අපේ ප්‍රජා ශාලාවේ පිටුපස දොරෙන් එළියට බහිනවිටම ඇත්තේ බොහෝ වයසට ගොස් ඇති දුම්මල නිසා ගෙඩි කන්නට බැරි කණාටු කොස් ගසකි. අනික් අය එක්ක මමත් ඔය කොස්ගහ යටට ඇවිත් පහළින් ඇති පාර දෙපැත්ත බැලුවේ කුමාරි පාරේ කොහෙහරිවත් ඇද්දැයි බලන්නටය. කොස්ගහමුල කුණුරොඩු ගොඩගසා තියෙනු දුටු මට සිනාවක් පහළවුනේ දවසක්දා වුන වැඩක් මතක් වීමෙනි. අපි කොල්ලො කට්ටිය කීප දෙනෙක් නිවාඩු දවසක දවාලේ ඔතනට සෙට් වුනේ පොඩියට වගේ කර්තව්‍යයක් කරන්නටය. බොහොම අමාරුවෙන් බෝතල් දෙකකට මුදල් එකතුකරගෙන බෝතල් ගේන්නට තව එකෙක් එක්ක සයිකලයක ටවුමට ගියේ සුද්දාය. ඌ එනතෙක් අපි කතාබහ කරමින් සිටියෙමු සුද්දා ගිය ඉක්මනින් බෝතලුත් අරගෙන ආපහු ආවේ බොන්න තියෙන තිබහ ඉවසන්නට බැරි නිසාවෙනි. ඇතුළට ගිය අපි එකක් කඩා බොන්නට පටන් ගත්තෙමු. මම ටිකකින් එළියට බැස්සේ මා ඉදිරිපිට නොබොන උන් කීප දෙනක් හිටපු නිසා උන්ට අවස්ථාවක් දෙන්නටය. එළියට බැස්ස මම දැක්කේ කොස්ගහමුල ඇති කුණු රොඩු ගොඩය. ඔයවගේ රොඩුගොඩවල් පෙන්නන්නට බැරි අමාරුවක් මට තිබේ. එනම් රොඩු ගොඩක් දැක්ක පමණින් එය ගිනි තියන්නට ඇතිවෙන ආසාවයි මගේ මේ ඔලුවෙ අමාරුව ගැන අපේ ගමේ කොල්ලෝ නම් හොඳින් දැනුවත් වී සිටිති. දවසකුත් ඔය ගිනිතියන වැඩේ කර අමාරුවේ වැටෙන්න ගිහිං යන්තං බේරුනෙමි.
ඒ අපි වලක් කපන්නට කනත්තට ගිය දවසක්ය මුළු කනත්තම මානා පඳුරුවලින් වැසී ගිහින්ය. ඒ දිනවල තිබු වියළි කාලගුණය නිසා මානා පඳුරු ගිනි පුළුන් මෙන් වියලී කරකුට්ටන් වී තිබේ. කට්ටිය වල කපන තැනින් නැගිට පාරට බැස්ස මම කනත්ත වටේ ඇවිද්දෙමි මුදුන්වී ඇති ඉරේ රශ්මිය ඉවසන්නට බැරිය වියළි මානා පඳුරු දකින විට මට ඊට වඩා ඉවසන්නටම බැරිය ගිනි තියන්නටම හිතෙයි. ආපහු ගිහිං බුලත්මල්ලට අතදමා බලනවිට ගිනිපෙට්ටියක් තිබුණි හීං සීරුවේ ගිනිපෙට්ටියත් අරගෙන ආපහු කනත්තේ එහා කොනට ගිය මම හුළං අතබලා ගිනි කුරක් පත්තුකර වියළි මානා පඳුරකට ගිනි තිබ්බෙමි.
