Monday, May 27, 2013

68.කිරිඅම්මාවරුන්ගේ වරුණ





අපේ සිංහල සංස්කෘතියෙ තවත් ඉතා වැදගත් අංගයක් ගැනයි මම අද ලියන්න හදන්නෙ...

ඒ තමයි කිරි බාර හෙවත් කිරි දාන හෙවත් කිරිඅම්මලගෙ දාන...

මේ කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන මගෙ මතකය අවදි වුණේ හැලපි පහුගිය අවුරුද්දෙ මට එවපු පිංතූර පෙළක් දැකලයි.

ගොඩක් වෙලාවට ගෙදර යම් වැඩකදි හරි ලෙඩක් දුකකදි හරි අපේ අම්මල බාරයක් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්...ඒ විවිධාකාර බාරහාර අතරින් එක බාරයක් තමා කිරි අම්මාවරුන්ගෙ දානයක් දෙන එක...

අද කාලෙ දෙන කිරි අම්මාවරුන්ගෙ දානවලයි මීට අවුරුදු හතළිහකට හතළිස්පහකට විතර ඉස්සර දීපු කිරි දාන වලයි අතර මොනතරම් වෙනසක් තියන්වද කියල මට නිකමට හිතුණා...ඒ නිසාමයි මම මේ කතාව ලියන්න ගත්තෙ...කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන ඔයගොල්ලන්ටත් තියෙන අත්දැකීම් ආයෙම ඒ ඒ පළාත්වල කිරි බාර දෙන විධි ක්‍රම ගැන කියනව නම් මම එය ඉතාම වැදගත් කොට සළකනවා...

ගෙදරක කිරි බාරයක් ඔප්පු කරන්න තියෙනකොට ඒ ගෙදර තෙල් වළං ලිපේ තියන්නෙ නෑ,කිරිබත් කෑලි කපන්නෙ නෑ ආදී වශයෙන් තහංචි පැනවෙනවා...කිරිබාරය ඔප්පු කරන්න කැවිලි හදන්න තමයි ආපහු තෙල් තාච්චි ලිපේ තියන්නෙ...

මේ කිරිබාර දෙන චාරිත්‍ර එක එක පළාත්වල එක එක විදියයි...ඒ නිසා සියළු දෙනාම එකඟ වෙන නිශ්චිත ක්‍රමවේදයක් නෑ...මම කියන්නෙ බස්නාහිර පළාතෙ සියනෑ කෝරළේ මැද පත්තුවෙ පිහිටලා තියෙන මටනං ස්වර්ගය හා සමාන  අපේ ගමේ කිරිඅම්මලගෙ බාර ඔප්පු කිරීමේදී කළ චාරිත්‍ර...

මම මේ කතාව ලියන ගමන් හැලපි එක්කත් සුහද සාකච්ඡාවක් කළා...බලපුවාම හාපිටිගම් කෝරළේ තියෙන හැලපිලගෙ ගෙදර කරපු කිරි බාර චාරිත්‍රවල යම් යම් වෙනස්කම් දකින්න පුළුවනි...

 බාරෙ දෙන්නට ප්‍රමාණවත් කෙසෙල් කැනක් වත්තෙ නැත්නම් කැනක් හොයාගෙන ඇවිත් දුං ගහල ඉදව ගන්නව...අම්මා අලුත් කැකුළු හාල්වලින් පිටි වනක් කොටල පැත්තකින් තියනවා...

සාමාන්‍යයෙන් කිරි බාර දෙන්නෙ සෙනසුරාද හරි ඉරිදා හරි...මේ දවසුත් පළාත් අනුව වෙනස් වෙන්න පුළුවනි...

බාරෙ දෙන්න කලින් දවසෙ අම්මා ගමේ ගෙවල් ගානෙ ගිහිං කිරිඅම්මලා හත්දෙනෙකුට ආරාධනා කරල එනව...ඒ ඇවිත් තමයි දානෙට සෑහෙන්න අතිරස හදන්නෙ...මහ පාන්දර දෙකට තුනට නැගිටල කිරිබත් උයල කෑලි කපා ගන්නව...බාරෙට දෙන්න හදන කිරිබත් කෑල්ලක් ගඩොල් කැටයක් තරම් ලොකුවටයි හදන්නෙ...

බාරෙ දවසෙ පාන් කළුවෙන් ඒ කියන්නෙ බිමට එළිය වැටෙන්න ඉස්සර සුදු ඇඳගෙන තවත් සුදු වස්ත්‍රයක් පොරවගත්තු කිරිඅම්මල හත්දෙනා අපේ ගේ මිදුලට එකතුවෙනවා...

ඉස්තොප්පුවෙ තියල තියෙන වතුර බේසමෙන් දෙහි බෑයක් අරං ඔලුවෙ ගාගෙන තමා කිරිඅම්මල ගෙට ඇතුල්වෙන්නෙ...

පේළියට බිම වාඩිවෙලා ඉන්න කිරිඅම්මලට කිරිබත්, කැවුම්,කෙසෙල්ගෙඩි හත බැගින් බෙදාගෙන යනවා...ඒ බෙදිල්ලෙත් ක්‍රමයක් තියෙනවා...මං හිතන්නෙ කැවිලි හත බෙදන්නෙ තුනයි දෙකයි දෙකයි වශයෙන්...ඒ කියන්නෙ ඉස්සෙල්ල තුනයි ඊළඟට දෙකයි ආයෙමත් දෙකයි හැටියට...

බුද්ධ පූජාව තියල පන්සිල් අරගෙන ගථා කියන කිරිඅම්මාවරුන් ඔවුන්ට විශේෂිත කවි මාලය ගායනා කරන්නෙ ළයාන්විත හඬින්...

ඊළඟට පිළිගන්නපු කැවිළිවලින් බොහොම සුළු ප්‍රමාණයක් අනුභව කරල තේ හරි කෝපි කෝප්පයක් හරි පානය කරනවා...

ඊළඟට එක්කෙනා එක බැගින් දැල්වෙන පහන් තිර අතට අරගෙන ඒ පහන් තිරය හිසේ තියල ගෙදර සෑම සියලු දෙනාටම සෙත් පැතුවට පස්සෙ කැවිළි ටිකත් රෙදිකඩේ ඔතාගෙන ගෙදරින් පිටවෙන ගමන් අතේ තියෙන පහන් තිරය එළියෙ තියල තිබුණු වතුර බේසමට දානවා...

එහෙම තමා ඒ දවස්වල කිරිබාර ඔප්පු කළේ...ගොඩාක් ඉස්සර අපේ ගෙදර දීපු කිරි බාරයක් මට ඊයෙ දුන්නා වගේ මතකයෙ තියෙනවා...ඒක මතකය තමයි මම ඉහළින් ලිව්වෙ...

ඒ කාලෙ අපි හිටියෙ කුලී ගෙදරක...මොකද අපේ මහගේ කඩල ඒ දවස්වල අලුතෙන් ගෙයක් හදන නිසා...ඔය ගේ තිබ්බෙ අලවත්ත පාරෙ පල්ලමේ වංගුවට මූණදාලයි...

ඒ කාලෙ වෙළෙන් එහා මෙහා ගම යාකරන පාර දාල තිබ්බෙ නෑ...අපි හිටපු ගෙට පහළින් ඇළට උඩින් සිමෙන්ති පාළමක් විතරක් දාලා තිබුණා...ගමේම උදවිය එගොඩහ මෙගොඩහ යන්නෙ අපේ ගේ ඉස්සරහින් තමා...


අපි කොල්ලො කට්ටිය ඒ කාලෙ ඔය ඇළේ මාලු වලවල් ඉහිනවා...වතුර අඩු කාලෙට ඇළේ වලක් ගාව වැටියක් දාලා වතුර ඉහල වලේ දඟලන මාලු ටික අල්ල ගන්නව...ඔය විදියට ඇළේ උඩහට හරි පහළට හරි යමින් වලවල් කීපයක් ඉස්සහම ලොකු බාල්දියකින් එකක් විතර මාලු අල්ලගන්න පුළුවනි...

හැබැයි මම වෙල් මාලු කන්න එච්චර ප්‍රියක් නෑ...ගෙදර ගෙනියන්නෙත් නෑ...ගෙදර ගෙනිච්චොත් නං ඉතිං ඉඳල ඕනැ නෑ අම්මගෙන් බලු බැණුං...මාලු වලටම පැනල මැරෙන එක ඊට සැපයි...මාලු අල්ලන එක තමා මට තියෙන ජොලිය.

 ඔන්න දවසක්දා අපිත් එක්ක කෝච්චියෙ යන ජයන්ත ඒ ගොල්ලන්ගෙ වෙලේ මාලු අල්ලන්න එන්න කියල මට කිව්වා...ඒ දවස්වල හැලපිට පුතා හම්බවෙන්න හිටියෙ...මාලු අල්ලන කතාවක් කියන්නෙ නැතුව ජයන්තලගෙ ගෙදර යනව කියල මම පිටත් වුණා...

මම යනකොට ජයන්ත බෙම්මුල්ලෙ ස්ටේෂන් එකේ සයිකලෙත් තියාගෙන ඉන්නවා මම එනතුරු...ගෙදර ගිහිං උදේට කාල එහෙම ඇඳුම් මාරු කරගෙන ජයන්තලගෙ ගෙට පහළින් තිබ්බ පුරං වෙච්චි වෙල්යායට බැස්සා...අවුරුදු ගණනාවකින් අස්වද්දල නැතිව කැලෑවැහුණු ඒ වෙල්යාය හරිම සුන්දරයි...දණක් වතුර මාලු පිරිලා...

අමුඩයක් ගහගෙන අපිත් එක්ක ආපු ජයන්තලගෙ තාත්තා මාලු ඇල්ලීමේ විශේෂඥයෙක්...තාත්තා කලින් දවසෙ අටවල තිබ්බ උගුලකට පත ලූලෙක් අහුවෙලා හිටියා...

මාලු අල්ලන අපට ගමේ තව කීප දෙනෙකුත් එකතු උනා...හවස් වෙනතුරුම වෙල්යායෙ මාලු අල්ලල ගොඩට ඇවිත් ජයන්තලගෙ ගෙදරින් දවල්ට බතුත් කාල අර ලූලයි, බට්ටොයි තව විවිධ ජාතිවල මාලුයි අරගෙන මම හවස ගෙදර ආවා...

 බුදු සන්තෝ...එදා අහගත්තු බැණුං වරුසාව...අපේ අම්ම තමයි පටං ගත්තෙ...

සත්තු මරනවද යකෝ ළමයි හම්බවෙන්න ඉද්දි...

ආදී වශයෙන් පටන් අරං කියෝනව කියෝනව පැය බාගෙකට වැඩියි...හැලපි වෙල් මාලු කන්න කැමතියි ඒ වුණාට අම්ම පරල වෙලා කෑ ගහද්දි මොකුත් කරන්න බෑනෙ...

මට ඕනැ නෑ මාලු...කියල කටත් ඇදකරගෙන පැත්තකට උනා...

අපේ මල්ලිගෙ පවුල මාලු ටික අරගෙන හොඳට තුනපහේ දාල ඉව්ව මොකුත් නෑ ගෑවුණු තැන කන්න පුලුවනි...අපරාදෙ කියන්න බෑ එක මාලු කූරියෙක්වත් අහක ගියෙ නෑ...
 (ජයන්තලගෙ ගෙවල් ළඟ වෙල්යායෙ මාලු අල්ලපු හැටිත් හරිම ලස්සන කතාවක්...ඒ කතාව වෙනම දවසක ලියන්නං)

අපේ ගෙවල් ළඟ ඇළේ අපි මාලු අල්ලද්දි වැඩිපුරම අහුවෙන්නෙ මගුරො,අංකුට්ටො,කාවයියො,හුංගො වාගෙ මාලු...ඉඳල හිටල ලූල් පැටියෙක් අහුවුණාට ලූල්ලු, ආඳො වාගෙ මාලු අහුවෙන්නෙ නෑ...මඩකරි හෙවත් මඩ කණයි නං ඕසෙට අහුවෙනවා...ඒ උනාට කට්ටිය මඩකණයින්ට මනාප නෑ...ආපහු වතුරටම දානවා...

ඉහපු වලේ මාලු ටික අල්ලගෙන ඇළඉවුරෙ තියෙන තණකොළ බිස්ස හිමිහිට උස්සපුවාම තවත් මාලු මහ රාසියක් ඇළ ඉවුරෙ ඉන්නව හරියට සැමන් ටින් එකක මාලු අඩුක් කරල තියෙනව වගේ...වැඩිපුරම ඉන්නෙ හුංගො...බොහොම පරිස්සමින් අල්ලගන්න ඕනැ...විද්දොත් එහෙම පුදුම වේදනාවක්...

ඔන්න සැරයක් අපේ කුඹුරෙ ගොයං කපල පාගනව...කොල්ලො කණ්ඩායමම උදව්වට ඇවිත් හිටියා...අපි කොළදින් කෙරුවෙ කනත්ත ළඟ පොඩීලගෙ කමතෙ...හරියටම එදාම මිනිස්සු කට්ටියක් මහපාරෙ බාප්පලගෙ ගෙවල් ළඟ පාලම යට බෝක්කුව ඉහලා මාලු අල්ලං ගිහිං...කොල්ලන්ට මේ කතාව ආරංචිවෙලා බෝක්කුවෙ ඉතුරු මාලු ටික අල්ලගන්න කියල දුවල ගියා...

