Friday, December 24, 2021

අම්මාගේ බත් ගෙඩිය, දර ලිපේ ඉවීම,පෙමයියා, දරමඩුව, මාළු විකිණීම සහ වැල් අල .

 

අපේ අම්මා බත් බඳින හැටි බලන් ඉන්නට අපූරුය.  ඇය බඳින්නේ අද මෙන් බත් මුල් හෝ බත් පාර්සල් නොව බත් ගෙඩිය.  හැලපි නම් අපි වැඩට යන කාලෙ බත් බැන්දේ ලන්ච් ෂීට් එකක් කඩදාසිය උඩ එලා ඒ උඩට බත්ද බත් උඩින් වටේටම මාළු පිණිද තබා හතර වටෙන් නමා කඩදාසියේ එතීමෙනි.  ඒත් අපේ අම්මාගේ බත් එතීම වෙනම විදියක්ය.  ඇය තාත්තා වැඩට යන කාලයේ අවුරුදු විසි ගණනක් පමණ හැමදාම හිමිදිරි උදේ තාත්තාට බත් ගෙඩිය සකස් කර දුන්නාය.  ඊට පසු මම විවාහ වන තුරුම මට වැඩට ගෙනියන්නට බත් මුල ඔතා දුන්නාය.  රස්සාව ලැබෙන්නට ප්‍රථම වුවද අපි කොහේ හරි ගමනක් යතොත් දවල්ට කන්නට අම්මා බත් මුලක් බැඳ දෙයි.  ගෙදර කෑම හැමදාම කන මම ඒ දවස්වල හෝටලේකින් කන්නට හරි ආසවෙන් සිටියෙමි.  ඒත් අම්මාගේ බත් එකත් එක්ක හෝටලයකින් කෑමේ සිහිනය බොඳවී යයි.  අම්මා දුන්න බත් මුලේ වටිනාකම තේරුණේ පසු කලෙක එක එක හෝටල්වලින්ද කැන්ටින් වලින්ද මෙලෝ රහක් නැති වතුරයි බතුයි වගේ කෑම කනවිටය.  එතකොට අම්මාගේ බත් එකේ රස මතක්වී ඇහැට කඳුලක් උනයි.  මම අපේ අම්මා ගැන බ්ලොගයේ වැඩිපුර ලියා නැත.  අම්මා මරණාසන්නව ඉද්දීද ඇය මියගිය පසුද ඒ ගැන පෝස්ටු දෙකක් ලිව්වා මිසක ඇය ගැන විස්තර ඇතුව ලියා නැත.

පටන් ගත්තේ අම්මා බත් බඳින හැටි කියාගෙන නිසා මුලින්ම ඒ විස්තරය බලමු.  උදේ පාන්දර නැගිට බත් මාළු පිණි උයා ඉවරකරන අම්මා වත්තට ගිහිං කෙහෙල් අගිස්සක් කපාගෙන එයි.  ගෑස් කුකර් ගැන අහලාවත් නොතිබුණු ඒ කාලයේ ඇය දර ලිපේ දුම් කාගෙන උයපු බව අමුතුවෙන් කිව යුතු නැත.  දර ලිප්වලට අමතරව තිබුණා නම් තිබුණේ බුමිතෙල් ලිප්ය.  ඒවා ගම්වල තිබුණේ නැත.  අම්මා ඇය ගෙනා කෙසෙල් කොලය ලිපට අල්ලා හොඳින් තවාගනී.  තවාගෙන කොළයේ නාරටිය එහෙම ඉරා දමා වට්ටියක් උඩ එලු කඩදාසියක උඩින් කෙසෙල් කොලය තබයි.  ඊළඟට ඇය මුට්ටියේ ඇති බත් තව වට්ටියකට නිවෙන්නට දමයි.  වට්ටියට දැමූ බත් ගානට නිවෙන විට බත් හැඳි කීපයක් කෙසෙල් කොළය උඩට දමයි.  ඉන්පසු හිඳෙන්නට උයාගත් මාළු පිණි බත උඩින් තබා ආයෙම බත් හැඳි කීපයක් ඒ උඩට දමා මාළු පිණි එළියට නොඑන්නට අතින් සකසයි.  ඉන්පසුව කෙසෙල් කොළයේ දෙපැත්ත උඩට කර එය සුරුට්ටු කර උඩින් නවා දෙපැත්තද නවා ඇතුලේ ඇති බත් තදවෙන්නට දෙපැත්ත වට්ටියේ තට්ටු කර කඩදාසියේ ඔතාගෙන ගෝණි ලණුවකින් බත් ගෙඩිය ගැටගසා වැඩේ ඉවර කරයි.  දවල්ට කන්නට බත් ගෙඩිය දිග අරින විට එන සුවඳ නම් ඉවසන්නටම බැරිය.  බත් එක ලෙහා ගත් පසු ඇත්තේ තනිකරම ගල වගේ බත් ගෙඩියකි.  එය පැත්තෙන් කඩා ඇතුලේ ඇති මාළු පිණි සමග කන්නට හැක.

මුට්ටිය කියනකොට මට මතක් වුණේ තවත් මුට්ටියක කතාවකි.  ඊට මමත් සම්බන්ධය.  ඔන්න දවසක් මම කොහේ හෝ ගිහිං අවේලාවේ ගෙදර ආවේ හොඳටම බඩගිනි වෙලාය.  මම කන්නට එතැයි බලාපොරොත්තුවෙන් නොසිටි නිසා ගෙදර මට කෑම තබා තිබුණේ නැත.  හොදි මාළු පිණි ටිකක් තිබුණත් බත් නැත.  මම කන්නට ඉල්ලපු වෙලේ අම්මා පොඩි මුට්ටියකට හාල් ගරා දමා ලිපේ තබා මට බලාගන්න කියා නාන්නට පහල ලිඳට ගියාය.  මම ලිප ළඟ ඉඳගෙන සිටියෙමි.  බත ඉදවන විදිය මම දන්නේ නැත.  බත් මුට්ටියට මොනවා කරන්නදැයි නොදන්න මට මේ වැඩේ පවරා ගිය අම්මා එක්ක මට දැන් හරි තරහය.  මම දන්නේ ලිපට දර කෑලි ඔබන්නට පමණය.  දැන් නම් දර ලිපේ බතක් පිස ගැනීම මට සුළු දෙයකි.   මම දර ලිපේ ඉවීම පුරුදු වුණේ හැලපිගෙනි.  ඇයට දර ලිපේ කෑම ඉවීම ගැන මනා පළපුරුද්දක් ඇත. ගෑස් අර්බුදය එන්නට පෙර සිටම රයිස් කුකර් එකක් තිබුණත් අපි දර ලිපේ බත සහ අනෙකුත් මාළු පිණි උයන්නට පුරුදුව සිටියෙමු.  

