Monday, August 31, 2015

එඩුවගේ සොමිය බ්‍රින්දොංක් වද කඳවුර තර්ටි ෆස්ට් නයිට් සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එක


අපේ එඩුවා ගැන මම මීට කලින් කීප වතාවක් ලියල තියෙනවා.අර බෙල්ලො අමුවෙන් කන්න ලැබුනෙ එඩුවලගෙ ගෙදරදිනෙ.ඉතිං එඩුව දෙන ආතලුත් සුපිරිම ආතල්. යන්තං උදේ එකොළහ පහුවෙද්දී මු නලියන්න ගන්නව.ඔන්න එතකොට පොර හංදියේ මල්කඩේ ළඟ තියෙන පබ් එකට ගිහිං රෙඩ් වයින් වීදුරු දෙකක් දාගෙන එනව.ආයෙම තවටිකකින් ගිහිං තව ෂොට් එකක් දාගන්නවා.ඔය විදියට දවල් කෑම වෙලාව වෙද්දී පොරට හොඳ ගණන්.කියන්නෙ මොනවද කියල ඌම දන්නෙ නෑ.එඩුවා මොනව හරි කිව්වයි කියපුවම කවුරුත් අහන්නෙ කිව්වෙ උදේද දවල්ද කියලයි.උදේ කිව්වනං අප්සෙට් එකක් නෑ පිළිගන්න පුළුවනි හැබැයි දවල් කියපු දෙයක් නම් තවදුරටත් සොයා බලන්න වෙනවා මොකද මු දවල්ට වැඩිපුරම පිස්සු කියවන නිසා.මු කරපු වැඩ කීපයකුත් කියන්නංකො දැනගන්නත් එක්ක.
ඔන්න එක වතාවක් අපට අමුත්තෙක්ව දවල් කෑමට ගෙනියන්න නගරයෙ ප්‍රසිද්ධ භෝජනාගාරයකින් මේසයක් වෙන්කරගන්නට අවශ්‍යවුනා. මොකද මේසයක් වෙන්කරගන්නෙ නැතිව ගියොත් වාඩිවෙන්න මේසයක් ලැබේවිද කියන්න බැරි තරමට සෙනග පිරෙන නිසා. විශේෂයෙන්ම ඒ භෝජනාගාරයේ කෑමට දෙන රෝස්ටඩ් ඩක් හෙවත් රෝස්ට් කළ තාරා මස් හරිම ප්‍රණීතයි.බොහොමයක් පාරිභෝගිකයන් දවල්ට මේ භෝජනාගාරයේ පිරෙන්නෙ ඔවුන් පිළිගන්වන ප්‍රණීත තාරා මස වළඳන්නටයි.මේ තාරා මසට පෙම් බැඳී මමත් කඩෙන් තාරාවෙක් අරන් ගිහිං ගෙදරදී රෝස්ට් කරගන්න උත්සාහ කළා නමුත් සාර්ථක උනේ නෑ.ඔය වගේ එක එක තැන්වලට ආවේනික රසයන් ඇති කෑම වර්ග අපට නිබඳවම අත්දකින්නට ලැබෙනවා.චෙන්නායිවල හැඩොස් ක්ලබ් එකේ පිළිගන්වන කෝලි ෆ්ලවර් හෙවත් ගෝවා මල් බයිට් එකත් ඒ ක්ලබ් එකටම ආවේණික කෑමක්.කුළුබඩු දමා හොඳින් තම්බා සහ සෝස් දමා ප්‍රණීතව උණුවෙන් පිළිගන්වන මේ කෑම වර්ගයත් ගෙදර හදන්න අපි නොයෙක් විදියට උත්සාහ කලත් හරිගියෙ නෑ.පස්සෙ ගෙදර හදන්න උත්සාහ කරන එක නවත්තල ක්ලබ් එකෙන්ම කෑවා.හැඩොස් ක්ලබ් එක සාමාජිකයන්ට පමණක් වෙන්වුන ක්ලබ් එකක් නිසා හැමදෙනාටම යන්න බෑ.අපේ හිතමිත්‍ර රෝච් ඒ ක්ලබ් එකේ ප්‍රබල සාමාජිකයෙක් නිසා ඔහුට අමුත්තන් කීප දෙනෙක්ව ඇතුළට ගෙනයන්නට පුළුවනි.මාසෙකට කීප දවසක් අපි රෝච් එක්ක ඔය ක්ලබ් එකට යනවා.හැබැයි ඒ යනකොටත් ඩෙනිම් ටී ෂර්ට් එහෙම ඇඳගෙන සෙරෙප්පු දාල ගියොත් ඇතුළට ගන්නෙ නෑ.හොඳට කලිසමක් ෂර්ට් එකක් ඇඳල සපත්තු දාගෙන යන්න ඕනෑ.මොකද ක්ලබ් එකේ ඩ්‍රෙස්කෝඩ් එක අනම්‍යයි.රිසෙප්ෂන් එකේ අය හරිම දරදඬුයි.

ඔන්න ඩ්‍රෙස්කෝඩ් කියද්දී මට තව කතාවක් මතක් උනා.ඔය අපි ඉන්න වත්ත කෑලි කඩල විකුණද්දී වත්තෙ ඈත කොණේ තිබ්බ පරණ අයිතිකාරයගෙ ගේත් ඉඩම් කෑල්ලක් එක්ක වික්කා.ගේ කිව්වට පොඩිපහේ වලව්වක්.ඕක ගත්ත මනුස්සයා ගෙයි බාහිර පෙනුම එහෙම්මම තියෙද්දි ඇතුල කඩල රෙපෙයාර් කරල තීන්ත ගාල අලුත් පෙනුමක් දීලා ගෙයි ක්ලබ් එකක් දැම්මා."ගම්බද උත්සව ශාලාව සහ භෝජනාගාරය" කියල නමකුත් දැම්මා. මොන නම් දාල ලස්සනට කළත් සිද්දඋනේ අරක්කු විකිණිල්ල.හැබැයි මිනිහට අරක්කු වෙළඳාමට ලයිසන් තිබ්බෙත් නෑ.ඒ නිසා හොරට අරක්කු වෙළඳාම කළා කිව්වොත් වඩා නිවැරදියි.මේ ගම්බද රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා කුස්සියෙ චෙෆ් හැටියටත් වැඩකළා.එතකොට වේටර් වැඩේ කරන්න  වයසක මනුස්සයෙක් ගෙනත් හිටියා.හරිහමන් බයිට් එකක් කමින් නිවී සැනසිල්ලේ අඩියක් ගහන්නට තැනක් නැතුව හිටපු වත්තෙ පදිංචිකාරයන්ට ගම්බද රෙස්ටුරන්ට් එක ක්ෂේම භූමියක් උනා.අපි ගම්බද රෙස්ටුරන්ට් එකේ නිත්‍ය ගනුදෙනුකරුවන් බවට පත්වුණා.නම කෙටිකරල අපි කිව්වෙ ගම්බදේ කියලයි.අඩුතරමින් සතියකට දෙතුන් සැරයක් අපි  ගම්බදේට ගිහිං මිත්‍ර සමාගම් පැවැත්තුවා .ඔන්න අපි දෙතුන් දෙනෙක් ගම්බදේට ගිහිං මේසෙක වාඩිවෙනවා.ගම්බදේ කෙයාටේකර් සහ වේටර් වැඩේ කරන වයසක මනුස්සයා  එතනට එනවා.ඊට පස්සෙ ඇතිවෙන කතාව මෙන්න මෙහෙමයි.

හා මහත්තේල කාලෙකිං, පහුගිය ටිකේ දකින්නවත් හම්බ උනේ නෑ නොවැ...

ඔව් ජයතිලක අයියෙ දන්නැද්ද එන්න තරං විවේකයක් තිබ්බෙ නෑ එක එක වැඩ,කොහොමද  බිස්නස් සරුද...

දෙයියන්නෙ පිහිටෙන් බිස්නස්වල වරදක් නෑ මහත්තයො,ඉතිං මහත්තේල මොනවද බොන්නෙ...

අදත් තියෙන්නෙ ගල් වෙන්න ඇති නේද...

ඔව් මහත්තයො වෙන ජාති ගෙනාවට විකිණෙන්නෙ නෑ නොවැ...

එහෙනං ගල් බෝතලයක් ගේන්නකො...

කන්න මොනවද...

කන්න ජයතිලක අයියෙ  අපට චිකන් ඩෙවල් එකක් ගේන්න...මම පැනල කියනවා.

අනේ ඒව නං නෑ මහත්තයො කුකුල් මස් තියෙනවා...

එහෙනං මොනව කරන්නද, බැදපු කුකුල්මස් එකක් වත් ගේන්න...

ඉතිං ගම්බදේ වැඩ සිද්දවෙන්නෙ ඔන්න ඔය විදියටයි.රහමෙර සහ විනෝදය යන දෙකම නොඅඩුව ලැබෙනවා.ඒවගේම ගොඩක් වෙලාවට වේටර්ට අපට ඉස්සෙල්ල වැඩිවෙනවා.අපි ඒ වැඩේ කරන්නෙ හිතලමයි.ඌ පැත්තකට වෙලා පිස්සු කෙළිනකොට අයිතිකාරය ඇවිත් ඌට බැන අඬගහනවා.

මොනවද අංකල් කරන්නෙ, තමුසෙ හැමදාම ඔහොමයි,බීගෙන පිස්සු කෙළිනකොට මෙතන වැඩ කරන්නෙ කවුද...

උඹ කටවහගෙන ඉඳින්,මගේ වැඩ ටික මම තිතට කරල ඇති...

කෙළින් හිටගෙන ඉන්නවත් බැරි ජයතිලකත් පැටලෙන්න යනවා.අපි උන් දෙන්නට රණ්ඩු වෙන්න ඇරල ගාන ගෙවලදාල මාරුවෙනවා.ඉතිං ඔන්න ඔය විදියට කාලය ගෙවිල ගිහිං ඒ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙත් ළඟාවූනා.ගම්බදේ අයිතිකාරයට අලුත්ම අයිඩියා එකක් ආවෙ මේ කාලෙදියි.මොකක්ද කිව්වොත් ගම්බදේ තර්ටි ෆස්ට් නයිට් එකක් සංවිධානය කිරීම.වැඩේ ප්ලෑන් කරල එහෙම මිනිහ ටිකට් ගහල වික්කා.ටිකට් එකට ලැබෙන පැකේජ් එක මෙහෙමයි.මුළු පවුලටම වෙල්කම් ඩ්‍රින්ක් එක සහ කෙටි කෑම කියන්නෙ ෂෝට් ඊට්ස් ඔය කඩවල එහෙම ගහල තියෙනව මම දැක්කා සෝටීස් කියල සෝටීස්, රයිස් කියල රයිස් කියන්නෙ ප්‍රයිඩ් රයිස්.ගොඩක් අය ලේසියට ප්‍රයිඩ් රයිස් ගෙනිහින් කනවනෙ.මම දන්න ත්‍රීවීල් එළවන මල්ලි කෙනෙක් ඉන්නව ඌට හැමදාම දවල්ට ගෙදරින් කෝල් එකක්.

මට ළමය බලාගන්නයි උයන්නයි දෙකක් කරන්න බෑ තමුසෙ එනකොට රයිස් එකක් අරං එනවා...

ඉතිං තුන්සිය හැටපස් දවසෙම රයිස්.ආසාවට වත් ගෙදර ගෑනි උයල දෙන බත්කටක් කන්න නෑ.ත්‍රීවීල් කියනකොට මතක්උනේ අර මම ලියපු රතු අක්කගෙ කතාව  මතකද,ඒ රතු අක්කගෙ පුතත් දැන් ටවුමෙ ත්‍රීවීල් එකක් හයර් කරනවා අපි ඌට විජිත කියමු.ඌ බැඳල ටික කාලෙකින් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න ඇති පවුල රටගියා.දැන් විජිත තනි තන්ඩලේ රස්සාව කරගෙන ගෙදර ඉන්නවා.ඔහොම ඉන්නකොට තනිකම කම්මැලිකම පාළුව සහ මෝල් අමාරුවත් දැනෙනවනෙ.මූ මොකද කළේ පාරෙන් එහා පැත්තෙ වෙන්දේසියේ විකුණපු වත්තට පදිංචියට ආව මිනිහ දාල ගිය කාන්තාවක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා.ඒ ගෑනුකෙනා විජිතට වඩා ගොඩක් වැඩුමල් කියන්නෙ ගෑනිගෙ ලොකු දුවත් මුගෙ වයසෙ වගේ.ඌට ඒව ගාණක් නෑ මොකෝ ගෙදර එක්කං එන්ඩයැ කොටුව පනිනවා විතරනෙ කියල දිගින් දිගටම ඇයි හොඳයිය පවත්වාගෙන ගියා.වැඩේ ජයටම යද්දි ඉතිං කටකතා පැතිරෙනවනේ ඕව ගමේ ගෑනුන්ගෙන් හංගන්න බෑනෙ.විජිතගෙ අක්කලටත් මේ කතාව ආරංචි උනා.ඒ අක්කල හරි සැරයි.අක්කල දෙන්න මූට කතා කරල සැරයක් දෙකක් අවවාද කළා.