පෑගිල්ල ඉවරවෙලා බැත හුළං කරන්න විතරයි තිබුණෙ...ඒ හින්දා මමත් කොල්ලන්ට මොකුත් කිව්වෙ නෑ...ඔහෙ ගිහිල්ල එන්නැතෑ කියල කමතට වෙලා ඉඳං හිටියා...

ඔන්න ටිකකින් කුමාර නියර දිගේ වේගෙන් එනව මට පේනවා...මේකා එන විදියයි එන වේගෙයි අසාමාන්‍ය කමක් දැක්ක නිසා මම ටිකක් විමසිලිමත් වුණා...මගෙ දිහා නොබලාම...

අයියෙ මම යනව...

කියාගෙන තවත්  වේගෙන් නියර දිගේ යන්න ගියා...උගෙ කටහඬෙත් තරමක වියරු ගතියක් තිබුණද කියලත් මට හිතුණා...

තවත් ටික වෙලාවකින් කුමාරට සනීප නැතුව බේත් කරනව කියල කමතෙ හිටපු අපිට ආරංචි වුණා...කමතෙ වැඩ ටික ඉක්මනට ඉවර කරපු අපි කුමාර බලන්න ගෙදරට ගියා...

ගෙදර මිදුලෙ බූරු ඇඳක ලෙඩාව නිදිකරවලා...ඇඳ යට බේත් මුට්ටියක් කට කලු හබරල කොළේකින් බැඳල...කොළේ සිදුරු කරල ලෙඩාට හුමාලෙ වදින්න...

 ලාල්ලගෙ තාත්තා මතුරනවා...

සිද්දවෙච්චි දේ පස්සෙයි ආරංචි වුණේ...

කමතෙ ඉඳල ගියපු කුමාර කෙලින්ම බෝක්කුවට බැහැලා...ඉණක් විතර මඩවතුර තිබිල තියෙනවා...ඔය වතුරෙ මඩ මිරික මිරිකා මාලු හොයපු කුමාරට වලේ ඉතුරුවෙලා හිටපු හුංගො ටික හොඳට සලකලා...ඇනල තියෙන්නෙ ඉණෙන් පහළ ප්‍රදේශයට...විශේෂයෙන් ඔලුවට එහෙම හොඳ සීරුවට ඇනලා...
 
 වේදනාව ඉවසගන්න බැරිතැන කුමාර නියර දිගේ ගෙදරට දුවගෙන ගිහිල්ලා...ඒත් ඉන්න බැරුව අපේ නාන ළිඳට ඇවිත් නාන්න...එතන සිහිනැතුව වැටිල ඉන්නව නාන්න ආපු චන්දරේ දැකලා තමා උස්සගෙන ගෙදරට ගිහිල්ල තියෙන්නෙ...

එතන ඉඳන් ගමේ විෂ වෙදා වෙච්චි ලාල්ලගෙ තාත්ත ඇවිත් බේත් කරල තියෙන්නෙ...

 ඔය කේස් එක නිසා පස්සෙ කාලෙක සෘජු වීමේ ප්‍රශ්නයක් පැන නැගිල කියල කුමාරමයි කිය කිය ඇවිද්දෙ...

එහෙම දෙයක් වුණාදවත් කියල මටනං සැකයි පස්සෙ කාලෙකදි මූ ගෑණුන්ට එළෝ එළෝ නෙලපු හැටියට...තාම එහෙමයි බැන්දෙත් නෑ වන වනා ඉන්නව...

ඔන්න ආයෙමත් ඉන්දියාවෙ ඉඳල අපි ගෙදර ආපු අලුත කොල්ලො ටික වලක් ඉහිනව කියල ආරංචි වෙලා මමත් ගියා...දැන් අපි වලවල් දෙකතුනක් ඉහලා ඇළේ උඩහ පෝටවත්තෙ පල්ලෙහා හරියෙ වලක් ඉහිනවා...ටිකකිං අපේ පෝටවත්තෙ නැන්දා ඇඳන් හිටපු කිමෝනාවත් පැත්තකින් උස්සගෙන නියර දිගේ  දුව දුවගෙන එනව මම දැක්කා...

පුතේ...බුදු අම්මේ ඔය මොකද කරන්නෙ...චී චී යන්න ගෙදර...යන්න ගෙදර...

ඇයි නැන්දෙ...

ඇයි තමයි...ලැජ්ජ නැද්ද... මෙන්න මෙහෙට එන්ඩ...

නැන්දගෙන් බේරෙන්නම බැරි තැන මම මග ඇරල ගියා...නැන්ද හිතන්න ඇති මම පිටරට ඉඳල ආපු ගමන් ඇළේ තිත්තයො මිරිකන එක ලැජ්ජාවක් කියලා...ඒ ගොල්ලො එහෙමනෙ...මමනෙ දන්නෙ ඒ වැඩවල තියෙන සනීපෙ...

බුදු අම්මෝ...මම කිරි අම්මල ටික ගෙදර තියල මාලු අල්ලන්න ගියා නේද...එහෙනං කිරිඅම්මලගෙ බාරෙ දීලම ඉම්මු...

ඉස්සර කාලෙ කිරිබාර දීපු විදිහ මම කිව්වනෙ...දැන් කියන්න තියෙන්නෙ මේ කාලෙ කිරිබාර ඔප්පු කරන විදිය...

අපි බෙල්ජියමෙ ඉඳල ගෙදර ආපු දවස්වල කිරිඅම්මාවරුන්ගෙ දානයක් දුන්නා...ඒ දානෙට අපි හැදුවෙ කිරිබත්,අතිරස,කෙසෙල්ගෙඩි සහ කිරිකෑලි හෙවත් කිරියා...ඒ බාරෙ දෙන්න එද්දි කිරිඅම්මල පත්තිනි දේවියගෙ රූපයකුත් ගෙනත් පුද පූජා පැවැත්තුවා...

මේ මෑත කාලෙක ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ හැලපි මෙහෙ එන්න කලින් කිරිඅම්මලගෙ දානයක් දීලා තිබුණා...

අනේ අම්මේ...කිරිබාර මොඩ්වෙලා තියෙන තරමක්...

ඉස්සර වාගෙ අපට ඕනැ අයට ආරාධනා කරන්න බෑ...කිරිබාරෙට මූලික වෙන කිරිඅම්මා ළඟට ගියාම අහවල් අහවල් අයට ආරාධනා කරන්න කියල එයා කියනවා...

ඊට පස්සෙ කිරිඅම්මලගෙ බාරෙට කැවුම් කිරිබත් එක්ක කැවිලි ජාති හත බැගින් තියන්න ඕනැ...පඬුරු තියන්න ඕනැ...බාරෙ ඔප්පු කරල යද්දි තෑගි දෙන්න ඕනෑ...

ඔය ඔක්කොම හැලපි මට කතාකරල කිව්වා...

මම නං ඔහොම කිරිබාර දෙනව කවදාවත් දැකල නෑ...අපි දන්න ඉස්සර කරපු විදියටම දෙන්න...

එහෙම බෑනෙ අනේ...දැන් කවුරුත් ඔය විදියටනෙ කරන්නෙ...අපිටත් එහෙම කරන්න වෙනවා...

අනේ කාලේ වනේ වාසේ කිව්වලු...දෙන්න බැරිකමකට පෙරේතකමකට නෙවෙයි...තමන්ගෙ වාසියට එහෙම නීති හදාගන්න එක හරි නෑ...කැතයි...කිරිඅම්මා කියන උතුම් නමට කැළලක්...

දැන් කිරිඅම්මලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඕනැ...හත්දෙනා ගේ මිදුලෙ එකතුවෙලා පැය කාලක් විතර කවි කියනව ගෙට ඇතුල්වෙන්න කලින්...
 
ගෙට එන්නයි හදන්නෙ කියල...
 

ලාල්ලගෙ අම්මා තමයි කිරිඅම්මාවරුන්ගෙ මූලිකයා...මම හිටිය නං කවි ටික රෙකෝඩ් කරගන්නත් තිබුණා...
 
දෙහි ගාගෙන ගෙට ඇතුල්වෙන්නෙ  ගෙයින් එළියෙ තියල තියෙන කිරි බාජනයකුත් අරං...ඒ කිරි අන්තිමේදි ගෙයි හැමතැනමත් ගේ වටෙත් ඉහිනවා...

හැබැයි ඉතිං වැඩත් වැඩියි...කිරි උතුරෝල පත්තිනි අම්මගෙ පින්තූරෙට පූජා වට්ටියක් තියල නොයෙක් තාන්තුවා කරනවා.
 
ඒ බාරෙ පින්තූර ටික තියනවනෙ...ලියනවට වඩා හොඳයි කට්ටිය බලලම පැහැදිලි කරගන්න එක.
                                   පැමිණීම සහ කවි ගායනය
                                       ඇතුල්වන්නට පෙර
 
                                                                 
 
                               කිරිමුට්ටියක් රැගෙන ඇතුල්වීම


Saturday, May 25, 2013

67.දන්සැල් පුරාණය 3




 
අපේ මඤ්ඤොක්කා දන්සැලේ කතාව ඉවරකරන්න බැරිවුණානෙ...අපි නැවැත්තුවෙ දවල්වෙලා දන්සැල ඉවරකරපු තැනින්...

ඔන්න අපි දන්සැල ඉවරකරල දවල්ට කාල එහෙම ටිකක් විවේකීව ඉන්නවා...අපි දන්සැල දීපු තැනට පොඩ්ඩක් එහයින් පාරෙන් අනික් පැත්තෙ හූරන ලොතරැයි විකුණන වෑන්  එකක් තිබුණා...අපි එදා ආපු වෙලාවෙ ඉඳන් ආපහු පිටත්වෙන වෙලාව වෙනකල්ම ඔය වෑන් එකේ ටිකට් විකුණන සද්දෙ තමා නොනවත්වා ඇහුණෙ...මුලු රැයක් පුරාවටමයි දවල් දවසෙ හැන්දැ වෙනතුරුම එක සීරුවට එකම මනුස්සය කට කමිසිරියාවක් නැතුව ලොතරැයි වරුණාවයි සල්ලි දිනන හැටියි කියනවා...

ලොතරැයි වෑන් එක ඉස්සරහ සෙනග ඊස් මීස් නෑ...පොරකකා ලොතරැයි හූරනවා...එතන වැඩිපුර පොරකන්නෙ අපි උඹල වගේ පෘථග්ජනයො නෙවෙයි...හාමුදුරුවරු,මෙහෙණින්නාන්සෙලා,සිල්ඇත්තො,උපාසක උපාසිකාවො...අනේ අම්මපල්ල මගෙ දෑහින්ම දැකපු දේ...

ඕකත් බලාගෙන මම එතන එහා පැත්තෙ තිබුණු කඩේට ගියෙ බුලත්විටක් ගන්න...ඒ කඩේ මැස්සො ඇහිරෙනවා...දන්සැල් අඩියෙන් අඩියට පැටව් ගහල තියෙද්දි කඩවලට සෙනග එයිද...

බුලත්විටත් දිගඇරගෙන කන ගමන් මම කඩේ මුදලාලිත් එක්ක කතාවට වැටුණා...

මෙහෙට සෙනග නැතිවුණාට ලොතරැයි වෑන් එක ළඟින් එන්නවත් බෑනෙ මුදලාලි සෙනග...



මුදලාලිටත් ලොතරැයි කාරයත් එක්ක මල පැනල ඉන්න ඇත්තෙ...

මෙදා සැරේ නෙවෙයි මහත්තය බලන්න තිබ්බෙ...පහුගිය පෝයට ඕකා ඔතනම වික්කනෙ හැමණෙන විකිණිල්ලක්...

ආදී වශයෙන් මුදලාලි ටිකට් වික්ක එකාගෙ මවුතුමියගෙ ඉඳල ගුණ වරුණා කරල උගෙ අල ගිය මුල ගිය තැන් ඔක්කොම මාත් එක්ක කියන්න ගත්තා...

ඕකා ටිකට් විකුණල යද්දි වෑන් එක ගිනිගත්තනෙ මහත්තයො...පූජා නගරෙ ඕකා කියපු පල් බොරු හින්දම වෙන්න ඇති...මහත්තය යන ගමන් බලන්නකො ඕකගෙ මූණ කලුවෙලා තියෙන හැටි...ඒ පිච්චිලා...

මුදලාලිගෙන් සමු අරං ආපහු ඇවිත් කට්ටිය එක්ක කතා කර කර හිටියා බිම ඉඳගෙන...මේ වෙනකොට කලින් දවසෙ රෑ ඉඳල වැඩ කරලයි බිම ලැගලයි දැළියි මඩයි ගෑවිලා මම හිටියෙ නිකං මළ පෙරේතයෙක් වාගෙ...

කට්ටිය ඔක්කොම එකතුවුණාම වැවකට ගිහිල්ලා නාගෙන අටමස්ථානෙත් වැඳල රෑට කාල එහෙම පිටත්වෙමු කියල තමා අපි කතාකරගෙන හිටියෙ...

