Wednesday, December 27, 2017

ස්වප්නා හමුවීම, රක්ෂිත කැලෑ විනාශය, චෙෆාකිගේ මාළු වල සහ කාවයියෝ.


අලුත් අවුරුද්දක අරුණළු පේන මානයටම ඇවිත් තිබෙන මේ උඳුවප් මාසයේ නම් වෙනත් උඳුවප් මාසවල මෙන් ගත සලිත කරන හිත හිරිවට්ටන සීත සුළං රැළි හමා නොගිය අතර ඒ වෙනුවට මාසයේ අඩක්ම ගතවුණේ  ඇත්තේ මහ වර්ෂා මැදය.  උඳුවප් මාසය මට බොහෝ අතීත මතකයන් සිහිගන්වන සමයක් බව මා මීට අවුරුදු කීපයකට පෙර ලියු මේ බ්ලොග් සටහනේ ලීවෙමි.   ඒ සටහන මට හදිසියෙන් මතක් උනේ කාලයකට පසු ස්වප්නා මුණගැසීම නිසාය.    ඒ මුණගැසීම සිදුවුණේ කල්ප කාලාන්තරයකට පසුවය කියා මට හිතුණේ ස්වප්නා වෙනස්වී ඇති අයුරු දැකීමෙනි.    දැන් ඇය ලොකු දරුවන් දෙදෙනෙකුගේ මවක් වගේම ශරීර ප්‍රමාණයෙන්ද අති විශාලය.     

කෙල්ල සමයේදීද  ඇය තරමක් උස මහත ලලනාවකි.    ඒ උනාට ස්වප්නා මට හිනාවුණේ තරුණ අවදියේ පන් බොඩයක් මෙන් කැහැටු ගැටවරයා මේ තරම් උස මහත උනේ කොහොමද කියා වෙන්නට ඇත.   තරමක කෙටි ඇසුරකින් පසුව අසූ ගණන්වල මැද භාගයේ දී පමණ අප දෙදෙනා වෙන්වුණේ එතරම් හිත හොඳකින් නොවන බව ද මගේ මතකයයි.    ඊට එකම හේතුව වුයේ අප දෙදෙනාගේ අරමුණු එකිනෙක නොපෑහීමය.    එකල මගේ අදහස වුණේ තවටිකක් වැඩිදුර ඉගෙන ගන්නටත් රැකියාවේ උසස්වීමක් ලබාගන්නටත් වූ අතර විවාහවී ගෙදරට කොටුවන්නට කිසිම බලාපොරොත්තුවක් මා තුළ නොවුණත් ස්වප්නාගේ එකම අරමුණ වුයේ හැකි ඉක්මනින් විවාහ වන්නටය.    වැලිසර රෝහලේ සිට කොළඹ ප්‍රධාන කාර්යාලයට මා ස්ථාන මාරුවක් ලබාගත්තේද මගේ සිතේ තිබු බලාපොරොත්තු ඉටුකර ගන්නටය.   

මා උසස්වීමක් ලබා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට මාරුවී ගිය අවුරුද්දේම ස්වප්නා ඇය හඳුනා ගත් තරුණයෙකු සමග විවාහ වූ බව මා දැනගත්තේ බොහෝ පසු කාලයකදීය.    ඒ දෙදෙනා විවාහ වෙන්නට පෙර එක දවසක් ජෝඩුවම ප්‍රධාන කාර්යාලයට පැමිණියේ ස්වප්නා ඉල්ලා තිබූ ස්ථාන මාරුවක් ගැන සොයා බලන්නටය.    දුටු පමණින්ම පුද්ගලයා ගැන මගේ හිතේ එතරම් ප්‍රසාදයක් ඇති නොවුණත් මම ස්වප්නාට අවශ්‍ය රාජකාරිය ඉටුකර දුන්නෙමි.    විවාහවී දරු දෙදෙනෙකුත් ලද පසු ස්වප්නාගේ සැමියා වෙනත් කාන්තාවක් ජෝඩු කරගෙන ස්වප්නා ව අතහැර ගිය බවද මා දැනගත්තේ බොහෝ කලකට පසුවය.    තනිවූ ස්වප්නා ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දෙමින් දරු දෙන්නාද ලොකු මහත් කරගෙන ගේද හදාගෙන රැකියාව කරමින් ඉන්නා බව මේ මෑතකදී මට කතාකළ මිත්‍රයෙක් කීවේය.    ස්වප්නාගේ මෑණියන්ගේ තුම්මාසේ දානය ඒ ළඟ දිනකට යෙදෙන බවත් පැරණි මිතුරන් එදාට එකතු වන බවත් මාත් දානයට එනවා නම් හොඳ බවත් ඌ වැඩිදුරටත් කීවේය.    ඊට ටික දිනකට පසු ස්වප්නා මට කතාකළේ දානයට ආරාධනා කරන්නටය.   දුරකතන අංකය ඇය මගේ මිතුරාගෙන් ඉල්ලගෙන තිබු අතර නොවැරදීම දානයට එන්නටය කියූ ස්වප්නා කන්නට කැමති දෙයක් ඇත්නම් හදා තියන්නට හැකියැයි කීවේ සිනාසෙමිනි.

ස්වප්නලාගේ ගෙදරට මා මීට කළින් ගොස් තිබුණේ මීට බොහෝ ඈත කාලයකට පෙර සිදුවුණු ඇගේ අක්කාගේ විවාහයටය.   ඒ ගියේ කොහාටද මොන ආකාරයකටද යන්නවත් ගැන කිසිම අයුරුවක් මගෙ මතකයේ නොවුණත් රේල් පාරෙන් පැන වෙලක් හරහා ගියා යන්තමට වගේ මතකය.   ඒත් මෙදා නම් ගේ ළඟටම යන්නට තාර පාරක් වැටී තිබුණත් පෙර තිබු පිටිසර ගතිය එලෙසමය.    තාර පාර එක දිගටම වැටී තිබුණේ රජයේ රක්ෂිත කැලය අද්දරින්මය.   පාරෙන් පැන රක්ෂිතය ඇතුළට අපි කීප දෙනෙක් ගියේ කැලේට තිබුණු ආසාව නිසාමය.    කැලය ඇතුළට යන්න යන්න කළුවර ගතියද සිසිලසද කුරුළු හඬද එකසේ වැඩිවෙයි.    මට එකවරම මතක් වුණේ මීට කාලයකට පෙර අප කරක් ගැසූ රක්ෂිත වනයකි.    ඒ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ පාලන කාලයේ තිබු අමන ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන ජනතාව සාගතයෙන් පෙළුණු සමයයි. 

බෝතලේ ගම වටා තිබු අරංගල කන්ද, ආඳාගල කන්ද, විලිකුළාකන්ද, කොස්ගස් කන්ද, කළු කන්ද ආදී කඳුවලින් සමන්විත අලංකාර කඳු වළල්ල ගම්මානයට ගෙනදුන්නේ අමුතු සුන්දරත්වයකි.   හිරු එළිය නැගගෙන එන විටදී මෙන්ම බැසගෙන යන විටදීද පළමුවෙන් එළිය සහ අඳුර වැටීගෙන එන්නේ කන්දටය.   එළියට බැස කඳුපෙළ දෙස බලා ඉද්දී මාගලක් එලාගෙන යන ආකාරයට එළිය වැටීගෙන එන අන්දමත් පැදුරක් අකුලන්නාසේ අඳුර වැටීගෙන එන ආකාරයත් බලාසිටීම කවදාවත් එපා නොවෙන තරමටම සුන්දරය.    මේ කඳුපෙලේ තිබූ කැලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තිබු එක් වටිනාම වන සම්පතක් වුවා නිසැකය.     අවුරුදු සිය දහස් ගණනක් වයස් වූ මහ වනස්පතීන්ගෙන්ද බිම පුරා තට්ටු ගණනින් පතිතවී තිබු කැලෑ කොළ තට්ටුව මැඩගෙන සරුවට වැවුණු හබරොස්ස වැල් කුඹුරු වැල් හා යෝධ පුස් වැලින්ද කඳු මුදුනේ ගල්තලාව උඩින් කුඩා දිය සීරාවක් සේ පටන්ගෙන දෙපස සරුවට වැවුණු බට පඳුරු පීරාගෙන ටික ටික සරුවී පහළට එද්දී විශාලවන මනස්කාන්ත දිය කඳුරු ආදියෙන්ද මොනවට සැරසුණු වන රැජිණිය සිය අභිමානවත් අලංකාරය මොනවට විදහා දැක්වූවාය.    මොන තරම් වටිනා වන සම්පතක් වුවත් පැවති රජයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි තුට්ටුවක වටිනාකමක් හෝ තිබුණාදැයි සැක හිතෙන්නේ ගමේ මිනිස්සු වන රක්ෂිතය උඩ සිට පහලටම කපා පුළුස්සා මඤ්ඤොක්කා බතල වවනතුරු කිසි කෙනෙකුට විරුද්ධව කිසිම පියවරක් ගන්නට කෙනෙක් සිටියේ නැති නිසාය. 

