Monday, June 25, 2018

පොසොන් පෝය, සුදු මල් පොකුරක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ශ්‍රී මහා බෝධිය, සංස්කෘතික පොලීසිය, වට්ටක්කා තෑග්ග සහ ජම්බෝල දොළදුක.

අනුරාධපුරේ ගමන ගැන වැඩි විස්තර පොසොන් පෝයට ලියනවාය කියා මම කිව්වේ පහුගිය පෝයට ලියපු පෝස්ටුවේය.  මම ඒ පොස්ටුවේ කාරණා තුනක් ගැන කතාකළෙමි.  එකක් නම් විජයපුරේ කෙල්ලය.  අනික ගුණේත් එක්ක පොසොන් පෝයට ගිය ගමන් බිමන් ගැන ය.  ඊළඟ කතාව ආරිත් එක්ක අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව බලන්නට ගිහිං පළමුවරට කොත්තු කාපු එකය.  ප්‍රශ්නය තියෙන්නේ කතාව කොහෙන් පටන් ගන්නද කියාය.  ඒ නිසාම ඉහත කියූ කතා තුනටම වෙනස් වුවත් අනුරාධපුරේ පොසොන් එකටම සම්බන්ධ කතාවකින් පටන් ගන්නට සිතුවෙමි.  මේ කතා එකට ලියැවුනත් සිදුවූ කාල පරාසයන් අතර සෑහෙන පරතරයක් ඇති නිසා කියවන ඔබට පොඩි කොයිල් ගතියක් ද ඇතිවන්නට ඉඩ ඇති බව දනිතත් එසේ වීම ගැන කනගාටු වනවා හැරෙන්නට මට වෙන කරන්නට දෙයක් නැත.

හැලපිත් මමත් විවාහ වුනු අවුරුද්දේ 'පොසොන් පෝය ට අනුරාධපුරේ ගියොත් හොඳයි' කියා හැලපි කිවූ නිසා මම ගමන ලෑස්ති කළෙමි.  ඔය කියන කාලයේ මම වැඩ කළේ වරායේය.  පොසොන් වලට අනුරාධපුරේ කාමරයක් හොයා ගන්නවා බොරුය.  අපේ ඔෆිස් එකේ වැඩකළ චන්ද්‍රානිගේ ගම අනුරාධපුරේ නිසා අපට කාමරයක් සොයා දෙන්නැයි මම චන්ද්‍රානි ට කීවෙමි.  චන්ද්‍රානිත් ඇය දන්නා කෙනෙකුට කියා අපට කාමරයක් වෙන්කර දුන්නේ මිහින්තලා පාරේ තියෙන හෝටලයකිනි.  එය හෝටලයක් ලෙස වෙනස්කරන ලද පරණ වලව්වකි.  ඉතින් පෝයට පෙරදා අපි කෝච්චියේ අනුරාධපුරේ ගියෙමු.  ඊට කලින්දා අපේ අම්මාත් කට්ටියක් එක්ක අනුරාධපුරේ ගියේ ශ්‍රී මහා බෝධිය ළඟ සිල් සමාදන් වෙන්නටය.   හෝටලයට ගිහිං බෑග් එහෙම කාමරයට දමා පුජා නගරයට ගියේ වන්දනා කරන්නටත් අම්මලා හමුවෙන්නත් අන්තිමට රෑට කෑම කන්නටත් හිතාගෙනය.

අටමස්ථානය කොහොම වෙතත් සිද්ධස්ථාන තුන හතරක් වන්දනා කරගෙන අම්මා මුණගැසී කතාකර පහුවදා එන්නම් ය කියා පුජා නගරයේ හැමතැනම අටවා තිබු අටෝරාසියක් තාවකාලික කඩවලින් එක ආප්ප කඩයකට ගියේ රෑට ආප්ප කන්නටය.  දැන් නම් එහෙම ආගිය අතේ කඩ අටවා ගන්නට ඉඩ නොදුන්නත් ඒ කාලේ ඉඩක් තියේ නම් ඕනෑම තැනක ටෙම්පරි කඩයක් දාගන්නට හැකිය.  දැන් නීති කොච්චර තදද කිව්වොත් අපේ ගමේ සමිතියකින් ථුපාරාමය ඉස්සරහ අවුරුදු 44 ක් නොකඩවා පවත්වාගෙන ගිය සිසිල් පැන් දන්සැලත් එතැනින් අයින් කර තිබෙන්නේ ඒ හරිය පුරා විද්‍යා භූමියක් කියලාය.  මෙදා සැරේ කොයි හරියෙන් ඉඩක් ලැබෙයිද කියා නොදන්න බව දන්සැලට සල්ලි එකතු කරන්නට අපේ ගෙදරට ආපු දන්සැලේ සංවිධායකයෙක් මගෙත් එක්ක කීවේය.

අපි ආප්ප කන්නට ගොඩවුණු කඩය කරගෙන ගියේ අල්ලිස් කියා තලාව පැත්තේ වයසක මනුස්සයෙකි.  ඔහුගේ බිරිඳ පුච්චන ආප්ප අල්ලිස් විකුණයි.  ඉතින් මනුස්සයා අපට බොහොම උනන්දුවෙන් සැලකුවේය.  මම කඩේ පිංතුර ද ගද්දී 'මහත්තයෝ, පිංතුරයක් මටත් එවන්නැ'යි අල්ලිස් මට ඇඩ්රස් එක දුන්නේය.  මා ඔහුගේ නම දැනගත්තේ ඒ විදියටය.  කෑමෙන් පසු ආයෙමත් අපි නවතින හෝටලයට ගියෙමු.

පහුවදා උදේ කෑමද හෝටලයෙන් ලබාගෙන අම්මාට දෙන්න ගිලන්පස එකකුත් උණුවතුර බෝතලයකට දමාගෙන පුජා නගරයට එන්නට පිටත් වීමු.  ශ්‍රී මහා බෝධියට ඉදිරිපිටින් ඇති පාර දෙපැත්තේ එක දිගටම වවා ඇති ඇහැළ ගස් පේළි දෙකේ කහ පාටට මල් පිපී ඇහැළ මල් රෑන් නමා වැටී උදයේ හමනා මඳ සුළඟට ඒ මේ අත සෙළවෙන විට මැවෙන්නේ මනස්කාන්ත දර්ශනයකි.  පාර දිගටම සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇසෙන්නේ ලයාන්විත ගීතයකි.

" සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී"

පොසොන් පෝදා උදේ මඳ සුළඟට කහපාට ඇහැළ මල් තාලයකට නැළවෙද්දී ඇසුණු ඒ ගීතය කොතරම් හදවතට දැනුණා ද කිව්වොත් අදටත් මට ඒ අවස්ථාව සිතින් වැළඳගත හැකිය.  ගීතයේ ගායකයා වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මා ඇසු කතාවක් මට මතක්වේ.

ප්‍රින්ස් උදය ප්‍රියන්තට එපමණ ජනප්‍රියත්වයක් නොතිබූ සමයේ ඔහු සංගීත සංදර්ශනයක ගීත ගයා වේදිකාවෙන් බසිද්දී ඉස්සරහට මුණ ගැසී තිබෙන්නේ ප්‍රෙඩී සිල්වා වය.  ප්‍රෙඩී ප්‍රින්ස් ගේ හිසේ සිට දෙපතුල දක්වා පහළට බලා,

" මල්ලි, උඹේ නම මොකක්ද?"

ඇසුවිට ප්‍රින්ස් නම කීවේ තවත් සංගීතයක ගීත කියන්නට අවස්ථාවක් දෝයි සිතමිනි.  ප්‍රෙඩී බොහොම බැරෑරුම් ව කතාව පටන් ගත්තේය.

" උඹ හෙට උදේම මහරගමට පලයන්.  මහරගම ඉන්නව වාසගම් දෙකක් තියෙන එකෙක්.  අබේවර්ධන බාලසුරිය කියල.  ඌට උඹේ එක නමක් දීල උගෙ වාසගමක් උඹ ඉල්ල ගනිං! "

ප්‍රින්ස් ගල් ගැසී බලා ඉද්දී ප්‍රෙඩී යන්නට ගියේය.

