අහසේ අලුවන් පැහැය වැස්සක සළකුණු කියාපෑවත් වැස්සක් ළඟපාතකවත් නැතිබව ගත සිත කුල්මත් කරමින් හමන සිසිල් සුලඟ කියාපායි. නගරයේ තැනින් තැන කඩ සාප්පු නත්තල් ඇඟැළුම් පළඳින්නට පටන් ගත්තා පමණය. තවත් සතියක් ගතවන්නට පෙර මුළු නගරයම නත්තල් අසිරියෙන් පිබිදෙන්නට ගන්නා බව අනුර දන්නේ අවුරුදු කීපයක අත්දැකීම් වලිනි. කන්දක් උඩ ඇති මහ පල්ලිය පසුකර ඒ වනවිට ඔවුන් පැමිණ සිටියේ නිව්ජෙම් සිනමාහල අසල පිහිටි අප්සරා හෝටලය අබියසටය.
"මොකද සද්දයක් නැතුව ඉන්නෙ, අද තේ එකක්වත් බොන්නෙ නැද්ද?" ගුණේ අසයි.
රැකියාව නිමවී ආපසු ගෙදර යන්නට පැමිණෙන වෙලාවට අප්සරා හෝටලයෙන් එළවළු රොටී කා තේ බීම සතියකට දෙතුන්වතාවක් වත් සිදුවන දෙයකි. නගරයේ වෙනත් හෝටලවල නැති රසක් අප්සරා හෝටලයේ කෑමවල ඇති බව ඔවුහු දනිති. එහෙත් හැමදාම හෝටලයෙන් තේ බොන්නට ඔවුන්ගේ අතමිට සරු නැත. එබැවින් බොහෝ දිනවලදී ඔවුන්ට හෝටලය නුදුටුවාක් මෙන් එය පසුකර යන්නට සිදුවේ. ගණනින් හතරක් හෝ සමහර දිනවලට පහක් වන තරුණයන් පිරිස හවස පහමාරට පමණ ඇති දුම්රිය අල්ලා ගන්නට බසයෙන් හෝ පයින් නගරයට පැමිණෙති. තේ බී හමාරවීමෙන් පසු දුම්රිය පොළට යන්නට වේලාව එනතුරු ඔවුන් ගතකරන්නේ රංජිත්ගේ රේස් බුකියේය. රංජි, අනුරලා සමග එකට වැඩ කරන සොයිසාගේ අයියාය. රාගම ටවුමේ බුකියක් කරන ඔහු රේස් අන්තුවෙකි. අනුරලා බුකියට යන වෙලාවට රංජි බොහෝ කාර්ය බහුලය. ඔට්ටු ඇල්ලීම අවසන් වන වෙලාවට පෙර සියලුම පාරිභෝගිකයන්ගේ චිට් සහ මුදල් භාරගැනීමද ඒවා රේස් මධ්‍යස්තානයට භාරදීමද කළයුතු බැවින් රංජි දුම්මල වරම් ගත් කපුවෙකු මෙන් දඟලයි. සමහර ඔට්ටු කරුවන් චිට් එක ලියාගෙන එන අතර සමහරුන් බුකියේදී රේස් පත්තරය බලා අස්සයන් අල්ලයි. ඔවුන්ටද චිට් එක රංජි ලිවිය යුතුය. ලියන්නට වෙලාවක් නැතිවිට රංජි අනුරලාවද වැඩේට අල්ලා ගනී.
"අනේ, මෙන්න මේ චිට් දෙක තුන ලියල දීපල්ලකො. අප්පා... මගෙ චිට් එක ලියාගන්නත් තාම බැරිවුනා බං."
රේස් නොදැම්මාට අනුරලාගෙ කල්ලියේ කාටත් රේස් සූදුව ගැන මනා දැනුමක් ඇත්තේ සොයිසාගේ ආභාෂය නිසාය. රංජි ළඟ පරණ රේස් පත්තර මිටියක්ම ඇත. දුවන අස්සයන්ගේ පැටිකිරිය සොයාගන්නේ ඒ රේස් පත්තර මිටිය පෙරලා බලලාය. අස්සයන්ගේ පරණ වැඩ පමණක් නොව උන්ගේ දෙමව්පියන්ගේ විස්තරද රංජි සතුය. ඔහු ඉතා සීරු මාරුවට රේස් කොල පෙරලමින් දවසේම කරන්නේ අස්සයන් තෝරන එකය. ඒ තරම් පරිශ්‍රමයකින් අස්සයන් තෝරා ඔට්ටු ඇල්ලුවද පහුවදාට රංජිගේ අස්සයන් පැරදිලාය. අනුරලා නිකම්ම පෙන්නන සහ රංජි සවුත්තුවට හිනාවෙන අස්සයන් නිතරම පාහේ දිනති. එහෙම වුන දවසට රංජි කියන්නේ පොඩි ගණන් ගෙවන උන් අල්ලලා වැඩක් නැහැයි කියාය. අනුරලා කෝච්චියට යන්නේ රේස් පොල වසා රංජි චිට් ටික බාරදෙන්නට අරගෙන ගියාට පසුය.
නත්තල් සීත සුලඟ ගත කිළිපොලමින් හමා යද්දී පෙරමෙන් නොව දැන් අනුරට දැනෙන්නේ යම් හිස්බවකි. ශෝකයක්ම නොව එය අහිමිවීමක් පාලුවක් වැනි තනිකමකි. ගත වටා වෙලෙන සිහිල් සුලඟ ඔහුගේ සිත වසර දෙක තුනක අතීතයට ඇදගෙන යයි.
