Sunday, October 31, 2021

ත්‍රිකෝණය 6 (අවසන් කොටස)

 



ත්‍රිකෝණය 5

අඩවන් වූ කවුළුවෙන් ගලා ආ සඳරැස් තීරුවක් කාමරයට වැටී ඇත.  අඩ නින්දේ සිටි රංජිත් ඇඳෙන් බැස වෙලාව බැලුවේය.

"දොළහත් වෙලා " රංජිත් තමාටම කියා ගනිමින් වතුර වීදුරුවක් වත්කරගෙන බොන්නට විය.  අගෝස්තු මාසයේ දවාලට ඇති දාහය දරාගන්නට නොහැකි තරමය.  නිදාගන්නට ඇඳට ගියද සියොළඟින් ගලන දහඩිය නිසා බොහෝ වෙලාවක් යනතුරු නින්ද නොඑයි.  ගිය සතියේ දවසක සවස රංජිත්ගේ කාමරයට ආවේ ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාය.  ඔහු ආවේ වැදගත් කතාවකට බව රංජිත් එක්වරම තේරුම් ගත්තේය.

"රංජිත් මහත්තය වැඩක්ද?"

"නෑ මම මේ පරණ පත්තරයක් බල බලා හිටියෙ.  මහත්තය වාඩිවෙන්න."

පසෙක තිබූ පුටුව ඇදගත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා එහි වාඩි ගෙන කතා කරන්නට විය.

"දැන් මහත්තය අපේ කටයුත්තත් ළඟ ලඟම එනවනෙ."

රංජිත් නිහඬවම අසා සිටී.

"ඉතිං මම කල්පනා කළේ දැන් මහත්තයට ගෙවල් ළඟ පාතකට මාරුවක් ගත්තොත් නරකද කියල.  බැඳල දෙන්න එකතැන් උනාට පස්සෙ ආයෙම මේ කැලේට එන එකේ තේරුමක් නෑනෙ.  මහත්තයගෙ දුෂ්කර සේවා කාලෙත් දැන් ඉවර වෙලානෙ.  හෙට අනිද්දම ලියුමක් ලියාගෙන අධ්‍යාපන කාර්යාලෙට යන්න.  මම නිර්දේශ කරන්නම්.  අධ්‍යාපන කාර්යාලෙ ඒ ඕ මහත්තය මම දන්න කෙනෙක්.  උන්නැහැ මහත්තයට උදව් කරයි."

මාරුවක් ලබාගැනීම නරකම නැතැයි රංජිත් සිතුවේය.  ඒත් අවුරුදු කීපයක් සිටි තැන එක්වරම දමා යන්නට හිත හදාගන්නේ කෙසේද?  ඔහු ආසාවෙන් කළ ගොවිකම, කුඹුරු, හේන.  ඒ ඔක්කොටොමත් වඩා බිසෝ?

"මහත්තය මොනවද කල්පනා කරන්නෙ?" 

ජයතිස්ස මහත්තයගේ හඬින් රංජිත්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි.

"තමන් කාලයක් ආදරෙන් හිටපු ඉඩකඩම් දාල යන්න හිත හදාගන්න එක අමාරු තමයි.  ඒත් අපි කවුරුවත් හැමදාම මේ තැන්වල ඉන්න ඇවිල්ල නෑනෙ.  මහත්තය හිත හදාගෙන ගමට යන්න.  මට නම් ඉතිං ආයෙ වෙන තැනකට යන්න කාලයක් ඉතුරු වෙලා නැහැ.  ඔන්න ඔය ඉතුරු අවුරුදු කීපෙත් මෙහෙටම වෙලා ඉඳල විශ්‍රාම අරගෙනම ගමට යනවා.  මහත්තයල ජීවිතේ පටන් ගත්ත විතරයි.  හිත හදාගෙන ගිහිං අලුත් ජීවිතයක් පටන් ගන්න."

"නෑ ඉතිං, මට ඔය මාරු වැඩවල පළපුරුද්දකුත් නැහැනෙ.  නැතුව ගමට යන්න තියෙන අකමැත්තකට නෙවෙයි."