හිමිහිට හිමිහිට පැතිරී යන්නට වූ ගින්න ටිකකින් මහා ගිනිජාලාවක් බවට පත්විය. හමන සුළංවලින් ජවය ලබාගන්නා ගින්න ඉදිරියට හසුවන සෑම සියළු දෙයම දවා හළුකරලමින් පැතිරයන්නට වුයේ අනුකම්පා විරහිත ලෙසටය. ආසාවට ගිනි තිබ්බාට දැන් මට පණ බයය එනම් ගින්න කනත්ත පහුකරගෙන වැටෙන් එහා වත්තේ ඇති ගෙවල් වලටද පැතිරෙයිද කියන සැකය නිසාය. දැන් වල කපමින් සිටි අපේ කට්ටියත් කලබල වෙලාය පට පට ගගා ඇවිළෙන ගින්නේ රස්නයට කනත්ත අහලකවත් ඉන්නට බැරිය. ගින්නට බයේ වල් හාවුන් දෙන්නෙක් පැන දිව්වේ මගේ දෙපා අසලිනි. ඔය වත්ත වල් හාවන් විමානයකි ඕනෑම අගලකින් හාවෙක් දෙන්නෙක් තලා ගන්නට කිසි අමාරුවක් නැත. අපේ ගමේ ඉන්න හාවුන් මරුවා එදා කනත්තට ඇවිත් නොතිබුණේ හාවුන්ගේ වාසනාවටය. කලබල වී වටපිට බලන කොල්ලන් දැක්කේ පාරට වී ගින්න දෙස බලා සිටින මාවය.
හිමිහිට හිමිහිට පැතිරී යන්නට වූ ගින්න ටිකකින් මහා ගිනිජාලාවක් බවට පත්විය. හමන සුළංවලින් ජවය ලබාගන්නා ගින්න ඉදිරියට හසුවන සෑම සියළු දෙයම දවා හළුකරලමින් පැතිරයන්නට වුයේ අනුකම්පා විරහිත ලෙසටය. ආසාවට ගිනි තිබ්බාට දැන් මට පණ බයය එනම් ගින්න කනත්ත පහුකරගෙන වැටෙන් එහා වත්තේ ඇති ගෙවල් වලටද පැතිරෙයිද කියන සැකය නිසාය. දැන් වල කපමින් සිටි අපේ කට්ටියත් කලබල වෙලාය පට පට ගගා ඇවිළෙන ගින්නේ රස්නයට කනත්ත අහලකවත් ඉන්නට බැරිය. ගින්නට බයේ වල් හාවුන් දෙන්නෙක් පැන දිව්වේ මගේ දෙපා අසලිනි. ඔය වත්ත වල් හාවන් විමානයකි ඕනෑම අගලකින් හාවෙක් දෙන්නෙක් තලා ගන්නට කිසි අමාරුවක් නැත. අපේ ගමේ ඉන්න හාවුන් මරුවා එදා කනත්තට ඇවිත් නොතිබුණේ හාවුන්ගේ වාසනාවටය. කලබල වී වටපිට බලන කොල්ලන් දැක්කේ පාරට වී ගින්න දෙස බලා සිටින මාවය.
අනේ අම්මප මේ යකානං,කෙරුවොත් කොරන්නෙ ඔහොම වැඩක් නොවැ...
මිනිහා කැලේ දිහා බල බලා කැරකෙනකොට මට නිකමට වගේ හිතුණා...
වේලිච්ච කොළයක් දැක්කත් ඇති නලියනවා...
වේලිච්ච කොළයක් දැක්කත් ඇති නලියනවා...
ආදී වශයෙන් කොල්ලෝ මට පිං අනුමෝදන් කරති.
හා හා දැන් වෙච්ච දේට මොනා කරන්නද වරෙල්ල වරෙල්ලා මේක නිමල දාමු...
පොල්පිති වලින් තල තලා එතැනම ඇති ඇළෙන් වතුර ගෙනවුත් දමා සෑහෙන වෙලාවක් මහන්සිවූ කොල්ලෝ අවසානයේ ගින්න ගෙවල්වලට පැතිර යා නොදී නිවා දැමුහ. හැබැයි කරපු අලුගුත්තේරු වැඩේ ගැන එකෙක්වත් මට දොස් කියන්නට ඉදිරිපත් නොවුයේ අහවල් දෙයක් නිසාදැයි නොදනිතත් නොමිලේ බොන්නට ලැබෙන ටික නැතිකරගන්නට කවුරුන් කැමති වේදැයි මට නිකමට වගේ සිතුවිල්ලක් පහළ විය. ඔය වගේ ගොන් විදියට ගිනිතියන වැඩ හැමතැනදිම කළත් තාම මම මට්ටුවී නැත්තේද කවුරුවත් හරිහාමන් පාඩමක් උගන්වා නැති නිසා විය හැකිය. ඒ නිසාම මම හෙටත් අහුවුන තැන ගිනිතියමි.
