Thursday, October 18, 2018

ඩැනිස්ගේ කාමරයට ආ අලුත් සාමාජිකයා, සේනගේ නළුකම, ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ රොටියාගේ ලව් එක.


අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි.  සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි ගතකළ ජීවිතයයි.  අනාදිමත් කාලයක් ගතවී තිබුණත් කිසිම මල කෑමක් නොමැතිව මේ කතා මගේ හිතේ සටහන් වී තිබෙන්නේ එකල අප ගතකළ ජීවිතයේ තිබු රසවත්කම නිසාමය.  ඩැනිස් පොඩි මහින්ද ලාගේ ගෙදර ඉස්සරහ කාමරේ නවාතැන් ගෙන සිටි සමය අපි තරුණ අවදියේ ගතකළ සුන්දරම කාලය ලෙස සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත.  කරන්නට වැඩකුත් නැතිව අතේ සතේ නැතිව අපතයන් ලෙස ඩැනිස්ගේ කාමරයට වී විනෝදයෙන් ගතකළ ඒ අවදියේ හත් අට දෙනෙකුගෙන් යුත් අපේ කොල්ලන් කණ්ඩායම ඩැනිස්ගේ කාමරය බදු අරගෙන වගේ දවසම කාමරයේ ගතකරද්දී කාමරයට තවත් නව සාමාජිකයෙක් එකතුවී සිටියේය.  ඒ ගුරාය.  නුවර දෙයියන්නේවෙල පදිංචිකරුවෙකු වූ ගුරා ටික දවසකින්ම ඩැනිස්ටත් වඩා අපට හිතවත් වුණේ ඒ වනවිට ගුරාද අපි වගේ අවිවාහකයෙක් වීම හේතුවෙනි.  සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසිත් කතාකළ හැකි එකෙකු වූ ගුරා ඉතා චතුර ලෙස දෙමළ භාෂාවද හැසිරවිය.  ඒ ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ මුස්ලිම් අයගේ ආශ්‍රය හේතුවෙනි.  උගේ යහළුවන් වූ සිද්දික් හා මොහොමඩ් නිතරම ගුරා හමුවන්නට පැමිණ දින දෙක තුන කාමරයේ නැවතී සිටින බැවින් ඒ අයද ඉතා ඉක්මනින් අප සමග හිතවත් වූහ.

ඔය කාලයේ අපේ ප්‍රධාන විනෝදාංශය වී තිබුණේ චිත්‍රපටි නැරඹීමය.  ටවුමේ චිත්‍රපටි හෝල් එකට එන හැම චිත්‍රපටියක්ම සිංහලද, ඉංග්‍රීසිද, දෙමළද, හින්දිද කියා වෙනසක් නොමැතිව බලන්නට යෑම කට්ටියගේ සිරිත විය.  අතේ සතේ නැතිව සිටියත් චිත්‍රපටියක් බලන්නට නම් කෙසේ හෝ මුදල් සොයාගන්නට කවුරුත් සමත්කම් දැක්වුහ.  ගෙදරින් චිත්‍රපටි බලන්නට සල්ලි නොලැබෙන විට හාල් ටිකක්, පොල් හෝ අන්නාසි ගෙඩි කීපයක් විකුට අවශ්‍ය මුදල් සොයාගතිමු.  සල්ලි අතේ නැති එකෙකුට හෝ ගානට අඩුවෙන් මුදල් තියෙන එකෙකුට වැඩිපුර සල්ලි තියෙන එකෙක් අනුග්‍රහය දක්වයි.  මේ අනවරත චිත්‍රපට නැරඹීම හේතුවෙන් අපට සිදුවූ එක යහපතක් වුණේ පසුකාලීනව හොඳ හා කබල් චිත්‍රපට වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි.  චිත්‍රපටයක් නැරඹු පසු ඒ චිත්‍රපටය එහෙම පිටින්ම පහුවදා ඩැනිස්ගේ කාමරයේ රඟ දැක්වීම සිරිතක් විය.  ඒ වැඩට යන නිසා චිත්‍රපට බලන්නට නොලැබෙන ඩැනිස්ගේ හා ගුරාගේ වින්දනයටය.  සිංහල චිත්‍රපටයක් නම් සම්පූර්ණ චිත්‍රපටය රඟ දක්වනු ලබන්නේ පැටියා විසිනි.  චිත්‍රපටයේ දෙබස් කියමින් හා ගීත නිසි තැන්හි ගායනා කරමින් පැටියා චිත්‍රපටය අපූරුවට රඟපා පෙන්වයි.  සමහර වෙලාවට අපේ චිත්‍රපට රඟ දැක්වීම නිසා කාමරයේ ඇතිවන කන් කරච්චලය ඉවසා ගනු නොහැකි ඩැනිස්

" පලයව් පලයව්, එළියට ගිහිං කරන මඟුලක් කරගනියව් මට ටිකක් නිදාගන්න දීලා." කියමින් අපව කාමරයෙන් පිටුවහල් කරයි.

