Sunday, January 28, 2018

ආරි සහ ධවල නාග රාජයා, පිඹුරාගේ දුක සහ සුද්දා සමග සතුට සැමරීම.


ඊයේ රාත්‍රියේ මම අපූරු හීනයක් දැක්කෙමි.    මම මැරිච්ච ආරිත් එක්ක රජයේ කාර්යාලයකට යමින් සිටියෙමි.   රජයේ කාර්යාලයක් කිව්වාට ඒ කාර්යාලයේ සාමාන්‍ය රජයේ කාර්යාලයක දකින්නට නොලැබෙන විදියට ඉදිරිපස විසිතුරු මල් වවා දිය පොකුණු සහ ගල් තලා වලින් අලංකාර කොට තිබිණි.    අපි දෙන්නා එක පොකුණක් පසුකර යනවිට දැක්කේ පොකුණ අයිනේ ගල් තලාවක පෙණය පුප්පාගෙන සිටි සුධා ධවල නාග රාජයෙකි. ඉදිරියට යමින් සිටි අපි දෙදෙනා එක්වරම ගල්ගැහුණේ මේ තේජාන්විත සුදෝසුදු නාග රාජයා දැකීමෙන් ඇතිවූ භීතිය නිසාය.  


රජයේ කාර්යාලවල කොහොමත් නයෙක් දෙන්නෙක් දුලබ නොවේ.    සමහර ඒවායේ ඉන්නේ මුචලින්ද නාග රාජයාටත් වඩා ලොකු නයිය.   ඒ උනාට මේ නාගයා සිටියේ කාර්යාලයේ නොවැ කාර්යාලයට එන පෙත් මඟේය.  

ආරි මාවත් ඇදගෙන ඉස්සරහට යන්නට හැදුවත් මම දිගින් දිගටම පසුබැස්සෙමි.  ජීවත්ව සිටියදීද ආරි මැරෙන්නට බයක් තිබ්බ එකෙක් නොවේ, මරණය දැක දැක ඉදිරියට යන එකෙකි.  වතාවක් බෙල්ලෙ වැල දාගත් ආරියා තවත් වතාවක් කෝච්චියට බෙල්ල තියන්නට ගියේය.  අලුත් අවුරුදු දවසක හොඳටම බීගෙන ගොනෙකුගේ බෙල්ල කඩන්නට ගිහින් ඔලුව පළාගෙන යන්තම් බේරුණේය.   ඒ උනාට ඇත්තටම මැරුණේ සිරෝසිස් හැදිලාය.    ඒ කතා ටික පසුවටය. 

දැනටමත් සැරයක් මැරී ඉන්න ආරියාට තව කී සැරයක් මළත්  එකය.   නමුත් මට එහෙම නයෙක් ගසා මැරෙන්න ආසාවක් නැති නිසා පණ බයෙන් හිටි තැන ගල් ගැසී හිටියෙමි.    නාග රාජයා දිහාම බලා ඉන්න මම දැක්කේ නාග රාජයාගේ බඩ හරියේ එක තැනක් ඉදිමී ඇති බවය.   ඒ ගෙඩි පිටින්ම බිත්තරයක් ගිල දමා ඇති නිසා බව ආරි කීවේය.   එය නම් සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා මහත එකකි සමහර විට තාරා බිත්තරයක් විය හැකිය.    

තාරා බිත්තරය කිකිළි බිත්තරය වගේ දෙගුණයක් තරමය.    කේරළේ ගිහිං තාරා බිත්තර කාපු කතාවක්ද තිබුණත් එය මෙතැනට අදාළ නොවේ.     ගල්වල ගැටී බිත්තරය පළුදු වේදෝ යැයි බියෙන් මෙන් නාග රාජයා සිය වලිගය බඩ වටා පටලවාගෙන සිටියේය.  දෙගොල්ල මුණෙන් මුණ බලාගෙන ඉඳිල්ල ඉවරයක් නැති තැන නාග රාජයා  එක්වරම සිං ගා අහසට පැන තටු ගසමින් ඉගිලී ගියේ මගේ කණ ලඟිනි.   මේ නම් මහා කොබෝ නයෙකැයි වැටහුණු මම භීතියෙන් වෙවුලමින් ඉවතට පැනගත්තෙමි.    

සැක්, මොකද මනුස්සයො මේ මහ රෑ දඟලන්නෙ, නිදාගන්න වත් දෙන්නෙ නැද්ද? 

ඛේදයකි!  මා පැන ඇත්තේ පසෙක නිදාසිටි හැලපිගේ ඇඟටය.

නෑ මේ හීනයක් දැක්කා ! තවමත් බියෙන් සිටි මම කීවෙමි.

හීනෙන් බය වෙන්නෙ නැතුව යැ දවල් දවස තිස්සෙ කියවන්නෙම බහුබූත කොට, බ්ලොක් කියයි බුක් කියයි රෑට පේන්නෙත් ඔව්ව තමා ! දැන්වත් පන්සිල් අරං දෙයියන්ට පිං දීල නිදාගන්නැ 'යි ! කී හැලපි ඔලුවේ ඉඳන් රෙද්දත් පොරවාගෙන ආපහු නිදාගත්තාය.

වෙලාව රෑ දෙකය, වතුර ටිකක් බී ආපහු නිදාගන්න බැලුවත් නින්ද අහලකවත් නැත.   මට මතක් වෙන්නේම නාග රාජයාගේ ඉදිමී තිබු බඩය.   මේ ඊයෙ පෙරේදා මාධ්‍ය ජාලා වලත් මුහුණු පොතේත් සංසරණය වූ  මුවෙක් ගිලදමන පිඹුරාගේ ජනප්‍රිය වීඩියෝව මට මතක් විය.   මටනම් දුක හිතුණේ මුවාට වඩා මුවා ගිලදමන්නට දුක්වින්ද පිඹුරා ගැනය.   මුවාගේ බාගයක් එළියේය, බාගයක් ඇතුළේය, පිඹුරාගේ කට ගව්වක් විතර ඇරී ඇත, මුවා ඇතුළට යන වේගය පැයට අඟලකි.    මුවාට අං නොතිබූ එක වාසනාවකි.   නැත්නම් සිද්දවෙන්නේ අර රොමයියගේ පිඹුරාට වෙච්ච දේය.    රත්තරන් මුතු මැණික් දෙනවාය කිව්වත් මම නම් කෑමකට ඔච්චර දුක් විඳින්නේ නැත.   ආයෙමත් කෑමක් කනවා නම් ඔය ලොකු ලොකු සත්තු අතහැර හාවෙක්, මීමින්නෙක්, වඳුරෙක්, වළිකුකුලෙක් වගේ ගිලින්නට ලේසි සතෙක් අල්ලගෙන ගිල දමා ආහාර වේල පිරිමසා ගන්නා ලෙස අනුකම්පා පෙරදැරිව පිඹුරාට කියන්නට කැමැත්තෙමි.

