Sunday, June 16, 2019

ත්‍රිකෝණය - 3


                                                    Photo: Google Images.
ත්‍රිකෝණය

ත්‍රිකෝණය 2

ඈත කඳුවැටියේ ඉහළට අව් රැල්ලක් පායා තිබෙනු දිලිනි දුටුවාය.  ඇය මේ දැන් දිය නාගෙන ආ ගමන්ය.  කෙස් වැටියේ තෙත වියලෙන්නට තුවායක්ද ගැට ගසාගත් දිලිනි සේදු ඇඳුම් රෙදි වැලේ වනන්නට වුවාය.  විටින්විට ඇගේ සිතට නැගෙන්නේ අද උදේ අම්මා කියපු කතාවය.  ගුරුවරයෙක් ලෙස මෙතෙක් කල් ගෞරවය මුසු බියකින් සැලකු රංජිත් මහත්තයාට බිරිඳ වීම කරන්නට හැකි දෙයක්ද?  කොහොම වුණත් රංජිත් මහත්තයාගෙත් වරදක් නැත.  අම්මලා තාත්තලා දරුවන්ට වැරද්දක් වෙන්නට ඉඩ තියන්නේ නැත.  ඔන්න ඔහේ එන දේකට මුණ දෙනවා යැයි දිලිනි කල්පනා කළාය.

"ඈ ළමයො!" දිලිනි කල්පනා ලෝකයෙන් මිදුණේ මවගේ කටහඬිනි.

"අර උදේ මම කියපු දේ ගැන කල්පනා කලාද?"

"අනේ මංදා අම්මෙ, මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ!"

"මොනව හිතන්නද ළමයෝ, රංජිත් මහත්තය නරක මනුස්සයෙක් නොවෙයි නෙ, යමක් කමක් හම්බ කරගෙන තියෙනවා, ඉන්න තැන තියෙනවා,ගෙදර වෙන කවුරුවකුත් නෑ,සතුටින් ඉන්න වෙන මොනවද ගෑනියෙකුට ඕනෑ කරන්නෙ?"

දිලිනි මුවින් නොබැන නිහඬවම සිටියාය.

"එහෙනං අපි ඒ වැඩේ තීන්දු කරගන්නව හොඳද?" අම්මා කීවේ කතාව නවතමිනි.
                                                                 
                                                                         *
" දැන් ඔය කට්ටිය කොයි පළාතෙද? ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ සිය බිරිඳගෙනි.  තද ගති පැවතුම් ඇති ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා සිය දූ දරුවන්ද පාලනය කළේ පාසලේ ළමයින්ව පාලනය කරනවා මෙනි.  රංජිත් පැත්තකට වී හිටගෙන සිටි අතර කතා කළේ ඉස්කෝලෙ මහත්තයගේ බිරිඳය.

"කුලියාපිටිය පැත්තෙ කට්ටියක්, තාත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල්, දුවල දෙන්න විතරයි, ලොකු ළමය තමයි මෙයාට කතාකරල තියෙන්නෙ, අපේ අයමයි!" ඇය විස්තරය දිගින් දිගටම කියාගෙන ගියාය.

"එහෙනං ඉතිං ඒ පැත්තෙ ගම් බිම් බලන්න දවසක් යොදාගමුකො, වචනයක් කියන්න වෙන්නෙ ඒ අය කවුද කියල හොයල බැලුවට පස්සෙනෙ!"

"එහෙනං ළමයො ඒ ගොල්ලන්ටත් කියල කුලියාපිටි යන්න දිනයක් දාගත්ත නං!"

අම්මාගේ කතාවට කිසිත් නොකියූ රංජිත් නිහඬවම සිය කාමරයට වැදුණේය.  දවසම ගෙවීගියේ වස කම්මැලිකමකිනි.  ටවුම පැත්තෙ ගියානං ඇඟ රත්කරගන්නට තිබුණා නොවේදැයි ඔහුට කල්පනා විය.  ඒත් තනියම ටවුමට යන්නට කම්මැලිය.  වෙනදාට තමා මුණ ගැසෙන්නට එන අනුර මහත්තයාද අද ආවේ නැත.  ඔහු හිටියා නම් දෙන්නත් එක්ක බාගයක් බෝතලයක් ඉවරකරන්නට තිබුණි.  සැබෑ විනෝදකාමියකු වූ අනුර මහත්තයා එක්ක බොන්න පටන් ගත්විට කාලය ගතවෙනවා නොදැනේ.  තමන්ට ලැබී ඇති විවාහ යෝජනාව ගැනද අනුර මහත්තයාට කියන්නට මෙය හොඳ අවස්ථාවක් නොවේදැයි සිතු රංජිත් කලිසමක් කමිසයක් හැඳගෙන අනුර මහත්තයා මුණ ගැහෙන්නට යන්නට එළියට බැස්සේය.

"මේ හැන්දෑවෙ කොහෙ යන්නද ළමයෝ!" අම්මා ඇසුවේ රංජිත් ගෙදරින් එළියට බසිද්දීය.

"මං පොඩ්ඩක් එහා ගොඩට ගිහිං එන්නම්!" යි කියූ රංජිත් පාරට බැස්සේය.

"කොහෙ ගියත් කමක් නෑ රෑ වෙන්න කලින් ගෙදර වරෙන්, ඉඳල ඉඳල ගෙදර එනවා කොයි මොහොතකවත් ගෙදර නෑ, ගමනෙමයි! කියාගෙන අම්මා ගෙට ගියාය.

"ආ රංජිත්, කාලෙකට පස්සෙ, එන්න, එන්න.  මාත් මේ කම්මැලිකමේ හිටියෙ!" අනුර මහත්තයා එසේ කියමින් ගෙට ගොඩවන රංජිත් පිළිගත්තේය.
                                                                           
                                                                       *
දෙකක් වැදුණු පසු රංජිත්ට මතක් වුණේම බිසෝවය.  නොසිතු මොහොතක හදිසියේ හමුවූ ඇය පහුගිය දවස්වලදී තමන්ට කෙතරම් සමීප වුයේදැයි ඔහුට මතක්විය.  බිසෝ මතක් වනවිට රංජිත්ගේ ගත සිත දෙකම උණුසුම් වෙයි.  මේ ඊයෙ පෙරේදා දවසක යහන්ගතවී අවසානයේ දෙදෙනා ඇඳ උඩම හුළං වදිමින් නිවී සැනසිල්ලේ කතා කතා බහේ යෙදී සිටියේ උපන් ඇඳුමෙනි.

"හෙට අනිද්දා වෙද්දී නං අපිව ඕනෑ නැතිවෙයි මහත්තේලට!" බිසෝ කීවේ එකවරමය.

"ඒ කිව්වෙ?" රංජිත් ඇසුවේ කතාවේ අගක් මුලක් නොතේරුණ නිසාය.

"හෙට අනිද්ද ලස්සන පොඩි කෙල්ලෙක් කසාද බැඳ ගත්තම අපිව මතක් වෙන එකකුත් නෑ, ඇයි මහත්තයට ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙනව නේද?" බිසෝ කීවේ බිඳුණු හඬින්ය.

තමන්ට ගෙන ආ විවාහ යෝජනාව ගැන මේ ඉක්මනට බිසෝ දැනගත්තේ කෙලෙසදැයි රංජිත් මවිතයට පත්විය.  එහි අමුත්තකුත් නැත්තේ මෙවැනි කුඩා ගම්වල ආරංචිවලට තටු ලැබී එක දවසෙන් ගම පුරාම ඉගිල යෑම සාමාන්‍ය දෙයක් වීම නිසාය.

"බිසෝට කවුද කිව්වේ?" රංජිත් ඇසීය.

"කවුරු කිව්වහම මොකද මහත්තය,කතාව ඇත්තනෙ!"

"තාම කතා කරල විතරයි බිසෝ, තීරණයක් නෑ!" රංජිත් කීවේය.

බිසෝගේ වත එළිය විය.  ඇය රංජිත්ට තුරුළුවුනේ දැඩි ආදරයකිනි.  බිසෝගේ නග්න සුමට සිරුරේ මෘදු ස්පර්ශය රංජිත් මුසපත් කරවන සුළු විය.  ඇයගේ අතොරක් නැති සිපගැනීම් හමුවේ සිය කය නැවතත් අවදි වනු රංජිත්ට දැනුණි.  මහත් ආයාසයකින් රංජිත් සිය මුව බිසෝගේ මුවින් මුදවාගත්තේ බිසෝව සිය සිරුරට යටකරගනිමිනි.

"මහත්තය!" ඇය කතාකළේ තදින් හුස්ම ගනිමිනි.

"ම්, ඇයි!"

"මහත්තය මගේ, මගෙමයි, මහත්තයව වෙන කෙනෙකුට අයිති වෙනව මට බලාගෙන ඉන්න බෑ, ඒත් මට කරන්න දේකුත් නෑ!" ඇය වැරෙන් රංජිත්ගේ උරහිස සැපුවාය.

"ඌයි"

"ඇයි රිදුනද?"

"රිදෙන් නැද්ද කොටි දෙන වගේ හපද්දී ?"

"ඒ ආදරේට අනේ, මට දුකයි මහත්තයව මට නැති වෙයි කියලා!"

"තාම නැති වුණේ නැහැනෙ, අපි දැන් ඔය කතාව නවත්තමු!" රංජිත් කීවේ හැති හලමිනි.

රංජිත්ගේ ආදරය පෑම හමුවේ රිදුම් දෙන සිරුරින් වුවද බිසෝ ගෙදර ගියේ හිත සැහැල්ලුවෙනි.

                                                                       *
"මොකෝ රංජිත් තනියම හිනාවෙන්නෙ? ඉස්කෝලෙ කෙල්ලෙක් වත් මතක් වුණාද?"  අනුර මහත්තයා ඇසුවේ සිනාසෙමිනි.

"ඒ වගේ එකක් තමා, හැබැයි ඉස්කෝලෙ කෙල්ලෙක් නෙවෙයි."

"ආ,එහෙනං ෂුවර් එකටම ගමේ කෑල්ලක්!" අනුර මහත්තයා කීවේ බැදපු කුකුල් අඬුවක් සපමිනි.

"ඒකම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ!" රංජිත් වීදුරුවට තවත් එකක් වක්කර ගත්තේය.

"කියමුකො බලන්න අපිටත් දැනගන්න එක්ක!"

බිසෝ සමග ඇතිවූ සම්බන්ධයත් ඒ සමගම දිලිනි ගැන ඇගේ පියා ගෙන ආ යෝජනාවත් ගැන කතාව රංජිත් අනුර මහත්තයා සමග කීවේය.

"ඉතිං, මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ, කෙල්ල හොඳනම් බැඳගන්න!" 

"එතකොට බිසෝ?" රංජිත් එක්වනම අසා සිටියේය.

"හා,හා, මට තේරෙනවා, එතකොට කෙල්ලව බඳින්නත් ඕනෑ ගමේ ගෑණි අමතක කරන්නත් බෑ, එහෙම නේද?"

රංජිත් නිහඬවම අසා සිටියේය.

"රංජිත්, ඔයා බැන්දම ඒ ගෑණු කෙනා වෙන කවුරු හරි හොයාගනී, තව මිනිහෙක් ඕනෑම නං?  රංජිත්ට ඒ කෙනාම ඕනෑ නං ඉඳහිට ඇයි හොඳයියක් පවත්තන්නත් බැරුවයැ." අනුර මහත්තයා කීවේ හක හක ගා සිනාසෙමිනි.

"අනේ මංදා, ඕවා දිගදුර ගියාම නෙ පවුල් ආරවුල් හිට ඇතිවෙන්නෙ, ඒවට කොහොම මුණ දෙන්නද කියල මට නං හිතාගන්නවත් බෑ." රංජිත් කීවේය.

"මේ බලන්න රංජිත්, මේ ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇතිවුණු පළවෙනි එක්කෙනා ඔයා නෙවෙයිනෙ, මිනිස්සු ඕනෑ තරම් ඕවගේ ප්‍රශ්නවලට මුණ දෙනවා,  දැන් බලන්න මිනිස්සු ප්‍රසිද්ධියෙම ගෑණු දෙතුන් දෙනා තියාගෙන ඉන්නෙ, සමහර ලොකු ලොක්කන්ට දවසට එකා ගානෙ ගෑණු ඉන්නවා, ඇයි අහල නැද්ද දෙමළෙන් දෙවැනි ගෑණිට ඒ කියන්නෙ අනියම් බිරිඳට කියන්නෙ සින්න වීඩ,  දෙමළ භාෂාවෙ වීඩ හරි වීඩු හරි  කියන්නෙ ගෙදර, පළවෙනි ගෑණි පෙරිය වීඩ ඒ කියන්නෙ ලොකු ගෙදර, දෙවැනි ගෑණි සින්න වීඩ ඒ කියන්නෙ පොඩි ගෙදර, කොච්චර නිර්මාණාත්මකද බලන්න.  ලස්සන දෙමළ සිංදුවකුත් තියෙන්නෙ "චින්න වීඩ චිත්තිරා පෙරිය වීඩ කත්තිරා කියල."

අනුර මහත්තයා දෙමළ ගීතයක කොටසක් ගැයුවේ හිඳ සිටි පුටුවේ ඇන්දට අතින් තට්ටු කරමිනි.

"ඇයි චින්න චින ආසෙයි කියලත් එකක් තියෙන්නෙ!" රංජිත් පැවසුවේය.

"අන්න හරි, ටික ටික ආසයි, මරු සිංදුනෙ අප්පා!" වෙරිමත සමග අනුර මහත්තයා තුළ සිටින කලාකරුවා අවදිවෙයි.

"රංජිත් ඕමාර් ඛයියාම්ගෙ රුබය්යාට් කියවල තියෙනවද?" අනුර මහත්තයා එක්වරම ඇසුවේය.

"නම අහල තිබුණට ඛයියාම් ලියපුවා කියවල නෑ!"

"ෂැක්, ජීවිතෙන් බාගයක්ම අපතේ, ඒවනෙ කියවන්න ඕනෑ,  ඕමාර් ඛයියාම් මීට අවුරුදු දාහකට විතර කලින් පර්සියාවෙ,ඒ කියන්නෙ ඉරානයේ හිටපු ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ඒ ඔක්කොමටත් වඩා කවියෙක්, ලෝකේ කොච්චර නම් කවියෝ ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනවද? නමුත් ඛයියාම් එයාගෙ නිදහස් කවි ආර නිසා අදටත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. එයාගෙ ප්‍රතිමා කීයක් ලෝකයේ ඉදිවෙලා තියෙනවද? ඛයියාම් අමුතු දෙයක් කිව්වෙ නැහැ. ඛයියාම් රුබය්යාට් පොතේ කිව්වේ ජීවිතය කියන්නෙ මීවිතත්, සංගීතයත්, ගැහැණියත්ය ඒ නිසා අපි ජීවත්වෙන මේ පොඩි කාලෙ ජීවිතය විඳින්නය කියලයි. මොන තරම් සොඳුරු සිතුවිල්ලක්ද? ඛයියාම්ගෙ කවියක් සිංදුවක් කරලා අමරදේවත් කිව්වේ, මම හිතන්නෙ ඒ සිංදුව ලිව්වෙ සේකර."

ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ 
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි  
සුරංගනාවියනේ ඒ ඒ

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවනැල්ලේ

අද අප ජීවිත සුමිහිරි වේනම්
මළ ඊයේ ගැන ඇයි ලතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිවයුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා

ඔබ මා තුරුළේ ..... 

අනුර මහත්තයා වෙරිමතින් ගයන්නේ දෑස පියාගත්වනමය.

"දැක්කද? මොන තරම් අලංකාර සිතුවිල්ලක්ද? මේ වගේ කවි ලියන්න පුළුවන් ඛයියාම්, ඒ වගේම කවිය ගීතයක් කළ සේකර වගේ සුන්දර මනුස්සයින්ටම තමයි!"  ගීතය අවසන් කළ අනුර මහත්තයා කීවේ වීදුරුවට තවත් එකක් පුරවාගනිමිනි.

"මහගම සේකර කියන්නෙත් අප්‍රමාණ මිනිහෙක් රංජිත්, ගීත රචකයෙක්, කවියෙක්, නවකතා කෙටිකතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්, චිත්‍ර ශිල්පියෙක් මේ ඔක්කොම හැකියාවන් එක වගේ තිබුණු කලාකාරයෙක්.  මේ හැම හැකියාවක්ම එකට තිබුණු සේකර වගේ කෙනෙක් ආයෙ බිහිවෙන්නෙ නෑ රංජිත්."  අනුර මහත්තයා කීවේ තවත් කතාවකට මුල පුරමිනි.

"අපේ රටේ මිනිස්සු සේකරට සලකපු හැටි ගැන මම කතාවක් කියන්නම් රංජිත්."

"සේකර රදාවානෙ ඉපදිලා හැදිල වැඩිල රදාවානෙ ඉස්කෝලෙට ගියාට පස්සෙන් පහු රස්සාව හම්බවෙලා කසාද බැන්දට එහෙම පස්සෙ හිටියෙ ගම්පහ ගෙයක් කුලියට අරගෙන.  සේකරටයි එයාගෙ නෝන මහත්තයටයි වැඩට යන්න එන්න එතකොට ළමයින්ට ඉස්කෝලෙ යන්න එහෙම හැම දේටම පහසු නිසා ගම්පහ පදිංචි වුණාට පස්සෙ සේකර රදාවානට ආවෙ ගියෙ කලාතුරකින් ගමේ විශේෂ අවස්ථාවක් වුන වෙලාවට විතරයි.  ඒක සේකරම කවියකින් කියල තියෙනවා."

කලාතුරකින් දිනෙක මා ගෙදරට යන කලට
අපේ ගමේ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උළු සෙවිළි කළ ඒ වහල යට
සඟවා තිබෙයි මගෙ ජීවිතයෙහි සතුට

"ඒ වුණාට සේකර මැරුණට පස්සෙ ආදාහනය කළේ රදාවානෙ තුංමං හන්දියෙ.  ආදාහනය කරලා සේකරගෙ අළු කලෙත් තියල සොහොනකුත් තුං මං හන්දියෙම හැදුවා.  සොහොන හදල ගතවුණේ දවස් දෙක තුනයි ඒ පැත්තෙ අය සොහොනත් කඩල අළු කලෙත් බිඳල දාල තිබුණා.  ඒ වැඩේට හේතුව හොයද්දි එලි වුණේ මෙහෙම කතාවක්.  රදාවාන ගැන ලියල ජනප්‍රිය වුණාට ගමේ හිටියෙවත් නැති, ඔච්චර නමක් තියෙන ලොකු ලොකු සම්බන්ධතා තියෙන මිනිහෙක් වුණාට ආණ්ඩුවට කියල ගමේ පාරකට තාර ටිකක් දාල දුන්නෙ නැති, ගමට පාලමක් බෝක්කුවක් හදල දුන්නෙ නැති මිනිහෙකුගෙ සොහොනක් විතරක් තුංමං හන්දියට මොකටද කියලයි සොහොන කඩල දාල තියෙන්නෙ."

"ඔන්න බලන්න රංජිත්, රදාවාන, තුංමං හන්දිය, ගමේ ඉස්කෝලෙ අමරණීය කරපු මනුස්සයට ගමේ මිනිස්සු සලකපු හැටි?  ඒ මනුස්සයගෙ වටිනාකම තාර ටිකකට පාලමකට බෝක්කුවකට සීමා කළා.  ඔය භෞතික දේවල් කාලෙකදී කැඩිල බිඳිල නැතිවෙලා යනවා.  ඒ වුණාට සේකර ලියපුවා හැමදාම පවතිනවා.  ඔය ටික තේරුම් ගන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ රංජිත්!"

"තව ජොලි කතාවක් තියෙනව රංජිත් ඒකත් අහන්නකො!"

"ඔය හැත්තෑවෙ මැතිනිගේ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති වුණේ ඇස්. ඇස් කුලතිලක.හිටපු නඩුකාරයෙක්,හැබැයි සුන්දර මිනිහෙක්.  ඇමතිකම ගත්තට පස්සෙ මිනිහ කෙළින්ම කිව්වා මම දන්න ඇති සංස්කෘතියක් නෑ ඇමතිකම දුන්න නිසා ගත්ත කියල.  ඉතිං ඔය සේකරල එහෙම කලාකාරයො එකතු වෙලා පිහිටුවා ගත්ත කලා සංගමේකින් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්න, අවශ්‍යතා එහෙම ඇමතිට කියන්න.  ඉල්ලපු ගමන්ම සාකච්ඡාව ලැබුණා.  ඉතිං නියමිත දවසෙ කලාකාරයො ටික අමාත්‍යංශයට ගියා සාකච්ඡාවට.  ඇමතිත් එයාගෙ ලේකම් එච්. එස්. ප්‍රේමවර්ධන එක්ක නියමිත වෙලාවටම සාකච්ඡාවට ආවා.  දැන් සාකච්ඡාව යනවා, සේකර නැගිටලා ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතා,ප්‍රශ්න එහෙම ඇමතිට පැහැදිලි කරනවා. ඇමැතිත් නිකටෙ අත තියාගෙන බොහොම වුවමනාවෙන් අහගෙන ඉන්නව වුණාට එයාගෙ ඇහැ තිබුනෙ ජනේලෙන් එළියෙ තිබුණු ගස්ලබු ගහක.  සේකර බොහොම උද්වේගයෙන් කතාකරන අතරෙ එක පාරටම ඇමති ගස්ලබු ගහ පෙන්නල ලේකම්ගෙන් අහනව,

"ප්‍රේමවර්ධන, අර ලංසි පැපොල් ගහක්ද?" කියල.

"සේකරට යක්ෂය ආරූඪ වුණා,  ඇයි අප්පා, මෙච්චර වෙලා කියවපු දේවල් එකක්වත් මේ මනුස්සය අහගෙන ඉඳල නෑනෙ."

"මේ ඇමතියට කතා කරපු ටික බීරෙකුට කිව්වනං මීට වඩා හොඳයි, මෙන්න මෙහෙ වරෙල්ලා යන්න කියල සේකර අර කලාකාරයො ටිකත් ඇදගෙන එළියට බැහැල ආවලු!"

සංගීතය, චිත්‍රපටි, කවි හෝ ගීත ගැන කතාව පටන් ගත්තොත් අනුර මහත්තයාට වෙලාව ගතවෙනවා නොතේරේ.  ඔහුගේ ගීත ගායනය නැවතුනේ අනුර මහත්තයාගේ නෝනා ඇවිත් කතාකළ නිසාය.

"දැන් සිංදු කිව්ව මදැයි, දෙන්නත් එක්ක කෑම කන්න එන්න!"

"මට නම් ගෙදර කෑම තියෙනවා, අම්ම කිව්ව මම එද්දී කෑමට ගෙදර එන්න කියලා!" රංජිත් කීවේය.

"රංජිත්ට ගෙදර කෑම තියෙනව කියල මම නොදන්නවැයි? අපේ ගෙදරින් කෑම කාල ගියාට අම්ම මොකුත් කියන එකක් නෑ, අනික රංජිත් ගියාම කී කාලෙකට පස්සෙද ආයෙ හම්බවෙන්නෙ? යමු යමු, කන්න ඉස්සෙල්ල තව චූටි එකක් දාගම්මු නේද?"  අනුර මහත්තයා රංජිත්ව කෑම මේසයට කැඳවාගෙන ගියේය.

රංජිත් එදා මහ රෑ ගෙදර ගියේ අනුර මහත්තයලගේ ගෙදරින් කෑම ගැනීමෙන් අනතුරුවය. 

"ආපහු ගිහිල්ල මොකද වුණේ කියල විස්තරේ මටත් දන්වල එවන්න!" කියමින් අනුර මහත්තයා රංජිත්ට සමුදුන්නේය.  රංජිත් අනුර මහත්තයලගේ ගෙදරින් පිටව ගියේ බොහෝ සැහැල්ලුව ගිය සිතිනි෴

Sunday, June 9, 2019

ගින්නෙන් උපන් සීතල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය , 82 ජනාධිපතිවරණය , දයාසිරිට වැදුණු කොක්ක, උපසිංහ සහ සුනිල් සහෝදරයා.

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල මා නැරඹුයේ මීට මාස කීපයකට පෙරදීය.  එම සිනමා නිර්මාණයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන කමල් අද්දරආරච්චි තම චරිතය රඟපෑමේදී විජේවීර ගේ ඉරියව් සියුම් ලෙස අධ්‍යයනය කර තිබුණත් විජේවීරගේ කතා විලාසය ගැන අධ්‍යයනයක් කර නොතිබූ බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.  මන්ද යත් විජේවීර ව්‍යවහාර කළ දකුණේ භාෂා ඌරුව කමල්ගේ වචන භාවිතයේ දකින්නට නොතිබුණ නිසාය.  කෙසේ වුවද එම සිනමා නිර්මාණයේ තිබු චරිත අතුරින්  වඩාත්ම මගේ සිත් ගත්තේ විජේවීරගේ බිරිඳ ලෙස සුවිශේෂී රඟපෑමක නිරතවූ සුලෝචනා වීරසිංහ ගේ රංග කෞශල්‍යයයි . වැඩිපුර දෙබස් නොතිබූ එම චරිතය මුහුණින් ද ඉරියව් වලින් ද හැඟීම් ප්‍රකාශ කරමින් ඇය කළ රංගනය අතිශය ස්වභාවික  විය.  මෙම පෝස්ටුව කිසිසේත්ම ඒ චිත්‍රපටය ගැන විචාරයක් නොවන අතර මේ සුළු කොටස ලියැවුණේ ද කතාවට ආරම්භයක් වශයෙනි.

ගින්නෙන් උපන් සීතල නැරඹු මට කල්පනා වුණේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නිර්මාතෘ රෝහණ විජේවීර ගැන මාහටද යම්කිසි මතක සටහනක් ඇති බවය.  යම් කිසිවකුගේ තරුණ අවධිය අති ධාවනකාරී වූද විප්ලවවාදී වූද මෙන්ම හදවතේ හැඟීම්වලට මුල්තැන දෙන සමයක් බව අවිවාදිතය.  එකල තරුණ අවධිය ගෙවමින් සිටි අපද ජේ.වී.පීය  විසින් අරඹා තිබූ අති ධාවනකාරී මෙන්ම සිත් ඇදගන්නා සුළු දේශපාලනයට නැඹුරු වුයේ නිරායාසයෙන්මය.

කාලය අසු ගණන්වල මුල් භාගයයි.  කතාව පුරන්නට ටිකක් ඈතට යා යුතුය.  1971 සිට බන්ධනාගාරගතව සිටි විජේවීර නිදහස් වන්නේ 1977 වර්ෂයේදීය.  1977 දී ජේ. ආර්.බලයට පත්වීමෙන් පසු විශේෂ කොමිෂන් සභා සහ ඒවායේ තීන්දු අහෝසි කිරීම හේතුවෙන් විජේවීරටද නිදහස ලැබිණි.   නිදහසින් පසු නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්නා විජේවීර ආයුධ සන්නද්ධ දේශපාලනය අතහැර දමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අනුගත වන අතර දේශපාලන රැළි පවත්වමින් මහජනයාගේ ආධාර ඉල්ලා සිටින්නේ පක්ෂය ශක්තිමත් කරන්නටය.  ඔහුගේ සුප්‍රසිද්ධ ටවුන් හෝල් රැළියේදී පක්ෂයට ආධාර කරන ලෙස කළ ඉල්ලීමට දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් ලැබුණු අතර ඇතැම් කාන්තාවන් සිය කණකර පවා ගලවා පක්ෂයට පරිත්‍යාග කළ බව මට මතකය.   ව්‍යක්ත කථිකයෙක් වූ විජේවීර ගේ සිත් ඇදගන්නා කතා විලාසයට ජනතා ආකර්ෂණය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබුණු බව දක්නට තිබුණි.   ඉතා උසට ඉදිකරන ජ. වි. පෙ විවෘත වේදිකාවේ අවසන් කථිකයා වන විජේවීර පැයක් හෝ පැය එකහමාරක් පුරා දිය ඇල්ලක් ගලා හැලෙන්නා සේ සිය චතුර කතාව පවත්වයි.  එකල ඔහු සිය කතාව අවසන් කරන්නේ කවියකිනි.  ඔහු කියන්නේ එම කවිය මිනීමරු ධනපති ආණ්ඩුවේ ගහලයන්ගේ වධ බන්ධනයට ලක්වී සිටි ජ.වි. පෙ. සොහොයුරෙක් සිය අවසන් මොහොතේ අඟුරු කැබැල්ලකින් බිත්තියක ලියූ එකක් බවයි.

