Sunday, August 14, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 15 - කොළඹ පැමිණීම,කළපුව අද්දර දුපත,මිතුරු කකුළුවා සහ මුහුදේ ස්නානය.

"අනේ අප්පේ , මොකද මේ?  නැගිටල එන්න ගෙදර යමු!" යි කී ඉන්ද්‍රා බිම පෙරලී සිටි මගේ හිසකේ පුරා තැවරී තිබු වැලි පිසදමන්නට වුවාය.

"මෙහෙම ගෙදර යන්න පුළුවන්ද? ඒ මිනිස්සු හිනාවෙයි."

"ඒවා ඉතිං බොන්න කලින් හිතන්න එපාද? " ඉන්ද්‍රා ඉවත බලාගෙන කීවත් ඇගේ මුව පුරා තැවරී තිබුණේ මඳහසකි.

"දැන් ඒවා කියල වැඩක් නෑනෙ."

" වැඩක් නෑ කියල අදත් දවසම වැලිගොඩේ දපල ඉන්නද කල්පනාව? ඔන්න මම නං යනවා."

" යන්නත් ඕනෑ තමයි."

"එහෙනං නාගන්න , ඊයෙ රෑ තිස්සෙ නටල මහන්සිත් ඇතිනෙ, මම ගෙවල් පැත්තට යන්නං."

ඇතිවෙනතුරු මුහුදෙන් නාගෙන ළිඳෙන් ලුණු සෝදා ගත් පසු ඇඟට දැනුණේ සැහැල්ලුවකි.  රාත්‍රියේද හරියට ආහාරයක් නොතිබූ බැවින් කුසගින්නද මඳින් මඳ නැග එන්නට විය.  ඉන්ද්‍රාගේ අම්මා පිළියෙළ කර තිබු  රසවත් පාතරාසය අනුභවයෙන් පසු ගතට නව පණක් ලැබුණා සේ විය.

" ආයෙ හරිබරි ගැහිල ඉඳගත්තෙ මොකද? යන්න ලෑස්ති වෙන්න.  දැන්ම පිටත් වුණොත් දවල් කෑම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වෙයි." ඉන්ද්‍රා කීවේ කෑමෙන් පසු පුටුවක වාඩිවී දුම්වැටියක් ද දල්වාගෙන සිටි මා වෙතට එමිනි.  ඇය යන්නට සුදානම් වී හැඳ පැළඳගෙන සිටියාය.   තවත් මොහොතකින් අප දෙදෙනා ගෙදරින් පිටත්වන්නට සුදානම් වූයෙමු.

"ආයෙම  අපිව බලල යන්න එන්න පුතා!" යි කී ඉන්ද්‍රාගේ මව අපට සමුදුන්නාය.   බෙන් එකේ අප හතරදෙනාටම සෑහෙන්නට හැදු බත් පාර්සල් දෙක දැමු බෑගය ඉන්ද්‍රාගේ අතක විය.  ගෙදර අයගෙන් සමුගත් අප දෙදෙනා පාරට බැස්සෙමු.

"ඇයි තමුසෙට කෑම එකක් දුන්නෙ නැද්ද? " යි මම ඇසීමි.

" දුන්න දුන්නා අපි දෙන්නගෙ කෑම එකත් මේකෙ තියෙනවා !" ඉන්ද්‍රා අපි දෙන්නා යි කීවේ ඇයත් සමග එක කාමරයේ නැවතී සිටි යුවතියටය.

" එහෙනං අම්මට වෙන වැඩක් තිබිල නෑ!"

" ඔව් අනේ අම්ම පාන්දර ඉඳන් නැගිටගෙන කෑම හැදුවෙ!"

ගාලු පාරට පැමිණි අප දෙදෙනා කොළඹ බලා යන බසයකට නැගගතිමු.   බසයේදී අප දෙදෙනා අතර වැඩි කතාබහක් නොවීය.  ඉන්ද්‍රා තරමක නිදිමතකින් සිටින බව මා සිතුවේ වරින්වර කීපවිටක්ම ඇගේ නෙත් පියවෙනු දුටු නිසාය.   තවත් මොහොතකින් නිදිමතට සම්පූර්ණයෙන්ම පරාජය වූ ඈ මගේ උර මත හිස තබාගෙන නිදන්නට වුවාය.  බසය වේගයෙන් කොළඹ බලා ඇදී යයි.

