අපේ රටේ අයගේ ප්‍රධාන ආහාරය බත්ය. බත් ලැබෙන්නේ හාල් වලිනි. හාල් ලැබෙන්නේ වී වලිනි. වී ගන්නට කුඹුරු වපුරා වී වැවිය යුතුය. කුඹුරෙන් නිපදවෙන වී ඇටය ගෙදර බත් මුට්ටියට එන ගමන නම් බත් තරම් රසවත් නැත. අද කියන්නට හදන්නේ ඒ කතාවෙන් ටිකකි. සාමාන්‍යයෙන් ගම්වල උදවිය තුන් වේලටම බත් කති. ඒත් අපේ මහගෙදර නම් බත් ඉව්වේ දෙවේලකි, දවල්ට සහ රෑටය(අපේ ගෙදර දැන් නම් එක වේලකි, ඒ තාක්ෂණික ප්‍රශ්න නිසාය) දෙවේල බත් ඉව්වේ මා කුඩා කාලයේය. උදේට අනිවාර්යයෙන්ම වෙන මොනවා හෝ කෑමකි. ගෙදරට වී ගන්නට අපේ කියා කුඹුරු තිබුණේ අක්කරයකි. අවුරුද්දට එක කන්නයක් වැපුරූ ඒ කාලයේ කුඹුරෙන් ලැබෙන අස්වැන්න ගෙදර අයට අවුරුද්දම කන්නට නොසෑහේ. ඒ කාලයේ වැපුරුවේ මාවී නමැති හයමස් වියකි. ගොයම් ගස තරමක බට ගසක් සේ උඩට වැවෙන ඇට කුඩා සම්බා හාලේ විය අවුරුද්දකට දෙවරක් වපුරන්නට කල් මදිය. අස්වැන්නද ටිකකි. නමුත් වී ගෙට ගෙන හොඳට වේලා ඉපියන්, ගුල්ලන් එනවාට දෙහි කොළ එහෙම දමා ගබඩා කරගත් විට අවුරුදු හතරක් පහක් කිසි ප්‍රශ්නයක් නැතිව තබාගත හැක. දැන්නම් ඒ හයමස් වී වර්ගය දකින්නටවත් නැත. අපේ මිතුරු රැවුලා පහුගිය කාලයේ උගේ කුඹුරකට ඔය හයමස් විය ගසා තිබෙනු මම දැක්කෙමි. කාලෙකින් නොකෑ නිසා ආසාවටවත් ටිකක් කන්නට මම උගෙන් වී ටිකක් ඉල්ලූ විට දෙන්නම්ය කියා කීවත් පහුගිය කාලේ රට වසා තිබූ නිසා ගේන්න යන්නට බැරිවිය.
වී වලට තරම් නම් ගොඩක් ඇති වෙනත් ධාන්‍ය වර්ගයක් නැති තරම්ය. උදාහරණයකට කුරක්කන් ගතහොත් වපුරන්නේ කුරක්කන්ය. හැදෙන්නේ කුරක්කන්ය. කපන්නේ කුරක්කන්ය. කන්නෙත් කුරක්කන්ය. එහෙත් වී වල වී වැපුරූ විට හැදෙන්නේ ගොයම් ගස්ය. ගොයම් කපද්දී ඒවා උප්පිඩි වෙයි. කමතේදී බැතය. වී වලින් ලබාගන්නේ හාල්ය. හාල් තැම්බූ විට බත්ය. අපේ අම්මා වී ඇට වලට කිව්වේ වියැට ගෙඩි කියලාය. හාල් වලට හාට ගෙඩි කියා කිව්වාය. දැන්නම් එහෙම වචන ඇහෙන්නේ නැතිය.
ඉතිං අපට තිබුණු කුඹුරු අක්කරයට අමතරව රේල් පාර අයිනේ තිබුණු සී ජී ආර් රිසිවේෂන් එක හෙවත් දුම්රිය රක්ෂිතයට අයිති කුඹුරු කෑලි කීපයක්ද සීයා වැඩ කළේය. නියමය තිබුණේ අස්වැන්නෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්නටය. නමුත් අස්වනු කපාගත් පසු දෙන්නට කෙනෙක් නැත. දෙපාර්තමේන්තුවේ කවුරුත් ගන්න එන්නෙත් නැත. ඒ නිසා ඒ වී කොටසද ගියේ අපේ ගෙදරටමය. සීයා වෙල් මුලාදෑනියා නිසා යායේම කුඹුරු වලින් සීයාට බුසල දෙක වශයෙන් කොටස ලැබේ. අපට අවුරුද්ද කන්නට ඇති තරම් වී ලැබුණේ ඔය විදියටය. වී දමන්නට අපේ ගෙදර අති විශාල පෙට්ටියක් තිබුණි. ඒ පෙට්ටිය අපේ මහගෙදර කෑම කාමරයෙන් හරි අඩක් අහුරා තිබුණි. දැන්නම් ඒ වී පෙට්ටිය ගලවා දමලාය. කෙනෙකුට පෙන්නන්නට වටින තරම් විශාල ඒ වී පෙට්ටියේ පිංතුරයක් මට කලින්ම ගන්නට නොහැකිවීම ගැන මම අදටත් කණගාටුවෙමි. වී පෙට්ටියේ කාමර දෙකකි. ඔය කාමර දෙකම පිරෙන්නට අස්වැන්න ලැබුණු වාරවල අම්මා සතුටු වෙයි. වී පෙට්ටියේ දෙපැත්තම පුරවා ඉඩ මදිවී ගෝනිවලත් පුරවා ගොඩ ගසා තබන්නට තරම් වී ලැබුණු විට අම්මා වඩාත් සතුටු වෙයි.