ඔන්න ඔය වෙලාවෙ අපි ඉන්න තැනට හොඳ ලස්සන මල් මල් සාරි ඇඳගත්ත ගෑණු ළමයි දෙන්නෙක් ආවා...මම හිතුවෙ විද්‍යා පීඨ වලට අලුතෙන් තෝරා ගත්ත ළමයි දෙන්නෙක් කියලා...හැබැයි කට පුරෝල විටත් කාල තිබුණා...බලපුවාම මේ සාස්තර කියන අය...

 ඔන්න දැන් නිකං ඉන්න එකේ කට්ටියම සාත්තර අහන්න සෙට්වුණා...එක කෙල්ලෙක් මගෙත් අත බැලුවා...

මාත්තයට ආයුෂනං බෝම පොඩ්ඩයි තියෙන්නෙ...ඒ ගැන දුක්වෙලා වැඩක් නෑ...

නෑ නෑ කිසිම දුකක් නෑ...මෙච්චර කල් ජීවත්වුණා මදෑ...

මාත්තය ඉගෙන ගත්ත නං මේසෙක පුටුවක ඉඳගෙන ලියන රස්සාවක් කරන්න තිබුණා...

එතකොට මම දැන් ලියන්නෙ බිම ඉඳගෙනද...සාත්තර කියන්නෙ අත බලලද ඇඳුම්වල හැටි බලලද...


ඔන්න ඒ වෙලාවෙම රාජත් කොහෙද ඉඳල එතෙන්ට පාත්වුණා...

මේ මහත්තය මෙහෙම මඩගාගෙන හිටියට කවුද කියල දන්නවද...බොරු කියන්න එපා...

කෙල්ල කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා...

උන් දෙන්න ගොඩක් ආධුනිකයි...කියන බොරුවවත් හරියකට කියාගන්න බෑ...

 මට මතක් වුණේ මීට අවුරුදු කීපයකට කලින් පොසොන් පෝයකට අනුරාධපුරේට ආව වෙලාවක කාන්තාවන් දෙන්නෙකුගෙන් සාත්තර අහපු හැටි...ඒ අභයගිරිය ළඟදි...

කාලය 2008 අවුරුද්දෙ පොසොන් පෝය  රට යන්න ඉස්සෙල්ල අපි අනුරාධපුරේ වන්දනාවෙ ගියා...ඒ අවුරුද්දෙ රටපුරා කටකතාවක් පැතිරිලා ගියා පොසොන්වලට කොටි  ෂුවර් එකටම අනුරාධපුරේට ගහනව කියල...බිරිඳත් මේ කතාවලින් ටිකක් සැලිලා මගෙන් අහනව...

එක්කොත් අපි නොගිහින් ඉම්මුද...

පිස්සුද...කොටිගහල මැරෙන්න තියෙනව නං ඒ විදියට මැරෙයි...ඒත් එක එක කට කතාවලට බයේ ගමන නවත්තන්න බෑ...

ගමන යන්න ලෑස්තිවුණු නඩේ අපි හතර දෙනයි අපේ මස්සිනයි බිරිඳගෙ අයියලගෙ දුවල දෙන්නයි සෝමෙයි පවුලයි ඔක්කොම නම දෙනයි...

එදා සැරේ අනුරාධපුරේට ඇතුල්වෙන්න තියෙන හැම පාරකම මුර පොළවල් ඇති කරලා වාහනවල සෙනග බස්සල ඉතාම තදබල පරීක්ෂාවක් කරනවා...මත්පැන් එහෙම වාහනවල තියෙනව නං ඒව මුරපොළවල තියාගන්නව...පරීක්ෂාවෙන් පස්සෙ වාහනේට ස්ටිකර් එකක් ගහල යන්න දෙනව...

අපි ගියෙ බිරිඳගෙ කන්තෝරුවෙ ගෙස්ට් හවුස් එක බුක් කරලයි...ගිහිං බලපුවාම මුලු ගෙස්ට් හවුස් එකටම හිටියෙ අපි කට්ටිය විතරයි...වෙනදට පොසොන්වලට බුක් කරනව තියා හිතන්නවත් බෑ...

එදා හවස්වරුවෙ සෝමෙලගෙ මහගෙදර ගිහිං වැවකින් නාල සෝමෙගෙ නංගි රෑට කන්න උයල දුන්න කෑමත් අරගෙන ආපහු ආවා...යනකං එනකං අපේ මස්සිනා කංකෙඳිරි ගානවා...

මොකුත් නැද්ද ඕයි...හොයනවකො මොනවහරි...

උගෙ කරදරෙන් බේරෙන්න බැරි තැන මම ගෙස්ට් හවුස් එකේ මනුස්සය හම්බවෙලා කතාකෙරුවා...

බ්ලැක් මාකට් ගාණට එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ...ඉන්ඩකො මහත්තය කෝකටත් මම කතාකරල බලන්න...

පැය බාගයක්වත් ගියෙ නෑ...පං මල්ලක් එල්ලපු බයිසිකලයක් තල්ලු කරගෙන ආපු බොහොම අහිංසක පෙනුමක් තියෙන මනුස්සයෙක් ගේට්ටුව ළඟට ඇවිත් අපට බෝතලේ දීලා සල්ලිත් ඉල්ලගෙන...

තව ඕනැවුනොත් කතාකරන්න මහත්තයා...

කියල යන්න ගියා...

පේමරත්න බෝතලෙත් බදාගෙන ඩ්‍රයිවරුත් එක්ක පිටිපස්සට ගියා...

සතුටින් සමාදානයෙන් රැය ගතකරල පහුවදා උදේ වන්දනාව පටන්ගත්තෙ ශ්‍රී මහ බෝධියෙන්...එතනම තිබ්බ නෙළුම් මල් දන්සැලකින් මලුත් අරගෙන පොලිසියෙන් නොමිලෙ දෙන මසාජ් එකත් අරගෙන මළුවට ඇතුල්වුණා...
සිල් ගත්ත උපාසක උපාසිකාවො හත් අට දෙනෙක් මළුවෙ තැන තැන වාඩිවෙලා හිටියා...මට නේද අනේ සංසාරේ කියල හිතුණා...මිනිස්සුන්ගෙ මොන පරාණ බයක්ද...

පොසොන් පෝයට මම දහ පහළොස් ගමනක් අනුරාධපුරේ ඇවිත් තියෙනවා...ඔය මළුවෙ සිල්ගත්ත උපාසක උපාසිකාවො කොච්චර පිරිල ඉන්නවද කිව්වොත් වැලි කැටයක් බිම වැටෙන්න ඉඩක් නෑනෙ...

අනෙ ඒකටත් එක්ක මෙදා සැරේ...ඕනැනං මළුවෙ ක්‍රිකට් ගහන්න වුණත් හොඳට ඉඩ තිබුණා...

රුවන්වැලි සෑයට ගියා...එතනත් එහෙමයි සෑ මළුවෙ පුට්බෝල් මැච් එකක් ගහන්නත් ඉඩ තිබුණා...

(ඒ ස්ථානවල තිබූ මහා හිස්බව පාලුව උපමාවකින් කියන්නට අදහස් කළා මිසක පූජනීය ස්ථානවලට නිගරු කිරීමට අදහස් නොකළෙමි.එබැවින් මා මළුවේ බෝල ගැහුව කියල වටහගෙන රෙද්ද උස්සගෙන එන්නට අවශ්‍ය නැති බව කරුණාවෙන් සලකන්න.දැන් එහෙමනෙ අමුතුම ජාතියෙ මූලධර්මවාදියො ටිකක්නෙ ඉන්නෙ.)

දන්සැල්වලත් ඒ විදියමයි...පෝලිං මොකුත් නෑ...කෙලින්ම ඇතුළට ගිහිං බෙදාගෙන කන්න පුලුවන් බුපේ එක වාගෙ...ඒ වැඩේ නං කොච්චර ජොලිද කිව්වොත් දකින දකින දන්සැලෙන් එක එක ජාති කාල බඩ හොල්ලන්න බැරිවුණා...

මගෙ ජීවිතේටම පොසොන් පෝයකට අනුරාධපුරේ ගිය  හොඳම ගමන ඒ අවුරුද්දෙ ගිය ගමනයි...කොටින්ට පිං සිද්ද වෙන්න අපි හිතේ හැටියට වැඳ පුදාගෙන හිතේ හැටියට කාල බීල ගෙදර ආවා...ආයෙම නං එහෙම චාන්ස් එකක් එන එකක් නෑ දැන් කොටි නැති නිසා...

අපි පොසොන් පෝයට අනුරාධපුරේ යන්න ගත්තෙ කොයි කාලෙ ඉඳලද...කොල්ලො කාලෙ හිතුණු ගමන් අනුරාධපුරේ ගියා...

අපේ යාලුවෙක් හිටිය ගුණේ කියල ගම මීරිගම ඌ අපිත් එක්ක ඉඳල අනුරාධපුරේ ඉස්පිරිතාලෙට මාරුවෙලා ගියා...

 අපි කරන්නෙ පොසොන් එකට වොරන්ට් එක ලියාගෙන කෝච්චියෙ නැගල කෙලින්ම ගුණය ඉන්න තැනට එනවා...පොසොන් එකට අනුරාධපුරේට ආපු වෙළෙන්දොත් කඩ අස්කරගෙන ගියාට පස්සෙ තමා අපි ආපහු එන්නෙ...

ඔන්න එක සැරයක් අපි රෑට කන්න ගියා...එදා අපිත් එක්ක ඉස්පිරිතාලෙ වැඩකරන කොල්ලෙකුත් ආවා නන්දකුමාර කියල...දන්සැල් දෙකතුනකටම ගියාට පෝලිම වැඩියි පැයක්වත් ඉන්නවෙනව...

යං මිහින්තලේ...

ගුණය කිව්වා...මිහින්තලේ බස් එකට නගින්න කලින් නන්දකුමාර අපිව එතන තිබ්බ හෝටලයක පිටිපස්සට එක්කරගෙන ගියා...ගිහිං අසෝක වීදුරුවෙන් කට කපල එක ගානෙ දාගත්තා...මොකුත් නෑ බඩ පපුව පිච්චිලා ගියා වාගෙ...අමුවෙන්නෙ කෙළල දැම්මෙ අනික ගල් කියල දුන්නට මොන ජරාවක් කලවං කරල දෙනවද කියල කවුද දන්නෙ... 

බස් එකට නැගගත්ත අපි ගිහිල්ල මිහින්තලෙන් බැහැගත්තා...ඒ හරියෙම විශාල බත් දන්සැලක් තිබුණා...අපිත් ගිහිල්ල පෝලිමේ හිටගත්තා...
 

දැන් කට්ටියගෙම බඩගින්න හොඳටම ඇවිලිලා තියෙන්නෙ...දන්සැලේ දොරේ ඉන්නෙ යෝදියෙක් වාගෙ උස මහත කලු ගෑණු කෙනෙක්...දොරට අතක් තියාගෙන ඉඳල කාල නැගිටල යන අයගෙ ගානට පෝලිමෙන්  කට්ටිය ඇතුළට ගන්නව...
 
අක්කෙ අපි කට්ටියම එකට ඇතුළට යවන්න...
 
ඇතුළට ගිහින් වාඩිවෙලා බලපුවම බොහොම පොඩි මෙනු එකක් තියෙන්නෙ...
 
කහබත්
පරිප්පු
සීනි සම්බෝල
 

 කෑම ටික පුදුම රහක්...අපිත් බෙදාගෙන හොඳ සීරුවට කෑවා...
 
තව පොඩ්ඩක් තිබ්බ නං මරු නේද...
 
නන්දකුමාර කියනවා...කාල ඉවරවෙලා ආපහු අනුරාධපුරේට ආවා..
 
කෝච්චියෙ ආපහු ගෙදර එනකොටත් දන්සැල් තියෙනවා...

ස්ටේෂන් එකක පැවැත්වෙන දන්සැලක් ගැන අපූරු විස්තරයක් භද්‍රජි මහින්ද ජයතිලකයන් ලියූ පොල්ගහමුල  කඩේ කියන පොතේ තිබෙනවා...ඒ විස්තරය මෙහෙමයි...
 

"පොසොන් පෝයට සති දෙකකට පමණ පෙර සිටම විශාල පොල් අතු මඩුවක් නිමවූයේ දුම්රිය පොළට යාබද හිස් ඉඩම් කෑල්ලේය.අල්විස් මහත්තයාගේ පුතුන්වූ සෝමපාලත්, කුමාරසිංහත් දානමය උත්සවයේ කටයුතු කරට ගෙන ක්‍රියා කළහ.පොසොන් පෝයට දින දෙකකට පමණ පෙර සිට කොළඹින් අනුරාධපුරයට ගමන් ගන්නා විශේෂ වන්දනා චාරිකා දුම්රිය ගණනාවක් වෙයි.ඇතැම් විට පැයකට වතාවක් මෙන්,දුම්රිය පෙට්ටි 15 කින් පමණ සමන්විත දුම්රියක් ගනේවත්තේ ඇවිත් නතරවන්නේ මේ අනුරාධපුර යන ගමනේය.ගනේවත්තේදී මෙම විශේෂ දුම්රිය අඩ පැයක් පමණ නැවතී තිබේ.