"අමුතු පළපුරුද්දක් ඕනෑ නෑ මහත්තය.  මම කියනවට අධ්‍යාපන කාර්යාලෙට යන්නකො.  ඉතුරු හරිය මම බලාගන්නම්."

ජයතිස්ස මහත්තයාගේ බලකිරීම නිසාම රංජිත් ඊට පසු දිනෙක නිවාඩු දමා අධ්‍යාපන කාර්යාලයට ගොස් පරිපාලන නිලධාරියා මාර්ගයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මුණ ගැසුනේය.  ඔහු කියා සිටියේ හදිසියේම රංජිත්ට මාරුවීමක් ලබා දෙන්නට නොහැකි වන්නේ ඔහු වෙනුවට පාසැලට අනුප්‍රාප්තිකයෙකු ලබාදීමට හැකියාවක් නොමැති නිසා බවය.  ඒත් ඊළඟ අවුරුද්දේ මුල භාගයේ පැමිණීමට නියමිත නව ගුරු පත්වීම් වලින් කෙනෙක් රංජිත් වෙනුවට එවිය හැකි බව ඔහු කියා සිටියේය.  ඒ ක්‍රියාමාර්ගය හොඳටම සෑහෙන බැවින් රංජිත් ආපසු ආවේ ගිය ගමන සපල වීමේ සතුටිනි.

එදින සවස ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ ගෙදරදී රංජිත් ඇතුළු දිලිනිගේ පවුලේ සැවොම ඒ ගැන කතා කළේ සතුටිනි.  වඩාත්ම සතුටට පත්ව සිටියේ දිලිනිය.  නව ජීවිතයකට ඇතුල් වන්නට නියමිත ඇය සිය අනාගතය මෙනෙහි කළේ  බිය මුසු සතුටකිනි.  තම ජීවිතයේ ඉදිරියට යන්නට අතුරා ඇති මාවත කුමන අයුරක එකක් වේවිදැයි ඇය සිතුවාය.

රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ නිවසේ සිට කල් වේලා නොගෙන කාමරයට ආවේය.  ඔහු සිටියේ දෙගිඩියාවකය.  සිය ජීවිතයේ තවත් එක් කඩඉමක් නොබෝ දිනෙකින් එළඹෙයි.  තමන් ගත් තීරණය බිසෝ කෙසේ පිළිගනීද?  ඇයගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?  රංජිත් කාමරයට ආවේ සිතුවිලි දාමයක සිත පටලවාගෙනය.

 

ඊයේ සවස බිසෝත් එක්ක ඇතිවුණු කතාබහ රංජිත්ට සිහිවිය.  බිසෝ කෑමත් රැගෙන කාමරයට ආවේ හතර වටින් අඳුර ගලා එද්දීය.  රංජිත් සුපුරුදු ලෙස ඇයව යහනට ගෙන ගියද බිසෝගේ ප්‍රතිචාරය ඇල්මැරුණු එකක් විය.  ඇය රංජිත්ගේ අකීකරු දෑත පසෙකට කළේ සිනාවෙමිනි.

"ඇයි මේ?"

රංජිත්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට ඇය රංජිත්ගේ මුවට සිය ඇඟිල්ල තබා කියා සිටියේ නිහඬ වන ලෙසය.

"හැමදාම මහත්තය කතා කරනවා මම අහගෙන ඉන්නවා.  අද මම කතා කරන්නම් මහත්තය අහගෙන ඉන්න."

බිසෝ කීවාය.  බිසෝගේ ගතින් හමන තුරුණු සුවඳ රංජිත් මන්මත් කරවයි.  ඔහු බිසෝව ලඟට ඇද ගත්තේය.

"ඔය ඉතිං, කියන දේ තේරෙන්නෙ නෑනෙ.  ඔහොම ඉන්න."

බිසෝ ඇඳෙන් නැගිට අසල තිබූ පුටුවේ වාඩිවූවාය.  රංජිත් නිසලව බලාසිටියේ බිසෝ කරන්නට යන දේ ඔහුට නොතේරුණු හෙයිනි.

