Wednesday, August 1, 2018

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 - එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..







අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව පළමුවෙන්ම හමුවූ දවසය.  ඒ අසූ ගණන්වල අග භාගයේය.  එකල එස්.එච්.සරත් චිත්‍ර ශිල්පියෙක් වශයෙන්  ඉතා ප්‍රසිද්ධ වී සිටි අතර ඔහුගේ 'රබර් ගස' නම් චිත්‍රය රුපියල් ලක්ෂයකට විකිනුණු කතාව අපි අසා සිටියේ විමතියෙනි.  ඒ මන්ද යත් හැත්තෑ ගණන්වල චිත්‍රයක් එපමණ මුදලකට අලෙවිවීම ප්‍රවෘත්තියක් ම වූ බැවිනි.  පසුව අපි ඔය ගැන කතාවෙද්දී එකෙක් කීවේ එය සරත්ගේම සිරිකිස් වැඩක් කියා වුවත් එහි ඇත්ත නැත්ත මම නොදනිමි.  කොහොම වුණත් සරත් අපට හමුවන්නට හේතු පාදක වූ කාරණය වුණේ බෙනට් ගේ පළමු ටෙලි නාට්‍යයයි.  ඒ ටෙලියේ කලා අධ්‍යක්ෂක හැටියට බෙනට් එස්.එච්.සරත් ව තෝරාගෙන තිබුණි.

ටෙලිය රූගත කරන්නට තෝරාගෙන තිබුණේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර පිහිටා ඇති අකුරළ නම් සුන්දර ගම්මානයේය.  කතාව සහ තිර රචනය නිමල් ගමගේ ගෙන් වූ අතර ඔහුද ඒ පළාතේ කෙනෙක් බැවින් කතාව ලියා තිබුණේ අකුරළ ගම හිතේ මවා ගනිමිනි.  කතාව ටෙලියකට නගන්නට බෙනට් තීරණය කළ පසු අපි කට්ටියක් බෙනට් එක්ක අකුරළට ගොස් ලොකේෂන් බලා ආපසු ආවේ රූගත කරන්නට අවශ්‍ය පහසුකම් ද සපයා ගෙනය.  කාලයක් සංචාරක කර්මාන්තය සරුවටම කෙරුණු අකුරළ, යුද්ධය නිසා සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණු එකල පාළුවට ගිය ගමක් විය.  සංචාරක කර්මාන්තය ලෙල්ලටම බැස තිබීම හේතුවෙන් එහි තිබුණු හෝටල් ද ගෙස්ට් හවුස් ද පාළුවට ගොස් තිබුණි.  සංචාරක අහේනිය තරු හෝටලයේ සිට පාරේ තැඹිලි කපන මනුස්සයා දක්වා ම අසරණ කර තිබු අතර ගයිඩ් වැඩවලින් එදාවේල සොයාගත් තරුණයින් නන්නත්තාර කරදමා තිබුණි. 

සංචාරක පැමිණීම් ඉතා ඉහළ අගයක් ගෙන තිබු කාලයේ තැන තැන ලෑලි වලින් ඉදිව තිබු තාවකාලික නවාතැන් පොළවල් ද කඩද දිරායමින් පැවතුණි.  සංචාරකයින් නොමැතිවීම අපට අහම්බ වාසියක් වුණේ පාළුවට ගිය සංචාරක ස්ථාන සියල්ලම පාහේ ටෙලියේ දර්ශන තල බවට පත්කරගන්නට ලැබීමය.  ඊට අමතරව අත්‍යාවශයම දෙයවූ නවතින්නට තැනක් ද ඉතා අඩු මිළකට වෙන්කර ගන්නට ද හැකිවිය.  එය ඒ කාලයේ වැඩ නැතිව තිබුණු කුඩා හෝටලයකි.  කාමර පහකින් යුත් එම නවාතැනේ නළු නිළියන්ට ද නිෂ්පාදන කණ්ඩායමට ද කාර්මික ශිල්පීන්ට ද නැවතී සිටින්නට ඉඩ තිබුණි.  නවාතැන පිහිටා තිබුණේ මුහුද අයිනේ වූ අතර ඉදිරිපිටින් හිරිගල් වැටියකින් වටවී තිබු නොගැඹුරු මුහුද නාන්නටද පීනන්නටද කදිම ස්ථානයක් විය.

මේ වැඩ කටයුතුවලට එවකට ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වූ නන්දිමිත්ත ද සොයිසා මහතාගේ සහයෝගය ද ලැබුණේ ඔහු නිමල් ගමගේ ගේ හිතවතෙක් වූ නිසාය.  නන්දිමිත්ත ද සොයිසා ගේ නිවස පිහිටියේ අප නවාතැන් ගත් ගෙස්ට් හවුසියට පාරෙන් එහා පැත්තේ වූ අතර අප ලොකේෂන් බලන්නට හා වෙනත් වැඩවලට විටින් විට අකුරළ ගිය විට අපට කෑම ලැබුණේ ද ඔහුගේ ගෙදරිනි.  නන්දිමිත්ත ද සොයිසා මහතා නිතරම පාහේ ගෙදර නොසිටි අතර ඔහුගේ බාල සොහොයුරෙකු වූ කුමාර ද සොයිසා අපට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට උනන්දු වුණේ සිය සොහොයුරාගේ දේශපාලන බලයද ඔහුගේ පිරිස් බලය ද යොදා ගනිමිනි.  මෙලෙස පහසුකම් සපයා ගැනීමෙන් පසු රූපගත කිරීම් සඳහා යන දිනය ලං ලංව පැමිණියේය.  සියලු රූගත කිරීම් සති දෙකක් තුළ අවසන් කරන්නට නියමිත වූ අතර ඒ සති දෙක තුළ සියලුම කලා ශිල්පීන්,  කාර්මික ශිල්පීන් හා නිෂ්පාදන කණ්ඩායම  අකුරළ නැවතී සිටිය යුතු විය.

මට තිබුණු ප්‍රශ්නය වුණේ සති දෙකක් කාර්යාලයෙන් නිවාඩු ගැනීමයි.  අපේ නිවාඩු විෂයය භාරව සිටියේ හික්කඩුවේ වවුලගල කෙල්ලක් වූ අතර ඇය මා සමග හිතවත්ය.  ඇය මට කීවේ සති දෙකක් නිවාඩු අනුමත කරගෙන යන්නට නොහැකි නිසා අසනීප බව දන්වා ටෙලිග්‍රෑම් එකක් එවන ලෙසත් ආපසු කාර්යාලයට එන දවසට වෛද්‍ය සහතිකයක් අරගෙන එන ලෙසත්ය.  මම ඇගේ උපදෙස් අකුරටම පිළිපැද්ද අතර අන්තිමේදී  නිවාඩු ටිකත් ඉතිරි කරදෙන්නට ඇය කටයුතු කළාය.

