Saturday, March 30, 2013

44.කවි දෙක තුනක කතාවක්


අපි දිගින් දිගටම කතානෙ කිව්වෙ.....අද කවි ගැන කතා කරමු.කවිවලටත් කතාවලට වාගෙම මගෙ හිතේ කැමැත්තක් තිබුණත් මට කවි ලියන්න නං බෑ....රසවිඳින්න විතරයි මට දැනෙන්නෙ....හොඳට හිතට දැනෙන කවියක් හෝ කවි පෙළක් නම් මම නොවරදවාම රස විඳිනව.

සිංහල පත්තරවල හොඳ කවි ඉඳහිට පළවුණත් සාපේක්ෂව ගත්තොත් අන්තර් ජාලයේ වෙබ් අඩවි වල ඉතාම අනර්ඝ කවි පළවෙනවා.....සමහර කවි අපේ රස මනස අවදි කරනව වගේම සමහර කවි අපව ප්‍රශ්න කරනව.....බොහෝවිට එවැනි කවි අපේ පපුවෙ හිරවෙන්නෙ හරියට ගලක් එල්ලුව වගේ.

ගොඩක් වෙලාවට එවැනි කවි මම කියවන්නෙ ලංකා නිවුස් වෙබ් එකේ තියෙන සයිබර් පවුරෙන්....ඒව වැඩි හරියක් නිසඳැස්.

වටේ තලාගෙන ගියෙ මගේ හිත්ගත් සඳැස් කවි දෙකතුනක රසය ඔබටත් ලබාදෙන්නයි.....ඉස්සෙල්ලම ඉතාම කුඩා කවියක් මතකයට ආවා.

ගුරුවරයෙක්,පුවත්පත් කලාවේදියෙක්,ලේඛකයෙක් හා කවියෙක් වූ මාගම් තෙන්නකෝන් ශූරිහු ඔහු ලියූ "දිවි සයුරෙන් දිය දෝතක්"නම් පොතේ එක්තරා කවියෙකුට තනි මාත්‍රාවෙන් කවියක් කියන්නට කළ අභියෝගය භාරගත්ත අයුරු ලියනවා....

අනේ
පනේ
තනේ
වැනේ

ඔහු කියූ කවියයි.

දේශපාලකයෙක් හා ප්‍රසිද්ධ කවියෙක් වුනු සෝමවීර චන්ද්‍රසිරි මහතාගේ කතාවක් දවසක් මට කිව්වෙ චන්දරේ......කතාව සහ කවිය අසම්පූර්ණයි.

දවසක් කවි මඩුවකදී සෝමා උඩබාගෙ නම් කිවිඳිය සෝමවීරයන්ට අපහාස වන ලෙසට කවි කීපයක් ගායනා කර තිබෙනවා.......ඇය විවේචනයට ලක්කරල තිබුණේ සෝමවීරයන්ගේ කාන්තා ඇසුර.....කවි සියල්ලම සිනාමුසු මුහුණින් අසා සිටි ඔහු ඇගේ කවි ගායනය අවසානයේ මයික්‍රපෝනය ඉදිරියට ගොස් වටපිට බලා කියා තියෙන්නෙ මේ කවි පද දෙකයි.....

සෝමා උඩබාගෙ සෝමා  උඩබාගේ
පැය බාගෙකට දෙනවද උඹෙ  යටබාගේ

කවි පද දෙකත් සමගම සභාව කුල්මත්වූ ආකාරය විස්තර කරන්නට අවශ්‍ය නෑ.ඒ මට චන්දරේ කියපු කතාව...නමුත් ඊට පස්සෙ දවසක මම මේ මුලු කතාවම කවිත් සමග පත්තරේකින් දැක්කත් අවාසනාවට ඇය කියූ කවි එකක්වත් අද මට මතක නෑ.

ගුරුවරයෙකු කවියෙකු හා ලේඛකයෙකු වූ කඩුවෙල බෝමිරියේ වික්ටර් දුකී දෙලැයි ද ලැනරෝල් හෙවත් වී.ඩී.ද ලැනරෝල් ශූරීන්ගේ කවි මහත් රාශියක් අතුරින් මගේ හිත ඉතා තදින් බැඳගත් එක් කවියක් තිබෙනවා.

ලැනරෝල් ශූරීන් ජීවත්වූ 20 වන  සියවසේ මුල් භාගයේ දැන උගත් අය ලිපි හුවමාරු කරගෙන තියෙන්නේ කවියෙන්.....පද්‍යයෙන් තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිවීම තම තත්වයට මදිකමක් සේ ඔවුන් සිතූ නිසා සැම කාරණයක් අරභයාම කවි මහත් රාශියක් ලියැවෙන්නට ඇති වාගෙම කවි ලියන්නට නොහැකි අය හැකි අය ලවා කවි ලියවන්නටත් ඇති (මාද මිතුරන් සඳහා පෙම්පත් ලියූ කාලයක් මගේ මතකයට එනවා)

ලැනරෝල් ශූරීන් බේරුවල විද්‍යාලයක ගුරුවරයෙක් හැටියට වැඩකරන කාලයේ බෝමිරියෙ ඔහුගේ ගමේ හිටිය ඔහු සිත්ගත් තරුණියක් ඇයට වී වනන්නට මාගලක් බේරුවලින් ගෙනැත් දෙන්නට යයි කල ඉල්ලීම ඉටුකරන්නට ඔහුට හැකිවෙලා නැහැ.

ගමේ ආ දවසක ඔහුගේ ඉරුණු කබායක් එලලන්නට අර තරුණිය වෙත යවන්නේ කවි කීපයකින් ඉල්ලීමක් කරමින්.....කවි සියල්ලම මුල සහ අග එළිවැට තබා ඉතා ශූර ලෙස ලියූවක්.....මට මතක එක කවියයි.

මාගල සේම හිටි කාටත් වැඩ ගන් ට
මාගල වා ගතිය කඩවර සැනසෙන් ට
මාගල මිතුරි කී බැරිවුණි ගෙන එන් ට
මාගල උඩ වනනු හැක වී වේලන් ට

මෙහිදී කඩවර යනුවෙන් ඔහු සිහි මඳව සිටි කාලයේ තොවිල් කළ යකැදුරා ද අවසාන පදයේ මාගල යනු මහ ගල යන අර්ථයෙන්ද යෙදෙනව....කවියේදී මාගල යන වචනය අර්ථ කීපයකින් යෙදෙන අයුරිනුයි කවිය බැඳ තිබෙන්නේ.

වී.ඩී.ද ලැනරෝල් ශූරීන් ලියූ "උමතු තරුණයා"පොතේ මේ සිද්ධිය හා කවි වැලත් තවත් රසවත් කව් රාශියකුත් අඩංගු වෙනවා.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ආරම්භ කල අවදියේ ආචාර්ය මණ්ඩලයේ සිටිය පැවිදි පඬිවරුන් තුන්නමකගේම නම ආරම්භ වුණේ පඤ්ඤා යනුවෙන්....එනම්

කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර
යක්කඩුවේ පඤ්ඤාරාම
කොටහේනේ පඤ්ඤාකිත්ති

යන හිමිවරු.....දවසක් ශිෂ්‍යයෙක් යක්කඩුවේ පඤ්ඤාරාම උප කුලපති හිමියන්ගේ වසා තිබූ කාමරය ලඟින් යනගමන් නැවතී මෙන්න මේ කවිය කියා තිබෙනවා...කවියේ හතරවන පදයේ අන්තිම කොටස කිසිදිනෙක ප්‍රසිද්ධ වී නැහැ...කවිය මේකයි.

එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම  ..........

කවියේ අවසානයත් එක්කම කාමරය ඇරගෙන එළියට ආ යක්කඩුවේ හිමියන් ශිෂ්‍යයාට කතාකළා.....

මෙහාට ඇවිත් ආයෙම කවිය කියමු බලන්න.....

ශිෂ්‍යයා කවිය ආයෙමත් ගායනා කළේ මේ ආකාරයට.....

එකෙක් කිරි පඤ්ඤා
තවෙකෙක් යක්ෂ පඤ්ඤා
අනිකා කොපඤ්ඤා
මොවුන් සේරම පඤ්ඤ පඤ්ඤා
(මොවුන් සියලු දෙනාම ප්‍රඥාවන්තයන්ගෙන් ප්‍රඥාවන්තයෝය )

යක්කඩුවේ හිමියන් කවිය රසවින්දේ මහ හඬින් සිනාසෙමින්.

 කවි එපමණයි......මේක ලියද්දි ප්‍රමාණවත් විදියට පොත පත පරිශීලනය කරගන්න බැරිවුණා......ඒ නිසාම යම් අසම්පූර්ණ ගතියක් හිතට දැනෙනවා......එහෙම කියන එක සමාවට කරුණක් නෙවෙයි වුණත් මතකයෙන් ලියපු කතාවේ වැරදි ඇතොත් සමාව භාජනයකට දාල දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
 
ඒ වගේම ඔබ මේ කතා මීට පෙර අහලත් තියෙන්නට ඇති.....එහෙම වුණොත් මගේ කතාවේ අසම්පූර්ණ තැන් සම්පූර්ණ කර දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා.
 
හදිසියෙන් ලියල අදම කතාව පළකරන්න මට අවශ්‍ය වුණේ හැලපිගෙත් මගෙත් 19 වෙනි විවාහ සංවත්සරය අදට යෙදී තිබීම.....ඇයට මගෙන් ලැබෙන තෑග්ග මේ කතාවයි.

Thursday, March 28, 2013

43.සංවිධායකයන්ගේ ස්තූතිය



අද බේබදු කතා කීපයක් ලියමු....මොකද ඊයෙ පෙරේද දවසක මට වෙච්චි වැඩක් නිසා මේ ටික මතක් වුණා...අමතක වෙන්න කලින් ලියන්න හිතාගත්ත.

පහුගිය බ්‍රහස්පතින්ද දවසක තිබුණු රෑ කෑමක් එක්ක සංගීතෙකට අපිටත් ආරාධනාවක් ලැබුණා......ඔය ප්‍රසංග සංවිධායකයන්ට අපි පොඩි උදව්වක් කරල දුන්න.....හැබැයි ඒ ගොල්ල අපි කරපු උදව්ව පොඩියට ගත්තෙ නෑ වේදිකාවෙදි පවා කියල ලොකු ස්තූතියක් කළා.

ඒ මදිවට සංවිධායකයො මට කතාකරල කොච්චර හොඳට සැලකුවද කිව්වොත් මම රෑට කෑවද කියලවත් මතක නෑනෙ....කොහොමහරි ගෙදර නං ඇවිත් තිබුණා.

හැලපි සහ හැලපැට්ටා කෑමකන පින්තූරයක් තිබුණත් හැලපයා කෑම කන පින්තූරයක් තිබුණෙ නෑ.

පහුවදා හැලපි මට කතාකරල අහනව....

ඔයා ඊයෙ රෑ අර ජාතිය කෑවද....මේ ජාතිය කෑවද....රසයි නේද....ආදී වශයෙන්

අහිංසක මම මොනව කියන්නද.....කෑවද නැද්ද මතක නෑ කියන්නයැ මමත් හැම එකටම ඔව් ඔව් කිව්වා.

ඕං උඹල එහෙම ඔය වගක් හැලපිට කියනව එහෙම නෙවෙයි....

ඉස්සරත් ඔය වැඩේ ඔහොම්මමයි.....

කෑමකට පාටියකට ගියොත් වේටර්ල බීම පිළිගන්වල ඉවරවුණාට පස්සෙත් බන්දුයි මායි මදි පාඩුවට තව චුට්ටක් හොයාගෙන බීම කවුන්ටරේ පැත්තට යනව....

ඔන්න පහුවදා උදෙන්ම බන්දුගෙන් කෝල් එකක්...

 මචං මම ඊයෙ රෑට කෑවද....

එතකොට මම කියනව...අනේ මචං මටත් හරියකටම මතකක් නෑ වයිප්ගෙන් අහල කියන්නම්....කියල

මොකද බන්දුගෙ වයිප්ගෙන් කෑවද කියල ඇහුවොත් එහෙම අනේ අහිංසකයට තදබල වාග් ප්‍රහරයක් එල්ල වෙනව...මෙන්න මේ වාගෙ

තමුන් දැනගන්න එපායැ බොනකොට සිහියක් පොතක් ඇතුව බොන්න.....

ඒ හින්දම බන්දු වයිප්ගෙන් අහන්නෙ නැතුව මට කතාකරල අහන එකයි කරන්නෙ....

මම නං එහෙම ඇහුවට බිරිඳ මට බනින්නෙ නෑ...

