Wednesday, October 30, 2013

99.වේලන්කන්නි සංචාරය නළ දරුවෝ සහ තවත් කතා (අවසාන කොටස)




 
අපි හිටියෙ තන්ජාවූර් වල බෝස්ගේ හෝටලේ නේද,එතනින් හැරිල මහාබලිපූරම් ගියානෙ, ආපහු තන්ජාවූර් යමු...

දවල් කෑම සූදානම් වෙනතුරු බෝස් අපට ඉන්න කාමර,නාන්න පහසුකම් සහ කෑමට පෙර ගන්න ජාතිත් සූදානම් කරල දුන්නා...කාවේරි ගඟ අයිනෙ සීත සුළං රැළි වල පහස විඳිමින් හට් එකක් යට වාඩිවෙලා අපි බීර බොමින් ඉද්දි බෝස් අපිත් එක්ක සතුටු සාමීචියෙ යෙදුනා...

ජයටම තිබුණු දිවා භෝජනයෙන් පස්සෙ ටිකක් වෙලා කැරම් ගගහ හිටපු  අපි ඊළඟට සූදානම් වුණේ රෑ කෝච්චිය අල්ලගන්න තන්ජාවූර් දුම්රිය පොළට යන්නටයි...

රෑට කෑම කොහොමද...

බෝස් ඇවිත් ඇහුවා...

ටවුන් එකේ කඩේකින් පාර්සල් කරගන්නව,නැත්නං කෝච්චියෙනුත් ඕඩර් කරන්න පුලුවන්නෙ...

නෑ ඕනැ නෑ මම කට්ටියට කෑම පාර්සල් ටිකක් ලෑස්ති කරල දෙන්නං...

අපි බෝස්ගෙන් සමුඅරන් හෝටලේම වාහනයකින් තන්ජාවූර් නගරයට ආවා...එදා හවස හයහමාරට තිබුණු  චෙන්නායි රාත්‍රී දුම්රියෙන් ඇවිත් අපි ටී නගර්වලින් බැහැල ගෙවල් බලා යද්දී පාන්දර පහමාර විතර වුණා...

මේ දවස් වෙද්දී වරුණිට දරුව ලැබෙන දිනස්තරත් ලං වෙමින් පැවතුණා...ඒ නිසා අපිත් නිතරම පාහේ වරුණිව බලන්නට ගියා...

වරුණි හිටපු ගෙවල් හරියෙ ඒ දවස්වලම පිලිපීන් රෙස්ටුරන්ට් එකකුත් විවෘත කරල තිබුණා හවස් වෙද්දී ඒ රෙස්ටුරන්ට් එකෙන් කෑම ගන්න පිලිපීන් අය ගොඩක් එකතුවෙනවා...

රෙස්ටුරන්ට් එක විවෘත කලාට සමගාමීවම ඒ පාරෙ රස්තියාදු ගහමින් හිටපු බලු රංචුවේ ගණන ශීග්‍රයෙන් අඩුවෙන්නට පටන් ගත්තා...මුලදී විස්සක් විසිපහක් හිටපු බලු රංචුව ඊළඟ සතියෙ බලනකොට පහළොවකට විතර අඩුවෙලා...මම මේ වැඩේ නිරීක්ෂණය කරල දවසක්දා ඔය පාරෙන් යද්දී බිරිඳටත් කිව්වා...

අනේ ඇත්තම තමයි බල්ලො ටිකට මක්වුනාද...

අන්න අතනින් ඇහුවනං හරියටම දැනගන්න තිබුණා...

මම රෙස්ටුරන්ට් එක බිරිඳට පෙන්නුවා... 

සපිරූ සත් මස් ඇවෑමෙන් වරුණිගෙ දරුවව සීසර් කරල අරගත්තා, ටියුබ් බබ්බු එහෙම තමයි හත් මාසෙන් ගන්නව...ඊටත් මාස දෙකකට විතර පස්සෙ වරුණි රාමනායකත් එක්ක දරුවත් අරං ලංකාවට යන්න සූදානම් වුණා...

ලංකාවට යන්න ඉස්සෙල්ල චෙන්නායි වලදී ඔවුන්ට උදව් කරපු ඔක්කොටොම ආරාධනා කරල වරුණිල හිටපු ගෙදර ලොකු සාදයක් පැවැත්තුවා...

එදා රෑ අපි සාදයට යද්දී වරුණිත් රාමනායකත් දරුවත් වඩාගෙන අපිව පිළිගත්තෙ උතුරායන ප්‍රීතියෙන් යුතුවයි...

ෂෝක් පැටිය නේද අනේ, මම ඔය ටියුබ් බබෙක් දැක්කමයි...

බිරිඳ මගෙත් එක්ක කිව්වා...උන්දැත් කොහෙ හරි පොඩි එකෙක් දැක්කොත් හෙම මැරෙන්න හදනවනෙ...

ෂෝක් නැතිවෙයියැ...ලක්ෂ පහළොවක් විස්සක් වටින දරුවෙක්නෙ...

මමත් බිරිඳට කිව්වා...

ඒ දෙන්න රටක් රාජ්ජයක් හිමිවුණා වගේ සතුටින් දරුවත් අරගෙන ලංකාවට යනකොට තමන්ට උවමනාවක් නැති වෙලාවක  බඩට ආපු දරුවෙක් කිසිම වියදමක් නැතුව රජයේ ඉස්පිරිතාලෙකදී බිහිකරපු තනුජා දරුවත් තුරුල් කරගෙන තනියම  ඉස්පිරිතාලෙන් එළියට බැස්සෙ හදවත පැලෙන තරමේ වේදනාවකින් මිරිකෙමිනුයි ...

ඇයගෙ ඇස්වලින් රූරා හැලෙන කඳුළු දහරා වලින් සේදීයන මේ මොහොත ඇගේ පසෙකින් දරුවගෙ පියාත් හිටියා නං මොනතරම් අසිරිමත් මොහොතක් වේවිද...

දරුවට අන්දගෙන යන්න ඇඳුමක් ගන්නවත් තනුජ ළඟ සල්ලි තිබුනෙ නෑ අයියෙ අපියි  ඒකටත් උදව් කළේ...

ලසිතා පස්සෙ දවසක මාත් එක්ක කිව්වා...තනුජ ඒ දවස්වලම කෝච්චියට එන එක නැවැත්තුවට පස්සෙ අපට ඇය ගැන කිසිම තොරතුරක් දැනගන්න ලැබුනෙ නෑ...ඊටත් අවුරුදු ගණනකට පස්සෙයි මට ලසිතව මුණගැහුනේ...

ඒ 2007 අවුරුද්ද වගේ මට මතකයි,කොහෙහරි රටක ඉඳල මම ලංකාවට ආපුදාට පහුවදාම ලසිතා මට කතාකළා...මොකද ඇයගේ දුව ගෙටවෙලා මංගල්ලෙ පස්සෙ දවසෙ ඒක කියන්නයි...කට්ටියට අරාධනා කරද්දී මමත් ඇවිදින් ඉන්නබව ඇයට දැනගන්නට ලැබිල තියෙනව...

මෙහෙම ආරාධනා කලාට තරහවෙන්න එපා හෙට තුන්දෙනාම අපේ ගෙදර එන්න ඔයාල ඇවිත් කියල දැනගත්තෙ අදයි ...

ආරාධනාව අනුව අපිත් පහුවදා ලසිතලගේ ගෙදර ගියාම දන්න කරන ඔක්කොම වගේ අය ඇවිත් හිටියා...අපි කතාබහ කරමින් ඉද්දි තනුජා ගැනත් කතාව ඇදිල ගියා...තනුජට වෙච්චි දේවල් ගැන බොහෝ විස්තර ලසිතා එදා මාත් එක්ක කිව්වා...සාද තෙපුල් සතුටු සිනාවෙන් මුළු ගෙදරම පිරී ඉතිරී යද්දී තනුජාගේ ඉරණම දැනගත්ත මගේ හිත සෝකයෙන් බරවෙලා තිබුණා...

ආසාවෙන් පැතූ සිහින ලෝකෙ බිඳවැටිල තමන්ගෙ මුළු ජීවිතයම ආපහු ගොඩනගන්න බැරි තරමටම කඩාගෙන වැටිලා පොඩි දරුවෙක් එක්ක තනිවුනත් තනුජා දිරියෙන් ජීවිතේට මූණ දුන්නා...ඇය කොහොමහරි දරුවව තරමකට ලොකුමහත් කරගෙන පස්සෙදී දරුව ඥාතියෙක් ළඟ නවත්තල පිටරට රස්සාවක් හොයාගෙන ගියා...රට රස්සාවෙන් තනුජගෙ අතමිට සරුවෙද්දී එදා අහක බලපු නෑදෑයෝ ඔක්කොටොම ඇයව ඕනෑවුණා...

දැන්නං තනුජගෙ පුතා ගොඩක් උස්මහත් වුනු තරුණයෙක් වෙන්න ඇති...

ඉතිං ඔන්න ඔය ආකාරයට වරුණිගෙත් තනුජගෙත් කතාව අවසන් වෙනවා...තනුජව මම එදා ඉඳල අදවෙනතුරුම ඇහැට දැක්කෙ නෑ...වරුණිව නං නිතරම කොටුවෙදි මුණගැහෙනව කියල බිරිඳ මගෙත් එක්ක කිව්ව... වරුණිගෙ පුතා දැන් ආනන්දෙට යන ශිෂ්‍යයෙක්ලු...

මට හරි වැඩක් උනානේ අයියෙ...

ලසිත මාත් එක්ක කිව්වෙ හිනාවෙවී...ලසිතලත් එක්කම වැඩකරපු යාලුවෙක් හිටියා ඇයට අපි චමරි කියමු...චමරි හැමදාම ගම්පහින් කෝච්චියට ගොඩවෙලා ලසිතලත් එක්කම කොළඹ ගියා...දවසක්දා ලසිත උවමනාවකට මීගමු ගිහිං ගෙදර එන්න බස්නැවතුමට ඇවිත් ඉද්දි චමරිත් ස්ටෑන්ඩ් එකට ආවලු ඇයගේ අතේ පොඩි දුව,කරේ විශාල  බෑග් දෙකක්...

අනේ චමරි ඔයාට බෑග් දෙකම උස්සගෙන ඉන්න අමාරුයි නේද දෙන්න මට එකක්...

ලසිතා චමරිගේ කරේ තිබ්බ බෑග් එකක් අතට ගත්තා...ඔන්න ඔය වෙලාවේදී චමරිගේ අතේ හිටපු පොඩි කෙල්ල කට ඇරියා...

ඈ...මොකද බොල බාක් එක ගත්තෙ, දීපිය උත්ති අපේ බාක් එක...

කෙල්ල අම්මගෙ අතේ ඉඳන් හුරතල් හඬින් කියාසිටියා...

දෙනෝ දාහක් මැද විළි ලැජ්ජාවෙ මගෙ ඉහේ උකුණෝ බිමට පැන්න අයියෙ...

එදා මඟුල් ගේ ඉවරවෙලා ලසිතලගෙ ගෙදර ඉඳන් මීරිගමට එද්දී මගෙ හිත අතීතයට ගමන් කළා...දංඕවිට ඉඳන් මීරිගමට යන පාර එකම පාරාදීසයක් වගේ ලස්සනයි.. පාර දෙපැත්තෙ තියෙන වෙල් එළි, නෙලුම් මල් ඕලු මල් පිපුණු වලවල් පොකුණු, රක්ෂිත කැලෑව මැදින් යනකොට ඉර එළියක් වැටෙන්නෙ නෑ දෙපැත්තෙන්ම මහ කැලෙන් වැහිල සීතලම සීතලයි...ඉස්සර කාලෙ ඒ කියන්නෙ ඊට අවුරුදු බර ගණනකට කලින් මම අපේ අම්මලාගේ ගමේ හිටපු කාලෙට මගේ හිත දිව  ගියා ...
 
මීරිගම ඉඳන් හැතැප්ම දහයකට විතර දුරින් තියෙන බෝතලේ කියන සුන්දර ගම තමා අපේ අම්මලගෙ ගම,කඳු වළල්ලකින් වටේටම වටවෙලා තියෙන බෝතල් අඩියක හැඩහුරුකම ඇති බෝතලේ ගමට ඉර එළිය වැටෙනකොට බලන්න ලස්සනයි...ඉස්සෙල්ලම කන්දට ඉර එළිය වැටිලා ඊට පස්සෙ මාගලක් දිග ඇරෙන්නැහේ එළිය පහළට ගලාගෙන එන හැටි පොඩි කාලෙ මම බලාගෙන ඉන්නව...මෑතකදිත් මම හදිස්සියෙ  බෝතලේ මළගෙදරකට ගිය වෙලාවෙත් ඔය ඉර එළිය වැටෙන හැඩ බලාගෙන හිටියා දැනුත් ඒ විදියමයි අබමල් රේණුවක වෙනසක් වෙලා නෑ, ඒත් ගමත් මිනිස්සුත් මොන තරං වෙනස් වෙලාද...

