Monday, April 28, 2014

127.පිටේ බෝඩ් එල්ලීම සහ අමරෙගෙ කැච්එක





අපි පහුගිය දවස්වල මොනම දෙයක් ලිව්වත් කිසි කෙනෙකුගෙ අවධානයට ලක්නොවීම සයිබරයේ සිහින බක්මහ උළෙලේ  දැවැන්ත සෙවනැල්ලට වැහිල යනවනෙ,එහෙම වුනොත් මහන්සිවෙලා ලියන දේ අපරාදෙ නොවැ කියල පහුගිය ටිකේ සද්දෙ වහගෙන ටිකක් නිකං හිටියා...

සිහින බක්මහ උළෙල ගැන හය හත් දෙනෙක්ම පෝස්ට් ලියා තිබුණත් මගේ පුද්ගලික මතය අනුව ඒ සියල්ල අතරින් හොඳම පෝස්ටුව බස්සි ලියු ''හැබැහින් දුටු සිහිනය''යි,ඔබට වෙනම මත තියෙන්නට පුළුවනි නමුත් මගේ අදහස අනුව මා දුටු ඉතාම ප්‍රශස්ත පෝස්ටුව එයයි...

සිහින බක්මහ උළෙල ගැන මටත් කියන්න අදහසක් තියෙනවා කිව්වට තරහ වෙන්න එපා,මෙතෙක් පැවති සිහින බක්මහ උළෙලවල් අතරින් ඉතාම සාර්ථකවූ සහ වැඩිම පිරිසක් සහභාගිවූ බක්මහ උළෙල මෙයයි කියා  සියළුම දෙනා කතාවුනත් කලින් පැවැත්වුණු බක්මහ උළෙලවල් වලදී දකින්නට ලැබුණු දුර්වලකමක් මෙවරත් නොඅඩුවම දකින්නට ලැබුණා,ඒ මොකද්ද කිව්වොත් බක්මහ උළෙලට පැමිණි සමහර බ්ලොග්කරුවන්ට එකිනෙකා හඳුනාගැනීමට අවකාශයක් නැතිවීම,සමහරු එකිනෙකා හඳුනාගෙන තියෙන්නෙ ආපහු ගෙවල්වලට ගිය පසුවයි,මෙන්න මේ විදියෙ කතා තැන තැන තියෙනව මම දැක්කා...

ආ මචං උඹත් ඇවිත් හිටියද  මම දැක්කෙ නෑනෙ...

එහෙම නැත්නං,

අනේ මට කතා කරන්න බැරිවුනානෙ  අඳුනගත්තෙ නැති නිසා...

ඒ කියන්නෙ මෙවරත් පෙර වතාවලදී වගේම කලින් දන්න හඳුනන අය එකතුවෙලා කතාබහ කරගත්ත මිසක පොදුවේ සියළුම බ්ලොග්කරුවන් හඳුනාගැනීමට වැඩ පිළිවෙලක් මෙදාත් සැකසී තිබුණේ නැහැ...

අපේ ජ්‍යෙෂ්ට බ්ලොග් කරුවෙක් වන මාතලන් කියල තිබුණු කතාවක් මට මෙතැනදී මතක්වෙනවා...

ආයෙනං එන්නෙ පිටේ බෝඩ් එකක් එල්ලගෙන...

අඩුතරමෙන් අන්න ඒ වගේ දෙයක්වත් කලානං වැදගත් කියා හිතන්නෙ නැතිද...

මෙහෙම ලියන එක ඔයගොල්ල මොන විදියට ගණං ගනීද කියල දන්නෙ නෑ සමහරවිට මෙච්චර හොඳට කරපු වැඩේ දොස් දකිනව කියල මට බනින්න පුළුවනි,ඒකට නං කමක් නෑ බැනල හරි වැඩේ කෙරෙනව නං සතුටක්...

මෙය ප්‍රදීප් නලින් සසිඳු ඇතුළු සංවිධායක මණ්ඩලයේ අවධානයට ලක්වේවා...

පිටේ බෝඩ් එල්ලන එක අපි ඉස්කෝලෙ යන කාලෙත් කළානෙ කාගෙ හරි ෂර්ට් කොලර් එකේ කඩදහි ගොට්ටක් එල්ලනව, එක්කො කලිසම පිටිපස්සෙ නැට්ටක් එල්ලනව ඔය වගේ හරිම ප්‍රාථමික ජෝක්ස් තිබුනෙ දැන් ළමයි නං ඔව්ව කරන්නෙ නැතුව ඇති ...

ඉස්කෝලෙ විතරක් නෙවෙයි ඔය වගේ වැඩ අපි ඔෆිස් වලත් කළානෙ,කලිසම්වල නැටි එල්ලන එක  ෂර්ට් එකේ පිටේ බෝඩ් ගහන එක හරිම සුලභයි,තව දවසක මම මෙහෙම වැඩක් කළා එතකොට මම දෙසතියෙ වැඩකරන කාලෙ,ඔෆිස් එකේ ටයිපිං පුල් එකේ ඉන්න කාන්තාවො සැට් එකත් එක්ක අපි හරි එකතුයි හැම තිස්සෙම එකෙකුට බෝඩ් එකක් හරි නැට්ටක් හරි එල්ලන්න ට්‍රයි එකක් දීගත්ත ගමන් ඉන්නෙ,දවසක්දා මේ ටයිපිං පුල් එකේ කාන්තාවකට දවල් කෑමෙන් පස්සෙ පුටුවෙම නින්ද ගිහිං,කකුල් දෙකත් හොඳට මේසෙ යටිං එළියට දික්කරගෙන එහෙම,මම කරපුදේ ස්ටෙන්සිල් කරෙක්ෂන් කුප්පියත් අරං ගිහිං මේසෙ යට ඉඳගෙන මෙයාගෙ කකුලෙ ඇඟිලිවල නියපොතු දහයම පාට කළා...


(ඉස්සර කාර්යාලවල දිනපතාම පාවිච්චිවෙන පෝරම වර්ග එක එක ආකෘති පත්‍ර එහෙම රෝනියෝ මැෂින් එකේ හෙවත් ඩුප්ලිකේටරේ රෝනියෝ කළා,රෝනියෝ කරන්න අවශ්‍ය ආකෘති පත්‍රය ස්ටෙන්සිල් එකක කපනව හෙවත් යතුරු ලියනය කරනවා,ස්ටෙන්සිල් එක කපද්දී වරදින තැන් මකන්න රෝස පාට කරෙක්ෂන් ෆ්ලුයිඩ් එකක් පොඩි කුප්පියක ආවා මූඩියටම සවි කරල තිබුණු පොඩි බ්‍රෂ් එකකුත් එක්ක)

මෙයාට ඇහැරුනාම මේ වැඩේ දැකල කරපු එකාට දෙස් දෙවෙල් තියනව,වැඩියත්ම ලැජ්ජාව කකුලෙ නියපොතුවල තද රෝස පාට ගාගෙන පාරෙ බැහැල යන්න පුළුවන්යැ...

අනේ මේ විස මගේ නියපොතුවල ගාල බලන්ඩකො තුවාල වෙයිද දන්නෙ නෑ පොඩ්ඩ ඇත්නං මගෙ  කකුලෙ ඇඟිලි තුවාල වෙනව...

ආ ඔයා යන ගමන් තිනර් කාලක් අරං ගිහිං නියපොතුවල අතුල්ල  ගන්න පාට මැකිල යයි...  

මම මොකුත් නොදන්න මිනිහ වගේ කියපුවම මේ මනුස්සය මගෙ ඇඟට කඩා පැන්න...

ඒ මගෙ ඇඟිලි ටිකත් හලන්න වැඩක්, තිනර් ගෙනිහින් උඹේ නියපොතුවල ගා ගනිං මම නං මොකුත් ගාන්නෙ නෑ මේ පාට ටික නිකංම ගැලවිලා යයි...

කිව්වත් වගේම කකුලෙ ගාල තිබුණු පාට ටික දවසකින් දෙකකින් පොතු ගැලවිල ගියා...