දර ලිපට අවශ්‍ය දර සොයා දර මඩුව හෙවත් දර ගොඩ තරකිරීම තනිකරම මගේ වැඩකි.  අපි හදාගෙන තියෙන පොල් ගස් දෙක තුනේ වැටෙන පොල් අතු ගෙන ඒම , ගස් කපපු තැන්වලින් ඉතුරු කොට සහ දඬු අරගෙන ඒම, ඒවා පලා වේලා ගැනීම ආදිය මම කරමි.   දර පැලීම නොමිලයේම ශරීරයට හොඳ ව්‍යායාමයක් ලැබෙන වැඩකි.  ගේ ඉස්සරහ පාර අයිනේ මම දර කොට පලනවිට පාරේ යන උන් මට හිනාවෙවී යති.  මොකදැයි ඇසූවිට ගෑස් එකක් තියාගෙන මොකට නහිනවාදැයි කියති.  දර පැලීමේ සොමිය උන් දන්නේ නැත.  අපේ පැත්තේ ඒ කාලයේ දරමඩු කීපයක්ම තිබුණා මට මතකය.  එකක් තිබුණේ පෙමයියාටය.  පෙමා හෙවත් පෙමයියා කියූ ඔහුගේ නම පෙමානිස් විය යුතුය.  පෙමයියා පරණ රබර් ගස් ගලවපු වතුවලින් ලොකු කොට මිලට ගෙන ලොරියක දමාගෙන දර මඩුවට ගෙන එයි.  ඒ කොටන් ඔහු සිය පුතාවත් හවුල් කරගෙන බණ්ඩි කියතකින් එක සමාන විදියට කුට්ටි කරනවා එතනින් වැඩට යන මම දකිමි.  කුට්ටි කළ කොට ඔහු ගොඩ ගසා තබයි.  ඒ කුට්ටි පලන්නේ දර ඕඩරයක් ආපු විටය.  කලින් පලා තිබ්බොත් අව්වට වේලී දරවල බර අඩුවෙයි.  ලොකු පොරවකින් පලා කුඤ්ඤ ගසමින් පලු කරගන්නා දර කුට්ටි අත් පොරවකින් කැබලි කර හොන්ඩර ගණනට කිරා අත් කරත්තයක අහුරාගෙන අවශ්‍ය තැනට ගෙනගොස් බාරදීම සිදුවේ.  වැඩිපුරම දර ඕඩර් ලැබෙන්නේ ටවුමේ අයගෙනි.  ගම්වල දර මිලට ගැනීමේ සිරිතක් නැත.  පෙමයියා දර රාජකාරිය කරන්නේ හැන්දෑ වරුවේය.  උදේ වරුවේ ඔහු මාළු විකුණයි.  

උදේ පාන්දරම පාගන බයිසිකලයකින් මීගමු යන ඔහු මාළු මිලදී ගෙන බයිසිකලයේ බැඳ ඇති පෙට්ටියේ දමා උඩින් වෙලෙන් කඩා ගන්නා හබරල කොළවලින් වසා ගෙනැවිත් ගෙවල් ගානේ ගොස් මාළු විකුණයි.  දවල් වෙනවිට අව්වට මාළු ටික වියලි ස්වභාවයක් ගනී.  එවිට ඔහු අලවත්ත අයිනේ ඇති ඇලට බැස මාළු සෝදා හුරුල්ලන් සාලයින් වැනි කුරින්ගේ වැලි තවරා මාළු ටිකට අලුත් මුහුණුවරක් දී නැවතත් බයිසිකලය තල්ලු කරගෙන ගෙවල් ගානේ යයි.  දැන්නම් පෙමයියාගේ දරමඩුව තිබුණු තැනක්වත් නැත.  පෙමයියාගෙන් පසු දරමඩුව අභාවයටම ගියේය.  එපමණක් නොව ටවුමේ තිබුණු දරමඩුද වැසී ගොසිනි.  අපේ පැතිවල තිබුණේ දර යාර ගණනට හෙවත් ගමේ කියපු විදියට දර ජාර විකිණීමය.  ගස් කැපුවිට දර කොටන් යාරයක් දිගට කපා යාරයක් උසට යාරයක් දිගට ගොඩගසා ගත් විට එය දර යාරයක් හෙවත් ජාරයකි.  බොහෝ විට යාර කපා විකුණන්නේ කජු, කොට්ටං, කැන්ද වැනි කොට වර්ගය.  යාරවලට අමතරව පිට පළාත්වල තියෙන ලී මඩුවලින් කැපෙන පිට පලු ලොරියක පටවා ගෙනැවිත් බාගත් කළ ඒ ටික අවුරුද්දකට හමාරකට සෑහේ.

