩ...

 මල්ලි මෙයාව ගිහිං දාල වරෙං...

මල්ලි අරයව එක්කං වරෙං...

වැඩ ඉවරයක් නෑ...ඔය අස්සෙ එළිවෙනතුරුම සිංදුව ෂූට් කලා...එළිය වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි ඩොලියෙ කැමරාව තියාගෙන ට්‍රැක් එකේ කෙළවරටම ගියපු කිචි ධර්මයා...

මේ එල්ලල තියෙන බැලුම් බෝල ක්‍රේප් කොළ කිසි දෙයක් පෙනෙන්නෙ නෑ කැමරාව තියෙන ලෙවෙල් එකට...ඕව ඔක්කොම පහළින් එල්ලන්න...

ඔච්චර පහළින් බැලුම් බෝල එල්ලන සිරිතක් තියෙනවයැ ධර්මෙ...

ඒව මම දන්නෙ නෑ...කැමරාවට පේන්නෙ නැත්නං ඔය සැරසිලි එල්ලපු එකේ වැඩක් තියෙනවයැ...

එළිය වැටුණොත් තවත් මඟුලක්...ආයෙම ඉතුරුටික තව රෑක ෂූට් කරන්න එපායැ...

ධර්මෙ අයියෙ...උඹට වඳින්නං...ඔන්න ඔය කෙහෙල්මල ඇතා හරි නැතා හරි ඔය ෂොට් එක ඉවරකරල දාපං බං තව දවසක් නිදි මරන්න බෑ...

ඔය විදියට එළිය වැටෙනකොට අන්තිම ෂොට් එක ඉවරකරගත්තා...

උඹ දුවන්න හදන්න එපා...මම උඹව කොටුවට ගිහින් දාන්නං...

විමල් කිව්වා...විමල් තමයි ටෙලියෙ සහාය අධ්‍යක්ෂ...

බත්තරමුල්ලෙම පදිංචි කෙල්ලක් වෙච්චි ලලිතාත් එක්ක විමල් ඇතිකරගෙන තිබුණු දීර්ඝකාලීන ප්‍රේමයෙ මල්පල ගැන්වීමක්  විදියට ඊළඟ අවුරුද්දෙ මැයි මාසෙ යුවල විවාහවෙන්න සියළුම කටයුතු සූදානම් කරල තිබුණා...

විමල් තමයි අපේ කණ්ඩායමේ හිටපු ආදර්ශමත් පෙම්වතා වුණේ...

දකින දකින කෙල්ල පස්සෙ යන එක ගැන අවවාද කළෙත් එහෙම ගිහින් ලෙඩ දාගත්තාම බේරාගත්තෙත් විමල් තමයි...

හැදියල්ල බං හැදියල්ලා...

විමල් නිතරම අපට අවවාද කලා...

විමල්ගෙ මංගල්ලෙ දවසත් ළං ළං වේගන ආවා...ඒ දවස්වල අපි අනික් සියළුම වැඩ අතඇරලා මඟුලටයි වැඩ කලේ...මඟුල ගත්තෙ බොරැල්ලෙ වයි ඇම් බී ඒ හෝල් එකේ...

මඟුල් ගෙදරට කලින් දවසෙ විමල් අපි තුන් දෙනාට කතාකලා...

ඔන්න උඹල තුන්දෙනා තමයි හෙට වැඩටික ඔක්කොම බලාගන්න ඉන්නෙ...
කෑම ටික හරියට එකොළහමාර වෙනකොට හෝල් එකට එන්න ඕනෑ...තව තව මොනවහරි ඕනැ එපාකමක් තියෙනවනං ඒවත් බලපල්ල මට දුව පනින්න බෑනෙ මම මනමාලයනෙ...

හරි හරි උඹ මනමාලයගෙ පාට් එක කරපංකො සෙට් එක අපි බලාගන්නම්...ඔහොමද අපි ගොඩදාල තියෙන මඟුල්...

අපිත් ටෙලි නාට්‍ය භාෂාවෙන්ම උත්තර දුන්නා...

ඔන්න පහුවදා අපි කට්ටියම උදේ පාන්දර වයි ඇම් බී ඒ එකට ගිහින් අවසාන සූදානමත් අහවර කරලා වෙලාවට මනමාලයයි මනමාලියි දෙන්නත් එක්කරං ආවා...දැන් කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ ටික බලාපොරොත්තු වුණු පිළිවෙලටම කෙරීගෙන යනවා...කෑමත් වෙලාවට ගෙනාවා...

විමල්ලගෙ තාත්තා එච් එස් පේමේන්ද්‍ර, ඔහුට හැත්තෑ ගණංවල පට්ටිය හන්දියෙ ටේලර් සාප්පුවක් තිබුණා...ඔහු ටේලර් කෙනෙකුට වඩා භාවාත්මක දේශීය සිනමාවක් ගොඩනගන්නට අතහිත දුන්නු කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි...පසුකාලීනව සිනමාවේ ඉහළ තලයට ආපු නළුවන් අධ්‍යක්ෂවරුන් බොහොමයක් දෙනා ඒ යුගයේ ඔහුගෙ ටේලර් සාප්පුවේ රස්තියාදු වුණු අයයි.

විමල්ගෙ තාත්තගෙ ආරාධනාවට චිත්‍රපට අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් නළු නිළියන් සෑහෙන පිරිසක් මඟුල් ගෙදර ඇවිත් හිටියා...

දැන් යුවල පෝරු මස්තකාරූඪ වෙලා ඉන්න අවස්ථාව...පෝරුවෙ චාරිත්‍ර කරන මනුස්සයා අෂ්ටක කියවනවා...
මේ ජෝඩුව පෝරුවෙන් බස්සපු ගමන්ම මට පෝරෙ තව මඟුල් ගේකට යන්න තියෙනවා මහත්තයො...

මිනිහ මට උදෙන්ම එහෙම කිව්වා...පොරට දෙන්න තියෙන සල්ලි කවරෙත් මගෙ අතේ...

ඔන්න ඔය වෙලාවෙ වයි ඇම් බී ඒ එකේ මැනේජර් වේගවත් ගමනින් ශාලාවට ඇවිදගෙන ආවා...මම ඉස්සරහට ගියා...

කවුද විමල් මහත්තයා...

මිනිහා මගෙන් අහනවා...

ඇයි මහත්තයො උවමනාවක්වත්ද...

මම ඇහුවා...

විමල් මහත්තය තමයි ශාලාව වෙන්කරගෙන තියෙන්නෙ...කරුණාකරල ඒ මහත්තයට කාර්යාලයට එන්න කියන්න...
 
මැනේජර් යන්න ගියා...
 
පෝරුව උඩ ඉන්න එකාව බස්සගෙන යන්න පුලුවනෑ...මම ඔෆිස් එකට ගියා...
 
මහත්මයා මේක තරුණ බෞද්ධ සමිති ශාලාව...අනික් ශාලාවලට ආදර්ශයක් වෙන ආකාරයට අපි මේ ශාලාව පවත්වාගෙන යන්නෙ...දැන් බලන්න මෙතන සිද්ධවෙනදේවල්...
 
මිනිහ කාර්යාලයෙන් එළියට ඇවිත් අත දික්කරල මට මිදුල පෙන්නුවා...
 