"කමනී"? ඇය යන්නට ගොස් අවුරුදු තුනක් ගතවුණා නොවේද? ඉන් පසුවට ඇය ගැන හාන්කවිසියක වත් ආරංචියක් නොමැත. ඇය දැන් කොහි ඇද්ද? ඒ ගැන අනුර විපරම් කළේද නැත. කෝච්චිය මහ හඬනගමින් දුවයද්දී ඒ පරදමින් අනුරගේ සිත අතීතයට දිවයයි.
........................................................................................................................
"ඒයි, අපේ පෙට්ටියට ගම්පහින් කෙල්ලො කට්ටියක් නගිනව බං."
චන්දරේ කීවේ අනුර ඌත් සමග කෝච්චිය අද්දන තුරු වාඩිවී බලා සිටියදීය. දවස් දෙකක පමණ නිවාඩුවකින් පසු අනුර ආපසු වැඩට යන්නට ආවේ අදය. උදේ 6.40 ට අනුරලාගේ ස්ටේෂමෙන් හරවන කෝච්චිය ඔවුන්ගේ සුපුරුදු ප්‍රවාහන කටයුත්තට උරදුනි. ගෙදරින් උදේ හයට හයයි කාලට පිටත් උනත් කෝච්චියට පැමිණෙන්නට වෙලා ඇත. කට්ටියටම වාඩි වෙන්නට ආසනද තිබේ. එබැවින් ඒ කෝච්චිය අනුරලාගේ පෞද්ගලික වාහනයක් මෙන් සැප පහසු එකක් විය. දවස් දෙකක් වැඩට නොගිය හෙයින් චන්දරේ කියූ ආරංචිය අනුරට අලුත් එකක් විය. ගම්පහින් නගින් කෙල්ලන් කට්ටිය අනුරලාගේ පෙට්ටියටම එන්නේ ඔවුන් රාගමින් බැසගත් පසු ඒ ආසනවල ඉඳ ගන්නට බව චන්දරේ වැඩිදුරටත් කීවේය.
චන්දරේගේ කතාවට ගානක් නැතිවසේ සිටියද ගම්පහින් කෙල්ලන් ටික කෝච්චියට ගොඩවෙන තුරු අනුර සිටියේ නොඉවසිල්ලෙනි. චන්දරේ කිව්වා සේම ගම්පහදී කෙල්ලන් හතර දෙනෙක් අනුරලාගේ පෙට්ටියට නැගගෙන සෙනග අතරින් ඔවුන් සිටි තැනට විත් පෙනී සිටියහ. වයස විසි ගණන් වල මුල හරියේ පසුවන යුවතියන් වූ ඔවුන් හඳුනන අය මෙන් චන්දරේලා සමග කතා කරමින් ගියත් මුල් දිනම දුටු අය සමග කතාකිරීමට අනුර පසුබෑවේ කෝලකම නිසාය.
"මෙයා කව්ද?" එක කෙල්ලෙක් චන්දරේගෙන් අසයි.
"මේ අනුර, දවස් දෙකක් නිවාඩු ඉඳල අද ආවෙ." චන්දරේ කියන විට අනුර සිනාවකින් ඔවුන් දෙස බැලීය.
චන්දරේලාට සාපෙක්ෂව කෙල්ලන් ඉදිරියේ ලජ්ජාශීලී චරිතයක් වන අනුරට මෙතෙක් පෙම්වතියක් නොවීය. ඒ අකැමැත්ත නිසා නොව බිය නිසාය. කෙල්ලන් පසුපස ගොස් ඔවුන්ගෙන් ප්‍රතික්ෂේප වුවහොත් එය අනුරට දරාගත නොහැකි ලැජ්ජාවක් වීම එයට මූලික හේතුවයි. ඒ නිසාම අනුර කාන්තා සමාගම සිතාමතාම මගහැර සිටියේය. නමුත් කෙල්ලෙකුගේ ආදරය ඔහුට තදින්ම උවමනා කර තිබිණි. එහෙත් කෙල්ලෙක් සමග යාළුකමක් හෝ පටන් ගන්නේ කෙලෙසදැයි ඔහුට සිතුවිල්ලකුදු නොවීය.
දිනපතා කෙල්ලන් සමග කෝච්චියේ යන්නට ගත් විට අනුරගේද ඔතෑනි ගති පහව ගියේ කෙල්ලන් කිසිම සබකෝලයක් නොමැතිව ඔවුන් සමග විහිළු කරමින් හරි හරියට කතා කරමින් ගිය නිසාය. එතන කෙල්ලන් හතර දෙනෙකි. පුෂ්පා සහ රංජනී බෙහෙවින් කෙසඟ තරුණියන් වූ අතර චන්ද්‍රා සහ කමණි තරමක් ඇඟපත ඇති කෙල්ලන් වූහ. කණ්ඩායමේ නිතරම කියවන බෙහෙවින් දොඩමළු පුෂ්පා ඇරෙන්නට අනික් අය තරමක් අඩු කතා ඇතියවුන් වූ අතර කමණී ඉතාම නිහඬ චරිතයක් වූවාය. ඔවුන් කණ්ඩායමම ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ කෙටිකාලීන පාඨමාලාවකට යන බවත් තවත් මාස කීපයකින් එම පුහුණුව අවසන් වන බවත් ඔවුන්ගෙන් කියැවිණි.