කුසට සාගිනි සිතට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා

එම කවියෙන් සිය කතාව අවසන් කරන විජේවීර සමුද්‍රඝෝෂයක් සේ නැගෙන ජය ගෝෂා මධ්‍යයේ වේදිකාවෙන් බැස යයි.  එවකට පක්ෂය සතුව වාහන නොතිබූ අතර සියළුම නායකයන් රැස්වීම් වලට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගෙනය.  පසුව විජේවීරගේ ගමන් පහසුව සඳහා රතු පැහැති කොරොල්ලා රථයක් මිළට ගෙන තිබු අතර එයට දේශපාලකයින් දැඩි සරදම් එල්ලකළේ නිර්ධන පංති විප්ලවය ගැන කතාකරන නායකයින් ගමන් යන්නේ සුඛෝපභෝගී වාහන වල බව කියමිනි.  එයටද විජේවීර වේදිකාවේදීම පිළිතුරු බැන්දේ තමන්ට මහජන රැළි සහ පක්ෂයේ වෙනත් කටයුතු සඳහා වෙලාවට යන්නට වාහනයක් අවශ්‍ය බවත් බරකරත්ත වල ගොස් දේශපාලනය කළ කාලය දැන් අවසන්වී ඇති බවත් හැකියාවක් ඇත්නම් ගමන් යන්නට හෙලිකොප්ටරයක් වුවද පාවිච්චි කිරීමට නොපැකිලෙන බවත් කියමිනි.

හැත්තෑ ගණන් වල අග භාගයේ සිට විජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙළින්ම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය යනුවෙන් නම්කර තිබු රැළි සහ දේශන ඔහු රට පුරා යමින් පවත්වන්නට වූ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් චෝදනා කළේ ශ්‍රී.ල.නි.ප යට පහර දීමට ජේ. ආර්. විසින් විජේවීරව නිදහස් කළ බවටය.  පසුකාලීනව මම එයට හේතුව සුනිල් සහෝදරයා ගෙන් ඇසුවිට(සුනිල් සහෝදරයා කතාවේ පසුවට එන චරිතයකි) ඔහු කීවේ රේස් එකක තුන්වෙනි තැනට දුවන විටදී දෙවැනියා පසු නොකර පළමුවැනියා පසුකරන්නට බැරි බවය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්නට යෙදුණේ 1982 වර්ෂයේදීය.  ජ.වි.පෙ සිය දේශපාලන සහ ප්‍රචාරක කටයුතු වේගවත් කළේ ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි.  නාම යෝජනා භාරදීමේදී විජේවීර ද ජ.වි.පෙන් නාම යෝජනා භාර දුන්නේ සිය පක්ෂයට රටේ ජනතාවගේ කැමැත්ත කෙතරම්දැයි මැනගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතවය.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලිකයකු වූද වත්තල ආසනයේ වැඩ කළාවුද සුනිල් සහෝදරයා දයාසිරිට කොක්ක ගැහුවේ ඔය අවධියේදීය.   අඩි විස්ස පාරේ පදිංචිව සිටි දයාසිරි අප සමග හිතවත් වන්නේ අපිත් එක්ක රෝහලේ වැඩකළ උපසිංහ ගේ මාර්ගයෙනි.  එවකටද විවාහවී දරු දෙදෙනෙකුගේ පියෙක්ව සිටි උපයා විවාහවී සිටියේ දයාසිරිලාගේ ඥාති සොයුරියක සමගිනි.  ඔවුන් පදිංචිව සිටි රෝහල් නිල නිවස තිබුණේ දයාසිරිලාගේ ගෙවල් වලට ඉදිරිපිටින්ය.  උපසිංහ බීගත් දවසට ගෙදර ඇවිත් රෝහිණීට සැර දමා ගෝරියක් පටන්ගනී.  ගෝරියේ සද්දය ඇහුණු ගමන්ම දයාසිරිලාගේ මුළු පවුලම උපයාට ගහන්නට කැති පොලු අරගෙන දුවගෙන එන බව ඌ කියන්නේ සිනාසෙමිනි.  ඔහු මාතර කිතලගම සිට ඇවිත් වැලිසර පදිංචිවී සිටි අතර අසරණ සරණ කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි හෙවත් දිඹුලාගල නායක හාමුදුරුවෝ නෑකමට උපසිංහගේ බාප්පාය.  අවුරුද්දකට වතාවක් බාප්පා බලන්නට දිඹුලාගල යන උපයා හාමුදුරුවන්ගෙන් ලැබුණු තෑගි ගොඩක්ද අරගෙන ආපසු එයි.

දයාසිරිලාගේ පවුලේ දරුවන් පස්දෙනෙකි.  දයාසිරි වැඩිමලා වූ අතර ඊළඟට සිටි ලොකු නංගී අපි ප්‍රේමා යනුවෙන් හඳුන්වමු.   සිත් ඇදගන්නා සුළු රූ සපුවක් හා පැහැපත් සිරුරක් ඇති කෙල්ලෙක් වූ ප්‍රේමා දුටු කෙනෙක් දෙවරක් බලන්නට පෙළඹෙන තරම් සිත මන්මත් කරවන යුවතියකි.  අපි දයාසිරිලාගේ ගෙදරට යන්නට එන්නට පටන් ගත් පසු ඇය මගෙත් එක්ක පොඩි පහේ පටලැවිල්ලක් හදාගත් නිසා නම කියන එක හොඳ මදිය.  ඊළඟට සිටි ලොකු මල්ලි නන්දාය.  ඔහුගේ නම නන්දසිරි හෝ නන්දන හෝ වෙන්නට ඇති වුණත් පවුලේ ඔක්කොම ඌට නන්දා කියපු නිසා අපිත් එහෙමම කතාකළෙමු.  ඔහු ඒ දවස්වල උසස් පෙළ පංතියේ උගත් අතර අමතරව ඉංග්‍රීසි පංතියකටද සහභාගී විය.  පවුලේ බාල දුව වූ චූටි අවුරුදු දොළහක් දහතුනක් පමණ වයසැති පාසල් දැරියකි.  අන්තිමයා වූ  සුදු අවුරුදු හතක් අටක් පමණ වයසැති දඟකාර කොල්ලෙකි.  බාල දෙන්නාට අපත් චූටි සහ සුදු යනුවෙන් කතා කළ නිසා මම අදටත් උන් දෙන්නාගේ නම් නොදනිමි.  දයාසිරි කඳානේ පුද්ගලික කර්මාන්ත ආයතනයක සේවය කළ අතර එම වැඩපොළේම කෙල්ලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

දයාසිරිලාගේ තාත්තා වරායේ වැඩ මුලිකයෙකි.  ඔහු රෑ වැඩ දවස්වලට දවල්වරුවේ ගෙදර සිටි අතර දයාසිරිත් එක්ක ගෙදර යන අප සමග බොහෝ හිතවත් වුණේය.  ගෙදර ගෘහිණිය වූ දයාසිරිලාගේ අම්මා කුඩා සිරුරක් ඇති කාන්තාවක් වූ අතර නිතර සිනාමුසු මුහුණින් ඉන්නාඇය අපටද තමන්ගේම දරුවන් ලෙස ආදරයෙන් සැලකුවාය.  දයාසිරිලාගේ ගෙදර පවුල් ප්‍රශ්න හෝ ආර්ථික ප්‍රශ්න නොතිබූ අතර විහිළුවක් තහළුවක් කරගෙන සිනාවෙමින් හොඳ සමගියෙන් ඔවුහු දවස් ගෙවුහ.  දයාසිරිලගේ අම්මා උදේට හදන ආප්ප, ඉඳිආප්ප වැනි කෑම අපිත් මිළට ගන්නේ උදේ කෑමටය.  ඉඳිආප්ප කන්නට ඇය පොල් සම්බෝල හදා මාළු මිරිසට උයයි.  හොඳට තුනපහ ලුණු ඇඹුල් දමා ඇය හදන මාළු හොද්ද කොච්චර රසද කීවොත් කතාවට කියන හැටියට ගෑවුණු තැන කන්නට හැකිය.

උදේ වැඩට යන ගමන් ඉඳිආප්ප ගන්නට දයාසිරිලාගේ ගෙදර මා යන බොහෝ දවස්වලට ගෙදර ඉන්නේ ප්‍රේමාත් අම්මාත් විතරය.  අම්මා කුස්සියේ ඉඳිආප්ප තම්බමින් සිටින අතර ප්‍රේමා ගේ දොර අස්පස් කර අතුගාමින් සිටින්නේ හැඳ සිටින ගවුමට උඩින් රෙද්දක්ද පටලවාගෙනය.  අම්මා ඉඳිආප්ප තම්බන තුරු ප්‍රේමා මගෙත් එක්ක කතාවට වැටේ.  ඇය මගෙන්  රැකියාවේ විස්තරද රෝහලේ තොරතුරුද අසන්නීය.   ඉඳිආප්ප පාර්සලය මගේ අතට දී ආපසු කුස්සියට යන අම්මා අපි දෙන්නා කොපමණ වේලා කතා කළත් ඒ ගැන කිසිම අකමැත්තක් නොදැක්වූ බව මට හොඳට මතකය.

1982 වර්ෂයේ ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණු පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ දිගින් දිගටම ලැබෙන්නට විය.   දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ දයාසිරිලගේ තාත්තා වහාම ටීවී එකක් මිළට ගත්තේය.  අඟල් 14 කළු සුදු රූපවාහිනී යන්ත්‍රයක් වූ එය ගත්තායින් පසුව ඒ ගෙදරට අපේ ගමන් වැඩිවුණේ නිතරම මැච් බලන්නට යෑම නිසාය.  දයාසිරිලගේ තාත්තාද අපිත් එක්ක ඉඳගෙන සජීවී විස්තර ප්‍රචාරයක්ද කරමින් මැච් බලන්නේ කරන්නට ඇති වැඩ සියල්ලම අමතක කරමිනි.  ඔය කාලයේ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ උවයිස් කර්නයින් ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ අතර හොඳ හිටර් කෙනෙකි.  ඔහුගේ දස්කම් වලට වශීවී සිටි දයාසිරිගේ තාත්තා කර්නයින් හැඳින්වුයේ කරලැයින් යනුවෙනි.  දවසක්දා අපි මැච් එකක් බලන්නට සුපුරුදු විදියට සාලයේ රුපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටියෙමු.  කුමක් හෝ හේතුවක් නිසා එදා ශ්‍රී ලංකා පිලට කර්නයින් ක්‍රීඩා කළේ නැත.  සිය ප්‍රියතම ක්‍රීඩකයා කණ්ඩායමේ නොමැතිවීම තාත්තා බොහෝ නොසන්සුන් කළ සිද්ධියක් විය.   ඔහු කේන්තියෙන් සාලයේ ඇවිදිමින් අප දෙසට තර්ජනාත්මකව දබරැඟිල්ල දිගු කරමින් "කෝ  කරලැයින්?" යැයි විටින් විට ඇසුවේ අපි කර්නයින් හංගාගෙන ඉන්නවා වගේය.  මේ සිද්ධිය මුල සිටම බලා සිටි නන්දා "කරලැයින් මළා කියන්නැ"යි අපට කීවේ සිනාවෙමිනි. "කරලැයින් කියන්නෙ අපේ ආච්චි, තාත්තගෙ අම්මා!" නන්දා වැඩිදුරටත් කීවේය.   ආයෙම තාත්තා කරලැයින් ගැන ඇසු විගසම අපි නන්දා කී විදියට කීවෙමු.  ටිකක් වෙලා විමතියෙන් මෙන් බලා සිටි ඔහු වහාම අප කළ විහිළුව තේරුම් ගනිමින් අපත් සමග සිනාසෙන්නට විය.  ක්‍රිකට් මැච් බලන තාත්තාට සියල්ලම අමතක වෙනවා සේ රස්සාවට යන්නටද අමතක වෙයි.  එක්කෝ හිතාමතාම අමතක කරයි.  ක්‍රිකට් බලන තාත්තා රස්සාවට නොයෑම චූටි නොසන්සුන් කළ සිද්ධියක් විය.  "මෙහෙම නිවාඩු ගත්තොත් නෝ පේ යන්නයි වෙන්නෙ!" යි තාත්තාට කෑ ගසන  ඇය ටී වී එක වසා දමා තාත්තාව රස්සාවට පිටත් කරයි.

දයාසිරිගේ ප්‍රේම සම්බන්ධතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියේ කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට මනමාලයින් සොයන්නට වූ නිසාය.  කළයුත්තේ කුමක්දැයි දෙදෙනා අතර බොහෝ සාකච්ඡා ඇතිවූ අතර අන්තිමට තීරණය වුණේ දයාසිරි කෙල්ලගේ ගෙදර ගොස් දෙමව්පියන්ට දෙදෙනාගේ සම්බන්ධය ගැන දැනුම්දී විවාහ වෙන්නට අවසර ඉල්ලීමටය.  කෙල්ලගේ ගෙවල් තිබුණේ ගම්පහ පැත්තේ වූ අතර තමන් තනිවම මනමාලගම් යන්නට දයාසිරි තීරණය කර ගත්තේය.  තනිවම කෙල්ලගේ ගෙදර ගිය දයාසිරි කෙල්ලගේ තාත්තා හමුවී කතාකර වැඩේ ගොඩදාගෙන තිබුණි.   උපන්ගෙයි විහිළුකාරයෙක් වූ උපසිංහට දයාසිරි කෙල්ලගේ පියා හමුවී කළ කතාව හොඳ බයිට් එකක් විය.  දයාසිරි, උපසිංහ සහ මා එකතුවූ තැනකදී උපයා ඔය කතාව දයාසිරිගෙන් අසයි.  දයාසිරිත් රසකර විස්තරය කියන්නේ කෙල්ලගේ පියා තමාට තැඹිලි ගෙඩියක් කපා බොන්නට දී සංග්‍රහ කළ බවත් කියමිනි.  කෙල්ලව විවාහ කරගන්නට ඇසු විට තාත්තා තවත් තැඹිලි ගෙඩියක් කපා දයාසිරිට බොන්නට දුන් බව උපයා කියන්නේ සිනාසෙමිනි.

විස්තර අවසානයේ දැන් ආයෙම කතාවේ මුලට යා යුතුය.  ඔය කාලය වනවිට සුනිල් සහෝදරයා දයාසිරිලාගේ ගෙදර නිතරම දකින්නට හැකි චරිතයක් වූ අතර දයාසිරි සුනිල් සහෝදරයාව උපසිංහට මුණගැස්වීමේ හේතුවෙන් උපයා ද ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙක් විය.  සුනිල් සහෝදරයා අපවද මුණගැසෙන්නට රෝහලට පැමිණ දීර්ඝ සාකච්ඡා පවත්වන්නේ පවතින යූ. ඇන්. පී ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය ගැන දිගින් දිගටම විවේචනය කරමිනි.  රැකියාවේ කටයුතු හේතුවෙන් පක්ෂයකට බැඳී දේශපාලනය කිරීම ප්‍රතික්ෂේප කළත් දයාසිරි සහ උපසිංහ අපේ මිත්‍රයන් වීම හේතුවෙන් ඔවුන් කරන කියන දේවල් වලට උදව් කිරීම නම් නොඅඩුව සිදුවිය.  මේ කාල වකවානුව වනවිට අඩි විස්ස පාරේ ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිතියක් පිහිටුවා ගන්නා තරමට සාමාජිකයන් සංඛ්‍යාවක් එකතුවී සිටියේ සුනිල් සහෝදරයාගේ කාර්යක්‍ෂම ප්‍රචාරක කටයුතු හේතුවෙනි.