එච්චර පොඩි වයසකදී මාව ගෙදරින් පිට ගෙනිහින් නවත්තන්න හේතුභූතවුනේ අපේ අම්ම අසනීප වෙලා ඉස්පිරිතාලෙ නවත්තන්න වෙච්චි නිසාලු..ඒ දවස්වල මාව බලා හදා ගත්තෙ අපේ අම්මගෙ බාලම නංගි චූටි පුංචි අම්මා...

මේ ලඟදි මම ගෙදර ගිය වෙලාවෙ පුංචි  අම්මත් අපේ ගෙදර ආවා ඇයත් එක්ක මම ඔය පරණ කතා කියමින් ඉද්දි ඒ දවස්වල මාව ඉස්කෝලෙ එක්කං ගිය හැටි ගැනත් අපූරු විස්තරයක් ඇය මට කිව්වා...බෝතලේ ඉස්කෝලෙ තියෙන්නෙ අපේ අම්මලගෙ මහ ගෙට ඉස්සරහ  තියෙන වෙළෙන් එහා පැත්තෙ,ඔය පොඩිම කාලෙත් මාව ඉස්කෝලෙට යවල තියෙනව...අපරාදෙ කියන්න බෑ ඒ කාලෙත් මම බලන්නෙ කොහොමහරි ඉස්කෝලෙ නොගිහිං ඉන්නලු, මොනවා හරි අමාරුවක් කියල ආපහු එන්නම හදනවලු...

දවසක්දා උදේ මම මගක් ගිහිං යන්න බෑ කියල පොත් ටිකත් පැත්තක තියල වෙලේ නියරෙ ඉඳගෙන ඉන්නවලු, පුංචි අම්මත් පැත්තකට වෙලා මාව නැගිට්ටවන්න උත්සාහ කරනව,ඔන්න ඔය වෙලාවෙ නියර දිගේ මනුස්සයෙක් ආවලු මාව දැකල මොකද කියල අහපුවම පුංචි අම්ම විස්තරේ කියල තියෙනව...

මේ ඉන්නෙ බොහොම හොඳ  අනාගතයක් තියෙන ළමයෙක්...

එහෙම කියල ඒ මනුස්සය යන්න ගියාලු...කවදාවත් දැකල නැති ඒ මනුස්සය ඊට පස්සෙදිවත් ආපහු දකින්න ලැබුනේ නෑ කියල පුංචි අම්ම මාත් එක්ක කිව්වා... 

ඔයවගේ තව කතා ටිකක් කියන්නකො පුංචි අම්මෙ මට ඔව්ව ලියන්න පුළුවනි...

ඒ කාලෙ මට දීපු වදේ නං ලියල තියන්නම වටිනව...මොනවද ඉතිං ඒ සන්දියෙ වැඩේම මිදුලෙ අලි අඳින එකනෙ...

දංඕවිටට යන ගුරු පාර තියෙන්නෙ අම්මලගෙ මහ ගෙට  උඩ පැත්තෙන්  ඔය පාරෙ හරියට අලි යනවා...අලි කිව්වෙ මේ එක එක වැඩවලට ගෙනියන හීලෑ අලි, වල් අලි නෙවෙයි...

දවසක්දා සියදෝරිස් කියන මනුස්සය උදේ පාන්දරම දුර බැහැරක වැඩකට යන්න පාරට බැස්ස...ටික දුරයි යන්න හම්බවුනේ මිනිහට සීනු නාදයක් ඇහෙන්න ගත්තා,සීනු නාදය ටික ටික ලංවෙමින් ඇහෙනකොට සුදු ඇඳගෙන සුදු ජටාවක් ඉහේ බැඳගත්තු කෙනෙක් අඩි හයක් හතක් විතර උඩින් එනහැටි සියදෝරිස්ට පෙනුනා...

බුදු අම්මෝ දෙයියො වඩිනවා...බයවෙච්චි පාර සියදෝරිස්ට ඇඳන් හිටපු සරමෙම මුත්‍රා පහවුනා...කකුල් දිගේ මූත්‍රා බේරෙද්දි  එහෙම්මම පාර අයිනෙ කාණුවට බැහැපු සියදෝරිස් දනගහගෙන වෙව්ලමින් දෝත් මුදුන් දී වැඳගෙන ඉන්නව...

උඩින් එන සුදු රූපය දැන් හොඳටම ලඟයි,සීනු නාදයත් තදින්ම ඇහෙනව ඊට ටිකකට පස්සෙ සියදෝරිස් දෙයියන්ව ඇස් පුරා හොඳහැටි දැකගත්තා...

 තුහ් විතරක්  යන්න ගිය ගමනත් ඉවරයි, මේ වේසිගෙ පුතාටනෙ යකෝ  මං  රැවටුනේ...චික්‌ අම්මප...

ලී මෝලෙ අලි බාස් පාන්දරම අලියත් අරගෙන කොහෙද වැඩකට යනව 

කරුවලේ කලුපාට අලියව පේන්නෙ නෑනෙ,සීනු නාදෙට  ඇහුනෙ අලියගෙ දම්වැල් හෙල්ලෙන සද්දෙ,දෙයියො තමා සුදු බැනියමකුයි සරමකුයි ඇඳගෙන අලියගෙ පිට උඩ ආපු අලි බාස්...

අලි බාස්ට බලු බැණුම් බැන බැන සියදෝරිස් ගෙදර ගියා...

සමාප්තයි.


Saturday, October 26, 2013

98.වේලන්කන්නි සංචාරය මුද්දර සහ ඔස්ටෙන්ඩ් වෙරළ තීරය 18+





අව් රශ්මිය විඳිමින් වෙරළෙ වැතිරිලා හිටපු සංචාරකයෙක් මාව දැකල මූදට පැනල මාව ගොඩට ඇදන් ආවෙ පස්පඩව්වේ බැන බැන ....

ලෝකෙ හැම තැනම මූදුවල පීනලා තියන මමවත් මේ මූදේ පීනන්නෙ නෑ ඒ තරං භයානකයි...ඒකට උඹ, මම බලාගෙන හිටියෙ ගියපු ගමන් මූදට පැන්න හැටි...

ඒ මනුස්සය විතරයැ  මාත් ලෝකෙ මූදු කීයක පීනලා තියෙනවද...

බිරිඳගේ කන්තොරුවෙ යාලුවෙක් හිටිය හිල්ඩා  කියල ඔය හිල්ඩගේ ඥාති සහෝදරියක් බෙල්ජියමෙ ඉන්නව කියල කතාකරන්න ටෙලිපෝන් නම්බර් බිරිඳට දීල තිබුණා...අපිත් ඇයව කතාකරල දැන හඳුන ගත්තා ඇයට අපි කිව්වෙ හිල්ඩ නංගි කියල ඇයගේ නම තවමත් අපි දන්නෙ නෑ...

බෙල්ජියම් ජාතිකයෙක් එක්ක විවාහවෙච්චි ඇය ජීවත්වුණේ බ්‍රසල්ස් වලින් කිලෝමීටර් තිස් පහක් හතළිහක් විතර දුරින් තියෙන දෙන්දරමුන්ද කියන නගරය ආශ්‍රිත සුන්දර ගමක...


හිල්ඩ නංගිගෙ සැමියා මුල්ඩර්, හිල්ඩ නංගි ඔහුට කිව්වෙ මුද්දර කියලයි...අවුරුදු හැත්තපහකටත් වඩා වයසැති මුද්දර  තවමත් කොල්ලෙක් වගේ... අපි එහෙ යද්දී කෝච්චියෙ ගිහිං දෙන්දරමුන්ද ස්ටේෂන් එකෙන් බැහැපුවාම මුද්දර කාරෙකත් අරං අපිව එක්ක යන්න ඇවිත් ඉන්නවා...ඒ ජෝඩුව ගැන තව කතා ගොඩයි එව්ව කියන්න ගියොත් ප්‍රස්තූතයෙන් පිටපනින්න වෙන නිසා කෙලින්ම කතාවට යමු....

හිල්ඩ නංගිගෙ උපන් දිනයක් දවසක අපට එහෙ එන්න කියල ජෝඩුව  ආරාධනා කළා, ඒ ග්‍රීෂ්ම සෘතුව ඒ කාලේදී කවුරුත් සංචාරය කරන ඔස්ටෙන්ඩ් වලට යන්න ඔවුන් සැලසුම් කරගෙන තිබුණා...බෙල්ජියමෙ එක මායිමක් තමා උතුරු මුහුද , කිලෝමීටර් කීපයක් දිග ඔවුන්ට අයත් එකම මුහුදු වෙරළ ඔස්ටෙන්ඩ්...ග්‍රීෂ්මයේදී මේ මුහුදු වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා යනවා...මුහුදු වෙරළ අද්දර ඉදිකරලා තියෙන සිය ගණනක් වුනු සංචාරක හෝටල්වල කාමර සියල්ලම වෙන්කරගෙන ඔවුන් ග්‍රීෂ්ම නිවාඩුව අවසන්වෙනතුරු මාස දෙකක් විතර නැවතිලා ඉන්නවා...ඒ කාලේදී උදේට මූදට බැස්සම දවල්ට ගොඩ ඇවිත් කාල ආයෙමත් හවස්වෙනතුරු  මූදේ බැහැල ඔවුන් දවස ගතකරනවා...


හිල්ඩා නංගිගෙ ආරාධනාව ලැබෙනකොට මගෙ කැමරාවෙ පොඩි ලෙඩක් හදන්න ෂොප් ඒකට දීල තිබුනෙ...ගමනට කැමරාවක් අත්‍යාවශ්‍ය නිසාම මම ගිහිං බැස්කියුල් හංදියේ කැමරා ෂොප් එකේ තරුණයාව මුණගැහුනා...ඔහු මාත් එක්ක ගොඩක් හිතවත්, කාරණාව කියපුවම ඔහු මට කැමරාවක් දුන්නා...

එක දවසක හවසක දෙන්දරමුන්දෙ හිල්ඩ නංගිලාගේ ගෙදර  ගියපු අපි පහුවදා ඔස්ටෙන්ඩ් බලා මුද්දරගෙ කාරෙකෙන්  පිටත්වුනා දෙන්දරමුන්ද සිට ඔස්ටෙන්ඩ් වලට කිලෝමීටර් අනූඅටක් සීයක් විතර ඇති...


ඔස්ටෙන්ඩ් වල මූදු වෙරළ සති අන්තයේ ආපු සංචාරකයින්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ල තිබුණා...මුහුද තරමක් බොරපාටයි අපේ වගේ ඇස් කඩාගෙන යන නිල්පාටක් ඒ මුහුදෙ තිබුනෙ නෑ...මුහුදෙ නාන සංචාරකයන්ට උපරිම ආරක්ෂාව ලබාදීල තිබුණා...වෙරළෙ හදපු අට්ටාලවලට ගොඩවෙලා සයිරන් නළා අතේ තියාගෙන ජීවිතාරක්ෂක තරුණ තරුණියන් මුහුද දිහා හෝදිසියෙන් බලාගෙන ඉන්නවා...යාර සීයෙන් සීයට එවැනි අට්ටාල ගොඩනගල තිබුණා...


කහපාට විශාල බැලුන්වලින් ආරක්ෂිතව යන්නට හැකි මූදෙ ඉම සලකුණු කරල තිබුණා ඒ බැලූන් වලට පිටින් ජීවිතාරක්ෂක බෝට්ටු හතරක් හැම තිස්සෙම සූදානමින් යාත්‍රා කළා...

ටිකක් විතර දවල් වෙද්දී අපි තුන් දෙනත් මූදට බැස්සා බිරිඳටයි හිල්ඩ නංගිටයි  නාන්න බෑ කිව්ව නිසා ඒ දෙන්න වෙරළෙ කුඩයක් යට නවත්තල අපේ ඇඳුම් ටිකත් තියාගෙන ඉන්න කිව්වා...

ඔස්ටෙන්ඩ් ඉඳන් එංගලන්තයට පෙරී සර්විස් එකක් එහෙම නැත්නම් කුඩා මගී නැව් සේවයක් පැවැත්වෙනවා ඔස්ටෙන්ඩ්  ඉඳල එංගලන්තයෙ කෙන්ට්හි රැම්ස්ගේට් වරායට මුහුදෙන් කිලෝමීටර් 200 කට යාන්තං අඩු දුරක් තියෙන්නෙ, පෙරිය මේ දුර පැය තුනකට චුට්ටක් විතර අඩු කාලෙකින් ගෙවා දමනවා...