කලින්දා බැලුවේ ක්‍රියාදාම සපිරි ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ කව්බෝයි චිත්‍රපටයක් නම් චිත්‍රපටය රඟ දක්වන්නට නළුවන් බොහෝ වෙති.  ගොපළු චරිත රඟ පෑ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොජර් මුවර් වැනි නළුවන් අපේ ලෝකයේ වීරයන් වූ ඒ සමයේ කව්බෝයි චිත්‍රපටයක් නරඹා දින කීපයක් ගතවෙන තුරු අපි පාරේ යන්නේ පවා සිතින් මවාගත් ගිනි අවියක් ඉණේ රඳවාගෙනය.  සතුරෙකු දුටු සැණින් වෙඩි තැබීම එහි අරමුණයි.  සතුරන් නොමැතිවූ හෙයින් ඉදිරියට පැමිණෙන මිතුරෙකුට හෝ එක්වනම වෙඩි තැබීමට අපි පසුබට නොවීමු.  කාලය වේගයෙන් ගෙවී යද්දී එක්කෙනෙක් දෙන්නෙක් රස්සාවල් හොයාගෙන සිටි බැවින් රස්තියාදු ගහන්නට කාලය නොතිබුණත් තවත් හත් අට දෙනෙක් කණ්ඩායමේ ඉතිරිවී සිටියහ.

සේන අපේ කණ්ඩායමට එකතු වෙන්නේ ඔන්න ඔය කාලයේදීය.  අපේ ගමේ කොල්ලෙක් වුණත් සේන පොඩි කාලයේ සිටම සිටියේ ගමෙන් පිටය.  පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගමෙන් පිට ගොස් වත්තල පැත්තේ මන්ත්‍රී වරයෙකුගේ ළඟ සෑහෙන කාලයක් වැඩ කළ සේන ඡන්දයෙන් මන්ත්‍රීට ආසනය අහිමි වූවායින් පසුව තවත් රස්සාවල් දෙක තුනක් කරමින් සිට ඒ කාලය වන විට මොකුත් නැතිව ගමට ඇවිත් සිටියේය.  ටිකින් ටික අපේ ඇසුරට වැටුණු සේනයා පුරාජේරු කතාවෙහි ගජ සමතෙකි.  තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ලොකු ලොකු වැඩ ඌ කළා යයි අල්ලේ පැල කර කියමින් ද අඳුනන ලොකු ලොකු අය ලවා ඔනෑම වැඩක් කරදෙන්නට ඌට හැකිය කියමින්ද රස්තියාදු වෙමින් කාලය ගත කළ සේන අපිත් එක්ක කීවේ ඌ අහිංසක කලාකරුවෙක් බවය.  සේනයා දන්නා වෙන කලාවක් නැති වුණත් ගොක් කොළ කලාවෙහිදී ඌ විශිෂ්ටයෙකි.  ගමේ මඟුලක් හෝ පිරිතක් ඇති සෑම අවස්ථාවකදීම පෝරුව ගහන්නටත්, පිරිත් මණ්ඩප්පය සරසන්නටත් සේන නැතිවම බැරි චරිතයක් විය.  සේනයා ජිනාත් එක්ක කරාටි ගැසූ පේමයා ගේ බාල සහෝදරයෙක් නිසා අපේ කණ්ඩායමට එකතු වෙන්නට ඔහුට වෙනත් චරිත සහතික අවශ්‍ය නොවීය.

චිත්‍රපට නළුවෙක් වීම සේනගේ එකම සිහිනය සිහිනය වූ අතර ටෙලිනාට්‍ය තබා රුපවාහිනිය වත් ලංකාවට හඳුන්වා දී නොතිබූ ඒ කාලයේ සේනයාට නළුවෙක් වීම සිහිනයක්ම විය.  නළුවෙක් වෙන්නට ඇත්නම් සේනයා නොකරන දෙයක් නැති තරම්ය.  උගේ මේ සිහිනය හොඳින් අධ්‍යයනය කළ ගුරා තේරුම් ගත්තේ චිත්‍රපටි කලාව මුලට තබා ගත් විට සේනයා ඇන්දිය හැකි බවය.  දවසක් සේනට කතාකළ ගුරා කීවේ උගේ යාලුවෙක් වූ සිද්දික් චිත්‍රපටි නිෂ්පාදකයින් හා අධ්‍යක්‍ෂ වරුන් හොඳින් දන්නා කියන එකෙක් නිසා ඒ මාර්ගයෙන් සේනට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාදෙන්නට තමන්ට හැකි බවයි.  නමුත් ඊට පෙර සේනට ඇත්තටම රඟපාන්නට පුලුවන්ද යන්න සොයා බැලිය යුතු බව කී ගුරා තමන් ඉදිරියේ චිත්‍රපට කොටස් රඟපා දැක්වීමට සේනයාට යෝජනා කළේය.  ඊට පසු ගුරා කාමරයේ සිටි හැම දිනෙකම සේනගේ රඟපෑම් අපි සියල්ලන්ටම බලා ගත හැකි විය.