මල්ලියෙ අපි උඹට දොස් කියන්නෙත් නෑ ඒ උනාට උඹ කරන වැඩේ හරිමදිනෙ, ටිකක් හිතල බලපංකො අපි කොහොමද රට්ටුන්ඩ මුණ දෙන්නෙ කියල.උඹට හොඳ යහපත් බාර්යාවක් ඉන්නව පදිංචියට ගෙයක් තියෙනවා මොකෝ අපි ඔය ගෙයි පදිංචියට එනව කියලයැ අර මනුස්සය තව අවුරුද්දකින් හමාරකින් ලංකාවට එනවනෙ එතකල් ඔය එක එක ගෑනු එක්ක පැටලෙන්නෙ නැතුව මනුස්සයෙක් වගේ ඉන්න බැරිද?

ආදී වශයෙන් හොඳින් අවවාද කරනකොට මුත් අහගෙන ඉඳල අවවාද ඔක්කොම පිළිගත්තා.ඒ ඔක්කොම දවසයි දෙකයි ආපහු අර ගෑනිගෙ ගෙදර යනවා.අවවාද කරල බැරි තැන විජිතගෙ අක්කල තද තීරණයක් අරගෙන මුගෙ ක්‍රියා කලාපය මේ විදියයි කියල පවුලට දන්වල ඇරියා. එහෙම කරල මුව ගෙදරින් එලවල දැම්මා.

අපේ මුණෙ දැලි ගාපු කාලකන්නියා තෝ අරකිගෙ ගෙදරටම පල ආයෙ මේ පැත්ත පළාතෙ එන්න එපා...

එහෙම එලවල දාල මාස කීපෙකට පස්සෙ උගේ  පවුලත් රට ඉඳල ආපහු ලංකාවට ආවා.උගේ කිව්වහම මතක් උනේ තව කතාවක්.ඔය වස්කඩුව පැත්තෙ ජයටම රා මදින මන්ඩියක මල් කපන මනුස්සයො දෙන්නෙක් උන්ගෙ උපකරණෙකට රණ්ඩු වෙලා ගහගෙන පොලිසි ගිහිං නතරවෙලා නෑ සාමය කඩකිරීමේ චෝදනාවට කළුතර උසාවියට දැම්මා.දැන් මල් කපන්නෝ දෙන්නා විත්තිකාරයයි පැමිණිලිකාරයයි වශයෙන් දෙපැත්තෙ ඉන්නවා පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළා. නඩුකාරතුමා මොනවටද ගහගත්තෙ කියල විත්තිකාරයගෙන් ඇහුවා.

හාමුදුරුවනේ ලබ්බ උගේ, උගේ මගේ...

විත්තිකරු කියාපි.නඩුකාරතුමා හොල්මන්ද පොල්කොළ වෙලා ගියා යකෝ මු මේ මොකක්ද කියන්නෙ ලබ්බ උගේ උගේ මගේ නඩුකාරතුමා ආයෙම ඇහුවා.

තමා කියනදේ උසාවියට පැහැදිලි වෙන්නට කිවයුතුයි...

මට කියන්න තියන දේ තමයි කිව්වෙ හාමුදුරුවනේ ලබ්බ උගේ උගේ මගේ...

නැවත නැවතත් එක දේම මු කියන එකෙත් මොකක් හරි අභ්‍යන්තරයක් තියෙනව කියල තේරුම් ගත්ත ඒ ඥානවන්ත නඩුකාරතුමා තමන්ඩ නොතේරෙන දේට විත්තිකාරයට බැන අඬගැහුවෙ නෑ කෙලින්ම නඩුව කල් තිබ්බා.ඊට පස්සෙ ගෙදර ගිහිං රා කර්මාන්තයේදී යොදන පාරිභාෂික වචන ගැන ප්‍රාමාණික දැනුමක් ඇති අයගෙන් මේ මනුස්සයා කියපු වාක්‍යයේ තේරුම අහල දැනගත්තා. තේරුම මෙහෙමයි.ලබ්බ කිව්වෙ රා මදින අය රා පෙරන්න ගෙනියන ලබුකැටේ.ඒ ලබුකැටේ පැමිණිලිකාරයගෙ.ලබ්බ උගේ කිව්වෙ ඒකයි.ඔය රා මදින අය ඉනේ එල්ලගෙන යන උපකරණයක් තියෙනවනෙ,මල් කපන පිහිය එතකොට බේත් පොල්කට්ට ආදී කළමනා කලප්පන්න දාගෙන යන පෙට්ටිය වගේ එකක්.අන්න ඒකට කියන්නෙ උගේ කියල.ඒ පෙට්ටිය විත්තිකාරයාගෙ, උගේ මගේ කිව්වෙ ඒකයි.ඉතිං ඔන්න ඔය ආකාරයට නඩුව පැහැදිලි කරගත්තලු.

මදැයි ඉතිං පටන්ගත්තෙ කොහෙන්ද ආවෙ කොහාටද.දැන් කියන්නට කතා හතර පහක්ම තියෙනවා,දිගටම වංගු ගැහුවනෙ.කියන්න තියෙන කතා ටික ඉස්සෙල්ලම බලමු.එඩුවගේ පිස්සු කෙළීම.ඒ ඒ තැන්වලට ආවේණික රසයන් ඇති කෑම වර්ග.ඊළඟට ගම්බදේ තර්ටි ෆස්ට් නයිට් පාටියෙ විස්තරේ සහ ආරිගෙ ඩ්‍රෙස්කෝඩ් එක.විජිතගේ පවුල් පලහිලව්ව.ඉවරකරගන්න ලැබුනෙ නඩුව විතරයි.සියල්ලම පිළිවෙලින් කියන්නට බලාපොරොත්තු වෙනවා.ආ බ්‍රින්දොංක් වද කඳවුර කියන්නෙ මොකක්ද කියල අහන්න එපා ඒ කොටසත් එඩුවගෙ කතාවටම අයිතියි.ඔය පිංතූරෙ තියෙන්නෙ ඒ වද කඳවුරට ඇතුල්වීමේ දොරටුව.උඩ තියෙන පිංතූරෙ ගූගල් සර්ච් කරල හොයාගත්තු එකක්.අනික් පිංතූරෙ එතනම මම ගනිපු එකක්.  එඩුවා බලාසිටී පසුබිමේ එඩුවී සහ හැලපැට්ටා වද කඳවුරට ඇතුල්වන ආකාරය.  වද කඳවුර ගැන වචනයක් වත් ලියල නැතත් ලස්සන නිසා පිංතූර දැම්මා.බලාපොරොත්තු නොවුන ආකාරයට වට වංගු තිබ්බ නිසා කතාව උවමනාවට වඩා දික්වුනා.ඉතුරු වුන හරිය කොටස් හැටියට ඉස්සරහට ලියන්නං ෴

Wednesday, August 19, 2015

වෙදාගේ දානය සහ නිසැක ධාතු වැඩම්මවීමේ පිංකම.

අව් රැල්ලක් හෝ දකින්නට නැතත් සැරේටම දහඩිය දමන්නේ හවස්කරේ වහින්නට වත්ද යැයිද ලොකු හාමුදුරුවෝ කල්පනා කළහ.වතුර ටිකක් නාගන්නට වෙලාවත් හරිය.නල ජල පහසුව ඇතත් උන්වහන්සේ වැඩියත්ම මනාප වුයේ ලිඳෙන් නාගන්නටය.ළිං මිදුලේ තරමක් වෙලා සැහැල්ලුවෙන් ගතකරමින් සීතල වතුර ටිකක් නාගත් විට පයිප්පයෙන් නාගත් විට මෙන් නොව නාගත් බව ඇඟටද සිතටද දැනේ.හීගතුව දැනෙන වැහි බීරුම් ඇති දවසක නම් වතුර මුට්ටියක් උණුකරවා ගෙන පැන් සනහා ගන්නට හැකිය.නා කියාගෙන  හාන්සි පුටුවේ හුළං වැදී වැදී ඉන්නා විට නිකම්ම ඇස් පියවෙයි. උන්වහන්සේට නිමානිස් වෙදා මතකයට නැගුණි.වෙදා කිව්වට නිමානිස් කළ වෙදකමක් නැත.සිංහල අලුත් අවුරුදු කාලයට පංසලට ඇවිත් ඉසතෙල් ගාන්නට ගන්නා තෙල් ටික නානු ටික සකස් කරයි.ඒ වැඩේ නම් නිමානිස්ට උපන්ගෙයිම පිහිටා තිබු හපන්කමකි.ඊට අමතරව ඔක්කොගෙම ඇස් වසා තෙලිජ්ජ ටිකක් ගෙනත් හාමුදුරුවන්ට දෙන්නේ දහවල දානයට පෙර වළඳන්නටය.කිතුල් තෙලිජ්ජ හොයාගන්නට බැරි දවසක තරලසාර බාගයක් සොයා ගෙනැවිත් හාමුදුරුවන්ට පිළිගන්වයි.ඔය මොකුත්ම සොයා ගන්නට බැරිවූ දවසක නිමානිස් උස්සගෙන ඇවිත් තිබුනේ කසිප්පු බාගයකි.

කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ. 'මේක නං හරියන කෙළියක් නෙවෙයි ගොයියෝ,ගඳ ගැහුවොත් එහෙම සිවුරෙ ඉඳලත් ඉවරයි.අනික ඔය පංසලට එන ගෑනුන්ඩ තියෙන්නෙ ඉව ඉව, මං මේ කළු සුරුට්ටු බොනවටත් ඕකුන්නෙ කැමැත්තක් නෑ'යි හාමුදුරුවෝ වදාළත් නිමානිස් වෙදා පරසක්වළ ගැහුවේ බඩු කිසිම ගඳක් නැති බවත් ඔහු ගෙනත් ඇත්තේ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔහුගේ පුද්ගලික පාවිච්චියට තමන්ඩ කියා පෙරවා ගත් පළතුරු වඩියකින් බොන්නට ගත් බාගයක් බවත්ය.වෙදාගේ පෙරැත්තය නිසාම කසිප්පු වීදුරුවක් වැළඳු උන්වහන්සේට වෙනස තේරින වෙදා කීවේ සහතික ඇත්තය.ඇල්වතුර වගේ කිසිම ගඳක් සැරක් නැති බඩු ටික මල්හතය වදින්නේ තැපෑලෙනි.කොච්චර බිව්වත් හිසේ අමාරු ඇඟේ  අමාරු මොකුත් නැත.'ෂෙඃ අම්මප  තෙලිජ්ජ ජරාව වාගෙද මෙව්වා'. ඊට පස්සෙන් පහුද 'අරව ටිකක් ආයෙ හම්බුනේ නැද්ද වෙද මහත්තයො'යි  ඇහුවත් ඒ වගේ අනර්ඝ බීමක් ඉන් පස්සේදී උන්වහන්සේට වළඳන්නට ලැබුනේ නැත.දැන් ඒ සියල්ලම අතීත මතක සටහනක් පමණකි.නිමානිස් වෙදා වලපල්ලට ගොස් බොහෝ කලකි.වෙදා කරපු රාජකාරිය කරවා ගන්නට ඒ හා සමාන විශ්වාසවන්තයෙක් ඊට පසු හමුවුනේ නැත.වෙදා ගැන ඇතිවුන සියුම් ශෝකයකින් උන්වහන්සේගේ සිත පිරී ගියේය.

තමන්ට මනාප දෙයක් කරන්නට බැරි තහංචි පිරී ඇති මේ සාසනය කුමකටද,උන්වහන්සේ සිතුහ.දෙවේල වළඳන්නට දානය ලැබේද කියා ඇසක් ඇර නොබලන උන් හාමුදුරුවරුන්ගේ සීලය ගැන එලව එලවා  සොයාබලති.අනික් අතට දාන වේලක් පිරිකරක් ලබාදීම ප්‍රමාණවත්ද, පන්සලේ මොන තරම් නම් වියදම්ද.ලයිට් බිල ටැලිපෝන් බිල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්නට වියදම් වන මුදල් ආදී වශයෙන් කෙතෙක් නම් සොයා ගත යුතුද.ඒත් මහ ලොකුවට උපාසකයන් යැයි කියා බෝට් ගහගෙන ඉන්නා දායකයන්ගෙන් ලැබෙන්නේ මොනවාද.අනුර මහත්තයා වැනි කීප දෙනෙක් නැත්නං පන්සල කෙසේ නඩත්තු කරන්න දැයි හිතන්නට වත් බැරිය.ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත.

