Tuesday, April 24, 2018

අලුත් අවුරුද්දේ නෑගම් යෑම, ගමේ කඩේ දේශීය කෑම , පාන් පරිප්පු, ඉරිදා උදේ උපවාසය සහ ස්වප්නාගේ අවුරුදු කෑම වේල.


අම්මා හිටපු කාලේ නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර නෑදෑයින්ගෙන් පිරිලාය.   අම්මා නැතිවුනත් හරි නෑදෑයින් එන එක ටික ටික අඩුවෙලා ගියේය.   දැන් නම් අලුත් අවුරුද්දට අපේ ගෙදර එන්නේ සහෝදර සහෝදරියන් ගේ පවුල්වල අය විතරය.   ඒ කොහොම වුණත් මෙදා පාර අලුත් අවුරුද්ද බොහොම කාර්යබහුල විය.   වැඩිපුරම තිබුණේ නෑදෑ ගෙවල්වල යන්නටය.   නෑදෑ ගෙවල්ද වෙන අවුරුදු වලට සාපේක්ෂව මේ අවුරුද්දේ වැඩිය.   ඊට එකම හේතුව පහුගිය අවුරුදු දෙක තුළ හැලපි ගේ සහෝදරයන් ගේ දූවරු හතර දෙනෙක්ම දීග යාමයි.   කෙල්ලන් හතර දෙනා දුන්න හැටි පිළිවෙලින් කිව්වොත් ලොකු අයියාගේ ලොකු දුව පානදුරයටය.   ඊළඟ අයියාගේ දුව මාතලේටය.   අනික් අයියාගේ දුව දිවුලපිටියටය.   ලොකු අයියාගේ පොඩි දුව අපේ ගමටය.   ඔය ගමන් ටික ගියාට පසුව අන්තිමටම යන්න සැට් වුණේ හැලපිලගේ මහ ගෙදරටය.  මහ ගෙදර කියා කතාවට කිව්වාට අම්මා නැතිවුනාට පසු මහගෙදර පාලුය.   මහගෙදර කියා අපි යන්නේ ලොකු අයියලාගේ ගෙදරටය.   ගමන යන්නට දාගත්තේ පහුගිය ඉරිදාය, මේ ගමන එක්කම කියැවෙන තවත් කතාවක් ඇත.   

මගේ හොඳම යාළුවෙකුගේ එකම දුව දීග දී තියෙන්නේ හැලපිලගේ ගමේම තාර පාරෙන් එහා පැත්තේ ගෙදරක කොල්ලෙකුටය.   මේ කොල්ලා, ඒ කියන්නේ මගේ යාළුවගේ බෑනා මෑතකදී ගමේ විදියට කෑම විකුණන කඩයක් පාර අයිනේ විවෘත කළේය.   විවෘත කර කෑම කඩය බුකියේද ප්‍රමෝට් කළේය.   ලීවලින් සාදා මැටි ගසා පොල්ලතු බැඳ හෙප්පු, වංගෙඩි, කුළු, පිත්තල පහන්, කුරහන් ගල් ආදී ෂෝ එකට තබා ඇති  මෙකී නොකී සියල්ලෙන්ම සමන්විත මේ කඩයෙන් දේශීය කෑම වර්ග සියල්ලම පහසු මිළට ලබාගන්න හැකි බවත් කන්නට අවශ්‍ය අයට එහෙමත් ගෙනියන්නට හෙවත් ටේක් අවේ අවශ්‍ය අයට එහෙමත් ආදී වශයෙන් පහසුකම් ඇති බවද බුකි පොස්ටුවේ ලියැවී තිබිණ.