දැන් එහෙම ඔය වැඩ කරන්න ගියානං කාන්තා හිංසනය කියල මට පොලිසි උසාවි ගානෙත් යන්න වෙනව,කාලෙකට ඉස්සර අන්නාසි හොරෙං කඩල පොලිසි ගියාට පස්සෙ පොලිසියකට ගිහිල්ලත් නෑ, ආ  නෑ නෑ මේ මෑත කාලෙකත් කුණු කේස් එකකට පොලිසි යන්න උනානෙ ඒ මේ ටවුමෙ චණ්ඩි කියල බෝඩ් ගහගත්තු සැට් එකකුත් එක්ක ගහගෙන, ඒ අපේ ග්‍රවුන්ඩ් එකේ කේස් එකක් ඒකත් මරු කතාව අප්පා දැන් ලියන්න නං කම්මැලියි...

පොලිසියෙන් කිසි අවුලක් වුනේ නෑ ඒ උනාට ගෙදර පොලිසියෙන් නං ලේසියෙන් බේරෙන්න බැරිවුනා බැනුං කියන්නෙ බලු බැනුං,අර ෂුකාර් සීයා කියන්නා වගේ වාතෙ කොච්චර බැනුං වලින් පිරුණද කිව්වොත් මැස්සෙකුටවත් පියාඹන්න ඉඩ නැතිවුණා...

කොල්ල වෙන්න යනව,ලොකු මහත්වෙච්ච දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් කියල හිතෙන්නෙ නැද්ද කොල්ලොත් එක්ක ගහගන්න යන්නෙ...

ඉතිං කොල්ලො ගහගන්නකොට මට දුවන්න කියලද ඔයා කියන්නෙ...

ඔයා ගෙදර එන්න එපායැ මොකෙක්හරි බැට් එකකින්වත් ඔලුවට පතබෑව නං කාට කියන්ඩද,අනේ අම්මේ මේ මනුස්සය කරගන්න වැඩවලට නං මට මොහොතක් නිවී සැනසිල්ලෙ ඉන්න විදියක් නැතිහැටි,දැන් ඉතිං පොලිසි ගානෙ බඩගාපල්ලකො වෙන වැඩ නැතුවට...

අනික වලිය යන වෙලාවෙ සරත් අයියත් එක්ක එකතුවෙලා මම ගුරුවරුන්ගෙ පානයෙන්(වචනයේ අයිතිය මාතලන්ගෙ) තරමක් සප්පායං වෙලානෙ හිටියෙ ඉතිං බඩේ චණ්ඩිය හින්ද  වලි හොය හොයා යන්නෙ...

හොඳයි  මම ගහගත්තම මක් වෙනවද දරුවො දෙතුන් දෙනෙක් ඉන්න වඩුරාළ අමරෙත් රණ්ඩුවට පැටලුනේ එහෙනං,මටත් ගහගන්න කික් එක දුන්නෙ අමරය තමා...

කෙළල දාමු මහත්තයො,මොනවද බල බලා ඉන්නෙ මම නියනකුත් ඉනේ ගහගෙන ආවෙ...

අර තොටිල්ල හදල දුන්න අමරෙ මතකනෙ,අපට ග්‍රවුන්ඩ් එකක් නැති කාලෙ සෙල්ලං කලේ අවුරුදු උත්සව තිබ්බෙ අමරෙගෙ ගේ ළඟ වෙල්යායෙ,වෙල්යායත් එක්කම තිබුණු ගොඩැල්ලක  වඩුමඩුවත් එක්කම පොඩි ගෙයක් හදාගෙන දරු පවුලත් එක්ක පදිංචිවෙලා හිටපු අමරෙ අපි වෙලේ බෝල ගහද්දි අවුරුදු උත්සව කරද්දි  මුළු හදවතින්ම අපට සහයෝගය දුන්නා... 

ඔන්න එක අලුත් අවුරුද්දක අපි  විවාහක අවිවාහක එල්ලෙ මැච් එක වෙලේ ගහනව,තරඟය හරි උණුසුම් මම අමරෙගෙ ගේ ළඟ කණ්ඩියෙ ඉඳගෙන තරඟයෙ විස්තර ප්‍රචාරය දෙනකොට අමරෙත් මගෙ ළඟටම වෙලා නියරෙ ඉඳගෙන මැච් එක බලනවා... 

විවාහක කණ්ඩායමෙන් එල්ල වුනු පහරකට බෝලෙ උඩින්ම අපි ඉන්න හරියට එද්දී ඒ ළඟ හිටපු අමරෙගෙ ලොකු කොල්ල කුමාර බෝලෙ අල්ලගන්න දුවගන ගියා නමුත් බෝලෙ අතඇරුනා, විස්තර ප්‍රචාරෙට මම දැන් ඒකත් කියනව...

ඉතාම පහසු උඩ පන්දුවක් මේ මොහොතේ අතහරිනු ලැබුවා,ඒ අනුව  විවාහක කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් දවාගන්නට තිබුණු හොඳ අවස්ථාවක් මග ඇරුනායි කියල කියන්නට පුළුවනි...

මම කියවගෙන යනකොට අමරෙ හිමි හිමිහිට මගේ ලඟට ආවා...

දන්නවද මහත්තයො ඕකා බෝලෙ අතඇරියට බාල්හිත් මැටිකෝප්පයක් එහෙම උඩින් ආවනං බදල අල්ලගන්නෙ...

අමරයට මේව කොහෙන් කටට එනවද මං දන්නෙ නෑ මට හිනාගිය තරම කියන්නෙ කරමින් හිටපු වැඩේ කරගන්න බැරිවුනු ගමන මම මයික් එක වෙනුජට දීල පැත්තකට ගිහිං ඇස්වලින් කඳුළු පනිනකල් හිනාවුනා...

ආයෙම 1991 සාක් සමුළුව තිවුනනෙ,එක්කොත් ඒ කතාව වෙනම ලියමු දැන් කියන්න ගියොත් එකින් එක එකින් එක වැඩේ දිග දුර යනවා෴






Thursday, April 17, 2014

126.වරායෙ කිටියගෙ කතාව සහ පාළු පංසල් .






අපි වෙන වෙන කතා කිය කියා හිටිය මිසක් කිටිය ගැන අමතකම වෙලා ගියානෙ,මීට ඉස්සෙල්ල කතා කීපයකදීම මම කිටිය ගැන කිව්වට කියල ඉවරකරගන්න බැරිවුනා අදවත් ඉවර කරගන්න ඇහැක් වෙයිද කියල බලමුකො...

මම ඉස්සෙල්ලත් කියල තිබුන වගේ කිටිය හොඳ බෞද්ධයා, අපි වගේ නමට බෞද්ධ නෙවෙයි සාධුශීල ගුණෝපේත සුපේශල ශික්ෂාකාමී ඔරිජිනල් බෞද්ධයෙක්,පන්සිල් පද පහ ඉතාම හොඳින් ආරක්ෂා කරගෙන හිටියත් නිකං බොන්න හම්බවෙච්ච වෙලාවට නං එක පදයක් කඩාගන්නව,එතකොට අපි කොහෙහරි යාලුවෙකුගෙ ගෙදර බොන්න යන්න එහෙම දාගෙන නැත්නං එහෙම කිටිය නොවරදවාම පෝයට  සිල් ගන්නව,ඒ වගේ හරිම ප්‍රතිපත්ති ගරුක සීලවන්ත බෞද්ධයෙක් අපේ කන්තෝරුවෙ ඉන්න එකම මදෑ කියල අපි කට්ටිය නිතරම හිනාවෙවී කතාවුණා...

ඔෆිස් එකේ වැඩ තියෙන වෙලාවටත් නැති වෙලාවටත් අපි අනුන්ට අපහාස කරමින් මඩ ප්‍රහාර එල්ල කරමින් සම්පප්‍රලාප කියවමින් හිටියත්  කිටිය නං නිතරම ගාථාවක් කියමින් හරි ගැටළු සහගත ධර්ම කාරණයක් ගැන මෙනෙහි කරමින් හරි දෙලොවටම වැඩක් ඇති ආකාරයට දවස ගතකලා...

කිටියගේ ජීවිතේ උත්කෘෂ්ටම අවස්ථාව වෙලා තිබුනෙ තාවකාලිකව මහණවෙලා භාවනා ආරණ්‍යයක සතියක් ගතකිරීමයි,කිටිය නිතරම ඒ අත්දැකීම ගැන කියෙව්වා සිවුරු පොරෝපු හැටි භාවනානුයෝගීව දවස ගතකරපු හැටි කොච්චර කිව්වත් ඉවරවුනේ නෑ, අන්තිම දවසෙ සිවුරු ගලෝපු වෙලාවෙ කිටියට මොකද්ද උනාලු ...