අපේ ගමට ළඟ ලොකු පොල්වතු දෙකක් තිබුණි.  එකක් බැවුන්වත්තයි.  අනික හිග්ගොල්ල වත්තයි.  ඒ වතුවලින් වැටෙන පොල්පිති කපා ගෙන ඒම ගමේ අය දර සපයා ගන්නා තවත් ක්‍රමයකි.  වත්තේ මහත්තයා කලින් හමුවී පොල්පිති කපා ගන්නට තුණ්ඩුවක් අරගෙන ඉරිදා දවසක වත්තට ගිය විට මුරකාරයා පොල්පිති කපා ගන්නට ඉඩ දෙයි.  වරුවක් යනතුරු ගස් යට වැටී ඇති පොල්පිති කපා එක තැනකට ගොඩගසා තබති.  පොල්පිති අරගෙන යන්නට කරත්තයට එන්නට කියා කලින් පණිවිඩය කියා ඇත.  කරත්තය ආවිට පොල්පිති පටවාගෙන ගෙදර එන්නේ හැන්දෑ කළුවර වැටෙන විටය.  ඔය පෙමයියලාගේ ගෙවල් හරියේ ගෑණු දහයක් පහළොවක් පමණ හැමදාම ඔය වතුවලට ගොස් පොල්අතු මිටි බැඳගෙන එන සිරිතක් තිබුණි.  පොල් අතු එකතුකර මිටි බැඳගෙන හිසට රෙදි කෑල්ලක් තබා දර මිටිය හිසට ගෙන හැතැප්ම දෙකක් පමණ ඇවිදගෙන එන ගෑණු පෝලිම පොල් අතු මිටිය බිම තබන්නේ අපේ ගෙවල් හරියේදීය.  පොල් අතු මිටි ගස්වලට හේත්තු කර විඩා නිවා ගන්නා ගැහැණු නැවතත් එක එක්කෙනාගේ හිසට දරමිටිය අල්ලාදුන් විට අවසන් දර මිටිය හිසට ගන්නට නියරේ යන කාගේ හෝ උදව් ඉල්ලති.  ගෑණු ගෙනයන දරමිටි ඇතුලේ වත්තේ වැටී ඇති පොල් ගෙඩි කීපයක්ද සුක්ෂමව දමාගෙන එන බව කවුරුත් දනිති.  හැමදාම මේ දරමිටි පෝලිම නියර දිගේ යන නිසා දර ගෙනියන්නේ වැඩි කොටස විකුණන්නට විය යුතුය.  ඒ කාලයද අවසන්වී දැන් බොහෝ කල්ය.  ලොකු වතු ටිකද කෑලි කඩා විකුණා ඇත.

ගෑස් සැපයුම අඩපණවී දැන් නැවතත් පුළු පුළුවන් අය දරවලට හුරුවෙමින් ඉන්න මේ කාලයේ දර ලිපේ බතක් උයාගන්නා හැටි පුරුදුවීම කාලෝචිතය.  මුලින්ම දර ලිපේ උයන්නට හුරු වෙන අයට මෙය ටිකක් අමාරු කාරියකි.  විශේෂයෙන්ම දර ලිපේ ගින්දර පාලනය කරගැනීම ටිකක් අමාරු වැඩකි.  අනික් කාරණය විවිධ හාල් වර්ග විවිධ උෂ්ණත්වයේ ඉදෙන ඒවාය.  වැරදුනොත් කර වෙයි, අඩිය අල්ලයි, බත බෙරි වෙයි ආදී නොයෙකුත් අකරතැබ්බය.   මුලින්ම හාල් සෝදා ලිපේ තබා ගිණි අවුළුවා ගත යුතුය.  ඉස්සර නම් හාල් හෝදලා මදිය.  ගරන්නත් ඕනෑය.  ඒ කාලේ අද මෙන් ගල් වැලි ඉවත්කළ හාල් තිබුණේ නැත.  ඒ නිසා බත උයන්නට පෙර හාල් ටික දෙසැරයක් වත් ගරා ගත යුතුය.  නැති නම් බත් කනවිට ගල් හැපේ.  ස්වාමිපුරුෂයා යාලුවනුත් එක්ක බත් කනවිට ගල් හැපුනොත් එය බිරිඳට හොඳ නැත.  ඒ නිසාම හාල් ගරාගෙන බත උයද්දී අපේ අම්මලා එහෙම බොහොම පරිස්සම් වූහ.  බත උයාගන්නා ක්‍රම දෙකක් ඇත.  එකක් නම් මුට්ටියට වැඩිපුර වතුර දමා හාල් ටික තැම්බුණු පසු වතුර පෙරා ඉවත් කිරීමයි.  ආදී කාලයේ සිටම බත් ඉව්වේ එසේය.  නමුත් දැන් බත පිසෙන්නට හරියන ප්‍රමාණයට වතුර තබා බත ඉදවති.  බොහෝ විට රයිස් කුකර් වලින් උයද්දී වතුර පෙරන්නට බැරි නිසා මේ ක්‍රමය යොදාගන්නට ඇත.  බතට වතුර තියන්නට කියන්නේ මැද ඇඟිල්ලේ පුරුක් දෙකක ගණනටය.  එහෙම උනත් ඊට වඩා වතුර තියන්නට පුළුවන් හාලුත් ඇත.  එය තමන්ගේ පළපුරුද්ද අනුව ගණන් බලා කල යුතුය.  අපේ අම්මා බත් උයද්දී සමහර විට බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දමයි.  බත ඉදෙද්දී නෑඹිලියේ වතුරත් රත්වෙයි.  එහෙම කරන්නේ බතට වතුර මදි වුනොත්  නෑඹිලියේ ඇති වතුර ටික මුට්ටියට දමන්නටය.  වතුර මදිවෙලා ඇල්වතුර දැම්මොත් එහෙම එය ප්‍රශ්නයකි.  බත බෙරිවෙන්නට එහෙම නැත්නම් ඇට්ටකුණා වෙන්නට පුළුවන.

