Monday, August 27, 2018

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 19 - ජීප්ගේ වැලපීම, කළුතර ගමන, දීපිකාගේ උපදෙස්, අබේගේ මඟුල, ස්ථාන මාරුව, පාට් ටයිම් ජොබ් එක සහ අලුත් අත් ඔරලෝසුව.






                           Photo : Google Images

අක්කා කෙල්ල හෙවත් ජීප්ගේ කලවයස දැනටමත් පැන ඇති නිසාවෙන් කා සමග හෝ හැකි ඉක්මණින් විවාහ වීමේ අවශ්‍යතාව තදබල ලෙස ඇයට දැනෙමින් තිබිණි.  ඇය නිතරම කියවන්නේ අපි දෙන්නා ඉක්මනින්ම කසාද බැඳිය යුතු බවය.  ඒ කතාව ඇහෙනකොටත් මගේ ඇඟ පත සීතල වෙන්නේ කසාදයක් බැඳ පවුලක් පන්සලක් වීම ගැන ඒ වනවිට මම හිතලාවත් නැති නිසාය.  ජීප් ව අතහැරීම ගැන සිතන්නටත් බැරි තරමට ඇය අප දෙදෙනාගේ සම්බන්ධය ගැන ඇගේ පවුලේ අයටත් යාළුවන්ටත් දන්වා පුළුල් ප්‍රචාරයක් ඒ වනවිටත් දී තිබුණි.  ඔය කාලය වන විට මා පැටලී සිටියේ මොනවා කරන්නදැයි හිතා ගන්නට බැරි තරම්  උහතෝකෝටිකයකය.  ජීප් හඬමින් ද වැලපෙමින් ද නිතරම මගේ සිත අවුලෙන් අවුලට පත් කරන්නට පසුබට නොවුවාය.  හැමදාම උදේ ජීප් මගෙත් එක්ක කතාකරන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.  ටිකකින් ඇය කඳුළු වගුරුවමින් හඬන්නට පටන්ගැනීම මට මහත් හිසරදයක් වෙන්නට වැඩි කලක් ගත නොවීය.  හැම උදේකම සිද්ද වෙන මේ සිද්දිය මගේ දවසම මුසල කරවයි.  ජීප් හිතාගෙන ඉන්නේ අඬපු විට මට දුක හිතී ඇය කියන දේවලට කැමති වේය කියාය.  ටිකක් හරි මගේ හිත හදන්නට ඉන්නේ දීපිකාය.  මා බුම්මාගෙන ඉන්නවිට ඇය මට විහිළුවක් කර නැවතත් මාව යථා තත්ත්වයට ගෙන එන්නට සමත්වෙයි.  මේ හේතුව නිසාම මම ජීප්ට වඩා දීපිකාගේ ඇසුර ප්‍රිය කරන්නට පටන් ගතිමි.  තරුණයින් වූ අපි දවසම අඬා වැලපෙමින් ඉන්න අයට වඩා විහිළුවක් දෙකක් කරගෙන සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්නට  කැමතිවීම සාමාන්‍ය ස්වභාවයයි.  නගරයේ හැදී වැඩී ජීවිතය සතුටින් විනෝදයෙන් ගතකරන්නට පුරුදුවී සිටි කෙල්ලක් වූ දීපිකා ගේ ඇසුර මගේ සිතේ වූ කණස්සල්ල ද කලකිරීම ද නැතිකරන්නට ඖෂධයක් මෙන් විය.

කෙසේ වුවද අපි දෙන්නාගේ කතා බහ ජීප්ට රහසෙන් කරගෙන යන්නට සිදුවුණේ එය ජීප් දැනගතහොත් දීපිකාටද බැනවදින නිසාය.  අපි තුන්දෙනාගේ අනෙක් හිතවතා වූ අබේ මේ ගැන මට දැඩි ලෙස විරෝධය පලකළේය.  ඒ වනවිටත් විවාහ වන්නට කෙල්ලෙක් තෝරාගෙන සිටි අබේ අවංක සහ ආදර්ශමත් පෙම්වතෙක් විය.  ඔහුගේ අදහස වුණේ මා ජීප්ට දැඩි අසාධාරණයක් කරන බවයි.  එක සති අන්තයක අපි හතර දෙනා අබේ බඳින්නට සිටි කෙල්ලත් සමග කළුතර බෝධියට ගියේ අබේගේ ආරාධනයෙනි.  අබේගේ කෙල්ලට කළුතර බෝධියට පුජාවක් පවත්වන්නට අවශ්‍යතාව තිබුණු අතර ජීප් ඉතා කැමැත්තෙන් ගමනට එකතු වුණේ ඇයට ද බෝධියට බාරයක් වෙන්නට වුවමනා ය කියාය.  මටත් දීපිකාටත් එහෙම විශේෂ වුවමනාවල් කිසිවක් නොවූ අතර එය අපට තවත් විනෝද ගමනක් විය.  උදේම කළුතරට ඇවිත් සල්ගාදු හෝටලයෙන් උදේ ආහාරය ගත් අපි ඊළඟට පුජා වත් පිළිවෙත් කරන්නට බෝධියට පැමිණියෙමු.  අබේගේ කෙල්ල අබේවත් ලඟින් ඉන්දවා ගෙන ඇය ගෙදරින් ගෙනා ලොකු පොතක් දිග හැර ගෙන ගාථා කියවන්නට වූ අතර ජීප් ඒ ලඟින්ම වාඩිගෙන තවත් පොතක් දිග හැර ගෙන ගාථා කියන්නට වුවාය.  මල් පහන් පුදා මම නැගිට යන්නට හදන විට ජීප් මට තරවටුවෙන් කතා කර ඇය ලඟින් ඉන්දවා ගත්තාය.  දීපිකා ඒ වන විටත් මළුවේ ඇවිදිමින් සිටියාය.  ටිකක් වෙලා ජීප් ළඟ ඉඳගෙන සිටි මට ජීප්ගේ ඉවරයක් නැති ගාථා කියවිල්ල අහගෙන ඉඳගෙන ඉන්නට කම්මැලි නිසා කකුල් රිදෙනවා ය කියා නැගිට ගොස් දීපිකා ගේ ඇවිදිල්ල ට එකතු වුණෙමි.

මළුවේ තාප්පයට හේත්තුවී හිස් බැල්මෙන් ගඟ දෙස බලා සිටි මගේ ලඟට ආ දීපිකා ඇහුවේ ජීප් සහ මගේ අතර ඇතිව තිබු ප්‍රශ්නකාරී වාතාවරණයේ ඒ වනවිට තත්ත්වය ගැනය. 

" දෙන්නත් එක්ක ඔක්කොම කාරණා කටයුතු කතාකරගෙන ඉවරවෙලා වෙන්නැති අද බෝධියට පුජා පවත්තන්න ආවෙ."

ජීප් සහ මගේ අතරේ සිදුවූ කතා බහ හැම දෙයක් ගැනම හොඳින් දන්නා දීපිකා එහෙම ඇහුවේ මට සවුත්තුවටය.

" ඔව් ඔක්කොම කතාබහ කරගෙන ඉවරයි, තව සතියකින් දෙකකින් හොඳ දවසක් බලල රෙජිස්ට්‍රේෂන් එක ගන්නයි ඉන්නෙ."

මමත් ඇය ඇසු විදියටම උත්තර දුන්නෙමි.  දීපිකා කතා කළේ සිනාවෙමිනි.

" එහෙම නෙවෙයි අනේ, කියන්නකො ඇත්තටම මොකද වුණේ කියල."

" මොකුත් වුණේ නැහැ.  ජීප් කළුතර යන්න කතා කළා මම ආවා, ඔයත් දන්නවනෙ."

" මම ඇහුවෙ ඒව නෙවෙයි අනේ, ඔය දෙන්නගෙ මඟුල කෙරෙනවද නැද්ද කියල."

" ජීප් නං හැමදාම කන්කෙඳිරි ගානවා. ඒ උනාට මම කැමති නෑ.  කැමති නෑ කියල ජීප්ගෙන් බේරෙන්නත් බෑ, මට හිතාගන්න බෑ මොනව කරන්නද කියල."

දීපිකාගේ මුහුණ ආලෝකමත් විය.  ඇය මටත් හිසෙන් කතාකරගෙන මළුවේ ඈත කෙලවරට ගොස් වටපිට බලා කතාකළේ හඬ පහත් කරමින්ය.

" මේ අහන්න, දැන් ජීප්ට තියෙන්නෙ ඉක්මනට කාව හරි බැඳගන්න තියෙන උවමනාව.  ඒ කියන්නෙ ඔයාවම නැතත් වෙන කෙනෙක් හරි.  එයාට එච්චර හදිස්සියි.  ඉතින් කොහොමත් එයා මේ අවුරුද්ද ඇතුළත කාව හරි බඳීවි."

" ඔය ඇත්තමද දීපිකා? හැබැයි එයා කතා කරන්නෙ නං මාව බඳින්න ලැබුනෙ නැත්නම් ගඟේ මුදෙ පනින ගානට."

" විකාර........ඔයාටත් ඔව්ව ඇත්ත.  මොකද වෙන්නෙ කියල සද්ද නැතුව බලාගෙන ඉන්නකො.   අඬන අඬන වෙලාවට බයවෙලා එයා කියන දේවල් කරන්න යන්නෙ නැතුව."

දීපිකාගේ වචන වලින් මගේ සිත ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වන්නට විය.  අද කළුතර ආවේ කරන්නට කිසිම දෙයක් හිතාගන්නට බැරුව වුවත් දීපිකාත් එක්ක කළ කතාව නිසා සිතේ බර ටික ටික අඩුවී යයි.

" දැන් හරි ෂෝක් නෙ.  ළමයගෙ මුණත් එක්ක එළිය වැටුණා.  ජීප්ගෙ පුජාවල් මෙතනදීම පල දෙනව වගේ."

