Thursday, January 4, 2018

ස්වප්නාගේ දානය, තලගුලි සහ ගුලි, පුරුස සක්තිය සහ බම්බු ගැසීම.


අපේ කණ්ඩායම රක්ෂිත වනාන්තරය අයිනෙන් වැටී ඇති පාර දිගේ බොහෝ කෙළිදෙලෙන් ගමන් කලේ කාලෙකට පසු කට්ටිය හමුවීමේ ප්‍රීතියත් පාරේ තිබු නිස්කලංක ගතියත් හැමදෙනාගේම සිත්තුල ඇතිකළ සතුට නිසාය.    පාර කෙළවරේම ස්වප්නලාගේ වත්ත පිහිටා තිබුණි.   ඒ වත්තද කැලයට දෙවෙනි නොවුයේ වත්ත පුරාම තිබු රූස්ස කොස් ගස් හා කජු ලන්ද නිසාය.   ඒ වෙලාව වනවිටත් දැඩි අවු රශ්මිය පතිත වෙමින් තිබුණත් ගස්වල ආවරණය නිසා වත්තේ තිබුණේ සිහිලැල් සෙවනකි.     ස්වප්නලාගේ ගෙදරට එතකොටත් පැමිණ සිටි ඇගේ සහෝදර සහෝදරියන්ද නෑදෑයන් ද ගමේ අයද දානය පිළියෙළ කිරීමේ කටයුතුවල නිරතවී සිටියේ දැඩි උනන්දුවකිනි.    අපේ කණ්ඩායම ආදරයෙන් පිළිගත් ස්වප්නා කට්ටියට සංග්‍රහ කිරීමට උත්සුක වුවාය.    අපිද එළියේ තිබු පුටු ටිකක් ගස් සෙවනකට ඇදගෙන ගොස් වාඩිවී කතාබහ කරමින් සිටියෙමු.    ගෙයි සිට තේ අරගෙන පැමිණි ස්වප්නා අපට තේ පිළිගැන්වූවාය.    මට බොන්නට හරියන පදමට තේ එකක් හදාගන්නට මටත් බැරි නිසා පිටතදී තේ බොන්නට මම වැඩි කැමැත්තක් නොදක්වමි.    ඒ නිසා මම ස්වප්නාට කීවේ බොන්නට වෙන මොනා හරි තිබුනොත් හොඳ යැයි කියාය.   ඒ ගමන ස්වප්නා තැඹිලි ගෙඩියක් කපාගෙන ඇවිත් මට බොන්නට දුන්නාය.   කෑමට තිබුණේ තලගුලිය, තලගුලි කිව්වාට ඒ තල කැරළි නොව තල ගෙදර කොටා සාදාගෙන තිබු රසවත් ගුලි වර්ගයකි.   ගුලි කියද්දී මට තවත් කතාවක් මතක්වේ.   මතක්වුණු වෙලාවේ මෙතැනදීම කියා දමන එක හොඳ යැයි සිතේ.