"දැන් ඉතිං මහත්තය අලුත් ජීවිතයක් පටන් ගන්න ලඟයිනෙ.  අපි සෑහෙන දවසක් කිට්ටු වෙලා හිටියට මහත්තයට මගෙ ළඟ හැමදාම ඉන්නත් බෑ මටත් එහෙම බෑ, කොහොමත් දවසක අපට වෙන් වෙන්නම වෙනවා.  මට මහත්තයව දාල යන්න ලෝබ හිතුනට කරන්න දේකුත් නෑ.  පහුගිය කාලෙම මම හිතුවෙ ඔය ගැනමයි.  කොහොම හරි පහුගිය මාසෙ මට අර අසනීපෙ හැදුනෙ නෑ.  මට එහෙම වෙන්නෙත් නෑ වෙනදට.  ඉතිං මම කල්පනා කළා දරුවෙක් වත්ද කියල.  කෝකටත් කියලා මම විල්සන් එක්ක රණ්ඩු කළා මට හැමදාම මෙහෙම ඉන්න බෑ දරුවෙක් ඕනැය කියල.  විල්සන් එච්චර ගනන් ගන්නෙ නැතුව උඹට දරුවො ලැබෙන්නෙ නැත්නං මම මොනව කරන්නද කියල ඇහුවා.

රංජිත් නිහඬව අසා සිටී.  

"ඒ ගමන මම කිව්ව නෑ නෑ කියල හිටියට හරියන්නෙ නෑ මොනව හරි යමක් කරල බලමු එහෙමවත් හරියයිද කිව්වම විල්සන් කැමති උනා.  ඒ ගමන මම විල්සන් එක්ක බටුකොළයායෙ නුගේ දේවාලෙට ගිහිං පාන් පත්තු කරල බාර උනා.  විල්සන්ල ඔය දෙවාලේ හාස්කම් හරියට විස්වාස කරනවනෙ.  ඉතිං දැන් මට බයක් නෑ.  විල්සන් අවිස්වාස කරන්නෙත් නෑ මට මහත්තයගෙන් දරුවෙකුත් ඉන්නවා.  ඒක මට හැමදාම මහත්තය මගෙ ළඟ ඉන්නව වගේ.  මම දරුවත් හදාගෙන මෙහෙ මගෙ ජීවිතේ ගෙවන්නම්.  මහත්තය ගමට ගිහිං අලුත් ජීවිතේ හොඳින් ගතකරන්න.  කොහොමත් අපි ඉතිං මේ කැලෑ ගම්වල හැදිල ජීවත්වෙලා මෙහෙ කැලෑගම්වලම මැරෙන්න නියම වෙච්ච අයනෙ.  මහත්තයල දැන උගත් රට රාජ්ජවල ගියපු අය.  අපි දෙගොල්ල කොහොමත් පෑහෙන්නෙ නෑ.  මට මහත්තය ගැන කිසිම තරහවක් නෑ, ආදරයක් මිසක.  කොහොමත් ආදරේ කරපු කෙනෙකුට වයිර කරන්න මට බෑ.  මහත්තය හිත හදාගෙන ගමේ යන්න.  ජීවිතේ ආයෙ දවසක වැරදිලා හරි මේ පැත්තෙ එවුනොත් අපිවත් බලන්න එන්න.

බිසෝ බරව ගිය කටහඬකින් කීවාය.  

"මම දැනගෙන හිටියෙ නැතුවට බිසෝ හරි හරි දේවල් කරල තියෙනවනෙ පහුගිය දවස්වල."

"ඔව් ඉතිං ගෑණු අපටත් අර ඉව කියල දෙයක් තියෙනවනෙ, නැතුව අපි මහලොකු උගත් අය නෙවෙයිනෙ.  ඉතිං ඒ ඉව හරි වෙලාවට පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ, ඉතිං මම යන්නං මහත්තය, අපි ආයෙම මුණ ගැහෙයිද දන්නෙ නෑ.  ඒ කෝක උනත් මෙහෙම ගෑනියක් මහත්තයට කවද හරි ආදරෙන් හිටිය කියල මතක තියාගත්තොත් මට ඒ ඇති."

බිසෝ අඩ අඳුරේ නිසොල්මනේම පිටත්ව ගියාය .  කල්පනාවෙන් බරවූ රංජිත් නිහඬවම බලා සිටියේය.