දීපිකා විහිළු කරන්නට පටන් ගත්තාය.  ජීප්ලා පුජා වතාවත් ඉවර කළේ ඊටත් පැයකට විතර පසුවය.  ඒ වන විට අපි දෙන්නා ඊළඟ සති අන්තයේ මුණ ගැසෙන්නට ද කතා කරගෙන ඉවරය.  ආපසු එද්දී උදේ ආවාට වඩා සැහැල්ලුවකින් හැසිරෙන මා දෙසද දීපිකා දෙසද ජීප් විමසිලිමත්ව බැලුවත් මොකුත් කිව්වේ නැත.

ජීප්ට අසාධාරණ කම් මදි පුංචිකම් කරනවාය කියා මගෙත් එක්ක ටිකක් හිත නොහොඳින් සිටි අබේ පසුව සිය විරෝධය එළිපිටම පෙන්වන්නට විය.  ඔහු මගෙත් එක්ක කතාකිරීම පවා නවතා දැම්මේය.  ඊට ටික දවසකට පසු ජීප් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලබාගෙන ගියාය.  එහෙම ගියත් ජීප් හැමදාම මට කතා කළ අතර විටින් විට ඇය බලන්නට එන්න යැයි තර්ජනයක්ද කළාය.  අබේගේ මඟුල සිදුවුණේ මේ අතරය.  හිත නොහොඳින් හිටියත් අබේ මටත් මඟුලට ආරාධනා කළේ කාර්යාලයේ අනෙක් ඔක්කොටොම මඟුල කියපු නිසා මිසක කැමැත්තකින් නොවන බව මට හැඟුණි.  ගම්පහ තිබුණු අබේගේ මඟුල් ගෙදරට කාර්යාලයේ අනික් අයත් එක්ක මමත් ගියෙමි.  ඒ මඟුල් ගෙදර අපි ඔක්කොටොම මතක හිටින මඟුලක් වුණේ මඟුල් බතට තිබු චිකන් කාපු හැමෝටම බඩ එළිය යෑම නිසාය. 

ඔය කාලයේ මගේ රැකියාවේත් වෙනස්කමක් සිදුවිය.  මට උසස්වීමක් සමග ස්ථාන මාරුවක් ලැබුණු නිසා මම ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය අතහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරියට වාර්තා කළෙමි.  අලුත් රාජකාරි ස්ථානයේ දී මට නව මිතුරු මිතුරියන් රැසක් හඳුනා ගන්නට ලැබුණු අතර මගේ හොඳම යහළුවන් දෙදෙනා වුණේ මගේම බැච් එකේ චන්ද්‍රලාල් සහ මා එන්නට දින කීපයකට පෙර ස්ථාන මාරු ලබා පැමිණ සිටි ඉන්ද්‍රා ය.  ඒ දෙදෙනාම දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයෙන් පැමිණ සිටි අතර ලාල් දිනපතා ගාල්ලේ සිට රාජකාරියට පැමිණි අතර ඉන්ද්‍රා කැලණිය පැත්තේ නිවසක නවාතැන් ගෙන වැඩට ආවාය.  දීපිකා නිතරම පාහේ කාර්යාලයට ටෙලිපෝන් කර කාර්යාලයේ විස්තර කතාකළත් ජීප් නම් වැඩිපුර කතා කළේ නැත.

මේ අතර සිදුවූ තවත් වෙනස්කම් කිහිපයක් නම් එතෙක් කල් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ තට්ටු කිහිපයක පවත්වාගෙන ගිය සෞඛ්‍ය අමාත්‍යාංශය එතැනින් ඉවත්කර ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයට අයත් ගොඩනැගිල්ලට ගෙන ඒමයි.  සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධාන කාර්යාලයේ අය ඒ ගොඩනැගිල්ලට සුවසිරිපාය යනුවෙන් නම් තබා පදිංචි වූ අතර අවතැන්වූ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය වැලිසර ළය රෝහලේ ගොඩනැගිල්ලක ස්ථානගත කරන ලදී.  මේ අතර මට කණින් කොනින් අහන්නට ලැබුණු ආරංචියක් වුණේ අබේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ලැබ් එකේ වැඩකළ තරුණියක් වූ ශ්‍රියානි සමග කිට්ටු ආශ්‍රයක් පවත්වාගෙන යන බවයි.  දවසක් මම මේ කතාව ඇත්තද කියා දීපිකාගෙන් ඇසුවිට ඇය කිව්වේ කතාව ඇත්තය කියාය.  ශ්‍රියානි ත් ගම්පහ සිට වැඩට එන තරුණියක් වූ අතර අබේ ඇයත් එක්ක හැමදාම උදේ හවස යන එන බව දීපිකා වැඩිදුරටත් කීවාය.  නුගේගොඩ සිට උදේ හවස වැලිසරට යන්නට අමාරුයි කියා කන්කෙඳිරි ගාමින් සිටිය දීපිකාට උසස්වීමක් සමග කොළඹ කාර්යාලයකට ස්ථාන මාරුවක් ලැබී ගිය නිසා ඊට පසු අබේගේ අලුත් ප්‍රේම කතාවේ විස්තර දැනගන්නට ක්‍රමයක් නැතිවිය.

දවසක් දා වැඩ ඇරී ගෙදර එන ගමන් මම රාගම දුම්රිය පොළෙන් බැස්සේ රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබන මගේ මිත්‍රයෙක් බලන්නටය.  රෝහලට ගොස් මිත්‍රයාත් බලා ආපසු ගෙදර එන්නට මම රාගම දුම්රිය පොළට ආවෙමි.  ඈතදීම මම දැක්කේ දුම්රිය පොළේ බංකුවක ඉඳගෙන සිටි තරුණ යුවළක් සිනහසෙමින් කුටු කුටු ගා කතා කරමින් ප්‍රේම සාගරයේ ගිලී ඉන්නා අන්දමය.   ළං වනවිට ඒ ඉන්නේ අබේත් ශ්‍රියානිත් බව හඳුනා ගත්තෙමි.  මට එක්වරම මතක් වුණේ කෙල්ලන් දෙතුන් දෙනෙක් එක්ක එකවර හාදකම් පවත්වනවාය කියා ඔරොප්පු වූ අබේ මට මදි පුංචිකම් කළ අන්දමයි.  මුට පේන්නටම ඒ ඉස්සරහින් යන්නට හිතාගෙන එද්දී මා එනු දුටු අබේ දෑස් පියාගෙන නිදි බව පෙන්වන්නට වුණේ කර කියාගන්නට කිසිවක් නැතිවූ තැනය.  ඌ අසරණ වූ ආකාරය දැක දුක හිතුණු මම ශ්‍රියාණිත් එක්ක සිනහවී එතැනින් ඉස්සරහට ගියෙමි.  මේ ගැන මට කියන්නට තියෙන්නේ ඔය බොරු සුචරිතවාදීන් සියල්ලම එක වගේ බවය.  තමන්ට අවස්ථාවක් ලද සැණින් සුචරිතවාදය පැත්තකට දමා තහනම් ගහේ ගෙඩි රස විඳිමින් චව් චව් ගගා වළඳති.  අබයාත් ඉන් එකෙකි.  මගේ නම් බොරු උපාසක කම් හෝ ව්‍යාජ සුචරිතවාදයක් කවදත් තිබුණේ නැති අතර ඒ කාලයේ මා අනුගමනය කළේ 'පුදන කැවුම් කාපල්ලා' යන න්‍යාය බව කටපුරාම කියා සිටින්නට කැමතිය.  අබේගේ අලුත් පෙම් කතාව ආරංචි වූ උගේ බිරිඳ ගම්පහට ඇවිත් රැක සිට ජෝඩුවම අල්ලාගෙන කුඩයක් කැඩෙන්නටම දරුණු ප්‍රහාරයක් එල්ල කළ බව මට පසුව ආරංචි විය.

මේ කාලය වන විට ජීප් හිතාගන්නටත් බැරි විදියට බොහෝ නිශ්ශබ්දව සිටි අතර මම කතාකළොත් මිසක  ඇගෙන් දුරකථන ඇමතුමක් හෝ මට ලැබුණේ නැත.  මෙය මට හිතාගන්නටවත් බැරි තත්ත්වයක් වුයේ ඇය අඬපු දොඩපු හා මට තර්ජනය කළ ආකාරයට මෙසේ නිහඬව සිටීම එකිනෙක ගලපාගන්නට නොහැකිවූ නිසාය.   දීපිකාත් මමත් බොරැල්ලේ දී මුණගැහුණු දවසක මම ඇයගෙන් මේ වෙනස ගැන ඇසුවෙමි.

" ඇයි දවසක් දා මම ඔයාට කිව්වා මතක නැද්ද?"  දීපිකා කියන්නේ සිනහව මැදිනි.  

" ජීප් වැඩිකල් ඔයාගෙ පස්සෙන් එන්නෙ නෑ කියල මම කිව්වෙ, දැන් ඒ කතාව හරිගියා නේද?"

" කිව්වා නං තමයි, ඒත් මට හිතාගන්න බැරි ඒ ඇයි කියල."

" ජීප් ආයෙමත් ඔයාට කතා කරාවි කියල මම හිතන්නෙ නෑ.  ඔයා මේක හිතේ තියාගෙන ඉන්න කාටවත් කියන්න යන්න එපා.  එයාට ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනත්.  ඉතින් දැන් ඒ මනුස්සය ජීප්ව හම්බවෙන්න එනව යනවා.  ඒකයි ජීප් සද්ද නැත්තෙ, ඔයා ආයෙ ජීප් ගැන හෙව්වෙ බැලුවෙ නැතුවට කමක් නෑ, දැන් ඒක කරන්න කෙනෙක් ඉන්නවනෙ."

දීපිකා එක දිගටම කියාගෙන ගියාය.  මම නිහඬවම අසා සිටියෙමි.

" මොකෝ සද්ද නැත්තේ, දුක හිතුනද?"  දීපිකා අසයි.

" නෑ දුකක් නම් නෑ සතුටුයි."

" එහෙම තමයි, අපි අතේ තියෙනකොට අගයක් නැතිවුණාට ඒ දේම නැතිවුණාම ඒකෙ අගේ වැඩියෙන් දැනෙනවා." 