ඇඟ රත්වෙලා මට කලන්තෙ වාගෙ හැදුනනෙ...

ආ එහෙම තමා නොම්බර එකේ බේබද්දන්ට සතියක් නෙවෙයි දවසක් නොබී හිටියත් ඔහොම වෙනවා, කිටී සතියක් හිටිය හොඳටම ඇති...

හේමාල් කියනකොට කිටිය රවල බලල එතනින් යන්න යනවා,ෂිපිං මාස්ටර් නං කිටියගෙ බෞද්ධ කමට කිසිම ගරුසරුවක් නැතුව අපහාසෙටමයි කතාකළේ...

ජස්ටින් අන්න අර හීරලුවට එන්න කියනව, අතෙන්ට වෙලා ගෑනුත් එක්ක බොරු පූච්චානං කියෝ කියෝ ඉන්නව...

මොකාද  අම්මෙ හීරලුවා කියන්නෙ...

පොඩි කාලෙ දවසක මම අම්මගෙන් ඇහුවෙ අම්ම කාටද මන්ද හීරලුවා කියල කියපු වෙලාවකදියි...

සිවුරු ඇරපු උන්ටනෙ ළමයො...

එහෙම කිව්ව මිසක් හිරලුව කියන වචනෙ නිරුක්තිය  අම්ම දැනගෙන හිටියෙ නෑ,සිරිල් මාමගෙ ලොකු පුතා පොඩි පංසලේ මහණවෙලා ඉන්නව මට මතක තිබුනෙ දහම් පාසැලට යන වෙලාවලදී කවි එහෙම හයියෙන් කියව කියව ආවාස ගෙයි ඉන්නව දැකල තිබුන නිසයි,දවසක්දා මං අපේ වත්තෙ උඩහ තිබ්බ කජු ගහ යට වැටිච්ච කජු අහුල අහුලා ඉද්දි වැටෙන් එහා පැත්තෙ සිරිල් මාමගෙ මඤ්ඤොක්‍කා කොටුවෙ කහ පාටට මොනවද මන්ද හෙල්ලෙනව මම දැක්ක,වැට අයිනට ගිහිං බලපුවහම හාමුදුරුවො කෙල්ලො දෙන්නෙකුක් එක්ක ඇවිත් පොටෝ අල්ලනවා මමත් ඉතිං ඔහොම එකක් ඊට කලින් දැකල තිබ්බ එකක්යැ කට ඇරගෙන බලං හිටියා,ඒ වුනාට හාමුදුරුවන්ට වැඩිකල් පොටෝ කෙරුවාව කරන්න උනේ නෑ සිවුර පංසලේ තියල කෙල්ලෙකුත් අරං යන්න ගියා,ඊට පස්සෙ හාමුදුරුවන්ට අපි කිව්වෙ සුදු අයිය කියල අපේ අම්ම එහෙම නං කේන්තියට කිව්වෙ හීරලුව කියලමයි හාමුදුරුවරු සිවුරු අරිනවට අම්මල හරි අකමැතියිනෙ.

77 ඡන්දෙට සුදු අයිය යු ඇන් පී එකට බැහැගෙනම වැඩකරපු නිසා වගා නිලධාරිකම ලැබුණා, පස්සෙදී වගා නිලධාරිකං අහෝසි කරල ඒ අය ඔක්කොමල ග්‍රාම සේවකල කරපු නිසා සුදු අයියටත් වසමක් ලැබුණා,සුදු අයිය දැන්නං පැන්ෂන් එයාලගෙ දරුවන්ගෙ දරුවොත් දැන් බඳින වයස මගේ හිතේ,අපේ ගේ ඉස්සරහින් සයිකලේ යද්දී මම හිටියොත් නවත්තල කතාකරල යනවා...

අපේ පංසලේ ලොකු හාමුදුරුවන්ගෙ ගෝලයො ටික ඔක්කොමත් සිවුරු ඇරල ගියා හැබැයි එකක් තියෙන්නෙ ඒ අය  ඔක්කොම හොඳට ඉගෙනගත්ත, ඉස්සෙල්ලම අරියසෝබන හාමුදුරුවො ඉගෙනගෙන ඩිග්රියකුත් අරං ඉස්කෝලෙකට පත්වීමකුත් ලැබුනට පස්සෙ සිවුරු ඇරල ගියා,ඊට පස්සෙ අනික් පොඩි හාමුදුරුවොත් ඩිග්රියක් අරං සිවුරු ඇරල ගියා ලොකු හාමුදුරුවන්ගෙ හිත හොඳටම නරක්වෙලා හිටියෙ වැඩිකල් යන්න මත්තෙන් තිබ්බ ලෙඩ වැඩිවෙලා ලොකු හාමුදුරුවො අපවත්වුනා,අන්තිමේදි පංසල පාලුවුනා පස්සෙ කරන්නම දෙයක් නැතිතැන අපවත් වෙච්ච ලොකු හාමුදුරුවන්ගෙ මුල් පන්සලෙන් හාමුදුරුනමක් පංසලට වැඩමෙව්වා ඒ ඔය දැන් ඉන්න ලොකු හාමුදුරුවෝ,ඒ හාමුදුරුවන්ටත් ගෝලයො පිහිටන්නෙ නැති විදියයි ඉස්සෙල්ලම ගෝලය බොහොම ලස්සන හුරුබුහුටි චුටි හාමුදුරුනමක්, පංසලේ ඉඳන් පිරිවෙනට ඉගෙනගන්න ගියා, මාත් එක්ක එහෙම හරි හිතවත් මමත් ඉතිං පංසලට යන වෙලාවට මොනව හරි කන්න දෙයක් අරං යනවා මහණවෙලා හිටියට පොඩි උන්නෙ,එනකොට ඉගෙනගන්න වැඩකට මේකත් තියාගන්න කියල රුපියල් හාරපන්සීයක් මගේ අතේ මිටේ තියන හැටියට හාමුදුරුවන්ගෙ අතේ තියල එනව ඔය විදියට හොඳට හිටිය...

 මට  චුටි හාමුදුරුවන්ව  අන්තිමටම හම්බවුනේ සරත් අයියලගෙ අම්මගෙ තුන්මාසෙ බණ කියන්න ආපුදවසේ,බණ කියල ආපහු යද්දී වඳිනකොට මාව හම්බවෙන්න ඕනෑ කියල බොහොම ඕනැකමින් මාත් එක්ක කිව්වම මාත් හා හා හම්බවෙමුකො හාමුදුරුවනේ මම වෙලාවක එන්නංකො කියල කිව්වට ඒ කාලෙ මම යුඑස්ඒ යන්න සුදානමින් බොහොම අවිවේකයෙන්  පසුවුන නිසා වැඩේ දවසෙන් දවස කල්ගියා,අන්තිමේ අවුරුදු කීපෙකට පස්සෙ ආපහු ලංකාවට ඇවිත් හෝදිසි කරල බලද්දි චුටි හාමුදුරුවො සිවුරු ඇරල ගෙදර ගිහිං,කියපු විදියට හාමුදුරුවන්ව මුණගැහෙන්න බැරිවුණු එක ගැන මට අදටත් හරිම කණගාටුයි එදා මාව හම්බෙන්න ඕනෑ කියල කිව්වේ මාත් එක්ක මොනව හරි ඔය ගැන කියන්න වෙන්නැති නේද සමහර විට කලකිරීමක් ගැන වෙන්නැති කියන්න කවුරුත් නැතුව,මොනව කරන්නද ...

පුස්තකාලෙ පංසලේ තරුණ හාමුදුරුනමක් හිටිය ඒ හාමුදුරුවො මම ඉස්සෙල්ලම දැක්කෙ අරුණගෙ මළ ගෙදරදි,අරුණ මී උණ හැදිල බොහොම කණගාටුදායක විදියට මැරුනේ 2003 දියි,ඒ හාමුදුරුවො එච්චර කඩවසම් කෙනෙක් නෙවෙයි කලුයි මිටියි  කට ගන්ටාරෙ වගේ සද්ද වුනාට හැබැයි කටහඬ බොහොම මිහිරියි, එදා අරුණ මැරිච්ච සෝකෙන් හිටපු අපි ඔක්කොගෙම දුක් නිවාලන අනුශාසනාවක්  හාමුදුරුවො කළා... 

