අද ලියන්නට සැරසෙන්නේ සංචාරක සටහනකි. මීට පෙර දවස් කීපයක්ම මේ සටහනතබන්නට සැරසුනත් මොන මොන හේතූන් නිසා හෝ ලියාගන්නටනොහැකි විය. ඒ නිසාම අද මේ සටහන ලියා අවසන් කරන්නට සිතුවෙමි. ඒ සමගම ඔබට දැන්විය යුතු තවත් කරුණක් මේ සමගම ලියා තැබීම සුදුසු යැයි මට සිතේ එනම් මගේ ලිවිල්ල පිලිබඳවය. ඩොමැස්ටික් සෙන්සර්ෂිප් ඉතා තදින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මගේ සුපුරුදු ලිවීම දිගටම කරගෙන යෑම සම්බන්ධව දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවී ඇත. වාරණයට යටත්ව ලිවීමට මගේ කිසිම කැමැත්තක් නැත. එය හරියට දෙඅත් බැඳ ලිවීම හා සමානය මුලසිටම මගේ ප්‍රතිපත්තිය හා ලිවීමේ රටාව වුයේ ලියන දේ අත දිගහැර ලිවීමය. නමුත් අත දිගහැර ලිවීමට නොහැකිනම් ඒ ලිවීමට වඩා නොලියා සිටීම නම්බුකාරය. එබැවින් මා මෙතෙක් ලියාගෙන ආ "භීෂණ සමයේ ටෙලිනාට්‍ය සමග ජීවිතය" සහ "දෙසතිය මතක" ලිපි පෙළට තාවකාලිකව සමුදීමට සිදුවී ඇත.
එයින් කියැවෙන්නේ මා ලිවීම නවත්වන බව නොවේ. ආන්දෝලනාත්මක හෝ විවේචනාත්මක මාතෘකා නොවන සාමාන්‍ය ලිපි මට ඉඩ හසර ඇති අයුරින් පළවනු ඇත. පළ නොවන්නේ ලුණු ඇඹුල් ඇතිව ලියාගෙන ආ ලිපි පෙළය. ලුණු ඇඹුල් කියනවිට එකවරම මගේ මතකයට නැගෙන්නේ කිරි හොද්දකි. කිරි හොද්ද නොහොත් පොල්කිරි හොද්ද යනු මා ඉතා ප්‍රියකරන ආහාරයකි. බැලු බැල්මට එය පිළියෙළ කිරීම ඉතා සරල වුවත් මා සිතන හැටියට හරියට රසට ලුණු ඇඹුල් ඇතිව කිරි හොද්දක් පිළියෙළ කරගැනීම ඉතා සංකීර්ණ කාර්යයකි. උයන කෙනෙකුගේ එම කාර්යයේ නිපුණත්වය ඔහු හෝ ඇය සාදන කිරි හොද්දකින් මැනගත හැකි බව මගේ විශ්වාසයයි. කිරි හොද්දක් පිළියෙළ කරන ක්‍රමවේදය හා බ්ලොග් ලිපියක් ලියන ක්‍රමවේදයේ සමානකම් ඇති බව මා විශ්වාස කරමි.
කිරි හොද්ද රසවත් වන්නේ කුළු බඩු, දුරු මිරිස්, උම්බලකඩ,ලුණු ඇඹුල් , රම්පෙ කරපිංචා ආදිය පදමට දමා හැඳි ගාමින් පිළියෙළ කළ විටය. මොන තරම් අඩුම කුඩුම දැම්මත් ළඟ ඉඳගෙන හැඳි නොගෑවොත් හොද්ද උතුරා කැටිගැසේ. ඒ නිසාම යන්තම් හොද්ද රත්වෙන්නට ගත් මොහොතේ සිට හැඳිගාන්නට පටන් ගත යුතුය. ඒ හැඳිගෑම හොද්ද ඉදී අහවර උනත් නවත්වන්නට නොහැක. හොද්ද ඉදවා ලිප නිවා ඇඹුල් මිශ්‍රකල පසුවද හැඳිගෑම කරගෙන යායුතුය. හොද්ද නියම ආකාරයට රසවත් වන්නේ එවිටය. බ්ලොග් ලිපියක් ලිවීමේදීද මේ ආකාර දෙකම උපයෝගී කර ගත හැක. එකක් නම් තමන්ම සීමාවන් පනවාගෙන ලියන්නට ඇතිදේ සියල්ලම නොව අවශ්‍ය දේ පමණක් ලියාගෙන ගොස් ලිවීම අවසානවූ වහාම පළකිරීමය. එවිට තමන් ලියා ඇති ලිපියේ අඩුපාඩු, වැරදි, රස නීරස කිසිම දෙයක් නැවත පරීක්ෂා කර බලන්නට හැකි නොවේ. එසේ වුවිට එම ලිපිය හැඳි නොගා හදන කිරි හොද්ද මෙන් නීරසවේ.
