Sunday, May 12, 2019

මහාබෝධියේ වගතුග, රාජා, කපිල සහ ධර්මසිරි ගමගේ ගේ සංවේගය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ රථ ගාය සහ එග්මෝර් හි ට්‍රැෆික් පොලිස් නිලධාරියා.



මහාබෝධියේ වෙසක් උත්සවය, ධම්මදින්න පොඩි හාමුදුරුවන්ගේ ස්තුති කතාව,සංඝානන්ද හාමුදුරුවන්ගේ අවුල, කිලර්, සමන් සහ අඳුකොළ.

ආයෙම ලිවීම අමාරු වැඩක් බව තේරෙන්නේ ලියන්නට පටන් ගත් විටය.  වැඩියත්ම අමාරු කතාවක් ආරම්භ කිරීමය.  ඇරඹුවාට පසුව නම් ආයාසයකින් තොරව ලියැවෙයි.  කතා කීපයක්ම ලියන්නට තිබුණත් සේනගේ කතාවෙන් පටන්ගෙන භික්ෂු පරිච්ඡේදයක් කරා ළඟාවූ කතාවම ලියා ඉවරයක් කරන්නට සිතුවෙමි.

මහාබෝධිය කියන්නේ මහා අමුතු ස්ථානයක් බව මම කලින්ද කියා ඇත්තෙමි.  විවිධාකාර පුද්ගලයන් ගැවසෙන සහ විවිධාකාර කටයුතු සිද්ධවෙන මෙතැන දවසක් ගතකරන්නට ලැබීමම අපූරු අත්දැකීමකි.  මහාබෝධියේ මුළු දවසම ගත කරන තවත් කණ්ඩායමක් වනුයේ මහාබෝධියෙන්ම සිය ජීවිකාව සරි කර ගන්නා පිරිසයි.  මේ අය මහාබෝධියට එන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට විවිධාකාරයෙන් උදව් උපකාර කරමින් මුදලක් උපයා ගනිති.  රාජා ඔය කියන කණ්ඩායමේ ඉන්නා කැපී පෙනෙන පුද්ගලයෙකි.  ඔහු සාමාන්‍යයෙන් වන්දනා නඩ සාප්පු සවාරි ගෙනයෑම වැනි සිල්ලර වැඩ කරන කෙනෙක් නොවන අතර වන්දනා නඩ භාරව පැමිණෙන අය සමග ගණුදෙනු කරමින් ඔවුන්ගේ වන්දනා චාරිකාව සාර්ථක කරගන්නට අවශ්‍ය සේවා සහ පහසුකම් සපයන කෙනෙකි.  උදාහරණයක් ලෙස කිවහොත් වන්දනා නඩ වලට මග පෙන්වන අය, උයන්නට අරක්කැමියන්, යන්නට රථ වාහන ආදිය සපයා දී මුදල් ලබා ගනියි.  වන්දනා සමයේදී ඔහු බොහෝ කාර්ය බහුල වන අතර වන්දනා නඩ නොඑන ඕෆ් සීසන් එකේදී රාජා වාහන බ්‍රෝකර් වැඩ කරයි.  අතේ මිටේ හොඳින් මුදල් ගැවසෙන කේරළ වැසියකු වූ රාජා අතට මුදලක් නොලැබේ නම් වැඩකට අත නොගසන කෙනෙකි.

මහාබෝධියෙන්ම ජීවිකාව සරි කර ගන්නා තවත් තරුණයෙක් වූ කපිල රාජාට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි.  කපිලලා සතුව ගෙස්ට් හවුස් එකක් ඇත.  මහාබෝධියේ කාමර පිරී ඇතිවිට නවාතැන් සොයා එන ශ්‍රී ලාංකිකයන්ට කපිල සිය ගෙස්ට් හවුසියේ නවාතැන් සපයා දෙයි.  ඊට අමතරව වාහනයක් තබාගෙන හයර් දුවන කපිල සිය හිතවතුන්ගේ වැඩවලට මුදල් නොබලා කැපවී වැඩ කරයි.  සාමාන්‍යයෙන් අපි වුණත් අපේ අමුත්තෙක් ලංකාවේ සිට එනවිට ඒ වැඩේ භාර දෙන්නේ කපිලටය.  ගුවන් තොටුපොළෙන් අමුත්තාව පිළිගැනීමේ සිට පිටත්ව යන දවස දක්වා අමුත්තාට අවශ්‍ය සියළුම දේවල් කපිල අතින් නොඅඩුව සිදුවෙයි.  දෙන මුදලක් ගන්නවා මිසක මුදල් ගැන කේවල් නොකරන කපිල අපේ විනෝද සවාරි, සාද, සාජ්ජ වැනි වැඩවලට සිය සේවය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙයි.  ඊට ඊට අමතරව දකුණු ඉන්දියාවේ පුහුණුව ලබනා ලංකා නාවික හමුදාවේ කොල්ලන්ද නිවාඩුවට මදුරාසියට ඇවිත් මහාබෝධියේ නවාතැන් ගත් විට ඔවුන්ගේ ද සබ්බ සියලු උවමනා සහ ගමන් බිමන් ද කරගන්නේ කපිලගේ උදව්වෙනි.