වී පෙට්ටියට නිකම්ම වී දමන්නේ නැත. ඒකටත් ක්‍රමයක් ඇත. අස්වැන්න ගෙදරට ගෙනා පසු සතියක් විතර අව්වේ දමා හොඳින් වේලාගත යුතුය. ඊට පසු වී පෙට්ටිය සුද්ද කර පරණ වී තිබේ නම් අයින් කර සුබ දවසක මුලින්ම දෙවියන්ගේ කොටස වෙන්කරනු ලබයි. දෙවියන්ගේ කොටස දමන්නේ කොළපත් ගොටුවලය. කොළපතට වී දමා පැණි මුල් වගේ හදන ගොටු දෙක කට බැඳ එකක ප යන්නද අනිකේ වි යන්නද අඟුරු කැටයකින් ලියා වහලේ බාල්කයක එල්ලීම සිදුකරයි. ප ගොට්ට පත්තිණි දෙවියන්ටය. වි ගොට්ට විෂ්ණු දෙවියන්ටය. කොහොම වෙන්කලත් ඔය ගොටු දෙකම ගෙනියන්නේ දෙවාලේ කපුවාය. අස්වනු කපාගත් පසු දෙයියන් වඳින්නට ගෙවල් ගානේ යන දෙවාලේ කපුවා වී දමන්නට ගෝනිත් උස්සාගෙන යන්නට ගෝලයනුත් රැගෙන එයි. එකතු කරගන්නා වී ගෝනි ටික අපේ ගෙදර තබා ගෙදර යන කපුවා දවසකින් දෙකකින් කරත්තයකුත් අරගෙන ඇවිත් වී ගෝනි රැගෙන යයි. දෙයියන් වඳින තුරු පිටි කොටන්නට හෝ කැවුම් කොකිස් ආදී කැවිලි හදන්නටත් තහංචිය. කපුවා දෙයියන්ට යාතිකා කර තහංචිය අයින් කර දමා සීයා දෙන කිතුල් රා බෝතලයද බී යන්නට යයි.
වී අස්වැන්න ගෙට ගෙනෙන්නට පෙර සුබ දවසක වී ටිකක් ගෙට ගැනීමේ චාරිත්‍රයක්ද ඇත. මට එය කලින් කියන්නට අමතක විය. එය මෙහෙමය. සුබයි කියන දවසක කුඹුරෙන් වී ටිකක් ගෙට ගෙනේ. සුබයි කියන්නේ නැකත් බලා නොවේ. බොහෝ විට බදාදා හෝ බ්‍රහස්පතින්දා දවසකය. අඟහරුවාදා නම් වී සම්බන්ධ කිසිම වැඩක් නොකෙරේ. වී ටික ගෙට ගෙනෙන්නේ වයිතාලයෙන්ම පොළොවට එළිය වැටෙන්නට පෙරය. වී ටික ගෙට ගන්නේ හොඳ යයි කියන කෙනෙක්ගේ අතිනි. හැම කන්නයකම මේ වැඩේට අහුවෙන්නේ මාවය. අපේ තාත්තා උදේ පාන්දර වැඩට යනවිට මාවත් ඇහැරවා ගෙන එක්ක යයි. තාත්තා අතේ දෑකැත්තක්ද ඇත. මම සුදු රෙදිකඩක් හිසේ ඔතාගෙන නිදිමරගාතේම තාත්තා පසුපස යමි. අපේ කුඹුරු තියෙන්නේ ගෙදරින් ටිකක් දුරය. තාත්තා මාව කරුවලේ එපමණ දුර එක්ක යන්නේ නැත. ගෙවල් ලඟපාතම කුඹුරකින් බොහෝවිට අපේ නෑදෑයෙක්ගේම කුඹුරකින් පැසුණු ගොයම් මිටක් කපන තාත්තා එය සුදු රෙදිකඩක ඔතා මගේ හිසමත තබයි. "හා දැන් ගෙදර යන්න" කියා දෑකැත්ත මගේ අතට දී තාත්තා එහෙමම වැඩට යයි. ගොයම් මිට හිසමත තබාගෙන මම ගෙදර එමි. ගෙදර ආපසු සීයා ගොයම් මිට කෙසෙල් පට්ටයකින් බැඳ බාල්කයේ එල්ලයි. ඊළඟ කන්නයේ ගොයම් මිට ගෙදරට එනතුරු එය එසේම බාල්කයේ එල්ලී සිටී.
ගොයම කපා අස්වැන්න ගෙටගත් පසු සතියක් දෙකක් යනතුරු කරන්නට තියෙන්නේ වී ටික වේලා ගැනීමය. ගෙයි තිබෙන ගෝනි වලින් එළියේ මාගලටත් ආයෙම හවසට මාගලෙන් ගෝනිවලට දමා ගෙටත් අදින්නට ඇති වී වේලීම පණ යන වැඩකි. හොඳට වේලාගත් වී ටික පෙට්ටියේ ගබඩා කිරීම ඊළඟ කාරියයි. මම ඉස්සෙල්ලා කිව්වාසේ හොඳට පිරිසිදු කරගත් වී පෙට්ටියට වී ටික පුරවන්නෙත් සුබ දවසකය. වී පුරවන විට දෙහි කොලද වීත් එක්කම දමන්නේ කෘමි සතුන්ගෙන් වෙන හානි වලක්වා ගන්නටය. මීට අමතරව තවත් කෙම් ඇත. වී දමන විට පෙට්ටියට බෙල්ලෙකුත්, කොහොඹ ලෑල්ලකුත්,දෑකැත්තකුත් දැමීම සිරිතකි. ඒ වී තනිවෙනවාට සහ ආරක්ෂාවටය. එහෙම නැත්නම් කොහොඹයා වී අදිනවා කියා කුඩාකල මට අම්මා කියා ඇත. වී පෙට්ටිය ගැලෙව්වායින් පසුව පැත්තකට දමා තිබු බෙල්ලා සහ කොහොඹ ලෑල්ල මම ගෙදර ගෙනාවෙමි. පිංතුරයේ තියෙන්නේ ඒ දෙකය. මේවාට වයස නම් මේ වන විට අවුරුදු සීයක් හමාරක් හෝ ඊටත් වැඩි වෙන්නට පුළුවන.
හයමස් වී වලට පසු වෙනත් වී වර්ග වපුරන්නට පටන් ගත්තේ හයමස් වියේ අස්වැන්න ප්‍රමාණවත් නොවන නිසාත් ගතවෙන කාලය වැඩි නිසාත්ය. ඊට පසු හැංගිමුත්තන් කියා වී වර්ගයක් ගොවීන් අතර ජනප්‍රිය විය. මාස තුන හමාරේ හෝ හතරක් වයස වීය ඉස්සාම බාල කන්නයට තුන්මස් වියක් ගසා කන්න දෙකක් කරදරයක් නැතිව වැපිරිය හැක. හැංගිමුත්තන් කියන්නේ පැහුණු වී කරල පහළට වැටී කොළ අතරේ නොපෙනී යන නිසාය. පසුකාලීනව වී පර්යේෂණ ආයතනය විසින් වැඩි දියුණු කරන ලදුව ගොවීන්ට ලබාදුන් එච් 4 , එච් 8 වැනි බිත්තර වී ගොවීන් අතර බොහෝ ජනප්‍රිය වුයේ අඩු මාසෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි නිසාය.