කතාව මොහොතකට නවතා වර්තමානයට ආවොත් ඉන්ද්‍රලාගේ වෙරළේදී මෙන්ම මා වැලි නෑ තවත් දිනයක් මගේ සිහියට එයි.  අපි බසයේ ගමන්කරන මොහොතට සාපේක්ෂව ගතහොත් එය අනාගතයේ එනම් ඊට හරියටම වසර දහයකට පමණ පසු සිදුවීමට නියමිත සිද්ධියකි.    නමුත් බසයේ ගිය කතාවත් දෙවෙනි වරට වැලි නාපු කතාවත් දෙකම දැන් අතීතයට එක්වී අවසන් නිසා එයද කියා දමන්නට සිතේ.    ඉන්ද්‍රා නින්දෙන් අවදිවන තුරු මට ඒ කතාව කියාගන්නට හැකිවේ යයි සිතමි.

ලංකාවේ වර්ගවාදී යුද්ධය ඉතා තදින් ඇවිළෙන සමයේ මා පදිංචිවී සිටියේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරය.    ඒ වන විටත් දකුණු ඉන්දියාවේ අනාථ කඳවුරු ගණනාවක ශ්‍රී ලාංකික යුද අනාථයන් ලක්ෂ ගණනක් සිටි අතර දිනපතා බෝට්ටු පුරවා අනාථයන් දකුණු ඉන්දීය වෙරළට පැමිණෙමින් සිටියහ.

1983   කළු ජූලියේ ද්‍රවිඩ සංහාරය හේතුවෙන් රටින් පැනගත් පිරිසක්ද දකුණු ඉන්දීය භුමියේ පදිංචිවී සිටි අතර ඔවුන් අනාථ කඳවුරුවල නොව චෙන්නායි නගරයේ කුලියට ගත් නිවෙස්වල සාමාන්‍ය  ජීවන තත්වයක් සහිතව පදිංචිවී සිටියහ.   ඒ පවුල්වල බොහෝ තරුණයින් හොඳ ජීවන තත්වයන් සොයා බටහිර රටවලට සංක්‍රමණය වුවෝය.   ජීවිතය හොඳ අතට වෙනස් වෙද්දී ඔවුන්ට විවාහවී පවුල් ජීවිත ගතකිරීමට අවශ්‍ය වුවත් සිය සිත්ගත් තරුණියන් සොයා ලංකාවට යන්නට ඔවුන්ට නොහැකි වුයේ ඔවුන් සතු සරණාගත ගමන් බලපත්‍රවලින් ලංකාවට යන්නට නොහැකිවීම නිසාය.    එයට පිළියමක් ලෙස ඔවුන් කළේ තමන්ට විවාහ වීමට අවශ්‍ය තරුණිය දකුණු ඉන්දියාවට ගෙන්වා ගෙන එහිදී විවාහය සිදුකර ගැනීමයි.     විවාහයෙන් පසු සිය මනමාළිය තනිකර දමා තමන් පදිංචිවී සිටින රටට තනිවම යන තරුණයා ඒ රටට සිය විවාහ ලියකියවිලි පෙන්වා තම බිරිඳට වීසා ලබාදී රටට ගෙන්වා ගනී.    දිගින් දිගටම මෙවැනි විවාහයන් සිදුවෙන්නට වූ කළ එම විවාහයන්ට පහසුකම් සපයන පුද්ගලයන්ද ආයතනද චෙන්නායි නගරයේ බිහිවන්නට විය.   එවැනි පුද්ගලයන්ට හෝ ආයතන වලට තම විවාහය සිදුකරන්නට බාරදෙන තරුණයාට කරන්නට ඇත්තේ මුදල් වියදම් කිරීම පමණකි.     ගුවන් ටිකට් පත වෙන්කිරීමේ සිට විවාහවී දෙදෙනා පිටත්වන තුරු ඉතිරි සියල්ල ඒ පහසුකම් සපයන ආයතනය විසින් සිදුකරනු ලබයි.

