Tuesday, August 11, 2015

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 7- ඊලාම් දේශයේ නැගිටීම සහ චන්දරේගේ පෙම්හසුන


මෙතෙක් කතාව
එදා දවසේ වාසනාව අප සමග සිනාසුනු නිසාදෝ කිසිම අකරතැබ්බයක් නොමැතිව ඇති පමණට පිංතුරද රැගෙන පණපිටින් රැස්වීමෙන් එළියට එන්නට අප දෙදෙනාට හැකිවිය.ලද ජයග්‍රහණය නිසා  දෙන්නාම හිටියේ සතුටු සිතිනි. ගෙදර ගිහිං යමක් පානය කරමින්  ගත්ත පිංතුර සී ඩී එකකට දාගමු කියූ මගේ  බෙල්ජියන් මිත්‍රයා මට ඔහුගේ ගෙදර යන්නට කතා කළේය.මම පැනලා කැමති උනෙමි.අපි දෙන්නාම ඔහුගේ ගෙදර ගියෙමු.ගිහිං පිංතුර ටික පිළිවෙල කරමින් ඉන්න අතරේ ඉතාම සුන්දර තරුණ කාන්තාවක් ඇවිත් රෙඩ් වයින් බෝතලයක්ද මොනවා හෝ කටගැස්මක්ද ගෙනත් අපේ මේසය උඩ තබා වීදුරු ගෙනෙන්නට  ගියාය.

ඒ මගේ බිරිඳ  අපි දික්කසාද වෙන්න නඩු දාල තියෙන්නෙ...

මගේ මිත්‍රයා ඉතා සැහැල්ලුවෙන් කියයි.මෙහෙම දෙයක් කවදාවත් දැක නොතිබූ මගේ කටද බාගෙට ඇරුණි.වීදුරු තුනක්ද රැගෙන ආපසු පැමිණි මිත්‍රයාගේ බිරිඳ අපට වයින් වක්කරදී තමන්ද වයින් ස්වල්පයක් වීදුරුවට දමාගෙන තොලගාන්නට වූයේ අප සමග කතා කරමිනි.මට මිත්‍රයාගෙන් අහන්නට දාහක් ප්‍රශ්න ඔලුවට ආවත් ඒ දෙන්නාගේ පුද්ගලික වගතුග අහන එක නොගැලපෙන නිසාත් මට එහෙම අහන පුරුද්දක් නොතිබුන නිසාත් මිත්‍රයා කී කරුණු ස්වල්පයෙන් සෑහීමකට පත්වෙන්නට සිදුවිය.ඔහු මට කීවේ සිතාසි ලැබෙන තුරු බිරිඳ ගෙදර ඉන්න බවත් ඉන්පසු ඇය ගෙදරින් පිටත්වන බවත්ය.මට කල්පනා උනේ අපේ රටේ නං දික්කසාද වෙන්නට නියමිත ජෝඩු එකගෙදර ඉන්නවා තබා නයි පොළොංගු මෙන් මුණ බලන්නේවත් නැති බවය.නමුත් මේ යුවළ සාමාන්‍ය  ලෙස කල් ගෙවති.තරුණ බිරිඳ ටිකකින් අපෙන් සමුගත්තේ බඩු ගෙනෙන්නට මාකට් එකට යන්නට තියෙනවා යැයි කියමිනි.අහන්නට මගේ හිතේ පොපියමින් තිබු එහෙත් මා නොඇසු ප්‍රශ්නය වුයේ එක ගෙදර ඉන්න එක හැලියේ  කනබොන ඔවුන් දෙදෙනා යහන්ගත වන්නේත් එකටද කියාය.බොහෝවිට එය එසේ වන්නට ඇතැයි මම සිතමි.

පුද්ගලිකත්වය හාරා ඇවිස්සීමේ පුරුද්දක් මට තිබුනා නම් බොහෝ විස්තර දැනගන්නට තිබුණේයැයි මට පසුව කල්පනා විය.එහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.මේ මෑතකදී ඒ කියන්නෙ මම ලංකාවට යන්නට පෙර හිතවත් පවුල් කීපයක් සමග විනෝද ගමනකට සහභාගී උනෙමි.ගමන ගිය එක්කෙනෙක් තනියම ඇවිත් හිටියේ ඔහුගේ බිරිඳ ලංකාවට ගිහිං හිටපු නිසාය.මට යන්නට සිදුවූයේද ඔහුගේ වාහනයේය.අපි සාමාන්‍ය සතුටු සාමීචියේ යෙදෙමින් ගමන් කළෙමු.ටිකකින් මූ මගේ විස්තර අහන්නට පටන් ගත්තේය.මගේද බිරිඳගේද දරුවාගේද මතු නොව හත්මුතු පරම්පරාවේම විස්තර අහන්නට පටන් ගත්තේ කිසිම හිරිකිතයක් නැතුවය.මේ වැඩේ මම අප්‍රියම කරන දෙයක් නිසා උඩින් මත්තෙන් උත්තර දී ගැලවෙන්නට බලන විට මු නැවතත් හාරා අවුස්සමින් එයම අහන්නේ කිසිම පිළිකුලක් නොමැතිවය.ගමන ගිහිං ආපහු එනතුරු මම හිටියේ දැඩි අපහසුවකිනි.ආපහු පැමිණි මම මගේ හිතවත් යුවළට කිව්වේ ඌ මගෙන් නොඇසුවේ අපේ ආච්චිගෙ හොර මිනිහගේ නම පමණක් බවය.ආයෙම කිසි දවසක ඌත් සමග ගමන් යන්නට මට කතාකරන්නට එපා යැයි මම වැඩිදුරටත් කීවෙමි.