අකුරළ යන්නට නියමිතව තිබු දිනයේ අපි උදෑසනින් ගමන පටන් ගත්තත් ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ තැනින් තැන නවතා කට්ටිය එකතු කරගෙන ෆයින් විෂන් එකෙන් කැමරා උපකරණ හා කාර්මික ශිල්පීන් ද පටවාගෙන වාහන තුනකින් අකුරළ නවාතැන ට යනවිට සවස්වී තිබිණ.  ෆයින් විෂන් එකෙන් බඩු ගන්නට වුණේ එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබූ නිසාය.  නිළියන් හතර දෙනෙක් හා නළුවන් තුන් දෙනෙක් ආටිස් ලා වූ අතර වේෂ නිරුපණය කළේ ජේ. සුරනිමල ය.  කලා අධ්‍යක්ෂණය මා කලින් සඳහන් කළාසේ එස්.එච්. සරත් ට භාරව තිබු අතර ඔහු පැමිණ සිටියේ සිය සහයකයා වූ අතුල පීරිස් සමගය.  අතුල පීරිස් ගුරුවරයෙකි.  ගාල්ල කොටුවේ ලේන් බාන් වීදියේ පදිංචිකරුවකු වූ අතුල එවකට රාජ්‍ය නාට්‍ය සම්මාන ලද වේදිකා නාට්‍යයක් වූ 'සුභ සරණගත' නාට්‍යයේ නිෂ්පාදකයා විය.  කැමරාව මෙහෙයවීම කරන ලද්දේ පරාක්‍රම සිල්වා විසිනි.  ඔහු 'බිත්ති හතර' චිත්‍රපටය කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේය.  සුගතපාල ද සිල්වා ලියු ඉතාම අපූරු පොතක් වන බිත්ති හතර පොත මා කියවා ඇතත් චිත්‍රපටය මේ දක්වා බලන්නට නොලැබිණි. 

දයා සුගතදාස ටෙලියේ නිෂ්පාදන කළමනාකරණය භාරව කටයුතු කළ අතර සහාය කැමරා ශිල්පියා වූ  චන්න දේශප්‍රිය කාර්මික ශිල්පීන් ගේ කණ්ඩායමද  භාරව සිටියේය.  දේශා සහ රුවන් බෙනට්ගේ අධ්‍යක්ෂණ සහායට සිටියහ.  ටෙලියේ සහායක චරිත හෙවත් පොඩි පොඩි චරිත රඟපාන්නට ද කීප දෙනෙක් පැමිණ සිටි අතර ගියදාට පසුවදා උදේම රූපගත කිරීම් ආරම්භ වුයේ ප්‍රධාන නිළිය මුහුදේ ගහගෙන යනවිට බේරා ගන්නා දර්ශනයක් රූපගත කිරීමෙනි.  නිළියන් කීප දෙනෙකුගේ නෝක්කාඩුව ඇරඹුණේ එදා රාත්‍රියේ සිටය.  පසුවදාද ඔවුන්ගේ දර්ශන රූගත නෙකෙරෙන බව දැනගන්නට ලැබුණු විට ඔවුන් නොසන්සුන් වුණේ කොළඹ සියලුම වැඩ දමා මෙහි ඇවිත් නිකං කාමරයට වී ඉන්නට බැරිය කියාය.

දේශා, රුවන්, නිහාල් සහ මම එක කාමරයක නවාතැන් ගෙන සිටි අතර දවසේ වැඩ අවසන්වූ පසු අම්බලන්ගොඩින් හෝ හික්කඩුවෙන් බෝතලයක් දෙකක් කාට හරි කියා කාමරයට ගෙන්වා ගැනීම සිරිතක් වී තිබිණි.  බයිට් වලට අලුත් මාළු වුවමනා තරම් වැල්ලෙන් ලාබෙට ගතහැකිය.  මාළුවෙක් දෙන්නෙක් අරගෙන කුස්සියට දුන් විට රසවත් බයිට් එකක් කාමරයටම ලැබේ. බෝතලය හිස් කරන්න උදව් වෙන්නට සුරනිමල ද අපේ කාමරයට එයි.  සුරනිමල පස්සෙන්ම කාමරයට එන්නේ එලන් සිල්වෙස්ටර් ය.  ඇයට අපි එලන් ඇන්ටි කියා ඇමතූ අතර දෙකක් වැදුණු පසු එලා යනුවෙන් නම කෙටිවෙයි.  දෙකක් දාගත් එලා බෙනට්ව පතුරු ගහන්නට ගනී.

" ඔක්කොම වැඩ අතහැරල මෙහෙ ආවෙ දවසකින් දෙකකින් යන්න පුළුවන් කියල බෙනට් කියපු හින්දනෙ.  බලන්නකො තවම එක ෂොට් එකක්වත් ගත්තෙ නෑ, ඔහේ කාමරේට වෙලා ඉන්නවා.  බෙනට් ට බම්බු ගහගන්න කියල මම හෙටම යන්න යනවා." එලා බරසාර හඬින් කියයි.

සුරනිමල ඇගේ කතාවට හුමිටි තබන අතර තවත් එකක් දාගන්නා එලා හඬන්නට පටන් ගනියි.

" මගෙ පුතා, මගෙ එකම පුතා, තනියෙන් දාල ආවේ.  මොන හිතකින් මම මෙහෙ ඉන්නද! එනව පුතේ මම හෙටම එනවා."

එලා සියල්ලම රඟපා පෙන්වයි.  කාමරය එකම විනෝද සාගරයකි.  අපි බඩවල් අල්ලාගෙන සිනාසෙමු.

" උඹල අහිංසක මට හිනාවෙනවා නේද කොල්ලනේ? උඹලට දරු දුක තේරෙන්නෙ නෑ! මගෙ එකම පුතා, අයියෝ.....මම කොහොම මේ දුක ඉවසන්නද?

රෑට කෑම සුදානම් වෙන තුරුම අපි එලාගේ රැඟුම් රස විඳින්නෙමු.  අපි හිනාවුණාට ඇතිවී ඇති තත්ත්වය බරපතලය.  බෙනට්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවෙන්නට තරම් විරෝධය ඉහළ ගොස් ඇත. බෙනට් සියල්ලන්ම එකවර කැඳවා ගෙනැවිත් තිබුණේ ඔහුගේ පහසුවට නමුත් කරන්නට තිබුණේ රූගත කිරීම් සිදුවන ආකාරයට කලාකරුවන් රැගෙන ඒමය.  කෙසේ වුවද දැන් කරන්නට දෙයක් නැත.  පටන් ගත්තු වැඩේ ඉවරයක් කළ යුතුය. 

