අද ලියන්නට තියෙන්නේ කළින් බාගෙට ලියා අවසන් කළ කතාවක ඉතිරි කොටසයි. බාගෙට ලියු කතාවේ ඉතිරිය ලියා අවසන් කිරීම මගේ යුතුකමක් බැවින් ස්වප්නා ගේ දානය, ජීප්ගේ, දීපිකාගේ හා ප්‍රියානිගේ කතාව කියවන්නට බලා සිටින පාඨකයන් තවත් දින කීපයක් ඉවසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
සාමාන්‍යයෙන් ඉන්දියාවේ සයිවර් කඩවල ඉල්ලපු ගමන් දෙන්නට කෑම සාදා තබාගැනීම හෙවත් රෙඩිලි අවේලබල් ක්‍රමය අනුගමනය කරන්නේ නැත. කෑම ඇණවුම ලබාදුන් පසු එවේලේම කෑම සකස් කර උණු උණුවේ පිළිගැන්වීම ඔවුන් ගේ සිරිතයි,ඒ සඳහා තරමක් වෙලාව ගතවේ. නමුත් මා දන්නා හැටියට මේ හොඳ පුරුද්ද ලංකාවේ සයිවර් කඩවල නැත. හොඳට රසට සයිවර් කෑම දෙන කඩ කිහිපයක් ඉස්සර කොළඹ තිබුණා මට මතකය. ගොඩාක් ඉස්සර එල්පින්ස්ටන් හෝල් එකට ටිකක් එහායින් කොටුව පැත්තට වෙන්නට එක හෝටලයක් තිබුණේ පොළොව යටය යන්නට පඩිපෙළක් බැස පහළට යා යුතුය. මේ හෝටලය ගැන බ්ලොගය කියවන කාටවත් මතකයක් නොමැති බව මා සිතමි. හෝටලය වැසී යන්නට ඇත්තේ පාර පළල් කිරීම නිසා වියහැකිය. ඊට පසුව හොඳ සයිවර් කෑම කන්නට තිබු හෝටලය වුණේ මරදානේ ධවලගිරියයි. ධවලගිරියේ තියෙන පුළුන් මෙන් සැහැල්ලුවට පිපී තිබුණු උණු උණු තෝසේද උළුඳු වඩේද ඒ කාලයේ අපේ රස නහර පිනවන ආහාර විය. පසු කාලයක වුවද ධවලගිරිය පැත්තෙන් ගියොත් කෑම කන්නට හෝ අරගෙන යන්නට අප පෙළඹවුණේ නිරායාසයෙනි. අන්තිමට ධවලගිරියෙන් උළුඳු වඩේ කෑවේ මීට අවුරුදු දහයකට පමණ ඉහත බව මට මතකය.
ඒ 2008 වර්ෂයේ මැද භාගයයි. ලංකාවේ පවත්වන්නට නියමිත වූ 15 වන සාක් සමුළුව වෙනුවෙන් අපි ඉතා කාර්යබහුලව සිටියේ සමුළුවේ ආරම්භක සහ අවසාන උත්සවය සංවිධානය කිරීම අප කණ්ඩායමකට පැවරී තිබු නිසාය. වැඩේ බරපතල නිසා අපි දවල් රෑ නොබලා පැය විසිහතරම වැඩ කෙරුවෙමු. අන්තිම සතියේ අපිව නවතින්නට ලෑස්ති කර තිබුණේ හොලිඩේ ඉන් හෝටලයේය. ෆුල්බෝඩ් නිසා කෑමෙන් බීමෙන් කිසි අඩුවක් නැත එළියෙන් ගන්නට තිබුණේ බෝතල් පමණකි. ඔය දවස්වල හවසට මරදාන පැත්තෙන් වැඩකට ගියොත් ධවලගිරියෙන් උළුඳු වඩේ ගෙනැත් කට්ටියටම කන්නට දීම නිසා මුළු කණ්ඩායම අතරම විශේෂයෙන් නෝනලා අතර මම ඉතා ජනප්‍රිය පුද්ගලයෙක් වී සිටියෙමි. නෝනලා කිව්වට මුළු කණ්ඩායමම පාහේ නෝනලා වූ අතර පිරිමින්ට හිටියේ අපි දෙන්නෙක් විතරය. කණ්ඩායමේ ලීඩර් ද නෝනා කෙනෙකි, මම මරදානට නොගිය දවස්වල උළුඳු වඩේ නොලැබෙන නිසා නෝනලා ඒ ගැන සොයා බලන්නට වූ හෙයින් ඒ සඳහාම කෙනෙක් ධවලගිරියට යවා උළුඳු වඩේ ගෙන්නා ගන්නට සිදුවිය. ඉතින් ඒ කාලයේ ධවලගිරියේ කෑමවල රස ඒ වාගේය. පසුකාලීනව වැඩිපුරම විප්‍රවාසීව ගතවුණු නිසා ධවලගිරිය ආශ්‍රයට හැකියාවක් නොවීය.