එළියෙ චෙරිගහ යට විමල්ලගෙ තාත්තගෙ යාලු නළුවොයි අධ්‍යක්ෂවරුයි ඔක්කොමලා බෝතල් කඩාගෙන මෙලෝ සිහියක් නැතිව බොනවා...
 

එක්කො ඒ ගොල්ල බීම නවත්තන්න ඕනැ නැත්නම් අපි මෙතනින් එළියට බැහැල යන්න ඕනෑ...
 

මැනේජර් බොහොම තදින් මට කියාසිටියා...
 
හරි හරි මහත්තයා...මට තේරෙනවා...කරුණාකරල මට විනාඩි දහයක් දෙන්න...
 
බොහොම අමාරුවෙන් පොරව ෂේප් කරගෙන මම අරුං ටික බොන තැනට ගිහිල්ල විමල්ලගෙ තාත්තට පැත්තකට කතාකරලා කාරණාව කිව්වා...
 
මම එළියෙ තියෙන වෑන් එකක පිටිපස්ස ඇරලා දෙන්නම්...බෝතල් ටිකයි ෂැන්ඩි බයිට් ටිකයි එතනට ගෙනියමු නැත්නං මඟුල පැත්තක තියල මේ මිනිස්සු අපිව එළියට දාවි...
 
ඌ කොහොමද අපිව එළියට දාන්නෙ කියපං පුලුවන් දෙයක් කරන්න කියල අපි මෙතන තමා බොන්නෙ...
 

හොඳටම වැදිල හිටපු ප්‍රවීන නළුවෙක් මගෙ ඇඟට ගොඩවුණා...
 
බොහොම අමාරුවෙන් කට්ටියට වැඳල වගේ නැගිට්ටවලා වෑන් එකකට ගිහිල්ලා දැම්මා...
 
ඔයවාගෙ මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ වැඩ කරද්දි ගබඩා සමීක්ෂණයකට ගාල්ලෙ ගියා...ගියෙ මමයි හේරතුයි...
 

පළවෙනි දවසෙ වැඩ ඉවරවෙලා කඩේකට ගිහිං රෑට කෑමත් අරං බාර් එකෙන් බෝතලේකුත් අරගෙන අපි නවාතැනට ආවා...
 
අපි දෙන්න නවාතැන් අරගෙන තිබුණෙ ගාල්ලෙ වයි ඇම් බී ඒ එකේ...
 
කාමරේට වෙලා කෑමට පෙර චුට්ට චුට්ට සප්පායම් වෙමින් ඉන්න අතරෙ ශාලාවෙ බාරකාරය ඇවිත් අපට කතාකලා...
 
මහත්තයො මේක තරුණ බෞද්ධ සමිතිය...අනගාරික ධර්මපාල තුමා මේ සමිතියෙ ආරම්භකයා...එහෙව් තැනට මහත්තයල අරක්කු ගෙනැත් බොනකොට මොකක්ද එතුමට තියෙන ගරුත්වය...බොහොම කැතයි බොහොම කැතයි...
 
හේරත් ඉස්සරහට ආවා...
 
උඹ පැත්තකට වෙයං...මම පසුබැස්සා මට දැන් බයයි මූ මොන ගිණිගෙඩියක් දෙන්න හදනවද කියල...නොදන්න පළාතක මොනව කරන්නද...
                                                                 මතු සම්බන්ධයි

Friday, August 16, 2013

81.අමද්‍යප ව්‍යාපාරය සහ තවත් කතා

 

 අපේ යාලුවො දෙන්නෙක්ම අමද්‍යප කතා ලියල තිබ්බනෙ...දේශකයි,හෙන්රියි... ඉතිං මටත් මම දන්න අමද්‍යප කතා කීපයක් ලියල දාන්න හිතුනා...බ්ලොග් කරුවො  ඔක්කොම අමද්‍යප වෙන්න හිතානද දන්නෙ නෑ මෙහෙම ලියන්නෙ...ලංකාවට ගියාට පස්සෙ මටත් අමද්‍යප වෙන්න සිද්දවුණානෙ...ඊට පස්සෙ නං තාම කටහරියෙ තිබ්බෙ නෑ.

ඔය අමද්‍යප ව්‍යාපාරය තියෙනව නේද(මං කියන්නෙ ඔය හිරූල එහෙම බොනවට විරුද්ධව පස්පඩව්වෙ බැන අඬගහන එක නෙවෙයි )...ඒ කියන්නෙ මත්පැන්වලට එරෙහිව නැගී සිටීම...ඕකත් බලං ගියාම හොඳම ඉල්ලමක් කියල කාරියකරවන ශූරීන් ඔහුගෙ පොතක සහසුද්දෙන්ම ලියල තිබ්බ...ඒ කතාවත් කියලම ඉන්නංකො.
                         
හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තය තරුණ කාලෙ ඒ කියන්නෙ හතළිහේ දශකයෙ රා තැබෑරුම්වලට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනියල තියෙනව...මේ රා තැබෑරුම් විරෝධී ව්‍යාපරය කරන කාලෙ අත දිග ඇරල ඒ වැඩවලට වියදම් කරන්න ප්‍රේමදාස මහත්තයගෙ අතේ මිටේ හොඳට සල්ලි ගැවසුනාලු...කට්ටිය බැලුවලු යකෝ ජීවිතේ කිසි දවසක රස්සාවක් කරපු නැති මනුස්සයගෙ අතේ මෙච්චර කාසි මුදල් කොහොමද ගැවසෙන්නෙ කියල...ගෙදරින් සල්ලි දුන්නත් ඕනැනං එදිනෙදා වියදමට දෙයි...ඔහොම අත දිගඇරල සමාජසේවෙ කරන්නත් ගෙදරින් දෙයියැ.

ඔහොම ඉතිං මේ තැබෑරුම් විරෝධී ව්‍යාපාරය නැගල ගිහිං අන්තිමේ කොළඹ නගරයේ රා තැබෑරුම් වැහෙන විදියටම වැඩ කටයුතු සිද්දවෙලා තියෙනවා.

රා තැබෑරුම් වහපු මුල් කාලෙ එක සති අන්ත දවසක කාරියකරවන මහත්තය කොළඹ ඉඳල ගෙදර යන්න පිටකොටුවෙ බස්ස්ටෑන්ඩ් එකට යන ගමන් කල්පනා කළාලු බස් එකටත් වෙලාව තියෙන නිසා බීර වීදුරුවක් බීලම ගියොත් මීගමුවට යනකල් නින්දක් ගහගෙන යන්න පුළුවන් නේද කියල ළඟම තිබිච්ච කොලෝනියල් බාර් එකට ගොඩවෙලා.

අප්පට හුඩු...එතනනෙ සෙනග...දිග පෝලිමක්ලු අරක්කු බොන්න...අර රා තැබෑරුම්වලට ගිහිල්ල පුරුදු වෙච්චි මිනිස්සු තැබෑරුම් වැහුවට පස්සෙ දැන් බාර් වලට පෝලිමේ යනවලු අරක්කු බොන්න...කොහොමින් කොහොමින් හරි අමද්‍යප ව්‍යාපාරය නිසා බාර් කාරයන්ගෙ කරල පැහුණු එක තමයි සිද්දවෙලා තියෙන්නෙ.