එය එපමණ අරුමයක් නොවන්නේ සිංහරාජ වනාන්තරය කපා ගස් ටික තුනී ලෑලි හදන්නට ගිංතොට පැටවුයේද ඒ කාලයේදීම නිසාය.   අද නම් ගහක් තියා කැලේ ගහක අත්තක් කැපුවත් රෙදි කරට ගෙන දුවගෙන එන පරිසර සංවිධාන, විවිධ භාරයන්, එන්. ජී. ඕ. කාරයන් ඈ කිසිකෙනෙක් එදා වන විනාශය ගැන කතා කරන්නට සිටියේ නැත.   අද නම් උද්ඝෝෂණය කරන්නට මේ පරිසර සංවිධාන සතුව බොහෝ සටන්පාඨ ඇත.   මේ දිනවල වඩාම ජනප්‍රිය සටන් පාඨය වනුයේ 'විල්පත්තුවේ වන විනාශය නවත්වනු' යනුවෙන් කරන උද්ඝෝෂණයයි.  මේ ඊයෙ පෙරේදාද කොළඹ කොටුව අවහිර කරමින් විල්පත්තු වන විනාශයට විරුද්ධව අති විශාල උද්ඝෝෂණයක් පැවැත්විණ.    උද්ඝෝෂකයින් කියන්නේ විල්පත්තු රක්ෂිත වනාන්තරය කපා එළිකර මුස්ලිම් ගම්මාන පිහිටුවද්දී ආණ්ඩුව ඇහැ කණ පියාගෙන බලාසිටින බවයි.    පහුගියදා ප්‍රසිද්ධියට පත්කළ පිංතූර විශේෂයෙන් ඩ්‍රෝන කැමරා මගින් ලබාගෙන තිබු ඡායාරූපවලට අනුව සිදුවී ඇති වන විනාශය අති මහත්ය.   විල්පත්තුවට මෙපමණ හානියක් කරද්දී ආණ්ඩුවට අහක බලාගෙන සිටිය හැකිද? නැත්නම් මේ වන විනාශයට විරුද්ධව ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි?    මට ඇතිවූ ප්‍රශ්න වුයේ ඒවාය.    සාමාන්‍යයෙන් මෙවැනි උහතෝකෝටිකයකදී සිදුවී ඇත්තේ කුමක්දැයි මා සොයා බලන්නේ වෙන කුමකටවත් නොවැ මගේම සිත් සංතෘප්තිය උදෙසාය.    එහෙම සොයා බැලූ විට මට දැනගන්නට ලැබුණේ මෙහෙම කතාවකි.

මීට අවුරුදු විසිහතකට පෙර එනම් අනුවේ ඔක්තෝබර් වල උතුරේ සහ නැගෙනහිර පදිංචිවී සිටි මුස්ලිම් පවුල් දහස් ගණනාවක් කොටි සංවිධානය විසින් සිය පදිංචි ස්ථානවලින් එළවා දමනු ලැබුයේ  ප්‍රභාකරන්ගේ නියෝගය අනුවය.    සිය වාසස්ථාන වලින් පිටව යද්දී තමන් එතෙක් කල් හරි හම්බ කරගත් යමක් තිබුණානම් එයද ගෙනයන්නට ඔවුන්ට තහනම් විය.   එසේ නැතහොත් ගෙනයන්නට දුන්නේ සීමාසහිත චංචල දේපළ ප්‍රමාණයකි.    මේ සංසිද්ධිය ප්‍රසන්න විතානගේ ඔහුගේ 'ඉර මැදියම ' චිත්‍රපටයේ මනාව චිත්‍රණය කර ඇත.     ගර්හාවට පත්කර සිය වාසස්ථාන වලින් එළවා දමනු ලැබූ මුස්ලිමුන් පුත්තලම් පළාතේ අනාථ කඳවුරු වල අවුරුදු විසි ගණනක් දුක් විඳ යුද්ධයෙන් පසුව නැවත සිය නිත්‍ය පදිංචි ස්ථානවල පදිංචි කරවන තුරු බලා සිටියෝය.    මේ කතාව සුදු කුකුලාද ඔහුගේ බ්ලොගයේ ලියා ඇත.   ඒ වන විට විල්පත්තු පළාතේ මුස්ලිම් වරුන්ගේ මුල් ගම් බිම් වන ගහණයට නතුව රූස්ස කැලෑ බවට පරිවර්තනය වී තිබිණි.    කපා ඉවත්කරන ලද්දේ එම කැලෑවයි.   එහෙත් විවිධ පරිසර සංවිධාන මෙය අර්ථකථනය කළේ විල්පත්තුව කපා විනාශ කරනවා යනුවෙනි.    ඊටද හේතුවක් ඇත ඔය වනාන්තර රැක ගන්නට දිවි හිමියෙන් සටන් කරන පරිසර සංවිධානවලට මුදල් ලැබෙන්නේ ඔවුන් කෑගසන තරමටය.    පරිසර සංවිධාන පමණක් නොවැ සිංහල ජාතිය බුද්ධාගම බේරාගන්නට සටන් වදිමින් උපවාස, සත්‍යග්‍රහ කරමින් ජීවිතය දෙන්නට වුවද කැපවෙන අය වුනත් කෑ ගසන්නේ තමන්ට ලැබෙන කුට්ටියේ හැටියටය.    එහෙම නැත්නම් ලද වරප්‍රසාද තෑගී බෝග රැක ගන්නටය. 

විල්පත්තු විනාශය මෙන්ම තවත් මහත්සේ ජනප්‍රියවූ සටන් පාඨ කීපයක් මට මතකය.   මෑතකදීම කියැවුණු තවත් කතාවක් වුණේ ශ්‍රීපාද රක්ෂිතයේ ඉදිකරනවා යැයි කියන සංචාරක හෝටලය ගැන ඇතිවූ කලබගෑනියයි.   මේ කියන හෝටලය හදන්නට යෙදුණේ ශ්‍රීපාදයට කිසිම සම්බන්ධයක් නැති තේ වත්තකය.   ශ්‍රීපාදයට එහි ඇති එකම සම්බන්ධය තේ වත්තට ශ්‍රීපාද කන්ද පෙනෙන එකය.    මේ කතාවේ ඇත්ත තත්ත්වය රජය කොතරම් පැහැදිලි කළත් පරිසර සංවිධාන එය නෑසු කන්ව උද්ඝෝෂණය කළේ පැහැදිලිවම ඔවුන්ගේ තක්කඩි කමටය.     තවත් කතාවක් තිබුණේ සිංහරාජ වනාන්තරය මැදින් පාරක් කපනවා කියාය.   ඒ කපනවා කියූ පාරද සිංහරාජ වනාන්තරයේ මායිමට බොහෝ ඈතින් ඒ පළාතේ ගම්මුන්ගේ ගමන් පහසුව සඳහා කපන්නට යෙදුණු පාරකි.    මීට බොහෝ කලකට පෙර හැත්තෑ ගණන්වල මුල් භාගයේ බෙන්තර ඉදිකරන්නට පටන්ගත් සංචාරක හෝටලයකට එරෙහිව එක්තරා විප්ලවීය පක්ෂයක් ගම්වැසියන් උසි ගැන්වුයේ ඒ හදන්නේ ඇමෙරිකානු යුද කඳවුරක් ය කියාය.    හෝටලයේ තාප්පයේ ඇති සිදුරු ඒ යුද කඳවුරට ගෙනෙන කාලතුවක්කුවල බටය එළියට දමන්නට හදන සිදුරු බව ඔවුන් ගම්මුන්ට කියා ඇත.    එයිට්කන් ස්පෙන්ස් සමාගම දඹුල්ලේ කණ්ඩලම හෝටලය ඉදි කරගෙන යනවිට විශාල උද්ඝෝෂණයක් ඇතිඋනේ  කණ්ඩලම වැව් තාවුල්ලේ හෝටලය හදන බව කියමිනි. මේ උද්ඝෝෂණයේ මුලිකත්වය ගෙන කටයුතු කල දඹුල්ලේ හාමුදුරුවෝ  වැව් තාවුල්ලේ හෝටලය හැදුවොත් තමන් ගිනි තියා ගන්නා බව දෙසා වදාළෝය.    එහෙත් රටේ සංචාරක කර්මාන්තයේ වැඩි දියුණුව සඳහා පුද්ගලික අංශයේ සහයෝගය කෙතරම් අවශ්‍යදැයි හොඳින් වටහාගෙන සිටි ප්‍රේමදාස ජනාධිපති තුමා ඔය උද්ඝෝෂණ පයිසයකටවත් ගණන් නොගෙන කරදරයක් නැතිව හෝටලයේ වැඩ නිම කරන්නට අවශ්‍ය සහයෝගය දුන්නේය.   එදා උද්ඝෝෂණ කල උපවාස කල වීරයින් හැමදෙනාම පාහේ දැන් කණ්ඩලම හෝටලයට ගොස් කති බොති විනෝදවෙති.   ඒ අපේ රටේ හැටිය හැම තැනම සත්‍යග්‍රහ, විරෝධතා සහ උද්ඝෝෂණ ය.    මාරාන්තික උපවාස ය බොහෝ ඒවායේ යටි අරමුණ ප්‍රකාශිත අරමුණට හාත්පසින්ම වෙනස් එකක්ය.    