අනේ අනේ බීපු තරම කිව්වොත් කෑවද කියලවත් සිහියක් නෑ නේද...ඇයි ඔය අගේට කෑවෙ.....කියල කියනව.

 ආයෙ ඉතිං ඕක දැනගත්ත කියල ඊයෙ රෑට ආපහු ගිහිං කන්නයැ....පස්සෙ පස්සෙ ඕව අහන්නෙ නැතුව අතඇරල දැම්ම....මොකටද නිකං අපහාස විඳින්නෙ තමන්ගෙ ගෑණිගෙන් වුණත්......

ඉතිං අපි බීල බීල ඉවරවෙලා කෑම කන්න යනකොට හොඳටම පරක්කු වෙනව....ඒකෙත් හැබැයි හොඳක් තියනව....හෝටලේ ජෝශප්ගෙ ගෝලයො ආප්ප දාන්න පටන් ගන්නෙ සෑහෙන්න පරක්කු වෙලා.....එතකොට කාන්තාවො එහෙම කාල ඉවරයි....ඒ ගොල්ලන්ට ආප්ප මිස්වෙනව...මොකෝ අනික් ජාතිකාල බඩපුරෝගෙනනෙ ඉන්නෙ ආයෙ ඇවිත් ආප්ප කන්නයැ...

ආප්ප හදන තැනම ඉඳගෙන ආප්ප කොල්ලට කියල බිත්තර ආප්පත් දම්මගෙන ජොලියෙ කන අපිව දකින ගෑණුන්ට මළ පනිනව.

දවසක්දා පාටියකදි රාණි අක්ක ජෝශප්ට ඕක කිව්ව...

ඇයි අනේ ...ටිකක් වේලාසන ආප්ප දාන්න පටන් ගත්තොත් අපටත් කන්න පුළුවන්නෙ....කියල...ඒ ගමන ජෝශප් කියනව..

බලාගෙන ඉඳල ආප්ප කනකොට තමයි ගතියක් තියෙන්නෙ.....මතකද පොඩිකාලෙ අම්ම ආප්පයක් බානකල් අපි කුස්සියෙ බලාගෙන ඉන්නව...

තවත් දවසක පාටියකට අපේ අශෝකන්ගෙ තාත්ත මනවෙයි තම්බිටත් ආරාධනා කරල තිබුණා.....මනවෙයි තම්බි උන්නැහෙත් සුදු බැනියමකුයි වේට්ටියකුයි ඇඳගෙන උජාරුවට ඇවිත් හිටියා.....

ඔන්න පාටියෙ බීම පිළිගන්වන්න පටන් ගත්ත...වේටර්ල ට්‍රේ වල විස්කි වීදුරු තියාගෙන ආරාධිතයන් අතරෙ සැරිසරනව...

 විස්කි වීදුරුවකට සෝඩත් අයිස් කැටයකුත් දාගත්ත මනවෙයි තම්බි ගුඩුස් ගාල එක උගුරට ගිලල දැම්ම.....

ඔන්න තවත් වේටර් කෙනෙක් ඒ පස්සෙන් එනව බියර් පුරවපු වීදුරු අරගෙන....බියර් වීදුරුවකුත් ගත්ත මනවෙයි තම්බි උගුරු දෙකට තුනට ගිලල දැම්ම....

තවත් කෙනෙක් වයින් වීදුරු පුරවපු බන්දේසියක් අරගෙන කැරකෙනව....

මනවෙයි තම්බි වයින් වීදුරුවකුත් ගිලල දැම්මෙ පට් පට් ගාල....

මෙයාගෙ නන්ස්ටොප් බීම බලාගෙන හිටපු සිරිසේන මනවෙයි තම්බි ළඟට ගිහිං.....

තලෙයිවර්....ඔහොම බිව්වොත් නං වැඩේ වරදියි.... කියල කිව්වා.

වරදින්න දෙයක් ඉතුරුවෙලා තිබ්බෙ නෑ.....විනාඩි දහයක්වත් ගියෙ නෑ ඉඳගෙන හිටපු පුටුවත් පෙරලගෙන මනවෙයි තම්බි බිම...

සිරිසේනල මනවෙයිව උස්සං එළියට ගියා....

සිරිසේන කිව්වෙ අපේ මැසෙන්ජර් හෙවත් පණිවිඩකාරයට...වැඩ නිකං ගිනි කසය වගේ...අපි කිව්වෙ කලුවා කියලයි...කලුවගෙ කතාවත් කියලම ඉම්මුකො....හැබැයි දන්න අය බනින්න එපා වටේ යනව කියල.

ඔන්න එක රටේ මහත්තයකුගෙ හරි මුදලිතුමෙකුගෙ හරි වලව්වක ආවතේව වැඩට හිටියලු කලුව කියල අහිංසක මනුස්සයෙක්...

දවසක්දා මුදලිතුමා රෑට කෑම කාල එහෙම හාන්සි පුටුවෙ සුරුට්ටුවක් උරමින් ඉන්න ගමන් එතනම ඉස්තෝප්පුවෙ පඩියෙ වාඩිවෙලා හිටපු කලුවට කතාකරලා...

කලුවෝ....හෙට උදේ පාන්දරින්ම මාරපන ගිහින් වරෙන්කෝ....කියල කිව්වලු.

මුදලිතුමාට මොකක්ද පණිවිඩේකට කලුවව මාරපන යවන්න තිබිලා...

කලුවත්... හොඳමයි හාමුදුරුවනේ......කිව්වලු

වලව්වෙ උදවිය පහුවදා උදේ ඇහැරල බැලුවාම කිරි දොවලත් නැහැලු.....හරක් ටික බැඳලත් නැහැලු.

මුදලිතුමා කලුවව හෙව්වහම ගමන යවන්න කලුවත් ආගිය අතක් නැහැලු....

කට්ටියම කම්පාවෙලා බලාගෙන ඉන්නව අනේ මේ අහිංසකයට මොනව උණාද කියල...

ඔන්න ඉර මුදුන් උණාටත් පස්සෙ කලුව එනවලු දාඩිය පෙරාගෙන....

 ඈ බං කලුවො උඹ කොයි හද්දිබ්බාගෙක මකබෑ උණාද ...අපි උදේ ඉඳන් උඹව හොයනව මොනව උණාද කියල.....මුදලිතුමා අහනව

ඇයි අප්පේ හාමුදුරුවොමනෙ මට ඊයෙ රාත්තිරියෙ කිව්වෙ මාරපන ගිහින් එන්න කියල....

කලුව උදේ පාන්දරම මාරපන ගිහිල්ලත් ඇවිත්.

ඊට පස්සෙනෙ ඔය ප්‍රස්ථා පිරුළකුත් හැදුනෙ කලුව මාරපන ගියා වාගෙයි.... කියල.

ඔන්න ඔය සිරිසේනගෙ වැඩත් කලුවගෙ වාගෙමයි......

මොකක් හරි උවමනාවකට සිරිසේනව ගෙදර යවන්න ඕනැ උණොත් මම සිරිසේනට කතාකලම මිනිහ සයිකලේම මගෙ කාමරේ ජනේලෙ ළඟට එනව  ...

සිරිසේන අපේ ගෙදර.....කියනකොටම

බ්‍ර...ඌම් බ්‍ර..ඌම් ගාල සයිකලේ ස්ටාට් කරගත්ත සිරිසේන ඉගිල්ලෙනව....

ඊට පස්සෙ ඉතිං මම පණිවිඩේ ගෙදරට කතාකරල කියන්න ඕනැ...

එහෙම නැත්නං ගෙදරට ගිහිං බෙල් එක ගහන සිරිසේනගෙන් බිරිඳ අහනව....

ඇයි සිරිසේන.....උවමනාවක්ද....කියල

මං දන්නෑ නෝන... මහත්තය එන්න කිව්වෙ..... කියල සිරිසේන උත්තර දෙනව

එතකොට බිරිඳ මට කතා කරල පණිවිඩේ අහගන්නව.....

මනවෙයි තම්බි ගැන කියනකොට මට මතක් වුණා එයාගෙ මල්ලි හෙවත් අසෝකන්ගෙ බාප්ප ගැනත් කතාවක්.....

අපි අසෝකන්ල එක්ක කන්‍යාකුමරි ගියවෙලේ අසෝකන්ලගෙ බාප්පලගෙ ගෙදරත් ගියා.....ඒ ගොල්ල පදිංචිවෙලා හිටියෙ තිරුචෙන්දුර් කියන නගරයට කි.මී. 35 ක් 40 ක් දුරින් තියෙන මනපාඩු කියන සුන්දර ධීවර ගම්මානයේ....එයාට මාලු බෝට්ටුවක්ද දෙකක්ද තිබුණා.

යන්න කලින් මම අසෝකන්ගෙන් බාප්ප බොනවද කියල අහපුවාම අසෝකන් කිව්වා....

අපෝ නෑ....කටේවත් තියන්නෙ නෑ......කියල

ඒ ගමන අපි දෙන්නට බොන්න මේක ඇතිනෙ කියල එක බෝතලයක් අරගෙන ගියා...කුලී කාර් එකක් කතාකරගත්ත අපි ඒ ගෙදරට යද්දි උදේ දහයට දහයමාරට විතර ඇති.

ගමට මායිමව තියෙන නිල්වන් ඉන්දියන් සාගරය රැළි නංවමින් අපට ආරාධනා කරනව වාගෙයි....

අසෝකන්ලගෙ පුංචි අම්ම අපට කෑම ලෑස්ති කරනතුරු ගෙදර කොලු කෙලි රැළත් එක්ක නාන්න යන්න කලින් අපි දෙන්න පොඩි ෂොට් දෙකකුත් දාගත්ත.

 පැය ගාණක් නොගැඹුරු මූදෙ පිනුම් ගගහ නාගත්තු අපි ආපහු එනකොට හොඳටම බඩගිනියි....කෑමත් මේසෙ උඩ ලෑස්තිවෙලා තිබුණා.

කෑම කන්න යන්න අසෝකන්ලගෙ බාප්ප බැලුව මිනිහ ආගිය අතක් නෑ.....

හොයල බැලුවාම පොර අර බෝතලෙන් තුන්කාලක් විතර පෙරේතකමට ගහල  ඇඳක් උඩ දපල කියවනව....

අසෝකන් යාලුවන්ට කන්න දුන්නද බං....

අසෝකන් යාලුවන්ට හොඳට කන්න දීපං...

ඉවරයක් නෑ කියවිල්ල....බිරිඳට පුතාට එහෙම හොඳට බඩගිනිවෙලා තිබුණු නිසා අපි ගිහිං කෑවා....

පහුවදා නං මිනිහට හොඳයි...අපිව උදේ පාන්දරින්ම වැල්ලට එක්කං ගිහිල්ල තෝර කූරි ටිකකුත් අරගෙන දුන්නා...
 
එදා උදේට අපි කෑවෙ උණු තෝර මාලු හොදිත් එක්ක ඉඳිආප්ප....අසෝකන්ලගෙ පුංචිඅම්මා ඉඳිආප්ප වැක්කෙරුවෙ ඉට්ලි කුකර් එකට....ඉට්ලි කුකර් එකේ හදපු ඉඳිආප්ප තෝර මාලු හොද්දත් එක්ක කනකොට තිබුණු රස තවමත් මතක් වෙනව....ඉතුරු තෝර මාලු ටික අපි යනකොට රෑට කන්න කියල බැදල දුන්න.
 
අපි ඔය ගමන  ගිහිල්ලත් දැන් අවුරුදු දොළහක් විතර වෙනවා...කොච්චර කල් ගියත් මම තාම හිතින් ඒ සුන්දර මූදු වෙරළට යනවා.....ආයෙමත් ඒ ගමට යමු කියල මම අසෝකන්ට කිව්වත් ඉන්දියාවෙ ගිය වෙලාවල යැවුණෙ වෙන වෙන දිහාවල.
 
දැන් තියෙන තත්වය අනුව නම් ආයෙමත් එහෙ යාම හීනයක් විතරක් වෙයි කියල හිතෙනව.
මනවෙයිතම්බි දැනට අවුරුදු දෙකතුනකට කලින් මියගියා...අසෝකන්ලගෙ බාප්පට දැන් හොඳටම අසනීපයිලු....ඒ දවස්වල හිටපු පොඩි දරුවො දැන් මූදු යනවා කියල අසෝකන් මාත් එක්ක කිව්වෙ මේ කතාවෙ මට අමතක වුණු දේවල් අහගන්න පෙරේදා ඉන්දියාවෙ අසෝකන්ලගෙ ගෙදරට කතාකරපු වෙලේ.