කාලය නවසිය අසූ ගණන්වල මුල භාගය හෝ මැද වන්නට ඇත.   ඒ මම අපේ ගමේ තරුණ පිරිස සමග බොහෝ සැහැල්ලුවෙන් ජීවිතය ගතකල සමයයි.    උදේ රැකියාවට ගොස් හවස ගෙදර එන මම එතැන් සිට මහ රෑ වනතුරු කොල්ලන් සමග රස්තියාදු වෙමින් ගතකරමි.   නිවාඩු දවස්වල දවසම ගතවන්නේ ගෙදරින් පිටතය.    රස්තියාදු ගැහුවා කියා කීවාට ඒ කාලයේදී අපේ ගමට බොහෝ ප්‍රයෝජනවත් වැඩ ගණනාවක්ම කරදෙන්නට අපට  හැකිවිය.   අපේ මුළු කාලයම ගෙවුණේ ක්‍රීඩාව, සමාජ වැඩ කටයුතු, සමිති සමාගම් හා කලා කටයුතු ආදී වැඩ වලටය.    ගමට නොතිබුණු ක්‍රීඩා සමාජයක්ද,  කවදාවත්ම කරගන්නට බැහැයි කියා අමතක කර දමා සිටි මරණාධාර සමිතියක්ද තරුණ සංගමයක්ද කෙටි කලෙකින්ම පිහිටුවා ගැනීමට අපට හැකිවිය.   මේ සමිති සමාගම් අදද ගමේ සාර්ථකව ක්‍රියාත්මක වනු දකිනවිට අපට දැනෙන්නේ සියුම් ආඩම්බරයකි.    හැමදාම හවසට ගමේ ළමයින් කණ්ඩායමද එකතු කරගෙන අතහැර දමා තිබු වත්තක ක්‍රීඩා කිරීම අප නොවරදවාම කල කාරියකි.    අවට ගම්වල කණ්ඩායම් සමග ක්‍රීඩා තරඟ පැවැත්වීමද හැම සති අන්තයකම පාහේ සිදුවිය.    කලා කටයුතු හැටියට කළේ නාට්‍ය පුරුදුකර ගමේ පෙන්වීමය.    ගමට අප නිර්මාණය කරදුන්  අවුරුදු උත්සවයේ 33 වන බක්මහ උළෙල පහුගිය අවුරුද්දේ පැවැත්වුණි.    හැම වෙසක් සමයකදීම ඉදිකරන දැවැන්ත වෙසක් සැරසිල්ල බලන්නට පාලනය කල නොහැකි තරම් සෙනග කන්දක් ඇදුණු නිසා තරුණ සමිතියේ මුදල් තත්වයද ඉතා ඉහළ මට්ටමක තිබු බැවින් අපේ අනෙක් වැඩ කටයුතුවලට මුදලින් අඩුවක් නොවීය.    රෑ වෙනවිට පොඩි මහින්දලාගේ ගෙදර ඉස්සරහ කාමරයේ නැවතී රස්සාවට ගිය ඩෙනිස් ගේ කාමරයේ පටන් ගන්නා සාජ්ජය මහ රෑ වෙනතුරු ඇදී යයි.      එතැනදී බෝතලයක් දෙකක් හිස්වීම සාමාන්‍ය දෙයකි.    දෙමටගොඩට වැඩට ගිය එකෙක් එහෙදී මල් ගහන්නට පුරුදුවී මිටියක් දෙකක් ගමට ගෙනැත් බොන්නට පුරුදුවී සිටියේය.    ඒ දැන් වගේ සිගරැට් වල නොවැ කාප්පයකින් එතූ කාල පන්දමක් වැනි සුරුට්ටුවකි.     ඌ කොල්ලන් සමග එකතුවී මිටිය ගැහුවද මට මුල ඉඳන්ම ඒ ගැන ප්‍රියක් ඇති නොවූ නිසා මල් ගැනීමෙන් වැළකී සිටියෙමි.     වෙසක් සමයේ මුළු කාලයම ගමේ ගතකලද පොසොන් වෙද්දී වැඩකරන තැන කොල්ලන් එක්ක එකතුවී වොරන්ට් ලියාගෙන කෝච්චියේ අනුරාධපුරයට යන අප නතරවන්නේ එවකට ගුණේ සේවය කල අනුරාධපුර ළය චිකිත්සාගාරයේය.    පොසොන් සමය අහවර වනතුරු අනුරාධපුරේ හැමතැනම ඇවිදිමින් කාලය ගතකරන අපි කෝච්චියේ  නැග ආපසු එන්නේ සතියකට පමණ පසුවය.

ඔන්න ඔය ආකාරයට ජීවිතය ගතවෙමින් තිබියදී අපේ එකෙක් එතෙක් අප නොදැන සිටි අලුත් ඖෂධයක් අප කණ්ඩායමට හඳුන්වා දුන්නේය.   ඒ කුමක්දැයි කීවොත් පසුව අපි ගුලි නමින් හඳුන්වන්නට යෙදුණු මදන මෝදක ගුලියයි.    මදන මෝදකය අපට හඳුන්වා දෙමින් ඌ කීවේ මේ ගුලිය කෑමෙන් බඩගින්න සහ ආහාර රුචිය බෙහෙවින් වර්ධනය වෙන බවයි.    ගල් ගිල්ලත් දිරවන වයසේ සිටි අපට කෑම රුචියේ කිසිම අඩුපාඩුවක් නොතිබුණත් අපි ඔක්කොම පාහේ මේ අලුත් ගුලියට වහ වැටුණේ ගුලිය නිසා වැඩිපුර කන්නට පුළුවන් වුන නිසාය.    ගුලි විකුණන්නට අද මෙන් තහංචි බාධක කිසිවක් නොතිබුණ ඒ කාලයේ ගමේ කඩවල බෝතල් පුරවා ගුලි විකුණන්නට තබා තිබෙනු දක්නට ලැබිණ.    එකල ගුලියක මිල රුපියලක් පමණ වූ බවද මට මතකය.   ගුලිය අපට හඳුන්වා දුන් එකා කීවාක් පරිදිම ගුලියක් කෑමෙන් පසු කෑම රුචිය බලා ඉද්දී ඉහළ යන බව නොබෝ දිනකින්ම අප තේරුම් ගත්තෙමු.    ඒ කොහොමද කිව්වොත් වෙනදාට මාළු පාන් ගෙඩියක් කන එකාට මාළු පාන් තුන හතරක් කන්නට හැකිවීම සාමාන්‍ය දෙයක් විය.    බත් පිඟන් දෙක තුනක් කිසිම ආයාසයකින් තොරව කන්නට හැකිවිය.    අපි කට්ටිය හැමදාම පාහේ විජේපාලගේ කඩෙන් ගුලි අරගෙන කන්නට පුරුදු වූයෙමු.    එකල ගුලි වර්ග කීපයක් කඩවල විකුණන්නට තබා තිබුණි.    නම් වශයෙන් ගත්තොත් මොරවක ශ්‍රීමත් මදන මෝදකය, මහා කාමේෂ්වරී මදන මෝදකය, සංජීවනී මදන මෝදකය, නාහල්ලේ මදන මෝදකය යනුවෙන් මේවා නම් කර තිබිණි.    අපට වැඩියෙන්ම කන්නට ලැබුණේ සංජීවනී මදන මෝදකය බව මට මතකය.