මීළඟට කියන්නට ඇත්තේ තරමක පුරාජේරුවකි.    පහුගිය ඉරිදා ලක්බිම පත්තරේ හැලපකඩේ ගැන සඳහන් වී තිබීම බ්ලොග් රචකයෙක් වශයෙන් මගේ සිත සතුටට පත්කරවූ කාරණයක් විය.   ලිපිය ලියා තිබුණේ මාධ්‍යවේදී ක්‍රිෂ්ණා විජේබණ්ඩාරයන්ය.   හැලපකඩේ බ්ලොගයේ පස්වන සංවත්සරය වෙනුවෙන් මවිසින් ලියන ලද ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය පෝස්ටුව ගැන ඔහු ලියා තිබුණේ සිංහල බ්ලොග් අඩවි හඳුන්වා දෙමින් ලියන්නට යෙදෙන ලිපි මාලාවක පළමුවැනි ලිපිය වශයෙන්ය.   මාධ්‍යවේදියෙකු මතු නොවැ බ්ලොග් රචකයෙක්ද වන ක්‍රිෂ්ණා විජේබණ්ඩාරයන් වලස්පතිගේ අඩවිය නම් වූ බ්ලොගයේ රචකයාය.   

හාපුරා කියා හැලපකඩේ ගැන ජාතික පුවත්පතක පළවීම සමරන්නට වටින සතුටුදායක කරුණක් බැවින් කර්තව්‍යය ඇරඹීමට අප මුණගැසුනේ සුද්දාගේ ගෙදරදීය.   ඒ සඳහා කතාවේ නොහිටියත් මාතෘකාවේ හරි හිටපු සුද්දාට ආරාධනා කිරීම මගේ යුතුකමකැයි මා සිතුවෙමි.  සවුදිය පුරා හමුව ඇරඹුනත් සමරන්නේ කුමක්දැයි මා සුද්දාට කියන්නට නොගියේ අන්තර්ජාලය හෝ බ්ලොග් යනු සුද්දාට තවත් එක වචනයක් පමණක්ම වූ නිසාය.  සුද්දා  බෝතලය  හොඳහැටි  සප්පායම් වුණේ මා ලියන කතාවල ඔහුද එක චරිතයක් බව හෝ තමන් බ්ලොග් පාඨකයන් අතර බොහෝ ජනප්‍රිය කෙනෙක්ය ඈ කිසිවක්ම නොදැනමය

Monday, January 22, 2018

නාරායන් සොයා යාම , ආනන්ද භවන්, අපූර්වා සංගීතා, ධවලගිරියේ තෝසේ උළුඳු වඩේ සහ අහම්බෙන් හමුවූ පණ්ඩිතයා.


අද ලියන්නට තියෙන්නේ කළින් බාගෙට ලියා අවසන් කළ කතාවක ඉතිරි කොටසයි.    බාගෙට ලියු කතාවේ ඉතිරිය ලියා අවසන් කිරීම මගේ යුතුකමක් බැවින් ස්වප්නා ගේ දානය, ජීප්ගේ, දීපිකාගේ හා ප්‍රියානිගේ කතාව කියවන්නට බලා සිටින පාඨකයන් තවත් දින කීපයක් ඉවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ සයිවර් කඩවල ඉල්ලපු ගමන් දෙන්නට කෑම සාදා තබාගැනීම හෙවත් රෙඩිලි අවේලබල් ක්‍රමය අනුගමනය කරන්නේ නැත.    කෑම ඇණවුම ලබාදුන් පසු එවේලේම කෑම සකස් කර උණු උණුවේ පිළිගැන්වීම ඔවුන් ගේ සිරිතයි,ඒ සඳහා තරමක් වෙලාව ගතවේ.    නමුත් මා දන්නා හැටියට මේ හොඳ පුරුද්ද ලංකාවේ සයිවර් කඩවල නැත.    හොඳට රසට සයිවර් කෑම දෙන කඩ කිහිපයක් ඉස්සර කොළඹ තිබුණා මට මතකය.    ගොඩාක් ඉස්සර එල්පින්ස්ටන් හෝල් එකට ටිකක් එහායින් කොටුව පැත්තට වෙන්නට එක හෝටලයක් තිබුණේ පොළොව යටය යන්නට පඩිපෙළක් බැස පහළට යා යුතුය.    මේ හෝටලය ගැන බ්ලොගය කියවන කාටවත් මතකයක් නොමැති බව මා සිතමි.     හෝටලය වැසී යන්නට ඇත්තේ පාර පළල් කිරීම නිසා වියහැකිය.   ඊට පසුව හොඳ සයිවර් කෑම කන්නට තිබු හෝටලය වුණේ මරදානේ ධවලගිරියයි.  ධවලගිරියේ තියෙන පුළුන් මෙන් සැහැල්ලුවට පිපී තිබුණු උණු උණු තෝසේද උළුඳු වඩේද ඒ කාලයේ අපේ රස නහර පිනවන ආහාර විය.    පසු කාලයක වුවද ධවලගිරිය පැත්තෙන් ගියොත් කෑම කන්නට හෝ අරගෙන යන්නට අප පෙළඹවුණේ නිරායාසයෙනි.     අන්තිමට ධවලගිරියෙන් උළුඳු වඩේ කෑවේ මීට අවුරුදු දහයකට පමණ ඉහත බව මට මතකය. 

ඒ 2008 වර්ෂයේ මැද භාගයයි.   ලංකාවේ පවත්වන්නට නියමිත වූ 15 වන සාක් සමුළුව වෙනුවෙන් අපි ඉතා කාර්යබහුලව සිටියේ සමුළුවේ ආරම්භක සහ අවසාන උත්සවය සංවිධානය කිරීම අප කණ්ඩායමකට පැවරී තිබු නිසාය.   වැඩේ බරපතල නිසා අපි දවල් රෑ නොබලා පැය විසිහතරම වැඩ කෙරුවෙමු.   අන්තිම සතියේ අපිව නවතින්නට ලෑස්ති කර තිබුණේ හොලිඩේ ඉන් හෝටලයේය.   ෆුල්බෝඩ් නිසා කෑමෙන් බීමෙන් කිසි අඩුවක් නැත එළියෙන් ගන්නට තිබුණේ බෝතල් පමණකි.    ඔය දවස්වල හවසට මරදාන පැත්තෙන් වැඩකට ගියොත් ධවලගිරියෙන් උළුඳු වඩේ ගෙනැත් කට්ටියටම කන්නට දීම නිසා මුළු කණ්ඩායම අතරම විශේෂයෙන් නෝනලා අතර මම ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් වී සිටියෙමි.  නෝනලා කිව්වට මුළු කණ්ඩායමම පාහේ නෝනලා වූ අතර පිරිමින්ට හිටියේ අපි දෙන්නෙක් විතරය.  කණ්ඩායමේ ලීඩර් ද නෝනා කෙනෙකි, මම මරදානට නොගිය දවස්වල උළුඳු වඩේ නොලැබෙන නිසා නෝනලා ඒ ගැන සොයා බලන්නට වූ හෙයින් ඒ සඳහාම කෙනෙක් ධවලගිරියට යවා උළුඳු වඩේ ගෙන්නා ගන්නට සිදුවිය.  ඉතින් ඒ කාලයේ ධවලගිරියේ කෑමවල රස ඒ වාගේය.   පසුකාලීනව වැඩිපුරම විප්‍රවාසීව ගතවුණු නිසා ධවලගිරිය ආශ්‍රයට හැකියාවක් නොවීය.