ඉතිං මම ඔය කිව්වේ බටහිර රටවල හැටිය.ඒ කාලයේ බටහිර රටවල් ගැන කිසිම අත්දැකීමක් නොතිබූ නිසාවෙන් ඒ ගැන ටෂ්ට පැහැදිලි කරන්නට මට දැනුමක් නොවීය.ටෂ් හදන්නේම මාව ගෙට කොටුකර තියාගන්නටය.වැඩට ගිහිං ගෙදර එනවා ඇරෙන්නට වෙන ගමනක් යනවාට කැමතිම නැත.බෙන් එකේ වැඩවලට එකතුවෙනවාට කොහෙත්ම කැමති නැත.නිළියන් සැරෙන් සැරේ බෙන් ෆිල්ම්ස් එකට එනවිට ටෂ්ගේ මුහුණ කරත්තයට අහුවුන කජු ලෙල්ලක් වගේ වෙයි.පසුව ඒ අය සම්බන්ධකර එක එක කතා කියයි.මෙතෙක් කල් නිදහසේ කුරුල්ලෙක් මෙන් ගතකළ මගේ ජීවිතයට කොහෙදවත් නැති හාල් කෑල්ලකට  කියා  තහංචි දමාගැනීම මට වස ලැජ්ජාවක් විය.ටෂ් මොන තරම් විරුද්ධ උනත් මට කරන්න අවශ්‍ය දේවල් කළෙමි.යන්නට අවශ්‍ය ගමන් ගියෙමි.අපේ ඉතා කෙටි ඇසුර බෙහෙවින් අර්බුදකාරී තත්වයකට පත්වන්නට වුයේ මේ නොගැලපීම් නිසාය.

එක සති අන්තයක මම බෙන් එකටවී කම්මැලිකමින් තනියම හිටියේ අනික් අය සියලු දෙනාම සඳලංකාවේ ෂූටිං ගොස් තිබුනු නිසාය.ටිකකින් ගේ ඉස්සරහ වාහනය නතරකළ චන්දරයා ආවේ උරුවම් බාමින් යතුරද කරකවමිනි.

හා...ලොකු මහත්තය කම්මැලියි නේද, යමුද සඳලංකාව පැත්තෙ රවුමක් ගහල එන්න...

දෙසැරයක් කියනතුරු ඉන්නට අවශ්‍ය නැත.වහාම ඇඳ පැළඳගෙන චන්දරයාත් සමග පිටත් උනෙමි.මීගමු පාරෙන් හැරී සඳලංකාවට යන්නට පටන්ගත් මොහොතේ සිට වාහනය පුරා රැව් දුන්නේ චන්දරයා කියූ කවි ගීත හා බයිලා රසයයි. චන්දරේ යනු සැබෑම විනෝදකාමියෙකි.සඳලංකාවට කිට්ටු වෙනවිට පාර දෙපැත්තේම රාද තෙලිජ්ජද පැණිද හකුරුද නොඅඩුව තිබේ.ඒ සමගම රා වලින් පෙරූ සුදුවාද ඕනෑ පදම්ය.චන්දරේ තැන් දෙක තුනක නැවැත්තුවේ උවමනාවකටම නොව ඌ ඒ ගෙවල්වල අය හොඳට දන්න කියන බව මට පෙන්නන්ටත් මාව ඒ අයට පෙන්නන්ටත් උවමනාව තිබුන නිසා බව මට තේරුණේය.කොහොම උනත් චන්දරේත් ඒ ගෙවල්වල අයත් නම කියා කතාකරගන්නට තරං ඉතා හොඳින් දන්නා කරන අය බව මම දුටුවෙමි.පුදුමයක් නැත ඒ චන්දරේගේ හැටිය.අපි දෙන්නා රා කටු දෙකතුනක්  සප්පායම් වී එතැනින් පිටත් උනෙමු.හොඳ පැණිත් තියෙනවායි කිව්වත් පැණි ගෙනිහින් මොනවා කරන්නටද?ටෂ්ගේ තාත්තාට දෙන්නට රා වලින් පෙරුව සුදුවා බෝතලයක් ආපහු යන ගමන් අරන් යන්නට හැකිය.

සාමාන්‍යයෙන් සති අන්තයේ මම දර්ශන තලයට ගියවිට එතෙක් කල් හිරවී ඉන්න විනෝද් වැඩ ටික මට බාරදී කොළඹ එන්නේ සතියකින් නොදුටු ආදරණීය බිරිඳද දරුවාද දැක බලාගන්නටය.එතෙක් කල් සිද්ද උනේ එහෙම වුනත් එක සති අන්තයක විනෝද් ගෙදර යනවාට බෙනට් කැමති උනේ නැත.ඒ සති අන්තයේ වැඩ ගොඩක් යෙදී තිබුන බැවිනි.

මල්ලි උඹල දෙන්නම ඉඳිල්ලා...