                                        අල්ලපු මාළුවැල

මිනිසුන් ඉදිරියට දමා විවිධ කණ්ඩායම් මේවා  මෙහෙයවන්නේ නිකම්ම නොවේ.    අන්තිමේ විරෝධතා වලට මොනවා උනත් ඒ අයගේ බලාපොරොත්තු ඉටුවෙලාය.    විරෝධතා නැත්නම් ඒ අයට සිද්ධ වෙන්නෙ කහ කහ ඉන්නටය.    කහ කියද්දී මට එකපාරටම මතක්වුණේ චෙෆාකිවය.    මම පහුගිය දවසක චෙෆාකිව බලන්නට වත්තට යද්දී ඔහු හිටියේ වත්තේ පාත්තිවලින් ගලවපු කහ ගොඩක් එක්ක ඔට්ටු වෙමින්ය.   අස්වැන්න සරුය කහ සෝදා සුද්ද කරන්නටත් තම්බන්නටත් තිබෙන බව චෙෆාකි කීවේය.    ඒ දවස්වල තිබුණු අයහපත් කාලගුණය හේතුවෙන් බෝට්ටු මුහුදු ගොස් නැති නිසා කෝට්ටෙගොඩ මාළු ලෑලිවල මාළු තිබුණේ නැත.   තිබිච්ච ටිකත් පට්ට ගණන්ය.    ඒ නිසා වත්තේ වලෙන් මාළු අල්ලන්නට චෙෆාකි යෝජනා කළේය.   ඒ යෝජනාවට මම බොහොම කැමති වුණේ බිලී බෑම මගේ ප්‍රියතම විනෝදාංශයක් නිසාය.    වත්තේ වැඩකරන ක්‍රිෂ්ණාට කියා පණුවන් ටිකක් කොටවා ගත් අපි බිළීපිති දෙකක්ද අරගෙන වලට ගියෙමු.    ක්‍රිෂ්ණා ගෙනැත් තිබුතිබුණේ පාණ්ඩුව හැදිලා වගේ හිටි කැහැටු පණුවන්ය.    ඒ ගමන වල අද්දර මඩ වගේ තිබුණු තැනකින් ආයෙම පණුවන් ටිකක් හොයාගන්නට විය.    ඇම දියට දමා වැඩි වෙලාවක් බලාගෙන ඉන්නට උනේ නැත.   මාළු එකා දෙන්නා ඇංවලට කොටන්නට වුවෝය.   වැඩි වෙලාවක් යන්නට පෙර මාළු වැලක්ම අල්ලා ගන්නට අපට හැකිවිය.   වලේ හිටපු තරම් හිටියේ චෙෆාකි බට්ටන් කියා කියන කාවයියන්ය.   ගොඩට ගත් කාවයියා කටුත් පුප්පාගෙන දඟලන්නේ ඇඟ ඇතුලේ මෝටරයක් හයිකලා වගේය.    පොඩ්ඩ බැරිවෙනකොට අතින් ගිළිහී යයි පැන්නොත් ආපහු අල්ලාගැනිලි බොරුය.   කාවයියෙක් කටේ තියාගෙන තවත් මාළුවෙක් දැලෙන් ගලවන්නට ගිය මාළු අල්ලන මිනිහෙකුගේ උගුර දිගේ ගොස් හිරවූ කාවයියා නිසා ඔහු මැරුණ බවත් ඒ මනුස්සයාගේ බෙල්ල මාළුවාත් එක්කම සංරක්ෂණය කර වෛද්‍ය විද්‍යාලයේ ආදර්ශකයක් හැටියට තබා ඇති බවත් මා අසා තිබුණත් දැක ගන්නට නම් ලැබී නැත.    මාළු ටික සුද්ද කර අඩුවැඩිය දමා කර කර ගා හැපෙන්නට චෙෆාකි හදපු බයිට් එකනම් රසම රසය.    කහ තැම්බූ කතාවත් කියන්නට ඇතත් දැනටමත් පෝස්ටුව දිග වැඩිවී ඇති නිසා ඉතිරි හරිය නැවතත් ලියන්නට තබාගෙන කතාව  මෙතෙකින් නවත්වමි.     හැලපකඩේට ගොඩවදින මගේ හිතවත් බ්ලොග් රචකයින් හා කමෙන්ට් කරන හිතවතුන්ටද පාඨක සියළුම දෙනාටද ලබන්නාවූ 2018 වසර සතුටින් බර වලියෙන් තොර වාසනාවන්ත අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබ සියලු දෙනාටම ඉතා හිතවත් හැලපයා වන මමද හැලපී සහ හැලපැට්ටාත්ය෴ 



Sunday, December 3, 2017

අන්නාසි විශේෂඥයෝ සහ සුද්දාගේ අන්නාසි සොමිය.



අද කියන්නට තියෙන්නේ කළින් පෝස්ට් එකේ ලියන්න බැරි උන සුද්දාගේ අන්නාසි සොමිය ගැනය.    සුද්දා මේ බ්ලොගය කියවන කවුරුත් පාහේ දන්නා චරිතයක් බව නිසැකය.   මන්ද යත් මා මීට කලින්ද සුද්දාගේ වැඩ ගැන ලියා තිබෙන නිසාය.    ඉතිං අපේ හිතවත් සුද්දා ගෙවල් ළඟ වත්තක් බද්දට අරගෙන වගාවක් දැම්මේය.    ඔය කාලයේ මා සිටියේ විප්‍රවාස ගතව බැවින් වත්ත වැවීමේ කතා මගේ ළඟ නැත.   නමුත් සැරින් සැරේ නිවාඩුවට ලංකාවට ආගිය වතාවලදී සුද්දා මුණගැහෙන්නට ගිය විට නිතරම වගේ සුද්දා සිටියේ වත්තේ වැඩ පොළ කරමිනි.     මුලින්ම සුද්දා වත්තේ වගා කළේ මඤ්ඤොක්කා ය.    වතාවක් වත්තේ අල ගලවා දන්සැලක් දෙන්නට ඇසළ පෝයට අනුරාධපුරේ යද්දී සුද්දා මාවත් ඇදගෙන ගියේය.    ඒ ගැන පෝස්ටුවක්ද ලීවා මට මතකය.    ඊට පසුව සුද්දා වත්තේ අන්නාසි වගාවක් දමා මුර කීපයක් අන්නාසි පළදාවද කපාගෙන තිබුණේ මම එන්නට පෙරය.    මා රටේ නොහිටියත් ගෙදර දාන මාන කටයුතුවලදී අවශ්‍යවන අන්නාසි සුද්දා නොවරදවාම ගෙදරට සපයයි. 

පහුගිය මාස කීපයේ මට සුද්දාව බලන්න යන්නට බැරි උනේ හැලපි ගේ අසනීපය හේතුවෙන් කාර්ය බහුල වී සිටිය නිසාය.     ඒ උනාට සුද්දා නම් හැලපිගේ අසනීප තත්වය බලන්නට කීප සැරයක්ම ගෙදර ඇවිත් ගියේය.    පහුගිය සතියේ සුද්දා මට හදිසියේම කතාකළේ වත්තේ අන්නාසි කපන බව කියා ආවොත් සතුටුයි කියා කියන්නටය.     හැලපිත් දැන් ඇඳෙන් නැගිට ඇවිදගන්න ගානට සුවවී ඇති නිසා මටත් එපමණ කරදරයක් නැති බැවින් දවසක හැන්දෑවේ මම අන්නාසි කපන්න ගියෙමි.   

එකෙක්  අන්නාසි ගස් දෙපේලියක් අතර ඇවිද යමින් දිග කැත්තෙන් පැහිච්ච සහ ඉදිච්ච ගෙඩි නැට්ට මුලින් කපමින් යන විට පසුපසින් යන අපි කපන කපන ගෙඩි ටික එකතුකර ගෙනැත් ගොඩගසමු.   මට පොඩි ප්‍රශ්නයක් වුයේ මම ඇඳගෙන ගිහිං හිටියේ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් වීමය.     අන්නාසි ගස් දෙපේලියක් අතරේ ඇවිද යමින් ගෙඩි ටික එකතු කරන මගේ කකුල්වලත් අත්වලත් ඇනෙන අන්නාසි කටු නිමක් නැතිය.     කරගත්ත මෝඩකම කියා හිත හදාගෙන අන්නාසි ටික එකතුකළෙමි.   එළියට ගෙනෙන අන්නාසි ඊළඟට ගොඩගසා ගෙදරට ගෙන ආ යුතුය.     සුද්දා ඉන්නේ හොඳ පදමේය.   ඌ කලින්ම දෙකක් දාගෙන ඇවිත් නන්දොඩවයි.     දෙකක් දාගත් විට සුද්දා දෙන ආතල් එක කියල වැඩක් නැත.    මේ කියපු දේ මේ මතක නැත.    ඒ නම් සුද්දාගේ අසනීපය නිසාය.    සුද්දාට ඔලුවේ අසනීපයක් ඇති නිසා බේත් කරනා බව මා කළින් කියා ඇති බව මතකය.     අසනීපයේ බරපතල කම නිසා බොන්නට හොඳ නැතත් ඒවා ගණනකට නොගන්නා සුද්දා නිතරම බීමත්වෙයි.     අන්නාසි ගෙනැත් ගොඩගසා වෙහෙසට පත්වෙන අපට බොන්නට සුද්දා කහටත් හකුරුත් ගෙනැවිත් දෙයි.    ඌ තේ කහට නොබී කටපුරා බුලත් විටක් හපයි. අනතුරුව එතැනම වාඩිවෙන සුද්දා කතාව පටන් ගනී.   ඉස්සෙල්ලාම බනින්නේ වත්ත අයිතිකාරයාටය.

'මළ පෙරේතයෙක්, වත්තෙ කොස් ගස් දෙකක් කැපුවා.  ගස් දෙක මට වටින හින්ද මට දෙන්න කියල  මම කිව්වා.  ඕකා ගස්දෙකට ලස්සයක් ඉල්ලුවනේ '! පස්සෙ ඒ ගාණට විකුණගන්න බැරිතැන ගෑණි ඇවිත් ගස් දෙකට කීයක් දෙනවද කියලා මගෙන් අහනව.  කීයකටවත් ඔය ගස් දෙක මට එපා කියල මම ගෑනිට කිව්වා! අන්තිමේ ගස් දෙක කීයටද වික්කෙ? හතළිස්දහට ගස් දෙකම !