ආණ්ඩුවෙන් නොමිලේ ලබාදුන් හාල් සේරු දෙකක් කෙනෙකුට ලැබුණු මේ කාලයේ චීනයෙන් හෝ බුරුමයෙන් ගෙන්වන ලද අපේ ගමේ කාන්තාවන් මින්චාට් කියා හැඳින්වූ මිල්චාඩ් සහල ගම්වල බොහෝ ජනප්‍රිය විය. සුදු හෙවත් තරමක බොර පාට මිල්චාඩ් හාලේ බතට සැරට අඹරාගත් පොල් සම්බෝලයක් එකතු කරගත් විට ඇති සුවඳ සහ රසය අදත් මතක් කල හැක. මිල්චාඩ් වලට අමතරව සමුපකාරයේ තිබුණේ සුදු කැකුළු හාල සහ රතුම රතු රතු කැකුළු හාලයි. තැම්බූ සම්බා හාලේ බත්වලට පුරුදුව සිටි අපේ පළාතේ අයට කැකුළු හාල උවමනා උනේ කිරිබතක් හදාගන්නට පමණි. අදටත් රතු කැකුළු බත් පමණක්ම කෑමට පුරුදුවී සිටින දකුණු පළාතේ අය කෙසේ වුවත් අපේ පැත්තේ නම් රතු බත් කෑමක් තිබුනේම නැත. අපේ කාර්යාලයේ සිටි දකුණේ වැසියෙකු වූ විමලයා වරක් කීවේ රස්සාව ලැබී කොළඹට එනතුරු සුදු බත් කියා ජාතියක් තියෙනවාදැයි වත් ඔහු නොදැන සිටි බවයි. ඒ සියල්ල දැන් අතීතයයි.
දේශීය හාල් වර්ග සිය ගණනක ලැයිස්තුවක් මම දවසක් මුහුණු පොතේ තිබෙනවා දැක්කෙමි. ඒ වගේම දෙමළ චිත්‍රපටියක් බලද්දී එහි ප්‍රධාන නළුවා සහල් වර්ග සිය ගණනාවක නම් කටපාඩමෙන් කියාගෙන ගියේය. කෙසේ වුවත් ඉන්දියාවේ සිටිද්දී අපි අතර ජනප්‍රිය සහල් වර්ගයක් වුණේ පොන්නි සම්බා හාලය. වතාවක් කේරළයේ සංචාරයකදී හෝටලයකින් කන්නට ලැබුණු පබළු ඇට මෙන් ඇට ලොකු රවුම් හාලේ බත ඊට පසු කිසි දිනෙක කන්නට නොලැබුණි. මට්ටා හෙවත් මෝටා නම් තැම්බූ රතු හෙවත් දුඹුරු පැහැති හාල්වල බතද කෑමට බෙහෙවින් රුචිකරය. මැද පෙරදිග ඉද්දී දවසක් සුපර් මාකට් එකකින් ගත් ඉඩ්ලි රයිස් ටිකක් මම ගෙදරට ගිහිං දුන්නේ කිරිබත් හැදුවොත් රසට තියේවි කියා හිතලාය. හිතුවා වගේම ඒ හාලෙන් හදපු කිරිබත ගෙදර පමණක් නොව අපේ යහළුවන් අතරත් නැගලා ගිය බව තේරුණේ ඒ ව්දියට කිරිබත් හදාදෙන ලෙස ඉල්ලමින් උන් අපේ ගෙදර එන්නට වූ විටය. ලුණු මිරිසකුත් මාළු හොද්දකුත් එක්ක ඉඩ්ලි හාලේ කිරිබත අපූරුය.
කිරිබත් කන්නට අපි බොහෝ දෙනෙක් මනාපය. අපේ රටේ හන්දි ගානේද තොග පිටින් කිරිබත් උයා කාපු හැටිද පහුගිය දවස්වල දැකගන්නට ලැබුණි. ඒවා නම් රැල්ලට කන කිරිබත් උනත් මට හිටපු යාලුවෙක් කිරිබත් කෑමේ රුසියෙකි. කිරිබත්ව්ලට ඔහු කොච්චර කැමතිද කිව්වොත් ලැබෙනවා නම් තුන් වේලම හරි කිරිබත් කයි. ඔය අපි විප්‍රවාසයේ හිටපු කාලයේය. ඔහු වැඩකළ කොම්පැනියේ තුන් වේල කෑම තිබුණත් ඉන්දියන් කෝකියන් උයන කෑම කන්නට ඔහු මනාප නැත. කාමරේ ලංකාවේ විදියට මොකුත් හදාගෙන කන්නට ඔහු උයන්නට දන්නේ නැත. හැම සති අන්තයකම පාහේ ඔහු අපේ ගෙදර එන්නේ ලංකාවේ විදියට කන්නටය. එළු මස් ගාතයක් හාල් එළවළු ආදී අඩුම කුඩුම රැගෙන එන ඔහු අඩියක්ද ගසා කාබී සතියට හරියන්නට කෑමද හදාගෙන යයි. ගෙනියන්නට වැඩිපුර ඉල්ලන්නේ කිරිබත්ය. ඒවා ෆ්‍රිජ් එකේ තබාගෙන කනවිට මයික්‍රොවේව් එකේ රත්කරගෙන කන බව ඔහු කීවේය.