වරක් බටගිර රටවල් දෙකක වාසය කරන තරුණයන් දෙදෙනෙක් චෙන්නායි නුවරට ආවේ සිය විවාහයන් කරගැනීම සඳහාය.   ඔවුන් දෙදෙනාගෙන් එකෙක් ප්‍රංශයේ සිට පැමිණ සිටි අතර අනෙකා පැමිණ සිටියේ ඩෙන්මාර්කයේ සිටය.     මංගල්‍යයේ යම් නීතිමය අවශ්‍යතාවක් සඳහා ඒ දෙදෙනා අප වෙතට පැමිණි විට අප ඒ අවශ්‍යතාව ඉටු කර දුන් ආකාරය ගැන ඔවුන් බොහෝ සතුටට පත්වුහ.    ඊළඟ සති අන්තයේ අප සමග  චෙන්නායි වලින් පිටත ගොස් දිනක් ගතකරන්නට එන බව කියූ ඔවුහු අපෙන් සමුගත්හ.    කියූ ආකාරයටම ඊළඟ සෙනසුරාදා දිනයේ ඔවුන් දෙදෙනා අපව රැගෙන යන්නට ජීප් රථයකින් පැමිණි අතර මමත්,ටෙරන්ස් සහ බන්දුත් ඔවුන් සමග කොහේදෝ අප නොදත් ගමනාන්තයක් කරා පිටත්වීමට වාහනයට නැගගතිමු.    චෙන්නායිවලින් කිලෝමීටර් සීයක් පමණ අධිවේගී මාර්ගයක ගමන්කර හරවා නැවත ගම්බද පෙදෙසක් හරහා තවත් කිලෝමීටර් විසිපහක් පමණ ගොස් නවත්වනු ලැබුයේ ගම්බද වෙළෙඳපොලකය.   ගම්බදව වවන බොහෝ ආහාර ද්‍රව්‍ය මෙන්ම මාළුද බහුලව වෙළෙඳපොළේ දකින්නට විය.    වාහනයෙන් බැසගිය තරුණයින් දෙදෙනා ආහාර ද්‍රව්‍යද මාළුද මිළදීගැනීමෙන් පසු නැවත වාහනය නැවත්වුයේ කළපුවක ඉවුරේය.

වාහනයෙන් බැසගත් අප කලපු ඉවුරේ නවතා තිබු පල්ල පැතලි ලී වල්ලමක් වැනි යාත්‍රාවකට නැග විනාඩි පහළොවක පමණ ගමනකින් පසු එරෙන වැල්ලක් තිබු දුපතකට ගොඩ බැස ගතිමු.    දුපත පුරාම සයිප්‍රස් ගස් සිටුවා තිබෙනු දක්නට විය.   දුපතේ එක් පසෙක කළපුවද අනෙක් පස ඉන්දියන් සාගරයද විය.   වැල්ලේ එරෙමින් දුපත මැදට ගිය අපට දුපතේ තිබු එකම ගොඩනැගිල්ල වුයේ  පොල්ලතු සෙවිළි කළ ගෙයකි.    එදාට පසු දිනකදී මා නැවතත් මේ දුපතට ගිය අවස්ථාවේ ගත් ඒ ගෙයි ඡායාරුපයක් ඇල්බමයේ තිබීම සතුටකි.

අප ගෙනගිය ආහාර ද්‍රව්‍ය ඒ ගෙදර සිටි පිරිමියාට සහ කාන්තාවට දුන් විට ඔවුන් ක්ෂණයකින් ක්‍රියාත්මක වෙමින් අපට වාඩිවෙන්නට පුටුද මේසයක්ද එළියෙන් තබා කෑම උයන්නට පටන් ගත්හ.   දුපතට යන අය කෑම ද්‍රව්‍ය ගෙනැවිත් දුන් විට ඒ අය උයාදෙන බවත් එන අය ලබාදෙන සුළු මුදලකින් ඔවුන් සෑහීමකට පත්වෙන බවත් අප සමග ගිය තරුණයන් කීවෝය.

" ඒ අය උයල ඉවර වෙද්දී තව වෙලා යයි, අපි පටන්ගනිමු'යි"  කියූ ඔවුන් ආරම්භ කළේ සුදු වයින් බෝතලයකිනි.   සාදය ටිකින් ටික නැගලා යන්නට වුයේ වයින් වලින් ආරම්භ වී සැර බීම කරළියට පැමිණි විටදීය.     කටගැස්ම ලෙස දුපතේ අය සාදා දුන් ඉස්සන් හා කකුළුවන්ද අප ඊට පෙර රස බලා නැති අමුතුම වට්ටෝරුවකට හැදු ඒවා විය.  ටික වේලාවකින් අපි හැඳසිටි ඇඳුම් උනා කොට කලිසම් ඇඳගත්තේ මුහුදේ නාන්නටය.   කොට කලිසමක් ගෙනැවිත් නොතිබූ  බන්දු තුවායක් ඇඳ ගත්තේය.   එහෙත් දුපතේ සිටි අය කීවේ  ඒ හරියේ මුහුද මේ  දිනවල බොහෝ සැර බවත් මුහුදේ බැස්ම කිරිගොට්ටක මෙන් එක තැනම පහළට ඇති නිසා නෑම අවදානම් බවය.  