අපේ ගමේ ගෙයක් කුලියට අරගෙන රෙදි මෝලේ රස්සාවට ගිය හේරත් අයියා සිය ගමේ අලුත් ගෙයක් හදා ගෙට ගෙවැදීමේ උත්සවයට අපටත් ආරාධනා කළේ අපි ගුලියේ සොමිය උපරිමයෙන් විඳිමින් සිටි කාලයේදීය.   ඔහුගේ අලුත් ගේ තිබුණේ මහව පැත්තේය.    අපි සියලු දෙනාම කුලියට වාහනයක් කතා කරගෙන හේරත් අයියාගේ ගෙට ගෙවැදීමේ උත්සවයට යනගමන් මගින් ගුලි ටිකකුත් අරගෙන යන්නට අමතක නොකළෙමු.    මහ ජයට තිබු ගෙට ගෙවැදීමේ උත්සවයේ දවල් ආහාරයට පෙර මත්පැන් සංග්‍රහයක්ද විය.  මත්පැන් ප්‍රතික්ෂේප කල අපි කීප දෙනෙක් ගෙනගිය ගුලි ටික පැත්තකට ගොස් වැළඳුවෙමු.    මත්පැනට ලොල්ව ගුලි එපා කියා පෙරේතකමට මත්පැන් බීපු උන් ඔක්කාරෙ කරමින් දඟලද්දී අපි ටික හේරත් අයියා පිළියෙළ කර තිබු රස මසවුළු සියල්ලටම නොඅඩුව සාධාරණය ඉෂ්ට කළෙමු.    මේ අතර තව එකෙක් ගුලිය ගැන අප එතෙක් නොදත් අපුරු ආරංචියක් ගෙනාවේය.   එනම් ගුලිය කෑමෙන් පුරුස සක්තිය වර්ධනය වන බවය.    ගුලි නැතිව උනත් හොඳට තිබුණු පුරුස සක්තියෙන් කිසිම පළක් ප්‍රයෝජනයක් නැතිව හිටියත් මේ අලුත් ආරංචියෙන් අපේ සිත් ප්‍රීතියෙන් පිනා ගිය බව නොකිවමනාය.   පුරුස සක්තිය වර්ධනය වීමේ කාරණය අපි එතනින් අමතක කර දැම්මත් අපේ කට්ටියේ හිටි එකෙකුට මේ කතාවේ ඇත්ත නැත්ත බලන්නට උවමනා විය.    ඌ අපි වගේ නොව බොහෝ ප්‍රායෝගික චරිතයකි.    ගුලිවල ඇති මේ අලුත් ගුණය ගැන අත්හදා බලන්නට ගුලියකුත් සප්පායම් වී ඔහු ගියේ තමන් ඉතා ලඟින් ඇයි හොඳයිකම් පවත්වමින් සිටි සොඳුරු ලඳක් සොයාගෙනය.    ඇයගේ තුරුළේ හුරතල් වෙමින් මූ ඇයට තමන් එදා තමන් ගත් නව වාජීකරණ ඖෂධය ගැනත් කිව්වේ මහත් උජාරුවෙනි.   එහෙම කයියකුත් ගසා මූ සුදානම් වුණේ පුරුස සක්තිය උරගා බලන්නටය.    අහෝ ඛේදයකි, පුරුස සක්තිය වැල මදුලක් වෙලාය, මක්කොරලාවත් පණ පිහිටුවා ගන්නට බැරිතැන මුගේ ඉහමොළ රත්විය.  තම සහකාරයා සිය යටිකය දෙවනත් කරමින් වැඩ පෙන්වන තුරු සොඳුරු ලඳ නොඉවසිල්ලෙන් බලා සිටියත් ඔහුට වෙනදා පෙන්නන වැඩ ටිකවත් එදා දක්වන්නට නොහැකිවූ බව අමුතුවෙන් කිව යුතු නැත.    විළි ලැජ්ජාවට පත් ඌ පල්ලම් බැස්සේ ගුලියට පමණක් නොව ගුලිය හැදු එකාගේ දෙමාපියන්ටද අම්ම මෝ නැතුව බැන වදිමිනි.     ආපහු ඇවිත්  ගුලියේ වාජීකරණ ගුණය ගැන කයිය ගැසූ එකා හොයාගෙන ගොස් උගේ බෙල්ල මිරිකන්නට හදන විට සිදුවූ සියල්ල හෙළිවිය.