මූදු වෙරළෙදී  මම ගත්තු පින්තූර ටිකක් තමා මෙතන පළකරන්නෙ හැබැයි මගෙ පින්තූර එකක්වත් මෙතන නැති නිසා මම ඔස්ටෙන්ඩ් ගියා කියල මොනම විදියකටවත් ඔප්පු කරන්න මට හැකියාවක් නෑ බිරිඳත් පුතත් ඉන්න නිසා මමත් ගියාය කියල උපකල්පනය කරපල්ලා ...

කාන්තාවන් නාන ඇඳුම් ඇඳගෙන ඉන්න තැන්වලට කෙලින්ම කැමරාව මානන්න බැරි නිසා පැත්තකින් බිරිඳවත් තියල පින්තූර ගත්තා...සමහර අති භයානක දර්ශනවල සහායට පෙනී ඉන්නට බිරිඳ කෙලින්ම විරෝධය පළකළේ මූණත් රතු කරගෙන...


ඒ වුණත් මම වගේ ජායාරූප ශිල්පියෙකුට නැවතත් ලැබේවි කියල විශ්වාස කරන්නට බැරි මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට මං අමතක කලේ නෑ...නමුත් මගෙ ළඟ ඇති ඒ පින්තූර සමහරක් මෙතන පළකරන්නට නොහැකිවීම පිළිබඳව මගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව මේ අවස්ථාවේ පළකරන්නට කැමතියි...

පළකරන්නට නොහැකි කාරණා දෙකක් තියෙනවා එකක් නම් ගූග්ල් වලින් මගෙ බ්ලොගයට content warning එකක් ලැබෙන්නට ඇති අවදානම...අනිත් කාරණාව බිරිඳගේ විරෝධය

ඔයා ගෑණුන්ගෙ හෙළුවැලි පින්තූර බ්ලොගේට දානව නං මම ඉන්න  පින්තූර එකක්වත් දාන්න එපා...

බිරිඳ තරයේම කියාසිටියා...ඉතිං පවුලේ සමගිය රැකගැනීම වඩා වැදගත් යැයි මම උදක්ම  විශ්වාස කරන  නිසා මම ඒ පින්තූර මෙතැනදී පාවිච්චි නොකිරීමට තීරණය කළා...


නාල එහෙම ඉවරවෙලා දවල් කෑම ඔස්ටෙන්ඩ් වල හෝටලයකින් ලබාගත්තා ඇපිටයිසරයත් ඉතාම රස සුප් එකකත් රස බැලුවට පස්සෙ පිඟාන තරම්ම ඇති කටේ දියවෙන තරමට මෙලෙකට පිළියෙළ කරපු මස් කුට්ටියක් ප්‍රධාන ආහාර කොටස හැටියට පිළිගැන්වූවා...

මුද්දරත් මමත් රෙඩ් වයින් බෝතලයක රස බලමින් ආහාර ගත්තා...එඩුවට පස්සෙ මම දැක ඇති හොඳම වයින් ලෝලියා මුද්දරයි...ඔහුට වයින් නැතිව කෑම කන්නට බෑ අපි උදේ තේ එක බොද්දි ඔහු බොන්නෙ පෝට් වයින් වීදුරුවක්, දැන් ඔහුට වයස අවුරුදු අනූවකටත් කිට්ටුවෙලත් තවම තරුණයෙක් වගේ වැඩපල කරගෙන වාහනයත් එලවන්නේ ඔහුගෙ වයින් සහිත ආහාර රටාව නිසා කියල මට හිතෙනවා...

මුද්දරත් හිල්ඩ නංගිත් ගැන ගොඩක් කතා ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න නිසා ඔහු ගැන දැනට මේ ඇති...


මේ දෙන්න හිනාවෙවී එන්නෙ එක්තරා දර්ශනයක් දැකලයි මුද්දරට නං ඕවයෙ ගානක් නෑ එහෙම දකපුවම මුද්දර මගෙන් අහන්නෙ...do you need some milk...කියලයි.

දවල් කෑමෙන් පස්සෙ ඔස්ටෙන්ඩ් වලින් පිටත්වුණු අපි හවස් වෙද්දී දෙන්දරමුන්දට ළඟාවූණා...අපි මේ ගමන ගිහිං අවුරුදු අටකට පස්සෙ මේ පින්තූර ආයෙමත් බලනකොට  සමහර කාන්තාවන් ඉන්න  පින්තූර දකිද්දී බිරිඳ හක හක ගාල හිනාවෙනවා...

ඔයා බනිද්දී මම කොච්චර අමාරුවෙන්ද මේ පින්තූර ටික ගත්තෙ දැන් නං හිනාවෙනව...

වල්කම කොහෙ යන්නද ඉතිං...


අර සංචාරකයා මාව මුහුදෙන් ගොඩ අරං වෙරළට ගෙනත් අතඇරලා යන්න ගියා...ආපහු හෝටලේ පැත්තට එද්දියි මම දැක්කෙ ඇඟිල්ලෙ තිබ්බ මුද්ද නැතිබව...මූදෙදි මුද්ද හැලිලා

මතු සම්බන්ධයි...




Sunday, October 20, 2013

97.වේලන්කන්නි සංචාරය තිරුපති සහ ප්‍රියාගේ මංගල්‍යය



අනිත් කට්ටිය පල්ලිය වැඳ පුදාගෙන ආවට පස්සෙ ඔක්කොමල්ලා වේලන්කන්නි බීච් ඒකට සේන්දු වුණා බීච් එකෙත් කට කපල සෙනග එතන තියන කඩ පේළියෙම තැටිවල තියල මාළු පුච්චල දෙනවා... මාලුන්ව සුද්ධ කරල කහ ගාල ප්‍රදර්ශනය කරල  තියෙනව, අවශ්‍ය මාලුවගෙ ගාන කතාකරගත්තට පස්සෙ රත්වෙච්චි තැටියට දාල පුළුස්සනවා, හැබැයි ඉතිං නිකම්ම වගේ පුච්චන්නෙ අපට ඒ විදියට කන්න බැරි නිසා ලුණුයි ගම්මිරිස් කුඩුයි වැඩිපුර දාල පුච්චල දෙන්න කිව්වා...
කෑමටයි බයිට් එකටයි දෙකටම ඇතිවෙන්න මාළුත් අරං අපි ආපහු හෝටලේට ආවා...

ඊට අවුරුදු දොළහකට පස්සෙ 2011 දී මට ආපහු වේලන්කන්නි යන්න ලැබුනා...එතකොට නං ලංකාවෙන් අපි පස්දෙනෙක් ආවා අපි දෙන්නයි පුතයි මස්සිනයි මල්ලිගෙ  පුතයි...අසෝකන් එදත් ගයිඩ් හැටියට අපිත් එක්ක එකතු වුණා...පුතාට නං කලින් ආපු හැටි මොකුත්ම මතක නෑ, බිරිඳයි පුතයි තියල කලින් සැරේ පින්තූරයක් ගත්තු තැනම අවුරුදු දොළහකට පස්සෙත් ඒ දෙන්නගෙ පින්තූරයක් ගත්තා...කලින් සැරේ හිටපු හෝටලේට නවතින්න ගියත් කාමර හිස්වෙන්න ප්‍රමාද වෙනවා කියපු නිසා ඊට අල්ලපු හෝටලේට ගිහිං නැවතුනා...
අපි ඒ ගිහිං ටික දවසකට පස්සෙ ලංකාවෙ වන්දනා නඩේකට වේලන්කන්නි වලදී ගැහුවා...දැන් ලංකාවෙ වන්දනා කරුවන්ට ඒ පැත්ත සුරක්ෂිතද කියල තවම හෝදිසියක් නෑ...

මම ඔය ගැන නෙවිල් එක්කත් පම්පෝරියක් ගහනවා...

ඔන්න බලාපං මම බෞද්ධයා දැනට දෙසැරයක් වේලන්කන්නි ගිහිං තියෙනවා...එක සැරයක් වතිකානුවට ගියා උඹ කොච්චර භක්තිමත් කතෝලිකය වුනත් උඹ ඔය එක තැනකටවත් ගිහිං තියෙනවද...

ඔව් බං වේලන්කන්නිවත් ගිහිං එන්න යන්න ඕනෑ තමයි...

ඔය ඉන්දියාවෙ සිද්ධස්ථාන ගැන මෙන්න මෙහෙම කතාවකුත් තියෙනව ඔයගොල්ල කොහොම හිතයිද දන්නෙ නෑ නමුත් මම නං අත්විඳලා තියෙනව, කතාව මේකයි...

අපි කොච්චර සූදානම් වෙලා හිටියත් සල්ලි බාගෙ ගමන් පහසුව ආදී සියල්ලම තිබුනත් ඒ සිද්ධස්ථානවල දෙවියන්ගෙන් කැඳවීමක් ලැබුනේ නැතිනම් ගමන යන්න සිද්ධ වෙන්නෙ නැහැලු...ස්වදේශිකයන් මේ මතය තදින් විශ්වාස කරනවා මම කතා දෙකක් කියන්නං...

ඉන්දියාවෙ ඉඳල ලංකාවට ආපු අලුත මම ගුවන් තොටුපොළේ රාජකාරියකට ගියා එදා ඉන්දියාවෙන් නියෝජිත කණ්ඩායමකුත් ආපු දවසක්,අපි දෙගොල්ල වී අයි පී පර්යන්තයෙදී කතා කරමින් හිටියා මමත් ඉන්දියාවෙ වැඩ කරල තියනව කියල කියපුවම විස්තර හෙම අහල ඉන්දියාවෙ සිද්ධස්ථාන ගැන අපේ කතාව යොමුවුනා...එතන හිටපු උස මහත ඉන්දියන් ආරක්ෂක නිලධාරියෙක් මෙන්න මේ කතාව කිව්වා...

ඔහු ඉන්දියාවේදී එක්තරා ඇමතිවරයෙක් ළඟ සේවය කරද්දී ඇමතිවරයා ගුරුවායූර් කෝවිලට පූජාවකට යන්න සූදානම් වුනාලු...ගුරුවායූර් කියන්නෙ කේරළයේ තියනඉතාම හාස්කම් සහිත කෝවිලක් නියමිත දවසෙ උදේ ඔවුන් ගුවන් තොටුපොළටත් ගිහිං ඉඳිද්දී හදිසියෙම ඇමැතිවරයගේ සංචාරය අවලංගු වෙලා තියෙනව...
පුදුමයක් නෙවෙයි එදා අපට දෙවියන්ගෙන් කැඳවීමක් තිබිල නෑ...

ඔහු එහෙම කියපුවම අවුරුදු හතරක් විතර තමිල්නාඩුවෙ හිටියත් යන්න පහසුකම් ඔක්කොම තිබුනත් මට තිරුපති කෝවිලට යන්න බැරිවුනා කියල මම කිව්වා...

ඔබට දෙවියන්ගෙන් කැඳවීමක් තිබිල නෑ...ඔබ තිරුපති කෝවිලට අල්ලපු වැටේ හිටියත් ඔබව කැඳවුවෙ නැතිනම් ඔබට යන්නට ලැබෙන්නෙ නෑ...නමුත් දෙවියන් ඔබ කැඳවූ දාට ඔබ ලෝකෙ කොහෙ හිටියත් තිරුපති කෝවිලට යනවා...අන්න එදාට දෙවියන් හමුවට යනවායි හිතාගෙන භක්තියෙන් යුතුව සූදානම් වෙන්න එයට අවශ්‍ය කරන සියළුම දේවල් ඔබට හිතාගන්නවත් බැරි විදියට සිදුවේවි...
ආරක්ෂක නිලධාරියා දැඩි විශ්වාසයකින් යුතුව කියාසිටියා...මට කැඳවීම ලැබුනෙ 2007 දී, එතකොට අපි ඉන්දියාවෙන් ඇවිත් අවුරුදු හයක්...

තිරුපති කියද්දී මට තවත් කතාවක් මතක් වුණා ඒකත් කියලම ඉන්නං...

2000 වර්ෂයේ වගේ මට මතක ලංකාවේදී අපිත් එක්ක වැඩකරපු යාලුවෙක් දවසක් හවස මට ගෙදරට කතාකලා...

අපේ මල්ලි ලබන සතියෙ බොම්බෙ එනවා ආපහු එන ගමන තිරුපති කෝවිලටත් ගියොත් හොඳයි කියල කිව්වා චෙන්නායි වලදී උදව් කරන්න කෙනෙක් නැද්ද කියල මගෙන් ඇහුවම මට ඔබව මතක් වුණා...