෴ සමාප්තයි ෴


පසු සටහන.

කතාව ලියන්නට ආරම්භ කරද්දී මා බලාපොරොත්තු වුණේ කොටසකින් හෝ දෙකකින් කතාව නිම කරන්නට වුවත් නොසිතු ලෙස කොටස් හයක් දක්වා කතාව දිගුවිය.  මෙය මා අත්දුටු සිදුවීමක් පරිකල්පනය ඔස්සේ විකාශනය කර ලියන ලද්දකි.  රංජිත්ගේත් දිළිනිගේත් විවාහයෙන් පසු සිදුවූ සිදුවීම් සමුදාය වඩාත් විචිත්‍රවත් බව මට සිතේ.  කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත.  රංජිත්ද දිලිනිද දෙතැනක හෝ අදටත් මේ රටේ ජීවත්වෙති.  බිසෝගේ පසුකාලීන ජීවිතය පිළිබඳව දැනගන්නට නැතත් ඇයද සිය දරුවා සමග කොහේ හෝ ජීවත්වනු ඇත.  ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මෙලොව හැර ගියේ දැනට දසකයකට පමණ පෙරය.  මමද කුලියාපිටියේ පැවති ඒ අවමගුලට සහභාගී වුණෙමි.  ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඊටද පෙර සිය දිවි ගමන නිමාකළේය.  සියල්ලන්ටම පසු රංජිත්ගේ මව දිවියෙන් සමුගත්තාය.  අනුර මහත්තයා දැන් ලංකාවට පැමිණ සුපුරුදු ලෙස දිවි ගෙවයි.

බ්ලොග්කරණයේ දීර්ඝ විරාමයකට පසු නැවතත් ලිවීමට මට කතා කරමින් බල කළේ තට්ටයගෙ කොලම ලියන අපේ සහෘදයාය.  ඔහුට මගෙ ස්තුතිය පිරිනමමි.  එමෙන්ම 2015 වර්ෂයේ ආරම්භ වූ මේ කතාව වසර හයක් තිස්සේ ඉවසීමෙන් කියැවූ මගේ බ්ලොග් පාඨකයන්ටද ලොකු ස්තුතියක් කිරීමටද මෙය අවස්ථාව කරගනිමි. 

Monday, October 11, 2021

ත්‍රිකෝණය 5

 


ත්‍රිකෝණය 4

"අහස ගොඩක් ලොකුද මහත්තයා?"

බිසෝ රංජිත්ගෙන් එක්වරම ඇසුවේ රංජිත් ඇඳේ හාන්සිවී සිටිද්දීය.  රංජිත්ට පිටුපා හිඳගෙන හැට්ට කටුවක් දත් අතර රඳවාගෙන කොණ්ඩය බැඳ ගනිමින් කතාකළ බිසෝගේ හඬ අව්‍යක්ත විය.  දිගු ඝන වරලස පීරා උඩට බැඳගනිද්දී කොණ්ඩය පොල් ගෙඩියක් මෙන් විසල්ය.  ඇගේ හිසකෙස්වලින් හමන තරුණ සුවඳ රංජිත්ගේ සිත  මන්මත්කරයි.  බිසෝගේ කොන්ඩයෙන් හැමුවේ කපා වේලී ඇති තණපත් වල සුවඳය.  ඇය වැළඳගෙන සිටිද්දී බිසෝගේ වරලසෙහි හිස සඟවා ගන්නට රංජිත් ප්‍රියකලේ ඒ නිසාමය. බිසෝ සීරුවට කටු ගසමින් සෙමෙන් හැට්ටය ඇඳගනී. 

"අපොයි ඔව් ලොකුයි කියන්නෙ කිසිම සීමාවක් නැහැ.  අපි ඒ විශාල අවකාශයෙ පාවෙන පුංචි තිතක් විතරයි!"

"එතකොට දිවිය ලෝකෙ ?"

"මම දන්න හැටියට දිව්‍ය ලෝකෙයි අපායයි දෙකම තියෙන්නෙ අපි ජීවත්වෙන මේ ලෝකෙ!"