ඔන්න ඔය වෙලාවෙදි කාරියකරවන මහත්තයගෙ හිතේ කාලයක් තිස්සෙ තිබුණු ගැටළුවකට පිළිතුරු ලැබිල තියෙනවා...ගැටළුව වුණේ ප්‍රේමදාස මහත්තයට රා තැබෑරුම් වහන වැඩේදි අත මිට දිග ඇරල වියදම් කරන්න සල්ලි ලැබුණෙ කොහෙන්ද කියන එක.

 ඒ තියා මැදකොළඹ ඡන්දදායකයො සල්ලි එකතු කරල ප්‍රේමදාස මහත්තයට අරං දීල තිබුණු 1 ශ්‍රී 1962 මයිනර් කාර් එකත් ඔය බාර්කාරයන්ගෙ පරිත්‍යාගයක් කියල කතාවකුත් තියෙනවනෙ...ඕවයෙ හැබෑ බොරු අපි දන්න එකක්යැ... රට්ටු කියන කතානෙ.

ඊටත් පස්සෙ පනස් ගණංවල තිබුණු අමද්‍යප සටන් නැගල යන කාලෙ අමද්‍යප සටනෙ මහ නියමුවෙක් ඇවිදින් අමද්‍යප රැළියක් අමතන්න ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන්ට ආරාධනා කළාලු...

චන්ද්‍රරත්න මානවසිංහයන් කියන්නෙ හොඳට අඩි පුඩි ගහන පත්තරකාරයෙක්නෙ...ඔහු පුදුමවෙලා...

ඈ බං...මං වාගෙ බොනයෙක් කොහොමද අමද්‍යප රැස්වීමක කතාකරන්නෙ...ඒක හරි විහිලුවක්නෙ...

නෑ නෑ ඒකෙ ප්‍රශ්නයක් නෑ...බොන කතා අපි දැනගත්තට මිනිස්සු දන්නවැයි...

අමද්‍යප නියමුවා බලකරනවා...බැරිම තැන...

හරි...එහෙනං මම එන්නං...හැබැයි කතා කරන ගමන් බොන්න මට අරක්කු බාගයක් ඕනෑ...

හරි මඟුලක්නෙ යකෝ...මම කොහොමද අමද්‍යප රැස්වීමකදි බොට අරක්කු දෙන්නෙ...

මෙහෙමයි...අරක්කු බාගෙ ජින්ජර් බියර් බෝතලේකට දාලා මම කතාකරනකොට එතනින් ගෙනැත් තියපං...බෝතලෙ අඳුරුපාට නිසා කාටවත් පේන්නෙ නෑනෙ...උඹේ වැඩෙත් කෙරෙනවා මගෙ වැඩෙත් කෙරෙනවා...
ඔන්න නියමිත දවසෙ අමද්‍යප රැළියට ගියපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කතාව පවත්වනවා...අමද්‍යප නියමුවාත් පොරොන්දුවෙච්චි විදියටම අරක්කු බාගෙ ජින්ජර් බියර් බෝතලේට දාල එතනම තිබුණු මේසෙ උඩින් ගෙනැත් තියලා...මානවසිංහයනුත් කතාකරන ගමන් අර බෝතලෙන් ටික ටික උඩ බලන් කටේ වක්කර ගන්නවලු...

ඔය රැළියෙ මූලාසනයෙ වැඩ ඉඳල තියෙන්නෙ බොහොම සිල්වත් ධර්මධර විනයධර මහතෙර නමක්...අව්වයි...දවසත් බොහොම රස්නෙයි...හාමුදුරුවන්ටත් හරි වෙහෙසයි...

මේසෙ උඩ තිබ්බ ජින්ජර් බියර් බෝතලේ ගත්ත හාමුදුරුවො උඩ බලලා ලොකු උගුරක් කටට හලාගෙන වැළඳුවෙ තිබාසෙ නිසාමයි...

අප්පට සිරි...හාමුදුරුවන්ගෙ බඩ පපුව දවාගෙන ජින්ජර් බියර් ගලාගියා...දැන් මොනව කරන්නද...

ටිකකින් හාමුදුරුවන්ගෙ තට්ටෙන් දාඩිය මුගුරු හෝ ගාල මතුවෙන්න ගත්තා...ඔය වෙලාවෙම කතාව අහවර කරපු ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇවිත් හාමුදුරුවො ළඟ වාඩිවුණා...

වේසිගෙ පුතා...තෝ මගෙ සීලෙ කෑව යකෝ...

හාමුදුරුවො මානවසිංහයන්ගෙ කණට කරල වැදෑරුවා...

ඔය වයඹ පළාතෙ පොල්වතු කුඹුරු ඉඩම් අධිරාජ්‍යයක්ම අයිති මුදලිතුමෙක් පළාතටම අධිපතියා වගේ බොහොම ජයට ජීවත්වුණා...

දවසක්දා දවාලෙ මුදලිතුමා දවල් බත එහෙම සප්පායම් වෙලා බොහොම ප්‍රීතියෙන් කළු 
සුරුට්ටුවකුත් පත්තු කරගෙන බඩත් අතගගා මිදුලෙ ඇවිදින ගමන් හිතේ සතුටට කවි පදයක් කියවුණා...

කනදෑ    අඳිනදෑ...

ඔයවෙලාවෙ හොඳටම කසිප්පු බීල වැඩිවෙලා මුදලි වලව්ව ඉස්සරහ කාණුවෙ වැටිල හිටපු පොල් කඩන සිට්ටියාට  මේ කවි පදේ ඇහුණා...පොල් කැඩුවට බොහොම හොඳ රසවතෙක් වෙච්චි සිට්ටියට ඊළඟ පදේ නිකම්ම කියවුණා...

බොනදෑ    විතර හොඳදෑ...

මොකාද බොලේ මාත් එක්ක කවි කියන්නෙ කියල මුදලි තුමා බැලුවා...

කවුද ඒ උන්දෑ...

සිට්ටියගෙ කටටත් බ්‍රේක් නෑනෙ...අන්තිම පදේ කිව්වා...

මොටද හිරයක් දෙන්ටවත්දෑ...

ඔන්න ඔය විදියට තවත් ලස්සන කවියක් කවි සාහිත්‍යයට එකතුවුණා...

කනදෑ අඳිනදෑ
බොනදෑ විතර හොඳදෑ
කවුද ඒ උන්දෑ
මොටද හිරයක් දෙන්ටවත්දෑ

ඉන්දියාවේ ඉන්න මගෙ  යාළුවා අසෝකන් දවසක් අපේ ගෙදර ආවා...අපේ ගෙදර කිව්වේ ලංකාවේ ගෙදර, ඒ එක අලුත් අවුරුද්දක ...

ලංකාවට ඇවිදින් මට කතාකරපුවම  අප්‍රේල් පහළොස්වෙනිදා නැවතිලා යන්නත් එක්ක වරෙන් කියල මම කිව්වා...

කියපු විදියටම පහළොස්වෙනිදා උදේම මූ අපේ ගෙදර ආවා...

අසෝකන් සාමාන්‍යයෙන් උදේට කෑම කන්නෙ නෑ...ඔය මොනවා හරි පෘට් ජූස් ටිකක් බීලා නිකං ඉන්නව ...