මේ ළඟකදී මම මරදානට ගිය වෙලාවක උදේ කෑමට ධවලගිරියට ගොඩවුණේ අවුරුදු දහයකට විතර පසු පැරණි රස මතක අවදි කරගන්නටය. හෝටලේ කෙල්ලෙක් මට තෝසේ ගෙනැත් තැබුවාය. සාම්බාරුවද චට්නිද දාගෙන මම කන්නට පටන් ගත්තත් තෝසේවල කිසිම ෆ්‍රෙෂ් ගතියක් හෝ සැහැල්ලු ගතියක් නැත හරියට හංවෙච්ච රොටී කනවා වගේය, ඊට හපන් ලුණු කට්ටෙටය. සයිවර් කඩවල ලුණු සහ මිරිස් කියන්නේ ඉතාම අඩුවෙන් පාවිච්චි කරන ජාති දෙකකි. තෝසේ වලට ලුණු ඉතා ස්වල්ප වශයෙන් මිශ්‍ර කරන අතර උළුඳු වඩේ වලට ලුණු දාන්නේම නැත. ලුණු සහ මිරිස් බැලන්ස් කර ගත යුත්තේ සාම්බාරු සහ චට්නි වලිනි. නමුත් මට ධවලගිරියෙදී කන්නට ලැබුණු තෝසේත් උළුඳු වඩේත් කිසිම මිම්මකින් සයිවර් නොවන බව දැනගන්නට වැඩි වෙලාවක් ගියේ නැත. ගියා වෙනුවට තෝසයක් කාපු මම කඩෙන් එළියට බැස්සේ කළකිරීමෙනි.
මදුරාසියේ සයිවර් කඩේකට කන්නට ගියොත් කුස්සියේ කෑම හදන හැටි බලන්නට හැකි තැනක වාඩිවීම මගේ පුරුද්දකි. ඒ කෑම උයන එක මෙන්ම කෑම උයන හැටි බලාසිටීමද මගේ හොඳම විනෝදාංශයක් නිසාය. කුස්සියේ වැඩකරන අරක්කැමියන් තැටියට තෝසේ මිශ්‍රණය තැටියට වක්කර පදමට පුච්චා ගන්නා ආකාරයද පේපර් තෝසය හදන්නට මිශ්‍රණය තැටියට දමා මොකක්දෝ ගුලියකින් තැටිය පුරා ඉතා සිහින්වට මිශ්‍රණය තුනී කරගන්නා ආකාරයද පූරිය පැහෙන තෙලට දමා බැලුම්බෝලයක් මෙන් පිපෙන්නට අරින ආකාරයද බලා ඉන්නට ලස්සනය. සයිවර් හෝටලවල කෑම උයන පිසින ආකාරය පොඩි උන්ට මැජික් මෙන් මට නම් කිසිම කම්මැලිකමක් නැතිව කොතරම් වෙලා වුවද බලා ඉන්නට හැකිය. පොඩි හෝටලවල පසුපස්සේ මේසයක වාඩිවුණ විට මේ කටයුතු කෙරෙන ක්‍රමය ඇස පුරා බලාගන්නට හැකි වුවත් ආනන්ද භවන් වැනි විශාල හෝටලවල කුස්සිය අපට පෙනෙන්නට තරම් ළඟක නැත. පුරුසවල්කම් වල ආනන්ද භවන් මෙන්ම වල්ලුර්කෝට්ටම් හයි රෝඩ් එකේ අපූර්වා සංගීතා හෝටලයද අපි නිතරම ඇසුරු කළ තැනකි. හැබැයි අනික් පොඩි හෝටල් මෙන් නොවැ මේවායේ කෑම රස වගේම ගොඩක් ගණන්ය.