බෙනට් ට විරුද්ධව කියන දේවල් පහුවදා එළි වන විට ඔහුගේ කණට යයි.  තත්ත්වය කළමනාකරණය කර ගන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති බව වටහාගන්නා ඔහු උදේම යක්ෂාවේෂ වේ.  කවුරුත් කතාබහක් නොකර තම තමන්ගේ වැඩක් කරති.  කෙසේ වුවද කිසි කෙනෙක් යන්නට ගියේ නැති නිසා රූපගත කිරීම් වලට කරදරයක් වුණේ නැත.  වැඩේ පොඩ්ඩක් වැරදුනේ ටෙලිනාට්‍ය කරණයට බෙනට් ආධුනිකයෙක් වීම නිසාය.  ඔහුගේ සහායකයින් වූ දේශා ද රුවන් ද පමණක් නොවැ නිෂ්පාදන කළමනාකරු වූ දයා සුගතදාස ද වැඩේට ආධුනිකයන්ය.  තමන්ට වැරදුණු බව වටහාගත් බෙනට් පසුකාලීනව කළ ටෙලිනාට්‍ය වලදී එම වරද සිදු නොකරන්නට පරිස්සම් විය.  

අපි නවාතැන් ගෙන හිටිය හෝටලය තිබුණේ මුහුද අයිනේ ය කියා මම කලින් කීවෙමි.  ඊට එහායින් ගාලු පාරය.  ගාලු පාරට එහායින් ගම පටන්ගත් අතර දුම්රිය පාර ඇදී ගියේ ගම මැදිනි.  අපි රූගත කිරීමට ප්‍රයෝජනයට ගත් දර්ශන තල පිහිටා තිබුණේ දුම්රිය මාර්ගයටද එහායිනි.  දුම්රිය මාර්ගය පැන්න විට හමුවන පහත් භුමිය දිය සීරාවෙන් යුක්ත එකක් වූ අතර අත්හැර දමා තිබු පාළු හිරිගල් වලවල් වල වතුර පිරී තිබිණි.  වලවල් වටේ බොරුපන් පඳුරු වැවී තිබු අතර කුඩා කහ පැහැති මල් සහිත ජලජ ශාක දියේ පාවෙමින් අලංකාර දර්ශනයක් මැවීය.  ලෑලි වලින් සාදා දිරාපත් වෙමින් තිබු කාමර සහ කඩ තිබුණේ මෙම අලංකාර පරිසරයේය.  මේ බිම් කොටසට අපි බොහෝ සේ ප්‍රිය කළ නිසා විවේකයෙන් සිටි හැම වෙලාවේම එම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ගතකරන්නට පුරුදුව සිටියෙමු. 

විහිළු කතා කියමින් එක එකාට කාඩ් ගසමින් හැම තිස්සේම විනෝදයෙන් සිටි කාර්මික ශිල්පීන් කණ්ඩායම හෙවත් කෲ එක සෙට් එකට ගිහින්ද විහිළු කළහ.  මේ විහිළුවලට නිහාල් ද සම්බන්ධ විය.  නිළියෙක්ගෙන් ගවුමක් ඉල්ලා ගන්නා නිහාල් ඒකත් ඇඳගෙන පොල් ගහක් යට වාඩිවී සිටින්නේ කෲ එකත් එක්කය.  කෝච්චියක් එන සද්දෙ ඇහෙන විට නැගිට ගන්නා නිහාල් දුවන්නට ගනී.  කෲ එකේ කොල්ලන් දෙන්නෙක් නිහාල් පිටිපස්සෙන් එලවාගෙන යති.  නිහාල් දිග ගවුම පැත්තකින් උස්සාගෙන ' බුදු අම්මෝ! මාව බේරාගනියෝ' කියා විලාප තබමින් හිරිගල් වලවල් වටේ දුවද්දී කෝච්චියේ යන උන් ජනෙල් වලින් ඔලුව පමණක් නොව ඇඟද එළියට දමාගෙන සිය දෑස් ඉදිරිපිට සිදුවන මේ මහා අපරාධය දුක්මුසු දෑසින් නැරඹුවත් උන්ට කරන්නට දෙයක් නැති අතර කෝච්චිය යන්නට යයි.  නිහාල් ද කෲ එකේ කොල්ලන් ද බඩ බදාගෙන හිනාවෙවී ආපහු ඇවිත් පොල් ගහ යට වාඩිවෙන්නේ තවත් කෝච්චියක් එනතුරුය.

ආවා වෙනුවට දවසක් නැවතී සිටි කලා අධ්‍යක්ෂ එස්.එච්.සරත් පසුවදා යන්නට ගියේ කලා අධ්‍යක්ෂණය සිය සහායක අතුල පීරිස් ට පවරා දෙමිනි.  තවත් දවසක් සිටි අතුල ද නිවාඩු නෑ කියා ආපහු ගාලු ගියේ කලා අධ්‍යක්ෂණය නිහාල් ට පවරා දෙමිනි.  කෲ එකට මේ ගැන කියන්නට කතා බොහෝ විය.

" සරත් පරාවෙක් අරං ගෙදර ගියා, අතුල ගල් මාළුවෙක් අරං ගෙදර ගියා, නිහාල් උඹ දැල්ලො ටිකක් වත් අරගෙන ගෙදර පලයං."  ඔවුහු නිහාල්ට විහිළු කළහ.

ගෙදර යන්නට හදිස්සියක් නොතිබූ නිහාල් තමන්ට පැවරුණු කලා අධ්‍යක්ෂණයේ සහයට මට කතා කළ අතර අපි දෙන්නා දන්නා විදියට කලා කටයුතු ටික කර දුන්නෙමු.  ඒ දවස්වල ගමේ කොල්ලන් වැඩි දෙනෙක් අපේ කණ්ඩායමේ කාට කාට හෝ හිතවත්ව ලඟින් සිටියේ තියෙන වැඩක් කර දෙන්නට වගේම ටෙලියේ කෑල්ලකට මුහුණ ඔබා ගන්නට තිබු වුවමනාව නිසාය.  නිහාලුත් මමත් එකට වැඩ කරන්නට වුණු එක ගැනද කෲ එක කතා හදන්නට වූයේ හැම එකාටම ඇසිස්ටන් කෙනෙක් ඉන්න නිසා නිහාල් මාව ඇසිස්ටන් කමට ගත්තා කියාය.  ඔය විදියට වැඩේ යද්දී මටද ඇසිස්ටන් කෙනෙක් හමු විය.  ඌ ගමේ අහිංසක  කොල්ලෙකි.