දවසක්දා සේන අපි සියලු දෙනාම ඉදිරියේ 'පැන පැන එන සඳේ' ගීතය ගයමින් නැටුම ඉදිරිපත් කළේ ගුරාට පෙනෙන්නටය.  මට මතක තියෙන ආකාරයට චිත්‍රපටයේ එම නැටුම ඉදිරිපත් කළේ සුමනා අමරසිංහය.  සේන ඇය නැටු ආකාරයටම දෑත් එකට තබා ඉණේ ඒ පැත්තටත් මේ පැත්තටත් තබමින් කාමරයේ සිට නටාගෙන එළියට එනවිට කුස්සියේ සිට සාලය පසුකර එළියට යන්නට ආ පොඩි මහින්දලාගේ අම්මාගේ ඇඟේ හැපුනි.  පොඩි මහින්දලාගේ අම්මා කෝපි ඇට වනක් කොටාගෙන කුල්ලක දා ඉණේ තබාගෙන එළියට යන්නට ගියේ කෝපි ටික අව්වේ වේලෙන්නට දමන්නටය.  සේනයා නටාගෙන ඇවිත් ඇඟට පැනීම හේතුවෙන් කුල්ල බිම වැටී කෝපි ටික බිම විසිරී ගියේය.

" මගෙ ඇඟට පැන්නෙ මූට මදන යකා ගහල ද" කියමින් පොඩි මහින්දලගෙ අම්මා සේනයාට දෙස් දෙවොල් තබන්ට වූ අතර ඌට සිදුවුණේ නැටුම පැත්තක තබා කෝපි ඇට අහුලා දීමටය.  අපි කාමරයට වී ඇතිවෙන්නට සිනාසුනෙමු.

තවත් දවසක කව්බෝයි චිත්‍රපටියක කෑල්ලක් රූපගත කරන්නට ගුරා යෝජනා කළේය.  සේන ප්‍රධාන චරිතය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ය.  දැන් සේනයාව කව්බෝයි කෙනෙකුට ඇන්දිය යුතුවිය.  දෙන්නාම එකම උස මහත නිසා ගුරාගේ කලිසමකුත් කමිසයකුත් සේනට හරියටම හරිගියේය.  ඩෙනිම් ජැකට් එකක් අන්දවා පළල් පටියක් ඉණට දමා පොඩි මහින්දගේ සෙල්ලම් පිස්තෝලයකුත් පටියේ එල්ලූ අතර කව්බෝයිට තොප්පියකුත් අවශ්‍යමය.  ඩැනිස්ට සුද්දෙක් දීපු ලස්සන දුඹුරු පාට තොප්පියක් ඔහුගේ පෙට්ටියේ විය.  එයත් අරගෙන සේනගේ හිසට දමා සුපිරිම කව්බෝයි කෙනෙක් හැටියට සේනව හැඩ ගන්වන ලදී.  චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා වූ ගුරා සේනට දර්ශනය විස්තර කර කිව යුතු ඉංග්‍රීසි දෙබස් ද කියා දුන්නේය.

දර්ශනයේ හැටියට අස්සයා පිටේ ඇවිත් බහින කව්බෝයි අස්සයා පොඩි මහින්දලගෙ මිදුලේ ඇති අඹ ගහේ ගැට ගසයි.  ඊට පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එතනට එන්නේ කව්බෝයිව හමුවී එක්කරගෙන යන්නටය.  මිතුරන් දෙදෙනා සමග වචන කීපයක් හුවමාරු කරගන්නා කව්බෝයි ඔවුන් දෙදෙනා සමග පිටත්ව යයි.  දරශනය එහෙමය.  අධ්‍යක්ෂ ගුරා 'ඇක්ෂන්' කීමත් සමගම දර්ශනය රූගත කිරීම ආරම්භ විය.  සේන පාරේ සිට අස්ප ගමන ආරම්භ කර පොඩි මහින්දලාගේ මිදුලට ඇවිත් අස්පයාගෙන් බැස අස්පයා අඹ ගහේ ගැට ගැහුවේය.  වටපිට බලනවිට එතැනට ආවේ ඔහුගේ සහචරයන් දෙදෙනෙකි.  සහචරයන් දෙදෙනා කිට්ටුවන විටම ඉණේ තිබූ පිස්තෝලය ඇදගත් සේනයා ඩිෂුම් ඩිෂුම් කියා උන් දෙන්නාටම වෙඩි තබා පිස්තෝලයේ බටයෙන් පිටවන දුමට කටින් පිඹ ආපහු පිස්තෝලය ඉණේ ගසාගත්තේය.

" කට් කට්, කෑවා කෑවා, යාළුවො දෙන්නට වෙඩි තිබ්බෙ මොන මඟුලකටද? " අධ්‍යක්ෂ ගුරා කේන්තියෙන් මෙන් කෑ ගැසුවේ පුපුරන්නට තතනන සිනහව ආයාසයෙන් නතර කර ගනිමිනි.  අපි කට්ටියම හූ කියමින් සිනාසෙන්නට වීම නිසා රූපගත කිරීම එතැනින් නවත්වන්නට සිදුවිය.  දර්ශනයේ දී කියන්නට ගුරා උගන්වා තිබු ඉංග්‍රීසි වාක්‍යය ඌට අමතකව ගොස් තිබිණි.  වෙනත් මොකුත් කියන්නටත් නොහැක්කේ සේනයා ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් නොදන්නා නිසාය.  සහචරයන් කතාකළොත් තමන් නෝන්ඩි වෙන නිසා කළින්ම උන් දෙන්නාට වෙඩි තබා දැමු බව සේන මට පසුව කියා සිටියේය.