බදු වත්තේ ගස්වල වලුපුරා හොඳට පොල් පළගෙන ඇත. හොරුන්ගෙන් කරදරයක් නැත්තේ සුද්දා වෙලාවෙත් අවෙලාවෙත් හොඳට මුවහත් දිග හෙල්ලක්ද අතේ තියාගෙන වත්තේ ඇවිදින බැවිනි.    වතාවක් එහා ගමේ කුඩුකාරයන් දෙන්නෙක් ඇවිත් මහ දවල් අන්නාසිද පොල්ද කඩාගෙන ගොස් ඇත.   ඒ වෙලාවේ සුද්දා හිටියේ ඉස්කෝලේය.    ගෙදර ඇවිත් සිද්දිය දැනගත් සුද්දා හොරු සොයාගෙන ගෙවල්වලට ගොස් ඇත.

'මම ගියා ගෙවල්වලටම උන් හොයාගෙන, එකෙක්වත් ගෙදර නෑ!   ගෙවල්වල උන්ට මම විස්තරේ  කිව්වා අහුවුනොත්  එහෙම නං කිසිම සමාවක් නෑ හිල්වෙන්නම අනිනවා හෙල්ලෙන් කියල!  'අනේ මොනවා කළත් අපට නං කමක් නෑ අපටත් ඔවුන් මළ කරදරයක් වෙලා තියෙන්නෙ කියල උන්ගෙ දෙමව්පියො කිව්වා! ඊට පස්සෙ උන් පැත්ත පළාතෙ ආවෙ නෑ! '

අන්නාසි පෝරද උරාගෙන පළගන්නා පොල් පළදාව අයිතිකාරයා කඩාගෙන යයි.  සුද්දා බදුවත්තේ පොල් තමන්ගේ ප්‍රයෝජනයට නොගනිතත් වෙසක් පෝයට දෙන කිරිබත් දන්සැලටත් බත් දන්සැලටත් අවශ්‍ය පොල් බදුවත්තෙන් කඩාගනී.   ගෙදර පොල් ඉවරයි කියා කිව්වොත් ගහක දෙකක පොල් කඩා අපේ ගෙදරටත් එවයි.

'ඔය යකාගෙ වතුවලින් හොඳටම පොල් කැඩෙන්නෙ මේ වත්තෙ! මොකද මම හොඳට වත්ත පරිස්සං කරන හින්දනෙ.  ඉතිං පිං අතේ වැඩකට පොල් ටිකක් කඩාගත්තට මක්වෙනවද? '

සුද්දා ඊළඟට පටන්ගන්නේ කළින් හිටපු පවුල එළවා දමා තනිපංගලමේ හිටපු කාලයේ බිරිඳ පත්තරේ මොකක්ද තීරුවකට තමන්ගේ දුක පාළුව තනිකම ගැන කියා ලියු ලිපියකට ලද ප්‍රතිචාර ගැන කතාවය.

'අයියෝ ඔයා හිටියෙ නෑනෙ, මට ලියුම් හාරසිය ගාණක් ආවා! ගෑණු තිස් දෙන්නෙක් මාව හොයාගෙන ගෙදර ආවා. හුහ් තිස් දෙකක්! කොහොමද වැඩේ?  ' හුහ් 

' ඒ කාලෙ අනංගය වගේ ඉන්න ඇති නේද?

'අනංගය ද කියන්නෙ , අනේ එහෙමත් කාලයක්, ආයෙ ඉතිං එහෙම කාලයක් එන්නෙ නෑ!

අපිත් එක්ක සතුටින් කතාබහ කළත් සුද්දා මේ දවස්වල ඉන්නේ තරමක කණස්සල්ලෙනි.   මොකද කිව්වොත් මේ කාලයේ වැස්සත් එක්ක අන්නාසි මිල ලෙල්ලටම බැහැලාය.   කළින් මුරේ අන්නාසි වෙළෙන්දන්  කොටුවටම ඇවිත් කිලෝව  රුපියල් 165, 170 ගානේ පළදාව කපාගෙන ගියත් මෙදා සැරේ ඒ ගාණෙන් බාගෙකට වත් අන්නාසි දෙන්නට බැරිය.  අන්නාසි වෙළෙන්දන් දැන් කොටු පැත්ත පළාතේ එන්නේ නැතිය.  සුද්දා නම් කියන්නේ මිළ පහළ ගිහිං ඇත්තේ වැස්සටත් වඩා පිටරට පැටවූ අන්නාසි තොග රිටන් වීම නිසා කියලාය.     ඒ උනාට අන්නාසි ටික කොටුවේ ඉදෙන්න දෙන්න බැරි නිසා කපපු ගෙඩි ටික උරවල දමා ගෙදරට ඇද දැම්මෙමු.

ලංකාවේ වගා කරන අන්නාසි වර්ග දෙකකි.  ඒ මුරිසි අන්නාසි සහ කිව් අන්නාසිය. කිව් අන්නාසි ව්‍යවහාරයේ දී  පොල් අන්නාසි යනුවෙන්ද හඳුන්වයි.  මුරිසි අන්නාසි ගෙඩිය නැට්ට ලඟින් මහතට හැදී උඩ සිහින්ව හැදෙන ගෙඩියක් වන අතර පොල් අන්නාසි ගෙඩිය බෝල ගෙඩියක් සේ රවුමට පලගනී.  මුරිසි ගෙඩිය තරමක් පැසුණු පසු වුවද ඇඹුල් රසක් නොමැතිව කන්නට හැකිවුනත් පොල් අන්නාසිය හොඳින් පැසී ඉදෙනතුරු කිසිම රසක් නැත.  හරියට පොල් කනවා වාගේය.  මගේ අත්දැකීම නම් හොඳින් පැසී ඉදුණු පොල් අන්නාසි ගෙඩිය මුරිසි ගෙඩියට වඩා රසයෙන් වැඩි බවයි.   අන්නාසි පළදාව කපද්දී පේළි දෙකක් අතර කපාගෙන යනවිට ඉතා සෝදිසිමත් විය යුතුය.  ඒ මන්ද යත් දකින අන්නාසි ගෙඩි පමණක් නොව බිමට පෙරැලී අන්නාසි කොළවලින් වැසුණු අන්නාසි ගෙඩිද බොහෝ තිබිය හැකි බැවිනි.  ඒ නිසාවෙන් අන්නාසි කපන්නා නිතරම සිය අත ඇති කැත්තෙන් අන්නාසි කොළ අවුස්සා උස්සා බලමින් ගමන් කල යුතුය.  එසේ නොමැති වුවිට හොඳ අන්නාසි ගෙඩි මගහැරී සතුන්ට ආහාරය වේ. කපපු අන්නාසි එකතු කරද්දී වුවද වීසි කළ යුත්තේ අන්නාසියේ කුරුල්ලා බිම ඇනෙන පරිදිය.  ගෙඩිය බිම වැදුණොත් තැලී අන්නාසි ගෙඩියේ තත්ත්වය බාලවේ.  එවැනි ගෙඩි නිතරම වෙළෙන්දන්ගෙන් ප්‍රතික්ෂේප වෙයි.   

වැසි කාලයට පැසී ඉදෙන අන්නාසිවල වතුර ගතිය වැඩිය.   කපන විට අන්නාසි යුෂ හතර අතින්ම පෙරී යයි.   තෙල් බේත් නොගසා හදන සුද්දාගේ අන්නාසි වත්තේ අන්නාසි ඉදුණු පසු හරිම මිහිරි රසයකින් යුක්තය.   වත්තේ වැවෙන කැලයද සුද්දා තෙල් නොගසා අතින් උදුරයි  නැත්නම් උදළු ගා දමයි.  තෙල් බේත් නොමැති නිසා අන්නාසිවලට සතුන්ගෙන් වන හානියද සාපේක්ෂව ඉහළ තත්වයක පවතී.