මේ පෝස්ටුව බුකියේ දැක්ක වෙලාවේ සිට හැලපිට මේ කඩෙන් කෑමේ දොළදුකක් පහළ විය.   මේ හදිස්සියේ ඔය කඩෙන් කෑම සඳහා පමණක්ම  යන්නට පිස්සුවක් මට නොතිබුණත් හැලපිගේ කියවිල්ලෙන් බේරෙන්නට උවමනා විය.   කල්පනා කර බැලු මට මතක් වුණේ අලුත් අවුරුද්දට ගමේ යන ගමන් උදේට කන්නට ඔය කඩේට යන්නට පුළුවන් නේද කියාය.   ගමන යන්න කළින් දවසේ මම මගේ යාළුවාට කතා කළෙමි.   අපි එන ඉරිදා ගමේ යන්නට යොදාගෙන තිබෙන නිසා බෑනා ගේ කඩෙන් උදේට කෑම ගන්නට හිතාගෙන ඉන්න බව කීවෙමි.   ඌ කීවේ උදේ කෑමට එන අයට ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, රොටී, කිරිබත්, කඩල, කව්පි ආදී විචිත්‍රවත් කෑම වට්ටෝරුවක් තෝරාගැනීම සඳහා ලැබෙන බවයි.  

ඉරිදා අපි දෙන්නා ගමන පිටත්වුණේ හැලපිලාගේ නංගිගේ පවුලත් එක්කමය.   ඒ ගෙදරිනුත් ඒ ගොල්ලන්ගේ මහ ගෙදරිනුත් උදේට කන්නට කියා කරන ලද ඉල්ලීම් සියල්ලම පසෙක දැම්මේ ගමේ කඩෙන් බඩපුරා හිතපුරා කන්නට හොඳට බඩගින්න තියෙන්නට අවශ්‍ය නිසාය.   ඔය තැනින් තැනින් කඩලයි පානුයි කෑ විට බඩගින්න මෙව්වවී යයි.   කඩේ තියෙන තැන මගේ යාලුවා කියා තිබු නිසා සොයාගන්නට අසීරුවක් නොවීය.   කඩේට යන්නට පෙරම මම අපේ කට්ටියට කීවේ අපේ හිතවත්කම් කිසිවක් නොකියා කෑම කා යමු කියාය.   කඩ මිදුලේ වාහනය නවත්වා අපි හතරදෙනා බැස්ස විට එතැනම පහළ තිබු ගෙදරක සිට තරුණයෙක් කඩේට ආවේය.

" උදේට කන්න ආවෙ, කෑම තියෙනවද? " මම තරුණයාගෙන් ඇසුයෙමි.

" ඔව්,ඔව් මහත්තය එන්න ඇතුළට ! " තරුණයා උත්තර බැන්දේය.

" මොනාද කන්න තියෙන්නෙ? " යි කඩේ ඇතුළට යන්නට පෙර මම තරුණයාගෙන් ඇසුවේ කඩේ ඉස්සරහ පොල් කොටයකට පොල් අතු බැඳ සකස් කරගත් අව් ආවරණයක් ඇතුළේ තබා තිබු බත් පාර්සල් කීපයක් හැරෙන්නට වෙනත් කිසියම්ම කෑම වර්ගයක් කඩය තුළ මා නොදුටු නිසාය.

" බත් තමයි කන්න තියෙන්නෙ මහත්තය, අනික් කෑම ජාති ඉවරවෙලා! " තරුණයා කීවේය.  මම වෙලාව බැලුවිට උදේ නමයටත් විනාඩි පහක් විතර ඇති නැති ගානය. 

" බත් කන්න මෙච්චර දුර එන්නෙ මොකටදැ ? " යි කියා ආපහු වාහනයට ගොඩවී පාරට ගෙන නවත්වා ඇතිවෙන්නට හිනාවුනෙමු.

" දැන් මොකද කරන්නෙ? " වඩාත්ම අමාරුවේ වැටී ඇත්තේ මමය.  අනික් තුන්දෙනා නම් මොන මොනවා හෝ උදේට සප්පායම් වී ඇත.

" ඉස්සරහ නයිට් කඩයක් තියෙනවා! එතැන බලමු !" 

" කෑම තියේවිද? "

" තියෙන්න නම් ඕනෑ! කෝකටත් ගිහිං බලමු ආයෙ වෙන තැනකුත් ළඟ පාතක නැති එකේ !" 