දැන් ඉතිං කොස්ගහමුල ලොකු කුණුගොඩක් තිබේ කුණුරොඩු ඔහොම නොසලකා හරින්නට හොඳ නැත්තේ ඕවායේ වතුර එකතුවී මැසි මදුරුවන් බෝවෙන නිසාය. එහෙම උනොත් එය අහල පහළ අයගේ ශරීර සෞඛ්‍යයටද අහිතකරය ඒ නිසා නීතිගරුක පුරවැසියෙකුගේ වගකීම වන මේ කුණුගොඩට ගිනි තබා ඉවරයක් කිරීම මගේ යුතුකමය. ගිනිපෙට්ටි හොයන්නට කොල්ලන් බොන තැනට ගියොත් එහෙම මට ලැබෙන්නේ ගිනිපෙට්ටි නොව කන්දෙක පුරා බැණුම් වරුසාවකි ඒ නිසා මම එතනට නොගොස් ළඟපාත ගෙදරක එළියේ සිටි කාන්තාවකගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලා ගෙනවුත් ඉතාම සීරුවට කුණුගොඩට ගිනි තිබ්බෙමි. ගින්න හොඳින් ඇවිලෙද්දී වට පිට තිබුණ කුණු රොඩුද ඇදගෙනවිත් ගින්නට දැමුවිට ගිනිගොඩ ඉතා අලංකාරව ඇවිලෙන්නට විය. මම හද පිරි චිත්ත ප්‍රීතියෙන් යුතුව ඇවිළෙන ගිනිගොඩ දෙස බලමින් සතුටු වෙමින් සිටිනා විට ගිනි ඇවිළෙන සද්දෙටද කොහෙද ඇතුලේ බිබී හිටපු සුද්දා එළියට දුවගෙන ආවේය. මොහොතක් ගිනි ගොඩ දෙසත් සතුටින් ගිනිගොඩ දෙස බලා සිටින මා දෙසත් බැලූ සුද්දා අත් දෙක ඔලුවේ තබාගෙන එතැනම ඉඳගත්තේ කකුල් පණ නැතුව ගියා සේය.
කවුද ගිනි තිබ්බෙ ඔයාද? සුද්දා මගෙන් අසයි.
එහෙනං,පේනව නේද ඇවිළෙන ලස්සන...මම ආඩම්බරයෙන් පිළිතුරු දෙමි.
ලස්සන මං කියන්නෙ නෑ ලස්සන... සුද්දාගේ කටහඬ කෝපාවිෂ්ටය ඇස්වල කඳුළුය.
ඇයි සුද්දෝ මොකක්ද වැරැද්ද...
නෑ නෑ ඔයාගෙ මොකුත්ම වැරද්දක් නෑ මම ගෙනාපු අනික් බෝතලේ ඔය රොඩුගොඩ අස්සෙ ගහල තිබුණ එකයි වැරැද්ද දැන් ඉතිං බීපියව් අහවල් එක...පිස්සෙකු සේ කියමින් සුද්දා කුණුහරුප වැසි වස්සන්නට විය.