දවල් දානයට ගෙඩිය ගැසුවත් වලඳන්නට කල් වැඩිය.ඉර හැරෙන්නට පෙර වළඳන්නට උන්වහන්සේගේ මනාපයක් නැත.දානයක් පිංකමක් යෙදී නොමැති දවසක නම් උන්වහන්සේ දවල් දානය වළඳන්නේ දෙකහමාරට තුනට විතරය. මොන මොන ආකාරයේ ඉස්සරහ කෑම තිබුනත් කරවෙන්නට තෙලෙන් බැදපු කීරමින් කරෝල කුරයියෙක් දෙන්නෙක්, බැදපු වේලිච්ච මිරිස් කරළක්, බොම්බයි ළූණු අමුමිරිස් සමග උම්බලකඩ අතවැඩියෙන් දමා සැරට හැදු තක්කාලි සලාදයක්ද උන්වහන්සේගේ දානෙ වේලට අඩංගු විය යුතුමය.

බොහෝ කලෙකින් මාගමකගේ පහස නොලද ලොකු හාමුදුරුවන් කල්ගත කළේ දැඩි මනස්තාපයකිනි.එදිනෙදා වන්දනාමාන පූජා කටයුතු පවා හරියාකාරව කරගන්නට බැරි තරමට හිත නොසන්සුන්ය.එකල තමන් වහන්සේ සමග ඇයි හොඳයි කියූ උපාසිකාවන් බොහෝ දෙනෙක් මේ වනවිට නිවන් දැක ඇති අතර ඉතිරිව ඉන්නා ටිකදෙනාද   පංසලට යන්නට එන්නට බැරි තරමට ඔබලත් බව ලොකු හාමුදුරුවන් මෙනෙහි කළේ දැඩි ධර්ම සංවේගයකිනි.දැන් ඉන්නා තරුණ උපාසිකාවන් ඇඟෑලුම්කම් පාන්නේත් උකුළු මුකුළු කරන්නේත් පොඩි හාමුදුරුවන් වහන්සේලා සමග පමණක්ය.පොඩි හාමුදුරුවරුන්ට මොකුත් අවවාදයක් අනුශාසනාවක් කරන්නටත් බැරිය.එවිට හිත නරක් කරගෙන සිවුර පැත්තකට දමා යන්නට ගියොත් එහෙම තව කරදරයකි.ඉන්න ටික දෙනාත් සිවුරේ තියාගෙන ඉන්නේ මොන තරම් ආයාසයකින්ද?දාන මාන සිවුරු පිරිකර ආදිය නොඅඩුව ලැබෙතත් අත්‍යාවශ්‍යයෙන්ම උවමනා කර තිබෙන රතිසුවය නොලැබීම තරම් දුකක් තවත් තිබේද? අප බුද්ධ ශාසනයේ පැවිදිවූ පැවිද්දන් වුවද අරහත් භාවය ලැබුවන් නොවෙමු, තවම පෘතග්ජනයින් වෙමු. ජීවිතය දුකකැයි බුදුන් වහන්සේ දෙසු දහම කෙතරම් නිවැරදිද?ඒ දායකයන්ට කියා සපයා ගතහැකි දනක් නොවේ.තමන් විසින්ම සොයා සපයා ගතයුතු දන්වැටකි.'අත්තා හි අත්තනො නාථෝ' උන් වහන්සේ ධර්ම පාඨයක් මෙනෙහි කළහ.මෙහිදී තමන් වහන්සේ තනිවම ක්‍රියාත්මක විය යුතු වන්නාහ.පළමුව ගැලපෙන උවැසියක් තෝරාගෙන හීං සීරුවේ කැමති කරවාගත යුතුය.හදිස්සි වුනොත් කොරොස් කටෙත් අත දමා ගන්නට බැරුව යයි.නවයොවුන් උවැසියන්ගේ ඉඟි බිඟි හුරතල් කතා බහ බෙහෙවින් තමුන්ගේ සිත් ගත්තද ඔවුන් මේ වැඩේට නොගැළපේ.එයට හරියන වයසක ඉන්නා කෙනෙක්ද වියයුතුය.

කල් යල් බලා ඉතාම සීරුවට ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් දෙගොඩහරි වයසේ විසු එක උවැසියකුගේ සිත බලන්නට පෙර උන්වහන්සේට ලැබෙන දාන මාන පිරිකර ආදියෙහි අග්‍රභාගයද මේ උවැසියට පිළිගන්වා සිත සතුටුකර මෙලෙක්වී ඇති යැයි සිතුනු විට වචනයක් ඇසූකල්හි ඇය බොහෝසේ කෝපවී මුහුණද රතුකරගත්තාය.එයින් අධෛර්යයට පත්නොවූ උන් වහන්සේ නොපසුබට  වීර්යයෙන් ඇයට  දුක්මුසු වදන් ආදී නොයෙකුත් කනිපින්දම් කියා සිත වෙනස්කර ඒ උවැසිය එක් දිනෙක සිය සැතපෙන කුටියට කැඳවා ගැනීමට සමත්වුවෝය.විළියෙන් මිරිකෙමින් හතර අතට ඇඹරෙමින් කුටියට පැමිණියද රති කෙළියෙහි කෙළ පැමිණි කාන්තාවක වූ ඇය ලොකු හාමුදුරුවන් වසඟකරගනිමින් තමන් දත් ශිල්ප  මැනැවින් විදහා දක්වා ලු කල්හි උන් වහන්සේ ආනන්දයෙහිද කෙළවර වන අමන්දානන්දයට පැමිණ වදාළෝහ.මෙවුන්දම් සේවනයෙහි ඇය කෙතරම් කෘතහස්තද?කලෙකින් වළඳන්නට නොලැබුණු රස දන්වේලක් වැළඳු කලෙක මෙන් උන්වහන්සේ සතුටින් පිනා ගියහ.බොහෝ අසීරුවෙන් ඇය විසින් සපයා ගන්නා ලද ආවරණයක් ඇය ලොකු හාමුදුරුවන්ගේ අංගජාතයෙහි පැළඳවූයේ මහත් බැති සිතින් වතාවතක යෙදෙන්නා සේ නොවේදැයි ලොකු හාමුදුරුවෝ සිතුහ.

ඔය කරදර ඕනැන්නෙ නෑ උපාසකම්මෙ නිකං හොඳා..යි උන්වහන්සේ වදාළ කල්හි ඒ වුනාට කියන්න බෑනෙ ලොකු හාමුදුරුවනේ අපි පරිස්සම් වෙන එක කෝකටත් හොඳනේ..යි ඇය පැවසුයේ හාමුදුරුවන්ගේ නිකටද මිරිකමිනි.අපි පරිස්සම් වෙන එක යැයි ඇය කීවේ මින් පසුවද දිගින් දිගටම ඇයගේ සමාගමය ලැබෙන බව නොවේද?උන් වහන්සේගේ සිත් තුල ඇතිවූ ප්‍රීතිය ප්‍රමෝදය නිම් හිම් නැතිව දෙගොඩ තලා ගියේ හරියට මහ ඇලේ පහළ අමුණේ වතුර ගොජ ගොජ හඬ නගමින් උතුරා යන්නාක් මෙනි.එසේ නම් මීට වඩා පිළිවෙලක් විය යුතුය. හැබැයි උවැසියගේ විසේ නම් හාමුදුරුවන්ට ඔරොත්තු නොදෙන තරමටය.උවැසියගේ  හස්තයේ දැඩි ග්‍රහණයෙන් මඩනා ලද ලොකු හාමුදුරුවන්ගේ අංගජාතය තවමත් රිදුම් දෙයි.යකෝ කුලප්පු වෙච්ච එළදෙනක් වගේනෙ.මේකි දැඟලුවෙ මගෙ වයසවත් බලලදැයි හාමුදුරුවෝ සිතුහ.තමන්වහන්සේ  හා සමගින් යහන්ගතවූ උවැසියන් කීප දෙනෙක් උන්වහන්සේගේ මතකයට නැගුණි.සමහර උවැසියන් තමන්ට ඇති ගෞරවය නිසාදෝ කැමැත්තක් කර ගැනීමට ඉඩහැර ඉවත බලාගෙන සිටිමුත් සමහරුන් තමන් වහන්සේ සමග හරි හරියට ඔට්ටු වෙමින් දඟලපු හැටි උන්වහන්සේ සිහිපත් කළහ.ධාතු වඩම්මවා  අහවර වූ කල්හි උවැසිය විෂයයෙහි ලොකු හාමුදුරුවන් සිත්තුල ඇතිවූ කෘතඥතාව බොහෝ බලවත් විය.නිවනෙහි දොරකඩටම ගොස් ආපසු පැමිණ උවැසියගේ තුරුළෙහි ගිමන් නිවන ලොකු හාමුදුරුවන්ට සිය හද උතුරන  ස්නේහය  ඇයට පළකිරීමට වචන නැතුවාසේ විය.හම්මප උපාසකම්මෙ හොහ් හොහ්...

හිතේ සතුට වැඩිකමට කියාගන්නට ලැබෙන්නේද එපමණය.කටේ දත් අඩු බැවින් ලොකුහාමුදුරුවන්ට අයන්න වෙනුවට කියැවෙන්නේ හයන්නය.කොයිවෙලාවක හෝ ටවුමට වැඩමකර දත්ටික බන්දවා ගන්නට හිතා සිටින්නේ කාලයක සිටය.තාම ඒ වැඩය කරගන්නට ඉඩවරයක් ලැබුනේ නැත.දත් බැන්දවීම තව දුරටත් පමා නොකරන්නට උන්වහන්සේ ඉටා ගත්තෝය.උවැසියන් සමග හුරතල් වෙද්දී ඇයගේ සිරුරේ මුදු මොළොක් තැන් හෙමීට සපන්නට දත් අත්‍යවශ්‍යමය.දත් නැති විදුරුමසින් සපන විට හරියට රබර් කෑල්ලකින් තදකරන්නාක් මෙනි.වස ලැජ්ජාවය.හරි හාමනකට දත් කුට්ටමක් තිබේනම් රිදෙන නොරිදෙන ගණනට ලාවට සපන්නට හැකිය.උවැසියගේ ඉස්තිරි නිමිත්ත උන්වහන්සේට රස අහරක් මෙනි කන්නටද අගේය.එහෙත් හාමුදුරුවරු කන්නේ නැත වළඳති.හම්මප උපාසකම්මේ වළඳන්ටත් අපුරුයි...

ඒ ලොකු හාමුදුරුවෝ සිය ස්නේහය උවැසියට පළකළ අයුරුය.ධාතු වඩම්මවා අහවර වී බොහෝ වෙලා ගතවුවද උවැසිය තවමත් ලොකු හාමුදුරුවන්ගේ තුරුලේය.ඇයත් වගේ වගක් නැතුව හාමුදුරුවන්ගේ තට්ටය අතගාමින් හුරතල්වේ.ලොකු හාමුදුරුවන්ගේ යටිකය නැවත අවදිවේයයි  සිතක් ඇතිවී ඇය දෙතුන් වතාවක් අතතබා බැලුවද  එය නිදිගත් ගමන්මය.මේ හදිස්සියට ආපහු නැගිට්ටවා ගන්නට බැරි තරම් හාමුදුරුවන්ට වයස වැඩිය.දැන්නම් බොහෝ හවස්වී ඇත.රාත්තිරියේ මතක බණකට වැඩම කරන්නට ඇති වගද ඒ අව්අස්සේ උන්වහන්සේට සිහිවුනි.කවුරුවත් දකින්නට පෙර උවැසිය කුටියෙන් පිටත්කරන්නට උන්වහන්සේ ඉක්මන්වුහ෴

Sunday, August 16, 2015

මන්ත්‍රීන් තේරීමට උපදෙසක්.


අද ඡන්දය දවසයි.නිකං ඡන්දය නොව මහ චන්දයයි.මේ දවස්වල දේශපාලනය ඇරෙන්නට වෙන මොනවා ලිව්වත් හිට් වෙන්නෙ නෑ.ඒ තරමට උණුසුම්.ඒ වගේම අඩුවක් නැතිව දේශපාලන සටහන් ද ලියවෙනවා.යමක් ලියන්නට උවමනා උනත් මේ දවස් මම ලියන කතා ලියන්නට කාලය නොවෙයි කියල මට හිතෙනවා.තවත් දවස් ගණනක් යනතුරු මේ ඡන්ද උණුසුම තියේවි.හෙට ප්‍රතිපල පිටවුණාට පස්සෙන් පහු පශ්චාත් පරීක්ෂණ ආදිය සුපුරුදු විදියට බ්ලොග් අවකාශයේ සිදුවේවි.මේ මාසය අවසානයේ විතර ආපහු බ්ලොග් ලෝකය සාමාන්‍ය තත්ත්වයට පැමිනෙයි කියල මට හිතෙනවා.