 මේ ළඟකදී මම මරදානට ගිය වෙලාවක උදේ කෑමට ධවලගිරියට ගොඩවුණේ අවුරුදු දහයකට විතර පසු පැරණි රස මතක අවදි කරගන්නටය.    හෝටලේ කෙල්ලෙක් මට තෝසේ ගෙනැත් තැබුවාය.    සාම්බාරුවද චට්නිද දාගෙන මම කන්නට පටන් ගත්තත් තෝසේවල කිසිම ෆ්‍රෙෂ් ගතියක් හෝ සැහැල්ලු ගතියක් නැත හරියට හංවෙච්ච රොටී කනවා වගේය, ඊට හපන් ලුණු කට්ටෙටය.   සයිවර් කඩවල ලුණු සහ මිරිස් කියන්නේ ඉතාම අඩුවෙන් පාවිච්චි කරන ජාති දෙකකි.    තෝසේ වලට ලුණු ඉතා ස්වල්ප වශයෙන් මිශ්‍ර කරන අතර උළුඳු වඩේ වලට ලුණු දාන්නේම නැත.    ලුණු සහ මිරිස් බැලන්ස් කර ගත යුත්තේ සාම්බාරු සහ චට්නි වලිනි.    නමුත් මට ධවලගිරියෙදී කන්නට ලැබුණු තෝසේත් උළුඳු වඩේත් කිසිම මිම්මකින් සයිවර් නොවන බව දැනගන්නට වැඩි වෙලාවක් ගියේ නැත.   ගියා වෙනුවට තෝසයක් කාපු  මම කඩෙන් එළියට බැස්සේ කළකිරීමෙනි.

මදුරාසියේ සයිවර් කඩේකට කන්නට ගියොත් කුස්සියේ කෑම හදන හැටි බලන්නට හැකි තැනක වාඩිවීම මගේ පුරුද්දකි.    ඒ කෑම උයන එක මෙන්ම කෑම උයන හැටි බලාසිටීමද මගේ හොඳම විනෝදාංශයක් නිසාය.    කුස්සියේ වැඩකරන අරක්කැමියන් තැටියට තෝසේ මිශ්‍රණය තැටියට වක්කර පදමට පුච්චා ගන්නා ආකාරයද පේපර් තෝසය හදන්නට මිශ්‍රණය තැටියට දමා මොකක්දෝ ගුලියකින් තැටිය පුරා ඉතා සිහින්වට මිශ්‍රණය තුනී කරගන්නා ආකාරයද පූරිය පැහෙන තෙලට දමා බැලුම්බෝලයක් මෙන් පිපෙන්නට අරින ආකාරයද බලා ඉන්නට ලස්සනය.  සයිවර් හෝටලවල කෑම උයන පිසින ආකාරය පොඩි උන්ට මැජික් මෙන් මට නම් කිසිම කම්මැලිකමක් නැතිව කොතරම් වෙලා වුවද බලා ඉන්නට හැකිය.   පොඩි හෝටලවල පසුපස්සේ මේසයක වාඩිවුණ විට මේ කටයුතු කෙරෙන ක්‍රමය ඇස පුරා බලාගන්නට හැකි වුවත් ආනන්ද භවන් වැනි විශාල හෝටලවල කුස්සිය අපට පෙනෙන්නට තරම් ළඟක නැත.    පුරුසවල්කම් වල ආනන්ද භවන් මෙන්ම වල්ලුර්කෝට්ටම් හයි රෝඩ් එකේ අපූර්වා සංගීතා හෝටලයද අපි නිතරම ඇසුරු කළ තැනකි.   හැබැයි අනික් පොඩි හෝටල් මෙන් නොවැ මේවායේ කෑම රස වගේම ගොඩක් ගණන්ය.

නැවතත් කතාවට ආවොත් අපි දැන් ඉන්නේ ආනන්ද භවාන් එකේ තෝසේ කන්නට වාඩිවී කෑම පිළියෙළ වන තුරුය.   කෑම එන්නට ටිකක් වෙලා ගතවන නිසා මම හෝටලයේ බිල් ලියන කෙනා ලඟට කිට්ටු කළෙමි.    වේට්ටියක් හා පිරිසිදු සුදු කමිසයක් හැඳ නළලේ තුන්නුරු අළු ගා වර්ණවත් පොට්ටුවක් ද තබාගෙන සිටි ඔහු බරටම වැඩය.     ඉස්පාසුවක් ලැබුණු විගස ඔහු මා දෙස බැලුවෙන් මම කැඩිච්ච දෙමළෙන් කතාව පටන් ගන්නා විටම දැඩි දකුණු ඉන්දීය උච්චාරණයෙන් වුවද පැහැදිලි ඉංගිරිසියෙන් ඔහු කතාකළේය.    ආර්. කේ නාරායන් ගැන විස්තරයක් සොයා ගන්නට අවශ්‍ය වුණත් කොහෙන් සොයාගන්නට දැයි නොදන්නා නිසා ඔහු බාල කාලයේ පදිංචිව සිටි මේ ලිපිනයට ආ බව මම කීවෙමි.    ඔහු එක්වරම ඇසුවේ කේ.ආර් නාරායන් ද කියාය. (කේ.ආර් නාරායන් එවකට ඉන්දීය ජනාධිපතිවරයා විය)   කෙසේ වුවද මට උදව් කරන්නට ඔහුට දැනීමක් නොතිබුණත් ඔහු කීවේ දැන් කෑම කා ආයෙම ඇවිත් කතා කරන්නට කියාය.  අපි කෑම කන අතරේ හෝටලයේ සිටි කීපදෙනෙකුටම මාව පෙන්වමින් ඔහු මොනවාදෝ කියන හැටි  මම දැක්කෙමි.   කෑම අවසන්ව අපි එළියට යද්දී ඔහු මට කතාකර කීවේ නාරායන් ගැන විස්තරයක් කියන්නට කවුරුවත් නොදන්නා නමුත් ඒ ලඟපාත ඉන්න කාරණාකාරයෙක් හෙවත් පණ්ඩිතයෙක් ලඟට අපව යවන්නට ලෑස්ති කර ඇති බවත් අවශ්‍ය විස්තර ඔහුගෙන් ලබාගත හැකි බවත්ය.

ඊළඟට ඔහු කොල්ලෙකුට කියා ත්‍රීවීල් එකක් ගෙන්නාගෙන එහි රියැදුරුට අපව එක්කරගෙන යායුතු තැන ගැන විස්තර කර අපට ඔහු සමග යන්නටැයි කියා සමුගත්තේය.     ටවුමේ පාරවල් කීපයකින් ඒ මේ අත හරවමින් ගිය රියැදුරා අන්තිමට ගෙවල් මණ්ඩියක රිය නවතා ගෙවල් කීපයක් පසුකර අප රැගෙන ගොස් කැටයම් කැපු විශාල දොරවල් හා නිල් සහ සුදු තීන්ත බිත්තිවල ගා තිබු ගෙයකට ඇතුල් වුණේය.    ගෙයක් කිව්වාට එය මැද මිදුලකින්ද වටේට ගෙවල් ගණනාවකින්ද සමන්විත තැනකි.   වේට්ටියක් හැඳ උඩුකයට පුන නුලක් දමා නළලේ කහ ගාගත් පණ්ඩිතයා පදිංචිවී සිටියේ එක ගෙයකය.    ත්‍රීවිල් රියැදුරා පණ්ඩිතයාට මාව පෙන්වා ආවේ මගේ උවමනාවකට ය කී පසු මම අවශ්‍යතාව කීවෙමි.     පණ්ඩිතයා කීවේ නාරායන් පුරුසවල්කම් හැරදා ගියේ 1939 වැනි ඈත කාලයක නිසා දැන් ඔහු සිටි තැන්වල නටබුන්ද නොමැති බවයි.    එදා විදියටම ඇත්තේ නාරායන් පොඩි කාලේ ගිය ඉස්කෝලයත් ටවුමේ ඇති කෝවිල් කීපයත් පමණක් බව කියූ ඔහු ඉස්කෝලය නම් තරමක් ප්‍රතිසංස්කරණය වී ඇතත් කෝවිල් කිසි දිනෙක වෙනස් වී නැති බවත් වෙනස් කරන්නටද නොහැකි බවත් කිවේය.    නාරායන් පහුගිය කාලයේ මදුරාසියට ඇවිත් සිටි බව කියූ ඔහු මේ වන විට නාරායන් දැඩිසේ ගිලන්ව ඇපලෝ රෝහලේ නැවතී සිටින බව වැඩිදුරටත් කීවේය.    පණ්ඩිතයාට ස්තුතී කළ අපි ගෙදර ආවෙමු෴

Sunday, January 14, 2018

ස්වප්නාගේ දානය, හොරෙන් කන පළතුරු, ජීප්ගේ භීෂණය, හැංගිමුත්තන් සහ ප්‍රියානිගේ කහබත.