ගෙදර වැඩත් කඩේ වැඩත් ආදී සියල්ලම තනියෙන් කරගන්නට පොඩි මහින්දලාගේ අම්මාට තිබු අපහසුතාව නිසා උදව්වට පොඩි මහින්දලාගේ අම්මාගේ මල්ලීගේ දුවෙක් ඇය ගෙදරට ගෙන්වාගත්තේ මේ අතරතුරේදීය.  ලාලනී නම්වූ ඇය උස රතු ලස්සන කෙල්ලෙකි.  ඉතා කඩිසරව ගෙදර වැඩත් වත්ත පිටියේ වැඩත් කරන ලාලනී ගේ පැමිණීම නිසා පොඩි මහින්දලාගේ අම්මාගේ වැඩ කන්ද බාගෙකින්ම අඩුවිය.  ඇවිත් ටික දවසකින්ම ලාලනී උදේට උදේට හදා කඩේ තැබූ පොල් රොටී කඩේට තේ බොන්නට එන අය අතර බෙහෙවින් ජනප්‍රිය විය.  මේ නිසාම අපි කට්ටිය රොටියා කියා ඇයට නම් තැබුවෙමු.  ඒ නමට රොටියාගේද අකැමැත්තක් නොවූ අතර අලුත් නම ඇය පිළිගත්තේ සුපුරුදු පරිදි මඳ සිනහවකිනි.

අනික් අය මෙන් නොව ආ දා පටන්ම සේන රොටියා ගැන බොහෝ උනන්දු විය.  හැමදාම උදේට වෙන කාටත් පෙර පොඩි මහින්දලාගේ ගෙදරට වාර්තා කරන සේන නිතරම සිටියේ රොටියා පේන මානයේය.  පොඩි මහින්දලාගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කොට තාප්පය උඩ අපි කට්ටිය පාරට මුහුණ ලා වාඩි වෙද්දී සේනයා ගෙට මුහුණ ලා වාඩි වෙන්නට වග බලා ගත්තේය.  ටික දවසක් මේ විදියට කොකම් පාමින් සේන උත්සාහ කළේ  කෙසේ හෝ රොටියා එක්ක හුටපටයක් පටන් ගන්නට ය.  කකුල් අමාරුව නිසා පොඩි මහින්දලාගේ අම්මා ඇඳට ගිහිං නිදියද්දී තනියම කුස්සියේ වැඩ කරන රොටියාට උදව් කළේ සේනයාය.  රොටියාද ළූණු ටිකක් සුද්ද කරගන්නට, පොල් ගෙඩියක් ලෙලි ගසා ගන්නට සේනගෙන් ලැබුණු උදව්ව ප්‍රතික්ෂේප කළේ නැත.  මෙහෙම වැඩ කර දෙන ගමන් සේනයා දෙන නැව් ටෝක් වලට මුගේ කපටිකම් දන්නේ නැති කෙල්ලද ටික ටික රැවටුනාය.  ටික දවසකින්ම රොටියා සේනගේ පෙම්වතිය බවට පත්වුණේ කාටත් හොර රහසේය.  ඒ කාලයේ සේනයා දවසෙන් වැඩි කොටසක් පොඩි මහින්දලාගේ ගදර ගත කළ අතර කෙනෙකුට ඌව හොයාගන්නට නම් උන්ගේ ගෙදර නොව පොඩි මහින්දලාගේ ගෙදර යායුතු විය.  දවල් දවසේ රොටියාට ආදර බස් කියමින් ඇගේ වටේ කැරකෙමින් ඉන්නා සේනයා හවස් කල අඳුරට මුවාවී පොඩි මහින්දලාගේ ගේ පිටුපස ඇති දෙහි ගහ යටටවී රොටියාත් එක්ක හාදු හුවමාරු කරගන්නට පුරුදු විය.

මේ විදියට මාස කීපයක් ගෙවී යද්දී සේන නිතරම කතාකරන්නට වුණේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කර ගැනීම ගැනය.  රස්සාවක් හොයාගන්නට එතෙක් කල් තිබුණේ නැති උනන්දුවක් සේනට හදිසියේ ඇතිවීම පිටුපස රොටියාගේ බලකිරීමක් තිබෙන්නට ඇතැයි මට නිකමට වගේ සිතුණි.  සේනයාත් එක්ක ආදර බස් මුමුණමින් ඉන්නා අතරේ ඇය සමහර විට " හැමදාම මේ විදියට රස්තියාදු වෙවී ඉඳල හරියයිද? අනාගතේ ගැන බලන්නත් එපායැ, ඔයා ඒ ගැන ටිකක් කල්පනා කරන්නැ"යි කියන්නට ඇත.  කොහොමින් කොහොමින් හරි රොටියාගේ ඉල්ලීම පලදරා සේන සල්ලි හම්බ කරන්නට වැඩක් හොයාගන්නට සමත් විය.  සේන හොයාගත් වැඩේ වුණේ ගඩොල් කැපිල්ලය.  අපේ ගමේ ගඩොල් බාස් ලා කීප දෙනෙක් සමග සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යන්නට නියමිත විය.  යන්නේ ගඩොල් කපන්නට වුණත් සේන රොටියාට කීවේ ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියාය.  ගඩොල් කැපිල්ලට වඩා මැණික් ගැරිල්ල ටිකක් පොෂ් බව සේනයා සිතන්නට ඇත.  ඉතින් සේනයා සිය ආදරවන්තිය වූ රොටියාටද ආදර බස් කියා සිප සනසා කුඹුක්ගැටේ ගඩොල් වාඩියට පිටත්ව ගිය අතර රොටියාද ඇඬු කඳුළින් සේනයාට සමුදුන්නේ ඌ යන්නේ දෙන්නාගේ අනාගතය ගැන සිතා නොවේදැයි සිත සනසාගෙනය෴