නැවතත් කතාවට ආවොත් අපි දැන් ඉන්නේ ආනන්ද භවාන් එකේ තෝසේ කන්නට වාඩිවී කෑම පිළියෙළ වන තුරුය. කෑම එන්නට ටිකක් වෙලා ගතවන නිසා මම හෝටලයේ බිල් ලියන කෙනා ලඟට කිට්ටු කළෙමි. වේට්ටියක් හා පිරිසිදු සුදු කමිසයක් හැඳ නළලේ තුන්නුරු අළු ගා වර්ණවත් පොට්ටුවක් ද තබාගෙන සිටි ඔහු බරටම වැඩය. ඉස්පාසුවක් ලැබුණු විගස ඔහු මා දෙස බැලුවෙන් මම කැඩිච්ච දෙමළෙන් කතාව පටන් ගන්නා විටම දැඩි දකුණු ඉන්දීය උච්චාරණයෙන් වුවද පැහැදිලි ඉංගිරිසියෙන් ඔහු කතාකළේය. ආර්. කේ නාරායන් ගැන විස්තරයක් සොයා ගන්නට අවශ්‍ය වුණත් කොහෙන් සොයාගන්නට දැයි නොදන්නා නිසා ඔහු බාල කාලයේ පදිංචිව සිටි මේ ලිපිනයට ආ බව මම කීවෙමි. ඔහු එක්වරම ඇසුවේ කේ.ආර් නාරායන් ද කියාය. (කේ.ආර් නාරායන් එවකට ඉන්දීය ජනාධිපතිවරයා විය) කෙසේ වුවද මට උදව් කරන්නට ඔහුට දැනීමක් නොතිබුණත් ඔහු කීවේ දැන් කෑම කා ආයෙම ඇවිත් කතා කරන්නට කියාය. අපි කෑම කන අතරේ හෝටලයේ සිටි කීපදෙනෙකුටම මාව පෙන්වමින් ඔහු මොනවාදෝ කියන හැටි මම දැක්කෙමි. කෑම අවසන්ව අපි එළියට යද්දී ඔහු මට කතාකර කීවේ නාරායන් ගැන විස්තරයක් කියන්නට කවුරුවත් නොදන්නා නමුත් ඒ ලඟපාත ඉන්න කාරණාකාරයෙක් හෙවත් පණ්ඩිතයෙක් ලඟට අපව යවන්නට ලෑස්ති කර ඇති බවත් අවශ්‍ය විස්තර ඔහුගෙන් ලබාගත හැකි බවත්ය.