නයිට් කඩේට ගිහිං බැලුවිට එතැනත් කෑමට බත් හැරෙන්නට වෙනයමක් හරි හාමනකට නොතිබූ නිසා එතැනින් පාන් රාත්තල් දෙකතුනක් අරගෙන ලොකු අයියාගේ අක්කාට එතැන ඉඳන්ම කෝල් කලේ අපි පාන් අරගෙන එන නිසා පාන් කන්නට පරිප්පු හොද්දක් හදා තියන්නටැ' යි  කියන්නටය.

පානුත් අරගෙන ගෙදරට යනවිට අක්කා පරිප්පු හොද්ද ලිප තියලාය.   ලිපේ ගොද ගොද ගාමින් නටන පරිප්පු හොද්දේ සුවඳ නාසය දිගේ කුසට ගොස් මගේ කුසගින්න දැන් එලෝකෝටියට නැගලාය.   පාන් කපා පරිප්පු හොදි දීසියත් මේසයට තබා කෑමට එන්න කියපු ගමන්ම මේසයට දුවගෙන ගියේ පරිප්පු හොදිත් එක්ක හොඳහැටි පාන් කන්නම්ය කියා හිතාගෙනය.  පාන් කෑල්ලක් පරිප්පු හොද්දේ පොඟවා රස බැලුවෙමි.

අවාසනාවකි, පාන් කෑල්ල කටේ තියන්නට බැරිය.  පරිප්පු හොද්දේ ලුණු කට්ටෙටය.  ඉතින් කුමක් කරන්නට ද? කන්නට ගත් පාන් පෙත්ත එතැනම තබා මම කෑම මේසයෙන් නැගිට ආවේ අනිත් අයගේ සිනාහඬ මැදය.  හැලපී පැරණි උපහැරණයක් කීවේ අපට වෙච්ච දේටය.

" එක රිටක් වැරදුණොත් රිටි හතක් වරදිනවා 'යි කියන්නෙ මේකට තමයි! "

ඒ වැරදීම කොච්චරද කිව්වොත් ප්ලේන්ටී එකකින් පමණක් සෑහීමකට පත්වී දවල්ට කෑම කන තුරු උපවාසයේ ගතකරන්නට සිදුවිය.   ඉතින් අපේ අවුරුදු ගෙවී ගියේ ඔන්න ඔය ආකාරයටය.  මීළඟට තවත් විචිත්‍රවත් අවුරුදු කෑමක මේ සතියේ යන්නට තිබේ.   ඒ ස්වප්නලාගේ ගෙදර කජුත් කොසුත් කන්නටය.

ස්වප්නා අවුරුද්දට අපි කට්ටියට ගෙදර එන්න කියා ආරාධනා කළේ මාස ගණනකට පෙර සිටය.  ආවොත් ඇතිවෙන්නට කන්න කජුත්, කොසුත් පිළියෙළ කර දෙන බව ඇය පොරොන්දු වුණාය.  පොරොන්දු වුණා වගේම ස්වප්නා දිනයක්ද යොදාගෙන අපට ආරාධනා කළාය.   දිනය යෙදී තියෙන්නේ මේ සතියේය.   මම මේ ඊයේ පෙරේදා විස්තර අහන්නට ස්වප්නාට කතා කළ විට ඇය කීවේ ආරාධනා කළ සියලුම දෙනා එන බව දැන්වූ බවත් ස්වප්නාගේ පැත්තෙන් සියල්ල සුදානම් බවත් දැන් තියෙන්නේ අපේ පැමිණීම පමණක් බවත්ය.

කොහොමත් රක්ෂිත කැලෑව අද්දර කැලෑවේම කොටසක් වගේ නිස්කලංක ගතියක්ද කුරුළු කොබෙයි කෑගැහිල්ල ද නොඅඩුව ඇති ස්වප්නලාගේ වත්තේ උඩහට වෙන්නට බැදි කුට්ටි තුළින් ඇතුළට යන්න තියෙන ගල්තලාවත් ගල්තලාව අද්දරින් ගලා යන සීතල දොළ පාරත් ආයෙම දැකගන්නටත් දොළ පාරේ සීතල වතුරේ දෙපා ඔබාගෙන කුරුම්බාවක් බොන්නටත් මට ඇත්තේ ලොකු ආසාවකි.   ස්වප්නාගේ ගෙදර අවුරුදු කෑමේ විස්තරත් සමග නැවත හමුවෙමු෴ 

Thursday, April 12, 2018

සුද්දාගේ අන්නාසි සොමිය, මඟුල් , අවමඟුල්, ගිණිකෙලි සහ අලුත් අවුරුද්ද.