සීමාවන් රහිතව හිතේ හැටියට ලිවීම අනෙක් ආකාරයයි. සිතේ ඇති සිතුවිලිවලට නිදහසේ ගලා එන්නට ඉඩ දෙමින් ලියන දෙය රස විඳිමින් බ්ලොග් ලිපියක් ලියා දින ගණනක් එය නැවත නැවත කියවමින් අඩුපාඩු සකස් කරමින් මටසිලුටු කරමින් හැඩ ගන්වමින් අනතුරුව පලකළ විට එම බ්ලොග් ලිපිය ඉතා හොඳින් හැඳි ගා පිළියෙළ කළ කිරි හොද්දක් මෙන් රසවත් වේ. පලකළ පසුද නැවත කියවන විට වඩාත් හොඳින් සකස් කළ හැකි තැනක් දුටු විට එයද සකස් කිරීම හොද්ද ලිපෙන් බාගත් පසුවද හැඳි ගෑම වැනිය. මා බොහෝ විට අනුගමනය කරන්නේ මේ දෙවැනි ක්‍රමයයි.
ලිපියක් ලියද්දි ලිවීම පිළිබඳව වර්තමානයේ මා ඉතා සැළකිලිමත් වෙමි. සමහර විට ලිපියේ තැනකට ගැලපෙන වචනයක් සිතට නොආ විට එතැනට ගැලපෙන වචනය ලැබෙනතුරු සමහර විට දින ගණන් ගතකරමි. අපේ භාෂාවෙන් කිවහොත් හිට් වෙන විදියට බ්ලොග් ලිපිය පලකළ හැකිවන්නේ එවිටය. ආප්ප බාන ලෙස බ්ලොගයේ ලිපි පළකිරීම මා අනුමත නොකරන බැවින් බ්ලොගය යාවත්කාලීන වීම මඳක් ප්‍රමාද වේ. එහෙත් අන්තර්ගතයේ ප්‍රමිතිය ඉහළ තත්වයකින් පවත්වාගෙන යෑමට නිතරම උත්සාහ ගන්නා කෙනෙක් ලෙස සීමාවන් තුළ ලිවීමේදී මා අසාර්ථක වෙතැයි මට නිතරම සිතේ. අසාර්ථක ලිපි ලියනවාට වඩා නොලියා ඉඳීම සැපතකි. එසේ නමුත් අසාර්ථක ලිපිද කෙසේ හෝ ලියැවිය යුතුය. මන්දයත් සාර්ථක ලිපි කිමෙක්දැයි මැන බලා ගැනීමට අසාර්ථක ලිපි මහඟු මෙහෙවරක් ඉටු කරන නිසාවෙනි.
ඉතින් කිරිහොදි මතක්වුණ මේ වෙලාවේ ඒත් එක්කම මතක් වෙන්නේ අඹ මාළුවය. සිරි ලංකාවේ අඹ පලදාව නහුතයටම නැග ඇති මේ අඹ වාරයේ කෑමකට කොහේ ගියත් මේසයේ නිතරම පාහේ අඹ ව්‍යංජනයක් වරදින්නේ නැත. මගේ ජීවිතේටම මෙතෙක් කල් කා ඇති රසම අඹ මාළුව අරගෙන ආවේ අපිත් එක්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩකරපු පීරිස්ය, ඌත් පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙකුගේ වයස ගියත් එතෙක් කල් පිළිවෙලක් නොවී තනිකඩව හිටපු එකා නිසා හැමදාම උදේට ඌට බත්මුල හදා දෙන්නේ අම්මාය. අම්මා කෙහෙල් කොළේ ඔතාදෙන බත් එකද අරගෙන බෙම්මුල්ලෙන් කෝච්චියට නැග කොළඹ එන පීරීස් දවල් කෑම කන්නේ මගෙත් එක්කය. කන්තෝරුවල වැඩකරන අය වැංජන හුවමාරු කරගෙන කන සිරිත අනුව දවසක්දා පීරීස් දවල් කෑම එකේ තිබුණු අඹ වැංජනයෙන් කොටසක් මටත් බෙදුවේය. එහි රස බැලූ මගේ රස නහර පිනාගියේ පීරීස්ගේ අම්මා තුනපහ ආදිය හොඳට කළුකර දමා සීනි ටිකක්ද මිශ්‍ර කර අඹ මාළුව එතරම්ම ලකේට උයා තිබුණු බැවිණි. ඊට පස්සෙ නම් එවැනි රස අඹ මාළුවක් මෙතෙක් මට කන්නට ලැබී නැත. මම ඉන්දියාවේ රාජකාරි කරන කාලේ පීරිස් ටීච කෙනෙක්ව පෙළවහට ගත්තාය කියා මට ලියා දන්වා එවා තිබුණි. අඹ මාළුවක් හදෝගෙන වත් කන්නට උගේ අම්මා නම් දැන් ජීවතුන් අතර ඉඳී කියා හිතන්නටද අමාරුය.