ඊළඟට ඔහු කොල්ලෙකුට කියා ත්‍රීවීල් එකක් ගෙන්නාගෙන එහි රියැදුරුට අපව එක්කරගෙන යායුතු තැන ගැන විස්තර කර අපට ඔහු සමග යන්නටැයි කියා සමුගත්තේය. ටවුමේ පාරවල් කීපයකින් ඒ මේ අත හරවමින් ගිය රියැදුරා අන්තිමට ගෙවල් මණ්ඩියක රිය නවතා ගෙවල් කීපයක් පසුකර අප රැගෙන ගොස් කැටයම් කැපු විශාල දොරවල් හා නිල් සහ සුදු තීන්ත බිත්තිවල ගා තිබු ගෙයකට ඇතුල් වුණේය. ගෙයක් කිව්වාට එය මැද මිදුලකින්ද වටේට ගෙවල් ගණනාවකින්ද සමන්විත තැනකි. වේට්ටියක් හැඳ උඩුකයට පුන නුලක් දමා නළලේ කහ ගාගත් පණ්ඩිතයා පදිංචිවී සිටියේ එක ගෙයකය. ත්‍රීවිල් රියැදුරා පණ්ඩිතයාට මාව පෙන්වා ආවේ මගේ උවමනාවකට ය කී පසු මම අවශ්‍යතාව කීවෙමි. පණ්ඩිතයා කීවේ නාරායන් පුරුසවල්කම් හැරදා ගියේ 1939 වැනි ඈත කාලයක නිසා දැන් ඔහු සිටි තැන්වල නටබුන්ද නොමැති බවයි. එදා විදියටම ඇත්තේ නාරායන් පොඩි කාලේ ගිය ඉස්කෝලයත් ටවුමේ ඇති කෝවිල් කීපයත් පමණක් බව කියූ ඔහු ඉස්කෝලය නම් තරමක් ප්‍රතිසංස්කරණය වී ඇතත් කෝවිල් කිසි දිනෙක වෙනස් වී නැති බවත් වෙනස් කරන්නටද නොහැකි බවත් කිවේය. නාරායන් පහුගිය කාලයේ මදුරාසියට ඇවිත් සිටි බව කියූ ඔහු මේ වන විට නාරායන් දැඩිසේ ගිලන්ව ඇපලෝ රෝහලේ නැවතී සිටින බව වැඩිදුරටත් කීවේය. පණ්ඩිතයාට ස්තුතී කළ අපි ගෙදර ආවෙමු෴
අප්පෙ දැකපු කල්...කොහෙද ගිහින් හිටියෙ.....
ReplyDeleteමමද නාරයන්ද? මම නම් දිගටම හිටියා, නාරායන් ආවෙ ටික දවසකට පස්සෙ.
Deleteධවලගිරියෙ තෝසෙ ,වඩේ දැන් සවුත්තුයි . ආමර් ස්ට්‍රීට් එකේ වානි විලාස් තමයි ටිකක් හරි හොද ?
ReplyDeleteපණ්ඩිතය කියන්නෙ ගුරුවරයෙක් විදිහට සේවය කරන කෙනෙක්ද ?
Deleteනෑ.... උඹ වගේ හැඩයක් නැති එකෙක්....
Deleteහරි , මේ තියෙන්නෙ උදාහරණෙ ගෙඩි පිටින්ම . ෆොටොත් තියනව එඩ්‍රස් එකත් දන්නව, ,,
Deleteවානි විලාස් මට මගඇරුනු තැනකි.
Deleteපණ්ඩිතය ගැඹුරු ශාස්ත්‍රයන් පිලිබඳ ස්වයං අධ්‍යයනයේ යෙදෙමින් දැනුම බෙදන කෙනෙක්.
Deleteසුටික්කා,
Deleteඔබත් කම්මල වගේම කියා අසා ඇත්තෙමි.
සූනික්ක , හැඩයක් පේන්නෙ කොහෙද බං කලාවක් නැති බේබද්දෙකුට . D 😁
Deleteහම්බෝ.... ඇති යන්තං මේක ලිව්වා......
ReplyDelete//ඔය දවස්වල හවසට මරදාන පැත්තෙන් වැඩකට ගියොත්... // ඔය කියන්නේ මොන වැඩද ? අනික හවසට හවසට ?
අපෝ ඒ කාලෙ පණ යනකල් වැඩ වෙලාවක් කලාවක් නැතුව.
Deleteදැං මේක මෙතනින් ඉවරද?
ReplyDeleteනෑ තව තියෙනවා.
Deleteතව කොටසක් තියෙනව ද?
ReplyDeleteඔව් ඔව් එකක් හෝ කීපයක්.
Deleteකොච්චියා ද ධවලගිරියෙන් තෝසේ කෑවෙක් ය. එනමුත් එදා වුවද සරස්වතී..අබිරාමි..අම්‍රිත් හෝ වානි විලාස් මට්ටමට ඔවුන් සිටියේ නැත.