දීපිකාගේ කතාව ඇත්තය.  කොච්චර රණ්ඩු වුණත් ඇඬුවත් ජීප් මා ගැන නිතරම සොයා බැලුවාය.  ඒ සොයා බැලීම බොහෝ විට මට හිරිහැරයක් වන තරමට විය.  එක අවුරුද්දක නත්තල් සහ අලුත් අවුරුදු සමයේ මට පාට් ටයිම් ජොබ් එකක් ලබාදී අමතර මුදලක් සොයාගන්නට මග පාදාදුන්නේ ජීප්ය.  ඒ හැම්පර් පැක් කරන සහ ඩිලිවරි කරන රස්සාවකි.   මම ඒ ජොබ් එක කළේ රාත්‍රී කාලයේ සහ සති අන්ත වලය.  හැම්පර් රස්සාවෙන් මට ලැබුණු මුදලින් අලුත් ඔරලෝසුවක් ගන්නැ'යි ජීප් කීවාය.  මම එදාම සලාකා එකෙන් සිටිසන් වර්ගයේ හොඳ අත් ඔරලෝසුවක් මිලදී ගත්තෙමි.  ඒ අවුරුද්දේ අන්තිම දවසේ හෙවත් දෙසැම්බර් තිස් එක් වැනිදාවක බව මට හොඳට මතකය.  ඒ අත් ඔරලෝසුව කිසි කරදරයක් නැතිව අවුරුදු හතක් පමණ මම පාවිච්චි කළෙමි.  ඊට පස්සේ මල්ලී මට අලුත් ඔරලෝසුවක් දුන් පසු දවසක් මම අලුත් ඔරලෝසුව බැඳගෙන පරණ එක ලාච්චුවේ දමා ගමනක් ගිය විට එකෙක් ඔරලෝසුව උස්සාගෙන ගිහින් තිබුණි.  හොරෙන් ගත්තේ අලුත් එකක් ගන්නට ඌට සල්ලි නැතිකම නිසා නොවැ කියා මම සද්ද නැතිව හිටියෙමි.  හැබැයි ඌට ඒ ඔරලෝසුව සතියක් වත් පාවිච්චි කරන්නට නොලැබුණේ ගුවන් යානා අනතුරකින් ඌ දැවී අළුවී නිවන් ගිය නිසාය෴

Sunday, August 19, 2018

ඩැනිස් ගේ සොමිය, සුනාමිය, පප්පාට වූ අකරතැබ්බය සහ අවසානය.

                                                 Photo : Google Images.
ඩැනිස් ගේ සොමිය 3
ඩැනිස් ගේ සොමිය 2
ඩැනිස් ගේ සොමිය 1

අපට ඩැනිස් ගේ සොමිය අවසානයක් කරන්නට බැරිවුණේ වෙන වෙන කතා ලියන්නට සිදුවීම නිසාය.  මම කලින් කතාවේ කිව්වත් වගේම ඩැනිස් ගේ මල්ලිගෙ දුවගේ මංගල්ලයට ගිය වෙලේ ඩැනිස් ගේ නෝනා මහත්තයා හෙවත් අක්කාත් දරුවනුත් මුණ ගැසිණි.  ඒ මුණ ගැසීම සිදුවුණේද කාලාන්තරයකට පසුවය.  අපි කට්ටියම එකතුවී ඒ දවස්වල ඩැනිස් එක්ක කරපු කියපු දේවල් මතක් කරමින් ඇති වෙන්නට සිනාසුනෙමු.

මඟුල් ගෙදරට අක්කාත් දරුවන් තුන් දෙනෙකුත් ඇවිත් සිටි අතර බාල දුව හෙවත්  එකල අපේ කුඩා සුරතලිය වූ මනෝ විවාහවී විදේශයක ජීවත් වන නිසා දකින්නට සිටියේ නැත.  බාලයා ඇවිත් නොහිටියේ රස්සාවේ ඉන්ටර්විව් එකක් නිසා කාර්යබහුල වී ඇති බැවින් යැයි කිව්වේ ලොකු දුවය.  මනෝ වැඩිවිය පැමිණුනේ ද අපි ඩැනිස් ගේ ගෙදර හිටපු දවසක රාත්‍රියේය.  " මගෙ කෙල්ලගෙ මඟුලට උඹල ඉන්නම ඕනෑ" යැයි එවේලේම ඩැනිස් නිවේදනය කර සිටියේ " යන එකෙක් එක්කවත් මීට පස්සෙ මගෙ කිසිම සම්බන්ධයක් නෑ" කියා තර්ජනයක් ද කරමිනි.  ඒ නිසා අකමැත්තෙන් වුණත් වැඩිපුර දවස් තුනක් කළුවාමෝදර නවතින්නට අපට සිදුවිය.

දවස් තුනක් ඉන්නට වුණේ සුබ නැකත යෙදී තිබුණේ දවස් තුනකට පසුව වීම නිසාය.  ඒ දවස් තුනේමත් හැම රෑකම ඩැනිස් මඟුලට පෙර මඟුල් කෑවේ අපිත් එක්කය.  බීගෙන වෙරිවන ඩැනිස් කාත් එක්ක හෝ කොක්කක් ඇදගෙන රෑට අපිව ගෙදරින් පිටමං කර පහුවදා උදේම ආපහු යාළුවෙයි.  අද ඩැනිස් ජීවතුන් අතර නැති බව මෙතෙක් මා ලියු දේවලින් ඔබ වටහාගෙන ඇතැයි සිතමි.  ඊළඟට ලියන්නට ඇත්තේ ඔහුගේ අවසානය ගැන කතාවයි.  මේ හරිය මට අත්දකින්නට නොලැබුණේ ඒ දිනවල මා විදේශගතවී සිටි බැවිනි.  අක්කාගෙන් හා ඩැනිස්ගේ මල්ලිගෙන් මා ඉතිරි හරිය පසුව අසා දැනගතිමි.

2004 දෙසැම්බර් වල සුනාමිය එන්නට කළින් පෙබරවාරියේදී ඩැනිස් යන්නට ගියේ හෘදයාබාධයක් හේතුවෙනි.  ඊට ටික කලකට පසුව ආ සුනාමිය ඩැනිස්ගේ ගෙදරත් අපි ඉතා ඇලුම් කළ ගෙස්ට් හවුසියත් ඒ ලඟින්ම ඩැනිස් සාදා තිබු කඩ පේළියත් බිලිගත්තේ ගෙදර අයට ඇඳි වත පමණක් ඉතුරු කරමිනි.  කොටින්ම ගෙදර කට්ටියත් බේරී තිබුණේ නුලෙන් කිව්වොත් නිවැරදිය.

ඩැනිස් මුදට කිට්ටුවෙන් අලුත් ගෙයක් හදද්දී අක්කාගේ මාමා කෙනෙක් අනාවැකියක් කියා ඇත.  මුහුදේ හැසිරීම ගැන අත් පොතක් බඳු පළපුරුදු තන්ඩලේ කෙනෙක් වන මාමා එදා මුහුදේ මැද ඇති ගලක් පෙන්වා කියා ඇත්තේ ඒ ගලට උඩින් වතුර දාපු දිනෙක මේ අලුතෙන් හදන ගෙටත් වතුර දාන බවයි.   ගලට උඩින් වතුර දානවා දුටුවොත් මොහොතක් වත් ගෙයි නොසිට පිටවී යන්නැයි සුනාමියක් ගැන හීනෙකින්වත් නොසිතු කාලයක මාමා නිවැරදිවම කියා ඇත.  ගෙදර හිටපු අය බේරුණේ ඒ අනාවැකිය පිළිපදිමින් ගෙදරින් හැකි ඉක්මනින් පිටවී ගිය නිසාය.

ඩැනිස් ට හෘදයාබාධය හැදුණේ අම්මාගේ මරණය ගෙයි තිබියදීය.  අම්මාගේ මිනිය ගෙදරට ගෙනැත් සාලයේ තැන්පත් කර පෙට්ටිය ඇරිය විට ඩැනිස් දැක්කේ පෙට්ටිය මිනියට වඩා අඟල් හයක් පමණ දිගින් වැඩි බවය.  වලියක් ඇදගන්නට ඔහුට ඒ හොඳටම ප්‍රමාණවත්ය.  මල් ශාලාවේ එකා මොන මොන දේවල් කිව්වත් වලියේ අවසානය වුණේ ඩැනිස් මල් ශාලාවේ අයිතිකාරයාට මිනියත් අරගෙන ආපහු යන්නටැ යි කියා ගුටි බැට දුන් පසුවය.  මළගෙදර දැම්ම වලියෙන් පසු ඩැනිස් ගෙදර ගියේය.  කලින් ඉඳන් ටික ටික ඇතිවී තිබුණු පපුවේ වේදනාව එදා තදින් දැනුණු නිසා අක්කාට ඒ ගැන කියූ ඩැනිස් ඇඳට ගියේය.  කලබල වුනු අක්කා ගෙදර අයටත් කතාකොට ඩැනිස්ව රෝහල්ගත කළාය.  රෝහලේ දවසක් ගතකළ ඩැනිස්ව පසුවදා ඩිස්චාජ් කරන ලදී.  දෙවෙනි ඇටෑක් එක ආවේ ගෙදර අයත් එක්ක රෝහලේ සිට ආපහු එන්න ලෑස්ති වෙමින් සිටියදීය.  එයින් ඔහුට ගැලවීමක් නොවූ අතර ගෙදර ගෙනාවේ ඩැනිස්ගේ නිසල දේහයයි.

ඩැනිස්ගේ හොඳම යාලුවා වූ පප්පා ඒ වන විටත් මෙලොව හැර ගොස් සිටි බව මට කලින් කියන්නට අමතක විය.  පප්පාගේත් ඩැනිස්ගේත් තවත් කතාවක් කියා ඩැනිස්ගේ සොමිය අවසාන කරන්නට කැමැත්තෙමි.