දිගින් දිගටම කෝච්චියේ එකට යෑම නිසා දැන් කට්ටියම බෙහෙවින් කුළුපගය. කමනී ගැන අදහසක් අනුරගේ හිතට දැම්මේ චන්දරේ උනත් ඌ කියන්නටත් පෙර සිට කමනී ගැන අනුරගේ සිතේ තරමක ඉඩක් වෙන්වී තිබිණි. චන්දරයා කිව්වයින් පසුව ඒ ගැන අනුර වඩාත් උනන්දු වන්නට විය. ඊටත් අමතරව තමන් දන්නා දේ හිතේ තියාගෙන නොඉඳ කියවන චන්දරේගෙන් කණ්ඩායමේ අනික් අයද ඒ ගැන දැනුවත් විය. කොහොමත් කමනී ගැන උනන්දුවන වෙන කවුරුත් නොසිටි නිසා අනුරට තිබුණේ කමනීට කතා කර යාලු කරගන්නා එක විතරය. කට්ටියගේ කතාබහෙන් තමන් ඇය ගැන උනන්දු වන බව කමනී නොදැන සිටින්නට විදියක් නැති වුණත් ඇය හැසිරුනේ නම් අනුර ගැන කිසිම හැඟීමක් නැති ගානටය.
"අපේ ට්‍රේනිං ලබන සතියෙ ඉවරයි! "
දවසක් දා උදේ කෝච්චියේ කට්ටියම කතා කරමින් යද්දී පුෂ්පා එකවරම කීවාය.
"ඊට පස්සෙ?"
එහෙම ඇසුවේ චන්දරේය. පුෂ්පා ගැන ලොකු උනන්දුවකින් සිටි චන්දරේට ඊට පසු ඇයව දකින්නට නොලැබේ යයි හිතෙන්නට ඇත.
"ඊට පස්සෙ ඉතිං අපි ජොබ් හොයාගන්න ඕනෑ!"
රංජනී කීවාය. මේ දිනවල අලුතෙන් ආරම්භ කර ඇති කටුනායක වෙළඳ කලාපයේ කම්හල්වල පුහුණු සේවිකාවනට ඉල්ලුමක් ඇති බැවින් ඒ කම්හලක රැකියාවක් සොයා ගැනීමේ ප්‍රශ්නයක් ඇති නොවන බව ද ඇය කීවාය. පුෂ්පා දකින්නට නොලැබේ යයි සිතා සිටි චන්දරේට මෙන්ම තමාටද එම කතාවෙන් එකවරම සහනයක් ලැබුණේ මන්දැයි අනුර වැඩිදුර නොසිතුවේය. අනුරට ඒ දවස් ගතවුණේ කමනී ගැන මවන සිහින සමගය. වැඩි උසක් නැති ආකර්ශණීය රුවක් සහිත ඇයගේ සිනහව, ගීතවත් කතාව, ගමන බිමන අනුරගේ ඇසට රසාංජනයක්ම විය. කමනී තමන් සතු කර ගැනීම සඳහා ඔහුට නොකල හැක්කක් නොමැති බව අනුරට සිතිණි. චන්දරේද හැම විටම අසන්නේ එයමය. එහෙත් කමනී ඉදිරියේ අනුරගේ මුව ගොළු වෙයි.
"ඒයි, උඹ කමනිට කතා කළාද බං?"
"නෑනෙ, තවම බැරිඋනා , එකපාරටම අහන්න අමාරුයිනෙ බං."
"ඔව්, උඹ තටම තටම ඉඳිං, වෙන එකෙක් දාගන්නකල්, ඊට පස්සෙ හූල්ලපං."
චන්දරේ එහෙම කිව්වට ඒකෙ අමාරුව දන්නෙ මමනෙ. අනුර සිතුවේය. චන්දරයාට කෙල්ලන් සිම්පල් ය. කිසි ගානක් නැතුව කෙල්ලන්ට ලංවී සිනාසෙමින් කතාකරයි. අනුරට කට්ටිය සීයක් ඉදිරියේ කිසි අවුලක් නැතිව කතාකරන්නට පුළුවන් උනත් එක කෙල්ලක් ළඟ කතා කරගන්නට බැරිව තටමයි. හැමදාම මෙහෙම කරගෙන යන්න බැරිය. දෙකෙන් එකක් සිද්ද වෙන්න ඕනෑය. ඕනැ දෙයක් කියා අතෑරලා දාන්න වෙලාවකට හිතුණත් කමනීගේ මුහුණ දකිද්දී අතාරින්න ලෝබය. කමනීද හොඳට හිනාවෙවී කතාකරන්නේ අනුරගේ හිතේ ඇති සිතුවිලි නොදන්නවා මෙනි. ඒත් අනුරගේ ලොල්බර මුහුණත් අනික් කට්ටිය කියන කට කැඩිච්ච කතාත් නිසා අනුරගේ සිතැඟි කමනී නොදන්නවා කියන්නේ පුදුමයකි. කෙල්ලන් එහෙමය. මීටර සීයක් දෙසීයක් ඈතින් සෙනග අතරේ සිට වුවද, තමන්ගේ පිටුපසින් සිට වුවද, තමන් දෙස උවමනාවෙන් බලන කෙනා පවා වහාම මීටර් කරගැනීමේ සහ යන්තම් තමන් දෙස බැලූ පුද්ගලයා වුවද සැනෙකින් මතක තබා ගැනීමේ අරුම පුදුම හැකියාවක් ඇති අය නම් කෙල්ලන්ය.
"ඉක්මනටම දෙකෙන් එකක් වේවිනෙ." යි සිතමින් අනුර හිත හදා ගත්තේය.