හැබැයි දවල්ට ඒකටත් එක්ක හරියන්න සුප්,සලාද,මස්,මාළු එක්ක ජයටම කෑම කනවා...

අපේ ගෙදරත් එදා අසෝකන්ට දවල් කෑම ජයටම ලෑස්ති කරලා තිබ්බා...බොන්නත් ඕනෑ කියපු නිසා බෝතලේකුත් දුන්නා...

බෝතලෙත් ගහල බිම වාඩිවෙලා කෙහෙල් කොළේට බත් මාළුපිණි බෙදාගෙන නියම දකුණු ඉන්දියානු ක්‍රමයට අපි දෙන්න එදා දවල් කෑම කෑවා...
 එදා අපේ පිට්ටනියේ අවුරුදු සංගීත ප්‍රසංගය...ඒක බලන්න යන්න කලිනුත් අසෝකන්ට බොන්න ඕනෑවුනා...

සංගීතෙට ගිහිල්ල අපි සින්දු අහනවා ස්ටේජ් එක ඉස්සරහ කොල්ලෝ කෙල්ලෝ මෙලෝ සිහියක් නැතුව නටනවා...

ටිකකින් අසෝකනුත් නටන උන් මැදට පැනල නටන්න ගත්තා...

අසෝකන් හතර අතට ඇඹරෙමින් නටන්නේ කැපිච්චි පණුව වගේ ...නටනවා විතරක් නෙවෙයි මූ පොළොවේ පස් කනවා...

නට නටා හිටපු කොල්ලන්ට මූව හොඳට අල්ලල ගියා...උන් සැරෙන් සැරේ අසෝකන්ව ස්ටේජ් එක පිටිපස්සට එක්ක යනවා මං බලාගෙන හිටියේ...

පාන්දර තුනට විතර මම මූට ගෙදර යන්න කතාකලා...

 ඔයා යන්න මම එන්නං...
 

මට ඉතිං හොඳ කුණුහරුප මතක්වුණා...බොහොම අමාරුවෙන් ගෙදර ඇදං ඇවිත් නිදිකෙරෙව්වා...
 

පහුවදා කොහොමත් ඇහැරෙන්න ප්‍රමාද වෙනවනෙ...උදේ නැගිටල තේ එකකුත් හදාගෙන ගියාම මූ ඇඳේ මුල්ලක තුංකුදු ගැහිල වකුටුවෙලා ඉන්නව...
 

මොකද බං...
 

බොඩි ඔක්කොම පේනිං අප්පා...
 

දැනුත් ඉතිං ඌව බයිට් එකට ගන්න ඕනැවුනාම මම ඉන්දියාවට කතාකරනවා.





Monday, August 12, 2013

80.ලංකාවට ටෙස්ට් වරම් ලැබීම,මහා මංගල්‍යය, උපාසකරාළගෙ කුඩේ සහ තවත් කතා




   අපේ රටට ටෙස්ට් තත්ත්වය ලැබිල පවත්වන්නට යෙදුනු පළමුවෙනි ටෙස්ට් තරඟයට ඉස්සරින් දවස් පහක පෙරහුරු තරඟයක් පවත්වන්නට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා...මොකද කියනවනම් ඒ වෙනකොටත් ලංකා කණ්ඩායම සහභාගි වෙලා තිබ්බෙ දවස් තුනේ සහ හතරෙ තරඟ වලට නිසා තරඟයක් දවස් පහක් පවත්වාගෙන යන්නට අවශ්‍ය ඉවසීම සහ මානසික ඒකාග්‍රතාව ක්‍රීඩකයන්ට පුරුදු කරවන්නට මෙවැනි තරඟයක් ඉවහල් වේවි කියල පාලක මණ්ඩලය කල්පනා කරන්නට ඇති.

එක කණ්ඩායමක් බන්දුල වර්ණපුරගෙ නායකත්වයෙනුත් අනෙක් කණ්ඩායම දුලිප් මෙන්ඩිස්ගෙ නායකත්වයෙනුත් නම් කරල මේ තරඟය පැවැත්වූවා.

1975 දි පළමුවෙනි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවෙන්න අනුර තෙන්නකෝන්ගෙ නායකත්වයෙන් ලංකා කණ්ඩායම එංගලන්තයට ගියාට ඒ අය ගහපු මැච් තුනෙන්  එක තරඟයක්වත් දිනාගන්න බැරිවුණා...කණ්ඩායම පිට්ටනියෙ පුහුණුවීම් කරනකොට එහෙම එක එක පොඩි පොඩි ක්‍රීඩා සමාජවල කට්ටිය ඇවිත් මැච් ගහන්න චැලේන්ජ් කරනවලු...හරියට අර අපේ ගම්වල ටීම් අනික් ගමට චැලේන්ජ් කරනව වගේ...
කොච්චර පැරදුණත් ඉතිං ලංකාවෙ ජාතික කණ්ඩායමනෙ...මැච් පරදිනවට වඩා මේ වැඩේ ඒ ගොල්ලන්ට වස ලැජ්ජාවක්ලු...කිඹුල කනව ඉවසන්න පුළුවනි ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බෑ කියල කතාවකුත් තියෙනවනෙ.

1979 දි බන්දුල වර්ණපුරගෙ නායකත්වයෙන් දෙවෙනි ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවුණු ශ්‍රී ලංකා කණ්ඩායම එවර බී කාණ්ඩය යටතේ තරඟ තුනකට සහභාගිවෙලා 1979 ජූනි 16-18 දිනවල ඉන්දියාවත් එක්ක මැන්චෙස්ටර්වලදි පැවැත්වුණු තරඟය ජයග්‍රහණය කළා.

එදා සැරේ තරඟාවලියෙ තරඟ තුනකට සහභාගි වෙච්චි ඉන්දියාව තරඟ තුනෙන්ම පැරදුනු නිසා ලකුණු සටහනේ ඉන්දියාවට ඉහළින් සිටීමට ලංකාව සමත්වීම ටෙස්ට් තත්ත්වය ලැබෙන්නට බලපෑ එක සාධකයක් වෙලා තියෙනවා.බන්දුල වර්ණපුර කලින් තරඟ දෙකේදීම ටොස් එක පැරදුණ හින්දා දිනාපු තරඟයෙදි  දුලිප් මෙන්ඩිස්ව යවල තමයි ටොස් එක දිනාගෙන තියෙන්නෙ.

79 දි වෙච්ච දේ පාඩමකට ගත්තු ඉන්දීය ක්‍රිකට් පාලක  මණ්ඩලය කණ්ඩායම දැඩි ප්‍රතිසංවිධානයකට ලක්කරල අලුත් මුහුණු හඳුන්වා දීල 1983 තරඟාවලියට යවපු ඉන්දීය කණ්ඩායම එවර බටහිර ඉන්දීය කොදෙව් පිළ පරදවා ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තා.
ඉන්දියාව වැඩකරන්නෙ අන්න එහෙමයි...ඉස්සර පෙන්නපු වැඩ එහෙම නැත්නම් නම...ඒ වාගෙ දේවල් සත පහකට ගණන් ගන්නෙ නෑ.

ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක්ද හිටපු ඉන්දීය නායකයෙක්ද පසුව ඉන්දීය තේරීම් කමිටුවේ සභාපතිවරයෙක්ද වුනු ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් හෙවත් ක්‍රිස් ශ්‍රීකාන්ත්ද ආරම්භක පිතිකරුවා වශයෙන් ඉන්දීය කණ්ඩායමට එකතුවී සිටියා.

 මගෙ කලින් පෝස්ට් එකකදි කිව්වා මම ඉන්දියාවෙ ඉන්න කාලෙදි ශ්‍රීකාන්ත්ව පාටියකදි මුණගැසුණා...ඔහු ආප්ප කද්දි මම පින්තූරයක් ගත්ත ඔහුගෙ ආප්ප කෑමත් පිති හරඹය වගේම ප්‍රවේගකාරී නිසා කියල(ලින්ක් එක දාන්න විදියක් නෑ)

ඒ පින්තූරය පස්සෙ හොයල දාන්නම් කියලත් කිව්වනෙ...මෙදා සැරේ ලංකාවට ගිය වෙලේ මගෙ පරණ ඇල්බම් අවුස්සලා ඒ පින්තූරය හොයාගෙන ආවා...ඔන්න බලාගන්න.


ඉන්දියාවෙදි මුණ ගැහුනෙ ශ්‍රී කාන්ත් විතරක් නෙවෙයි...වැඩිපුරම මුණගැහුනෙ ශ්‍රී ලාංකික අනාථයින්...යුද්ධයෙන් අවතැන් වූවන්, ලංකාවෙන් දකුණු ඉන්දියාවට යුද අනාථයන් ගලාගෙන ආවෙ අපි හිටපු කාලෙ.ඒ අය කියපු කතා විශ්වාස කරන්නත් බැරි තරම්...අදනම් මම ඒ කතාවල අකුරක් වචනයක් නෑර විශ්වාස කරනවා...මේත් ඒ වගේ මගෙ හදවත දැඩි කම්පනයකට ලක් කරපු එක කතාවක්.

දවසක්දා බොහොම පිළිවෙලකට ඇඳ පැළඳ ගත්තු වයස අවුරුදු දහඅටක දහනවයක විතර  යුවතියක් මාව මුණගැහිලා ඇගේ කතාව කීවා ඇයට අපි අනුරාධා කියමු.

ඇයගෙ ගෙවල් යාපනය දිස්ත්‍රික්කයෙ...ගමේ නමත් කිව්වා මට දැන් මතක නෑ,ඇය ඉගෙනගත්තෙ නුදුරු ටවුමෙ තිබුණු මහා විද්‍යාලයෙ...තාත්තා ගොවිතැන්බත් කරන ගමන් කැලෙන් දර කපල විකුණලා මේ පවුල ජීවත් කරවලා තියෙන්නෙ...අම්මා ගෘහිණියක්,ඇයට එක මල්ලි කෙනෙක් ඉඳල තියෙනවා...ජීවත්වීම බොහොම කටුක හා දුෂ්කර  වුණත් මේ පවුල යුද්ධය අස්සෙ ජීවිතය ගැටගහගෙන හිටියා.

සම වයසෙ යහළුවන් එක්ක අනුරාධා පාසැල් යන්නෙ එන්නෙ පයින්මයි...ජීවිතය කණපිට පෙරලූ ඇයගෙ පුංචි ලෝකය උඩු යටිකුරු කළ ඒ අවාසනාවන්ත දවසෙත් ඇය සුපුරුදු පරිදි යහළුවන් එක්ක පාසැල් ගියා...පාසැල ඇරිල ඇය ආපහු ආවෙ දෙමාපිය උණුසුම සොයාගෙන ගෙදරට ගොඩවෙන්නයි.

ඒත් ඇයගෙ ගේ තිබුණු තැන තිබුණෙ අලු ගොඩක් විතරයි...

ගුවන් ප්‍රහාරයකින් අනුරාධාලගෙ ගේ විනාශ වෙලා තියෙන්නෙ ගෙදර හිටපු තුන්දෙනාම අලු දූවිලි බවට පත්කරමින්...
ටික කාලයක් නෑදෑ ගෙවල්වල ලැගුම්ගත්තු අනුරාධා බෝට්ටුවකින් ලංකාව හැරදා යන කණ්ඩායමකට එකතුවෙලා දකුණු ඉන්දියාවට ඇවිත් අනාථ කඳවුරක ලැගුම් ගත්තා...

සිහින් ස්වරයෙන් ඇය කියපු කතාවට වචනයකින්වත් බාධා නොකර අවසාන වෙනතුරුම අහගෙන හිටපු මට පපුව ඇතුලෙ විශාල ගලක් හිරවුණා වගේ හැඟීමක් ඇතිවුණා...

මම ඔබ නම් එදා කෙළින්ම ගිහින් නතරවෙන්නෙ එල් ටී ටී ඊ කඳවුරක...

මගේ හිතේ ඇතිවුණු අවංක හැඟීම මම ඇයට කිව්වා...

ඇය හිනාවුණා විතරයි...වචනයක්වත් කතාකලේ නෑ...

ඉන්පසුව මා කිසිම දවසක ඇය දුටුවේ නෑ...සමහරවිට ඇය දකුණු ඉන්දියාවේ අනාථ කඳවුරුවලින් යුරෝපයට සංක්‍රමණය වුණු තරුණයෙකුගේ බිරිඳක වී දැන් යුරෝපයේ ජීවත්වෙනවා වෙන්නට ඇති.

අනාථ කඳවුරුවල ඉඳල යුරෝපෙට යන අයත් ආපහු ඉන්දියාවට ඇවිත් ජයට මඟුල් කනවා...

ජයට මඟුල් කනව කියපුවාම මට මතක් වුණේ අපේ රටේ ජයටම කාපු මඟුලක්...කොටින්ම කිව්වොත් 1986 වර්ෂයේ මඟුල...කාගෙවත් නෙවෙයි අපේ රටේ මහා නිළියගෙ,මනමාලයත් නලුවෙක්මයි...මඟුල ගත්තෙ සම්මන්ත්‍රණ ශාලාවෙ...හක් පිඹල බෙර ගහල නටල කොච්චර උජාරුවට කාපු මඟුලක්ද කිව්වොත් සාක්කියට අස්සන් කළේ එවකට හිටපු ජනාධිපති තුමයි අගමැති තුමයි.

මඟුල් දවසෙ කොළඹ කැම්පස් එක හරියෙ පාර අයිනෙ ගහල තිබුනලු ඉන්දියන් තීන්තෙන් ලියපු පොඩි පෝස්ටරයක්,මෙහෙමයි...

හරකෙක් ගොනෙක් බඳී...බූරුවෝ දෙන්නෙක් අස්සන් කරති.

ඔය මඟුල ගැන තිබුණු යාන්ස් නං කෙළවරක් නෑ...එකක් විතරක් කියන්නංකො

මංගල රාත්‍රියෙන් පහුවදා බලපුවාම මහා නිළිය කන්නෑවියක්ලු...නලුවා මේක උදේම දැකල...නිළිය තාම නිදිලු.

දැන් නලුවට තංතෝසෙ ඉවසගන්න බැරිලු...එවෙලෙ ඉඳන්ම එක එක කට කැඩිච්චි කතා කියපු උංට බලු බැණුම් බනිනවලු...