ඒ ගුලි කෙසේ වෙතත් ස්වප්නා අපට කන්නට දුන් තලගුලි නම් බෙහෙවින් රසවත්ය.    තේ පානයෙන් පසු අපේ කීපදෙනෙක් සුදානම් වුණේ යද්දී ගෙනගිය බෝතලයේ රස බලන්නටය.    ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නට වටපිට බලද්දී උන්ට ඇහැ ගැසුණේ කොට කලිසමක්ද ස්කිනියක්ද හැඳ කනක කරාබුවකුත් දමාගෙන තට්ටය බා රැවුල වවාගෙන කරා ලෙවෙල් එකේ සිටි කොල්ලෙකි.   මැර පෙනුමක් තිබුණද ඔහු අහිංසකයෙක් බව බැලු බැල්මට පෙනෙන්නට තිබුණි.    පසුව දැනගත් පරිදි ඔහු ස්වප්නාගේ ලොකු අක්කාගේ ලොකු පුතාය.    ඌට කතාකර අවශ්‍යතාව කී විගස අවශ්‍ය උපකාරය කරදීමට ඔහු එකපයින් ඉදිරිපත් විය.   වත්තේ ඉහළට වෙන්නට ඇති දිය පාරක් අබියස අපූරු ගල්තලාවක් ඇතැයි කී ඔහු එතැන අදාළ කාර්යයට ඉතා සුදුසු යයි කියා කුස්සියෙන් කන්නට මොකුත් රැගෙන ඇවිත් එතැනට කට්ටිය එක්කගෙන යාහැකි බව කීවේය.     ගල්තලාවත් දිය පාරත් බලන්නට මට ආසාවක් ඇතිවුණත් අපේඋන් අරං ඇවිත් තිබු බීම වර්ගය මා පාවිච්චි කරන බීමක් නොවන නිසා මත්පැන් නොබොමියි කියා ඒ අය මගහැර කෙල්ලන් සමග කතා කරමින් සිටියෙමි.    වැරදිලාවත් ගියානම් එහෙම උන් ටික මට බලෙන් පොවන්නට හදන්නේ හරකුන්ට බම්බු ගහන ආකාරයටය.    බම්බු ගහනවා කියන්නේ හරකුන්ට බෙහෙත් පොවන එකටය.   මා කුඩා කාලයේදී හරකුන්ට බම්බු ගහන හැටි කොතෙකුත් දැක ඇත.     අද මෙන් පශු වෛද්‍යවරුන්  ලේසියෙන් සොයාගන්නට නොමැති ඒ කාලයේ හරකුන්ට වෙදකම් කළේ ගමේ ගොඩේ ඉන්න වෙද්දුය.    වෙදුන් නියම කරන කොළ, පොතු, මුල් ආදිය සොයා තම්බා හරකුන්ට පෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.    මුළින්ම උණ පුරුකක් සොයාගෙන ගැටයට උඩින් පෙත්තට කපා ගත යුතුය.   ඉන්පසු සතාව ගහකට කරට තියා බැඳගෙන හරකාගේ කටට අත දමා දිව එළියට ඇද කටේ පැත්තකට කර අල්ලාගෙන අනික් පැත්තෙන් බේත් පිරවූ බම්බුව කටට ඔබා බේත් ටික හරකාට පෙවෙන තුරු අල්ලාගෙන ඉඳි.   බොහෝවිට මේ කාර්යය සඳහා දෙන්නෙක් අවශ්‍ය වුවත් පළපුරුදු හරක් කාරයින් තනිවම වුවද හරකාට බම්බු ගැසීම කරති.    ගොන් ගහනවා කියන්නේ හරක් බැඳ ගොයම් මඩවනවාටය.     අදද මේ වචන දෙක භාවිතයේ ඇතත් ඒවා යෙදෙන්නේ වෙනත් වෙනත් අර්ථයන් සහිතවය. 