කමනිලාගේ පුහුණුවේ අවසානයත් ඔවුන්ට කටුනායක වෙළෙඳ කලාපයේ රැකියා ලැබීමත් එක සතියක් තුළ සිදුවිය. එය ආයෝජන ප්‍රවර්ධන කලාපය යනුවෙන් බෝඩ් ගසා තිබුනද එවකටත් ගොඩනැගෙමින් පැවතුන වේගයෙන් ඉදිවන කම්හල් සහ දූවිලි ගොඩවල් සහිත පාරවල්වලින් ද බර වාහන බුල්ඩෝසර් සහ බැකෝ වලින්ද පිරී ඉතිරී තිබුණු දුහුවිල්ලෙන් රත් පැහැගත් වෙළෙඳ කලාපයේ අලුත් කම්හල් වලට සේවකයන් සොයමින් සිටි කාලයකි.
"හෙට ඉඳන් වැඩට එන්න කිව්වා!"
රැකියා සොයා කටුනායකට ගිය දින සවස රාගම දුම්රිය පොළේ සිටි කමනී අනුරට කීවාය. දින කීපයක සිට කමනී තමන් සමග වැඩිපුර කතාවට එන බවත් ඇයගේ තොරතුරු අනුර එක්ක තනියම කියන බවත් අනුරට හැඟීගොස් තිබුණි. අනික් කෙල්ලන්ට සාපේක්ෂව නිහඬ තරුණියක වූ කමනීගේ මේ හැසිරීම ඉවකළ අනුර ඇගේ වෙනස්වීම වහාම හඳුනා ගත්තේය.
"දවසම කටුනායකද හිටියෙ?" අනුර ඇසුවේය.
"නෑ අනේ, වැඩේට පැයක්වත් ගියෙ නෑ, පස්සෙ අපි මීගමු ගිහිං ඇවිදල දවල්ට කාල එහෙම ඔයාලට විස්තරේ කියන්න මෙහෙට ආවා!"
වෙහෙස නිසා රතුවී තිබුණද ප්‍රබෝධමත් මුහුණින් සිටි කමනී කතාකළේ සිනාසෙමිනි. ඇගේ හුරතලය අනුරගේ සිත ඇයට බෙහෙවින් ආසක්ත කරයි. අතින් අල්ලා ඇයව ළඟට ගන්නට සිතුනද අනුර තම සිතැඟි පාලනය කරගෙන සිටියේය. එදා හවස කමණී දුම් රියෙන් බැස ගෙදර ගියේ අනුර අතේ තිබුණු යොවුන් ජනතා පත්‍රයද ඉල්ලාගෙනය.
අනුර ගෙදර ගියේ මහත්වූ සැහැල්ලුවකිනි. ඔහුට දැනුනේ තමා අහසේ පාවෙන්නාක් මෙනි . මහත්වු අපහසුවකින් සහ දෙගිඩියාවකින් සිටි කාරිය පුදුමයකට මෙන් කිසිම අපහසුවකින් තොරව ඉබේම වගේ සිදුවී ඇත. චන්දරේද කතාව එක්වරම විශ්වාස කළේ නැත.
"මට හරි පුදුමයි බං. කෙල්ල හිටියෙ නං නිකං අනංගයගෙ මාරය වගේ නේද, කොහොමහරි කමක් නෑ උඹ වැඩේ කරගත්තනෙ. ඕකට තමයි කියන්නෙ බං කන්න පින තියනව නං ඉබ්බ ගෙට එනව කියලා."
චන්දරේ කියන්නේ සැහැල්ලුවෙන් වුවද කතාවේ තරමක දුකක්ද ගැබ්වී ඇති බව අනුර එක්වරම වටහා ගත්තේය. එයට හේතුවද අනුර හොඳින් දනී. චන්දරේ පුෂ්පාව යාලු කර ගන්නට තමන් දන්න සෙල්ලම් සියල්ලම දැමුවද පුෂ්පා ඌව ගණන් ගත්තේ නැත. චන්දරේ කියන සෙවල කතා සියල්ල සිනහවකින් මග ඇරිය පුෂ්පා පසුකාලීනව වෙන කොල්ලෙකුට කැමතිවී ඇති බව කමනී අනුර සමග බොහෝ පසු කලෙකදී කීවාය. කමනීගේ සහයෙන් පුෂ්පා කොටු කරගන්නට චන්දරයා අනුරගේ සහාය බලාපොරොත්තු වුවද කමනී අනුරට එතෙක් වචනයක් නොදීම හේතුවෙන් එයද අසාර්ථක විය. කොහොමත් යන හැම තැනම කෙල්ලන් යාළු කරගෙන සිටි චන්දරයාට පුෂ්පාද අමාරුවේ දාන්නට උදව් කිරීමට අනුර කොහෙත්ම නොසිතුවේය.
අනුර දන් දිනපතා වැඩට යයි. කොහොමත් කමනිලා හමුවූ දිනවල සිට එතෙක් අක්‍රමවත්ව තිබූ රස්සාවට යෑම නොවරදවා කෙරෙන්නක් බවට පත්ව තිබුණි. කලින් සති දෙක තුනකට වතාවක් කෙරෙන රස්තියාදු ගමන් සියල්ල නැවතුනේ හැමදාම කමනී බලාගන්නට තිබුණු උවමනාව නිසාය. දැන් අනුර අවශ්‍යතාවකටවත් නිවාඩු නොගනී. ගෙදර ඉන්නේ සති අන්ත නිවාඩුවේ විතරය. ඔය නිවාඩු නොගැනීම නිසා යාලුවෙක්ද අනුර එක්ක හිත නොහොඳ විය. ඒ කතාව මෙහෙමය.
