Wednesday, May 27, 2020

මාදුවාගේ කුඹුරු අස්වැද්දිල්ල, පොඩි මාදුවා දුටු හොල්මන, සුමනදාස මහත්තයගේ ඡන්දය සහ කොරෝනා කතා.

අපි මාදුවලෑ කුඹුර අස්සද්දන්නට කතා කර ගත්තේ කොරෝනා වසංගතය පැතිරෙන්නට හිතලවත් නැති කාලයක හෙවත් ජනවාරි මාසේ මුල වගේය.  ඔය අදහස මගෙ හිතේ තිබුණේ කාලයක සිට වුණත් අදහස මාදුවාට කියන්නට තැනක් වේලාවක් හරියටම සෙට් වුණේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී ගමේ පොඩි මඟුලකදී අපි කට්ටියටම එකට එකතුවී කතා කරන්නට ඉඩ ප්‍රස්තාව සැලසුණි.  මදු විතකින් ගත සිත ප්‍රබෝධමත් වී සිටියදී මම මාදුවාට පැත්තකට කතා කර අදහස කිව්වෙමි.  මාදුවා එයට එක්වරම කැමැත්ත පළකළේය.  එවිටම එතනට පැමිණි ගමේ කෘෂි නිලධාරියාද කතාවට සම්බන්ධවී වැඩේ බොහොම ඉහළයි කියා ඔහුගේ පැත්තෙන් කළහැකි හැම උපකාරයක්ම කරන බවද කීවේය.  වෙල්යායේ මාදුවලාගේ කුඹුර ලඟට එනතුරු ඒ වනවිට කුඹුරු වැඩකර තිබුණ අතර මගේ කුඹුර තියෙන්නේ මාදුවලාගේ කුඹුරට තවත් එකකට පහළින්ය.  මේ වන විට ගණ සැරේට කැලේ වැවී ඇති වෙල්යායේ ඒ කොටසේ වැඩ පටන් ගන්නවා නම් මාදුවලාගේ කුඹුරට නොබැස පහළ ඒවා සුද්ද කරන්නට බැරිය.  මාදුවලාගේ කුඹුරෙන් වැඩ අල්ලන්නට අපි කල්පනා කළේ ඒ නිසාය.

ඉස්සෙල්ලාම කරන්නට තිබුණේ වෙල්යායේ නිරීක්ෂණ චාරිකාවක යෙදී වැඩ පටන්ගත යුතු ආකාරය ගැන යම් කිසි වැටහීමක් ඇතිකර ගැනීමය.  අපේ ගෙවල් ලඟින් යන හැම විටෙකම එන්නං එන්නං කියා කීවත් සති කීපයක් යනතුරුම මාදුවා වෙල බලන්නට ආවේ නැත.  ඔන්න ඔහොම තියෙද්දී එක දවසක හවස් වරුවේ අපේ ගෙදරට ආ මාදුවා කුඹුර බලන්නට යමු කීවේය.  අපි දෙන්නා වෙල්යායට ගිහින් බැලූවිට අඩියක් තියන්නටවත් බැරි තරමට ගණ සැරේට කුඹුරු කැලෑ වැහිලාය.  උගේ තණකොළ කපන මැෂිමෙන් දවස් කීපයකදී කුඹුර කැලෑ එලිකරගන්නට හැකි යැයි මාදුවා කියපු අතර හෙට සිට වැඩ පටන්ගමුය කියා කතා කර ගත්තෙමු.  ඒ වුණාට පහුවදා මාදුවා දකින්නටවත් හිටියේ නැත.  උඹට එපා නම් මට මොකද කියා මමත් සද්ද නැතුව සිටියෙමි.  තවත් සතියකට පමණ පසු දවසක මහ හැන්දෑවේ තණකොළ කපන මැෂිමත් කරතබාගෙන ආ මාදුවා මගෙත් එක්ක කුඹුරට ගිහිං වැඩ පටන් ගත්තේය.  එදා එහෙම කැපුවාට උගේ පැමිණීමේ කිසිම පිළිවෙලක් තිබුණේ නැත.  වැඩ කරන්නට එන්නේ ඉර බහින වෙලාවටය.  හැමදාම වගේ පහුවදා උදෙන්ම වැඩ පටන් ගනිමුයි කියා කතාකර ගත්තත් එහෙම සිදුවෙන්නේ නැත.

වැඩේ තියෙන්නෙ මාදුවාට වැඩ වැඩිකමය.  උගේ ප්‍රධාන ආදායම් මාර්ගය ත්‍රී වීල් එකක් හයර් දිවීමය.  ඊට අමතරව මැසිමකින් තණකොළද කපයි.  ඊටත් පස්සෙ මාදුවා පළතුරු වෙළඳාමක් පටන් ගත්විට කලින් කීව දෙකටම වඩා නැගලා ගියේ පළතුරු බිස්නස් එකය.  ඉතිං කුඹුර කැපීම සිද්ද උනේ අවාරෙට අඹ වැටෙන්නා සේය.  කොරෝනා වසංගතය ආවේ ඔන්න ඔය කම්මැලි විදියට වැඩ කරගෙන යද්දීය.  මාදුවාගේ ත්‍රී වීල් හයර් දිවීමද තණකොළ කැපීමද එක් වරම නතර වූ අතර පළතුරු ව්‍යාපාරය මහ ඉහළින් නැගලා යන්නට වූවා සේම වෙලේ වැඩ කරන්නට මාදුවාට ඇති තරම් කාලයද ලැබිණි.  එදා සිට හැමදාම උදේට මාදුවා පළතුරුත් සයිකලයේ පටවාගෙන තණකොළ කපන මැසිමද වතුර බෝතල්ද බුලත්විටද ආදියෙන් සන්නද්ධව කුඹුරට පැමිණෙයි.  ටික වෙලාවක් වැඩ කරන විට මාදුවාගේ පළතුරු පාරිභෝගිකයින් එකා දෙන්නා මාදුවා හොයාගෙන කුඹුරට එන්නට පටන් ගනී.  මාදුවා තණකොළ කැපීම නවතා පාරිභෝගිකයන්ට සේවය සලසන්නට පටන් ගනී.  සමහර පාරිභෝගිකයින් පළතුරු රැගෙන යන අතර සමහරු නියරේ ඉඳගෙනම අහල පහළ ගස්වල ඇති වෙරළුද කොට්ටං ද හපමින් පළතුරු පාවිච්චි කරති.  මාදුවාගේ මොබයිලය මගේ අතට දී තිබුණේ තණකොළ කපනවිට පෝන් එකේ සද්දය ඇහෙන්නෙ නැති නිසා කෝල් වලට උත්තර දෙන්නටය.  පෝන් එකටද නිවනක් නැතුව පාරිභෝගිකයන්ගේ කෝල් එයි.  මම හැම ඇමතුමකටම උත්තර දෙන්නේ මාදුවාගේ උපදෙස් අනුවය.