පක්ෂයේ කටයුතු වෙනුවෙන් දවස පුරා වෙහෙසෙන සුනිල් සහෝදරයා රැකියාවකුත් නොමැතිව පක්ෂයෙන් මුදලක්ද ලබා නොගෙන ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි ඊට පෙර පක්ෂ පූර්ණකාලිකයෙක් දැක නොතිබූ අපට ප්‍රශ්නයක් විය.   ඒ ප්‍රශ්නය දවසක් සුනිල් සහෝදරයාගෙන් ඇසු විට ඔහු කීවේ පූර්ණකාලිකයා යනු පන්සලේ හාමුදුරුවන් මෙන් වූ චරිතයක් බවයි.  හාමුදුරුවන්ට දායකයන් සිව්පසය සපයනවා සේම පූර්ණකාලිකයාද පක්ෂ සාමාජිකයන්ගේ ආධාරවලින් ජීවිතය ගෙනයන බව ඔහු කීවේය.  සුනිල් සහෝදරයා කෑම බීම ලබාගන්නේ කවුරුන් හෝ හිතවතෙකුගේ ගෙදරිනි.  ඔහු රෝහලට පැමිණි දිනෙක නම් ඔහුගේ කෑම වේල අප විසින් සපයනු ලබයි.   ගමන් බිමන් සඳහා වියදම්ද සපයා ගන්නේ ඒ විදියටමය.  රැකියාවෙන් ලැබෙන වැටුප ජීවත්වන්නට නොසෑහෙන බව නිතරම කියන අපට සුනිල් සහෝදරයා ගෙනයන අල්පේච්ඡ ජීවිතය මහත් ආස්වාදයක් සැපයුවා සේම ආදර්ශයක්ද විය.

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබූ අතර රටේ සෑම තැනම පාහේ විශාල ජනතා රැළි මෙන්ම කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටිං ද පැවැත්වුණි.  ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකු රැස්වීමක් ළඟ පාතක තිබේ නම් රැස්වීම බලන්නට උපයා අපවද ඇදගෙන ගියේ තමන්ගේම වියදමෙනි.  රැස්වීම අවසානයේ මහ රෑ ආපසු එන අපි නිදාගන්නේ උපයලාගේ ගෙදරය.  ඒ වනවිට උගේ බිරිඳ රෝහිණී විදේශ රැකියාවකට ගොස් සිටි අතර දරු දෙදෙනා හිටියේ රෝහිණීලාගේ මහ ගෙදර නිසා උපයා ගෙදර ජීවත්වුණේ තනිවමය෴

Sunday, May 12, 2019

මහාබෝධියේ වගතුග, රාජා, කපිල සහ ධර්මසිරි ගමගේ ගේ සංවේගය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ රථ ගාය සහ එග්මෝර් හි ට්‍රැෆික් පොලිස් නිලධාරියා.



මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තුති කතාව,සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.

ආයෙම ලිවීම අමාරු වැඩක් බව තේරෙන්නේ ලියන්නට පටන් ගත් විටය.  වැඩියත්ම අමාරු කතාවක් ආරම්භ කිරීමය.  ඇරඹුවාට පසුව නම් ආයාසයකින් තොරව ලියැවෙයි.  කතා කීපයක්ම ලියන්නට තිබුණත් සේනගේ කතාවෙන් පටන්ගෙන භික්ෂු පරිච්ඡේදයක් කරා ළඟාවූ කතාවම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.

මහාබෝධිය කියන්නේ මහා අමුතු ස්ථානයක් බව මම කලින්ද කියා ඇත්තෙමි.  විවිධාකාර පුද්ගලයන් ගැවසෙන සහ විවිධාකාර කටයුතු සිද්ධවෙන මෙතැන දවසක් ගතකරන්නට ලැබීමම අපූරු අත්දැකීමකි.  මහාබෝධියේ මුළු දවසම ගත කරන තවත් කණ්ඩායමක් වනුයේ මහාබෝධියෙන්ම සිය ජීවිකාව සරි කර ගන්නා පිරිසයි.  මේ අය මහාබෝධියට එන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මුදලක් උපයා ගනිති.  රාජා ඔය කියන කණ්ඩායමේ ඉන්නා කැපී පෙනෙන පුද්ගලයෙකි.  ඔහු සාමාන්‍යයෙන් වන්දනා නඩ සාප්පු සවාරි ගෙනයෑම වැනි සිල්ලර වැඩ කරන කෙනෙක් නොවන අතර වන්දනා නඩ භාරව පැමිණෙන අය සමග ගණුදෙනු කරමින් ඔවුන්ගේ වන්දනා චාරිකාව සාර්ථක කරගන්නට අවශ්‍ය සේවා සහ පහසුකම් සපයන කෙනෙකි.  උදාහරණයක් ලෙස කිවහොත් වන්දනා නඩ වලට මග පෙන්වන අය, උයන්නට අරක්කැමියන්, යන්නට රථ වාහන ආදිය සපයා දී මුදල් ලබා ගනියි.  වන්දනා සමයේදී ඔහු බොහෝ කාර්ය බහුල වන අතර වන්දනා නඩ නොඑන ඕෆ් සීසන් එකේදී රාජා වාහන බ්‍රෝකර් වැඩ කරයි.  අතේ මිටේ හොඳින් මුදල් ගැවසෙන කේරළ වැසියකු වූ රාජා අතට මුදලක් නොලැබේ නම් වැඩකට අත නොගසන කෙනෙකි.

මහාබෝධියෙන්ම ජීවිකාව සරි කර ගන්නා තවත් තරුණයෙක් වූ කපිල රාජාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි.  කපිලලා සතුව ගෙස්ට් හවුස් එකක් ඇත.  මහාබෝධියේ කාමර පිරී ඇතිවිට නවාතැන් සොයා එන ශ්‍රී ලාංකිකයන්ට කපිල සිය ගෙස්ට් හවුසියේ නවාතැන් සපයා දෙයි.  ඊට අමතරව වාහනයක් තබාගෙන හයර් දුවන කපිල සිය හිතවතුන්ගේ වැඩවලට මුදල් නොබලා කැපවී වැඩ කරයි.  සාමාන්‍යයෙන් අපි වුණත් අපේ අමුත්තෙක් ලංකාවේ සිට එනවිට ඒ වැඩේ භාර දෙන්නේ කපිලටය.  ගුවන් තොටුපොළෙන් අමුත්තාව පිළිගැනීමේ සිට පිටත්ව යන දවස දක්වා අමුත්තාට අවශ්‍ය සියළුම දේවල් කපිල අතින් නොඅඩුව සිදුවෙයි.  දෙන මුදලක් ගන්නවා මිසක මුදල් ගැන කේවල් නොකරන කපිල අපේ විනෝද සවාරි, සාද, සාජ්ජ වැනි වැඩවලට සිය සේවය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි.  ඊට ඊට අමතරව දකුණු ඉන්දියාවේ පුහුණුව ලබනා ලංකා නාවික හමුදාවේ කොල්ලන්ද නිවාඩුවට මදුරාසියට ඇවිත් මහාබෝධියේ නවාතැන් ගත් විට ඔවුන්ගේ ද සබ්බ සියලු උවමනා සහ ගමන් බිමන් ද කරගන්නේ කපිලගේ උදව්වෙනි.

වතාවක් අපි කළ නිදහස් දින උත්සවයක ගීත ගයන්නට ජමුණා රාණිට සහ ජික්කිට ආරාධනා කරන්නට මම ගියේ කපිලත් එක්කය.  මගේ සගයෙකු සහ පැරණි ගීත ලෝලියකු වූ ටෙරන්ස් ද මා සමග ගමනට එක්විය.  ඒ කාලයේ සිංහල චිත්‍රපට වලට ගීත ගැයුවාට මේ ගායිකාවන් දෙදෙනාටම සිංහල කතා කරන්නට නොහැකිය.  ආරාධනාව ගැන බොහෝ සතුටට පත්වූ මේ ගායිකාවන් දෙදෙනා එවෙලේම ඔවුන්ගේ පැරණි ගීත ගායනා කළ අතර යුග ගීත වලට ටෙරන්ස් ද එකතු කර ගත්හ.   රෑ මැදියමක් තිස්සේ පැවති අපේ ගීත සාජ්ජයෙන් බොහෝ සතුටට පත් කපිල ගමනට අපෙන් කිසිම මුදලක් ගත්තේ නැත.   මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ.

දවසක්දා මම කාර්යාලයේ වැඩ කරමින් සිටියදී මට ලැබුණු දුරකථන ඇමතුමකි.  කතා කලේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවකු වූ ධර්මසිරි ගමගේ මහතාය.  ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවකට චෙන්නායි වලට පැමිණ මහාබෝධියේ නැවතී සිටි අතර ඔහුට මගෙන් උදව්වක් අවශ්‍යවී තිබුණි.  ගමගේ මහතා මට කතාකර කීවේ කලකට පෙර ඔහුත් සමග පුවත්පත් කලාවේ නියැලී සිටි මිතුරියක් වූ මේජර් රමණී කාංගරආරච්චි සිය දියණියගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට චෙන්නායිවලට පැමිණ නැවතී සිටින බවත් ඇය මුණ ගැසී දියණියගේ සුවදුක් විමසීමට ඔහුට අවශ්‍ය බවත්ය.  ගමගේ මහතාට තිබු ප්‍රශ්නය වුයේ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානය ඔහු දැන නොසිටීමයි.  ඇයගේ ලිපිනය සොයාගෙන බලන්නට යන්න උදව්වක් කළ හැකි දැයි ඔහු කාරුණිකව මගෙන් අසා සිටියේය.

උදව්ව ලෙහෙසි වගේම අමාරු කාර්යයකි.  දරුවා බලන්නට ඔහු රැගෙන යෑම ගැන කිසි ප්‍රශ්නයක් ඇති නොවුණත් ඔවුන් සිටින ලිපිනය සොයා ගැනීම කළ හැකිදැයි මට සැකයක් ඇතිවිය.  මිලියන හතකට කිට්ටු ජනගහණයක් ඇති අති විශාල චෙන්නායි පුරවරයේ කිසිම හෝඩුවාවක් නොමැතිව කෙනෙක් සිටින තැන සොයා ගැනීම පිදුරු ගොඩකට වැටුණු ඉඳිකටුවක් සොයා ගැනීම මෙන් අමාරු කාර්යයකි.  කෙසේ වුවද උදව්වක් ඉල්ලූ එක්වරම බැහැයි කියා ප්‍රතික්ෂේප නොකොට යම්කිසි සොයා බැලීමක් කිරීමට මම සිතුවෙමි.  ලිපිනය සොයාගැනීම තරමක් අමාරු කාර්යයක් බව ගමගේ මහතාට දැන්වූ මම ලිපිනය සොයාගන්නට උත්සාහ කර ප්‍රතිපලය හවසට දන්වන්නෙමියි වැඩිදුරටත් කීවෙමි.  කෙසේ වුවද මගේ කිට්ටුම මිතුරන් කීප දෙනෙකුගේ උදව්වෙන් එදින සවස් වෙද්දී මට ලිපිනය සොයාගැනීමට හැකිවිය.  එය නගරයේ අප සිටි පෙදෙසින් බොහෝ ඈතට වන්නට තිබු ස්ථානයකි.  මම මේ විස්තරය ගමගේ මහතාට දන්වා සවස කපිලගේ වාහනයේ අපේ ගෙදරට එන ලෙස කීවේ ගමනට මමත් සහභාගී වන්නට සිතාගෙනය.

කපිලත් සමග අපි එදා පිටත්වන විට සවස හය විතර වෙන්නට ඇත.  සන්ධ්‍යාවේ නගරයේ ඇති අති විශාල වාහන තදබදය මගහරිමින් කපිල නගරයේ බොහෝ ඈතට ගමන් කර පැයකට පමණ පසු ලිපිනයේ සඳහන් තැනට අප ගෙන ගියේය.  එය ඇපාර්ට්මන්ට් එකක බිම් මහලේ තිබු කුඩා ඇනෙක්ස් එකක් විය.  රමණී වෛද්‍ය ප්‍රතිකාර ලබනා සිය දියණියත් සමග නැවතී සිටියේ එම ඇනෙක්සියේය.  ඇය අපට දියණියගේ රෝගයේ විස්තර කීවේ දෑස කඳුලින් පුරාගෙනය.  හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණත් දියණිය ඉදිරියේ හඬන්නට ඇය අකමැති වුවාසේය.  ටිකකින් අපට පිළිගන්වන්නට බන්දේසියක තබාගෙන තේ ගෙන ආ දියණිය දැකීමෙන් මගේ පපුවද දා ගියාක් මෙන් දැනිණි.  ඇය අවුරුදු දාහතරක් පහළොවක් පමණ වයසැති අහිංසක සුන්දර දැරියකි.  මෙපමණ කැකුළු වයසකදී ජීවත්වීම අවිනිශ්චිත තත්ත්වයක සිටි ඇයගේ ඉරණම ගැන සිතන විට සිතට දැනුණේ අතිශය වේදනාවකි.  මගේ සිතුවිල්ලම ධර්මසිරි ගමගේ මහතාටත් ඇතිවී තිබුණු බව ඔහුගේ වේදනාත්මක මුහුණ දෙස බැලු මට පෙනුණි.  මවත් දියණියත් සමග කතා බහ කරමින් සිට අපි එන්නට පිටත්වුනේ පපුවේ ගලක් හිරවුනාක් වැනි හැගීමක් සහිතවය.  උස මහත හැඩිදැඩි සිරුරක් තිබුනද සිතින් දැඩි සංවේදී පුද්ගලයෙක් වූ ධර්මසිරි ගමගේ මහතාට සිය මිතුරියගේ දරුවාට අත්ව ඇති ඉරණම දරාගත නොහැකි වේදනාවක් ගෙනදී ඇති බව පෙනෙන්නට විය.  අපේ සිත් අමාරුව තේරුම් ගත් කපිලද නිහඬවම රිය පදවන්නට විය.  හිතේ අමාරුව යන්නටත් එක්ක අපේ ගෙදර ගොස් අඩියක් ගහමු යැයි මා කළ යෝජනාවට ගමගේ මහතා නිහඬවම එකඟත්වය පළකලෙන් තවත් ටික වේලාවකට පසු අපි තුන්දෙනා අපේ ගෙදර සැටියේ බෝතලයක්ද ඉදිරියෙන් තබාගෙන වාඩිවී සිටියෙමු.