ඊට පස්සෙ මම හාමුදුරුවන්ව හමුවෙලා අඳුන ගත්තා කොහෙහරි යද්දිත් හාමුදුරුවන්ට කියල පිරිත් නුලක් ගැටගහගෙන ගියා,අවුරුදු කීපෙකට පස්සෙ ආපුවම හාමුදුරුවො පංසලේ හිටියෙ නෑ කාලයත් එක්කම මට හාමුදුරුවන්ව අමතක වෙලා ගියා,ඉතාම මෑත කාලෙකදී ඒ කියන්නෙ දැනට අවුරුදු  තුන හතරකට උඩදී අපේ ඔෆිස් එකේ හිටපු සංජේ ගෙන් මට හාමුදුරුවො ගැන අලුත් විස්තරයක්  දැනගන්නට ලැබුණා,සංජේත් අපේ පැත්තෙ කොල්ලෙක් අපි එයාපෝට් එකට යද්දී ඔය ගම් පළාතෙ විස්තර කියවමින් හිනාවෙන එක සිරිතක්,සුපුරුදු විදියට දවසකුත් කතා කරමින් යද්දී සංජේ පුස්තකාලෙ පංසල  ගැනත් මොකද්ද මන්ද කිව්වා...

සංජේ මම අහන්නමයි හිටියෙ ඒ පංසලේ හිටපු අර මිටි හාමුදුරුවො දැන් කොහෙද ...

ආ ඒ හාමුදුරුවො සිවුරු ඇරල යන්න ගියානෙ...

ඒ මොකද බං හාමුදුරුවො හොඳට පංසල කරගෙන හිටියනෙ...

සංජේ හිනාවුනා...

හිටිය නං තමා ඒ වුනාට හාමුදුරුවන්ට සිල්ව සැට් වුනානෙ...

සිල්ව කියන්නෙ ලෝකෙ කාල වතුර බීල ඉන්න ආනාදියෙක්,කාව හරි අන්දවල මරාගන්න දත් ගලවන්න එහෙම හරි හපනා...

සිල්ව හාමුදුරුවන්ට ගෑනියෙක්ව සැට් කරල සල්ලි ගත්තනෙ...

මොකද්ද මොකද්ද බං ඒ කතාව...

මොකද්ද කතාව නං,ඔන්න ඔය රත්නපුරේද පැල්මඩුල්ලද පැත්තෙ සිල්ව දන්න ජෝඩුවක්ලු  මිනිහට මොකක් හරි දුර්වලතාවක් ඇති,සිල්ව ඒ ගෑනු කෙනා ලඟට හාමුදුරුවන්ව ගෙනිච්චා මිනිහගෙත් විරුද්දයක් නෑලු,ඉස්සෙල්ලම දවසෙ රෑ පුරාම ගෑනිත් එක්ක කංසැප විඳපු හාමුදුරුවො උදේ යන්න සුදානම් වෙලා එළියෙ වාඩිවෙලා  ඉද්දි ගෑනි ඇවිත් හාමුදුරුවන්ට දණගහල වැන්දලු ...

හා හා රෑ තිස්සෙ බණ දෙසුවට වෙන්න ඇති නේද...

එහෙනං,රෑ තිස්සෙ හාමුදුරුවො ගෑණි ළඟ දණගැහුව උදේ ගෑණි හාමුදුරුවො ළඟ දණගැහුව කියල කිය කිය  සිල්ව හිනාවුනේ...

ඊට පස්සෙත් සිල්ව කීප සැරයක්ම හාමුදුරුවන්ව  ඒ ගෑනු කෙනා ලඟට එක්ක ගියාලු, වැඩේ රහ වැටුණු පාර හාමුදුරුවො වැඩිකල් සිවුරෙ හිටියෙ නෑ...

අපරාදෙ බං ටොප් එකට බණ කියන්න පුළුවන් හාමුදුරු නමක්නෙ...

මොනව කරන්නද දැන් ඒ පංසලේ හාමුදුරුවරු කවුරුවත් නෑ...

හාමුදුරුවන්ගෙ සිවුරු හැර යාම ඔන්න ඔය විදිහයි,දහ දෙනෙක් මහණ කලාම නම දෙනෙක් සිවුරු ඇරල යනවා යන්නෙ ආසාවට නෙවෙයිනෙ ඉන්න බැරි නිසානෙ,බුද්ධ ශාසනේ චිරස්ථිතිය උදෙසා නෙවෙයි පාංශුකූලයක් පිරිමහගන්න මතක බණක් කියවගන්න ගමක පංසලේ හාමුදුරුනමක් නැත්නං ඒ ගමේ මනුස්සයො මොන අමාරුවක වැටෙනවද,ඒ නිසා හාමුදුරුවන්ගෙන් අපි අදාළ කටයුතු කරව ගන්නව වගේම හාමුදුරුවන්ට ඇති අඩුපාඩු හොයල බලන එකත් දායකයන් වන අපට තියෙන ප්‍රධාන වගකීමක් නේද ...

වළඳන්න දානෙ ටික වෙලාවට ලැබෙනවද අඳින්න සිවුරු පිරිකර ඇතිවෙන්න තියෙනවද ඉගෙනගන්න අඩුපාඩු මොනවද ආදී දේවල් දායකයො වන අපි සොයා බලන්න ඕනෑ,නමුත් ඒ දේවල් හොයනව බලනව වෙනුවට අපි බලන්නෙ හාමුදුරුවන්ගෙ සීලවන්ත භාවය,අපෝ ඒ හාමුදුරුවො සිගරැට් බොනව,බියර් බොනව,ගෑනු ළමයි එක්ක මුකුලුව,පංසලට සත පහක උදව්වක් නොකරන අය ඒ වගේ අඩුපාඩු නං හොඳට හොයල රස කරමින් කියනව බනිනව,හරි හාමුදුරුවො ඒ ඔක්කොමත් කරනව කියමුකො නමුත් වැදගත්ම දේ හාමුදුරුවො පංසලේ ඉන්න එකනෙ සිවුරෙ ඉන්න එකනෙ හාමුදුරුනමක් පංසලේ නැත්නං ඇතිවෙන තත්වෙ මොකද්ද...

වළඳන්න හරියට දානෙ ටික ලැබෙන්නෙ නැති අඳින්න එක සිවුරක් හරි දෙකක් හරි විතරක් තියන හාමුදුරුවරු ඉන්න පන්සල් කොච්චර තියෙනවද,දවසක්දා ටවුමෙ පිරිවෙනේ චූටි හාමුදුරුනමක් අපේ පංසලේ කටිනෙට අරං ආපු පාත්තරේ දැකල මගේ ඇස් වලට කඳුළු ආවා එච්චර කබලක්,ඉඩකඩම් වතුපිටි බවබෝග සම්පත් සහ යානවාහන තියෙන රජමහ විහාර නෙවෙයි, විහාර ගෙයයි ආවාසෙයි විතරක් තියෙන පන්සල් රැකගෙන බාගෙට බඩගින්නෙ වැරහැලි සිවුරු ඇඳගෙන කොච්චර හාමුදුරුවරු ඉන්නවද... 

කවුරු මොනව කිව්වත් මමනං මට තියෙන විදියට මිල මුදලින් හරි වෙන ආකාරයකට හරි අපේ පංසලේ හාමුදුරුවන්ට උදව් කරනව,වෙන මොකටවත්ම නෙවෙයි පංසලේ ඉන්නවට සිවුරෙ ඉන්නවට ගරු කිරීමක් වශයෙනුයි...

සාසනේ බේර ගන්න පැන්ෂන් ගිය කාලෙක හරි මහණ වෙයං කියල අපි කිටියට කීවහම ඕකා මහනවුණු දාට සාසනෙයි පඬුහැලියයි දෙකම ඉවරයි කියල දසනායක මහත්තය කිව්වා,අපි කවුරු මොනව කිව්වත් කිටිය කයියනං නවත්තන්නෙ නෑ, දවසක්දා මමයි යසායි ඉන්න තැන කිටී කයිය ගහනව, ලංකාවෙ ඉන්න ලොකුම හාමුදුරුවරු ඕනෑම කෙනෙක් මම දන්නව කියල කිටිය කිව්වහම අපි දෙන්නත් ඉතිං ලංකාවෙ චිර ප්‍රසිද්ධ හාමුදුරුවරු දෙතුන් දෙනෙක්ගෙ නම් කියල දන්නවද ඇහුවා...