කොරෝනා වසංගතය හේතුවෙන් කොච්චර වැඩ තිබුණත් පොලීසිය මත් ද්‍රව්‍ය ඇල්ලීමට කඩා පනින එක නතර කර තිබුණේ නැත.  මාදුවාගේ ව්‍යාපාරය අල්ලන්නටද පොලිසියෙන් ඇවිත් හොයන බවට කටකතා කීපයක්ම පැතිරී තිබුණත් පැන්නේ නම් නැත.  ඒ වුණාට ආපු ආරංචි වලින් බොහෝ කලබලයට පත්වූ හැලපී වහාම ක්‍රියාත්මක වන පරිදි කුඹුරට යෑම මට තහනම් කළාය.

"ඇඳිරි නීතිය කඩල පොලිසියට අල්ලගෙන යන එක වෙනම කතාවක්. ඒ උනාට වෙලේ ඉඳල මාදුවත් එක්ක බෙල්ලෙන් අල්ලගෙන පොලිසියට අරන් ගියොත් විලි ලැජ්ජාව. ඔය කුඹුරු අස්වැද්දිල්ලෙන් කාරියක් නෑ.  ඔයා ගෙදර ඉන්න!" හැලපි තදින්ම අවවාද කළාය.

"මම නොගියොත් ඕකා ඔය කුඹුරු කිරිල්ල අත් අරිනවා.  මගේ වදේටනේ පටන් ගත්තෙ.  මෙච්චර කරල අත ඇරල දැම්මොත් අපරාදෙනෙ.  ඔහෙ එන ඇති පොලිසියක් නෑ. ඔයා බය නැතුව ඉන්න!"  මම ෂේප් එකට කතා කළෙමි.

"ඕනෑ එකක් කරගන්න එකයි ඇත්තෙ.  ඔයාල ඉතිං පණ්ඩිතයොනෙ. කියන දෙයක් කණකට ගන්නෙ නෑ.  මොනව හරි උනොත් ඔන්න මම ආයෙ කියන්නෙ නෑ."

හැලපි බැන්නාට මම කුඹුරට යාම අත්හැරියේ නැත.  එතන වෙනම විනෝදයකි.  ඒ දවස්වල තිබුණු දැඩි පෑවිල්ල නිසා වැඩ කරන්නට ලේසිය.  කුඹුරු යායට තද සුළඟක් ද හමයි.  කලින් දවසේ මාදුවා කපා වේලී තිබුණු තණකොළ ගොඩවල් ගසා ගිණි තැබීමද ගස්වල අතු කැපීමද ආදිය කරන විට මහන්සියක් නොව ඇතිවෙන්නේ සතුටකි.  අපි කුඹුරට බැස්ස විට එතෙක් පාළුවී තිබූ කුඹුරේ සරුවට වැවී තිබුණු කංකුන්, මුකුණුවැන්න, ගිරාපලා ආදිය කඩන්නට ගමේ ගෑණුන්ද, ළමයින්ද කුඹුරට එන්නට පටන් ගත්ත නිසා කම්මැලිකමක් ඇත්තේම නැත.  රොඩු ගොඩවල් ඇද මහන්සි වූ විට නියරට ගොඩවී ලැවරියාවක්, වඩේ එකක් කා තේ කහට ටිකක් බී විටක් හැපීමද කාලෙකින් නොලද ආස්වාදයකි.  වැඩේ දිගටම යද්දී මාදුවාගේ ව්‍යාපාරයද එයට සමගාමීව ජයටම ක්‍රියාත්මක විය.  පළතුරු ගන්නට අතේ මිළ මුදල් නොමැති වූ කීප දෙනෙක්ද ඇවිත් කුඹුරේ වැඩකර එයට හිලව්වට පළතුරු බීම ටිකක් ඉල්ලා සිටිති.  උන් එදිනෙදා කුලියක් මලියක් කර දවසේ වියදමට කීයක් හරි සොයාගන්නා උදවියය.  දැන් ඒ අයගේ අදායම් මාර්ගද එහෙම පිටින්ම ඇහිරී ඇත.  නැති එකාට උදව් කිරීම පිංකමකි.  අපේ කුඹුරු අස්වැද්දීමේ ව්‍යාපෘතිය නිසා දවසේ ගතමනාව සොයාගන්නට බැරිව ඉන්න අය කීප දෙනෙකුට හෝ උදව් කරන්නට ලැබීම එහි අමතර ඵලයකි.

කුඹුරේද කුඹුරට ගොඩ පාළු වත්තේද රැඳී ඉන්න අයගේ අඩුවක් නැත.  සමහරු පාළු වත්තේ ගස්වල පොල් කඩා ගෙදරටම ගෙනිහින් දමති.  සමහරු නියරේ පාළු කුඹුරේ කෙටල ගාල් එක්ක කාලයක් තිස්සේ හරි හරියට වැවී තිබූ කොහිල පඳුරු වල දළු කඩති.  දැවැන්ත කොහිල අල ගලවා සුද්ද කරති.  කොරෝනා වසංගතය හැමෝටම කලකින් පසු දිග විවේකයක් ලබා දීලාය.  අපි වගේ සොක්කන්ට පමණක් නොව බොහෝ වැඩ කටයුතු ඇති අවිවේකී තදයන්ට පවා කොරෝනා වසංගතය තමන්ගේ අවිවේකී කම ගැන නිවී හැනහිල්ලේ හිතන්නට ඉඩ ලබා දුනි.  පාරේ ට්‍රැෆික් එකේ විනාඩියක් දෙකක් නවත්වා ගෙන ඉන්නට බැරුව නලා සද්ද කරන, විනාඩියක් දෙකක් යාලුවෙක් එක්ක කතා කරන්නට බැරි තරමට වැඩ කටයුතු ඇති, යාලුවෙක්ගේ ඇමතුමක එක විනාඩියක් හමාරක් රඳවා ගන්නට බැරි තරමට ඉස්පාසුවක් නැති සෑම සියළු දෙනාම ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර වයිරසයක් ඉදිරියේ චකබ්ලාස් වී ගොසින්ය.  මම පෙබරවාරි මාසයේ මගේ යාලුවෙක්ට දුරකථන ඇමතුමක් දුන්නෙමි.  යාලුවෙක් කීවාට යාලුවාව කවදාවත් දැක නොමැති සේම කතා කර තිබුණේද නැත.  ඉතින් බොහොම අමාරුවෙන් අංකයද ලබාගෙන කතා කළේ කිසිම වැඩකට නොව කතා කරන්නට තිබු ආසාවටය.  අපි විනාඩියක් වත් කතා කරන්නට ලැබුණේ නැත.  යාළුවාට හදිස්සියක් ඇතිවිය.