" එහෙනම් අපි ටිකක් ඇඟ හෝදගෙන ගොඩ යමු" යි  කියූ බන්දු  මුහුදට බසින්නට සුදානම් වත්ම අප කැඳවාගෙනපැමිණි තරුණයින් දෙදෙනා එයට එකහෙළා විරුද්ධ වුහ.  

" අපියි ඔයගොල්ලන්ව එක්කරගෙන ආවෙ. අපට අවදානමක් ගන්න බෑ,  මුහුදෙ නාන්න එපා  නාන්නම ඕනෑ නම් ආපහු යන ගමන් ස්විමිං පූල් එකකින් නාගෙන යමු. අපි එක්කං යන්නම්." 

ඔවුන් අපේ ජීවිත ගැන බොහෝ සැළකිලිමත් වන බව පෙනුණු නිසා අපි ආපසු පැමිණ නැවතත් බෝතල් වලට වටවීමු.  කොච්චර කන්න බොන්න තිබුණත් තක්කඩි වැඩක් නොකළොත් බන්දුගේ හිතට මදිය.  ඔහු යන්නට හදන්නේම මුහුදට බහින්නටය.  කොල්ලන් දෙදෙනා බන්දුව වටකරගෙන සිටිති.  එක්වරම නැගිටගත් බන්දු උන් දෙන්නා අතරින් රිංගා මුහුද පැත්තට දුවන්නට වූ අතර තරුණයන් දෙදෙනා බන්දු පසුපස එළවා ගොස් ආපසු ඇදගෙන ආවෝය.  ටික ටික වෙරිමත වැඩිවනවිට මුන් දෙන්නාගේ බය ගැන දැනගත් බන්දු හදන්නේ උන්ව බයිට් කරන්නටය.  ආපහු නැගිටගත් බන්දු මුහුදට දුවන විට පසුපස එළවා ගිය තරුණයන් දෙදෙනා ගෙන් එකෙක් බන්දුගේ තුවායේ එල්ලුණේය.   එකෙණෙහිම තුවාය කඩා දැමු බන්දු වැල්ලේ වැටි වැටී දුවන්නට විය.   අපි බිම පෙරළි පෙරළී සිනාසුනෙමු.

බන්දුත් කොල්ලන් දෙදෙනාත් අතර හැංගිමුත්තං සෙල්ලම අතර මම ගේ පැත්තට යනවිට ගෙදර මනුස්සයා එළියේ ඉඳගෙන දවල්ට උයන්නට කකුළුවන්ගේ අඬු කඩමින් සිටියේය.   කකුළුවා උගේ අඬු හතර අතට කරකවයි.   අර මිනිහා උන්ගේ අඬු කඩමින් ඇතිළියකට දමයි.   එතන සිට මේ සෙල්ලම ටිකක් වෙලා බලා ඉන්න විටදී මට යස කල්පනාවක් පහළ විය.   

"කකුළුවෙකුගෙ අණ්ඩක් අස්සට ඇඟිල්ල දැම්මොත් මක් වෙයිද?" දන්න දෙමළ වචන ගලපාගත් මම ඒ මනුස්සයාගෙන් ඇසුවෙමි.    ඔහු මා දෙස බැලුවේ උපහාසාත්මක ලෙසය. 

" මොකක් වෙන්නද? මොකුත් වෙන්නෙ නෑ ඇඟිල්ල කඩල දානව මිසක."

" එහෙමද? මමනං හිතන්නෙ නෑ කෝකටත් මට  අණ්ඩ අස්සට ඇඟිල්ල දාල බලන්න ඕනෑ." 