" අන්න යකෝ, අරූටත් ඇසිස්ටන් කෙනෙක් සෙට් වෙලා." කෲ එකට තවත් බයිට් එකකි.  මම යන හැම තැනම පස්සෙන් එන කොල්ලාට උන් කිව්වේ ඇසී හෝ ඇසියා කියාය.  එක දවසක ගාල්ල කොටුවේ දර්ශනයක් රූපගත කරන්නට කණ්ඩායම උදේම ගාල්ලට යන්නට නියමිත විය.  මම ඇසියා ටද පහුවදා උදේම හෝටලයට එන්නට කීවෙමි.  ඇසියා ටිකක් වෙලා මා දෙස බලා හිඳිමින්,

" මට ගාල්ලෙ ඇඳගෙන යන්න තරම් හොඳ කමිසයක් නෑ." යි කීවේය.  මට අඳින්නට ගෙන ගොස් තිබු නිල් පාට අත් කොට කමිසයක් මම ඇසියාට දුන්නෙමි.  කමිසය අතට ගත් ඇසියා ගේ දෑස් සතුටින් දිළිසෙන්නට වූ අතර ඌ පහුවදා එළිවෙන පාන්දරම කමිසයත් ඇඳගෙන හෝටලය ඉදිරිපිට පෙනී සිටියේය.

ඒ දවස්වල අපිත් එක්කම එකට හිටි තවත් තුන් දෙනෙක් ගැන කියන්නට තිබේ.  ඒ ලාංකිකයන් නොව සංචාරකයින්ය.  මේ අය කලින් ද ලංකාවට ඇවිත් පළපුරුදුකම් ඇති අය නිසා යුද්ධය තිබුණත් රටේ බෝම්බ පිපිරුණත් ලංකාවට නෑවිදින් ඉන්නට බැරි තරමට ලංකාවට ඇලුම් කරන අයයි.  එකෙක් අඩි හතක් විතර උස මහත දැවැන්ත ඇඟපතක් තිබු ජර්මන් ජාතිකයෙක් වූ අතර ඔහු කුමාරගේ ගෙස්ට් කෙනෙකි.  කුඩා සිරුරක් තිබු කුමාර ජර්මන් ජාතිකයා ඉදිරියේ අඟුටු මිට්ටේකු මෙන් විය.  රෑ පුරා සිංදු කියමින් විනෝදයෙන් ගතකර පාන්දර නිදාගන්නා ඔහු දවල්වී නැගිට ඇවිත් මුහුදට පනී.  මුහුදේ පැය ගණනක් නාගෙන ගොඩට විත් හෝටලයෙන් ලොකු  මාළුවෙක් රෝස් කරවාගෙන බියර් බොමින් දවල්ට කයි.  වෙරළේ රූගත කිරීම් කරද්දී ඔහු අපත් සමග හිතවත් වූ අතර ටෙලියේ දර්ශනයකට ද පෙනී සිටියේය.  දර්ශනයේ ෂොට් වරදින වරදින පාර නැවත නැවතත් ගනිද්දී නොසන්සුන් වූ ඔහු 'දැන් ඇති' කියා යන්නට අවශ්‍යයි කීවේය.  ඒ ගමන බෙනට් ගිහින් ඔහුට යාප්පුවෙන් කතා කළේ තව ටික වෙලාවයි කියා ඔහුව රඳවා ගන්නටය.  ක්ෂණයකින් ඔහු බෙනට් ව බෝනික්කෙක් මෙන් උඩට ඔසවා මුහුදට විසිකළේ සිනාසෙමිනි.  ඉන්පසුව හැම රෑකම අප හමුවන්නට හෝටලයට එන ඔහු රෑ මැදියමක් වෙනතුරු අපත් සමග ගීත ගයමින් විනෝද වෙන්නට පුරුදු විය.

ඊළඟට හිටියේ වයස අවුරුදු විසි ගණනක් වූ ස්විට්සර්ලන්ත ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.  ඇගේ නම දැන් මට මතක නැති වුණත් උස මහත නිතර සිනාසෙන සුහදශීලී  සුන්දර තරුණියක් වූ ඇය අපි අකුරළට ආපු දා පටන් යන යන හැම තැනකම අපිත් එක්ක පස්සෙන් වැටී එන්නට පුරුදුව සිටියාය.  ගෝල්ඩ් ලීෆ් පැකට් දෙක තුනක් මල්ලක දාගෙන හෝටලයට එන ඇය ගංජා ඔස්තාර් කෙනෙකි.  ගංජා මිටිය සුදු මුදු ඇඟිලි තුඩින් පොඩිකර සිගරැට් දුම්කොළ ද මිශ්‍ර කරන ඇය මිටිය හුරුබුහුටියට ඔතන ආකාරය බලා ඉන්නට ලස්සනය.  බියර් බොමින් සිටි ඇයට වැඩි දවසක් යන්නට පෙර අපේ උන් ගල් බොන්නට පුරුදු කළේ අඩු මුදලට වැඩි සොමියක් ගන්නට හැකිය කියමිනි.  මිටිය ගහන්නට වැඩි කැමැත්තක් නොතිබූ අප හමුවන්නට ඉන්පසු ඇය ආවේ ගල් බෝතලයක් ද අරගෙනය.  ටික දිනකින්ම නිහාල් ඇය සමග ළෙන්ගතු කමක් ඇතිකරගත් අතර පාළු හිරිගල් වලවල් අයිනේද, වෙරළේ ගොඩට ඇද තිබු ඔරු කඳන් අස්සේද උන් දෙන්නාගේ ආදර ජවනිකා රඟ දැක්වෙන්නට විය.  රේල් පාර අයිනේ තිබු නිවෙසක උඩ තට්ටුවේ කාමරයක ඇය නැවතී සිටි අතර සංචාරකයින්ට කුලියට දෙන්නටම හදා තිබු ඒ කාමරයට පිටින් නගින්නට පඩිපෙළක් විය.

දවසක් දා නිහාල්ටත් මටත් දර්ශන තලයක රාත්‍රිය ගත කරන්නට සිදු වුණේ ඒ දර්ශන තලයට ගෙනගොස් දමා තිබු ජෙනරේටර්, ලයිට්, වයර් රෝල් ආදියේ ආරක්ෂාවටය.  රෑට කෑමත් ඔතාගෙන අපි දෙන්නා යන්නට ලෑස්ති වෙද්දී සුරනිමලත් අපි පස්සෙන් වැටුණේ තනියම ඉන්නට කම්මැලියි කියමිනි.  ටිකක් දුර යන විට දේශා ද අපේ පස්සෙන් දුවගෙන එනු දුටුවෙමු.  දර්ශන තලයේ හාන්සිවී ගෙනිච්ච බෝතල් කඩාගෙන සප්පායම් වූ අපි එය අවසන් වූ පසු ගෙනගිය කෑම කෑවෙමු.  කෑම කා අවසන්ව බලන විට දැක්කේ බොන්නට වතුර ගෙනැවිත් නැති බවය.  " උඹලා දෙන්නා ඔහොමම ඉඳිල්ලා 'යි දේශාට සහ සුරනිමල ට කී නිහාලුත් මමත් රේල් පාර දිගේ පහළට ආවේ කාගේ හෝ ගෙදරකින් බොන්නට වතුර ටිකක් ඉල්ලා ගන්නටය.