අනුරලාගේ ගෙවල් ළග තිබූ රෙදි මෝලේ වැඩකල නුවර කොල්ලෙක් වූ වසන්ත ඒ හරියේ හිටපු ලස්සන කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් හදා ගත්තේ බොහෝ වැර වෑයම් කරලාය. නමුත් හොරෙන් හොරෙන් කරගෙන ගිය ලව් එක කෙල්ලගේ ගෙදරට ආරංචි වූ පසුව කෙල්ලගේ ගෙදරින් පැන නැගුනේ ලොකු විරෝධයකි. කෙල්ලගේ තාත්තා වූ මාලු මුදලාලිද ටවුමේ කඩ කාරයන් වූ අයියලාද ලේසි පාසු අය නොවු බැවින් වසන්තට කෙල්ල හම්බ වෙන්න පවා බැරි තත්ත්වයක් උදාවිය. ඉන් නොනැවතුනු ඔවුන්ගේ මරණ තර්ජන හමුවේ බියට පත්වූ වසන්ත රස්සාව දමා ගසා ගෙදර ගියේය. නමුත් ලව් එක නොනැවතී ගලා ගියේය. වසන්ත කරන්නේ උදෙන්ම නුවර ඉඳන් කාගේ හෝ යාලුවෙකුගේ ගෙදරට ඇවිත් කෙල්ලට පණිවිඩයක් යවා ගෙන්නාගෙන හැංගි හොරා කතාකර ආපහු යන එකය. වසන්ත ඒ වගේ අනුරලාගේ ගෙදරටත් දවස් කීපයක් ඇවිත් ගිහින් තිබුණි. මේ වැඩේද කෙල්ලගේ ගෙදරට අහු වෙන්නට වැඩි කාලයක් නොගිය අතර කෙල්ලගේ අම්මා අනුරගේ අම්මාවද හමුවී කියා තිබුනේ වසන්තව ගෙදරට ගෙන්නා ගන්නට එපා කියා අනුරට කියන්නට කියලාය.
එක දවසක මහ පාන්දර කළු කපා එළිය වැටීගෙන එද්දී අනුර හිටියේ වැඩට යන්නට සූදානම් වෙමිනි. හැඳ පැළඳගෙන අම්මා බත්ගෙඩිය බඳින තුරු අනුර කුස්සියට වී බලා සිටියදී වසන්ත උගේ යාලුවෙක් වන මොහොමඩ්ද එක්ක අනුරගේ ගෙට ගොඩවිය. ඔවුන් පිළිගෙන තමන්ගේ ඇඳේ එළිවෙනතුරු නිදාගන්නට කියා එළියට බහින්නට ලෑස්ති වෙද්දී වසන්ත අනුරට කීවේ නවතින්නට කියාය. නමුත් අනුර ඒකට අකමැති උනේ නොගිහින් ගෙදර හිටියොත් එදා කමනිව මග ඇරෙන නිසාය. වැඩ වැඩි බැවින් අද නොගිහින් බැරිම දවසක් නිසා යායුතුමයි කියූ අනුර වැඩට ගියත් එදා ඇතිවුන කහට සෑහෙන කාලයක් වසන්තගේ හිතේ තිබුණු බව අනුර දෑන සිටියේය.
අනුරලාගේ කුඹුරු යායේ ගොයම් කැපිල්ල සාමාන්‍යයෙන් දවස් තුනක් විතර ගතවෙන ලොකු වැඩකි. ගොයම් කැපිල්ලට උරදී කටයුතු කරන්නේ අනුරය. අයියා රස්සාවට ගොස් ගමෙන් පිට නැවතී සිටියි. මල්ලිලාද පොඩි කොල්ලන් බැවින් අනුරට වැඩේට කර ගහන්නම සිදුවේ. ගොයම් කැපිල්ල සති අන්තයකට දාගත් අනුර යාලුවන් කට්ටිය අල්ලාගෙන ගොයම් කපා පාගා බැතද ගොඩ ගැසුවේ එක දිගට දවස් දෙකක් නිදි මරමිනි. සඳුදා උදේ අනුර වැඩට යන්නට හදද්දී අම්මා කණු කුනු ගෑවේ වී ටික හුළං කරගන්නේ කොහොමද කියාය. ඒ දවස්වල අද වගේ මෝටරයෙන් කරකවන හුළං පෙති නොතිබුණු අතර හුළං පෙත්ත අතින් කරකවමින් වී ටික සුද්ද කරගන්නට සිදුවේ. ජයා කොල්ලාට කතාකළ අනුර හුළං පෙත්ත කරකැවීම ඌට පංගාර්තු කොට එදාද වැඩට ගියේය.
"දැන් කොල්ල වැරදිලාවත් නිවාඩුවක් ගන් නෑ වගේ!" චන්දරේ දවසක් කීවේ අනුරට ඔලොක්කුවටය.
"ඉතිං හොඳයිනෙ බං!" අනුර කීවේ සිනාසෙමිනි.
"හොඳයි හොඳයි මොකද නරක, හැබැයි උඹ වෙනද ගෙදර නැවතුනාම අපි ගිහිං එක්කං එනකල් ඉන්නවනෙ, ඒකයි වෙනස!"
"නෑ බං, කමනි මතක් වෙනකොට ගෙදර ඉන්න බෑ මූණ බලාගන්න එන්න හිතෙනවා, සති අන්තෙ දවස් දෙකවත් ගෙවාගන්නෙ හරිම අමාරුවෙන්!"
"අප්පට සිරි, මූ දැම්මම සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක් වෙලානෙ. පටන් ගද්දිම ඔහොම සීරියස් වෙන්න එපා බං. කෙල්ලො වෙනස් වෙනවා, කවුද දන්නෙ කමනී කොහොම කෙල්ලක්ද කියලා?"
