Wednesday, October 14, 2020

සමුපකාරේ රතු හාල සහ මදුරාසියේ රතු හාල, මාටිං මාමාගේ වී මෝල, ඉඳිආප්ප කතා, කොච්චියාගේ රා සප්පායම, මාදුවා හමුවීම සහ සුද්දාගේ වගාව.

 


           


   




පසුගිය කොටස

අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ ගෙදර යන ගමන්ය.  සමුපකාරෙන් දුන්නේ රතු හාල් නම් අපේ ගමන් මග මීට වඩා වෙනස්ය.  ඒ රතු හාල් මෝලට දමා තරමක් පොලිෂ් කර ගෙනෙන්නට වෙන නිසාය.  දෙවේලට තම්බන ලද කුඹුරු හාල් කන අපේ ගෙවල්වල රතු හාල ගන්නේ පිටි කොටා ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය හදන්නටත් රසකැවිලි හදන්නටත්ය.  ඒ සඳහා තදම තද රතු හාල නොගැලපෙන බැවින් මෝලට දමා පාහා ගත යුතුය.  එවිට හාල ලස්සන රෝස පාටක් ගනී.

සමුපකාරෙන් රතු හාල් අරගෙන අපි ඊළඟට යන්නේ මාටිං මාමාගේ වී මෝලටය.  එය ඇත්තේත් සමුපකාරයට නුදුරිනි.  අපි යද්දිත් මාටිං මාමා වී කොටනවා හෝ හාල් පාහිනවා නම් ටිකක් වෙලා බලා ඉන්නට සිදුවේ.  මෝලේ කවුරුවත් නැතත් අපිට තව ටික වෙලාවක් බලා ඉන්නට සිදුවන්නේ එක්කෙනෙකුට පමණක් වී කොටන්නට මාටිං මාමා වී මෝල ස්ටාට් නොකරන බැවිනි.  ඒ කාලයේ වී මෝල් අද වගේ විදුලියෙන් ක්ෂණිකව පණ ගන්වන්නට බැරි අති විශාල ඇන්ජිම් සහිත ඩීසල් වලින් ක්‍රියාකරවන මෝල්ය.  දෙතුන් දෙනෙක් එකතුවූ විට මාටිං මාමා ඇන්ජිමට ලීවරයක් දමා මුළු ශරීරයේම වෙර යොදා අතින් කරකවයි.  දෙතුන් වතාවක් කහින ඇන්ජිම අවසානයේ මහ හඬක් නගමින් දුම් දමා වැඩකරන්නට පටන් ගනී.  ඈත තියෙන ඇන්ජිමේ රෝදයට සවි කර ඇති ගනකම් සහ දිග පටිය හෙවත් බෙල්ට් එක වී මෝලේ රෝදයට සවි කර ඇත.  අද නම් වී කොටන්නේ මැෂින් තුනකිනි.  මුල් මැෂිමෙන් වී ඇටයේ පොත්ත ගැලවී යයි.  පොත්ත ගැලවුණු හාල් තවත් මැෂිමකට දමා පොලිෂ් කරගනී.  ඉන්පසුව තවත් මැෂිමකින් ගල් වැලි හා කළු ඇට ඉවත් කරයි.  මේ ළඟදී මෝලට ගිය මම දැක්කේ ඔය කාර්යයන් තුනම දැන් එකම මැෂිමකින් කරන තරමට මෝල දියුණුවී ඇති බවය.

හැබැයි ඒ මාටිං මාමාගේ මෝල නොවේ.  අපේ ගමට එහා ගමේ ඇති මෝලකි.  මාටිං මාමාගේ මෝල වැසී ගොස් සහ මාටිං මාමා පරලොව ගොස් දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත.  මාටිං මාමා ඔය කාර්යයයන් සියල්ලම කළේ එකම මැෂිමෙනි.  නමුත් ඒ මෝලේ ගල් වැලි ඉවත් කිරීමක් නොවූ නිසා හැමදාම උයද්දී හාල් ගරා ගත යුතු විය.  මාටිං මාමා පළමුව වී ටික මෝලේ බක්කියට දමා පොතු ගැලවී ගිය පසු නැවතත් හාල් ටික ආපසු බක්කියට දමා සුදු කර ගනී. ඔය වැඩ දෙකම ඔහු කළේ මැෂිමට සවි කර ඇති ඇණයක් වැනි උපකරණයක් තද කරමින් හා බුරුල් කරමිනි.  සමහර වෙලාවට කොටද්දී හාල් ටික කුඩුවී යයි.  එවිට මාටිං මාමා කියන්නේ වී ටික වේලිලා වැඩි බවය.

වී කොටද්දී ඉවත යන දහයියා ටික වෙනම කටකින් මෝලට පිටින් ඇති දහයියා ගොඩට වැටේ.  ඒ දහයියා ගොඩ අවුස්සමින් දවල් දවස තිස්සේම අහුලා කන කුකුළු කිකිළියන් රෑනකි.  උන් එහා වත්තේ පිස්කල්ගේ කුකුළු රංචුවය.  උන්ට කන්න දෙන්නට පිස්කල්ට කිසිම වියදමක් දරන්නට වෙන්නේ නැත. ඔය වගේ තව කතාවක් මම කියවපු පොතක තිබුණා මට මතකය.  ඒ රොඩ්නි ජොන්ක්ලාස් ලියූ වාලම්පුරි නම් පොතය.  එහිද මුහුදෙන් ගොඩට ගෙනෙන හක්ගෙඩි කුණුවෙන්නට දමා තියෙන මඩුව යට කුකුළු රංචුවකි.  උන් හක්ගෙඩි කුණුවී වැටෙන පණුවන් අහුලමින් ආහාරයට ගනිති.  කුකුළු රංචුව වාඩියේ කෝකියාගේය.  කුකුළු රංචුවට කෑම දෙන්නට සත පහක් වත් වියදම් නොකරන කෝකියා බිත්තර සහ සතුන් විකිණීමෙන් ලොකු මුදලක් සොයන බව කියැවිණ.

වී කෙටීමෙන් ලැබෙන මුදලට අමතරව පැත්තක එකතුවෙන වී කුඩු විකිණීමෙන්ද මාටිං මාමාට අමතර මුදලක් ලැබේ.  සෙනග වී කුඩු ගෙනියන්නේ පුන්නක්කු සමග කලවම්කර හරකුන්ට කන්නට දෙන්නටය.  මෝලට පාහින්නට දුන්න රතු හාල් ටික සුද්දකර ගත් පසු අපි දෙන්නා ගෙදර එන්නේ අලවත්ත පාර දිගේය.  ඒ වගේ රතුම රතු හාලක් දවසක් මම මදුරාසියේ කඩේක දැක්කෙමි.  ඒ මාටිං මාමාගේ වී මෝලේ හාල් කෙටිල්ලට කාලාන්තරයකට පසුව මම ඉන්දියාවේ හිටපු කාලයේය.  ඒ රතු හාල් කිලෝ කීපයක් මිලට ගත් මම එතන ලඟම තිබුණු මෝලකට දී රෝස පාට වෙන්නට පොලිෂ් කරවාගෙන ගෙදර අරගෙන ගියෙමි.  ඒවා කොටා පිටි කරගත් විට ඉඳිආප්ප හදන්නට අනර්ඝ බව පෙනීගියේය.  එහෙම ඉඳිආප්ප හදන විට පිටි තම්බා ගෙන ඉඳිආප්ප සෑදිය යුතුය.  හාල් පිටි වලින් ඉඳිආප්ප හදන ක්‍රම දෙකක් ඇත.  එකක් නම් පිටි තම්බා ගෙන ඉඳිආප්ප හැදීමය.  අනෙක පිටි බැදගෙන ඉඳිආප්ප හැදීමය.  පාන් පිටිවලින් ඉඳිආප්ප හදනවා නම් බැදිල්ලක් නැත.  තම්බා ගත යුතුමය.