අපේ ලඟම හිතවතෙකුගේ බිරිඳ කෙටි කලක් අසනීප තත්ත්වයෙන් පසුවී පසුගිය සතියේ මෙලොව හැරගිය අතර ඒ කටයුතු නිසා කාර්ය බහුලව සිටි හෙයින් පසුගිය කාලයේ බ්ලොගය තියෙනවාද වත් බලන්නට වෙලාවත් නොමැති විය.   සාමාන්‍යයෙන් මළගෙයක් මඟුලක් වූ විට පෙර සිට පැවත එන චාරිත්‍ර අනුව අපි මඟුල් ගේ මඟුල් බතේ සිට කිරි හොද්දට බහින තුරාද මළගෙයක් නම් හත්දවසේ දානය අහවර වෙන තුරුමද දිවා රාත්‍රී නොබලා රාජකාරියේ යෙදෙන අතර මේ මළගෙයටද ඒ චාරිත්‍ර නොඅඩුව ඉෂ්ට කළෙමු.   මළගෙයක් නම් වචනාර්ථයෙන්ම ශෝක ජනක අවස්ථාවකි.   එහෙත් මළගිය කෙනා බොහෝ ආයුෂ විඳ කර්මානුරුපව මියගියේ නම් ශෝකය පැත්තකට දමා අපි මළගෙදර සොමිය නොඅඩුව විඳගත්තත් මේ මළගෙදර එසේ සොමිය විඳින්නට තැනක් නොවීය.   හත්දවසේ දානය අවසානයේදී අපි ගෙවල් දොරවල් අස්පස් කර හට්ද බැනර් ද ගලවා දමා පුටු ගොඩවල් ගසා ශෝකබරිතව නිවෙස්වලට ආවෙමු.

අවමඟුල පැවැත්වෙන තුරු අපි හැමගේ හදවත පාරන ශෝකය සෝදාලන්නට රහමෙර බෙහෙවින් උපකාරී වුවත් ප්‍රශ්නයකට තිබුණේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති කමය.   ඒ කොහොමද කිව්වොත් දෙතුන් දෙනෙක් එකතුවී බොහොම අමාරුවෙන් කීයක් හරි එකතුකර ශෝකය නිවාලන්නට පටන් ගන්නා විටම එච්චර වෙලා පැත්ත පළාතකවත් නොහිටි හත් අට දෙනෙක් එක්වරම ප්‍රාදුර්භූත වී උන්ගේ ශෝකයද බලෙන්ම වගේ නිවාලන්නට පටන් ගනිති.   එතකොට ඉතින් ශෝකය පැත්තක තබා අරුන්ගේ දෙමව්පියන්ට මුණු මුණු ගා පිං දෙනවා ඇරෙන්නට වෙන යමක් කරගන්නට බැරිය.   කෙසේ හෝ හත් දවස ගෙවාගත්ත විට ශෝකය නිවාගන්නට මුල් වුනු කීප දෙනෙක්ගේ මුදල් පසුම්බි ලෙල්ලටම හිඳිලාය. 