ඉතිං දැන් අපි දර ලිපේ හාල් මුට්ටිය තබා ඇත.  දැන් තියෙන්නේ ගින්දර දැමීමයි.  මුලින්ම මුට්ටියේ වතුර පැහෙන්නට ඇර ඊට පසු හාල් දමන්නටද පුළුවන් අතර කෙළින්ම හාලට වතුර දමා ලිපේ තබන්නටද හැකිය.  එය සිදුවෙන්නේ හාල අනුවය.  දැන් අපි මඤ්ඤොක්කා වැල් අල එහෙම තම්බද්දී නම් අල ටික අනිවාර්යයෙන්ම පැහෙන වතුරට දැමිය යුතුය.  ඉදිරියට එන්නේ වැල් අල ගලවන කාලයයි.  අප්‍රේල් මාසය වෙනතුරු වැල් අල ගලවා ගන්නට හැකිය.  වැල් අල ගලවා එවෙලේම කෑමට ගන්නට පුළුවන් උනත් එතනදී වැල් අලයේ නියම රස අපට ගන්නට ලැබෙන්නේ නැත.  අලය ගලවා සතියක් හෝ දෙකක් හුළං වදින්නට තබා තිබිය යුතුය.  ඒ අලයේ ඇති වතුර ගතිය අඩුවෙන්න්ටය.  කඩවල්වල එහෙම දැන් විකුණන්නට තියෙන වැල් අල අව්ව හුළං එහෙම වැදී නියම ගණනට වේලී තියෙන නිසා ඒවා තම්බන්නට කදිමය.  මමත් මෙදා සැරේ අල වැල් දහයක් දොළහක් හදා ඇත.  ඒවාද දැන් කොළ මැරී තියෙන නිසා ගලවන්නට කාලය හරිය.  ගිය සැරේ මම අවුරුදු දෙකක් පමණ ගතවූ වැල් අලයක් ගැලෙව්වෙමි.  ඒ අලය රාජ අල වල පාටට පොඩ්ඩක් අඩු පාටක් ඇති උතුරේ එහෙම බහුලව ආහාරයට ගන්නා අලයකි.  වැඩිය පොළොව යටට බහින්නේ නැතිව වට්ටක්කා ගෙඩියක හැඩයට උඩ පැතිරී යන අලය කෑමට කදිම රසක් ඇති අලයකි.  ගැලෙව්ව පසුව අලය මට තනියම උස්සගෙන එන්නට බැරි නිසා විල්බැරෝවක දමාගෙන ගෙදර ගෙනත් බලනවිට බර කිලෝ තිහක පමණ ප්‍රමාණයක් විය.  සාමාන්‍යයෙන් අලය වැඩිලා මදිය කියා හිතනවා නම් ගලවන්නේ නැතිව එහෙමම තබන්නට හැකිය.  එතකොට ඊළඟ අවුරුද්දේ තවත් ලොකුවී අලය හැදෙයි.  මගේ අල වැල් ටික නම් එක සැරේ නොගලවා ළඟදී එනවාය කියන සාගතයට මුහුණ දෙන්නට තබාගන්නට හිතාගෙන සිටිමි.

සාමාන්‍යයෙන් වැල් අල ලොකු වෙන්නේ වැල යන උස අනුවය කියාද කතාවක් ඇත.  වැල ඉහළ යන්නට යන්නට අලයේ ප්‍රමාණය වැඩිවේ.  ඒ නිසා වැල් අල හදන විට වැල උස ගහකට යවන්නට හැකිනම් හොඳ ප්‍රතිපලයක් ගන්නට හැකිය.  අපේ මිත්‍ර රැවුලාද උගේ වත්තේ අල වැල් ගොඩක් වවා ඇත.  මමත් අල වවන්නට ගුරු හරුකම්ද හිටවන්නට අලද ගත්තේ රැවුලාගෙනි.  අල වාරයට අපි අල කන්නට රැවුලාගේ ගෙදර යෑම සිරිතකි.  ඌත් අපටම කියා අල වැලක් දෙකක් වෙන්කර තියාගෙන සිටී.  අපි ගිය විට රැවුලා ලොකු අලයක් ගලවා සුද්ද කර කෑලි කපා තම්බන්නට පවුලට දෙයි.  අල හැලිය තැම්බෙන තුරු අපි පොඩ්ඩක් රහමෙර පානයේ ගැලී සිටින්නෙමු.  රැවුලාත් එකතු කරගෙන රහමෙර පානය කරනවාට රැවුලාගේ පවුල නම් පොඩ්ඩක්වත් කැමති නැත.  ඒ වුණාට අපි යනවිට ඇයගේ කුස්සියට සෑහෙන බඩු ප්‍රමාණයක් ගෙනියන නිසා ඇයව ෂේප් කර ගත හැක.  නැත්නම් මොකුත් නොබී අල විතරක් කන්නට වුනොත් ඒක මහා කරුමයකි.  කොහොම වුණත් අපි වාර්ෂිකව කරගෙන ගිය මේ සත්කාරය පහුගිය අවුරුදු දෙකේ ඇනහිටියේ කොරෝනා වසංගතය හේතුවෙනි.  ඒත් දැන් ගෙදරකට යන්නට තරම් තත්වය ෂේප් නිසා මම රැවුලාට කතා කළේ මීට දවස් කීපයකට පෙරය.  අපට කන්නට අල තියාගෙන ඉන්නවා යයි කියූ රැවුලා හැකි ඉක්මනින් එන්නැයි ආරාධනා කළේය.  නත්තල් පහුවෙලා එන්නෙමි කියා මම කීවෙමි.

මෙදා සැරේ නත්තල් සිරිය කොහොම වේදැයි නත්තලට පෙරදින වන අදත් කියන්නට බැරිය.  කොහොමත් අපේ පළාතේ නත්තල සමරන අය අඩුය.  නමුත් ටවුමේ කඩවල් නම් නත්තලට සුදානම් වී සිටින අයුරු මම දුටුවෙමි.  මෙදා නත්තල් කොහොමදැයි මම කතෝලික මිත්‍රයෙකුගෙන් නිකමට ඇසුවෙමි.  කංකුන් මිටිය රුපියල් හැත්තෑ පහක් වෙන රටේ කොහොම නත්තල් කන්නදැයි ඔහු පෙරළා මගෙන් ඇසුවේය.