බැදගත් පිටිවලින් හදන ඉඳිආප්ප වල පිටි තම්බාගෙන හදන ඉඳිආප්ප වල තරම් මෘදු සෞම්‍ය බවක් එන්නේ නැත.  පිටි තම්බා සාදාගත් ඉඳිආප්පයේ රැල් බොහොම ලස්සනට රෝස පාටට දැක්ක දුටු ගමන් ඉඳිආප්පය කන්න හිතෙන විදියට පිරුණු බවක් සහිතව තිබේ.  දවසක් අපේ ගෙදර රෑ කෑමකට ආපු කේමදාස මාස්ටර්ටද අන්න ඒ විදියට හදපු ඉඳිආප්ප කන්නට දුන්නෙමි.  බොහොම සතුටින් ඉඳිආප්ප කෑ කේමදාස මාස්ටර් බොහොම කාලෙකින් රස ඉඳිආප්ප ටිකක් කෑවා කියමින් ඉඳිආප්ප වල අගය පාරට්ටු කළේය.  ඔය කතාව මම මීට කලින්ද බ්ලොගේට ලියපු කතාවක ලිව්වෙමි.  දැන් නම් ඒක සොයන්නට කම්මැලිය.  අපේ නයා ප්‍රසන්නට නම් ඒ කතාව මතක ඇති බව මම සිතමි.   දවසක් සුනිල් එදිරිසිංහත් මට කීවේ ඔහුත් රෝස පාට ඉඳිආප්පත් පොල් සම්බෝලත් කන්නට මනාප බවය.  ඒ ඕමාන් වල රෑ කෑමකදී අපි හමුවුණු වෙලේය.  එදා සුනිල් එදිරිසිංහ ඉඳිආප්ප සහ රතු පොල් සම්බෝලය බොහොම කැමැත්තෙන් අනුභව කළ බව මට මතකය.  අපි බෙන් එකේ ටෙලි නාට්‍ය කරන කාලයේ දවසක් උදේ ඉඳිආප්ප කන ගමන් කැමරා ශිල්පී කේ.ඒ. ධර්මසේන කීවේ ඔහු තරුණ කාලේ ලෙස්ටර් මහත්තයාගේ ප්‍රොඩක්ෂන් වල වැඩ කරද්දී උදේට ඉඳිආප්ප හැට හැත්තෑවක් කන බවය.  එහෙම නැතිව අලි පත යකඩ බාර්වල සවි කර ඇති විශාල ලයිට් උස්සන්නට බැරි බව ධර්මේ කියපු බව මට මතකය.  මේ ළඟකදී ටී වී වැඩ සටහනකට සහභාගී වූ සචිත්‍ර සේනානායක කීවේ ඔහු මාරි පැකට් දෙකක ඔට්ටුවකට ඉඳිආප්ප හැත්තෑපහක් කෑ බවකි.  මීටත් වඩා ලොකු ඉඳිආප්ප කෑමේ ඔට්ටුවක් ගැන මා කියවා ඇත.  එදා ඉඳිආප්ප කෑමේ ඔට්ටුවේ කතානායක වරයා වන්නේ තුන්වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාය.  මේ කතාව 2018 ජුනි මාසයේ ලංකාදීප පත්‍රයකට නිහාල් ජගත්චන්ද්‍ර ලියුවක් බැවින් පත්‍රයේ තිබුණු පිළිවෙලටම උපුටා දක්වමි.

"මේ කාලයේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුනේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය.  එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාරය වුයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය.  එසේත් නැත්නම් ඉඳිආප්ප හෝ පිට්ටුය.

ඒ අනුව ඩඩ්ලි සහ ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිපල වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉඳිආප්ප සහ පිට්ටුද එක්කිරීමට විදුහල්පතිවරයාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකයා පියවර ගෙන තිබුණේය.  එහෙත් බටහිර කෑම වර්ගද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉඳිආප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.

දිනක් නේවාසිකාගාර පාලකයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳිආප්ප,පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය.  එදින වෙනදාටත් වඩා වැඩි ඉඳිආප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.

ඩඩ්ලිට මෙතන තියෙන ඉඳිආප්ප කොච්චර කන්න පුලුවන්ද? සීයක්...

ඩඩ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳිආප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය.  තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳිආප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු  අපහසුවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.

'බැරිකමක් නෑ.  ඒත් මම ඒ තරම් ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩි දෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවා' යි කී ඩඩ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්‍රයින් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය.  'නෑ...නෑ...ඒ ගැන ප්‍රශ්නයක් නෑ.  ඔයා ඉඳිආප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා, ඒත් ඔයාට ඉඳිආප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නෙ?

ඩඩ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකි.

'හරි ප්‍රශ්නයක් නෑ.  මම පැරදුනොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා'. යි කී ඩඩ්ලි මුලින් ඉඳිආප්ප පනහක් තම පිඟානට බෙදා ගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ලඟට ඇද ගත්තේය.

'හැබැයි මම කන්නේ අතින්, එහෙම නැතුව රස නෑ.' යි කී ඩඩ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලාසිටින අතරතුරය.  අන්තිමේදී ඉඳිආප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ ඇඟිලිද කටින් සූප්පු කරමිනි. "

ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ.  ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි.  ඒත් පාසැල් ශිෂ්‍යයෙක් ඉඳිආප්ප එකසිය තිහක් කෑවා යනු පිළිගන්නට ටිකක් අමාරු කාරණයකි.  සාමාන්‍යයෙන් පත්තරවලට ලියන අයගේ කතාවල තාර බර ඇරගෙන විශ්වාස කරන එක හොඳය.  ඩඩ්ලි සේනානායක මහතා හොඳට කාපු කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධය.  මම කියවපු තවත් කතාවකට අනුව ඩඩ්ලි සේනානායක මහතා අවේලාවේ ඇවිත් කහබත් කන්නට ඉල්ලන නිසා ඔහු මැති සබයේ ඉන්නාවිට පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදවිය නිතරම එයට සුදානමින් ඉන්න බවද ඔහු වරකට ලොකු කහබත් පිඟානක් සහ බැදපු කුකුලෙක් කන බවද පත්තරයකට කියා තිබුණේ ඒ කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු සේවකයෙකි.   

ඉස්සර අපේ ගෙවල්වල ඉඳිආප්ප හැදුවේ උදේ කෑමටය.  දැන් නම් මේ කියන පරක්කුවට ගෙදර කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම සුළු දෙයක් වුණත් දැන් වගේ ගෑස් කුකර් සහ ස්ටීමර් නැති ඒ කාලයේ ගෙදරට කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම ලොකු වැඩකි.  වංගෙඩියේ පිටි කොටා තම්බාගෙන මිශ්‍රණය තනාගත් පසු දර ලිපේ මැටි මුට්ටියට වතුර දමා පස්සා ඉඳිආප්ප වට්ටිවලට වක්කර ගත් පසු එකවර මුට්ටිය උඩ තියන්නට හැක්කේ ඉඳිආප්ප වට්ටි හතරක් හෝ වැඩිම වුනොත් පහකි.  ඒ වට්ටි පහ මුට්ටියේ කට උඩ තබා ලොකු මැටි මුඩියකින් වැසිය යුතුය.  ඉඳිආප්ප තැම්බී හුමාලය මුඩියෙන් පිටතට එන්නට පටන් ගත් පසු ඉඳිආප්ප බාන්නට පදම ඇවිත් බව දැනගනී.  අනික ඒ කාලයේ හවසට රෙඩිමේඩ් ඉඳිආප්ප විකුණන කඩ ගැන අහන්නට වත් තිබුණේ නැති බවද කිව යුතුය. ඉඳිආප්ප විස්සක් තම්බා ගැනීමට හතර සැරයක් හෝ පස් සැරයක් ඔය විදියට තම්බාගත යුතුය.     කොල්ලා කාලෙ වැඩිපුර කෑවත් දැන් නම් මට ඉඳිආප්ප පහළොවකට වඩා කන්නට අමාරුය.  හොඳටම බඩගිනි තිබුණොත් විස්සකි.  ඊට වඩා කෑවොත් බඩේ ගල් දැම්මා සේ දැනේ. 

 ඒ කතාව එහෙමය.  ඔය මම කිව්වේ ගෙදර කොටාගෙන හෝ පිටි මෝලෙන් ගන්නා පිටිවලින් හදන ඉඳිආප්ප ගැනය.  නමුත් කඩේ විකුණන්නට ඇති ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් හදාගන්නා ඉඳිආප්ප වලින් ඉඳිආප්පයේ ස්වභාවික රසය ගන්නට බැරිය.  මන්දයත් ඒවා කල්තබා ගැනීමට හා පිටිවල සුදෝසුදු වර්ණය ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය බෙහෙවින් මිශ්‍ර කරන බැවිනි.  ඉඳිආප්ප කන්නට හදාගන්නා පොල් සම්බෝලයද ඔහේ ආගිය අතේ හදන්නේ නැතිව පිළිවෙලකට හදා ගත යුතුය.  රතුලූණු ටිකක් වැඩිපුර දමා උම්බලකඩද ගම්මිරිස් ඇට කීපයක්ද යොදා ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් ටිකකුත් මිශ්‍ර කර සාදාගත් පොල් සම්බෝලය සමග හිතේ හැටියට ඉඳිආප්ප කන්නට හැක.  පොල් සම්බෝලවලට අමතරව තිබ්බොටු සහ කුණිස්සන් මිශ්‍රකර සාදාගන්නා කහපොල් මැල්ලුමද ඉඳිආප්ප සමග නැගලා යයි.  මේ ළඟකදී අපේ ගෙදර ආපු කොච්චියාටත් මම උදේට කන්නට දුන්නේ ඉඳිආප්පත් කහපොල් මැල්ලුමත්ය.  මම කොච්චියාට උදේ කෑම වට්ටෝරු කීපයක්ම ඉදිරිපත් කළෙමි.  ඉඳිආප්ප සහ කහපොල් මැල්ලුම්, හීල් බත් එක්ක පොල් සම්බෝල, පාන් සමග කිරිමාළු හොදිත් පොල් සම්බෝලත් ආදී වශයෙනි.  කොච්චියා කීවේ හීල් බත් වලටත් කැමති නමුත් මෙදා ඉඳිආප්ප කමු කියලාය.