ශ්‍රී මහා බෝධියට යන්නට පෙර ගෑනු පිරිමි දෙපැත්තෙන් මෙටල් ඩිටෙක්ටර් එකක් ඇතුළෙන් ගමන් කළ යුතුය.  එය භාවිතයට ආවේ කොටි අනුරාධපුරයට පහර දුන්නාට පසුව බැතිමතුන්ගේ ආරක්ෂාවටය.  බැතිමතුන් ඒවා තුළින් යන ආකාරය පොලීසිය බලා සිටී.  යුද්ධය තිබුණු කාලයේ එහෙම ආරක්‍ෂාවක් තිබුණත් දැන් සිද්ධස්ථාන ඉදිරිපිට තියෙන්නේ සංස්කෘතික පොලීසියකි.  සංස්කෘතිකය කිව්වාට නියම වචනය නම් ගෝත්‍රික පොලිසියය.  පහුගිය අවුරුද්දේ පොසොන් පෝයට අපි අනුරාධපුරේ වන්දනාවේ ගියදා ශ්‍රී මහා බෝධිය වඳින්නට පෝලිමේ ගමන් කළෙමු.  ඇතුල්වෙන දොරකඩ කාන්තා සහ පිරිමි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.  ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය වුණේ බැතිමතුන් ඇඳගෙන යන ඇඳුම් ගැන සුපරීක්ෂාකාරී වීමය.  අපට ඉස්සරහින් ඇතුල් වෙන්නට ගිය කොල්ලෙක්ව පොලිසිය ආපහු හරවා යැව්වේ කොට කලිසම් ඇඳගෙන ඇතුළට යන්නට බැරිය කියාය.  මේ වැඩේ බලාගෙන සිටි මගෙත් කට ඉස්සර විය.

" බුදු හාමුදුරුවන්ට පොලිස් ගාඩ් එකක් නොතිබුණේ හොඳ වෙලාවට නේද? නැත්නං පටාචාරා ට පිස්සුවෙන්ම මැරෙන්නයි වෙන්නෙ!"

මම ළඟ හිටපු හැලපිට කිව්වත් ඒක පොලිස්කාරයාටත් ඇසී මගෙ දිහා රවා බැලුවේ මාව දවා හළු කරන්නට මෙනි.  හොඳ වෙලාවට මම කලිසමක් කමිසයක් පිළිවෙලකට ඇඳගෙන ගිහින් තිබුණු නිසා මාව හරවා යවන්නට ඔහුට බැරිවිය.  මේ නියාමන හෙවත් තහනම් ඇඳුම් ගැන එකඟතාව ආණ්ඩුවෙන් දුන්න එකක්ද, පන්සලෙන් දුන්න එකක්ද නැත්නම් පොලීසියේ අයම හදාගත්තු එකක්දැයි මම නොදනිතත් ඇඳුම් ගැන පොලීසියේ අය අතරත් එකඟතාවක් නොවූ බව මා තේරුම් ගත්තේ අර ආපහු හරවා යැවූ කොල්ලා වෙන දොරටුවකින් ශ්‍රී මහා බෝධියට ඇතුල්වී සිටිනු මා උඩ මළුවේ දී දුටු නිසාය.

ඉතින් අපි දෙන්නා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් අරන් හිටපු අම්මා හමුවී තේ බෝතලයද දී ආපහු පිටත්වුනේ මිහින්තලේ යන්නටය.  මිහින්තලේ ගමනේ අරමුණු දෙකක් විය.  එකක් නම් හැලපි කවදාවත් නැගලා නැතැයි කී ආරාධනා ගලට නැගීමය.  අනික නම් දවල් කෑමට චන්ද්‍රානිලාගේ ගෙදර යෑමය.  චන්ද්‍රානිලාගේ ගෙවල් තිබුණේ යාපනේ පාරේය.  මිහින්තලේ වන්දනා  කරගෙන එද්දී ගෙදර එන්නට කියා චන්ද්‍රානි මට කලින් කියා තිබුණි.  ගෙදර එද්දී ගේන්නට ඕනෑ මොනවාදැයි මම චන්ද්‍රානිගෙන් අහපු වෙලේ වට්ටක්කා ගෙඩියක් අරගෙන එන්නටැ යි ඇය කීවේ විහිළුවට වුණත් මම මිහින්තලෙන් රාත්තල් හත අටක ලොකු වට්ටක්කා ගෙඩියක් මිලදී ගත්තේ ආයෙම වචන වරද්දා නොගන්නටය.

" වට්ටක්ක ගෙඩියක් උස්සගෙන ගෙදරකට ගියෑකිද? ඔයාට නං පිස්සු!" හැලපි කීවාය.

" ඉතින් වට්ටක්ක ගේන්න කිව්වා, මම ගත්තා!"

" ඒකිටත් පිස්සු ඔයාටත් පිස්සු!" කියමින්  කඩයකට ගිය හැලපි තව මොන මොනවාදෝ ගත්තේ කටු කුටු ගා කටයටින් මට බැන වදිමිනි.  චන්ද්‍රානි ට සවුත්තුවට වට්ටක්කේ ගත්තත් ඒක මටම ඇණයක් වුණේ ඒ බරත් එල්ලාගෙන යන්නට අමාරු නිසාය.  වට්ටක්කා ගෙඩියත් උස්සාගෙන බස් එකකට නගින්නට වත් බැරි නිසා අපි ත්‍රීවීල් එකක් කතා කරගෙන චන්ද්‍රානි ලගේ ගෙදර යන්නට පිටත් වුණෙමු.   පාර අයිනේම තිබු ගේ හොයාගන්නට කිසි අමාරුවක් නොවුණේ චන්ද්‍රානිලගේ අයියා පළාතම දන්නා හඳුනන ටියුෂන් මාස්ටර් කෙනෙක් නිසාය.  ගෙනගිය තෑගි චන්ද්‍රානිට දුන්න අතර වට්ටක්කා ගෙඩිය දුටු ඇය නළල රැලිකර තොල් සපාගත්තේ සිනාව මැඩගන්නට ය.  ඔෆිස් එකේදී වගේ චරෝ බරෝ කියා ගෙදරදී කියවන්නට බැරි හෙයින් ඇය කටවහගෙන සිටියාය.  දවල්ට කෑමත් කා සවස් වරුවම චන්ද්‍රානිලගේ ගෙදර ගතකළ අප දෙදෙනා ආපහු අනුරාධපුරේට ආවේ රෑ වෙද්දීය.

ඒ කතාව එහෙම අවසන් වෙද්දී ඊළඟ කතාව පුරන්නට ඊටත් දසකයක් විතර ඈතට යන්නට වෙයි.  ඒ අපි ගුණේත් එක්ක අනුරාධපුරේ රවුම් ගහපු කාලයටය.  ගුණේ බැන්දෙත් අනුරාධපුරෙන්මය.  උගේ බිරිඳගේ පියා ගුණේත් එක්ක වැඩකරපු කෙනෙකි.  පුදුමෙකට වගේ ඔහුත් ගුණේ කෙනෙකි.  විවාහ වී වසර කීපයක් ගතවී ජෝඩුවට දරුවෙකුත් ලැබුණු පසු දෙන්නා අතර විරසකයක් ඇතිවිය.  ඊට හේතු කාරණා මම අදටත් ගුණේගෙන් අසා නැත.  කොහොම වුණත් මම දන්නේ දෙදෙනා වෙන්වී ගුණේ  කඳානට මාරුවක් හදාගෙන දරුවාත් අරගෙන ගෙදර ආ බවයි.  ඊට අවුරුදු විසි ගණනකට පසු ලලනිගේත් එරික්ගේත් බාල දුව යාලු කරගෙන කසාද බැඳගත්තේ ඒ තරුණයාය.  ගුණේ එදා සිට වෙනත් විවාහයක් ගැන නොසිතා දරුවාත් හදාගෙන තනිවම ජීවත් වුණේය.  

මේ මෑතදී ගුණේ දරුණු ලෙස රෝගාතුරවී සිටිතැයි අපට ආරංචි විය.  පහුගිය සතියේ එක දවසක අපි කට්ටියම ගුණේ බලන්නට ඔහුගේ ගෙදර ගියෙමු.  ගිහින් ලෙඩාත් එක්ක කතා කරමින් ඉන්න අතරේ ගෙට පහළ තියෙන ජම්බෝල ගහක පැහුණු ගෙඩි පිරී තිබෙනවා දැක්ක මට හිතුණේ ජම්බෝලයකුත් කඩාගෙනම ගියොත් නරකද කියාය.  ගුණේගෙන් ඇහුවාම ඌ කීවේ ඒ ජම්බෝල ගහ තියෙන්නේ පුංචි අම්මලාගේ වත්තේ බවත් ඕනෑ තරම් ගෙඩි කඩා ගත්තාට අවුලක් නැති බවත්ය.  ඒ ගමන ස්වප්නාටත් ජම්බෝල කන්නට වුවමනා වූ නිසා එරිකුත් මාත් පල්ලම් බැස්සේ ජම්බෝල කඩන්නටය.  ඒ ගෙදර හිටපු ජෝඩුව කෙක්කක් ද සොයාදී ජම්බෝල කඩන්නට උදව් කළහ.  වත්තේ තියෙන ගස් ගොඩ අස්සේ උස කෙක්කක් අමෝරා ගෙන ජම්බෝල කඩන්නට හරි අමාරුය.  ගෙඩි කීපයක් කඩද්දි අපි දෙන්නාටම හැතිය.  එරිකා එක්වරම පපුව රිදෙනවා කිවේය.   මට වැඩියත්ම බය හිතුනේ ඌ හෘද රෝගියෙක් නිසාය.   ඒ ගමන අපි කඩපු ජම්බෝල ටිකත් අරගෙන ඉක්මනට ආපහු ආවේ එරික්ගේ අසනීපය වැඩි වෙයි කියන බයටය෴

Monday, June 18, 2018

ස්වප්නාගේ දානය, එරික්ගේ ස්නානය, ගල පාමුල ඇළ, ගුණේගේ මඟුල් ගෙදර සහ දුවගේ නෝක්කාඩුව.