අපේ ලොකු අම්මා හෙවත් අම්මාගේ අක්කා රතුම රතු ලුණුමිරිස් තලියකුත් එක්ක හදා දෙන කිරිබත අදටත් මගේ සිතේ නොමැරෙන මතකයක්ය. ලොකු අම්මලාගේ ගෙදර තුන් වේලටම කෑම බත්ය. උදේට කුඹුරු හාලේ සම්බා බත කන්නට රස කිරි හොද්දක් හෝ පොල් සම්බෝලයක් ලැබේ. කොච්චර කැමති උනත් කිරිබත් කන්නට ලැබෙන්නේ ඉඳහිටය. සුද්දා වෙසක් එකට දෙන කිරිබත් දන්සලත් ගමේ කිරිබත් උයන ගෑණු උදවිය වැඩ පෙන්වන තැනකි. සුද්දා ඔවුන්ට තමන් කැමති විදියට තනි තනිව කිරිබත උයන්නට දෙයි. එතනදී අපටද විවිධාකාර රසයේ කිරිබත් කන්නට වාසනාව ලැබේ. කොහොම උනත් සුද්දාගේ දන්සැලේ කිරිබත උයා කෙසෙල් කොළයට දමා පොල්තෙල් ගාන ලද කෙසෙල් කොළයකින් තුනී කරන විට එන සුවඳ නම් කියා නිමකරන්නට බැරිය. එහෙම කියාගෙන යනවිට මට තවත් කිරිබතක් මතක්වේ. ඒ අපි රත්නපුරේ මහ සමන් දේවාලයට ගිය දවසකය. අපි ගිහිං දේවාලයේ චාරිත්‍ර වාරිත්‍ර බලා හැම තැනම රවුමක් ගසා එළියට එන්නට පිටත් උනා විතරය. බන්දේසියක කිරිබත් ගොඩක් තබා එය අපේ පැත්තට දික් කරගෙන ඉන්න කෙනෙක් එතන විය. බාරයක් ඔප්පු කරන්නට ආ කෙනෙක් විය යුතුය. ඒ කිරිබත් කෑල්ලක ප්‍රමාණය කිව්වොත් ගඩොල් ගෙඩියකට වඩා ටිකක් ප්‍රමාණයෙන් අඩුය. ලා රතුපාට කිරිබත් කැටය බැලු බැල්මට එහෙම රස පාටක් නොපෙනේ. කෝකටත් කියා අපි කිරිබත් කෑල්ල බැගින් අරගත්තෙමු. රස බැලුවේ වාහනයට ගිහින්ය. ඒ කිරිබත් කෑල්ල කොච්චර රසද කිව්වොත් ආපහු ගිහිං තව කෑලි කීපයක් ගන්නට තිබුණා නම් හොඳයි කියා අපි කතාවුනේ සිනාසෙමිනි.
ඉතිං කුඹුරුත් හාලුත් කිරිබතුත් ගැන කතාව නොදැනීම දික්විය. කුඹුරු ගැන කියපු වෙලේ මම මෑතකදී කියවපු කවියක් මතක් විය. මේ කවියේ මුල් පද තුන කෙසේ වෙතත් අවසන් පදය නම් අදද නිතරම පාහේ කියැවෙන එකකි. කවිය කෙතරම් නිර්ව්‍යාජද අවංකද කිව්වොත් එයින් නැගෙන ශෝකී රසය මා සිත බෙහෙවින් තැවුලට පත්කළේය. සති ගණනක් මගේ හිතේ රැව් පිළිරැව් දුන්නේ ඒ නිර්නාමික කවියාගේ ශෝකී චිත්තයයි. සරල කවියක් වුවද එයින් කියැවෙන ලොකු විස්තරය මසිත සැබවින්ම කම්පාවට පත්වන තරම ප්‍රබල එකක් විය. කවිය විවරණය කරන්නට අර්ථ නිරූපනය කරන්නට තිබුණා නම් හොඳ වුවත් එසේ නොකර මා නිකම්ම කවිය මෙහි ලියන්නේ එහි රසය ඔබට කැමති ආකාරයට ඔබේ ආරයට විඳ ගන්නටය. ඔබට මෙයින් දැනෙන යම් රසයක් වේ නම් ලියා තබන්නට යැයි මා ඉල්ලා සිටින්නේ කවදා හෝ මේ කවියට මම දෙන අර්ථ නිරූපණය ලියන්නට මා සිතා සිටින හෙයිනි. මා සිත් සසල කළ ඒ කවිය මෙසේය.
පින්ඇති අතපත්තු මට කරපු කාරියා
මා වැඩකළ කුඹුර වපුරන්ට නෑරියා
ගස්මුල් ගලවන්ට මා කරපු වීරියා
නඩු නැති රටට මොට පායාද සූරියා෴
අපේ ගෙදරත් කාලයක් වී තිබුණ මට එපා වෙලා හිටියෙ ඔය වී කොටන්න මෝලට අරන් යන්න වෙන්නෙ මට නිසා. ඒ කාලෙ ඔය ත්‍රීවීල් කියල ජාතියක් තිබ්බෙ නෑ.
ReplyDeleteහන්දියක් හන්දියක් ගානෙ කාපු කිරිබත් නං දැං අජීරණේ වෙලා ඇති. හැක්..
කාලෙකිං බ්ලොග් එකක පළවෙනි කොමෙන්ට් එක වැටිල. අදනං කිරිබතක් උයන්නෝන හංදියෙ.
Deleteමගේ කමෙන්ට් එක කොටන්න වෙලා ගියා. සේසයකින් ලිස්සලා ගියා, පලවෙනි තැන.
Deleteඇයි බස්සගෙ හොට ඇද වෙලා ද?
Deleteඔව් ඔබට පළමුවෙනි තැන ලැබෙනවා. ඔබට හිමි තෑග්ග වන අමු මිරිස් 250 යථා කාලයේදී ලැබෙයි.
Deleteඅපේ ගෙදරත් වී කොටන්න මෝලට ගෝනිය කරගහගෙන ගියෙ මම . හැතැප්මක් විතර උස්සගෙන යන්නයි එන්නයි ගියාම හොඳ පණ යනවා. ත්‍රීවීල් තියා පාගන බයිසිකලයක්වත් නැති කාලෙ.
Deleteඅමු මිරිස් වැඩක් නෑ. කහ කුඩු සීයක් විතර ඇති.
Deleteඑක හුස්මට කියෙව්වා. ඉතා රසවත් වගේම, අතීතකාමය වඩවන ලිපියක්. ස්තූතියි.
ReplyDeleteහොඳ උණු බතක් එක්ක, එක එලෝලුවක් වුනත් කෑ හැකිය. මේ බව දන්නා නිසාදෝ, අපේ හෝතම්බුවා කන්නේ, ඉස්තරම් වර්ගයක හාලක් පමණය. තායි ජැස්මින් හාල, රසත්, සුවඳත්, මිලත් අතින් ඉහල නමුත්, බෙරි නොවී උයාගැනීම ඉතා අසීරුය. පොන්නි සම්බා, රස අතින් හොඳ වගේම මිලත් සාධාරණය. ඉස්සර දිගටම කෑ නමුත්, කොරෝනා නිසා, ඒක ගේන්න එතරම් දුරක් යන්නේ නැත. දැන් "පක්වාන්" කියා පකිස් හාලකට මාරුවී ඇති අතර, එයට "පක්වාන් දහසකට බුදුවන්න" කියාද කියති.