ප්‍රශ්නයක් නෑ මෙහෙ එන්න කලින් මට කතාකරන්න කියන්න අවශ්‍ය දෙයක් තියෙනවනං මම කරල දෙන්නං...

හිතවතාගෙ මල්ලි ඒ එස් පී කෙනෙක් සංචාරයකට බොම්බායට ඇවිත්, ඒ දිනවල ඔහු ගායකයෙක් හැටියටත් ඉතාම ජනප්‍රිය වෙලා හිටියෙ දවසක්දා රෑක බොම්බේ ඉඳන් මට කතාකළා...

අපි අනිද්ද උදේ මැඩ්රාස් වලට එනවා...

හරි හරි එන්න...

ඔහු එන වෙලාව යානයේ නොම්බරය ආදී දේවල් මට ලබාදුන්නා...ඔවුන් එන්නට නියමිතව තිබුනේ සෙනසුරාදාවක උදේ...මම බෝඩ් එකකුත් දීල කපිලව එයාපෝට් ඒකට යැව්වා...උදේ දහයට විතර කපිල පිරිමි තුන් දෙනෙක් එක්ක අපේ ගෙදරට ආවා...

ඔවුන් බොම්බායේ සතියක් ගතකළත් ඉඳල තියෙන්නෙ බාගෙට හාමතේ,එහෙදි කන්න දීපු කෑම මේ අයට මොන විදියකින්වත් කාගන්න බැරිලු අඩු තරමින් හරියට තේ එකක්වත් නැතිව සතියක් ගතකරලා තියෙනවා...අපේ ගෙදර සූදානම් කරල තිබ්බ කෑම මේසෙ දැකපු තුන්දෙනා හීල්ලුවා...

කන්න ඕනෑ නෑ ලංකාවෙ කෑම ටිකක් දැක්කත් ඇති...

දවල්ටත් කෑම ලෑස්ති කරල කට්ටියට දුන්නා...දවල් කෑම කන වෙලාවෙදී අපේ පුතා ලස්සන වැඩක් කළා...මිනිහ පපඩම් පෙරේතය දවල් කෑම මේසෙට තිබ්බ පපඩම් පිඟාන වේගයෙන් හිස්වෙනවා දැකපු පුතාට බයහිතුනා...

මේ ගොල්ල ඔක්කොම පපඩම් ටික කාල ඉවර කරයි...

එහෙම කිය කියා පපඩම් පිඟාන උස්සගෙන කුස්සියට ගියා...කට්ටියටම හිනාවෙලා පණගියා...

කෑමෙන් පස්සෙ තුන්දෙනාම කපිලගේ ගෙස්ට් හවුස් ඒකට පිටත් කළා...පහුවදාට තිරුපති යන්නත් සියළුම කටයුතු කපිල සූදානම් කරල දුන්නා...

ඔය ඒ එස් පී මහත්තය අසූව දසකයේ මුල හරියෙ අපේ පොලිසියෙ ඕ අයි සී වෙලා හිටිය කාලෙ මට හොඳට මතකයි...ගොඩක් සැරපරුෂ නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටියත් අපි එක්ක නං හරිම සහයෝගෙන් වැඩ කළා, හැම අවුරුද්දකම කරන අපේ වෙසක් සැරසිල්ල විවෘත කරන්න සුදු සරමකුයි කමිසෙකුයි ඇඳගෙන එනව, විවාහවෙලා හිටියෙත් ටවුමෙ මුදලාලි කෙනෙකුගෙ දුවෙකුත් එක්කයි...

ඔන්න ඔය විදියට ඉන්නකොට ටවුමෙ පන්සලේ පොසොන් පෙරහැර දවසකදී වගා නිලධාරියෙකුට ගහල ඇතිවෙච්චි ආරාවුලක් නිසා ඒ වෙනකොට ආසනයෙ තදය වෙලා හිටපු පෝල් පෙරේරා ජේ ආර්ට කියල ඔහුව යාපනේට මාරුකළා...

එදා රාත්‍රියේ කපිලගෙ ගෙස්ට් හවුස් එකේ අපි ටික පොඩි මීවිතක් ඇසුරු කරමින් ඉද්දි  ඔය කතාව මතකද කියල මම ඔහුගෙන් ඇහුවා...

පෙරහැර දවසෙ වගා නිලධාරියා පාරේ ඩියුටි කරපු රාළහාමිව උස්සල පොළොවෙ ගහල තිබුණා, මේක අහපු වෙලාවෙ මට යකා ආවේස වුණා ඌව අල්ලං ඇවිත් නෙළුව බීපු කිරි කටින් එන්න...මාව යාපනේට මාරු කරපු එකත් හොඳට ගියා යුද්දෙ තදබල වෙන්න කලින් මට උතුරෙ රාජකාරියත් ඉවර කරගන්න ලැබුනා...

ආදී වශයෙන් අපේ පොලීසියෙ වැඩ කරද්දී වෙච්ච රසකතා ගණනාවක්ම ඔහු කිව්වා...

ලංකාවට ආපු දවසක දෙන්නම අපේ ගෙදර එන්න ඕනෑ...

දවස් කීපයකින් චෙන්නායිවලින් සමුගද්දී ඔහු කපිලටයි මටයි ආරාධනා කළා...දැන්නං ඔහු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්...

පහුවදා උදෙන්ම අපි කාර් එකක් කතා කරගෙන වේලන්කන්නිවලින් තන්ජාවූර් බලා යන ගමන ආරම්භ කළා...වේලන්කන්නි ඉඳන් තන්ජාවූර් වලට දුර කිලෝමීටර් අනූඅටක් සීයක් විතර ඇති...මගදී හම්බවුනු පොඩි ටවුමකින් උදේට කාලා මග දෙපස සියඹලා සහ කොහොඹ ගස්වලින් හෙවන වුනු ලස්සන පාරක අපේ වාහනේ ගමන් කළා...ඒ දවස්වල සියඹලා වාරෙ කෝච්චි ගේට්ටුවක් ළඟ වාහනේ නවත්තපු ගමන් අපි බැහැල ගිහිං ගස්වල සියඹලා කඩනවා...ඔය විදියට පැය හතරක විතර ගමනකින් පස්සෙ අපි තන්ජාවූර් වලට ළඟාවූනා...

තන්ජාවූර් වලින් කිලෝමීටර් කීපයක් ඇතුලට වෙන්න කාවේරි නදිය අසබඩ සුන්දර බිම් කැබැල්ලක බෝස්ගේ අයිඩියල් රිවර් වීව් රිසෝර්ට් හෝටලේ පිහිටලා තිබුණා...


අපි එන නිසාම චෙන්නායි ඉඳන් තන්ජාවූර් ඇවිත් හිටපු බෝස් අපිව ආදරයෙන් පිළිඅරන් සිසිල් කොමඩු යුෂවලින් අපට කරපු සංග්‍රහය මහන්සියෙන් හිටපු අපේ ගත සිත සිසිල් කළා...එච්චර කල් කොමඩු කාලා තිබුනත් අඹරල බීම හදන්න පුළුවන්ය කියල මම දැනගෙන හිටියෙ නෑ...

මහාබලිපූරම්වල තියෙන බෝස්ගේ අයිඩියල් බීච් හෝටලේට ගියාමත් ඔයවගේ ඉතාම ප්‍රනීත දෙළුම් යුෂ බීමක් ප්‍රියා හදල දෙනවා,ප්‍රියා කිව්වෙ බෝස්ගේ නංගි හෝටලේ ආහාරපාන අංශය භාරව වැඩ කරන්නෙ ඇයයි...සිහින් සුන්දර තරුණියක්වූ ප්‍රියා අපිත් එක්ක ඉතාම හිතවත් අපි මොන වෙලාවක හෝටලේට ගියත් අපි කැමති කැමති ආහාරපාන වලින් සංග්‍රහ කරන්න ඇය උනන්දු වෙනවා...

කාලයාගේ අවෑමෙන් ප්‍රියාගේ විවාහ මංගල්‍යයට අපටත් ආරාධනා ලැබුනා...මඟුල පැවැත්වුනේ හෝටලේමයි මනාලයා වුනේ ලංකාවෙන් ඇමෙරිකාවට ගිය තරුණයෙක්...ප්‍රියා නං මනමාලි හැටියට වෙනදාටත් වඩා සුන්දරව හිටියා, මනමාලය ප්‍රියාට වඩා ටිකක් විතර කොටද කියලත් මට හිතුනා,ඇවිදිනකොට කකුලක තිබුන කොරයක් ඇරෙන්න වෙන ප්‍රශ්නයක් මනමාලයට තිබුනෙ නෑ...
මඟුලෙ චාරිත්‍රානුකූල කටයුතු උදෙන්ම අහවර වෙලා දවල් කෑම වෙන තුරු ගොඩක් වෙලාව තිබුණා ඔය මගුල්වලට මත්පැන් වැද්දගන්නෙ නැතත් කොතැනක ගියත් බොන්න හොයන බොනයො ටිකට උඩ තට්ටුවක වෙනම කාමරයක් කාටත් හොරෙන් සූදානම් කරල තිබුණා...

කාන්තාවන්ටත් උවමනා හැටියට විවේක ගන්න කාමර ලෑස්ති කරල දුන්නා...ඇඟ රත්වෙලා මූණු රතුවෙද්දී අපේ කට්ටියට පූල් එකට පනින්න බොහොම උවමනාව තිබුණා...පොඩිඋන් ටික එතකොටත් පූල් එකට බැහැල හිටියෙ...

පූල් එකට බහින්න ඉස්සෙල්ල ඇඟපත හෝදගන්න එපායැ,ෂෝටකුත් ගහගෙන මම පයිප්ප පේලියට ඇඟ හෝදගන්න ගියාම වැටෙන් එහාපැත්තෙ නිලට නිලේ රැලි නගමින් තිබුණු ඉන්දියන් සාගරය දැකපු මම මූදෙන් නාගන්න එක පූල් එකට වඩා ජොලිනෙ කියල වෙරිමතේම වෙරළට පියනැගුවා...

වෙරළෙ දිගාවෙලා අලස සුවය විඳිමින් හිටපු යුරෝපීය සංචාරකයො කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් හිටියෙ නෑ...මමත් හිමිහිට නැළවෙන මුහුදු රැළි අතර වැතිරුණා...රැළි මතින් පාවෙමින් මටත් නොදැනිම ටිකෙන් ටික ගැඹුරු මුහුදට මාව ඇදිල ගිහිං තිබුණු බව මට තේරුනේ පය බිම ගහන්න හදද්දියි...

මතු සම්බන්ධයි...




Wednesday, October 16, 2013

96.වේලන්කන්නි සංචාරය මාකට් යෑම සහ තවත් කතා





අනූනමයෙ අප්‍රේල් මාසෙ මුල සතියෙ ඒක හැන්දෑවක වේලන්කන්නි බලා යන අපේ කණ්ඩායම එග්මෝර් දුම්රිය ස්ථානයෙන් නාගපට්නම් යන දුම්රියට ගොඩවුනා,තමිල්නාඩුවෙ දකුණට යන දුම්රියන් එග්මෝර්වලින්ද  ඉන්දියාවෙ උතුරට යන දුම්රියන් සෙන්ට්‍රල් දුම්රිය පොලෙන්ද ගමන් ආරම්භ කරනවා...දුම්රිය ප්‍රමාද වීමක් ඉන්දියාවෙ කොහෙත්ම දකින්නට නැති නිසා හරියටම හවස හයට දුම්රිය පිටත්වුනා...

මුලු රැයක් ගමනේ යෙදිල නාගූර් දුම්රියපොලෙන් අපි බැහැගද්දී වෙලාව පාන්දර හතරහමාරට විතර ඇති...කට්ටියටම නිදිමත පෙරෙනව, ඉක්මනටම කුලී කාර් එකක් කතාකරගෙන වේලන්කන්නිවලට පිටත් වුනා නාගූර් ඉඳල වේලන්කන්නිවලට කිලෝමීටර විස්සක් විතර දුර ඇති,ඇම්බැසඩර් කුලී කාර් එක අපි ඔක්කොටොම යන්න ප්‍රමාණවත් වුණා.

වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දි පාර දිගටම දකින්න ලැබුනෙ වන්දනා නඩ වේලන්කන්නි බලා පයින්ම ගමන් කරන ආකාරයයි, පහුවදා මහ සිකුරාදා නිසා මේ විදියට දවස් දෙකක ඉඳන් සෙනග ගමන් කරනව කියල රියදුරා අපිත් එක්ක කිව්වා...