 මනුස්සයා ආයෙමත් මා දෙස බැලුවේ මේ කොහෙන් ආ අමනයෙක්ද යන අදහසින් විය යුතුය.   එහෙත් බීමතින් සිටි මට ඒ හොඳක් නරකක් තේරෙන වෙලාවක් නොවීය.    ඇඟිල්ල දමන්නට එපා කියා ඒ මනුස්සයා බැගෑපත් වෙද්දී මම කකුළු අණ්ඩ අස්සට ඇඟිල්ල දැම්මෙමි.  ඒ වනවිටත් අඬු දෙකක් කඩා දමා මාරාවේශයෙන් සිටි කකුළුවා චරස් ගා මගේ ඇඟිලි පුරුක පොඩිකර දැම්මේය.   ඒ වේදනාවට මට කලිසමේ මුත්‍ර පහ  නොවුනා පමණකි.  මම අත ගසා දැමු විට කකුළුවා උඩින් ගොස් වැල්ලේ පතිත විය.   කකුළුවෙකුට එපමණ හයියක් ඇති බව මම දැනගත්තේ එදාය.   හොඳ වෙලාවට කකුළුවාට හසු වුණේ මගේ ඇඟිල්ලේ නියපොත්ත කොටස වීම හේතුවෙන් ඇඟිල්ල වෙන් නොවී ඉතිරි විය.   අඬු කඩපු මනුස්සයා මට බනිමින් කුකුළුවා අහුලන්නට ගියේය. 

එදා දවස පුරාම දුපතට වී අප සතුටු වුවත් බන්දුට මුහුදේ නාන්නට අර තරුණයන් දෙදෙනාගෙන් ඉඩක් ලැබුණේ නැත.  කකුළු හොද්ද ඇතුළුව පිළියෙළ වී තිබු දවල් බත අතිශය ප්‍රණීත එකක් විය.   ඔවුන් එතරම් රසට උයන කුස්සිය නිකම්ම වැල්ලේ බිම සැදු මැටි ලිප් දෙකකි.   හිරු බැස යන වෙලාවේ පිටත්වූ අප වැඩි රෑ බෝ වෙන්නට පෙර ගෙවල්වලට පැමිණියෙමු.   ගෙදර පැමිණ ඇඳුම මාරු කරද්දී ඇඟ පුරාම තිබු වැලි ගේ පුරා ඉහිරෙන්නට විය.  වෙළුම් පටියකින් බැඳ තිබු මගේ ඇඟිල්ල හැලපිගෙන් දවසක් දෙකක් වසං කරගෙන සිටියත් වෙළුම් පටි මාරු කරද්දී ඇයට හසුවිය.   එහෙත් සිදුවූ දේ ඈ දැනගත්තේ ඊට බොහෝ කාලයකට පසුව අප පවුල් පිටින්ම නැවත ඒ දුපතට ගිය දවසකය.    අද පළකර ඇත්තේ ඒ දෙවෙනි වරට ගිය ගමනේදී මා විසින් ගන්නා ලද පිංතුරයකි.   ගෙට එපිටින් ඇති හිස් අවකාශය ඉන්දියන් සාගරයයි.  ඒ ගිය කතාව පිංතුරද සහිතව තවත් දවසක ලියමි.

කතාව ලියාගෙන යද්දී මතකය අලුත් කරගන්නට මම ඊයේ මා මිත්‍ර අසෝකන් ට කතාකළෙමි.   අසෝකන් අප දෙවෙනි වරට ඒ දුපතට යන විට අපත් සමග එකතු විය.  අප දෙදෙනා අතරවූ සංවාදයේ කතාවට අදාළ කොටස මෙලෙසය.

" අපි වතාවක් දුපතකට ගියා උඹට මතකද?"

" මතකයි මතකයි, ඇයි එදා මට වැඩිවෙලා ඔයාල මාව උස්සගෙන ආවේ!"

" අන්න ඒ දුපතේ නම කියපංකො."

" මට මතක නෑනෙ, හැබැයි නෝත් චෙන්නායි හරියෙ නේද?" 

" වෙන්න ඇති බං මටත් හරියට මතක නෑ!"

" ආ! පලවෙයික්කාඩු, දුපතේ නම!"

උගේ සිංහල තේරුම් ගන්නට හැක්කේ මට විතරය.  ඒ නම අකුරෙන් අකුර අසා ලියාගෙන සර්ච් කළත් කිසිම ප්‍රතිපලයක් නැති නිසා එය මා තාම නම නොදන්නා දුපතක් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි.   කෙසේ වුවද අප දෙවෙනි වරට ඒ දුපතට ගිය ගමන ගැන ලියන කාලය එනවිට නම සොයා ගන්නට හැකිවේ යැයි මා විශ්වාස කරමි. 

නැවතත් ඉන්ද්‍රා සමග බසයේ ගමනට එකතුවිය යුතුය.  කොළඹට එන තුරුම නිදාසිටි ඉන්ද්‍රා ව මම අවදිකළෙමි.  ඇය මා සමග බොරැල්ලට පැමිණියාය.   බොරැල්ලේදී අප දෙදෙනා වෙන්වුයෙමු.   ඉන්ද්‍රා කැලණියේ ඇගේ බෝඩිමට ගිය අතර මම කෑම පාර්සලයද රැගෙන බෙන් එකට ගියෙමි.