ගෙස්ට් හවුස් එක හදද්දී පප්පාත් ඩැනිසුත් අතර කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිවිය.  පප්පා ඉදිරිපත් කළ කොන්දේසිය වුයේ ලංකාවේ ගතකරන කාලය තුළ ගෙස්ට් හවුසියේ තනි සම්බුද්දිය ඔහුට ලැබිය යුතු බවය.  ඩැනිස් ඒ කොන්දේසියට එකඟ විය.  ඩැනිස්ගේ කොන්දේසිය වුයේ ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් ගෙනෙන්නට තහනම් බවය.  නොම්බර එකේ සබ්ජෙක්ට් කාරයෙක් වූ පප්පාට අකැමැත්තෙන් නමුත් එයට එකඟ වන්නට සිදුවිය.   වැදගත් විදියට ගමේ ජීවත් වන තමන්ට ලොකු මහත් වුනු දරුවන්ද සිටින නිසා එවැනි වැඩ තමන්ගේ තැන සිදුවීම තමන්ගේ නමට කැළලක් බව ඩැනිස් පප්පාට පැහැදිලි කර දුන්නේය.  සුරා සුදු ආදී හැම දුශ්චරිතයකම යෙදුනද ඩැනිස් සබ්ජෙක්ට් කාරයෙක් නොවූ අතර කොටු පැනීම ඔහුට අරහං විය.

කොන්දේසිය කෙසේ වුවද පප්පා තමන්ගේ පුරුද්ද අතහැරියේ නැත.  ඔහු ඩැනිස්ට හොරෙන් ගෙස්ට් හවුසියට සබ්ජෙක්ට් උස්සා ගෙන ඇවිත් සුක්ෂ්මව පිටත් කර හැරියේය.  දවල්ට කෑමෙන් පසු පැයක් දෙකක් නිදාගැනීම ඩැනිස්ගේ සිරිතයි.  පප්පා සබ්ජෙක්ට් උස්සා ගෙන එන්නේ ඒ වෙලාවටය.  මෙහෙම කරගෙන ගිය පප්පාගේ  හැංගිමුත්තන් සෙල්ලම දවසක් වැරදුණේය.  එදා පප්පා සබ්ජෙක්ට් එකක් උස්සාගෙන ගෙස්ට් හවුස් එකට ආවේ ඩැනිස් නැගිටින්නට පෙර වැඩේ අවසන් කර කෙල්ලව පිටත් කරන්නට හිතාගෙනය.  ඉස්සරහ දොරෙන් ගෙට ගත්තොත් ඩැනිස්ලාගේ ගෙදරට පෙනෙන නිසා සබ්ජෙක්ට් එක වැට ළඟ නවත්වා පප්පා ගෙස්ට් හවුස් එකට ආවේ පස්සා දොර හැර සබ්ජෙක්ට් එකව ගෙට ගන්නටය.

පප්පාගේ කරුමෙටදෝ එදා ඩැනිස් දවල් නින්ද නිදාගෙන නොසිටියේය.  එදා දවල් ගමේ මඟුල් ගෙදරකට සහභාගී වී හොඳට අනුමත වූ ඩැනිස් ආපහු ගෙවල් පාරේ වාහනය පදවාගෙන එද්දී දැක්කේ ගෙස්ට් හවුස් එකේ වැට ළඟ හොරගල් අහුලමින් ඉන්න කෙල්ලවය.  වහාම වාහනය නවතා ඔහු කෙල්ලගෙන් ප්‍රශ්න කරන්නට විය.  කෙල්ලට කියන්න දෙයක් නැති තැන ඩැනිස්ට යකා නැග්ගේය.  තිත්ත කුණුහරුපයෙන් බනිමින් වැටෙන් පොල්ලක් කඩා ගත් ඩැනිස් කෙල්ලට ආගිය අතේ නෙලන්නට වූ විට මෙලෝ සිහියක් නැතුව විලාප දෙමින් දිවගිය කෙල්ල ළඟ ගේකට රිංගා හැංගුණේ ඩැනිස්ගේ ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කෙල්ල බේරා ගන්නට ආ පප්පාටද ඩැනිස්ගෙන් පිට හරහට පොලු ප්‍රහාර  කීපයක්ම එල්ල විය෴

Wednesday, August 1, 2018

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 - එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..







අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව පළමුවෙන්ම හමුවූ දවසය.  ඒ අසූ ගණන්වල අග භාගයේය.  එකල එස්.එච්.සරත් චිත්‍ර ශිල්පියෙක් වශයෙන්  ඉතා ප්‍රසිද්ධ වී සිටි අතර ඔහුගේ 'රබර් ගස' නම් චිත්‍රය රුපියල් ලක්ෂයකට විකිනුණු කතාව අපි අසා සිටියේ විමතියෙනි.  ඒ මන්ද යත් හැත්තෑ ගණන්වල චිත්‍රයක් එපමණ මුදලකට අලෙවිවීම ප්‍රවෘත්තියක් ම වූ බැවිනි.  පසුව අපි ඔය ගැන කතාවෙද්දී එකෙක් කීවේ එය සරත්ගේම සිරිකිස් වැඩක් කියා වුවත් එහි ඇත්ත නැත්ත මම නොදනිමි.  කොහොම වුණත් සරත් අපට හමුවන්නට හේතු පාදක වූ කාරණය වුණේ බෙනට් ගේ පළමු ටෙලි නාට්‍යයයි.  ඒ ටෙලියේ කලා අධ්‍යක්ෂක හැටියට බෙනට් එස්.එච්.සරත් ව තෝරාගෙන තිබුණි.

ටෙලිය රූගත කරන්නට තෝරාගෙන තිබුණේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර පිහිටා ඇති අකුරළ නම් සුන්දර ගම්මානයේය.  කතාව සහ තිර රචනය නිමල් ගමගේ ගෙන් වූ අතර ඔහුද ඒ පළාතේ කෙනෙක් බැවින් කතාව ලියා තිබුණේ අකුරළ ගම හිතේ මවා ගනිමිනි.  කතාව ටෙලියකට නගන්නට බෙනට් තීරණය කළ පසු අපි කට්ටියක් බෙනට් එක්ක අකුරළට ගොස් ලොකේෂන් බලා ආපසු ආවේ රූගත කරන්නට අවශ්‍ය පහසුකම් ද සපයා ගෙනය.  කාලයක් සංචාරක කර්මාන්තය සරුවටම කෙරුණු අකුරළ, යුද්ධය නිසා සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණු එකල පාළුවට ගිය ගමක් විය.  සංචාරක කර්මාන්තය ලෙල්ලටම බැස තිබීම හේතුවෙන් එහි තිබුණු හෝටල් ද ගෙස්ට් හවුස් ද පාළුවට ගොස් තිබුණි.  සංචාරක අහේනිය තරු හෝටලයේ සිට පාරේ තැඹිලි කපන මනුස්සයා දක්වා ම අසරණ කර තිබු අතර ගයිඩ් වැඩවලින් එදාවේල සොයාගත් තරුණයින් නන්නත්තාර කරදමා තිබුණි. 

සංචාරක පැමිණීම් ඉතා ඉහළ අගයක් ගෙන තිබු කාලයේ තැන තැන ලෑලි වලින් ඉදිව තිබු තාවකාලික නවාතැන් පොළවල් ද කඩද දිරායමින් පැවතුණි.  සංචාරකයින් නොමැතිවීම අපට අහම්බ වාසියක් වුණේ පාළුවට ගිය සංචාරක ස්ථාන සියල්ලම පාහේ ටෙලියේ දර්ශන තල බවට පත්කරගන්නට ලැබීමය.  ඊට අමතරව අත්‍යාවශයම දෙයවූ නවතින්නට තැනක් ද ඉතා අඩු මිළකට වෙන්කර ගන්නට ද හැකිවිය.  එය ඒ කාලයේ වැඩ නැතිව තිබුණු කුඩා හෝටලයකි.  කාමර පහකින් යුත් එම නවාතැනේ නළු නිළියන්ට ද නිෂ්පාදන කණ්ඩායමට ද කාර්මික ශිල්පීන්ට ද නැවතී සිටින්නට ඉඩ තිබුණි.  නවාතැන පිහිටා තිබුණේ මුහුද අයිනේ වූ අතර ඉදිරිපිටින් හිරිගල් වැටියකින් වටවී තිබු නොගැඹුරු මුහුද නාන්නටද පීනන්නටද කදිම ස්ථානයක් විය.

මේ වැඩ කටයුතුවලට එවකට ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වූ නන්දිමිත්ත ද සොයිසා මහතාගේ සහයෝගය ද ලැබුණේ ඔහු නිමල් ගමගේ ගේ හිතවතෙක් වූ නිසාය.  නන්දිමිත්ත ද සොයිසා ගේ නිවස පිහිටියේ අප නවාතැන් ගත් ගෙස්ට් හවුසියට පාරෙන් එහා පැත්තේ වූ අතර අප ලොකේෂන් බලන්නට හා වෙනත් වැඩවලට විටින් විට අකුරළ ගිය විට අපට කෑම ලැබුණේ ද ඔහුගේ ගෙදරිනි.  නන්දිමිත්ත ද සොයිසා මහතා නිතරම පාහේ ගෙදර නොසිටි අතර ඔහුගේ බාල සොහොයුරෙකු වූ කුමාර ද සොයිසා අපට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට උනන්දු වුණේ සිය සොහොයුරාගේ දේශපාලන බලයද ඔහුගේ පිරිස් බලය ද යොදා ගනිමිනි.  මෙලෙස පහසුකම් සපයා ගැනීමෙන් පසු රූපගත කිරීම් සඳහා යන දිනය ලං ලංව පැමිණියේය.  සියලු රූගත කිරීම් සති දෙකක් තුළ අවසන් කරන්නට නියමිත වූ අතර ඒ සති දෙක තුළ සියලුම කලා ශිල්පීන්,  කාර්මික ශිල්පීන් හා නිෂ්පාදන කණ්ඩායම  අකුරළ නැවතී සිටිය යුතු විය.