Friday, March 22, 2013

42.වැහි කතා

අර මම කලින් ලියපු කතාවට විවේචන තොගයක්ම තිබුණා....ඒ සියල්ලටම ස්තූතියි...ප්‍රශංසා වාගෙම විවේචනත් සමසිතින් භාරගතයුතුයිනෙ.අනික ඔයගොල්ලො ඒ විවේචන කලේ තරහකින් නෙවෙයි සුහද සිතින් කියල මම දන්නව.

මගේ පැත්තෙනුත් වචනයක් කියන්නම්.....තනි කතාවක් වශයෙන් ලියන්න තරම් දිග නැති මගෙ හිතේ තිබ්බ පොඩි පොඩි කතා දෙක තුනක් එකතුකරල එක කතාවක් හැටියට ලිව්වට ඒ උත්සාහය අසාර්ථකයි.

තාම අපේ හිතවතුන් කැමති මුල මැද අග සහිත සම්පූර්ණ කතාවකට......මම ලියපු කතාවල අගක් මුලක් නැත්තෙ අග මුල මමත් නොදන්න නිසායි.....සමහර කතා මම අහල තිබුනු ඒව මිසක මගේ අත්දැකීම් නෙවෙයි....නමුත් අග මුල සහිතව සම්පූර්ණ කරන්න තිබුණා අතින් දාල....මම එහෙම කලේ නෑ.... මොකටද බොරු ලියන්නෙ.

අපේ රටට මේ දවස්වල ආයෙම වහිනවලු.....වැස්ස නැති රටක ඉන්නකොට වැස්සක් දකින්නත් ආසයි.

ලංකාවට කොච්චර වැස්සත් මොකටද....සති දෙකක් පායනකොට ජලාශ හිඳිල කියයි....ලයිට් කපන්න වෙනව කියයි.

අවුරුද්දෙ දවස් තුන්සිය හැටක් විතර කරවෙන්න පායන රටවල වතුර හිඟේකුත් නෑ ලයිට් කපන්නෙත් නෑ.

අපි මදුරාසියෙ හිටපු කාලෙ අවුරුද්දට දවස් පහකට වඩා වැස්සෙ නෑ.....මට මතක් වුණේ ඔය ඉඳල හිටල වැහැපු වැහි නිසා සිද්දවෙච්චි අකරතැබ්බ කීපයක්.

මම මදුරාසියට ගියදාට පහුවදාම වැස්සා.....එදා සෙනසුරාද දවසක්....දවස හරියටම කිව්වොත් අප්‍රේල් 25 වෙනිදා 98 අවුරුද්දෙ.

මම බන්දු ලගෙ ගෙදර නැවතිලා හිටිය දවස් කීපයක් මට ගෙයක් හම්බවෙනතුරු....එදා බන්දු මගෙත් එක්ක මාකට් ගියා බඩුගන්න.....ටෙරන්ස්ගෙ නෝනා කාන්තිත් අපිත් එක්ක ගියා...මාකට් එකේ ඇවිදල බඩුඅරන් මාලු ලෑලි පැත්තට ගියවෙලාවෙ තමයි වැස්ස කඩා පාත් වුණේ.

විනාඩි දහයක් පහළොවක් වහින්න ඇති මාකට් එක උතුරල ගියා.....ඇයි වතුර බහින්න කාණු පද්ධතියක් මදුරාසියෙ නෑනෙ....පාරවල් පිරිල උතුරනවා....වතුර කලුම කලු පාටයි කැතේ බෑ....ඔය වතුරට බැස්සොත් එහෙම කකුල් ඉවරයි.

වැස්සහම අපේ ගෙවල් ළඟ තියෙන කෝවිල ඉස්සරහ පාර දණක් යටවෙනව.....ඔය වතුරෙ නැති ජරාවක් නෑ.....කාණු නැති නිසා වතුර කොහෙට හරි බැහැල යනකම් ඉන්න වෙනවා....කෝවිල ළඟ නුන්ගම්බක්කම් පොලිසියෙ තාප්පෙ අයිනෙ පළතුරු මැහි දෙකක් තියාගෙන ඉන්න ගෑණු අම්මණ්ඩිල දෙන්නට නං ඔය වැහි ගාණක් නෑ....මැස්ස උඩට වෙලා තප්පලං ගහගෙන විට හප හපා ඉන්නව.....

ගෑණු අම්මන්ඩිල කියනකොට මතක් උනේ ඉස්සර ඔය තමිල්නාඩුවෙ කාන්තාවො හැට්ට ඇන්දෙ නෑනෙ......තාම ඔය වයසක ගෑණු උදවිය හැට්ට අඳින්නෙ නෑ ඇඳන් ඉන්න සාරියෙන්ම තමා ළැම ආවරණය කරගන්නෙ  නලියත් ඕක දැකල ඇති ෂුවර් එකටම.....බොරුනං ඕං අහල බලාපල්ලකො....කේරළේ කාන්තාවො නානකොට අඳින්නෙ ඉණට රෙද්ද විතරයි....උඩට මොකුත් නෑ....මම වාහනේක යද්දි දැක්කෙ පොකුණු කීපයක්ම ළඟ.....තනියම ගියානං වාහනේ නවත්තන්න කියල පින්තූරයක්වත් ගන්න තිබුණා කොහෙද හැලපිත් ගියානෙ මාත් එක්ක.

ඔන්න ආයෙමත් වටේ ගියා....ආපහු වැස්සට එමු.

දවසක්දා අපි රෝච් එක්ක ඔහු සාමාජිකත්වය දරණ ස්පෝට් ක්ලබ් එකට ගියා....ස්පෝට් ක්ලබ් කිව්වට කෙරෙන්නෙ මත්පැන් විකුණන එක තමා....සාමාජිකයන්ට හිතවතුන් එක්ක යන්න පුළුවනි......හැබැයි පිළිවෙලට ඇඳගෙන සපත්තු එහෙම දාල නොගියොත් ඇතුළට ගන්නෙ නෑ.....රෝච් මාසෙකට දෙතුන් සැරයක් අපිත් එක්ක ඔතෙන්ට යනව.....මම හරි කැමතියි ඔය ක්ලබ් එකට යන්න ඒකෙ තියෙන විශේෂිත බයිට් එකක් නිසා....ඒ තමයි ගෝව මල් හෙවත් කෝලි ෆ්ලවර්....ලංකාවෙ නම් ටිකක් මිළ වැඩි එළවලුවක්නෙ....නමුත් මදුරාසියෙනම් පාරවල් අයිනෙ තියෙන කරත්තවල කඳු ගහල ගොඩකරල විකුණන්න තියෙන්නෙ....රුපියල් පහකට ලොකු ගෝව මලක් ගන්න පුළුවනි.

 ඉතිං ඔය ක්ලබ් එකේ ගෝව මල් වලින් හදනව බයිට් එකක් දන්නෙ නැතුව කන කෙනෙකුට කිසි දවසක හොයාගන්න බෑ.......හරියටම කුකුල් මස් වගේ....ඒ ක්ලබ් එකටම විශේෂිත රෙසිපි එකකට හදන්නෙ......කාටවත් දැනගන්න ලැබෙන්නෙ නෑ....අපි කොච්චර ගෙදරදි හදන්න හැදුවත් අර රස එන්නෙ නෑ.....මම ඔය ගැන බිරිඳටත් කිව්වා....ඒ ගමන එයාටත් ඒවල රස බලන්න දොළදුකක් ඇතිවුණානෙ...අපි ආයෙත් ගිය දවසක ඇයවත් එක්කන් ගිහින් කෝලිෆ්ලවර් බයිට් එක කන්න දුන්නා.


දවසක් දා අපි ඔය ක්ලබ් එකේ බොමින් සහ ගෝවමල් බයිට් එක කමින් ඉන්දැද්දි තද වැස්සක් වැස්සා.....කුණාටුවක් වගේ හුළඟකුත් එක්ක....වැස්ස පැයක් විතර අල්ලල හිටියා....වැස්ස පායල රෝච් මාව ගේ ගාවින් බස්සද්දි රෑ එකොළහමාරට දොළහට විතර ඇති......මුළු මදුරාසියෙම ලයිට් ගිහින්....අපේ ගේ තිබුණෙ ගොඩනැගිල්ලෙ තුන්වෙනි තට්ටුවෙ.

 මම කලුවරේම උඩට නැගගෙන ගියාම මූර්ති පුටුවෙ නිදිකිරනව......මූර්ති කියන්නෙ තමිල්නාඩු රජයෙන් අපේ ගෙදර ආරක්ෂාවට දාල හිටපු පොලිස් භටයන් දෙන්නගෙන් එක්කෙනෙක්.අසූ ගණන් වල දැන් වාගෙම ලාංකිකයන්ට ආරක්ෂක තර්ජන තිබුණා ඒ දවස්වල දීල තිබ්බ ආරක්ෂාව අපි හිටපු කාලෙත් අයින් නොකර එහෙම්මම තිබුණා....ඒ අය නිකම්ම පොලිස්කාරයො නෙවෙයි.....නිල්ග්‍රිස්වල පවා විශේෂ පුහුණුව ලබපු කොමාන්ඩෝවරු.....කරන්න බැරි වැඩක් නෑ.

අපිට කිසිම ආරක්ෂක තර්ජනයක් තිබුණෙ නැති නිසා අපි නිදහසේ තනියම අපට ඕනැ තැනක ගියා.
ඒ නිසා මේ ආරක්ෂක භටයන්ට තිබුණෙ ගේ ඉස්සරහ ඉඳගෙන ඉන්නයි පුතාත් එක්ක බෝල ගහන්නයි ගෙදරට මොනවහරි ඕනැවුණාම කඩේට ගිහින් ගෙනත් දෙන එකයි විතරයි.
 පඩිපෙළ නැගගෙන උඩට ආව මාව දැකපු මූර්ති නැගිටල ආචාර කළා.....මාත් මූර්තිට කතාකරල ගෙයි බෙල් එක ගහපුවාම මූර්ති හිනාවෙනව.....ඇයි ලයිට් නෑනෙ දොරට ගහන්නත් අමාරුයි දොර ඉස්සරහින් තව යකඩ ගේට්ටුවක්.
යකඩ දොර අස්සෙන් අමාරුවෙන් අතදාල තට්ටු කළා....ම්හ්....බිරිඳ ඇතුලෙ කාමරේ දොර වහගෙන පුතත් එක්ක හොඳට නිදි......තට්ටු කළාට ඇහෙන්නෙ නෑ.

අපි දෙන්න පැයක් විතර දන්න ජාති දාල බැලුව ඇහැරවගන්න...හරිගියෙ නෑ.

දැන් ඉතින් මොකද කරන්නෙ.....මූර්ති ජනේලෙ ගාවට යන්න ගේ ඉස්සරහින් බැඳල තිබ්බ කොට තාප්පෙට නැග්ගහම මගෙ ඇඟ සීතල වෙලා ගියා...තට්ටු තුනකින් පහළට වැටුණොත්....මම කිව්වා...

එපා එපා මූර්ති ඕකට නගින්න.....මම මෙහෙම ඉන්නම්...කියල

මූර්ති හිනාවෙලා කියනව....

බයවෙන්න එපා සර් මේක පොඩි වැඩක්....කියල

මූර්ති කොට තාප්පෙ දිගේ ඇවිදගෙන ගියෙ අපි බිම යනව වාගෙ.....ගිහින් ජනේලෙට කට තියල කෑගැහුව....
මැඩාම්....මැඩාම්....කියල

ඒත් ගේ ඇතුලෙන් සද්දයක් නෑ.....මූර්ති ආපහු ආව...දැන් ඉතිං මොකුත්ම කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ....මම මූර්තිට කිව්ව පහළ බූත් එකට ගිහින් ගෙදරට පෝන් කරන්න කියල....ඒ ගමන මූර්ති ගියා......මට ඇහෙනව දැන් පෝන් එක වදිනව.....කිසිම වෙනසක් නෑ.

මූර්තියගෙ පුටුවෙවත් ඉඳගෙන එළිවෙනතුරු ඉන්නව කියල හිතාගත්ත.

ඒ ක්ෂණයෙන්ම ලයිට් ඇවිත් හාත්පස ආලෝකවත් වුනෙත් බෙල් එක වැදුණෙත් ගේ ඇතුළෙ ලයිට් පත්තුවෙලා බිරිඳ දොර ඇරගෙන එළියට ආවෙත් එකවරම වගේ....

අපි එයාව ඇහැරවන්න පැය දෙකක් විතර දැඟලුව කියල බිරිඳ දන්නෙ නෑ.....ඇය හිතල තියෙන්නෙ මම ඇවිත් බෙල් එක ගහපුවාම ඇය දොර ඇරියා කියලයි....