ReplyDeleteධවල ගිරියෙන් බොහෝ දෙනෙකුට කන්න පුළුවන් වෙලා තියෙන්නේත් ඒකම .මයි. ඒත් එදා සිටි මිත්‍රගිලි ලිලාවෙන් යුතු වේටර්ලා අද නැතිවාක් මෙන්ම අාහාර වලි ගුණාත්මටය මෙන්ම වේටර්ලගේ කෙරවාද පහලටම බැසැ ඇත. ඒත තවමත් මිනිස්ු යනවා.
Deleteළඟ පාත නිසා වැඩිපුර ඇසුරු කළේ ධවලගිරියයි. අනිත් හෝටල් ඉතා හොඳ මට්ටමේ ඒවායි.
Deleteඇනෝ,
Deleteකතාව සහතික ඇත්තය.
'ඒ 2008 වර්ෂයේ මැද භාගයයි. ලංකාවේ පවත්වන්නට නියමිත වූ 15 වන සාක් සමුළුව වෙනුවෙන් අපි ඉතා කාර්යබහුලව සිටියේ සමුළුවේ ආරම්භක සහ අවසාන උත්සවය සංවිධානය කිරීම අප කණ්ඩායමකට පැවරී තිබු නිසාය'
ReplyDeleteඔබතුමා වැඩ කලේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවටද?
නැත මා වැඩ කළේ රජයටයි. රාජ්‍ය උත්සව සියල්ලම සංවිධානය කරන්නේ රජයේ ආයතන විසිනි. ආණ්ඩුව කුමක් වුවත් රජයේ සේවකයන් ලෙස අපට පැවරෙන රාජකාරිය උපරිම ලෙස ඉටුකිරීමට හැකි හැම උත්සාහයක්ම දරුවෙමු.
Deleteහෙක්.. ඇති යන්තං අදවත් තෝසෙ කාල එලියට බැස්ස.
ReplyDeleteඅර කිවුවත් වගේ මේක මෙතනින් ඉවරද?
නෑ නෑ තාම නාරායන් කිට්ටුවට වත් ගියෙ නෑනෙ.
Deleteධවලගිරිය දැන්නම් අපෝ තමයි.. මරදානේ මතක නෑ කොඋව කාගිල්ස් බිල්ඩිමේ යට නම් තිබුන අර වගේ පහලට බැහැල ගිහින් කන්න තියෙන සයිවර් කඩයක් දැන් අවුරුදු විස්සකට වගේ උඩින් කාල තියෙනවා.. ඉන්දියාවේ තෝසේ කඩ කියද්දී පූනේ වලදී දවසක් හොඳටම බඩගිනි වෙලා තව එකෙක් එක්ක ගිහිං දෙන්නට මසාල තෝසේ දෙකකුයි නිකං තෝසේ තුන ගානෙයි ඕඩර් කරාම වේටර් බය වෙලා බලාගෙන හිටි විදිය මතක් උනා.. :)
ReplyDeleteපුරුසවල්කම් කියුවම ලැජ්ජාවක් තියෙනා පිරිමියෙකුට ඉන්න පුළුවන? නාරායන් දාල යන්න ඇත්තේ ඒකයි.. අර පණ්ඩිත සාමි ගේ ගෙදර නම් නියම දෙමළ සෝ එක.. :)
පුරුසවල්කම් වල ඉඳල නාරායන්ට වැඩක් නැති නිසා ස්ත්‍රීවල්කම් පැත්තට ගිහිල්ල
Deleteපට්ට ඉයන්.. දාං පහක්!
Deleteහෝටලේ උන් බයවෙන්න ඇති මුංට තියෙන්නෙ බඩවල්ද බැරල් ද කියල. පණ්ඩිතය ගේ ගෙදර නම් නියම දෙමළ සෝ එක කියල මටත් හිතුණා.
Deleteඉයන් ට වැටක්.