මළගෙය අස්සේ මඟුල් සොමියකුත් ආපු එක තවත් කතාවකි.   මම කලින් කිව්වා වගේ ඩැනිස් ගේ මල්ලීගේ පොඩි දුවගේ මංගල්‍යය යෙදී තිබුණේ පහුගිය 29 වෙනිදාටය.  මරණය සිද්ද වුණේ 28 වෙනිදාය.   මඟුල් ගේ මළගෙදර අල්ලපු වැටේ ය.   අල්ලපු වැටේ කියා කතාවට කිව්වාට එක ගේකට එහායිනි.   හොඳ වෙලාවට මඟුල ලෑස්ති කර තිබුණේ හෝටලයකය.    ඩැනිස් ගේ මල්ලී දුවගෙන ඇවිත් අපෙන් ඇහුවේ දැන් මම කරන්න ඕනෑ මොකක්ද කියලාය.   මේ වෙලාවේ බිරිඳ මැරුණු අපේ හිතවතා කිව්වේ අමුතුවෙන් මොකුත් කරන්නට අවශ්‍ය නැති බවත් යොදාගෙන තියෙන මඟුල ඒ ආකාරයටම කරන්න කියලාත්ය.   ඇත්තටම කිව්වොත් මාස කීපයකට පෙර සිට හැමදේම සුදානම් කරගෙන නෑදෑයින්ට යාළුවන්ට ආරාධනා කර අවුරුද්දක විතර සිට හෝටල් බුක්කර හැමදේම නූලට තිතට සුදානම් කර තිබු මඟුලක් එකපාරටම වෙනස් කරන්නට යන එක කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව අපි සියලු දෙනාම කීවෙමූ.    අන්තිමට ඩැනිස් ගේ මල්ලී කීවේ ගෙදර කිසිම සද්ද බද්දයක් නොකර මනමාලි හෝටලයට පිටත් වෙන බවත් රාත්‍රියට පවා පිටින් ආ යාළුවන්ට ගෙදර කෑ ගහන්නට ඉඩ නොදෙන බවත්ය.    ඒ කියපු කතාව ඒ විදියටම සිදුවිය.

මම මඟුල් ගෙදර ගියේ සුද්දාත් මාදුවාත් එක්කය.   මඟුල් ගෙදර පිටත් වෙන විටම හැලපි කීවේ කළින් ගියපු මඟුල් ගෙදර වගේ සිහි නැතිවෙන්නට බීගෙන එන්න එපා කියලාය.   කලින් ගිය මඟුල් ගේ කිව්වේ 25 වෙනිදා ගිය තවත් මඟුලකටය.   එදා තිබුණේ අපේ ඥාතියෙක් වගේම යාලුවෙකුගේද මඟුලකි.   උගේම අයියාගේ මඟුල ඊට මාස ගණනකට පෙර ඒ හෝටලයේම පැවැත්වුණු අතර එදා බොන්නට දුන්න සවුත්තු බ්‍රැන්ඩි වර්ගය මම නොබොන නිසා අමුවෙන්ම දවල්ට කා ගෙදර ආවෙමි.   හැබැයි මල්ලීගේ මඟුල වෙලාවේ දුන්නේ හොඳ විස්කි වර්ගයකි.   එදා අපේ බොන මේසයේ කාලයකට පසු හමුවුණු හොඳ මිතුරු සමාගමක්ද වූ නිසා රසවත් කතාබහේ යෙදෙමින්ම බෝතල් එකින් එක හිස්කළෙමු.   කොච්චර බීවාද කියා මතකක් නැත්තේ මඟුලේ අන්තිම හරිය බොඳ වුනු නිසාය.   කෙසේ හෝ මඟුලෙන් පසු මම ගෙදර ආවෙමි.   ගෙදර ආපසු හැලපිත් මාත් අතර ඇතිවුණු කතාබහ මේ ආකාරයටය.

" කෝ වෙඩින් කේක් කෑල්ල?"

සාමාන්‍යයෙන් මම මඟුල් ගෙදරක ගියවිට ලැබෙන වෙඩින් කේක් කෑල්ල ගෙනැත් හැලපිට දීම සිරිතකි.

"වෙඩින් කේක් දුන්නෙ නෑ! "  මම පිළිතුරු දුන්නෙමි.

" එහෙනං ෂුවර් එකටම ඔයා දවල්ට කාල නෑ! වෙඩින් කේක් දෙන්නෙ කන්න පෝලිමේ ඉන්නකොට, ඔයා කන්න ගියානං වෙඩින් කේක් අල්ලනවා, එතකොට ඔයා කේක් කෑල්ල අරං සාක්කුවෙ දාගන්නවා, වෙඩින් කේක් නෑ කියන්නෙ ඔයා කාල නෑ කියන එකයි ! "

හැලපී පුර්වාපර සන්ධි ගලපා දැක්වූවාය. මම නිහඬව සිටියෙමි.   දැඩි කුසගින්නකුත් දැනෙන නිසා නොකා ඇවිත් තියෙන බව තේරුම් ගත්තෙමි.