කියා බෙනට් කීවෙන් විනෝද්ට නවතින්නට සිදුවිය.විනෝද්ගේ බිරිඳ තිළිණි ඌ එනතුරු මගබලා ඉන්නා නිසා නොඑන බවද දැන්විය යුතුය.විනෝද් තිළිණිට ලියුමක් ලිව්වේ චන්දරයා අතේ පිටත් කරන්නටය.මතක් වුන ගමන් කෝල් ගන්නට දැන් මෙන් ජංගම දුරබනු නොමැති ඒ කාලයේ ඔවැනි පණිවිඩ දැන්වූයේ ලිපිවලිනි.විනෝද් ලිපිය ලීවේ ඉතා පරිස්සමිනි.සතියක් බලා සිටියත් විනෝද් ගෙදර නොඑන බව දැනගන්නා තිළිණිට දුකක් මෙන්ම තරමක කේන්තියක්ද ඇතිවීම සාධාරණය.මේ බව හොඳින් දන්නා විනෝද් ආදරබර වචන වලින් පිරුණු  පැණි බේරෙන ලිපියක් ලීවේ තිළිණිව ෂේප් කරගන්නටය.මගේ රත්තරං කෙල්ල බලන්නට මේ සතියේ එන්නට බැරිවුනත් ඊළඟ සතියේ මම ඉගිළිලා හෝ ඔයාගේ තුරුලට එනවා යැයි කියා විනෝද් ලියුම අවසන්කළේය.ආපහු කොළඹ එන්නට සැරසෙන චන්දරයාගේ අතට  විනෝද් විසින් ලිපිය ලබා දෙන ලදී.ලිපිය අතට ගත් චන්දරයා එය උඩ සාක්කුවේ දමා ගත්තේය.කරදරයක් නැතුව කොළඹට සැපත් උනත් චන්දරයාට ලිපිය ගැන හාංකවිසියක් මතකයට ආවේ නැත.විනෝද්ලාගේ ගෙදර යනවා වෙනුවට ඌ කෙලින්ම ගෙදර ගියේය.

ගෙට ගොස් කමිසය ගලවා පුටු ඇන්දක් උඩ දැමු චන්දරේ ඉස්තෝප්පුවට ගොස් හාන්සි පුටුවේ වැතිරුණේ දාහය සහ වෙහෙස නිවා ගන්නට පපුවට පවන් ගසා ගනිමිනි.

ඔයාට තේ කෝප්පයක් හදල දෙන්ඩද...

කියා පවුල  ඇසූවිට චන්දරයා ඇල්වතුර වීදුරුවක් ඉල්ලාගෙන බීවේ මේ වෙලාවෙ තේ බිව්වොත් දාඩිය තව වැඩිවෙනවා කියමිනි.හිස් වීදුරුව රැගෙන ගෙතුළට යන පවුල  පුටු ඇන්ද උඩ දමා තිබු කමිසයද රැගෙන ගියේ ළිඳ ලඟට ගොස් සෝදා දමන්නටය.වෙල්යාය පැත්තෙන් හමා එන සීතල සුළං රැළි ගත දැවටෙන චන්දරයාගේ ඇස් දෙක කෙමෙන් නිදිබර වන්නට විය.නිදිකිරමින් සිටි චන්දරයා එකවරම උඩගොස් ඇහැරුණේ පවුලගේ ගෝරනාඩුවටය.චන්දරයා ඉදිරිපිට ඉන්නේ මෙතෙක් වෙලා සිටි පවුල  නොවේ.මුහුණ විරූපී වී ඇත.ඇස්වල කඳුළුය,තුන්කාන්සෙන් දහඩිය ගලයි.යකින්නක් මෙනි.මොහොතකින් සිහි එළවා ගත් චන්දරේ ඇස් පිසදමා බැලුවේ මේ මොන ගිණි විච්චුම්බරයක්ද කියාය.

ඛවුධ ථිලිනි කියන්නෙ...

පවුලගේ හඬ තර්ජනාත්මකය.කරුමෙට තිලිනියෙක් ගැන චන්දරයාට හෝදිසියක් නැත.තිළිණි තියා සිද්දවෙන්නේ මොකක්ද කියාවත් දන්නේ නැති චන්දරේ ඔල්මොරොන්දම්වී බලාසිටී.

ෂූටිං ෂූටිං කිය කියා  ගෑනුත් වාහනේ පටෝගන රෑ දවල් නැතුව රවුං ගහනකොට මෙහෙම වෙයි කියල මම හිතුවා.මනුස්සයින්ඩ විළි ලැජ්ජාවක් කියල එකක් තියෙන්ඩ ඕනැ අඩු තරමින් වයසට ගිහිං මේ ළමයි ලොකුවෙනකොටවත්.යකෝ මෙච්චර කල් නැතුව නාකි වෙලානෙ ලියුං ගනුදෙනු කරන්ඩ හදන්නෙ අනේ අම්මාපල්ල.

පවුලගේ අතේ ලියුමකි.ඇය ලියුම චන්දරයා දෙසට දික්කරමින් නොනවත්වා බැන වදී.චන්දරේට දැන් දැන් කාරණාව ටික ටික පැහැදිලි වේගන එයි.ගෙදරට දෙන්න කියා ලියුමක් විනෝද් දුන්න බවත් තමන්ට ඒ ලියුම දෙන්නට යන්නට අමතක වූ වගත් මතකයට එනවිට සිද්දවී ඇති දේ ගැන හිතා ගන්නට හැකිවිය.සිදුවී ඇත්තේ වස වැරැද්දකි.එක අතකින් විනෝද්ගේ ගෙදරට ලියුම දෙන්නට බැරිවීමය.අනික් අතින් පවුල වැරදි වැටහීමක් ඇතිකරගැනීමය.වෙච්ච දේට දැන් කරන්නට දෙයක් නැත.එන විදියකට මුහුණ දිය යුතුය.පවුල තවමත් නොනවත්වා කට කියවයි.