ගමේ ඉන්නා අපේ වයසේ සියලු දෙනාම වගේ අන්නාසි විශේෂඥයන් වුනේ ගමේ තිබුණු අක්කර පණහක අන්නාසි වත්තට පින් සිද්ද වෙන්නටය.    ගමේ කොල්ලන් සෙල්ලම් කළ හොර කුරුම්බා බිවු ඒ පොල් වත්ත කඳාන පැත්තේ අන්නාසි මුදලාලි කෙනෙක් බදු අරගෙන වත්ත අනික් පැත්ත පෙරළා මහා පරිමාණයේ අන්නාසි වගාවක් දැමුවිට අපට වත්ත එහෙම පිටින්ම තහනම් කලාපයක් විය.    වත්ත නැතිකළ කේන්තියට තිබු ඇරියස් එක අපි පිරිමසා ගත්තේ අන්නාසි පැහෙන්නට පටන් ගත් කාලයේය.    රංචුව පිටින්ම වත්තට පැන තොග පිටින් අන්නාසි කඩා දිව පැලී ලේ එනතුරු අන්නාසි කෑවෙමු.    හැබැයි අපි කඩපු අන්නාසිවල නැට්ටක් නැත.    හදිස්සියට අන්නාසි කඩන විට නැට්ට කප කපා ඉන්නට වෙලාවක් නිසා නැට්ට ලඟින් ටක් ගා අන්නාසිය කඩාගෙන වත්තෙන් එළියට පැන ගත්තෙමු.     දානමාන වලට ගෙනිච්චේද, යාලුවන්ට සැලකුවේද, වෙසක් එකට අන්නාසි දන්සැල් දුන්නේද හොරෙන් කැඩූ අන්නාසි වලිනි.    සුද්දලා ඒ කාලයේ පොඩි කොල්ලන් නිසා අපේ හොර අන්නාසි ක්‍රීඩාවට එකතු වෙන්නට හැකියාවක් තිබුණේ නැත.   ඉතිං සුද්දාගේ වත්තේ අන්නාසි පළදාව නෙලන්නට අප වැනි විශේෂඥයන්ගේ සහාය ලැබීම සුද්දාගේ වාසනාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

වත්තෙන් කපා ගෙදර මිදුලට ගෙනැත් ගොඩ ගැසූ අන්නාසි දවසෙන් දෙකෙන් කහ පැහැ වී ඉදෙයි.   වැස්සට ඉදෙන එක තවත් ඉක්මන් වේ.   කරන්නට තියෙන්නේ ලැබෙන මුදලකට කාට කාට හෝ අන්නාසි ටික විකුණා ගැනීමයි.    හතරවටේ ම තියෙන කඩවල් වලට කතාකර අන්නාසි දීගත් පසු ගොඩෙන් බාගයක් පමණ ඉවර කරන්නට හැකි විය.     සුද්දගේ යාලුවෙක් ආර්ථිකේ එළවළු කඩයක් කරනවාය ගෙනිච්චොත් කඩේට දෙන්නට ඇහැකිය කියා සුද්දා කියූ නිසා ඉතිරි හරිය සුද්දත් සමග ආර්ථිකේට පිටත් කර රෑ බෝ වුනු නිසා මම  අන්නාසි ගෙඩි දෙක තුනකුත් අරගෙන ගෙදර ආවෙමි.    රෑ 10 ට විතර මම සුද්දට කතා කරනකොටත් සුද්දා ආර්ථිකේ ය.    

ආයෙම මට සුද්දලාගේ ගෙවල් පැත්තේ යන්නට ලැබුණේ ඊටත් දවසකට පස්සේය.    මම යනකොට සුද්දාගේ මිදුලේ අන්නාසි ගොඩගහලාය.   කළින් දවසේ කැපු අන්නාසිත් එදා කැපු අන්නාසිත් එහෙම්මමය.    කළින් දවසේ කැපු අන්නාසි හොඳටම කහවෙලා  ඉදිලාය.    සුපුරුදු පරිදි සුද්දා එදාත් හිටියේ හොඳටම බීමත් වෙලාය.   අන්නාසිවලට කරන්නේ මොකද කියා කතා කරමින් ඉන්න අතරේ ගමේ ගෑණු ගෙදර කන්නට අන්නාසි ගෙඩියක් දෙකක් අරගෙන යන්නටත් එති.    සුද්දා බීලා ඉන්නකොට කාන්තාවන් ආවොත් එහෙම උන්ට ගජ වාසිය.    සල්ලි දීලා ගෙඩියක් දෙකක් අරං යන්නට ආපු උන්ට සුද්දා මලු පුරවා අන්නාසි දෙයි.    සල්ලි ගන්නේද නැත.   අපි කට්ටිය ඉදී වැඩිවුණු අන්නාසි ගෙඩි කීපයක් කපාගෙන රස බලමින් සුද්දා දෙන ආතල් එක බලා සිටින්නෙමු.

'ඔහොම දන්සැල් දෙන්න ගියොත් ඉතිං අන්නාසි ටික නිකං දීල පුකේ අත පිහාගන්න තමා වෙන්නෙ!' එකෙක් කියයි.

'ගමේ උන්ට අන්නාසි ගෙඩියක් දෙකක් දීල සල්ලි ගන්නෙ කොහොමද? අනික උන් වැඩිහරියක් මේ වත්ත අහල පහළ ඉන්න උන්, වත්තට අන්නාසි කඩන්න කවුරුහරි පැන්නොත් උන් තමා ඇවිත් කියන්නෙවත්!'  සුද්දා කියයි.

'කොහොමද එදා ආර්ථිකේ ට අන්නාසි ටික දීගන්න පුළුවන් උනාද? ' මම ඇසුවෙමි.

'අන්නාසි ටික නං විකුණගත්තා, ඒ උනාට මම ආයෙ ආර්ථිකේ ට යන්නෙ නෑ! 'යි සුද්දා කීවේ හිතේ අමාරුවෙනි.

අන්නාසිත් රැගෙන ආර්ථිකේ ට ගිය සුද්දාට මිතුරා කියා ඇත්තේ අන්නාසි තොගය විකුණා ඉවර වෙනතුරු එතැනටම වී ඉන්නට යි කියාය.     අන්නාසි විකුණා අහවර වූ පසු මිතුරා බිම් කුලිය වශයෙන් මුදලක් අය කරගෙන ඉතිරි මුදල් සුද්දාට දී ඇත.

'මම එතන ඉඳගෙන ඉන්නකොට ඉස්කෝලෙ ළමයි එනවා, අඳුනන දෙමව්පියො එනවා, සර් මොකද මෙතන කරන්නෙ කියල ඔක්කොම අහනකොට විළි ලැජ්ජාවෙ බෑ.  මොකෝ මම මෙතන ඉඳන් අන්නාසි විකුණනව කියන්ඩ යැ?  ආයෙම ආර්ථිකේ ට යන්නෙ නෑ කිව්වෙ ඒකයි! ' සුද්දා කියන්නේ කණගාටුවෙනි.

කළින් අන්නාසි දැමු කඩවලින් විකුනුණු හැටි සොයා බලා ආයෙම අන්නාසි ගිහිං දැම්මත් තවත් අන්නාසි කිලෝ හාර පන්සීයක් ඉතුරුය.    ඉතුරු අන්නාසි ටික විකුණන හැටියක් ගැන කතා කළත් හරි විසඳුමක් නැත.    බීමත්ව සිටින සුද්දා කියවන්නේ බහුබුතය.   ඔය අව් අස්සේ සිල්ලරට අන්නාසි ගෙඩි දෙක තුන ගෙනියන අයත් ඇවිත් අන්නාසි අරගෙන යති.   සයිකලයකින් පොඩි ළමයෙක් එක්ක කාන්තාවක් ආවේ මේ අතරතුරේදීය.    අන්නාසි ගොඩ දෙස බැලු ඇය නැවතත් අපි එක එකා දෙස බැලුවේ කාත් එක්ක කතා කරන්නද යන බැල්ම දෑසේ ඇතිවය.    දැන් සුද්දා කතා කරන්න ගියොත් කියවන්නේ පිස්සු කතා නිසා මම ඉදිරියට ගොස් කාන්තාවට කතා කළෙමි.

' අපට අන්නාසි ටිකක් ගන්න බලන්නයි ආවෙ,මෙච්චර ද  තියෙන්නෙ? ' ඇය අසයි.

'නෑ තව තියෙනවා, නෝනට අන්නාසි කොච්චර ගන්නද? '

'අපට අන්නාසි කිලෝ පන්සීයක් විතර ඕනෑ, ඇත්තම කිව්වොත් අපිට බිස්නස් එකක් කරන්න, මෙහෙන් අරං පිට පළාත්වල ගිහිං විකුණන්න! ගාණකට ආවොත් ඔක්කොම ගන්නං! '

කොච්චර පැත්තකට කර තිබ්බත් සුද්දාට එහෙම පැත්තකට වී ඉන්නට බැරිය.  ඌ කතාව මැදට පනී.

'මේවා බේත් ගහල හදපු අන්නාසි නෙමෙයි, මේ කාල බලන්නකො රස.   යනකොට මේ ගෙඩි දෙකත් අරං යන්න! '   සුද්දා අන්නාසි කපා දෙන්නාට කන්න දෙයි.

'පොඩ්ඩක් ඉන්න මම මහත්තයටත් බලන්න එන්න කියන්නං! ' ඇය කෝල් එකක් ගෙන මහත්තයාට එන්නට කියයි.

'ඔයා එන්න පාර හොයාගන්න අමාරු නං මම මගට එන්නං! ' කියූ ඇය සයිකලයේ නැගී පිටත්වී යයි.