මුංගෙ කටවල්වලට හෙණගහන්න ඕනැ නේද මේ අහිංසක ගෑණිට හදන පදවලට ඈ...

මුං කිව්වෙ හැම එකා එක්කම දහදුරාවෙ ගිය එකියක් කියලනෙ...

නළුවගෙ ගෝරණාඩුවට ඔන්න මහා නිළියටත් ඇහැරිලා...

මොකද අනේ කෑ ගහන්නෙ...මේ උදේ පාන්දර...

නෑ මං අහන්නෙ මුන්ට වටිනවද ඔය වගේ කතා කියන්න ඈ...මේ බලන්න මේ බලන්න මේ බෙඩ් ෂීට් එක ...

කේන්ති ගන්න එපා අනේ...ඔය කරගැටයක් කැඩිලද කොහෙද...

මහා නිළිය අනිත් පැත්තට හැරිල ආයෙමත් නිදාගත්තලු.

ආයෙම ඔන්න මදුසමය ගතකරන යුවලක්...ප්‍රේමෙන් වෙලිල පෙම්බස් දොඩමින් පෙම් සයුරේ කිමිදෙනවලු...කිමිදෙන ගමන් මනමාලය මනමාලිගෙ කණට කොඳුරනවලු...
 



මීට පස්සෙ ඉතිං අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල හිතාගන්ට...
 
මනමාලි තිගැස්සුණා...
 
එහෙම හිතාගත්තට නං කමක් නෑ...ඒ වුණාට දෙන්නෙකුට ඩිනර් එක ඕඩර් කරන්ට. 

ඔයවගේ යුවලක් මදුසමය ගතකරන කාමරේට නැතිවෙච්චි කුඩේ හොයන්න යන්න හදපු මුදලාලි කෙනෙකුගෙ කතාවක් රවි ලියල තිබ්බනෙ...මටත් ඒ වගෙ කතාවක් කොහෙදිහරි අහල තිබිල මතක්වුණා...කලින් අහල තියෙන අය බනින්න එපා.
 
පෙමානිස් උපාසකරාළ ගමේ හිටපු සර්දාවන්තම උපාසකයෙක්, පංසලේ දායක සබාවෙ සබාපති... කොහෙ ගියත් යන්නෙ අර මිට නැමිච්චි දිග කුඩෙත් අතේ තියාගෙනමයි...කුඩෙයි උපාසක රාලයි කොච්චර සමීපද කිව්වොත් කුඩේ නැතුවහම මිනිස්සු අහනව කෝ කුඩේ කියල...එච්චරට උපාසක රාළට කුඩේ අනන්‍යයි.
 

පහුගිය දවස් කීපය පුරාම උපාසක රාළ ගමන් බිමන් ගියෙ කුඩේ නැතිව...කවුරුහරි ඇහුවත්...
 

අනේ බලන්නකො...කුඩේ කොහෙ හරි අමතක වෙලානෙ...මට හිතාගන්න බෑ කොහෙදි නැතිවුණාද කියල...
 

බොහොම දුකෙන් කියන්නෙ...
 

පාළොස්වක පෝය දවසත් ආවා...උපාසකරාළ හවස් අතේ පන්සලට ගියෙ බොහොම දක්ෂ විචිත්‍ර ධර්ම කථික මහතෙරනමක් එදා බණට වඩින නිසා...ගිහිං බණ මඩුවෙ ධර්මාසනය ළඟින්ම වාඩිවුණා...

ඔන්න හාමුදුරුවො බණ පටන්ගන්න කලින් පන්සිල් දෙන්න ගත්තා...
 

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමී
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමී
කාමේසුමිච්චාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමී
 

සාදු...සාදු...සා..................දු
 

පන්සිල් අහවර වෙන්න කලින් සාදු කියන්නෙ කවුද කියල බණමඩුවෙ හිටපු ඔක්කොමලා බලන්න ගත්තා...
 

බලපුවාම පෙමානිස් උපාසකරාළ හාමුදුරුවො ඉදිරිපිට දෝත් මුදුන් දීගෙන බිම වැතිරිලා...
 

ඔබ වහන්සේට බුදුබව අත්වෙන්න මගෙ කුඩේ අමතකවෙලා ආපු තැන මට දැන් මතක්වුණා...
 

සරමත් පැත්තකින් උස්සාගත්ත පෙමානිස් උපාසකරාළ පාරට බැහැල ඉක්මන් ගමනින් ගියේ අමතක වෙච්චි තැනින් කුඩේ හොයාගෙන එන්න වෙන්න ඇති.
 

Friday, August 9, 2013

79. ජිනාගෙ බාබර් සාප්පුව සහ තවත් කතා



  අද ඊඩ්...අපට නිවාඩු මේ රටේ ඊඩ්වලට සතියක් නිවාඩු...නිවාඩු දවසෙ මම හිතාන හිටියෙ කොණ්ඩෙ කපාගන්න,උදේ දහයට විතර එළියට බැහැල බලපුවාම බාබර් සාප්පු තියා ටොපියක් ගන්න කඩයක් නෑ ඔක්කොම වහල...මම එහෙම්මම ආපහු ආවා.

බාබර් සාප්පු කිව්වම මට පරණ කතාවක් මතක් වුණා...අපි පොඩිකාලෙ කොණ්ඩෙ කැපුවෙ ටවුමෙ නිව් සිටි සැලුන් එකෙන්...මම විතරක් නෙවෙයි අපේ සීයා,තාත්තා ආදී පරම්පරාවම කොණ්ඩෙ කපාගත්තෙ ඔතනින්...දැනට ටවුමෙ තියෙන පරණම සැලුන් එක...මමත් පොඩිකාලෙ අර උස පුටුවෙ ඉන්දවල කොණ්ඩෙ කපපු දවස්වල ඉඳල තව අද වෙනතුරුත් කොණ්ඩෙ කපන්නෙ එතනින්ම තමයි.

හැබැයි ඉස්සර වගේ සමෘද්ධියක් දැන් නෑ අයසට ගිහිං...සැලුන් එකේ ඉස්සරහ කෑල්ල පාරට කැඩිල,කොටසක් බේකරි නිෂ්පාදන කඩේකට ගිහින්...ඉස්සර පුටු හතර පහක් තියාගෙන කැපුව සැලුන් එකේ අද පුටු දෙකයි ඒවත් ඒ කාලෙ ඉඳලම තියෙන පුටු...දැන් බලන්න දුක්ඛදායක තත්වයක තියෙන්නෙ.

ඒ කාලෙ එහෙමද බොහොම ලස්සනට පිළිවෙලට තියාගෙන හිටියෙ පින්තූර එහෙම ගහල...මට හොඳට මතකයි ඇඩම් සහ ඊව් තහනම් ගහේ ගෙඩිකන දර්ශනය බිත්තියෙ එල්ලල තිබුණා.
මට මතක කාලෙ ඉඳල අද වෙනකල්ම ඔය සැලුන් එකේ නොකඩවා කොණ්ඩෙ කපන්නෙ ජිනදාස බාසුන්නැහැ...වයසක මනුස්සයට නිකම්ම නම කියන්න බැරි නිසා බාසුන්නැහැ කියනව...අපි ආදරේට කියන නම ජිනා,අද ඔය ටවුමෙ ජීවත්වෙලා ඉන්න අයගෙන් අපේ සීයව දන්න එකම එක්කෙනා ජිනා තමයි මම හිතන්නෙ.