ඒ වන විට හොඳටම රෑ බෝවී තිබු අතර කලින් නොදන්වා අමුත්තන් ගෙදරට කැඳවාගෙන ඒම වැනි මගේ අරුම පුදුම වැඩවලට හොඳින් හුරුවී සිටින හැලපිත් කිසි අමුත්තක් නොපෙන්වා අපට හපන්නට අඩුම කුඩුම ආදිය සපයාදීමෙහි යෙදුණාය.  අපි නිහඬවම කර්තව්‍යය ආරම්භ කළෙමු.  ටික වේලාවකින් ගමගේ මහතා කියන්නට ගත්තේ රමණීත් සමග වැඩකළ කාලය ගැනය.

"රමණි දැක්කම මගෙ පපුව හෝස් ගාල පත්තු වෙලා ගියා මල්ලි! කොහොම හිටපු කෙල්ලක්ද?"

යුද හමුදාවට බැඳෙන්නට පෙර සිටම පුවත්පත් වලට ලිපි ලියු ඇය හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරද හිතවතුන් බැලීමට පැමිණි බව ගමගේ මහතා කීවේය.

"යුනිෆෝම් එක ඇඳලා කන්තෝරුවට එනකොට තිබුණු ලස්සන, තේජස අද ඒ ඔක්කොම නැතිවෙලා හුඹහෙන් ඇදල දාල වගේ දිරල ගිහින් ඉන්නකොට හිත වාවන්නෙ නෑ. ජීවිතේ හැටි බලන්නකො."

දෙක තුනක් වදිනවිට ධර්මසිරි ගමගේ මහතාගේ කවි සිත අවදිවන්නට විය.  මගෙන් ගෙදර විස්තර ඇසු ඔහු අපට කුඩා පුතෙක් සිටින බව දැනගෙන නිදා සිටි හැලපැට්ටා ද ඇහැරවා උගෙන් කොළද පෑනක් ද ඉල්ලාගෙන  හැලපැට්ටා ගැන කවි ලියන්නට පටන් ගත්තේය.  ඒ දවස්වල අපිත් එක්ක සිටි අපේ අම්මාද සද්දයට ඇහැරී එළියට ආ විට ඔහු අම්මා ගැනද කවි ලියා කියෙව්වේය.  හදිසියේ පිළියෙළ කළ රාත්‍රී ආහාරයද අපේ ගෙදරින් ගත් ගමගේ මහතා කපිලත් එක්ක පිටත්ව ගියේ පාන්දර යාමයේය.  ගමනට වියදම කීයක් දැයි ඇසු විට ඒ ගැන කරදර නොවන්නැයි කපිල කියා සිටියේය.  ඊට පසුදා අපේ මිත්‍ර බන්දු  ගමගේ මහතා වෙනුවෙන් දුන් රෑ කෑමට ඉන්දියානු මිතුරන් කීප දෙනෙක්ද පැමිණ සිටියහ.  කතාබහ කරමින් සිටින අතර අපි මහත් ගෞරවයකින් සළකන ගමගේ මහතා ලංකාවේ කවුදැයි දැනගන්නට ඔවුන්ට වුවමනා විය.  අර්ජුන ඔවුන්ට දුන්නේ කෙටි සහ අර්ථපූර්ණ පිළිතුරකි.

"මේ තමයි ලංකාවෙ කන්නදාසන්!"

මම ලංකාවට පැමිණි පසු මගේත් කපිලගේත් සම්බන්ධය තරමක් දුරස් වුවත් ඉඳහිට වගේ චෙන්නායි වලට ගිය විටෙක අනිවාර්යයෙන්ම කපිල හමුවන්නට අමතක නොකළෙමි.  ඒ වගේ වෙලාවල් වලදී සෙට් වෙන්නට කපිල මාව එක්ක යන්නේ ඔහු දන්නා පොඩි ක්ලබ් එකකටය.  මමත් එතැනට යන්නට බොහොම කැමති වෙන්නේ ඒ ක්ලබ් එකේ තියෙන වටු මස් බයිට් එක රස වැටී සිටි නිසාය.  මීට ටික කලකට පෙරත් ඔය වගේ චෙන්නායි ගිය වෙලාවක මහාබෝධියට ගොස් කපිල ගැන විපරම් කළෙමි.  මේ දැන් කපිල සිටි බව කී හාමුදුරුවෝ,  ආ කියනකොටම ඔය එන්නෙ කියමින් මට කෙනෙක්ව පෙන්වූ සේක.  වැහැරී ගිය සිරුරක් හා රැළි වැටී තිබුණු මුහුණක් ඇති කෙනෙක් සිනාසීගෙන මදෙසට පැමිණියේය.  ඒ නම් මා දන්නා කපිල නොවේ.

මගේ ලඟට පැමිණි ඔහු මගේ අතින්ද අල්ලාගෙන සුවදුක් විමසන්නට විය.  ඒ ඉන්නේ කපිල යැයි මගේ සිත පිළිගත්තේ ගොඩක් ප්‍රමාද වෙලාය.  විස්තර කතාකරද්දී කපිල තමන්ට සිදුවූ දෙය කීවේය.  ඔහු ගුවන් තොටුපළට අමුත්තෙක් ගෙනෙන්නට යද්දී දරුණු රිය අනතුරකට මුහුණ පා තිබේ.  අනතුරේ ප්‍රතිපලයක් ලෙස ඇසක්ද අහිමිවී රෝහලේ කාලයක් ප්‍රතිකාර ගන්නට සිදුවී ඇත.  දැන් කපිල ඉන්නේ බොරු ඇසක් සවිකරගෙනය.  විස්තරයෙන් පසු වෙනදා අපි හමුවුන විට කරන පිළිසඳර සතුටු සාමීචි ආදියේ යෙදෙන්නට තරම් නිරවුල් මනසක් මට නොතිබුණෙන් නිහඬවම මා ආපසු නවාතැනට ආවේ බරවුණු සිතකිනි.


තමන්ටම වාහනයක් මිලදී ගත්තොත් නරකදැයි රාජා ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වචනය දමා දැන් ටික කලක් ගතවී ගොසින්ය.  වාහනයක් ගැනීම ගැන හාමුදුරුවෝ කල්පනා කරමින් සිටියදී රාජා කීවේ තමන් සතු වාහනයක් විකිණීමට ඇති බවත් කොටස් වශයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයට ඒ වාහනය හාමුදුරුවන්ට විකිණීමට කැමති බවත්ය.  එයට හාමුදුරුවන්ද කැමති වූ නිසා රාජා තමන් සතුව තිබු තරමක් පැරණි පැජරෝ ජීප් එක සෑහෙන ලාබයක් සහිතව හාමුදුරුවන්ට වික්කේය.  වාහනය ගන්නට පෙර සිටම අනුන්ගේ වාහනවල රවුම් ගැසූ  ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වාහනයක් ලැබීම  අස්සයාට තටු ලැබීමක් මෙන් වුයේය.  ඊට පසු පැජරෝ එකේ නැග එග්මෝර් අවට පාරවල්වල සැරිසරන ධම්මදින්න පොඩි හාමුදුරුවන් දකින්නට ලැබීම සුලබ දර්ශනයක් විය.  හාමුදුරුවන්ගේ වාහනයෙන් වැඩිපුරම වගේ ප්‍රයෝජනය ලැබුණේ මහාබෝධියේ ඉන්නා කෙල්ලන්ටය.  දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ලංකාවේ කෙල්ලන් නිවාඩුවට ගෙදර ගොස් ආපසු එන්නේ දිල්ලි යන දුම්රියට දවසක් හෝ දෙකක් කල් ඇතුවය.  ඒ දවස් දෙක තුන ඔවුන් මහාබෝධියේ නතරවී සිට ටී නගර් වල ෂොපින් යෑම සිරිතක් වශයෙන් සිදුකරති.  හාමුදුරුවන් වාහනය ගත්තාට පසු කෙල්ලන් ටී නගර් වලට ෂොපින් ගියේත් දිල්ලියට යන තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියට නගින්නට සෙන්ට්‍රල් ස්ටේෂමට ගියේත් හාමුදුරුවන් පැදවූ පැජරෝ එකේ නැගගෙනය.

ඔය ආකාරයට කුඩුවෙන් මුදාහල කුරුල්ලෙක් සේ වාහනයේ නැගී රවුම් ගහමින් සිටි හාමුදුරුවෝ දවසක් කරදරයක පටලැවුනි.  එක දවසක හැන්දෑවේ කෙල්ලන් රංචුවකුත් වාහනයේ දමාගෙන ටී නගර් වල ෂොපින් ගොස් ආපසු එන හාමුදුරුවෝ එග්මෝර්හි ඇල්බට් සිනමා ශාලාව ඉදිරිපිට පාර මැද වාහන හසුරවමින් සිටි ට්‍රැෆික් පොලිස් නිලධාරියාව පැජරෝ එකේ හප්පා වදාළ සේක.  එතැන ඉන්නා ට්‍රැෆික් පොලිස් නිලධාරියා අපි හැමදාම උදේ සවස දැක පුරුදු ඇති සහ රියැදුරන් අතර බොහෝ ජනප්‍රිය චරිතයකි.  උදේට අපි කාර්යාලයට යද්දී හොඳට මැදපු පිරිසිදු නිල ඇඳුමකින් සැරසී වැඩ පටන්ගන්නා ඔහු සිය සංඥාව අනුව නැවතී සිටින රියැදුරන් සමග වචනයක් දෙකක් සිනාවක් හුවමාරු කරගෙන සිනාසීගෙන සැහැල්ලුවෙන් රාජකාරි කළ කෙනෙකි.  මුළු දවල් දවසම එතැන සිට වාහන හසුරුවන ඔහු හවස අපි ආපසු එද්දී වාහන දුමෙන්ද, දුවිල්ලෙන්ද, දහඩියෙන් ද නැහැවී කළු කපුටෙක් මෙන් පෙනී සිටින්නේ සුපුරුදු සිනහවද මුවෙහි සහිතවය.

තරමක් වේගයෙන් රථය පදවාගෙන ආ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය  ට්‍රැෆික් පොලිස් නිලධාරියාව යටකරගෙන වැඩම කළේය.  වහා එතැනට රැස්වූ පිරිස විසින් ට්‍රැෆික් පොලිස් නිලධාරියාව රෝහල් ගත කරන ලදී.  ඔහුගේ කකුලේ බත්කෙන්ඩ අඟල් හයක් පමණ ඉරී ගොස් තිබුණු අතර ඇලපත තැලී වම් අතේ වැලමිටට පහළින් ඇටය පුපුරා තිබුණි.  මුහුණේ තුවාලයකට වුයේ නාසය බිඳී තිබීමයි.  එතැනට ආ පොලීසිය රථයද හාමුදුරුවන්ද අත් අඩංගුවට ගෙන එග්මෝර් පොලීසියට  රැගෙන ගියහ.  අනතුර බරපතල එකක් වුවත් සිවුරු හා ලෝගු හැඳ සිටින පුජක පක්ෂයට දකුණු ඉන්දීය වැසියන් දක්වන ගෞරවය නිසා පොලීසිය හාමුදුරුවන්ව රිමාන්ඩ් කළේ නැත.  රතනජෝති ලොකු හාමුදුරුවෝද, අපේ ලොක්කාද ඇතුළු සෑහෙන උදවිය කීප දෙනෙක් චෙන්නායි හි පොලිස් කොමසාරිස් වරයා හමුවී කරන ලද ඉල්ලීම නිසා පොලීසිය වැඩේ ගොඩින් බේරාගන්නට කැමති විය.  අනතුරට ලක්වූ පොලිස් නිලධාරියාට වන්දියක් ලබාදෙන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවෝ කැමති වුණු අතර වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මීට පසුව වාහනයට ගොඩවෙන්නට වත් එපා යැයි ලැබුණු තදබල අවවාදයද සහිතව පොලීසිය විසින් හාමුදුරුවන්ව නිදහස් කර වදාරන ලදී෴ 

Thursday, May 2, 2019

නිහැඬියාව.




අන්තිමට පෝස්ටුවක් ලීවේ අදින් මාස දෙකකට පමණ පෙරදී එනම් පෙබරවාරි මාසයේය.  ඊට පසුව පෝස්ටුවක් ලියන්නට කොතෙක් උත්සාහ කළත් ලියැවුණේම නැත.  ඊටද විවිධාකාර හේතු තිබිණි.  එකක් රටේ තිබු දරුණු ඉඩෝරය ය.  ඒ කාලේ තිබු රස්නය කොතරම්දැයි කිව්වොත් මම බ්ලොග් ලියන කාමරය පෝරණුවක් මෙන් විනාඩි පහක් එකතැන ඉඳගෙන ඉන්නට බැරි තරම් රත්වී තිබු අතර එදිනෙදා බලන දේවල් බැලුවේ කියෙව්වේද හරිම අපහසුවකිනි.

මාස ගණනකට පසු වහින්නට ගත්විට එතෙක් තිබු දැඩි රස්නය මග හැරී ගියත් මගේ පරිගණක රාජයා ලෙඩ දෙන්නට ගත්තේය.  කර කියාගන්නට දෙයක් නැතිව ඉන්නා විට උදව්වට ආවේ අපට කෝකටත් තෛලය ලෙස ඉන්නා අටමාය.  පරිගණකය හදාගන්නට බැරි වුණත් ස්ක්‍රීන් එකේ දෝෂයක් නිසා බලන්නට බැරිව පැත්තකට දමා තිබු ලැප් ටොප් එක ගත්ත අටමා ලැප් එක ඩෙස්ක් ටොප් එකේ මොනිටරයට සම්බන්ධ කර තාවකාලික වශයෙන් පිළියමක් කරදී ලියාගන්නට හැකි තත්ත්වයකට පත්කර ඩෙස්ක් ටොප් එක හදන්නට රැගෙන ගියේය.  ඉතින් දැන් නම් මාස කීපයකට පසු යමක් ලියාගන්නට හැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

එහෙයින් හැකි ඉක්මනින් පෝස්ටුවක් ලියන්නට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වමි.  එමෙන්ම පසුගිය මාස දෙක ඇතුළත මගේ නිහැඬියාව ගැන සොයා බැලු සහ ලියන්නේ නැතිදැයි අසා මේල් එවූ සියළුම හිතවතුන්ට ස්තුතිවන්ත වෙමි෴

Tuesday, February 19, 2019

මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තූති කතාව, සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.