රේල් පාරේ ටිකක් දුර එන අපට එක්වරම ඇසුණේ සංගීත වාදනයකි.  කොහේද කියා විපරම් කොට බැලු කල සංගීතය ඇහෙන්නේ අර කෙල්ලගේ කාමරයෙනි.  ඩෝලයක් ද සර්පිනාවක් ද වාදනය වෙමින් තිබු අතර ගී හඬක් ද ඒ අතරින් පාවී ආවේය.  සිත් මන්මත් කරන සංගීත නාදයට උන් හිටි තැන් අමතක වූ අපි දෙන්නා රේල් පාර පැන පඩිපෙළ නැග කෙල්ලගේ කාමරයට ගියෙමු.  සර්පිනා කාරයාද ඩොල්කි කාරයාද බිම වාඩිවී ගීත කියමින් සංගීත රසයෙන් මත්ව ආවේස වුවන් සේ වාදනය කරන අතර කෙල්ල ඇඳේ සිට මිටියක් ද උරමින් දෑස් පියාගෙන ගී රස විඳිමින් සිටියාය.  ගිය වැඩේ අමතකවූ අපි දෙන්නාද  මොහොතකින් සංගීතයට හවුල් වුණෙමු.  පැයක් පමණ සංගීත රසයේ වෙළී ඉන්නාවිට දොරට තට්ටු කරන සද්දයකි.   වතුර ගේන්නට ගිය උන් දෙන්නාට මොකක් වී දැයි බලන්නට සුරනිමල ද දේශා ද කාමරයට ඇවිත්ය.  අපි දෙන්නා කොහෙ ගියාදැයි සොයාගන්නට බැරිව උන් රේල් පාරේ ඇවිදිද්දී කාමරයෙන් එන සංගීත නාදය ඇසී "මුන් දෙන්නා ෂුවර් එකටම මෙතැන ඇති යැ' යි කියා කාමරේට ආ බව කියද්දී වතුර ගෙනෙන්නට ආ බව අපටත් මතක් විය.  එදා අපි දැමු සාජ්ජය පාන්දර වෙනතුරු ඇදීගිය අතර කොයි වෙලේ නිදාගන්නට ගියාදැයි අපට මතක තිබුණේ නැත.  පහුවදා උදේ මළකඳන් සේ වැටුණු වැටුණු තැන්වල නිදාසිටි අපට ඇහැරවන ලද්දේ රූගත කරන්නට ලෑස්තියෙන් ආ අනෙක් අය විසිනි.  ' මුන් ටික ඊයෙ රෑ ටොප් එකට මුර කරල තියෙනවා' අප දුටු බෙනට් කීවේය.   සාජ්ජයේ මමත් නිහාලුත් සිංදු කියද්දී දේශා ගත්ත පිංතුරයක් නිහාල්ගේ මුහුණු පොතේ තියෙනවා මම මේ ළඟදී දුටුවෙමි.

අනික් සංචාරකයා වුයේ උස කෙට්ටු කොල්ලෙක් වූ ඔස්ට්‍රියන් ජාතිකයෙකි.  ලෝගුවක් වැනි රෙදි බැනියමක් හැඳ දිගට වැවුණු කොණ්ඩය උඩට කර බැඳගෙන භාවනානුයෝගීව මෙන් සිටි ඔහු අපේ වැඩ කටයුතු ගැන කොහෙත්ම උනන්දුවක් නොදැක්වූ අතර වැඩිපුර කාමරයෙන් පිටතට ගියේ නැත.  දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ ඔහු හැම වෙලේම කුමක් හෝ චිත්‍රයක් අඳිමින් සිටි අතර ඔහුගේ චිත්‍ර ගැන කුතුහලයක් ඇතිවූ අපි නිතරම ඔහුව හමුවන්නට කාමරයට ගොස් එක එක ප්‍රශ්න අසමින් ඔහුට කරදර කළෙමු.   නිතරම වැනිලා සුරුට්ටුවක් කටේ ගහගෙන චිත්‍ර අඳින මේ තරුණයා පුද්ගල චිත්‍ර හෙවත් පෝට්රේට් ඇඳීමේ අති දක්ෂයකු බව අපි දැනගත්තේ දයා සුගතදාස ගේ පෝට්රේට් එකක් දයා ජීවමානව ඉන්නවා මෙන් ඇඳ දුන් පසුවය.  චිත්‍රය දුටු දයා සුගතදාස ගේ සතුට නිම් හිම් නැතිවිය. ආපසු හෝටලයට පැමිණි දයා මොකක්ද වැඩකට අම්බලන්ගොඩ යන්නට සුදානම් ව සිටි ලින්ටන් සේමගේ ට වැනිලා සුරුට්ටු පෙට්ටියක් අරගෙන එන්නට කියා සල්ලි දුන්නේ සුරුට්ටු පෙට්ටිය චිත්‍ර ශිල්පියාට තෑගී දෙන්නට හිතාගෙනය.  

සුරුට්ටු පෙට්ටියත් අරගෙන ලින්ටන් ආපහු එනවිට දයා සුගතදාස කොහේදෝ ගමනක් ගොසිනි.  චිත්‍ර ශිල්පියාගේ පළහිලව්ව නොදත් ලින්ටා කණ්ඩායමේ සිටි සුරුට්ටු බොන්නෙකු වූ එල්සන් දිවිතුරගම නොහොත් එල්සන් අයියා නොහොත් එල්සා ට සුරුට්ටු පෙට්ටිය දුන්නේ සුරුට්ටු ගේන්නට කිව්වේ එල්සාට දෙන්නට යැයි සිතාගෙනය.  සුරුට්ටු පෙට්ටිය ලැබීමෙන් සතුටට පත් එල්සා එවේලේම සුරුට්ටුවක් දල්වාගෙන අදින්නට විය.  දයා සුගතදාස ආපසු එනවිට එල්සා සුරුට්ටු දෙක තුනක් ඉවර කරලාය.  දයා හමුවූ ලින්ටා සුරුට්ටු පෙට්ටියේ ඉතුරු සල්ලි දුන්නේය.

" සුරුට්ටු පෙට්ටිය කෝ?" දයා ඇසීය.

" ආ! ඒක මම එල්සන් අයියට දුන්නා." ලින්ටා කීවේය. දයාට යකා නැග්ගේය.

" ඇයි යකෝ, මම ඒක ගේන්න කිව්වෙ අර මනුස්සයට දෙන්නනෙ, මොන මඟුලකටද එල්සන් ට දුන්නෙ මගෙන් අහන්නෙ නැතුව?" දයා ගෝරනාඩු කරන්නට විය.

" ඔය කතාවක් මම දන්නවැයි? මම හිතුවෙ එල්සන් අයියට දෙන්න ගෙන්නගත්තා කියල." කලබල වූ ලින්ටා බස බස ගා කීවේය.  