මට තිබුණු ප්‍රශ්නය වුණේ සති දෙකක් කාර්යාලයෙන් නිවාඩු ගැනීමයි.  අපේ නිවාඩු විෂයය භාරව සිටියේ හික්කඩුවේ වවුලගල කෙල්ලක් වූ අතර ඇය මා සමග හිතවත්ය.  ඇය මට කීවේ සති දෙකක් නිවාඩු අනුමත කරගෙන යන්නට නොහැකි නිසා අසනීප බව දන්වා ටෙලිග්‍රෑම් එකක් එවන ලෙසත් ආපසු කාර්යාලයට එන දවසට වෛද්‍ය සහතිකයක් අරගෙන එන ලෙසත්ය.  මම ඇගේ උපදෙස් අකුරටම පිළිපැද්ද අතර අන්තිමේදී  නිවාඩු ටිකත් ඉතිරි කරදෙන්නට ඇය කටයුතු කළාය.

අකුරළ යන්නට නියමිතව තිබු දිනයේ අපි උදෑසනින් ගමන පටන් ගත්තත් ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ තැනින් තැන නවතා කට්ටිය එකතු කරගෙන ෆයින් විෂන් එකෙන් කැමරා උපකරණ හා කාර්මික ශිල්පීන් ද පටවාගෙන වාහන තුනකින් අකුරළ නවාතැන ට යනවිට සවස්වී තිබිණ.  ෆයින් විෂන් එකෙන් බඩු ගන්නට වුණේ එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබූ නිසාය.  නිළියන් හතර දෙනෙක් හා නළුවන් තුන් දෙනෙක් ආටිස් ලා වූ අතර වේෂ නිරුපණය කළේ ජේ. සුරනිමල ය.  කලා අධ්‍යක්ෂණය මා කලින් සඳහන් කළාසේ එස්.එච්. සරත් ට භාරව තිබු අතර ඔහු පැමිණ සිටියේ සිය සහයකයා වූ අතුල පීරිස් සමගය.  අතුල පීරිස් ගුරුවරයෙකි.  ගාල්ල කොටුවේ ලේන් බාන් වීදියේ පදිංචිකරුවකු වූ අතුල එවකට රාජ්‍ය නාට්‍ය සම්මාන ලද වේදිකා නාට්‍යයක් වූ 'සුභ සරණගත' නාට්‍යයේ නිෂ්පාදකයා විය.  කැමරාව මෙහෙයවීම කරන ලද්දේ පරාක්‍රම සිල්වා විසිනි.  ඔහු 'බිත්ති හතර' චිත්‍රපටය කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේය.  සුගතපාල ද සිල්වා ලියු ඉතාම අපූරු පොතක් වන බිත්ති හතර පොත මා කියවා ඇතත් චිත්‍රපටය මේ දක්වා බලන්නට නොලැබිණි. 

දයා සුගතදාස ටෙලියේ නිෂ්පාදන කළමනාකරණය භාරව කටයුතු කළ අතර සහාය කැමරා ශිල්පියා වූ  චන්න දේශප්‍රිය කාර්මික ශිල්පීන් ගේ කණ්ඩායමද  භාරව සිටියේය.  දේශා සහ රුවන් බෙනට්ගේ අධ්‍යක්ෂණ සහායට සිටියහ.  ටෙලියේ සහායක චරිත හෙවත් පොඩි පොඩි චරිත රඟපාන්නට ද කීප දෙනෙක් පැමිණ සිටි අතර ගියදාට පසුවදා උදේම රූපගත කිරීම් ආරම්භ වුයේ ප්‍රධාන නිළිය මුහුදේ ගහගෙන යනවිට බේරා ගන්නා දර්ශනයක් රූපගත කිරීමෙනි.  නිළියන් කීප දෙනෙකුගේ නෝක්කාඩුව ඇරඹුණේ එදා රාත්‍රියේ සිටය.  පසුවදාද ඔවුන්ගේ දර්ශන රූගත නෙකෙරෙන බව දැනගන්නට ලැබුණු විට ඔවුන් නොසන්සුන් වුණේ කොළඹ සියලුම වැඩ දමා මෙහි ඇවිත් නිකං කාමරයට වී ඉන්නට බැරිය කියාය.

දේශා, රුවන්, නිහාල් සහ මම එක කාමරයක නවාතැන් ගෙන සිටි අතර දවසේ වැඩ අවසන්වූ පසු අම්බලන්ගොඩින් හෝ හික්කඩුවෙන් බෝතලයක් දෙකක් කාට හරි කියා කාමරයට ගෙන්වා ගැනීම සිරිතක් වී තිබිණි.  බයිට් වලට අලුත් මාළු වුවමනා තරම් වැල්ලෙන් ලාබෙට ගතහැකිය.  මාළුවෙක් දෙන්නෙක් අරගෙන කුස්සියට දුන් විට රසවත් බයිට් එකක් කාමරයටම ලැබේ. බෝතලය හිස් කරන්න උදව් වෙන්නට සුරනිමල ද අපේ කාමරයට එයි.  සුරනිමල පස්සෙන්ම කාමරයට එන්නේ එලන් සිල්වෙස්ටර් ය.  ඇයට අපි එලන් ඇන්ටි කියා ඇමතූ අතර දෙකක් වැදුණු පසු එලා යනුවෙන් නම කෙටිවෙයි.  දෙකක් දාගත් එලා බෙනට්ව පතුරු ගහන්නට ගනී.

" ඔක්කොම වැඩ අතහැරල මෙහෙ ආවෙ දවසකින් දෙකකින් යන්න පුළුවන් කියල බෙනට් කියපු හින්දනෙ.  බලන්නකො තවම එක ෂොට් එකක්වත් ගත්තෙ නෑ, ඔහේ කාමරේට වෙලා ඉන්නවා.  බෙනට් ට බම්බු ගහගන්න කියල මම හෙටම යන්න යනවා." එලා බරසාර හඬින් කියයි.

සුරනිමල ඇගේ කතාවට හුමිටි තබන අතර තවත් එකක් දාගන්නා එලා හඬන්නට පටන් ගනියි.

" මගෙ පුතා, මගෙ එකම පුතා, තනියෙන් දාල ආවේ.  මොන හිතකින් මම මෙහෙ ඉන්නද! එනව පුතේ මම හෙටම එනවා."

එලා සියල්ලම රඟපා පෙන්වයි.  කාමරය එකම විනෝද සාගරයකි.  අපි බඩවල් අල්ලාගෙන සිනාසෙමු.

" උඹල අහිංසක මට හිනාවෙනවා නේද කොල්ලනේ? උඹලට දරු දුක තේරෙන්නෙ නෑ! මගෙ එකම පුතා, අයියෝ.....මම කොහොම මේ දුක ඉවසන්නද?

රෑට කෑම සුදානම් වෙන තුරුම අපි එලාගේ රැඟුම් රස විඳින්නෙමු.  අපි හිනාවුණාට ඇතිවී ඇති තත්ත්වය බරපතලය.  බෙනට්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවෙන්නට තරම් විරෝධය ඉහළ ගොස් ඇත. බෙනට් සියල්ලන්ම එකවර කැඳවා ගෙනැවිත් තිබුණේ ඔහුගේ පහසුවට නමුත් කරන්නට තිබුණේ රූගත කිරීම් සිදුවන ආකාරයට කලාකරුවන් රැගෙන ඒමය.  කෙසේ වුවද දැන් කරන්නට දෙයක් නැත.  පටන් ගත්තු වැඩේ ඉවරයක් කළ යුතුය. 

බෙනට් ට විරුද්ධව කියන දේවල් පහුවදා එළි වන විට ඔහුගේ කණට යයි.  තත්ත්වය කළමනාකරණය කර ගන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති බව වටහාගන්නා ඔහු උදේම යක්ෂාවේෂ වේ.  කවුරුත් කතාබහක් නොකර තම තමන්ගේ වැඩක් කරති.  කෙසේ වුවද කිසි කෙනෙක් යන්නට ගියේ නැති නිසා රූපගත කිරීම් වලට කරදරයක් වුණේ නැත.  වැඩේ පොඩ්ඩක් වැරදුනේ ටෙලිනාට්‍ය කරණයට බෙනට් ආධුනිකයෙක් වීම නිසාය.  ඔහුගේ සහායකයින් වූ දේශා ද රුවන් ද පමණක් නොවැ නිෂ්පාදන කළමනාකරු වූ දයා සුගතදාස ද වැඩේට ආධුනිකයන්ය.  තමන්ට වැරදුණු බව වටහාගත් බෙනට් පසුකාලීනව කළ ටෙලිනාට්‍ය වලදී එම වරද සිදු නොකරන්නට පරිස්සම් විය.  

අපි නවාතැන් ගෙන හිටිය හෝටලය තිබුණේ මුහුද අයිනේ ය කියා මම කලින් කීවෙමි.  ඊට එහායින් ගාලු පාරය.  ගාලු පාරට එහායින් ගම පටන්ගත් අතර දුම්රිය පාර ඇදී ගියේ ගම මැදිනි.  අපි රූගත කිරීමට ප්‍රයෝජනයට ගත් දර්ශන තල පිහිටා තිබුණේ දුම්රිය මාර්ගයටද එහායිනි.  දුම්රිය මාර්ගය පැන්න විට හමුවන පහත් භුමිය දිය සීරාවෙන් යුක්ත එකක් වූ අතර අත්හැර දමා තිබු පාළු හිරිගල් වලවල් වල වතුර පිරී තිබිණි.  වලවල් වටේ බොරුපන් පඳුරු වැවී තිබු අතර කුඩා කහ පැහැති මල් සහිත ජලජ ශාක දියේ පාවෙමින් අලංකාර දර්ශනයක් මැවීය.  ලෑලි වලින් සාදා දිරාපත් වෙමින් තිබු කාමර සහ කඩ තිබුණේ මෙම අලංකාර පරිසරයේය.  මේ බිම් කොටසට අපි බොහෝ සේ ප්‍රිය කළ නිසා විවේකයෙන් සිටි හැම වෙලාවේම එම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ගතකරන්නට පුරුදුව සිටියෙමු. 