එළියෙ දඟලපු දැඟලිල්ලට මගෙ වෙරිත් හිඳුනා.

ඒ එක වැස්සකට වෙච්චි වැඩක්.....

නුංගම්බක්කම්වල අපි හිටපු ගේ අතඇරල එග්මෝර් වල අලුත් ගේකට ගියේ 99 අවුරුද්දෙ මැයි මාසෙ විතර....ඒ ගේ තිබ්බෙත් තුන්වෙනි තට්ටුවෙමයි.

 යට තට්ටුවෙ ඒ කියන්නෙ බිම් මහලෙ හිටිය පවුලක්.....ඒ ගෙදර නෝනා තමිල්නාඩු රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරිය.....නම කමලා කන්නන්.

කන්නන් මහත්තය සමාගම් අධ්‍යක්ෂ වරයෙක්.....දුවයි පුතයි.....පුතා පිටරට දුව වෛද්‍ය තාක්ෂණ ශිල්පිනියක් හැටියට වැඩකලා.....මේ පවුල අපිත් එක්ක ගොඩාක් හිතවත්.

කන්නන් යුවළගෙ පුතා ජර්මනියෙ ඉඳල ඇවිත් තිබුණා විවාහ වෙන්න.....පවුලෙ පළමුවෙන්ම සිද්දවෙන විවාහය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට කන්නන් දෙමාපියන් පසුබට වුණේ නෑ....

අන්නා සාලෛ පැත්තෙ මංගල උත්සව ශාලාවක විවාහ මංගල උත්සවය පවත්වන්නත් සරුසාර මංගල භෝජන සංග්‍රහය එළිමහනේ පිරිනමන්නටත් සියළුම කටයුතු සූදානම් කෙරුණේ මාස ගණනාවක ඉඳලයි.
 මංගල උත්සවයට අපටත් ආරාධනාවක් ලැබුණා.....අපිත් ආසාවෙන් බලාගෙන හිටියා මේ ජයට කන මගුලට යන්න....මගුල් ගෙදරට අඳින්න බිරිඳ ලොකු ගාණකට සාරියකුත් ගත්ත.

මගුල් දවස උදාවුණා.....උත්සවය හවස හතට....හවස පහට පටන්ගත්තු ධාරාණිපාත වර්ෂාව පැය දෙකක් නොකඩවා වැස්සා.

අපි මගුල් ගෙදරට ගියෙත් පොද වැස්සෙ....පාරවල්වල වතුර පිරිලා....ගඟක යනවා වාගෙ තමයි ගියෙ.
එළියෙ කෑම පිළිගන්වන්න හදල තිබුණු සැරසිලියි මේසයි ඔක්කොම ඉවරයි....හරියටම යකුන් නටපු පිට්ටනියක් වාගෙ....ජෝඩුව කල්‍යාණ මණ්ඩපම් එකේ හිටිය...අපි ගිහින් කතාකරල ගෙනිච්චි තෑග්ගත් පිළිගැන්නුවා.....මනමාලි හරිම ලස්සනයි නිළියක් වාගෙ නම ජයන්ති.

 මුහුණු රතුකරගත්තු කන්නන් යුවළ ඇවිත් අපට කතාකළා.....කවුද ඥාතියෙකුට කතාකරල අපිව කෑමට එක්කන් යන්න කිව්වා.

හදිස්සියට කන්න ලෑස්ති කරල තිබුණෙ උඩ තට්ටුවක කුස්සියක් වාගෙ පොඩි කෑල්ලක.....එතන තවත් ගොඩක් අය කෑම කමින් හිටියා......අපිත් ගියා වෙනුවට හිරවෙලා වගේ කෑම ටිකක් කාල ආවා.

ඒ තවත් වැස්සකට වෙච්චි වැඩක්.....

අවුරුද්දට දවස් පහක් විතරක් වහින රටේ හරියටම මගුල් දවසෙම ධාරාණිපාත වැහි වැටෙන්නත් පුදුම කරුමයක් තියෙන්න ඕනැ....ඊට වැඩි දෙයක් මටනම් පෙනෙන්නෙ නෑ.

 2010 දි අපි මදුරාසියට ගිය වෙලාවෙ අපි හිටපු ගෙවල් දෙකම බලන්නත් ගියා....කන්නන්ලගෙ ගේ වහල තිබුණා.....කන්නන් මහත්තය මියගිහින්....පුතා මනමාලිත් එක්ක පිටරට ගිහින්....කන්නන් නෝනයි දුවයි වැඩට ගිහින්.....කියල දෙවෙනි තට්ටුවෙ ඉන්න අපේ ගේ අයිතිකාර වයසක වෙන්කතරංගම් මහත්තය අපට කිව්වා.

Tuesday, March 19, 2013

41.හෙණරාජ තෛලය



අද පළ කරන්න ලියල තිබුණෙ මදුරාසියෙ ඉන්න කාලෙ වෙච්චි කතාවක්....ඒත් ඊයෙ සෙන්ට්‍රල් ස්ටේෂන් එකේදි ලංකාවෙ හාමුදුරු නමකට ගහනව දැක්කහම මට නං හරිම කළකිරීමක් ඇතිවුණා ඒනිසා ලියල තිබුණු කතාව පැත්තකට දාල ලහි ලහියෙ කතාවක් ලිව්ව.

අපි මදුරාසියෙ හිටිය කාලෙ තිබුණු ජාතීන් අතර සමගිය සුහදත්වය අද කොහෙ ගිහින්ද......මට මෙහෙමත් හිතෙනව වෙලාවකට....

ගලගොඩ අත්තේ
වගකිව යුත්තේ...... කියලත්

අපේ ගමේ ඔය රෙදිමෝල හදල තියෙන ඉඩමට ඉස්සර කිව්වෙ බෙලෙක් වත්ත කියලලුනෙ....ඒ අපේ සීයලගෙ කාලෙ.....මේ වත්තට මොකද බෙලෙක්වත්ත කිව්වෙ කියල මට ප්‍රශ්නයක් තිබුණා කාලෙක ඉඳන්....පස්සෙ මම මේකට හේතුව හෙව්වා.

ඔය වත්ත ඉස්සර සුද්දෙකුගෙලුනෙ.....සුද්දගෙ නම බ්ලේක්....බ්ලේක්ගෙ වත්ත බ්ලේක්වත්ත.....ඒක තමයි අපේ ගමේ අයගෙ ඌරුවට බෙලෙක්වත්ත උනේ.

ඔය බ්ලේක් කියන මහත්තය ඉස්සර තමන්ගෙ වතු බලන්න මාසෙකට දෙහෙකට සැරයක් පොඩි සංචාරයක් කරනව....බෙලෙක්වත්ත බලලා ඊට පස්සෙ වෙළෙන් එගොඩවෙලා ගමමැදින් එයාටම අයිති තවත් ඉඩමක් වන රජවත්ත කියන ඉඩම බලන්නත් යනව.


 ගමන ටිකක් දුරයි.....බ්ලේක් වයසක මනුස්සය.....ඇඟත් මහතයි....ඉතිං හරියකට පාරවලුත් නැති ගමේ අඩිපාරවල් වලින් වෙල් නියරවල් වලින් යන්න උනාම බ්ලේක්ට හරි මහන්සියි...හති.....තැන තැන නතරවෙවී හති ඇර ඇර යන්නෙ.....

බ්ලේක් ගමට ආපුවාම ආවතේව කරන මනුස්සයෙක් මේ වැඩේ ගැන අවධානයෙන් හිටියා....බ්ලේක් හති අරින්න නවතින තැන්වලදි මිනිහා කුරුම්බයක් එහෙම කපල බ්ලේක්ට පිළිගන්වනවා.....මෙයාගෙ නම සිමියොං....සිමියොංට බ්ලේක් මහත්තය ගමනෙ යනකොට නවතින තැන් එහෙම හොඳට නෝට්.

ඉතිං සිමියොං මොකද කලේ පොල් කොට කෑලි ටිකක් හොයාගෙන ගාණට කපල බ්ලේක් නවතින තැන්වල එක ගානෙ හිටවගෙන ගියා.

ඔන්න දැන් බ්ලේක් මහත්තය වතු බලන්න යන දවසත් ආවා....ගැමියන් කණ්ඩායමකුත් පසු පස්සෙන් ඇතිව බ්ලේක් තමන්ගෙ සංචාරය ආරම්භ කළා....

බ්ලේක් මහත්තය ඉස්සෙල්ලම නවතින තැනට ආපුවාම මෙන්න තියෙනව වාඩිවෙන්න පොල් කොටයක්.......සතුටින් වාඩිවෙලා හති ඇරල ආයෙමත් ගමන පටන් අරං නවතින ඊළඟ තැනට ආවාම එතනත් වාඩිවෙන්න පොල් කොටයක්......බ්ලේක් හරිම සතුටුවෙලා තෝල්කයගෙන් අහනව....

හූ ඩිඩ් දිස්........කියල

තෝල්කයත් පස්සෙන් වැටීගෙන ආපු මිනිස්සුන්ගෙන් ඇහුවා.....

කවුද බං මේ පොල් කොට හිටෙව්වෙ......කියල

 ඒ ගමන සිමියොං ඉස්සරහට ඇවිත් බ්ලේක්ට වැඳල එහෙම.......

මමයි හිටෙව්වෙ හාමුදුරුවනේ.......කියල එකත්පස්ව හිටගත්තා.

බ්ලේක් හිනාවෙලා සිමියොංගෙ පිටට තට්ටුකරල......

වැරි වැල් සිමිච්චි වැරි වැල් .......කිව්වා..

එහෙමයි හාමුදුරුවනේ එහෙමයි........

කියාපු සිමියොං එතනින් අන්තරස්ධාන වුණා.

බ්ලේක් ආපහු ගමන පටන්ගත්තා....

ගමන ඉවරවෙන්න ටිකක් විතර දුර තියෙද්දි පත නරිවැල් කන්දකුත් කරගහගත්තු සිමියොං හති හලාගෙන බ්ලේක් මහත්තය ඉදිරියෙ පෙනී සිටියා.

බ්ලේකුත් වටපිට බලනවා මොකද මේ කියල......

ඇයි හාමුදුරුවනේ......ගේන්න කිව්වෙ.......ඒකනෙ ගෙනාවෙ කියල සිමියොං කිව්වා.

පස්සෙනෙ කාරණාව පැහැදිලි වුණේ....බ්ලේක් මහත්තය වැරි වැල් කියපු එක තමා සිමියොං නරි වැල් කියල තේරුම අරං තියෙන්නෙ.

අරන් ආපු නරිවැල් කන්දරාවට මොනව කළාද කියල නම් දැනගන්න ලැබුණෙ නෑ.....සිමියොං හරකුන්ට දෙන්න ගෙනියන්න ඇති සමහරවිට.

ඔන්න ආයෙම සැරයක් සිමියොං ගඩොල් කපන කට්ටියකුත් එක්ක ඇළහැරද බකමූණෙද ගිහිල්ලා...

ටික දවසකින් ගෙදරට ලියුමක් එනවලු සිමියොංගෙන්......ලියුමත් හැමතැනම ගිහින් තමා ගෙදරට ලැබිල තියෙන්නෙ.....මොකද එච්චර ලස්සනට ඇඩ්‍රස් එක ලියල තිබිලා.ලියුමෙ කට්ටියට කියවගන්න පුළුවන් වෙච්චි හරිය මෙහෙමයි.

උඹට කොහොමද මට කොහොමද(උඹට කොහොමද...මට නංහොඳයි )

ලොක්කීට සහ ලබ්බීට කියාන්ට හේනයාට කොටන්න කියාල(ලොක්කිටයි ලබ්බිටයි හේන කොටන්න කියන්න )

මාගෙ වල්ලා පට්ටා බලාගන්න(මගේ බලු පැටියා බලාගන්න )

කතා අහල තිබුණට මේ සිමියොං කවුද කියල මට හරියටම දැනගන්න හම්බවුණේ නෑ....හැබැයි අපේ සුනිල් මහත්තයගෙ තාත්තගෙ නමත් සිමියොං.....උන්දැනං මැරිල දැන් අවුරුදු විසිපහකටත් වැඩියිනෙ....මැරුණෙත් අලුත් අවුරුද්දක් වෙලාවක.

සුනිල් මහත්තය නං මම කලිනුත් කියල තිබුනාවගේ විද්‍යා ගුරුවරයෙක්නෙ.....ඒ වුණාට ඉස්කෝලෙ ඇරිල ඇවිත් අපිත් එක්ක හොරෙන් අන්නාසි කඩන්න යන්න නං නොවැරදීම එකතුවුණා.