ඉතිං මම දේශපාලන සටහනුත් නොලියන එකේ මොනවා ලියන්නට දැයි කල්පනා කරමින් ඉඳිද්දී බොහොම පැරණි කවි කීපයක් මට කියවන්නට ලැබුණා.මේ කවි කීපය අදට ගැලපේවි කියල මට හිතුන නිසා ඔබේ රස වින්දනය උදෙසා ඒ කවි කිහිපය ඉදිරිපත් කරන්නට මම හිතුවා.මේ කවි ලියා ඇත්තේ සිංහල සාහිත්‍යයේ පුරෝගාමී නවකතා කරුවෙකු වූ පියදාස සිරිසේන(1875 - 1946) මහතායි.කවිවල මාතෘකාව "මන්ත්‍රීන් තේරීමට උපදෙසක්" යන්නයි.1923 දී තරම් ඈත කාලයකදී ලියවුනත් මේ කවි කිහිපය අදටත් එකලෙසම ගැලපෙන බව කවි කියවද්දී අපට පෙනීයනවා.

මෝරණ සඳ ලෙසින් යස පල වන  දියත 
තාරණ තෙද විකුම් මහතුන්ගෙන්   දිමුත 
තෝරණ රජ මැතින් රජ සබයට    සමත 
තීරණ කරගනිව් මෙදවස සුදුසු      වෙත 

දනයත් උසස් කුලයත් සමග             පුවතර 
දැනුමත් ඉංග්‍රීසි ආදී සද                      සතර 
මෙමහත් රජ සෙබට පැමිණෙන්ට     ගරුතර 
නොමවෙත් සුදුසුකම් දැනගනු මැන     මිතුර 

දැනගත් සද සතර වියතුන් සෙව්                     සුහද
සත වෙත් කුළුණු යුතු සිය දිවි සෙ හැම             සඳ 
ගුණවත් මහතුමෝ රජ සබයට                       පබඳ 
පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ   හොඳ 

(කව් දහස,1923 )
සියලු දෙනාටම සුබ මහ මැතිවරණයක් වේවායි පතමි෴

Tuesday, August 11, 2015

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 7- ඊලාම් දේශයේ නැගිටීම සහ චන්දරේගේ පෙම්හසුන


මෙතෙක් කතාව
එදා දවසේ වාසනාව අප සමග සිනාසුනු නිසාදෝ කිසිම අකරතැබ්බයක් නොමැතිව ඇති පමණට පිංතුරද රැගෙන පණපිටින් රැස්වීමෙන් එළියට එන්නට අප දෙදෙනාට හැකිවිය.ලද ජයග්‍රහණය නිසා  දෙන්නාම හිටියේ සතුටු සිතිනි. ගෙදර ගිහිං යමක් පානය කරමින්  ගත්ත පිංතුර සී ඩී එකකට දාගමු කියූ මගේ  බෙල්ජියන් මිත්‍රයා මට ඔහුගේ ගෙදර යන්නට කතා කළේය.මම පැනලා කැමති උනෙමි.අපි දෙන්නාම ඔහුගේ ගෙදර ගියෙමු.ගිහිං පිංතුර ටික පිළිවෙල කරමින් ඉන්න අතරේ ඉතාම සුන්දර තරුණ කාන්තාවක් ඇවිත් රෙඩ් වයින් බෝතලයක්ද මොනවා හෝ කටගැස්මක්ද ගෙනත් අපේ මේසය උඩ තබා වීදුරු ගෙනෙන්නට  ගියාය.

ඒ මගේ බිරිඳ  අපි දික්කසාද වෙන්න නඩු දාල තියෙන්නෙ...

මගේ මිත්‍රයා ඉතා සැහැල්ලුවෙන් කියයි.මෙහෙම දෙයක් කවදාවත් දැක නොතිබූ මගේ කටද බාගෙට ඇරුණි.වීදුරු තුනක්ද රැගෙන ආපසු පැමිණි මිත්‍රයාගේ බිරිඳ අපට වයින් වක්කරදී තමන්ද වයින් ස්වල්පයක් වීදුරුවට දමාගෙන තොලගාන්නට වූයේ අප සමග කතා කරමිනි.මට මිත්‍රයාගෙන් අහන්නට දාහක් ප්‍රශ්න ඔලුවට ආවත් ඒ දෙන්නාගේ පුද්ගලික වගතුග අහන එක නොගැලපෙන නිසාත් මට එහෙම අහන පුරුද්දක් නොතිබුන නිසාත් මිත්‍රයා කී කරුණු ස්වල්පයෙන් සෑහීමකට පත්වෙන්නට සිදුවිය.ඔහු මට කීවේ සිතාසි ලැබෙන තුරු බිරිඳ ගෙදර ඉන්න බවත් ඉන්පසු ඇය ගෙදරින් පිටත්වන බවත්ය.මට කල්පනා උනේ අපේ රටේ නං දික්කසාද වෙන්නට නියමිත ජෝඩු එකගෙදර ඉන්නවා තබා නයි පොළොංගු මෙන් මුණ බලන්නේවත් නැති බවය.නමුත් මේ යුවළ සාමාන්‍ය  ලෙස කල් ගෙවති.තරුණ බිරිඳ ටිකකින් අපෙන් සමුගත්තේ බඩු ගෙනෙන්නට මාකට් එකට යන්නට තියෙනවා යැයි කියමිනි.අහන්නට මගේ හිතේ පොපියමින් තිබු එහෙත් මා නොඇසු ප්‍රශ්නය වුයේ එක ගෙදර ඉන්න එක හැලියේ  කනබොන ඔවුන් දෙදෙනා යහන්ගත වන්නේත් එකටද කියාය.බොහෝවිට එය එසේ වන්නට ඇතැයි මම සිතමි.

පුද්ගලිකත්වය හාරා ඇවිස්සීමේ පුරුද්දක් මට තිබුනා නම් බොහෝ විස්තර දැනගන්නට තිබුණේයැයි මට පසුව කල්පනා විය.එහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.මේ මෑතකදී ඒ කියන්නෙ මම ලංකාවට යන්නට පෙර හිතවත් පවුල් කීපයක් සමග විනෝද ගමනකට සහභාගී උනෙමි.ගමන ගිය එක්කෙනෙක් තනියම ඇවිත් හිටියේ ඔහුගේ බිරිඳ ලංකාවට ගිහිං හිටපු නිසාය.මට යන්නට සිදුවූයේද ඔහුගේ වාහනයේය.අපි සාමාන්‍ය සතුටු සාමීචියේ යෙදෙමින් ගමන් කළෙමු.ටිකකින් මූ මගේ විස්තර අහන්නට පටන් ගත්තේය.මගේද බිරිඳගේද දරුවාගේද මතු නොව හත්මුතු පරම්පරාවේම විස්තර අහන්නට පටන් ගත්තේ කිසිම හිරිකිතයක් නැතුවය.මේ වැඩේ මම අප්‍රියම කරන දෙයක් නිසා උඩින් මත්තෙන් උත්තර දී ගැලවෙන්නට බලන විට මු නැවතත් හාරා අවුස්සමින් එයම අහන්නේ කිසිම පිළිකුලක් නොමැතිවය.ගමන ගිහිං ආපහු එනතුරු මම හිටියේ දැඩි අපහසුවකිනි.ආපහු පැමිණි මම මගේ හිතවත් යුවළට කිව්වේ ඌ මගෙන් නොඇසුවේ අපේ ආච්චිගෙ හොර මිනිහගේ නම පමණක් බවය.ආයෙම කිසි දවසක ඌත් සමග ගමන් යන්නට මට කතාකරන්නට එපා යැයි මම වැඩිදුරටත් කීවෙමි.

ඉතිං මම ඔය කිව්වේ බටහිර රටවල හැටිය.ඒ කාලයේ බටහිර රටවල් ගැන කිසිම අත්දැකීමක් නොතිබූ නිසාවෙන් ඒ ගැන ටෂ්ට පැහැදිලි කරන්නට මට දැනුමක් නොවීය.ටෂ් හදන්නේම මාව ගෙට කොටුකර තියාගන්නටය.වැඩට ගිහිං ගෙදර එනවා ඇරෙන්නට වෙන ගමනක් යනවාට කැමතිම නැත.බෙන් එකේ වැඩවලට එකතුවෙනවාට කොහෙත්ම කැමති නැත.නිළියන් සැරෙන් සැරේ බෙන් ෆිල්ම්ස් එකට එනවිට ටෂ්ගේ මුහුණ කරත්තයට අහුවුන කජු ලෙල්ලක් වගේ වෙයි.පසුව ඒ අය සම්බන්ධකර එක එක කතා කියයි.මෙතෙක් කල් නිදහසේ කුරුල්ලෙක් මෙන් ගතකළ මගේ ජීවිතයට කොහෙදවත් නැති හාල් කෑල්ලකට  කියා  තහංචි දමාගැනීම මට වස ලැජ්ජාවක් විය.ටෂ් මොන තරම් විරුද්ධ උනත් මට කරන්න අවශ්‍ය දේවල් කළෙමි.යන්නට අවශ්‍ය ගමන් ගියෙමි.අපේ ඉතා කෙටි ඇසුර බෙහෙවින් අර්බුදකාරී තත්වයකට පත්වන්නට වුයේ මේ නොගැලපීම් නිසාය.

එක සති අන්තයක මම බෙන් එකටවී කම්මැලිකමින් තනියම හිටියේ අනික් අය සියලු දෙනාම සඳලංකාවේ ෂූටිං ගොස් තිබුනු නිසාය.ටිකකින් ගේ ඉස්සරහ වාහනය නතරකළ චන්දරයා ආවේ උරුවම් බාමින් යතුරද කරකවමිනි.

හා...ලොකු මහත්තය කම්මැලියි නේද, යමුද සඳලංකාව පැත්තෙ රවුමක් ගහල එන්න...

දෙසැරයක් කියනතුරු ඉන්නට අවශ්‍ය නැත.වහාම ඇඳ පැළඳගෙන චන්දරයාත් සමග පිටත් උනෙමි.මීගමු පාරෙන් හැරී සඳලංකාවට යන්නට පටන්ගත් මොහොතේ සිට වාහනය පුරා රැව් දුන්නේ චන්දරයා කියූ කවි ගීත හා බයිලා රසයයි. චන්දරේ යනු සැබෑම විනෝදකාමියෙකි.සඳලංකාවට කිට්ටු වෙනවිට පාර දෙපැත්තේම රාද තෙලිජ්ජද පැණිද හකුරුද නොඅඩුව තිබේ.ඒ සමගම රා වලින් පෙරූ සුදුවාද ඕනෑ පදම්ය.චන්දරේ තැන් දෙක තුනක නැවැත්තුවේ උවමනාවකටම නොව ඌ ඒ ගෙවල්වල අය හොඳට දන්න කියන බව මට පෙන්නන්ටත් මාව ඒ අයට පෙන්නන්ටත් උවමනාව තිබුන නිසා බව මට තේරුණේය.කොහොම උනත් චන්දරේත් ඒ ගෙවල්වල අයත් නම කියා කතාකරගන්නට තරං ඉතා හොඳින් දන්නා කරන අය බව මම දුටුවෙමි.පුදුමයක් නැත ඒ චන්දරේගේ හැටිය.අපි දෙන්නා රා කටු දෙකතුනක්  සප්පායම් වී එතැනින් පිටත් උනෙමු.හොඳ පැණිත් තියෙනවායි කිව්වත් පැණි ගෙනිහින් මොනවා කරන්නටද?ටෂ්ගේ තාත්තාට දෙන්නට රා වලින් පෙරුව සුදුවා බෝතලයක් ආපහු යන ගමන් අරන් යන්නට හැකිය.

සාමාන්‍යයෙන් සති අන්තයේ මම දර්ශන තලයට ගියවිට එතෙක් කල් හිරවී ඉන්න විනෝද් වැඩ ටික මට බාරදී කොළඹ එන්නේ සතියකින් නොදුටු ආදරණීය බිරිඳද දරුවාද දැක බලාගන්නටය.එතෙක් කල් සිද්ද උනේ එහෙම වුනත් එක සති අන්තයක විනෝද් ගෙදර යනවාට බෙනට් කැමති උනේ නැත.ඒ සති අන්තයේ වැඩ ගොඩක් යෙදී තිබුන බැවිනි.

මල්ලි උඹල දෙන්නම ඉඳිල්ලා...