"මචං, මම උඹට තව ටිකකින් ගන්නම්!" ය කිවූ ඔහු ඇමතුම විසන්දි කළේය. 

මේ වනවිට මැයි මාසයත් ඉවර වෙන්නට ළඟ වුනත් තව ටිකකින් දෙන ඇමතුම තවම ලැබුණේ නැත.  ඉතින් මනුස්සයන්ට තිබුණු හදිස්සිය ඔය වගේය.  ඉස්පාසුවක් නැතිකම තරඟයට දිවීම වැනි දේවල් කිසිම වැඩකට නැති පුහු ඒවා බවට අප සියළු දෙනාටම පසක් කළේ මේ කොරෝනා වසංගතයයි.

ආයෙම අපේ කතාවට ආවොත් මාදුවා පොඩි කාලේ සිටම ඇම්ඩෙකි.  මාදුවාගේ සීයාට ගමේ පොඩි තේ කඩයක් තිබුණි.  අපි කොල්ලො කාලේ රස්තියාදු ගැහුවේ ඔන්න ඔය කියන ඇල්බින් මුදලාලිගේ තේ කඩයේය.  අපි කඩේ කයියක් ගහගෙන ඉන්නවිට පොඩි මාදුවා පොල් ගෙඩියක් උස්සාගෙන කඩේට එයි.

"සීයෙ, මේ පොල් ගෙඩිය අරං පාන් කාලක් දෙන්න!" යි කියා පාන් අරගෙන යයි.

තව ටිකකින් තවත් පොල් ගෙඩියකි. 

"යකෝ, මූට පැය දොළහට පාන් කාල් දොළහක් කන්න එපැයි! "කියන ඇල්බින් මුදලාලි පොල් ගෙඩිය පොල් ගොඩට විසිකරයි.

සීයා නොදන්න මාදුවා පමණක් දන්නා රහස වුණේ පළවෙනි පොල් ගෙඩිය ඇරෙන්නට ඉතුරු පොල් සියල්ලම මූ ගල් කරන්නේ සීයාගේ පොල් ගොඩෙන් බවය.  අවුරුදු ගෙවී ගොස් දෙමව්පියන් විසින් චූටි මාදුවාව ගමේ ඉස්කෝලේ හෝඩියේ පන්තියට ඇතුළත් කරන ලදී.  දවසක් උදේ ඉස්කෝලෙ යන්නට සුදානම් වෙන චූටි මාදුවාට උගේ තාත්තා වන සුමනදාස මහත්තයා වැදගත් උපදේශයක් දුන්නේය.

"කොල්ලො, උඹ එහෙම දවල්ට ඔය මිනී කනත්ත පැත්තෙ යන්න එපා!"  ගමේ මිනී පිට්ටනියද තිබුණේ ඉස්කෝලෙට පේන දුරින්ය.

"ඒ මොකද? චූටි මාදුවා ඇසුවේය.

"ඒ මොකද කියන්නෙ? කනත්තෙ හොල්මන් තියෙනවා. උඹ ඕවා දන්නෙ නෑනෙ. ඒකයි කිව්වෙ. වැරදිලාවත් ඒ පැත්තෙ යන්න එහෙම එපා!"  සුමනදාස මහත්තයා කීවේ ඇස් දෙකත් ලොකු කරගෙනය.

එදා ඉස්කෝලෙ ගිය මාදුවා ඉස්කෝලෙ ඇරුන ගමන් කනත්තට ගියේ තාත්තා කියූ හොල්මන් බලන්නටය.  පැය කාලක් විතර සොහොන් ගලක් උඩ ඉඳගෙන බලා හිටියත් දඩාවතේ යන බල්ලෙක් දෙන්නෙක් ඇරෙන්නට හිටපු හොල්මනක් නැත.  දැන් මාදුවාට කේන්තිය.  ඊටත් වඩා බඩගිනිය.  පරණ මිනී වලක් උඩ තිබුණු මල් ගැලවී ඇටසැකිලි වී ගිය මල් වඩමක් ද ගත් මාදුවා තරහෙන්ම ගෙදර ගියේය.  පාරෙන් හැරී ගෙට ළඟාවන විටම ඉස්සරහට එන්නේ තාත්තාය.  මාදුවාට මල පැන්නේය.

"කෝ යකෝ කියපු හොල්මන්? මම කනත්තෙ කොච්චර වෙලා බලං හිටියද?  තෝ නං කොකෙක්ම තමයි."මල හොඳ එකෙන්ම පැන තිබු මාදුවා තාත්තාට ගෝලු ගත්තේය. (සුමනදාස මහත්තයාට ගමේ අය පටබැඳ තිබු හුරතල් නම කොකාය)

"අපූරු කම්බි ටික බොළ, මේක හොඳයි මගෙ බුලත් වැල්වල පන්දලම බඳින්න." කියූ සුමනදාස මහත්තයා රැඹිටිවී තිබුණ මල් වඩමද උස්සාගෙන වත්ත පහළට ගියේය.