( සේනගේ කතාව තව ටිකක් ලියන්නට ඇතත් පෝස්ටුව දිග වැඩිවන නිසා තවත් කොටසකින් හමුවෙමු)

Tuesday, October 9, 2018

සුද්දාගේ අන්නාසි සොමිය, අලුත් අවුරුදු උත්සවය, මාදුවාගේ දිවා භෝජන සංග්‍රහය, ඔපරේෂන් ත්‍රීවීල් සහ අවලංගු කළ ප්‍රහාරය.


අපට නිතරම සොමිය දෙන සුද්දා ගේ කතාවක් ආයෙම ලියන්නට සිතුණු නිසා ත්‍රිකෝණයේ ඊළඟ කොටස මඳක් පමාකොට සුද්දාගේ කතාව ලියමි.  සුද්දා පහුගිය දවස්වල හිටියේ තරමක් අවුලෙනි.  හේතුව වුණේ සුද්දාගේ පොඩි පුතා අසනීප වීමයි.  පොඩියට හිටියට සුද්දා දරු පස් දෙනෙක්ගේ පියෙකි.  පළවෙනි කසාදයේ දුවයි පුතයි සහ දැන් කසාදයේ පුත්තු දෙන්නයි දුවයි වශයෙනි.  පොඩි දුවයි පුතයි දෙන්නා නිවුන්නුය.  ඒ කියන්නේ විනාඩි ගණනකින් අක්කා සහ මල්ලිය.  දැන් උන් දෙන්නාට වයස අවුරුදු දෙක හමාරක් පමණය.  අපිව නිතරම සුද්දලාගේ ගෙදරට අදින කාන්දම වෙන්නේ මුන් දෙන්නාගේ හුරතල්ය.

පහුගිය දවසක පොඩි කොල්ලා තරමක හෙම්බිරිස්සා ගතියකින් සිටි නිසා සුද්දාගේ පවුල කොල්ලාට පැනඩෝල් පෙත්තකින් බාගයක් කපා බොන්නට දී පැනඩෝල් කාඩ් එක මේසය උඩ තබා කුස්සියේ වැඩකට ගියාය.  කොල්ලා ඒ ටිකට පුටුවකට නැගගෙන මේසයට ගොඩවී පැනඩෝල් කාඩ් එක ගත්තේය.  ඌ සාමාන්‍යයෙන් බේත් බොන්නට බොහොම කැමතිය.  පැනඩෝල් පෙති පහ අම්මා දෙනවාක් මෙන් දෙකට කපා ටැප් එක ලඟට අරගෙන ගිහිං ඔක්කොම ගිල දැම්මේය.  ඌ පෙති බොන අතරේ එතනට ආ අක්කාටද කොල්ලා පෙති බොන්නට කතාකළත් බේත් බොන්නට හොර කෙල්ල ගිහිං අම්මාට කියා ඇත.  අම්මාට දෙලෝ රත්වී අහල පහළ අයට කතාකර කොල්ලාත් අරගෙන ගිහිං රෝහලේ නැවතුනාය.  කොල්ලාව ඉස්පිරිතාලෙන් ආපහු එව්වේ දවස් තුනකට පසුය.  අතට කැනියුලාවක් සවිකර සේලයින් දීමත් උදේ හවස අත්දෙක විද පරීක්ෂණ සඳහා ලේ ගැනීමත් නිසා ඉස්පිරිතාලය එපාවී සිටි කොල්ලා ආයෙම රෝහල මතක තියෙන තුරු  හොරෙන් පෙති බොයි කියා හිතන්නට අමාරුය.

කොල්ලා ඉස්පිරිතාලෙ හිටපු කාලය පුරාවටම සුද්දාගේ තනිකම ද දුක ද තුනී කරන්නට අපි සුද්දා එක්කම ගතකළෙමු.  කොල්ලා ගෙදර එක්කරගෙන ආවයින් පසුව මට සුද්දාගේ ගෙදර යන්නට වුණේ එක දවසක් පමණකි.  සුද්දා දැන් ප්‍රකෘති තත්ත්වයෙන් කල් ගතකරන නිසා මම එය ප්‍රශ්නයක් කර නොගත්තත් නොඑන එක ගැන සුද්දා මට කතාකර දොස් කීවේය.  අවස්ථාවක් ලද විගසම එන බව කියා සිටියත් එක එක වැඩ නිසා සුද්දා බලන්නට යන එක කල් ගියේය.  ඊට පසු ආයෙම දවසක මට කතාකළ සුද්දා හවස එන්නට කියා කීවේ හොඳ බඩුවක් හම්බ වෙන්නට තියෙනවා කියමිනි.  මම හවස සුද්දලාගේ ගෙදර යද්දී සුද්දා සිටියේ අන්නාසි කොටුවේ වල් ගලවමිනි.  සුද්දාට මේ දවස්වල පළතුරු යහමින් ලැබෙන්නේ මීගමු පැත්තෙනි.  ඔහු මට කතාකලේද පළතුරු බෝතලයකට වග කියන්නටය.  අපි දෙන්නා පළතුරු බොමින් කතා බහේ යෙදී ඉන්නා තැනට මාදුවාද ටිකකින් ආවේය.