"අනේ නෑ බං, කමනී එහෙම වෙනස්වෙයි කියල මට හිතාගන්නවත් බෑ!"
"එහෙම නොවෙයි කියල දැනට හිතමුකො!"
කමනී රස්සාවට ගියත් ඔවුන්ගේ හමුවීමට එය බාධාවක් නොවීය. කමනිලා කෝච්චියට ගම්පහින් ගොඩවී අනුරලාත් සමග එක මැදිරියේ ඇවිත් කට්ටියම රාගමින් බැසගෙන අනුරලා වැඩට යන අතර කමනිලා ඊට ටික වෙලාවකට පසුව එන නාත්තන්ඩිය කෝච්චියේ නැගී කටුනායකට යති. හවසට අනුරලා එන්නේ ටිකක් වේලාසනනි. ස්ටේෂමට ඇවිත් ඔවුන් කමනිලාගේ කෝච්චිය එනතුරු එහි ගාඩර් එක උඩට වී කල් මරති. දෙගොල්ලම එක්වී ඊට පසුව එන කෝච්චියේ නැගී යති. වෙනදා හවස් වෙනකොට ගෙදර යන අනුර දැන් ගෙදරට ගොඩවෙන්නේ අඳුරත් අරගෙනය.
මේ අතර සිදුවුන විශේෂ සිද්ධියක් වනුයේ ගුණේත්, චන්දරේත් කෙල්ලන් දෙන්නෙක් එක්ක සම්බන්ධතා පටන් ගැනීමය. ඒ දෙන්නාද කමනිලාගේ කොම්පැණියට වැඩට යන්නට වුන දා සිට කමණීගේද මිතුරියන් වූයෙන් අනුරත්, චන්දරේත්, ගුණේත්, කමණීත්,සුබා සහ ජයන්තිත් රාගම ඉස්ටේෂමේ උදේ හවස දැකිය හැකි චරිත විය. හවසට මේ ජෝඩු තුනම කෝච්චියේ එකම පෙට්ටියේ තැන් තැන්වල වාඩිවී කතා කරමින් යන්නට පුරුදු වී සිටියහ.
එහෙම යන දවස්වල කෝච්චියේදී අනුර කමනිගෙන් ඇගේ පුද්ගලික විස්තර අසයි. කමනී ක්‍රිස්තියානි හෙවත් රෙපරමාදු ආගමේ පවුලක කෙල්ලෙක් බවත් එය කතෝලික ආගමෙන් වෙනස් එකක් බවත් එංගලන්ත සභාවට අයත් ක්‍රිස්තියානි ආගමේ පූජකයන්ට කසාද බැඳ පවුල් නඩත්තු කරන්නට ඉඩ අවසර ඇති බවත් ඇය කීවාය. පහළ මධ්‍යම පංතික දරුවන් තුන් දෙනෙක්ගෙන් යුත් පවුලක මද්දුම දියණිය වූ ඇයට වැඩිමල් සොහොයුරෙක්ද බාල සොහොයුරියක්ද විය. අයියා කොළඹ පුද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කළ අතර නංගී පාසැල් ශිෂ්‍යාවකි. පවුලේ දරිද්‍රතාව නිසා වැඩිදුර අධ්‍යාපනය අමතක කර රැකියාවක් සොයාගැනීමට සිදුවූ බව කමනීගෙන් පැවසුනි.
කමනිත් සමග කෝච්චියේ ගෙදර යන බොහෝ දිනවල ඇයත් එක්කම ගම්පහින් බැසගන්නා අනුර කමනිව බස් රියට ඇරලවා ආපසු පැමින ඊළඟ කෝච්චියේ ගෙදර යෑම සිදුකරයි. ගම්පහ දුම්රිය පොළෙන් බැසගන්නා ඔවුන් වේදිකාවේ කෙළවරටම ඇවිද ගොස් එතනින් බිමට බැස තණකොළ පඳුරු අතරින් වැටී තිබූ අඩි පාරේ ගොස් උඩුගම්පොල පාරට ගොඩවී ජාඇල බස් නැවතුමට යෑම සිරිතක් කොට ගෙන සිටියහ. එකල වර්තමානයේ මෙන් ගම්පහ දුම්රිය පොළේ දෙපසින් පාරට ගොඩ වැදීමට ගුවන් පාලම්ද පාර දෙපස වැටවල්ද නොතිබුනි. සීත සුළං ගත සිපගන්නා එක් සැන්දෑවක අනුර කමනීත් සමග දුම්රිය වේදිකාවෙන් පහළට බැස පාරට යමින් සිටියහ. කුඩා ගස් සහ පඳුරු වැවී තිබූ ගස් මණ්ඩියක් අතරින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා හැර වෙනත් කවුරුත් හාත්පස දක්නට නොවීය. එක්වරම අවට සැමතැනම විදුලිය විසන්ධි වී හාත්පස කළුවරේ ගිලී ගියේය.
අවටපිට කලුවර වීමත් සමග ගල්ගැසී නැවතුන කමනී අනුරගේ අතක එල්ලුනේ එක්වරම සිදුවූ දේ ගැන බියට පත්වෙමිනි. කමනී සනසවනු වස් අනුර ඇගේ කරට අතක් තබා පිටට තට්ටු කරත්ම කමනී ඔහුගේ ඇඟට වාරුවූවාය. ඇඟට බරවූ ඇයව බඳවටා අත යවා තදින් තුරුළු කරගත් අනුර ඇගේ දෙකොපුල් සිපගන්නට වූයේ නොඉවසිල්ලෙනි. කමනීද වලලුකරෙන් ඉස්සී ඔහුට නොමදව ප්‍රතිචාර දක්වන්නට වූවාය. අනුර ඇගේ මුව ඔසවා රත්වෙමින් තිබූ ඇගේ මුදු දෙතොල් සිපගන්නට විය.