" ඇයි යකෝ මොන මඟුලකටද මම එල්සන්ට සුරුට්ටු පොවන්නෙ?  තමුසෙලට වැඩක් කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්න එකැ'යි කී දයා එවේලේම කාර් එකට නැගී අම්බලන්ගොඩ ගියේ තවත් සුරුට්ටු පෙට්ටියක් ගෙනෙන්නටය.

සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා නිහඬ චරිතයක් වූ දයා සුගතදාසට කේන්ති ගියා අපි ඔය දැක්කාමය.  දයා ලින්ටාට බනිද්දී අපි හිනා නොවී කට තද කරගෙන හිටියත් දයා පිටත් වූ පසු බැණුම් අසා අප දෙසට එන ලින්ටා දුටු අපේ සිනහව බකස් ගා එළියට පැන්නේය.  මේ කතාව කෲ එකේ උන් දැනගත් පසු උන්ගෙන් නම් ලින්ටාට මෙන්ම දයාට ද බේරිල්ලක් නැතිවිය.

ලින්ටන් ව ඉන්පසු දවසක් මට හමුවුණේ අරංගල දේශලා ගේ ගෙදරදීය.  ඔහු නිෂ්පාදනය කරන ටෙලියක් දේශාට කියා කරවා ගන්නට අවශ්‍ය වූ ලින්ටන් එදා ඇවිත් සිටියේ ඒ ගැන සාකච්ඡා කරන්නටය.  උන් දෙන්නා කතා කරමින් සිටින අතර මම ලින්ටන් අත තිබූ තිර රචනය ඉල්ලාගෙන කියෙව්වෙමි.  කතාව කියවූ මට දැනුණේ කතාවේ මොකක්දෝ කියාගන්නට බැරි අසම්පූර්ණ බවකි.  මම ඒ ගැන පසුව දේශාට ද කීවෙමි.

" ස්ක්‍රිප්ට් ඔහොම තමයි බං, ෂූට් කරද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා, එතකොට හරියයි." 

දේශා එවෙලාවේ කිව්වේ එහෙමය.  සිතුවාක් මෙන්ම මෙලෝ රහක් නොතිබූ ඒ ටෙලිය පසුදිනෙක රූපවාහිනියෙන් විකාශය වනු මම බලා සිටියෙමි.  ලින්ටන් නැවතත් මට මුණගැසෙන්නේ ඊටත් අවුරුදු විස්සකට පමණ පසුව කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය.  එවිට ලින්ටා ලංකාවේ පදිංචිය අතහැර ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය.  බොහෝවිට ඔහු එන්නට ඇත්තේ සම්මාන දිනු චිත්‍රපටයක් වූ ලින්ටන් රඟපෑ 'මීහරකා' ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්නට විය යුතුය.   මා හමුවන විට ඔහු ඇමෙරිකාවේ ගල්වී ටික කලක් වූ අතර අඹු දරුවන් ද ඔහු සමග විය.

ඒ වනවිට මා ඇමෙරිකාවට ගියා විතරය.  ඉන්නට ගෙයක් නොවූ අතර ගෙයක් ලැබෙනතුරු මා නැවතී සිටියේ හෝටලයකය.  ලොස් ඇන්ජලීස් වල ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් විසින් ශාලාවක පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයකට අපේ ලොක්කාට ද ආරාධනයක් විය. හරියටම කිව්වොත් ප්‍රසංගය තිබුණේ මම ආපු දවසට දවසකට පසුවය.  ලොක්කා වැඩේ මට පවරා අඹු දරුවන් බලන්නට සති අන්තයේ කැනඩාවට ගියේය.  එය ඒ පළාතේ පදිංචි ලාංකිකයන් ගී ගයන ප්‍රසංගයක් වූ අතර ලින්ටා ව මට හමුවුණේ එහිදීය.  ප්‍රසංගය ඇරඹෙන තුරු අපි දෙන්නා එළියට වී පරණ කතා මතක් කරමින් සිනාවෙමින් සිටියෙමු.  ප්‍රසංගය ආරම්භයේ පොල්තෙල් පහණ පත්තු කරන්නට ඇති නිසා මට ඉදිරිපස අසුනක වාඩිවෙන්නට වූ අතර ලින්ටා මගෙන් සමුගෙන ඔහුගේ යහළුවන් හමුවන්නට ගියේය.  

මා වාඩිවී සිටි අසුනට වම්පසින් වූ  ආසනයේ වාඩිවී සිටියේ සුන්දර කාන්තාවකි.  තරුණවිය පසුකර ටික කලක් ගතවී ඇති බව පෙනුණු ඇය තරුණවිය ඉක්මෙන විට ඇතිවන තරබාරු කමෙන් මිදී ශරීරයේ හැඩය හොඳින් පවත්වාගෙන යන්නට උනන්දු වී ඇති බව පෙනිණි.  එතැන වාඩිවෙද්දී මා සමග සිනාසුණු ඇය ටිකකින් මා සමග කතාවට වැටුණාය.  ඇමෙරිකාවේ දී මීට පෙර නොදුටු කෙනෙක් වූ මා කවුද, කුමකට ආවේද, පදිංචිය කොහේද, පවුලේ විස්තර කෙසේද ආදී කාන්තාවන්ගේ සහජ කුතුහලය හා බැඳුණු ප්‍රශ්න රාශියක් ඇයට විසඳාගන්නට තිබු අතර ඇය ඇසු ප්‍රශ්න සියල්ලටම මම සුහදව පිළිතුරු දුන්නෙමි.   

ප්‍රසංග සංවිධායකයින් ඉක්මන් වුණේ රෑ බෝ වෙන්නට පෙර ප්‍රසංගය ආරම්භ කරන්නට නිසා කතා පැවැත්වීම,පොල්තෙල් පහණ දැල්වීමේ ආදී ආරම්භක කටයුතු ලහි ලහියේ සිදුවිය.  ප්‍රසංගය ආරම්භ වී ගායක ගායිකාවන් එකා පසුපස එකා බැගින් වේදිකාවේ ගී ගයනු අපි අසා සිටියේ ගැයුණු ගීතවල හොඳ නරක ගැන අප දෙදෙනා අතර කෙරුණු කතා බහක් ද සමගය.  තව මොහොතකින් ඇගේ නම කියැවුණු අතර නැගී සිටි ඈ වේදිකාවට ගොස් ගීතයක් ගායනා කළාය.  ඇය එදා ගායනා කළේ මරියසෙල් ගයන 'මල්ලිකා කියා රැවටිලා මට කතා කළා දෝ' නම් ජනප්‍රිය ගීතය බව මට අදද හොඳට මතකය.  එම ගීතය ඈ  සැහැල්ලුවෙන් සිටගෙන, ආයාසයකින් තොරව රසවත්ව ගායනා කළ බවද මතකය.  වේදිකාවේ කියැවුණු ඇගේ නම ආපසු මතක් කරගන්නට මම උත්සාහ දැරුවෙමි.