කියා බෙනට් කීවෙන් විනෝද්ට නවතින්නට සිදුවිය.විනෝද්ගේ බිරිඳ තිළිණි ඌ එනතුරු මගබලා ඉන්නා නිසා නොඑන බවද දැන්විය යුතුය.විනෝද් තිළිණිට ලියුමක් ලිව්වේ චන්දරයා අතේ පිටත් කරන්නටය.මතක් වුන ගමන් කෝල් ගන්නට දැන් මෙන් ජංගම දුරබනු නොමැති ඒ කාලයේ ඔවැනි පණිවිඩ දැන්වූයේ ලිපිවලිනි.විනෝද් ලිපිය ලීවේ ඉතා පරිස්සමිනි.සතියක් බලා සිටියත් විනෝද් ගෙදර නොඑන බව දැනගන්නා තිළිණිට දුකක් මෙන්ම තරමක කේන්තියක්ද ඇතිවීම සාධාරණය.මේ බව හොඳින් දන්නා විනෝද් ආදරබර වචන වලින් පිරුණු  පැණි බේරෙන ලිපියක් ලීවේ තිළිණිව ෂේප් කරගන්නටය.මගේ රත්තරං කෙල්ල බලන්නට මේ සතියේ එන්නට බැරිවුනත් ඊළඟ සතියේ මම ඉගිළිලා හෝ ඔයාගේ තුරුලට එනවා යැයි කියා විනෝද් ලියුම අවසන්කළේය.ආපහු කොළඹ එන්නට සැරසෙන චන්දරයාගේ අතට  විනෝද් විසින් ලිපිය ලබා දෙන ලදී.ලිපිය අතට ගත් චන්දරයා එය උඩ සාක්කුවේ දමා ගත්තේය.කරදරයක් නැතුව කොළඹට සැපත් උනත් චන්දරයාට ලිපිය ගැන හාංකවිසියක් මතකයට ආවේ නැත.විනෝද්ලාගේ ගෙදර යනවා වෙනුවට ඌ කෙලින්ම ගෙදර ගියේය.

ගෙට ගොස් කමිසය ගලවා පුටු ඇන්දක් උඩ දැමු චන්දරේ ඉස්තෝප්පුවට ගොස් හාන්සි පුටුවේ වැතිරුණේ දාහය සහ වෙහෙස නිවා ගන්නට පපුවට පවන් ගසා ගනිමිනි.

ඔයාට තේ කෝප්පයක් හදල දෙන්ඩද...

කියා පවුල  ඇසූවිට චන්දරයා ඇල්වතුර වීදුරුවක් ඉල්ලාගෙන බීවේ මේ වෙලාවෙ තේ බිව්වොත් දාඩිය තව වැඩිවෙනවා කියමිනි.හිස් වීදුරුව රැගෙන ගෙතුළට යන පවුල  පුටු ඇන්ද උඩ දමා තිබු කමිසයද රැගෙන ගියේ ළිඳ ලඟට ගොස් සෝදා දමන්නටය.වෙල්යාය පැත්තෙන් හමා එන සීතල සුළං රැළි ගත දැවටෙන චන්දරයාගේ ඇස් දෙක කෙමෙන් නිදිබර වන්නට විය.නිදිකිරමින් සිටි චන්දරයා එකවරම උඩගොස් ඇහැරුණේ පවුලගේ ගෝරනාඩුවටය.චන්දරයා ඉදිරිපිට ඉන්නේ මෙතෙක් වෙලා සිටි පවුල  නොවේ.මුහුණ විරූපී වී ඇත.ඇස්වල කඳුළුය,තුන්කාන්සෙන් දහඩිය ගලයි.යකින්නක් මෙනි.මොහොතකින් සිහි එළවා ගත් චන්දරේ ඇස් පිසදමා බැලුවේ මේ මොන ගිණි විච්චුම්බරයක්ද කියාය.

ඛවුධ ථිලිනි කියන්නෙ...

පවුලගේ හඬ තර්ජනාත්මකය.කරුමෙට තිලිනියෙක් ගැන චන්දරයාට හෝදිසියක් නැත.තිළිණි තියා සිද්දවෙන්නේ මොකක්ද කියාවත් දන්නේ නැති චන්දරේ ඔල්මොරොන්දම්වී බලාසිටී.

ෂූටිං ෂූටිං කිය කියා  ගෑනුත් වාහනේ පටෝගන රෑ දවල් නැතුව රවුං ගහනකොට මෙහෙම වෙයි කියල මම හිතුවා.මනුස්සයින්ඩ විළි ලැජ්ජාවක් කියල එකක් තියෙන්ඩ ඕනැ අඩු තරමින් වයසට ගිහිං මේ ළමයි ලොකුවෙනකොටවත්.යකෝ මෙච්චර කල් නැතුව නාකි වෙලානෙ ලියුං ගනුදෙනු කරන්ඩ හදන්නෙ අනේ අම්මාපල්ල.

පවුලගේ අතේ ලියුමකි.ඇය ලියුම චන්දරයා දෙසට දික්කරමින් නොනවත්වා බැන වදී.චන්දරේට දැන් දැන් කාරණාව ටික ටික පැහැදිලි වේගන එයි.ගෙදරට දෙන්න කියා ලියුමක් විනෝද් දුන්න බවත් තමන්ට ඒ ලියුම දෙන්නට යන්නට අමතක වූ වගත් මතකයට එනවිට සිද්දවී ඇති දේ ගැන හිතා ගන්නට හැකිවිය.සිදුවී ඇත්තේ වස වැරැද්දකි.එක අතකින් විනෝද්ගේ ගෙදරට ලියුම දෙන්නට බැරිවීමය.අනික් අතින් පවුල වැරදි වැටහීමක් ඇතිකරගැනීමය.වෙච්ච දේට දැන් කරන්නට දෙයක් නැත.එන විදියකට මුහුණ දිය යුතුය.පවුල තවමත් නොනවත්වා කට කියවයි.

ඉගිල්ලිලා තුරුළට යන්න,හුහ්..අනේ මගෙ කට,යනවකො බලන්න ඉගිල්ලිලා, කකුල් දෙක කඩල ගෙට දාල ළමයිනුත් අරං මම යන්ඩ යනවා. ඔය තේඋඩිච්චියො ඇවිත් බේත් කරන්නෙ නැතැයි අනේ මෙහෙම විළි සංගෙ නැති මිනිහෙක් එක්ක මටත් එන්ඩ උනානෙ...

ඔය අර විනෝද්ගෙ...

කතා කරන්ඩ එපා, දැන් ඒවි අරයගෙයි මෙයාගෙයි කියාගෙන, හොර ලියුං ලියල තව සුදනා වෙන්නත් එනව...

එදා රෑ චන්දරයගේ කුස්සියේ ලිප පත්තු වුනේ නැති බැවින් දරුවන්ට පාන් ගෙනත් කන්නට දී ජෝඩුව කෑමක් නැතිවම නිදාගත්තෝය. පහුවදා විස්තරය කියා චන්දරේ අපට පණිවිඩයක් එව්වේය.තවත් දවසක චන්දරේ බෙන් එකට ආවේ අපට කතාව කියන්නටය.චන්දරයා කතාව කිව්වා නොව කතාව එහෙම පිටින් පනපොවා රඟපෑවේය.රස්සාවට නළුකම තෝරාගත්තානම් මු මොන තරම් හොඳ නළුවෙක් වේවිදැයි මම කල්පනා කළෙමි.

ඊළඟ සති අන්තයේ විනෝද් සහ තිළිණි යුවළද දේශා සහ මමද මාදිවෙල චන්දරේගේ ගෙදර ගියේ චන්දරයා ගේ ප්‍රශ්නය නිරාකරණය කර දෙන්නටත් ඌව නිවාස අඩස්සියෙන් ගලවා ගන්නටත්ය.චන්දරේ යුවළ අපව ආදරයෙන් පිළිගත්තෝය.චන්දරේගේ පවුලගේ වැරදි අවබෝධය නැතිකරන්නට අපට ගතවුනේ විනාඩි කීපයකි. පවුල අපිත් එක්ක කිව්වේ චන්දරේ රත්තරං මිනිහෙක් බවය. තමන්ට චන්දරේව බෙහෙවින් විශ්වාස බව කියූ ඇය ලියුම දැක ටිකක් කේන්ති ගිය නිසා කෑගැසුවා හැරෙන්නට ඌ ගැන අහිතක් ඇගේ තුං හිතකවත් නැති බව වැඩිදුරටත් අපට කීවාය.ගෙදරට ආපු අමුත්තන්ට දවල් කෑම පිළියෙළ කොට දෙන්නට මේ දෙන්නා ලහි ලහියේ සුදානම් වුහ.කජු කපා මස් උයා චන්දරේගේ පවුල දවල් කෑම හදද්දී චන්දරයා මුරිසි අන්නාසි ගෙඩි දෙකක් උස්සගෙන ආවේ අතුරුපසටය.කරපු උදව්වට අන්නාසි මදි බවත් බෝතලයක් අවශ්‍ය බවත් කීවේ විනෝද්ය. එසැනින් ගෙයින් පිටත් වූ චන්දරේ බෝතලයක්ද ගෙනත් අපට බොන්නට තිබ්බේය.බෝතලයද බී රසවත් දවල් ආහාරයකින්ද සප්පායම් වූ අපි හවස්වී චන්දරේගේ ගෙදරින් පිටත් වුනෙමු.සතියක් තනියම වකුටුවී නිදාගත් චන්දරයා එදා රාත්තිරියේ පවුලගේ පැදුරට ගොඩවෙන්නට ඇතැයි මම සිතුවෙමි.

මේ සිද්ධිය මුළු හදවතින්ම  රසවිඳි එකම තැනැත්තිය වුයේ විනෝද්ගේ බිරිඳ තිළිණිය. තමන්ද නොදැනුවත්වම ඇය ප්‍රධාන නිළියවූ මෙම නාටකයේ අවස්ථාද දෙබස්ද ඇය කොපමණ රස වින්දාද කිවුවහොත් අපි ආපසු එන ගමනේදී විටින් විට කතාව මතක්කරමින් ඇස්වලින් කඳුළු පනිනතුරු සිනාසුනාය෴

Sunday, August 9, 2015

ගෙට ගෙවැදීමේ උත්සවය සහ ආරියාගේ සදාචාරය.

ආරි ගැන මම මීට පෙරද කීපවතාවක්ම ලියා ඇතත් ආයෙමත් මට ආරිව මතක් උනේ කාරණා දෙකක් හින්දාය.එකක් නම් ඩෝලයාය,ඩෝලයාත් ආරියාත් කාලෙක ගහට පොත්ත මෙන්ද අමුඩයට පුක මෙන්ද එක්වම ජීවත් වුහ.ඩෝලයා හොයාගන්නට නම් ආරියාගේ ගෙදරට යා යුතුය.ඩෝලයාටත් උගේ යාලුවන්ටත් ආරිගේ ගෙදර අම්බලම මෙනි.ආරිගේ ගෙදර ලිපේ ඉදෙන බත නිතරම පාහේ ඩෝලයලාගේ කුසගිනි නිව්වේය.ආරිත් තමන්ට කන්නට තියෙන බත්පත වුණත් කුසගින්නේ ගෙදරට එන එකෙකුට දෙන ජාතියේ සුන්දර චරිතයකි.පොකැට් එක කොපමණ කුඩා උනත් දරුවන් තිදෙනෙක්ද එක්ක ගෙදර කොපමණ ආර්ථික අමාරුකම් තිබුනත් ආරිට විශාල හිතක් තිබුණි.ඩෝලයලාත් හිටියෙ ආරිට බඩ බැඳගෙනය.

ආරියා රෙදිමෝලේ නිදිමරාගෙන වැඩකර හම්බකරගත් මුදලකින් පොඩි ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්නට පටන් ගත්තේය.ඒ කාලයේ අපි ගෙවල් හදන්නට තැන්පත් වෙන්නට හෝ කසාද බඳින්නට හිතලාවත් නැත.කොටින්ම එකල අපි තාරුණ්‍යය උපරිමයෙන්ම විඳිමින් සිටියෙමු.ආරි වැර වෑයමෙන් ගේත් බාගෙට හදාගෙන එතෙක් කල් හිටිය කුලී ගෙය හැරදා පියා අලුත් ගෙදර පදිංචියට ආවේය.ගෙදරට ආ දවසේ සිටම ආරියාට ලොකු අමාරුවක් ඇතිවිය.එනම් ගෙට ගෙවැදීමේ උත්සවයක් පවත්වන්නටය.මම කෙළින්ම ආරියාට විරෝධය පලකළෙමි.ගෙයි බිච්චි බැඳ වහල ගැහුවා විතරය.බිම මැටිය,ජනෙල්වලට පියන් නැත,බිත්ති කපරාරු කර නැත.මු උත්සව පවත්වන්නට යයි.පාටිවලට වියදම් කරන සල්ලිවලින් ජනෙල් ටික හදාගනින් කියා මම ආරියාට කිව්වත් ඌ ඒ කතාව ගණනකට නොගෙන ගෙට ගෙවැදීමේ උත්සවයක් ලෑස්ති කර මටද ආරාධනා කළේය.උත්සවයේ සියළුම සංවිධාන කටයුතු කරගහගෙන කළේ ඩෝලයා ඇතුළු හිතවත් යහළුවන් කණ්ඩායමය.අපි කට්ටිය නියමිත දවසේ උත්සවයට ගියෙමු.උත්සවයට ආරිගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ගේ යාලුවන්ද ඩෝලයාගේ යාලුවන්ද යාලුවන්ගේ යාලුවන්ද ආදී වශයෙන් මහ පිරිසක් පැමිණ සිටියෝය.සංගීතය සැපයීම ඩෝලයා ඇතුළු කණ්ඩායමෙනි. ආරාධනා කළාට මෙච්චර සෙනගකට බොන්නට දෙන්නට ආරියාගේ අතමිට බර මදිය.බතක් මාළුවක් උයා කෙසේ හෝ කන්නට දෙන්නට නම් හැකිය. මගේ යෝජනාවක් අනුව අපිත් එක්ක ගිය ගමේ කොල්ලො කට්ටියගෙන් සල්ලි එකතු කර අපට බොන්නට බෝතල් ගෙන්නුවෙමු.වෙනත් වෙනත් කණ්ඩායම්ද උන්ට බොන්නට බෝතල් ගෙන්නුවෝය.මෙලෙස බීමේ ප්‍රශ්නය විසඳාගන්නා ලදී.සංගීතයත් සමග දැන් පාටිය නැගලා යයි.ගෙදර ගෘහමුලිකයා සහ සංග්‍රාහකයා වූ ආරියා ඔක්කොටොම ඉස්සර වෙරිවී නන්දොඩවන්නට පටන් ගත්තේය.