ඉගිල්ලිලා තුරුළට යන්න,හුහ්..අනේ මගෙ කට,යනවකො බලන්න ඉගිල්ලිලා, කකුල් දෙක කඩල ගෙට දාල ළමයිනුත් අරං මම යන්ඩ යනවා. ඔය තේඋඩිච්චියො ඇවිත් බේත් කරන්නෙ නැතැයි අනේ මෙහෙම විළි සංගෙ නැති මිනිහෙක් එක්ක මටත් එන්ඩ උනානෙ...

ඔය අර විනෝද්ගෙ...

කතා කරන්ඩ එපා, දැන් ඒවි අරයගෙයි මෙයාගෙයි කියාගෙන, හොර ලියුං ලියල තව සුදනා වෙන්නත් එනව...

එදා රෑ චන්දරයගේ කුස්සියේ ලිප පත්තු වුනේ නැති බැවින් දරුවන්ට පාන් ගෙනත් කන්නට දී ජෝඩුව කෑමක් නැතිවම නිදාගත්තෝය. පහුවදා විස්තරය කියා චන්දරේ අපට පණිවිඩයක් එව්වේය.තවත් දවසක චන්දරේ බෙන් එකට ආවේ අපට කතාව කියන්නටය.චන්දරයා කතාව කිව්වා නොව කතාව එහෙම පිටින් පනපොවා රඟපෑවේය.රස්සාවට නළුකම තෝරාගත්තානම් මු මොන තරම් හොඳ නළුවෙක් වේවිදැයි මම කල්පනා කළෙමි.

ඊළඟ සති අන්තයේ විනෝද් සහ තිළිණි යුවළද දේශා සහ මමද මාදිවෙල චන්දරේගේ ගෙදර ගියේ චන්දරයා ගේ ප්‍රශ්නය නිරාකරණය කර දෙන්නටත් ඌව නිවාස අඩස්සියෙන් ගලවා ගන්නටත්ය.චන්දරේ යුවළ අපව ආදරයෙන් පිළිගත්තෝය.චන්දරේගේ පවුලගේ වැරදි අවබෝධය නැතිකරන්නට අපට ගතවුනේ විනාඩි කීපයකි. පවුල අපිත් එක්ක කිව්වේ චන්දරේ රත්තරං මිනිහෙක් බවය. තමන්ට චන්දරේව බෙහෙවින් විශ්වාස බව කියූ ඇය ලියුම දැක ටිකක් කේන්ති ගිය නිසා කෑගැසුවා හැරෙන්නට ඌ ගැන අහිතක් ඇගේ තුං හිතකවත් නැති බව වැඩිදුරටත් අපට කීවාය.ගෙදරට ආපු අමුත්තන්ට දවල් කෑම පිළියෙළ කොට දෙන්නට මේ දෙන්නා ලහි ලහියේ සුදානම් වුහ.කජු කපා මස් උයා චන්දරේගේ පවුල දවල් කෑම හදද්දී චන්දරයා මුරිසි අන්නාසි ගෙඩි දෙකක් උස්සගෙන ආවේ අතුරුපසටය.කරපු උදව්වට අන්නාසි මදි බවත් බෝතලයක් අවශ්‍ය බවත් කීවේ විනෝද්ය. එසැනින් ගෙයින් පිටත් වූ චන්දරේ බෝතලයක්ද ගෙනත් අපට බොන්නට තිබ්බේය.බෝතලයද බී රසවත් දවල් ආහාරයකින්ද සප්පායම් වූ අපි හවස්වී චන්දරේගේ ගෙදරින් පිටත් වුනෙමු.සතියක් තනියම වකුටුවී නිදාගත් චන්දරයා එදා රාත්තිරියේ පවුලගේ පැදුරට ගොඩවෙන්නට ඇතැයි මම සිතුවෙමි.

මේ සිද්ධිය මුළු හදවතින්ම  රසවිඳි එකම තැනැත්තිය වුයේ විනෝද්ගේ බිරිඳ තිළිණිය. තමන්ද නොදැනුවත්වම ඇය ප්‍රධාන නිළියවූ මෙම නාටකයේ අවස්ථාද දෙබස්ද ඇය කොපමණ රස වින්දාද කිවුවහොත් අපි ආපසු එන ගමනේදී විටින් විට කතාව මතක්කරමින් ඇස්වලින් කඳුළු පනිනතුරු සිනාසුනාය෴

72 comments:

  1. දේශා කියන්නෙ මේ අපේ දේශාද? හපොයි.
    ලියුං යවන එකේ තියෙන එක අතුරු ආබාධයක් තමා ඔය. අනික තමා අවාසිදායක ලිඛිත සාක්ෂි ඉතිරිවීම.

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට මේ ලමයින්ට කලින් කියවපු ඒවා ගැන මෙලෝ මතකයක් නෑ නෙව

      Delete
    2. මු ව‍ෙගෙේ ‍ෙනෙ‍ෙමෙටියි මඑත්හත්ත‍ෙයෙක්

      Delete
    3. මූට උණ විකාරෙද කොහෙද...මොනවා ලියනවද මන්දා...

      Delete
    4. මොනවද දන්නෑ අටම මේ දවස්වල ගහන බ්‍රෑන්ඩ් එක. ෂොට් එකට දවසම බඩු වැඩ වගේ.

      Delete
    5. //දේශා කියන්නෙ මේ අපේ දේශාද? හපොයි.//
      හපොයි මූ නෙවි.මුව ගෙනියන්න අපට පිස්සුද.