එදා කොච්චියා ඇවිත් තිබුණේ ජා ඇලින් රා කෑන් එකකුත් වල් ඌරු මසුත් අරගෙනය.  මදිපාඩුවට මම ඩීඩී බෝතලයකුත් ගෙන්නෙව්වෙමි.  රා බොන්නට නලින්ද අපිත් එක්ක එකතු වෙන්නට නියමිත විය.  නලින් කිව්වේ පන්සලේ රැස්වීමකට ගිහින් දවල් වෙනවිට එන බවය.  නමුත් රැස්වීමෙන් පසු හාමුදුරුවන්ගේ එක එක ගමන් වලට නලින්ව දවසම බුක් කරගෙන තිබුණු බැවින් නලින්ට වැඩේ මග හැරී ගියේය.  වෙනදාට කොච්චියාත් එක්ක එන අයිවන්ටද අසනීප නිසා එදා එන්නට බැරිවිය.  අයිවන් කියන්නේ අපිත් එක්ක ඕමාන් වල වැඩකරපු කෙනෙකි.  හොඳ බොන්නෙකු, ගිටාර් වාදකයකු සහ නියම විනෝදකාමියකු වූ අයිවන් නැතුවම  අන්තිමට අපි දෙන්නා වැඩේ පටන් ගත්තෙමු.  

රා බොන ගමන් නියම අතීතකාමියකු වූ කොච්චියා කීවේ අපේ ගෙදර එද්දී ගමට ඇතුල් වුන වෙලේ සිට දැක්ක පිරිමින් ඔක්කොම මාදුවාදැයි ඔහුට හිතුන බවයි.  එදා හොඳ වෙලාවට මාදුවලාගේ කුඹුරු යායේ ගොයම් කපන දවසය.  කුඹුර තිබුණේ අපි බොන තැනට මීටර් සීයක් පමණ පහලිනි.  දැක ගන්නට ඔච්චර ආසා එකේ දැම්මම ගිහින් මාදුවා හමුවෙමුය කියා රා බීම පැත්තක තබා අපි වෙලට ගියෙමු.  අපි යනවිට මාදුවාගේ කුඹුරේ ගොයම් කපා ඉවරය.  මාදුවා වී ගෝනි කුඹුරෙන් ගොඩට අදිමින් සිටියේය.  අපි කතාකරමින් ඉන්න විට මාදුවා කොච්චියාව පෙන්වා ඇසුවේ මේ කවුද කියාය.  මම නම් ඔයාව හොඳට දන්නවා යැයි කොච්චියා කී විට බ්ලොග් හෝ අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදත් මාදුවා පුදුමයට පත්ව කීවේ ඒ කොහොමද? මම ඔයාව දැක්කෙත් අදනෙ! කියාය.  කෙසේ හෝ උන් දෙන්නාගේ හතර බීරි කතා අසමින් මම ඇතිවෙන්නට සිනාසුනෙමි.  මගේ කතාවල මාදුවාද එක් චරිතයක් බව ඌ නොදන්නා එක හොඳය.  සුද්දාද එසේමය.  මගේ කතාවල තමන්ද චරිතයක් බව සුද්දා නොදනී.  

මේ දවස්වල සුද්දා නැවතත් බදු වත්ත වගාකරයි.  අයිතිකාරයාගේ ඉල්ලීම අනුව අන්නාසි වගාවෙන් පසුව සුද්දා වත්ත නැවත ඔහුට බාර දුන්නේ අන්නාසි ගස් ගලවාදමා සුද්ද කර අගල් එහෙම කපලාය.  ඊට අමතරව බද්දට හිලව්වක් ලෙස සුද්දා වත්තේ පොල් පැළද සිටුවා තිබුණේය.  දැන් පොල් පැළද තරමක් ලොකුය.  වත්ත ආපසු දුන් සුද්දා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය.   සුද්දා වත්ත ආපසු බාරදුන් පසු පොල් හොරුන් වැඩ පටන්ගෙන වත්ත සුද්ද කරන්නට පටන් ගත්තෝය.  තමන්ට වගකීමක් නැති නිසා සුද්දා නිහඬව සිටියේය.  ඊට පසු අයිතිකාරයා ආවේ පොල් කඩවන්නටය.  වෙනදාට පොල් කඩවා ට්‍රැක්ටරයක පටවාගෙන යන අයිතිකාරයාට මෙදා ඉතුරුවී තිබුණේ ගෝනි කීපයක දාගෙන යාමට සෑහෙන පොල් ප්‍රමාණයකි.

දවස් දෙක තුනකට පසු සුද්දා හමුවන්නට ආ අයිතිකරු වත්ත නැවත බාරගෙන වගා කරන ලෙස සුද්දාගෙන් ඉල්ලා සිටියේය.  ඔහු මුදල්ද රැගෙනවිත් සුද්දාට දී තිබුණි.  මුදල් අනවශ්‍ය බව සුද්දා කී විට ඔහු කියා තිබුණේ මෙතෙක් කල් වත්ත රැක බලා ගත්තාට ඒ මුදල ගන්නා ලෙසයි.  කෙසේ හෝ දැන් සුද්දා වත්ත නැවත වගා කරයි.  මෙදා සුද්දා සිටවා තිබෙන්නේ කිරි අල සහ මඤ්ඤොක්කාය.   වගා කරන්නට දඬු ලබා ගැනීමේ ප්‍රශ්නයක් සුද්දාට මතුවිය.  පළවෙනි කොරෝනා සමයේදී මම වත්තේ මඤ්ඤොක්කා සිටෙව්වෙමි.  ඒවායේ දැන් හොඳට අල බැහැලාය.  හැබැයි අල ටික ඌරු මීයන්ගෙන් බේරාගන්නට බැරිය.  ගෙදර කෑමට ගලවන ගමන් එකතු කළ දඬු ඔක්කොම මම සුද්දාට දුන්නේ මම ආපහු මඤ්ඤොක්කා නොහිටවන නිසා ඒ සමහර හොඳ දඬු වර්ග වඳ නොවී ආරක්ෂා කරගන්නටය.  දඬු සියල්ලම සිටවූ සුද්දා මගෙත් එක්ක කීවේ පහුගිය වැස්සත් එක්ක දඬු ටික හොඳට පැළවී ඇති බවය.  මම ගෙදර ප්‍රයෝජනයට මඤ්ඤොක්කා හිටෙව්වත් සුද්දා කරන්නේ වාණිජ වගාවකි.  සුද්දා මඤ්ඤොක්කා ගැලවූ දාට දඬු ටිකක් ආපහු අරගෙන ඇවිත් වත්තේ හිටවන්නට මම හිතාගෙන ඉන්නෙමි෴

Thursday, October 1, 2020

ඩැනිස්ගේ ලණුව, සේනගේ සංවේගය,නිලමේගේ වගතුග, කූපන් පොත් සහ කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්.


අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය.  එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි.  තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් පසුව වුවද මොකුත් නොලිව්වේ කම්මැලිකම නිසාය.  ලිවීම අතපසුවූ කාලයේ මට කතාකරමින්ද ඊ ලිපි එවමින්ද නොලියන්නේ මන්ද යැයි ඇසු සියළුම පාඨකයින්ට මගේ ස්තූතිය පිරිනමමි.

ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය.  මහන්සි වී පෝස්ටුවක් ලියු විට ප්‍රමාණවත් පාඨක පිරිසක් එය නොකියවන්නේ නම් ලිවීමට වඩා නොලියා සිටීම යෙහෙකි යැයි සිතේ.  කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.  බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.

මා විසින් ලියන්නට පුරන ලද අවසන් නොවූ කතා දෙකක් ඇත.  එනම් සේනගේ කතාව සහ ත්‍රිකෝණය කතාවයි.  කෙසේ හෝ එම කතා ද්විත්වයද අවසන් කළ යුතුය.  බ්ලොගයේ මෙතෙක් ලියු පෝස්ටු ප්‍රමාණය 296 ක් වන අතර 2019 අවසන් වනවිට පෝස්ටු 300 ක් සම්පූර්ණ කරන්නට සිතා සිටියද එය කළ නොහැකි විය.  කෙසේ වුවද අදත් මා ලියු සේනගේ කතාව කියවමු.

සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය.  අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු.  ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය.  විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය.  ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය.  මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය.  නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය.  වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.

අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය.  පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි.  සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය.  සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය.  නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය.  රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි.  නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ,  සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි.  නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි.  රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ. 

නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය.  ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි.  ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත.  ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද  උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි.  එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි.  ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය.  සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.

මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි.  නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය.  ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය.  ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය.  ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය.  අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්‍රිට් බෝතලයක් කළවම් කරයි.  වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි.  තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි.  දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී.  ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය.  ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය. 
මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි.  ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය.  එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය.  ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය.  මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි.  ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි.  වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ "රොටියාගේ අලුත් පෙම්වතා කවුද?" යන්නයි.  මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය.  සිනාවෙමින් අසා සිටි ඩැනිස්,

"මූට අපි හොඳ වැඩක් කරමු!" යි කීවේය.

"ඒ කිව්වෙ?

"උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!"

"කමක් නැද්ද?"

"උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?"

මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි.  ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය.  සතියක් ගතවන්නට ඇත.  දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.

"මොකද සේන මේ පාන්දර?"