කමනී අනුරගේ මුවින් සිය දෙතොල් නිදහස් කරගත්තේ ආයාසයෙනි. ඒ වනවිට විදුලි ආලෝකය නැවතත් දසත පතිතවී තිබුණි. ඒ අනුර කමනී සිපගත් පළමු දිනය විය.
"මේ, දැන් යමුද. මට බස්සෙකට පරක්කු වෙනවා!" කමනී කීවේ අනුරගේ අතකින්ද අදිමිනි. අනුර කමනී සමග බස් නැවතුම් පොලට ගියේ සිහිනයක පාවෙන්නාක් මෙනි. කමනිගේ සියුමැලි ගතේ පහස, තොල්වල උණුසුම අනුරව වෙනම ලෝකයකට ගෙන ගියාක් මෙන් විය. තම සිරුර උණුසුම් වී පුරිස්කය දැඩිවී ඇති බව ඔහුට දැනිණි. අනුර ගෙදර ගියේ දැඩි නොඉවසිල්ලකිනි. සිරුර ඉල්ලන්නේ කාන්තා පහසකි. එසේ නොමැතිනම් අද රාත්‍රිය ගතවන්නේ නිදි වර්ජිතවය. එය එසේ වුවද ප්‍රශ්නයක් නොමැත්තේ පසුවදායින් සති අන්තය පටන්ගන්නා බැවිනි. ගත දොවාගෙන රාත්‍රී ආහාරයද ගත් අනුර සිගරැට්ටුවක්ද දල්වාගෙන එළියට බැස්සේ අම්මා ගෙයි දොර ඇතුළෙන් වැසූ පසුවය.
අනුර කාන්තිව කාමරයෙන් එළියට ගත්තේ දැඩි පරිශ්‍රමයකිනි. තම ගෙදර පිට කාමරයේ තනිවම වසන කාන්තිව හමුවන්නට යද්දී අනුරගේ පැමිණීමක් බලාපොරොත්තු නොවූ ඇය දැඩි නින්දක ගිලී සිටියාය. දෑස් පිස දමමින් ඇය අනුර හමුවට ආවේ ප්‍රශ්නාර්ථයක් දෑසේ දල්වාගෙනය.
"ඔයා... මොකද මේ වෙලාවෙ?" ඇය කතාකළේ රහස් හඬකිනි.
"විස්තර ඔක්කොම කිය කියා ඉන්න බෑ, මාව ඇතුළට එක්ක යන්නකො."
"පිස්සුද , හොඳට හිටී ගෙදර අය ඇහැරුණොත්. ඔයා යන්න මම එන්නං."
ගෙදර ආ අනුර ගෙන් පිටත ඇති ඔහුගේ කාමරයේ ඇඳේ හාන්සිවී සිටියේ දොර අඩවල් කරගනිමිනි. විටින් විට හමා යන සුළං දහරකින් දොර විවෘත වී සීත සුළං රැල්ලක් කාමරයට ගලා එයි. කාන්තිගේ පැමිණීම තවත් ප්‍රමාදය. ගතේ තෙහෙට්ටුවද සුළඟද නිසා අනුරගේ දෑස් පියවී ගියේ ඉබේටමය. තිගැස්සී දෑස් ඇරි අනුර ඇඳෙන් නැගිට මේසය උඩ තිබූ මැටි කොතලය අතට ගෙන උඩ බලා සිසිල්ම සිසිල් ජලය කටට හලා ගත්තේය. ඝණ අන්ධකාරය හාත්පස වෙලාගෙන තිබුණද රාත්‍රිය තවම තරුණය. ඉදිරිපස වෙලේ කෑගසන කිරළුන්ගේ ගෝසාව එක්වරම තීව්ර විය. ඔහු බලාපොරොත්තු සහගතව බලා සිටියේය. කාන්ති ඔහුගේ ලෝකයට ඇතුළු වුණේ කෙසේද? මෑත අතීතයක දර්ශන ඔහුගේ සිත්හි රඟදැක්වෙන්නට ගත්තේ චිත්‍රපටයක රූප පෙළක් මෙනි.