      Delete
  2. හපොයි බලාගෙන යනකොට ලියුං කියන්නෙ මහ භයානක ජාතියක්නෙ. මදැයි ඔයින් ගියා තව පොඩ්ඩෙං එතනත් දික්කසාදයක්.

    අර උඩ දාල තියෙන ෆොටෝ එකනං මරු

    ReplyDelete
    Replies
    1. පොටෝ එක ගත්තේ ගුගල් වලින්.
      පොටෝ එකට ඒ ලස්සන ඇවිත් තියෙන්නෙ අරන් තියෙන පහල කෝණය නිසායි.

      Delete
  3. //ඛවුධ ථිලිනි කියන්නෙ...// මේ ටික ලියුවේ ශ්‍රංග ද? චන්දරේගේ පවුලත් ශ්‍රංග ගේ පුන්චම්ම වගේ නේ.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. ඛියන්නෙ කියලා හදන්න වෙනවා නේද? නැත්තං මහප්පරාන මදි :D

      Delete
    2. ඌත් ඔහොම මහප්පරාන ලියනවා නේද.

      Delete
    3. විචා,
      ඔය මදැයි.

      Delete
  4. ලියුං........ අනේ මන්දා හැලප(අ)යියේ........ ලැජ්ජත් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. බිම දිගේ යවපං, එතකොට හරි

      Delete
    2. ලජ්ජා වෙන්න දෙයක් නෑ බං.ඕන්නං බිමින් තියපන්.

      Delete
  5. දේශාත් සෙට් වෙලා...

    ReplyDelete
    Replies
    1. ඔය වෙන කැහුටු දේසෙක් බං.. මම යයි නාකි එක්ක රවුන් ගහන්න. හැක්

      Delete
    2. මෙන්න මහත එකා..

      Delete
    3. පිස්සුද බං ඕකව සැට් කරගන්න ඔලුවේ අමාරු කාරයො හිටියෙ නෑ.

      Delete
  6. අනේ බං මරු.. කදුලු පැන්නා.. හැක්.. ජය වේවා. හැලපයෝ මේ සීරිස් එක අමතක කරන්න නං එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ සීරිස් එකේත් තව ටිකක් ලියන්න තියෙනවා.

      Delete
  7. ඔය බෙනට් කියන්නේ බෙනට් රත්නායකද?

    අම්මපා ඔය තරම් දරුණු අරවගේ ගෑනු දෙන්නෙක් හිටියනම් ඇති හමුදා ඩිවිෂන් දෙකක් කමාන්ඩ් කරලා සතුරු කාන්තා හමුදා දෙකක් පරදවන්න.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප විචෝ මෙච්චර කාලයක් මේක කියෙව්වේ ඇස් කන් වහගෙනද ඩෝ.. හැක්

      Delete
    2. නෑ නාවලගේ බෙනට් කුරේ.....හික්ස්...!

      Delete
    3. අපේ පන්තියෙත් හිටියා කොල්ලෙක් බෙනට් කියලා .. අපි ඌට කියන්නේ "රෙට්ටේ බෙනට් " කියලා

      Delete
    4. විචා කියවලා තියෙනවද, asterix ad the secret weapon ? ඒකෙ ගෝල් ගම අල්ලගන්න රෝමයෙන් කාන්තා ලීජන් එකක් එවනවා...

      Delete
    5. ගෑනු ඔහොම තමා තරහ ගියාම හරි දරුණුයි.

      Delete
  8. //.ටෂ් මොන තරම් විරුද්ධ උනත් මට කරන්න අවශ්‍ය දේවල් කළෙමි.යන්නට අවශ්‍ය ගමන් ගියෙමි. //

    මල්ල අස්සෙං බලළෙක් ඥාව් ගෑවා :D :D

    ReplyDelete
    Replies
    1. අ‍ෙනෙේද කියන්‍ෙනෙ දැං නං සිල් අරං

      Delete
    2. \\\ මල්ල අස්සෙං බලළෙක් ඥාව් ගෑවා :D :D ///
      බුදු අම්මෝ පත්තරේ....ඉස්පෙලින් එහෙම පිටින්ම ඉස්පොල්ලේ ගිහින් නේ...අද අහගනිං හොඳට හැලපේගෙන්...

      Delete
    3. මං ඉතිං උපංගෙයි මෝඩයා වෙච්චි හැලපයියා මට පොඩි සහනයක් දෙයි :D

      Delete
    4. මම කියන්නෙ නෑ පත්තරයට.යකෝ ඔය ලියල තියෙන්නෙ තෝ හිතන දේවල් නෙවෙයි යකෝ.

      Delete
  9. අම්මෝ... මෙච්චර හිනා වෙන්න බෑ...
    ඔය ඕපා දූප අහන උන් එක්ක නම් ගමන් යන්න බෑ. ටික වෙලාවක් ඉද්දි මූන පොඩි කරන්න හිතෙනවා අහන ඒවට.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඕපාදුප අහන එරක නවත්තන්නෙ නෑ.

      Delete
  10. මිනීමැරුම් සිදුවෙන්න ආසන්නයට ඇවිල්ල ‍යන්තං ශේප් වෙන මට්ටමේ කේස්නෙ උඹලට තිබිල තියෙන්නෙ.
    අයියෝ ඔය සෙට් එකෙන් තව එකෙක් අඩු ගානෙ බ්ලොග් ලිව්ව නං......