සූදුරු සම්බා සහ මුතු සම්බා, ඉහලම බාස්මතී වලටත් වඩා මිල අධික නිසා, එව්වා ගන්නේ විශේෂ කහබත්, ලම්ප්-රයිස් දෙන උත්සව අවස්ථාවලට පමණය.
පොන්නි සම්බ උයද්දි එන ගඳ නේ ඉවසන්න බැරි.
Deleteමුතු සම්බ කාලයක් වගා කලා. දැං නං බිත්තර වී වත් හොයන්ඩ නෑ
ඔය කතාවම, අපේ හෝතඹුවත් කියනවා. පුදුමෙ කියන්නෙ, මට එහෙම ගඳක් එන්නෙ නැති එකයි. පොන්නි සම්බ ගේන්න යනකොට මූ කියනව නෙව, "ඕං යනවා පෝර ගෙන්න" කියලත්.🤣😂
Deleteමටත් පොන්නි සම්බාවල අමුතු ගඳක් නම් දැනෙන්නෙ නෑ. ඔය තායි කාරයො කන්නෙ බෙරි බත් නොවැ. ඒ හාල බෙරි නොවී උයන්නම බැහැ.
Delete//නියමය තිබුණේ අස්වැන්නෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන්නටය. නමුත් අස්වනු කපාගත් පසු දෙන්නට කෙනෙක් නැත. දෙපාර්තමේන්තුවේ කවුරුත් ගන්න එන්නෙත් නැත. //
ReplyDeleteඑහෙම සිස්ටම් එකක් ආණ්ඩුවෙ ඉස්සර තිබුනද?
කොහොමද ඒක හරියටවුන කාලෙ වැඩ කලේ? (කාටද වී දුන්නෙ, ඒවා කොහෙටද ගියේ, ඊට පස්සෙ ඒවට මොනවද වුනේ?)
මේකට ඇනෝ මොනව කියයිද කියන ප්‍රස්නෙත් තියනව
Deleteහරි නම් ලඟම තියෙන ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් ට දෙන්න තිබුන.😀
Deleteදෙයි දෙයි මේං කියල. හැක්..
Deleteහරියට සිස්ටම් එක ක්‍රියාත්මක වෙච්ච කාලෙ නම් අස්වනු එකතු කරගන්න කට්ටිය එනවා කියලයි අහල තියෙන්නෙ. ඒ අය අස්වනු වලට මොකද කළේ කොහෙද ගෙනිච්චෙ කියල නම් පසු විපරමක් කරලා නැහැ සහ එහෙම හොයන්න අවශ්‍යතාවකුත් තිබිල නැහැ.
Deleteඅපේ ආච්චි ඉන්න කාලේ නම්, වී පෙට්ටියට දෙහි කොළ දානවා විතරක් නොවෙයි, සබ්බ පාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියොදපනං, එතං බුද්ධානසාසනං කියන ගාථාව කොලයක ලියලා වී පෙට්ටියට දානවා. ඒ හැර, අළුත් වී, කිසිවිටකත් ආහාරයට ගන්නේ නැහැ. කන්නයක් පරණ කරලා තමයි කෑමට ගන්නේ. අපේ ගෙදර උන්දෑ හාල් පැකට් වල එක්ස්පයරි ඩේට් චෙක් කරනවා දකින හැම වෙලාවකම මම ඔය කතාව කියනවා.
ReplyDeleteදන්න විද්හට ඒම පරණ කරනව නෙවී. කලිං කන්නවල් වල ඉතිරිිවී පරිභෝජනය කරල ඉවර වෙනකං අලුත් සාල් ගන්නෑ. නමුත් පළාත් අනුව වෙනස් වෙනවද දන්නෑ නෙව 😃😃
Deleteගෙදර පරණ වී නැත්නම් තමයි අලුත් වී කෑමට ගන්නෙ. ආයෙම අස්වනු ගෙට ගත්තම අලුත් හාලෙ බත් කනවා කියල එකක් නම් තියෙනවා.
Deleteලියලම්න් තිබිණි හිත යට පුංචි දොළක්
ReplyDeleteහොඳ නැති නිසයි ඒකට දුන්නැත්තෙ ඉඩක්
මෙන්න බොලේ 'ආල වඩන post එක'ක්
හෙට උදේට කිරිබත් හැර නැත කෑමක්!
ඊයේ උදේ හැදුවා මරු ලුණුමිරිසක්
Deleteඒකට ගැළපුනා පිසගත් කිරිබතකුත්
පිං දිදී හැලපෙ උන්නැහෙ ඔහෙ වෙතටත්
සවුදං ජෙමා වගේ වුණා පෙරේතයෙක්!
එහෙනම් වැඩක් වී ඇත මගෙ පෝස්ටුවෙන්
Deleteකිරිබත් අදත් කෑවෙමි බට් හාල් කඩෙන්.
මෙන්න තියෙනවා වී වර්ගවල නම් තිබුණු තැන: https://www.facebook.com/easyadz.lk1/posts/325177132485103
ReplyDeleteබොහොම ස්තුතියි නිදී.
Deleteහෙල්ප්තුමා කියල තියන දේවලින් අපි පොඩි කාලෙ තිබුනෙ කොටස් දෙකකට බෙදුන වී පෙට්ටිය තමයි. ආච්චිලගෙ ගෙදර ඒකට වෙනම වී කාමරයක් තියනව. වී පෙට්ටිය හිස්වුනාම ඒකට බැහල සෙල්ලම් කරලත් තියනව. වී වර්ගයනම් මතක නෑ.හාල්වලට කිව්වෙ තම්බපු හාල්. තම්බල මාගල්වල දාල අව්වෙ කාල් ගාමින් වේලල කොටා ගන්න එකක්. ටිකක් දුඹුරුපාට මහත හාල්. රතු නෑ. දුඹුරු හා සුදු සමව තියන එකක්. වීවල නම දන්නෙනෑනෙ කියල දැන් තමයි හිතුනෙ.
ReplyDeleteමම කියන ගම හෝමාගමට නුදුරු එකක්.