 ගනේවත්ත අවට ගම්වල මිනිසුන් නොයෙකුත් වැව්වලින් නෙළාගන්නා රතු,සුදුනෙළුම් මල් කරත්ත පිටින්,කරත්ත පුරවා,දුම්රිය පොළට එන්නේ දුම්රියේ හිඳින සැදැහැවතුන්ට දීමටයි.මේ කරත්ත ගොක් කොළවලින් සරසා තිබේ.ගවයින්ද මලින් සරසා සිටිති.ගැමියන් හැමදෙනාම කරත්ත සමග පෙරහැරින් එන්නේ සුදු ඇඳ ගෙනයි.ඉදිරියෙන්ම වැයෙන බෙර පදට පා තබමින් නටන උඩරට නැට්ටුවෝය.ඒ අතර හොරණෑ වාදනය වෙයි.ඇතැම් පැතිවලින් කරත්ත හයක් හෝ පහක් ආ අතර මුළු පෙරහැරේම කරත්ත විස්සක් පමණ වෙයි.
 

නැගී එන හිරුගේ පහස ලබන,කරත්ත පුරවා ඇති නෙළුම් මල්වල සුවඳ අවට වා ගැබේ පැතිර යයි.

 තවත් කරත්තවලින් ගෙන එන්නේ තැඹිලි හා කුරුම්බාය.කුරුම්බා සියල්ල ඇස්ස හැර හිල් කරන්නට පිළියෙල වූ ඒවාය.කුරුම්බා ගෙඩි හිල් කරන්නට ගැමියන් සාදා ගත් විශේෂ ආයුධයක් වෙයි.ඒ වනාහි සිල්බර කොටන් රේල් පීල්ලට එකතු කරන්නට ගහන ඇණය.ඒවායේ මොට්ට උලක්ද අනෙක් කෙළවර එල් අකුරට නැමුණු හැඩයක්ද වෙයි.
 

දුම්රිය පොළේ වේදිකාවේ දිගටම ගොඩගසා ඇති කුරුම්බා ගෙඩි අසල මේ ඇණ කීපයක්ද වෙයි.දානයට උදව් වෙන්නෝ මේ ඇණවලින් කුරුම්බා ගෙඩිවලට ඇණ ඇණ විදිමින් දුම්රියේ සිටින මගීන්ට දෙති.ඈත සිට එන වන්දනාකරුවන්ට මෙය ඉමිහිරි දිව්‍යමය පානයකි.ඒ අතර තවත් අය ඔවුන්ට අනුරාධපුරේ පූජා කරන්නට නෙළුම් මල් දෙති.අවට හැම තැනම සාදුසාදු හඬ පැතිර යයි.බැති හදවත් උතුරා යයි.
 

ගනේවත්තේ සිට අනුරාධපුරයට සැතපුම් 55ක් පමණ වෙයි.වන්දනාකරුවන් පිපාසා සංසිඳුවාගෙන රතු,සුදු නෙළුම්මල් දෝතින් තුරුලු කරගෙන ඉතිරිමඟ යන්නේ මේ සැදැහැවතුන්ට පින් දෙමිනි.දුම්රිය ගමන අරඹත්ම හැම දෙනාම එක්ව මහ හඬින් නගන සාදුකාරය දෝංකාර දෙන්නක් මෙන් ඉහළ වා ගැබට නැගී පැතිරී යයි.ඒ මහා සාදු හඬ දුම්රියේ යකඩ එන්ජිමේ හඬ පවා අභිබවා යයි.

අනුරාධපුරයට ගොස් පෙරළා එන බැතිමතුන්ට පොසොන් දන් සැලෙන් තවත් දන් ලැබෙයි.යනවිට දවස් දෙකක් කුරුම්බා වතුර හා නෙළුම් මල් ලබන ඔවුන් එනවිට ලබන්නේ අහර වේලකි.පෙරළා එන දුම්රිය එන්නේ උදේ වරුවේ නම් ඔවුන්ට් තේ හා කැවිලි ලැබෙයි.දිවා ආහාරයට ළංවී නැවැත්වෙන දුම්රියේ උදවියට නෙළුම් කොළවල ඔතන ලද බත් වේලක් ලැබෙයි.සවස තේ වතුර වෙලාවට නැවතෙන දුම්රියක මගීන්ට අතිරස,කැවුම්,කොකිස්,කෙසෙල්,සීනිපිට්ටු සමග තේ වතුර ලැබේ.මේ වතාවතද දින දෙකක් තිස්සේ සිදු වෙයි.හැම විටම දුම්රිය පිටත් වෙන විට මහා සාදුකාරයක් නැගෙයි.
 

අල්විස් මහත්මයා සේම,චාර්ලිස් අප්පුහාමි ද මේ දින කීපයේ හැම විටම මෙන් දානයට සහභාගි වෙමින් දන්සැල අවට රැඳෙති.

අල්විස් මහත්මයාගේ පුතුන් දෙදෙනාද නොඅලස්ව කටයුතු කරති.ඔවුන්ගේ උදව්වට(ස්පීකරයක්)"යකඩ කටක්" ද වෙයි.අල්විස් මහත්මයාගේ කුමාරසිංහ පුතා යකඩ කටින් හඬ නගා හැමදෙනා අමතයි.
 

දුම්රියක් නැවතෙන හැම විටම ඔහුගේ ළයාන්විත කටහඬ අවට පරිසරය සිසාරා පැතිර යයි.ඔහුට ඇත්තේ හාමුදුරු කෙනෙක් බණ කියන්නාක් වැනි සන්සුන් හඬකැයි බොහෝ දෙනා පවසති.කුමාරසිංහ සිංහ හඬකින් හැමදෙනා අමතයි.
"මේ ඔබ අමතන්නේ ගනේවත්තේ,43 වෙනි වතාවටත් පවත්වන මහා පොසොන් දන්සැලේ ප්‍රචාරක අංශයයි.මේ ගනේවත්ත ගමේ සහ මේ අවට ගම්වල සැදැහැවතුන් එක්වී බැතිමත් ඔබ හැම වෙනුවෙන් කෙරෙන මහා දානමය කටයුත්තයි.සන්සුන්ව කලබල නොවී ඔබ හැමදෙනාටම පිළිගැන්වෙන මේ කුරුම්බා වතුර හා නෙළුම් මල් සැදැහැ සිතින් පිළිගනු මැනවි.
(ආපසු එන දුම්රිය මගීන්ට නෙළුම් පත්වල ආහාර දෙන බවද තේ දෙන බවද ඒ ඒ අවස්ථාවල කියැවෙයි."


 "තවද කරුණාකර ඔබේ හිස ඔබේ දෑත දෙපය ආදිය දුම්රිය මැදිරියේ ඇතුළෙන් තබාගන්න.මේ දුම්රිය ගමන් කරන ඇතැම් තැන්වල පාලම් පටු බවින් මිනිසුන් අත පය අහිමි කරගත් අවස්ථා එමටයි.කරුණාකර-කරුණකර ඔබේ අත පය සේම ජීවිතය පරිස්සම් කරගන්න.ඔබ හැමට තිසරණ සරණ වේවා."
කුමාරසිංහ අල්විස්ගේ දේශනාව අවසන් වෙත්ම අවට මිනිසුන්ගේ සාදු නාදය ඇසෙන්නට වෙයි.හැමගේ දෑත් යුහුසුලු වෙමින්,නෙළුම් මල්,වතුර,තේ වතුර,කුරුම්බා වතුර,රස කැවිලි හා නෙළුම් පතේ එන බත් ආදිය බැතිමත් වන්දනාකරුවන්ට පූජා වෙයි."

 (උපුටා ගැනීම:පොල්ගහමුල කඩේ,භද්‍රජි මහින්ද ජයතිලක.80-83 පිටු )
 

මම පොල්ගහමුල කඩේට ඇඩ් එකක් දැම්ම කියල හිතන්න එපා...මේ දන්සැල් විස්තරය මගෙ හිත තදින් පැහැර ගත්තා...මොකද ඒ දවස්වල මමත් මේ අත්දැකීම විඳ ඇති නිසා...අර ස්පීකර් සද්දෙ මේ ලියන මොහොතෙත් මගෙ කන්වල රැව්දෙනවා...කෝච්චියෙ යන අපි දකින්නෙ දන්සැල දෙනවා පමණයි නමුත් ඒ දන්සැල දෙන්න කී දෙනෙක් වෙහෙස මහන්සි වෙනවද...
බලන්න අර පෙරහැරින් සුදු ඇඳගෙන නැට්ටුවො පිරිවරාගෙන එන්නෙ මොන තරම් ශ්‍රද්ධාවකින්ද...ඊට යටින් තියෙන ගැමි අහිංසකත්වය බලන්න.
පොල්ගහමුල කඩේ දැනට ඇමෙරිකාවෙ ජීවත්වන ආනන්ද සෝමසිරි සහ ඔහුගෙ පවුලේ කතාවයි...ඔහුගේ ඉල්ලීම පරිදි මෙය භද්‍රජී විසින් පොතක් හැටියට පළකලා...මුලු පොතම මටනම් එකම රස ගුලාවක්.

Wednesday, May 22, 2013

66.වෙසක් සැරසිලි පුරාණය





අපේ හිතවතුන් හිතවතියන් කලබල වෙලා අපි මෝනාලිසා බලන්න යන ගමන අතඇරල දාලය කියල...වැරදිලාවත් එහෙම හිතන්න එපා...අපේ මෝනාලිසා වන්දනාව...සමාවෙන්න මෝනාලිසා බලන්න යන ගමන කිසිසේත්ම නවත්තල නෑ...ප්‍රමාදය මේකයි...

මේ වෙසක් සතියනෙ...ඉතිං වෙසක් සතියට බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන බොදු බැතිය කුළු ගන්වන කතා කීපයක් ලිව්වොත් හොඳයි කියල මට හිතුනා...මගෙ ළඟ වැඩිහරියක් තියෙන්නෙත් වෙසක් උළෙල සම්බන්ධ කතා තමයි...ඒ නිසාවෙන් ඒ උතුම් තෙමඟුල යෙදෙන මේ පින්බර වෙසක් සතියෙ වෙසක් කතා කීපයක් ලියල ඊට පස්සෙ සුපුරුදු විදියට මෝනාලිසා බලන්න යන ගමන අරඹමු කියල මම හිතුවා...

අද මම කියන්න හදන්නෙ අපි නමෝ විත්තියෙන්ම කරපු වෙසක් සැරසිල්ල ගැනයි...කාලය එක්දාස් නවසිය හැත්තෑව දශකයේ මුල් භාගය...මේ වෙසක් සැරසිල්ලෙ අදහස මුලින්ම පහල වුණේ සුනිල්ට...ඔව් අර හෙණරාජ තෛලය හිඳපු සුනිල් මහත්තය තමයි...ඒ කාලෙ එයා ශිෂ්‍යයෙක්...

ඔන්න ඔය සුනිල් පිච්චුනු ටියුබ් ලයිට් පත්තුකරන්න ක්‍රමවේදයක් හොයා ගත්ත කියල අපිත් එක්ක කිව්වා...මේ අලුත් ක්‍රමය යොදාගෙන බුදුරැස් වලල්ලක් කරකවන්න තමයි සුනිල්ට ඕනැකලේ...ඒ කාලෙ අපේ ගමට ලයිට් එන්න හිතලවත් නෑ...

ඉතිං මේ අදහස අපි කීපදෙනෙක් එකතුවෙලා සාකච්ඡා කරල පොඩි සංවිධානයක් පිහිටුවාගෙන වැඩේට බැස්ස...ඉස්සෙල්ලම පිච්චුන ටියුබ් ලයිට් හොයාගන්න එපායැ...අපේ ගං අහල පළාතක බල්බ් එකක් නෑ...ඒකට ටවුමටම යන්න වෙනව...ඉතිං අපිත් කණ්ඩායමක් එකතුවෙලා ගිහින් ටවුමෙ කඩවල මුදලාලිලගෙන් පිච්චිච්ච ටියුබ් ලයිට් ඉල්ලනව...

සමහර මුදලාලිල දුන්නා...සමහරු අපේ දිහා සැකෙන් බලලා නෑ කිව්වා...තවත් එක මුදලාලි කෙනෙක්...

පිච්චිච්චි ටියුබ් ලයිට් දෙකතුනක් ඇති...හැබැයි සල්ලි ඕනෑ...

ඔන්න ඔහොම කිව්වා...ඒ මීට අවුරුදු හතළිස් ගාණකට ඉස්සර...ඒ කාලෙත් අපේ ටවුමෙ මුදලාලිලගෙ තිබිච්චි කුම්මැහිකම මළපෙරේතකම අදටත් ඒ ආකාරයෙන්ම තියෙනව...ඔය ටවුම කිසි දවසක දියුණුවක් නැත්තෙ ඔය මළ පෙරේතයො ටික නිසාමයි...වචනයක් කතාකරන්නෙත් කීයක් හරි ලාච්චුවට වැටෙනවනං තමයි...

ඒ කාලෙ හිටිය මුදලාලිලගෙන් සීයට අනූනමයක්ම අද නෑ... කඩ කරගෙන යන්නෙ පුතාල...අපරාදෙ කියන්න බෑ තාත්තලටත් වඩා හොඳට අර ගතිය පුතාල පවත්තගෙන යනව...