අවුරුද්දකට වරක් මහාබෝධියේ පැවැත්වෙන ලොකුම උත්සවය වූ වෙසක් මංගල්‍යය ඒ අවුරුද්දේ මහ ඉහළින් පැවැත්වුණේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙනි.  කෙනට් පාර පටන් ගන්නා තැන සිට ආරම්භ වූ පෙරහැර නැටුම් ගැයුම් වලින් අලංකාර විය.  මහාබෝධිය දක්වා පෙරහැර ගමන් කිරීමේදී පොලිසියෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබිණි.  ආගමික කටයුතු අවසානයේ උත්සව සභාව පැවැත්විණි.  කලින් සකස් කළ වැඩ සටහනට අනුවම උත්සවය පැවැත්වුණු නිසා වෙනදා පැය දෙකහමාරක් තුනක් කතාකරන ආචාර්ය සිද්ධාර්ථන් ගේ කතාවට ලැබී තිබුණේ විනාඩි පහක කාලයකි.  කෙසේ වුවද පැය කාලක පමණ කතාවකින් පසු ආචාර්ය සිද්ධාර්ථන් ව නවතා ගැනීමට සංවිධායකයන්ට හැකිවිය.  මේ සියලු උත්සව කටයුතු විටින් විට ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය විය.  උත්සවයේ අවසන් කතාව වන ස්තූති කතාව කරන්නට සිටියේ ධම්මදින්න හාමුදුරුවෝ ය.  උත්සවය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන නිසා ස්තුතී කතාවද කළ යුත්තේ ඉංග්‍රීසියෙනි.  ඉංග්‍රීසියෙන් ස්තුතී කතාව කරන්නට ධම්මදින්න හාමුදුරුවෝ දත මැදගෙන හිටියත් පොඩි පරහකට තිබුණේ ධම්මදින්න හාමුදුරුවන්ට ඉංග්‍රීසි බැරි වීමය.

ඉංග්‍රීසි බැරිය කියා ධම්මදින්න හාමුදුරුවන් පසුබැස්සේ නැත.  උන්වහන්සේ ගේ කතාව සකස් කරදීම අපට පැවරිණි.  අපි උත්සවයට සතියකට පෙර සිට ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව හදන්නට පටන් ගත්තෙමු.  මුලින්ම අපි කළේ මහාබෝධියට ගොස් ධම්මදින්න හාමුදුරුවන්ගේ කතාව සිංහලෙන් ලියා ගැනීමය.  ලියාගෙන අවසන් වන විට තරමක් රෑ වෙලාය.  "මහත්තුරුන්ට මහන්සිත් ඇති නේද?" කියන හාමුදුරුවෝ තේ ගෙනෙන්නට ගෝලයෙකුට කියන විට "තේ නම් ඕනෑත් නෑ හාමුදුරුවනේ" කියා අපි ඇද පැද කිව්වේ තේ එපා නිසාම නොවේ.  "එහෙනම් වෙන මොකුත් ගෙන්නන්නකෝ" කියන හාමුදුරුවෝ විස්කි බෝතලයක් ගේන්නට මුදල් දෙති.  විස්කි බෝතලය අවසානයේ අපි සතුටින් නිවෙස් බලා විසිර යන්නෙමු.  පහුවදාද අපි මහාබෝධියට එකතුවෙන්නේ හාමුදුරුවන්ගේ සිංහල කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමටය.  ප්‍රසිද්ධ සභාවක් මැද කෙරෙන කතාවක් නිසා ඒ කතාව බොහෝ ප්‍රවේසමෙන් පරිවර්තනය කර අවසන් කළ යුතු බැවින් අපට එදාද කතාව සම්පූර්ණයෙන් පරිවර්තනය කර ගැනීමට නොහැකිව හාමුදුරුවන්ගේ ආගන්තුක සත්කාරය ලබා විසිර යන්නට සිදුවේ.  කෙසේ හෝ අපි සතියක පමණ කාලයක් හාමුදුරුවන්ගේ කතාව සඳහා ගතකල අතර අවසානයේ කතාව පරිවර්තනය කර ශුද්ධ කර අලංකාර කර බලන විට ඉතිරිවී තිබුණේ හාමුදුරුවන් අපට කියපු සිංහල කතාවට හාත්පසින්ම වෙනස් කතාවකි.  කතාව හාමුදුරුවන්ට බාරදුන් විට ප්‍රීතියෙන් පිනාගිය උන්වහන්සේ අපට බොහෝසේ ස්තුතී කළහ.

ස්තුතිය අවසානයේ අපි හාමුදුරුවන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ කතාව එක්වරක් නොව දහවරක් පමණ කියවා වචනවල උච්චාරණය පුහුණු වෙන්නට කියාය.  ඊටද හේතුවක් තිබුණි.  ඊට කලින් අවුරුද්දේ සමිත හාමුදුරුවන්ට අපි හදා දුන් කතාව උන්වහන්සේ සභාවේදී කියවන්නට ගොස් වරද්දා ගත්තේය.  වචන උච්චාරණය එහෙම පිටින්ම වැරදිය.  නවත්වන්නට අවශ්‍ය තැන නවත්වන්නේ නැත.  වාක්‍යවල මැදදී නවත්වයි.  ඊට පහුවදා ලොක්කා අපට කතාකළේය.

" මොනවද අයිෂේ අර හාමුදුරුවො ඊයෙ කියපු කුණුහරුප? කවුද ඔය කතාව හදල දුන්නෙ?"

අපි මුවින් නොබැන සිටි තැන කතාව අප විසින් හදා දෙන ලද්දක් බව ලොක්කා ප්‍රත්‍යක්ෂ කරගත්තේය.

" කතා හදල දෙන එකේ වැරද්දක් නෑ, ඒ වුණාට කියවන හැටිත් පුරුදු කළා නං තමයි හොඳ." කියා කතාව හමාර කළේය.  ධම්මදින්න හාමුදුරුවන්ටද අපි බැගෑපත් වුණේ කතාව වැරැද්දුවොත් එහෙම ඒ වැරද්දත් අපි පිට පැටවෙන නිසාය.  කෙසේ වුවද ප්‍රතිපලයේ වෙනසක් වුයේ නැත.  අපි ලියාදුන් කොළය එකවරක් වත් කියවන්නට කරදර නොවූ ධම්මදින්න හාමුදුරුවෝද කතාව වැරද්දු අතර අන්තිමේදී කළේ සෙවරල් කොන්ක්‍රීට් වැනි කතාවකි.

කෙසේ වුණත් ඉතා අලංකාරව පැවති වෙසක් උත්සවය සතුටින් අවසන් වූ අතර උත්සවය අවසානයේ ආරාධිතයින් සඳහා තේ පැන් සංග්‍රහයක් විය.  කාන්තාවන්ට තේ පැන් සංග්‍රහයට සහභාගී වෙන්නට කියා අපි දෙතුන් දෙනෙක් සමන් සමග ඔහුගේ කාමරයට ගියේ සමන් ලංකාවෙන් එනවිට ගෙනැවිත් තිබූ විස්කි බෝතලයක් හිස් කරන්නටය.  වැඩේ පටන්ගන්නා විටම සංඝානන්ද හාමුදුරුවෝ කාමරයට වැඩම කළහ.  ඊට ටික කලකට පෙර මහාබෝධියට පැමිණ සිටි සංඝානන්ද හාමුදුරුවෝ ඉතා අලංකාරව බෝධි පූජා පැවැත්වීමෙහි සමතෙකි.  උන්වහන්සේ අහගෙන ඉන්න උපාසක අම්මලාට අඬන්නට බෝධි පූජා කවි ගායනා කරයි.  හාමුදුරුවෝ විස්කි බොන්නේද අමුවෙනි.  ඔහු ආපු ගමන්ම කට කපා වීදුරුවක් වක්කරගෙන ගිල දැම්මේය.  තව එකක් වදින විට උන් හිටි තැන්ද අමතකවූ හාමුදුරුවෝ පිස්සු කියවන්නට වූයෙන් කාමරයෙන් එළියට වැඩම කරවුයේ බොහෝ අසීරුවෙනි.

හාමුදුරුවන් කාමරයට එන විට අපි කතා කරමින් හිටියේ ඊට අවුරුදු කීපයකට පෙර සමන් කළ වැඩක් ගැනය. මහරගම ජාතික තරුණ සේවා සභාවේ යොවුන් සම්මාන උළෙලක නිවේදකයා වුයේ සමන්ය.  ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ප්‍රේමදාස මහතාය.  සමන් සිය සුපුරුදු වාග් චාතුර්යයෙන් සභාව මෙහෙයවමින් කථිකයන් හඳුන්වා දුන්නේ එක් එක් කථිකයා ගැන වර්ණනාවක් ද සමගිනි.  අවසානයේ ජනාධිපති ප්‍රේමදාස මහතා සභාව ඇමතීමේ වාරයද පැමිණියේය.  මයික්‍රපෝනය ඉදිරියට ගිය සමන් කථිකයා හඳුන්වන්නට පටන් ගත්තේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ කිලර් කැසට් පටයේ එන ගීතයක කොටසකිනි.

"කළුවර දළු කඩාගෙන කෑ මහ රෑට
ගිණි මල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කවුළුවෙන් ලා හිරු එබෙනා පැයට
රැකගත් යෞවනය ගිනිගත් ටයර යට"

වනමල්ය වනමල්ය (ගීතය මෙතැනින් අසන්න)

"දැන් ඔබ අමතන්නේ ශ්‍රීමත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස!!"

මා මේ උත්සවය රූපවාහිනියෙන් නැරඹු නිසා මේ ගැන සමන්ගෙන් අහන්නට සිත්විය.  සමන් සිනාසෙමින් කීවේ මෙවැනි කතාවකි.

" සමන් ඉවරයි කියල ඔක්කොම කිව්වා.  අහගෙන හිටපු චරිත රත්වත්ත(එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති) ඔළුවෙ අත ගහගත්තා.  ඒ වුණාට මට කිසිම ප්‍රශ්නයක් ආවෙ නෑ ප්‍රේමදාස මහත්තය මැරෙනකල්ම."

" ප්‍රශ්නෙ තියෙන්නෙ ඇයි ප්‍රේමදාස මහත්තය ඉස්සරහ තියාගෙන එහෙම කිව්වෙ කියලා?"

" අනේ මංදා බං, කිව්වද කියවුණාද කියල මට අදත් හිතාගන්න බෑ."

අපි සිනාසෙද්දී සමන් තවත් කතාවක් කීවේය.  අඳුකොළ සමන් අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍යයක් වූ අතර එය 1989 දී පමණ රූපවාහිනියෙන් විකාශය විය.  එයද මා ඉතා ප්‍රියකළ ටෙලි නාට්‍යයක් වූ අතර අද අඳුකොළ ටෙලි නාට්‍යයේ කොටසක් හෝ අන්තර්ජාලයේ කිසිම තැනකින් සොයාගන්නට නොහැකිවීම කණගාටුවට කරුණකි.  මේ ටෙලියේ ප්‍රධාන චරිත වසන්ත කොටුවැල්ල සහ අරුණි දේවරාජා රඟ පෑ අතර ජෝ අබේවික්‍රම, මානෙල් ජයසේන, ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර සහ දයා තෙන්නකෝන් සහාය චරිත රඟපෑහ(අරුණි දේවරාජා රඟ පෑ ප්‍රථම සහ එකම ටෙලි නාට්‍යය අඳුකොළ විය.  මහාචාර්ය ලෝනා දේවරාජා මහත්මියගේ දියණිය වූ අරුණි රාජ්‍ය සේවයට බැඳීමෙන් පසු රඟපෑමෙන් ඉවත් වීම නිසා ක්ෂේත්‍රයට දක්ෂ නිළියක් අහිමි වූ බව මගේ විශ්වාසයයි)  සමන් කී කතාව මෙයයි.

" අපි අඳුකොළ ෂූට් කරන කාලෙ ජේ වී පී කලබල තදටම තිබුණා.  කතාවෙ හැටියට ජෝ මහත්තයට තුවක්කුවක් තිබ්බා.  මිනිහ ඇවිදින්න යන්නෙ ඕකත් කරගහගෙන.  දවසක් ජෝ මහත්තය අරුණිත් එක්ක ඇවිදින්න යද්දී පැත්තක තියලා තිබ්බ තුවක්කුව දැකල ආසාවට තුවක්කුව අතට ගන්න අරුණි කොකා ගස්සනවා.  වෙඩිල්ල පත්තු වෙද්දි තුවක්කුව ආපහු විසිවෙන සැරට අරුණි විසිවෙලා වැටෙනවා.  තුවක්කුව තව පැත්තකට වීසි වෙනවා.  ඒ වෙලාවෙ ජෝ මහත්තය අරුණිට කරපු වැඩේ ගැන දොස් කියනවා.  ඔන්න ඔය සීන් එකයි ගන්න තිබ්බෙ.  ඒ කාලෙ වැඩේට තුවක්කුවක් හොයා ගත්තෙත් හරි අමාරුවෙන්, මුලදි මුලදි තුවක්කුව බලාගන්න වෙනම ගෝලයෙක් දාල හිටියත් ෂූටිං කෙරීගෙන යද්දී ඒ උනන්දුව නැතිවෙලා ගියා, ඊට පස්සෙ ගස්වලට, ගල්වලට, බෝක්කු කණුවලට තුවක්කුව හේත්තු කරල තිබ්බ මිසක බලාගන්න වෙනම කෙනෙක් හිටියෙ නෑ.  ඔන්න දැන් අපි ෂූට් එකට ගියා, අරුණි තුවක්කුව අරගෙන කොකා ගැස්සුවට තුවක්කුව පත්තු වුණේ නෑ.  ඊට පස්සෙ අරගෙන තුවක්කුව සුද්ද කරල ආපහු පතුරමක් දාල ආයෙ ගැස්සුවත් පත්තු වෙන්නෙ නෑ.  දැන් ලොකු ප්‍රශ්නයක් සීන් එක කරගන්න බෑනෙ.  ඔය වෙලාවෙ තමා පැත්තකට වෙලා ෂූටිං බලාගෙන හිටපු කොල්ලො දෙන්නෙක් මගෙ ලඟට ආවෙ.

" ඇයි සමන් අයියා ප්‍රශ්නයක්ද? මේ කොල්ලො මගෙන් ඇහුවා."