සාමාන්‍යයෙන් ආරියාගේ ගෙදර හෝ ඌ ඉන්න තැනක බොනවිට අපි බයිට් එකට ගන්නේ ආරියාවය.ඌ බීමත්වූ විට අපූරුවට බයිට්වේ.එදා මට ක්ෂණිකව අදහසක් පහළ විය.රෙදි වැඩපොළේ තමන්ගෙ සෙක්ෂන් එකේ කාන්තාවක් සමග මුගේ පොඩි ඇයි හොඳයියක් ඇති බවට කටකතාවක් ලාවට වගේ මගේ කණටත් වැටී තිබුණි. බයිටට  ඒ ඇතිය, බොන ගමන් මම නිකමට වගේ ආරිගෙන් ඒ ගැන ඇහුවෙමි.

උඹේ අර කේස් එක දැන් කොහොමද,නැගල යනවද... 

අනේ බං ඕව ඒ කාලෙ නොදන්න කමට කරපුවනෙ,ඒවා අතඇරල දාල හුඟක් කල්,අනික දැන් ළමයිනුත් ලොකුනේ...

ආදී වශයෙන් ආරියා මට බුදු ටෝක් දුන්නේය.මමත් එහෙනං ඒක හොඳයි කියා නිකං හිටියෙමි.මම ඒ කතාව එතනින් අත ඇරල දැම්මත් දැන් වැඩේ නැගල යන බව දැන සිටියෙමි.බීමත්ව සිටි ආරියාගේ හිතේ වැඩකලේම මේ කතාව මට කීවේ කවුද කියාය.මාත් එක්ක හිටපු කණ්ඩායම දෙස පරිස්සමෙන් බැලු ආරියා ජස්සයා දුටුවේය.වැඩේ හරිය කතාව කියා ඇත්තේ ඌය. මන්ද ජස්සයාත් ආරි සමග එක සෙක්ෂන් එකේ වැඩ කරන එකෙකි.ආරියා ජස්සයා දෙසට ආවේ කේන්තියෙන් කුණුහරුප වැලකුත්  කියාගෙනය.

අඩෝ වල් ජස්සයා තෝ තමයි ඇවිත් මේවා ගමේ පතුරවන්නේ...

මේ පාත්උනේ මොන හෙණගෙඩියක්ද කියා ජස්සයා උඩ බිම බලයි.ඌ මේ කතාවේ අගක් මුලක් දන්නෙ නැත.

තොගෙ ඔළුව පොඩිකරල මරනවා දැනගං, එනව මෙතන බොරු කතා හදන්න...

මොකක්ද ආරි අයියෙ කියන දෙයක් තේරෙන්න කියපංකො...

ඉඳපිය තොට මම තෝරන්න පොල්ලක් ගෙනත්...

ආරියා ගෙට ගියේ ජස්සයාට ගහන්නට දොර පොල්ල ගේන්නටය.ඒ අව් අස්සේ අපි ජස්සයාව ගෙයින් එළියට පිටත් කළෙමු.ආරියා පොල්ලත් අරං ඇවිත් අපටත් බණිමින් ජස්සයාව හොයන්නේ ඔලුව පොඩිකර මරාදමන්නටය. එතැන් සිට වැඩේ බාරගත්තේ වටද්දර රණයාය. ඌ මිනිස්සු බයිට් කිරීමේ විශේෂඥයෙකි.රණයා ඇවිත් ආරියාට යාප්පුවෙන් කතාකර පොල්ලත් විසිකර පැත්තකට එක්කරගෙන ගියේ ආරියාව සංසුන් කරන්නටය.උන් දෙන්නා පැත්තකටවී කතාකරමින් ඉන්න අතරේ අපි බොමින් සිංදු කිව්වෙමු.ආරියාට කතාකළ රණයා සියලුම වග විස්තර ප්‍රවේශමෙන් අහගත්තේය.ආරියා ඇයි හොඳයි කියන කාන්තාවගේ නම ගම මනුස්සයාගේ වගතුග ආදී සියලුම දේවල් ආරියාටත් නොදැනෙන්නට උගෙන්ම අසාගත් රණයා ආපහු ආරියාත් එක්ක අපි ඉන්න තැනට ආවේය.

 ඒ පරණ කතා ඔක්කොම ඉවරයි,ආරි අයිය ඒව නවත්තල දාල ගොඩක් කල්,දැන් ඔය කතා ආපහු අදින්න ඕනෑ නෑ...

ඔව් නේද  මාත් කිව්වෙ ඒක තමයි,මොනවටද ආයෙ හෝද හෝද මඩේ දානව වගේ සැරෙන්සැරේ ඇදල ගන්නෙ ඒ ප්‍රශ්නෙ මෙතනිං ඉවරකරමු...

ආරියා වීරයෙක් වගේ  පපුවත් පුම්බාගෙන බලා සිටින්නේ තව ටිකකින් වෙන්නට යන දේ ගැන හාංකවිසියක් වත් නොදැනය.පොල්ල හංගා ජස්සයාද ගේ ඇතුළට අරගත්තෙමු.ආරියා අපත් සමග බොන්නට වාඩිවුයේ සතුටු සිතිනි.ටිකක් වෙලා අනං මනං වල් පල් කතාකළ රණයා තව ටිකකින් ආරියාව ආපහු ට්‍රැක් එකට දමාගත්තේය.

කවුද බං ආරි අයියෙ මට එහෙම කෙනෙක් මතක් වෙන්නෙම නෑනෙ,උඹ ඔය කිව්වෙ එළුවපිටිය හරියෙද...

ඔව් ඔව් බං දැන් ඒවා මොකුත් නෑනෙ...

ඒක තමයි උඹ කෙරුවෙ  නුවණක්කාර වැඩක්,ඔය වැඩ කටයුතු දිග දුර ගෙනියන්නෙ කවුද නේද බං...

එහෙනං...

දැන් එහෙනං උඹ ඉස්තිරේටම වැඩේ නවත්තල තියෙන්නෙ නේද...

ඔව් බං ඕව මහ ලෙඩ වැටෙන වැඩනෙ...

ආරියා කතාකරන්නේ වටපිට බලමිනි.රණයා වීදුරුව හිස්කර හැඩේට සිගරැට් එකක්ද පත්තු කර ගත්තේ කටද  හදමිනි.

දැන් මට ටිකාක් වගේ ඔය හරිය මතක් වේගන එනව බං ආරි අයියෙ කිව්වට ප්‍රශ්නයක් නෑනෙ දැන් උඹෙත් පයුරු පාසානයක් නැතිකොට,ඔය මනුස්සය අර හංදියෙ ඔරලෝසු හදන කෙට්ටු පොර නේද...

ඔව් ඔව් බං ඌ තමා...

හරි හරි දැන් මතකයි...

රණයා හිනාවුනේ තහ් ගා කළවටද පහරක් ගසාගනිමිනි.ආරියා අන්දමන්ද වී බලාසිටී.

ඇයි බං මේ අර අපේ හංදියෙ ඔරලෝසු හදන විල්බට් අයියගෙ පවුල කාන්තිනෙ,මට මෙච්චර වෙලා ටිකක් කොයිල් වගේ තිබුනෙ දැන් හොඳට මතකයි,අපොයි කවුද කාන්තිව නොදන්නෙ...

බාගෙට ඇරී තිබුන ආරියාගේ කට තවත් ටිකක් ඇරුණේය.ඌ හොල්මං ද පොල්කොළ වී  බලාසිටින අතරේ රණයා නොනවත්වාම කියවයි.

උඹලට කියන්න කාන්ති ඒ පැත්තෙ කවුරු කවුරුත් එක්ක වගේ ගනුදෙනු කරන කෙනෙක් තමා, කිව්වහම මොකද මාත් ගිහිං තියෙනවා වරදක් නෑ, නේද බං ආරි අයියෙ...

රණයා කතාකරන්නේ ආරියා දෙස යටැසින් බලමිනි.මුවේ සිනාවක් එළියට පනින්නට තතනයි.ආරියාගේ මූණ විරූප විය.අතපය වෙව්ලයි.කොහොමත් රණයා යමක් කමක් පිළිවෙලක් ඇති කොල්ලෙක් නිසා ආරියා ඌට ගහන්නට යන්නේ නැත.ආරියා නැගිට්ටේය,ඌ ගොතගසයි ඇස්වල මොරගෙඩි මෙන් කඳුළු කැටය.නැගිට රණයාගේ අතින් අල්ලාගත් ආරියා...

වරෙන් යන්න...

කොහෙද බං...

වරෙන් යන්න ඒකිගෙන් අහන්න මේ දැන් යමං...

ඉතිං බං ඒකිත් එක්ක මොකුත් ගනුදෙනුවක් නෑ කියල උඹ මේ දැන් නොවැ කිව්වෙ..

ඒකට කමක් නෑ වරෙන් යන්න...

අපි බිම දිගාවී හිනාවෙන්නට වූයෙමු.හිනාවේ තදකමට මගේ ඉලඇට දෙකතුනක් කැඩේවී යයි බයකුත් ඇතිවිය.ඔය ප්‍රශ්නය ඇදී එනවිටම ජස්සයා එතැනින් මගඇර ගියේ ආරියාගෙන් ගුටිකන්නට බැරිකමටය. ආරියා දත්මිටිකමින් පිස්සෙකුසේ රණයාව ඇදගෙන යන්නට හදන්නේම හගිස්සවන්නටය.රණයාට ගාණක් නැත.ඌ හිනාවෙමින් කතාකරයි.

මේ රෑ ඔය ගෙවල්වල යන්න මට බෑ බං ඕන්නං හෙට උදේ යමු...

බෑ බෑ මේ දැන් යමං දැන්මම යමං...

උඹට ඕන්නං දැන් ගිහිං විල්බට්ගෙන් ගුටිකාල වරෙන් අනේ අම්මෝ මට නං බෑ...

ආරියා දඟලන්නේ උමතු වූ එකෙකු වගේය.උඹට ඕන්නං පලයං කියා ආරියාගේ අත අතඇරිය රණයා අපත් සමග එකතුවී හිනාවෙන්නට විය.ආරියා දැන් වෙසමුනියා මෙනි.ඔලුවට යක්ෂයා ආරුඪ වී ඇත.ඌට දුකය ඊට වඩා කේන්තිය.හිතේ තියෙන දුක කියා ගන්නට කෙනෙක් හෝ පිළිසරණක් වෙන්නට කෙනෙක් නැත.ඒ වෙනුවට ඔක්කොම ඌට සමච්චලයට හිනාවෙති. හදවතේ තට්ටු පිට තට්ටු ගොඩනැගී තිබු ආදරයේ සිහින මාළිගාව ඇස් ඉදිරිපිටම බිඳවැටී සුනුවිසුණු වන ආකාරය ඉවසාගත හැකිද? එතන තිබ්බ බෝතල්ද බයිට් පිඟන් ද පොළොවේ ගැසූ ආරියා බිත්තියේ ඔලුව ගහගන්නට විය.කට්ටිය ඉක්මනට ආරියාව අල්ලගෙන එළියට එක්කං ගියෝය.ආරියා ඇඳුම් ඉරාගනිමින් වැළපෙයි.අල්ලගත්ත අය ඌව පාර පැත්තට එක්කරගෙන ගියේ ඌ ටිකක් සංසුන් වෙනතුරුය. අපි ඉක්මනට ආපහු ඇවිත් හොයාබැලුවේ බෝතල් බිඳිලාද කියලාය.බාර් වසා ඇති ඒ මහ පාන්දර අන්තිම ෂොට් එක හරිම වටී.හදවත සත්කඩකට පැලීගිය කතානායක තෙමේ පාරේ වැළපෙද්දී අපි බොමින් සතුටු උනෙමු.