මාදුවාගේ තාත්තා ගැන මතක් කරපු වෙලාවේ ඔහු ගැන තව කතාවක්ද මගේ මතකයට එයි.  මේ සිද්දිය සිද්ද වී තිබුණේ අපි ඉපදෙන්නටත් පෙර කාලයකය.  මට කතාව කිව්වේද එකල වැඩිහිටියෙකි.  කතාව මෙහෙමය.  මාදුවාගේ තාත්තලා ගමේ වතු පිටි කුඹුරු ඉඩකඩම් බොහොමයක් තිබුණු ගමේ යමක් කමක් ඇති පවුලකි.  රස්සාවක් නොකළාට සුමනදාස මහත්තයා හොඳට ඉගෙනගත් කෙනෙකි.  ඉංග්‍රීසි උගතෙකි.  ගමේ කලිසම් ඇඳපු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙකි.  ඒ කාලයේ කලිසමක් ඇන්දේ ඉංග්‍රීසි උගතෙකි.  ඉතින් ඔහොම යද්දී ගම්සභා ඡන්දයද ළඟ ළඟ එන ලකුණු පහළවිය.  ගමේ වැඩිහිටියන් සියළු දෙනාම තීරණය කළේ දැන උගත් පුද්ගලයෙක් වූ සුමනදාස මහත්තයා ගමෙන් ඡන්දෙට ඉදිරිපත් කරන්නටය.  පුරප්පාඩුව තිබුණේ අත ලකුණෙනි.  අලියා ලකුණෙන් ගමේ එහා කෑල්ලේ කෙනෙක් දැනටම තරඟයට ඉදිරිපත්වී සිටියේය.  පොඩි අවුලකට තිබුණේ සුමනදාස මහත්තයා මෙන්ම පවුලේ සියලු දෙනාම කැපුවත් කොළ ජාතියේ යු.ඇන්. පී කාරයින් වීමය.  ගමේ ඔක්කොම පාහේ අතට ඡන්දය දෙන නිසා ඒ පොඩි අඩුපාඩුව ගණන් නොගෙන අපක්ෂකයා වශයෙන් සුමනදාස මහත්තයා ඉදිරිපත් කළේ ගමේ සියළු දෙනාගේ ආශීර්වාදයද ඇතුවය.

ගමේ අපේක්ෂකයා වූ සුමනදාස මහත්තයා වෙනුවෙන් ගමේ වැඩිහිටියන් බොහොම මහන්සියෙන් ගෙයක් ගෙයක් පාසා කැන්වසින් ගොස් ඡන්ද ව්‍යාපාරයද ජයටම කළෝය.  ඡන්දය දවසේ හවස ඡන්ද මධ්‍යස්ථානයේම ප්‍රතිපල ගණන් කොට කියන විට ඡන්ද හතරකින්ද කොහෙද සුමනදාස මහත්තයා පරාදය.  සුමනදාස මහත්තයා වෙනුවෙන් දාඩිය මහන්සියෙන් වැඩ කළ වැඩිහිටියන්ට ඒ ප්‍රතිපලය අදහන්නටත් අමාරු වුනත් දැන් කරන්නට දෙයක් නැත.  කට්ටියම ගමට ගොස් ඇල්බින් මුදලාලිගේ කඩයේ එකතුවී ඡන්දය පිළිබඳ පශ්චාත් පරීක්ෂණය පවත්වන්නට වූහ.

"ෂික් අම්මප, මම නං හිතුවෙ නෑ පරදියි කියල, ඡන්ද හතරෙන් නෙ ගහල ගියෙ." එක වැඩිහිටියෙක් කීවේය.

"මොනව කරන්නද ඉතිං, වෙච්ච දේ උනා." සුමනදාස මහත්තයා පුටුවක වාඩිවී කම්මුලටත් අත තියාගෙන බලා සිටී.

තර්ක විතර්ක සියළු දේ අවසානයේ සුමනදාස මහත්තයා හෙමිහිට කටහඬ අවදි කළේය.

"කිව්වහම මොකද මමත් කතිරෙ ගැහුවෙ අලියට තමයි."

සුමනදාස මහත්තයගේ කතාව පිස්සන් කොටුවට බෝම්බ දැම්මාක් මෙන් විය.

"තොගෙ මෝ ගන්ඩ, මොකක්ද බූරුවෝ ඒ කරපු අලුගුත්තේරු වැඩේ?

"අනේ ඉතිං මට අතට කතිරෙ ගහන්න හිත හදාගන්න බැරිවුනානෙ. මං මොනව කරන්නද?"

"තොට මම කියන්නෙ නෑ වල් පරය, අපරාදෙ අපි මේකව දිනවන්න මහන්සි උනේ." 

"තමන්ටම විරුද්ධව ඡන්දෙ දාගන්නව අම්ම මුත්ත කාලෙකවත් අහල තියෙනවද? ඉතිං මූට මොනව කළත් හිත් වදීද?"

ආදී වශයෙන් පිරිස ඇල්බින් මුදලාලි ඉදිරිපිටම සුමනදාස මහත්තයගෙත් මව් දෙමව්පියන්ගෙත් පතුරු අරිද්දී ඇල්බින් මුදලාලි කතා කළේය.

"අනේ ඕකට බනින්න එපල්ලා බං, ඕකා ගොනා."

"මාමෙ මේ, උඹත් හොඳවයින් දෙකක් අහගන්නෙ නැතුව ඉන්නවද? ගොනා, අරං ගිහිං උඹේ කරත්තෙ බැඳගන්න එකයි තියෙන්නෙ."

හොයා බලද්දී සුමනදාස මහත්තයා ඇතුළු ගෙදර ඡන්ද පහ හයම වැටී තියෙන්නේ අලියාටය.  පිරිස සුමනදාස මහත්තයගේ මැරිච්ච අම්මා ඇතුළු සනුහරේටම පිං අනුමෝදන් කරමින් යන්නට ගියහ.

පහුගිය ජනාධිපති ඡන්දය වෙලේ පොහොට්ටුවේ කට්ටියක් එක්ක මාදුවාද අපේ ගේ ඉදිරිපිටින් ඇති පාරේ කැන්වසින් යනවා දුටුවෙමි.  මම එවෙලේ හිටියේ මිදුලේය.  මම මිදුලේ ඉන්නවා දැක මාදුවා ටිකකට නැවතුනේ මගෙත් එක්ක කතා කරන්නටය.  

"මොකෝ බං, අනික් පැත්ත ගහල කවදාවත් නැතුව?"

"මම මේ ගොල්ලොත් එක්ක කැන්වසින් යනවා. කන්න දෙනවා, බොන්නත් දෙනවනෙ. මාත් ජොලියෙ යනවා. නැතුව මම නං ඔවුන්ට ඡන්දෙ දෙයි." 