ගිනිගොඩ එතරම් අලංකාරව ඇවිලුන රහස හෙළිවුණේ ඒ මොහොතේදීය. පාලි සංස්කෘත මතු නොවැ ප්‍රාකෘත භාෂාවලද සමර්ථයකු වූ සුද්දාට භාෂා නෛපුණ්‍යත්වය අතින් අපේ අටමාද පරද්දන්නට හැකි නොවේදැයි මට බොහෝවිට සිතේ. ඇවිළී අවසන්ව ටික ටික නිවී යන ගිනිගොඩ දෙස සුද්දා බලාසිටියේ ගිනිගත් තම නිවස දෙස හද පැලෙන තරම් ශෝකයෙන් බලා සිටි පනංගල අයියා වගේ යැයි මට ඒ මොහොතේ සිතුනි. ටවුමෙන් බෝතල් දෙකක් ගෙන ආ සුද්දා එක බෝතලයක් රොඩුගොඩ අස්සේ ගසා එක බෝතලයක් ගෙනාවාසේ රඟපෑවේ පිනට බොන්නට එන අපතයන්ගෙන් බෝතල් බේරාගන්නටය. ඌ හොඳ හිතින් කළ සත් කාර්යය දැන් නොපිට හැරී ඇති නිසා අනික් උන්ගෙන් සුද්දාට දෝෂාරෝපණ එන්නට නොදී ඌව බේරාගත යුතුය. අතේ සල්ලිද නැත අපේ ගේ තියෙන්නේ පිට්ටනියට පොඩ්ඩක් උඩහින්ය. සුද්දාට එහෙමම ඉන්නට කියූ මම ඉක්මන් කර ගෙදර ගියෙමි මම යනවිට බිරිඳ කුස්සියටවී දවල්ට උයමින් සිටියාය. ඇය කැකුළු බතකුත් කිරිකොස් මාළුවකුත් හදා පැත්තකින් තබා පදමට කොච්චිද මුසුකර කරෝල තෙල්දමයි. කරෝල බැදුමේ රුචිකර සුවඳ කොස් මාලුවේ සුවඳට මුසුවී හාත්පස පැතිර යන්නේ මගේ බඩගින්න අවුළුවමිනි.
ආ මොකද කළින්ම...බිරිඳ අසයි.
නෑ මං මේ හදිස්සියකට ආවා...කියමින් දොට්ට පිලට යන්නට ආ එකෙක්සේ රඟපෑ මම කාමරයට ගොස් බිරිඳගේ පසුම්බියෙන් සල්ලි අරගෙන එළියට ආවෙමි.
මං යනෝ...
යන දිහාක කාල යන්න...
කන්න ඉක්මනට එන්නං...
කියමින් අඩිය ඉක්මන් කර ප්‍රජා ශාලාවට ගිය මම තව බෝතල දෙකක් ගේන්නැයි කියා සුද්දාට සල්ලි දුන්නෙමි. සුද්දාගේ මුහුණ මහදවල් පුරහඳ පෑව්වාසේ ප්‍රීතියෙන් බබලන්නට වුයේ නැතිවී ගිය වාසනාව නොසිතු විලස නැවත අතටම ලැබුන නිසාය. මුදල්වලට වඩා සුද්දාගේ සතුට එවෙලේ මට රටක් වටී.
දැන් ඉතිං නව වසරට ආසිරි ප්‍රසංගය ඉදිරිපත් කිරීම පැත්තක තබා කුමාරිව හොයන්නට වී ඇත. කිසි කෙනෙකුට නොකියා ඇය කොහේ ගිහින්ද? එච්චර පාට නැති උනත් උස්වූ පිරිපුන් සිරුරක්ද සුනම්‍ය සිත්බඳනා කැපීපෙනෙන අඟපසඟද මිතුරු කතාබහද ඇති ප්‍රියමනාප හැඩකාර කාගේත් සිත් බැඳ ගත් කාන්තාවක් වූ කුමාරිගේ ඇසුර පැතු මෝල් අමාරුකාර අපතයන් කීප දෙනෙක්ද අපේ ගමේ හිටපු බව මට රහසක් නොවේ. උන් දෙතුන් දෙනාද අද අපේ නව වසරට ආසිරි ප්‍රසංගය බලන්නට නොවැරදීම ඇවිත් ඇතුවාට සැක නැත. ඔයවගේ වෙලාවල බොරදියේ මාළු බාන්නට උන් බෙහෙවින් සමර්ථය. උන්ගෙන් එකෙක්වත් කුමාරිව උස්සලාදැයි දහ අතේ කල්පනා කරමින් ඉන්නාවිට පාරේ ඈත කෙළවරින් කාන්තා රුවක් මතුවෙනු ලයිට් කණුවේ එළියෙන් දැක්කෙමි. දෙයියන් දුන්නාසේ ඒ එන්නේ කුමාරිය ඇය දුවන නොදුවන ගානට වේගයෙන් අප සිටින දෙසට එයි෴