මම ඉස්සෙල්ලා මතක් කරපු කාරණා දෙකෙන් දෙවෙනි කාරණය නම් මේ දවස්වල ටී වී බලනවිට එක වැඩ සටහනක පැරණි ගීත ප්‍රචාරය වෙනු දුටුවෙමි.බොහෝ විට ඒ සිංදු වලට සංගීතය සපයන්නේ එකල ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සුපර් ස්ටාර්ස්ය.මට නම හරියටම ෂුවර් නැත ලිව්වේ මතකයෙන්ය.ඔය සංගීත කණ්ඩායමට අර්නස්ට් සොයිසා උපාලි කන්නන්ගර සරත් ද අල්විස් ආදී සංගීතඥයින් එකල එක්ව සිටියෝය.කණ්ඩායමේ නායක අර්නස්ට් සොයිසා හරියටම ආරියාගේ නිවුන් සහෝදරයා මෙනි.මුහුණද ඉත්තෑ කුරු කොණ්ඩයද උසද ඒ වගේමය ඇරපු අතක් නැත.ඔවුන් සංගීතය සපයන ගීත මම ඉතා ආසාවෙන් බලන්නේ ආරියා දෙස බලා ඉන්නවා වගේ  හිතෙන නිසාය.ඒ වෙලාවට මම බිරිඳටද කතා කරන්නේ මෙන්න ආරියා ඉන්නවා බලන්න එන්න කියලාය.ආරියා කළ තව වැඩක් කියා මම මේ කතාව නවත්වමි.

අපේ ගෙදර සාමාන්‍යයෙන් රෑට උයන්නේ නැත.පාන් හෝ වෙනත් මොකුත් කඩ කෑමක් ගෙනත් රෑට කන්නෙමු.බත්ම අවශ්‍ය අය දවල් ඉතුරුවී ඇති බත් කති.එක හැන්දෑවක මම ඉස්තෝප්පුවේ ඉඳගෙන ඈණුම් අරිමින් සිටිද්දී බිරිඳ ඇවිත් රෑට කන්නේ මොනවාදැයි ඇසුවාය.නාරංවත්තේ ආප්ප ආච්චිගෙ කඩෙන් ඉඳියාප්ප ගේන බව මම කිව්වෙමි.කඩේට යන්නට පාරට ආවත් යන්න විදියක් නැත.මෙහෙම ටිකක් වෙලා ගේ ඉස්සරහ හිටගෙන ඉන්නාවිට ආරියා උන්ගේ ගෙවල් පැත්තේ සිට ත්‍රීවීලය එළවාගෙන ආවේය(මෙකල රෙදිමෝල වසාදමා තිබුනු අතර සේවකයන්ට වන්දිගෙවා ඉවත් කරන ලදී.ඌට ලැබුන වන්දි මුදලෙන් කොටසක් යොදා ආරියා පරණ ත්‍රීවීල් එකක් මිලදී ගෙන තිබුණේය) මා දැක රථය නැවැත්වූ හොඳටම බීමත්ව සිටි ආරියා මා පාරට වී සිටින්නේ ඇයිදැයි ඇසුවිට කඩේට යන්නට ක්‍රමයක් නැතිව සිටිනවා යැයි කීවෙමි.යන්නට ගිය ගමන පැත්තක දැමු ආරියා මාවත් දාගෙන නාරංවත්තට යන්නට පිටත්විය.අපි ගියේ ගේ ඉස්සරහින් වැටී ඇති අලවත්ත පාරේය.වත්ත සම්පූර්ණයෙන්ම  කෑලි කඩා විකුණා තිබුන නමුත් වත්තේ ඈත කොණ හරියට වෙන්නට  ඒ වනවිටත් ජනාවාස වී නොතිබුණි.පාර දෙපැත්තද වල් වැහී තිබුන නිසා මිනී පිට්ටනිය හරියට වෙන්නට මළ පාළුය.

ඔන්න ඔය පාළුව ප්‍රයෝජනයට ගනිමින් පාර අයිනේ කැලෑ මැන්ඩිවලට ජෝඩු ජෝඩු හැන්දෑවට ත්‍රීවීල් වලිනුත් වෙනත් වෙනත් වාහන වලිනුත් එන බව මම අසා තිබුනෙමි.මගෙත් එක්ක යන ගමන්ද ආරියා මට කියමින් ගියේ ඔය කතාවමය.අපි කතා කරමින් ඉස්සරහටම ගියෙමු.මිනී පිට්ටනිය ලංව එනවිට අප ඉදිරියට එන්නේ ජෝඩුවකි.

ෂාහ් කියනකොටම ඔය එන්නෙ...

කියමින් මම වචනයක් කියන්නටත් කළින් ඔවුන් දෙන්නා ඉස්සරහම දඩස් ගා නැවැත්වූ ආරියා  වාහනයෙන් බැස්සේය.මම වාහනයට වී බලා සිටියෙමි.ඒ ජෝඩුව දවල් දවසේ කුලියක් මලියක් කර කීයක් හරි හොයාගෙන රෑට උයන්නට කළමනා මල්ලක්ද කඩෙන් අරගෙන ගෙදර යන වත්තේ පදිංචි යුවළක්  බව ඕනෑම කෙනෙකුට වැටහේ.කාන්තාවගේ අතේ තිබුන මල්ලෙන් වැටකොළු කරලක බාගයක්ද එළියට පැන තිබීම මගේ කල්පනාව තහවුරු කළේය.ඒත් කුණුවෙන්නට බීමත්ව ඉන්න ආරියාට ඒ වගක් නොතේරේ.අධික බීමත්කම නිසා කෙළින් කටින් ඉන්නට බැරි ඌ ගොතගසමින් කතාකරන්නේද  ත්‍රීවීල් එකට හේත්තු වීගෙනය.

මේ ඔයාල කොහෙද යන්නෙ...

අපි ගෙදර යනවා...

ඒ කිව්වට මට විස්වාස නෑ...

කතාව දිගින් දිගටම ඇදී යයි.මම එළියට නොබැසම අසා සිටියෙමි.මට ලැජ්ජාවක්ද බයක්ද දැනේ.ඒ මිනිහා පොල්ලක් කඩාගෙන ගැහුවා නං අපට දුවන්නට පාරත් ඉඩ මදිය.ආරියාගේ මෝඩ ප්‍රශ්න හමුවේ ජෝඩුව මුණෙන් මුණ බලා ගත්හ.

අපේ ගමේ මේ වගෙ සදාචාර විරෝධී දේවල් වෙනවට අපි කැමති නෑ...

අපේ ගම ගැන කියන ආරියා ඌව පළාතේ මයියංගනයේ සිට රෙදිමෝලේ රස්සාවට ඇවිත් අපේ ගමේ බින්න බැස්ස එකෙකි.මම වාහනයෙන් බැස ආරියාට ටිකක් තදින් කතාකළෙමි.

මේ ආරි උඹ යන්න ආපු ගමන යනවද නැත්නං මම බැහැල යන්නද...

ආරියා ත්‍රීවීල් එකට නැග්ගේ ඔයත් එක්ක මොකුත් කරන්න බෑනෙ කියා කටයටින් මට බැනවදිමිනි.ආප්ප ආච්චිගේ කඩේට ගිහිං ආපහු එනවිට නෑදෑ ගෙදරකට පණිවිඩයක් කියන්නට තියෙනවා යැයි කියා උවමනාවෙන්ම අලවත්ත පාර මගහැර ගමමැද පාරෙන් ආරියාව එක්කරගෙන ආවෙමි.

ජීවිතේ අවසාන කාලයේදී ආරියා ජීවත් වුනේ තනිකරම ඇල්කොහොල් වලිනි.බඩු ගෙදරම තිබ්බ නිසා සපයාගැනීමේ කිසිම අපහසුවක් නොවීය.වෙරි බහින්න බහින්න තව තව වක්කර ගනී.ඇල්කොහොල් නිසාම කැවුත්ත දියවී ඌ අකාලයේ මියැදුන පුවත මට දැනගන්නට ලැබුනේ වැඩ ඇරී ගෙදර එනවිටය.ආරංචිය ඇසු මගේ කකුල් දෙකද පණ නැතිවීගෙන යන්නා සේ දැනුණි. ආරියා අපාගතවී මේ මාසයට අවුරුදු දොළහක් සපිරේ. කොච්චර උනත් තව ටික කාලයක්වත් ආරියා ජීවත් උනා නම් හොඳයි කියා මට හිතෙන්නේ ඒ කාලය තුළ ඌ දෙන ආතල් තොගයෙන්ම මගේ බ්ලොගය පුරවන්නට හැකිවේයැයි ඇතිවෙන තරමක ආත්මාර්ථකාමී හැගීමක් නිසාවත්දෝ යැයි මට නොවැටහේ෴

Wednesday, August 5, 2015

අටමාගේ ප්‍රිය සාදය සහ ඩෝලයාගේ වගතුග.




අපේ ගෙදර පහුගිය මාසේ දවසක අටමා සංවිධානය කළ සාදයක් පැවැත්වුනි.එම සාදයට පැමිණෙන අමුත්තන්  මීට පෙර ගෙදරට පැමිණ නැති වැදගත් උදවිය බව අහල පහළ ගෑනුන්ට කී බිරිඳ ඔවුන්ටද කතා කරගෙන අමුත්තන්ට සලකන්නට අවශ්‍ය කළමනා ආදිය සම්පාදනය කළේ කිසි වැඩක් නොකරන බව කියා මටද බැනවදිමිනි.මම සුපුරුදු ලෙස අලස සුවය විඳිමින්ද දවල් හීන බලමින්ද පොත් කියවමින්ද බිරිඳට කාඩ් ගසමින්ද කාලය ගතකළෙමි.කෙසේ වුවද නියමිත දිනයේ පැමිණි වැදගත් අමුත්තන් බිරිඳ කීව ලෙසටම අපේ ගෙදර ඉහළින්ම තබන්නට වගබලා ගත්තෙමි.

සාදය රසගන්වන්නට හා කැමති කෙනෙකුට රස විඳින්නට පොඩියට සංගීතයක්ද තිබුණොත් හොඳ නේදැයි කියා මට කල්පනා විය.ඒත් එක්කම මගේ මතකයට ආවේ ඩෝලයාය.එවේලේම මම ඩෝලයාට කතාකළෙමි.මගේ අදහස උනේ ඩෝලයා ඩෝලය ගහනවිට සර්පිනාව ගහන්නට බෙරයා කතා කරගන්නටය.බෙරයා අපේ ගමේ බින්න බැස ඉන්න එකෙකි.ඩෝලයාට කතාකරන විටම බිරිඳ කීවේ බෙරයා නං ගේ පැත්ත පළාතකට  ගෙන්නාගන්නට එපා කියාය.ඊටද හේතුවක් ඇත දවසක් බෙරයා අපේ ගෙදර පැවැත්වුන පැදුරකට සර්පිනා වාදනය කර අවසානයේ හොඳටම බීමත්ව කුස්සියේ ෆ්‍රිජ් එක ඇර ඇතුළේ තිබුනු ග්‍රේප්ස් ටික අරගෙන යන්නට ගියේය.එදා සිට බිරිඳට බෙරයා පෙන්නන්නට බැරිය.ඒ වෛරය තාම පවතී.මම ඩෝලයාට කතාකර කිව්වේ සෙනසුරාදා අපේ ගෙදර පොඩි වැඩක් තියෙන නිසා එයට පැමිණෙන ලෙසත් සර්පිනාව ගහන්නටද කෙනෙක් හොයාගන්නට පුළුවන් වුනොත් හරිම ඉහළ බවත්ය.උගේ කුඹුරේ උඳු කපා වේලෙන්නට දමා තිබුනත් සර්පිනාව ගහන්නත් කෙනෙක් අල්ලාගෙන සෙනසුරාදා නොවැරදීම එන බවට ඩෝලයා මට පොරොන්දු විය.මොන හදිස්සි වැඩක් තිබ්බත් මම එන්න කියපු සැණින් ඩෝලයා එන බව මම දැන සිටියෙමි.

මන්දයත් ඩෝලයා යනු අප විසින් නිෂ්පාදනය කරන ලද චරිතයක් බැවිනි.ඩෝලයා තරමක් වන්නි පැත්තට වෙන්නට ඇති දුෂ්කර නියම්ගමක කර්කශ ජීවිතයක් ගතකරමින් සිටි කොල්ලෙකි.සංගීතය විශේෂයෙන්ම තාල වාදනය කුඩා කළ සිටම උගේ ඇඟේ තිබිණි.කෝච්චියට නැගී ඩෝලය ගසමින් සිංදු කියා ඌ තම වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.කෝච්චියේ සිංදු කියන අනික් උන්ට වඩා වෙනස් ගායකයෙක් වූ ඩෝලයා ඉතා ප්‍රබුද්ධ ගීතයන් මනා සංයමයකින් යුතුව ගායනා කළ බැවින් මගීන් අතර ඌ ඉතා ජනප්‍රිය චරිතයක් විය.වෙන උන් එනවිට මෙන් නොව පෙට්ටියට ඩෝලයා ගොඩවන විට මගීහු කවුරුත් සතුටු වුයේ ඩෝලයාගේ තාල ඥාණය හා සුගායනය එතරම් හොඳින් ඔවුන්ගේ සිත් පැහැරගෙන තිබු නිසාය.ඩෝලයාව රසවිඳි එවකට කෝච්චියේ ගම්පහ ක්ලාස් යන එකෙක්වූ අපේ මල්ලී සහ උගේ මිතුරු පිරිස ඩෝලයා ගෙවන දුෂ්කර ජීවිතය ගැන විස්තර අසා කම්පාවී ඌව අපේ ගමට එක්කරගෙන ඇවිත් යාලුවෙකුගේ ගෙදර කාමරයක නවත්වා උගේ රස්සාව කරගන්නට පහසු කළෝය.ඔන්න ඔය ආකාරයට ඩෝලයා අපේ ගමේ පදිංචි කරුවෙකු වූයේය. 