ඒ කාලෙ ජිනාගෙ සහායකය හැටියට හිටියෙ අගෝරිස්...මම කොණ්ඩෙ කපන්න ඉඳගත්තම ඔය පරණ කතා ඔක්කොම ජිනාගෙන් අහනව...

ඇත්තටම  මහත්තයො රාළහාමිට හිටපු මීහරක් කන්දරාව...හැබෑටම උං ටික කෝ දැන්...
 

අනේ මන්දන්නෑ බාසුන්නැහැ කවුරු කවුරු හරි ගෙනියන්න නැතෑ...මම විතරයි ඉතුරුවුණේ...
 

ආ ඒකත් එහෙමද...

බාසුන්නැහැට මතකද මෙතන ගහල තිබුණ පින්තූරෙ...අර සර්පයෙක් ඇපල් ගෙඩියක් කටින් අරගෙන ගහක එතිල ඉන්නකොට හෙලුබැල්ලෙන් ඉන්න ගෑණියක් ඒ ඇපල් ගෙඩිය ගන්න හදන්නෙ, කෝ ඒ පින්තූරෙ...(ඇඩම් ඇන්ඩ් ඊව් කිව්වට ජිනා දන්න එකක්යැ )

අපොයි මොකද මතක නැත්තෙ...ඔය පින්තූරෙ ඒ දවස්වල ඉඳන් කීදෙනෙක් නං ඉල්ලුවද...පස්සෙ මහත්තයල ගලවගෙන ගියා...

බාසුන්නැහැගෙ ඉස්සර හිටපු ගෝලය කෝ දැන්...කවුද මට නම මතක නෑ...

කවුද අගෝරිස්ද...අපොයි මිනිහ මළානෙ...දැන් අවුරුදු විස්සකටත් වැඩි ඇති...

පහුගිය සැරේ ලංකාවට යනකොට ජිනාගෙන් පරණ කතා අහගන්න ඕනැ නිසා මම කොණ්ඩෙත් හොඳටම වවාගෙන ගියෙ...

අපිව පොඩිකාලෙ උස්සල තියල කොණ්ඩෙ කපපු පුටුව තාම තියෙනව...

ඒ දවස්වල රාළහාමිත් එක්ක කොණ්ඩෙ කපන්න ආපුවාම කෑගහන කෑගැහිල්ල...

හැබෑටම වේදනාව දැනෙන මනුස්සයෙක් කෑ නොගහ ඉඳීද...ඒ දවස්වල කොණ්ඩෙ කැපුවෙ අර කට කට ගාල අතින් වැඩකරවන මැෂින්වලින්නෙ...ඔලුව පිටිපස්සෙ කොණ්ඩෙ කපාගෙන ගිහිල්ල උඩට එනකොට ගස්සල අහකට ගන්නව...මැසිමට අහුවෙල තියෙන කොණ්ඩගස් ඔක්කොම ගැලවෙනකොට හුජ්ජ යන තරමට වේදනාව...අඬල නිකං හිටිය ඇති...ජිනා ඕව දන්නවයැ.

ඔලුව වටේ දැළි පිහියෙන් ගානවා...පැත්තක එල්ලල තියෙන හම් පටියෙ අතුල්ලල අතුල්ලල දැළිපිහිය ළෙව්ව වගේ මුවාත තියාගෙන එනකොට ඊට වැඩියෙ බයයි...ඔලුව උඩහරිය ඉතුරුවෙන්න වටේම කොණ්ඩෙ ගාපුහාම හරියට නෑඹිලියක් ඔලුවෙ නැමුව වගේමයි...ඔය නෑඹිළි කට් එක කපාගෙන අපිත් ගෙදර එනව.

දන්න කාලෙක ඉඳලම සැලුන් එකට ගන්නෙ දිනමිණ පත්තරේ...අදත් එහෙමයි...

දවසක්දා මම කොණ්ඩෙ කපන්න යනකොට ජිනා හිටියෙ නෑ...ගෝලය විජේ විතරයි එදා වැඩ...

අද කෝ ජිනදාස බාසුන්නැහැ...

මිනිහ කතරගම වන්දනාවෙ ගිහිල්ලනෙ...අනේ අම්මප එක්ක ගිය මිනිහට නං නිවන් දකින්න ඔය පිනම ඇති...

මොකද විජේ එහෙම කියන්නෙ...

ඇයි සර් ඔය මිනිහ  කවදාවත් සතපහක් වියදම් කරන එකක්යැ ඔහොම ගමනක් යන්න...ඔය කතරගම ගියාම වෙන්න ඇති මයෙ හිතේ...

අපි විතරක් නෙවෙයි ඒ දවස්වල නාවික හමුදාපති වෙලා හිටපු සඳගිරි මහත්තයත් කොණ්ඩෙ කපල තියෙන්නෙ ජිනාගෙන්,ඒ මහත්තයගෙ ගෙවල් කුඹල් ඔලුවෙ නෙවැ...

මහත්තය හමුදාපති වෙන්න ගොඩක් කලින් ඉඳල කොණ්ඩෙ කපන්නෙ මෙහෙන්...ඇවිදින් වාඩිවෙලා පත්තරේ බල බල ඉන්නව පුටුවක් හිස් වෙනකං...

හමුදාපති වුණාට පස්සෙත් දවසක්ද දෙකක්ද කොණ්ඩෙ කපාගන්න ආවා මයෙ හිතේ...හප්පා...එතකොටනෙ වැඩේ නේවි එකෙන් ඇවිත් මේක ඇතුළෙ පිරෙනව...මනුස්සයෙකුට ඇතුළට එන්න දෙන්නෙ නෑ...

අන්තිමේ මහත්තයටම තේරුණා මේකෙ තියෙන කරදරේ...ඊට පස්සෙ ආවෙ නෑ කොළඹින් කප්පවගන්න ඇති.

ඒ විතරක්ද ...අපේ බාප්පත් කොණ්ඩෙ කැපුවෙ ඔතනින්නෙ...

බාප්ප රට ඉන්නකොට එහෙම මම කොණ්ඩෙ කපන්න ගියොත් ජිනා මගෙන් බාප්ප ගැන නොවැරදීම අහනව...

කැප්ටන් මහත්තය එහෙම හම්බවුණේ නැද්ද මහත්තයො...

බාප්පා ස්වේච්ඡා හමුදාවෙ කැප්ටන්...අපේ ඉස්කෝලෙ විනය භාර ආචාර්යවරයා...

මගෙ කරුමෙට මාත් ඒ කාලෙම තමයි සෙන්ට්‍රල් එකට තේරුණේ...

කොල්ලො ටික මොනවහරි ආනාදි වැඩක් කරල අහුවුණාම මාත් කොණක ඉන්නවනං බඩුම තමයි...අනික් උන්ට වේවැල් පාරවල් දෙකනං මට හතරයි...අපිත් ඉතිං ඉස්කෝලෙ ඉන්නකල් කලේම පජාත වැඩනෙ...බුදු සන්තෝ බාප්පගෙන් ගුටි කාපු තරමක්...ඒ තමයි ඥාතියා වෙච්චි එකේ විපාක.