බොන්නට වත්තේ උඩහට ගිය උන් පැයකට පමණ පසු ආපසු ආවේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.    බොන්නට ගිය තැන තිබු ස්වභාව සෞන්දර්යය ඔවුන්ගේ සිත් වසඟ කල බව බැලු බැල්මටම පෙනෙන්නට තිබුණි.    මේ වනවිට දානය හමාරවී හාමුදුරුවන්ද ආපහු වැඩම කරලාය.    ඉන්පසු තිබුණේ ඉතිරි අයට දානය පිළිගැන්වීමයි.    අපිත් කෙළි කවටකම් මැද දානය වැළඳුවෙමු.    ගමේ ගොඩේ කෑමවලට මගේ ඇති ඇල්ම දත් ස්වප්නා සකස් කර තිබු දානය මටනම් බෙහෙවින් රුචිකර විය.     කජු වාරයේ දවසක ආයෙම ආවොත් කජුත් කොසුත් කන්නට පුළුවන් යැයි ස්වප්නා කීවේ අපි ආපහු එන්නට සැරසෙද්දී ය෴

48 comments:

  1. //කජු වාරයේ දවසක ආයෙම ආවොත් කජුත් කොසුත් කන්නට පුළුවන් යැයි ස්වප්නා කීවේ අපි ආපහු එන්නට සැරසෙද්දී ය//

    මේ සීරීස් එකේ 18+ පෝස්ට් එකක් සුවර්

    ReplyDelete
    Replies
    1. /// මේ සීරීස් එකේ 18+ පෝස්ට් එකක් සුවර් ///
      +++++++++++++++++

      Delete
    2. සුවර්ද? එහෙනං ලියමු.

      Delete
  2. චැහ්.. කරපට් වෙන්න ගහල දානෙ ගෙදරත් අල කරගන්න සීන් එකක් මිස් වෙලානෙ.

    ඔය සංජීවනියට කලින් මේ පැත්තෙ තිබුණෙ බණ්ඩයියා ගුලි. කොට්ටිඹුල්වල පැත්තෙ පොරක් තමයි ඒව හැදුවෙ. සංජීවනී ආවෙ ඊට සෑහෙන කාලෙකට පස්සෙ.

    ඉතිං කජ්ජ කන්න ගියැයි.

    ReplyDelete
    Replies
    1. කජ්ජ කනකල්ද බලං ඉන්නෙ.

      Delete
  3. ඒ කියන්නේ දැන් හැලපේ ගුලි කාලා පුරුස සක්තිය උරගාලා බැලුවෙම නෑ? එතකොට ඔහේ සියඹලා ගෙනල්ලම නෑ... ?

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං අහිංසක කමට හිටිය මිසක අනං මනං කරන්න ගියෙ නෑනෙ.

      Delete
  4. මට හිතෙන්නේ මේ කතාවේ ඊළඟ කොටසයි අද කෑල්ලේ මැද කොටසයි පැටලිලා. ඔය ගුලි වල එෆෙක්ට් එකක් නෑ කියල දැන ගත්තේ කජු කන්ඩ ගියාම නේද?

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලි කොහොමද දැනගත්තෙ සුවර් එකටම පෙසන්නයා කියන්න ඇති.

      Delete
  5. සුවප්නාට පෙන්නන්නට පුරුස සත්තිය
    හැලපයියා කෑවේ ශ්‍රී මෝදක ගුලිය
    කාල ලඟට ගියේලු අද දෙන්න බැස්ටිය
    වැල මදුලක් වෙලා අපොයි හැලප යස්ටිය

    ReplyDelete
    Replies
    1. හපොයි හැලපෙ...!!

      Delete
    2. හපොයි ලව් පූශා...!!