සීත සුළං රැළි මැදින් මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කීපයයි.  අලුත් අවුරුද්ද ලබන්නට පෙර තවත් පෝස්ටුවක් ලියැවේ යයි සිතන්නට බැරිය.  මේ අවුරුද්දේ පෝස්ටු ලියවුණේ කීපයකි.  එනම් මේ පෝස්ටුවත් සමග පහකි.  නමුත් පහුගිය අවුරුද්දට වඩා වර්ධනයක් ඇත.  පහුගිය අවුරුද්දේ ලීවේ පෝස්ටු හතරකි.  එළැඹෙන 2022 වර්ෂයට කෙසේ ලියවේදැයි අපි බලමු.  ලබන්නාවු අලුත් අවුරුද්ද මගේ පාඨකයන් වන ඔබ සියළු දෙනාටත් ඔබේ පවුලේ අයටත් දුකෙන් තොර සැපෙන් බර වසංගත රෝග, සාගත ආදියෙන් විනිර්මුක්තවූ සුවබර, පින්බර, කිරි උතුරන්නාවූ සුඛිත මුදිත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සමග හැලපැට්ටාය෴

Thursday, December 16, 2021

කුඹුරු කතා, හාල්, බත් සහ කිරිබත්.

 

අපේ රටේ අයගේ ප්‍රධාන ආහාරය බත්ය.  බත් ලැබෙන්නේ හාල් වලිනි.  හාල් ලැබෙන්නේ වී වලිනි.  වී ගන්නට කුඹුරු වපුරා වී වැවිය යුතුය.  කුඹුරෙන් නිපදවෙන වී ඇටය ගෙදර බත් මුට්ටියට එන ගමන නම් බත් තරම් රසවත් නැත.  අද කියන්නට හදන්නේ ඒ කතාවෙන් ටිකකි.  සාමාන්‍යයෙන් ගම්වල උදවිය තුන් වේලටම බත් කති.  ඒත් අපේ මහගෙදර නම් බත් ඉව්වේ දෙවේලකි, දවල්ට සහ රෑටය(අපේ ගෙදර දැන් නම් එක වේලකි, ඒ තාක්ෂණික ප්‍රශ්න නිසාය)  දෙවේල බත් ඉව්වේ මා කුඩා කාලයේය.  උදේට අනිවාර්යයෙන්ම වෙන මොනවා හෝ කෑමකි.  ගෙදරට වී ගන්නට අපේ කියා කුඹුරු තිබුණේ අක්කරයකි.  අවුරුද්දට එක කන්නයක් වැපුරූ ඒ කාලයේ කුඹුරෙන් ලැබෙන අස්වැන්න ගෙදර අයට අවුරුද්දම කන්නට නොසෑහේ.  ඒ කාලයේ වැපුරුවේ මාවී නමැති  හයමස් වියකි.  ගොයම් ගස තරමක බට ගසක් සේ උඩට වැවෙන ඇට කුඩා සම්බා හාලේ විය අවුරුද්දකට දෙවරක් වපුරන්නට කල් මදිය.  අස්වැන්නද ටිකකි.  නමුත් වී ගෙට ගෙන හොඳට වේලා ඉපියන්, ගුල්ලන් එනවාට දෙහි කොළ එහෙම දමා ගබඩා කරගත් විට අවුරුදු හතරක් පහක් කිසි ප්‍රශ්නයක් නැතිව තබාගත හැක.  දැන්නම් ඒ හයමස් වී වර්ගය දකින්නටවත් නැත.  අපේ මිතුරු රැවුලා පහුගිය කාලයේ උගේ කුඹුරකට ඔය හයමස් විය ගසා තිබෙනු මම දැක්කෙමි.  කාලෙකින් නොකෑ නිසා ආසාවටවත් ටිකක් කන්නට මම උගෙන් වී ටිකක් ඉල්ලූ විට දෙන්නම්ය කියා කීවත් පහුගිය කාලේ රට වසා තිබූ නිසා ගේන්න යන්නට බැරිවිය.

වී වලට තරම් නම් ගොඩක් ඇති වෙනත් ධාන්‍ය වර්ගයක් නැති තරම්ය.  උදාහරණයකට කුරක්කන් ගතහොත් වපුරන්නේ කුරක්කන්ය.  හැදෙන්නේ කුරක්කන්ය.  කපන්නේ කුරක්කන්ය.  කන්නෙත් කුරක්කන්ය.  එහෙත් වී වල වී වැපුරූ විට හැදෙන්නේ ගොයම් ගස්ය.  ගොයම් කපද්දී ඒවා උප්පිඩි වෙයි.  කමතේදී බැතය.  වී වලින් ලබාගන්නේ හාල්ය.  හාල් තැම්බූ විට බත්ය.  අපේ අම්මා වී ඇට වලට කිව්වේ වියැට ගෙඩි කියලාය.  හාල් වලට හාට ගෙඩි කියා කිව්වාය.  දැන්නම් එහෙම වචන ඇහෙන්නේ නැතිය.

ඉතිං අපට තිබුණු කුඹුරු අක්කරයට අමතරව රේල් පාර අයිනේ තිබුණු සී ජී ආර් රිසිවේෂන් එක හෙවත් දුම්රිය රක්ෂිතයට අයිති කුඹුරු කෑලි කීපයක්ද සීයා වැඩ කළේය.  නියමය තිබුණේ අස්වැන්නෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්නටය.  නමුත් අස්වනු කපාගත් පසු දෙන්නට කෙනෙක් නැත.  දෙපාර්තමේන්තුවේ කවුරුත් ගන්න එන්නෙත් නැත.  ඒ නිසා ඒ වී කොටසද ගියේ අපේ ගෙදරටමය.  සීයා වෙල් මුලාදෑනියා නිසා යායේම කුඹුරු වලින් සීයාට බුසල දෙක වශයෙන් කොටස ලැබේ.   අපට අවුරුද්ද කන්නට ඇති තරම් වී ලැබුණේ ඔය විදියටය.  වී දමන්නට අපේ ගෙදර අති විශාල පෙට්ටියක් තිබුණි.  ඒ පෙට්ටිය අපේ මහගෙදර කෑම කාමරයෙන් හරි අඩක් අහුරා තිබුණි.   දැන්නම් ඒ වී පෙට්ටිය ගලවා දමලාය.  කෙනෙකුට පෙන්නන්නට වටින තරම් විශාල ඒ වී පෙට්ටියේ පිංතුරයක් මට කලින්ම ගන්නට නොහැකිවීම ගැන මම අදටත් කණගාටුවෙමි.  වී පෙට්ටියේ කාමර දෙකකි.  ඔය කාමර දෙකම පිරෙන්නට අස්වැන්න ලැබුණු වාරවල අම්මා සතුටු වෙයි.  වී පෙට්ටියේ දෙපැත්තම පුරවා ඉඩ මදිවී ගෝනිවලත් පුරවා ගොඩ ගසා තබන්නට තරම් වී ලැබුණු විට අම්මා වඩාත් සතුටු වෙයි.  