පස්සෙ කාලෙකදි ජ්‍යොතිෂ‍යට හිත වැටුනු සුනිල් මහත්තය සාස්තරේ ගැඹුරටම හැදෑරුවා.....වැඩි උනන්දුවක් දැක්වුවෙ නොපෙනෙන ලෝකය ගැන හොයන්නත් මන්තරවලින් අත් හදා බැලීම් කරන්නත් තමයි.ඒ කාලෙ වෙද්දි අපිත් එක්ක ලඟින් ආශ්‍රය කලේ නෑ......මොකද අපි ඔය දේවල්වලට එච්චර උනන්දුවක් තිබ්බෙ නැති නිසා....ඕවට අපි හිනාවුනානෙ....ඉතිං ඒවට හිනා නොවෙන කීප දෙනෙක් එයාගෙ වැඩට උදව්වට හිටියා.
 වීරෙත් එයාගෙ උදව්වට හිටපු කෙනෙක්.

ඔය කාලෙ වෙද්දි සුනිල් මහත්තය හෙණරාජ තෛලය හිඳින එක ගැන පරීක්ෂණ කරමිනුයි ඉඳල තියෙන්නෙ...මේ කතා නම් මට අහන්න ලැබුණ මිසක් දැක්කෙ නම් නෑ.....මොකටද බොරු කියන්නෙ.....ඔය හෙණරාජ තෛලය හිඳින්න මහගොඩක් ජාති ඕනැ කියලයි කට්ටිය කිව්වෙ.....ඕනැකරන දේවල් නම් මට දැන් මතක නෑ......ඒත් එකක් මතකයි.....ඒ මොකක්ද කිව්වොත් හෙණරාජ තෛලය හිඳින්න ඔය අපි ගන්න ගින්දර පාවිච්චි කරන්න බෑලු....ඒකට ගන්න ඕනැ ස්වභාවිකව ඇතිවන ගින්දරක්ලු......තෙල හිඳින්න ඕනැකරන අඩුම කුඩුම ටික ඔක්කොම හොයා ගත්තත් මේ ගින්දර නිසා වැඩේ  පටන්ගන්න විදියක් නැතුව සුනිල් මහත්තය කණගාටුවෙන් ඉඳල තියෙන්නෙ.

 ඔන්න දවසක් ඉස්කෝලෙ ඇරිල සුනිල් මහත්තය බස්පොළට වෙලා ඉන්නවලු ගෙදර එන්න....තරමක වැස්සකුත් තිබුණු වෙලාවක්....

දඩ දඩාං කියල ගහපු අකුණක් ඉස්සරහ වත්තෙ පොල් ගහකට වැදිල ගහ ගිණිගන්න පටන් අරන්......

වැටට උඩින් පැනපු සුනිල් මහත්තය ගහ ළඟට දුවල තියෙන්නෙ කඟවේනෙක් වගේ.....

අඩියට දෙකට පොල් ගහට නැගපු සුනිල් මහත්තය ගිණිගන්න පොල්කොළ මිටියකුත් ඇදගෙන බැහැල ළඟම තිබ්බ ගෙදරකට දිව්වලු.....

ඒ ගෙදරින් කුප්පි ළාම්පුවක් ඉල්ල ගත්ත සුනිල් මහත්තය ඒක පත්තුකරල කියල තියනව නිමන්නෙ නැතිව තියාගන්න කියල....

ළඟම කඩෙන් සිගරැට් පැකැට් එකක් අරගෙන ලාම්පුවෙන් පත්තු කරගෙන ගෙදර එන්න පිටත් වෙලා.......සිගරැට් එක ඉවරවෙනකොට කොටෙන් තවත් එකක් පත්තු කරගෙන කොහොම හරි ගෙදරට ඇවිදින් ඒ ගිණි දැල්ලෙන් ලන්තෑරුමක් පත්තු කරගෙන......

දවසක්දා සුනිල් මහත්තය ඇතුළු කණ්ඩායමක් පත්තුවෙන ලන්තෑරුමකුත් අරගෙන කනත්ත පැත්තට යනව මම දැක්ක....ඒ මොකද කියල අහපුවාම තමයි ළඟ හිටපු එකෙක් ඔය කතාව මට කිව්වෙ.

 ඔය සුනිල් මහත්තයගෙ හොඳම යාලුව වීරෙ අපේ ළඟම නෑයො.....වීරයගෙ සීයයි අපේ සීයයි සහෝදරයො......වීරෙ කතාකරන්නෙ නම් ග්‍රන්ථ බාසාවෙන්......අපි වාගෙ ඔය ආගිය අතේ කතාකරන්නෙ නෑ......ලිඛිත භාෂාව තමයි කටේ තිබුණෙ....ඒ දවස්වල වීරයල අපිව එච්චර ගණන් ගත්තෙ නෑ රස්තියාදු කාරයො කියල.....වීරය රස්සාවක් නෙකෙරුවට සුනිල් මහත්තයගෙ ප්‍රධාන ගෝලයනෙ.

අපට මූව එච්චර දිරෙව්වෙ නෑ....අවස්ථාවක් එනතුරු තමා හිටියෙ වීරයව අල්ලගන්න.

ඔය එගොඩහගොඩේ ආතර අයියලගෙ තාත්ත ජෝන් හැමදාම හවසට වතුරවලේ ඇඩ්ඩිංගෙ පොට් එකට යනව කසීප්පු ගහන්න.....හැමදාම බොන්න සල්ලි කොහෙන්ද....සල්ලි නැතිවෙන වෙලාවට ජෝන් කරන්නෙ පොල් කඩල ලෙලි ගහගෙන ගිහින් විකුණල බොන එක.....ජෝන්ට වතු කෑලි කීපයක්ම තිබුණා....හැමදාම කඩද්දි පොල් ඉතුරුවෙයියැ....අනික පියතිලකත් පොල් කඩනවනෙ බොන්න.....පියතිලක කිව්වෙ ආතර අයියගෙ මල්ලි.....ආතර අයිය නං ඔය වැඩවලට ගෑවුණේ නෑ....පාඩුවෙ රස්සාව කරගෙන හිටියා....එයා වැඩකලේ තැපැල් දෙපාර්තමේන්තුවෙ.

පොල් නැතිවුණාම ජෝන් මොකද කරන්නෙ....යාන්තමට වතුර අඬන පොලුත් කඩනව.....කලටි ලෙලිගහල අව්වෙ තිබ්බහම තරමක පෙනුමක් එනවනෙ....

අපි හවස පොඩි මහින්දගෙ කඩේ කතා කර කර ඉන්දැද්දි ජෝන් මේ පොල් හෙවත් කලටිත් අරගෙන පාරෙන් පල්ලම් බහිනකොට අපි කෑගහනව කලටි කලටි කියල....ජෝනුත් සද්ද නැතුව ගිහිල්ල බීල කඩේළඟින් එනකොට අමු කුණුහරුප කිය කියා අපට බනිනව.

මේ වැඩේ මූලිකය අනගාරික මුණසිංහ....ඌ බඩ මුණයගෙ අයියා...අවුරුදු හතළිස් ගාණකුත් වෙලා කසාදයක් බැඳගන්නෙ නැතුව හිටපු හින්ද තමා අපි අනගාරික කියල කිව්වෙ.

දවසක් ජෝන් කඩේ ගාව නැවතිලා අනගාරිකට නොසෑහෙන්න බැනල කුණුහරුප කිය කියා....අනගාරිකට මේකට මල පැනල ජෝන්ගෙන් පළිගන්න බලාගෙන හිටියෙ.....

අනගාරික අපිවත් අල්ලගෙන හැදුව මද්දක්....ඔය මද්ද ජෝන් බීල එන පාරෙ පල්ලමේ හොඳට පලලට හදල තියල ලණුවෙ කොණ අරගෙන පෝටවත්තට පැනල අගලක හැංගිලා බලාගෙන හිටිය ජෝන් එනකං......ඔන්න හයහමාරට විතර ගොම්මනේ ජෝනා ගෙදර එනව...

මද්දෙ මැද්දට අඩිය තියනකොටම අනගාරිකය ලණුව ඇද්දා....මද්දට කකුල් දෙකම හිරවුණු ජෝන් වැටිල පුක බිම ඇණුනා තහ් ගාල.....කුණුහරුප ඉවරයි....අපි පැනල දිව්වා.

දෙවෙනි දවසෙත් අපි මද්ද අටෝල අගලෙ හැංගිලා බලාගෙන හිටිය ජෝන් එනකං....මෙන්න පාර දිගේ පහළට එනව වීරය.....මූත් අපට දිරවන්නෙ නෑනෙ...එකෙක් අහනව....

මොකද කියන්නෙ ගහමුද මද්ද මූටත්.......කියල

අපට හිනා....අපි කටවල් වහගෙන කිචි කිචි ගාල හිනාවෙන සද්දෙ වීරයට ඇහිල....ඌ දැනගත්ත මොකක් හරි දෙයක් සිද්දවෙනව කියල....

එන ගමන්ම වීරය ඇදල පැදල කියනව.....

මට මොකුත් කරන්න බෑඈඈ.....මම පාරෙ යන මගියෙක්....කියල.

චිකිස් ගාල මහ හයියෙන් කට්ටියටම හිනාවක් පැන්න මුගෙ කතාවට......ඉතිං කොහොම මදු ගහන්නද....

ජෝන් පස්සෙ කාලෙක මළා....අනගාරික මුණසිංහ අවුරුදු පණහකටත් කිට්ටුවෙලා බැන්ද කෙල්ලක්ව....ළමයෙකුත් ඉන්නව දැන්නම් ලොකු ඉළන්දාරියෙක්......

මම පස්සෙ කාලෙක ගෙයක් හැදුවෙ වීරයගෙ ගෙවල් ඉස්සරහමයි.....වීරය තාම බැඳල නෑ.....රස්සාවකටනං යනව කොහෙද මන්දා....කතාවනං තාම ලියන බාසාවෙන්ම තමා....

මේ ළඟදි ඩෙංගු බලකාය ආවනෙ අපේ ගෙවල් වතු එහෙම බලන්න.....ඔය වීරයලගෙ වත්ත නං එකම කැළයක්.....සිංහරාජ වනාන්තරේ වාගෙ...ඔවුන්ගෙ ගෙට පහළින් දැවැන්ත උණ කැළයක් තියෙනව.....ඕකෙ කපපු උණ ගස්වල මුල් කුහරවල වතුර පිරිල මදුරුවො බෝවෙයිද බලන්න කට්ටිය ගිහින්......වීරය කියනවලු...
 
කුහරවලට රතු පස් දමා තදකර පොල්කටුවලින් වසා ඇත.......කියල
 
මට ඕක නෙල්සන් කිව්වෙ....ඌත් හිටියනෙ ඩෙංගු බලකායෙ.

Sunday, March 17, 2013

40.පුතාට සුබ උපන් දිනයක් වේවා

 
අද ලියන්නෙත් කතාවක් නෙවෙයි.....සුබ පැතුමක්. අම්මගෙ උපන් දිනයටත් සුබ පැතුමක් දැම්මනෙ....ඉතින් පුතාට සුබ පතන්නෙ නැතුව හරිනෑනෙ.

මේ ඉන්නෙ අපේ එකම පුතා...නම දසුන්....ටිකක් මහතයි තමා ගණං ගන්න එපා...ඔය හොඳයි පොඩි කාලෙ තිබ්බ මහතෙ හැටියට....දැන්නම් කෑම ගොඩක් පාලනය කරල එක්සයිස් කරනව ඇඟ හදාගන්න.

පොඩිකාලෙ නම් මට වඩාගෙන යන්නත් අමාරුයි අත කකියනව....එච්චරට බරයි.

මෙයා ඉපදිලා ගෙදර ගෙනාපු ගමන්ම එයාගෙ අම්මලගෙ ගෙදර අය ඇවිත් අම්මවයි පුතාවයි එහෙ ගෙදර එක්කරන් ගියා....ඒක සිරිතක්ලුනෙ....

ඔන්න දවසක් අම්ම පුතාව ඔඩොක්කුවෙ තියල නිදිකරවනවා......වැඩේ කියන්නෙ ළමය ඇහැරල ඉද්දි අම්මට නින්ද ගිහින්......කොල්ල දඟලනකොට බිමට වැටිලා....ඒ ගමන තමා අම්මට ඇහැරිලා තියෙන්නෙ.

ඇහැරිලා බලනකොට ඔඩොක්කුවෙ ළමය නෑ.....අම්මගෙ විලාපෙට අහළ පහළ ගෙවල්වල මිනිස්සුත් දුවගෙන ආවයි කියලයි කතාව තියෙන්නෙ.....
 