මාදුවා ගැන කියන විට ඌ පහුගිය දවසක කළ වැඩක් ගැන නොකියාම බැරිය.  දවස හරියටම කිව්වොත් පහුගිය අප්‍රේල් පහළොස්වෙනිදාය.  පිට පළාත්වල පදිංචිවී සිටින අපේ ගමේ අය සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට ගමේ එන්නේ පහළොස් වෙනිදාටය.  ඊට හේතුව වී ඇත්තේ හිසතෙල් ගාන අවුරුද්ද බොහොමයක් අවුරුදුවල පහළොස් වෙනිදාට යෙදීමත් අපේ ගමේ අලුත් අවුරුදු උත්සවය හෙවත් බක්මහ උළෙලද එදාට යෙදී තිබීමත්ය.  එදාත් සුපුරුදු පරිදි සුද්දාත් මමත් බක්මහ උළෙලේ කාර්ය බහුලව සිටිද්දී වෙනුජ එතැනට ආවේය.  වෙනුජ සිය දරු පවුලත් සමග ගමේ ඇවිත් තිබුණේ මහ ගෙදර අවුරුදු කන්නට හා දෙමව්පිය වැඩිහිටියන්ට බුලත් දෙන්නටය.  ටිකක් වෙලා කතා කරමින් සිටි වෙනුජ දවල් කෑම වෙලාවේදී මුණ ගැහෙමුයි කියා පිටත්ව ගියේය.

අපේ බක්මහ උළෙලේ දවල් කෑම විවේකය සෑහෙන දිග එකකි.  දවල් කෑමට විසිර යන උන් ඥාති මිත්‍රාදීන් සමග එකතුවී සතුටු සාමීචියේ යෙදෙමින් බෝතල්ද හිස් කරමින් කතා කර කර ඉන්නවා මිසක කෑම ගෙන ආපහු පිට්ටනියට යන්නට හිතන්නේ වත් නැත.  බොහෝ අය එහෙමම නිදාගනිති.  ඉතින් සුද්දාත් මමත් කෑමට පිටත් වෙද්දී ක්‍රීඩා සමාජයේ කොල්ලන් කීවේ හවස නෑවිත් නොසිට අනිවාර්යයෙන්ම එන්නට කියාය.  අපි දෙන්නා අපේ ගෙදරට ඇවිත් ටික වේලාවකින් වෙනුජද අපේ ගෙදරට ආවේ වොඩ්කා බෝතලයක් ද අරගෙනය.  මගේ ලඟද වොඩ්කා බෝතලයක් තිබුණු අතර මට ඒ බෝතලය එවා තිබුණේ සඳා ය.  ඉස්සර අපිත් එක්ක වැඩකළ සඳා දැන් වැඩ කරන්නේ රුසියාවේය.  ඇය රුසියාවට ගිය යාළුවෙක් අත මට හොඳ සැර රුසියන් වොඩ්කා බෝතලයක් එවා තිබුණාය.

අපි තුන්දෙනා වොඩ්කා අඹ ජුස්ද සමගින් පානයට පටන් ගෙන ටික වේලාවක් යන විට මාදුවා ස්කූටියක නැගී අපේ ගෙදරට ඇවිත් බොන්නට විය.  ඌ ඒ වනවිටත් සිටියේ තරමක බීමතිනි.  දෙකක් දාගත් මාදුවා අපේ වහලයට පාත්වී තිබු රට අඹ ගහේ අතුවල තිබුණු ඉදුණු අඹ කඩා පිහියක් ගෙනැත් කපමින් අපට කන්නට දුන්නේය.  බැලුකොට තිබුණු වෙන බයිට් වලට වඩා අඹ බයිට් එක සුපිරිය.  අද ගෙදර යන්නේ නැද්දැයි  වෙනුජගෙන් මම ඇහුවේ සාමාන්‍යයෙන් වාහනය පදවන්නට තිබෙන විට වෙනුජ බොන්නේ නැති නිසාය.  අද හවස යන්නට ඕනෑය කියූ වෙනුජ ලොකු දුව වාහනය පදවන නිසා ප්‍රශ්නයක් නැතැයි කීවේය.  මේ වෙනවිට මාදුවාටත් වෙනුජටත් හොඳටම වැදිලාය.  බෝතල් දෙකත් ඉවර වෙලා තිබෙන වෙලේ අපි ලෑස්ති වුණේ දවල් කෑමට යන්නටය.  එදා අපට දවල් කෑම ලෑස්ති කර තිබුණේ අපේ නංගිලාගේ ගෙදරය.  මම හිතාගෙන හිටියේ වෙනුජත් සුද්දත් එක්ක එහෙන් කෑම කා ආයෙම අවුරුදු උත්සවයට යන්නටය.  මාදුවා එක පාරටම වෙනුජට කෑම දෙන්න ඕනෑය කියා උගේ ගෙදර යන්නට කතාකළේය.  වෙරි වැඩිකමට කෑමට කතාකළත් ගෙදර අමුත්තෙකුට දෙන්නට කෑම ලෑස්ති කරනවා තබා දවල්ට උයලාවත් තියෙනවා දැයි ඌ නොදනී.