"ඉතිං බුදු බණේ තියෙන්නෙ එහෙම නෙවෙයිනෙ?"

"බුදු බණේ කොහොම තියෙනවද මම දන්නෙ නෑ.  අපි ඉන්න මේ සෞරග්‍රහ මණ්ඩලේ නම් දිව්‍ය ලෝකයක් කියල ලෝකයක් දැනට හොයාගෙන නෑ.  අපි ඉර වටේ කැරකි කැරකි යනවා තව ලෝක හත අටක් එක්ක!"

"එතකොට ඉර නෙවෙයිද කැරකෙන්නෙ? උදේට අර කන්ද පැත්තෙන් ඇවිත් හවසට වැව පැත්තෙන් බැහැල යන්නෙ එහෙනං?"

"ඒක තමයි.  ඒ අපි කැරකෙනකොට පේන හැටි. ඉර කොහෙවත් යන්නෙ නෑ. එක තැන තියෙන්නෙ!"

"මං පොඩි කාලෙ අපේ අම්ම කිව්වා සූර්ය දිව්‍ය රාජයයි, චන්ද්‍ර දිව්‍ය රාජයයි මතු බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ අග සව්වො වෙලා උපදිනව කියල.  අම්මට කිව්වෙ උපාසිකාරාමේ මෙහෙණින්නාන්සෙ කෙනෙක්ලු!"

රංජිත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත්තේ බිසෝ ඔහු දෙස හැරී බැලුවාය.  රංජිත් කොට්ටය මුහුණට තද කරගෙන සිටී. ඔහුගේ සිරුර එක දිගට ගැස්සෙයි.

"ඇයි මේ මහත්තය හිනැහෙන්නෙ?"

"නෑ ඉතිං, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් අපි මැරෙන නිසා සතුටට හිනාගියෙ!"

"ඇයි එතකොටත් හිටියොත් මොකක්ද වැරැද්ද?"

"වැරැද්ද? වැරැද්ද තමයි ඉර නැතිවෙන එක. අපට ඉන්න වෙන්නෙ ඉර නැති ලෝකෙක."

"එතකොට හැමදාම රෑ නේද මහත්තය?"

"ඔව් ඉතිං, ඉර විතරයැ හඳත් නැතිවෙනවනෙ. දවල් එළිය තියෙන වෙලාවට ඉන්න ඉරට වඩා කරුවලේ ඉන්නකොට එළිය දෙන හඳ ගොඩක් වටිනව කියල කවුදත් කිව්වලු."

රංජිත් නැවතත් සිනහසෙන්නට විය.

"මට තේරෙන්නෙ නෑ මහත්තය කියවන ඒවා."

"කියවන දේවල් වල තේරුමක් තියෙන්නම ඕනැද බිසෝ? සමහර වෙලාවට මම කියවන ඒවා මටත් තේරෙන්නෙ නෑ. එහෙමයි කියල මම කියවන එක නවතිනවද?"

"මං දන් නෑ මහත්තය, කරුවලත් වැටීගෙන එනවා මම යන්නද?"

ඇඳේ පසෙක පොඩිවී තිබූ චීත්තය රැගෙන හැඳ ගනිමින් බිසෝ අසයි.

"මම ඉන්නය කිව්වත් බිසෝට ඉන්න බෑනෙ. යන්න එපායැ. එහෙම නේද?"

"මහත්තය ඉන්න කිව්වොත් මම ඉන්න කැමතියි.  ඒත් මහත්තයට එහෙම කියන්න බෑනෙ.  හා නැද්ද?"

"මේ ලෝකෙ අපි කැමති දේවල්ම කරන්න, අපි කැමති දේවල්ම කියන්න තියෙනව නම් ලෝකෙ කොච්චර ලස්සනද බිසෝ?  අපි දෙන්නටම වෙලා තියෙන්නෙ ඒක නේද?"

"මහත්තයගෙ ප්‍රෙහේලිකා මට තේරෙන් නෑ. හැම දේම වෙන්නෙ අපි පතාගෙන ආපු හැටියට කියලයි මම දන්නෙ.  අපි දෙන්නටත් මෙහෙම හම්බවෙන්න නියම වෙලා තියෙන්න ඇති."