අපේ ගමේ කොල්ලන් සමග රස්තියාදු වෙමින් ජීවිතය සැහැල්ලුවෙන් ගතකළ හැටි ගැන මා මීට පෙර ලියු පෝස්ටුවක සඳහන් කළෙමි.    ඔහොම කාලය ගතවෙමින් යද්දී අපට පෙනී ගිය කාරණයක් වුණේ අපට වඩා වයසින් වැඩි කොල්ලන් කීප දෙනෙක්ම අඩු වැඩි වශයෙන් කොටු පනින්නට පටන්ගෙන ඇති බවයි.     මහ රෑ දෙගොඩහරියක් වෙනතුරු නිදිමරමින් කොටු පැනීම කරන උන් පහුවදා තමන් කොටු පැන්න ආකාරය අපත් සමග රස කරමින් විස්තර කරද්දී අපි ඒ විස්තර අසා සිටියේ කටත් ඇරගෙනය.  කොච්චර ආසාව තිබුණත් කොටුවක් පනින්නට අවශ්‍ය ධෛර්යය ඇති කරගන්නට අපට ඒ වන තෙක් හැකිවුණේ නැත.   කොටු කාරයන් අපිත් එක්ක කිව්වේ උන් කොටු පනින්නේ අනාගතයට අවශ්‍ය අත්දැකීම් ලබාගන්නට මිසක  කිසිසේත්ම වල්කමකට නම් නොවන වගයි.    හොරෙන් කන පළතුරු වඩා රසයි කියා දැනෙමින් තිබුණු මේ කාලයේ කොල්ලන් ගේ කොටු පැනිල්ලේ දී සිදුවන රසබර කතා අපට හොඳ බයිට් වූ බව නම් මතකය. 

අක්කා කෙල්ල මගෙත් එක්ක ඇතිකරගෙන තිබුණු ඇයි හොඳයිය ටිකක් දිගදුර ගොස් තිබුණේ මේ කාලයේදීමය.     අපේ ඔෆිස් එකේ දී මමත් අක්කා කෙල්ලත්, ඇගේ සපෝටර් වූ දීපිකාත්, අබේත් යන අපි  හතරදෙනා කෑවෙ බීවේද, ගමන් ගියේද, කතාකරමින් සිටියේද ,රණ්ඩු වුනේද එකටමය.    අක්කා කෙල්ලට අබේ නමක් දැම්මේ ඒ දවස්වලය.    පොඩ්ඩ බැරිවෙන කොට තද වෙන චරිතයක් වන අක්කා කෙල්ලට අබේ මුලින්ම ගිණිපුක් යනුවෙන් නම් තබා එය ජී. පී යනුවෙන් කෙටිකළේය.   ජී.පී යන්න තවදුරටත් ස්මාර්ට් කළ අපි ජීප් කියා නම හදාගත් අතර ජීප් කියන නමට අක්කා කෙල්ලගේද විරුද්ධත්වයක් නැති නිසා ඒ නම රෙජිස්ටර් කර ගත්තෙමු.     දකුණේ උපන් කෙනෙක් වූ ජීප් රස්සාවට යන්නට පදිංචි වී සිටියේ කිරුළපොනේ ඇයගේ ඥාති සහෝදරියෙකුගේ ගෙදරය.   දීපිකා නුගේගොඩ තම නිවසේ සිට රැකියාවට ආ අතර අබේ ආවේ ගම්පහ සිටය.     ඒ වනවිටත් බඳින වයස පහුවී සිටි ජීප් ට උවමනා වුණේ හැකි ඉක්මනින් කාව හෝ බැඳගෙන පිළිවෙලක් වෙන්නටය.    අබේට ඒ වෙනකොටත් බඳින්නට කෙල්ලක් සිටි අතර ඊළඟ අවුරුද්දේ උගේ මංගල්‍යය ට දින තීරණය වී තිබිණි.   වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ සිටි දීපිකා ඉතා සැහැල්ලු ගති පැවතුම් ඇති විනෝදකාමී යුවතියක් වූ අතර ඇයටද ඒ වනවිට කොල්ලෙක් හිටියත් චිවාහය ගැන තීරණයක් තිබුණේ නැත.    ජීප් මොන තරම් කිව්වත්, ඇඬුවත්,තර්ජනය කළත් ඒ කාලයේ බඳින්නට මම හීනෙකින් වත් හිතා තිබුණේ නැත.    මට උවමනා වුයේ තාරුණ්‍යය විඳින්නට හා වැඩිදුර ඉගෙන ගන්නටය.

අපේ කල්ලියේම නොවුණත් කාර්යාලයේ අපි කරන හැම කුප්ප වැඩකටම උදව් කරන තවත් චරිතයක් වුයේ ප්‍රියානි ය.    මගේ වයසේම වූ ඇය ඒ වනවිටත් විවාහවී දරු දෙදෙනෙකුගේ මවක් වූ නිසාවෙන් කරපිට පැටවී තිබු ගෙදර රාජකාරි නිසා  නිතරම අපිත් එක්ක ඉන්නට නොලැබුණත් ඇයත් විනෝදයට බෙහෙවින් කැමති එකියකි.   ඇය විවාහවී සිටියේ අපි යන්නට කළින් අපේ කාර්යාලයේ සිටි කෙනෙක් එක්කය.   දරු දෙන්නෙක්ද ලැබුණු පසු දෙදෙනා අතර අඬදබර ඇතිවී ලොකු පවුල් ආරාවුලක් නිර්මාණය විය.  අන්තිමට වුණේ දෙන්නා දෙතැනක ජීවත් වන්නට පටන් ගැනීමයි.   වැඩිමල් පුතා සමග මනුස්සයා ඔහුගේ මෝදර මහගෙදර පදිංචි වුන අතර ප්‍රියානි බාල දුවත් එක්ක ජීවත් වුණේ ඔවුන් මිළදී ගෙන තිබු රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ නිවසකය.  කොළඹම වෙනත් කාර්යාලයක වැඩකළ ප්‍රියානිගේ මනුස්සයා සතියකට දෙතුන් දවසක් බීමත්ව අපේ ඔෆිස් එකට ඇවිත් ප්‍රියානිත් එක්ක රණ්ඩු ඇල්ලීම සාමාන්‍ය දෙයක් විය.   ප්‍රියානි හඬා වැළපෙමින් දුක බෙදා ගන්නේ අපිත් එක්කය. 