වේලන්කන්නිවලට යනතුරුම නවාතැනක් සොයාගන්න පුලුවන්වෙයිද කියන ප්‍රශ්නය මගේ හිතේ වැඩකලා මොකද පයින් ගමන් කරන සෙනග සේනාව මෙච්චර නං වාහනවලින් සෙනග තව කොච්චර එන්න ඇද්ද කියල මම කල්පනා කළා...අපිත් එක්ක හිටපු පොඩි අයයි කාන්තාවනුයි කොයි වෙලේ ඇඳට වැටෙනවද කියල හිතමින් හිටියේ.

පල්ලියට යන පාර පටන් ගන්න තැනම තිබුණු හෝටලයක මිදුලෙ රියදුරා කාර් එක නතර කරපුවම හෝටලේ කාමර දෙකක් හිස්ව තිබුනා, ඒක නං හිතාගන්නවත් බැරි වැඩක් අපි ඉක්මනට කාමර දෙකට සල්ලි ගෙවල වෙන්කරගෙන ගිහින් නිදාගත්තා...

ගමන් මහන්සියට කණ්ඩායමටම වැටුණු වැටුණු තැන්වල නින්ද ගිහිං ඇහැරෙද්දි උදේ දහයත් පහුවෙලා ඉක්‌මනට ඇඳ පැළඳගෙන පල්ලියට යන්න පිටත්වුනා...

මහ සිකුරාද දවසෙ සෙනග පාරෙන් එකයි,ඊස් මීස් නෑ පාරෙ අඩිය තියාගන්නත් අමාරුයි...සෙනග අතරෙ තෙරපෙමින් පල්ලිය ආසන්නයටම යනකොට පාරෙ පැත්තක  කාන්තාවන් පේළියක්ම කෑම ජාති හදනවා ඉට්ලි පූරි තෝස පිට්ටු වඩේ එහෙම වට්ටිවල පුරවල තියෙන්නෙ...යන එන වන්දනාකරුවො ඔය කාන්තාවන්ගෙන් කෑම අරගෙන එතනම ඉඳගෙන කන එක සාමාන්‍ය දර්ශනයක්...මටත් ඔය ලෙඩේ තරමකට තියෙනවා...
                                                 

                         

රස ඇති නේද,අපිත් මෙතනින් කමුද...

මම යෝජනාවක් කළා...

ඔයාට නං අප්පා ඉතිං ඕනැ ජරාවක්...බලන්නකො මේ දූවිලි ගොඩේ දාගෙන හදන කෑම කන්න හොඳද...කෑවොත් එහෙම බලාගෙනයි මම නං ඉන්නෙ නෑ යන්න යනවා...

බිරිඳ මගෙ යෝජනාව වහාම නිෂ්ප්‍රභා කළා...

ඔයාට කන්නම ඕනැනං ඔය කෑම ජාතිම අර හෝටල්වල තියෙන්නෙ ගිහිං කන්නකො අපි මොකුත් කියන්නෙ නෑ...මෙතන ලෙඩ හදාගන්න දඟලන්නෙ...
                              
ඔය වගේ අපි දෙන්න සෙනසුරාදට නුංගම්බක්කම්වල මාකට් යද්දි කුකුල් මස් කඩේ ඉස්සරහ කුණු කාණුවෙ ගැට්ට උඩ තියාගෙන ගෑණු කෙනෙක් තෝසෙ හදනව...පොඩි ලිපක් පත්තු කරගෙන,තැටියට තෝස පිටි මිශ්‍රණය දාල ඒ උඩින් බිත්තරයකුත් කඩල අතුරනකොට ...ම්ම්ම් පැත්ත පළාතෙ ඉන්න බෑ එන සුවඳ...

ඔය තෝසයක් කෙහෙල් කොළේ උඩ තියල චට්නි සාම්බාරු ටිකක් එහෙම දාල මාකට් එකේ වෙළෙන්දන්ට කන්න දෙනවා...මම ඔතනට ගියාම ඔය කාන්තාව තෝසෙ හදන දිහා ඇහිපිය නොහෙලා බලන් ඉන්නව, මොකද මේ වැඩේ මට හරිම ඉන්ටරස්ටිං...

බිරිඳ චිකන් කඩෙන් මස් අරගෙන මට යන්න කතා කරනවා...

එන්න යං...

මේ...අපි දෙන්නත් එග් තෝසයක් අරගෙන කමුද...

බිරිඳ මගෙ දිහෑ බැලුව බැලිල්ලක් මම වහාම කරපු යෝජනාව අකුල ගත්තා...

හා යං එහෙනං...

2007දි අපි දෙන්න චෙන්නායි ගිය වෙලාවෙ ඔය නුංගම්බක්කම් කඩමණ්ඩියටත් ගියා ඒ දවස්වල අපි ගියපු මාකට් එක දැන් නෑ,මාකට් එක කඩල එතන තට්ටු ගණනාවක මහ විශාල බිල්ඩිමක් හදනව...තෝසෙ හදපු කාන්තාවත් නෑ මාකට් එක ඉස්සරහ පේමන්ට් එකේ එළවලු වික්ක තට්ටය එක්ක හිටපු  කාන්තාවො කණ්ඩායමත් නෑ එතනම ඉඳගෙන සපත්තු මහපු මනුස්සයත් නෑ...මට මහා දුකක් ඇතිවුණා...මට ඇතිවෙච්චි දුක ඔයගොල්ලන්ට තේරෙයි කියල මං විශ්වාස කරනවා ,අතීත මතකයන් අතරේ අතරමං වීම කියන ලෙඩේ මට තදටම තියෙනවා...

මොකද වටපිට බලන්නෙ තෝසෙ හදන ගෑණි හොයනවද...

බිරිඳ හිනාවෙවී අහනව...ඇයට මගෙ දුක තේරෙන්නෙ නෑනෙ ඒ ගැන විස්තර කරලත් වැඩක් නෑ...

ඒ දවස්වල ඔතන ඉඳගෙන සපත්තු මහපු මනුස්සය එක්කත් මගෙ පොඩි කතාවක් තියෙනව...

පුතාගෙ සපත්තුවක් මහගන්න මම ඔය මනුස්සයට ගිහිං දුන්නා, සපත්තුවෙ අඩිය වටේට මහන්නයි තිබ්බෙ...සපත්තුව තියල ගිහිං මට දවල් වෙලා එන්න කිව්වා...

දවල් වෙලා ගියපුවම පොර ටොප් එකට වැඩේ කරල තිබුණා...මට සපත්තුව දීපුවම ගාණ කීයද කියල මම ඇහුවා...

රුපියල් විසිපහක් දෙන්න...

සපත්තු මහන්නා ගාණක්වත් නැතුව දෙමළෙන් කිව්වා...

ඒ දවස්වල රුපියල් විසිපහකින් තුන් හතර වේලක් කන්න බඩු ගත්තැහැකි...ගාණ බොහොම වැඩියි කියල මම කිව්වා...

හරි කීයක්ද දෙන්නෙ...

රුපියල් පහක් දෙන්නං...

මිනිහට  මල පැන්න පාර  ගාණ සතයක්වත් අඩුකරන්න කැමතිවුණේ නෑ...හිමින් හිමින් පටන් ගත්තු අපි දෙන්නගෙ කතාව ටික ටික වේගවත් වෙලා ලොකු බහින්බස්වීමක් බවට පත්වෙමින් තියෙද්දි අවට පිට හිටපු කීප දෙනෙක්ම මොකද්ද මේ සද්දෙ කියල බලන්න අපි හිටපු තැනට ආවා...

 රුපියල් පහට වැඩේ කරල දෙන්න බැරිනං සපත්තුව ආපහු දීපං...

දෙනව තමයි හැබැයි මැහුං ටික කපල තමා සපත්තුව දෙන්නෙ...

හරි මැහුං කපල දීපං හැබැයි නූල් කෑලි ටික තියන්න බෑ ඒවත් ඇදල දාපං...

පොරගෙ ඇස් දෙක කේන්තියෙන් දිලිසෙනව...සපත්තුව අතට අරං නූල් කපන්න අර පිහිතලෙත් ගත්තා...

අයි අයියෝ...මුං දෙන්නටම පිස්සු...

අපේ බහින්බස් වීම එච්චර වෙලා බලාගෙන හිටපු වයසක මහත්තයෙක් ඔළුවටත් තට්ටු කරගන්න ගමන් කිව්වා...

මං මොනව කරන්නද මේකා මේ පොඩි වැඩේට රුපියල් විසිපහක් ඉල්ලනවනෙ හොඳයි මේකට එච්චර ගාණක් ඉල්ලන්න වටිනවද...

මම පැමිණිල්ල ඉදිරිපත් කළා...

පෙරේතකමට රුපියල් විසිපහක් දෙන්නෙ නෑ කියල දන්නවනං මම මේක මහන්නෙත් නෑ...

සපත්තු මහන්නා විත්ති වාචකය දක්වන්න වුණා...

මම ඔවුන්ගෙ රටේ කෙනෙක් නෙවෙයි කියල දැනගත්ත වයසක මහත්තය මට ඉංග්‍රීසියෙන් කතා කළා...

එහෙම නෙවෙයි  තව කීයක් හරි වැඩියෙන් දීල මේක බේරගම්මු දුප්පත් මිනිහෙක්නෙ,නැති බැරි කමට සපත්තු මැහැව්වට ඒ මිනිහටත් ආත්ම ගෞරවයක් තියෙනවනෙ ඔබ මෙහෙම බැනපුවම ඒ මනුස්සය හෙට කොහොමද මෙතන ඉඳන් වැඩකරන්නෙ...

මට ප්‍රශ්නයක් නෑ රුපියල් විසිපහක් දෙන්න පුළුවන් නමුත් විදේශිකයෙක් කියල දැනගෙන ගසාකන්න හදන එකට මම විරුද්ධයි...ඒකයි මම රණ්ඩු කළේ...

පස්සෙ අර මහත්තය සපත්තු මහන්නටත් කතා කරල එච්චර සල්ලි ඉල්ලපු එක ගැන දොස් කිව්වා...

රුපියල් දහයක් අරං සපත්තුව දෙන්න කැමතිද...

                                       
සපත්තු මහන්නා එකඟවුනා,මම රුපියල් දහය දීල සපත්තුවත් අරං ගෙදර ගියා...වෙලාවට මේ දර්ශනයෙ එකම තැනකවත් බිරිඳ හිටියෙ නෑ,හිටියනං මට රණ්ඩුවෙන්න දෙන්නෙ නෑ මටත් බැනල අර මනුස්සයට රුපියල් විසිපහ දීල මාවත් ඇදගෙන ගෙදර යනවා...

ඊට පස්සෙ මම මිනිහගෙ මූණවත් බැලුවෙ නෑ කියල ඔයගොල්ලො හිතනව ඇති...නෑ අපි නුංගම්බක්කම් වලින් යනතුරුම අපේ කැඩුණු සපත්තු සෙරෙප්පු හැදුවෙ මිනිහමයි...එදායින් පස්සෙ අපි දෙන්න හොඳම හිතවතුන් වුණා,සපත්තු සෙරෙප්පු හදල සල්ලි කීයක් ඕනැද කියල මම අහපුවම...

කීයක් හරි දීල අරං යන්න මහත්තයා...

කියල කියනව,එතකොට මම වැඩේ වටිනාකමටත් වැඩියෙන් සල්ලි දෙනවා...

ආයෙම දවසක ඔය පුරුසවල්කම් මාළු මාකට් එකට මාළු ගන්න ගිය වෙලාවක වෙච්චි වැඩක් මේ...

ලෑලිවල තියෙන මාළු බලාගෙන යනකොට හොඳ තෙල් පාටට පරා මාළුවෙක් තියෙනව දැකල ගාණ අහපුවම කිලෝව තිහයි කිව්වා...ඒ ගමන පරවගෙන් කිලෝ එකක් කප්පගෙන කෑලිත් කපල ඔතල දුන්නට පස්සෙ ගාණ හතළිහයි කියල වෙළෙන්දා කිව්වා...

                                         

ඇයි තිහයි කියල නේද කිව්වෙ...

නෑ මහත්තය ගාණ හතළිහයි...

නෑ නෑ තමුන් මුලින් තිහයි කියල මම පිටරට කෙනෙක් කියල දැනගත්තම දැන් ගාන වැඩිකරල කියනව...මුලදි හතළිහයි කිව්වනං මම ඒත් දෙනව මොකද මේ මාළුව හතළිහට වටින නිසා...දැන් මාව ගසාකන්න හදන නිසා මම සතයක්වත් වැඩිපුර දෙන්නෙ නෑ දෙනව නං තිහක් අරං දෙනව නැත්නං නිකං ඉන්නව...

නෑ නෑ මම මුල ඉඳලම හතළිහයි කිව්වෙ දැන් කපලත් ඉවරවුණාට පස්සෙ ගාණ අඩුකරන්න හදන්නෙ ඇයි...

මගෙ තාම හොඳට කන් ඇහෙනව මනුස්සයො...