'පිංසිද්ද වෙයි වැඩේට කටදාන්න එන්න එපා, පැත්තකට වෙලා පාඩුවෙ ඉන්න.  අපි බිස්නස් එක කරලා ඔයාට සල්ලි දෙන්නං! යි  කියා අපි සුද්දාට කීවේ ඌ කතා කරන්න ගියොත් බිස්නස් එක අල කරගන්න බව හොඳින්ම  දන්නා නිසාය.   සුද්දා ගොවිතැන හොඳින් දන්නා නමුත් විකිණීම කොහෙත්ම නොදනී.    ටිකකින් අන්නාසි ගන්නට ආ ජෝඩුව ආපසු පැමිණියෝය.    අප විසින් ගණුදෙනුව කතා කර ඔවුන්ට වාසිදායක වන පරිදි ඉවර කරන ලදී.     කට පියාගෙන ඉන්නට බැරි සුද්දා කීප සැරයක්ම ගණුදෙනුව මැදට පැන්න අතර බොහොම අමාරුවෙන් සුද්දා අයින් කර බිස්නස් එක ඉවර කරගන්නට හැකිවිය.     ජෝඩුව අන්නාසි පටවන්නට බට්ටෙක් අරං එන්නම් ය කියා පිටත් වෙන්නට හදද්දී කතාකර ඇඩ්වාන්ස් එකක්ද ඉල්ලා ගතිමු.  පැයක් විතර යද්දී බට්ටෙකුගේ නැගගෙන ආ ජෝඩුව අරගෙන ආව ඉලෙක්ට්‍රික් තරාදියෙන් අපි අන්නාසි කිරමින් බට්ටාට පැටෙව්වෙමු.    සුද්දාගේ කියවිල්ල ඉවරයක් නැත.  ඌ කියන්නේම අන්නාසි ගණුදෙනුව ඒ දෙන්නාට විශාල ලාභයක් බවත් අන්නාසි ටික විකුණා ගන්නට බැරිවුණොත් සල්ලි ආපහු දෙන බවත්ය.     සුද්දාට ඔව්වා කියා පළක් නැත.    ඕනෑ මඟුලක් කියා සල්ලි බේරාගෙන ජෝඩුව පිටත් කළෙමු.    සල්ලි ටික සුද්දාට දුන්නොත් වෙච්ච දෙයක් පහුවදාට ඌට මතක නැති නිසා සල්ලි ටික සුද්දාගේ පවුලට දී අපි අපහු එන්නට හදන විට සුද්දා කිව්වේ කවුරුවත් යන්න හදිස්සි වෙන්නට උවමනා නැති බවත් වැඩේ සාර්ථකත්වය සමරන්නට අවශ්‍ය බැවින් ටිකක් රැඳී ඉන්නට කියාය෴ 

ප. ලි .සතියක් විතර සුද්දාගේ වත්තේ ගතකළත් සුද්දාගේ අන්නාසි ගොඩේ පිංතුරයක් ගන්නට බැරි වුන නිසාවෙන් අද ඇත්තේ ගුගලෙන් ගත්ත අන්නාසි පිංතුරයකි.   අන්නාසි සොමිය තාම ඉවර නැත්තේ සුද්දාගේ වත්තේ අන්නාසි තවම කපා ඉවරයක් නොමැති නිසාය.

Thursday, November 23, 2017

ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය.

අද මුලින්ම කියන්නට තිබෙන්නේ ඇරියස් වෙච්ච කතාවකි.   ඒ මොකක්ද කිව්වොත් පහුගිය එකොළොස් වෙනිදා හැලපකඩේ බ්ලොගයට වසර පහක් පිරීමය.   ඒ වෙනුවෙන් යමක් ලියන්නට සිතා සිටියත් දිනය ගැන හාංකවිසියක වත් මතකයක් නොවීය.   ඒ පහුගිය කාලය පුරා මුහුණ දීමට සිදුවූ කරදර කනස්සලු ආදිය හේතුවෙන් බ්ලොගය ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නට හැකියාවක් නොතිබුණු නිසාය.   ඒ නිසා ඇරියස් වුනු කතාව මෙසේ දිග හරිමි. 

 බ්ලොග් යන වචනයද බ්ලොග්වල කියවන්නට කතා ආදිය තිබෙන බවද ඉස් ඉස්සෙල්ලාම මා දැනගත්තේ ලක්බිම පත්‍රයෙනි.    2012 වර්ෂයේ ඕමානයේදී මා කියැවූ ඉරිදා ලක්බිම පත්‍රයක හිස් අහස බ්ලොග් අඩවියෙන් උපුටා ගත් කතාවක් පළකර තිබු අතර කතාව රස වැටුණු මම එදා සිට බ්ලොග් යනු කුමක්දැයි සොයන්නට පටන් ගත්තෙමි.    කෙසේ වෙතත් මගේ උත්සාහය සාර්ථක වුයේ නැත.    එයින්ද ටික දවසකට පසු කුමක් හෝ වෙබ් පිටුවක තිබී W3LANKA හෙවත් පැරාගේ බ්ලොගයට පිවිසෙන්නට හැකිවිය.    ඒ බ්ලොගයේ රෝලෙන් වෙනත් වෙනත් බ්ලොග් අඩවි කියවන්නට හැකියාව ලැබුණු අතර ඉන්පසු ටික දවසකින්ම මම මගේ සිත්ගත් බ්ලොග් අඩවි සියල්ලේම තිබු කතා සහ කමෙන්ට් සම්පූර්ණයෙන්ම කියවා හමාර කළෙමි. 

ඉන්පසු මගෙ අවශ්‍යතාව වුයේ මේ බ්ලොග්වල පළවන කතාවලට කමෙන්ට් කිරීමය.   නමුත් බ්ලොගයක් නොමැතිව කමෙන්ට් කරන්නට නොහැකිවූ අතර බ්ලොගයක් සාදා ගන්නේ කෙසේද යන්න ගැන මට කිසිම දැනීමක් හෝ හෝදිසියක් නොවීය.    මගේ ඥාති පුත්‍රයෙක් වූ ශානුක ඕමානයට පැමිණෙන්නේ මේ අතරවාරයේය.    ශානුක මුළු රැය පුරාම අවදියෙන් සිටිමින් මුහුණු පොතේද බ්ලොග්වලද කරක් ගසා එළිය වැටෙද්දී නින්දට යයි.    දවල් ඉර හැරුණු පසු අවදිවී කෑම කා නැවතත් ලැප් එකට හිස ඔබාගනී.    දවසක්දා මම බ්ලොගයක් නිර්මාණය කරගැනීමට මට ඇති අවශ්‍යතාව ගැන ශානුකට කීවෙමි.     ශානුක එදාම මා වෙනුවෙන් බ්ලොගයක් නිර්මාණය කල අතර අප දෙදෙනාම එකතුවී අවශ්‍ය වෙනස්කම් කරමින් බ්ලොගය හැඩ වැඩ කර අවසන් කළෙමු.    එදා සිට බ්ලොග්වල කමෙන්ට් කරන්නට මට හැකිවුනත් යමක් ලියන්නට සිත් නොදුන්නේ මා ලියනදේට අනෙක් අය කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි මගේ සිත තුළ තිබු සැකය නිසාය. කෙසේ වුවද සැකය අතරින්ම මමත් දෙසැම්බර් මාසයේ කෙටි පෝස්ටුවක් පල කළෙමි.    එයට ලැබුණු ප්‍රතිචාර මා දිරිගන්වන සුළු විය.    කෙමෙන් කෙමෙන් ලිවීමේ වේගය දියුණු කරගෙන පෝස්ට් පළකලෙමි.   එම වේගය කෙතෙක්ද යත් මාස කීපයක් ගතවන විට දවසකට එක බැගින් පෝස්ට් දමන්නට පටන් ගත්තෙමි.    එම වේගය අඩු කළේ අටමාය ඔහු මට කීවේ පෝස්ට් එකක් පළකර එයට ප්‍රතිචාර ලැබෙන්නට කල් වේලා ලබාදී අනෙක් පෝස්ටුව පළකරන ලෙසයි.    එමතුද නොවැ අටමා හැලපකඩේ බ්ලොගයේ කතාවක් අටම්පහුරේ පළකර හැලපකඩේ බ්ලොගයට අවශ්‍ය කරන ප්‍රචාරය නොඅඩුව ලබාදුන්නේය.   මාතලන් ඔහුගේ සින්ඩියට හැලපකඩේ ඇතුල් කරගත් අතර ඊට පසුව වෙනත් සින්ඩි වලද හැලපකඩේ බ්ලොගයට ඉඩ ලැබුණු බැවින් එතෙක් කල් ඉතා අඩුවෙන් තිබු ප්‍රතිචාර ඉක්මනින් ඉහළ යන්නට විය.

බ්ලොගය ආරම්භයේදී පෝස්ට් කොපමණ ලිවිය යුතුද අවුරුදු කීයක් බ්ලොගය ලිවිය යුතුද ගැන කිසිම අදහසක් මාහට නොමැතිවූ අතර මගේ සිතේ තෘප්තියට දිගින් දිගටම බ්ලොගය ලියාගෙන ගියෙමි.   ඉතින් එසේ ආරම්භවූ බ්ලොගයට අද වන විට අවුරුදු පහක් පිරී ඇති අතර බ්ලොග් පෝස්ට් දෙසිය පනහ ඉක්මවා ලියැවී ඇත.    බ්ලොගයට ආගිය අය හෙවත් බ්ලොග් ට්‍රැෆික් හාරලක්ෂ පනස් දහසකට ආසන්න වී ඇත.    මෙය මා බලාපොරොත්තු නොවූ සාර්ථකත්වයක් බව අවංකවම කියන්නට කැමැත්තෙමි.    බ්ලොගය නිසා ඇතිවූ බ්ලොග් මිතුරුකම් හා පුද්ගලික මිතුරුකම්ද බොහෝය.    ඉතින් බ්ලොගයට වසර පහක් සපිරෙන මේ මොහොතේ හැලපකඩේ බ්ලොගයට අතදුන් බ්ලොග් හිතමිතුරු සියලු දෙනාටම මගේ අවංක ආදරය හිතවත්කම පුදකිරීමට කැමැත්තෙමි.    ඒ වගේම කියන්නට තවත් දෙයක් ඇත.පහුගිය මාස කීපයක් ඇතුළත මට බ්ලොගය පැත්ත පළාතේ එන්නට නොහැකි උනේ හැලපි ගේ අසනීප තත්වය නිසාය.   ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නට තරම් කරුණු ඇත.    ඇත්ත වශයෙන්ම කිවහොත් හැලපි මරුකටට ගොස් ආපහු ආවාය කිව්වොත් නිවැරදිය.    ඉතින් හැලපිව බලාගන්නටද කෑම බීම බේත් ටික වෙලාවට දෙන්නටද තිබුණු නිසාවෙන් බ්ලොගය ලියන්නට හිතේ නිස්කලංකයක් නොවීය.   එමෙන්ම මා සහභාගී විය යුතු අවස්ථාවන් කීපයක්ම මගහැරී ගියේය.   ඒ සම්බන්ධයෙන් මාහට ඇත්තේ බලවත් සිත් තැවුලකි.  