බලනකොට කොල්ල ඇඳයට අගේට ඉන්නවලු අතකුත් කටේ දාගෙන......අඬලවත් නෑ.
 
එහෙම හිටපු පොඩි එකාට අදට අවුරුදු දහ අටක්.....කාලෙ ගියා තේරුණෙත් නෑනෙ.....යුරෝපෙ විදියට බැලුවොත් දැන් එයා වැඩිහිටියෙක්.
 
මේ දවස්වල දසුන් ඒ ලෙවෙල් විභාගෙට ලෑස්ති වෙනවා ජූනි මාසෙනෙ තියෙන්නෙ....මිනිහට ඉස්කෝල ගණනාවකටම යන්න වුනානෙ තාත්තගෙ රස්සාව නිසා....
 

 මම මේක ලියනකොට අම්මයි පුතයි කුස්සියට වෙලා චොකලට් කේක් එකක් හදනව ඒ දෙන්න ටී වී එකෙන් බලාගත්තු රෙසිපි එකකට.
පුතා  තමයි කේක් බාස්....අම්ම ඇසිස්ටන්ට්....
 

කේක් එකේ රස බලන්න එන්න කියල ඔයාල ඔක්කොටොම ආදරයෙන් ආරාධනා කරනව.

ඉතිං අම්මගෙ සුදු පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න තාත්තත් එකතුවෙනව.
 
අපේ පුතාට සුබ උපන් දිනයක් වේවා .

Friday, March 15, 2013

39.තරු මතක



අපි හික්කඩුවෙ ගිහිල්ල ටෙලිය ගහගෙන ආපහු ඇවිත් වැඩිකලක් යන්න ඉස්සෙල්ල බෙනට් ටෙලි නිෂ්පාදන ආයතනයක් ආරම්භ කලා ගෙවල් ළඟම.

ආයතනයෙ නම "බෙන් ෆිල්ම්ස්" බත්තරමුල්ල පන්නිපිටිය පාරෙ පැලවත්ත හන්දියෙ ඉඳල කිලෝමීටරයක් විතර තලවතුගොඩ පැත්තට වෙන්න පාර අයිනෙ තිබ්බෙ.ගේ ඉස්සරහින් කොටුව තලවතුගොඩ 174 බස් දුවනව.නාගරික පහසුකම් ඔක්කොම තිබුණත් ඒ හරිය ඒ කාලෙත් බොහෝ දුරට  ගමක්.

බෙන් ෆිල්ම්ස් ආයතනය විවෘත කරන උත්සවයට මට ආරාධනාවක් ලැබිල මමත් ගියා....ඒ දවස්වල මම වැඩකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ..ඔය 1988 අන්තිම හරියෙ වගේ...

1989 අවුරුද්දෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තදින්ම රටතුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා....මුලු රටම අරාජික තත්වයකට පත්වුණා...ගමනාගමනය අඩපණයි....කෝච්චි බස් දිව්වෙ නෑ.

සැරයක් එක දිගට සතියක් ගෙදර නැවතිලා හිටියා වැඩට යන්න විදියක් නැතුව....මම චූටියත් එක්ක චූටියලගෙ වත්ත පහළට වෙලා රේල් පාර දිහා බලාගෙන ඉන්නව....දවසටම කෝච්චි දෙකයි යන්නෙ.....කොළඹ යන ඔක්කොටොම ඔය කෝච්චි දෙක ඇතෑ.

ආණ්ඩුවට විරුද්ධ කඩාකප්පල්කාරී ක්‍රියා උත්සන්න වෙද්දි ආණ්ඩුවත් ප්‍රතිචාර දක්වන්නට ගත්තා...
රෑට රෑට ගම්වලට කඩාවදින පොලිසිය හමුදාව තරුණයන් ගෙනිහින් මරල ටයර් දාල පුච්චන්න ගත්ත....
ගමේ ඉඳීම හරිම භයානකයි.....තරහකාරයෙක් ඔත්තුව දුන්නොත් හරිද වැරදිද බලන්නෙ නෑ කෙළින්ම ගෙනිහින් මරල දානව.

දේශප්‍රියත් එක්ක දවසක්දා මම මේ කතාව කිව්වා....

උඹ ගෙදර ඉන්න එපා....ඇවිත් බෙන් එකේ නැවතියන්....එහෙ ඔය ත්‍රස්තවාදී ප්‍රශ්න නෑ...

දේශා කිව්වා....ඔන්න ඔය විදියට තමයි මගේ බෙන් ෆිල්ම්ස් සම්ප්‍රාප්තිය සිද්දවුණේ.

 ඒ වෙනකොට බෙන් ෆිල්ම්ස් එකේ හිටියෙ රුවනුයි ප්‍රභාතුයි දෙන්නා.....කැමරා සහායක රුවන් මාවනැල්ලෙ උතුවන්කන්දෙ.....ප්‍රභාත් ශබ්ද සහායක..ගම හිඟුලෙ....දේශා තමයි පටිගත කිරීමේ ශිල්පියා.... උදේ ඇවිත් හවස ගෙදර ගියා...ගෙවල් ඒ ලඟමනෙ.

බෙන් ෆිල්ම්ස් එක තිබුණු ගේ අයිති ඒ හරියෙම ගෙදරක හිටපු තරුණ පහේ කාන්තාවකටයි.....ඇයට ඒ හරියෙ දේපළ ගොඩක අයිතිය තිබුණා....පොක්ස්වාගන් කාර් එකක ඇවිත් කුලිය අරගෙන යනවා.....පොඩි දරුවෙක් හිටියා... මහත්තය පිටරටලු.

 මම උදේම ලෑස්ති වෙලා ගේ ඉස්සරහින් බස් එකට නැගල බොරැල්ලට ගිහින් 154 ක නැගල ඔපිස් එකට යනවා...

උදේට සහ දවල්ට කෑම කැන්ටිමෙන්....උදේට නම් පානුයි හොදියි...දවල් තමයි අප්සෙට්....කැන්ටිමේ කෑම එක මෙලෝ යකෙකුට කන්න බෑ වතුරයි බතුයි කනව වගේ...එළියෙ කඩවලින් වැඩි ගාණක් දීල කෑම ගෙනත් කන්නත් බෑනෙ ලැබිච්ච පඩියෙ හැටියට.

බ්‍රාන්ච් එකේ අයනම් ගෙවල් වලින් රසට කෑම එක හදාගෙන  සුවඳට කෙසෙල් කොළේ ඔතාගෙන ඇවිත් කට්ටිය වටවෙලා බෙදාගෙන කන්නෙ....මාත් ඉතිං කාලයක් ඔය විදියට ගෙදරින් ගෙනත් කෑවනෙ....දැන් තමන් විසින්ම පිටුවහල් වෙලා ඉන්න මට මොන රස කෑමද.....ඒ ගැන මතක් වෙනකොට හරිම ආත්මානුකම්පාවක් හිතට දැනෙනවා.

රෑට හොද්දක් හදල තලවතුගොඩින් පාන් ගෙනත් කනවා.....සති අන්තෙ දවස්වලට මම බත් උයනව....අර දෙන්නට උයන්න එච්චර තේරෙන්නෙ නෑ.

 බත් රයිස් කුකර් එකේ උයාගන්න... පරිප්පු හොද්දක් හදන්න...කරෝල තෙල්දාන්න...පොල් සම්බෝලයක් හදාගන්න මම ඒ දවස්වලත් දන්නව...

එළවලු ජාති උයන හැටි තමයි දැනගෙන හිටියෙ නැත්තෙ.

රුවන්ලගෙ තාත්ත කොළඹ එක එක වැඩවලට ආපුවාම රෑ අපිත් එක්ක නතර වෙන්න එනවා....තාත්තගෙන් එළවලු උයන හැටි දැනගත්තා....එයා දවසක් අපිත් එක්ක එකතුවෙලා වත්තෙ ගහකින් කොසයක් කඩල කිරිකොසුත් හැදුවා.

රුවනුයි ප්‍රභාතුයි ෂූටිං එකකට ගිය සිකුරාදා දවසක රුවන්ලගෙ තාත්ත ඇවිත්....ගාණක් නෑ මම ඉන්නවනෙ කියල හිතල නැවතිලා....මම එදා වැඩ ඇරිල කොටුවෙ රස්තියාදුවකුත් ගහල එහෙම එනකොට කරුවල වැටිල....බෙනට් මම එනතුරු බලාගෙන ඉන්නව...කට්ටියකුත් ජීප් එකක ඇවිත් හිටිය.

සර්වෝදයෙ කට්ටියක් හංවැල්ල පැත්තෙ....ඒ අයගෙ වැඩ සටහනක් වීඩියෝ කරගන්න ඇවිත්.....ඒ අයත් එක්ක මාව යවන්න තමයි බෙනා බලාගෙන හිටියෙ.

කැමරා ආම්පන්නත් ජීප් එකට පටෝගෙන මම උං එක්ක ගියා....ටොප් ගමන කියල වැඩක් නෑ හරි ලස්සන පැත්ත....කැළණි ගඟඉවුරෙ එදා රාත්‍රියෙ පටන්ගත්තු වීඩියෝ කිරිල්ල ඉවර වෙද්දි පහුවදා දවල් වුණා....කෑමෙන් බීමෙන් කිසිම අඩුවක් තිබ්බෙ නෑ.

පහුවදා හවස්වෙද්දි මාව ආපහු ගෙනත් ඇරලුවා....නිකං නෙවේ....රෑට කන්න ලොකු බත් මුලකුත් බැඳල දීල පැණි රඹුටං දෙසීයක විතර මල්ලකුත් දුන්නා.

බෙන් එකට ඇවිදින් ගාණ කීයද කියල ඇහුවාම මම කිව්වා අපේ සාමාන්‍ය ගාණ...

අයියෝ......දවස් දෙකක් විතර වැඩකරල ඔච්චර පොඩ්ඩක් මොකටද....

ලියල දෙන්න මට රිසිට් එකක්.... කියල ඉල්ලුව ගාණ වාගෙ තුන් ගුණයක මුදලකුත් මට දුන්නා...

අහළ පහළ ගෙවල්වලටත් බෙදල මට ඔපිස් ගෙනියන්නත් ඇතිවෙන්න රඹුටන් තිබුණා...

ඒ වුණාට හරි වැඩේ...රුවන්ලගෙ තාත්තට එදා තට්ට තනියම ඉන්න වුණානෙ....තාත්ත හොඳටම බයවෙලා....

මම ප්‍රෙෂර්කාරයා....හදිස්සියෙවත් රෑ ප්‍රෙෂර් එක නැග්ග නං මම තනියම මොනව කරන්නද....

ඔහොම තමයි අන්කල්....බයිස්කෝප් කාරයන්ට රැයක් දවාලක් නෑනෙ....මම කිව්වා.

ඊට පස්සෙ නං ඇවිත් යන්න ආව මිසක් රුවන්ලගෙ තාත්ත රෑ නවතින්න ආවෙ නෑ.

අවුරුදු විසි ගාණකින් රුවන්ලගෙ තාත්තව දැක්කෙ නෑ.....දැනට මාස කීපෙකට ඉස්සෙල්ලා රුවන්ලගෙ අම්ම නැතිවුණු වෙලාවෙ මම රුවන්ලගෙ තාත්තට කතා කරල ශෝකය ප්‍රකාශ කළා.

නම කියපු ගමන්ම ඇහුවෙ....

මතකද අපි එකතුවෙලා කොස් උයල කාපුහැටි....කියලයි.

බෙනට් අධ්‍යක්ෂණය කළ තරු ටෙලි නාට්‍යයේ ප්‍රධාන කැමරා ශිල්පියා වුණේ ධර්මෙ.

ධර්මෙ කිව්වට සම්පූර්ණ නම කේ.ඒ.ධර්මසේන.....ඒ වුණාට මුලු කලා ලෝකයම දන්නෙ කිචි ධර්මෙ කියපුවාම තමා...මොකද ධර්මයට හරියට කිචි....ඉළේට අත තියන්න ඕනැ නෑ ඒ පැත්තට අත දික්කලත් ඇති හොඳ කුණුහරුපත් එක්ක ලඟ ඉන්න එකාට වදිනව පාරක් පටෝං ගාල...

ධර්මෙගෙ ගම මීරිගම බෝතලේ පහළගම....වරකපොල පාරෙ අන්නසිවත්තෙ කඩේ ලඟින් හැරිල තමා ගෙදරට යන්න තියෙන්නෙ...මම හොඳට පාර දන්නෙ අපේ අම්මලගෙ ගමත් බෝතලේ ඉහළගමනෙ...අපි එහෙ යනකොට බස් එකෙන් බැහැල යන්නෙ ධර්මෙලගෙ ගෙවල් ඉස්සරහින්.