ප්‍රියානිගේ දුක් ගැනවිලි අසා ඇයගේ හිත හැදෙන්නට කතා කරන එක ජීප්ට රිස්සුවේ නැත.   'එක එක ගෑණුන්නෙ කඳුළු පිහින්න යන් නැතුව තමන්ගෙ පාඩුවෙ ඉන්න' යි කියා දවසක් ඇය මට අවවාද කළාය.   දීපිකා මහ හයියෙන් හිනාවෙමින් මගෙත් එක්ක කතාකිරීම ගැනද ඇය දීපිකාට දොස් කීවාය.    ජීප්ගේ සපෝටර් වූ දීපිකා මගෙත් එක්ක පළහිලව්වක් ඇතිකර ගත්තේ ඔය අව්අස්සේය.    ඒ ඉතා ස්වභාවිකව අහිංසකව ඇතිවූ පළහිලව්වක් විනා අපේ නැහැදිච්ච කමටවත් වල්කමකටවත් ඇතිකරගත් පළහිලව්වක් නොවන බව මට කටපුරා කිවහැකිය.   මේ ගැන ජීප් දැනගත්තොත් එහෙම ඇතිවෙන තත්වය අති භයානක නිසා අපි දෙන්නා පළහිලව්ව කරගෙන ගියේ බොහෝ ප්‍රවේශමෙනි.   කාර්යාලයේ රාජකාරි අහවර වීමෙන් පසු ජීප් කෙළින්ම ගෙදර යන අතර ගෙදර යන්නට එහෙමකට හදිස්සියක් නොවූ දීපිකාත් මමත් ඇස්වාට්ටුවේත් බොරැල්ලේත් රස්තියාදුවක් ගසා විසිරී යන්නේ කළුවර වැටෙන වෙලාවටය.    අපේ හැසිරීම් වල මඳ වෙනසක් ඉවකළ අබේට නම් අපි  ගැන තරමක සැකයක් ඇතිවී තිබුණත් ඌ ඒ ගැන මොකුත් සඳහනක් නොකළ නිසා අපි දෙන්නා වැඩි  තැකීමක් කළේද නැත.     

එහෙත් බෝම්බය පුපුරා ගියේ අප දෙදෙනා නොසිතු මොහොතකය.    එක් සති අන්තයක සවස දීපිකාත් මමත් නුගේගොඩ කුවින්ලන් එකෙන් එළියට බැස පාරට ආවා විතරය.    ඉස්සරහට එන්නේ ජීප්ය.    ඇය ඉතා හොඳින් අපි දෙන්නාව දුටු නිසා මගඇර යන්නටත් බැරිය.   පොළොව පළාගෙන ගිහිං හැංගෙන්න හිතෙන්නේ මේ වෙලාවටය.    දීපිකා මගේ මුහුණ බැලුවාය.    මම දීපිකාගේ මුහුණ බැලුවෙමි.   අවස්ථාවේ ඇති භීෂණය අමතකවූ අප දෙදෙනාට බකස් ගා සිනාගියේ එක්වරමය.    අපි දෙන්නා සිනාසෙනු දුටු ජීප්ට තවත් තදවෙන්නට ඇත.    කොටුවී ඇත්තේ සිනමාහල ඉදිරිපිටදීම බැවින් නිදහසට කරුණු කිසිවක් නැත.   ඒත් අප බලාපොරොත්තු වූ පරිදි ජීප් පාරේ ගෝරි දාගන්නට ගියේ නැත.    'ලැජ්ජ නැතුව පාරෙ මඟුල් නටනවා එනවා යන්නැ'යි කුටු කුටු හඬින් කියූ ජීප් දීපිකාද ඇදගෙන යන්නට ගියාය.   පාරේ ගිය බස් එකක එල්ලුනු මමද ගෙදර ගියෙමි.    පහුවදා කාර්යාලයේදී හමුවූ ජීප් 'කෙල්ලන්ව රවට්ටගෙන රස්තියාදු ගහනවා' ය කියා මට තරමක දෝස්මුරයක් දැමු අතර 'කොල්ලො රවට්ටගෙන නාඩගම් නටනවා'යි වරුවක් විතර කණ පිරෙන්නටම  ඇයට බැන වැදුණු බව දීපිකා මගෙත් එක්ක කිව්වේ සිනාසෙමිනි.    දැන්නම් ජීප් අපි දෙන්නා ගැන බොහොම පරීක්ෂාවෙන් සොයාබලන නිසා කරන දෙයක් ප්‍රවේශමෙන් කලයුතු යැයි දීපිකා වැඩිදුරටත් කීවාය.    නුගේගොඩ රස්තියාදු වීම අත්හැර දැමු අපි ඊළඟ සති අන්තයේ රාජගිරියේ ඉම්පාලා එකට ගියේ ජීප් ඒ පැත්ත පළාතේ වත් නොඑන බව දීපිකා සහතික කර කියපු නිසාය.    ජීප් එක්ක හැංගිමුත්තං කරමින් ගතකළ ඒ කාලය අපට ඉතා රසවත් විය.

මා වැලිසර අතහැර කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුවක් ලබාගැනීමේ මුඛ්‍ය පරමාර්ථය වුණේ වැඩිදුර ඉගෙනගැනීම වුවත් ලලනෝපචාරය නිසා ඉගෙනගැනීම හැරෙන්නට අනික් හැමදේම කරමින් සිටියා මිසක අදාළ දේ සිදු නොවූ බව තේරුම් යනවිට ටික කාලයක් ගතවී තිබුණි.    ඒ නිසා මම හැකි ඉක්මනින් ආපු කාරිය කරගන්නට උනන්දු වූ හෙයින් ඊළඟට පටන් ගත්තේ ඉගෙනගන්නටය.    එහිදී මගේ හොඳම සගයා වුයේ දේශාය. ( මම දේශාය කියා ලියද්දී බ්ලොග් එක කියවන බොහෝ පාඨකයින් දේශා කියන්නේ බ්ලොග් (නො)ලියන දේශකයා කියා වරදවා වටහාගැනීමේ ප්‍රවණතාවක් ඇති බව මම මීට ඉහතදී ලියු බ්ලොග් සටහන් කීපයකදී පෙනී ගොස් ඇත.   මේ මා කියන දේශා දේශකයා නොව වෙනත් කෙනෙක් බවත් දේශකයා මෙතෙක් කාලයකට මගේ දෑහැටවත් දැක නොමැති බවත් සහතික කර කියන්නට කැමැත්තෙමි) දේශා ද මා මෙන් කලාවට බොහෝ කැමැත්තක් දැක්වූ කලාබරයෙකු බැවින් අපි දෙන්නා ඉතා ඉක්මනින් හිතවත් වූයෙමු.     

කොළඹ පෙන්වන නාට්‍ය දර්ශන හා චිත්‍රපට බලන්නට අපි දෙන්නා ගියේ එකටය.    නාට්‍ය හෝ චිත්‍රපට නොබලන දිනවල අපි බම්බලපිටියේ අවන්හලකට ගොස් බියර් බොමින් නාට්‍ය හා චිත්‍රපට ගැන සාකච්ඡා කළෙමු.     කලා ක්ෂේත්‍රය ගැන උනන්දුවක් තිබේනම් ක්ෂේත්‍රය ගැන මුලික දැනුමක් වත් තිබිය යුතු යැයි කී දේශා ඕ.සී. අයි. සී එකෙන් පවත්වනු ලබන ටෙලි නාට්‍ය හා සිනමා පාඨමාලාව හදාරන්නට මා උනන්දු කළේය.    දේශා ඊට අවුරුදු කීපයකට පෙර පාඨමාලාව නිමකර තිබු අතර එහිදී ඔහුගේ සමකාලීනයන් වී ඇත්තේ බෙනට් සහ රුවන්ය.    මගේ වැඩ කටයුතු ගැන ජීප්ගේ කිසිම පැහැදීමක් නොතිබුණත් ඇය ඒවාට අකුල් හෙලුවේ නැත.   ඕ.සී.අයි. සී කෝස් එකේ පංති තියෙන්නේ සති අන්තයේය.   සති අන්තයේ ඕවටයිම් කරන්නට ජීප්ද දීපිකාද කාර්යාලයට එති.   සමහරක් දිනවල පංති ඇරෙන වෙලාවට දීපිකා කොටුවට ඇවිත් මම එනතුරු බලා සිටියි.    විටෙක ජීප් මා හමුවන්නට එන්නේ දීපිකාද එක්කගෙනය.