විහිළු කතා කියමින් එක එකාට කාඩ් ගසමින් හැම තිස්සේම විනෝදයෙන් සිටි කාර්මික ශිල්පීන් කණ්ඩායම හෙවත් කෲ එක සෙට් එකට ගිහින්ද විහිළු කළහ.  මේ විහිළුවලට නිහාල් ද සම්බන්ධ විය.  නිළියෙක්ගෙන් ගවුමක් ඉල්ලා ගන්නා නිහාල් ඒකත් ඇඳගෙන පොල් ගහක් යට වාඩිවී සිටින්නේ කෲ එකත් එක්කය.  කෝච්චියක් එන සද්දෙ ඇහෙන විට නැගිට ගන්නා නිහාල් දුවන්නට ගනී.  කෲ එකේ කොල්ලන් දෙන්නෙක් නිහාල් පිටිපස්සෙන් එලවාගෙන යති.  නිහාල් දිග ගවුම පැත්තකින් උස්සාගෙන ' බුදු අම්මෝ! මාව බේරාගනියෝ' කියා විලාප තබමින් හිරිගල් වලවල් වටේ දුවද්දී කෝච්චියේ යන උන් ජනෙල් වලින් ඔලුව පමණක් නොව ඇඟද එළියට දමාගෙන සිය දෑස් ඉදිරිපිට සිදුවන මේ මහා අපරාධය දුක්මුසු දෑසින් නැරඹුවත් උන්ට කරන්නට දෙයක් නැති අතර කෝච්චිය යන්නට යයි.  නිහාල් ද කෲ එකේ කොල්ලන් ද බඩ බදාගෙන හිනාවෙවී ආපහු ඇවිත් පොල් ගහ යට වාඩිවෙන්නේ තවත් කෝච්චියක් එනතුරුය.

ආවා වෙනුවට දවසක් නැවතී සිටි කලා අධ්‍යක්ෂ එස්.එච්.සරත් පසුවදා යන්නට ගියේ කලා අධ්‍යක්ෂණය සිය සහායක අතුල පීරිස් ට පවරා දෙමිනි.  තවත් දවසක් සිටි අතුල ද නිවාඩු නෑ කියා ආපහු ගාලු ගියේ කලා අධ්‍යක්ෂණය නිහාල් ට පවරා දෙමිනි.  කෲ එකට මේ ගැන කියන්නට කතා බොහෝ විය.

" සරත් පරාවෙක් අරං ගෙදර ගියා, අතුල ගල් මාළුවෙක් අරං ගෙදර ගියා, නිහාල් උඹ දැල්ලො ටිකක් වත් අරගෙන ගෙදර පලයං."  ඔවුහු නිහාල්ට විහිළු කළහ.

ගෙදර යන්නට හදිස්සියක් නොතිබූ නිහාල් තමන්ට පැවරුණු කලා අධ්‍යක්ෂණයේ සහයට මට කතා කළ අතර අපි දෙන්නා දන්නා විදියට කලා කටයුතු ටික කර දුන්නෙමු.  ඒ දවස්වල ගමේ කොල්ලන් වැඩි දෙනෙක් අපේ කණ්ඩායමේ කාට කාට හෝ හිතවත්ව ලඟින් සිටියේ තියෙන වැඩක් කර දෙන්නට වගේම ටෙලියේ කෑල්ලකට මුහුණ ඔබා ගන්නට තිබු වුවමනාව නිසාය.  නිහාලුත් මමත් එකට වැඩ කරන්නට වුණු එක ගැනද කෲ එක කතා හදන්නට වූයේ හැම එකාටම ඇසිස්ටන් කෙනෙක් ඉන්න නිසා නිහාල් මාව ඇසිස්ටන් කමට ගත්තා කියාය.  ඔය විදියට වැඩේ යද්දී මටද ඇසිස්ටන් කෙනෙක් හමු විය.  ඌ ගමේ අහිංසක  කොල්ලෙකි.

" අන්න යකෝ, අරූටත් ඇසිස්ටන් කෙනෙක් සෙට් වෙලා." කෲ එකට තවත් බයිට් එකකි.  මම යන හැම තැනම පස්සෙන් එන කොල්ලාට උන් කිව්වේ ඇසී හෝ ඇසියා කියාය.  එක දවසක ගාල්ල කොටුවේ දර්ශනයක් රූපගත කරන්නට කණ්ඩායම උදේම ගාල්ලට යන්නට නියමිත විය.  මම ඇසියා ටද පහුවදා උදේම හෝටලයට එන්නට කීවෙමි.  ඇසියා ටිකක් වෙලා මා දෙස බලා හිඳිමින්,

" මට ගාල්ලෙ ඇඳගෙන යන්න තරම් හොඳ කමිසයක් නෑ." යි කීවේය.  මට අඳින්නට ගෙන ගොස් තිබු නිල් පාට අත් කොට කමිසයක් මම ඇසියාට දුන්නෙමි.  කමිසය අතට ගත් ඇසියා ගේ දෑස් සතුටින් දිළිසෙන්නට වූ අතර ඌ පහුවදා එළිවෙන පාන්දරම කමිසයත් ඇඳගෙන හෝටලය ඉදිරිපිට පෙනී සිටියේය.

ඒ දවස්වල අපිත් එක්කම එකට හිටි තවත් තුන් දෙනෙක් ගැන කියන්නට තිබේ.  ඒ ලාංකිකයන් නොව සංචාරකයින්ය.  මේ අය කලින් ද ලංකාවට ඇවිත් පළපුරුදුකම් ඇති අය නිසා යුද්ධය තිබුණත් රටේ බෝම්බ පිපිරුණත් ලංකාවට නෑවිදින් ඉන්නට බැරි තරමට ලංකාවට ඇලුම් කරන අයයි.  එකෙක් අඩි හතක් විතර උස මහත දැවැන්ත ඇඟපතක් තිබු ජර්මන් ජාතිකයෙක් වූ අතර ඔහු කුමාරගේ ගෙස්ට් කෙනෙකි.  කුඩා සිරුරක් තිබු කුමාර ජර්මන් ජාතිකයා ඉදිරියේ අඟුටු මිට්ටේකු මෙන් විය.  රෑ පුරා සිංදු කියමින් විනෝදයෙන් ගතකර පාන්දර නිදාගන්නා ඔහු දවල්වී නැගිට ඇවිත් මුහුදට පනී.  මුහුදේ පැය ගණනක් නාගෙන ගොඩට විත් හෝටලයෙන් ලොකු  මාළුවෙක් රෝස් කරවාගෙන බියර් බොමින් දවල්ට කයි.  වෙරළේ රූගත කිරීම් කරද්දී ඔහු අපත් සමග හිතවත් වූ අතර ටෙලියේ දර්ශනයකට ද පෙනී සිටියේය.  දර්ශනයේ ෂොට් වරදින වරදින පාර නැවත නැවතත් ගනිද්දී නොසන්සුන් වූ ඔහු 'දැන් ඇති' කියා යන්නට අවශ්‍යයි කීවේය.  ඒ ගමන බෙනට් ගිහින් ඔහුට යාප්පුවෙන් කතා කළේ තව ටික වෙලාවයි කියා ඔහුව රඳවා ගන්නටය.  ක්ෂණයකින් ඔහු බෙනට් ව බෝනික්කෙක් මෙන් උඩට ඔසවා මුහුදට විසිකළේ සිනාසෙමිනි.  ඉන්පසුව හැම රෑකම අප හමුවන්නට හෝටලයට එන ඔහු රෑ මැදියමක් වෙනතුරු අපත් සමග ගීත ගයමින් විනෝද වෙන්නට පුරුදු විය.

ඊළඟට හිටියේ වයස අවුරුදු විසි ගණනක් වූ ස්විට්සර්ලන්ත ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.  ඇගේ නම දැන් මට මතක නැති වුණත් උස මහත නිතර සිනාසෙන සුහදශීලී  සුන්දර තරුණියක් වූ ඇය අපි අකුරළට ආපු දා පටන් යන යන හැම තැනකම අපිත් එක්ක පස්සෙන් වැටී එන්නට පුරුදුව සිටියාය.  ගෝල්ඩ් ලීෆ් පැකට් දෙක තුනක් මල්ලක දාගෙන හෝටලයට එන ඇය ගංජා ඔස්තාර් කෙනෙකි.  ගංජා මිටිය සුදු මුදු ඇඟිලි තුඩින් පොඩිකර සිගරැට් දුම්කොළ ද මිශ්‍ර කරන ඇය මිටිය හුරුබුහුටියට ඔතන ආකාරය බලා ඉන්නට ලස්සනය.  බියර් බොමින් සිටි ඇයට වැඩි දවසක් යන්නට පෙර අපේ උන් ගල් බොන්නට පුරුදු කළේ අඩු මුදලට වැඩි සොමියක් ගන්නට හැකිය කියමිනි.  මිටිය ගහන්නට වැඩි කැමැත්තක් නොතිබූ අප හමුවන්නට ඉන්පසු ඇය ආවේ ගල් බෝතලයක් ද අරගෙනය.  ටික දිනකින්ම නිහාල් ඇය සමග ළෙන්ගතු කමක් ඇතිකරගත් අතර පාළු හිරිගල් වලවල් අයිනේද, වෙරළේ ගොඩට ඇද තිබු ඔරු කඳන් අස්සේද උන් දෙන්නාගේ ආදර ජවනිකා රඟ දැක්වෙන්නට විය.  රේල් පාර අයිනේ තිබු නිවෙසක උඩ තට්ටුවේ කාමරයක ඇය නැවතී සිටි අතර සංචාරකයින්ට කුලියට දෙන්නටම හදා තිබු ඒ කාමරයට පිටින් නගින්නට පඩිපෙළක් විය.