ඉතින් කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇත.       සුද්දාගේ අන්නාසි සොමිය නැවත පෝස්ටුවකින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි෴

Friday, November 17, 2017

වෙරළු මල්.


                          මුළු රැය නිදාගෙන අළුයම          පිබිදීලා
                          එළියට ආමි සුපුරුදු සුවඳක්         දැනිලා
                          වටපිට බලනවිට හොඳහැටි ඇහැ ඇරලා
                          ගේ අද්දර වෙරළු පැළයේ මල්     පිපිලා

Saturday, August 19, 2017

නාරායන් සොයා යාම.


ආර්. කේ .නාරායන්ගේ පොත්වලින් මම මුලින්ම කියවපු පොත "The Guide" කියා මගේ මතකයේ ඇත.   "වීදුරු බිත්ති" නමින් එහි පරිවර්තනය කර තිබුණේ ආරියදාස සෝමතිලකය.   මටම කියා පොත් මිළදී ගන්නට වත්කමක් නොතිබුණු ඒ කාලයේ වීදුරු බිත්ති පොත මම කියැවුයේ බෙනට්ගේ පොත් එකතුවෙන්ය.    පසුකාලයක ඒ පොත මිළදී ගන්නට හෙව්වත් පොත් කඩවල වීදුරු බිත්ති පොත සොයාගන්නට නොවීය.   ඒ නිසා දැනටත් මා ළඟ තියෙන්නේ වෙනත් කෙනෙක් විසින් පරිවර්තනය කරන ලද මඟ පෙන්වන්නා නම් පොතකි.    ඒ පොත වීදුරු බිත්ති තරම් හොඳට පරිවර්තනය වී නැතැ යි මගේ විශ්වාසයයි.     කොහොම උනත් මට ආර්.කේ.නාරයන්ගේ කතා රස වැටුණේ වීදුරු බිත්ති පොතෙනි.   ඔහුගේ කතා රටාවේ තිබු උපහාසයද උත්ප්‍රාසයද මගේ සිත තදින් බැඳගත් නිසා ඉන්පසු මගේ උනන්දුව තිබුණේ නාරායන් විසින් ලියන ලද තවත් කතා කියවන්නට වුනත් එය එතරම් පහසු නොවුයේ නාරායන්ගේ කතාවල පරිවර්තන පොත් කඩවල එතරම් නොතිබුණු හෙයිනි.     නාරායන් විසින් මවන ලද මනඃකල්පිත මල්ගුඩි නම්වූ නගරයක් වටා ගෙතුණු කතා මාලාවක් වූ Malgudi Days නම්වූ පොත ඇසුරෙන් කරන ලද ටෙලි කතා මාලාවක් සිංහල උප සිරැසි යොදා රූපවාහිනියෙන් ප්‍රචාරය වන්නට වුයේ ඔය වකවානුවේය.  

ඒ කතාවලට සිංහල උපසිරැසි යෙදු ටයිටස් තොටවත්තයන් මල්ගුඩි දවසැ යනුවෙන් කතා මාලාවට නම යෙදීය.    අලුත් අලුත් නම් යෙදීමේ ශුරයෙකු හෙවත් වදන්පතියෙකු වූ තොටවත්තයන් යෙදු ඒ නම කතාවලට ගැලපෙන නිවැරදිම නම වුයේ මල්ගුඩි දවස යනුවෙන් හෝ මල්ගුඩි දවස් යනුවෙන් යෙදීම කතාවට නාරායන් යොදා ඇති මාතෘකාවට නොගැළපෙන බැවිනි.   ඒ අනුව ඔහු යෙදු ඇ කාරය කතාවට ඉතාම උචිත විය.   ඇ කාරය මෙලෙසින්ම ඉතා ප්‍රතිපලදායක ලෙස යොදාගෙන ඇති තවත් අවස්ථාවක් මගේ මතකයට නැගේ.   ඒ නම් රැයිපියෙල් තෙන්නකෝන් කවියා විසින් ලියන ලදුව පසුව සුනිල් සාන්තයන් ගායනා කළ කුකුළු හැවිල්ල නම් කවි පෙළයි.   එහි එන එක් පදයක් වූ "පොළොවැ උලා නළල් ඇටේ" යන පදය ඇ කාරය නොමැතිව "පොළොව උලා නළල්ඇටේ" ලෙස  ගැයුවහොත් අදහස් වන්නේ පොළොව අතට ගෙන නළලේ උලන බවකි.    නමුත් ඇ කාරය හේතුවෙන් නළල පොළොවේ උලන බව නිවැරදිව කියැවේ.

තොටවත්තයන් ගැන කියැවුණු මේ වෙලේ ඔහු ගැන සමන් ලියා තිබු කතා කීපයක්ද මට මතක් වේ.
 ඒ මෙහෙමය.

"නිර්මාණ කාර්යයේ යෙදෙද්දී ද, දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගසා ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතය.   ටයි මහත්තයාද එසේය.  ටෙලි නාට්‍යයක් රූගත කරනවිට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.

"පුතා...උඹ කෑවද?" ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.

"ඔව් ටයි අංකල් ...කෑවා..." කැමරා ශිල්පියා උත්තර බැන්දේය.

"ආ...උඹ කාපං...උඹ කෑවොත් ඇති.අනිත් උන් බඩගින්නෙ මළත් උඹ කාපං..." ටයි මහත්තයා බැණ අඬගෑවේය.

පසු දිනද ටයි මහත්තයා රවුම ගසා ආවේය.

"පුතා...උඹ කෑවද?" ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය.   ඊයේ "කෑවා" කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.

"නෑ...ටයි අංකල්...කෑවෙ නෑ..."කැමරා ශිල්පියා කීය.

"ආ...උඹ කන්න එපා...උඹ බලාගෙන හිටපන් කවුරුහරි කෑම එක අනල ගෙනල්ල උඹේ කටේ ඔබන කල්..." ටයි මහත්තයා බැණ අඬගෑවේය."

පසුකාලීනව අතිශය ජනප්‍රිය වූ පිස්සු හුටං යන වචනයද තොටවත්තයන්ගේ නිෂ්පාදනයක් බව කියැවේ.

"සිංහල සිනමාවටද දායකවූ ප්‍රංශුවෙක් මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කළේය.   අප ඔහු දැන හඳුනා ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි.   පසු කලෙක ඔහු ලෙස්ටර් ජේම්ස් පීරීස්ගේ 'පුරන් අප්පු' චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියෙකුගේ භූමිකාව නිරුපණය කරමින් සිංහල සිනමාවටද පිවිසියේය.

අපේ ටයි මහත්තයා ඔහුගේ 'හඳයා' චිත්‍රපටය සඳහාද මේ ප්‍රංශුවා සම්බන්ධකර ගත්තේය.   ඔහුගේ නම 'යාන් පියරේ ඔතෑන්'ය.   නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු 'ඔතෑන්'  වුවද එය ලියැවෙන අයුරින් අපට හුරුපුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ 'හුටං' යනුවෙනි.

ටයි මහත්තයා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතුවේ 'හුටං' කියාය.   හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.

"කෝ මේ පුංචි හුටං...? එතකොට කෝ ලොකු හුටං?... කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටං ලා...?" බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය.   සිංහල භාෂාවට 'පිස්සු හුටං' යන වදන එක්වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි..!"

(එය මෙසේ සිදුවිය, සමන් අතාවුදහෙට්ටි, 2008)

නාරායන් ගැන කතාවට නැවත ආවොත් ඔහු විසින් ලියන ලද ස්වයං ලිඛිත චරිතාපදානය වූ My Days සමන් වික්‍රමාරච්චි විසින් මගේ කළ දවස යනුවෙන් පරිවර්තනය කරනු ලදුව මට කියවන්නට ලැබිණි.  බෙහෙවින් සිත් අදනා සුළු ශෛලියකින් රචිත "මගේ කළ දවස" ද මා  සිත වසඟ කළ පොතක් වූ බව නොකිව මනාය.    කාලය වේගයෙන් ගෙවී ගොස්  පසුකලෙක මට චෙන්නායි නගරයේ පදිංචියට යන්නට සිදුවිය.     චෙන්නායි වල නාරායන්ගේ පොත් හිඟයක් නොවීය.     ඔහු විසින් ලියන ලද සියලුම පොත් පබ්ලිකේෂන්ස් විසින් ප්‍රකාශයට පත්කරන ලදුව චෙන්නායිහි පොත් කඩවල විකුනන්නට තිබු නිසා මම හිගින්බොතම් පොත් සාප්පුවෙන් ඒවා මිලදීගෙන කියැවුයෙමි.     පොත්වල ප්‍රමිතිය එතරම් හොඳ තත්ත්වයක නොතිබුණද කියවන්නට අපහසුවක් නොවීය.    නාරායන්ගේ පොත්වලට වහවැටී දිගින් දිගටම කියවමින් සිටි මට ඔහුගේ පොත්වල කියැවෙන දකුණු ඉන්දීය පරිසරය පොත්වලින් පමණක් නොව හැබැහින්මද දැකගන්නට ලැබුණේ ඒ වනවිට මාද දකුණු ඉන්දියානු පරිසරයට අනුගතවී සිටි ජීවියෙක් නිසාවෙනි.    කතාවලින් කියැවූ නාරායන් සැබෑ ජීවිතයේ ජීවත්වූ ආකාරය සහ ඔහු ජීවත්වූ පරිසරය ගැන වැඩිදුරටත් සොයන්නට මට කල්පනා වුනේ මේ අතරවාරයේය.  කල්පනා වුවාට ක්‍රියාත්මක වන්නට ප්‍රමාද වුණේ වෙනත් කිසි හේතුවක් නිසා නොව කම්මැලිකම ඉදිරියට ආ නිසාය. 