අපේ ගමේ ඇති පෑදී සිහිල් නිල් දිය පිරි ඇළ දොළ ළිං වල ජලය එතෙක් කල් වැව් දියෙන් නහමින් සිටි ඩෝලයාට ඖෂධයක් විය.අපේ ගමේ වෙල් එළිය පිසගෙන හමන මඳ පවන ඩෝලයාගේ ගතට බෙහෙවින් සුවදායක විය.ගමේ ගස්වැල් සහ සුන්දර බැදී කැලෑ කුට්ටි  ඩෝලයාගේ නෙතට රසාංජනයක්ම විය.ඩෝලයා අපේව ගමටද ගමේ ජීවත්වුන අපටද බෙහෙවින් ඇලුම් කළේය.ගමට පැමිණිදා සිටම ඩෝලයා ගේ වෘත්තීය ජීවිතයේ ශීඝ්‍ර වර්ධනයක් අප විසින් දක්නා ලදී.කාලය ගතවී අතට මුදල් ටිකක් ලැබෙනවිට එවකට ආධුනික ගායකයන්ට තිබුන පිස්සුවක් වූ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීම ඩෝලයා  ගේ ඔලුවටද ගැසුවේය.උගේ ආසාව නිසා අපේ ගමේ කොල්ලන් එකතුවී රෙදි මෝලේ රඟහල වෙන්කරවාගෙන ප්‍රසංගය සංවිධානය කරදීමෙන් නොනැවතී ප්‍රසංගය දිනයේ ගමේ ඔක්කොම අඬගසාගෙන බලන්නටද ගියෙමු.මේ කාලය වනවිට ඌට තව සගයෙක්ද එක්වී සිටියේය.සුනිල් නම්වූ ඌද පාරෙන් අහුලා ගෙනැවිත් දමා තිබු එකෙකි.සුනිල් සර්පිනා කීබෝඩ් සහ ඒ වර්ගයේ වෙනත් වාද්‍ය භාණ්ඩ ඉතා මිහිරට වාදනය කළේය.ශ්‍රැතිය රැකගෙන නිවැරදි ස්වරස්ථානවල පිහිටා මේ දෙදෙන ගයන වයන අන්දම අපි වශීවුවාක් මෙන් බලා සිටියෙමු.කොටින්ම උන් දෙන්නාගේ එකතුව කිරි මුහුදට සඳ පෑව්වාක් මෙන් සුන්දර විය.

අපේ ගමේ සහ අවටපිට ගම්වල තිබුන සංගීතවල මේ දෙදෙනා නොවැරදීම දක්නට ලැබෙන චරිත දෙකක් විය.කෙසේ වුවද වෘත්තීය ජීවිතයේ මේ දෙන්නාගේ එකමුතුව වැඩිකල් පැවතුනේ නැත.එකට ගීතගයා ලැබෙන මුදල දෙකට බෙදා ගන්නවාට වඩා තනිවම හම්බකරන්නට හැකි බව කියූ ඔවුහු වෙනම සිංදු කියන්නට වුහ.වෙනම රස්සාව කළත් ගමේ වැඩකදී එකතුවී ගීත ගැයුහ.මෙසේ සතුටින් කාලය ගෙවී ගියේය.ඔන්න ඔහොම තිබියදී ඩෝලයා කාමරයට ගෑනියෙක් උස්සාගෙන ආව දවසේ ගමේ ඔක්කොම කතාකළේ ඒ ගැනය.ඩෝලයා ගෑනි ගෙනත් තිබුණේ නිකම්ම නොව දෑවැද්දකුත් එක්කමය.දෑවැද්ද වුයේ මාස හතක අටක ලොකු බඩකි.මාද ඇතුළු සියලු දෙනා මේ කරපු වැඩේ ගැන ඩෝලයාට දොස් කිව්වත් බඩේ අයිතිකාරයා ඌ යැයි ඩෝලයා පරසක්වළ ගැසුවේය.දරුවා උගේ බැවින් අහක බලන්නට බැරිවූ බව ඩෝලයා වැඩිදුරටත් කීවේය.මූට අවවාද කර වැඩක් නැති බැවින් අපි සද්ද වහගෙන සිටියෙමු.මම දවසක් උදේ වැඩට යද්දී මේ ජෝඩුව ක්ලිනික් යනවා මට මුණගැහුනි.අනුන්ගේ බඩකුත් එක්ක දුක්විඳින ඩෝලයා ගැන මට ඇතිවුනේ මහත් කණගාටුවකි.ඩෝලයා කොච්චර කීවත් බඩේ ඉන්න දරුවාගේ පියා කවුදැයි ඩෝලයා තබා ඒ කාන්තාවවත් හරියටම නොදන්නවා ඇතැයි මට එවෙලේ සිතුනි.කෙසේවුවද මේ දීගය හරියන මඟුලක් නොවෙන බව වටහාගත් ඒ ඥාණවන්ත කාන්තාව ඊට සතියකට පමණ පසු පැදුරටත් නොකියා අතුරුදහන් වුවාය.

විවාහ වීමත් රාජකාරි කටයුතු වැඩිවීමත් ගෙදර දොර කටයුතු ගැන වැඩි අවධානයක් යොමුකරන්නට වීමත් හේතුවෙන් මට ටිකින් ටික ඩෝලයාව මග ඇරුණි.පස්සෙන් පහු විප්‍රවාසගතවීමට සිදුවීම හේතුවෙන් මේ තත්වය වඩාත් වැඩිවිය.ඉඳහිට හෝ ඩෝලයා හමුවුනේ ගමේ මඟුලකට මරණයකට ඌ ආපු වෙලාවකය.මෙවර මට ඌ හමුවුනේ අවුරුදු විස්සකට විතර පසුවය.කම්මලත් නලිනුත් ඩෝලයාව හොඳට දන්නේ කෝච්චියේ දැක පුරුදු බැවිනි.කලින් හොඳට ඇවිද්ද ඩෝලයා කකුලේ ආබාධයක් නිසා දැන් ඇවිදින්නේ තරමක කොරයක්ද සහිතවය.උගෙන් ගෙදර විස්තර ඇසුවිට දැන් දරුවන් හතරදෙනෙක් ඉන්න බවත් බාලම දරුවාගේ වයස මාස හතරක් බවත් කීවේය.කකුල් දෙක අප්සෙට් උනත් තුන්වෙනි කකුල හොඳට වැඩකරන බව පෙනෙන්නට තිබේ යැයි මම ඌට කීවෙමි.

පොරොන්දුවූ ආකාරයටම සෙනසුරාදා උදේ ඩෝලයා අපේ ගෙදරට ආවේ ඩෝලය ද සමගය.ඌ සමග එන්නට පොරොන්දු වූ සර්පිනා වාදකයාට හදිසි වැඩක් නිසා එන්නට බැරිවී ඇත.එහෙත් පසුබට නොවූ ඩෝලයා හතර අතට කතාකර අලව්වෙන් එකෙක් අල්ලා ගත්තේය.ඔහු අති දක්ෂ සර්පිනා කරුවෙකු නොවුනත් අපේ වැඩේ ගොඩදාගන්නට සමර්ථයෙක් විය.කොහොමටත් සිංදු කියන්නට ගිය අපේ උන්ට වඩා දක්ෂ ලෙස සිංදු කීවේ උන් දෙන්නාය.වැඩේ ඉවරවන විට රෑ බෝවූ බැවින් ඒ රාත්‍රියේ ගමට යන්නට නොහැකි ඩෝලයා බෝතලයක්ද ගසා අපේ ගෙදර නැවතුනේය.

පහුවදා දවල්වී ඇහැරුණ අපි උදේ කෑමෙන් පසු කතා කරමින් සිටියෙමු.කතාව මෙහෙමය, පටන්ගත්තේ ඩෝලයාය.

ගමේ අවටපිට රවුමක් ගහල යාළුවො ටික බලල එන්නත් හිතයි,එක්කොත් ඕනෑ නෑ අන්තිමේ ඔවුන් ඇණයක් උනොත් එහෙම...

කරන්ඩ වැඩකුත් නැති එකේ රවුමක් ඇවිදලා ආවට මක්වෙනවද?පරණ යාළුවො බලලා එහෙම,දවල්ට කන වෙලාවට ආවම ඇති ...

මගෙන් වචනය පිටවූ සැණින් ගේට්ටුවෙන් එළියට බැසගත් ඩෝලයා අතුරුදහන් විය.පැය දෙක තුනකට පසු ඌ ආපහු ආවේ ඩෝලය ගෙනියන්නටය.ඩෝලය මොකටදැයි ඇසුවිට ඌ කීවේ තමන් ආ නිසා සතුටට පත් යාළුවන් පිරිස බෝතල් ගෙනත් සාජ්ජ දමන්නට ලෑස්තිවෙන බවත් සිංදු කියන්නට ඩෝලය ගෙනියන්නට ආ බවත්ය.මම ටිකක් හරහට කතා කළෙමි.

මම උඹව ගෙන්නගත්තේ මගේ වැඩේ කරවගන්න,බේබද්දා  වගේ බිබී තැන තැන සිංදු කියන්න යවන්න නෙවෙයි.ඔය දැන් උඹ ගමට ආපු නිසා  උඩ තියාගෙන දඟලන කී දෙනෙක් අඩු තරමෙන් දුක සැප අහන්න උඹට කෝල් එකක් වත් දෙනවද?

පසුබා ගිය ඩෝලයා මා දෙස බලාසිටී.

ඒ හින්ද සිංදු කිවිල්ල පැත්තක තියල ගිහිං නාගෙන වරෙන්...

ඩෝලයා නිහඬව බිම බලාගෙන සිටී.මට මු ගැන දුක හිතුනි.

එහෙනං ගිහිං ටික වෙලාවක් සෙල්ලං කරල වරෙංකො,හැබැයි රෑ වෙනකං ඉන්න ලෑස්තිවෙන්න එපා හරිද...

නෑ නෑ මම වැඩිවෙලා ඉන්නෙ නෑ ඉක්මනට එන්නං...

සතුටට පත් ඩෝලයා ඩෝලය ද කරගහගෙන පිටත්වී ගියේය.එදා හවස මට මිතුරු සමාගමක්ද රෑ කැමක්ද වූ බැවින් මම ඒ සඳහා පිටත්වුනෙමි.ආපහු ගෙදර ආවේ හඳද බැස යන වේලාවේය.හොඳටම බීමත්ව රාත්‍රියේ ගෙදර ආ ඩෝලයා ගෙදර හිටපු අය වෙනුවෙනුත් සිංදු කියා රෑට කෑමත් නොකා  නිදාගත් බව මට දැනගන්නට ලැබුණි.පහුවදා උදේ ඌ ගෙදර යන්නට සුදානම් වූ විට මමද ටවුමට ගොස් ඩෝලයාව ඉස්ටේසමට ඇරලුවේ මු ගෙදර යාවිද වෙන අතක යාවිද යැයි සැක හිතුන නිසාය.ඩෝලයා ටිකට් ගෙන ඉස්ටේසම ඇතුළට ගිය පසු මම ටවුමේ රවුමක්ද ගසා ගෙදර යන්නට ත්‍රීවීල් පොළට යනවිට මු  එතැනය.විස්තර අහනවිට ඩෝලයා කීවේ ඌ ඉස්ටේසමට යනවා දුටු ත්‍රීවිල් පොලේ එකෙක් අනික් පැත්තෙන් ඇවිත් අඬගහගෙන ආ බවය.උඹ ඕනෑ මඟුලක් කරගනිං කියූ මම ගෙදර ගියෙමි.ඊට දවස් දෙකකට පසු මම ඩෝලයා ට කතාකළේ ඌ ගෙදර ගියාදැයි දැනගන්නටය.ඩෝලයා කතා කළේ සතුටිනි.ගෙදර ආවෙ අද බව කී ඩෝලයා උඳු ටික ගණනකට විකුනාගත් බවත් ආපහු එනවිට කුඹල්ඔලුවේ තැනකට ගොස් අලුත් ඩෝලයක් හදන්නට ඕඩරයක් දී ආ බවත් ඩෝලයා  වැඩිදුරටත් කීවේය෴