මට මතක තියන එකම වී පැරණි වර්ගය "දෙවරැද්දිරි" කියන එකයි. ඒක වචනයෙන් අහලා තියනවා මිසක් ලිඛිතව දැකලා නැති නිසා මෙහි අකුරු නිවැරදිද කියලා දන්නේ නැහැ. මේක බොහෝ විට 60 දශකයේ අග හෝ , 70 මුල දක්වාත් වගා කළා මතකයි. ඉන්පසුව නම් භාවිතා උන බවක් මතක නැහැ. අස්වැන්න අඩු නිසාත්, වගා කාලය වැඩි නිසාත් ගොවියෝ මේවා වගා කරන්න අකැමතියි.
Deleteහැමදාම වැටක් විතරක් ගහන ප්‍රා අද කමෙන්ට් දෙකක්ම දැම්ම එකට මාර සතුටුයි. ඔය කියන හාල නාඩු හාලක් මටත් මතකයි. හැබැයි නම නම් අමතකයි.
Deleteපිට රට හාලේ බත් ටික නැත්නම්
ReplyDeleteබඩගින්නේ සිංහලයා.......
ඔය සිංදුවේ තනුවත් පිටරට එකක්!
Deleteමේ බොරු මාන්නෙ අහකදාලා, කවදා ඇත්ත දකින්න අපේ ඇස් ඇරේවිද මන්දා?:(
Deleteඅපේ කුඹුරු වැඩි හරියක් පුරන් වෙන්නෙ, කරදිය නිසයි. රටක් වශයෙන් අපි තාමත් ඉන්නෙ අතීතයේ. අතීතෙ ගැන පාරම් බානව මිසක්, නවීන තාක්ශණය, දැණුම සහ හැකියාව අපට නෑ.
කේරලයේ කරිජ්ජ කුඹුරු
@ නිදිගෙ පංච තන්තරේ
Delete"පිටරට ගීතේ තනුවක් නැත්නම් බඩගින්නේ ගායකයා"
ඔය කීරි සම්බ කියන්නෙ ලංකාවෙ හයිබ්‍රිඩ් එකක්. එතකොට වවන වී ඔක්කම ලංකාවෙ හයිබ්‍රිඩ් .
Deleteනමුත් ලංකාවෙ කුඹුරු ඔක්කම වගා කලත් කන්නයක් ලංකාවට කන්න දෙන්න වී නෑ. ඒ නිසයි පිටිං හාල් ගෙන්නන්නෙ.
ඉතිං ඒ සිංදු කෑල්ල අර්ධ සත්‍යක්.
ඉස්සර සීයට අනූවක් විතර ලංකාවෙ අවශ්‍යතාවෙන් පිරිමහ ගත්තෙ රටින් හාල් ගෙනත්. පසුකාලීනව ඒක වෙනස් වුණා.
Deleteහැලපතුමාගෙ කතාවත් එක්ක අපි පොඩි කාලෙ කුඹුරු වැඩ කරපු හැටි මතක් උනා. අපේ පැත්තෙ වී පෙට්ටියට කියන්නෙ අටුව කියලා. අවුරුදු තිහකින් විතර කුඹුරු වැඩකරලා වී ඇටයක් ගේ හරියට ගේන්නෙ නැති උනාට තාම අටුව කඩන්නෙ නැතුව තියාගෙන ඉන්නවා, අපේ සීයට කරන ගරු කිරීමක් විදිහට. උන්දැ තමයි අපිට තිබ්බ කුඹුරු ඔක්කොම අරං තියෙන්නෙ.
ReplyDeleteඅර කවිය කියවන කොට මට මතක් වෙනවා අපි පොඩි කාලෙ අපේ අප්පච්චිගේ අක්කගේ ගෙදර ඒ කියන්නෙ අපේ නැන්දම්මාගේ ගෙදර නිවාඩු කාල වලට ගියාම වෙන දෙයක්. ඒ අයට තාමත් හුගක් කුඹුරු තියෙනවා. ගමේ මිනිස්සු බත් පෙට්ටියක් ඒකට හරියන ඒ කාලෙ විදිහට ඉස්තරං මාලුත් ( අපේ පැත්තෙ හැම වෑංජනේකටම කියන්නෙ මාලු කියල) එක්ක උයාගෙන සුදු රෙද්දකින් වහගෙන නැන්දම්මලාගේ ගෙදරට ගේනවා. ඊට පස්සේ මාමාට බුලත් අතක් දීලා තමයි අඳේට වැඩ කරන්ඩ කුඹුරක් ඉල්ලා ගන්නේ. මං මේ කියන්නෙ අසූව දශකයේ මැද අග වගේ කාලෙ. ඉතිං මිනිස්සු ඒ තරම් කුඹුරු කෑල්ලකට බැගෑපත් උනා නං ඔය කියන කාලෙ අවුරුදු සීයකට දෙසීයකට සමහර විට ඊටත් වඩා ඈත අතීතේ ගමේ බලපුලුවංකාරයෝ ඉස්සරහා කොයි තරං අසරණ වෙන්ඩ ඇද්ද? එහෙමත් කරලා ප්‍රතිඵලයක් නැති උනාම ගෙදර අවුරුද්දක් බඩ ගින්නෙ ඉන්න පොඩි උන් මතක් වෙන්ඩ ඇති මේ කවියාට. මෙහෙව් අසාධාරණ ලෝකෙකට මොකටද සාධාරන විදිහට ඉර හඳ විතරක් පායන්නෙ? ඒකත් පායපං ලොකු උන්ට වැඩියෙනුයි පොඩි උන්ට අඩුවෙනුයි!! අපි ඉක්මනට මැරිල යන තරමට දුක අඩුයි කියල ඒ කයවියාට හිතෙන්ඩ ඇති!!
ලොකු මල්ලිගෙ කමෙන්ට් එක ගැන තව පෝස්ටුවක් ලියන්න පුළුවනි. කොහොමත් කවිය ගැන මගේ විවරණය ඉදිරියෙදි ලියන්න ඉන්නෙ. අමතක වුනොත් මට මතක් කරන්න.
Deleteජීවිතේ පළමු වතාටම මේ පහු ගිස සතියේ රඹුක්කන ගිහ්ලලා කිරිබතුයි පොල්සම්බෝලයි කෑවා.
ReplyDeleteකවියේ අන්තිමට සූරියා නෙමෙයි යූරියා නේද එන්න ඕන
දේශකතුමා මං මේ කියන්නෙත් රඹුක්කන ගැන තමා...හරියටම කිව්වොත් ටවුමෙ ඉඳං හූවක දුර!!