"ඊයෙ රෑ ආවේ,  උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?"

"මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ.  සේන යන්න මම ටිකකින් එන්නම්."

සේන පිටත්වී ගියේය.  ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින්   සිටියේය.  මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය.  මමත් එකක් අරගෙන දල්වාගතිමි.  කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි.  ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය.  ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය.  සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.

"පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු."

අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය.  ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත.  ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන "උගේ" ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.

"මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?"  නිළමේ අසයි.

"නිලමේ අයියව බලල යන්න කියල ආවා!" 

"ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? " නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.

"ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා."

"එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?" 

නිළමේ ආපහු එළියට බැස්සේය.  උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය.  ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය.  මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය.  කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය.  අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය.  මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය.  එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය.  මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි.  හාල් පොත් බැලු මහප්පා "මොකා මේවා ලියනවද මං දන්නෑ" කියමින් සිනාසුනේය.

ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය.  හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය.  හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය.  කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි.  කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ  65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි.  ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය.  70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය.  "අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා" යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි.  හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය.  හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.

පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී.  මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය.  කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි.  ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි.  අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.
කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.  

හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි.  ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි.  ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි.  හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය.  අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය.  ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය.  බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි.  බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය.  එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.

බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි.  එතන ඇත්තේ අමුතුම සුවඳකි.  හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක.  හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි.  සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි.  මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය.  දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි.  හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන.  අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.

සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි.  කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි.  ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත.  ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය.  නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි.  පාර වන්නේ  සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි.  නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය.  නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය.  මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය෴ 

Wednesday, May 27, 2020

මාදුවාගේ කුඹුරු අස්වැද්දිල්ල, පොඩි මාදුවා දුටු හොල්මන, සුමනදාස මහත්තයගේ ඡන්දය සහ කොරෝනා කතා.

අපි මාදුවලෑ කුඹුර අස්සද්දන්නට කතා කර ගත්තේ කොරෝනා වසංගතය පැතිරෙන්නට හිතලවත් නැති කාලයක හෙවත් ජනවාරි මාසේ මුල වගේය.  ඔය අදහස මගෙ හිතේ තිබුණේ කාලයක සිට වුණත් අදහස මාදුවාට කියන්නට තැනක් වේලාවක් හරියටම සෙට් වුණේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී ගමේ පොඩි මඟුලකදී අපි කට්ටියටම එකට එකතුවී කතා කරන්නට ඉඩ ප්‍රස්තාව සැලසුණි.  මදු විතකින් ගත සිත ප්‍රබෝධමත් වී සිටියදී මම මාදුවාට පැත්තකට කතා කර අදහස කිව්වෙමි.  මාදුවා එයට එක්වරම කැමැත්ත පළකළේය.  එවිටම එතනට පැමිණි ගමේ කෘෂි නිලධාරියාද කතාවට සම්බන්ධවී වැඩේ බොහොම ඉහළයි කියා ඔහුගේ පැත්තෙන් කළහැකි හැම උපකාරයක්ම කරන බවද කීවේය.  වෙල්යායේ මාදුවලාගේ කුඹුර ලඟට එනතුරු ඒ වනවිට කුඹුරු වැඩකර තිබුණ අතර මගේ කුඹුර තියෙන්නේ මාදුවලාගේ කුඹුරට තවත් එකකට පහළින්ය.  මේ වන විට ගණ සැරේට කැලේ වැවී ඇති වෙල්යායේ ඒ කොටසේ වැඩ පටන් ගන්නවා නම් මාදුවලාගේ කුඹුරට නොබැස පහළ ඒවා සුද්ද කරන්නට බැරිය.  මාදුවලාගේ කුඹුරෙන් වැඩ අල්ලන්නට අපි කල්පනා කළේ ඒ නිසාය.

ඉස්සෙල්ලාම කරන්නට තිබුණේ වෙල්යායේ නිරීක්ෂණ චාරිකාවක යෙදී වැඩ පටන්ගත යුතු ආකාරය ගැන යම් කිසි වැටහීමක් ඇතිකර ගැනීමය.  අපේ ගෙවල් ලඟින් යන හැම විටෙකම එන්නං එන්නං කියා කීවත් සති කීපයක් යනතුරුම මාදුවා වෙල බලන්නට ආවේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී එක දවසක හවස් වරුවේ අපේ ගෙදරට ආ මාදුවා කුඹුර බලන්නට යමු කීවේය.  අපි දෙන්නා වෙල්යායට ගිහින් බැලූවිට අඩියක් තියන්නටවත් බැරි තරමට ගණ සැරේට කුඹුරු කැලෑ වැහිලාය.  උගේ තණකොළ කපන මැෂිමෙන් දවස් කීපයකදී කුඹුර කැලෑ එලිකරගන්නට හැකි යැයි මාදුවා කියපු අතර හෙට සිට වැඩ පටන්ගමුය කියා කතා කර ගත්තෙමු.  ඒ වුණාට පහුවදා මාදුවා දකින්නටවත් හිටියේ නැත.  උඹට එපා නම් මට මොකද කියා මමත් සද්ද නැතුව සිටියෙමි.  තවත් සතියකට පමණ පසු දවසක මහ හැන්දෑවේ තණකොළ කපන මැෂිමත් කරතබාගෙන ආ මාදුවා මගෙත් එක්ක කුඹුරට ගිහිං වැඩ පටන් ගත්තේය.  එදා එහෙම කැපුවාට උගේ පැමිණීමේ කිසිම පිළිවෙලක් තිබුණේ නැත.  වැඩ කරන්නට එන්නේ ඉර බහින වෙලාවටය.  හැමදාම වගේ පහුවදා උදෙන්ම වැඩ පටන් ගනිමුයි කියා කතාකර ගත්තත් එහෙම සිදුවෙන්නේ නැත.

වැඩේ තියෙන්නෙ මාදුවාට වැඩ වැඩිකමය.  උගේ ප්‍රධාන ආදායම් මාර්ගය ත්‍රී වීල් එකක් හයර් දිවීමය.  ඊට අමතරව මැසිමකින් තණකොළද කපයි.  ඊටත් පස්සෙ මාදුවා පළතුරු වෙළඳාමක් පටන් ගත්විට කලින් කීව දෙකටම වඩා නැගලා ගියේ පළතුරු බිස්නස් එකය.  ඉතිං කුඹුර කැපීම සිද්ද උනේ අවාරෙට අඹ වැටෙන්නා සේය.  කොරෝනා වසංගතය ආවේ ඔන්න ඔය කම්මැලි විදියට වැඩ කරගෙන යද්දීය.  මාදුවාගේ ත්‍රී වීල් හයර් දිවීමද තණකොළ කැපීමද එක් වරම නතර වූ අතර පළතුරු ව්‍යාපාරය මහ ඉහළින් නැගලා යන්නට වූවා සේම වෙලේ වැඩ කරන්නට මාදුවාට ඇති තරම් කාලයද ලැබිණි.  එදා සිට හැමදාම උදේට මාදුවා පළතුරුත් සයිකලයේ පටවාගෙන තණකොළ කපන මැසිමද වතුර බෝතල්ද බුලත්විටද ආදියෙන් සන්නද්ධව කුඹුරට පැමිණෙයි.  ටික වෙලාවක් වැඩ කරන විට මාදුවාගේ පළතුරු පාරිභෝගිකයින් එකා දෙන්නා මාදුවා හොයාගෙන කුඹුරට එන්නට පටන් ගනී.  මාදුවා තණකොළ කැපීම නවතා පාරිභෝගිකයන්ට සේවය සලසන්නට පටන් ගනී.  සමහර පාරිභෝගිකයින් පළතුරු රැගෙන යන අතර සමහරු නියරේ ඉඳගෙනම අහල පහළ ගස්වල ඇති වෙරළුද කොට්ටං ද හපමින් පළතුරු පාවිච්චි කරති.  මාදුවාගේ මොබයිලය මගේ අතට දී තිබුණේ තණකොළ කපනවිට පෝන් එකේ සද්දය ඇහෙන්නෙ නැති නිසා කෝල් වලට උත්තර දෙන්නටය.  පෝන් එකටද නිවනක් නැතුව පාරිභෝගිකයන්ගේ කෝල් එයි.  මම හැම ඇමතුමකටම උත්තර දෙන්නේ මාදුවාගේ උපදෙස් අනුවය.

කොරෝනා වසංගතය හේතුවෙන් කොච්චර වැඩ තිබුණත් පොලීසිය මත් ද්‍රව්‍ය ඇල්ලීමට කඩා පනින එක නතර කර තිබුණේ නැත.  මාදුවාගේ ව්‍යාපාරය අල්ලන්නටද පොලිසියෙන් ඇවිත් හොයන බවට කටකතා කීපයක්ම පැතිරී තිබුණත් පැන්නේ නම් නැත.  ඒ වුණාට ආපු ආරංචි වලින් බොහෝ කලබලයට පත්වූ හැලපී වහාම ක්‍රියාත්මක වන පරිදි කුඹුරට යෑම මට තහනම් කළාය.