ධර්මෙ පොඩි කාලෙ ඉඳලම වැඩකරල තියෙන්නෙ ලෙස්ටර් මහත්තය ලඟ....නැවතිල හිටියෙත් ලෙස්ටර් මහත්තයගෙ ඩික්මන් රෝඩ් එකේ ගේ පිටිපස්සෙ තිබ්බ පොඩි කෑල්ලකයි....තවත් චිත්‍රපට කැමරා ශිල්පියෙක් වුණු මර්සලින් පෙරේරාත් ධර්මෙත් එක්ක එතන නැවතිලා හිටියා.

සමහර දවස්වල රෑ මුං දෙන්න හොඳටම බීල ඇවිත් රණ්ඩුවෙලා ගහගන්නවලු......

පහුවදා උදේ ලෙස්ටර් මහත්තය ධර්මෙට කතාකරල අහනවලු....

මොකක්ද ධර්මසේන ඊයෙ රෑ ඒ පැත්තෙන් සද්දයක් ඇහුණෙ....කියල

ධර්මයත් සාන්ත දාන්ත අහිංසකය වගේ අත් දෙකත් බැඳගෙන ....

නෑ සර්....මේ නිකං සර්...කියනවලු
 
ලෙස්ටර් මහත්තය එතකොට හිනාවෙලා...

හා හා ධර්මසේන යන්න....කියනවලු.

 ධර්මෙගෙ ලෝකෙ මුදුන් මල්කඩ තමයි ඔහුගෙ ස්වාමියා වෙච්චි ලෙස්ටර් මහත්තය....ධර්මෙ ඔහුට සැලකුවෙ රජෙක් හා සමානව....අපි කිසි කෙනෙකුට ලෙස්ටර් මහත්තයගෙ කිසිම චිත්‍රපටයක් විවේචනය කරන්න බෑ ධර්මය ඉන්න තැන....ධර්මෙ වහාම එයට එරෙහි වෙනව.

කලා ලෝකයේ කිසිම කෙනෙකුට ලෙස්ටර් මහත්තයට තරම් දැනුමක් නැතිලු....ඇත්ත වෙන්න පුළුවන්....ඒ වුණාට ලෙස්ටර් මහත්තයත් හොඳ චිත්‍රපට වාගෙම අවර ගණයේ ඒවත් කීයක්නම් හැදුවද...ඒ කිසිදෙයක් අපට කියාගන්න බෑ ධර්මය බනිනව...

ඔය ගොල්ලො කව්ද ලෙස්ටර් සර් එක්ක බලාපුවාම....කියල.

අපි තරු කරද්දි දවසක්දා ෂූටිං ඉවරවෙලා ආපහු එනව....වෑන් එකේ නිශ්ශංක දිද්දෙනිය හෙවත් දිගාත් හිටියා....අපි චිත්‍රපට ගැන කතා කරමින් ආවෙ....වෑන් එක එලවගෙන ආවෙ ධර්මයා....

දිගා ලෙස්ටර් මහත්තයගෙ අලුත් චිත්‍රපටය ගැන විවේචනාත්මකව කතාකලා...කතාව ඇත්ත.....ධර්මය එවෙලෙ කටවහගෙන හිටියට දිගාව බස්සල ආපහු එනකොට කියනවා...

එයා මේ ඊයෙ පෙරේදා ආපු එක්කෙනෙක්නෙ...එයා කොහොමද ලෙස්ටර් සර්ගෙ චිත්‍රපට වල දොස් කියන්නෙ .....කියල.

ෂූටිං ඉවරවෙලා අපි ධර්මයත් එක්ක බෙන් එකට එනව.....කට්ටියට රෑට කන්න නිෂ්පාදනයෙන් සල්ලි හම්බවෙනව රුපියල් දාහක් විතර...

බොරැල්ලෙන් බෝතලුත් අරගෙන කෑම ගන්න කඩයක් ළඟ නවත්තද්දි ධර්මෙ කිව්ව...

නිකං අපරාදෙ කඩවලට සල්ලි දෙන්න ඕනැ නෑ සර්.....අපි ගිහිල්ල මොනව හරි උයාගෙන කමු .....කියල

පස්සෙ සිල්ලර කඩේකින් බඩුත් අරං බෙන් එකට ගියා...

බැලුවාම ධර්මයට ටොප් එකට උයන්න පුළුවන්....පරිප්පු හොද්දක් හදනව හරිම රසට....ගෑවිච්චි තැන කන්න පුළුවන්.

ධර්මෙ සාමාන්‍යයෙන් පරිප්පු උයනකොට කොළ මොනවහරි දානව...දවසක් නිවිති ගේන්න අමතක වෙලා....

මට නම් කොළ මොනවහරි නැතිව පරිප්පු කන්න බෑ....ධර්මය කියනව

මේ රෑ කොළ කොහෙන් හොයන්නද....

පොඩ්ඩක් ඉන්ඩකො....කියල මම ගිහින් ළිඳ ළඟ වැල් පෙනෙල ගාලෙන් පඳුරක් ඇදගෙන ඇවිත් දුන්නාම ධර්මය පෙනෙල කොළ හොද්දට දැම්ම....ඒකත් නරකම නෑ අමුතුම රසක් ආව.

පරණ කතා කිය කිය අපි බෝතල් හිස්කරනව....ධර්මය ළඟ ඔය චිත්‍රපට හදාපුවයෙ රස කතා තියෙනව ඉවරයක් නැතුව.

බත්ටික බඩට වැටෙනව විතරයි ධර්මයට එතනම නින්ද යන්ව...

මට මේ කතාව කිව්වෙ චන්න...අපි සයුරෙන් එහා කරද්දි චන්න තමයි සහාය කැමරා ශිල්පියා වුණේ....අද චන්න දේශප්‍රිය සම්මාන දිනූ චිත්‍රපට කැමරා ශිල්පියෙක්.

මම ඒ කාලෙ ධර්මයව දැකලවත් නෑ....

විරාගය හරි මොකක් හරි ඒ වගේ චිත්‍රපටයක් කරද්දි ධර්මයගෙ ඉළ බැරැන්ද ඇවිලිලා....

 බේත් ගෙනාවට ගාන්න පුළුවනෑ.... මූට කිචිනෙ

අනේ මේක ගාපල්ලකො කවුරුහරි......

ධර්මය කිව්වට කවුරුත් බේත් ගාන්න ඉදිරිපත් වෙන්නෙ නෑ....

අන්තිමේදි ඔන්න එකඟතාවකට ආව.....චිත්‍රපටයෙ වැඩට ගෙනාපු හෙන බර පෙට්ටගමක්....හතර දෙනෙක්ද කොහෙද ඕක උස්සන් ඇවිත් තියෙන්නෙ.

දැන් ධර්මය මේ පෙට්ටගම බදාගෙන ඉන්නව.....කිසිම හේතුවක් නිසාවත් අතහරින්න බෑ....පස්ස හැරිල ගහන්න බෑ.

එකෙක් ධර්මයගෙ ඉළ බැරැන්දෙ බේත් ගාන්න ගත්ත.....

ග්ග්ග්ග් ර් ර් ර් ර් ර් ර් අම්මටෝ...ඕ ඕ.....හු....ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්

පෙට්ටිය බදාගෙන ඇඹරුනු ධර්මය අර පත පෙට්ටගම දෑතින් උඩටම ඉස්සුවලු.

ලෙස්ටර් යුවලගෙ චිත්‍රපට හැම එකකම වගේ ධර්මෙත් පොඩි කෑල්ලකට ඉන්නව....

සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා චිත්‍රපටයෙ පොඩි ළමය පාන් ගන්න යන කඩේ මුදලාලිට ඉන්නෙ ධර්මෙ..

බැද්දෙගම චිත්‍රපටය කරද්දි සිද්දවෙච්චි දෙයක් ධර්මෙ මගෙත් එක්ක කිව්වා...

චිත්‍රපටයෙ පුංචිහාමිට රඟපාන නදීකාව කැළේට ඇදන් ගිහින් මරල දාන දර්ශනය ඉතාම තාත්වික විදියට රූපගත කරන්නට ලෙස්ටර් මහත්තයට ඕනැවෙලා තිබුණලු.

නදීකව කැලේට ඇදගෙන යන කණ්ඩායමේ ධර්මෙත් ඉන්නව...සිද්දවෙනදේ ඔක්කොම නදීකට කියල නෑ....කැලේට ඇදන් ගිහිල්ල මරල දානව කියල තමයි කියල තියෙන්නෙ..

දැන් නදීකා කැලෑ පාරෙ තනියම ඇවිදගෙන එනව....කැමරාව ක්‍රියාත්මකයි......හැංගිලා හිටපු ධර්මෙ ඇතුළු කණ්ඩායම පැන්න ගමන් නදීකව වටකරගෙන අල්ලගන්න....නදීකා දුවන්න ගත්ත.

ඔහෙ හිටු බැල්ලි....කියල ධර්මය පැන්න ගමන් නදීකගෙ හැට්ට කරෙන් ඇද්ද පාර හැට්ටෙ පලුවක් ඉරිල ධර්මයගෙ අතට ඇවිත්.....

නදීකගෙ හංසයො එළියට පැන්න කියලයි ධර්මය කිව්වෙ.

බලාපොරොත්තු වුණු විදියටම තාත්විකව දර්ශනය ගන්න ලැබුණත් හවස් වෙද්දි නදීකට වෙව්ලල උණ ගත්තලු බය වෙච්චි පාර....ඒ ගමන බේත් අරන් දීල ගෙදර එක්කන් ඇවිත්.

ඔය වාගෙ තවත් කතා අටෝරාසියක් ධර්මෙ කිව්වත් ඒ ඔක්කොම මෙතන ලියන්න බෑ....කොච්චර උණත් ඒ අයත් තාම කලා ලෝකෙ ඉන්නවනෙ.

ෂූටිං දවස්වලට බෙන් එකට උදේට එකතුවෙන කට්ටියට කන්න මම ඉඳිආප්ප ගෙන්නනව....අපේ විශාල ඉඳිආප්ප ඕඩරේ ගන්න ඒ හරියෙ ඉඳිආප්ප තම්බන ආච්චිල දෙන්නෙක් පොරකෑව.....දෙන්නම මගෙ යාලුවො.....මම කරපුදේ දවසක් ඇර දවසක් වශයෙන් දෙන්නට ඕඩරේ බෙදල දුන්නා.

මම කොල්ල කාලෙ උදේට ඉඳිආප්ප හැත්තැපහක් කාල තමයි සෙට් එකට යන්නෙ....ඒ සංදේශය කරපු කාලෙ.....

ඉඳිආප්ප කන ගමන් ධර්මෙ කියනව.....

අර හෙන පත ලයිට් එක්ක ඔට්ටු වුණාම දවල් වෙද්දි කාපුව ඉවරයි.....

ඒ කාලෙ දැන් වාගෙ නෙවෙයිනෙ.....කිලෝවොට් 500 1000 ලයිට් එහෙම පිටින් යකඩ කඳන්.....

2010 දි ධර්මෙ මියගියා.....මරණය තියල තිබුණෙ ජයරත්න මල් ශාලාවෙ....ධර්මෙගෙ අභාවය ගැන පත්තරෙන් දැකපු මමත් ගිහින් අවසන් ගෞරවය දක්වල ආවා.

 ධර්මෙගෙ අවසානය සිදුවුණු හැටි අපේ අල්ලපු වත්තෙ සිරිල් මාමගෙ පුතා සරත් අය්යා අපේ ගෙදර ආපු වෙලාවක කිව්වා....

සරත් අය්යා විරාගය(1987) චිත්‍රපටයෙ ඉඳල අද දක්වා නිෂ්පාදන කළමණාකරුවෙක් හැටියට ක්ෂේත්‍රයේ වැඩකරන ප්‍රසිද්ධ චරිතයක්.

සැරෙන් සැරේ අසනීප ගති මතුවෙමින් හිටපු ධර්මෙ රූපගත කිරීමකට යද්දි බරපතල විදියට අසනීප වෙලා....ළඟම තිබුණු ඉස්පිරිතාලෙට ඇතුල් කරපු ධර්මෙව පරීක්ෂා කරල වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් කරල වාර්තා අරගෙන එන්න කිව්වලු....ඒ වාර්තා ගන්නම ලොකු මුදලක් වියදම් වෙනවා...

සරත් අයියට පැත්තකට කතාකරපු වෛද්‍යවරයා...

බොරුවට සල්ලි වියදම් කරන්න එපා...පිළිකාව ඇඟ හැමතැනම පැතිරිලයි තියෙන්නෙ.....සනීප කරන්න බෑ ගෙදර එක්කන් යන්න....කියලා

ඒ ගමන තමා ධර්මෙව ආපහු ගෙනත් තියෙන්නෙ...