අපි කට්ටිය ස්වප්නාගේ ගෙට ගොඩවෙන විටත් ස්වප්නා කුස්සියේ ගජරාමෙට වැඩය.   සතියක් විතර එක දිගට වැටුණු මහ වැස්ස හේතුවෙන් ස්වප්නලාගේ ගෙදරට යන පාර මඩ ගොඩක් වී තිබුණි.  වත්ත සෑහෙන්න වල් වැහී තිබුණේ ද අනවරත වැස්ස නිසාය.  හැම තැනම වැවී තිබු කජු ගස්වල පුහුලන් එල්ලී තිබුණේ බල්බ් එල්ලුවාක් මෙනි.  වැහි වලාකුළු නිසා වාතයේ ආර්ද්‍රතාව වැඩිවී දාඩිය ගලන්නට වූ හෙයින් ස්වප්නා දීපු තේවල රස බලන්නට වුණේ වත්තේ තැන් තැන්වල ඉඳගෙනය.  එරික්ට නම් හදිස්සිය තිබුණේ ගෙනාපු බෝතලුත් අරගෙන වත්ත ඉස්මත්තේ ඇති ගල්තලාවට නැග ගන්නටය.

ඒ ගල්තලාව වටේටම ගස් නිසා අපූරු හෙවනක් ගල උඩ විය.  අවශ්‍ය කරන අඩුම කුඩුමද අරගෙන ගලට නැගගත් විට කිසි කෙනෙකුට හොයන්නට බැරිය.  ගල පහළින් ගලා යන දිය පහර වැස්ස නිසා හොඳටම පිම්බී ගලාබැස්සේ සිලි සිලි හඬ නගමිනි.  දෙතුන් සැරයක් ගලට ගිය එරික් ඇවිත් මට කතාකළේය.

"වරෙන්කො බං ! එරික්ට බොන්නට හදිස්සි වෙලාය.  චන්දරේ ගෙ මඟුල් ගෙදර දවසේ වෙච්ච කතාව මම ඌට මතක් කළෙමි.

" එදා නං බැණුම් විතරයි, අද ගුටි කන්නත් වෙයි වගේ!"

" ඒ මොකක්ද? කවුද උඹට බැන්නේ"

" ඇයි මතක නැද්ද මඟුල් ගෙදරදී උඹ මාව කන්න හැදුවෙ!"

" කාටද බං ඔව්ව මතක තියෙන්නෙ!" එරික් කීවේ සිනාසෙමිනි.

අපි හතර දෙනා ගලට ගිහිං කර්තව්‍යය ආරම්භ කළෙමු.  ටවුමෙන් ඇතිවෙන්නට හපන්නට ජාති අරගෙන ආපු නිසා අපි ස්වප්නා ගෙන් බයිට් ඉල්ලන්නට ගියේ නැත.  ඒ වුණාට ටිකකින් ස්වප්නාගේ පුතාද බැදපු මාළු පිඟානක් අරගෙන ගලට ආවේ බයිට් ගේන ව්‍යාජයෙන් දෙකක් ඇන ගන්නටය.  අපි ඌව ද වාඩි කරගෙන වැඩේ කරගෙන ගියෙමු.  ෂොට් එකක් දෙකක් වදිනවිට දෙකන්සෙන් දහඩිය ගලන්නට වූ නිසා ඉස්සෙල්ලාම කමිස ගලවා දැම්මත් දාඩිය දැමීමේ අඩුවක් නැත.  එරික්ට අපූරු අදහසක් ආවේ එවිටය.

" අපි නාමුද?" එරික් අසයි.

" කොහෙද ? මේ ඇලේ ද?"

" මේ මඩ වතුර නාන්න බෑ බං, අපි ළිඳෙන් නාමු."

ස්වප්නලාගේ වත්ත පහළට වෙන්න වෙල අයිනේ ඇති පොඩි ලිඳ වැස්සට පිරී වතුර උතුරා යයි.  නාන්නට කැමති වුණේ මම විතරය.  එරික් ගෙදරට ගිහින් සරමක්ද රෙද්දක්ද තුවායක්ද අරගෙන ආවේය.  සරම මට හැඳගන්නට දුන් එරික් රෙද්ද ඇඳගෙන නාන්න පටන් ගත්තේය.  ටිකකින් ලලනි කෙකි බලට්ටකුත් බැඳගෙන වත්ත පහළට ඇවිත් කජු නාඹර කඩන්නට පටන් ගත්තේ දුවට දෙන්න ගෙනියන්න කියාය.  වතුර දෙක තුනක් නාපු එරික් ජබෝස් ගා ලිඳට පැන්නේය.

" වතුර බොර කරන්නෙ නැතුව ගොඩට ඇවිත් නාපන්  බං!"

" පොඩ්ඩක් ඉඳපන් බං, රෙද්ද ගැලවුණා හොයාගන ගොඩට එන්නං, ඉඳකින් මේකිත් මේ වෙලාවටම මෙතෙන්ට ආවනෙ නැත්නං රෙදි ඕනැත් නෑ!"

ලිඳේ පැය බාගයක් විතර ගතකරමින් හොඳට නාගෙන ආපහු ගලට යද්දී එතන හිටිය උන් බෝතලයක් ඉවර කරලාය.  එරික්ගේත් ලලනිගේත් පොඩි දුව විවාහ වුණේ ගුණේගේ පුතා එක්කය.  ඒ දෙමවුපියන්ගේ යාළුකමට දැන හඳුනාගෙන නොව උන් දෙන්නා මගතොට දී හමුවී ඇයි හොඳයි කියලාය.  එරික් ළිඳේ නාද්දී  මගෙත් එක්ක කිය කියා හිටියේ ඒ කතාවය.

" වැඩේ මට අහුවුනාම මම කොල්ලගෙන් ඇහුවා,  අංකල් තාත්තට නං කියන්න එපා කියල ඌ කිව්වා.  පුතා මම ගුණේව අඳුනන්නෙ අවුරුදු තිහ හතළිහක ඉඳල, ඔයා කොහොම කිව්වත් මට මේ ගැන තාත්තට කියන්න වෙනව කියල මම කිව්වා."

දෙන්නාගේ සම්බන්ධය ගැන විරුද්ධ වෙන්නට කිසිම හේතුවක් දෙපැත්තටම නොතිබුණ නිසා ටික දවසකින් ම මඟුල සිද්ද වුණත් ලොකුවට මඟුල් කනවාට කෙල්ලත් කොල්ලත් කැමතිවී නැත.

" මඟුල කන්න දුන්නෙ නෑනෙ බං, උන් රට යනවයි කිව්වා.  කසාදෙ රෙජිස්ටර් කළා විතරයි, දැන් ඔය ඉන්නෙ රට ගියෙත් නෑ."

එරික් එහෙම කියද්දී මට මතක් වුණේ මීට සෑහෙන කාලයකට පෙර අපි ගියපු මඟුල් ගෙදරකි.  ඒ අපේ අනික් ගුණේගේ අයියාගේ මඟුලයි.  ඒ මඟුල ගෙවල්වල මඟුල් කාපු අන්තිම කාලයේ වගේ තිබ්බ එකකි.  අපේ සෙට් එකේ ගුණේලා තුන්දෙනෙකි.  දෙන්නෙක්ගේ නමත් මුල් අකුරුත් එක විදියමය.  ඉතින් අපි කළේ ඒ දෙන්නාට වෙනම නම් තැබීමය.  මම මේ කියන්නේ  එක වගේ නම තියෙන දෙන්නා ගැන නොව අනික් ගුණේ ගැනයි.  අයියාගේ මඟුලට ආරාධනා කරමින් ගුණේ අපට කීවේ වැඩ තියෙන නිසා දවසකට දෙකකට කලින් ආවොත් හොඳයි කියාය.  ගෙවල්වල ගන්නා මඟුල් වලදී එහෙමය.  මඩු ගහන්නට, සරසන්නට, ගෙවල්වලින් බඩු අදින්නට පමණක් නොව දර පලන්නට, පොල් ලෙලි ගහන්නට, හාල් කොටාගෙන එන්නට ආදී වශයෙන් කරන්නට අටෝරාසියක් වැඩ ඇත.