" ඒයි මෙන්න මු ඇවිල්ල බං, කොහෙ මගුලෙ ගියාද යකෝ ආගිය අතක් නැතුව හිටියෙ?" බෙන් එකේ මිතුරන් මා පිළිගත්තේ එලෙසය෴

Wednesday, August 3, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 14 - ඉන්ද්‍රාගේ සංග්‍රහය, වැල්ලේ සංචාරක නිවාසය සහ වැලිගොව්වා.

"ඇයි මේ බයවෙලා වගෙ බලා ඉන්නෙ?"  ඉන්ද්‍රා ඇසුවේ අහක බලාගෙන සිනාසෙමිනි.

" නෑ මේ මම කල්පනා කළේ අද නොගියොත් රුවන්ල මාව හොයයි!  ඇයි මම කියල ආවෙ නෑනෙ."

"ඉතිං! බෙනට්ලගෙ ගෙදරට කෝල් එකක් දෙන්න! එයා රුවන්ලට කියාවි,ඉවරයිනෙ."  ඉන්ද්‍රා ඒ ප්‍රශ්නයටද ක්‍ෂණික විසඳුමක් දුන්නාය.

හතරවටින් අඳුර ගලා එන ඒ සන්ධ්‍යාවේ අප වෙරළට මුහුණලා වාඩිවී සිටියෙමු.    සවස් කාලයේ දිය නා සිටි ඉන්ද්‍රාගෙන් වහනය වුයේ ඇය ගෑ ආලේපනයක සියුම්  සුගන්ධයකි.   මුදාහැර දමා තිබූ ඇගේ වරළසෙහි තැන තැන තවමත් දිය බිඳු  දිස්විය.     අතට ගත් කෙස් රොදක් ඇඟිල්ලක පටලවමින් සිටි ඉන්ද්‍රාගේ  මුහුණෙහි සිනහවක සේයාවක් දක්නට තිබිණි.

"ගෙදර ආවට මොකද මට තමුසෙත් එක්ක හරියකට කතා කරගන්නවත් බැරිවුණානෙ! යන්න හදනකොට මට ලෝබ හිතුණා, වැඩියත්ම මම ඉන්න කිව්වෙ ඒකයි."

" හිටිය වගේ නෙවෙයි දැන් සඳුදට ඔෆිස් එකේ අය කියන කතා අහන්නත් ලෑස්ති වෙලා යන්න වෙයි!"

" සඳුද විතරද? දැනුත් කතා නං හදන්නෙ!මම ඔය කතාවලට  වඩා ගොඩාක් අමිහිරි දේවල් වලට මුහුණ දීපු කෙනෙක්....."   ඉන්ද්‍රා මගේ නම කියා කතාකළාය.

" ඔය කතාවලට වඩා තමුසෙත් එක්ක වාඩිවෙලා  ඉන්න මේ මොහොත මට ගොඩක් වටිනවා! ඒ හින්දා කතා ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා !"  කියූ ඈ  එක්වරම මගේ අතගෙන වැර දමා සැපුවාය.

"ඌයි" 

"ඇයි" 

" ඇයි තමයි බැල්ලියෙක් වගේ ඔහොමත් හපනවද?   තව පොඩ්ඩෙන් මට හුජ්ජ යනවා!"   ඉන්ද්‍රා දෙකට නැවීගෙන සිනාසෙන්නට වුවාය.

" අනේ රිදුනද? කෝ ඉන්න මම අතගාන්න! තව ටිකෙන් හරි වැඩේ තමයි වෙන්නෙ නේද?  දඟකාර සිනාවක් පාමින් ඇය මගේ අත ගෙන බැලුවාය.   ඇගේ දත් පහරවල් අතේ මනාව සටහන්වී තිබිණි.

" විහිළු නෙවෙයි නාගත්ත නං නරකද?  වත්ත පහළ ෂෝක් ළිඳක් තියෙනවා!"   ඉන්ද්‍රා ළිඳක් ගැන කියද්දී මට හිනා ගියේ අපේ ගමේ ළිඳක් ගැන මතක්වු නිසාය.

" මොකද හිනාවෙන්නෙ!"