දවසක් දා නිහාල්ටත් මටත් දර්ශන තලයක රාත්‍රිය ගත කරන්නට සිදු වුණේ ඒ දර්ශන තලයට ගෙනගොස් දමා තිබු ජෙනරේටර්, ලයිට්, වයර් රෝල් ආදියේ ආරක්ෂාවටය.  රෑට කෑමත් ඔතාගෙන අපි දෙන්නා යන්නට ලෑස්ති වෙද්දී සුරනිමලත් අපි පස්සෙන් වැටුණේ තනියම ඉන්නට කම්මැලියි කියමිනි.  ටිකක් දුර යන විට දේශා ද අපේ පස්සෙන් දුවගෙන එනු දුටුවෙමු.  දර්ශන තලයේ හාන්සිවී ගෙනිච්ච බෝතල් කඩාගෙන සප්පායම් වූ අපි එය අවසන් වූ පසු ගෙනගිය කෑම කෑවෙමු.  කෑම කා අවසන්ව බලන විට දැක්කේ බොන්නට වතුර ගෙනැවිත් නැති බවය.  " උඹලා දෙන්නා ඔහොමම ඉඳිල්ලා 'යි දේශාට සහ සුරනිමල ට කී නිහාලුත් මමත් රේල් පාර දිගේ පහළට ආවේ කාගේ හෝ ගෙදරකින් බොන්නට වතුර ටිකක් ඉල්ලා ගන්නටය.

රේල් පාරේ ටිකක් දුර එන අපට එක්වරම ඇසුණේ සංගීත වාදනයකි.  කොහේද කියා විපරම් කොට බැලු කල සංගීතය ඇහෙන්නේ අර කෙල්ලගේ කාමරයෙනි.  ඩෝලයක් ද සර්පිනාවක් ද වාදනය වෙමින් තිබු අතර ගී හඬක් ද ඒ අතරින් පාවී ආවේය.  සිත් මන්මත් කරන සංගීත නාදයට උන් හිටි තැන් අමතක වූ අපි දෙන්නා රේල් පාර පැන පඩිපෙළ නැග කෙල්ලගේ කාමරයට ගියෙමු.  සර්පිනා කාරයාද ඩොල්කි කාරයාද බිම වාඩිවී ගීත කියමින් සංගීත රසයෙන් මත්ව ආවේස වුවන් සේ වාදනය කරන අතර කෙල්ල ඇඳේ සිට මිටියක් ද උරමින් දෑස් පියාගෙන ගී රස විඳිමින් සිටියාය.  ගිය වැඩේ අමතකවූ අපි දෙන්නාද  මොහොතකින් සංගීතයට හවුල් වුණෙමු.  පැයක් පමණ සංගීත රසයේ වෙළී ඉන්නාවිට දොරට තට්ටු කරන සද්දයකි.   වතුර ගේන්නට ගිය උන් දෙන්නාට මොකක් වී දැයි බලන්නට සුරනිමල ද දේශා ද කාමරයට ඇවිත්ය.  අපි දෙන්නා කොහෙ ගියාදැයි සොයාගන්නට බැරිව උන් රේල් පාරේ ඇවිදිද්දී කාමරයෙන් එන සංගීත නාදය ඇසී "මුන් දෙන්නා ෂුවර් එකටම මෙතැන ඇති යැ' යි කියා කාමරේට ආ බව කියද්දී වතුර ගෙනෙන්නට ආ බව අපටත් මතක් විය.  එදා අපි දැමු සාජ්ජය පාන්දර වෙනතුරු ඇදීගිය අතර කොයි වෙලේ නිදාගන්නට ගියාදැයි අපට මතක තිබුණේ නැත.  පහුවදා උදේ මළකඳන් සේ වැටුණු වැටුණු තැන්වල නිදාසිටි අපට ඇහැරවන ලද්දේ රූගත කරන්නට ලෑස්තියෙන් ආ අනෙක් අය විසිනි.  ' මුන් ටික ඊයෙ රෑ ටොප් එකට මුර කරල තියෙනවා' අප දුටු බෙනට් කීවේය.   සාජ්ජයේ මමත් නිහාලුත් සිංදු කියද්දී දේශා ගත්ත පිංතුරයක් නිහාල්ගේ මුහුණු පොතේ තියෙනවා මම මේ ළඟදී දුටුවෙමි.

අනික් සංචාරකයා වුයේ උස කෙට්ටු කොල්ලෙක් වූ ඔස්ට්‍රියන් ජාතිකයෙකි.  ලෝගුවක් වැනි රෙදි බැනියමක් හැඳ දිගට වැවුණු කොණ්ඩය උඩට කර බැඳගෙන භාවනානුයෝගීව මෙන් සිටි ඔහු අපේ වැඩ කටයුතු ගැන කොහෙත්ම උනන්දුවක් නොදැක්වූ අතර වැඩිපුර කාමරයෙන් පිටතට ගියේ නැත.  දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ ඔහු හැම වෙලේම කුමක් හෝ චිත්‍රයක් අඳිමින් සිටි අතර ඔහුගේ චිත්‍ර ගැන කුතුහලයක් ඇතිවූ අපි නිතරම ඔහුව හමුවන්නට කාමරයට ගොස් එක එක ප්‍රශ්න අසමින් ඔහුට කරදර කළෙමු.   නිතරම වැනිලා සුරුට්ටුවක් කටේ ගහගෙන චිත්‍ර අඳින මේ තරුණයා පුද්ගල චිත්‍ර හෙවත් පෝට්රේට් ඇඳීමේ අති දක්ෂයකු බව අපි දැනගත්තේ දයා සුගතදාස ගේ පෝට්රේට් එකක් දයා ජීවමානව ඉන්නවා මෙන් ඇඳ දුන් පසුවය.  චිත්‍රය දුටු දයා සුගතදාස ගේ සතුට නිම් හිම් නැතිවිය. ආපසු හෝටලයට පැමිණි දයා මොකක්ද වැඩකට අම්බලන්ගොඩ යන්නට සුදානම් ව සිටි ලින්ටන් සේමගේ ට වැනිලා සුරුට්ටු පෙට්ටියක් අරගෙන එන්නට කියා සල්ලි දුන්නේ සුරුට්ටු පෙට්ටිය චිත්‍ර ශිල්පියාට තෑගී දෙන්නට හිතාගෙනය.  

සුරුට්ටු පෙට්ටියත් අරගෙන ලින්ටන් ආපහු එනවිට දයා සුගතදාස කොහේදෝ ගමනක් ගොසිනි.  චිත්‍ර ශිල්පියාගේ පළහිලව්ව නොදත් ලින්ටා කණ්ඩායමේ සිටි සුරුට්ටු බොන්නෙකු වූ එල්සන් දිවිතුරගම නොහොත් එල්සන් අයියා නොහොත් එල්සා ට සුරුට්ටු පෙට්ටිය දුන්නේ සුරුට්ටු ගේන්නට කිව්වේ එල්සාට දෙන්නට යැයි සිතාගෙනය.  සුරුට්ටු පෙට්ටිය ලැබීමෙන් සතුටට පත් එල්සා එවේලේම සුරුට්ටුවක් දල්වාගෙන අදින්නට විය.  දයා සුගතදාස ආපසු එනවිට එල්සා සුරුට්ටු දෙක තුනක් ඉවර කරලාය.  දයා හමුවූ ලින්ටා සුරුට්ටු පෙට්ටියේ ඉතුරු සල්ලි දුන්නේය.

" සුරුට්ටු පෙට්ටිය කෝ?" දයා ඇසීය.

" ආ! ඒක මම එල්සන් අයියට දුන්නා." ලින්ටා කීවේය. දයාට යකා නැග්ගේය.

" ඇයි යකෝ, මම ඒක ගේන්න කිව්වෙ අර මනුස්සයට දෙන්නනෙ, මොන මඟුලකටද එල්සන් ට දුන්නෙ මගෙන් අහන්නෙ නැතුව?" දයා ගෝරනාඩු කරන්නට විය.

" ඔය කතාවක් මම දන්නවැයි? මම හිතුවෙ එල්සන් අයියට දෙන්න ගෙන්නගත්තා කියල." කලබල වූ ලින්ටා බස බස ගා කීවේය.  

" ඇයි යකෝ මොන මඟුලකටද මම එල්සන්ට සුරුට්ටු පොවන්නෙ?  තමුසෙලට වැඩක් කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්න එකැ'යි කී දයා එවේලේම කාර් එකට නැගී අම්බලන්ගොඩ ගියේ තවත් සුරුට්ටු පෙට්ටියක් ගෙනෙන්නටය.

සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා නිහඬ චරිතයක් වූ දයා සුගතදාසට කේන්ති ගියා අපි ඔය දැක්කාමය.  දයා ලින්ටාට බනිද්දී අපි හිනා නොවී කට තද කරගෙන හිටියත් දයා පිටත් වූ පසු බැණුම් අසා අප දෙසට එන ලින්ටා දුටු අපේ සිනහව බකස් ගා එළියට පැන්නේය.  මේ කතාව කෲ එකේ උන් දැනගත් පසු උන්ගෙන් නම් ලින්ටාට මෙන්ම දයාට ද බේරිල්ලක් නැතිවිය.

ලින්ටන් ව ඉන්පසු දවසක් මට හමුවුණේ අරංගල දේශලා ගේ ගෙදරදීය.  ඔහු නිෂ්පාදනය කරන ටෙලියක් දේශාට කියා කරවා ගන්නට අවශ්‍ය වූ ලින්ටන් එදා ඇවිත් සිටියේ ඒ ගැන සාකච්ඡා කරන්නටය.  උන් දෙන්නා කතා කරමින් සිටින අතර මම ලින්ටන් අත තිබූ තිර රචනය ඉල්ලාගෙන කියෙව්වෙමි.  කතාව කියවූ මට දැනුණේ කතාවේ මොකක්දෝ කියාගන්නට බැරි අසම්පූර්ණ බවකි.  මම ඒ ගැන පසුව දේශාට ද කීවෙමි.

" ස්ක්‍රිප්ට් ඔහොම තමයි බං, ෂූට් කරද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා, එතකොට හරියයි." 

දේශා එවෙලාවේ කිව්වේ එහෙමය.  සිතුවාක් මෙන්ම මෙලෝ රහක් නොතිබූ ඒ ටෙලිය පසුදිනෙක රූපවාහිනියෙන් විකාශය වනු මම බලා සිටියෙමි.  ලින්ටන් නැවතත් මට මුණගැසෙන්නේ ඊටත් අවුරුදු විස්සකට පමණ පසුව කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය.  එවිට ලින්ටා ලංකාවේ පදිංචිය අතහැර ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය.  බොහෝවිට ඔහු එන්නට ඇත්තේ සම්මාන දිනු චිත්‍රපටයක් වූ ලින්ටන් රඟපෑ 'මීහරකා' ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්නට විය යුතුය.   මා හමුවන විට ඔහු ඇමෙරිකාවේ ගල්වී ටික කලක් වූ අතර අඹු දරුවන් ද ඔහු සමග විය.