    ReplyDelete
    Replies
    1. එහෙනං හැලප පටිත් රෝල් තමා

      Delete
    2. ඒක තමයි අඩු තරමෙන් බෙනා වත් ලිව්වනං හොඳ කතා ලියවෙයි.

      Delete
  11. අම්මා පල්ල ! තනි ඇහැට කදුළු පනින වැඩේ කියන්නේ...... ඔච්චර වයසට යනකල් චන්දරෙත් එක්ක "පැදුරු ගත" වෙච්චි අම්මන්ඩිට, චන්දරයගේ අකුරු අදුනගන්න බැරි වෙච්චි එකනේ.

    මල පොතේ අකුරක්වත් දන්නේ නැතිව හිටපු ගෑනි, ලිඳ ලඟ උන්නු කාටවත් කියලා සෙනෙහේ කොලේ කියවාගත්තා වද්දෝ? නැත්නම් ඔය ඇත්තොත් ගිහින් සමනය කරන තුරුම ආරෝව දුර-දිග යන්ට තරම්.......

    ReplyDelete
    Replies
    1. කෙලියා නේද ප්ලොට් එකට..!

      Delete
    2. කිව්වත් වගේ ප්ලොට් එකටම කෙළිය නේන්නං.චන්දරයා ලියන රස්සාවක් නොකළ නිසා උගෙ අකුරු දකින්නට ඇත්තේ කලාතුරකින්ය.එහෙම උගෙ අකුරු නොවන බව දැනගත්තත් මේ වගේ කේස් එකකදී කාන්තාව ටිකක් දරුණුය.
      මේ කතාවේ ටිකක් මට කීවේ විනෝද්ය ඉතුරු ටික කිව්වෙ චන්දරේය.මම අත්දුටුවේ ඉතිරි හරියයි.ඒ සියල්ලම එකතු කර කතාව ලිව්වෙමි.

      Delete
  12. >>මට කල්පනා උනේ අපේ රටේ නං දික්කසාද වෙන්නට නියමිත ජෝඩු එකගෙදර ඉන්නවා තබා නයි පොළොංගු මෙන් මුණ බලන්නේවත් නැති බවය.<<

    මචං. උඹ එහෙම කියන්නේ ලංකාවෙ උං ඔක්කොම එක වගෙයි කියන මතයේ ඉඳගෙනයි. මම මේ කියන පොර අනූව දශකයේ අගබාගෙ වයිෆුයි දුවයි එක්ක එක ගෙදර ජීවත් වුනාට වයිෆ් එක්ක දික්කසාද වෙලා හිටියේ. දෙන්නම ඩිවෝර්ස් වෙලා ගෙදර ඇවිත් තියෙන්නෙත් එක බයික් එකේ නැගලා. පොර එයාගැන කියන්නේ මගෙ දුවගෙ අම්මා කියලා. පොර ඉන්නෙ ලංකාවෙ

    මම මේ පොරගෙ නම කියන්න යන්නෙ නැත්තෙ මේ පොරව උඹ දන්නවා කියලා මා සීයට අසූවක විතර විස්වාසයක් තියෙන නිසා. මේකා මගෙ හොඳ යාලුවෙක් නමුත් FB එකේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ලිබරල් මතවාදියෙක් මේ ලංකාවෙ හිටිය කිවාමත් පුදුමයි බං.

      Delete
  13. බෙනාගේ පුතා මේ ගමන කොළඹට ඉල්ලනවා නේද ජන්දේ?

    ඕක ගොඩක් ගැහැණුන්ට තියෙන ලෙඩක් පොඩි දෙකට ලොකුවට කලබල වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිනිහත් කොණක එල්ලෙන්න පුළුවනි සමහර විට.

      Delete
  14. පට්ට කතාව හැලපයියේ...
    ඔය චන්දරේගේ කතාව වගේම නැතත් නුතන යුගයේ මේ වගේ සිද්ධියකට මමත් මුණ දුන්නා 2012 දී වගේ.
    එක දවසක් මට වැරදිලා කෝල් එකක් ආවා. ආපු ගමන් ඇහුවේ කොහෙද මැට්ටෝ ඉන්නේ කියලා.
    කෝල් කලේ කෙල්ලෙක් නිසා මම පොඩ්ඩක් කතා කරපු කෙනාව බයිට් කලා.
    ඔය කෝල් සීන් එක නිසා තව පොඩ්ඩෙන් මට වෙන්නේ චන්දරේට වෙච්ච එකට එහා එකක්. අන්තිමට තුන්වන ලෝක සංග්‍රාමය වගේ එකක් ඇතිවෙන්න ඔන්න මෙන්න ඇවිත් ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන් උනා.

    ටෂ් වගේ ඇනට් වෙන කෙල්ලො එක්ක ලව් කරන එක මහ වාතයක්.
    අර දික්කසාද සීන් එකනම් බොක්කටම වැදුනා. අපේ කොහෙද ඒකට...

    අපේ ජෙනරේෂන් එකෙන් පස්සේ ලියුම් අභාවයට ගියා නේද හැලපේ.
    වෙඩිමට දවස් දෙක තුනකට කලින් මට හම්බවෙලා තිබ්බ ලියුම්, වෙසක් කාඩ් ඔක්කොම වගේ පුච්චලා දාපු එක පට්ට අපරාදේ කියල තේරෙන්නේ දැන්.
    ඒත් ඉතින් වැදගත්ම එකක් දෙකක් බොහොම පරිස්සමට හංගලා නැත්තෙත් නැහැ. ගෙදර ගිය වෙලාවක හොයල බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හංගන එක මතක් කරන්නවත් එපා බං.හංගන්න ගිහිං මට කෙලවුනා.බලුම බලු උනා.