මම ඔය සිද්දිය විස්තරාත්මකව කිව්වෙ පිච්චුනු බල්බ් එකක් වාගෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් පවා හොයාගන්න පොඩි අපිට කොච්චර අමාරු උනාද කියල පැහැදිලි කරන්න...
 
  අපි මාසයක් විතර තැනින් තැනට බඩගාල යන්තං ඕනැකරන ටියුබ් ලයිට් ටික හොයාගත්ත...ඒ අතරෙ සුනිල් පොඩි මෝටරයකුත් හොයාගෙන ප්ලෑෂර් කොටේ හදනව...

ඊළඟට තිබුනු ලොකුම වැඩේ තමයි බුදු පිළිමයක් ඇඳගන්න එක...ගමේ ඉන්න ලොකුම කලාකාරය වුණු තේමිස්ට ඒ වැඩේ බාරදුන්නා...

ඔය අතරෙ තවත් අපූරු පුද්ගලයෙක් අපේ වැඩේට සම්බන්ධ වුණා...ඒ තමයි ගමගේ මහත්තය...වැඩකලේ ටවුමෙ තැපැල් කන්තෝරුවෙ... අපේ ගමෙන් ගෙයක් කුලියට අරං දරු පවුලත් එක්ක ඇවිත් පදිංචි වුණා...දරුවො දෙන්නයි පවුල වැඩකලේ රෙදිමෝලෙ...ඒ දවස්වල තව දරුවෙක් ලැබෙන්න හිටියෙ අපි කිව්ව හුරතල් නම පොල්කිච්චි...

ඉතිං ගමගේ මහත්තයගෙ පවුලටත් දසමස් ඇවෑමෙන් දරුව ලැබෙන්න කල්පිරිල ඉස්පිරිතාලෙට ඇතුල්වෙන්න දින වකවානුත් ළංවෙමින් තියෙද්දි ගෙදර ඉන්න පොඩි දරුවො දෙන්න බලාගන්න පොල්කිච්චිගෙ නංගි මේ ගෙදරට සම්ප්‍රාප්ත වුණා...පොල්කිච්චි වාගෙ එහෙම නෙවෙයි හරි දස්ටි දිස්ටි ඇති කෙට්ටු කෙල්ල...යන්නෙ එන්නෙ ගිනි කසය වාගෙ දැක්කහම හිත පිරෙනව...ගෙදර වැඩට එහෙම අගේට පිරිමහින කෙල්ල...

නංගි ගෙදර ඉන්න නිසා හිතේ බරක් නැතුව පොල්කිච්චි දරුව ලැබෙන්න ඉස්පිරිතාලෙට ඇතුල් වුණා...

 ගමගේ මහත්තය හවසට වැඩ ඇරිල ඇවිත් නාල එහෙම මීවිතකුත් ඇසුරු කරල තමා අපි වැඩ කරන තැනට එන්නෙ...දවසක්දා හොඳටම වැස්ස අපට වැඩකරගන්නත් බැරුව ගෙවල්වලට ගියා...ගමගෙ මහත්තයත් ඇවිදින් අපිව බලල නැතිතැන ගෙදර ගිහිං...දරුවොත් කාල බීල කලින්ම නිදි ගමගෙ මහත්තය එන නිසා නෑනා විතරක් ඇහැරල හිටියා...

මීවිතේ මතත් හෝගාල වහින වැස්සෙ ඇඟ හිරිගඩුපිපෙන  සීතලත් ගමගේ මහත්තයව අමුතුම සුන්දර ලොවකට ගෙනයන්න ඇති...ගමගේ මහත්තය රාත්‍රිය පහන් කලේ නෑනගෙ උණුසුමට තුරුළුවෙලා...එදා විතරක් නෙවෙයි පොල්කිච්චි ළමයත් අරගෙන ගෙදර එනතුරුම මේ යුවල ගමගේ මහත්තයගෙ සයනයෙ මධු සමයක් ගතකලා...

 මාසයක් දෙකක් ගතවෙද්දි පොල්කිච්චිගෙ නංගිටත් දරු සම්පතක සුබ ලකුණු පහල වුණා...පොල්කිච්චිට මාර කේන්තියි...ඒත් ඉතිං නංගිව මරන්නයැ...රණ්ඩුවෙලා කෑගහගත්තත් හරියට උඩබලාගෙන කෙළගහගන්නව වාගෙනෙ...තුන්දෙනා ගේ ඇතුලෙ රණ්ඩුවෙලා කාරණාව ගොඩින් බේරගත්තා...

ඔන්න එදා ඉඳල පොල්කිච්චි සහ නංගි දෙන්නම සතුටින් සමාදානයෙන් ගමගේ මහත්තයත් එක්ක පවුල් කන්න පටන් ගත්තා...

කොච්චර උනත් ගමේ අයට මේ කතාව හොඳ බයිට් එකක් වෙච්චි එක අහන්නත් දෙයක්යැ...ඒකෙන් මේකෙන් ගමගෙ මහත්තයට නමකුත් වැටුණා...

ඩබල් ගමගේ හෙවත් ඩබල් ක්‍රිස්තියන්

මට මතක හැටියට ඔය නම දැම්මෙ ආනන්ද...මම නම් නෙවෙයි...දැන්නෙ ඔය ගමේ එකාල මාව කන්න හදන්නෙ ගමේ එවුන්ට දාපු තරං  නං වනං පටබැන්දෙ මමය කියල...

පොල්කිච්චිට අලුත ලැබිච්චි පුතා හරි ලස්සනයි...බෝල ගෙඩිය වගේ...පොල්කිච්චි වැඩට යද්දි කොල්ලව පොඩි මහින්දලගෙ ගෙදර තියල යන්නෙ...ටික දවසකින් පොඩි එකා අපි ඔක්කොගෙම හුරතලා වුණා...කොල්ලට මාස දහයක් එකොළහක් වෙද්දි පොඩි මහින්දලගෙ අම්ම පොල්කිච්චිට කියනව...

කොල්ල මෙහෙ හැදුනුදෙන්...උඹට ඕනැ වෙලාවක ඇවිත් බලල යන්න බැරුවයැ...මටත් එකයිනෙ ඉන්නෙ...මූ මට වැඩි නෑ...

ඒ කතාව ඒ ආකාරයෙන්ම සිද්ද උණා...කොල්ලගෙ නම මංජු අපි ඌට හුරතලේට කියපු නම පොල්කිච්චා හෙවත් කිච්චා...ඌට පොඩි මහින්දලගෙ ගෙදර රජ සැප...කොල්ල අම්ම තාත්ත කිව්වෙ පොඩි මහින්දලගෙ අම්මටයි සාමෙල් මුදලාලිටයි...

පොල්කිච්චිගෙ නංගිගෙ බඩත් දැන් දැන් පුරපසට මෝරන සඳසේ කෙමෙන් කෙමෙන් වැඩෙනවා...දසමසක ඇවෑමෙන් ඇයත් චූටි පුතෙක් බිහිකෙරුවා...ගමගේ මහත්තය දැන් දරු හතර දෙනෙකුගෙ පියෙක් හෙවත් පවුල් දෙකක සාඩම්බර අයිතිකාරයෙක්...පොඩියට හිටියට කොහොමද වැඩ...

ඔය කතන්දර අතරෙ අපේ වෙසක් සැරසිල්ලෙ වැඩෙත් කෙරීගෙන යනවා...

තේමිස් තාම බුදු පිළිමෙ ඇඳල ඉවරකරල නෑ...අපිත් හැමදාම තේමිස්ගෙ ගෙදර යනව බුදු පිළිමෙ ඇඳල ඉවරද බලන්න...හවසට නං තේමිසාගෙ ගන්න දෙයක් නෑ කුණුවෙන්න බීල ඉන්නෙ...කතා කලොත් බයිල තමයි කියවන්නෙ...

තේමිසුත් ඒ දවස්වල බඳින්න කෙල්ලක් ගමෙන්ම ලෑස්ති කරගෙන උන්නෙ...දවසක්දා මූ අපිත් එක්ක කියනවා...

මම මේ කෙල්ල බලන්න යන්න...අද ගවුං රෙද්දක් ඒකිට ගිහිං දෙනව...ගවුං රෙද්ද ගෙනත් දෙනව කියල ලෝඩ් එකක් බාල ගිහිං ගෙනත් දීලා ආයෙම ලෝඩ් එකක් බාගන්නව...

තේමිස් ආඩම්බරෙන් කිව්වා...අපිත් කට ඇරගෙන අහගෙන හිටිය...අපට ඕවා මැජික් නොවැ...

පස්සෙ කාලෙක තේමිස් කෙල්ලව කසාද බැඳල කැන්දන් ආවා...ඔය ඉතිං මට ඔය අස්සෙ තව කතා මතක් වෙනවනෙ...ඒව කියන්න ගියොත් වෙසක් සැරසිල්ල ගැන කතාව අද කියාගන්න බැරුව යනව...ඒ හින්ද ඒ කතා ටික තව දවසකට කල් දාමු...

කොහොම හරි තේමිස්ගෙ පස්සෙන් ගිහින් බුදු පිළිමෙත් අන්දෝගෙන ආවා...සුනිල්ගෙ වැඩ ටිකත් හරි...වෙසක් සැරසිල්ල ප්‍රදර්ශනය කරන්නෙ එක දවසයි...එතනම එදා සංගීතෙකුත් තියනව ගමේ ගොඩේ ගායකයන්ගෙ...ඒකටත් ස්ටේජ් එකක් එතනම හැදුවා...ඒ කියන්නෙ තුං මං හංදියෙ තියෙන ඩේවිට් අයියගෙ තුං හුලස් ඉඩං කෑල්ලෙ...අපි ඒ දවස්වල දිවා රෑ නැතුව වැඩ... දවල් කොහොම වෙතත් රෑ වැඩ නං අනිවාර්යයි...රෑට කරන්නෙ අන්නාසි කඩන එකයි පෝටවත්තෙන් හොරෙන් කුරුම්බා කඩන එකයි මහ ළිඳේ පැනල නාන එකයි විතරයි...ඊට පස්සෙ ස්ටේජ් එකට ඇවිත් නිදාගන්නව...

සංවිධාන කටයුතු ඔක්කොම කරන්නෙ ගමගේ මහත්තය...අපට ඕවයෙ තේරුමක් නැති නිසා ඔය ගැන දන්න කෙනාට ඒ කටයුතු බාරදුන්නා...අනික ගමගේ මහත්තයත් කලාකාරය නොවැ...

ගමේ උත්සව අවස්ථාවලදි එහෙම හිටිවන කවි කියනව යස අපූරුවට...හැබැයි කවියට පද තුනයි... මුල පද තුන අගේට ගලපල වතුර වගේ කියනව...හතරවෙනි පදේ කියාගන්න බැරුව පැය කාලක් විතර තටමල නිකං ඉන්නව...එක්කො මුල පද තුනට කිසිම සහ සම්බන්ධයක් නැති විලාපයක් කියල දානව...

ඔන්න හිටිවන කවි කියනකොට මට තව කවියෙක් ගැන මතක්වුණා...ඒ තමා මාටින් ජයවික්‍රම...බාබුගෙ තාත්ත...මිනිහත් අපූරු හිටිවන කවි කියනව...දෙකක් දාගෙන එහෙම ඇවිත් කියන කවි හරිම මිහිරියි...හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිහගෙ කවියට පද පහයි...අපි ඒ දවස්වල කිව්වෙ වැඩිපුර පදේ පදයක් නැතුව දඟලන ගමගේට දෙන්න පුළුවන්නෙ කියලයි...

ආයෙ හිටිය තව කවියෙක් නම විමලසේන වුණාට ගමේ කියන්නෙ ඇඩී කියලයි...ඔය ගමේ බක්මහ උළෙලවල් වෙලාවට එහෙම ඇවිත් ස්ටේජ් එක ඉස්සරහට වෙලා කට ඇරගෙන බලා ඉන්නව කවියක් කියන්න ඉල්ල ගන්න...ඉතිං මාත් කතා කරල මයික් එක දෙනව...හැබැයි මිනිහ  කියන හිටිවන කවි නං ඔක්කොම කටපාඩං කරගෙන ආපුවා...

ඔය ඇඩීගෙ පුතා ජයසාන්ත අපේ හොඳම යාලුවා...ඌ ඒ දවස්වලම එයාපෝස් එකට බැඳුනා...අපි ඌට කතාකරන්නෙත් ඇඩී කියල...

ඔන්න දවසක් ජයසාන්තගෙ යාලුවෙක් දුමීගෙ ටේලර් සාප්පුවට ඇවිත් ජයසාන්ත ගැන අහනව...

අනේ බං...ඌව ගොඩක් කාලෙකිං දැක්කෙත් නෑනෙ...මට ලියුමක්වත් යවන්න උගෙ ඇඩ්‍රස් එක උඹගෙ ළඟ තියෙනව නං දීහංකෝ...

ආපෝ...ඕක මහ දෙයක් නෙවෙයි බං...

ඇඩී ජයසාන්ත
ගුවං හමුදා කඳවුර
මොරවැව

කියල දාහංකො...කෙලින්ම ලියුම ඌට යයි...

දුමිය කිව්වා...

 දුමිය හැදුවෙ ජයසාන්තයගෙ නම කෑම්ප් එකෙත් ප්‍රචාරය කරන්න...යාලුවත් කියපු විදියටම නම ලියල ලියුම දාලා...ප්‍රතිපලේ දැනගන්න අපි බලාගෙන හිටිය ජයසාන්ත නිවාඩුවට ගෙදර එනතුරු...