ඒ මදිවාට ගුණේ ගේ ගෙදර තිබුණේ කන්දකය.  ඒ කන්දේ සමහර තැන්වල මහගිරි දඹේ වගේ දනිස්ස නිකටේ වදින තරමට නැග්මක් තිබේ.  කන්දේ ළිං කැපුවාට වතුර තියෙන්නේ කාලයකට විතරය.  අපි කට්ටිය මේ කන්දත් නැගගෙන ගොස් ගුණේලගේ ගෙදර ලැගුම් ගත්තෙමු.   වැඩ තියනවා කීවාට අපි කට්ටියට කරන්න එහෙමකට බර වැඩක් නැති වුණේ වැඩට ගමේ උදවියත් ඇවිත් හිටපු නිසාවෙනි.  අපි මඟුල් මඩුව සරසමින්ද පැයෙන් පැයට තේ බොමින්ද විහිලු කරමින්ද කාලය ගෙවා දැම්මෙමු.  ඇත්තම කිව්වොත් අපි නොගියාට ගුණේලාට වැඩ කරන අයගෙන් අඩුවක් තිබුණේ නැත.  පළාතේ යමක් කමක් ඇති අයවූ ගුණේලාට අවුරුද්ද කන්නට වැඩිත් එක්ක හාල් පොල් ආදියද වතු පිටිද හරක බාන ද තිබුණු නිසා අපි හිටියාය කියා අමුතු බරක් තිබුණෙත් නැත.  ඇත්තම කතාව නම් ගුණේලාගේ ගෙදර අය අපි ඒ ගෙදර ඇවිත් ඉන්නවාට හරිම කැමතිය.

මනමාලයා වූ අයියා වැඩකලේ ලංකා බැංකුවේය.  ගුණේට බාල නංගියෙක් සහ මල්ලියෙකි.  නංගිට ඒ වනවිටත් කටයුත්තක් බලා විවාහය ස්ථිර කරගෙන තිබුණත් අයියාගේ මඟුල් ගෙදර වැඩ කරන්නට තමන් සිටිය යුතු යැයි කියූ නංගි ඇයගේ මඟුල ඊළඟ අවුරුද්ද වෙනතුරු කල් දමාගෙන තිබුණේ ස්වේච්ඡාවෙනි.  මට කියන්නට අමතක වුණේ ගුණේලාගේ තාත්තා සිටියත් අම්මා නැති එකය.  අම්මා ඊට සෑහෙන කාලයකට පෙර මෙලොව හැර ගොසින්ය.

අපි කට්ටියම රෑට නිදාගන්නේ ගෙයි ඉස්තෝප්පු කාමරේය.  මඟුල් ගෙදර තියෙන එක එක වැඩවල යෙදී නිදාගන්න විටත් හොඳටම රෑ වෙයි.  ඒ ගියත් පැය ගාණක් යනතුරු ඉස්පිරිතාලෙ ගැනත් වැඩ කරන අය ගැනත් එක එකා කියන කතා අහගෙන බක බක ගා හිනාවෙමින් ඉන්න අපට නින්ද යන්නේ මහ පාන්දරය.  මඟුල් ගෙදරට ලොකුම ප්‍රශ්නය වී තිබුණේ වතුරය.  ඒ කාලයේ ගුණේලාගේ ලිඳ හිඳී ගිහින්ය.  කන්දේ උඩටම නැගුණු විට ගස් ගල් අතරින් ගලා එන අපූරු වතුර උල්පතක් තිබේ.  අපි ඒ උල්පත හරස්කර පීලි දමා පහළට වතුර එන්නට සකස් කළෙමු.  පීලි වලින් ගලා එන වතුර බැරල් වල පිරවේ.  ඒ විදියට මඟුල් ගේ තිබ්බ දවස් කීපය පුරාම අඛණ්ඩ ජල සැපයුමක් දෙන්නට හැකිවිය.

දැන් මඟුල් ගෙදරට කලින් දවසය.  ඊට කලින් දවස් දෙක තුනක සිට ගමේ ගෑණු කට්ටිය එකතුවී මඟුලට වුවමනා කැවුම්,කොකිස්, ආස්මී ආදී රසකැවිලි හදා අවසාන කළහ.  කෙසෙල්කැන් තුන හතරක් බිං කර දුම් පිඹ තිබුණු අතර ඒවාද ගොඩගෙන නාවා පැත්තකින් තිබ්බේ හොඳට ඉදෙනතුරුය.  පහුවදා ගුණේලගේ ගෙදර මඟුල තියෙන්නේ හවසය.  ඒ කියන්නේ ගුණේගේ අයියා මනමාලිය කැන්දා ගෙන ආවාට පසුවය.  කෝකියන් ඇවිත් මඩු ගසා ගෙන කෑම හදන්නට සුදානම් වෙති.  වැඩ කරන අයට කන්න දෙන්න ගෑණු එකතුවී නොයෙකුත් කතා වල යෙදෙමින් හිනාවෙමින් කෑම උයති.  අපි කරන්නේ හිමිහිට අරන් ආපු  බෝතලයක් දෙකක් අරගෙන වත්ත පහළ මඩුවට යෑමය.  හපන්නට දෙයක් හොයාගන්න යවන්නේ ඩේවිඩ්වය.  ඌ මොත්ත කාරයා වගේම බොන්නෙත් නැත.  ඩේවිඩ් කුස්සිය පැත්තේ කැරකෙමින් සිට ගෑනුන්ට උදව් කරන මුවාවෙන් ටිකක් බටර් ගාමින් සිට හපන්න මොනවා හෝ අරගෙන එයි.

ස්වප්නා ඇතුළු කෙල්ලන් කට්ටිය ආවේ මඟුල් දවසේය.  මඟුල් කිව්වාට එදා තිබුණේ කමින් හෝම් හෙවත් හෝම් කමින් එකය.  මඟුල් ගේත් ඉවරවී කට්ටිය එකා දෙන්නා තුන් හතර දෙනා ටික ටික මඟුල් ගෙදරින් පිටවී යන සැන්දෑවේ අපි ඔක්කොම එක පෙළට තබා තිබු පුටුවල වාඩිවී කතා කරමින් සිටියෙමු.  ස්වප්නා හිටියේ මගේ ළඟ තිබුණු පුටුවේය.

" අදවත් ගෙදර යන්න අදහසක් නැද්ද?" ස්වප්නා ඇසුවාය.

" බලමුකො" මම පිළිතුරු දුන්නෙමි.

සාමාන්‍යයෙන් මඟුල් බත කිරි හොද්දට බහින තුරු මගුල් ගෙදර බින්න බැහැගෙන ඉඳීම අපේ චාරිත්‍රය වුණත් ගුණේලාගේ ගෙදරදී ඒ හොඳ සිරිත පිළිපදින්නට පොඩි අපහසුවක් තිබුණේ ඒ වනවිටත් අපි කට්ටියම දවස් ගණනක් රස්සාවෙන් නිවාඩු ගෙන තිබීම හේතුවෙනි.  එබැවින් එදා සවස හෝ පසුවදා උදේ පිටත්ව යන්නට අපි කතිකා කරගෙන තිබුණෙමු.

" බලන්නෙ මොනවද? දැන් දවස් ගාණක් වැඩට ගියෙත් නෑනෙ, කොහොම හරි හෙට වැඩට යන්න."

" වැඩට යන එක මම බලාගන්නම්, ඔයා දැන් දෙයියනේ කියල ගෙදර යන්න."