දැන් කතාව නැගලම යනව හැබැයි අපි දෙන්න විතරයි එදා වගේ ගෝරි බේරන්න කිසි කෙනෙක් හිටියෙ නෑ...මාළු වෙළෙන්දගෙ කතාවට මට හොඳටම තදවෙලා හිටියෙ...මල පැනපු පාර මම බැන බැන වටපිට බලනව දැකපු මනුස්සය ලෑල්ල උඩ තිබ්බ මාළු කපන මන්නෙ අරං ලෑල්ල යටින් තිබ්බා...

රුපියල් සීයක විතර රණ්ඩුවෙලා ලේත් පුච්චගෙන මාළුත් අරං ගෙදර ආවා...

ඔය අපේ බිරිඳ ඉන්නව නේද කවදාවත් තනියම මාකට් යන්නෙ නෑනෙ මාවත් ඇදගෙනම තමයි යන්නෙ...අසනීප වුනත් ගෙදර ඉන්න දෙන්නෙ නෑ...

ටික වෙලාවනෙ ඔන්න ඔහෙ ගිහිං ඉක්මනට එමු ...

කියල අහිංසක මාවත් ඇදං යනවා...

                       
 මෙයා තනියම මාකට් නොයන හේතුව මම හිමිහිට හොයල බැලුවා...ඔය පොළේ එළවලු විකුණන ගෑණු ඉන්නවනෙ ඒ ගෑණු එළවලුවල ගණං කියන්නෙ දෙමළෙන් උන්ට ඔය ගණං ඉංග්‍රීසියෙන් කියන්න බෑනෙ...මෙයාට දෙමළෙන් කියන ගණං තේරෙන්නෙ නෑ...

කතා කරන ඒව නං අන්ඩර දෙමළ හරි කියල තලාගන්න බැරියැ ගණං වැරදුනොත් කෙලින්ම පොකැට් එකට බලපානවනෙ...ඔන්න ඔය හේතුව නිසා වැඳල හරි මාවත් ඇදගෙන යනවා...මමත් මාකට් ගිහිං මෙයා බඩු ගන්නකං පැත්තකට වෙලා තල්මද උරයක් හරි රටකජු හරි  කකා ඉන්නව...

මේ   ඒයි...මෙන්න මෙයා කීයක් ඉල්ලනවද බලන්න...

 ඔන්න එතකොට මම ඉදිරිපත් වෙලා දෙන්නගෙ ගණුදෙනුව බේරල දෙනවා...

දෙමළ විතරක් නෙවෙයි පස්සෙ කාලෙක අපි බෙල්ජියමෙ පදිංචිවෙලා ඉන්නකොටත් එහෙමයි...ප්‍රෙන්ච් වලින් කියන ගණං මෙයාට තේරෙන්නෙ නෑ...

දවසක් පාන් කඩේ කෙල්ල යුරෝ එකයි කියපුවම මෙයා සතයක් දීලා...බොහොම අමාරුවෙන් තමා කෙල්ල ගණුදෙනුව කරගෙන තියෙන්නෙ...ඇයි අං කියපු ගමං මෙයා සතේනෙ දෙන්නෙ...


කෙල්ල පස්සෙ දවසක පුතාට කතාකරල කියල තියෙනවා...

අම්මට ඕනැ දේවල් අහල ඔයා කියන්න...ඔයාට ප්‍රෙන්ච් පුළුවන්නෙ...

ඔන්න ඔය විදියට වැඩේ ගොඩ දාගෙන තියෙනවා...

මතු සම්බන්ධයි...




Saturday, October 12, 2013

95.හුදෙකලාව ලියූ කවි




අද මම ඔබ හමුවෙන්නෙ කවි පෙළකුත් එක්කයි,මට නං කවි රස විඳිනව මිසක ලියන්න බෑ...මේ කවි ටික මට එව්වෙ මගේ බ්ලොගයේ පාඨකයෙක් වන,මම මෙතන පාඨකයෙක් කිව්වෙ පුළුල් අර්ථයෙන් මොකද පාඨකයා කියන වචනය කාන්තාවන් විෂයෙහි යෙදෙන්නෙ කුමන ආකාරයකටද කියල මම නොදන්නා නිසාවෙන්...පාටිකාව කියනවද එහෙම නැත්නං පාටකිය කියනවද කියල තෝරාබේරා ගන්න විදියක් නෑනෙ දන්න කෙනෙක් ඉන්නවනං කිව්වොත් ලොකු දෙයක්.

හැබැයි භටයා කියන වචනය කාන්තාව විෂයෙහි යෙදෙන ආකාරය නං මම ලඟදි ඉගෙන ගත්තා...ඒ ලංකාදීප ඊ පත්තරෙන්,අර ගුවන් හමුදා භටයෙක් තමුන් ආදරේ කරපු(මේ වචනය යෙදීමට නං විශාල ප්‍රශ්නාර්ථයක් තියන්න ඕනෑ,ආදරයක් තිබුනනං බැල්ලියෙකුට වගේ වෙඩි තියල මරල දාවිද)ගුවන් හමුදාවෙම සෙබළියෙකුට වෙඩි තියපු වෙලාවෙ ඒ ගැන ලංකාදීපෙ පලවෙලා තිබුනා  ගුවන් හමුදා භටයෙක් සහ භටවියෙකුට වෙඩි තබා මරා දමයි කියල...

ඉතිං බලන්න පුවත්පත් කලාවට වගේම සිංහල භාෂාවට මේ මාධ්‍යවේදීන් කරන සේවය නිසි ඇගයීමකට ලක්වෙලා නැතිය කියලයි මට නං හිතෙන්නෙ.

හැමදාම සම්මාන ලබන්නෙ සහ ඇගයීමට ලක්වෙන්නෙ ඔය අපේ හිතවත් කාරියකරවනයන් වගේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් නොවැ ඒ අයවම හැමදාම අගයකරන එක වැරදියි,මෙවැනි නවතම වචන සිංහල ශබ්ද කෝෂයට එකතු කරන ගවේෂණශීලී සහ නිර්මාණශීලී මාධ්‍යවේදීන්වත් අගයකල යුතුමයි.

කාරියකරවන මහත්තය මතක්වෙච්චි වෙලාවෙ මට එතුමන් ගැන කතාවකුත් මතක්වුනා...

ඒ  2009අවුරුද්ද වගේ මට මතක පෙබරවාරි මාසෙට යෙදෙන කාරියකරවනයන්ගෙ උපන්දිනයට මම එතුමාට ටෙලිපෝන් කරලා සුබ පැතුවා...සුබ පැතුමෙන් පස්සෙ අපි දෙන්න අතර ඇතිවෙච්චි සංවාදය මෙහෙමයි...

මම මේ .... කතා කරන්නෙ...

... කියන්නෙ කවුදඅඅ...

මම ....අර මැඩ්රාස් වලදි අර අර පෑන් ...

ආ හරි හරි දැන් මතකයි කොහෙද ඉන්නෙ ලංකාවෙද...

නෑ මම මේ දවස්වල නං ඉන්නෙ ඇමෙරිකාවෙ...

එහෙමද, ලංකාවට එන්නෙ කොයි කාලෙ වාගෙද...

හරියටම කියන්න බෑ ඉතිං,පුළුවන් වුනොත් මේ අවුරුද්දෙ අන්තිමට විතර නිවාඩුවකට ඇවිත් යන්න එන්න හිතාගෙන ඉන්නව...

හොඳයි හොඳයි ආවහම මාවත් බලන්න එන්න ඕනෑ හොඳද...

නොවැරදීම එන්නං...

මට ඔහෙ ඇඩ්රස් එක දෙන්නකො, අලුත් පොතක් තියෙනව එවන්න...

මම ඇඩ්රස් එකත් දීල එතුමන්ගෙන් සමුගත්තා...මම කතාකරල සුබපතපු එක ගැන එතුමන් සතුටින් ඉපිලෙමින් හිටියෙ...මොකද එපමණ කල් ගිහිනුත් එතුමන්ගෙ උපන් දිනේ මතක තිබීම ගැන එතුමන්ට හරිම සතුටුයි...ඇත්තම කිව්වොත් එතුමගේ උපන් දිනේ මතක තියාගන්න කරදර වෙන්න ඕනැ නෑ, කොහෙත්ම කරදර වෙන්න ඕන නෑ උදේම පත්තර බලනකොට ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී කාරියකරවනයන්ට සුබ උපන් දිනයක් වේවා කියල පත්තරවල තියෙනවනෙ...අපට තියෙන්නෙ ඊට ටිකකට පස්සෙ කතාකරන එකයි...හරියට මතක තියාගෙන හිටිය වගේ...

ඊට සතියකට විතර පස්සෙ කාරියකරවනයන්ගෙ අලුත් පොතක් මට තැපෑලෙන් ලැබුනා...ඊටත් දවස් දෙක තුනකට පස්සෙ මට යාලුවන්ගෙන් මඩ බාල්දි පිටින් වදින්න ගත්තා...ඊ මේල් වලිනුයි කෝල් දෙනවයි එක වැඩයි...

මොකද කියල බලපුවම නයි ටී ඇන් එකේ කාරියකරවනයන්ගෙ සාකච්ඡාවක් තිබිල තියෙනව ඒකෙ මගෙ නමත් ගෑවිලා තිබ්බලු,මම පස්සෙ වෙලාවක ඒ සාකච්චාව හොයාගෙන බැලුවා...සාකච්ඡාව මෙහෙයවන කෙල්ල බෝලෙ උස්සල දුන්නම කාරියකරවනයන් උඩ පැනල ඩෑෂ් ගහන්නෙ හෙන ගහනව වගේ...ඒකෙ කොටසක් මෙහෙමයි...

ඔබතුමන් ලංකාවෙ ජීවත්වන ජ්‍යෙෂ්ටතම මාධ්‍යවේදියා,ඒ වගේම කීර්තිමත් සාහිත්‍යධරයෙක් හැටියටත් ඔබතුමා ප්‍රකටයි...ඔබතුමන්ගෙ සාහිත්‍ය ජීවිතය ගැනත් යමක් කියනව නං...

ඔන්න බෝලෙ එතුමට පාස් වුනා දැන් දෙනව ඩෑෂ් පාර හතර අතේ...

ඒ වගේම ඔබතුමන්ට ලොකු පාඨක පිරිසකුත් ඇති නේද...

පාඨකයො කියන්නෙ ලංකාවෙ පමණක් නොවෙයි ලෝකෙ පුරාමත් මගෙ පාඨකයො විසිරිලා ඉන්නව...මේ ලඟදි ඇමෙරිකාවෙ ඉන්න....කියල මහත්මයෙක් මට ටෙලිපෝන් කරලා මම ලියපු අලුත් පොත ගැන ඇහුවා...ඔහුට ඒ රටේ පොත ලබාගන්න ක්‍රමයක් නැති නිසා මට පොත තැපැල් කරල යවන්න සිද්ද වුනා...පොතේ මිළ රුපියල් තුන්සිය ගානයි තැපැල් ගාස්තු රුපියල් දෙදාස් නමසිය ගානක් ගියා...

ඔන්න ඔය කතාවට තමයි මට මඩ ගොඩවල් වැදුනේ...

තවත් සාහිත්‍යධරයෙක් මට චෙන්නායි වලදි මුණ ගැහුනා ඔහු ඒ දිනවල රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක්...ඔහු විශ්ව විද්‍යාලයේ රාජකාරි කරන සමයේදී ලියූ නවකතා කෙටිකතා එකක් නෑර මා කියවා තිබුණු නිසා ඔහු ගැන මගේ හිතේ ලොකු  හැඟීමක් තිබුනා...හරියටම කිව්වොත් පිළිමයක් මෙන් විශාල ප්‍රතිරූපයක් ඔහු ගැන මගෙ හිතේ ගොඩනැගිල තිබුනා...නමුත් මුණගැහිල විනාඩි ගාණක් ඇතුළත ඒ පිළිමය මගේ දෙපාමුල කඩා වැටුනා කියල කියන්නත් කනගාටුයි...නමුත් ඇත්තටම සිදුවුනේ ඒකයි...එතරම් රසවත් නවකතා කෙටිකතා ලියූ ඔහු කිසිම රසක් නැති මිනිහෙක්...

ඒ කතාව අවුරුදු දහඅටක් පමණ ඈතට දිවයනවා...කාලය 1994මහ මැතිවරණ සමය, බස්නාහිර මහ ඇමතිවරිය වූ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණ මහ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන ලකුණු හතර අතින්ම පෙනෙන්නට තිබුනා...මහ ජන්දයේ පෙරමුණේ ලැයිස්තුවට මෙන්න මේ මම කියන විශ්ව විද්‍යාල ආචාර්ය වරයාගේ නමත් ඇතුළත්ව තිබුනා...