කාලය 2001 වසරේ මුල් භාගයයි.   මෙතෙක් දවස් කල් දමමින් සිටි නාරායන් සොයා යාම ක්‍රියාත්මක කරන්නට මට හිතුණේ නිකම්ම වාගේය.   වැඩේ එච්චරට අමාරු නොවන බව මා සිතුයේ නාරායන් කුඩා කල පදිංචිව සිටි පුරුසවල්කම් ටවුම අප පදිංචිව සිටි එග්මෝර් වලට බොහොම ලඟින් පිහිටා තිබු නිසාය.   නාරායන්ගේ ජීවිත කතාවට අනුව ඔහු පදිංචිව සිට ඇත්තේ අංක.1, වෙල්ලාල වීදිය, පුරුසවල්කම්, යන ලිපිනයේය.   අපි සති අන්තයේ බඩු ගන්නට යන්නෙත් පුරුසවල්කම් ටවුමටය.    සති අන්තයේ එළවළු මාළුපිණි ගන්නට කඩපොළට යන ගමනට හැලපි අනිවාර්යයෙන්ම මාවත් එකතු කරගන්නේ ගන්න බඩු මුට්ටු වලට කඩපොළේ ගෑණු චර බර ගා දෙමළෙන් කියන ගණන් හිලව් ඇයට නොතේරෙන නිසාය.     

ඔන්න ඔහොම එක සති අන්තයක අපි දෙන්නා බඩු ගන්නට යන්න සුදානම් වූ විට නාරායන් සොයා යාමේ මගේ අභිලාෂය ගැන ද මම ඇයට කීවෙමි.   ප්‍රශ්ණයකට තියෙන්නේ අපට වැඩේ පටන්ගන්නට තැනක් නැතිකමය.   නාරායන් කියා ඇති ලිපිනය සොයා යාම විහිළුවක් වන්නේ ඔවුන් ඒ ලිපිනයේ පදිංචිවී සිට ඇත්තේ එක්දාස් නවසිය තිස් ගණන් වල වීමය.     නමුත් කරන්නට දෙයක් නැතිකම නිසාම එතැනින් පටන් ගන්නට තීරණය කර වෙල්ලාල වීදියේ අංක එක සොයා ගියෙමු.    ඛේදයකි! දැන් එතැන තිබෙන්නේ ලෝක ප්‍රසිද්ධ නිර්මාංශ හෝටල් ජාලයක් වන ආනන්ද භවන් අති විශාල සයිවර් කඩයකි.    දැන් කුමක් කරන්නද?   කෝකටත් කියා අපි දෙදෙනා කඩයට ගොඩ වැදුනෙමු.     හෝටලයෙන් හමන තෝස, වඩේ, ඉඩ්ලි, පූරී ආදී දකුණු ඉන්දියානු ආහාරවල දිව පිනා යන සුවඳින් මුසපත්වූ හැලපි ක්ෂණයකින් නාරායන් අමතක කරදමා සයිවර් කන්නට වාඩිවූවාය෴

Wednesday, August 9, 2017

ඕනෑ සෙද්දක් කියා ලියමි.



බ්ලොග් ලිවීම මළ කරදරයක් බව හිතුණේ ලියන්නට ගෙන වැඩිකල් යා නොදීමය.  ඒත් ඉතිං කරගෙන ආ දේ දිගටම කරගෙන ආවෙමි.   දැන් නම් ඇතිවෙලාය.   පූර්ණකාලීනව කො . කා සංගමයට බැඳීම සඳහා ඉල්ලුම් පත්‍රයක් යවන්නටද හිතේ.  මන්දයත්  මේ මාසෙ මොනා හරි ලියන්නට හිතා හිටියත් ලියවෙන්නේම නැති නිසාය.   යමක්  ලියවුණොත් පලකරන්නෙමිය.   ඔය අතරේ බුකියේ ගල්වීම සිදුවුවහොත් සොරිම තමාය. මේ පෝස්ටුව ලීවේත් කමියාගේ ඉල්ලීම නිසාය. නවතින්නෙමි, පෝස්ටුව බලන සියලු දෙනාටම තෙරුවන් සරණයි෴

Wednesday, July 26, 2017

පේස්බුක් අවකාශය හා බ්ලොග් ලෝකය.(මාතෘකාව උපුටා ගත්තේ රසිකලොජියෙනි)


අද රසිකලොජියේ පළවූ පෝස්ටුවක්  දැක මෙය ලිවීමට සිත්විය.    එම පෝස්ටුවෙන් රසික කතාකර ඇත්තේ පේස්බුක් නිසා බ්ලොග් වලට සිදුවී ඇති බලපෑම ගැනය.   පේස්බුක්හි බ්ලොග් ප්‍රවර්ධනය නිරර්ථක  බව දේශකයාද කමෙන්ටුවක් ලියමින් කියා ඇත.    පේස්බුක් පාඨකයන්ගේ බ්ලොග් ගැන ඇති දැනුම ගැන අපූරු සාකච්ඡාවක් මීට මාස දෙක තුනකට පෙර පළවී තිබුණ අතර පසුවට ප්‍රයෝජනයක් වෙතැයි කියා මා එම කොටස ප්‍රවේසම් කොට තබා ගත්තෙමි.     පහත දැක්වෙන්නේ එම ප්‍රශ්නය සහ මුල් පැය එකහමාර තුළ එයට ලැබුණු ප්‍රතිචාරවේ.    මීට පිළිතුරු ලෙස මමද මාතලන්ගෙ සින්ඩිය, අටම්පහිය, අඹ ගහ යට, අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ආදී සින්ඩි කීපයක ලින්ක් එතැන පළකළත් බුකිවාසීන් ඒ ගැන ප්‍රමාණවත් උනන්දුවක් දක්වුවා දැයි නොදනිමි.   කෙසේ වුවද බුකියේ අයගේ බ්ලොග් ගැන දැනුවත් භාවය අදද එදා මෙන්ම දුර්වල බව නම් නොරහසකි.

ක්‍රියාකාරී මට්ටමේ තිබුණු හෝ තියෙන සිංහල බ්ලොග් අඩවි ටිකක් කියාගෙන යමු ද ? 💞

            Comment
Comments
Hiru Thissera සොදුරු සුව අසපුව

Reply1 hr
Manoj Wimalarathna Rora sinhala

Reply1 hr
Hiru Thissera මාරයාගේ හෝරාව ද මොකක්දත් තියෙනවා

Reply1 hr
Ravindu Perera Www.sltricks.xyz

tech news mobile phone details educaion tricks rech sinhal song sinhal vedios google sinhala stories
SLTRICKS.XYZ

Reply1 hr
Ravindu Perera මගේ බ්ලොග් එක.ගිහින් බලපන්

Reply1 hr

ReplyRemove Preview1 hr
'නිලූෂ රන්දික http://nimaknathisakwala.blogspot.com

Free weblog publishing tool from Google, for sharing text, photos and video.
ACCOUNTS.GOOGLE.COM






Reply36 mins
Milinda Senanayaka විචාරක ලියපු කෙනානම් නම් මේ ලගදි නැතිඋනා කියල පෝස්ට් එකක් දැක්කා

Reply
1
34 mins
Srimathi Herath හෙළකුරැ


මෙයත් බුකියේ දරුවෙක් ගැන කණගාටුදායක කතාවකි.    ඇය විශ්ව විද්‍යාලයක ජනමාධ්‍ය ගැන උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරණ දැරියකි.   ඇයට පැවරී ඇති අභ්‍යාසයක් සඳහා උදව්වක් ඇය බුකියේ මිතුරු මිතුරියන්ගෙන් මෙසේ ඉල්ලා සිටින්නීය.

තුන්මන් හන්දිය
එයා දැන් ලොකු යමයෙක්
සරුංගල
බබරු ඇවිත්
සුජාතා
පරසතු මල්
චිත්‍රපට ගැන දන්න කෙනෙක් ඉන්නවන්ම් කියන්න...


මට ශී ලංකාවෙ ජනමාධ්‍ය විශයට සිනමාව ලියන්න ඔනෙ..පොඩි විචාරයක් ලියන්න ඔනෙ...උදා..තුන්මන් හන්දියෙ කවුද රගපාන්නෙ මොකක්ද වෙන්නෙ...අවසාන කොහොමද ...වෙන්නෙ..මෙ වගෙ ටිකක්..යු ටියුබ් බලලා මෙ ටික කරගන්න වෙලවාක් නැ මට..plz help me


මා මෙම සිද්ධීන් දෙක මෙලෙස උපුටා දක්වන්නේ මේ සම්බන්ධයෙන් සිනාසෙන්නද අඬන්නද කියා සිතා ගැනීමට නොහැකි බැවිනි෴