'ශිරානි කෞශල්‍යා' ඒ ඇගේ නමයි.  නම ඇසු මොහොතේ මීට කලින් ද ඒ නම අසා ඇති සැටියක් ලාවට වගේ මතකයට ආවත් කොහෙදීද, ඈ කවුද යන වග ඒ මොහොතේ මගේ සිතට ආවේ නැත.  ගීතය අවසන් කළ ඇය ආපසු අවුත් මගේ ලඟින් වාඩිවූවාය.  

" සිංදුව කොහොමද? බැණ බැණ අහගෙන හිටියද?" ඇය මගෙන් ඇසුවාය.

" නෑ, බනින්න දෙයක් තිබුනෙ නෑ. අහගෙන ඉන්න පුළුවනි" මමද විහිළුවකින්ම පිළිතුරු දුන්නෙමි.

" අපෝ, අහගෙන හිටිය විතරද? ඇයි අනේ රස වින්දෙ නැද්ද? මම ලස්සනට සිංදුව කිව්වෙ නෑ කියලද කිව්වෙ? " ඇය ඇසුවේ ආරූඪ කරගත් දුක්මුසු බවකින් යුතුවය.

" නෑ නෑ හරිම මිහිරියි, මම ආසාවෙන් රස වින්දා. ඇයි දන්නවද, ඔබ කිව්වෙ මම කැමතිම සිංදුවක්" මා කියූ විට ඇගේ මුහුණ ආලෝකමත් විය.  

" මට ශිරානි කියන්න." ඇය කියා සිටියාය.  

ප්‍රසංගය අවසන් වන තුරු අප දෙදෙනා විවිධ මාතෘකා ගැන කතා කළ අතර ඇය කීවේ මීට වසර විසි ගණනකට පෙර විවාහ වන්නට ඇමෙරිකාවට පැමිණ මේ දක්වා ඇමෙරිකාවේ ජීවත්වන බවත් දරුවන් ඉගෙන ගෙන රැකියාවන්හි නියුක්ත අතර ඔවුන් විවාහවී සිටින බවත් ඇයද මෑතකදී සිට සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකරන බවත්ය.

" බැඳපු ජෝඩුවකට වෙන්වෙන්න තරම් ප්‍රශ්න නොතිබුණත් වෙන්වෙන එක මේ රටේ විලාසිතාවක් වෙලා තියෙන්නෙ.  ඒ විලාසිතාව දැන් ලංකාවෙ අයටත් බෝවෙලා වගේ නේද? මම අසා සිටියෙමි.

" ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට නම් තේරෙන්නෙ නෑ." ඇය ප්‍රශ්නයෙන් ලිස්සා ගියාය.

අපේ කතාව අතරේම ප්‍රසංගයද අවසන් විය.  ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි ආරාධිතයන්ට සංග්‍රහයක් ද වූ අතර සංග්‍රහය භුක්ති විඳ අපි සමුගත්තෙමු.  සමුගන්නට පෙර ශිරානි ඇගේ ලිපිනයත් දුරකථන අංක දෙකකුත් මගේ අතේ වූ කුඩා ඩයරියේ සටහන් කළාය.  පැමිණි ගමන්ම නිසා ඇයට දෙන්නට කාඩ්පතක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් මා සතුව නොමැතිවීම ගැන මගේ කණගාටුව මම ඇයට ප්‍රකාශ කළෙමි.

" ආ! ඒකට කමක් නෑ නම්බර් එකක් ලැබුණම කතා කරන්නකො." ඇය කීවාය.

ප්‍රසංගය අවසන්ව ආපසු එද්දී මෙන්ම නින්දට යද්දීද මට සිතුණේම ඇගේ රුව මා හොඳට දැක පුරුදු බවත් නමත් හොඳට අසා ඇති නමක් බවත්ය.  ඒ ගැන සිතමින්ම මම නින්දට ගියෙමි.  මගේ සිත තුළ වූ ගැටළුවට පිළිතුරු ලැබුණේ පසුදා උදයේය.  ශිරානි කෞශල්‍යා අසුව දසකයේ මුල් භාගයේ නිපදවුණ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ 'මලට නොඑන බමරු' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි නිළියකි.  එයින් පසු තවත් චිත්‍රපට හතරක පමණ රඟපෑ ඇය සිනමාවට එක්වරම සමුදුන්නේ විවාහ වීම සඳහා විදේශගත වන්නට සිදුවීම හේතුවෙනි.

ඇය සමග කතා කරද්දී මේ විස්තර කිසිවක් මතකයට නොඒම ගැන මම මටම සාප කරගත්තෙමි.  මෙතරම් ජනප්‍රිය නිලියක් ගැන නොදැන සිටි මා අමු මෝඩයෙකැයිද කලා විහීන මුග්ධයෙකැයි ද ඇය සිතුවා නම් එය ඉතා සාධාරණය.  ඇයද මා සමග කතා කරද්දී තමා නිළියක් බව හැඟෙන එක වචනයක් වත් නොකී අතර කීවා නම් සමහර විට මගේ මතකය අවදි වන්නට තිබිණි.  කෙසේ වුවද ඒ අපේ පළමු මෙන්ම අවසාන හමුවද වූ අතර එදා ඇය ගැන මතකයට නොඒම ගැන ඇතිවූ ලැජ්ජා සහගත චිත්තය නිසාම දුරකථනයක් ලැබුණු පසුවද ඇයට කතා කරන්නට හිත හදා ගන්නට මට නොහැකි වූ අතර, ඉන් වසර කීපයකට පසු මා ඇමෙරිකාවෙන් පිටත්ව ආපසු එනතුරුම  ඇයව මට කොතැනකදීවත් හමු නොවීය෴

45 comments:

  1. පලහිලවු හැටහුටහමාරක්නෙ. ආයෙ මුල ඉඳං කියවල එන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඉතිං කියවලා වරෙන් ගොනෝ.

      Delete
    2. තාම කියෝනව බොල.

      Delete
    3. දැන් ඉවර ඇති නේද?

      Delete
  2. මේක හැලපෙකට වඩා ලංවෙන්නේ කොත්තුවකටය.

    ReplyDelete
    Replies
    1. ලොකු මල්ලි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය එකකයේද වැඩ?

      Delete
    2. කැමති විදියකට හිතාගෙන කත හැකිය.

      Delete
  3. හික්කඩුවේ වවුලගල වවුලාගොඩ ලෙස වෙනස් විය යුතුයි .

    * * * * * * * *

    හික්කඩුවේ වවුලගල වවුලාගොඩ ලෙස වෙනස් විය යුතුයි .

    අපරාදේ ඇයව ඇමරිකාවේ දී හමු නොවුනේ .

    කතාව දිග උනාට ලස්සණයි

    ReplyDelete
    Replies
    1. ‘අම්බන්ගොඩ‘ කියල තියෙන එකේ ඕක මොකද්ද. හැක්..