Delete+++++++++++++++
ප්‍රා වැටවල් ගැසීමේ විශේෂඥයෙකි.
Deleteඩ්‍රැකිටත් ස්ත්‍රීවල්කම් අල්ලල ගිහිං.
Deleteපාසල් කාලයේදී ධවළගිරිය අප සැමගේත් ජනප්‍රියම ස්ථානයක් විය.. ඒ අඩුවට කන්නට පුළුවන් වූ නිසා පමණක්ම නොවේ.. බඩ පැලෙන්නට තෝසේ දෙසා බා මුදල් නොදී හොරෙන් මාරුවීමට හෝ මුදල් නොදී මාරුවෙන්නට ගොස් කැෂියර්ට/ වේටර්ලාට අසු වූ විට මාට්ටුවක් දමා දුව ගොස් බේරීමට එය අගනා ස්ථානයක් වූ බැවිනි..
ReplyDeleteකෑම කා මුදල් නොදී මාරුවෙන හෝ දුවගොස් බේරෙන එක ඒ කාලයේ පාසල් සිසුන්ගේ සුපුරුදු ක්‍රියාවකි.
Deleteහැලපයියෙ.... ආමර් ඉස්ට්‍රීට් එකෙන් බැහැලා... පොලීසිය ළඟ තියෙන පාරෙන් අඩි දයහක් ගිය ගමන් තියෙනවා "වානි විලාස්"... මම කියනවට තෝසේ වඩේ කාලා බලන්න.. ඉන්දියන් සෙට් එකක් කරන්නේ... නල්ල නේරම්... සුම්මා පෝ...
ReplyDeleteඔව් ඔව් යන්නම ඕනෑ තැනක්.
Deleteබෞද්ධාලෝක මාවතේ තුන්මුල්ල හන්දියේ තියෙන 'ශ්‍රී විහාර්' එකේ තොසේ, උලඳු වගේ තමයි මම කාලා තියෙන හොදම එව්වා. හැලප ගිහිං බලන්නකෝ. තනියෙන් යනවා නං පහල තට්ටුව හොදයි. පවුලේ උදවිය එක්ක නිදහසේ ඉන්න ඕනි නං උඩ තට්ටුවට යන්න..
ReplyDeleteඉස්සර ඔය හෝටලේ ශාන්ති විහාර්. අපි ඒ කාලෙ නිතරම යන තැනක්.
Deleteඔව් ශාන්ති විහාර් . ඒකේ ප්ලේන් ලසි එහෙම හොඳම කොලිටි ඒ කාලෙ
Deleteසරම කැහැපොට ගසාගෙන සිටි දෙමල වේටර් අපට කෙහෙල් කොළ පිඟන් ලෙස දුන්නේය. අනතුරුව තෝසේ පිඟානක් ගෙන ආවේය. අප තෝසේ බෙදාගත් පසු ඔහු කුඩා යකඩ බාල්දි දෙකකින් වට්ටක්කා , මුරුංගා සහිත එළවලු හොද්දක් සහ සුදු සම්බෝලයක් බෙදුවේය. හොද්ද බෙදුවේ තෝසේ අනමින් සිටි අපගේ අත් උඩටත් වැටෙන ලෙසටය. මේ නිසා අප අත්ලවල් ලෙවකා පිරිසිදු වූයෙමු. මේ අතරවාරයේ වේටර්වරයා එක් අයෙකුට එක් බැගින් අල බෝන්ඞා ගෙනාවේය. උණු අල බෝන්ඞා රසවත් නිසා අප බෝන්ඞා කෑවේ සෙමෙන් තළුමරමිනි. ඒ සමග තෝසේ සහ හොදි අනමින් කෑවෙමු. කඩයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සිටිති. තෝසේ කඩයේ රේඩියෝවෙන් නැගෙන දෙමල සිංදුවේ හඞ යටපත් කරවමින් අප සංවාදයේ යෙදුනෙමු. https://transyl2014.blogspot.ca/2016/06/blog-post_30.html
ReplyDeleteඅල බෝන්ඩා ගැන මට කියන්නට අමතක විය.