"උඹත් තාත්තගෙම පුතා තමයි." මම කිව්වෙමි.

"යන්නං." කියා මාදුවා අඩිය ඉක්මන් කර ගියේ පිරිසට එකතු වෙන්නටය.

මට දිගටම කුඹුරට යන්න බැරි උනත් මාදුවා කුඹුරේ වැඩ දිගටම කරගෙන ගියේය.  ට්‍රැක්ටරයක් දමා හාගන්න කියා මම කිව්වත් ඌ කීවේ වැස්ස ගමන් කුඹුර කොටවන බවය.  පළතුරු ළඟ තියෙනතුරු වැඩ කරන්න ඉන්න කට්ටියගේ අඩුවක් නැත.  සෑහෙන මුදලක් යටකර තිබුණ නිසා මාදුවාට ආපහු හැරෙන්න බැරි බව මම දැන සිටියෙමි.  ඊටත් වඩා වගාව ගැන මාදුවාගේ හිතේ උනන්දුවක් ඇතිකිරීම වඩා වැදගත් දෙයයි.  කෙසේ හෝ කුඹුර හොඳට මඩ කරගත් මාදුවා කුඹුර වපුරා වී ඉස්සේය.  මෑ ඇට පොඟවා ගෙනත් නියරවල් වල හිටෙව්වේය.  පහුගිය දවසක අපේ ගෙදර ඇවිත් කුඹුර පෙන්නන්නට මාව එක්කරගෙන ගියේය.  වී පැළවී ලස්සනට නිල්ල ගසා ඇත.  මෑ ඇට පැළවී ඇත.  මෑවැල් යන්නට කෝටු හිටවන්නට එන්නය කියා මම කිව්වත් මාදුවා තවම ආවේ නැත.  කුඹුරේ පැළ ගොයමේ පින්තුරයක් පෙන්නන්නට තිබුණා නම් හොඳ වුනත් ගිය වෙලාවේ පින්තුරයක් ගන්නට අමතක විය ෴

48 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකද කුමාර කොමෙන්ට් දාලා අයින් කරන්නේ. එඩිට් කරා නම් ඉවරනි.

      Delete
  2. කලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ 😄.අනේ පිං සිද්ද වෙනවා අපි වගේ අයව මතක් වෙලා මොනව හරි කොටනවට.පලතුරු බීම තියෙනවා නම් උදව් කරන්න ඕන තරං කට්ටිය එයි. හැබැයි සංග්‍රහ කරන්න ඕන වැඩේ ඉවර වෙලා.ඔය තණකොළ කපන්නේ මාදුවද? ජන්දේ දුන්න හැටි ගැන පුදුම වෙන්න දේකුත් නෑ.ඔය ජාතියේ අය නිසා තමයි ලංකාව වල පල්ලට යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න කුමාරලා නිතරම කියන නිසා එකක් ලිව්වා.ආයෙම ලියන්නංකො.

      Delete
  3. හලෝ හැලපෙ,

    ගොඩක් දවසකින් දැක්කේ.ඉතිං හැලපෙ මොකද කරන්නේ මේ දවස් වල. අපිට නං ඔපිස්‌ එකෙන් ගෙදර ඉදං වැඩ කරන්න කියලනි තියෙන්නේ දැන් මාස දෙකක් තිස්සේ. ඒ උනාට ගෙදර ඉදං කරන්න තරං වැඩක් නං නෑ හැලපෙ. මම ලොක්කට කෝල් එකකුත් අරං බැලුවා. එතකොට අපේ ලොක්කාත් දන්නේ නෑ මොකද කරන්නේ කියලා, අනික් ඊළගට ඉන්නත් ලොක්කාත් මොනාද කරන්න ඕනි කියලා දන්නේ නැල්ලු.

    ඉතිං හැලපෙ පහුගිය දවස් වල එක පාරම බාර් වැහුවනි. මටත් බෝතල් තුනයි ගන්න පුළුවන් උනේ. ඒ ටික ඉවර උනාම පස්සේ මොකවත් නෑ. ගොලිප් එකත් රුපියල් 120 ට අරං බිව්වා. දැන් නං ඊයේ පෙරේදා ඉදං බාර් ඇරලානි. මම ඉතිං කූල් බියර් දෙකක් අරං ආවා. දැන් මේ ඒක බිලා බත් ඩිංගක් කළා ගොලිප් එකක් බිලා නිදා ගන්නවා.


    ඔන්න මම පොටෝ එකකුත් ගත්තා හැලපට බලන්න.

    ReplyDelete
    Replies
    1. හැලපයියා සුමනදාස මහත්තයා ගේ පවුලේ සෙට් එක මරු නේ හලෝ.කුඹුරේ ෆොටෝ එකකුත් දාන්න තියේ නම් නියමයි.දැන් කොහොමත් ඉතින් වවාගෙන කන්න නේ ආණ්ඩුව දිරි දෙන්නේ.ඉරාගෙන වවන්න තමයි දැන් තියෙන්නේ.

      Delete
    2. ගොලිප් ඇනෝ ගොඩාක් කාලෙකින්

      Delete
    3. ඇනෝ දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ. දැන් කොරෝනා වලට වහපු බාර් එහෙම ඇරල හින්ද අවුලක් නැතුව ඇති.

      Delete
  4. අප්පේ... ඔන්න යන්තම් කොරෝන නිසා මේකත් පණ ගහලා වගේ...

    ReplyDelete
    Replies
    1. කොරෝනා හින්දමයි ලියාගත්තෙ.

      Delete
  5. යකො හැලපයිය ඉන්නව නේද මැරිල කියල හිතන් උන්නෙ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඉන්නව බං ඉන්නවා.

      Delete
  6. පළතුරු බිස්නස් එක ++++++

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නැගල ගියෙ ඉයන්.

      Delete
  7. මුස්ලිම් මිනිසුන්ගේ දේහය ඔවුන්ගේ ආගමික චාරිත්‍ර වලට අනුව භූමදානය කිරීමට ඉඩ නොදුන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන තිතටම සැලකිලිමත් වූ නිසාය.

    වැඩේට අපද එකග වුනි...

    ආගමික සහ සංස්කෘතික විශ්වාසයන් වලට ඉහලින් මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කල යුතුය.