ජයසාන්තය ටේලර් සාප්පුවට ආවෙ හිනාවෙවී...

මම දැනගත්ත උඹල දීපු ලණුවක් කියල...

වැඩේ හරිගිහින් නෑ...

හොඳ වෙලාවට ලියුං ටික බෝඩ් එකට දානකොට මම එතන හිටියා...

අද උනත් ඇඩී අපේ ගේ ඉස්සරහ කන්දෙන් බයිසිකලේ තල්ලුකරං යනකොට මම ඉස්තෝප්පුවෙ ඉන්නව දැක්කොත් නැවතිලා කතාකරල යන්නෙ...

 අපේ වෙසක් සැරසිල්ල විවෘත කරන්න ආරාධිත අමුත්තො කීප පොළකටත් අපි ආරාධනා කළා...ටවුමට ගිහිං ටිකෙට් පොත් ටිකකුත් ගහගෙන ආවා බලන්න එන අයට විකුණන්න...නැත්නං ගිය වියදමවත් හොයාගන්න විදියක් නෑ නොවැ...

ඔන්න නියමිත දවසෙ සුබ මොහොතින් ආරාධිතයන් අතින් අපේ වෙසක් සැරසිල්ල විවෘත වුණා...

බුදුරැස් වලල්ල කිව්වට ඒ වලල්ලෙ තිබුණෙ එකම එක රටාවයි...පොල්ල එහෙට යනවා...මෙහෙට එනවා...

මහා ගෝසාවක් එක්ක මාස ගාණක් ලෑස්තිවුණු අපේ වෙසක් සැරසිල්ල බලන්න ආපු ඇල්බින් මුදලාලි ටිකක් වෙලා බලාගෙන ඉඳල ආපහු කඩේට ගිහිං...

මොන මඟුලක්ද...පොල්ලක් එහාටයි මෙහාටයි කැරකෙනව...

පොල්ල කරකවන්න වෙච්ච මහන්සිය අපි විතරයි දන්නෙ...

ආපු සෙනගට ටිකෙට් ටික කොහොම හරි විකුණ ගත්තා...සංගීතෙත් එච්චරම සාර්ථකයි කියන්න බැරි වුණත් කොහොම හරි ඒකත් කරගත්තා...ඒක හරිම ලස්සන කතාවක් ලියන්න ගියොත් මේ වාගෙ දෙක තුනක් ලියන්න වෙන නිසා වෙන දවසක ලියන්න තියාගත්තා...


 ඒකටම අපි පිං අතේ වැඩකුත් කලා...අලවත්තෙන් අන්නාසි කඩං ඇවිත් පොඩි පේමෙලගෙ ගෙදර තියාගෙන කපල දන්සැලකුත් දුන්නා...

අම්මෝ...අන්නාසි කපල බේසමට දාල ගේනව විතරයි...කපුටො කෑව වගේ කොහෙ ගියාද නෑ...අන්නාසි කොච්චර තිබුණත් මදි එතෙන්ට නං...අපිත් ඉතිං කොච්චර කියල හොරෙං කඩන්නද...

කිසි කරදරයක් නැතුව ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා අපිත් එතනම නින්දට වැටුණා...

පස්සෙන්දා වෙසක් සැරසිල්ලෙ ගණුදෙනු බලන්න අපි කට්ටිය එකතු වුණා...ටිකට් විකුණල කැට වලට එකතු කරපු සල්ලි ඔක්කොම තියෙනව...ආරාධිත අමුත්තො දීපු කවර ටික ඔක්කොම දීල තියෙන්නෙ ගමගේ මහත්තයටයි...එයානෙ එතන හිටපු දැනුමැත්තා...අපි පොඩි උන්නෙ...

අපි ගමගේ මහත්තය හොයන්න ගෙදර ගියාම මිනිහ වැඩට ගිහිං කියල පොල්කිච්චි කිව්වා...පස්සෙ හවස් වරුවෙ ගමගේ මහත්තය ගෙදර ආපුවාම අපි ගිහිං හම්බවුණා...

ආරාධිත අමුත්තො දීපු කවර ටික ඔක්කොම ගමගේ මහත්තය අපට පෙන්නුවා...ඒ දවස්වල ඉතිං කීයද දෙන්නෙ...එක්කො රුපියල් පහයි වැඩිම වුණොත් රුපියල් දහයයි...

ඒත් රුපියල් විසිපහක්ද තිහක්ද කොහෙද කවරවල තිබිල තියෙනව මොකද කවර ඇතුලෙ තිබ්බ ගාණ ගමගේ මහත්තය කවරෙ පිට පැත්තෙ ලියල තිබුණනෙ...

හැබැයි ඉතිං හිස් කවර ටික විතරයි අපට ලැබුණෙ... සල්ලි ටික ගමගේ මහත්තය වියදම් කරගෙන...

පඩිගත්තහම දෙන්නම්ය කියල කිව්වා...අපටත් ඒ මුදල් ටික අත්‍යාවශ්‍ය වෙලා තිබ්බෙ වෙසක් සැරසිල්ල හදන්න කඩවලින් ගත්ත බඩුවල ණය  ගෙවන්න...

පඩි දවසත් ආවා...එදා ගමගේ මහත්තයගෙ නැට්ටවත් අල්ලන්න අපට හම්බවුණේ නෑ...

ඊට පස්සෙ අපි කීප ගමනක් තැපැල් කන්තෝරුවටත් ගියා...

දෙන්නං දෙන්නං කියල විතරයි කිව්වෙ...

මාස කීපයක් ගතවෙනකොට අපි ඒ මුදල ගැන තිබ්බ ආසාව අත ඇරල දැම්ම...

ඔන්න ඔය දවස්වලම පොල්කිච්චි නංගිත් එක්ක ගෝරි පටං ගත්තා...ගෝරි බේරන්න බැරිතැන ගමගෙ මහත්තය පොල්කිච්චිගෙ නංගියි දරුවයි එක්ක වෙන කොහෙද ගෙයක් හොයාගෙන අපේ ගමෙන් යන්න ගියා...

පොල්කිච්චිගෙ තනියට පොල්කිච්චිගෙ තාත්ත ඇවිත් නැවතුනා...වයස හැට ගානක් වුණාට එතකොටත් කොල්ලෙක් වාගෙ අපිත් එක්කමයි ආශ්‍රය...අපි කිව්වෙ අංකල් කියල...අංකල්ගෙ ගමට පැමිණීම තව කතා මහ ගොඩක ආරම්බය වුණා...

අපේ වෙසක් සැරසිල්ලෙ කතාව මම ඔය කිව්වෙ ඉතාම කෙටියෙන්...තව කතා ගණනාවක් ඔය කතාව ඇතුලෙ තියෙනව...ඒ කතා අත ඇරල ලිව්වෙ ඒව ලියන්න ගියානම් වෙසක් සැරසිල්ලෙ කතාව ලියල ඉවර කරගන්න ලැබෙන්නෙ නැති නිසා... 

 එදා ඒ විදියට පටන්ගත්ත අපේ වෙසක් සැරසිලි නොකඩවා දිගින් දිගටම හැම අවුරුද්දෙම දියුණුවෙන් දියුණුවට පත්වෙමින් 1989 අවුරුද්ද විතර වෙනතුරු පැවතගෙන ආවා...ගණනින් කිව්වොත් අවුරුදු දහයක් පහළොවක් විතර...ඒ කාලය ඇතුළත සිද්ද වුණු දේවල් ගැන කතා ලිව්වොත් කතා සීයකට වැඩි මිසක් අඩු නෑ...
 
පස්සෙ කාලෙක පොල්කිච්චි ළමයිනුත් එක්ක ගමට ගියා...
 
ඊටත් පස්සෙ කාලයක් යනතුරු ඒ පවුල කොහෙ ගියාද කියලවත් ඉන්නවද නැද්ද කියල අන්දෝ සංසාරයක් තිබුණෙ නෑ...
 
පස්සෙ කාලෙක මම පොල්කිච්චිව දැක්කෙ පොඩි මහින්දගෙ මඟුල් ගෙදරදි...ඒ 1985 අවුරුද්ද...මංජුවත් ඇවිත් හිටියා ඌ උසයි මහතයි ලොකු ඉලංදාරියෙක්...
 
ඊට පස්සෙ මංජු කල් එළිය හන්දියෙ මාලු විකුණනව කියල ආරංචියක් ආවා...
 
ආයෙම දවසක ලැබුණු ආරංචියකින් කියවුණේ අධික බීමත්කම නිසාම මංජු මලා කියලයි.
             මෝහන්ධකාරය දුරුවෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා

Monday, May 20, 2013

65.දන්සැල් පුරාණය 2





අපි දන්සැල පටන්ගන්න හිතපු වෙලාවට කලින්ම පටන්ගන්න වුණා පෝලිමේ හිටිය අයගෙ උනන්දුව නිසා...දැන් දන්සැල සාර්ථකව පැවැත්වෙනව...අපේ කණ්ඩායමේ හිටපු තරුණ ගෑවුළමයි පිරිමි ළමයි ඔක්කොම පෝලිමේ ඉන්න අයට මඤ්ඤොක්කා බෙදන්න හරිම උනන්දුයි...ඒ වුණාට කුස්සියෙ වැඩට කවුරුත් නෑ...ඒ කියන්නෙ මඤ්ඤොක්කා පොතු ගහන්න,ලිපට ගින්දර දාන්න,තම්බන්න,දර පලන්න ඔක්කොම කරන්න හිටියෙ අපි හත් අට දෙනයි...අපි ඉතිං පණ කඩාගෙන ඉස්සරහට මඤ්ඤොක්කා සප්ලයි කලා.

දවල් එක එකහමාර විතර වෙනතුරු දන්සැල දීගන්න පුළුවන් වුණා...ගෙනාපු මඤ්ඤොක්කා වලිනුත් ගෝනියක් විතර ඉතුරු වුණා...ඒකත් තම්බන්න තිබුණා ඒත් අපට හරි අමාරුයි මහන්සියි...අනික ගෙනත් තිබුණු පොල් ටිකත් ගාල දීලම ඉවර වුණා...ඒ නිසා දන්සැල එතනින් නවත්තන්න තීරණය කරල ඉතුරු මඤ්ඤොක්කා ටික එහා පැත්තෙ තිබුණු බත් දන්සැලට දුන්නා.

ඒ බත් දන්සැල දුන්නෙ මීරිගම පැත්තෙ කණ්ඩායමක්...ඔය එක එක පළාත්වලින් දන්සැල් දෙන්න එන අයගෙ අපූරු සහජීවනයක් දකින්න පුලුවනි...තම තමන්ගෙ දන්සැල්වල දේවල් බෙදාහදා ගන්න එක...ඕනැ වෙලාවක ඕනැ දන්සැලකින් කන බොන එක සාමාන්‍ය දෙයක්...ඒ සහජීවනය අනුවම අපිත් බත් දන්සැලේ පිටිපස්සෙන් ඇතුල්වෙලා අපේ බාජනවලට බත් මාලුපිණි අරගෙන ඇවිත් බෝජන සංග්‍රහයක් වගේ තියාගෙන දවල්ට කෑවා.

 අපූරු දන්සැල් සංවිධානය කිරීමක් අපේ ගමෙත් තියෙනව...ඒ තමා ක්ෂණිකව දන්සැල් සංවිධානය කිරීම...ඒ කතාව කියන්න ඉස්සෙල්ල ඊට කලින් පටන්ගත්ත දන්සැලක කතාවක් තියෙනව ඒක කියල ඉන්නං...

කාලය 2002 හෝ 2003 වගේ මට මතක...අපේ ගෙවල් ළඟම පාරෙන් එහා පැත්තෙ ළමයි කට්ටියක් වෙසක් දවසට නූඩ්ල්ස් දන්සැලක් දෙන්න කියල සල්ලි එකතුකරනව මම බලාගෙන...හැබැයි අපේ ගෙදරට ආවෙ නෑ...පස්සෙන් පහු මේ ළමයින්ගෙ වැඩේට දෙමව්පියොත් ඈඳිලා වැඩේ සරුවටම කරන්නයි යන්නෙ...පාරෙන් එහා පැත්තෙ තියෙන අතඇරල දාපු කඩේක තමයි දන්සැල දෙන්න යොදාගන තියෙන්නෙ...

ඔන්න වෙසක් දවසෙ හවස්කරේ ඔය දන්සැල දෙන්න මුල්වෙච්චි ළමයින්ගෙ අම්මා ඒ කියන්නෙ රණේගෙ පවුල බුලත් එහෙම අරගෙන අපේ ගෙදර ඇවිත් රෑට නූඩ්ල්ස් දන්සැල විවෘත කරන්න එන්නය කියල මට ආරාධනා කරල ගියා.

අපි තුන්දෙනාම වෙලාවට දන්සැල විවෘත කරන්න ගියා...ගමේ තව හතර පස් දෙනෙකුටත් එන්න කියල තිබුණා...රතිඤ්ඤා ගහල එහෙම පොල්තෙල් පාන පත්තුකලාට පස්සෙ රණේගෙ පවුල කියනව...