" ඒකනෙ මල්ලි තුවක්කුව පත්තු වෙන්නෙ නැතිව ගියානෙ."

විනාඩි පහක් ඉන්න සමන් අයියෙ කියල කොල්ලො දෙන්නා සයිකලේ නැගල යන්න ගියා.  මේ දෙන්න ටිකකින් ආපහු ආවෙ තුවක්කු හතරක් අරගෙන.  "මෙන්න සමන් අයියෙ ඔයාට ඕනැ තුවක්කුව තෝරලා ගන්න" කියල තුවක්කු ටික මගෙ අතට දුන්නා.  මම ජෝ මහත්තය ළඟ තිබ්බ තුවක්කුවෙ පෙනුමට හරියන එකක් තෝරගෙන ආපහු ටේක් එකට ගියා.  එක ටේක් එකෙන්ම ෂොට් එක ඕකේ වුණා.  වැඩේ ඉවරවුණාට  පස්සෙ තුවක්කුව ඉල්ලගත්ත කොල්ලො දෙන්නා සයිකලේට නැගල යන්න ගියා.  ආයෙම උන් ඒ පැත්තෙවත් ආවෙ නෑ."

" දේශප්‍රේමියෝ දෙන්නෙක් වෙන්න ඇති." අපි කීවෙමු.

" වෙන කවුද, කොච්චර වුණත් උන් දෙන්නා වෙලාවට එතන හිටියෙ නැත්නං මම ලොකු අමාරුවක වැටෙන්නෙ." සමන් කතාව අවසන් කළේය.

ඉලන්දාරිකම හොඳටම ඔලුවට ගසා තිබූ නිසා ධම්මදින්න හාමුදුරුවෝ මහාබෝධියේ කාලය ගතකලේ සැහැල්ලුවෙනි.  නිතරම මහාබෝධියේ ඉන්න කපිල, රාජා වැනි අය සමග හිතුණු හිතුණු වෙලාවට වාහනවල නැගී ඇවිදින්නට ද ධම්මදින්න හාමුදුරුවෝ පුරුදු වුණේය.  ඔහොම ටවුමේ ඇවිදින ගමන් රෑ බෝ වුන වෙලාවට අපේ ගෙදරට ගොඩවෙන්නේ රෑ දානය සොයාගෙනය.  අපේ අම්මාත් අපේ ගෙදර ඇවිත් හිටපු දවසක පොඩි හාමුදුරුවෝ අපේ ගෙදරදී අපිත් එක්ක මේසයේ වාඩිවී රෑ දානය වළඳනවා දුටු අපේ අම්මාගේ කට අප්පල්ල වගේ හායි ගා ඇරුනේ මෙහෙම දෙයක් කවදාවත් දැක නැති නිසාය. 

හැමදාම අනුන්ගේ වාහනවල නොයා තමන්ටම කියා වාහනයක් ගත්තා නම් නරකදැයි දවසක් රාජා හාමුදුරුවන්ට කියූ පසුව හාමුදුරුවෝත් වාහනයක් මිලදී ගැනීම ගැන උනන්දු වන්නට වූහ ෴

Wednesday, February 6, 2019

සමිත හාමුදුරුවන්ගේ වෛද්‍ය සායනය, අඹ වෙළෙන්දාගේ ගසා කෑම,මහාබෝධියේ වෙසක් උත්සවය,ලොක්කාගේ විස්කි පානය සහ කරුපාගේ සැළකිලි.

අපි ලියමින් හිටපු සේනගේ කතාව මැදට භික්‍ෂු පරිච්ඡේදයක් ආව නිසා සේනගේ කතාව ඉවර කරන්නට නොහැකි විය.  හාමුදුරු කතා ටික මේත් එක්කම ලියා අහවරයක් කරන්නට හිතුවේ ඊට පසු සේනගේ කතාව ලියන්නට සිතාගෙනය.

සමිත හාමුදුරුවෝ මහාබෝධියේ ඉන්න කාලේ අවුරුදු පතා කළ සමාජ සත්කාරයක් වූයේ කාංචිපුරම් පැත්තේ දුප්පත් ගමක වෛද්‍ය සායනයක් පැවැත්වීමය.  සායනය කළේ ඒ ගමේ ඉන්න හාමුදුරුවන්ගේ හිතවතෙකු වූ බෞද්ධ මහත්මයකුගේ ගෙදරය.  ඒ අවුරුද්දෙත් හාමුදුරුවෝ සායනය පවත්වන්නට කටයුතු සුදානම් කරගෙන කාංචිපුරම් යන්නට මටත් ආරාධනා කළහ.  වාහන දෙකක්ම යන නිසා ඉඩ තියෙන බැවින් සිය පවුලම කැටුව පැමිණෙන්නැයි වැඩිදුරටත් කීහ.  කාලය මට මතක හැටියට 1999 හෝ 2000 වසරේ ග්‍රීෂ්ම කාලයයි.  ඔය කියන ග්‍රීෂ්ම කාලය දකුණු ඉන්දියාවට කොයි තරම් තදින් බලපවත්වන්නේද කිව්වොත් පාරේ තාර පවා උණුවෙන තරමට රස්නය තදය.

ඉතින් එක නිවාඩු දවසක අපි කට්ටියම කාංචිපුරම් ගියේ හාමුදුරුවන්ගේ මුලිකත්වයෙනි.  වෛද්‍යවරයා වුණේ ඇපලෝ රෝහලේ වැඩකරන අපේ හිතවත් ජෝශප් තරුණ මහතාය.  වාහන දෙකේම බෙහෙත් ද්‍රව්‍ය සහ ඒ ගමේ ළමයින්ට දෙන්නට පාසැල් උපකරණ පටවා තිබුණි.  උදේම පිටත්වුණ අපි උදේ දහයටත් පෙර කාංචිපුරම් වලට ලඟා වූයෙමු.  ගමේ අය විසින් වෛද්‍ය සායනය පවත්වන්නට ගිය අයව ආදරයෙන් පිළිගන්නා ලදුව කල් වෙලා නොහැර සායනය ආරම්භ විය.  මටත් බෙහෙත් ගැන සුළු දැනීමක් තිබුණු නිසා ඒ පැත්තෙන් වෛද්‍යවරයාට උදව් කරන්නට හැකිවිය.  හාමුදුරුවෝ සිය හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදී ඉන්නා අතර තල් අතු හෝ පොල් අතු සෙවිළි කළ කුඩා ගෙවල් ඇති ඒ ගමේ සුන්දරත්වයෙන් වශීවූ හැලපිත්, හැලපැට්ටාත් ගමේ අය සමග එකතුවී ගෙයක් ගෙයක් ගානේ ඇවිදින්නට වූහ.

දවල් කෑමට සම්ප්‍රදායික දකුණු ඉන්දියානු ක්‍රමයට ආහාර පිළියෙල කොට තිබුණු අතර අපි ඒ කෑම කෑවේත් ඒ අයගේ පිළිවෙලට බිම ඉඳගෙන කෙහෙල් කොළවලට බත් මාළුපිණි බෙදාගෙනය.  හවස දෙක දෙකහමාර වෙද්දී සියළුම රෝගීන්ට ප්‍රතිකාර කොට සායනය අවසන් කරන ලදී.  අපි ආපසු එන්නට වුයේ අව්ව නිසා පරිසරය හොඳටම ගිනියම් වී තියෙද්දීය.  කුඹුරු මැදින් ගම් මැදින් වැටී ඇති පාරේ ආපහු එද්දී එක තැනක තල් වලු කීපයක් තියාගෙන සිටි මනුස්සයෙක් දැක හාමුදුරුවෝ වාහන නතර කළහ.  තල් කුරුම්බා ග්‍රීෂ්ම දාහයට දිව ඔසුවක් සේය.   තල් කුරුම්බා විකුණන මිනිහා කපාදුන් කුරුම්බා ලොඳ හිතේ හැටියට කවුරුත් සප්පායම් වුණේ වෙලාවේ හැටියට ඒවා අපූරු කෑමක් නිසාය.

එන ගමන කාංචිපුරම් ටවුමේ ටිකකට වාහන නතර කළේ ගෙවල්වල ගෙනයන්නට අලුත් එළවළු පළතුරු ටිකක් ගන්නටය.  අඹ කඳු පිටින් ගොඩගසා තිබුණේ අවටපිට සුවඳින් පුරවමිනි.  හැලපි එළවළු තෝරද්දී මම අඹ විකුණන වෙළෙන්දෙක් ලඟට කිට්ටු කළේ අඹ ටිකක් ගන්නටය.  ලොකු අඹයක් මට මතක හැටියට පයිසා පනහක් හෝ හැටක් මිළ විය.  මම උරයක් පුරා අඹ මිලදී ගත්තෙමි.  මගෙත් වෙළෙන්දාගේත් අතර වූ ගණුදෙනුව දොස්තර ජෝශප් මුල සිටම අසා සිටි බව මම දැන නොසිටියෙමි.  සල්ලි බේරද්දී දොස්තර ජෝශප් වහාම එතැන පෙනී සිටියේය.

" අඹ ගෙඩියක් කීය ගානෙද ගත්තේ?" දොස්තර ජෝශප් අසා සිටියේය.  මම මිළ කීවෙමි.

" මේ අඹයක් එච්චර වටින්නෙ නෑ! මේ මිනිහ වැඩිපුර සල්ලි අරගෙන."  කී දොස්තර ජෝශප් වෙළෙන්දා ලඟට ගොස් ඔහුට බැන වදින්නට විය.

" මෙයා විදේශිකයෙක් බව දැනගෙන උඹ වැඩිපුර සල්ලි ගසා කෑවා නේද? මනුස්සයින්ව ඔය විදියට ගසා කන්න උඹට ලැජ්ජා නැද්ද? වහාම වැඩිපුර ගත්ත සල්ලි ආපහු දීපං."

වියදම් වුණේ සුළු මුදලක් නිසා වැඩේ අතහැර දාන්නැ'යි මම දොස්තර ජෝශප්ට කිව්වත් ඔහු එයට කැමති වුණේ නැත.

" නෑ නෑ එහෙම අත ඇරියොත් මෙයා තව අයට ඔය වැඩේ කරනවා'යි" කියූ දොස්තර ජෝශප් ගේ ගෝරනාඩුවට බයවූ වෙළෙන්දා වැඩිපුර ගත් මුදලට තවත් අඹ ගොඩක් මට ලබාදීම නිසා ප්‍රශ්නය සමථයකට පත්විය.

මහාබෝධියේ බලය වෙනත් කණ්ඩායමක් අතට පත්වුණේ ඔය වකවානුවේදීය.  ලංකාවේ ආණ්ඩු බලය විවිධ දේශපාලන පක්ෂවලට මාරු වෙනවා මෙන්ම මහාබෝධියේ පාලන බලය සංවත්සරයේදී එක් එක් කණ්ඩායම් වලට මාරුවෙයි.  එවර මහාබෝධියේ බලය අල්ලාගත්තේ බානගල උපතිස්ස හාමුදුරුවන්ද තිනියාවල පාලිත හාමුදුරුවන්ද ඇතුළු කණ්ඩායමකි.  සමිත හාමුදුරුවෝ සහ ජයතුංග මහතා සේවය අවසන් කර ලංකාවට පිටත් කර හරින ලදී.  මහාබෝධිය පාලනය කරන්නට අලුතින් පත්වුණේ රතනජෝති හාමුදුරුවෝය.  උස මහත ඇති කාර්යශූර හිමිනමක්වූ රතනජෝති හාමුදුරුවන්ගේ සහායට ටික දිනකින් තවත් තරුණ හාමුදුරු නමක් පත්කර එවන ලදී.  වයස අවුරුදු විසි ගණන් වල සිටි උපසම්පදාව වත් ඒ වනවිට ලබා නොසිටි පොඩි හාමුදුරුවන්ව අපි ධම්මදින්න යනුවෙන් හඳුන්වමු.

රතනසාර හාමුදුරුවන් වැඩිපුර කැමතිවුනේ පුජා වත්පිළිවෙත්, දාන මාන, දරුවන් පැවිදි කිරීම ආදී ආගමික කටයුතු වලට වුවත් ධම්මදින්න පොඩි හාමුදුරුවෝ වැඩිපුර ඇලුම් කළේ පෙරහැර, උත්සව පැවැත්වීම් ආදී ලොකු ප්‍රචාරයක් ලබාදී කරන මහා පරිමාණයේ වැඩවලටය.  හාමුදුරුවරුන් දෙන්නාගේ ක්‍රමය දෙවිදියක් වුණත් පොඩි හාමුදුරුවන්ගේ වැඩවලට ලොකු හාමුදුරුවෝ බාධා කරන්නට නොගියේ ප්‍රශ්න ඇතිවන නිසා මෙන්ම බානගල හාමුදුරුවන්ගේ ගෝලයෙක් වූ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වැඩි බලයක් තිබුණු නිසාත්ය.  හාමුදුරුවරු දෙන්නාගේ කෑම පුරුදුද එකිනෙකට වෙනස්ය.  ලොකු හාමුදුරුවෝ කොළ කැඳ වළඳන්නට, බත් මාළුපිණි, එළවළු, කරෝල, මැල්ලුම් වලට වැඩි මනාපයක් දක්වද්දී පොඩි හාමුදුරුවෝ වළඳන්නට කැමති වුණේ ප්‍රයිඩ් රයිස්, ප්‍රයිඩ් චිකන් ආදී පොෂ් කෑම වර්ගය.  ඒ නිසාම දෙන්නාට දානය හදද්දී අපට කෑම දෙවිදියකට හදන්නටද සිදුවිය.  කොහොම වුණත් හාමුදුරුවරු දෙදෙනාම මගෙත් එක්ක ඉතා හොඳ මිත්‍රකමක් පවත්වාගෙන ගිය නිසා මට නම් කිසිම අවුලක් ඇතිවුණේ නැත.