      Delete
    2. තමුසේ එලකිරියෙන් එලෙව්වා කියන්නේ ඇත්තද?

      Delete
    3. Praසන්ன - හේ හේ හේ . ඒක තමයි ප්‍රසන්න අය්යේ

      Delete
    4. අපරාදෙ නේන්නං, ස්තුතියි කලන.

      Delete
  4. අවුරුදු විසි,තිස් ගාණකට පස්සේ මේ මතක මේ විදියට ලියන එකත් එක්තරා විදියකට අපුරු වැඩක් වෙන්න ඇති නේ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි. මල්ලිට ලැට් බරද? ඇන තියං ඉන්නේ?

      Delete
    2. අපූරු වැඩක් තමා, මතක් කර කර අමතක වෙච්ච දේවල් අදාළ අයගෙන් අහගෙන මොන තරම් මහන්සි වෙන්න ඕනැද.

      Delete
  5. ඔය කියන අකුරල පැත්තේ තිබුණු සංචාරක ව්‍යාපාර යුද්ධය නිසා නන්නත්තාර වුවා. ඉට පස්සේ ආ සුනාමිය නිසා තිබුණ පොඩි පහේ සංචාරක නිවාසත් විනාශ වෙලම ගියානේ. සුනාමියේදී කෝච්චිය ගහගෙන ගියෙත් අකුරල තෙල්වත්ත හරියේදී නේද?
    ඔය මහන්සි වෙලා හදපු ටෙලියේ නම මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් දයා මල්ලි. තෙල්වත්ත හරියේ.

      ටෙලියේ නම 'සාගරය' දයා මල්ලි.

      දයා මල්ලි ටෙලි බලනවද?

      Delete
    2. ඔව් ඔය මම කියල තියෙන කිසිම ඉදිකිරීමක් දැන් නැහැ. සයුරෙන් එහා කියල කොටස් හතරක ද කොහෙද ටෙලියක්.

      Delete
  6. හැලපයියෙ ඔයා FB නැද්ද
    එන්නකො එහේ

    ReplyDelete
  7. හැලපෙ අයියා ගෑනු කීයක් එක්ක බුදියන් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. //..කෙල්ලක් වූ අතර ඇය මා සමග හිතවත්ය.//

      Delete
    2. ගෑනුත් එක්ක බුදියගෙන හිටියෙ නෑ ඇනෝ ඇහැරලයි හිටියෙ.

      Delete
  8. //කැමරාව මෙහෙයවීම කරන ලද්දේ පරාක්‍රම සිල්වා විසිනි. ඔහු 'බිත්ති හතර' චිත්‍රපටය කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේය.//

    පරාක්‍රම ද සිල්වා විසින් කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කළ අනෙක් චිත්‍රපටය වන සෙවණැලි ඇද මිනිස්සු බලා ඇතැයි හිතනවා. එයට මෑන් හයිම් චිත්‍රපට උළෙලේ කුසලතා සම්මානයක් හිමි වුණා. මට හොඳින්ම මතක තියෙන්නේ සිනමාස්කෝප් කාචයක් යොදා රූගත කර එම කාචයක් නැතිව පෙන්වන නාමාවලියේ දිගටි රූප. කෙටි චිත්‍රපටත් ගණනාවක් හැදූ පරාක්‍රම ද සිල්වා ඒවායින් කිහිපයකටත් ජාත්‍යන්තර සම්මාන ලැබුවා. ඒවා කොහේ හෝ සංරක්ෂණය වී තියෙනවද කියා දන්නේ නැහැ,

    ReplyDelete
    Replies
    1. ඔහුගේ චිත්‍රපට සංරක්ෂණය වී ඇතැයි මම හිතන්නෙ නැහැ. එය අපේත් අභාග්‍යයක්. ඒ වගේම ක්ෂේත්‍රයේ පරාක්‍රම සිල්වාට කිසිම අගැයීමක් ලබිලාත් නැහැ.

      Delete
  9. මල බඹරා ලඟින් ගිහිනුත් වැඩේ ගිලිහිලා වගේ..

    ReplyDelete
  10. හැලපයිය අර අන්තිම හරිය ලියල තියෙන්නේ අන්තිම හිතේ අමාරුවෙන් බව අපිට තේරෙනව, ගිය නුවණ ඇතුන් ලව්වා වත් බැරි බව ඇත්ත නමුත් සමහරවිට ඇය මුහුණු පොතේ ඇති ?

    ReplyDelete
    Replies
    1. මටත් කියවපු ගමන්ම හිතුනා.... කියන්ඩ ගියේ නෑ

      Delete
    2. ඇය මුහුණු පොතේ ඉන්නවා සහ පේජ් එකකුත් තිබෙනවා. නුවණ එද්දී පෙරහැර ගිහිං ඉවරනේ.

      Delete
  11. මේ නිහාල් කවුද? බර්ට්‍රම්?

    ReplyDelete
    Replies
    1. මේ නිහාල් ගුණවර්ධන කියල මිත්‍රයෙක්, ඔහු දැන් ඉන්නෙ ඉතාලියෙ. අපි ටෙලිය කරන කාලේ බර්ට්‍රම් නිහාල් ගම්පෙරලිය කරමින් හිටියෙ. ඒ ළඟමයි.

      Delete
  12. Me lagadi oya noliya lankawata ewilla inna kota paper article ekak giya

    ReplyDelete
  13. එලන් සිල්වෙස්ටර් මම ආසම කරපු නිලියක්; හොඳ තාත්වික රඟපෑම්. ඇය ගැන තවත් ලියන්න

    ReplyDelete
    Replies
    1. එලන් ට වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳෙන්න ඉඩ ලැබුණේ නැහැ. ඇය මෙලොවින් සමුගත්තා.

      Delete
  14. Replies
    1. ඉතිරි හරිය නැවත ලියමි.

      Delete
  15. ලක්ෂෙකට චිත්‍රයක්! ඒත් කලාවට ලැදි සමහර සල්ලි බාගෙ තියෙන අය මේව ගන්නව

    ReplyDelete
    Replies
    1. දැන්නම් ලක්ෂයක් කියන එක චිත්‍රෙකට සුළු ගාණක්. හැත්තෑ ගණන්වල ඒක ලොකු ප්‍රවෘත්තියක්.

      Delete
  16. මේක කියවලා ශිරානි කෞශල්‍යව බුකියේ සර්ච් කල්ල එහෙම ඔක්කොම අන්තිමේ කොමෙන්ට් එකක් දාන්න බැරිවෙලා කියහන්කෝ.. අද ආවේ කොමෙන්ට් එකට රිපල්යි කල්ලද බලන්න.. හෙහැ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බොලා පහුගිය කාලෙ මෙලෝ සිහියක් නැතුව බුකියෙ බිසී වෙලා හිටිය නොවැ.

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ අදහස්