වතාවක් අපි කළ නිදහස් දින උත්සවයක ගීත ගයන්නට ජමුණා රාණිට සහ ජික්කිට ආරාධනා කරන්නට මම ගියේ කපිලත් එක්කය.  මගේ සගයෙකු සහ පැරණි ගීත ලෝලියකු වූ ටෙරන්ස් ද මා සමග ගමනට එක්විය.  ඒ කාලයේ සිංහල චිත්‍රපට වලට ගීත ගැයුවාට මේ ගායිකාවන් දෙදෙනාටම සිංහල කතා කරන්නට නොහැකිය.  ආරාධනාව ගැන බොහෝ සතුටට පත්වූ මේ ගායිකාවන් දෙදෙනා එවෙලේම ඔවුන්ගේ පැරණි ගීත ගායනා කළ අතර යුග ගීත වලට ටෙරන්ස් ද එකතු කර ගත්හ.   රෑ මැදියමක් තිස්සේ පැවති අපේ ගීත සාජ්ජයෙන් බොහෝ සතුටට පත් කපිල ගමනට අපෙන් කිසිම මුදලක් ගත්තේ නැත.   මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ.

දවසක්දා මම කාර්යාලයේ වැඩ කරමින් සිටියදී මට ලැබුණු දුරකථන ඇමතුමකි.  කතා කලේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවකු වූ ධර්මසිරි ගමගේ මහතාය.  ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවකට චෙන්නායි වලට පැමිණ මහාබෝධියේ නැවතී සිටි අතර ඔහුට මගෙන් උදව්වක් අවශ්‍යවී තිබුණි.  ගමගේ මහතා මට කතාකර කීවේ කලකට පෙර ඔහුත් සමග පුවත්පත් කලාවේ නියැලී සිටි මිතුරියක් වූ මේජර් රමණී කාංගරආරච්චි සිය දියණියගේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට චෙන්නායිවලට පැමිණ නැවතී සිටින බවත් ඇය මුණ ගැසී දියණියගේ සුවදුක් විමසීමට ඔහුට අවශ්‍ය බවත්ය.  ගමගේ මහතාට තිබු ප්‍රශ්නය වුයේ ඇය නවාතැන් ගෙන සිටි ස්ථානය ඔහු දැන නොසිටීමයි.  ඇයගේ ලිපිනය සොයාගෙන බලන්නට යන්න උදව්වක් කළ හැකි දැයි ඔහු කාරුණිකව මගෙන් අසා සිටියේය.

උදව්ව ලෙහෙසි වගේම අමාරු කාර්යයකි.  දරුවා බලන්නට ඔහු රැගෙන යෑම ගැන කිසි ප්‍රශ්නයක් ඇති නොවුණත් ඔවුන් සිටින ලිපිනය සොයා ගැනීම කළ හැකිදැයි මට සැකයක් ඇතිවිය.  මිලියන හතකට කිට්ටු ජනගහණයක් ඇති අති විශාල චෙන්නායි පුරවරයේ කිසිම හෝඩුවාවක් නොමැතිව කෙනෙක් සිටින තැන සොයා ගැනීම පිදුරු ගොඩකට වැටුණු ඉඳිකටුවක් සොයා ගැනීම මෙන් අමාරු කාර්යයකි.  කෙසේ වුවද උදව්වක් ඉල්ලූ එක්වරම බැහැයි කියා ප්‍රතික්ෂේප නොකොට යම්කිසි සොයා බැලීමක් කිරීමට මම සිතුවෙමි.  ලිපිනය සොයාගැනීම තරමක් අමාරු කාර්යයක් බව ගමගේ මහතාට දැන්වූ මම ලිපිනය සොයාගන්නට උත්සාහ කර ප්‍රතිපලය හවසට දන්වන්නෙමියි වැඩිදුරටත් කීවෙමි.  කෙසේ වුවද මගේ කිට්ටුම මිතුරන් කීප දෙනෙකුගේ උදව්වෙන් එදින සවස් වෙද්දී මට ලිපිනය සොයාගැනීමට හැකිවිය.  එය නගරයේ අප සිටි පෙදෙසින් බොහෝ ඈතට වන්නට තිබු ස්ථානයකි.  මම මේ විස්තරය ගමගේ මහතාට දන්වා සවස කපිලගේ වාහනයේ අපේ ගෙදරට එන ලෙස කීවේ ගමනට මමත් සහභාගී වන්නට සිතාගෙනය.