" නෑ අපේ ගමේ මහලිඳ කියල ළිඳක් තියෙනවා,  පිටින් එන අය ඒකෙන් නෑවොත් ආයෙ ගම දාල යන්නෙ නෑ  කියල කතාවක් ගමේ උන් කියනවා!"

" අපෝ ඒකට නං බයවෙන්න දෙයක් නෑ,  මම හෙට උදේ එක්ක ගිහිං බෙන් එකටම දාන්නං!"

" බොරැල්ලට දැම්මම ඇති, ඉතුරු හරිය මම යන්නං!" 

" හෙට මම අපේ අම්මට කියල ඔයාල හතර දෙනාටම කන්න බත් එකක් ඔතල දෙන්නංකො!" 

" අන්න ඒක නං හරිම  වැදගත් වැඩක්, තුන් වේලම කඩෙන් කන අපට කෙහෙල් කොළේක ඔතපු බත් එකක් දකින්නවත්  හම්බෙන්නෙ ඉඳහිටලනෙ !" 

ඒ වනවිට දසතින් අඳුර ගලාවිත් මුහුදද ගොඩබිමද එකම අඳුරු පටලයකින් වෙලී ගොසින්ය.   අඳුරේ තරුණයෙක් සමග තනිවී සිටින්නට මැලිවූ ඉන්ද්‍රා මඳ නොසන්සුන් ගතියක් දක්වන්නට වුවාය.

" මොකද ඇඹරෙන්නෙ?" යි  මම ඉන්ද්‍රාගෙන් ඇසීමි.

" යන්න ඕනෑ අනේ,හිටිය මදැයි, ඔයා මොකද කරන්නෙ? නාන්නත් බෑනෙ!"

" කම්මැලියි,  හිතුණොත් රෑ වෙලා මූදට පනිනවා!"

" මේ මේ පණ්ඩිත වැඩ නං කරන්න යන්න එපා,  මුදෙ නානව නං මම ලෑස්ති කරල දෙන්නං හැබැයි හෙට උදේ! " ඉන්ද්‍රා තරවටු කළාය. 

" නෑ මට පුරුදුයි, සැරයක් අපි ටෙළියක් කරන්න අකුරළ ඇවිත් හිටපු කාලෙ හැමදාම රෑට වැඩ ඉවරවෙලා ඇවිත් මුදෙ පැනල නානවා, මොකුත් උනේ නෑ!"

" ඒ අකුරළ, මෙහෙ ඒ සෙල්ලම් බෑ,නොදන්න මුදුවල තනියම නාන්න  යන්න එපා,  ඒ මදිවට රෑ!" ඉන්ද්‍රා නළල රැලි කර ගනිමින් කීවාය.

" එහෙනම් යමු!" මම සිටි තැනින් නැගිටිමින් කීවෙමි.

ඇඟට දැනෙන්නේ මහ කුසීත ගතියකි.   මොනවා හෝ සැර දෙයක් පාවිච්චි කරන්නට ඇත්නම් මේ ගතිය මඟ ඇරී යනු ඇත.   තව කවුරුන් හෝ පිරිමියෙක් හිටියා නම් ටවුමටවත් යන්නට තිබුණත් තනියම යන්නට කම්මැලිය.    මම වටපිට බලමින් හිමිහිට ගමන් කළෙමි.

" මොකෝ වටපිට බලන්නෙ රෑ වෙනකොට ඉන්න බෑ නලියනව නේද?   අපේ රෙස්ටුරන්ට් එක පැත්තෙ ගියොත් නං මොනාහරි බොන්න පුළුවනි.  හැබැයි බියර් ඇත්තෙ අපට සැර ජාතිවලට ලැයිසන් නෑ!" ඉන්ද්‍රා වෙරළ අයිනේ ඇති ගොඩනැගිලි පෙළ දක්වමින් කීවාය.

වෙරළ දිගටම තනා ඇති සංචාරක නිවාස පේළියේ මෑතින්ම ඇති නිවාසය ඔවුන්ට අයත් බවත් එය කරගෙන යන්නේ ඇගේ සොහොයුරා බවත් මේ දිනවල සංචාරක අවාරය නිසා වසා දමා ඇති බවත් ඉන්ද්‍රා වැඩිදුරටත් කීවාය.

" මොකුත්ම නැතුවට වඩා බියර් එකක් හොඳයි!" මම කීවෙමි.

" එහෙනං ඔයා මල්ලිත් එක්ක යන්න මම මල්ලිට කියන්නං!"