 බාප්පා පැන්ෂන් ගිහින් ටික කාලෙකින්ම පවුලෙ කට්ටිය ඇමෙරිකාවට සංක්‍රමණය වුණත් බාප්පා පදිංචියට ගියෙ නෑ ගිහිල්ල එන්න ගියා මිසක...පස්සෙ කාලෙක බාප්පට ග්‍රීන් කාඩ් හම්බවුණාම අවුරුද්දකට සැරයක් ගිහින් සතියක් හමාරක් ඉඳල ආපහු එනවා ග්‍රීන් කාඩ් කැන්සල් වෙන නිසා...

ඔය අපේ රටේ තදයොත් අවුරුද්දකට සැරයක් ගිහිල්ල පාස්පෝට් එකේ සීල් එක වද්දගෙන එන්නෙ...කොච්චර තදයෙක් වුණත් ඒ රටේ නීතිය ඊට ඉහළින් තියෙනවනෙ...තදයත් එකයි පාරෙ ඉන්න හිඟන්නත් එකයි.

අධිරාජ්‍යවාදියො කිව්වත් ලෝක පොලිස්කාරයා කිව්වත් ඒ රටේ තියෙන සමානාත්මතාවත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත්  ඇස් දෙකෙන් දැකපු මම ඒ ආශ්වාදය ඉහළින්ම විඳල තියෙනවා.

බාප්පා ගමේ ප්‍රභූවරයෙක් වගේ ම පිළිගත් චරිතයක්...සෑහෙන සිවිල් බලයක් ඇතුව ගමේ ජීවත්වුණු කෙනෙක්...එයා ඇමෙරිකාවෙ පදිංචි වුණානම් එහෙට තවත් එක මනුස්සයෙක් විතරයි.

ඔන්න ඔය හේතුව නිසා බාප්පා ඇමෙරිකාවට වඩා ලංකාවට ඇලුම් කලා.

බාප්පගෙ දුව පදිංචි වෙලා හිටියෙ කැලිපෝනියාවෙ ලැන්කැස්ටර්වල...ලොස් ඇන්ජලීස්වල ඉඳල කිලෝමීටර් සීයකට වඩා දුරයි...සමහර නිවාඩු දවස්වලට අපි කෝච්චියෙ ලැන්කැස්ටර් යනව...අපි හිටපු කාලෙත් බාප්පා ඇවිත් ගිහිල්ල තිබුණත් මට එහෙදි බාප්පව මුණගැහුනෙ නෑ...
අවසාන වතාවට බාප්පා ඇමෙරිකාවට ගිය වෙලේ දරුණු හෘදයාබාධයක් හැදිල ඉස්පිරිතාලෙට ගෙනිහින් සනීපවෙලා ආවෙ ඩොලර් ලක්ෂ ගාණක් වටින බැටරියකුත් පපුවෙ හයිකරගෙන...ඊට පස්සෙනං බාප්පට ගුවනින් යන එක වෛද්‍යවරු තහනම් කළා...

මේ අවුරුද්දෙ මුල හරියෙ බප්පා මියගියා...කොච්චර පහසුකම් තිබුණත් බාප්පා ජීවිතයේ අවසාන කාලය ගතකලේ එපමණ සතුටකින් නොවෙයි...රටින් පිට හිටපු එකම තමයි ඒකට ප්‍රධාන හේතුව.

මෙදා සැරේ කොණ්ඩෙ කපන්න ගියාමත් ජිනා බාප්පව මතක් කලා...

ඔය රටවල්වල කොණ්ඩෙ කපන්න කීයක් විතර යනවද මහත්තයො...
 

මම පිටරටක ඉඳල ඇවිත් කොණ්ඩෙ කපාගන්න ගියාම ජිනා අහනව...
 

ඒක ඉතිං රටේ හැටියටනෙ බාස් උන්නැහැ...සමහර රටවල්වල රුපියල් දෙදාහකට කිට්ටුවෙන්න ගන්නව...සමහර රටවල හය හත්සීයක් ගන්නව...
 

අප්පා...එහෙනං අපි කපන ගාන කොච්චර ලාබද...නේද ඕයි...
 

ජිනා විජේගෙන් අහනවා...

මම කොණ්ඩෙ කපන්න වාඩිවුනු වෙලාවෙ ඉඳන් ජිනා මගෙ කොණ්ඩෙට කරන අපහාස නිමක් නෑ...ඔන්න කතුරෙන් ටිකක් කපාගෙන යනවා...

කෝ...කපන්න කොණ්ඩයක් තියෙනවයැ තට්ටෙනෙ...

ඔහොම තමයි දැන් ඉතිං වයසයිනෙ...
 
හැබෑටම බාසුන්නැහැ කොණ්ඩෙට ඉස්සෙල්ල රැවුල පැහෙන්නෙ මොකද...රැවුල කොණ්ඩෙට වඩා අවුරුදු විස්සක් විතර බාලයිනෙ...
 
ආ...ඒ හැම තිස්සෙම කපන හින්දනෙ...
 
ඔන්න ඔය විදියට අපහාස විඳගෙන වුණත් තාමත් ලංකාවෙ ඉන්නවනම් මම කොණ්ඩෙ කපන්න යන්නෙ ජිනා ලඟටමයි...
 
මෙදා සැරේ ලංකාවට ගිය වෙලාවෙ මම දෙසැරයක් කොණ්ඩෙ කපන්න ජිනා ළඟට ගියා...පළවෙනි සැරේ මට ජිනාගෙ පින්තූර ගන්න කැමරාව ගෙනියන්න අමතක වුණා...දෙවෙනි දවසෙ කැමරාවත් අරගෙන පුතත් එක්ක ගිහිල්ල පුතාට කියල පින්තූර ටික ගත්තා...
 
කොච්චර වුණත් අවුරුදු පණහකටත් වැඩි කාලයක් දස දහස් ගාණකගෙ කොණ්ඩ රැවුල් කපපු ජිනා මට නම් යුගයක් නියෝජනය කරපු චරිතයක්.

පහුගිය සතියකටත් වඩා කාලයක් බ්ලොග් ලෝකය පුරාම දෝංකාර දුන්නෙ රතුපස්වල සිදුවීමයි.ඒ ගැන බොහෝ සටහන්ද ලියවුණා...මට තිබූ පිළිකුල හා දරුණු කළකිරීම නිසාම මා වචනයක්වත් ඒ ගැන ලිව්වෙ නෑ.
 

අනික් අතට මම ලියන දේ ඒ දවස්වල පළකලා නම් එයත් කාලයට නොගැලපෙන දෙයක් වෙන නිසා මා නිහඬවම හිටියා.
 

පහුගිය දවස් කීපය පුරාම මා ටෙස්ට් වරම් ලැබීම කතා මාලාවේ තවත් කොටසක් ලියා අවසන් කළත් පළකරන්නට තිබුණු අද දවසේ වෙනත් කතාවක් ලියන්නට හිතුනු නිසා හදිසියෙන් මේ කතාව ලියා පළකලා.

බොහෝ අය මගේ නිහඬබව ගැන විමසූ නිසා මා මේ කෙටි සටහන ලිව්වෙ.ඒ සියළු දෙනාටම ස්තූතියි.