Deleteරඹුකන කොහෙඳ ලොකූ. 🤔🤔🤔
Deleteඔය සාවියත් නුවරට කිට්ටු නිසා ඒ උස්නෙ තියනව. අදටත් ඇති. නැත්තෙ නෑ.
මම මාවනැල්ල අරණායක සයිඩ්ඩෙකේ වැඩ කරන නිසා දන්නෙ තාමත් බරට මාන්නය තියන අය ඉන්නව. රජ්ජුරුවන්ට සමීපම ගම් නෙව.
රඹුකන වෙනයි රඹුක්කන වෙනයි. රඹුකන තියෙන්නෙ දකුණෙ. මං මේ කියන්නෙ රඹුක්කන ගැන. ඔබතුමා තාම අරණායක පැත්තෙ වැඩද? ඔය මාන්නෙ හරි හිස් එකක්. රජ්ජුරුවෝ මාන්න ගනනාවක් හතර කෝරළේ මිනිස්සුන්ට දුන්නලු. ඒ මොකද දන්නවද අපේ මුතුන් මිත්තො තමයි රජ්ජුරුවෝ වෙනුවෙන් යුද්ධ කරල තියෙන්නෙ. ඒ කාලෙ ඉදම්ම අපේ මිනිස්සු පොඩි වහල් මනසකින් හිටියෙ!!!
Deleteපොල් සම්බෝලයි කිරිබතුයි කන්න රඹුක්කනම යන්න උනා එහෙනං. අද කාලෙ අනුව නම් කවියෙ අන්තිම පදේට හරියටම ගැලපෙන්නෙ යුරියා තමයි.
Deleteවී තම්බනකොට එන ඒ සුවඳ මරු...හ්ම්....!!!
ReplyDeleteඒ සුවඳත් එක්ක බොහොම ලේසියෙන් අතීතයට යන්න පුළුවනි චෙපාකි. අපි දැනටත් ගෙදර වී තම්බනවා. අපේ කුඹුරුවල නොවුනට ඥාතීන් ගෙන් ලැබෙන ඒවා.
Deleteකපුවා දෙයියන්ට යාතිකා කර තහංචිය අයින් කර දමා සීයා දෙන කිතුල් රා බෝතලයද බී යන්නට යයි. - අන්න කපුවො.
ReplyDeleteකුඹුරු කතා, හාල්, බත් සහ කිරිබත් - මසුරං ලියමන
ස්තුතියි නමියෝ.
Deleteඅපේ අප්පුච්චා ඉද්දි බත් පිගාන අතට ගන්නේ ඒකට වැඳලා, බත් දුන්නු ආදී පරම්පරාවේ ඉදන් පැවතගෙන එන උත්තමයන්ට පිං දීලා.
ReplyDeleteමමත් අලුත් කන්නේදී මුලින්ම බත් පිගාන අතට ගන්නේ ඒ උත්තමයන්ට පිං දීලා.
එහෙම තමයි. ඒ අය කන බතට වියට හරියට ගරු කළා. අපේ අම්මා හාල් මුට්ටිය ලිපේ තියල ඒකට වඳිනවා. අම්ම විතරක් නෙවෙයි ඒ පරම්පරාවෙ කවුරුත් එහෙම කළා.
Deleteදැං නං හැලපේ මේ කන්නෙ වී ටික යහතිං ගන්ඩ පුලුවන් වෙයිද මංද. කලිං කන්නෙ ටික මේ කන්නෙ කපන කං කන්න පුලුවන්. ඒත් මේ කන්නෙ ඒම පුලුවන් වේද සැකයි. පොහොර ප්‍රශ්නෙ සැරටම බලපාල තියෙන්නෙ. අනික තෙල්
ReplyDeleteමිනිස්සුන්ව කාබනික ගොයිතැනට දක්කනව කියල නටපු නාඩගම නිසා මේ රට කොහොමත් වෙන රටකට සින්න වෙනව. වෙන හේතුවක් නිසා නෙවී. හාල්ම ගෙන්නල
හැලපෙගෙ මේ මතක වලට මට රිප්ලයි එකක් ලියන්න ගියොත් මෙතන පෝස්ට් එකක් ලියන්න පුලුවන් 😃😃😃
සෝ... පෝස්ට් එක රසවින්ඳා කියල කියන්නම් ❤️
මේ කන්නෙ අස්වැන්න ගොඩක් අඩුවෙන්න පුළුවනි. ඒ හේතුවෙන්ම හාල් හිඟයකුත් ඒවි. ක්ෂණික කාබනික සෙල්ලම නිසා තමයි ඔක්කොම. රස්වින්දට ස්තුතියි.
Deleteතාත්තා ඉන්න කාලේ අපේ කුඹුර වැඩ කරන කොට ඔය සේරම කරලා කට්ට කාලා තියෙනවා. වී වේලිල්ල නම් ලේසි නෑ මොකද ඒක අව්වට දාලා සැරින් සැරේ අත් ගාන්නත් එපායැ. අපි නම් හුජ්ජමැල්ල කොල දැම්මෙ වී එක්ක. ඔය හැලපෙ කියලා තියන වී කරල් ටිකක් අපිත් ගේනවා ඊලඟ කන්නෙ වෙනකම් තියා ගන්නවා.ඔය හොඳ කෙනෙක් ලව්වා ඒ දේ කරගන්න එක ගැන මගේ අත්දැකීම මෙහෙම. යම් විශ්වාසයක් තියනවා සහ යම් ඇත්තක් තියනවා වගේ.අපේ තාත්තා කුඹුරු වැඩ කලාට හැමදාම වගේ වපුරන කොට වී ඉහින්න බාප්පට කියනවා.එයාගෙ අත්ගුණය හොඳයි කියලා. බාප්පා පරණ කෘෂිකර්ම ඕවර්සියර් කෙනෙක්. හැබැයි එයා හොඳ ගොවියෙක්. අපේ උන්දෑ සමහර වෙලාවට අපේ කොල්ලට කියනවා පුතේ බත් උයන්න කියලා. ඒකා ඉතින් අම්මා කියන හාල් කප් ගාන රයිස් කුකර් එකේ තියනවා. අම්මා කියනවා කොල්ලා හාල් ලිපේ තිබ්බහම බත් වැඩියි කියලා එයා හාල් එකම කප් ගාන තිබ්බටු වඩා කියලා.මම කිව්වා කොලුවා අතින් වැඩිපුර හාල් දාලා ඇති කියලා. දවසක් එයාම හාල් මැනලා දුන්නා කොල්ලට පාලක පරික්ෂණයක් කරන්න. එදත් බත් වැඩියි.මටත් හිතන්නේ ඔය මහේෂ් කියලා තියන දේ වෙයිද කියලා.