 තවත් සුළු මොහොතකින් මා සිටියේ ඉන්ද්‍රලාගේ මල්ලිත් සමග ඔවුන්ගේ සංචාරක නිවාසයේය.    නිවාසයේ විදුලි එලි දැල්වූ මල්ලී මට බොන්නට බියර් බෝතලයක් ශීතකරණයෙන් ගෙන සුදානම් කළේය.   දවල් ඉතුරුවුණු බැදුම් පිළිස්සුම් පොදියක් රත්කර ඉන්ද්‍රා එවා තිබුණේ හපන්නටය.   බියර් බෝතලයෙන් වීදුරුවක් පුරවාගත් මා එය තොලගාන්නට පටන් ගනිත්ම දොරට ගසන හඬක් ඇසුනි.    ඉන්ද්‍රලාගේ මල්ලි දොර හැර බලනවිට ඇවිත් සිටියේ තරුණයන් හතර පස් දෙනෙකි.   පසුව දැනගත් පරිදි ඔවුන් සංචාරකයන් එන කාලයට වැල්ලේ නොයෙකුත් රැකියා කරමින් ජීවිකාව සරි කර ගන්නා තරුණයන්ය.

" ආ, මල්ලි ලයිට් පත්තු වෙලා තියෙනව දැකල කවුද බලන්න ආවෙ!" එක් තරුණයෙක් කීවේය.

" මේ අපේ අක්කලයි ඔෆිස් එකේ අයිය කෙනෙක්,  මොනාහරි බොන්න දෙන්න කියල මෙහෙට එක්කරගෙන ආවා!" 

" එහෙමද? අපිත් මේ සෙට් වෙන්න කියල යන ගමන්,  අක්කගෙ යාළුවො කට්ටියක් කොළඹ ඉඳල ආවය කියල ආරංචි උනාට අපි දැක්කෙ නෑනෙ! " රළු ගති ඇතියවුන් ලෙස මුහුණුවලින් පෙනුණද  උණුසුම් හදවත් ඇති තරුණයන් පිරිසක් වූ ඔවුහු  මා සමග කතා කළේ බොහෝ ලෙන්ගතු කමිනි.

" අයියගෙ අකමැත්තක් නැත්නං අපිත් එක්ක සෙට් වෙමු.   වෙන කොහෙවත් යන්න ඕනෑ නෑ මෙතනම වැඩේ කරමු, විනාඩි පහක් ඔහොම ඉන්නැ'යි" කී ඔවුහු සයිකල් දෙකක් සැර දමාගෙන ඉගිල ගොස් ටික වේලාවකින් ආපසු ආවේ බෝතල්ද කටගැස්මද ඇති පදමට අරගෙනය.

රාත්‍රිය මෝරන්නට වුයේද අපේ මුහුණු රතුවී කතාබහ වැඩිවන්නට වුයේද බෝතල් එකින් එක හිස්වන්නට වුයේද එක දිගටමය.   ටික ටික සරුවන්නට වූ සාදය සංචාරක නිවාසයෙන් මුහුදු වෙරළට ගෙනගියේ කාගේත් එකඟත්වයෙනි.   

සුහද කතාබහ අතරේම එකෙක් කොංගුරමක් ගෙනැවිත් වාදනය කරන්නට වුවිට එතෙක් අඩුවක්ව පවතී සංගීතයද එකතුවිය.    සඳ නැග එන රාත්‍රියේ මීවිතද ගීරසද නොඅඩුව ගලායන්නට  වුයේ අපේ සිත් සතුටින් පුරවාලමිනි.   රෑ කෑමට එන්නැ'යි  ඉන්ද්‍රා පණිවුඩ කීපයක්ම එවා තිබුණත් එවෙලේ කෑමට අවශ්‍යතාවක් නොවීය.   අපේ සංගීත සාජ්ජය අවසන් වුණේ රාත්‍රියේ කුමන හෝරාවේදැයි මට මතකයක් නැත.   අවසානයට යාන්තමින් වගේ මතක තිබුණේ නටමින්ම ගොස් මුහුදට පැන්න හැටි හා දෙතුන් දෙනෙක් මා ගොඩට ඇදගෙන ආ හැටිය.    වැලිගොව්වෙකු මෙන් වැලි තවරාගෙන සංචාරක නිවාසයේ එළියේ බිම නිදාසිටි මාව පහුවදා උදේ ඇහැරවන ලද්දේ ඉන්ද්‍රා විසිනි෴