ප්‍රියානිට තදබල මුත්‍රා අමාරුවක් සැදී මහ රෝහලට ඇතුල් කළේ ඔය දවස්වලය.   ඊට පහුවදා උදේ මම ප්‍රියානි බලන්නට ගියෙමි.    සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩකළ අපට ඕනෑම වෙලාවක රෝහලට යන්නට හැකියාව ඇති නිසා මම ගියේ උදේ නවයට විතරය.    ඒ වෙනකොටත් ප්‍රියානි උදේ ආහාර ගෙන නොතිබුණ නිසා    මම ප්‍රියානිට උදේට කෑමද තේ ද ගිහින් දුන්නෙමි.   ප්‍රියානි බලන්නට එන කෙනෙකුට ඉන්නේ ඇගේ මහත්තයා උනත් ගෝරි දාගෙන ඉන්න නිසා බලන්නට නොඑන බව ප්‍රියානි කීවාය.   කොහොමත් බීගෙන ලෙඩ බලන්නට එනවාට වඩා නෑවිත් ඉන්න එක දාහෙන් සම්පතයි කියා ඇය කීවේ සිනාසෙමිනි.    සතියක් පමණ රෝහලේ නැවතී සිටි ප්‍රියානිගේ උදේ ආහාර වේල මම හැමදාම ගෙනගියෙමි.    නැවතත් කාර්යාලයට එන්නට පටන්ගත් ප්‍රියානි ඇයට කළ උදව් ගැන මට බොහෝසේ ස්තුතී කළාය.   ඊට පසු දවල් කෑමට ප්‍රියානි අපත් සමග එකතුවූ අතර සමහර දිනවලට ඇය කහබත් හදාගෙන එයි.   උදේට තියෙන වැඩ අස්සේ කහබත් හදන්නේ කොහොමද කියා කෙනෙක් ඇසුවිට 'බත් එකට කහ ටිකකුත් ලුණු ටිකකුත් දාන එක වැඩක්දැ'යි ඇය ගත්කටටම කීවාය.   එක් සති අන්තයක අපි දෙතුන් දෙනාම එකතුවී රද්දොළුගම ප්‍රියානිලාගේ ගෙදර දවල් කෑමකට ගියෙමු෴

Thursday, January 4, 2018

ස්වප්නාගේ දානය, තලගුලි සහ ගුලි, පුරුස සක්තිය සහ බම්බු ගැසීම.


අපේ කණ්ඩායම රක්ෂිත වනාන්තරය අයිනෙන් වැටී ඇති පාර දිගේ බොහෝ කෙළිදෙලෙන් ගමන් කලේ කාලෙකට පසු කට්ටිය හමුවීමේ ප්‍රීතියත් පාරේ තිබු නිස්කලංක ගතියත් හැමදෙනාගේම සිත්තුල ඇතිකළ සතුට නිසාය.    පාර කෙළවරේම ස්වප්නලාගේ වත්ත පිහිටා තිබුණි.   ඒ වත්තද කැලයට දෙවෙනි නොවුයේ වත්ත පුරාම තිබු රූස්ස කොස් ගස් හා කජු ලන්ද නිසාය.   ඒ වෙලාව වනවිටත් දැඩි අවු රශ්මිය පතිත වෙමින් තිබුණත් ගස්වල ආවරණය නිසා වත්තේ තිබුණේ සිහිලැල් සෙවනකි.     ස්වප්නලාගේ ගෙදරට එතකොටත් පැමිණ සිටි ඇගේ සහෝදර සහෝදරියන්ද නෑදෑයන් ද ගමේ අයද දානය පිළියෙළ කිරීමේ කටයුතුවල නිරතවී සිටියේ දැඩි උනන්දුවකිනි.    අපේ කණ්ඩායම ආදරයෙන් පිළිගත් ස්වප්නා කට්ටියට සංග්‍රහ කිරීමට උත්සුක වුවාය.    අපිද එළියේ තිබු පුටු ටිකක් ගස් සෙවනකට ඇදගෙන ගොස් වාඩිවී කතාබහ කරමින් සිටියෙමු.    ගෙයි සිට තේ අරගෙන පැමිණි ස්වප්නා අපට තේ පිළිගැන්වූවාය.    මට බොන්නට හරියන පදමට තේ එකක් හදාගන්නට මටත් බැරි නිසා පිටතදී තේ බොන්නට මම වැඩි කැමැත්තක් නොදක්වමි.    ඒ නිසා මම ස්වප්නාට කීවේ බොන්නට වෙන මොනා හරි තිබුනොත් හොඳ යැයි කියාය.   ඒ ගමන ස්වප්නා තැඹිලි ගෙඩියක් කපාගෙන ඇවිත් මට බොන්නට දුන්නාය.   කෑමට තිබුණේ තලගුලිය, තලගුලි කිව්වාට ඒ තල කැරළි නොව තල ගෙදර කොටා සාදාගෙන තිබු රසවත් ගුලි වර්ගයකි.   ගුලි කියද්දී මට තවත් කතාවක් මතක්වේ.   මතක්වුණු වෙලාවේ මෙතැනදීම කියා දමන එක හොඳ යැයි සිතේ.