අපි කට්ටිය එකතුවී මඟුල් ගේ මුවාවෙන් කකා බිබී විනෝදවෙමින් රස්තියාදු ගැසීම ගැන ස්වප්නා ගේ සිතේ ඇති අප්‍රසාදය මට පැහැදිලිවම තේරුණත් මම එය නොතේරුණාක් මෙන් කතා කළේ ඒ දවස්වල මම ස්වප්නා එක්ක පොඩි පහේ ඔරොප්පුවකින් සිටි නිසාය. ඔරොප්පුවට හේතුව වුණේ මම පොඩිපහේ ශෛල කර්මාන්ත පුහුණුවකට ස්වප්නාට යෝජනාවක් කළත් ඇය ඊට අකමැති වීමය.  මම ඒ යෝජනාව සද්භාවයෙන්ම කළේ විවාහාභිමුඛ යුවතියන්ට ලැබෙන එවන් පළපුරුද්දක් අනාගත විවාහ ජීවිතයට මහෝපකාරී වන නිසා වුවත් ස්වප්නා මගේ පැහැදිලි කිරීම පිළිගන්නට කැමති වුණේ නැත.  සමහරවිට ඒ කාලේම වගේ නන්දා මාලිනී ගැයූ " ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි" ගීතය අසා තිබු නිසාද වෙන්නට පුළුවන.  කෙසේ වුවද ඇයගේ තද බල විරෝධය අවශ්‍ය පමණට වැඩිදැයි සිතාදෝ විරෝධයේ සැර බාල කරන්නට පසු දවසක ඇය මට මෙසේ කීවාය.

" අපේ ගෙදර ඇවිත් අම්මල තාත්තල එක්ක කතාකරන්න!"

" ඒ මොනවටද?"

" නෑ ඉතින් එතකොට ඔය ප්‍රශ්න මොකුත් මතුවෙන්නෙ නෑනෙ."

ගෙවල් වලින් අවසර ගෙන ලව් කිරීමේ කිසිම ත්‍රිල් එකක් නැත.  ගෙදරින් ලයිසන් ලැබුණු වහාම ඒ ලව් එකේ තියෙන ලල් එක එහෙම පිටින්ම වාෂ්ප වී යයි.  ඒ නිසා ගෙවල්වලින් අසා ලව් කිරීම විලි ලැජ්ජාවකැ'යි මම ස්වප්නාට කීවෙමි.  ස්වප්නා ඊට පස්සේදීත් කීප වතාවක් ඔය කතාව මතක් කළත් මම නිහඬව සිටියේ ඒ වනවිටත් අප දෙදෙනා අතර යම් යම් දේ අරභයා මත ගැටුම් ද නොගැලපීම් ද එක පිට එක මතුවෙමින් පැවති හෙයිනි.  ඒ හේතුවෙන්ම දෙදෙනා එකතුවෙනවාට වඩා වෙන්වීම යෙහෙකැයි දෙදෙනාටම සිතුන හා දෙදෙනාගේ සම්බන්ධය නොන්ඩි ගසමින් ඉදිරියට ගාටන කාලය වැඩි කල් නොයාදීම එළඹියේය.  ළය රෝහලෙන් ස්ථාන මාරු ලැබූ මා කොළඹට සම්ප්‍රාප්ත වුයේත් ඔය කාලයේදීය.  ඊට පසුවද අප දෙදෙනා කීප වතාවක් හමුවුවත් පසුකාලීනව හමුවීමටද දෙදෙනාටම උනන්දුවක් නොමැති වීම නිසාවෙන් ස්වප්නා ඇගේ අතක් බලාගත් අතර මම මගේ අත බලාගත් හෙයින් ඒ කෙටි වූද සිදුවීම් බහුල වූද ඇසුර අවසන් විය.

ඊට අවුරුද්දකට හෝ දෙකකට පමණ පසුව ස්වප්නා සිය රැකියාවට අදාළ කෙටි කාලීන පාඨමාලාවකදී හඳුනා ගත් කෙනෙකු සමග විවාහ වුවාය.  බොහෝ සොඳුරු සිතුවිලි සහිතව විවාහ වුවත් ඒ කිසිවක් සාර්ථක කරගන්නට ස්වප්නා අසමත් වුණේ මුලිකවම ඇගේ තේරීම වැරදි එකක් වූ නිසාය.  ස්වප්නාගේ මනුස්සයා වෙනත් ගෑනු එක්කත් ඇයි හොඳයි කීමත් ඔව්වා ආරංචි වී ඒ ගැන අහනවිට ඔහු ස්වප්නාට නපුරු විදියට සැලකීමත් නිසා කරගත් විවාහය ඇයට තිත්ත වන්නට වැඩිකල් ගියේ නැත.  නන්දා මාලිනී " පෙම් ලොවදී දුටු ඔහුමද මේ" සින්දුව කීවේද ඔය කාලයේදීමය.  ඒ ගීතයේ කියැවෙන දේවල් ඒ විදියටම අත් දකින්නට තරම් ස්වප්නාගේ දෛවය ඇයට අකාරුණික වී තිබිණි.  අවසානයේ දරු දෙදෙනෙකුත් සමග ස්වප්නා තනි කරමින් ඔහු වෙන ගැහැණියක් සමග පවුල් කන්නට පිටත්ව ගියේය.

ජීවිතයේ හැටි එහෙමය.  මම කලිනුත් කීවා සේම ජීවිතය අපට දෙන්නේ අප ආසාකරන හෝ බලාපොරොත්තු වන දේවල් නොව අපට හිමි හෙවත් දෛවය විසින් නියමකර ඇති දේ බව අප වටහා ගන්නේ ටිකක් විතර ප්‍රමාද වෙලාය.   කොහොම වුණත් දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ස්වප්නා රැකියාවද කරමින් දරු දෙදෙනාද කෙසේ හෝ ලොකු මහත් කරගෙන ඉන්න ගේත් පිළිවෙලක් කරගන්නට වෙහෙසෙයි.  ස්වප්නාගේ දුව දැන් සුන්දර තරුණියකි.  අපි කා බී ස්වප්නාගේ සංග්‍රහ සත්කාර විඳ එන්නට සැරසෙන වෙලාවේ කෙල්ල පොඩි නෝක්කාඩුවක් කීවේ ලලනිට සහ රාණිටය.

" අම්ම අමාරුවෙ වැටෙන්න ඇරලා නැන්දල බලාගෙන හිටිය නේද?"

මේ කතාව අහපු උන් දෙන්නා මුණෙන් මුණ බලාගත්තේ ඇත්ත වශයෙන්ම ස්වප්නා අමාරුවේ වැටුණු එකට ඒ දෙන්නාගේ කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ නිසාය.  ලලනිත්, රාණිත් ස්වප්නා එක්ක පුහුණු පාඨමාලාවේ හිටපු බව ඇත්ත වුණත් ස්වප්නා සිය ප්‍රේම සම්බන්ධය පටන්ගත්තේ ඒ අයගේ උදව් ඇතිව නොව තනිවමය.  නමුත් ඒ පරණ කතා ආපහු ඇදගන්නට එය අවස්ථාව නොවූ හෙයින් හා කෙල්ලට ඔය කරුණු කාරණා පැහැදිලි කිරීම තේරුමක් නැති වැඩක් හෙයින් උන් දෙන්නා නිහඬවම සිටියහ.  ඒ වුණාට එතැන හිටපු එඩ්ඩා කෙල්ලට අපුරු උත්තරයක් දුන්නේය.

" එහෙම වුණා නම් දුවේ අද ඔය කතාව කියන්න ඔයත් මෙතන නෑ නේද?"

ඉතින් මා කොටස් කීපයක්ම ලියු ස්වප්නාගේ දානයේ කතාව නවතන්නට කාලය පැමිණ ඇතත් එයින් කියැවෙන්නේ ස්වප්නා නැවත මුණ නොගැසෙන බව නොවේ.  ඉදිරියේදී මා ලියන වෙනත් කතාවලත් සමහරවිට ස්වප්නා චරිතයක් වෙන්නට ඉඩ ඇත෴

Sunday, June 10, 2018

නාරායන් සොයා යාම, රැන්ඩෝර් ගයි, ඇන්ටාගේ ටේලර් සාප්පුව සහ අහම්බෙන් සිදු වූ හුටපටය.



                                                  පිංතුරය : Google Images

නාරායන් සොයා යාම

නාරායන් සොයා යාම 2

නාරායන් සොයා යාම 3

ආර්. කේ රාමචන්ද්‍රන් අපත් සමග කතාබහට එකතු වුණේ පුළුල් සිනහවක් ද සමගය.  රැන්ඩෝර් ගයි  සමග මම රාමචන්ද්‍රන් එක්ක කතා කරද්දී අර්ජුන මගේ කැමරාවෙන් පිංතුර ගත්තේය.  අපට විෂයය වුණේ නාරයන්ගේ කුඩා කාලයේ ගෙදර දොර ජීවිතයේ ප්‍රසිද්ධියට පත් නොවූ දේවල්ය.  එසේ නොමැතිව නාරයන්ම ලියා ඇතිවුද කවුරුත් දන්නා කරුණු කාරණා සෙවීම වැඩකට නොමැති දෙයක් බව අප මුලදීම කතිකා කරගෙන තිබුණෙමු.   හොඳ කතාකාරයෙක්වූ රාමචන්ද්‍රන් ඒ විස්තර අපිත් එක්ක කීවේ හක හක ගා මහ හයියෙන් සිනාසෙමිනි.  පොඩි ප්‍රශ්නයකට තිබුණේ කතාවේ ජොලිය වැඩිවෙද්දී ඔහු ඉංග්‍රීසිය අතහැර දෙමළට බහින එකය.  එය අනිත් දෙන්නාට ප්‍රශ්නයක් නොවුනත් එකල දෙමළ තේරුම් ගන්නට බැරි මට අවුලක් විය.  කෙසේ වුවද කතාබහ සියල්ලම පටිගත වෙන නිසා ආපසු දවසක අර්ජුනට කියා පරිවර්තනය කරගත හැකි නොවේදැ'යි  කියා හිත හදාගත්තෙමි.