      Delete
    2. හංගලා මට වෙච්චි දේ අහපංකො. මං ගමටම බලු වුණා යකෝ. මගේ ලියුං සේරම තිබ්බෙ අල්මාරියෙ ලාච්චුවක. ඕකෙ යතුර කොයිවෙලෙත් මා අතේ තිබුණෙ. සුුනාමියට අල්මාරිය ගහගෙන ගිහිං. ඒක හම්බවෙච්චි එවුං ලාච්චුව කඩලා. මුළු ගමම මගේ ලියුං ටික බලලා කියහංකො

      Delete
    3. Dilo,
      උඹට වෙලා තියෙන්නේ වනේ වන හතුරෙකුටවත් වෙන්න හොඳ නැති දෙයක්නේ...
      මටත් ඔය වගේ මරණාසන්න අත්දැකීම් කීපයක් තියෙනවා බං...

      ඉස්සර මගේ ඩයරි හොරෙන් බලන්න අපේ අක්කල තුන් දෙනා කියන හතිරියෝ ටික පුරුදුවෙලා තිබුනා.
      ඒක බලල මම කෙල්ලෝ ගැන ලියල තියෙන දේවල් ආපහු මටම කියකිය කින්ඩි දැම්මත් එක්ක.
      වහාම පෙට්ටියක් හදල ඒකට ඉබි යතුරු දාලයි ජාමේ බේර ගත්තේ...

      තව පාරක් මම 11 වසරේදී බස් එකේදී කළු පාට කැත xxලියෙක් මගේ ඩයරිය උස්සලා මම යාළුවෙන්න පස්සෙන් ගියපු කෙල්ලෙකුටයි උන්ගේ යාළුවො සෙට් එකටයි පෙන්නලා මගේ රෙදි ටික ඔක්කොම ගලවලා උන් ඔතාගෙන අරගෙනත් ගියා...
      අවුල තියෙන්නේ මම ඒ කාලේ ඒ කෙල්ලගේ පස්සෙන් ඇරෙන්න තව කෙල්ලෝ දෙන්නෙක්ගේ පස්සෙන් ගියපු ඒවා සහ සියලු විස්තර ඒකෙ ලියල තිබ්බ එක.
      බස් වල ජැක් ගහපුවා පවා ලියලා තිබ්බා...

      අර කළු පාට කැත xxලි මගේ යාලුවෙක් එක්ක යාළුවෙලා හිටපු නිසා ඒකිට හිතේ හැටියට බනින්නවත් උනේ නැහැ, මොකද ඌ තමයි මට ෆුල් සප් එක දුන්නේ අර කෙල්ලත් එක්ක යාළුවෙන්න.
      ඒක හරියට පුක මහලා තියෙද්දී බඩ යන්න බෙහෙත් බිව්වා වගේ උනා මට... ;(

      Delete
  15. "සතියක් තනියම වකුටුවී නිදාගත් චන්දරයා එදා රාත්තිරියේ පවුලගේ පැදුරට ගොඩවෙන්නට ඇතැයි මම සිතුවෙමි" අන්තිමේදී සියල්ල සතුටින් විසිර ගියෝය .

    අර ටෂ් වගේ හාල් කෑලි නම් නැති තරමට හොඳා ..... හැබැයි එදා ඌ සතුටටත් එක්ක කෑම උයන්න් ඇති පැලෙන්න ... බොන්න ගෙනාවම බයිට් එකට මොනවද තිබ්බේ ? හැක

    ReplyDelete
    Replies
    1. බයිට් එකට මොනා තිබ්බද මතක නෑබං.මස් තියන්න ඇති.උඹට ඉතිං බයිට් එකනෙ වැදගත්.කොහොමත් වැඩියම බයිට් උනේ චන්දරය තමා.

      Delete
  16. ශහ්.. මේ තියෙන්නෙ.. දැං නං රා වලිං පෙරපුවා කියල දෙන්නෙත් ජරාව.ඒකයි මගෙ හිතට අමාරු.. චන්දරයව ගොඩ දාන්න ගිහිල්ලා
    'මොඛඨධ අඵේ ඵවුළඨ අථ ධාණ්ණ එණ්ණෙ?'
    කියලා අහගන්නැතිව සුන්දර විදිහට අහවර උන එක නම් ගොඩක් හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං අපි වගේ කාරණා කාරණ දන්න උදවිය හිටපු නිසා සුන්දරව කෙලවර උනා කියන්න පුළුවනි.

      Delete
  17. දේශත් ඉඳලා. බලපුවාම එයා නැති තැනක් නෑනේ. මේ දවස්වල නම් වැඩියෙම මූණු පොතේ ඉන්නේ මල් කඩමින්.:D

    තව පොඩ්ඩෙන් හරි වැඩේ වෙන්නේ. හැබැයි ඉතින් මේවා හොඳ පාඩම්නේ? ඊමේල්වලිනුත් මෙහෙම ඒවා වෙන්ට පුලුවන්ද? වැරදිලා send button press වෙලා. :P

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පිස්සුද හැබෑටම පොඩ්ඩියේ.ඕකා ඒ කාලෙ කොහේ හිටියද කවුද දන්නෙ.