    ♦ සිංහල අළුත් අවුරුද්ද සමරන්නට ජනතාවට රැස් වීමට ඉඩ නොදුන්නේ නිරෝධායන පනතේ වගන්ති අකුරක් නෑර ක්‍රියාත්මක කිරීමට රජයට සහ සෞඛ්‍ය අංශ වලට උවමනා වූ නිසාවෙනි.

    වැඩේට අපද සහය දුනි.

    වසර දහස් ගණනක් තිස්සේ සමරන සංස්කෘතික උලෙලක් උවද මේ මොහොතේ ඊට වඩා මහජන ආරක්ෂාව ඉහලින් තැබිය යුතුය.

    ♦ සම්බුදු තෙමගුල සැමරීම සදහා කිසිදු මිනිසෙක් පන්සලකට රැස් වූයේ නැත . දන්සල් දුන්නේ නැත.
    ඒ සදහා රජය තහංචි පැනවූයේ බුදුන් දෙසූ ධර්මයටම අනුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු හෙයින් මේ මොහොතේදී පවතින ජාතික ආපදාව ගැන සැලකිලිමත් වීමෙනි.

    එයටද අප එක සිතින්ම එකග විය.

    බුද්ධ ජයන්තිය උවද සැමරිය යුත්තේ ජනතා ජීවිත රැකගෙනය.

    ==================================

    ⛔අවසානයේ තොණ්ඩමන් මිය ගියේය.

    දැන් රජයේ නිරෝධායන පනත බල්ලගේ පුකේ බැන්ද මී වදයක් මෙන් ය.

    සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ආගිය අතක් නැත.

    නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නීති සහ විධානයන් දෙපරැන්ද අස්සෙන් බේරී ගොසිනි.

    විශ්වය පුරා විහිදී ගිය ජය රාවයක් ඇති
    වැඩ කරන අපේ විරුවාගේ විනය ගරුක රටේ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙනවා යැයි කී නීතිය සමගම විරුවා ඇද සිටි වස්තරයද වාෂ්ප වී ඇත.

    පාරේ , සුපර් මාකට් එකේ පෝලිමේ , හන්දියේ කඩේ , ෆාමසියේ දොර ලග පෝලිමේ සිටින මිනිසුන්ගේ ඇගට කඩන් පනිනා යුනිෆෝම් ඇදි මහත්තුරුන් අද තොණ්ඩමන්ගේ මල මිනිය වටා පොදි කන මී ගව රැල සමග එක පෙලට සමාන්තරව නිශ්ශබ්ද මුවින් බිම බලාගෙන ගමන් කරති.

    ==================================

    ආණ්ඩුවට කිසිදා ඡන්දය නොදෙන මුසල්මානුවන්ට සහ ඡන්ද බලය නොමැති බුදු හාමුදුරුවන්ට නිරෝධායන නීතී අකුරට ක්‍රියාත්මක වෙන අතර ලක්ෂ දෙකක පමණ ඡන්ද මල්ලක් කරේ එල්ලාගෙන සිටින තොණ්ඩමන්ලා ඉදිරියේ නිරෝධානය නීති මල්වානේ නිවසේ අයිතිකරු මෙන් අතුරුදන් වී යති.

    බෙලිඅත්තේ මහ බයියන්ට හෝ උන්ට කඩේ යන කිසිම අවලමෙකුට නැවත ඡන්දය නොදී සිටීම පමණක් නොව ,
    එලඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ඉල්ලාගෙන එන ඕකුන්ගේ ගෑවිච්ච එකෙකුවත් වත්ත හතර මායිමට වද්දා නොගත යුතුය.

    එක අතකට පොලොන්නරුවේ ඩඩ්ලි සිරිසේන හාල් හැංගීමද සාධාරණය.

    දේශපාලන වාසිය සදහා ඕනෑම අසික්කිත , මජර , අවලං ක්‍රියාවක් සදහා පෙලඹෙන මුන් වැනි හරකුන් සදහා හාල් අලෙවි කිරීම ජාතික අපරාධයකි...

    බන්ධුල ගුණවර්ධන මෙන් රට පුරා තණකොල පිට්ටනි සාදා මැදමූලන ගව රැල ඒවා දිගේ දිගේලි කල යුතුය.

    ප්‍රභාකරන් තොපිට ගහපු බෝම්බත් අපරාදේ !!

    ReplyDelete
  8. ඔබගේ මෙම සටහනේ ඉතාම හුරුපුරුදු ගතියක් දැනෙනවා හැලපෙ. නොස්ටැල්ජියාවක් වගේ එකක්. ඔබ භාෂාව හසුරුවා ඇති විදිය නිසා වෙන්නට ඇති. ඔබ කලින් ලියා තිබුනා පොසොන් පොහොය සමයේ අනුරාධපුර චාරිකාවල ගොස් සිටි ගැන සටහන් කිහිපයක්. මා එම ලිපි හය හත් සැරයකට වඩා කියවා තිබෙනවා. ඒ වගේ ඉතාම රසවත් මෙම ලිපිය.

    ReplyDelete
    Replies
    1. හැලපෙ පොසොන් පොහොය සම්බන්ධයෙන් ලියා ඇති ලිපි කියවූ විට එක් ලිපියක (අධි පොසොන් පෝය, මහින්දාගමනය, පොසොන් දන්සැල්, විජයපුරයේ ක්‍රෂ් එක සහ ප්‍රඥා ප්‍රදීප දල්වා) තිබී පහත ජේදය හමුවුවා.

      'මහින්දාගමනයේ පළවෙනි කොටස ලංකාවේ ප්‍රදර්ශනය වුණේ වාර්තා තබමිනි. දවස් සීයක් නොවැ අවුරුදු දහයක්ම මහින්දාගමනය දිව්වේ කොහොම දිවිල්ලක්ද කියා අපි කතාකරන බාසාවෙන් කිව්වොත් බැඳගෙන දිව්වේය. මහින්දාගමනයේ පළවෙනි කොටස ප්‍රදර්ශනය වීමෙන් පසුව එය බැලු සංඛ්‍යාව ගැන රටේ ලොකු කතාබහක් ඇතිවිය. කට්ටියක් කිව්වේ බලපු අය වැඩියි කියා වුණත් තව කට්ටියක් නොබලපු අය වැඩියි කියා තර්ක කළෝය. මේ හාහෝව අවුරුදු තුනකටත් වඩා ඇදී යද්දී අන්තිමට බලපු අය වැඩියි යයි තර්ක කළ අය නිවැරදි බව පහුගිය පෙබරවාරි මාසේ හරියටම සොයා ගත්තේ නොබලපු අය වැඩියි කියපු උන්ට කට උත්තරත් නැති කරමිනි. දැන් අපි බලා ඉන්නේ මහින්දාගමනයේ දෙවැනි කොටස එනතුරුය. පළවෙනි කොටසේ තිබුණු ත්‍රිල් එකේ හැටියට දෙවැනි කොටසත් ෆුල් සීරියල් එකක් වෙන බව මට කටපුරාම කිව හැකිය.'