රැන්ඩෝර් ගයි මගේ හිතවතෙක් වුණේ ඔහු අර්ජුනත් එක්ක අපේ ගෙදර එන්නට පුරුදුවී සිටිය නිසාය.  දවසක් හැලපි මගෙන් ඇහුවේ ඒ කවුද කියාය.  ඔහු කලාත්මක චිත්‍රපට කතා රචකයෙක් සහ තිරපිටපත් රචකයෙක්  බව  මම කීවේ අර්ජුන මට කියාපු විදියටය.  ඒ ගමන හැලපිට රැන්ඩෝර් ගයි හදපු කලාත්මක චිත්‍රපට බලන්නට වුවමනා විය.  ඔහු ගෙනැත් දුන් චිත්‍රපට කීපය කොපමණ කලාත්මකද කියා කීවොත් හැලපි එදා සිට රැන්ඩෝර් ගයිව හැඳින්වුයේ කුණුහරුප චිත්‍රපටි කාරයා යනුවෙනි.  කොහොම වුණත් රැන්ඩෝර් ගයි සුන්දර මිනිසෙකි.  ඔහු විහිලු කතා, යාන්ස්, දෙපිට කැපෙන කතා ආදිය සිය දහස් ගණනක් දැන සිටි හෙයින් ඔහු ඉන්න තැන කිසිම පාළුවක් නැත.

රාසිපුරම් ක්‍රිෂ්ණසාමි අයියර් නාරායනසාමි හෙවත් ආර්.කේ.නාරායන් බ්‍රිතාන්‍ය යටත් විජිත එක්සත්  ඉන්දියාවේ මදුරාසියේදී උපත ලබන්නේ 1906 වර්ෂයේදීය.  දරුවන් අට දෙනෙක්ගෙන් යුත් බ්‍රාහ්මණ වංශික පවුලක තුන්වැනියා වන නාරායන් සිය ළමාකාලය ගෙවන්නේ ඔහුගේ මවගේ මව හෙවත් සිය අත්තම්මාගේ ගෙදර ඇයගේ සෙවනේය.  ඊට හේතුව වන්නේ ලොකු පවුලක් රැක බලාගන්නට ඇති නාරයන්ගේ මවට සහනයක් ලබාදීමය.   නො.1, වෙල්ලාල වීදිය, පුරුසවල්කම් නාරායන්ගේ මවගේ මහ ගෙදර ලිපිනය වූ අතර ඒ ගෙදර ඔහු අත්තම්මාත් මාමාත් සමග වාසය කළේ පාසැල් මුල් ගුරුවරයෙකු වූ සිය පියා මයිසුර් හි පාසැලකට මාරුකළ හෙයින් ඔහු සිය පවුල සමග මයිසුර් වලට ගිය නිසාය.  පාසැල් යන වයස සම්පූර්ණ වද්දී  කුඩා නාරායන් පුරුසවල්කම් හි ලුතරියන් මිෂන් ස්කූල් විදුහලට ඇතුළත් කරන ලදී.

සිය සම වයසේ කොල්ලන් සමග පුරුසවල්කම් ටවුමේ ක්‍රීඩා කරමින් කෙළිදෙලෙන් කාලය ගතකළ නාරායන් කෙරෙහි සිය මිත්තණිය ගේ බලපෑම පසුකාලීනව බෙහෙවින් ප්‍රකට විය.  හාපුරා කියා කතාවක් ලිවීම ඔහු ඇරඹුවේ ද මිත්තණිය සාදවා දුන් සුබ නැකතකට පොතක අකුරක් ලිවීමෙනි.  රෙපරමාදු මිෂනාරි විදුහලේ ප්‍රාථමික පන්ති අවසන් කරන නාරායන් ඊළඟට යන්නේ සී.ආර්.සී විද්‍යාලයටයි.  මිෂනාරි විද්‍යාලයෙන් සමු ගන්නා දින ගන්නා ලද සමුහ ඡායාරූපය නාරායන්ගේ මරණයෙන් පසුව හින්දු පත්‍රයේ අතිරේකයක පළකර තිබෙනු මට දැකගන්නට ලැබිණි.  ඒ පිංතුරය ගැන නාරායන් අපූරු කතාවක් කියා ඇත.  සමුහ ඡායාරූපයට පෙනී සිටීමේදී නාරායන් හැඳ සිටින කබාය මසන්නට අප්පු මයිස්ත්‍රී නම් ඇඳුම් මසන්නා මාස ගණනාවක් ගත් බව හා ඡායාරූපයට පෙනී සිටින දවසේ දහවල් වන තුරුමත් ඔහු කබායේ බොත්තම් අල්ලමින් සිටි බව නාරායන් පවසයි.

සාමාන්‍යයෙන් ලංකාවේ ටේලර්ලාද එහෙමය.  අපේ හොඳ මිත්‍ර ටේලරෙක්ට ඇඳුමක් මහන්නට දුන්න විට ඇඳුම ගන්නට අඩුම තරමින් මාස හයක් වත් ගතවෙයි.  සමහර විට අවුරුද්ද එකහමාර ගතවෙන වෙලාවල්ද නැතිව නොවේ.  ඒ මිතුරුකමයි.   ටේලර් ලා ගැන කියද්දී මට තවත් ටේලර් කෙනෙක් ගැන මතකෙට එයි.  ඒ මගේ හිතවත් ඇන්ටා ය.  ඇන්ටා අපේ ගමේ කුලියට ගෙයක් අරගෙන පදිංචි වී හිටියත් මගෙත් එක්ක එච්චර ළඟ සම්බන්ධයක් නොතිබුණි.  ඌ මට සෙට් වුණේ කෝච්චියේදීය.  ඒ මම රස්සාවට යන ගමන් ඉගෙන ගත් අවදියයි.  අපේ ඉගෙනීම අවසන් වෙන්නේ රෑ හතහමාරටය.  මම ගෙදර එන්නේ අටයි කාලට කොටුවෙන් අදින බදුල්ල නයිට් මේල් එක්ස්ප්‍රස් එකේය.  ඔය කෝච්චියේ අන්තිම පෙට්ටියේ එකතුවුණු අපේ සෙට් එක කෝච්චි පෙට්ටියක හැර වෙනත් කිසි තැනක එකට එකතු නෙවෙන තරමට විවිධත්වයකින් යුතු වූ කණ්ඩායමක් විය.

විද්‍යාර්ථින්, බැංකු කරුවන්, රජයේ සේවකයින්, මුද්‍රණ සේවකයින්, වෙළෙඳ සේවිකාවන්, ස්වයං රැකියාවල යුක්ත වුවන්, පුද්ගලික සහ සංස්ථා සේවකයින් ආදී කණ්ඩායමකගෙන් කෝච්චියේ අපේ සීට් එක පිරී තිබුණි.  මේ කට්ටිය ගැන සුළු විස්තරයක් කරන්නට මට ඉඩ දෙන්න.  මුලින්ම කියන්නට තියෙන්නේ මොරටුවෙගම මහත්තයා ගැනය.  විද්‍යාර්ථීයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු, විචාරකයෙකු සහ චින්තකයකු වූ එච්. එම්. මොරටුවෙගම මහතා ඒ කාලයේ බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වරයා ලෙස කටයුතු කළේය.   උක්ත තනතුරුවලට අමතරව හොඳ බොන්නෙකු සහ විනෝදකාමියෙකු වූ මොරටුවෙගම මහතා හවස විශ්ව විද්‍යාලයේ රාජකාරිය අවසන්වූ පසු මරදානට ඇවිත් පොත් කඩවල මුදලාලිලා සහ ලේඛකයින් සමග කයිවාරු ගහමින් රෑ වෙනතුරු ගතකර කොටුවට ඇවිත් වික්ටෝරියා බාර් එකෙන් දෙකක් දාගෙන කෝච්චියට නගී.