      Delete
    2. ඇයි පොඩ්ඩි වැරදිලා චැට් කරන එව්වා.:D

      Delete
  18. ඇඩෙනව තනි ඇහැට අය්යෝ...හිහික්... හොද වෙලාවට අපේ අය මොන දේ වුණත් ඉක්මණට අමතක කරල දාන්නෙ නැද්ද හා... ඒ අතරෙ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව තමා අවුල් සහගත ඒත් අර වගේ ෆන් ආතල් ඩයල් හන්ද සිරාවටම ලයිප් එක පුල් මාර්වලස් හිකිස්.... චන්දරේ අර සතියෙ සෑහෙන දුකින් ඉන්න ඇත්තෙ හැබැයි හිහික්

    ReplyDelete
    Replies
    1. චන්දරයව ගොඩදාල දුන්නේ නැත්නං ඌ සදහටම දුකේ තමා.

      Delete
    2. මැගි ආච්චිAugust 16, 2015 at 8:55 AM

      // ඇඩෙනව තනි ඇහැට ‍‍//
      ඇයි බොගෙ අනික් ඇහැට කපුටො කෙටුවද බොල?

      Delete
  19. /සතියක් තනියම වකුටුවී නිදාගත් /

    අපේ සනත් මහත්තෙය නං මෙයිට සමාන සිදුවීම් වලදි කියන්නෙ, සතියක් ගෙට එන්න දුන් නෑලු. බලු කූඩුවෙ "බල්ලත් එක්ක වාසේ" කියලා...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතිං කේන්ති ගියපු ගෑනියක් එක්ක වසනවට වඩා බල්ලත් එක්ක ඉන්න එක සැපයි.

      Delete
    2. ඉතිං මාත් ගෙදර බලු කූඩුව හොඳට ඉඩකඩ ඇතුව, සැපපහසුවට හැදුවා... :-)

      Delete
    3. ///හැබැයි ඉතිං කේන්ති ගියපු ගෑනියක් එක්ක වසනවට වඩා බල්ලත් එක්ක ඉන්න එක සැපයි.///
      මේ තරම් ඇත්තක් මගේ මේ ජීවිත කාලෙටම අහල නැහැ හැලපයියේ...

      Delete
  20. යකෝ කොළඹ ඉඳන් සඳලංකා එනවද රා බොන්න??

    ReplyDelete
    Replies
    1. තැනින් තැනින් කියවපුවම ඔහොම ප්‍රශ්න ඇතිවෙන එක පුදුමයක් නොවෙයි.

      Delete
  21. ඔය රා වලින් පෙරපු සුදුවනම් මාර සුවඳයි.රහයි.ඒත් ජීවිතේ එකම එක පාරයි බිවුවේ.
    ඉස්සර අපේ ගේ එහා පැත්තේ වත්තක් තිබුනා ගෙවල් 7-8ක් තියන.ඒකේ හිටියේ එකම පවුලේ සහෝදර සහෝදරියෝ.මුන් සතියකට පාරක්වත් මායිම් වලට රංඩුවෙනවා.ඒවනේ වලි.ගෑණු රංඩුවෙනකොට උන්ගේ මුළු ඉතිහාසෙම උඩ එනවා.මාර ගති.මගේ වැඩේ උඩ තට්ටුවට ගිහින් උන්ගේ වලි බලාගන ඉන්න එක.විනෝද සමය බැළුවා වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ලියපන්කො ගෑනු වැලි කතා දෙක තුනක් අපට ආතල් එකක් ගන්නත් එක්ක.

      Delete
    2. ලියපන්කො ගෑනු වලි කතා දෙකතුනක් අපට කියවන්න.

      Delete
  22. ඌ මගෙන් නොඇසුවේ අපේ ආච්චිගෙ හොර මිනිහගේ නම පමණක් බවය

    අනේ ඉතිං ඒක මේකෙවත් ලිවුවනම් මොකද අප්පා .............

    ReplyDelete
    Replies
    1. මේකෙ ලිව්වට වැඩක් නෑනෙ බං.

      Delete
  23. හප්පා ඔය හැන්ගිල්ල නං මතක් කරන්ඩ එපා... කොල්ල කාලෙ කෙල්ලො දෙතුන් දෙනෙක්ට මැසේජ් කොර කොර හිටිය. දෙන්නෙකුට උන්ට යවන්න තිබ්බ මැසේජ් මාරු වෙලා ගිහිං දෙන්නම තරහ උනා ජීවිතේටම....මක් කොරල වත් ශේප් කරගන්න බැරි උනා... බැඳපු මුල් කාලෙ ඊට ගොඩක් කාලෙකට කලින් හිටපු කෙල්ලෙක් විස්තර අහල මැසේජ් එකක් එවල ඒක අපේ උන්ද දැකල මළ හත් ඉලව්වක් උනා...ඒකි විස්තරේ එක්කෝ නිකං අහපන්කෝ... ඒකට ඌන පුර්ණත් දාල.. වැඩපලේ ඉන්නකොට එනව හදිසි කෝල් එකක් "සුදූ, ගෙදර එන්න හදිස්සියක්" , " ඇයි මණික, අසනීපයක්ද?" නෑ එන්නකෝ (මෙන්න අඬනවා) ඇහුවට කියන්නෙම නෑ...ජීවිතේ වැඩිම දෙගිඩියාවෙන් ආපු ගමනක් ඒක.. කොහොමහරි යන්තම් ශේප් කරගත්ත .. අනේ අම්මේ.. ඔව්ව මතක් කරන්න වත් එපා..

    ReplyDelete

ඔබේ අදහස්