හැම මාසයකම අවසානයේ මහාබෝධියේ මාසික ගිණුම් තුලනය කොට විස්තරය කොළඹ මහාබෝධියට යැවීම අනිවාර්ය කාර්යයකි.  කලින් මේ රාජකාරිය කළේ ජයතුංග මහත්තයා වුණත් ජයතුංග මහත්තයා ලංකාවට ගිය පසු ඒ රාජකාරිය කරන්නට වුණේ රතනජෝති හාමුදුරුවන්ටය.  ගිණුම් හදන්නට නොදන්නා රතනජෝති හාමුදුරුවෝ ඒ රාජකාරිය කරවාගත්තේ මට කියලාය.  මාසයකට වවුචර විස්සක් වත් නැති මහාබෝධියේ ගිණුම හදන එක මට කජු කන්නා වගේ වැඩක් වුණත් හාමුදුරුවන්ට එය ලොකු වැඩක්වූ නිසා මහාබෝධියට යන එන වෙලාවල්වලට හාමුදුරුවෝ මට තෑගිත් දෙන්නට පුරුදු වුණේ කරන උදව්වටය.  තෑගි වශයෙන් ලැබුණේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගෙන් හාමුදුරුවන්ට ලැබෙන තේ කොළ පැකට්, සිද්ධාලේප කුප්පි, පොත් ආදී දේවල්ය.  මට දුන්නාය කියා හාමුදුරුවන්ට අඩුවක් නැත්තේ හාමුදුරුවන්ට ලැබෙන දේවල් කාමරයක් පුරවා ඇති බැවින්ද ලංකාවේ තේ කොළ අපට නිතරම නොලැබෙන නිසා ඒවා අපට වටින බැවින්ය.  මම වඩා කැමති වුණේ හාමුදුරුවන්ට ලැබෙන පොත් මට දෙන එකටය.

ඔන්න ඔය විදියට කාලය ගතවෙද්දී ඒ අවුරුද්දේ වෙසක් මාසයද උදාවිය.  වෙසක් එකට උත්සව පවත්වන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවන් ලැස්ති වුණේ මාස ගණනකට පෙර සිටය.  මෙවර වෙසක් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම පොඩි හාමුදරුවන්ගේ අභිප්‍රාය විය.  වෙනදාට පන්සිල් අරන් රැස්වීමක් තියා තේ බොන්නට දී ඉවර කරන වෙසක් උත්සවය වෙනුවට නව අංගෝපාංග සහිත වෙසක් උත්සවයක් පොඩි හාමුදුරුවෝ සුදානම් කළහ.  කෙනට් පාරේ සිට එන පෙරහැරකට පසු නැටුම් සංදර්ශනයක්ද මහා පිංකමක් හා රැස්වීමක්ද එම වැඩ පිළිවෙලට අයත් විය.  මුළු වැඩ සටහනම සජීවීව ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නටද කටයුතු යොදා තිබිණි.  ඊට අමතරව මහාබෝධි පරිශ්‍රයම වෙසක් කූඩු වලින් හා විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද්දේ විශාකපට්නම් වල හා කොචින් වල පුහුණුව ලබන නාවික හමුදාවේ කොල්ලන් විසිනි.  නේවි එකේ කොල්ලන්ට මාස තුනකට වරක් ලැබෙන දීමනාව ලබාගන්නට එන්නේ මගේ ලඟට නිසා උන් මාත් එක්ක ගොඩක් හිතවත්ය.  ඒ නිසාම හවසට කට්ටියම සැට් වෙන්නේත් අපේ ගෙදරය.  නේවි කොල්ලෝ එන්නේ හිස් අතින් නොවේ, උන් කෑමද බීමද ඇතිවෙන්නට අරගෙන එති.  නමුත් ප්‍රශ්නය වී තිබුණේ ඒ හෝටල්වල හදන මස් මාළු ලුණු මිරිස් රහක් හෝ සැරක් නැති එකය.  ඒ නිසාම හැලපි කීවේ අපරාදෙ සල්ලි වියදම් කර කඩෙන් මෙලෝ රහක් නැති කෑම ගේන්නට අවශ්‍ය නැති බවය.  "අපට ලුණු මිරිස් සැරට පොල් සම්බෝලයක් තිබුණත් ඇති අක්කේ" කියා කොල්ලන් කීවත් "පව්, ලංකාවෙ කොල්ලොනේ" කියන හැලපි හැමදාම ලොකු බත් හැලියක් උයා කොල්ලන්ට කන්නට දෙයි.

වෙසක් උත්සවය සාර්ථක කරගන්නට අපටත් විශාල දායකත්වයක් දක්වන්නට සිදුවී තිබුණි.  වැඩට ඇවිත් හිටපු අයගේ කෑම බීම, ඊට අමතරව නෑම( ග්‍රීෂ්ම කාලයේ මහාබෝධියේ නල ළිං වලින් එන්නේ ලුණු වතුරය.  ඒ නිසා මහන්සි වී දාඩිය පෙරාගෙන වැඩකරන කොල්ලන් ගෙවල්වලට එක්කරගෙන ගොස් නෑමේ පහසුව සලසන්නටද සිදුවිය) ආදී සැම දෙයක්ම සොයා බලා කළ යුතු විය.  පොඩි හාමුදුරුවන් පේන්න නැති වෙලාවට මගහැර ගෙදර ගියත් ටිකකින් පොඩි හාමුදුරුවෝ ගෙදරට කතා කර වහාම එන්නැයි අණ කරති.  වෙසක් උත්සවයේ සුදානම දැන් පිමි පනිමින් ඉදිරියට යයි.  අපේ කාර්යාලයටත් අලුතින් ලොක්කෙක් ආවේ ඊට මාස කීපයකට පෙරය.  අලුත් ලොක්කාද මේ වගේ මහ පරිමාණයේ උත්සව වලට බොහෝ කැමැත්තක් දැක්වූ අයෙක් වීම නිසා පොඩි හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලට ඔහුගේ පූර්ණ සහයෝගය ලැබිණි.  වැඩ සටහන ලක්හඬ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට එන නිවේදකයාට ගුවන් ටිකට්පත් ලබාදීම ප්‍රශ්නයක් වී තිබියදී ලොක්කා වහාම ඒ සඳහා අනුග්‍රහය දෙන්නට ඉදිරිපත් විය.

අපේ හිටපු ලොක්කා ඉතා හොඳ මහත්මයෙකි.  ඒ වුණාට වැලට සිගරැට් බොයි.  නිදියගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම සිගරැට් එක කටේ ගහගත්තු ගමන්මය.  උදේට කාර්යාලයට එන්නේ සිගරැට් බන්ඩල් එකකින් බාගයක් අරගෙනය.  දවල් කෑමට ගෙදර යන්නේ ඒ ඔක්කොම බීලා ඉවර කරලාය.  හවසට සිගරැට් බන්ඩලයේ ඉතිරි බාගය අරගෙන එයි.  නිල නිවසේ තනිවම ජීවත්වූ අලුත් ලොක්කා වඩා කැමති විස්කි බොන්නටය.  පරණ ලොක්කා සිගරැට් බොනවා වගේම අලුත් ලොක්කා නිදාගන්න කාලය ඇරෙන්නට අනික් හැම වෙලාවේම විස්කි බොයි.  ඒ බොන්නෙත් අපි වගේ වීදුරුවකට වක්කරගෙන සෝඩා කලවම් කරගෙන නොවේ, රෙඩ් ලේබල් බෝතලය කටේ තියාගෙනය.  දවසක් අපේ මහජන සම්බන්ධතා නිලධාරියා වූ නාගේශ්වරන් කාර්යාලයේ ගෝලයා වූ කරුපයියාට කතාකළේය.  දෙමළෙන් කළ කතාවේ සිංහල පරිවර්තනය මෙහෙමය.

" කරුපා, ලොකු මහත්තය හැමදාම හවසට බෝතලේ කටේ තියාගෙන විස්කි බොනවා, අද හවසට ගිහිං මහත්තය බොන තැන සෝඩා බෝතලයක්, වතුර බෝතලයක්, වීදුරුවක් එහෙම තියපන්.  ඔහොම අමුවෙන් විස්කි බොන්න හොඳයැ."

" හොඳයි ෂර්" කියා කරුපා පිටත්ව ගියේය.  මේ කතාව මමත් අහගෙන හිටපු නිසා පහුවදා වැඩට ගිය විට කරුපාට කතාකර විස්තරය ඇහුවෙමි.

" ඈ කරුපා, ඊයෙ ගිහිං ලොකු මහත්තයට සෝඩා, වීදුරු එහෙම දුන්නද?"

" අයියෝ ෂර්, හරි වැඩේනෙ උනේ."

වෙච්ච දේ මට හිතාගත හැකිය.  පැලෙන්නට හිනාව ආවත් අමාරුවෙන් තදකරගෙන හිටියේ විස්තරය කරුපාගේ කටින්ම අහගන්නටය.

" ඇයි, මොකෝ ලොකු මහත්තය සෝඩා එපා කිව්වද?"

" නෑ නෑ මම ගිහිං එළියෙ ස්ටූල් එක උඩ වීදුරු, සෝඩා, වතුර බෝතල් එහෙම තියල බලාගෙන හිටියා.  ලොකු මහත්තය විස්කි බෝතලේකුත් අරන් උඩ ඉඳල පහළට බැස්සා.  මමත් ඈතට වෙලා බලාගෙන හිටියා.  අර මම තිබ්බ වීදුරු,බෝතල් දැක්ක විතරයි කෑ ගහන්න ගත්තා.  වට් ඊස් දිස්, හූ කෙප්ට් දිස් ෆකින් ග්ලාසස් ඇන්ඩ් සෝඩා, ත්‍රෝ දීස් බ්ලඩි බොට්ල්ස් අවේ, කියල අර වීදුරු,බෝතල් ඔක්කොම වීසි කරල විස්කි බෝතලේ කඩල කටේ තියාගෙන චූස්, චූස්, ගාල බීගෙන බීගෙන ගියා.( ලොක්කා බෝතලේ කටේ තියාගෙන බීපු ආකාරය කරුපා රඟපා දැක්වීය) මම හෙමිහිට කුස්සිය පැත්තෙ ගේට්ටුවෙන් එළියට පැනගත්තා."

මට හිනාව නවත්වා ගන්නට බැරිවිය.

" හිනා තමයි, තව පොඩ්ඩෙන් මමත් ගුටි කනවා, ආයෙ නම් නාගේෂ් මහත්තයගෙ ලණු කන්නෙ නෑ"යි කියමින් කරුපා යන්නට ගියේය.

මහාබෝධියේ වෙසක් උත්සව කමිටුව අපේ අලුත් ලොක්කාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් රැස්වී වැඩවල ප්‍රගතිය සාකච්ඡා කරයි.  ආදී කාලයේ පටන් ලොක්කාගේ හොඳම හිතවතෙකු වූ අර්ජුන කමිටුවේ ලේකම්ය.  එක රැස්වීමකදී අර්ජුන කීවේ මුළු උත්සවයම රූපගත කොට වැඩ සටහනක් ලෙස ප්‍රචාරය කරන්නට රූපවාහිනී සංස්ථාවට යැවිය යුතු බවය.  ලොක්කා ඒ වැඩේටත් එක පයින් කැමැත්ත දුන්නේය.  දැන් වෙසක් උත්සවය ළඟ ලඟම එයි.  වෙසක් එකට දින දෙකකට පමණ පෙර හාමුදුරුවෝ ලෑස්ති කර ගත් නැටුම් කණ්ඩායමද, ලංකා මහාබෝධියේ නියෝජිතයා ලෙස සමන්ද, ලක්හඬ ගුවන් විදුලියෙන් රවිමල් හඳුවලද චෙන්නායි නගරයට පැමිණ මහාබෝධියේ ලැගුම් ගත්හ෴

Wednesday, January 30, 2019

2019 අලුත් අවුරුද්ද ආරම්භ වූ හැටි.


අලුත් අවුරුද්දේ අලුතින් යමක් ලියාගන්න කියා දෙසැම්බර් මාසෙ ඉඳන්ම කුරුමානම් ඇල්ලුවත් අකුරක්වත් ලියැවුණේ නැත.  ඒත් කමක් නැහැ කියා ජනවාරි වල ලියන්න හිටියත් කම්මැලිකම හරහට හිටියේය.  ඊට පස්සේ පරිගණකයේ ඇතිවුණු තාක්ෂණික දෝෂයකි.  ඒක හදාගන්නත් දවස් ගණනක් ගතවිය.  ඉතින් ඔයින් මෙයින් සිදුවුණේ වෙනදා වගේ අලුත් අවුරුද්දට සුබ පතා පෝස්ටුවක් ලියාගන්නට බැරි වීමයි.  කොහොමත් දැන් බ්ලොග් පෝස්ට් කියවන අය කමෙන්ට් කරන අය හුඟක්ම අඩුය.  ඒ මදිවාට ලියන අයත් අඩුය.  අපි ලියන්න පටන්ගත්ත කාලේ ඉඳපු අයගෙන් බ්ලොගය යාවත්කාලීන වෙන්නේ කීපදෙනක්ගේ  පමණය.  අනික් අය ඔක්කොම වගේ ලිවීම නවත්තලාය.  ඒ නිසාම බ්ලොගය බුකියේ ගෘප් එකක් හැටියට දාමු කියා යෝජනා කළේ අටමාය.  කීමෙන් නොනැවතී දවසක් අපේ ගෙදර ආ අටමා ගෘප් එක හදා දුන්නේය. 

පහුගිය දවස්වල යාළුවන් කීපදෙනෙකුගේ  ගෙවල්වල යන්නට ද සුපුරුදු පරිදි අපි වේලාව සොයාගත්තෙමු.  ඒ ගෙවල් ටික නම් වශයෙන් කීවොත් අනික් ගුණේ ලගේ ගෙදරත්, ඩේවිඩ් ලගේ ගෙදරත්, රාණි ලාගේ ගෙදරත් ය.  ඊට අමතරව දානෙ ගෙදරක්ද, මඟුල් ගෙයක්ද තිබුණු නිසා මාස දෙකක් ගතවුණේ කාර්ය බහුලවය.  ඒවායේ විස්තර හෙමිහිට ලියන්නට සිතා සිටිමි.

සුද්දාද මේ දවස්වල බොහෝ කාර්ය බහුලවී සිටින්නේ ගේ කඩාගෙන අලුත්වැඩියාවක් කරන නිසාය.  සුද්දාගේ අන්නාසි කොටුවේ හැදෙන අන්නාසි ගැට ඔක්කොම ඉත්තෑවන් කා දමන නිසා ඌ ඉන්නේ ඒ ගැන හිත් අමාරුවෙනි.    ඉත්තෑවන්ට බැනවදින සුද්දා උන් අල්ලන්නට උගුල් අටවන බව කියා ඉත්තෑ මස් කන්නට බලාපොරොත්තුවෙන් ඉන්නට කීවත් තවම ඉත්තෑ මස් ලැබුණේ නම් නැත.

ඉතින් මේ මාසයට පෝස්ටුවක් දමන්නට අවශ්‍යම නිසා කඩිනමින් මේ ටික ලීවෙමි.  කතා ටික ඔක්කොම ලබන මාසයේ සිට පිළිවෙලට ලියන්නට සිතා සිටින බැවින් පෝස්ටුව කෙටි වීම ගැන සමාව බාජනයකට දමා දෙන ලෙස ඉලා සිටිමි෴