සාහිත්‍ය විශ්ව කෝෂයක් බඳු මොරටුවෙගම මහතා සමග සාහිත්‍යය සහ පොත් ගැනත් ලේඛකයින් ගැනත් කතා කිරීම මට මහත් ආස්වාදයක් විය.  පොත් කතුවරුන් ගැන මා නොදත් බොහෝ තොරතුරු ඔහු දැන සිටියේය.  පොත් වලට සම්මාන දීමද අප දෙදෙනා කතාකළ එක මාතෘකාවකි.  සම්මාන දෙන හැටි ගැන සහ සම්මාන පොරය ගැන ඔහු කියූ සමහර තොරතුරු මා විස්මයට පත්කරන සුලු විය.  අප දෙදෙනාගේම මිතුරා වූ ඇන්ටා වෙනස්මැ චරිතයක් විය.  උපතින් ද්‍රවිඩයකු වූ ඇන්ටා උප්පැන්න සහතිකයට පමණක් දෙමළ වූ අතර සිංහලයන් අතර ඉපැදී සිංහලෙන් ඉගෙනගෙන සිංහල කෙල්ලක් කසාද බැඳ සිටි ඔහු අඩු තරමින් දෙමළ කතා කරන්නටවත් නොදත්තේය.  නිවාඩු දිනවලට මම ඇන්ටාත් එක්ක මොරටුවෙගම මහත්තයා හමුවෙන්නට ඔහුගේ ගෙදර යන්නට පුරුදුවී සිටියෙමි.  එහෙම ගියවිට මොරටුවෙගම මහත්තයාගෙන් මට පොතක් තෑගී ලැබෙන එක ෂුවර්ය.  ඔහුට තෑග්ගක් හැටියට අපි ගෙනයන්නේ බෝතලයකි.  ගෙනිච්ච බෝතලයෙන් සප්පායම් වෙමින් අපි දෙන්නා සාහිත්‍යය සහ පොත් ගැන කතා කරද්දී මොන සාහිත්‍යයක් වත් නොදත් ඇන්ටා කණ පාත්වෙන්නටම බී ගෙන දොඩවන්නට ගනී.

ඌව ගෙදර එක්කරගෙන එන්නට වෙන්නේ හරකෙක් දක්කාගෙන එනවා වැනි අසීරුවකිනි.  ඇන්ටා කොළඹ ටේලර් සාප්පුවෙන් අස්වී පසුකාලීනව ටවුමේ ටේලර් සාප්පුවක් පටන් ගත්තේය.  අපි රෑ බෝවී ගෙදර එන බොහෝ දිනවල කුණුවෙන්නට ම බීගත් ඇන්ටා සිහියක් පතක් නැතිව ලයිට් කණුවකට බරදී හිඳගෙන නිදිකිරමින් හෝ කඩපිලක නිදාගෙන ඉන්නවා හමුවෙයි.  ගමේ ඉන්න එකා නිසා මග දමා යන්නටද බැරි හෙයින් අපි කොහොම හෝ වාත්තු කරගෙන ඇන්ටා ගෙදරට ගෙනැත් බාරදුන් විට ඇන්ටාගේ පවුල අපට බනින්නට පටන්ගන්නේ අපි ඌට හැන්දෙන් පෙව්වාක් මෙනි.  උදව්වකුත් කර බැණුම් අහන්නටත් බැරි නිසා පසුව අපි කළේ ඇන්ටාව ගෙනැත් වැටට හේත්තු කර තබා උගේ පවුලට කෑගහන එකය.  ගෙයි ලයිට් දැමු විගස අපි හෙමිහිට මාරුවී යන්නට පුරුදු වීමු.

අපේ යාලුවෙක් තම සහෝදරයාගේ මඟුල් ගෙදරට අඳින්නට සුට් එකක් මහන්නට ඇන්ටා ට බාරදී තිබුණේ මඟුලට මාස හයකට පමණ පෙර සිටය.  සුට් එක අද දෙන්නම් හෙට දෙන්නම් කිය කියා හිටියාට මඟුල් දවසට කලින් දවස වෙනතුරු ලැබුණේ නැත.  සුට් එක ගන්නට යාලුවා යද්දී ඇන්ටා හිටියේ ගෙදරය. හොඳටම බීගෙන ගෙදර ගිහින් පෙරේතයා පොළොවේ ගැහුවා වගේ නිදාගෙන හිටියේය.  වදෙන් පොරෙන් ඇහැරවා සුට් එක ගැන ඇසුවිට ඌ විකාර කියවන්නට විය.  අපේ යාළුවාට මල හොඳ එකෙන්ම පැන්නේය.  ඇන්ටා ඇඳෙන් බිමට ඇද දැමු ඔහු අද රෑ වෙන්නට ඉස්සරින් සුට් එක නොලැබුණොත් බෙල්ල මිරිකා මරා දමනවා කියා තර්ජනය කළවිට ඇන්ටා යන්තම් සුට් එක මහන්නට පටන් ගත්තේය.

වතාවක් අපිත් එක්ක සිරීපාදෙ යන්නට එකතු වූ ඇන්ටා ගමේ ඉඳන් නල්ලතන්නියට යනතුරුම මෙලෝ සිහියක් නැතිව බිව්වේය.  නල්ලතන්නියට ගිය විට ඌට බස් එකෙන් බහින්නටත් බැරි තරමට වෙරිය.  බස් එකෙන් බැස කෙළින් ඉන්නට බැරුව බිම ඉඳගත් ඇන්ටා නිවේදනය කළේ ඌට සිරීපාදෙ නගින්නට බැරි නිසා කට්ටිය කරුණා කර ආපහු එනතුරු තමන් නල්ලතන්නියේ ඉන්නවා කියාය.  අපි එදා හවස සිරීපාදෙ නගින්නට පටන්ගත් අතර පහුවදා උදේ ආපහු ඇවිත් බලන විට ඇන්ටා බස් එක ළඟ පත්තරයක් බිම එළාගෙන නිදා සිටියේය.

ඉතින් අපිත් එක්ක කෝච්චියේ එන කාලයේදීත් ඇන්ටා කෝච්චියට එන්නේ මඳ පමණට බීගෙනය.   අපේ ගමට එහා ගමේ පදිංචිකාරයෙක් වූ විතානගේ මහ බැංකුවේ නිලධාරියෙකි.  බැංකුවේ රාජකාරියට අමතරව තව ආනයන ව්‍යාපාර ආදියට සම්බන්ධ වී සිටි නිසා  ඒ වැඩ ඔක්කොම අහවර කර රෑ බෝවී ගෙදර යන කෙනෙකි.  දෙකක් දාගෙන කෝච්චියට එන විතානගේ කවි ද ගාථා ද තාලයට කියයි.  කවි සින්දුවලට  අත්වැල අල්ලන්නට ලඟපාත හිතවත් කෙනෙක් නැත්නම් ඔහු පිරිත් තුන් සුත්‍රය සජ්ජායනා කරයි.  ඔහුගේ කවි හෝ සිංදුද කියන්න නොදන්නා නමුත් කියපු එකක් මට තවත් මතකය.

ඈත එපිට මහ කැලෑවෙ අලියෙක් හිටියා - අලී අලියෙක් හිටියා
ඒ අලියට ගව්වක් දිග - තාලයට කියා ගායනය නතරකර වටපිට බලන ඔහු ලඟපාත කාන්තාවන් නැත්නම්, පොල්ලක් තිබුණා කියා  කියයි.  කාන්තාවන් හිටියොත් කියන්නේ හොඬයක් තිබුණා කියලාය.  රාගමින් බහින ලංසි කෙල්ලන් දෙදෙනෙක් වූ ඩ්‍රෙසරි සහ හෙදර් වැඩකළේ මර්කන්ටයිල් ක්‍රෙඩිට් ආයතනයේය.  සැහැල්ලු ගති පැවතුම් ඇති  ඒ කෙල්ලන් දෙන්නාත් එක්ක විතානගේ පටන් ගන්නා කතාව හරිම විනෝදජනකය.  කතාව ඉංග්‍රීසියෙනි, විතානගේ අහන දෙපිට කැපෙන ප්‍රශ්නවලට කෙල්ලන් කිසිම සබකෝලයක් නැතිව කටේ දිවේ නොගෑවී උත්තර දෙති.  ඔය විදියට කතාබහ කරමින් කරන කෝච්චියේ ගමන හරිම විනෝදයකි.  සමහර දවස්වලට විතානගේ කෝච්චියට නගින්නේ විස්කි ලීටරයක් හමාරක් අපටත් අරගෙනය.  එහෙම ගේන දවස්වලට කලින් කියන නිසා කට්ටිය ප්ලාස්ටික් කෝප්පත් හපන්නට කඩල, වඩේ ආදියත් අරගෙන ලෑස්තිවී සිටිති.