කපිලත් සමග අපි එදා පිටත්වන විට සවස හය විතර වෙන්නට ඇත.  සන්ධ්‍යාවේ නගරයේ ඇති අති විශාල වාහන තදබදය මගහරිමින් කපිල නගරයේ බොහෝ ඈතට ගමන් කර පැයකට පමණ පසු ලිපිනයේ සඳහන් තැනට අප ගෙන ගියේය.  එය ඇපාර්ට්මන්ට් එකක බිම් මහලේ තිබු කුඩා ඇනෙක්ස් එකක් විය.  රමණී වෛද්‍ය ප්‍රතිකාර ලබනා සිය දියණියත් සමග නැවතී සිටියේ එම ඇනෙක්සියේය.  ඇය අපට දියණියගේ රෝගයේ විස්තර කීවේ දෑස කඳුලින් පුරාගෙනය.  හඬා වැටෙන්නට තරම් වේදනාවක් තිබුණත් දියණිය ඉදිරියේ හඬන්නට ඇය අකමැති වුවාසේය.  ටිකකින් අපට පිළිගන්වන්නට බන්දේසියක තබාගෙන තේ ගෙන ආ දියණිය දැකීමෙන් මගේ පපුවද දා ගියාක් මෙන් දැනිණි.  ඇය අවුරුදු දාහතරක් පහළොවක් පමණ වයසැති අහිංසක සුන්දර දැරියකි.  මෙපමණ කැකුළු වයසකදී ජීවත්වීම අවිනිශ්චිත තත්ත්වයක සිටි ඇයගේ ඉරණම ගැන සිතන විට සිතට දැනුණේ අතිශය වේදනාවකි.  මගේ සිතුවිල්ලම ධර්මසිරි ගමගේ මහතාටත් ඇතිවී තිබුණු බව ඔහුගේ වේදනාත්මක මුහුණ දෙස බැලු මට පෙනුණි.  මවත් දියණියත් සමග කතා බහ කරමින් සිට අපි එන්නට පිටත්වුනේ පපුවේ ගලක් හිරවුනාක් වැනි හැගීමක් සහිතවය.  උස මහත හැඩිදැඩි සිරුරක් තිබුනද සිතින් දැඩි සංවේදී පුද්ගලයෙක් වූ ධර්මසිරි ගමගේ මහතාට සිය මිතුරියගේ දරුවාට අත්ව ඇති ඉරණම දරාගත නොහැකි වේදනාවක් ගෙනදී ඇති බව පෙනෙන්නට විය.  අපේ සිත් අමාරුව තේරුම් ගත් කපිලද නිහඬවම රිය පදවන්නට විය.  හිතේ අමාරුව යන්නටත් එක්ක අපේ ගෙදර ගොස් අඩියක් ගහමු යැයි මා කළ යෝජනාවට ගමගේ මහතා නිහඬවම එකඟත්වය පළකලෙන් තවත් ටික වේලාවකට පසු අපි තුන්දෙනා අපේ ගෙදර සැටියේ බෝතලයක්ද ඉදිරියෙන් තබාගෙන වාඩිවී සිටියෙමු.


ඒ වන විට හොඳටම රෑ බෝවී තිබු අතර කලින් නොදන්වා අමුත්තන් ගෙදරට කැඳවාගෙන ඒම වැනි මගේ අරුම පුදුම වැඩවලට හොඳින් හුරුවී සිටින හැලපිත් කිසි අමුත්තක් නොපෙන්වා අපට හපන්නට අඩුම කුඩුම ආදිය සපයාදීමෙහි යෙදුණාය.  අපි නිහඬවම කර්තව්‍යය ආරම්භ කළෙමු.  ටික වේලාවකින් ගමගේ මහතා කියන්නට ගත්තේ රමණීත් සමග වැඩකළ කාලය ගැනය.