"එතකොට කෝ තෑන්ක් යූ කාඩ් එක ? " හැලපී නැවතත් ප්‍රහාරයක් එල්ල කළාය.

" තෑන්ක් යූ කාඩ් දුන්නෙත් නෑ!" මම කියා සිටියෙමි.

" එහෙනං ඔයා ඇවිත් තියෙන්නෙ ජෝඩුවට කතා නොකර, ජෝඩුවට කතා කළා නම් තෑන්ක් යූ කාඩ් එක දෙනවා.  තෑන්ක් යූ කාඩ් එක නෑ කියන්නෙ ඔයාට ජෝඩුවට කතා කරන්න අමතක වෙලා ඇවිත්.  ලියුම් කවරෙ දුන්නද? හොඳට මතක් කරලා බලන්න! "

අහෝ ඛේදයකි, ලියුම් කවරය සාක්කුවේ සුරැකිව ඇත.

" ලියුම් කවරෙ දීලත් නෑ!" මම මෝඩයෙකු සේ කියා සිටියෙමි.   හොඳ වෙලාවට මනමාලයා අහල පහළ එකෙක් වූ නිසා පහුවදා කවරය ගිහිං දී ජාම් බේරා ගන්නට හැකිවිය.

ඉතින් එදා මඟුල් ගෙදර යන්නට ලෑස්ති වෙද්දී හැලපි මතක් කළේ ඒ සිද්ධියයි.   මමත් එදා දැඩි අධිෂ්ටානයෙන් මඟුල් ගෙදර ගියේ ආපහු ඒ දේ සිද්ද වෙන්නට නොදෙමියි කියාය.   ඩැනිස් ගේ මල්ලී සිය දියණියගේ මඟුල් ගෙදරට ආ අය ආදරයෙන් පිළිගත් අතර එදා බොන්නට තිබුණේද කළින් මඟුල් ගෙදර තිබු විස්කි වර්ගයමය.   ඒ නිසා මම බොහොම ප්‍රවේසමෙන් පමණ දැන බීම පාවිච්චි කළත් සුද්දාද මාදුවාද ලංකාවේ තියෙන අන්තිම බෝතලය දැක්කාක් සේ ලවක් දෙවක් නැතිව ගහන්නට පටන් ගත්තෙන් ටිකකින්ම උන් දෙන්නාට උන් හිටි තැන් අමතක වෙන්නටම වෙරිවිය.   කෑම කන්නටද සිහියක් නැතුව එක එක්කෙනා ලඟට ගිහිං කියව කියවා ඉන්න නිසා බලෙන්ම වගේ ඇදගෙන ගිහිං දෙන්නාට කන්නට බෙදාදී ජෝඩුව කාපු මේසයේ ඉන්දවා කන්නට කිව්වෙමි.

කෑමෙන් පස්සේද මුන් දෙන්නා කාට කාට හරි ප්ලග් වෙමින් සිටියා මිසක පැය ගාණක් ගියත් යන්නට වගක් නැත.   ඉස්සෙල්ලාම මම දෙන්නාගේම ලියුම් කවර අතට අරගෙන තිබුණේ උන් දෙන්නා ඔය කවර දෙක ආපහු ගෙදර ගේන එක මට හොඳටම විශ්වාස නිසාය.   දැන් ජෝඩුව පිටත් වෙන්නටත් සුදානම් වුණත් සුද්දාටත් මාදුවාටත් යන්නට වගේ වගක් නැත.   යමුයි කියා කොච්චර කන්කෙඳිරි ගෑවත් ඒවා බීරි අලින්ට වීණා ගයනවා සේය.   මට ඇතිවුණු තැන ඕනෑ වෙලාවක වරෙව් කියා පැත්තකට වී සිටියෙමි.   අන්තිමේ යාලුවෙකුගේද උදව් ඇතිව ඇඟේ ඉඳුල් හලාගෙන කමිස බොත්තම් ඇරගෙන මළ පෙරේතයින් දෙන්නෙක් වගේ හිටපු දෙන්නාව වාහනයට පටවා ගන්නට පුළුවන් විය.   ගෙදර එනතුරුද සුද්දා කිව්වේ කවරය දෙන්නට බැරිවුණා කියලාය.   බීපු එකාට වෙච්චදේ කියා පළක් නැති නිසා මමත් සද්ද නැතිව උන්නෙමි.   පහුවදා අන්නාසි කඩන්නට ගිය වෙලේ ආයෙම සුද්දා මට කීවේ ඊයෙ දෙන්න හිටපු කවරය නැතිවෙලා කියලාය.