ReplyDeleteකුමාර, හුජ්ජමැල්ල දැන් දකින්නත් නැති දෙයක්. අවුරුදු කීපෙකට කලින් නම් දෙල්කඳ පොලට විකුණන්නත් ගෙනත් තිබ්බා.
Deleteඅත් ගුණේ, යා දෙනවා, අහුපෑවත කියන වචන නිකම්ම නෙවෙයි හැදිලා තියෙන්නේ නේද?
තවමත් ඔය පුරුද්ද දැකගන්න ඇහැකි අවුරුද්ද ලැබුවාම. ගේ ඉඳුල් කරවාගන්නේ වාසනාවන්තයෙක් ලවා නෙ.
ඈ හුජ්ජ මැල්ල කොල වලට එච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවද? ඉස්සර නම් ගමේ බඩවැටි, වැටවල් දිගේ, රබර් වතු වල නිකං වැවුනා. දැන් නම් ගම් නැති වෙලා ටවුන් වෙලා.ඔව් ඔය ගෙවල් ඉඳුල් කරන එකටත් අපේ බාප්පා තමයි එන්නේ.
Deleteඅපි දවසක් trip එකක් යද්දී පොල්ගහවෙලට කිට්ටු පොල් අතු බත් කඩේකින් උදේට බත් කෑවා. හුජ්ජ මැල්ල කොළ බැදලා තිබුණා එදා. ඒවා අඳුන්නලා දෙන්න වුණේ මට.
Deleteඒක රස වැටුණු යාළුවෙකුට දෙල්කඳ පොළේදී එළවලු අම්මා කෙනෙකු ඔය නම කියනවා ඇහිලා. මනුස්සයාත් ඒවා අරගෙන. ෂොපින් බෑගයක දාල ගැට ගහලා වාහනේ ඩිකියේ දාගෙන ඉඳලා, ගෙනාවේ දවස් තුනකට පස්සේ.
ඒ බෑග් එක ඇරලා බලපුවාම හැදුණු ඔලුවේ කැක්කුම දවසක් තිබ්බා!
ඔයා මැල්ල කොළ දන්නා නිසා අහන්නේ, කැබැල්ල දළු මාළුවත් කාලා ඇතිනේ.
අපොයි නැතුව.හැබැයි දැන් කැබෙල්ල ගහක් දකින්න වත් නෑ නේද? අපි පොඩි කාලේ ඉඳිආප්ප කන්න අම්මා නොවරදවාම හදනවා කැබෙල්ල දළු සම්බෝල.
Deleteඔය අත්ගුණේ කියන එක හරියට ගම්වල විශ්වාස කරනවා. ඇත්තකුත් තියෙනවා.
Deleteඅපිටත් සෑහෙන කාලයක් අපේ කුඹුරුවල බත් කන්න පින තිබ්බා. මෙහෙම හරි අල්ලගෙන ඉන්නෙ ඒවගේ හයියෙන් තමා. සුන්දර අතීතයට අරගෙන ගියාට පින්.
ReplyDeleteස්තුතියි චමින්ද.
Deleteමේක කිඉයෙව්වහම මතක් උනේ මහගෙදර වී කෙරුවාව.. අදත් අපේ අම්මාගේ පණ යන වැඩේ තමා වී තම්බන එක.
ReplyDeleteඅද හවස හෙන කාලෙකට පස්සේ ගෙදර එන්නයි අදහස.. ඒ කියන්නේ අවුරුදු ගානකින් කුඹුරේ බත් කන්න පුළුවන් වෙනවා.
උඹ එනවා යනවා. මේ සැරේ අලුත් බත් කාලම පලයන්.
Deleteවී පෙටිටි ගැන කිව්වාම මතක් වුනේ අර හොකන්දර හය දෙනෙක් මරපු සිදුවිමේ ඒ තාත්තාව මරලා දාලා තිබ්බේ කුස්සියේ තිබ්බ වී පෙටිටියට කියලා ඒ ගැන තිබ්බ ලිපියක තිබ්බා.
ReplyDeleteකිරිබත් වැඩිය කෑවම නිදිමත එනවා කියන කතාව නම් ඇත්ත.මම නම් කිරිබත් කන්න කැමති සැර මාලු හොද්දක් වගේ දෙයක් එක්ක.ලුණුමිරිසට වඩා එක නියමයි.
//කෙසේ වුවත් ඉන්දියාවේ සිටිද්දී අපි අතර ජනප්‍රිය සහල් වර්ගයක් වුණේ පොන්නි සම්බා හාලය. වතාවක් කේරළයේ සංචාරයකදී හෝටලයකින් කන්නට ලැබුණු පබළු ඇට මෙන් ඇට ලොකු රවුම් හාලේ බත ඊට පසු කිසි දිනෙක කන්නට නොලැබුණි. මට්ටා හෙවත් මෝටා නම් තැම්බූ රතු හෙවත් දුඹුරු පැහැති හාල්වල බතද කෑමට බෙහෙවින් රුචිකරය// ලොනවලා wala ඉන්නකොට මගෙත් ිරිඳගෙ ප්‍රියතම හාල තමයි පුන්නි සම්බා සහල්. ඊට අමතරව පිත් එක්ක දහතුන් දෙනෙක් තව ට්‍රේනින් හිටපු නිසා ඔවුන් කැමැති කරවල තෙල් දාලා පොල් සම්බෝල එක්ක බාස්මති හාලේ බත් කන්න. කේරළේ තියෙන ඔය හැට් එකක් ලොකු තම්බපු හාල් හොදි එක කනකොට පුදුම රසක්. කේරළයෙන් ඉඳිද්දි දවසක අපි ගියා alapi වල තියෙන හවුස්බෝට් එකක නයිට් එකක් ගත කරන්න. ාත්‍රී කාලය නං houseboat එක පදවපු වයසක කපිතාන් හිල් වලින් එබෙන එක වලක්වගන්න සෑහෙන්න මහන්සියක් වුණාට උදේ පාන්දර ඔය ලොකු ඇට බත් එක්ක කිරි මාළු හොද්දක් එක්ක අල කොල වගේ අයිටම් එකක් දුන්නා බඩ පැලෙන්න කෑවා
ReplyDelete