වී පෙට්ටියට නිකම්ම වී දමන්නේ නැත.  ඒකටත් ක්‍රමයක් ඇත.  අස්වැන්න ගෙදරට ගෙනා පසු සතියක් විතර අව්වේ දමා හොඳින් වේලාගත යුතුය.  ඊට පසු වී පෙට්ටිය සුද්ද කර පරණ වී තිබේ නම් අයින් කර සුබ දවසක මුලින්ම දෙවියන්ගේ කොටස වෙන්කරනු ලබයි.  දෙවියන්ගේ කොටස දමන්නේ කොළපත් ගොටුවලය.  කොළපතට වී දමා පැණි මුල් වගේ හදන ගොටු දෙක කට බැඳ එකක ප යන්නද අනිකේ වි යන්නද අඟුරු කැටයකින් ලියා වහලේ බාල්කයක එල්ලීම සිදුකරයි.  ප ගොට්ට පත්තිණි දෙවියන්ටය.  වි ගොට්ට විෂ්ණු දෙවියන්ටය.  කොහොම වෙන්කලත් ඔය ගොටු දෙකම ගෙනියන්නේ දෙවාලේ කපුවාය.  අස්වනු කපාගත් පසු දෙයියන් වඳින්නට ගෙවල් ගානේ යන දෙවාලේ කපුවා වී දමන්නට ගෝනිත් උස්සාගෙන යන්නට ගෝලයනුත් රැගෙන එයි.  එකතු කරගන්නා වී ගෝනි ටික අපේ ගෙදර තබා ගෙදර යන කපුවා දවසකින් දෙකකින් කරත්තයකුත් අරගෙන ඇවිත් වී ගෝනි රැගෙන යයි.  දෙයියන් වඳින තුරු පිටි කොටන්නට හෝ කැවුම් කොකිස් ආදී කැවිලි හදන්නටත් තහංචිය.  කපුවා දෙයියන්ට යාතිකා කර තහංචිය අයින් කර දමා සීයා දෙන කිතුල් රා බෝතලයද බී යන්නට යයි.

වී අස්වැන්න ගෙට ගෙනෙන්නට පෙර සුබ දවසක වී ටිකක් ගෙට ගැනීමේ චාරිත්‍රයක්ද ඇත.  මට එය කලින් කියන්නට අමතක විය.  එය මෙහෙමය.  සුබයි කියන දවසක කුඹුරෙන් වී ටිකක් ගෙට ගෙනේ.  සුබයි කියන්නේ නැකත් බලා නොවේ.  බොහෝ විට බදාදා හෝ බ්‍රහස්පතින්දා දවසකය.  අඟහරුවාදා නම් වී සම්බන්ධ කිසිම වැඩක් නොකෙරේ.  වී ටික ගෙට ගෙනෙන්නේ වයිතාලයෙන්ම පොළොවට එළිය වැටෙන්නට පෙරය.   වී ටික ගෙට ගන්නේ හොඳ යයි කියන කෙනෙක්ගේ අතිනි.  හැම කන්නයකම මේ වැඩේට අහුවෙන්නේ මාවය.  අපේ තාත්තා උදේ පාන්දර වැඩට යනවිට මාවත් ඇහැරවා ගෙන එක්ක යයි.  තාත්තා අතේ දෑකැත්තක්ද ඇත.  මම සුදු රෙදිකඩක් හිසේ ඔතාගෙන නිදිමරගාතේම තාත්තා පසුපස යමි.  අපේ කුඹුරු තියෙන්නේ ගෙදරින් ටිකක් දුරය.  තාත්තා මාව කරුවලේ එපමණ දුර එක්ක යන්නේ නැත.  ගෙවල් ලඟපාතම කුඹුරකින් බොහෝවිට අපේ නෑදෑයෙක්ගේම කුඹුරකින් පැසුණු ගොයම් මිටක් කපන තාත්තා එය සුදු රෙදිකඩක ඔතා මගේ හිසමත තබයි.  "හා දැන් ගෙදර යන්න" කියා දෑකැත්ත මගේ අතට දී තාත්තා එහෙමම වැඩට යයි.  ගොයම් මිට හිසමත තබාගෙන මම ගෙදර එමි.  ගෙදර ආපසු සීයා ගොයම් මිට කෙසෙල් පට්ටයකින් බැඳ බාල්කයේ එල්ලයි.  ඊළඟ කන්නයේ ගොයම් මිට ගෙදරට එනතුරු එය එසේම බාල්කයේ එල්ලී සිටී.

ගොයම කපා අස්වැන්න ගෙටගත් පසු සතියක් දෙකක් යනතුරු කරන්නට තියෙන්නේ වී ටික වේලා ගැනීමය.  ගෙයි තිබෙන ගෝනි වලින් එළියේ මාගලටත් ආයෙම හවසට මාගලෙන් ගෝනිවලට දමා ගෙටත් අදින්නට ඇති වී වේලීම පණ යන වැඩකි.  හොඳට වේලාගත් වී ටික පෙට්ටියේ ගබඩා කිරීම ඊළඟ කාරියයි.  මම ඉස්සෙල්ලා කිව්වාසේ හොඳට පිරිසිදු කරගත් වී පෙට්ටියට වී ටික පුරවන්නෙත් සුබ දවසකය.  වී පුරවන විට දෙහි කොලද වීත් එක්කම දමන්නේ කෘමි සතුන්ගෙන් වෙන හානි වලක්වා ගන්නටය.  මීට අමතරව තවත් කෙම් ඇත.  වී දමන විට පෙට්ටියට බෙල්ලෙකුත්, කොහොඹ ලෑල්ලකුත්,දෑකැත්තකුත් දැමීම සිරිතකි.  ඒ වී තනිවෙනවාට සහ ආරක්ෂාවටය.  එහෙම නැත්නම් කොහොඹයා වී අදිනවා කියා කුඩාකල මට අම්මා කියා ඇත.  වී පෙට්ටිය ගැලෙව්වායින් පසුව පැත්තකට දමා තිබු බෙල්ලා සහ කොහොඹ ලෑල්ල මම ගෙදර ගෙනාවෙමි.  පිංතුරයේ තියෙන්නේ ඒ දෙකය.  මේවාට වයස නම් මේ වන විට අවුරුදු සීයක් හමාරක් හෝ ඊටත් වැඩි වෙන්නට පුළුවන. 