"රමණි දැක්කම මගෙ පපුව හෝස් ගාල පත්තු වෙලා ගියා මල්ලි! කොහොම හිටපු කෙල්ලක්ද?"

යුද හමුදාවට බැඳෙන්නට පෙර සිටම පුවත්පත් වලට ලිපි ලියු ඇය හමුදා සේවයේ යෙදී සිටිනා අතරතුරද හිතවතුන් බැලීමට පැමිණි බව ගමගේ මහතා කීවේය.

"යුනිෆෝම් එක ඇඳලා කන්තෝරුවට එනකොට තිබුණු ලස්සන, තේජස අද ඒ ඔක්කොම නැතිවෙලා හුඹහෙන් ඇදල දාල වගේ දිරල ගිහින් ඉන්නකොට හිත වාවන්නෙ නෑ. ජීවිතේ හැටි බලන්නකො."

දෙක තුනක් වදිනවිට ධර්මසිරි ගමගේ මහතාගේ කවි සිත අවදිවන්නට විය.  මගෙන් ගෙදර විස්තර ඇසු ඔහු අපට කුඩා පුතෙක් සිටින බව දැනගෙන නිදා සිටි හැලපැට්ටා ද ඇහැරවා උගෙන් කොළද පෑනක් ද ඉල්ලාගෙන  හැලපැට්ටා ගැන කවි ලියන්නට පටන් ගත්තේය.  ඒ දවස්වල අපිත් එක්ක සිටි අපේ අම්මාද සද්දයට ඇහැරී එළියට ආ විට ඔහු අම්මා ගැනද කවි ලියා කියෙව්වේය.  හදිසියේ පිළියෙළ කළ රාත්‍රී ආහාරයද අපේ ගෙදරින් ගත් ගමගේ මහතා කපිලත් එක්ක පිටත්ව ගියේ පාන්දර යාමයේය.  ගමනට වියදම කීයක් දැයි ඇසු විට ඒ ගැන කරදර නොවන්නැයි කපිල කියා සිටියේය.  ඊට පසුදා අපේ මිත්‍ර බන්දු  ගමගේ මහතා වෙනුවෙන් දුන් රෑ කෑමට ඉන්දියානු මිතුරන් කීප දෙනෙක්ද පැමිණ සිටියහ.  කතාබහ කරමින් සිටින අතර අපි මහත් ගෞරවයකින් සළකන ගමගේ මහතා ලංකාවේ කවුදැයි දැනගන්නට ඔවුන්ට වුවමනා විය.  අර්ජුන ඔවුන්ට දුන්නේ කෙටි සහ අර්ථපූර්ණ පිළිතුරකි.

"මේ තමයි ලංකාවෙ කන්නදාසන්!"

මම ලංකාවට පැමිණි පසු මගේත් කපිලගේත් සම්බන්ධය තරමක් දුරස් වුවත් ඉඳහිට වගේ චෙන්නායි වලට ගිය විටෙක අනිවාර්යයෙන්ම කපිල හමුවන්නට අමතක නොකළෙමි.  ඒ වගේ වෙලාවල් වලදී සෙට් වෙන්නට කපිල මාව එක්ක යන්නේ ඔහු දන්නා පොඩි ක්ලබ් එකකටය.  මමත් එතැනට යන්නට බොහොම කැමති වෙන්නේ ඒ ක්ලබ් එකේ තියෙන වටු මස් බයිට් එක රස වැටී සිටි නිසාය.  මීට ටික කලකට පෙරත් ඔය වගේ චෙන්නායි ගිය වෙලාවක මහාබෝධියට ගොස් කපිල ගැන විපරම් කළෙමි.  මේ දැන් කපිල සිටි බව කී හාමුදුරුවෝ,  ආ කියනකොටම ඔය එන්නෙ කියමින් මට කෙනෙක්ව පෙන්වූ සේක.  වැහැරී ගිය සිරුරක් හා රැළි වැටී තිබුණු මුහුණක් ඇති කෙනෙක් සිනාසීගෙන මදෙසට පැමිණියේය.  ඒ නම් මා දන්නා කපිල නොවේ.