      හැලපෙ 2018 කිව්ව දේ හරි නේද?

      Delete
    2. මගේ සටහන් නැවත නැවත කියවා රස විඳීම මට මහත් සතුටක් බව කිව යුතුමය.මෙදා සැරේ නම් අනුරාධපුර ගමන මිස් වුණා.
      කියපු දේ හරි ගියා නේද?

      Delete
  9. ගොයං කපන කයියට ඊළඟ එක.
    තමුන්නැහැගෙ කුඹුර තාම පුරංද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං, තාම එතෙන්ට යන්න බැරි උනා. කමක් නෑ මාදුව හරි කුඹුර කළානේ.

      Delete
  10. ඉතාම රසවත් ලිපියක් කුරුප්පු මහත්මයා. තව කොටසක් තිබෙනවද මෙහි?

    ජයන්ත-වේයන්ගොඩ

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නම් තව කොටසකුත් ලියන්න පුළුවනි.

      Delete
  11. ඔහෙත් ඉතිං හැන්දෑවට හැන්දෑවට පලතුරු ටිකක් පානය කලැයි කියල තමයි ඔය වටේ හිටපු අයනං කිවුවෙ.

    ReplyDelete
    Replies
    1. වෙන මොනා කරන්නද බං බාර් වහල කොට.

      Delete
  12. හම්මෝ බං හැලපයියෙ.... අර සුමනදාසනං සිරා පොර. ඔහොම උං අපේ ගමෙත් උන්නා හැත්තෑව දශකෙ විතර....

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම අය ඉන්නව නේන්නං.ඇඟේ දුවන ලේ පවා නිල් කොළ අය.

      Delete
  13. කලකට පස්සේ වෙලකට බැස්සේ.
    නැවත ලිවීම ගැන සහ චයාරූපයකින් හරි මාදුවා දැකීම සතුටකි.

    ReplyDelete
    Replies
    1. ඌ නං ඔය ඉන්නෙ. වෙනුජ තමයි පින්තුරෙකින් වත් දකින්න නැත්තෙ.

      Delete
  14. කුඹුර පැහුනාට පස්සේ නෙවෙයිනේ ඊළඟට ලියන්නේ?

    ReplyDelete
    Replies
    1. තාම හැලපෙගෙ කුඹුර වැඩ කරන්න පටන් අරන් නෑ. මාදුවගේ එකට පස්සේ කළ කාගේ හරි එකක් තියෙනවා.

      Delete
    2. නෑ ඊට කලින් ලියන්න ඉන්නෙ.

      Delete
    3. කුමාර,
      මාදුවගෙ කුඹුරට පස්සෙ තවත් එකක් තියෙනවා. අයිතිකාරයා ඒකත් මටම වැඩ කරන්න කිව්වා.සලකල බලන්න ඕනෑ.

      Delete
  15. හරිම රසවත් ලිපියකි අර පළතුරු පානය නම් කොරෝනා කලේ හරියට ජනල්‍රිය අනා නේද පුරන් කුඹුරක් අස්වද්දපු එකනම් හරි පිනක් කොහොම අනත් කොරෝනා මිනිසුන්ට එුගක් පාඩම් මතක් කරල දුන්න බව නම් සැබෑය දිගටම ලියන්න ලැබේවායි පතමි
    විචාරක දියණය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දියණිය. පියා හිටිය නම් කුඹුරු වැඩ කිරිල්ල ගැන හොඳ කතා ටිකක් අහගන්න තිබ්බා.

      Delete
  16. '"ඇඳිරි නීතිය කඩල පොලිසියට අල්ලගෙන යන එක වෙනම කතාවක්. ඒ උනාට වෙලේ ඉඳල මාදුවත් එක්ක බෙල්ලෙන් අල්ලගෙන පොලිසියට අරන් ගියොත් විලි ලැජ්ජාව. ඔය කුඹුරු අස්වැද්දිල්ලෙන් කාරියක් නෑ. ඔයා ගෙදර ඉන්න!" හැලපි තදින්ම අවවාද කළාය'

    හැලපයා කියන්නේ උගත්,කලාව,සාහිත්‍ය,මදුවිත,දේශපාලනය,ස්ත්‍රී සමාගමේ ඇසුර වගේ, ඉතිහාසය බොහෝ දේ ගැන හොඳ දැනුමක් තිබෙනා සුන්දර මනුෂ්‍යයෙක්. ඔබට ඔබගේ අදහස් වලට ගැලපෙන කාන්තාවක් හා විවහා වීමට හැකිවුනා නම් ඔබගේ ජීවිතය මීට වඩා බොහෝ සුන්දර වනු ඇතැයි කියා මට කිහිප වර සිති තිබෙනවා ඔබගේ ලිපි කියවූ විට.


    මදුවිතක් තොල ගා රසවත් පැරණි හින්දි ගීතයක් රසවින්දමින් ඒ ගැන කතාබහ කරන්නට ගැලපෙන බිරිඳක් ඔබට සිටියා නම්.. චිත්‍රපට එකට රසවිදින්නට හැකි ලඳක් සිටියා නම්. ඉතිහාසය ගැන කතාබහ කරන්නට දැනුමක් ඇති කෙනෙක් සිටියා නම් කියා මට අවංකවම කල්පනා වී තිබෙනවා හැලපෙ.

    මා සිංහල බ්ලොග් තුල ඔබ වනු පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන සිටියේ ඔබා මාමා පමණයි.


    සුදුසු නැහැ වගේ සිතෙනවා නම් කොමෙන්ටුව ඉවත්කරන්න හැලපෙ.