කාලය නවසිය අසූ ගණන්වල මුල භාගය හෝ මැද වන්නට ඇත.   ඒ මම අපේ ගමේ තරුණ පිරිස සමග බොහෝ සැහැල්ලුවෙන් ජීවිතය ගතකල සමයයි.    උදේ රැකියාවට ගොස් හවස ගෙදර එන මම එතැන් සිට මහ රෑ වනතුරු කොල්ලන් සමග රස්තියාදු වෙමින් ගතකරමි.   නිවාඩු දවස්වල දවසම ගතවන්නේ ගෙදරින් පිටතය.    රස්තියාදු ගැහුවා කියා කීවාට ඒ කාලයේදී අපේ ගමට බොහෝ ප්‍රයෝජනවත් වැඩ ගණනාවක්ම කරදෙන්නට අපට  හැකිවිය.   අපේ මුළු කාලයම ගෙවුණේ ක්‍රීඩාව, සමාජ වැඩ කටයුතු, සමිති සමාගම් හා කලා කටයුතු ආදී වැඩ වලටය.    ගමට නොතිබුණු ක්‍රීඩා සමාජයක්ද,  කවදාවත්ම කරගන්නට බැහැයි කියා අමතක කර දමා සිටි මරණාධාර සමිතියක්ද තරුණ සංගමයක්ද කෙටි කලෙකින්ම පිහිටුවා ගැනීමට අපට හැකිවිය.   මේ සමිති සමාගම් අදද ගමේ සාර්ථකව ක්‍රියාත්මක වනු දකිනවිට අපට දැනෙන්නේ සියුම් ආඩම්බරයකි.    හැමදාම හවසට ගමේ ළමයින් කණ්ඩායමද එකතු කරගෙන අතහැර දමා තිබු වත්තක ක්‍රීඩා කිරීම අප නොවරදවාම කල කාරියකි.    අවට ගම්වල කණ්ඩායම් සමග ක්‍රීඩා තරඟ පැවැත්වීමද හැම සති අන්තයකම පාහේ සිදුවිය.    කලා කටයුතු හැටියට කළේ නාට්‍ය පුරුදුකර ගමේ පෙන්වීමය.    ගමට අප නිර්මාණය කරදුන්  අවුරුදු උත්සවයේ 33 වන බක්මහ උළෙල පහුගිය අවුරුද්දේ පැවැත්වුණි.    හැම වෙසක් සමයකදීම ඉදිකරන දැවැන්ත වෙසක් සැරසිල්ල බලන්නට පාලනය කල නොහැකි තරම් සෙනග කන්දක් ඇදුණු නිසා තරුණ සමිතියේ මුදල් තත්වයද ඉතා ඉහළ මට්ටමක තිබු බැවින් අපේ අනෙක් වැඩ කටයුතුවලට මුදලින් අඩුවක් නොවීය.    රෑ වෙනවිට පොඩි මහින්දලාගේ ගෙදර ඉස්සරහ කාමරයේ නැවතී රස්සාවට ගිය ඩෙනිස් ගේ කාමරයේ පටන් ගන්නා සාජ්ජය මහ රෑ වෙනතුරු ඇදී යයි.      එතැනදී බෝතලයක් දෙකක් හිස්වීම සාමාන්‍ය දෙයකි.    දෙමටගොඩට වැඩට ගිය එකෙක් එහෙදී මල් ගහන්නට පුරුදුවී මිටියක් දෙකක් ගමට ගෙනැත් බොන්නට පුරුදුවී සිටියේය.    ඒ දැන් වගේ සිගරැට් වල නොවැ කාප්පයකින් එතූ කාල පන්දමක් වැනි සුරුට්ටුවකි.     ඌ කොල්ලන් සමග එකතුවී මිටිය ගැහුවද මට මුල ඉඳන්ම ඒ ගැන ප්‍රියක් ඇති නොවූ නිසා මල් ගැනීමෙන් වැළකී සිටියෙමි.     වෙසක් සමයේ මුළු කාලයම ගමේ ගතකලද පොසොන් වෙද්දී වැඩකරන තැන කොල්ලන් එක්ක එකතුවී වොරන්ට් ලියාගෙන කෝච්චියේ අනුරාධපුරයට යන අප නතරවන්නේ එවකට ගුණේ සේවය කල අනුරාධපුර ළය චිකිත්සාගාරයේය.    පොසොන් සමය අහවර වනතුරු අනුරාධපුරේ හැමතැනම ඇවිදිමින් කාලය ගතකරන අපි කෝච්චියේ  නැග ආපසු එන්නේ සතියකට පමණ පසුවය.

ඔන්න ඔය ආකාරයට ජීවිතය ගතවෙමින් තිබියදී අපේ එකෙක් එතෙක් අප නොදැන සිටි අලුත් ඖෂධයක් අප කණ්ඩායමට හඳුන්වා දුන්නේය.   ඒ කුමක්දැයි කීවොත් පසුව අපි ගුලි නමින් හඳුන්වන්නට යෙදුණු මදන මෝදක ගුලියයි.    මදන මෝදකය අපට හඳුන්වා දෙමින් ඌ කීවේ මේ ගුලිය කෑමෙන් බඩගින්න සහ ආහාර රුචිය බෙහෙවින් වර්ධනය වෙන බවයි.    ගල් ගිල්ලත් දිරවන වයසේ සිටි අපට කෑම රුචියේ කිසිම අඩුපාඩුවක් නොතිබුණත් අපි ඔක්කොම පාහේ මේ අලුත් ගුලියට වහ වැටුණේ ගුලිය නිසා වැඩිපුර කන්නට පුළුවන් වුන නිසාය.    ගුලි විකුණන්නට අද මෙන් තහංචි බාධක කිසිවක් නොතිබුණ ඒ කාලයේ ගමේ කඩවල බෝතල් පුරවා ගුලි විකුණන්නට තබා තිබෙනු දක්නට ලැබිණ.    එකල ගුලියක මිල රුපියලක් පමණ වූ බවද මට මතකය.   ගුලිය අපට හඳුන්වා දුන් එකා කීවාක් පරිදිම ගුලියක් කෑමෙන් පසු කෑම රුචිය බලා ඉද්දී ඉහළ යන බව නොබෝ දිනකින්ම අප තේරුම් ගත්තෙමු.    ඒ කොහොමද කිව්වොත් වෙනදාට මාළු පාන් ගෙඩියක් කන එකාට මාළු පාන් තුන හතරක් කන්නට හැකිවීම සාමාන්‍ය දෙයක් විය.    බත් පිඟන් දෙක තුනක් කිසිම ආයාසයකින් තොරව කන්නට හැකිවිය.    අපි කට්ටිය හැමදාම පාහේ විජේපාලගේ කඩෙන් ගුලි අරගෙන කන්නට පුරුදු වූයෙමු.    එකල ගුලි වර්ග කීපයක් කඩවල විකුණන්නට තබා තිබුණි.    නම් වශයෙන් ගත්තොත් මොරවක ශ්‍රීමත් මදන මෝදකය, මහා කාමේෂ්වරී මදන මෝදකය, සංජීවනී මදන මෝදකය, නාහල්ලේ මදන මෝදකය යනුවෙන් මේවා නම් කර තිබිණි.    අපට වැඩියෙන්ම කන්නට ලැබුණේ සංජීවනී මදන මෝදකය බව මට මතකය.