කෝච්චි පෙට්ටියේ අපිත් එක්ක ගිය අයගේ විස්තර තව කියන්නට ඇතත් කතාව දිග්ගැහෙන නිසා තව එක්කෙනෙක් ගැන විතරක් කියා ඒ විස්තරය ඉවර කරමි.  කෙල්ල වැඩකළේ කොම්පඤ්ඤ වීදියේ තිබු ඉහළ පෙළේ පෞද්ගලික ආයතනයකය.  වැඩ ඉවරවෙන්නේ රෑ අටට නිසා ඇයට අටයි කාලේ කෝච්චියට හැති දාගෙන දුවගෙන එන්නට සිදුවේ.   කතාකරන  ලොකු ඇස් දෙකක් තිබු ඇය එවකට සිටි හින්දි නිළියක් සේ රූමත්ය.  ඇය ගැන උනන්දු වෙන්නට මට කොහෙත්ම වුවමනාවක් නොතිබුණේ ඒ වන විටත් මම ජීප් සහ දීපිකා එක්ක ලෙහන්නට බැරි අවුල් බොහොමයක් හදාගෙන තිබුණු හේතුවෙනි.  ඒ නිසා මම මගේ පාඩුවේ පැත්තකට වී ඉද්දි ඇය මට කියවන්නට පත්තරේකුත් දෙයි.  සිතුදේ නොමවේ නොසිතු දේම සිදුවේ කියන කතාව සනාථ කරමින් අපි අතර හුටපටයක් ඇතිවුණේ දෙන්නාම නොසිතු විලසය.  ඒ වන විට ඇය ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් දරුණු පරාජයක් ලබා දැඩි චිත්ත සන්තාපයකින් පසුවුණු බව පසුව දැනගතිමි.

අපේ පලහිලව්ව දිගදුර ගොස් සෑහෙන කලබලයක් ඇතිවුණේ ජීප්ලාට කතාව ආරංචි වීම නිසාය.  ඒ කතාව හරිම දිග සහ මෙයට අදාළ නොවන බැවින් ඒ ගැන කතාකිරීම මෙතෙකින් නවත්වමි.  නැවතත් නාරායන් ගේ කතාවට බැස්සොත් අපි එදා මුළු හවස් වරුවම රාමචන්ද්‍රන් ගේ නිවසේ ගතකළේ බොහෝ විනෝදයෙනි.  නාරායන් ගැන රාමචන්ද්‍රන් ගෙන දැනගත යුතු සියල්ලම අහගන්නට අර්ජුන තදින්ම හිතට ගෙන තිබුණු සෙයකි.

නාරායන් ඔහුගේ මුළු ජීවිත කාලයටම රස්සාවක් කියා කර තිබුණේ දින කීපයක් ගුරු වෘත්තියේ යෙදීම පමණය.  ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඔහු කරගෙන ගියද දින කීපයකින් ගුරු රස්සාව එපාවී ආපසු ගෙදර එයි.  රස්සාව හැර දමා ගෙදර ආවිට ගෙදර උදවිය සිතා ඇත්තේ ඔහු නිවාඩුවට පැමිණි බවයි.  සියලු දෙනාම සතුටින් නාරයන්ගේ ඉස්කෝලයේ විස්තර අසන්නට වූ බව රාමචන්ද්‍රන් කීවේ මහ හයියෙන් හිනාවෙමිනි.  කෙසේ වුවද පියාගේ සහ මවගේ බලකිරීම මත නැවත චෙන්නා පට්නා හි පාසලට යන නාරායන් දෙවැනි වතාවේ පාසලෙන් පැන එන්නේ  ළමයින්ට සරඹ පන්තියක් කරන්නට භාරදුන් විටය.  සරඹ පන්තිය උඩින් පල්ලෙන් ඉවර කරන නාරායන් ඔහු නැවතී සිටින නිවසට එන්නේ දැඩි කළකිරීමකිනි.   එක්වරම තීරණයක් ගන්නා ඔහු තම බඩුත් පොදි බැඳගෙන බස් එකට නැගී ආපසු මයිසූර් බලා එයි.

සිය මුළු ජීවිතයම ලියන්නට කැප කළ නාරායන් සිය ලිවිසැරියේ මුල් භාගය ගතකළේ බෙහෙවින් දුක් කරදර මැදය.  නාරයන්ට ඔහුගේ බිරිඳ රාජම් හමුවන්නේ කොයිම්බටුර් වල ඔහුගේ අක්කා විවාහවී සිටින නිවසට ගොස් සිටි කාලයේය.  පාසලක මුල් ගුරුවරයෙක් වන රාජම් ගේ පියා බ්‍රාහ්මණ වංශික ගතානුගතික දිවියකට හැඩ ගැසී සිටින කෙනෙකි.  දෙදෙනාගේ විවාහය ගැන ඔහු පවසන්නේ දෙදෙනාට කෙතරම් අවශ්‍යතාව තිබුණද හඳහන් නොගැලපේ නම් විවාහය සිදු නොවන බවයි.

අභාග්‍යයකට දෛවඥයන් පවසන්නේ හඳහන් කිසිම අයුරකින් නොගැලපෙන නිසා මේ විවාහය සිදු නොකරන ලෙසටය.  නොසිතු ලෙස වැදුණු මේ පහරින් වික්ෂිප්ත වන නාරායන් දන්නා හඳුනන සහ නොදන්නා දෛවඥයන් සෑහෙන සංඛ්‍යාවක් හමුවී මේ ප්‍රශ්නය සුභවාදී ලෙස කෙළවර කරගන්නට හැදුවත් හැමෝම කියා ඇත්තේ විවාහය නොකරන ලෙසටය.  අන්තිමට ඒ ළඟ පාතක ජීවත් වන චෙල්ලප්පා සර් මේ ප්‍රශ්නය විසඳන්නේ රාජම් ගේ හඳහනේ චන්ද්‍රයා සිටින තැන අනුව එහි බලයෙන් නාරයන්ගේ හඳහනේ  අඟහරු බලය මැඩ පැවැත්වෙන බව කියමිනි.

1933 වසරේදී නාරායන්ගේ විවාහය සිදුවන අතර ඔවුන්ගේ එකම දරුවා වන හේමා 1936 දී මෙලොව එළිය දකී.  දෛවඥයින්ගේ කියමන් සනාථ කරමින් දියණියට අවුරුදු තුනක් වෙද්දී 1939 වර්ෂයේ ටයිපොයිඩ් වැළඳීම හේතුවෙන් රාජම් මියයන්නේ නාරායන් සහ බිලිඳු දියණිය මෙලොව තනිකරමිනි.  තම ප්‍රිය බිරිඳගේ වියෝව නාරායන්ගේ දැඩි කම්පනයට සහ චිත්ත පීඩාවට හේතුවක් විය.  ඔහු බිරිඳගේ අකල් මරණයේ වේදනාව දරාගත් ආකාරය අපි රාමචන්ද්‍රන්ගෙන් විමසුවෙමු.

රාමචන්ද්‍රන් කීවේ කිසිවෙකුත් සමග කතාබහෙන් වැලකී සිටි නාරායන් සිය කාමරයට වී දොර වසාගෙන දිගින් දිගටම ලිවීමේ යෙදුණු බවයි.  නාරායන්ගේ ජීවිත කතාවේ ඔහු කියා ඇත්තේ සිය බිරිඳගේ අසනීපය සහ මරණය පිලිබඳ අත්දැකීම ඔහු විසින් The English Teacher නම් කතාවේ විස්තරාත්මකව ලියා ඇති බව සහ එහි එන චරිත වන ඉංග්‍රීසි ගුරුවරයා ක්‍රිෂ්ණා සහ ඔහුගේ බිරිඳ සුසිලාත් දියණිය ලීලාත් ඔහුගේ සත්‍ය අත්දැකීම් මත නිර්මාණය වූ චරිත බවයි.

සිය බිරිඳත් පසුකාලීනව එකම දියණිය හේමාත් අකාලයේ මෙලොවින් සමුගැනීමේ කටුක අත්දැකීම විඳගන්නට සිදුවූ නාරායන් 2001 වර්ෂයේ මැයි මස දිවිය හැර ගියේ 95 වැනි වියේදීය.  නාරයන්ගේ බාල සොයුරු රාමචන්ද්‍රන් සමග අප කළ කතාබහ ඇසුරෙන් රැන්ඩෝර් ගයි හින්දු පත්‍රයට ලිපියක් 2001 ජුලි මාසයේදී ලීවේ මගේ ලිවීම සිදු නොවූ තැනය෴