    ReplyDelete
    Replies
    1. ඉවත් කරන්න තරම් වැරද්දක් මේ කමෙන්ටුවේ මට පේන්නෙ නෑ ඇනෝ.ඇනෝ කියල තියෙන දෙයින් සීයට පනහක් හරි. නමුත් මම බිරිඳත් එක්ක ගතකරන්නෙ ඉතා සුන්දර ජීවිතයක්.

      Delete
  17. Tattayekge Tatte uda tiyala bittara badina heti!

    Tattayek set karaganin- full tattayek.
    Pol tel tikak wak karapan tatte uda.
    Bittara 2k daapan tatte uda.
    Tattaya awwata geniyahan!

    ReplyDelete
    Replies
    1. රොටි හදන නවතම ක්‍රමයද?

      Delete
  18. Replies
    1. ස්තුතියි රාවනා, දිගටම ලියනවා.

      Delete
  19. හොඳ ලියවිල්ලක් අයියේ,

    ReplyDelete
  20. ඇති යන්තම් හැලපේ අයියා කාලෙකින් ලියලා තියෙනවා .

    තමන්ගේම , යාලුවෙක් ගේ හරි පුරන් කුබුර අස් වද්දපු එක කොච්චර දෙයක්ද . ඊටත් වඩා ඔය වැඩේ එක්කම වටපිටාවේ එකතු උන හැමෝම ඇත්තටම හිතේ ලස්සන චිත්‍රයක් මැව්වා .

    ඒවගේම මදුවා හැබැයි දැකගන්නත් පුළුවන් උනා . හේ හේ හේ

    ReplyDelete
    Replies
    1. වටපිටාවේ එකතු වුන අයගෙන් වැඩේට හොඳ උත්තේජනයක් ලැබුන නිසා කම්මැලිකමක් නැතුව අපි වැඩේ කරගත්ත.

      Delete
  21. මංගල සමරවීර මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම සම්බන්ධව ඔබගේ මතය කුමක්ද අහැලපයා? තමන්ගේ ලිංගිකත්වය වෙනුවෙන් බය නැතිව ඕනම තැනක හිටගන්න පුලුවන් කොන්ද ලංකාවෙ මං දැක්කෙ මංගලගෙන්. දේශපාලනය චන්දය හෝ බහුතර කැමැත්ත වෙනුවෙන් නෙමෙයි තමන් අවංකව දරන අදහස් වෙනුවෙන් පෙනී සිටීමයි කියල මට නිතර මතක් කලේ මංගල. ලංකාව වගේ කොදෙව්වක ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතීන් සහ නිදහස වෙනුවෙන් නොනැමී කෙලින් හිටියෙ මංගල. කොයිතරම් අවාසි සහගත නමුත් ජාතිවාදයට ආගම්වාදයට හිස නොනැමීමේ අභිමානය පෙන්නුවෙ මංගල. පොලිටික්ස් සදහටම වෙනස් කල හැකි ඇඩ්වටයිසින් කලේ මංගල. කිසිම දවසක ලගින් මුනගැහිලා කතාබස් කරලා නැති වුනත් ලංකාවෙ මට ඉන්න ගෞරවනීයම දේශපාලකයන් දෙදෙනාගෙන් එක් අයෙක් මංගල. අනික් කෙනා තමයි ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න. මොන තරම් තාඩන පීඩන, නින්දා ගැරහුම් එල්ල වුවත් තමන් හරියි කියන නිවැරදි මතය වෙනුවෙන් නොබියව පෙනී ඉන්නා, ජාතිවාදී, ආගම්වාදී නැති, සියලු මනුෂ්‍යයන්ගේ අයිතීන් වනුවෙන් පෙනී සිටිනා කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. සැලියුට් ඇනෝ. උඹව වැළඳ ගන්න මට ඉඩ දීපං. මම කිවයුතු ඔක්කොම ඔබ කියල තියෙනවා. ලංකාවෙ මම ගරුකරන දේශපාලකයන් කීපදෙනාගෙන් එක්කෙනෙක් මංගල. විශේෂයෙන් තමන්ගේ මතය වෙනුවෙන් නොබියව පෙනීසිටීම.තමන්ට මොන තරම් දේශපාලනික වශයෙන් හානිකර වුනත් තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ නම් ඔහු කිවයුතු දේ කියල දැම්මා. මෑතකදී ඔහු කියපු දේවල් මට ඉතාම ආස්වාදනීය වුණා. ඒ වගේම ඔහුගේ ලිබරල් මතවාදය මා ඉතාම කැමති ලක්ෂණයක්.ඔහු ළිං මැඩියෙක් නොවෙයි, ලෝකය දැකපු කෙනෙක් වගේම ලෝකයේ අනෙක් රටවල් වල අය භුක්ති විඳින නිදහස් ජීවන රටාව මෙරටටත් හඳුන්වා දෙන්නට මහන්සි වුණා. නමුත් අපේ රටේ ඉන්න පට්ට ගෝත්‍රිකයන් ඒවාට විරුද්ධ වුණා වගේම ඔහුට ගරහන්නත් ගත්තා. ඔහු කාලයක් මා සිටි විදේශ අමාත්‍යංශයේ ඇමතිවරයා වශයෙන් ඉද්දී පවා කිසිම පරිපාලන තීන්දුවකට ඇඟිලි ගසපු නැති ඇමතිවරයෙක්. ඇමතිවරයා හැටියට මට ඔහු හමුවී කතාකර තිබෙනවා පිටරටකදී. එදා ඔහු මොනතරම් සුන්දර මනුෂ්‍යයෙක් ද කියා දැනගත්තා. මම හැමදාම කියන දෙයක් නම් අපේ රටේ ජනාධිපති විය යුත්තේ මංගල වගේ නියම දේශපාලකයෙක්.ඔහු ගැන මට කියන්න තියෙන දේ ලිව්වට නැවතත් ස්තුතියි ඇනෝ. මා වගේ හිතන තවත් එකෙක් හරි ඉන්නව කියන එකමත් මට ලොකු ආස්වාදයක්. මේ රටේ තවම සුන්දර මිනිසුන් සිටිනවා.ඔහුගේ සමුගැනීම සදාකාලික නොවේවා යනු මගේ එකම පැතුමයි.මගේ සිහිනය සැබෑවෙන්නට නම් ඔහු දේශපාලනයේ සිටිය යුතුමයි.

      Delete
  22. අයියේ අලුතින් මුකුත් දාන් නැතෙයි බං

    ReplyDelete

ඔබේ අදහස්