මගේ ලඟට පැමිණි ඔහු මගේ අතින්ද අල්ලාගෙන සුවදුක් විමසන්නට විය.  ඒ ඉන්නේ කපිල යැයි මගේ සිත පිළිගත්තේ ගොඩක් ප්‍රමාද වෙලාය.  විස්තර කතාකරද්දී කපිල තමන්ට සිදුවූ දෙය කීවේය.  ඔහු ගුවන් තොටුපළට අමුත්තෙක් ගෙනෙන්නට යද්දී දරුණු රිය අනතුරකට මුහුණ පා තිබේ.  අනතුරේ ප්‍රතිපලයක් ලෙස ඇසක්ද අහිමිවී රෝහලේ කාලයක් ප්‍රතිකාර ගන්නට සිදුවී ඇත.  දැන් කපිල ඉන්නේ බොරු ඇසක් සවිකරගෙනය.  විස්තරයෙන් පසු වෙනදා අපි හමුවුන විට කරන පිළිසඳර සතුටු සාමීචි ආදියේ යෙදෙන්නට තරම් නිරවුල් මනසක් මට නොතිබුණෙන් නිහඬවම මා ආපසු නවාතැනට ආවේ බරවුණු සිතකිනි.


තමන්ටම වාහනයක් මිලදී ගත්තොත් නරකදැයි රාජා ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වචනය දමා දැන් ටික කලක් ගතවී ගොසින්ය.  වාහනයක් ගැනීම ගැන හාමුදුරුවෝ කල්පනා කරමින් සිටියදී රාජා කීවේ තමන් සතු වාහනයක් විකිණීමට ඇති බවත් කොටස් වශයෙන් මුදල් ගෙවීමේ ක්‍රමයට ඒ වාහනය හාමුදුරුවන්ට විකිණීමට කැමති බවත්ය.  එයට හාමුදුරුවන්ද කැමති වූ නිසා රාජා තමන් සතුව තිබු තරමක් පැරණි පැජරෝ ජීප් එක සෑහෙන ලාබයක් සහිතව හාමුදුරුවන්ට වික්කේය.  වාහනය ගන්නට පෙර සිටම අනුන්ගේ වාහනවල රවුම් ගැසූ  ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වාහනයක් ලැබීම  අස්සයාට තටු ලැබීමක් මෙන් වුයේය.  ඊට පසු පැජරෝ එකේ නැග එග්මෝර් අවට පාරවල්වල සැරිසරන ධම්මදින්න පොඩි හාමුදුරුවන් දකින්නට ලැබීම සුලබ දර්ශනයක් විය.  හාමුදුරුවන්ගේ වාහනයෙන් වැඩිපුරම වගේ ප්‍රයෝජනය ලැබුණේ මහාබෝධියේ ඉන්නා කෙල්ලන්ටය.  දිල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ලංකාවේ කෙල්ලන් නිවාඩුවට ගෙදර ගොස් ආපසු එන්නේ දිල්ලි යන දුම්රියට දවසක් හෝ දෙකක් කල් ඇතුවය.  ඒ දවස් දෙක තුන ඔවුන් මහාබෝධියේ නතරවී සිට ටී නගර් වල ෂොපින් යෑම සිරිතක් වශයෙන් සිදුකරති.  හාමුදුරුවන් වාහනය ගත්තාට පසු කෙල්ලන් ටී නගර් වලට ෂොපින් ගියේත් දිල්ලියට යන තමිල්නාඩු එක්ස්ප්‍රස් දුම්රියට නගින්නට සෙන්ට්‍රල් ස්ටේෂමට ගියේත් හාමුදුරුවන් පැදවූ පැජරෝ එකේ නැගගෙනය.