"එහෙම හිතල හිත හදා ගමු."

"කොහොමත් මහත්තය ඉක්මනට පිළිවෙලක් වෙන එක හොඳයි.  මේවා තව කොච්චර කල් නං වසං කරගෙන ඉන්නද? කොයි වෙලාවක හරි මේවා එලිඋනොත් ඉස්කෝලෙ ලොකු මහත්තයටත් ආරංචි වෙයි.  එතකොටත් මහත්තයටමනෙ හොඳ නැත්තෙ. මට නං ඕනෑ එකක්."

රංජිත් නිහඬවම සිටියේය.  ඔහුගේ අත ගෙන තදින් මිරිකා බිසෝ පිටත්ව ගියාය.  එදා රාත්‍රිය රංජිත්ට බොහෝ දිගු එකක් විය.  රෑ දෙගොඩහරියක් වෙනතුරු ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටි රංජිත්ට නින්ද ගියේ පාන්දර ජාමයේය.

                                                                             *

"ඈ හාමිනේ, දැන් රංජිත් ම්හත්තේලගෙ ගෙදරින් ඇවිත් ගිහිල්ලත් සති දෙක තුනක් ගියා නේද?අපිටත් ඒ ගම් පලාතෙ ගිහිං එන්න කාලෙ හරි."

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා බිරිඳ සමග කතා කළේ රාත්‍රී ආහාරයෙන් පසු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවීගෙනය.  පියවතී හාමිනේ එතනම පුටුවක වාඩිවී සිටියේ පරණ සඟරාවක් පෙරලමින් මැහුම් පාඩමක් සොයමිනි.

"ඒක නං මටත් කීප දවසක්ම කල්පනා උනා මහත්තයො. දැන් පරක්කුත් එක්ක නේද? ඒ ගොල්ලො බලනව ඇති අපි නේන්නෙ මොකද කියල?"

"එහෙමනං අපිත් රංජිත් මහත්තයට කියලා එහෙ යන්න දවසක් වෙලාවක් දා ගම්මු."

සිකුරාදා සවස කුලියාපිටි ගොස් කෙල්ලන් දෙන්නා ගෙදර ඉඳිද්දී සෙනසුරාදා ජයතිස්ස මහත්තයගෙ මල්ලිගේ පවුලත් සමග ඒ අයගේ වාහනයෙන් රංජිත්ගේ ගෙදර ගිහිං ආපසු ඉරිදා ගල්ගමුවට එන්නට තීරණය විය.

ඒ සිකුරාදා පාසැල නිමවී රංජිත් ගෙදර ගියේ පහුවදාට යෙදී ඇති මගුල් ගමන නිසාය.  පහුවදාට ගෙදර එන්න කියා අනුර මහත්තයට ආරාධනා කරන්නට රංජිත් යන ගමන්ම අනුර මහත්තේලාගේ ගෙවල් පැත්තෙන් ගියත් ගේ වසා තිබුණි.  විස්තර සෝදිසි කළ රංජිත්ට දැනගන්නට ලැබුණේ අනුර මහත්තයා නෝනාත් එක්කම රට ගිහිං ඇති බවය.  ආපහු එන්නට තව අවුරුදු තුන හතරක් ගතවන බවය.  ඊට පේර එනවානම් නිවාඩුවකට ටික දවසකට ඇවිත් යන්නට ආවොත් පමණය.  රංජිත්ගේ හිතට ඇති වුණේ පාලුවකි.  මේ වෙලාවේ ලඟින් සිටිය යුතුම හිතවතා නැතිවීම මහත් පාඩුවක් බව ඔහුට සිතුණි.

දෙපැත්තේ විස්තර දෙගොල්ලම දැනසිටි නිසා රංජිත්ලාගේ ගෙදර පැමිණි ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිසට වැඩිපුර කතාබහ කර තීරණ වලට එන්නට දෙයක් නොවූ අතර තිබුණේ මගුලට දින තීරණය කරගන්නට පමණකි.  ගෙදරට පැමිණි අලුත් නෑදෑයන්ට හැකි උපරිමයෙන් සංග්‍රහ සත්කාර කරන්නට රංජිත්ගේ මව උත්සුක වුණේ ගමේ කාන්තාවන් කීප දෙනෙක්ද ඉවුම් පිහුම් වැඩවලට අඬගහ ගනිමිනි.