      Delete
    3. //හැලප යස්ටිය //

      +++++

      Delete
    4. ගුලි කාල පෙන්නු විට පුරුස සක්තිය
      තාම අනේ උඩ බලාන ඉන්නෙ යස්ටිය.

      Delete
  6. කිව්වට අමනාප වෙන්න එපා හැලපෙ..ඡේද දිග වැඩියි කියල හිතෙන්නෙ හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඡේද දිග වැඩියි වුනත් පරණ හැලප ස්ටයිල් එක දැන් ආයෙමත් තියෙනවා.

      Delete
    2. @රවී......++++++++++++

      හැලපයෝ තරහ වෙන්න එපා, මටත් එහෙම හිතුනා.

      Delete
    3. ගුලිය නිසාය.

      Delete
    4. අමනාපයක් නෑ රවී. ඡේද දිග වැඩිද කියල මටත් හිතුණා.

      Delete
    5. මනෝජ්,
      පරණ හැලප ස්ටයිල් එක තියේනං හොඳනේ ඈ.

      Delete
    6. නෑ අරූ ආයෙම ලියද්දි දිග අඩු කරන්නං.

      Delete
    7. ප්‍රා,
      එහෙමත් වෙන්න බැරි නෑ නේද?

      Delete
  7. කජුයි කොසුයි කන්න යන්න කලින් මදන මෝඩක එහෙම කාලා යනවා නොවෙයි.. හැක්. අපේ පැත්තේ තිබ්බේ ශ්‍රීමත් අමාරස මදන මෝදක තමයි වැඩිපුරම.. මටනම් අල්ලන්නෙම නැති එකක්..

    ReplyDelete
    Replies
    1. කජු සහ කොස් කන්න යද්දී නං දෙකක් දාල යන්නයි හිතං ඉන්නෙ.

      Delete
  8. මේක කියවනකොට අපිත් ඒ කාලේ කරපු කියපු දේවල් මතක් වෙනවා බං. ඔය පුරුස ශක්තිය ගැන කථාව මාත් අහලා තියෙනවා. හැබැයි පුරුස ශක්තිය වැඩ කරන්නේ මලත් එක්ක වගේ මතක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය හැම එකම ත්‍රයිලෝක විජය පත්‍ර එක්ක සම්බන්ධයි.

      Delete
  9. +++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මොකුත් ලිව්වා නං තමා හොඳ.

      Delete
  10. //කජු වාරයේ දවසක ආයෙම ආවොත් කජුත් කොසුත් කන්නට පුළුවන් යැයි ස්වප්නා කීවේ අපි ආපහු එන්නට සැරසෙද්දී ය// වෙන මුකුත් බැරි වේද?

    ReplyDelete
    Replies
    1. කොස් කිරන්නත් පුලුවං ‍වෙයි සමහර විට.

      Delete
    2. වඩියක් බාගන්න එක සිම්පල් :D

      Delete
    3. ප්‍රසන්න,
      කිරල නං මදි බං.

      Delete
    4. අරුණ,
      වඩියක්ද ලෝඩ් එකක්ද.

      Delete
  11. ගුලි වලට පුරුස සක්තිය කෙසේ වෙතත් උතුර දකුණ නම් සැරටම මාරු වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මටත් එහෙම වෙලා තියෙනවා.

      Delete
  12. කජු ඇට හැලපෙට..කොස් ඇට ස්වප්නාට..???

    ReplyDelete
  13. මදන මෝදක ගුලි contains cannabis

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒවා සැරටම දානවා.

      Delete
  14. අතීතය රසවත්!

    ReplyDelete
  15. හැලපයිය මේ පොස්ට් වලට නම් දානවා සහමුලින්ම වැරදියි, ගුලියේ වින්දනය උඩට අරන් මදි ... :-D

    පහුගිය දවස් වල ගෘහස්ථ වාරණ මණ්ඩලය අකර්මණ්‍ය වීමෙන් උන එකම හොඳ දේ මේ කතන්දර එලියට ඇදෙන එකද කියල හිතෙනවා. හැලපක්කා දැන් සුවය ලබා ඇතැයි සිතමි !

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත, ගුලියේ වින්දනය ගැන දන්න විශේෂඥයන් කියන දේ අහන්න ඕනෑ.
      හැලපක්කා බොහෝ දුරට සුවය ලබා ඇති අතර තවම විවේකයෙන් පසුවන ඇය බුකියේ රවුම් ගැසුවත් බ්ලොග් කියවීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව දන්වනු කැමැත්තෙමි.

      Delete

ඔබේ අදහස්