"ඇඳිරි නීතිය කඩල පොලිසියට අල්ලගෙන යන එක වෙනම කතාවක්. ඒ උනාට වෙලේ ඉඳල මාදුවත් එක්ක බෙල්ලෙන් අල්ලගෙන පොලිසියට අරන් ගියොත් විලි ලැජ්ජාව. ඔය කුඹුරු අස්වැද්දිල්ලෙන් කාරියක් නෑ.  ඔයා ගෙදර ඉන්න!" හැලපි තදින්ම අවවාද කළාය.

"මම නොගියොත් ඕකා ඔය කුඹුරු කිරිල්ල අත් අරිනවා.  මගේ වදේටනේ පටන් ගත්තෙ.  මෙච්චර කරල අත ඇරල දැම්මොත් අපරාදෙනෙ.  ඔහෙ එන ඇති පොලිසියක් නෑ. ඔයා බය නැතුව ඉන්න!"  මම ෂේප් එකට කතා කළෙමි.

"ඕනෑ එකක් කරගන්න එකයි ඇත්තෙ.  ඔයාල ඉතිං පණ්ඩිතයොනෙ. කියන දෙයක් කණකට ගන්නෙ නෑ.  මොනව හරි උනොත් ඔන්න මම ආයෙ කියන්නෙ නෑ."

හැලපි බැන්නාට මම කුඹුරට යාම අත්හැරියේ නැත.  එතන වෙනම විනෝදයකි.  ඒ දවස්වල තිබුණු දැඩි පෑවිල්ල නිසා වැඩ කරන්නට ලේසිය.  කුඹුරු යායට තද සුළඟක් ද හමයි.  කලින් දවසේ මාදුවා කපා වේලී තිබුණු තණකොළ ගොඩවල් ගසා ගිණි තැබීමද ගස්වල අතු කැපීමද ආදිය කරන විට මහන්සියක් නොව ඇතිවෙන්නේ සතුටකි.  අපි කුඹුරට බැස්ස විට එතෙක් පාළුවී තිබූ කුඹුරේ සරුවට වැවී තිබුණු කංකුන්, මුකුණුවැන්න, ගිරාපලා ආදිය කඩන්නට ගමේ ගෑණුන්ද, ළමයින්ද කුඹුරට එන්නට පටන් ගත්ත නිසා කම්මැලිකමක් ඇත්තේම නැත.  රොඩු ගොඩවල් ඇද මහන්සි වූ විට නියරට ගොඩවී ලැවරියාවක්, වඩේ එකක් කා තේ කහට ටිකක් බී විටක් හැපීමද කාලෙකින් නොලද ආස්වාදයකි.  වැඩේ දිගටම යද්දී මාදුවාගේ ව්‍යාපාරයද එයට සමගාමීව ජයටම ක්‍රියාත්මක විය.  පළතුරු ගන්නට අතේ මිළ මුදල් නොමැති වූ කීප දෙනෙක්ද ඇවිත් කුඹුරේ වැඩකර එයට හිලව්වට පළතුරු බීම ටිකක් ඉල්ලා සිටිති.  උන් එදිනෙදා කුලියක් මලියක් කර දවසේ වියදමට කීයක් හරි සොයාගන්නා උදවියය.  දැන් ඒ අයගේ අදායම් මාර්ගද එහෙම පිටින්ම ඇහිරී ඇත.  නැති එකාට උදව් කිරීම පිංකමකි.  අපේ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය නිසා දවසේ ගතමනාව සොයාගන්නට බැරිව ඉන්න අය කීප දෙනෙකුට හෝ උදව් කරන්නට ලැබීම එහි අමතර ඵලයකි.

කුඹුරේද කුඹුරට ගොඩ පාළු වත්තේද රැඳී ඉන්න අයගේ අඩුවක් නැත.  සමහරු පාළු වත්තේ ගස්වල පොල් කඩා ගෙදරටම ගෙනිහින් දමති.  සමහරු නියරේ පාළු කුඹුරේ කෙටල ගාල් එක්ක කාලයක් තිස්සේ හරි හරියට වැවී තිබූ කොහිල පඳුරු වල දළු කඩති.  දැවැන්ත කොහිල අල ගලවා සුද්ද කරති.  කොරෝනා වසංගතය හැමෝටම කලකින් පසු දිග විවේකයක් ලබා දීලාය.  අපි වගේ සොක්කන්ට පමණක් නොව බොහෝ වැඩ කටයුතු ඇති අවිවේකී තදයන්ට පවා කොරෝනා වසංගතය තමන්ගේ අවිවේකී කම ගැන නිවී හැනහිල්ලේ හිතන්නට ඉඩ ලබා දුනි.  පාරේ ට්‍රැෆික් එකේ විනාඩියක් දෙකක් නවත්වා ගෙන ඉන්නට බැරුව නලා සද්ද කරන, විනාඩියක් දෙකක් යාලුවෙක් එක්ක කතා කරන්නට බැරි තරමට වැඩ කටයුතු ඇති, යාලුවෙක්ගේ ඇමතුමක එක විනාඩියක් හමාරක් රඳවා ගන්නට බැරි තරමට ඉස්පාසුවක් නැති සෑම සියළු දෙනාම ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර වයිරසයක් ඉදිරියේ චකබ්ලාස් වී ගොසින්ය.  මම පෙබරවාරි මාසයේ මගේ යාලුවෙක්ට දුරකථන ඇමතුමක් දුන්නෙමි.  යාලුවෙක් කීවාට යාලුවාව කවදාවත් දැක නොමැති සේම කතා කර තිබුණේද නැත.  ඉතින් බොහොම අමාරුවෙන් අංකයද ලබාගෙන කතා කළේ කිසිම වැඩකට නොව කතා කරන්නට තිබු ආසාවටය.  අපි විනාඩියක් වත් කතා කරන්නට ලැබුණේ නැත.  යාළුවාට හදිස්සියක් ඇතිවිය.

"මචං, මම උඹට තව ටිකකින් ගන්නම්!" ය කිවූ ඔහු ඇමතුම විසන්දි කළේය. 

මේ වනවිට මැයි මාසයත් ඉවර වෙන්නට ළඟ වුනත් තව ටිකකින් දෙන ඇමතුම තවම ලැබුණේ නැත.  ඉතින් මනුස්සයන්ට තිබුණු හදිස්සිය ඔය වගේය.  ඉස්පාසුවක් නැතිකම තරඟයට දිවීම වැනි දේවල් කිසිම වැඩකට නැති පුහු ඒවා බවට අප සියළු දෙනාටම පසක් කළේ මේ කොරෝනා වසංගතයයි.

ආයෙම අපේ කතාවට ආවොත් මාදුවා පොඩි කාලේ සිටම ඇම්ඩෙකි.  මාදුවාගේ සීයාට ගමේ පොඩි තේ කඩයක් තිබුණි.  අපි කොල්ලො කාලේ රස්තියාදු ගැහුවේ ඔන්න ඔය කියන ඇල්බින් මුදලාලිගේ තේ කඩයේය.  අපි කඩේ කයියක් ගහගෙන ඉන්නවිට පොඩි මාදුවා පොල් ගෙඩියක් උස්සාගෙන කඩේට එයි.

"සීයෙ, මේ පොල් ගෙඩිය අරං පාන් කාලක් දෙන්න!" යි කියා පාන් අරගෙන යයි.

තව ටිකකින් තවත් පොල් ගෙඩියකි. 

"යකෝ, මූට පැය දොළහට පාන් කාල් දොළහක් කන්න එපැයි! "කියන ඇල්බින් මුදලාලි පොල් ගෙඩිය පොල් ගොඩට විසිකරයි.

සීයා නොදන්න මාදුවා පමණක් දන්නා රහස වුණේ පළවෙනි පොල් ගෙඩිය ඇරෙන්නට ඉතුරු පොල් සියල්ලම මූ ගල් කරන්නේ සීයාගේ පොල් ගොඩෙන් බවය.  අවුරුදු ගෙවී ගොස් දෙමව්පියන් විසින් චූටි මාදුවාව ගමේ ඉස්කෝලේ හෝඩියේ පන්තියට ඇතුළත් කරන ලදී.  දවසක් උදේ ඉස්කෝලෙ යන්නට සුදානම් වෙන චූටි මාදුවාට උගේ තාත්තා වන සුමනදාස මහත්තයා වැදගත් උපදේශයක් දුන්නේය.

"කොල්ලො, උඹ එහෙම දවල්ට ඔය මිනී කනත්ත පැත්තෙ යන්න එපා!"  ගමේ මිනී පිට්ටනියද තිබුණේ ඉස්කෝලෙට පේන දුරින්ය.

"ඒ මොකද? චූටි මාදුවා ඇසුවේය.

"ඒ මොකද කියන්නෙ? කනත්තෙ හොල්මන් තියෙනවා. උඹ ඕවා දන්නෙ නෑනෙ. ඒකයි කිව්වෙ. වැරදිලාවත් ඒ පැත්තෙ යන්න එහෙම එපා!"  සුමනදාස මහත්තයා කීවේ ඇස් දෙකත් ලොකු කරගෙනය.