අපේ ගමේ ගෙයක් කුලියට අරගෙන රෙදි මෝලේ රස්සාවට ගිය හේරත් අයියා සිය ගමේ අලුත් ගෙයක් හදා ගෙට ගෙවැදීමේ උත්සවයට අපටත් ආරාධනා කළේ අපි ගුලියේ සොමිය උපරිමයෙන් විඳිමින් සිටි කාලයේදීය.   ඔහුගේ අලුත් ගේ තිබුණේ මහව පැත්තේය.    අපි සියලු දෙනාම කුලියට වාහනයක් කතා කරගෙන හේරත් අයියාගේ ගෙට ගෙවැදීමේ උත්සවයට යනගමන් මගින් ගුලි ටිකකුත් අරගෙන යන්නට අමතක නොකළෙමු.    මහ ජයට තිබු ගෙට ගෙවැදීමේ උත්සවයේ දවල් ආහාරයට පෙර මත්පැන් සංග්‍රහයක්ද විය.  මත්පැන් ප්‍රතික්ෂේප කල අපි කීප දෙනෙක් ගෙනගිය ගුලි ටික පැත්තකට ගොස් වැළඳුවෙමු.    මත්පැනට ලොල්ව ගුලි එපා කියා පෙරේතකමට මත්පැන් බීපු උන් ඔක්කාරෙ කරමින් දඟලද්දී අපි ටික හේරත් අයියා පිළියෙළ කර තිබු රස මසවුළු සියල්ලටම නොඅඩුව සාධාරණය ඉෂ්ට කළෙමු.    මේ අතර තව එකෙක් ගුලිය ගැන අප එතෙක් නොදත් අපුරු ආරංචියක් ගෙනාවේය.   එනම් ගුලිය කෑමෙන් පුරුස සක්තිය වර්ධනය වන බවය.    ගුලි නැතිව උනත් හොඳට තිබුණු පුරුස සක්තියෙන් කිසිම පළක් ප්‍රයෝජනයක් නැතිව හිටියත් මේ අලුත් ආරංචියෙන් අපේ සිත් ප්‍රීතියෙන් පිනා ගිය බව නොකිවමනාය.   පුරුස සක්තිය වර්ධනය වීමේ කාරණය අපි එතනින් අමතක කර දැම්මත් අපේ කට්ටියේ හිටි එකෙකුට මේ කතාවේ ඇත්ත නැත්ත බලන්නට උවමනා විය.    ඌ අපි වගේ නොව බොහෝ ප්‍රායෝගික චරිතයකි.    ගුලිවල ඇති මේ අලුත් ගුණය ගැන අත්හදා බලන්නට ගුලියකුත් සප්පායම් වී ඔහු ගියේ තමන් ඉතා ලඟින් ඇයි හොඳයිකම් පවත්වමින් සිටි සොඳුරු ලඳක් සොයාගෙනය.    ඇයගේ තුරුළේ හුරතල් වෙමින් මූ ඇයට තමන් එදා තමන් ගත් නව වාජීකරණ ඖෂධය ගැනත් කිව්වේ මහත් උජාරුවෙනි.   එහෙම කයියකුත් ගසා මූ සුදානම් වුණේ පුරුස සක්තිය උරගා බලන්නටය.    අහෝ ඛේදයකි, පුරුස සක්තිය වැල මදුලක් වෙලාය, මක්කොරලාවත් පණ පිහිටුවා ගන්නට බැරිතැන මුගේ ඉහමොළ රත්විය.  තම සහකාරයා සිය යටිකය දෙවනත් කරමින් වැඩ පෙන්වන තුරු සොඳුරු ලඳ නොඉවසිල්ලෙන් බලා සිටියත් ඔහුට වෙනදා පෙන්නන වැඩ ටිකවත් එදා දක්වන්නට නොහැකිවූ බව අමුතුවෙන් කිව යුතු නැත.    විළි ලැජ්ජාවට පත් ඌ පල්ලම් බැස්සේ ගුලියට පමණක් නොව ගුලිය හැදු එකාගේ දෙමාපියන්ටද අම්ම මෝ නැතුව බැන වදිමිනි.     ආපහු ඇවිත්  ගුලියේ වාජීකරණ ගුණය ගැන කයිය ගැසූ එකා හොයාගෙන ගොස් උගේ බෙල්ල මිරිකන්නට හදන විට සිදුවූ සියල්ල හෙළිවිය.

ඒ ගුලි කෙසේ වෙතත් ස්වප්නා අපට කන්නට දුන් තලගුලි නම් බෙහෙවින් රසවත්ය.    තේ පානයෙන් පසු අපේ කීපදෙනෙක් සුදානම් වුණේ යද්දී ගෙනගිය බෝතලයේ රස බලන්නටය.    ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නට වටපිට බලද්දී උන්ට ඇහැ ගැසුණේ කොට කලිසමක්ද ස්කිනියක්ද හැඳ කනක කරාබුවකුත් දමාගෙන තට්ටය බා රැවුල වවාගෙන කරා ලෙවෙල් එකේ සිටි කොල්ලෙකි.   මැර පෙනුමක් තිබුණද ඔහු අහිංසකයෙක් බව බැලු බැල්මට පෙනෙන්නට තිබුණි.    පසුව දැනගත් පරිදි ඔහු ස්වප්නාගේ ලොකු අක්කාගේ ලොකු පුතාය.    ඌට කතාකර අවශ්‍යතාව කී විගස අවශ්‍ය උපකාරය කරදීමට ඔහු එකපයින් ඉදිරිපත් විය.   වත්තේ ඉහළට වෙන්නට ඇති දිය පාරක් අබියස අපූරු ගල්තලාවක් ඇතැයි කී ඔහු එතැන අදාළ කාර්යයට ඉතා සුදුසු යයි කියා කුස්සියෙන් කන්නට මොකුත් රැගෙන ඇවිත් එතැනට කට්ටිය එක්කගෙන යාහැකි බව කීවේය.     ගල්තලාවත් දිය පාරත් බලන්නට මට ආසාවක් ඇතිවුණත් අපේඋන් අරං ඇවිත් තිබු බීම වර්ගය මා පාවිච්චි කරන බීමක් නොවන නිසා මත්පැන් නොබොමියි කියා ඒ අය මගහැර කෙල්ලන් සමග කතා කරමින් සිටියෙමි.    වැරදිලාවත් ගියානම් එහෙම උන් ටික මට බලෙන් පොවන්නට හදන්නේ හරකුන්ට බම්බු ගහන ආකාරයටය.    බම්බු ගහනවා කියන්නේ හරකුන්ට බෙහෙත් පොවන එකටය.   මා කුඩා කාලයේදී හරකුන්ට බම්බු ගහන හැටි කොතෙකුත් දැක ඇත.     අද මෙන් පශු වෛද්‍යවරුන්  ලේසියෙන් සොයාගන්නට නොමැති ඒ කාලයේ හරකුන්ට වෙදකම් කළේ ගමේ ගොඩේ ඉන්න වෙද්දුය.    වෙදුන් නියම කරන කොළ, පොතු, මුල් ආදිය සොයා තම්බා හරකුන්ට පෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.    මුළින්ම උණ පුරුකක් සොයාගෙන ගැටයට උඩින් පෙත්තට කපා ගත යුතුය.   ඉන්පසු සතාව ගහකට කරට තියා බැඳගෙන හරකාගේ කටට අත දමා දිව එළියට ඇද කටේ පැත්තකට කර අල්ලාගෙන අනික් පැත්තෙන් බේත් පිරවූ බම්බුව කටට ඔබා බේත් ටික හරකාට පෙවෙන තුරු අල්ලාගෙන ඉඳි.   බොහෝවිට මේ කාර්යය සඳහා දෙන්නෙක් අවශ්‍ය වුවත් පළපුරුදු හරක් කාරයින් තනිවම වුවද හරකාට බම්බු ගැසීම කරති.    ගොන් ගහනවා කියන්නේ හරක් බැඳ ගොයම් මඩවනවාටය.     අදද මේ වචන දෙක භාවිතයේ ඇතත් ඒවා යෙදෙන්නේ වෙනත් වෙනත් අර්ථයන් සහිතවය. 

බොන්නට වත්තේ උඩහට ගිය උන් පැයකට පමණ පසු ආපසු ආවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.    බොන්නට ගිය තැන තිබු ස්වභාව සෞන්දර්යය ඔවුන්ගේ සිත් වසඟ කල බව බැලු බැල්මටම පෙනෙන්නට තිබුණි.    මේ වනවිට දානය හමාරවී හාමුදුරුවන්ද ආපහු වැඩම කරලාය.    ඉන්පසු තිබුණේ ඉතිරි අයට දානය පිළිගැන්වීමයි.    අපිත් කෙළි කවටකම් මැද දානය වැළඳුවෙමු.    ගමේ ගොඩේ කෑමවලට මගේ ඇති ඇල්ම දත් ස්වප්නා සකස් කර තිබු දානය මටනම් බෙහෙවින් රුචිකර විය.     කජු වාරයේ දවසක ආයෙම ආවොත් කජුත් කොසුත් කන්නට පුළුවන් යැයි ස්වප්නා කීවේ අපි ආපහු එන්නට සැරසෙද්දී ය෴