තියෙන දෙයක් කා කට්ටියම විසිර යමු කියා මම කිව්වත් වෙරිමතින් වෙසමුනියා සේ සිටි මාදුවා දිගින් දිගටම කියන්නේ වෙනුජ උගේ ක්ලාස් මේට් නිසා කෑමට එක්කරගෙන යන්ට ඕනෑමය කියාය.  ඒ ගමන කට්ටියම පාරට බැසගත් විට වෙනුජ මාදුවාගේ ස්කූටිය ස්ටාට් කරගත්තේ ඒකෙ යමු කියලාය.  මාදුවාද පස්සෙන් ගොඩවිය.  දැන් ස්කූටිය ගැරඬියා යනවාසේ පාර පුරා යයි.  මෙහෙම ගියොත් දෙන්නාම නවතින්නේ පාර පල්ලමේ ඇති වෙලේ නිසා බොහොම අමාරුවෙන් දෙන්නා බස්සවාගෙන අපේ නංගිගේ පුතාට කතාකර උගේ කාර් එකට මේ දෙන්නා ඇද දැම්මේ ගිහිං බස්සවා එන්න කියලාය.  වෙනුජ ඇතුල් කර මාදුවා කාරෙක  ඇතුළට දානවිට අනික් පැත්තෙන් වෙනුජ දොර ඇරගෙන බැහැගනියි.  අමාරුවෙන් වෙනුජව ඇතුල් කරනවිට මාදුවා බැහැගනී.  හරියට පොල්කට්ටට ගෙම්බන් එකතු කරනවා වගේය.  ඒ අස්සේ මාදුවා මගේ අතින් අදින්නේ මටත් කෑමට යන්න එන්න කියලාය.  ටිකක් වෙලා මෙහෙම දඟලමින් ඉන්නවිට සුද්දා පරක්කු වෙනවාය කියා පිට්ටනියට ගියේ කෑම කන්නේවත් නැතුවය.  අන්තිමේ බොහොම අමාරුවෙන් දෙන්නාව කාරෙකට දමා පිටත් කර ඇරියෙමි.

කොල්ලා කාරකෙන් පනින්න හදන උන් දෙන්නාව බොහොම අමාරුවෙන් ගිහිං බස්සවා ආපසු ආවේය.  පහුවදා මාදුවා මට කිව්වේ වෙනුජව එක්කරගෙන ගියාට ඔහු ගෙට ගොඩවුණේ වත් නැතුව යාළුවෝ කට්ටියක් පාරේ ඉන්නව දැක ඒ අය එක්ක කතාකරමින් යන්න ගිය බවය.  උඹේ වැඩකට නැති දැඟලිල්ල නිසා වෙනුජට දවල්ට කන්නත් නැතිවුණා කියා මම මාදුවාට කීවෙමි.

ආයෙම කතාවට ආවොත් සුද්දාත් මමත් මාදුවාත් පළතුරු බෝතලය බොන ගමන් කතාකළේ උන් දෙන්නා දවස් දෙකකට ඉස්සර කරපු වැඩක් ගැනය.  සුද්දා ගෙදර තිබුණු කැඩිච්ච ත්‍රීවීල් එක හදන්නට ගැරේජ් කාරයෙකුට බාරදුන්නේ ඒ ගැරේජ් එක මාදුවාගේ මස්සිනා හොඳට දන්නා කරන තැනක් නිසාය.  ත්‍රීවීල් එක හදනවාට ගාස්තුව හැටියට සුද්දා ගෙදර පැත්තකට දමා තිබු අත් ට්‍රැක්ටරයක් ගැරේජ් කාරයාට දුන්නේ හදාගන්නට කියාය.  සති දෙකක් ඇතුළත ත්‍රීවීල් එක හදා දෙන්නම් යැයි කියූ ගැරේජ් කාරයා වාහන දෙක අරගෙන යන්නට ගියේය.  දැන් වාහනය බාරදී මාස හයකටත් වඩා ගතවී ඇති නිසා සුද්දාත් මාදුවාත් ගැරේජ් එකට ගියේ වෙලා තියෙන්නේ මොකක්දැයි බලන්නටය.  උන් දෙන්නා ගිහිං බලනවිට ගැරේජ් කාරයා අත් ට්‍රැක්ටරය හොඳට හදා වැඩට අරං තිබුණු අතර ත්‍රීවීල් එකේ රෙපෙයාර් එකක් හැටියට කර තිබුණේ හොඳ තත්ත්වයේ තිබුණු ටයර් තුන ගලවා වෙන ත්‍රීවීල් එකකට සවිකර තිබීම පමණකි.

ගැරේජ් කාරයා කර තිබු වැඩේට යකා නැග්ග සුද්දාත් මාදුවාත් ඌට හොඳටම බැනවැදී ගහන්නට යනවිට ගැරේජ් එකේ උන් එහෙට මෙහෙට මාරුවී ගිය බව මාදුවා කීවේය.  ඊට පසුව කතාවුණ ටික මේ විදියය.

මාදුවා: "මේ වැඩේ හරියන්නෙ නෑ, අපි ත්‍රීවීල් එක අරගෙන එමු."

සුද්දා: "කැඩිච්ච එක අරගෙන එන්නෙ කොහොමද?"