Deleteමරදානේ පාසල් යද්දී තෝසේ කන්න පුරුදු වී සිටියා. එක් දිනක් තෝසේ කෑල්ලක් කටට ගන්නා විටම මොකක්දෝ අප්පිරියාවක් ආවා. එදා සිට මරදානෙන් තෝසේ කාලා නෑ.
ReplyDeleteමීට වසර කිහිපයකට කලින් දවසක වඩයක් දෙකක් නම් කෑවා!
කොහොමත් දැන් මරදානෙ හොඳ සයිවර් කඩ නෑ. මම හිතන්නෙ රසිකට මෙහෙට වඩා හොඳ තෝසේ ඔහෙන් කන්න ඇහැක් වේවි.
Deleteදැන් ඉතින් හිත කියන්නේම තොසේ කාපන් කියලා. අද සයිවර් පාරක් දාන්න වෙනවා. හැලපේ අයියත් කරන්නේ අපිව ගානට ෆෝම් කරලා දිරා මාරු වෙන එකමයි.
ReplyDeleteඅපිවත් මතක් කරගෙනම සයිවර් පාරක් දාන්න.
Deleteela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
ඇඩ් කර ගත්තෙමි.
Deleteඔය දකුණු ඉන්දියන් කෑම වලට "සයිවර්" කියන නම ආවේ කොහෙන්ද හැලපයියේ ?
ReplyDeleteවචනෙ නිරුක්තිය ගැන නම් දන්නෙ නෑ මල්ලි. හොයල බලමු.
Deleteසයිවර් කියන්නේ ශූන්‍ය කියන තේරුමටනේද ද්‍රවිඩ භාශාවේ හැලපේ..සල්ලි අඩුවෙන් කන්න ඇහැකි නිසා සයිවර් වෙන්න ඇති...!😂
Deleteසයිවම් හෙවත් "නිර්මාංශ" (වෙජිටේරියන්) යන වචනය ඔස්සේ සයිවර් නම හැදුනා කියල තමයි මම අහල තියෙන්නෙ.
Deleteසෛව හෙවත් ශිව දෙවියන් ඇදහීම අනුව එන නාමයක්
Deleteතරුණ කටයුතු අමාත්යාං ශයෙන් ඉස්සර සාර්ක් එකට කරපු වැඩ ගැන ලගක් වෙනකම්ම විගණන කටයුතු තිබ්බා මතක හැටියට අයියේ
ReplyDeleteඔය හැම අමාත්‍යාංශයක්ම වගේ සාක් එකේ එක එක වැඩවලට සම්බන්ධ වෙලා හිටියනෙ මල්ලි. ඉතිං ඇතිවෙන්න මුදලුත් වෙන්කරල තිබුණා.
Deleteඅද උදෙත් වැඩට එනකොට ධවලෙන් තෝස 02 යි උළුදු වඩේ 01 ගෙනත් කෑවා ඇත්ත තමා මෙලෝ රහක් නෑ දැන් කිඹුලා කිරිමැටි ගිල්න්නා වාගේ තමා. වානි විලාස් එකේනම් කෑම සුපිරියි. තව බොරැල්ලේ තියෙනවා ආරිය බවාන් කියලා එකක් ඒකෙත් කෑම ටිකක් හොඳයි ආපු වෙලාවක කාලා බලන්ඩ. ඉස්සර අපි පන්ති යනකොට ඔකෙන් හොරෙනුත් කාලා තියෙනවා. එකපාරක් අයුවෙන්ඩ ගිහින් දුවලා තමයි බේරුනේ නැත්නම් අම්බානක කන්ඩ වෙන්නේ. අයියගේ ලිපි ඔක්කොම වගේ කියවලා තියෙන්නේ ඉදිරියටත් මේවගේ ලිපි ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteස්තුතියි මල්ලි. ඉදිරියටත් මෙවැනි ලිපි ලියැවේවි.