එදා ඉස්කෝලෙ ගිය මාදුවා ඉස්කෝලෙ ඇරුන ගමන් කනත්තට ගියේ තාත්තා කියූ හොල්මන් බලන්නටය.  පැය කාලක් විතර සොහොන් ගලක් උඩ ඉඳගෙන බලා හිටියත් දඩාවතේ යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්නට හිටපු හොල්මනක් නැත.  දැන් මාදුවාට කේන්තිය.  ඊටත් වඩා බඩගිනිය.  පරණ මිනී වලක් උඩ තිබුණු මල් ගැලවී ඇටසැකිලි වී ගිය මල් වඩමක් ද ගත් මාදුවා තරහෙන්ම ගෙදර ගියේය.  පාරෙන් හැරී ගෙට ළඟාවන විටම ඉස්සරහට එන්නේ තාත්තාය.  මාදුවාට මල පැන්නේය.

"කෝ යකෝ කියපු හොල්මන්? මම කනත්තෙ කොච්චර වෙලා බලං හිටියද?  තෝ නං කොකෙක්ම තමයි."මල හොඳ එකෙන්ම පැන තිබු මාදුවා තාත්තාට ගෝලු ගත්තේය. (සුමනදාස මහත්තයාට ගමේ අය පටබැඳ තිබු හුරතල් නම කොකාය)

"අපූරු කම්බි ටික බොළ, මේක හොඳයි මගෙ බුලත් වැල්වල පන්දලම බඳින්න." කියූ සුමනදාස මහත්තයා රැඹිටිවී තිබුණ මල් වඩමද උස්සාගෙන වත්ත පහළට ගියේය.

මාදුවාගේ තාත්තා ගැන මතක් කරපු වෙලාවේ ඔහු ගැන තව කතාවක්ද මගේ මතකයට එයි.  මේ සිද්දිය සිද්ද වී තිබුණේ අපි ඉපදෙන්නටත් පෙර කාලයකය.  මට කතාව කිව්වේද එකල වැඩිහිටියෙකි.  කතාව මෙහෙමය.  මාදුවාගේ තාත්තලා ගමේ වතු පිටි කුඹුරු ඉඩකඩම් බොහොමයක් තිබුණු ගමේ යමක් කමක් ඇති පවුලකි.  රස්සාවක් නොකළාට සුමනදාස මහත්තයා හොඳට ඉගෙනගත් කෙනෙකි.  ඉංග්‍රීසි උගතෙකි.  ගමේ කලිසම් ඇඳපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙකි.  ඒ කාලයේ කලිසමක් ඇන්දේ ඉංග්‍රීසි උගතෙකි.  ඉතින් ඔහොම යද්දී ගම්සභා ඡන්දයද ළඟ ළඟ එන ලකුණු පහළවිය.  ගමේ වැඩිහිටියන් සියළු දෙනාම තීරණය කළේ දැන උගත් පුද්ගලයෙක් වූ සුමනදාස මහත්තයා ගමෙන් ඡන්දෙට ඉදිරිපත් කරන්නටය.  පුරප්පාඩුව තිබුණේ අත ලකුණෙනි.  අලියා ලකුණෙන් ගමේ එහා කෑල්ලේ කෙනෙක් දැනටම තරඟයට ඉදිරිපත්වී සිටියේය.  පොඩි අවුලකට තිබුණේ සුමනදාස මහත්තයා මෙන්ම පවුලේ සියලු දෙනාම කැපුවත් කොළ ජාතියේ යු.ඇන්. පී කාරයින් වීමය.  ගමේ ඔක්කොම පාහේ අතට ඡන්දය දෙන නිසා ඒ පොඩි අඩුපාඩුව ගණන් නොගෙන අපක්ෂකයා වශයෙන් සුමනදාස මහත්තයා ඉදිරිපත් කළේ ගමේ සියළු දෙනාගේ ආශීර්වාදයද ඇතුවය.

ගමේ අපේක්ෂකයා වූ සුමනදාස මහත්තයා වෙනුවෙන් ගමේ වැඩිහිටියන් බොහොම මහන්සියෙන් ගෙයක් ගෙයක් පාසා කැන්වසින් ගොස් ඡන්ද ව්‍යාපාරයද ජයටම කළෝය.  ඡන්දය දවසේ හවස ඡන්ද මධ්‍යස්ථානයේම ප්‍රතිපල ගණන් කොට කියන විට ඡන්ද හතරකින්ද කොහෙද සුමනදාස මහත්තයා පරාදය.  සුමනදාස මහත්තයා වෙනුවෙන් දාඩිය මහන්සියෙන් වැඩ කළ වැඩිහිටියන්ට ඒ ප්‍රතිපලය අදහන්නටත් අමාරු වුනත් දැන් කරන්නට දෙයක් නැත.  කට්ටියම ගමට ගොස් ඇල්බින් මුදලාලිගේ කඩයේ එකතුවී ඡන්දය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය පවත්වන්නට වූහ.

"ෂික් අම්මප, මම නං හිතුවෙ නෑ පරදියි කියල, ඡන්ද හතරෙන් නෙ ගහල ගියෙ." එක වැඩිහිටියෙක් කීවේය.

"මොනව කරන්නද ඉතිං, වෙච්ච දේ උනා." සුමනදාස මහත්තයා පුටුවක වාඩිවී කම්මුලටත් අත තියාගෙන බලා සිටී.

තර්ක විතර්ක සියළු දේ අවසානයේ සුමනදාස මහත්තයා හෙමිහිට කටහඬ අවදි කළේය.

"කිව්වහම මොකද මමත් කතිරෙ ගැහුවෙ අලියට තමයි."

සුමනදාස මහත්තයගේ කතාව පිස්සන් කොටුවට බෝම්බ දැම්මාක් මෙන් විය.

"තොගෙ මෝ ගන්ඩ, මොකක්ද බූරුවෝ ඒ කරපු අලුගුත්තේරු වැඩේ?

"අනේ ඉතිං මට අතට කතිරෙ ගහන්න හිත හදාගන්න බැරිවුනානෙ. මං මොනව කරන්නද?"

"තොට මම කියන්නෙ නෑ වල් පරය, අපරාදෙ අපි මේකව දිනවන්න මහන්සි උනේ." 

"තමන්ටම විරුද්ධව ඡන්දෙ දාගන්නව අම්ම මුත්ත කාලෙකවත් අහල තියෙනවද? ඉතිං මූට මොනව කළත් හිත් වදීද?"

ආදී වශයෙන් පිරිස ඇල්බින් මුදලාලි ඉදිරිපිටම සුමනදාස මහත්තයගෙත් මව් දෙමව්පියන්ගෙත් පතුරු අරිද්දී ඇල්බින් මුදලාලි කතා කළේය.

"අනේ ඕකට බනින්න එපල්ලා බං, ඕකා ගොනා."

"මාමෙ මේ, උඹත් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද? ගොනා, අරං ගිහිං උඹේ කරත්තෙ බැඳගන්න එකයි තියෙන්නෙ."

හොයා බලද්දී සුමනදාස මහත්තයා ඇතුළු ගෙදර ඡන්ද පහ හයම වැටී තියෙන්නේ අලියාටය.  පිරිස සුමනදාස මහත්තයගේ මැරිච්ච අම්මා ඇතුළු සනුහරේටම පිං අනුමෝදන් කරමින් යන්නට ගියහ.

පහුගිය ජනාධිපති ඡන්දය වෙලේ පොහොට්ටුවේ කට්ටියක් එක්ක මාදුවාද අපේ ගේ ඉදිරිපිටින් ඇති පාරේ කැන්වසින් යනවා දුටුවෙමි.  මම එවෙලේ හිටියේ මිදුලේය.  මම මිදුලේ ඉන්නවා දැක මාදුවා ටිකකට නැවතුනේ මගෙත් එක්ක කතා කරන්නටය.  

"මොකෝ බං, අනික් පැත්ත ගහල කවදාවත් නැතුව?"

"මම මේ ගොල්ලොත් එක්ක කැන්වසින් යනවා. කන්න දෙනවා, බොන්නත් දෙනවනෙ. මාත් ජොලියෙ යනවා. නැතුව මම නං ඔවුන්ට ඡන්දෙ දෙයි." 

"උඹත් තාත්තගෙම පුතා තමයි." මම කිව්වෙමි.

"යන්නං." කියා මාදුවා අඩිය ඉක්මන් කර ගියේ පිරිසට එකතු වෙන්නටය.