ඒ ගෙනත් වැඩි දවසක් ධර්මෙ ජීවත් වෙලා නෑ....

 ලයිට් උස්සන කොල්ලෙක් හැටියට ක්ෂේත්‍රයට ඇවිත් සම්මානලාභී කැමරා ශිල්පියෙක් දක්වා දුර ගමනක් ආපු ධර්මෙ ක්ෂේත්‍රය වෙනුවෙන් කරපු සේවයට නිසි අගැයීමක්  ලැබුණද කියන එක ගැන තියෙන්නෙ ප්‍රශ්ණාර්ථයක්.

මගේ පුද්ගලික අදහස නම් ඔහුගේ සේවය නිසි අගැයීමකට ලක්වුණේ නැහැ කියන එකයි.

මියගිහින් ටික කළකට පස්සෙ දිවයින පත්තරේ පිටු බාගයක විතර ලිපියක් පළවෙලා තිබ්බ ධර්මෙ ගැන..... එච්චරයි.

පොඩි තැනක ඉඳල උත්සාහයෙන් ඉහළට ආපු අහිංසකයෙක් නිසාත් තොලේ කටේ නොගෑවි බස බස ගාල ඉංග්‍රීසි කතා කරන්න බැරිකමත් ඔහුගේ නුසුදුසුකම් වෙන්න ඇති...

රූපගත කිරීම් වලදි වුණත් ධර්මෙ ඔය තෝරු මෝරු අස්සෙ ගැවසෙන්න ගියෙ නෑ...
 

ලයිට් අල්ලන බෝඩ් උස්සන පොඩි එවුන් එක්ක බුලත් විටක් හපාගෙන ඉන්න තමා ප්‍රියකලේ....
 

කොහොම උණත් ඔහුගෙ නම ක්ෂේත්‍රයෙන් මකල දාන්න නම් බැරිවෙයි.
 

කියන්න ආපු කතාව නෙවෙයිනෙ ලියවුණේ.
 

අතීතය මතක් වෙද්දි හරිම සතුටක් දැනෙනවා....ලියවෙන්නෙ නොදැනුවත්වමයි.
 

කොහොමත් මේ කතාවත් කවදහරි ලියන්න වෙන එකක්නෙ...අද ලියන්න හිටපු කතාව වෙන දවසක ලියන්නම්...තරහවෙන්න එපා.

Tuesday, March 12, 2013

38.පයිය යනු කුණුහරුපයක්ද



අද මම බ්ලොග් අවකාශයේ අපූරු සිද්දියක් දැක්කා...ඒ තමයි බ්ලොග් ලියන හිතවතුන්ගේ සුහදත්වය හා සහජීවනය මේ යැයි මොනොවට කියාපාමින් අපේ දේශකයා මා සහ මගේ බ්ලොගය ගැන ලිපියක් පළකිරීම.

දේශකයාට පෙර පිළිවෙලින් අටම්පහුර හා මාතලන් ද මා ගැන ඔවුන්ගේ බ්ලොග් වලින් හඳුන්වාදී තිබුණා.
මගේ බ්ලොගය ගැන දේශකය ලියල තිබ්බෙ මා ගැන නොසෑහෙන වර්ණනාවකුත් කරමින්.

සුළු නිවැරදි කිරීමක් කළයුතුයි...මා කිව්වෙ ලිවීමේදී නිතරම නිවැරදි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ හැකිතරම් දුරට ආරක්ෂා කරගෙන ලියන්න උත්සාහ කරන වගයි.

 ඉතින් වැඩියක්ම මේ සටහන මා ලියන්න පෙළඹුණේ අපේ දේශකයට සෑහෙන ප්‍රශ්නයක් වී ඇති වචනයක් ගැන වැඩිදුර විස්තර සොයන්නටයි.

ඒ මොකක්ද කිව්වොත් හැලපයා කියන නම ඒ ආකාරයෙන්ම වැඩිහිටියෙකුට භාවිතා කරන එක සුදුසු මදි නිසා ගෞරවාර්ථයෙන් වහරන්නට යෑමේදී සිදුවන අකරතැබ්බයක්.

හැලප+ අයියා=හැලපයියා නේ...එතකොට මෙතැන පයියා කියන වචනය කුණුහරුපයක් වගේ නිසා හැලපීයා කියා වෙනස් කළාලු.

මට එකවරටම මතක්වුණේ පයියා හෝ පයිය කියන වචනය කුණුහරුපයක්ද කියායි.

මා දන්නා තරමින් එය එසේ නොවේ....

පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍රිය හඳුන්වන්නට අද පයිය කියන පදය බහුලව යෙදෙනවා තමයි...

නමුත් පයිය කියන්නේ පුරුෂ ලිංගයද?

පයිය කියන වචනයේ නිවැරදි නිරුක්තිය සොයාගන්නට මගේ ළඟ ශබ්ද කෝෂයක් නැහැ.....ශබ්ද කෝෂයක් ඇති කතන්දරයන්වත් මේ වචනයේ නිරුක්තිය සොයා සපයනව නම් මා බොහොම කැමතියි.

මා හිතන්නේ පයිය කියන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයක්...

දෙමළ භාෂාවෙන් උරය හෝ මල්ල පයිය යනුවෙන් හඳුන්වනවා.

තව අපේ පැරැන්නො බුලත් මල්ලට බුලත් පයිය කියා හැඳින්වූවා....

මඩිස්සලයට හෝ කොක්කනයට කූරපයිය යනුවෙන් හැඳින්වූවාත් මට මතකයි...

අපි මදුරාසියේ ජීවත්වුණු කාලයේ අප පදිංචිව සිටි නිවෙසට සැමදිනම උදෑසන පානය සඳහා එළකිරි පැකැට්ටුවක් ගෙනැවිත් මල්ලකට දමා යන්නේ මහළු කාන්තාවක්...

කිරි පැකැට්ටුව දැමීම සඳහා දොරේ පිට පැත්තෙන් උරයක් එල්ලා තිබුණා...දිගින් දිගටම පාවිච්චි කිරීම නිසාවෙන් මේ උරය ඉරී අබලන්ව ඇතිබව අප දැනහිටියේ නෑ.

දිනක් උදේ පාන්දර සුපුරුදු ලෙස පැමිණි කිරි ගෙන එන කාන්තාව කිරි පැකැට්ටුව උරයට නොදමා ගෙයි සීනුව නාදකළා.

දොර ඇරගෙන එළියට ආ බිරිඳට ඇය කියා සිටියේ....

අම්මා පුදිය පයිය තාංග මා....
(නෝනා අලුත් උරයක් දෙනවාද )යනුවෙන්..

බිරිඳ දන්නාදෙමළක් නැතිනිසා ඇය මගෙ ළඟට ආවා...

බලන්නකො අනේ අර මනුස්සය වයසෙ හැටියටද කියන කුණුහරුප උදේ පාන්දර....

විස්තරේ අහපු මට හොඳටම හිනාගියත් අලුත් උරයක් දොරේ එල්ලලා අර කාන්තාවටත් කතා කරල වැඩේ ඉවර කළා...

ඉතිං පයිය කියන්නෙ සිංහල භාෂාවෙන් පහිය කියන එකටයි කියලයි මගෙනම් විශ්වාසය.

උරය හෝ මල්ල කියන එක කුණුහරුපයක් නොවෙයිනෙ....

ඔන්න මම අර ඩැනීගෙ කතාවෙදි කිව්ව වගේ ඌට නම් තිබ්බ මල්ලක් විතර ලොකු බාවක්.....

ඉතින් ඔය විදියට පූර්වාපර සන්ධි ගලපල බැලුවාම මට හැලපයියා කියන එක ගැන මගේ කිසිම අමනාපයක් නැති බවයි මට කියන්න තියෙන්නෙ....ඒ නිසා හැලපයියා කියන නම ඒ විදියටම තිබුණුදෙන්.

අනික හැලපීය කියනකොටම මට මතක් වෙන්නෙ පැලපීය....

පැලපීය වගේ ලොකු ඒවනං පයියට යටිනුත් මම දැකල තියෙනව....

පැලපී මතක් කරන කොටත් ආසයි බං...කාපු කාලයක් මතක නෑනෙ....අපි පොඩි කාලෙ කොච්චරනං කෑවද.

 ඉතිං මම මේ කියපු දේවල් ගැන ඔයගොල්ලන්ට තමන්ගේම මතයන් තියෙන්න පුළුවනි....ඒ වගේම මේ වචන ගැන මීටවඩා ගොඩක් දුරට හදාරපු අයත් ඉන්න පුළුවනි.
 
මේ වචනය ගැන සංවාදයක් ඇතිවෙනවා නම් මා ඉතාම කැමතියි.

Monday, March 11, 2013

37.මා ප්‍රිය සොඳුරිය...ඔබට සුබ උපන්දිනයක් වේවා!!!



 අද මේ සටහන ලිවිය යුතුමයි.....ඊයෙ ලියපු කතාව උඩටම වුණාට මොනව කරන්නද....

බිරිඳ මට මුණගැහුණෙ ඇය රස්සාවට කෝච්චියෙ යන්න පටන්ගත්තු අලුතමයි.....අපි කොල්ලො ටික කෑ ගගහ ගිය සීට් එකට පිටිපස්සෙ සීට් එකේ තමා ඇය ඇගේ යාලුවො ටිකත් එක්ක ගමන් කළේ.

ඔන්න ඔය විදියට හඳුනා ගත්තත් බොහෝ කාලයක් යනතුරු අපි අතර තිබුණෙ හිතවත්කමක් පමණයි.

වගකීමකින් තොර ජීවිතය රැහැණින් මිදුණු සරුංගලයක් සේ අරමුණකින් හෝ ඉලක්කයකින් තොරව පාවෙන කාලයක් මටත් තිබුණා.

මගේ ජීවිතයට ඇය ඇතුල්වූයේ ඔය කියන කාලයේදීයි...

ඇයත් සමග ජීවන ගමන අරඹන්නට මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබුණෙ නෑ.

මොකද ඒ වන විටත් අපි ඉතා හොඳින් දැන හඳුනාගෙන හිටපු හිතවතුන් නිසායි....
 
මට තිබුණු එකම බය මා වැනි දෙකටම නැති එකෙක් එක්ක පවුල් කන්න ඇයට හැකි වෙයිද කියන එක.
 
කොහොම වුණත් එදා සිට අද දක්වා කවදාවත් උඹ නොදකින් කියාගන්නෙ නැතුව අපි පවුල් කනව...
 
අද මම ජීවිතේ යම් තත්වයක ඉන්නව නම් ඒ සියළුම ගෞරවය හිමිවිය යුත්තේ ඇයටයි....
 
ඇය බිරිඳක යෙහෙළියක මවක මෙහෙකාරියක යන සියළුම චරිත නොපැකිල රඟපෑවේ රැකියාවටත් යන ගමන්මයි....
 
පවුල් ජීවිතයේ එපාවීමක් හෝ විඩාවක් මේ දක්වා මට නොදැණුනේ ඇය නිසාමයි...
 
මා බ්ලොගයට ලියන හැම කතාවක්ම පළමුවෙන් කියවන්නෙත් පළවෙනි වාචික කමෙන්ටුව දෙන්නෙත් ඇයයි....
 
අද ඇයගේ උපන් දිනයයි.....
 
ඇයගේ උපන් දිනයේදී මට දෙන්නට හැකි හොඳම උපන් දින තෑග්ග මේ සුබ පැතුමයි....
 
මහගම සේකරයන් තම බිරිඳ වෙනුවෙන් ලියූ හෘදයාංගම කවි පෙළකින් තෝරාගත් මේ කවිය ඇය අප වෙනුවෙන් කළ හා කරනා කැපවීමට උපහාරයක් කොට පිරිනමනවා....
 
කුසගින්නෙන් ඔබ පෙළෙමින් පුතාට බත් කවනා විට
හිත ඇතුළෙන් ඔබ හඬමින් හඬන පුතා නළවන විට
මටත් වඩා මගෙ සිත ඔබ හඳුනන බව දැනෙනා විට
මිනිස් හදේ සුන්දර බව පසක් කරන්නිය ඔබ මට
 
අපගේ කුටුම්බය වෙනුවෙන් ඔබ කළ කැපවීම අගයන්නට මේ කෙටි සටහන සෑහුනේ නැතත්...
මා සමග ඔබට සුබ උපන් දිනයක් පතන්නට අපේ පුතාත් එකතු වේවි....
 
ඔබට සුබ උපන් දිනයක් වේවා....!!!!