"අපි මේ චාරිත්‍රේට ආව මිසක ආපහු බලන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ? "

පියවතී හාමිනේ කිව්වෙ රංජිත්ගේ මව සමගය.

"ඔව් ඉතිං, මේවා  සිරිතට කරන දේ මිස ආයෙ මොනව හොයල බලන්නද?"

රංජිත්ගේ මව කීවාය.  ඒ වුණාට කුස්සියේ වැඩ කරන ගෑණු දෙතුන් දෙනාට නම් රංජිත්ගේ මවගෙන් කටයුත්ත ගැන දැනගන්නට බොහෝ දේ වූ බව අහපු ප්‍රශ්න වලින්ම තේරුම් ගිය රංජිත්ගේ මව,

"ඉස්සෙල්ල ඔය කරන වැඩේ ඉවරයක් කරලා ඉඳිල්ලකො.  ඔය අපේ ළමය උගන්නන ඉස්කෝලෙ ලොකු මහත්තයයි පවුලෙ අය නොවැ.  මේ ළමයට ඔය මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙන්නෙ ඒ ගොල්ලන්මයි.  අපි පහුණු දවසක ගිහිං ඒ ගෙවල් දොරවල් බලල ආවත්නෙ."

"රස්සාවක් කරන ළමෙක්ද හාමිනේ?"

කටකාර සිරියාවතී ඇසුවාය.

"තාම එහෙම වයසක්වත් නෑ බං.  ඉස්කෝලෙන් අයින් උනා විතරයි.  ගෙයක් දොරක් බලා කියා ගන්නවත් දන්නෙ නැතුව ඇති."

රංජිත්ගේ මව කතා කළේ කටහඬ පහත් කරමිනි.

"එහෙනං ඒ ළමයගෙ කොටසත් කරන්න වෙන්නෙ හාමිනේටම තමයි."

කුසුමා කීවේ සිරියා වෙත නෙත් යවමිනි.

රංජිත් කුලියාපිටියෙන් ආ කට්ටිය එක්ක වත්තේ ඇවිදින්නට ගිහිං සෑහෙන වේලාවකි.  ජයතිස්ස මහත්තයාත් ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාත් එළියේ පුටු දෙකක වාඩිවී කතා කරමින් සිටි තැනට පියවතී හාමිනේද පැමිණියාය.  ඉන්න ගෙයත් ඉඩමටත් අමතරව හංදියේ තියෙන කුලී ගෙයද, කුරුවෙවත්තේ ඉඩම් කෑලි දෙකක් සහ කුඹුරක්ද රංජිත්ට අයිති වන බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කියූ විට පියවතී හාමිනේගේ වත එළිය වැටිණි.

"මම ඔය දේපල ගත්තෙ පිරිමි තුන් දෙනාටමයි.  ඒත් ඉතිං සිද්ද උනේ හිතපු දෙයක් නෙවෙයිනෙ.  දැන් ඉතිං ඒ ටිකත් මේ ළමයටම තමයි."

ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කීවේ කණස්සල්ලෙනි.

"ඒ ගොල්ලො ගෙනාපු විදියට තමයි සිද්දවෙන්නෙ.  මහත්තය දුක් වෙලා මොනවටද?"

ජයතිස්ස මහත්තයා කියන විට ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා හිස වැනුවා මිසක මොකුත් කියන්නට ගියේ නැත. රංජිත්ලාගේ ගෙදරින් පිරිනැමුණු  සත්කාර අවසානයේ මගුල එළඹෙන ජනවාරියේ කරන්නට දෙගොල්ලන් එකඟත්වයකට පැමිණුනි.  නැකත් බැලීම ආදී ජ්‍යොතිෂ්‍ය වැඩ කටයුතු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින්ම බාර ගැනුණි. හැන්දෑවේ ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිස රංජිත්ලාගේ නිවසින් පිටත් වුණේ බොහෝ සතුටිනි ෴