පොඩියට කතාවකුත් කළොත් තමයි ලස්සන...

ඒ ගමන මම වචන කීපයක් කතාකලා...මේ දන්සැල මෙයින් නොනැවතී දියුණුවෙලා ඉදිරියේදී බත් දන්සැලක් දෙන්න ශක්තිය ලැබේවා කියල මම කිව්වා...

කිව්වත් වගේම ඊළඟ අවුරුද්දෙ ඒ කණ්ඩායම එතනම බත් දන්සැලක් දුන්නා...වෙසක්වලට මම ලංකාවෙ හිටියොත් නොවැරදීම මට ආරාධනාව ලැබෙනව විවෘත කරන්න...මේ අවුරුද්දෙත් ගෙදරට කියල තිබුණා හැමදාම උදව් කරනව මේ සැරෙත් මතක් කරන්න කියල...දන්සැල දැන් සරුයි එක අවුරුද්දක බත් වෑංජන දෙනව...ඊළඟ අවුරුද්දෙ ප්‍රයිඩ් රයිස් දෙනව.

ඊළඟට ක්ෂණික දන්සැල ගැන කතාව...මේක වුණේ 2011 අවුරුද්දෙ...වෙන අවුරුදුවල වෙසක්වලට උදේ කිරිබත් දන්සැල දෙන රාජා රෑට ගේ ඉස්සරහ බත් දන්සැලක් දෙනවා...ඒ අවුරුද්දෙ රාජා රෑ බත් දන්සැල කරන්න අමාරුයි කියල නිකං ඉන්නව කිව්වා...

උදේ කිරිබත් දන්සැල ඉවරවෙලා අපි තේ බිබී ඉද්දි තමා කතාව ඇදිල ආවෙ...පටන්ගත්තෙ කාන්තාවො...

හරිනෑනෙ...දිගටම තිබුණනෙ...මොනවහරි ටිකක්වත් මේ අවුරුද්දෙත් දීගත්තොත් හොඳයි...

ආදී වශයෙන් කාන්තාවන්ගෙ කසු කුසුව...

ඔන්න එවෙලෙ කතාවට අපිත් සම්බන්ධ වුණා...ඉස්සෙලම තීරණය කරන්න ඕනැ රෑට දන්සැලක් දෙනවද...දෙනවනං මොනවද...දෙන්නෙ කොහොමද කියන එක...

මොන විදියකින් හරි රෑට දන්සැල දෙමු කියන තීරණයට කට්ටිය මුලින්ම එකඟ වුණා...

ඊළඟ ප්‍රශ්නෙ මොනවද දෙන්නෙ කියන එක...එතනදි කාන්තාවො ඉදිරිපත්වෙලා අඩු වියදමකින් හදාගන්න පුලුවන් මෙනු එකක් ගැන කිව්වා...මෙනු එක මෙහෙමයි...

බත්
අඹ වෑංජනය
කොස් මැල්ලුම
පරිප්පු වෑංජනය
තෙල්දාපු කරෝල
මැල්ලකොළ බැදුම
වියලි මිරිස් බැදුම



 මුදල් වියදම් වෙන්නෙ හාල් පරිප්පු කරවල හා තුනපහේ වලට...පැහිච්ච අඹ තියෙන ගස් කීපයක් කෙකි දාල හොල්ලපුවම අඹ ටික හොයාගන්න පුලුවන්...කොස් ගස්යට ඉදිල වැටිල යනවා ඒව කඩාගන්න පුලුවන්...මැල්ල කොළත් එහෙමයි...වැඩේ තීරණය වුණාට පස්සෙ කොල්ලො ටික අඹ,කොස් ,මැල්ලකොළ එහෙම කඩාගෙන එන්න පිටත්වෙලා ගියා...රාජා කිවා ඇතිවෙන්න පොල් දෙන්නම් කියල...මුදලාලි කෙනෙක් පරිප්පුත් දෙන්න පොරොන්දු වුණහම ගමේ වටයක් ඇවිදල පොඩි සම්මාදමක් දාල කරෝලයි තුනපහයි ගන්න ගාණ හොයාගන්න පුලුවනි කියල කාන්තාවො කතාවුණා.

හාල් මිටි දෙකක්වත් තැම්බුවෙ නැත්නම් මදි...

කට්ටිය කතාවුණා...එහෙම වුණොත් අඩුතරමෙන් පැය තුන හතරක්වත් දන්සැල ඇදගෙන යන්න පුළුවනි...

හාල් කතාව කිය කියා කට්ටිය මගෙ වටේ කැරකෙනව...ඒ ගමන මම කිව්ව හාල් මිටියක් දෙන්නං කියල...එවෙලෙම සුමිත්ගෙ කඩේට කතාකරල කට්ටිය ඉල්ලගෙන ආවොත් හාල් මිටියක් දෙන්න කිව්වා.

අනික් හාල් මිටියත් හතර පස් දෙනෙකුගෙ සම්මාදමෙන් එකතු වුණා...

අවශ්‍ය කරන ඔක්කොම දේවල් හරි...පිට්ටනියෙ ප්‍රජා ශාලාවෙ හවස හතට දන්සැල දෙන්න තීරණය කරගෙන කට්ටිය විසිරිලා ගියෙ හවස දෙකට විතර පිට්ටනිය ළඟට බඩුත් අරං එනව කියලයි...

 දවල්ට කාල එහෙම මාත් පිට්ටනිය පැත්තට පල්ලං බැස්සා...කාන්තාවො ඒ වෙනකොටත් ඇවිත් හිටියෙ...ඒ අය හරිම උනන්දුයි...මෙහෙම වැඩකදි ගමේ ගෑණු පිරිමි උදවියගෙ තියන උනන්දුව ඕනෑකම පෙනෙනකොට හරිම ආශ්වාදයයක් ඇතිවෙනවා...
 ටිකකින් කට්ටියක් අඹගස් හොල්ලල කඩගත්ත අඹ ගෝනි තුන හතරක් කරගහගෙන ආවා...ලෑන්ඩ් මාස්ටරේක දාගෙන කොස් ලෝඩ් එකක්ම අරං ආවා...
 
 එතනම තියෙන නුවන්ලගෙ පාලු වත්තට වෙලා ගෑණු ටික වැඩට බැස්සා...හත් අට දෙනෙක්ම කොස් කපනව...අඹ හෝදල කපනව.

 ඔතන ඉන්නකොට ඉතිං ගෑණුන්ට අත්වැඩ දීල ඉවරයක් නෑ...ඉස්සෙල්ලම වතුර බටයක් ගහල ප්ලාස්ටික් ටැංකියට වතුර එකක් ගහල දුන්නා...

උයන්න බාජන හොයන්න ඕනැ...නෑඹිලි, කිරිගොටු, පොල්කටු හැඳි, කපන්න ලෑලි, පිහි, ඉවරයක් නෑ හොයන්න ජාති...ඊළඟට රම්පෙ කරපිංචා කඩාගෙන එන්න කියනව...

හවස හය වෙනකොට උයල කරල ඉවරයි...ප්‍රජා ශාලාවෙ කෑම බෙදන්න ලෑස්ති කරල කට්ටියත් ඒ ඒ තැන්වල ස්ථානගත කරල හත වෙද්දි දන්සැල පටන්ගන්න ඔක්කොම ලෑස්තියි...

වැඩේට මුල්වෙච්චි කාන්තාවන්ට හරි සතුටුයි...විවෘත කිරිලි පොල්තෙල් පාං මොකුත් නෑ...පෝලිම හැදුනු ගමන්ම වැඩේ පටන් ගන්නව...

වෙලාවටම දන්සැල ආරම්භ කලා...පැයක් යද්දි පෝලිම පිට්ටනියෙ එහා කෙළවරේ...සෙනග එනව එනව ඉවරයක් නෑ...දරුවො හම්බ වෙන්න ඉන්න අම්මලව පෝලිමෙ තිබ්බෙ නෑ...එක්කන් ඇවිත් කෑම දුන්නා.

රෑ එකොළහ විතර වෙනතුරු දන්සැල දීගත්ත...වැඩකරපු අපිට ඉතුරුවුණේ බත් දංකුඩයි පරිප්පු ටිකකුයි විතරයි...ඒ ටිකත් වැඩකරපු අයට මදි...

තව හාල් ටිකක් ලිපේ තියල ළූණු සම්බෝලයක් හදමු කියල අපි කතාවුණා...

 ඔහොම ඉන්නකොට තමයි වෙසක් බලන්න ගිය කොල්ලො දහදෙනෙක් විතර බයිසිකල් වලින් දන්සැලට ආවෙ...

මල්ලි කෑම දෙන්න පුළුවනි ඒත් එක වෑංජනයක් විතරයි...ඒකටත් ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි කමක් නැද්ද...

මම කොල්ලන්ගෙන් ඇහුවා...

ආපෝ අයියෙ...ඒකෙ කිසි අවුලක් නෑ...අපට ඔය මොනවහරි තිබුනොත් ඇති...එනගමන් දන්සැල් දෙක තුනකට ගියා ඒවයෙ කෑම නෑ...පස්සෙ තමයි එක තැනකින් කිව්වෙ මෙතෙන්ට එන්න කියල...

අන්තිමේදි උයාගත්ත සුළු ආහාරය අර කොල්ලොත් එක්ක බෙදා හදාගෙන කනකොට දැණුනු සතුට ඒ කෑමෙ රස දෙගුණ තෙගුණ කලා...
 
එදා බඩටත් වඩා හිත පිරුණ කියලයි මට හිතෙන්නෙ...

ඒ දන්සැලත් එදා ඉඳල අද තව මේ වෙනකං කරගෙන එනව කරදරයක් නැතිව...

Friday, May 17, 2013

64.ගමේ කතාවක්



ආපහු ටිකක් අතීතයට යන්න හිතුනා...මොන රටවල ඇවිද්දත් ගම වාගෙ තැනක් වෙන කොහෙද...මම මීට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ල යාලුවෙකුට ලියපු කතාවක් මට ආයෙම මතක් වෙනවා.

උපන් ගමේ පොල් ගහක් යට හුළං ටිකක් වැදි වැදි ඉන්නකොට තියෙන සැප ලෝකෙ  කොහෙ ගියත් නෑ...

ඕක නිතරම මගෙ හිතට එන හින්දද මන්දා නිතරම ගමේ කතා ලියන්න හිතෙනවා...අදත් එහෙමයි.

අපේ ගමේ එල්ලේ කණ්ඩායම ගල්බොරැල්ලෙ කණ්ඩායමත් එක්ක කරපු එල්ලේ ක්‍රීඩාව අවුරුදු කීපයකින් නැතිවෙලා ගියා...ඒ මැච් ගැහිල්ලෙන් වෙච්ච එකම සෙතේ ගල්බොරැල්ල කණ්ඩායමේ නිවේදකය හැටියට ආපු විජේපාල අපේ ගමෙන් පෙළවහක් කරගත්ත එක විතරයි.

ගල්බොරැල්ලත් එක්ක එල්ලෙ ක්‍රීඩාව නැවතුනාට අපි එල්ලෙ ක්‍රීඩාවට නවතින්න දුන්නෙ නෑ...ඒ මැච් එක අපි අවුරුදු පතා පැවැත්වෙන විවාහක අවිවාහක එල්ලේ තරඟයක් බවට පරිවර්තනය කළා...අදත් අපේ ගමේ අවුරුදු දවසෙ ඒ කියන්නෙ 14 වෙනිදා පැවැත්වෙන්නෙ ඒ එදා පටන්ගත්ත එල්ලේ තරඟය...ඒ දවස්වල මැච් එක ගැහුවෙ ගමේ වෙල් යායෙ...මොකද ඒ කාලෙ ගමට පිට්ටනියක් තිබුණෙ නෑනෙ...වෙල්යාය කෙළවරේ තරඟය පැවැත්වෙද්දි පාර අයිනෙ බෝක්කුව ගාව තිබුණු අමරෙගෙ කඩේ ඉස්සරහින් මේසයක් පුටුවක් තියාගෙන මම නිවේදන කටයුතු කරනවා...මගෙ සහායකය තමයි වෙනුජ...වෙනුජ පොඩි එකා කාලෙ මම වැඩට යනකොට අතින් අල්ලගෙන ඉස්කෝලෙ එක්කන් ගියා...වෙනුජ ගියෙ ආනන්දෙට මාත් එක්ක උදේට කෝච්චියට ගියා.

වෙනුජගෙ සබකෝලෙ ඇරල මයික් එකට බය නැතිව කතාකරන්න ඉගැන්නුවෙ මම...තරඟය වෙලාවෙ අපි දෙන්න ජයටම නිවේදන කටයුතු කරමින් ඉන්නකොට එතනට මයියංගනේ ආරි ආවා...රෙදිමෝලෙ වැඩකරන්න ඇවිත් අපේ ගමෙන් පෙළවහක් කරගෙන ගමේම පදිංචි වෙලා හිටපු ආරියා ඇවිත් අපි කතාකරන තැන බලාගෙන ඉන්නව...මූ උදේම දෙකක් දාගෙන එහෙම ඇවිත් තිබුණෙ...ඉනිමක් අවසානයේ ආරි අපි ළඟට ආවා...