ඔය ආකාරයට කුඩුවෙන් මුදාහල කුරුල්ලෙක් සේ වාහනයේ නැගී රවුම් ගහමින් සිටි හාමුදුරුවෝ දවසක් කරදරයක පටලැවුනි.  එක දවසක හැන්දෑවේ කෙල්ලන් රංචුවකුත් වාහනයේ දමාගෙන ටී නගර් වල ෂොපින් ගොස් ආපසු එන හාමුදුරුවෝ එග්මෝර්හි ඇල්බට් සිනමා ශාලාව ඉදිරිපිට පාර මැද වාහන හසුරවමින් සිටි ට්‍රැෆික් පොලිස් නිලධාරියාව පැජරෝ එකේ හප්පා වදාළ සේක.  එතැන ඉන්නා ට්‍රැෆික් පොලිස් නිලධාරියා අපි හැමදාම උදේ සවස දැක පුරුදු ඇති සහ රියැදුරන් අතර බොහෝ ජනප්‍රිය චරිතයකි.  උදේට අපි කාර්යාලයට යද්දී හොඳට මැදපු පිරිසිදු නිල ඇඳුමකින් සැරසී වැඩ පටන්ගන්නා ඔහු සිය සංඥාව අනුව නැවතී සිටින රියැදුරන් සමග වචනයක් දෙකක් සිනාවක් හුවමාරු කරගෙන සිනාසීගෙන සැහැල්ලුවෙන් රාජකාරි කළ කෙනෙකි.  මුළු දවල් දවසම එතැන සිට වාහන හසුරුවන ඔහු හවස අපි ආපසු එද්දී වාහන දුමෙන්ද, දුවිල්ලෙන්ද, දහඩියෙන් ද නැහැවී කළු කපුටෙක් මෙන් පෙනී සිටින්නේ සුපුරුදු සිනහවද මුවෙහි සහිතවය.

තරමක් වේගයෙන් රථය පදවාගෙන ආ ධම්මදින්න පොඩි හාමුදුරුවන්ට වේගය පාලනය කර ගැනීමට නොහැකිව රථය  ට්‍රැෆික් පොලිස් නිලධාරියාව යටකරගෙන වැඩම කළේය.  වහා එතැනට රැස්වූ පිරිස විසින් ට්‍රැෆික් පොලිස් නිලධාරියාව රෝහල් ගත කරන ලදී.  ඔහුගේ කකුලේ බත්කෙන්ඩ අඟල් හයක් පමණ ඉරී ගොස් තිබුණු අතර ඇලපත තැලී වම් අතේ වැලමිටට පහළින් ඇටය පුපුරා තිබුණි.  මුහුණේ තුවාලයකට වුයේ නාසය බිඳී තිබීමයි.  එතැනට ආ පොලීසිය රථයද හාමුදුරුවන්ද අත් අඩංගුවට ගෙන එග්මෝර් පොලීසියට  රැගෙන ගියහ.  අනතුර බරපතල එකක් වුවත් සිවුරු හා ලෝගු හැඳ සිටින පුජක පක්ෂයට දකුණු ඉන්දීය වැසියන් දක්වන ගෞරවය නිසා පොලීසිය හාමුදුරුවන්ව රිමාන්ඩ් කළේ නැත.  රතනජෝති ලොකු හාමුදුරුවෝද, අපේ ලොක්කාද ඇතුළු සෑහෙන උදවිය කීප දෙනෙක් චෙන්නායි හි පොලිස් කොමසාරිස් වරයා හමුවී කරන ලද ඉල්ලීම නිසා පොලීසිය වැඩේ ගොඩින් බේරාගන්නට කැමති විය.  අනතුරට ලක්වූ පොලිස් නිලධාරියාට වන්දියක් ලබාදෙන්නට ධම්මදින්න පොඩි හාමුදුරුවෝ කැමති වුණු අතර වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මීට පසුව වාහනයට ගොඩවෙන්නට වත් එපා යැයි ලැබුණු තදබල අවවාදයද සහිතව පොලීසිය විසින් හාමුදුරුවන්ව නිදහස් කර වදාරන ලදී෴ 

42 comments:

  1. හැලපේ අයියේ... මේ කතා කියවද්දී අමුතුම ඉන්දියන් සුව‌‌ඳක් එක්ක උනුහුං වෙච්චි ගතියක් දැනෙනවා බං.

    ලංකාවට නිවාඩුවකට ආපුවහම උඹව නම් කොහොම හරි හම්බෙන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හමුවෙමු, එන වේලාවකට මට කියපං. මම නම්බර් එක ඉන්බොක්ස් කරන්නම්.

      Delete
  2. අර කොන්ක්‍රීට් T Rex කෙනෙක් හිටියේ ඇල්බට් හෝල් එක ඉස්සරහද?