එතකොට කිටී මඩිහේ හාමුදුරුවො දන්නවද...

ඔව් දන්නව...

රේරුකානේ චන්දවිමල හාමුදුරුවො...

එයත් දන්නව...

කියන කියන හාමුදුරුවරු ඔක්කොම කිටිය දන්නවලු,එයත් දන්නව, එයත් දන්නවා,එච්චරයි කියන්නෙ කිටියගෙ මුණ පිපුණු මල් වට්ටියක් වගේ ...

යක්කඩුවේ හාමුදුරුවො කිටී දන්නවද...

කොහෙද යන ගමන හදිසියෙන් එතෙන්ට ආපු හේමාල් ඇහුවා...

දන්නව...

එතකොට යටිහරියේ චුල්ලවට්ටි හාමුදුරුවො...

බැරිමතැන මම ඇහුවා...

එයත් දන්නව...

මහහඬින් පුපුරපු හිනාවක් එක්ක යසා දුවල ගිහිං මේසෙට ඔලුව ඔබාගෙන හිනාවෙන්න ගත්තා...

එහෙමද ඒ හාමුදුරුවොත් දන්නව එහෙනං ඈ...

හේමාල් උඩ පැන පැන හිනාවුනා...

ඈ...

මොකද්ද වැරදුනේ කියල කිටී ටිකක් වෙලා කල්පනා කළා,එකපාරටම නැගිටල මටත් රවාගෙන වේගෙන් කෑම කන කාමරේ පැත්තට ගියා,ගිහිල්ල ටික වෙලාවකින් ආපහු එනකොටත් කට්ටිය ඒ ආකාරයෙන්ම හිනාවෙනවා...

මම දන්න ඇති වල්ලෙක් නෑ... 

කිටිය අපි ලඟින් යන ගමන් රවාගෙනම කියනව අපට තවත් හිනා...

කවුද ඕයි වල්ලෙක් ගැන කිව්වෙ...

කිටියට එදානං පම්පෝරි කියවිල්ල එපාවෙන්න ඇති,ඔෆිස් එකේ කට්ටිය කාලයක් යනකං ඔය කතාව කිය කියා කිටියව බයිට් එකට ගත්තා.




Thursday, April 10, 2014

125.බක්මහේ සිහිනය සහ මුංගුලි


අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දක් එනව කියන්නෙ ඉතිං සෑහෙන කාලෙකින් සිද්දවෙන දෙයක් නොවැ අවුරුදු හරි දිගයි,අලුත් අවුරුද්ද එන්න ගොඩක් කල් යනවා පොඩි අපි අලුත් අවුරුද්ද එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ වැඩියෙම රතිඤ්ඤ පත්තුකරන්නයි  බීරංග ගහන්නයි. එතකොට ඉස්සරහ අඹ ගහේ ඔංචිල්ලාවකුත් බඳිනවමයි...

අම්ම කුස්සියෙ ගොම මැටි ගාල ලිප් එහෙම අලුත්වැඩියා කරගෙන වංගෙඩියෙ පිටි වනක් කොටන්නෙ අවුරුද්දට රස කැවිලි හදන්නටයි,අතිරස,අලුවා,මුංගුලි වගේ රසකැවිලිත් ගස්ලබු පෙතිත් අමු මිරිසුත් පොල් විනාකිරිත් දාල හොඳට සැරට හදන ගමේ අච්චාරුවකුත් අම්මගෙ කුස්සියෙ වරදින්නෙ නෑ...

අම්ම හදන රසකැවිලි වලින් මම කන්න ආසම ජාතිය මුංගුලියි, බැදපු මුං පිටිත් පැනිපොලුත් තාච්චියෙ මලවල ගුලිකරල  ගුලි ටික පිටි මිශ්‍රණය තවරල බැදගත්තම හරිම රසයි...

මුංගුලි ගැන කියනකොට මට මුංඇට ගැන පොඩි කතාවකුත් මතක් උනා,ඒකත්  කියලම ඉන්නං...

ඔන්න  අනාගතේ ගැන හිතල  අලුත බැඳපු බිරිඳව තනිකරලා රට රස්සාවකට ගිය තරුණ සැමියෙක් අවුරුදු දෙක තුනකට පස්සෙ ආපහු සියරට ඇවිත් කාලෙකට පස්සෙ හම්බ වුනු තරුණ බිරිඳගෙ තුරුලෙ ඇයගෙ උණුසුමේ මිහිර විඳගනිමින් ඉන්න ගමන බිරිඳගෙ කොට්ටෙ යට කොලේක ඔතල තිබ්බ මුංඇට හයකුයි රුපියල් එකසිය විස්සකුයි  දැකල මේ මොනවද කියල ඇහුවලු...

ඒ අහපු ගමන මේ තරුණ බිරිඳගෙ ඇස්වලින්  දොඹගෙඩි සයිස් කඳුළු කැට වැක්කෙරෙන්න වුනා...

ඇයි ඇයි මොකද රත්තරනේ ඔයාට ගෙදර මතක් උනාද,අපි හෙට අනිද්දට ඔයාලගෙ ගෙදර ගිහිං එමුකො හා හා දැන් නාඩ ඉන්නකො...

ඒ වුනාට බිරිඳ  අඬන එකනං නැවැත්තුවෙ නෑ...

ඔයා මම නැතුව ගොඩක් දුකෙන් හිටිය කියල මම දන්නව රත්තරං,මම රට ගියෙ හිතකින් නෙවෙයි අපි දෙන්නගෙ අනාගතේ ගැන හිතලමයි...

ඒ ගමන ඇඬිල්ල වැඩිවුනා බිරිඳ ඉකි ගගහ අඬද්දී මනුස්සය කොහොම වාවගෙන ඉන්නද...

ඔයා අඬනකොට මටත් වාවන්නෙ නෑ,මම කොහොම ඉවසගෙන ඉන්නද...

නෑ අනේ මම කොහොමද ඔයාට මේවා කියන්නෙ මගෙ පපුව පැලෙන්න එනවා,මට වාවගන්න බෑ අනේ මට මැරෙන්න ඕනෑ මට මැරෙන්න ඕනෑ ඈඈ ඈ...

හා හා නාඩා කියන්නකො මොකද මොකද මේ...

එහෙනං මම කියන්නද ඔයා මාත් එක්ක කේන්ති ගනීද දන්නෙ නෑ අනේ මට බයයි...

අපොයි  මොකට කේන්ති ගන්නද ඔයා කියන්නකො...

ඔයා රට ගියාම මට තනියම ඉන්න බෑ පාලුයි දුකයි තනිකම කියාගන්න කෙනෙක් නෑ මම හැමදාම රෑට කොට්ටෙ තෙමෙනකල්ම අඬනව,මම ඔහොම දුකෙන් ඉන්නව දැකපු අර හංදියෙ කුලී ගෙදර ඉන්න අයිය මගෙන් ඇයි දුකෙන් ඉන්නෙ කියල විස්තර අහල මගේ පාලුවයි තනියයි මකාගන්න එයා උදව් කරන්නං කිව්ව,ඉතිං ඊට පහුවද ඉඳන් ඒ අයිය හැමදාම රෑට ඇවිත් ඔයා නැති තනිය මැකුවා...

ඉතිං  ඒකෙයි මේ මුං ඇට වලයි තියෙන සම්බන්දෙ මොකක්ද...

ඒ අයිය මාව බලන්න එන හැමදාම මතක්වෙන්න කියල මුංඇටේ ගානෙ අරං ආවා  ඔය මුංඇට එව්ව තමා...

තමන්ගෙ බිරිඳගෙ අවංක කමටයි ඇත්තම කීව එකයි ගැන  මේ තරුණයට දුක හිතුණා...