අඹ ගැන දිගටම කතාකරගෙන එනවිට මට තවත් අඹ කතාවක් මතක්වේ. ඒ නම් මේ ඊයෙ පෙරේදා වෙච්චි දෙයකි. අපේ යාලුවෙක් කලකට ඉස්සර ගත්ත පොඩි ඉඩම් කෑල්ලක් තිබේ. එය තියෙන්නේද වැඩිදුරක නොව අපේ ගමට එහා ගමේය. මේ ඉඩම් කෑල්ලේ තියෙන ගස්වල පළදාව නෙලන්නට අපේ හිතවතුන් යන්නේ අති විශාල වතුයායක පළදාව නෙලන්නට යනවාක් මෙනි. මාස තුන හතරකට සැරයක් ගිහින් ඉඩමේ තියෙන ගස් කීපයේ පොල් කඩාගෙන ඒම ආදිය ඔවුන් කරන්නේ ඉතා උනන්දුවෙනි. මේ ඉඩමට යන අය කරන කියන දේ ගැන මහ ඉහළින් කතා කළත් මට මෙතෙක් කල් ඔවුන් එක්ක ඉඩමට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත. දැනට දවස් දෙක තුනකට ඉස්සර එක රෑක බණ ගෙදරක ගිහිං බණ ගෙදර ආපු අයට රෑට දානය ලෑස්ති වෙනතුරු එතනම ළඟ ගෙදරක අපි දෙතුන් දෙනා චුට්ටක් සප්පායම් වෙමින් ඉද්දී හෙට උදේ අහවලාගේ ඉඩම් කෑල්ලේ අඹ කඩන්නට යන්නටත් තියෙනවායි කියූ සුද්දා ඒකට කෙනෙක් හොයාගන්නටත් අවශ්‍යයි කියා අඹ කඩන්නට යන්නට මටද කතා කළේය. එහෙනම් හෙට උදේ යමු කියා මමත් වැඩිදුර නොසිතාම කැමැත්ත දුන්නෙමි. රෑ කරපු කර්තව්‍යය ටිකක් දිගදුර ගොස් රාත්‍රී ආහාර ගෙන අවසන්වී මම ගෙදර එද්දී පාන්දර ජාමය විය.
ඇඳට වැටුණු සැණින් මළාක් සේ නින්ද ගිය මට පසුදා උදේ ඇහැරුණේ ගේ ඉදිරිපිට සුද්දා කෑගසන හඬ ඇසෙනවිටය. බැලුකොට වෙලාව උදේ නමයටත් කිට්ටුය. ඉඩමට යන්නට දැනටමත් පරක්කුය කියූ සුද්දා මට තව එකෙක් එක්ක ඉඩමට එන්න පට්ටල් කරදී යන්නට ගියේය. ඉක්මනටම මුහුණ සෝදා හැඳ පැළඳගෙන එළියට බහිද්දී උදේම කොහි යනවාදැයි හැලපි ඇසුවාය. ගහක අඹ කඩාගෙන එන්නම්ය කියුවිට කොහෙ ගියත් හවස තුන වෙද්දී ගමන යන්නට ගෙදර එන්නටය කියා හැලපි කීවේ ඇයගේ යාලුවෙක්ගේ ගෙදර යන්න එනවායි මම කලින් දවසේ පොරොන්දුවී සිටි නිසාය. වැඩි කල් වේලා නොගොස් අපි දෙන්නා ඉඩමට යද්දී සුද්දා සහ අඹ කඩන එකා බර වැඩය. ඌ ගහ උඩ සිට ගොට්ටක් ගැට ගසා තිබු කෙක්කකින් අඹ කඩා පෝර උරයකට දමා පහළට එවද්දී සුද්දා අඹ ටික ගොඩගසයි. ඉඳහිට බිමට වැටෙන ගෙඩියක් ඇරෙන්නට ඉතිරි අඹ සියල්ලම නොතලා පරිස්සමින් කඩාගන්නට ගහේ හිටපු එකා සුරයෙකි. ඌම ගහේ නැග්ගා මිසක මම නම් මසුරන් දෙනවා කිව්වත් ඒ ගහට නොනගින්නේ සිලි සිලි ගා එතරම්ම දිමියන් තොගයක් ගහේ පුරාම පිරී සිටි නිසාමය. ගහ උඩ අඹ කඩන එකා සැරෙන් සැරේට ලාම්පුතෙල් කුප්පියක් ගහේ කඳේ හලන්නේ දිමියන් ඇඟට එන එක වළක්වාලන්නටය. දිමි හිටියාය කියා අතහැර දමන්නටත් බැරි ඒ ගහ කර්තකොලොම්බන් ගහක් වීමත් මෙදා සැරේ ගෙඩිත් හොඳට අලංකාරව සම්පූර්ණවී හැදී කහ කෑල්ල වගේ පැසී තියන නිසාවෙනුත්ය.