දවසක්දා මම ටවුමෙ ඉඳන් පයින්ම ගෙදර යද්දී පාරෙදී මගෙ හිතවතෙක් මුණගැහුනා,අපි දෙන්න කතාකරමින් යන ගමන සුපුරුදු පරිදි මහ ජන්දය ගැන කතාව ඇදිල ආවා...

මචං...මහත්තයටත් මනාපයක් දීපං...

හිතවතා මට කියාසිටියා...ඒ වෙනකොටත් මම තැපැල් චන්දෙ පාවිච්චි කරල හිටියත් මම ඒ ගැන කියන්න ගියෙ නෑ...

ඒ ඇයි බං උඹේ යාලුවෙක්‌ද...

නෑ මචං අපේ ලොකු අයියගේ ගුරුතුමානෙ...

යාලුව මනාප හිඟාකන හේතුව මම එතකොටත් දැනගෙන හිටියේ...අර චන්ද අපේක්ෂකයා ඔවුන්ගේ කුලයට අයිති කෙනෙක්...

තමන්නෙ එකා වීම හෙවත් තම කුලයට අයත් නිසා,නෑදෑකම් හිතවත්කම් නිසා,ගමේකම නිසා චන්දය පාවිච්චි කිරීම මම දන්න දවසෙ ඉඳන්ම පිළිකුල් කරපු දෙයක්...ලංකාවට මේ වින්නැහිය වෙලා තියෙන්නෙ ඔන්න ඔය ආකාරයට චන්දෙ ගත්තු අපතයො දේශපාලනයට එකතුවීම නිසාය කියල මට තවම හිතෙනවා...

කොහොමහරි මහ චන්දෙදි මේ අපේක්ෂකයත් දිනල නියෝජ්‍ය ඇමතිකමකුත් හම්බවුනා...

ඊට පස්සෙ ලංකාවෙ ප්‍රකට සාහිත්‍යකරුවන් කණ්ඩායමකුත් එක්ක චෙන්නායි වල සංචාරය කරද්දී මට මේ පුද්ගලයාව මුණගැහුනා...

සාහිත්‍යය ගැනත් ඔහු ලියූ කෘතීන් ගැනත් ප්‍රමාණවත් දැනුමක් මට තිබුණු නිසා කතාව එපමණ අසීරු වුණේ නෑ...ඔහුගෙ ස්වයං ලිඛිත චරිතාපදානයක් මාස කීපයකට පෙර නිකුත්වී තිබුණු බව මම දැනගත්තෙ ඒ මොහොතේදීයි...චරිතාපදානයේ නම ඔහුගෙන් මම අහද්දී ඔහු මා වෙත හෙලුවේ නොපහන් බැල්මක්,හරියටම සියලුම ලාංකිකයින් ඔහු ලියපු පොත ගැන දැන සිටිය යුතුයි යන හැඟීම ඔහුගෙන් පළවුනා...

කෘතියේ නම ඔහු පවසා සිටියේ අවඥාවෙන් යුත් බැල්මක්ද සමගයි...

ඔහු විසින් ගොඩනගා තිබූ පිළිමය දෙදරා මගෙ දෙපාමුල ඇදහැලුනෙ ඒ මොහොතේදීයි...

මේ පුද්ගලයගෙ චරිතාපදානය මහාචාර්ය සුචරිත ගම්ලතුන් දැඩි ලෙස විවේචනය කලේ එය ආණ්ඩුවෙ දේශපාලකයෙකුගේ පම්පෝරියක්‌ පමණයි කියමින් ...

ඊළඟ මහ මැතිවරණයේදී ඔහුට දුක්ඛිත පරාජයක් උරුම වුනා...

ඉතිං මගේ බ්ලොගයේ පාඨකයෙක් සහ කමෙන්ට් කාරිනියකද වන සඳා මට එවා ඇති කවි පෙළ පහතින් එකතුකරනවා...ඒ වගේම අද ඇයගේ උපන් දිනයයි ඇයට සුබ උපන් දිනයක් වේවායි කියා මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

හුදෙකලාව

සියොලඟම දැවටිගෙන
අත් ඇඟිලි පටලාන
යනෙන තැන් පුරාවට
හිඳින...
ඔබයි මා සුපෙම්වත

කිසිදිනෙක වෙන්නොවෙමු
ගිවිසගත් විලසින්ම
රැඳෙන කිසිවෙකුවෙනම්
ඔබයි මා සුපෙම්වත

වැළඳගමි සෙනෙහසින්
මුවතබා හාදුවක්
පපු කුහර හිස්කරන
සුසුම් පොද සමගින්ම

දනියි මෙදියත පුරා
නුඹ සෙනේ ඉඳුරාම
මුණගැසුනු කිසිවෙකුත්
පෙම්බඳියි නුඹටනම්

නුඹයි මා සුපෙම්වත්
සදාකල් පෙම්වතා
සදාදර පෙම්වතා
හුදෙකලාව






Sunday, October 6, 2013

94.කොන්දේසි සහිත ආදරය නළ දරුවෝ සහ වෙනත් කතා


  
 කොන්දේසි සහිත ආදරය 3
 කොන්දේසි සහිත ආදරය 2
 කොන්දේසි සහිත ආදරය 1 

ආදරයට ආදරය කරපු තනුජාට සිද්දවෙච්චි අකරතැබ්බය කෝච්චියෙ ගිය අපි කාගෙත් සිත් තුල තිගැස්මක් කම්පාවක් ඇතිකළා, වැඩියත්ම අකම්පාල වුණේ රැවුලා...

චිහ්...ඔය කෙල්ල හැංගෙන්නෙ නැතුව ඇවිත් අපට කතාව කිව්වනං අපි උදව් නොකර ඉන්නවද...අපරාදේ විහිං අමාරුවෙ වැටුනා මට කිව්වනං ඔය දරුවත් මම හදාගන්නවනෙ...

රැවුලා පොඩි දරුවන්ට පුදුම විදියට ආදරෙයි පොඩි එකෙක් දැක්කොත් මැරෙන්න හදනව,කරුමෙට ඌටම දරුවො නෑ...ඒ දවස්වල අපි කොහෙහරි ගමනක් ගියොත් ගමන යනකං එනකං අපේ පුතා යන්නෙ රැවුලගෙ අතේ...අතේ කිව්වට හරියටම කිව්වොත් කරේ...

ආ මගෙ චූටි පුතා එන්න පුතේ රැවුල් මාමගෙ අතට...

පුතා දැක්ක ගමන්ම එහෙම කියල අරගෙන කරේ තියාගත්තම කොල්ලත් අහිකුණ්ටිකයගේ කරේ යන රිළා පැටිය වගේ වට පිට බල බල යනව...

අපි චෙන්නායිවල ඉද්දි මම රැවුලට කියල එව්වා ඇවිත් දරුවෙක් හදාගනින් කියල...චෙන්නායිවල G Gහොස්පිටල් එකේ ඔය ටියුබ් බබාල හදල දෙනවනෙ...මම එහෙ ඉද්දි ලංකාවෙ කාන්තාවො හත් අට දෙනෙක්ම ඇවිත් දරුවො හදාගෙන ගියා...

GGකියන්නෙ ජෙමිණි ගනේෂන් කියන එක...ජෙමිණි ගනේෂන් කියන්නෙ හැට හැත්තෑව දශකවල ද්‍රවිඩ සිනමාවෙ හිටපු පතාක යෝධයෙක්(නොදන්න තරුණයින්ගේ දැනගැනීම පිණිසයි)ඉතිං ජෙමිණි ගනේෂන්ගෙ එක බිරිඳකට දරුවන් ඉඳල නැති නිසා දරුවන් නැතිව දුක්වෙන කාන්තාවන්ට පිහිටවෙන්න මේ රෝහල ආරම්භ කරලා තියෙනවා...රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියත් ජෙමිණිගෙ දුවෙක්...

ඔය ප්‍රතිකාර ගන්න ඉන්දියාවට එන්න ඉස්සෙල්ලා තමන් දන්න දන්න මාර්ගවලින් චෙන්නායිවල තියෙන සම්බන්ධකම් හොයනවනෙ... අන්න ඒ ආකාරයට කිසිදාක දැකලවත් කතාකරලවත් නැති ජෝඩුවලටත් උදව් කරන්න අපට සිද්ධවුනා, කොහොම කලත් පිංකමක්නෙ...

එක සැරයක් අපිත් එක්ක කෝස් එකක් කරපු කෙල්ලක් G G එකෙන් ප්‍රතිකාර ගන්න ආවා  අපි ඇයට වරුණි කියමු...

වරුණි වැඩකලේ රාජ්‍ය බැංකුවක බැඳල හිටියෙත් ඒ බැංකුවෙම වැඩකරන කොල්ලෙක්,  අපි ඔහුට රාමනායක කියල කියමු...

මේ දෙපොළට ඉඩ කඩම්,ගෙවල් දොරවල්,ධන ධාන්‍ය ආදී සියළුම වස්තුව අසීමිතව තිබුනත් ගෙදර පාළුව මකන්න දරුවෙක් හිටියෙ නෑ...දරුවෙක් අරන් හදාගමු කියල රාමනායක යෝජනා කලත් ඒකට වරුණි කිසිසේත්ම කැමති වුණේ නෑ...ඇයට අවශ්‍ය වුණේ ඇගේම කිරි දීල හදාගන්න ඇගේම ළමයෙක්...අන්තිමේදී චෙන්නායිවල GG රෝහලේ පිහිට සොයා යන්න මේ අඹුසැමි යුවළ තීරණය කළා...


ඒ අනුව වැඩ කරන බැංකුවෙන් නිවාඩු ගත්තු මේ යුවළ 1998 ග්‍රීෂ්ම සෘතුවෙ එක්තරා සැන්දෑවක චෙන්නායි නගරයට සම්ප්‍රාප්ත වුණා...

චෙන්නායිවලදී වරුණිව මට අහම්බෙන් හමුවුණා...මොකද අපි අර කෝස් එක කරල ඉවරවුනාට පස්සෙ අවුරුදු පහළොවකින් විතර හමුවෙලා තිබුනෙ නෑ...කොහේ ඉන්නවද මොකද කරන්නෙ ආදී කිසිම විස්තරයක් දැනගෙන හිටියෙ නැති නිසා ඔවුන් චෙන්නායිවලට එන බව මම කොහෙත්ම දන්නෙ නෑ...

වරුණිනං මාව දැකපු ගමන් අඳුනගෙන කතාකළත් මට ඇයව එකපාරටම අඳුනගන්න බැරිව ගියා ඒ දවස්වල පැන්සල වගේ හිටපු කෙල්ල පීප්පයක් වගෙ ආරලා...තෙල් මන්ද ඇවිත් වෙන්න ඇති...

දවස් කීපයකින් වරුණි GGඑකේ නැවතිලා මූලික ප්‍රතිකාර ආරම්භ කළා...ඊට මාසයකට විතර පස්සෙ නළයක සංසේවනය කල කළලය සුබ මොහොතින් වරුණිගෙ ගර්භාෂයේ තැන්පත් කළා...සුබ මොහොතින් කිව්වෙ ඇත්තෙන්ම ඒ සුභ මොහොතක්...උදෙන්ම හොඳින් නා පිරිසිදුවන ප්‍රධාන  වෛද්‍යවරිය රෝහලේ ඇති දේවාලයේ පැයක් විතර දෙවියන් නැමදල ස්තෝත්‍ර ආශීර්වාද මැදින් ශල්‍යාගාරයට පැමිණෙනවා...ඉන්පස්සෙ සිහිනැතිකරපු කාන්තාවගේ ගර්භාෂයේ සංසේවනය වූ කළල කිහිපයක් ඇගේ අතින්ම තැන්පත් කරනවා ...

බොහෝවිට කළල දෙකතුනක් තැන්පත් කරන්නෙ එකක් හරිනොගියොත් අනික් එක කියලයි...මේ නිසාම සමහර කාන්තාවන්ට නිවුන් දරුවන් ලැබෙන අවස්ථාද තියෙනවා...

පලවෙනි වතාවට වරුණිට කරපු ගැබ් ගැන්වීම අසාර්ථකයි...කාලෙ වැරැද්ද වගේම නොලැබීමත් වෙන්න ඇති... ග්‍රීෂ්ම කාලය කොහොමත් දරු පිළිසිඳ ගැනීම්වලට එතරම්  හිතකර නෑ...

සිහිය එද්දී මම ගොඩක් දඟලල තියෙනව...මොනව කරන්නද මගේ නොලැබීමට...

වරුණි බොහොම දුකින් කියාසිටියා...