ස්වාමි පුරුෂයෙකුට අහන්නට අමාරු කතාවක් උනත් ඔයා අවංකව ඇත්තම කියපු එකට මම හරි කැමතියි,සමාව දෙන්න බැරි වැරද්දක් මේ ලෝකෙ නෑ කියනවනෙ,මටත් ඔයාට සමාව දෙන්න බැරිකමක් නෑ අනික ඒ මනුස්සය ඇවිත් තියෙන්නෙත් දවස් හයනෙ, එතකොට මේ රුපියල් එකසිය විස්ස මොනවද... 

එකතුවෙලා තිබ්බ මුං ඇට කිලෝ දෙකක් ගිය සුමානෙ මම හංදියෙ සිල්ලර කඩේට දීල සල්ලි ඉල්ල ගත්ත,ඔය තියෙන්නෙ ඒ සල්ලි තමයි...

හුටා මම කියන්න ආවේ වෙන කතාවක්නෙ ළමයි, දැන් මොනව කරන්නද ඉතිං ලියපු එකත් ඔහොමම තිබ්බදෙන්...

කලින් අවුරුදුවල වගේම මෙදා සැරෙත් සයිබරයේ සිහින බක්මහ උළෙල මහ ඉහලින් පවත්වන්නට කටයුතු සියල්ලම  සුදානම්  කර තියෙන වග මේ සිහින බක්මහ උළෙල වගේම සයිබරයේ වෙනත් එකමුතු වලටත් පණ දාගෙන මහන්සිවෙන නලින් මටත් දැනුම් දීල තියෙනවා...

මෙදා උත්සවය පැවැත්වෙන්නේ අප්‍රේල් 20 වෙනිදා බත්තරමුල්ල පැලවත්තේ  බුද්ධදාස ක්‍රීඩාංගනයේදීයි, එතනට යන විදිහ මෙන්න මෙහෙමයි යන පාර... 

පැමිණීම තහවුරු කිරීමේ පෝරමය මෙන්න මෙතනින් ගිහිං පුරවන්න,වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය අයට ඒ සියල්ලම බ්ලොග් අවකාශයේ මිතුරෝ වෙබ් අඩවියෙන් බලාගන්නට පුළුවනි...

ඉතිං අප්‍රේල් 20 වෙනිදා උදෙන්ම පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට ගිහිං සයිබරයේ සිහින බක්මහ උළෙලට සහභාගී වෙලා වසරකට වරක් පවත්වන මේ සිහින බක්මහ උළෙල සාර්ථක කරගන්නට ඔබේ සහයෝගය ලබාදෙන්න කියා බ්ලොග් ලියන කියවන සියලු දෙනාගෙන්ම මා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා...

1980 අවුරුද්දේ ලංඩනයේ පැවැත්වුණු ප්‍රසංගයකදී පණ්ඩිත් අමරදේවයන් ගැයූ මේ රස වෑහෙන ගීතය අලුත් අවුරුද්දෙ ඔබේ රස වින්දනයට එකතුකරගන්න...


පින්තුර බලා සෑහීමකට පත්වෙන්න මට සිද්දවුනත් සයිබරයේ සිහින බක්මහ උළෙලේ සියළුම කටයුතු සාර්ථක වේවායි මේ අලුත් අවුරුද්දේ ඉත සිතින් ප්‍රාර්ථනා කරමු.




Monday, April 7, 2014

124.දෙයියන් වැඳීම ධර්මෙගෙ වැටකොළු කොටුව සහ වැල්පෙනෙල



 අපේ මහ ගේ ඉස්සරහ තියෙන වෙල්යායෙ  නියරට බැස්සම  කොස්සැටදෙනිය කුඹුරට අඩි සීයක්වත් දුර නෑ,එතන කුඹුරු කෑලි හත අටේ වපසරිය වී බෙර තුනක් තුනහමාරක් ඉතර ඇති,දැන් වැඩ නොකර කැලෑ වැහිලා තිබ්බට බොහොම සාරවත් ඔය කුඹුර වැඩකළේ අපේ බාප්ප කෙනෙක්, නම රිචඩ් වෙන්න ඇති අපි කිව්වෙ රිචී බාප්ප කියලයි... 

ගෙදරට අවුරුද්දෙ ඉස්සෙල්ලම අලුත් වී ගන්නකොට ගන්නෙත් ලඟම  කුඹුර වුන කොස්සැටදෙනියෙනුයි,වී ගෙට ගැනිල්ල කෙරෙන්නෙ මෙහෙමයි,පුරපස දවසක හිමිදිරි පාන්දර කපුටො අඬන්න කලින් වී ගෙටගන්න ඕනෑ, ඔන්න තෝරගත්ත දවසෙ පාන් කළුවෙන් වැඩට යන්න සුදානම් වෙන තාත්තා මාවත් ඇහැරවගෙන නිදිමතේ ඉන්න මගෙ ඔලුවෙ සුදු රෙදි කෑල්ලකින් ජටාවක් බැඳල අතින් අල්ලං නියර දිගේ එක්ක ගිහිල්ල කොස්සැටදෙනියෙන් පැහිච්ච ගොයං මිටක් කතා නොකර කපාගෙන ඒකත් සුදු රෙදි කෑල්ලක ඔතල මගේ ඔලුව උඩ තියල පිටට තට්ටු කරනව,ඒ කියන්නෙ ගෙදර යන්න කියලයි,යන්න කියන්න බෑනෙ,මම ගෙදර එනව තාත්ත එතනින්ම වැඩට යනවා...

වී ගෙට ගන්නෙත් හොඳ කෙනෙක්ගෙ අතින්ලුනෙ,ඉතිං මම කරල් මිටියත් ඉහේ තියාගෙන ගෙදර ඇවිත් අපේ කෑම මේසෙ තියෙන තැනට  එහයින් තියන මහ වී පෙට්ටිය උඩින් කරල් මිටිය තියනව,දවල් වෙලා අයිය එහෙම ඇහැරුනාම අම්ම අයියට කියල කරල් මිටිය වී පෙට්ටිය උඩින් තියෙන මහ බාල්කෙ එල්ලනවා,ඊළඟ කන්නෙ වී  කරල් ගෙට ගන්නකල්ම ඒ වී කරල් මිටිය එතනම එල්ලෙමින් තියෙනවා...

ඔය වී කරල් මිටියට අමතරව දෙයියන්ට වෙන්කරපු පොඩි වී මලු  දෙකකුත් ඒ බාල්කෙම එල්ලල තියෙනව,ලෙලි ගහපු කොළපතක් මහල හදාගන්න පොඩි මලු දෙකකට  වී පුරවල කට ගැටගහල එක මල්ලක අඟුරු කෑල්ලකින් ''ප'' කියලත් අනික් මල්ලෙ ''වි'' කියලත් ලියල උඩ බාල්කෙ එල්ලල තියනව,ප ලියන්නෙ පත්තිනි දෙයියන්ට වෙන්කරපු වී කොටසටයි,වි කියල ලියන්නෙ විෂ්ණු දෙයියන්ගෙ වී කොටසටයි...

ඒ වී මලු දෙක දෙයියන් වඳින්න කපු මහත්තය ගෙදරට ආව දවසට ලෙහල කපුවට දෙනවා,හැම අවුරුද්දකම ගොයං කැපුවට පස්සෙ මහ පන්සලේ දේවාලෙ කපුරාළ ගෝලයෙකුත් එක්ක ගෙවල් ගානෙ දෙයියන් වඳින්න යනවා,දෙයියන් වඳිනකල් ගෙවල්වල පිටි කොටන්න කැවුම් උයන්න තෙල් වලං ලිප තියන්න තහංචියි,ඒ නිසා කපුරාළ අලුත් අවුරුද්දට කලින් ගෙවල්වලට ඇවිත් දෙයියන් වැඳල කරලදෙන්නෙ සුළුපටු උදව්වක් හෙම නෙවෙයි ...

කපුරාළ ගෝලයෙකුත් එක්ක එන්නෙ එකතුවෙන වී තොගේ උස්සගෙන යන්නටයි,කාලයක් මුලින්ම අපේ ගෙදරට දෙයියන් වඳින්න ආපු කපුරාළ පස්සෙ පස්සෙ අන්තිමටම අපේ ගෙදරට එන්න ගත්තා,මුලදී අපට මේ වැඩේ එච්චර අමුත්තක් තේරුණේ නැතත් අන්තිමට අපේ ගෙදර එන එකේ කපුරාළට වාසි දෙකක් තිබුණා,එකක් එකතුවෙන වී තොගේ අපේ කරත්තෙන් නොමිලෙම ගෙදරට ඇදගන්න හැකිවීම,අනික ඒ දවස්වල හොඳට රා වැටෙමින් තිබුණු අපේ නාන ලිඳ ලඟ කිතුලෙන් රා වීදුරු දෙකතුනක් සප්පායම් වෙන්නට හැකිවීම...