ටිකකින් ඉඩම අයිතිකාරයාත් පැමිණියේය. අහල පහළ ගෙවල් දෙකක ඉන්න අයගේ පැමිණිල්ල වුයේ ඒ අයගේ වතුවලට නැවී ඇති අඹ අතු කපා දමන්නට කියාය. ඒ ගමන සුද්දා ආපහු ගෙදර ගිහින් අඹ අතු කපා බාන්නට කඹද, මන්නා පිහි, පොරෝ ආදියද රැගෙන ආවේය. දැන් අඹ කැඩිල්ල තියෙද්දි අතු කපා බාන වැඩේ පටන් ගෙනය. විශාල අතු දෙකක් කපා කඹයේ ගැටගසා බිමට බානවිට එහි තිබුණු හොඳට පැසුණු අඹ සෑහෙන ප්‍රමාණයක් බිම වැටී තැලී පිපිරී වැඩකට නැති තත්ත්වයට පත්විය. අපි ඉක්මන් වුයේ ඉතිරි අඹ ටිකවත් පරිස්සමින් ඉවත් කරගන්නට වුවත් අත්ත පුරා පිරී සිටි දිමි රංචුව නිසා එය ලේසි පාසු කාර්යයක් නොවීය. අත්තේ තිබුණු අඹ ටික කඩාගන්නට ගිය මගේ අත් දිගේ උඩට නැග ආ දිමි රංචුව අත්, බඩ,පපුව, පිට ,කණ, මුහුණ ආදියේ එල්ලී සපාකන්නට වුවෝය. කලිසම අස්සෙන් කකුල් දිගේ නැග ආ දිමි පිටිපතුල, බත්කෙන්ඩ, කලව, පුක(පුක යනු කුණුහරුපයක් නොවේ.පේටන්ට් අයිතිය කකා සතුය.) ඈ මතුනොව සංසාර කුට්ටමේද එල්ලී ගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට වුවෝය. අඹ කැඩිල්ල අතහැර දැමු මම කමිසයද ගලවා ගසමින් දිවගියේ ඒ මරුමුස් දිමි ප්‍රහාරයෙන් බේරෙන්නටය. කලිසම ගලවන්නට පිළිවෙලක් නොවුයේ අහල පහළ ගෑණු මෙන්ම ළමිස්සියන්ද බලාගෙන සිටි නිසාය. වෙනත් සතුන් මෙන් නොවැ දිමින්ගේ හොඳක් තියෙන්නේ හපාකන විට ඇති වේදනාව හැරුණු විට හපාකෑමෙන් පසු ඉදිමීම් වේදනා ආදී වෙනත් පශ්චාත් ආබාධ කිසිවක් නොමැති වීමය.
මේ වනවිට වෙලාව හවස දෙකටත් කිට්ටුය. දවාලට කෑමක් ගැන කාටවත් මතකක් නැතිවුණත් දානෙ ගෙදරින් දිගින් දිගටම ඇමතුම් ලැබෙන්නට වුයේ කෑමට එනවාද කියා අසමිනි. අපි කට්ටියටම කෑම තියන්නටය කියා කෑම ඕඩරයද ලබා දුන්නෙමු. අඹ ගහෙන් බාගෙක අඹ කඩලාද කපන්නට තිබුණු අතු ටික කපලාද අහවරය. ඉඩම අයිතිකාරයා ඇතුළු අපි කාටත් දැන් දැන් මහන්සී වගේම බොන්නට තිබහක්ද ඇතිවෙලාය. ඒ ගමන සියලු වැඩ අත්හැරලු අප හැමදෙනාම ඉඩමේ පැත්තකට ගොස් පස්වෙනි සිල්පදය කඩන්නට පටන් ගත්තෙමු. දෙකහමාර පමණ වනවිට යන්නට එන්නේ නැද්දැයි හැලපි කතාකර ඇසුවාය. ගමනක් යන්නටත් තිබෙනවා නොවේදැයි මතක් වුනෙත් එවෙලාවේය. ඉක්මන් කර ගෙදර එන්නට ලෑස්ති වෙනවිට එකෙක් අඹ ටිකකුත් මල්ලකට දමා මට දුන්නේය. එයත් රැගෙන ගෙදර පැමිණි මම හැලපිගේ අත් අඩංගුවට පත්වුනෙමි. අඹ නිසා ගෙදරින් එපමණ ප්‍රශ්න මතු නොවුණු අතර මම දැන් බලා සිටින්නේ අඹ ටික ඉදෙන තුරුය෴