ඒ වනවිට මා ඇමෙරිකාවට ගියා විතරය.  ඉන්නට ගෙයක් නොවූ අතර ගෙයක් ලැබෙනතුරු මා නැවතී සිටියේ හෝටලයකය.  ලොස් ඇන්ජලීස් වල ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් විසින් ශාලාවක පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයකට අපේ ලොක්කාට ද ආරාධනයක් විය. හරියටම කිව්වොත් ප්‍රසංගය තිබුණේ මම ආපු දවසට දවසකට පසුවය.  ලොක්කා වැඩේ මට පවරා අඹු දරුවන් බලන්නට සති අන්තයේ කැනඩාවට ගියේය.  එය ඒ පළාතේ පදිංචි ලාංකිකයන් ගී ගයන ප්‍රසංගයක් වූ අතර ලින්ටා ව මට හමුවුණේ එහිදීය.  ප්‍රසංගය ඇරඹෙන තුරු අපි දෙන්නා එළියට වී පරණ කතා මතක් කරමින් සිනාවෙමින් සිටියෙමු.  ප්‍රසංගය ආරම්භයේ පොල්තෙල් පහණ පත්තු කරන්නට ඇති නිසා මට ඉදිරිපස අසුනක වාඩිවෙන්නට වූ අතර ලින්ටා මගෙන් සමුගෙන ඔහුගේ යහළුවන් හමුවන්නට ගියේය.  

මා වාඩිවී සිටි අසුනට වම්පසින් වූ  ආසනයේ වාඩිවී සිටියේ සුන්දර කාන්තාවකි.  තරුණවිය පසුකර ටික කලක් ගතවී ඇති බව පෙනුණු ඇය තරුණවිය ඉක්මෙන විට ඇතිවන තරබාරු කමෙන් මිදී ශරීරයේ හැඩය හොඳින් පවත්වාගෙන යන්නට උනන්දු වී ඇති බව පෙනිණි.  එතැන වාඩිවෙද්දී මා සමග සිනාසුණු ඇය ටිකකින් මා සමග කතාවට වැටුණාය.  ඇමෙරිකාවේ දී මීට පෙර නොදුටු කෙනෙක් වූ මා කවුද, කුමකට ආවේද, පදිංචිය කොහේද, පවුලේ විස්තර කෙසේද ආදී කාන්තාවන්ගේ සහජ කුතුහලය හා බැඳුණු ප්‍රශ්න රාශියක් ඇයට විසඳාගන්නට තිබු අතර ඇය ඇසු ප්‍රශ්න සියල්ලටම මම සුහදව පිළිතුරු දුන්නෙමි.   

ප්‍රසංග සංවිධායකයින් ඉක්මන් වුණේ රෑ බෝ වෙන්නට පෙර ප්‍රසංගය ආරම්භ කරන්නට නිසා කතා පැවැත්වීම,පොල්තෙල් පහණ දැල්වීමේ ආදී ආරම්භක කටයුතු ලහි ලහියේ සිදුවිය.  ප්‍රසංගය ආරම්භ වී ගායක ගායිකාවන් එකා පසුපස එකා බැගින් වේදිකාවේ ගී ගයනු අපි අසා සිටියේ ගැයුණු ගීතවල හොඳ නරක ගැන අප දෙදෙනා අතර කෙරුණු කතා බහක් ද සමගය.  තව මොහොතකින් ඇගේ නම කියැවුණු අතර නැගී සිටි ඈ වේදිකාවට ගොස් ගීතයක් ගායනා කළාය.  ඇය එදා ගායනා කළේ මරියසෙල් ගයන 'මල්ලිකා කියා රැවටිලා මට කතා කළා දෝ' නම් ජනප්‍රිය ගීතය බව මට අදද හොඳට මතකය.  එම ගීතය ඈ  සැහැල්ලුවෙන් සිටගෙන, ආයාසයකින් තොරව රසවත්ව ගායනා කළ බවද මතකය.  වේදිකාවේ කියැවුණු ඇගේ නම ආපසු මතක් කරගන්නට මම උත්සාහ දැරුවෙමි.

'ශිරානි කෞශල්‍යා' ඒ ඇගේ නමයි.  නම ඇසු මොහොතේ මීට කලින් ද ඒ නම අසා ඇති සැටියක් ලාවට වගේ මතකයට ආවත් කොහෙදීද, ඈ කවුද යන වග ඒ මොහොතේ මගේ සිතට ආවේ නැත.  ගීතය අවසන් කළ ඇය ආපසු අවුත් මගේ ලඟින් වාඩිවූවාය.  

" සිංදුව කොහොමද? බැණ බැණ අහගෙන හිටියද?" ඇය මගෙන් ඇසුවාය.

" නෑ, බනින්න දෙයක් තිබුනෙ නෑ. අහගෙන ඉන්න පුළුවනි" මමද විහිළුවකින්ම පිළිතුරු දුන්නෙමි.

" අපෝ, අහගෙන හිටිය විතරද? ඇයි අනේ රස වින්දෙ නැද්ද? මම ලස්සනට සිංදුව කිව්වෙ නෑ කියලද කිව්වෙ? " ඇය ඇසුවේ ආරූඪ කරගත් දුක්මුසු බවකින් යුතුවය.

" නෑ නෑ හරිම මිහිරියි, මම ආසාවෙන් රස වින්දා. ඇයි දන්නවද, ඔබ කිව්වෙ මම කැමතිම සිංදුවක්" මා කියූ විට ඇගේ මුහුණ ආලෝකමත් විය.  

" මට ශිරානි කියන්න." ඇය කියා සිටියාය.  

ප්‍රසංගය අවසන් වන තුරු අප දෙදෙනා විවිධ මාතෘකා ගැන කතා කළ අතර ඇය කීවේ මීට වසර විසි ගණනකට පෙර විවාහ වන්නට ඇමෙරිකාවට පැමිණ මේ දක්වා ඇමෙරිකාවේ ජීවත්වන බවත් දරුවන් ඉගෙන ගෙන රැකියාවන්හි නියුක්ත අතර ඔවුන් විවාහවී සිටින බවත් ඇයද මෑතකදී සිට සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකරන බවත්ය.

" බැඳපු ජෝඩුවකට වෙන්වෙන්න තරම් ප්‍රශ්න නොතිබුණත් වෙන්වෙන එක මේ රටේ විලාසිතාවක් වෙලා තියෙන්නෙ.  ඒ විලාසිතාව දැන් ලංකාවෙ අයටත් බෝවෙලා වගේ නේද? මම අසා සිටියෙමි.

" ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට නම් තේරෙන්නෙ නෑ." ඇය ප්‍රශ්නයෙන් ලිස්සා ගියාය.

අපේ කතාව අතරේම ප්‍රසංගයද අවසන් විය.  ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි ආරාධිතයන්ට සංග්‍රහයක් ද වූ අතර සංග්‍රහය භුක්ති විඳ අපි සමුගත්තෙමු.  සමුගන්නට පෙර ශිරානි ඇගේ ලිපිනයත් දුරකථන අංක දෙකකුත් මගේ අතේ වූ කුඩා ඩයරියේ සටහන් කළාය.  පැමිණි ගමන්ම නිසා ඇයට දෙන්නට කාඩ්පතක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් මා සතුව නොමැතිවීම ගැන මගේ කණගාටුව මම ඇයට ප්‍රකාශ කළෙමි.

" ආ! ඒකට කමක් නෑ නම්බර් එකක් ලැබුණම කතා කරන්නකො." ඇය කීවාය.

ප්‍රසංගය අවසන්ව ආපසු එද්දී මෙන්ම නින්දට යද්දීද මට සිතුණේම ඇගේ රුව මා හොඳට දැක පුරුදු බවත් නමත් හොඳට අසා ඇති නමක් බවත්ය.  ඒ ගැන සිතමින්ම මම නින්දට ගියෙමි.  මගේ සිත තුළ වූ ගැටළුවට පිළිතුරු ලැබුණේ පසුදා උදයේය.  ශිරානි කෞශල්‍යා අසුව දසකයේ මුල් භාගයේ නිපදවුණ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ 'මලට නොඑන බමරු' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි නිළියකි.  එයින් පසු තවත් චිත්‍රපට හතරක පමණ රඟපෑ ඇය සිනමාවට එක්වරම සමුදුන්නේ විවාහ වීම සඳහා විදේශගත වන්නට සිදුවීම හේතුවෙනි.

ඇය සමග කතා කරද්දී මේ විස්තර කිසිවක් මතකයට නොඒම ගැන මම මටම සාප කරගත්තෙමි.  මෙතරම් ජනප්‍රිය නිලියක් ගැන නොදැන සිටි මා අමු මෝඩයෙකැයිද කලා විහීන මුග්ධයෙකැයි ද ඇය සිතුවා නම් එය ඉතා සාධාරණය.  ඇයද මා සමග කතා කරද්දී තමා නිළියක් බව හැඟෙන එක වචනයක් වත් නොකී අතර කීවා නම් සමහර විට මගේ මතකය අවදි වන්නට තිබිණි.  කෙසේ වුවද ඒ අපේ පළමු මෙන්ම අවසාන හමුවද වූ අතර එදා ඇය ගැන මතකයට නොඒම ගැන ඇතිවූ ලැජ්ජා සහගත චිත්තය නිසාම දුරකථනයක් ලැබුණු පසුවද ඇයට කතා කරන්නට හිත හදා ගන්නට මට නොහැකි වූ අතර, ඉන් වසර කීපයකට පසු මා ඇමෙරිකාවෙන් පිටත්ව ආපසු එනතුරුම  ඇයව මට කොතැනකදීවත් හමු නොවීය෴