හයමස් වී වලට පසු වෙනත් වී වර්ග වපුරන්නට පටන් ගත්තේ හයමස් වියේ අස්වැන්න ප්‍රමාණවත් නොවන නිසාත් ගතවෙන කාලය වැඩි නිසාත්ය.  ඊට පසු හැංගිමුත්තන් කියා වී වර්ගයක් ගොවීන් අතර ජනප්‍රිය විය.  මාස තුන හමාරේ හෝ හතරක් වයස වීය ඉස්සාම බාල කන්නයට තුන්මස් වියක් ගසා කන්න දෙකක් කරදරයක් නැතිව වැපිරිය හැක.  හැංගිමුත්තන් කියන්නේ පැහුණු වී කරල පහළට වැටී කොළ අතරේ නොපෙනී යන නිසාය.  පසුකාලීනව වී පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලදුව ගොවීන්ට ලබාදුන් එච් 4 , එච් 8 වැනි බිත්තර වී ගොවීන් අතර බොහෝ ජනප්‍රිය වුයේ අඩු මාසෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි නිසාය.

ආණ්ඩුවෙන් නොමිලේ ලබාදුන් හාල් සේරු දෙකක් කෙනෙකුට ලැබුණු මේ කාලයේ චීනයෙන් හෝ බුරුමයෙන් ගෙන්වන ලද අපේ ගමේ කාන්තාවන් මින්චාට් කියා හැඳින්වූ මිල්චාඩ් සහල ගම්වල බොහෝ ජනප්‍රිය විය.  සුදු හෙවත් තරමක බොර පාට මිල්චාඩ් හාලේ බතට සැරට අඹරාගත් පොල් සම්බෝලයක් එකතු කරගත් විට ඇති සුවඳ සහ රසය අදත් මතක් කල හැක.  මිල්චාඩ් වලට අමතරව සමුපකාරයේ තිබුණේ සුදු කැකුළු හාල සහ රතුම රතු රතු කැකුළු හාලයි. තැම්බූ සම්බා හාලේ බත්වලට පුරුදුව සිටි අපේ පළාතේ අයට කැකුළු හාල උවමනා උනේ කිරිබතක් හදාගන්නට පමණි.  අදටත් රතු කැකුළු බත් පමණක්ම කෑමට පුරුදුවී සිටින දකුණු පළාතේ අය කෙසේ වුවත් අපේ පැත්තේ නම් රතු බත් කෑමක් තිබුනේම නැත.  අපේ කාර්යාලයේ සිටි දකුණේ වැසියෙකු වූ විමලයා වරක් කීවේ රස්සාව ලැබී කොළඹට එනතුරු සුදු බත් කියා ජාතියක් තියෙනවාදැයි වත් ඔහු නොදැන සිටි බවයි.  ඒ සියල්ල දැන් අතීතයයි.

දේශීය හාල් වර්ග සිය ගණනක ලැයිස්තුවක් මම දවසක් මුහුණු පොතේ තිබෙනවා දැක්කෙමි.  ඒ වගේම දෙමළ චිත්‍රපටියක් බලද්දී එහි ප්‍රධාන නළුවා සහල් වර්ග සිය ගණනාවක නම් කටපාඩමෙන් කියාගෙන ගියේය.  කෙසේ වුවත් ඉන්දියාවේ සිටිද්දී අපි අතර ජනප්‍රිය සහල් වර්ගයක් වුණේ පොන්නි සම්බා හාලය.  වතාවක් කේරළයේ සංචාරයකදී හෝටලයකින් කන්නට ලැබුණු පබළු ඇට මෙන් ඇට ලොකු රවුම් හාලේ බත ඊට පසු කිසි දිනෙක කන්නට නොලැබුණි.  මට්ටා හෙවත් මෝටා නම් තැම්බූ රතු හෙවත් දුඹුරු පැහැති හාල්වල බතද කෑමට බෙහෙවින් රුචිකරය.  මැද පෙරදිග ඉද්දී දවසක් සුපර් මාකට් එකකින් ගත් ඉඩ්ලි රයිස් ටිකක් මම ගෙදරට ගිහිං දුන්නේ කිරිබත් හැදුවොත් රසට තියේවි කියා හිතලාය.  හිතුවා වගේම ඒ හාලෙන් හදපු කිරිබත ගෙදර පමණක් නොව අපේ යහළුවන් අතරත් නැගලා ගිය බව තේරුණේ ඒ ව්දියට කිරිබත් හදාදෙන ලෙස ඉල්ලමින් උන් අපේ ගෙදර එන්නට වූ විටය.  ලුණු මිරිසකුත් මාළු හොද්දකුත් එක්ක ඉඩ්ලි හාලේ කිරිබත අපූරුය.