කපුරාළ ගෙදරට ආවහම ගෙදර ඔක්කොම ඉස්තෝප්පුවට ඇවිත් බිම වාඩිවෙනවා,ඊට පස්සෙ කපුරාළ මොණරපිල් මිටිය අතට අරගෙන යාතිකාව පටන්ගන්නවා...

ඕං ආවඩ ආයිබේ ආවඩ ආයිබේ ආවඩ ආයිබෙහේඒඒඒ...

යාතිකාව ඉවරකරන කපුරාළ අපේ ඔලුව අතගාලා එහෙම

ඔන්න දැන් පුතාලට අවුරුද්දට කැවුම් කන්න පුළුවනි...

ලොකු වැඩක් ඉවරකලා වගේ කියල ඉස්තෝප්පුවෙ පුටුවෙ වාඩිවෙලා සීයත් එක්ක  කතා කර කර ඉන්නකොට පිල පැත්තෙන් එබිකම් කරන රා  මදින බාලයිය කපුරාලට එළියට එන්න කියල දෙන සංඥාවකට  එළියට ගිහිං රැවුලත් පිහ පිහ ටිකකින් ආපහු ඇවිත් කයියක් ගහගෙන ඉඳල වී ටිකත් කරත්තෙ පටෝගෙන යන්න යනවා...

කොස්සැටදෙනියෙ කුඹුර ඉස්මත්තෙ රෙදිමෝලේ වැටට මායිම්වෙලා තිබ්බ පොඩි  දෙනියක අපේ මහප්ප එළවළු වැව්වා,දෙනියෙ කළු පසේ බණ්ඩක්ක,මෑ,වැටකොළු එහෙම සාරෙට පලගත්තා, හරක් පනිනවට වැටක් ගහල තියෙන දෙනියෙ කොටුවෙ එළවළු පැළවලට වතුර දාන්න මහප්ප අපිව එක්කං යනවා,දෙනියෙ අයිනෙ නිල්කැටේ වගේ හැමදාම වතුර උතුරල යන  පොඩි ළිඳක් වතුර ගන්න  හාරලා තිබ්බා...

 ඉර බැහැගෙන යන හැන්දෑ වරුවෙ අපි බාල්දිවලට ලිඳෙන් වතුර ගෙනත් පැළවලට වක්කරනවා,අපි වතුර දානකල් අයිය රෙදිමෝලේ වැට අයිනෙ වකාරෙට හැදිල තියෙන බතල වැල් ගොන්න අවුස් සනවා,ගොඩකරපු රතු පසේ බල්බ් වගේ සරුවට බහින රතු බතල අල මල්ලක්ම ටිකවෙලාවකින් හාර ගන්න පුළුවනි...

මෑ බණ්ඩක්ක පලදාව ලැබෙන කාලෙට එව්ව කාලම එපාවෙනවා පලදාව කඩේකට දෙන්න කියලයැ  හරි මිලක් නෑනෙ,වට පිටේ අයට දීල ඉතුරු ටික ගිරව් කාපුවම ඉවරයි...

අපේ අල්ලපු වත්තෙ හිටපු සිරිල් මාමත්  හොඳ ගොවියා,අත්ගුණේ කොච්චරද කිව්වොත්   ගහක් ගලක් උඩ  මොනව හරි හිටෙව්වත් අගේට පැළවෙලා පලගන්නවා, හම්බවෙන ආදායම නං කසිප්පු බොන්නමයි,පෙළක් දවස්වලට උදේ පාන්දර මම වැඩට යද්දී සිරිල් මාම මායක්කලෑ වත්ත පහළ අඩි පාරෙ රැකල ඉන්නව,අතේ විශාල මෑ  කරල් මිටියක්...

රුපියල් පහළොවක් දෙන්නකො...

මෑ මිටිය මට දික්කරල කියනව,රුපියල් පහළොව කසිප්පු කාලෙ ගාන මම ඉතිං මෑ කරලුත් උස්සගෙන වැඩට යන්ඩයැ රුපියල් පහළොව දීල දානව...

මෑ ටික ගෙදරට දෙන්න මාමෙ...

පොර සල්ලි ටික අතට ගත්ත ගමන් කෙලින්ම ලොක්කයියලගෙ ගෙදරට දුවගෙන යන්නෙ කසිප්පු කාලක් ගහන්නයි, අත වෙව්ලනව වෙව්ලන සැර කියන්නෙ අතට ගත්ත වීදුරුවෙ තියෙන කසිප්පුත් විසිවෙනවා,පළවෙනි ෂොට් එක දාගන්න කවුරුහරි උදව් කරන්න ඕනෑ ඊට පස්සෙ නං ඕනැ තරං බොයි කිසිම  ගේමක් නැතුව...

සිරිල් මාම රස්සාව කරලා තියෙන්නෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවේ අපි ඉපදෙන්නත් කලින් පැන්ෂන් අරං අපි නං කිව්වෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවෙන් ධීවර දෙපාර්තමේන්තුවට මාරුවෙලා කියලයි,මොකද කිව්වොත් මාළු අල්ලන්න හරිම හපනා ඔන්න සමහර දවසක රේල් බෝක්කුවට බිලී පිත්තක් දාගෙන ඉන්නව එක්කො මහ ඇලේ හරි ඩක ඩොක පාලම යට හරි දැල් ගහන්න යනවා,දැල් ගහන්න යනකොට නං අපිත් පස්සෙන් යනවා ගිහිං ඔක්කොම උදව් පදව් කරලා දීල මාළුත් අල්ලල දුන්නට මාළු ගෙදර නං ගේන්නෙ නෑ, ගෙනාවොත් වැඩේ අහුවෙනව ඊට පස්සෙ ගුටි...

දැල් ගහන්න ගියාට සිරිල් මාමටම කියල විසි දැලක්  තිබ්බෙ  නෑ කාලෙන් කාලෙට අනුන්ගෙන් දැල් ඉල්ලං ආව,තමන්ටම කියල විසි දැලක් නැති එක ගැන සිරිල් මාම නිතරම දුක්වුණා සරත් අයිය එහෙම ගෙදර ආපු වෙලාවට සිරිල් මාම කියවන්නෙ ඔය අඩුපාඩුව ගැනමයි...

මට වෙන මොකුත් ඕනැ නෑ දැලක් තිබ්බොත් ඇති...

සරත් අයියත් මේ අමාරුව හොඳටම දැනගත්තට දැලක් අරං දෙන්නෙ නෑ අපිත් එක්ක කිය කිය හිනාවෙනවා,අන්තිමේදී මේ කියවිල්ල ඉවසගෙන ඉන්නම බැරිතැන සරත් අයිය ගෙදර ආපු දවසක මීගමු ගිහිං රුපියල් එක්දාස් හාරසීයකටද කොහෙද විසි දැලක් ගෙනත් දුන්නා, සිරිල් මාමට එදා තරං සතුටක් කසාද බැඳපු දාවත් තියෙන්න නැතුව ඇති...

පහුවදා උදේම සරත් අයිය අපේ ගෙදර ආවා,ආපු වෙලේ ඉඳන් හිනාවෙනවා...

මල්ලි හරි වැඩේනෙ මම ඊයෙ රෑ ගෙදර නිදාගෙන හිටියා,පාන්දර හතරට විතර එකපාරටම මට ඇහැරුනානෙ සල සලං ගාල සද්දයක් ආවා,ආයෙමත් ටිකකින් එකපාරටම...

සල සලාං

තව පොඩ්ඩකින් ආයෙමත් ඒ සද්දෙ,නිදාගන්නත් නෑ මම ඒ ගමන දොර ඇරල පොඩ්ඩක් ඔලුව දාල බැලුව,බැලින්නං තාත්ත මැද මිදුලෙ දැල ගහන්න පුරුදුවෙනව යකඩ බරු සිමෙන්තියෙ වැදෙන සද්දෙ මට ඇහිල තියෙන්නෙ,මට ඉල නෑ හිනාවෙලා මල්ලි,මොනව කරන්නද ඉල්ලං කාපු එකට මම ආපහු දොරත් වහගෙන කාමරේට රිංගගත්තා...