    අනූගනන් අග හරියේ මහබෝධියේ ඔෆිස් එකක හිටපු අත්කොට ෂර්ට් කාරයෝ 4ක් එක්ක පැයක හමාරක චැටක් ගැහුවා මතකයි, එතන හිටි එක් අයෙක් ලංකාවේ බොහොම ප්‍රසිද්ධ කෙනෙත් කියලා සඟයා ආපසු යන ගමන් බොහොම අමනාපයෙන් කීවා, මං නොදන්න චෙස්. පසුකාලෙක ඒ සන්තෑසියම සිද්ධවුනා දිල්ලියේ මහබෝධියෙදීත්, එතන ලොක්කට එයාගේ ප්‍රියතම අර රෝයල් මොල් එකේ හදන දිග තල ගුලි පාර්සලේ බාරදෙන්න යනකොට තව හිටියා දාරසයිස් හාමුදුරු කෙනෙත්, චැට අතරේ දිල්ලියේ කෞතුකාගාරේ තියන දාතුවක් වදින්න යන්න කියල එයා කිව්වා, මම කීවා දිල්ලියට ඇවිත් බෞද්ධ එව්වා වඳින්න කාලෙ නාස්තිකරන එක මෝඩ වැඩක්, හැකි තරම් මෝගල් ඒවා බලන්න යන්නයි ප්ලෑන කියලා. එළියට එනකොටම වයිෆ් කොන්දට පතබාල කියපි ඒ හිටියේ අර අර ටීවී එකේ හැමදාම ඉන්න අරකේ කුලපතිය කියලා.

    ReplyDelete
    Replies
    1. T Rex මට මතකයක් නෑ. පස්සෙ කාලෙක වෙන්න ඇති. ඔය තදයො වැඩි හරියක් ඉන්දියාවෙදි මුණ ගැහෙන්න පුළුවනි.

      Delete
  3. //ලංකාවේ කෙල්ලන් නිවාඩුවට ගෙදර ගොස් ආපසු එන්නේ දිල්ලි යන දුම්රියට දවසක් හෝ දෙකක් කල් ඇතුවය. ඒ දවස් දෙක තුන ඔවුන් මහාබෝධියේ නතරවී//
    wow!

    ReplyDelete
  4. +++++++++++++
    //රථය ට්‍රැෆික් පොලිස් නිලධාරියාව යටකරගෙන වැඩම කළේය. // මේ කෑල්ල හිතලම දැම්මද? එහෙනම් මරු. හමුදුරුවො නෙවෙයි රථයයි වැඩම කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවොත් රථයේ හිටියනෙ. ඉතින් වැඩම කරනවා තමයි.

      Delete
  5. බලාගෙන ගියාම හොඳ හොඳ සීන්ස් නෙ මහාබෝධියෙ වෙලා තියෙන්නෙ ඒ කාලෙ. හැලපෙටත් ඉතිං රජ මගුල් වගේ තියෙන්න ඇති. හැක්..

    ReplyDelete
    Replies
    1. රජ මඟුල් කොහොමත් කරදර නං තිබුනා ඔය හාමුදුරුවන්ගේ වැඩ නිසා.

      Delete
  6. ධම්මදින්න පොඩි හාමුදුරුවන් වහන්සේගේ රූපේ හිතේ ඇඳුණා. හඳුනනකමකට නෙවෙයි, යුවතියන්ව දිල්ලි,
    ට්‍රීනගර්වලට ඇරලන;එක්කන් එන ගමන් නිවන් යන පාරත් පෙන්වන්නට ඇති කියලා හිතුණ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං හාමුදුරුවන්ට කියලත් පොඩි හරි ලල් එකක් තියෙන්න එපැයි.

      Delete
  7. ඔය වෙලාවට තමයි සංගදින්න හරි වෙලා මහන වෙන්න. මෙහෙන් වාහනයක් අරන් ගිහිං හරි යුවතියන් ඇරන්න ඇහැකි නොවැ

    ReplyDelete
    Replies
    1. මහණ වෙලා එහෙ ගියොත් වාහන ඕනෑ තරම්.

      Delete
  8. මං හූනා කිව්ව වගේ කියන්නං ඔය යුවතියන් ටික දැන් දෙන්නං වගේ පෙන්නලා අරුන්නාන්සෙගේ තෙල් ටිකටයි පොකට් එකටයි විදින්න ඇති.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් නේද උඹ කිව්වේ ?