Deleteහොඳට කනබොන කෙනෙක් වගේ . ඔබට ප්‍රණීත ආහාර කෑමට ලැබේවා
ReplyDeleteවිචාරක දියණිය
ස්තුතියි. දැන් ප්‍රණීත ආහාර හොයාගන්න අමාරු එක තමා වැඩේ.
Deleteපත්තරේ නම ගියේකේ සතුටට අද මසාලා තෝසෙ පාරක් දාමු.
ReplyDeleteරෑට සුද්දාත් සමග සතුට සමරන්නට සිතා ඉන්නෙමි.
Deleteදැන් ධවලගිරිය බලන්නවත් හිතෙන්න නැහැ තමයි. ආනන්ද භවන්, වානි විලාස්, බම්බලපිටියෙ සරස්වතී, කොම්පඤ්ඤවීදියෙ ඒ වන් මමත් සෑහෙන්න සයිවර් කෑම කාලා තියෙනවා නේද කියල හිතුණා.
ReplyDeleteඒත් තාමත් අමතක නොවෙන කෑමක් තමයි වව්නියාවෙ සයිවර් කඩයකින් උණු උණුවෙ කෙසෙල් කොල දාපු තැටිවල තෝසෙයි, උළුඳු වඩෙයි කෑම. ඒ කඩේ නම මතක නෑනෙ.
මැලේසියාවෙ බ්‍රික්ෆීල්ඩ්ස් වල තියෙන නාගාස් රෙස්ටුරන්ට් එකේ තෝසෙ තියෙනවා සෑහෙන වර්ග ගණනාවක්...ඒකෙ තෝසෙ දාන මනුස්සයා පේපර් තෝසෙ හදන් වේගය කඩිසර කම දිහා දවසක් උනත් බලාන ඉන්න පුලුවන්. චෙන්නායි වලදි පූරි කෑවා වතාවක් අල කරියක් එක්ක...අර ලොකු කෙසෙල් ගෙඩි තෙල් වල බැදලා කහ පාටට තියෙන ඒවා කාලා තියෙනවද ?
ReplyDeleteපරණවාඩියේ අලුත් ගැටවු වෙච්චි අපිට ධවලගිරිය නැතිනම් ඉස්කෝලෙ යන කාලෙ හත් අවුරුද්දක් තිස්සෙ බඩගින්නෙ තමයි ඉන්න වෙන්නෙ. ඒ දවස් වල තෝසෙ එකක් රුපියල් 3, ප්ලේන්ටිය රුපියලයි. රුපියල් 7 න් වරුවක් ගොඩ, ඒ කිව්වෙ තෝසෙ දෙකයි ප්ලේන්ටියයි තමයි ජාතික ආහාරය. මදි පාඩුවට වේටර්ට කියල බාල්දිය යටින්ම වැඩියෙන් සම්බාර් දාගන්නවා. ඇතැම් අය මේ එක්කම දුම් කූරකුත් පත්තුකර ගත්ත.
ReplyDeleteකරුමේ කියන්නෙ පහුගිය සතියෙත් මරදානට ගියාට ධවලගිරියට යන්න බැරි උනා අවුරුදු 15 කින් මෙහාවත්.
චෙන්නායි ගියපු වෙලාවේ චෙට්ටිනාඩු සහ සයිවර් කෑම දෙකම ඇති පදම රහ බැලුව. තලප්පකට්ටි සහ වුඩ්ලන්ඩ්ස් තමයි වැඩියම හිතට අල්ලලා ගිය තැන්. අපේ පානෙන් එළිය බලල තරු කෑම කන්න හිටිය ඔෆිස් එකේ උන්ට සොරි තමයි. ඒ වගේම වතාවට ගුලාබ් ජාමන් සමග අයිස් ක්‍රීම් සහ කවදාවත් නොකාපු වරකා අයිස් ක්‍රීම් හිටං කන්න ලැබුණ.
එග්මෝර් වල ජාතික කෞතුකාගාරෙට ගියාට කොච්චර ළඟ තිබ්බත් පුරුසවල්කම් කරන්න නම් ගියේ නැහැ :)