මාදුවා: "කැඩිච්ච එක නෙවෙයි හොඳ එකක් අරං එමු. අපේ එක දෙනකල් ඒක දෙන්නෙ නැතුව ඉම්මු."

මම: "ඉතින් ඕවා කරනකල් ගැරේජ් එකේ උන් නිකං බලා ඉඳීද?"

සුද්දා: නෑ නෑ උන්ගෙ ප්‍රශ්නයක් නෑ, අපි කට්ටිය ගේමට බැස්සහම උන් නිකංම සරෙන්ඩර්."

මාදුවා: " අපි අත් ට්‍රැක්ටරෙත් අරගෙන එමු."

සුද්දා: "ඔව් ඒකත් ගේමු, ඔන්න ඔයත් එන්න ඕනෑ මම හෙට අපේ මස්සිනාගෙ වාහනේ අරං එන්නම්"

පහුවදා ගැරේජ් එකේ උන්ගෙන් යකඩ පොලු පාරවල් කන්නට ලැබෙන එක ෂුවර් වුණත් සුද්දාගේත් මාදුවාගේත් දෑත් ශක්තිමත් කිරීම යුතුකමක් නිසා හෙට උදේ නවයට මම ලෑස්ති වී ඉන්නම් ය කියා උන් දෙන්නාට පොරොන්දු වුණෙමි.  සුද්දා තවත් එකක් කට කපා දාගත්තේය.  දැන් හෙට උදේ ඔපරේෂන් ත්‍රීවීල් ක්‍රියාත්මක කරන්නට සියල්ල සුදානම්ය.  ටිකකින් සුද්දා කෝල් එකක් ගන්නවා දැක්කෙමි. 

" මේ ඔය ගැරේජ් එකේ මල්ලි නේද?"

" ......"

" මේ මම අර ත්‍රීවීල් එක හදන්න දුන්නෙ, අපි ඊයෙ ඇවිත් ගියෙ."

"..................................................................................."

" තව පොඩ්ඩයි කිව්වට මොකුත් හදල තිබ්බෙ නෑනෙ."

"................................................................................"

"ඕවා කියල හරියන්නෙ නෑ මට ත්‍රීවීල් එක ඕනෑ.  ඔයා ටයර් තුනත් ගලෝල වෙන එකකට දාල."

"......................................................................................................................................................"

"ඔයාගෙ බයිලා මට වැඩක් නෑ, ඔන්න අපි හත් අට දෙනෙක් හෙට උදේ එනවා.  ඔයා අපට ත්‍රීවීල් එක දුන්නෙ නැත්නම් අපි ඉතුරු ටික බලාගන්නම්."

"........................................................................................................................."

"නෑ නෑ ඕව මම මෙච්චර කල් අහගෙන හිටිය, මට තවත් කල් දෙන්න බෑ.  අපි ආවොත් එහෙම ටිකක් වැඩේ දුරදිග යයි හරිද?  ඔයාගෙ වාහන ටිකත් උස්සගෙන යන්නත් එක්කයි අපි එන්නෙ.  මට කරන්න දෙයක් නෑ බලාගෙන ඉඳල ඉඳල තමයි මෙහෙම කරන්නෙ."

"......................................................................................................................"

" ඔව් ඔව් තරහ වෙන්න එපා, ඔයා වෙලාවට වැඩේ කළා නං ඔහොම වෙන්නෙ නෑ."

කතාව අවසන් කළ සුද්දා ජයග්‍රාහී ලීලාවෙන් වටපිට බැලීය.  මාදුවා බඩ බදාගෙන සිනාසෙයි.  

"එහෙනම් ඔක්කොම හරි, හෙට උදේ යමු" යි සුද්දා කීවේය.

"හා හා උදේ ගිහිං? " මාදුවා ඇසුවේය.

" ගිහිං වාහනේ අරං එමු"

" අරං එයි වාහනේ, හෙට උදේ අරූගෙ නැට්ටවත් අල්ලන්න හම්බෙන්නෙ නෑ."

"මොකද එහෙම කියන්නෙ?" කෝපාවිෂ්ට වූ සුද්දා ඇසුවේය.

" එහෙම කියන්නෙ? ඇයි යකෝ ඔක්කොම විස්තර ටික ඌට කිව්වම ඌ ගැරේජ් එක පැත්ත පලාතක ඉඳීවියැ"

"ඉතිං උඹ මට කියන්න එපායැ"

"කියන්නෙ මොනවද, එකපාරටම ඔක්කොම කියල දැම්මහම?"

ප්‍රහාරයට එන භට සංඛ්‍යාව, ආයුධ ප්‍රමාණය හා ප්‍රහාරය සිදුකරන්නට නියමිත වෙලාව කළින්ම සතුරාට දැනුම් දී ප්‍රහාරයට යෑම සුද්දාගේ අලුත්ම යුද උපක්‍රමයකැයි මම සිතුවද මොකක් හෝ වැරදී ඇතැයි සිතුණේ මාදුවා දිගින් දිගටම සුද්දාට බැන වදිද්දීය.  පහුවදාට නියමිත ප්‍රහාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ අතර මාදුවා සුද්දාට බලු බැණුම් බනිමින් ගෙදර ගියේය.  සුද්දාට අත්වන්නට තිබු තවත් සුවිශේෂී ජයග්‍රහණයක් නූලෙන් මගහැරී ගියේ ඒ විදියටය෴