      Delete
    2. උන්නැහේලා ඉන්න විදිහට නැත්නම් ඉන්න වෙලා තියෙන විදිහට එයින්ඇ එකක වත් ඇඟිල්ලවත් ගහ ගන්න තිබ්බොත් මදිද?පලවන එක තමයි අමාරු. ඉතිරි එවා සත්‍යභ්‍යාසයෙන් ඉබේම වෙනවා.

      Delete
    3. වෙන මොනවද ඉතිං. හාමුදුරුවො සැදැහැ සිතින්ම උදව් කරද්දී.

      Delete
  9. චැහ් ..... අන්න පන්සල්.......

    ලොකු දෙයක් ආපහු ලියන්ඩ ගත්ත එක.....

    ReplyDelete
    Replies
    1. පන්සල් කතා ඉවර කරන්නත් බැරිවෙයි වගේ.

      Delete
  10. ලංකාවේ එක උන්නාන්සේ කෙනක් රියැදුරු බලපත්‍ ගන්න උසාවි හිට ගියා.ඒ වෙලාවේ සරත් එන සිල්වාද කොහේද ඒ නඩුව ඉවත් කෙරුවා ලංකාවේ ඕන තරම් රියදුරු බලපත්‍ර තියෙන දායකයෝ ඉන්නවා හාමුදුරුවරුන්ට එහෙම එකක් ඕනේ නැහැ කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. තාම උන්නාන්සේලාට බලපත්‍ර දෙන්නෙ නෑ. හැබැයි යුරෝපා රටවල නං කිසි අවුලක් නෑ .

      Delete
  11. හැමෝටම උදව් පදව් කරපු කපිලට මෙහෙම උන එක ගැන ආටියා ට දුක ය.

    දින්න පොඩි හාමුදුරුවන් ගේ පැජරෝ පැදීම ඔයින් කෙලවර උන එක හොද ය .

    හලපයියා නැවත කථාවක් ලිවීම මේ හැම දෙයකටම වඩා හොදය !



    ReplyDelete
    Replies
    1. පොඩි හාමුදුරුවන්ගේ කතා තව ටිකක් ලියන්නටත් ඇත.

      Delete
  12. ඔක්කොම හරි හාමුදුරුවන්ට චෙන්නයිවල පැජරෝ එලවන්න ලයිසන් දුන්නේ කවු ද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ලයිසන් තිබුණා කිව්වේ කවුද? ලයිසන් නැතුවනෙ එලෙව්වේ.

      Delete
  13. මුල හරිය ශෝක රසයෙන් පටන් ගත්තට මොකද, හාමුදුරුවෝ ට්‍රැපික් පොලිස් රාළාමිව යටකරගෙන වැඩම කරපු එකට නං හිනා ගියා නවත්තගන්න බැරි තරම්...

    ReplyDelete
    Replies
    1. බොට හිනාගියාට ට්‍රැෆික් රාළහාමිට නේ අවුල වුණේ.

      Delete
  14. අම්මෝහ්...😂 ට්‍රැෆික් පොලිස් නිලධාරියා පව්....

    ReplyDelete
    Replies
    1. පව්ද කියන්නෙ, සෑහෙන කාලයක් එක්තැන් වෙලා ඉන්නැති.

      Delete
  15. මම්ත් මේ පැත්ත්ට ආවේ හුග කාලෙකින්..අයියන්ඩි උබලාගේ ගෙදරින් කාපු කොස් වල රසය තවම මතක් කරන්වා

    ReplyDelete
    Replies
    1. මේ දවස්වලත් අපි උඹව මතක් කරමින් කොස් කනවා.

      Delete
  16. පොඩි සාදු යුවතියන් එක්ක ගෙහුන් පාරෙන් පිට පැනල වගේ...
    හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං, ඔය වෙලාවට පාරද පිටද කියල පෙනෙන එකක්යැ.

      Delete
  17. හාමුදුරුවො ඔයින් බේරුනා මදැයි , මේ ජූනි මාසේ චෙන්නයි ගියපාර හාමිනේට මහාබෝධියට යන්න ඕන කියපු නිසා වැඩි හොඳට ඔෆිස් එකෙන් වාහනෙකුත් ලෑස්ති කරල යැව්වා ... කොහෙද සිංහලවත් ... ඉංග්‍රීසිවත් හරියට දන්නා මොකෙක්වත් හම්බ උනේ නැහැ කියල ගිය පයින් හැරිල ඇවිල්ල තිබ්බ :)

    ReplyDelete

ඔබේ අදහස්