මට දිගටම කුඹුරට යන්න බැරි උනත් මාදුවා කුඹුරේ වැඩ දිගටම කරගෙන ගියේය.  ට්‍රැක්ටරයක් දමා හාගන්න කියා මම කිව්වත් ඌ කීවේ වැස්ස ගමන් කුඹුර කොටවන බවය.  පළතුරු ළඟ තියෙනතුරු වැඩ කරන්න ඉන්න කට්ටියගේ අඩුවක් නැත.  සෑහෙන මුදලක් යටකර තිබුණ නිසා මාදුවාට ආපහු හැරෙන්න බැරි බව මම දැන සිටියෙමි.  ඊටත් වඩා වගාව ගැන මාදුවාගේ හිතේ උනන්දුවක් ඇතිකිරීම වඩා වැදගත් දෙයයි.  කෙසේ හෝ කුඹුර හොඳට මඩ කරගත් මාදුවා කුඹුර වපුරා වී ඉස්සේය.  මෑ ඇට පොඟවා ගෙනත් නියරවල් වල හිටෙව්වේය.  පහුගිය දවසක අපේ ගෙදර ඇවිත් කුඹුර පෙන්නන්නට මාව එක්කරගෙන ගියේය.  වී පැළවී ලස්සනට නිල්ල ගසා ඇත.  මෑ ඇට පැළවී ඇත.  මෑවැල් යන්නට කෝටු හිටවන්නට එන්නය කියා මම කිව්වත් මාදුවා තවම ආවේ නැත.  කුඹුරේ පැළ ගොයමේ පින්තුරයක් පෙන්නන්නට තිබුණා නම් හොඳ වුනත් ගිය වෙලාවේ පින්තුරයක් ගන්නට අමතක විය ෴

Thursday, January 30, 2020

ත්‍රිකෝණය - 4

ත්‍රිකෝණය -3

අගෝස්තු පාසල් නිවාඩුවේ එක් සති අන්තයක කුලියාපිටියේ දිලිනිලාගේ ගෙදර යන්නට දින නියම විය.  ගමන යන්නට සුදානම් වුණේ රංජිත්, අම්මා, තාත්තා හැරෙන්නට රංජිත්ගේ අක්කාත්,ලොකු මස්සිනා හෙවත් අක්කාගේ මහත්තයාත්ය.  අක්කලාගේ වාහනයෙන් ගමන යන්නට තීරණය කර තිබුණු අතර ගමන යන පිරිස ඔත්තේ ගණනක් වීම නිසා රංජිත්ගේ අම්මා කෙඳිරි ගාන්නට වුයේ මනමාලියන් බලන්නට යන පිරිස ඉරට්ටේ ගණනක් විය යුතු බව කියමිනි.  ඒ නිසාම ගමනට එකතු වෙන්නට කිසිම සුදානමකින් නොසිටි රංජිත්ගේ පොඩි නංගිවත් ගමනට එක්කර ගන්නට අන්තිමේදී තීරණය විය.

නියමිත දින උදෑසන කුලියාපිටියේ දිලිනිලාගේ නිවසට පැමිණි ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ පිරිස ජයතිස්ස මහත්තයා ප්‍රමුඛ මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් විසින් ආදරයෙන් පිළිගන්නට යෙදුණු අතර කල් වෙලා නොඉක්මවා, පිළියෙළ කර තිබු තේ මේසයට කැඳවාගෙන යන ලදී.  දහවල් කෑම මේසය සුදානම් වන තුරු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාටත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාටත් කතාකරන්නට පැරණි කතා  බොහෝ විය.  දිලිනි,නයනිත් එක්ක රංජිත්ගේ නංගිව අඬගහගෙන ගියේ වත්ත පහළින් ගලා ගිය ඔය පෙන්වන්නටයි.  රංජිත්ගේ අම්මාටත්, දිලිනිගේ අම්මාටත් කදේ වැටෙන්නට ඉඩදී රංජිත්, මස්සිනා සහ දිලිනිගේ මස්සිනා වූ කමල් සමග වත්තේ ඇවිදිමින් සිටියේය.

"රංජිත් අයිය එනකොට බෝතලයක් හමාරක් වාහනේ දාගෙන ආවෙ නැද්ද?" කමල් විහිළු කරන්නට විය.

"අරක්කු කොහෙ ගන්නද බං? අම්මයි තාත්තයි ඉද්දි, උඹේ ළඟ මොනාහරි තියෙනව නං ෂේප් එකේ ගහල දාමු!"  රංජිත් පිළිතුරු දුන්නේය.

"ඒ ගැන නං මොනව හරි කරගන්න පුළුවනි, එත් මේ වැඩෙයි දවසයි එක්ක වැරදිලාවත් ලොකු අයට අපි බිව්ව කියල ආරංචි වුනොත් හරි නෑ, ඒ හින්ද අදට වැඩේ අල්ලල දාමු."  කමල් දැනමුත්තෙකු ලෙස කියා සිටියේය.

තේ මේසය අවසන්වී කෑම මේසය සුදානම් වන තුරු තිබෙන පැය කීපය සාමාන්‍යයෙන් ගතවෙන්නේ මනමාලිගේ පැත්තේ ගම් බිම්වල දිග පළල වගේම  බල පුළුවන්කාරකම් ද දැනගන්නටයි.  ගමේ ගෑණු ටිකක් ඇවිත් කුස්සිය බාර අරගෙන කෑම සුදානම් කරන නිසා දිලිනිගේ අම්මාට ඒ ගැන කරදරයක් තිබුණේ නැත.  ඒ නිසා ඇයට රංජිත්ගේ අම්මාත් එක්ක ඕනෑ තරම් කතා කරන්නට කාලය තිබුණි.  රංජිත්ගේ අම්මාට තදින්ම උවමනාව තිබුණේ දීග යන දිලිනිට ගෙදරින් ලැබෙන දේවල් ගැන දැනගන්නට වුණත් ඒ ගැන කටක් හොල්ලන්නට එපාය කියා ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා මෙන්ම රංජිත්ද කළින්ම ඇයට අවවාද කර සිටි බැවින් දෑවැදි ගැන කතා නොකලත් ලැබෙන්නේ මොනවාදැයි වටින් ගොඩින් හෝ හෙළිකරගන්නට ඇය උත්සාහ  දරුවාය.

ඇගේ කුතුහලය වැඩි වෙලාවක් නොතිබුණේ කතා කරමින් ඉන්න ගමන්ම දිලිනිට ගෙදරින් ලැබෙන දේපළ ගැන දිලිනිගේ අම්මා ඇයට කිවූ නිසාය.

"ඉන්න ගේයි වත්තයි පොඩි දුවගෙ නමට ලියන්න හිතාගෙන ඉන්නෙ, කොහොමත් වයස යද්දී අපිව බලාගන්න ඉන්නෙ ඒ ළමයිනෙ.  ලොකු දුවට කුඹුරු අක්කර දෙකකුයි පරගස්වැව පොල් ඉඩමයි ලියනවා. ඔය තියෙන හැම දෙයක්ම ඔය දෙන්නටනේ!" දිලිනිගේ අම්මා කීවාය.  දිලිනි සතුව ඇති කණ කර ආභරණ වලට අමතරව ඇයට ගෙදරකට අවශ්‍ය සියළුම දේවල්ද ලැබෙන බව දිලිනිගේ අම්මා කීවේ රංජිත්ගේ මවගේ සිත සතුටින් පුරවාලමිනි.  කුලියාපිටියේ කටයුත්ත බොහොම හොඳ බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ මෙන්ම ගෙදර අනික් අයගෙත් ඒකමතික තීරණය විය.  ඔවුන් කුලියාපිටියේ සිට ආපසු ගෙදර ආවේ බොහෝ සතුටිනි.
                                                               ********
නිවාඩුවේ ඉතිරි දවස් කීපයද ගෙදර ගතකළ රංජිත් පාසල් ආරම්භයට දිනකට පෙර ආපසු ගල්ගමුවට ගියේය.  සුපුරුදු ගුරු නිවාසයට ආපසු පැමිණි රංජිත් බලන්නට බිසෝ එදා හවස ආවේ රෑ කෑමත් රැගෙනය.  කලකට පසු ආ රංජිත්ට කියන්නට බොහෝ දේවල් බිසෝ ලඟ තිබුණත් කලකින් නොලද බිසෝ ගේ රස පහසට ලොබ බැඳී රංජිත් බිසෝ තරයේ වැළඳගෙන ඇඳට රැගෙන ගියේ බිසෝට කතාකරන්නටවත් ඉඩ නොතබමිනි.

"තව කී කාලෙකටද?" බිසෝ කීවේ රංජිත්ගේ මුව සිය මුහුණින් ඉවත් කරමිනි.

"ඇයි?"

"ඇයි කියන්නෙ? නිවාඩු කාලෙ ඔක්කොම කටයුතු කතා බහ කරගත්තලු නේද?"

"ආ, ඔව් ඔව් අම්මල තාත්තල කිව්වෙ මේවා කල් දදා ඉඳල බැහැයි කියලා, නැතුව මම හදිස්සි කළේ නෑ!"

"කොච්චර ලෝබ හිතුණත් මහත්තයව මට අයිතිකර ගන්න බෑ කියල මම දන්නවා, ඒත් මහත්තය වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නත් මට බෑ!"

"ඕව ඔහොම තමයි බිසෝ, අපි කොච්චර කැමති වුනත් ආදරය කරන දේවල් අත් අරින්න වෙලාවකුත් එනවා, ඒකට සතුටින් මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා."

"ජීවිතේ පළවෙනි වතාවට මම මහත්තයටයි ආදරේ කළේ!"

"එතකොට විල්සන්?"

"විල්සන්ට ආදරේ කරන්න මට වෙලාවක් තිබුනෙ නැහැ, අම්මල තාත්තල කියපු නිසා එයත් එක්ක ගියා මිසක.  එදා ඉඳන් ජීවිතේ ගැට ගහගන්න දැඟලුවා මිසක ආදරේ වගේ සොඳුරු දේවලට හිතේ වෙලාවක් තිබ්බෙ නැහැ.  එත් මගෙ මිනිහ හැටියට විල්සන්ට මම ආදරෙයි.  මහත්තයටත් ඒ වගේම ආදරෙයි!"