කිරිබත් කන්නට අපි බොහෝ දෙනෙක් මනාපය.  අපේ රටේ හන්දි ගානේද තොග පිටින් කිරිබත් උයා කාපු හැටිද පහුගිය දවස්වල දැකගන්නට ලැබුණි.  ඒවා නම් රැල්ලට කන කිරිබත් උනත් මට හිටපු යාලුවෙක් කිරිබත් කෑමේ රුසියෙකි.  කිරිබත්ව්ලට ඔහු කොච්චර කැමතිද කිව්වොත් ලැබෙනවා නම් තුන් වේලම හරි කිරිබත් කයි.  ඔය අපි විප්‍රවාසයේ හිටපු කාලයේය.  ඔහු වැඩකළ කොම්පැනියේ තුන් වේල කෑම තිබුණත් ඉන්දියන් කෝකියන් උයන කෑම කන්නට ඔහු මනාප නැත.  කාමරේ ලංකාවේ විදියට මොකුත් හදාගෙන කන්නට ඔහු උයන්නට දන්නේ නැත.  හැම සති අන්තයකම පාහේ ඔහු අපේ ගෙදර එන්නේ ලංකාවේ විදියට කන්නටය.  එළු මස් ගාතයක් හාල් එළවළු ආදී අඩුම කුඩුම රැගෙන එන ඔහු අඩියක්ද ගසා කාබී සතියට හරියන්නට කෑමද හදාගෙන යයි.  ගෙනියන්නට වැඩිපුර ඉල්ලන්නේ කිරිබත්ය.  ඒවා ෆ්‍රිජ් එකේ තබාගෙන කනවිට මයික්‍රොවේව් එකේ  රත්කරගෙන කන බව ඔහු කීවේය.

අපේ ලොකු අම්මා හෙවත් අම්මාගේ අක්කා රතුම රතු ලුණුමිරිස් තලියකුත් එක්ක හදා දෙන කිරිබත අදටත් මගේ සිතේ නොමැරෙන මතකයක්ය.  ලොකු අම්මලාගේ ගෙදර තුන් වේලටම කෑම බත්ය.  උදේට කුඹුරු හාලේ සම්බා බත කන්නට රස කිරි හොද්දක් හෝ පොල් සම්බෝලයක් ලැබේ.  කොච්චර කැමති උනත් කිරිබත් කන්නට ලැබෙන්නේ ඉඳහිටය.  සුද්දා වෙසක් එකට දෙන කිරිබත් දන්සලත් ගමේ කිරිබත් උයන ගෑණු උදවිය වැඩ පෙන්වන තැනකි.  සුද්දා ඔවුන්ට තමන් කැමති විදියට තනි තනිව කිරිබත උයන්නට දෙයි.  එතනදී අපටද විවිධාකාර රසයේ කිරිබත් කන්නට වාසනාව ලැබේ.  කොහොම උනත් සුද්දාගේ දන්සැලේ කිරිබත උයා කෙසෙල් කොළයට දමා පොල්තෙල් ගාන ලද කෙසෙල් කොළයකින් තුනී කරන විට එන සුවඳ නම් කියා නිමකරන්නට බැරිය.  එහෙම කියාගෙන යනවිට මට තවත් කිරිබතක් මතක්වේ.  ඒ අපි රත්නපුරේ මහ සමන් දේවාලයට ගිය දවසකය.  අපි ගිහිං දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර බලා හැම තැනම රවුමක් ගසා එළියට එන්නට පිටත් උනා විතරය.  බන්දේසියක කිරිබත් ගොඩක් තබා එය අපේ පැත්තට දික් කරගෙන ඉන්න කෙනෙක් එතන විය.   බාරයක් ඔප්පු කරන්නට ආ කෙනෙක් විය යුතුය.  ඒ කිරිබත් කෑල්ලක ප්‍රමාණය කිව්වොත් ගඩොල් ගෙඩියකට වඩා ටිකක් ප්‍රමාණයෙන් අඩුය.  ලා රතුපාට කිරිබත් කැටය බැලු බැල්මට එහෙම රස පාටක් නොපෙනේ.  කෝකටත් කියා අපි කිරිබත් කෑල්ල බැගින් අරගත්තෙමු.  රස බැලුවේ වාහනයට ගිහින්ය.  ඒ කිරිබත් කෑල්ල කොච්චර රසද කිව්වොත් ආපහු ගිහිං තව කෑලි කීපයක් ගන්නට තිබුණා නම් හොඳයි කියා අපි කතාවුනේ සිනාසෙමිනි.

ඉතිං කුඹුරුත් හාලුත් කිරිබතුත් ගැන කතාව නොදැනීම දික්විය.  කුඹුරු ගැන කියපු වෙලේ මම මෑතකදී කියවපු කවියක් මතක් විය.  මේ කවියේ මුල් පද තුන කෙසේ වෙතත් අවසන් පදය නම් අදද නිතරම පාහේ කියැවෙන එකකි.  කවිය කෙතරම් නිර්ව්‍යාජද අවංකද කිව්වොත් එයින් නැගෙන ශෝකී රසය මා සිත බෙහෙවින් තැවුලට පත්කළේය.  සති ගණනක් මගේ හිතේ රැව් පිළිරැව් දුන්නේ ඒ නිර්නාමික කවියාගේ ශෝකී චිත්තයයි.  සරල කවියක් වුවද එයින් කියැවෙන ලොකු විස්තරය මසිත සැබවින්ම කම්පාවට පත්වන තරම ප්‍රබල එකක් විය.  කවිය විවරණය කරන්නට අර්ථ නිරූපනය කරන්නට තිබුණා නම් හොඳ වුවත් එසේ නොකර මා නිකම්ම කවිය මෙහි ලියන්නේ එහි රසය ඔබට කැමති ආකාරයට ඔබේ ආරයට විඳ ගන්නටය.   ඔබට මෙයින් දැනෙන යම් රසයක් වේ නම් ලියා තබන්නට යැයි මා ඉල්ලා සිටින්නේ කවදා හෝ මේ කවියට මම දෙන අර්ථ නිරූපණය ලියන්නට මා සිතා සිටින හෙයිනි.  මා සිත් සසල කළ ඒ කවිය මෙසේය.

පින්ඇති අතපත්තු මට කරපු කාරියා 

මා වැඩකළ කුඹුර වපුරන්ට නෑරියා 

ගස්මුල් ගලවන්ට මා කරපු වීරියා

නඩු නැති රටට මොට පායාද සූරියා෴