මම කියාගෙන ආවෙ කොස්සැටදෙනියේ වෙල ඉස්මත්තෙ දෙනිය ගැන නේද,අපේ මහප්පල එහෙම නැතිවුනාම රිචී බාප්ප කුඹුර  කොටන ගමන් ඔය දෙනිය ටික ටික කොටල කුඹුරටම යාකරල කුඹුර  ලොකුකර ගත්තා ඔන්න ඔය විදියට ඒ ලස්සන දෙනිය සදහටම නැතිවුණා දැන් දෙනියත් නෑ රිචී බාප්පත් නෑ වෙල කරන්නෙත් නෑ...

පස්සෙ කාලෙක රාජා කොස්සැටදෙනිය අඳේට වැඩකරද්දි අපි දෙතුන්දෙනා  එකතුවෙලා දෙනිය තිබ්බ හරියෙ කොටල ගොමයි වැටමාර අතුයි ගෙනත් දාල පෝර කරලා පොළෙන් කංකුන් මිටි ටිකක් ගෙනත් හිටෙව්වා,කිව්වහම මොකද කංකුන් ටික ලස්සනට සනීපෙට හැදුනා, ගෙදර හදවන් කන්න ඕනැ වෙලාවට අපි ගිහිං කපාගෙන ඇවිත් කනවා,කංකුන් හීනියට ලියල බල කරෝල කෑල්ලකුත් දාල තෙලෙන් තෙම්පරාදු කරල කාල එහෙම තියෙනවද, ඉඳිආප්පත් එක්ක  මාර රහයි...

ඒ උනාට කංකුන් කියලත් හැමදාම කන්න පුලුවනෑ නමුත් නොකැපුවොත් කංකුන් ටික මෝරල යනව ඒ නිසා තුන් දෙනාම එකතු වෙලා කංකුන් පාත්තියම කපල මිටි බැඳල වස විස නොගහපු කංකුන් කියල සැන්ටින් මුදලාලිගෙ කඩෙන් ගිහිල්ල තිබ්බා,තිබ්බ මිටි ඔක්කොම ටික වෙලාවකින් විකිණිලා තිබුණා හම්බවෙච්චි සල්ලිවලට මදි හරිය දාල අපි තුන්දෙනා බෝතලයක් ගෙනාවා...

මේ එළවළු කොටු කතාව මට මතක්වුනේ දමිත්ගෙ  වම්බටු කොටුවෙ පෝස්ට් එක දැකලයි දමිත්ගෙ  කොටුවෙ වම්බටු ලස්සනට පහලට එල්ලී එල්ලී තියෙනව දකිනකොට මට නොහිතුන දෙයක් නෑ...

ඉස්සෙල්ලම මතක්වුනේ පර්මිනා දාසාගේ ආදරය ඉල්ලගෙන ලියුම් ලිය ලිය පස්සෙන් ආපු ෆ්ලොරෙන්තිනෝ අරීසාට ඇය ලියු පළවෙනි ලිපිය හෙවත් වාක්‍ය පේළිය...

''හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''

මට ඊළඟට මතක් වුනේ කළු ධර්මෙය දවසක්දා මට කියපු කතාවක්,කොල්ල කාලෙ කළු ධර්මය වැටකොළු කොටුවක් වැව්වලු හොඳ සරුවට  වැවුණු කොටුවෙ දැන් වැටකොළු කරල් පලඅරං ලස්සනට පහළට එල්ලී එල්ලී තියෙනවලු,දවසක්දා උදේ කොටුවට වතුර දාන්න යද්දී වැටකොළු කරල් කඩු  වගේ කෙලින්වෙලා ඉහළට ඉස්සිලා තියෙනව ධර්මෙ ඈත ඉඳන්ම දැක්කලු,මේ මොකක්ද යකෝ මේ පුදුම වැඩේ කියල ධර්මය හනි හනිකට කොටුවට දුවල ගිහිං බලද්දී වැඩේ ඇත්ත හරි පුදුමයි,වැටකොළු  කරල් නිකං පොලු වගේ කෙලින් වෙලා උඩට ඉස්සිල තියෙනව, අතින් පහළට දැම්මත් ආපහු පටස් ගාල කෙලින් වෙනවලු...

වැටකොලුවලටවත් වගාවටවත් මේ වැඩේ නිසා කිසිම හානියක් නැතත් මේ සිද්දවෙලා තියෙන අටමගල් වැඩේ මොකක්ද කියල බලාගන්න ධර්මෙයට හිතුන හින්ද ගිහිං උන්ගෙ මාම දිනෝරිස්ට ඔක්කොම විස්තරේ කිව්වා...

යමංකො මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න කියපු දිනෝරිස් ධර්මය එක්ක කොටුවට ගිහිං සිද්දවෙලා තියෙන දේ දෑහින්ම දැකබලාගත්තා...

දැං උඹට මේ වැටකොළු කරල් ටික පාත් කරගන්න ඕනෑ එහෙම නේද...

දිනෝරිස් හිනාවෙවී ඇහුවා...

අනේ ඔව් මාමෙ වැටකොළු කරල් ටික මෙහෙම උඩට කෙලින්වෙලා තියෙද්දී පාරෙයන මිනිස්සුන්ටත් පේනවනෙ...

ඉඳපකො එහෙනං කියපු දිනෝරිස්  එතනම බිම ඇන තියං ඉඳගෙන මොන මොනවද හෙව්ව,ටිකකින් හිනාවෙවී පඳුරු වගයක් ගලෝල විසික් කළා...

ඔන්න තව ටිකකින් බලපංකො කරල් ටික පාත්වෙලා තියෙයි...

 මේ බලහංකො මාමෙ මේං දැම්මම කරල් ටික පාත්වෙනව,හැබෑටම මොකද්ද උඹ කරපු කෙම...

මං කොරපු කෙමක් නෑ බං පන්දලමට ගිහිං තිබ්බ මේං මේ වැල් පෙනෙල පඳුරු දෙක තුන ගලෝල විසික් කළා මිසක...

මට මතක්වුණු කතා දෙක ඔන්න ඕකයි, තව බන්දු කිව්ව කතාවකුත් මතක් වුනා ඒ කතාව වෙන වෙලාවක කියන්නං...

කිව්වහම මොකද මගෙ කෙහෙල් කොරටුවෙත් වැල් පෙනෙල සරුවට හැදිල තියෙනවනෙ,කෙහෙල් පඳුරුවලට පොල් පැළවලට එහෙම දාන පෝර උරාගෙන  සනීපෙට පඳුරු ගගහ පෙනෙල වැල් හැදෙන හැටි බලන්න ලස්සනයි, කොටුවට යද්දි මම සෙරෙප්පු දෙකක්වත් දාන්නෙ නෑ වැල් පෙනෙල පෑගුණත් ඇඟට හොඳයිනෙ,ඉරිද දවස්වලට කැඳ හදන්න පඳුරු තුන හතරක් ගලෝල මම බිරිඳට ගිහිං දෙනව, හැබැයි කැඳ හදද්දී මුකුණුවැන්න ටිකකුත් දාලම වැල් පෙනෙල ටික අඹරගන්න නැත්නං ටිකක් වල් රහ එන්න බලනව, වැල් පෙනෙල විතරක් නෙවෙයි වෙන මොනයම්ම කොළ වර්ගයකින් කැඳ හැදුවත් කොළ අඹරද්දි මුකුණුවැන්න මිටි බාගයක් විතර දැම්මම ප්‍රනීත රසක් එනව, මුකුණුවැන්න කොලේ හරිය මැල්ලුමට අරං ඉතුරුවෙන දණ්ඩ ඔය වැඩේට හොඳටම හොඳයි...

වැල් පෙනෙල වල තියෙන විස්මිත ගුණය ගැන කියවෙන මේ කවිය කවුරුත් වගේ අහල  ඇතිය කියල මම හිතනවා...

වැල් පෙනෙල          සාකා
ගිතෙලෙන්   මලවලා   කා 
අඹු නොතකන          එකා 
සියක් අඹුවන් වුවද සලකා