"එක සැරේ දෙන්නෙක්ට එක වගේ ආදරේ කරන්න පුළුවනිද බිසෝ?"

"ඇයි බැරි? ඒත් ඒ දෙවිදියක ආදරයක්!"

"ම්ම්, බිසෝ කියන එකෙත් හිතන්න දෙයක් තියෙනවා!"

"තව ටික දවසකින් මහත්තයව මට නැතිවෙනව කියල හිතෙනකොට දුකකුයි කේන්තියකුයි එනවා, ඌයි හැපුව නේද?  මහත්තය නිවාඩුවට ගිහිං ටික දවසක් යනතුරු මගෙ ඇඟේ රතු පැල්ලම් මැකුණේ නෑ.  එතකොට මට මහත්තයව මතක් වුණා.  හොඳ වෙලාවට එළියට පේන තැන්වල පැල්ලම් නැතිවුණේ."

"මම බැන්දයින් පස්සෙ බිසෝට මගෙ ගැන වෛරයකුත් ඇති වෙයි නේද?"

"කොහොම වේවිද කියන්න බෑ, වැඩි ආදරේ එකක්ම වෛරෙකුත් එනවා මම හිතන්නෙ!"

"අඩු තරමින් වෛරක්කාරයෝ නොවී ඉන්නවත් බලමු!"

"මොකෝ හැති හලන්නෙ?ගෙදර ගිහිං කම්මැලිකමට නිකම්ම හිටිය නේද?"

"ගෙදරදි මොනවා කරන්නද? කුඹුරු කොටන්න කියලයැ?"

"ඔව් ඉතිං තිබ්බ කුඹුරු කෑල්ලත් මෙහෙ කොට!"  බිසෝ අතින් කට වසාගෙන සිනාසෙයි.

"බිසෝ හරි හරි දේවල් දන්නව නොවැ!"

"ඇයි බොරුද? මම කිව්වෙ මහත්තයගෙ බදු කුඹුර ගැන!"

"මෙදා යලේ මොනවා කරන්නද මන්දා, වතුරත් නැතුව?"

"අම්මෝ මහත්තය,හොඳටම කරුවල වැටිලා! මම යන්න ඕනෑ, විල්සන් ගෙදර ඇවිත්ද මන්දා?" බිසෝ කීවේ ඇඳුම් ටික ලංකර ගනිමිනි.
                                                                   ********

"රංජිත් මහත්තය අපේ ගෙවල් පැත්තෙ එන්නෙ එහෙම නැද්දැ"යි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා ඇසු විට නිවාඩුවට ගෙදර ගිහිං ආවාට පසු ඒ පැත්තෙවත් ගියේ නැති බව රංජිත්ට මතක්විය.

"එන්නං එන්නං, කොහෙද පහුගිය ටිකේම එක එක වැඩ යෙදුනනෙ!" රංජිත් පිළිතුරු දුන්නේ හැකි ඉක්මනින් ඒ පැත්තේ යන්නට හිතාගෙනය.  ඊට පසුවදා දහවල් ඉස්කෝලෙ ඇරී නාගෙන කෑම ගැනීමෙන් පසුව රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලගේ ගෙදර ගියේ දිලිනිට තෑග්ගක්ද රැගෙනය.

"අම්මෝ, රංජිත් මහත්තයව දැකපු කල්!" පියවතී හාමිනේ රන්ජිත්ව පිළිගත්තේ සිනාසෙමිනි.

"එච්චර කලක් ගියැයි? සුමාන දෙකක් ඇති ඕනනං!කෝ අපේ ඉස්කෝලෙ මහත්තය එහෙම නැද්ද?"

"එයා කඩේට ගිහිං එන්න ගියා,  බඩු ගේන්න ගියාට මොකද කඩේ ළඟ ඉන්න අයත් එක්ක කයියක් ගහල එහෙමනෙ එන්නෙ.වෙලාව යනවා එයාට තේරෙන්නෙ නෑ! ඉන්නකො මම දුවට කතා කරන්න!"  ඇය ගෙතුළට ගියේ රංජිත්ට බොන්නට යමක් ගෙන එන්නටය.

තවත් මොහොතකින් දිලිනි එළියට ආවේ ලැජ්ජාව මුසු සිනාවක් මුවග රඳවාගෙනය.  රංජිත් සහ අම්මා අතර කෙරුණු කතාබහ ඇය ගෙයි සිට අසා සිටියාය.

"මොකෝ දිලිනි මේ මුණත් රතුකරගෙන?  කුස්සියෙද හිටියේ?"  රංජිත් ඇසුවේ විහිළුවටය.

දිලිනි සිනාසුනා මිසක උත්තරයක් දෙන්නට ගියේ නැත.  ඇය රංජිත්ද අඬගහගෙන මිදුලේ මල් ගස යටට ගියාය.

"දැන් ඔයා මොකද කරන්නෙ ප්‍රතිපල එනතුරු?" රංජිත් ඇසුවේය.

"ගෙදර නිකං ඉන්නත් කම්මැලි නිසා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා මේ දවස්වල!"

"ඒකෙත් වරදක් නෑ, හැමදාම ක්ලාස්ද?"

"නෑ, සතියට දවස් තුනයි. සර් ඇයි හැමදාම එන්නෙ නැත්තෙ?"

"මොකද මට සර් කියන්නෙ? මේ ඉස්කෝලෙ නෙවෙයිනෙ?"

"නම කියල කතාකරල මට පුරුදු නෑ, ඒ දවස්වල අපි සර්ට හරි බයයි, ඇයි බනිනවනෙ! මටත් කොච්චර බැනල ඇද්ද?"

"එහෙම තමයි, නැතුව කොල්ලො කෙල්ලො ආම්බාන් කරන්න පුළුවනැයි?"

"සර් එන බව කලින් දන්නව නම් රෑට කෑම ලෑස්ති කරන්න තිබුණ කියල අම්ම කිව්වා!"

"අයියෝ, මොකට කරදර වෙනවද?මට කෑම තියෙනවනෙ."

"සර් කෑම කන්නෙ විල්සන් ලගෙ ගෙදරින්ලු නේද?"

"ඔව් මම ආපු දවසෙ ඉඳල කෑවෙ එහෙං."

"කෑම රසට තියෙනවද?"

"වරදක් නෑ, මහ ලොකු ජාති නැතත් කන්න පුළුවන් විදියට තියෙනවා."

"ඉතිං දැන් මොකටද එහෙන් කන්නෙ? අපේ ගෙදර ඇවිත් කෑම කාල යන්න පුළුවන්නෙ?"

"මොකට කරදර වෙනවද? මම ඔය වෙනද විදියටම කන්නං!"

"ඒක නෙවෙයි සර් වැඩක් දන්නවද?"

"ම්හ්හ්."

"අපේ වැඩේ ඉක්මන් කරන්න ඕනයි කියල තාත්ත පෙරේද අම්මට කියනව මම අහගෙන හිටිය!"

"ඉතිං දිලිනි එහෙම කැමතිද?"

"මගෙ කැමැත්ත අකමැත්ත ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනෙ, කාරණා කටයුතු ඔක්කොම සම්පූර්ණ නං තවත් කල්දාන්නෙ ඇයි කියලයි තාත්ත කිව්වෙ. ඇත්තනෙ ඉතිං, අද කෙරුණත් හෙට කෙරුණත් එකට ජීවත්වෙන්න යන්නෙ අපි දෙන්නනෙ.මට නම් කවද කෙරුණත් එකයි!"

"ජයතිස්ස මහත්තය මට කියයි එහෙනං,මම කියන්නම්කො මගෙත් විරුද්ධයක් නෑ කියල."

දිලිනිගේ මුව එළිය විය.  ඇය රංජිත්ගේ අතින් අල්ලාගෙන ඇඟේ වෙලුනේ ආදරයෙනි.  දිලිනිගේ මුදු පහස හමුවේ සිය ගත උණුසුම් වනු රංජිත්ට දැනුණි.  යෞවනියෙකුගේ පහස කෙතරම් සිත් ඇදගන්නා සුළු දැයි රංජිත්ට සිතුණි.  ඔහු දිලිනිව අල්ලා තුරුළු කරගත්තේය.  සතර වටින් අඳුර ගලද්දී දිලිනි වැලක් මෙන් රංජිත්ගේ ගතේ වෙලුනේ ආදරයෙනි.  රංජිත් දිලිනිව සිප ගත්තේ ප්‍රථම වතාවටය.  ආදරයෙන් මුසපත්වූ දිලිනි රංජිත්ට නොමඳව ප්‍රතිචාර දක්වන්නට වුවාය. 

"අපි ගෙට යමු! අම්මලත් බලාගෙන ඇති." දිලිනි සිය කොණ්ඩය අතින් සකසා ගත්තාය.

දෙදෙනා ගේ පැත්තට පිය මැන්නේ දෑත් පටලවාගනිමිනි.  ගෙට එන යුවල දෙස පියවතී හාමිනේ බලාසිටියේ දැඩි ආදරයකිනි෴