අනේ කොහෙන්ද බං ඔච්චර කියවන්න වචන උඹලට එන්නෙ...අම්මප මටනං ගහන එවුන්ගෙ නං කිව්වට පස්සෙ කියන්න දෙයක් කටට එන්නෙ නෑනෙ...

ආ...උඹ හිතුවද මේක හැම අපතයෙකුටම කරන්න පුළුවන් වැඩක් කියල...කරලම බලන්න ඕනැ ඒකෙ රඟේ තේරෙන්න...

 ආරියත් බීපුවාම මරු බයිට් එක අප්පා...පුදුම රහක්...ඌට කියපු හුරතල් නම වැද්දා...ඔන්න එක අලුත් අවුරුද්දක අපි දෙතුන්දෙනෙක් ගේ ඉස්සරහ පාරෙ තිබුණු ගල උඩ ඉඳගෙන අඩියක් ගහනව...එදා වටද්දර ඥානයත් ඇවිත් හිටියා...ඥානය බයිට් කිරීමේ කලාවෙ විශේෂඥයෙක්...ආයෙ මමයි අපේ මල්ලියි සනතුයි...කට්ටිය කතා කර කර ඉන්නකොට තමයි ආරිය ඔතනට පාත්වුණේ...ඌත් වැඩේට සම්බන්ධ වුණා...
නොයෙකුත් සාද කතා අතරේ බෝතල් එකිනෙක හිස්වෙනව...
රෙදි මෝලෙ ආරිය වැඩ කරපු විවීම දෙපාර්තමේන්තුවෙම හිටපු බබලතෙක් එක්ක ආරියගෙ ඇයි හොඳයියක් තියෙනව කියල මට කණින් කොනින් ආරංචි ලැබිල තිබුණෙ...ආරංචි පමණයි නං ගං කවුද කින්ද මන්ද කියල වෙන කිසිම තොරතුරක් නෑ...බීපු වෙලාවට ඔය පොඩි කොණක් ඇතිනෙ...

 මම ඔය කතාව ඇදල ගත්ත...

කොහොමද බං අර වැඩේ...නැගල යනවද...

මොකක්ද බං...

අර උඹත් එක්ක හිතවත් එක්කෙනා...

ආපෝ...ඒව නෑනෙ දැන්...ඒව ඒ කාලෙම ඉවරයි...

එහෙමද...කවුද බං ඔය...අපටත් කියපංකො...

ඥානය අරින්නෙම නෑ හරස් ප්‍රශ්න දානව....ආරියටත් වෙරිමතේ කියන්නෙ මොනවද කියල තේරුමක් නෑ...අහන්නෙත් පටලෝලනෙ...

ඥානය කොහොමහරි ගෑණිගෙ නමයි ගෑණිගෙ මිනිහගෙ නමයි ඇතුලු සෑම සියලු විස්තරයක්ම ආරිගෙ කටින්ම අහගත්ත...

ටිකකින් ඥානය කතාව පටන්ගත්තා...

හරි හරි ඔය අර ඔරලෝසු රෙපෙයාර් කරන සෝමෙගෙ පවුල රෝහිණීනෙ...

ආරිය දැන් කටත් ඇරගෙන අහගෙන ඉන්නව...ඥානය කියනවනෙ දැක්ක වගේ...

ඔව් ඔව්...

ආපෝ...ඕකට මාත් ගහල තියෙනවනෙ...

ඥානය කට ඇද කර කර කිව්වා...

ආරියට යකා නැග්ග...මාරාවේශයෙන් ඥානය ළඟට දුවගෙන ඇවිත්...

එහෙම කොහොමද...බොරු කියන්න එපා යකෝ...

ඥානය ගානක් නැතුව හිනාවෙනව...ඌ ඉන්න විදියට ආරියට තවත් කේන්තියි...රතුවට හිටපු ආරියා දැන් නිල්වෙලා...

දැන් යමං අහන්න...දැන් යමං අහන්න...වරෙන් යන්න...උඹ ගැහුව කියලනෙ කියන්නෙ...ඕකිගෙ බෙල්ල මිරිකල මාත් වහ බොනව...

ආරිය කෑ ගහනව...

ආරියට ෂොක් එක වැඩිකමට කඳුලුත් ඇවිත්...අහන්න යන්නමයි කතාකරන්නෙ...

ඉතිං ආරි උඹට ප්‍රශ්නයක් නෑනෙ...උඹ ඔක්කොම හාදකං අතඇරල ඉන්නෙ කියල දැං ටිකකට ඉස්සෙල්ල කිව්වෙ...

එහෙම බෑනෙ මේව බේරගන්න ඕනෑ...උඹ පැත්තකට වෙයං...

ආරියට කියාගන්න දෙයක් නෑ...

දැං වැඩේ නරක පැත්තට යන්නෙ...මූව බයිට් එකට ගන්න ගිහිං අපේ සොමිය කාල දාන්න මූ හදන්නෙ...එතන තියෙන ගස් වලට කරාටි ගහනව...ඥානයව මරාගෙන කන්න හදනව...

බොහොම අමාරුවෙන් වැඩේ ෂේප් කරගත්ත...නැත්නං ඊළඟට ආරිය අපට කරාටි ගහන්න ගන්නවනෙ...

ඔන්න අපේ ගමට ආපු කාලෙම ආරිය තවත් කීප දෙනෙකුට එකතුවෙලා ටවුමෙ කරාටි පංතියකට යන්න පටන්ගත්තා...

බ්ලැක් බෙල්ට් එකක් ගන්න උගන්නනවලු...

ආරි දවසක් අපිත් එක්ක කතා කරමින් ඉන්න ගමන් කිව්වා...

ගන්න එකේ හොඳ ලෙදර් බෙල්ට් එකක්ම ගනිං...ඔය ලාබ බෙල්ට් එහෙම ගන්න එපා වැඩි දවස් පාවිච්චි කරන්න බෑ...පේමන්ට් එකේ ලෙදර් කියල රෙක්සින් විකුණනව...


 තිලක් අයිය බොහොම බැරෑරුම්ව කිව්වා...හොඳ ලෙදර් බෙල්ට් ගන්න තියෙන කඩවල් කීපයකුත් තිලක් අයිය ආරිට කිව්වා...

ඕවට ඉතිං ආරිය සුපිරියට බයිට් වෙනවා...ආරිය ගියාම අපි දෙන්න බඩ අල්ලගෙන හිනාවෙන්නෙ...

ඔය ආරි ගිය කරාටි පංතියට පේමයත් ගියා...පේමය කිව්වෙ අර රොසන්ටව වඩාගෙන වළං මඩුවෙ හැංගිමුත්තං කෙළියෙ...අන්න ඌ...

 දවස් තුන හතරක් පංති ගියාම මුං ටිකට කරාටි උණ හැදුනා...දවසක්දා දානෙ ගෙදරකදි පේමය උගෙ කරාටි හැකියාව ගැන කයිය ගහනව...

උඹල දැන් ඕනැ විදියකට මට ගහපල්ල....මම බේරෙන හැටි බලන්න...

ඕනැ විදියකට කිව්වෙ කොහොමද බං...

ජිනසෝම ඇහුව...

උඹට කැමති ඕනෑම විදියකට ගහපං ජිනයියෙ...

එතනම වැටෙන් වැටමාර පොල්ලක් කඩාගත්ත ජිනසෝම දෝයි දෝයි ගාල දෑත බදල පේමයට පතබාගෙන ගියෙ ඌට අතක් පයක් උස්සන්නවත් ඉඩදෙන්නෙ නැතුව ...පේමය පණ එපා කියල දුවල ගිහිල්ලයි බේරුණේ...

අපට ඉළ කැඩුණ හිනාවෙලා...පොලු පාරවල් වැදුනු තැන්වල තෙල් එහෙම ගාගෙන පේමය ආපහු ආවට පස්සෙ අපි ඇහුවා...

මොකද බං දිව්වෙ...අපි හිතුවෙ අරූට පොල්ලත් අරං දුවන්න උඹ ගහයි කියල...

ආ...ඒකට දාන්න ඕනැ වැලි සෙල්ලම...

වැලි සෙල්ලම මොකක්ද කියල පේමය අපට කිව්වෙ නෑ...ඌ පොලු පාරවල් කෑවෙ එතන වැලි තිබුණෙ නැති හින්ද වෙන්න ඇති...

ඔය වාගෙම උණක් තිබුණ ආරියටත්...

දවසක්දා ගොම්මන් වෙලාවෙ මම කඩේට යනව පොල්තෙල් ගේන්න...අලවත්ත පාරෙ දැන් ඔය අපේ ගෙවල් තියෙන හරියෙ ආරිය තවත් කවුද එක්ක ගෝරියක්...

ආරියා හොඳටම බීල...දෙන්න බැනගන්නව...මම එනව දැකපු ආරිය මට පේන්නත් එක්ක අනිකට කරාටි ගහන්න ගත්තා...

විද්‍යානුකූලව කරාටි ඉගෙනගන්න ශිෂ්‍යයෙක්නෙ...නිකං ගහල බෑ මේ අපි උඹල වාගෙ...විද්‍යානුකූලව ගහනව නං ශාස්ත්‍රානුකූලව කෑ ගහන්නත් එපායැ...

යා.....ආආආ......

ආරිය කෑ ගහල උඩ පැනල අර මනුස්සයට පයින් ගැහුව...කිසිම බැලන්ස් එකක් නැතුව වෙරිමරගාතෙ ගහපු පාර අර මනුස්සයගෙ ළඟින්වත් ගියෙ නෑ...ආරිය පිට අතට පෙරළිලා බිම වැටුණා පෙරේතය පොළොවෙ ගැහුව වගේ...

අර මිනිහ බැණ බැණ යන්න ගියා...කඩේ යාම පැත්තක තියල ආරියව ගෙදරට ගිහින් බාරදෙන්න වුනේ මට...

ආරිය සැරයක් බෙල්ලෙ වැල දාගන්නත් ගියානෙ...ඒක වුණේ මෙහෙමයි...ඒ දවස්වල ආරියල පදිංචි වෙලා හිටියෙ නාරංවත්තෙ ගෙයක් කුලියට අරගෙන...කසිප්පු විකුණන තිලකෙ තමයි අසල්වැසියා...

දවසක්දා දවාලෙ හොඳටම බීල ගෙදර ආපු ආරිය බෙල්ලෙ වැල දාගන්න ඕනැ කියල පවුලගෙ සාරියකින් තොණ්ඩුවක් හදල බාල්කෙට දාල බෙල්ලට ගැටේ දාගෙන පැනල...හරියට ගැටේ තදවෙලා නැතුව හරි ලෙස්සල ගිහිං හරි මුගෙ උගුරු දණ්ඩ කැඩිල නෑ...වවුල වගේ එල්ලිලා ඉන්නවලු...පවුලත් ගෙදර ඉඳල නෑ...මුගෙ කෑ ගැහිල්ලට තිලකෙ ඇවිත් මූව බදගෙන කෑගහනවලු...

අනේ ආරියෝ...කිය කියා...

මේ...තිලකයො...තොගෙ ඔය කෑ ගැහිල්ල නවත්තල පුටුවක් ගෙනත් නැගල මේ ගැටේ ලෙහෙල මාව බිමට ගං...

ආරිය කිව්වලු...

ඒකෙන් වුණේ අර අහිංසක ගෑණිගෙ සාරිය නාස්ති වුණු එක විතරයි...

ආරිය ගැන කියනවනං තව කතා මහ රාසියක් තියෙනව...ඔය මම කිව්වෙ අපේ ගමට ආපු මුල් කාලෙම වෙච්චි කතා ටිකක්...

පස්සෙ කාලෙක රෙදි මෝල වහපුවාම ආරිට හම්බවුනු වන්දියෙන් ත්‍රීවීල් එකක් ගත්තා...ඌ ඔය ත්‍රීවීල් එකෙන් අපේ ගේ ඉස්සරහින් යනකොට මම ඉස්තෝප්පුවෙ ඉන්නව දැක්කොත් ගමන නවත්තල අපේ ගෙදරට ගොඩවෙනවා...මමත් කම්මැලිකමේ ඉන්න එක ආරියගෙන් පරණ කතා අහනව...

දවසක්දා පවුල ආරිට කිව්වලු....
 
දුව පංති ගියා...වහින්නත් එන්නෙ ගිහිං එක්ක එනවකො...
 
ආරිය ත්‍රීවීල් එකත් ස්ටාට් කරගෙන පිටත්වුණා...ගේ ඉස්සරහ මම ඉඳගෙන ඉන්නව දැකල ඇවිත් කයියට වැටුණා...




වෙලාව ගියා තේරුණේ නෑ...කෙල්ල පංති ඇරිල පයින්ම ඇවිත් අපේ ගේ පහු කරගෙන යනවා...
 
අප්පට හුඩු...මෙන්න මේකි යනව...
 
ආරිය දුවල ගිහින් ත්‍රීවීල් එක හරවගෙන...
 
නැගපං...නැගපං
 
මට බෑ...
 
කෙල්ල කියනව...ගේ පේන දුරනෙ...
 
ඒ ගමන් ආරිය හැදුවෙ කෙල්ලව අල්ලල ත්‍රීවීල් එකට දාගන්නයි...කෙල්ල ගෙදරටම දිව්වා...
 
එදා නං ආරිය පවුලගෙන් හොඳට බැණුං  අහගන්න ඇති.