එක පාරෙන් අධෛර්ය වෙන්න එපා ආයෙම උත්සාහ කරල බලන්න...

මම ඒ දෙන්නට කිව්වා...ඊළඟ අවුරුද්දෙ ආපහු එනව කියපු ජෝඩුව ලංකාවට ගියා...

ඔන්න ඔය දවස්වලම තවත් කාන්තාවක් දරුවෙක් ලබාගන්න චෙන්නායිවලට ආවා...ඇයත් කොහෙන් කොහෙන් හෝ මගේ සම්බන්ධකමක් හොයාගෙන ඇවිත් මට කතාකලා...

ඇය ලංකාවෙ හොඳ ඉහළ රැකියාවක් කරන කාන්තාවක්...විසිටින් කාඩ්එක බලපුවම නමට යටින් ඇය ලබාගත් උපාධි පේළියක්ම තියෙනවා...නම වගේ දෙගුණයක් උපාධි පේලිය දිගයි...

ඇයත් GGරෝහලට ඇතුල්වෙලා කළලය තැන්පත් කිරීම සාර්ථකව සිදුකරගත්තා...කළලය ස්ථිරව ගැබතුල පිහිටලා ඇතිබව දැනගන්නතුරු කාන්තාවන්ට ඇඳෙන් නැගිටීම තහනම්...අඩුතරමින් වැසිකිළියට යාමට පවා ඇඳෙන් නැගිටින්නට අවසර නෑ...කෑම් බීම් මළපහ කිරීම් ආදී සියල්ලම ඇඳේ දිගාවී සිටම කරගත යුතුයි...ඔය කටයුතු සියල්ලම තනියම කරගන්න අමාරු නිසා ඇගේ උදව්වට ලංකාවේ ඉඳන්ම කෙල්ලක් එක්කරගෙන ඇවිත් තිබුනා...

මේ කාන්තාව හරිම නපුරුයි,මොන තරම් නපුරුද කිව්වොත් ඇය ඇඳේ ඉඳගෙනම අර උදව්වට ආ කෙල්ලත් එක්ක රණ්ඩු කරන්නට පටන් ගත්තා...

සාමාන්‍යයෙන් දරු පිළිසිඳ ගැනීම් සිදුවෙද්දී කිසිම නපුරු සිතුවිල්ලකින් තොරව මෛත්‍රී  සහගතව සාමකාමී පිරිසිදු සිතින් යුතුව සිටිය යුතු වුනත් මේ කාන්තාව හැසිරුනේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට...දවසක් උදව්වට සිටි කෙල්ලත් එක්ක රණ්ඩු කරගත්ත පාර ඇය ඇඳෙන් පැනල පුටුවක් උස්සල කෙල්ලට ගහගෙන ගහගෙන ගියා...ඒත් එක්කම අර සාර්ථකව තැන්පත් කරපු කළලයත් ආගිය අතක් නැතිව ගියා...

ආපහු ඇවිත් නිකං බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා...

ඇය ආපහු ලංකාවට යන්න සූදානම්වෙද්දී මම පොඩි අවවාදයක් දුන්නා...උපාධි ගෝනියක් තිබුනත් මොළේ නැත්නම් ඇති වැඩක් නෑනෙ...

කිව්වත් වගේම ඊළඟ අවුරුද්දෙ ජනවාරි මාසේ වරුණිල ආපහු ඇවිත් මාව මුණගැහුනා...

ඔන්න කාලෙත් හොඳයි දෙයියනේ කියල මේ පාරවත් වැඩේ හරියට කරගන්න,ඔච්චර වියදම් කරන එකේ ප්‍රතිපලයකුත් තියෙන්න එපැයි...

වරුණිත් රාමනායකත් රෑ කෑමකට අපේ ගෙදරට ආපු වෙලේ මම එහෙම කිව්වා...ඊට සති කීපයකට පස්සෙ වරුණිගෙ කළල තැන්පත් කිරීම සාර්ථකව සිද්ධ කළා...මේ ක්‍රමය ස්වභාව ධර්මයට පටහැනි ක්‍රියාවක් නිසා කළලය තැන්පත් කල මොහොතේ පටන් ගර්භාෂයෙන් කළලය ප්‍රතික්ෂේප වෙනවා...එය වලක්වන්න ගර්භය ස්ථිරව පිහිටන තුරුම හෝමෝන එන්නත් කිරීම දකින්නට පුළුවන්...බොහෝ වෙලාවට හෝමෝන එන්නත ලබාදෙන්නෙ තුනටියටයි,ඒ සිරින්ජරය ටෝච් කඳක් විතර මහත ඇති, කටුවත් සෑහෙන්න මහතයි...එන්නතේ ප්‍රතිපලයක් විදියට විදින තැන්වල ලොකු ගෙඩි මතුවෙනවා...ඒ ගෙඩිත් තවමින් නැවත නැවත එන්නත් ලබාගන්න කාන්තාවකට පුදුම ධෛර්යයක් අවශ්‍ය වෙනවා...

වරුණිගෙ ළඟ ඉන්න කාන්තාවකුත් මම එහෙන්ම හොයල දුන්නා, මාස හතෙන් සීසර් කරල දරුව ගන්නතුරු වෛද්‍ය සෝදිසිය පිට වරුණි චෙන්නායිවලම ඉන්න අවශ්‍යයි...

හැම දේම සාර්ථකව සිදුවෙලා වරුණි ගැබ්ගත් ලක්ෂණ පෙන්නුම් කරන්න වුනු අවස්ථාවෙ රාමනායක ලංකාවට යන්න සූදානම් වුණා...

මගෙ නිවාඩු ඉවරයි මචං මම යනව... වරුණිට අවශ්‍ය දෙයක් බලල කරල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්...

අපි දෙන්නට එහෙම කියපු රාමනායක ආපහු ලංකාවට ගියා...ඊට මාස කීපෙකට පස්සෙ විබාගෙකට වාඩිවෙන්න මටත් දවස් තුන හතරකට  ලංකාවට එන්න වුණා...කොළඹදී මාව මුණ ගැහුණු රාමනායක වරුණිට ගිහිං දෙන්න කියල මට පාර්සලයක් දුන්නා...බලපුවම පාර්සලේ කිලෝ විස්සක් බරයි...

ආපහු චෙන්නායි එන දවසෙ මම බඩුත් අරන් එයාපෝට් එකේ  බුකිං කවුන්ටරේට ගිහිං බෑග් දෙක තරාදියෙන් තිබ්බම කෙලින්ම කිලෝ හතළිහයි...ඒ දවස්වල එක මගියෙකුට ගෙනියන්න දෙන්නෙත් කිලෝ විස්සයි...

මාර උහතෝකෝටිකයක්, කවුන්ටරේ හිටපු කොල්ලට මම ටිකට් එකයි පාස්පෝට් එකයි දුන්නා...

අයිය චෙන්නායිවල ....... තැනද වැඩ කරන්නෙ...

ඔව් ඇයි මල්ලි...

මම තව සති දෙකකින් චෙන්නායි එනව මගේ පුතාගෙ ඔපරේෂන් එකකට, මොනවහරි උදව්වක් ඕනැ වුනොත් කරල දෙන්න පුලුවන්ද...

මෙන්න මගෙ කාඩ් එක...ඔයා ඕනැ වෙලාවක ඇවිත් මට කතාකරන්න ...

බෑග් වල බර ගැන වචනයක්වත් කතා නොකළ කොල්ල මගෙ බෝඩිං පාස් එක දුන්නා...

පහුවදා හවස අපි තුන්දෙනාම රාමනායක දීපු පාර්සලේ වරුණිට දෙන්න වරුණි හිටපු ගෙදරට ගියා...ටිකක් වෙලා කතා කර කර ඉඳල තේත් බීල අපි පයින්ම ආපහු එන්න පිටත්වුනා...ටිකක්දුර එනකොට අපිව පහුකරගෙන ගිය කාර් එකක් නවත්තල පස්සට ආවා, බලපුවම අපේ හිතවත් බෝස්ගෙ බිරිඳ ...

කොහෙද ගියෙ,නගින්න අපේ ගෙදර යමු මේ ළඟ ...

හැන්දෑවෙලත් වැඩියිනෙ අපි වෙන දවසක එන්නං...

බෑ බෑ ආයේ කවද එයිද කවුද දන්නෙ දැන් යමු නගින්න...

ඇය අපිවත් වාහනේ නග්ගගෙන ගෙදර ගියා...බෝස් කිව්වෙ ලංකාවෙ ඉඳන් ඉන්දියාවට ඇවිත් තමිල්නාඩුවෙ සාර්ථක හෝටල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙක්...තමිල්නාඩුවෙ කීප පොලකම ඔහුගෙ සංචාරක හෝටල් පිහිටලා තියෙනවා...එක හෝටලයක් තියෙන්නෙ මහාබලිපූරම්වල,අපි මහාබලිපූරම්වල නටබුන් දේවාල එහෙම බලන්න ගියාම දවල්ට කෑම බෝස්ගෙ අයිඩියල් බීච් හෝටලෙන්...එදාට ඔහු ඉස්සො කකුළුවො බෙල්ලො සහිත සුපිරි මුහුදු ආහාර වේලක් අපට පිළියෙළ කරල දෙනවා සල්ලි ගන්නෙත් නෑ...අපි කට්ටිය පොන්ඩිචෙරි ට්‍රිප් එක ගිහිං එන ගමනුත් දවල්ට කන්න අයිඩියල් බීච් හෝටලේට ගියා එදානං සල්ලි ගන්න කියල අපි බලකරපු නිසා බිලෙන් සීයට පණහක් අඩුකරලා සල්ලි ගත්තා...

බෝස් නෝන අපිව ගෙදරට එක්ක ගිහිං හොඳට සැලකුවා...ඒ දවස්වල අපි වේලන්කන්නි පල්ලියට ට්‍රිප් එකක් යන්න ලෑස්තිවෙලා හිටියෙ කතාකරද්දී ඔය ගැනත් කියවුනා...

ඉතිං තන්ජාවූර් වලටත් ගිහිං එන්නකො අපේ හෝටලයක් එහෙත් තියෙනවනෙ මම මහත්තයට කියන්නං...

වේලන්කන්නි ගමන ලෑස්ති කලේ අපිත් එක්ක වැඩකළ භක්තිමත් කතෝලිකයෙක් වෙච්චි ටෙරන්ස්, ගමන යන්න සූදානම් වෙච්චි කට්ටිය මෙහෙමයි...

ටෙරන්ස් යුවළ සහ පොඩි පුතා ශානක,චානි අක්කා, එයා තනියම හිටියෙ මහත්තයයි පුතාලයි ඇවිත් නැති නිසා සහ අපි දෙන්නයි පුතයි,අසෝකන් ගමනෙ ගයිඩ් හැටියට ආවා...

කාලය 1999 අප්‍රේල්,මහ සිකුරාදාත් එක්ක යෙදිල තිබ්බ දීර්ඝ සති අන්ත නිවාඩුව අල්ලල ගමන සූදානම් කරගත්තා...ගමනෙ කාල සටහන මෙහෙමයි රාත්‍රී දුම්රියෙන් චෙන්නායි සිට නාගපට්නම්,නාගපට්නම් සිට වේලන්කන්නි,වේලන්කන්නි සිට තන්ජාවූර්,තන්ජාවූර් සිට රාත්‍රී දුම්රියෙන් චෙන්නායි...

ටෙරන්ස්ල කතෝලිකයො හැටියට පල්ලිය වන්දනා කරගන්න ගියා,චානි අක්ක එයාගෙ පුතාගෙ විභාගෙට බාරයක් වෙන්න ගියා,අපි බෞද්ධයො නිකං රට තොට බලාගන්න ගියා,අසෝකන් කතෝලිකය නමුත් ඌ දේවාල කෝවිල් ගානෙ යනවයි කියල ඌට පල්ලියෙන් සත්ප්‍රසාදය දීම නතර කරල තිබුනෙ...කොහොමත් අසෝකන්ට එක ආගමක් කියල නෑ හැම ආගමම අදහනවා....අපි චෙන්නායි ඉන්න කාලෙ ඕකා අයියප්පා අදහන්න සෙට්වෙලා සබරිමලේ හිටං ගියානෙ...

හැබැයි උඹ ප්‍රවේසමෙන් ඉඳපන් ඉස්ලාම් අදහන්න මොස්ක් එකට ගියදාට තොගෙ කොන කපල තමයි පල්ලිය ඇතුලට ගන්නෙ...

මේකා පොඩි එකෙක් නෙවෙයිනෙ,නාකින්ගෙ කොන නෙවෙයි බාගයක්ම කපල දානවා...

අපි අසෝකන්ට වදේ ගහනවා.

මතු සම්බන්ධයි....