මේ දවස්වල අන්නාසි මිළ ගොඩක් හොඳ වුණත් ඉල්ලුමේ තරමට දෙන්නට සුද්දා ළඟ අන්නාසි නැත.   අතරින් පතර පැහී ඉදෙන්නට ලංවුණු ගෙඩි ටික කපා විකුණාගන්න පුළුවන් වුණත් තව තවත් අන්නාසි හොයාගෙන කඩකාරයෝ ගෙදරටම එති.   මේ දවස්වල තියෙන අන්නාසි කොළපාට ගෙඩි වුණත් මී පැණි වගේ මිහිරි රසය.   

පහුගිය දවසක සුද්දා කිඹුලාපිටි ගිහිං රචින්නා, නිලා, අහස් කූරු හා බමර චක්‍ර මහ ගොඩක් අරගෙන ආවේ පොඩි උන්ට අවුරුද්දට පත්තු කරන්නටය.   ඒ කිඹුලාපිටියේ ගිනිකෙළි වැඩපලක් කරන සුද්දාගේ පරණ ගෝලයෙක්ගෙනි.    ගෝලයා ගුරුතුමාට හොඳට සළකා බොහොම ලාබෙට බඩු ටික ලබාදී ඇත.  සුද්දා ඔය ගිණිකෙලි බඩු ටික ගේද්දී මම හිටියේ සුද්දලාගේ ගෙදරය.   සුද්දාගේ බාලම දෙන්නා නිවුන්නුය.  විනාඩි ගාණකට වැඩුමල් අක්කාත් මල්ලීත්ය.   මම වැඩියම සුද්දලාගේ ගෙදර යන්නට කැමති පොඩි උන් දෙන්නාගේ හුරතල් බලන්නටය.   එදා බඩුත් අරං ආපු සුද්දා කයියකුත් ගසා ලොකු පුතාත් එක්ක අහස් කූරක් උඩ යවන්නට හදන වෙලාවේ පොඩි උන් දෙන්නා කෑ ගහගෙන ගේ ඇතුළට දුවගෙන ගියාට පසු කිසි කෙනෙකුට උන්ව එළියට ගන්නට බැරිවිය.   ඊළඟට සුද්දා දිග නිලා කූරක් අරගෙන ගේ ඇතුලේම පත්තු කළ විට පොඩි උන් දෙන්නා මරහඬ දෙමින් කාමරයට දුවගෙන ගොස් දොරමුල්ලේ කෑ ගහමින් සිටි අතර නිලා කුර ඉවරවෙලා බලනවිට කෙල්ලට බයටම ඇඳුමේම මුත්‍රා පහ වෙලාය.

පොඩි දෙන්නා දඟ කරන්නට ගත් විට දැන් සුද්දාගේ පවුලට තියෙන්නේ නිලා කූරක් අතට ගන්න එක විතරය.   පත්තු කරන්නට අවශ්‍ය නැත.   එවෙලාවට පොඩි උන් දෙන්නා ආගිය අතක් හොයාගන්නට මීක්‌ සද්දක් නැත෴

ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන සියළුම හිතවතුන්ට බත බුලතින් සපිරි වලියෙන් තොර සොමියෙන් බර සිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා යැයි ඉතසිතින් පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සහ හැලපැට්ටා ය.