ඒ අවුරුදු තුනක පමණ කාලයකට පෙරය. අනුර සවස වැඩ ඇරී ගෙදර පැමිණ තේ බීමෙන් පසු ඔහුගේ යහළුවන් සොයා යාම නිතිපතා සිදුවෙන්නකි. සති අන්තයක නම් සවස කලින්ම පිටත් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නටත් එක්කය. සවස ගෙදරින් තේ පානය කර වෙල හරහා ගොස් වෙලෙන් එගොඩ ඇති කඩයෙන් සිගරැට්ටුවක් දල්වාගෙන උරමින් නිවි සැනසිල්ලේ තරුණයින් ක්‍රීඩා කරන වත්තට යාම ඔහුගේ සිරිතයි. අනුරලාට එකල ක්‍රීඩා පිටියක් නොතිබුණු හෙයින් ඔවුන් ක්‍රීඩා කළේ අතහැර දමා තිබූ ලොකු පොල් වත්තකය. අනුර ගමන්කළ පාර වැටී තිබුණේ කාන්තිලාගේ ගෙවල් අද්දරිනි. අවුරුද්දකට දෙකකට පමණ පෙර විවාහ වී ගමෙන් පිටත්ව ගිය කාන්ති දීගය අහවර කර ආපසු පැමිණ ඇති බව අනුරට අහන්න ලැබුණත් ඒ ගැන කිසිම අවධානයක් යොමු කරන්නට ඔහුට උවමනා නොවූයේ එය ඔහුට අදාළ කරුණක් නොවන හෙයිනි. සමහර දිනවල ගේ පිටුපස කුමක් හෝ වැඩක යෙදෙමින් සිටින කාන්ති ඔහුට දක්නට ලැබුණත් ඇයගැන වැඩිදුර සිතන්නට ඔහුට වුවමනා නොවීය. අම්මාත් අවිවාහක නංගීත් සමග ජීවත්වෙන ඇය ජීවිකාව සඳහා පුද්ගලික ආයතනයක රැකියාවක් කළාය. කාලය ගතවෙද්දී අනුර කාන්තිගේ ගේ ළඟින් යනවිට නිතරම පාහේ ඇය ගේ පිටුපස සිටිනු දකින්නට හැකිවිය. එමෙන්ම කාන්ති නාන්නට ආවේද අනුරලාගේ නාන ළිඳටය. සමහර දිනවල සවස අනුර ගෙයින් පිටවෙද්දී කාන්ති දිය නා ළිඳ ළඟ තුවායකින් පිසදමමින් හිසකේ වියලමින් සිටිනු දක්නට ලැබේ. එවිට ඔවුන් අතර සිනහවක් හුවමාරු වේ. එපමණය. පාට අඩුවුණත් පිරිපුන් ළැමක්ද පුළුල් නිතඹක් ද ඇති අවුරුදු විසි ගණන්වල මුල් භාගය ගෙවමින් සිටි සිහින් සිරුරක් හිමි තරුණියක් වූ කාන්ති රූප රාජිණියක් මෙන් රූමත් නොවූවත් ඇයගේ වතේ තිබූ ශෝකී සුන්දරත්වය හේතුවෙන් අනුර ඇයට රහසින් ඇළුම් කරන්නට වූයේ නිරායාසයෙනි.
එක්තරා දෛවෝපගත දිනෙක අනුර කාන්තිගේ නිවස පසුකරගෙන යමින් සිටියේ සුපුරුදු රස්තියාදුවටය. වැහි කෝඩයක ලකුණු පෙන්වූ අහස හේතුවෙන් හාත්පස වෙනදාට වඩා අඳුරු වී තිබුණි. තරමක සුළඟක් හමාගියේ සිරිපොදක්ද සමගිනි. ගේ පිටුපස කාන්ති වැඩක නිරතව සිටිනු අනුර දුර තියාම දුටුවේය. මඳක් බිමට නැමී යමක් සෝදමින් සිටි කාන්තිගේ ලෙලදෙන ළමැද හා නිතඹ අනුරගේ ඇසට නේත්රාංජනයක්ම විය. කාන්තිලාගේ වත්තේ තිබූ මළකඩ කාච්ච කැඩී බිඳී ගිය කම්බි වැට පැන ඇය ළඟට යන්නට එක්වරම ධෛර්යයක් ඇතිවුණේ කෙසේදැයි අනුරට අදත් සිතාගන්නට නොහැකිය.
අනුර තමන් දෙසට එක එල්ලේ ගමන් කරනු දුටු කාන්තිගේ දිළිසෙන දෙනෙත්වල තිබුණේ ආරාධනාවක්ද යන්න අනුරට මතක නැතත් බියක් නොවන බවනම් ඔහුට මතකය. අනුර කාන්තිව වැළඳ ගද්දී ඇය ඔහුගේ සිරුරට තුරුළු වුණේ ලතාවක් වගේය. එතැන් පටන් විනාඩි ගණනක් යන තෙක්ම ඔවුන් සිපගන්නට වූයේ පිස්සුවෙන් මෙනි. කාන්ති මොහොතකට මෑත්වී අනුර දෙස හෙලුවේ නෝක්කාඩු බැල්මකි. මා වෙත එන්නට මෙතෙක් දවස් කල් ඇරියේ මන්ද යන්න ඒ බැල්මේ අදහසද? ඒත් සමගම අනුර කාන්තිගේ නිකටෙන් ඔසවා තොල් සිපගත්තේය. කාන්ති අනුරගේ දෙතොල් උරන්නට වූයේ මනා පළපුරුද්දකින් බව අනුර ක්ෂණයකින් වටහා ගත්තේය. මුළු ලෝකයම අමතක වී ගියාක් මෙන් ඔවුන්ට හැඟුන විනාඩි කිහිපයක් ගතවී ගියේය.
"ම්ම්ම්... ඔය ඇතිනෙ දැන් යන්න!" සිය බ්ලවුසයේ බොත්තම් ගලවන්නට වෙර දරණ අනුරගෙන් තරමක් වෑයම් කර මෑත්වූ කාන්ති කීවේ ලජ්ජාවෙන් මෙන් බිම බලාගෙනය.
"තව මදි!" අනුර දඟකාර ලෙස කීවේය.
"යන්න අනේ... කවුරුත් දකියි, ආයෙ හම්බවෙමුකො!"
"එහෙනං හෙට ඈ!"
කාන්ති සිනාසෙමින් එකඟතාව දැක්වූයේ හිස වනමිනි. අනුර ඇගේ අත අතහැර පාරට බැස්සේය. එදා සිට සතියකට කිහිප වතාවක්ම ඔවුන් දෙදෙනා මුණගැසුනේ ගෙදර අය නොමැති රාත්‍රීවල කාන්තිගේ කාමරයේ සහ අනුරගේ කාමරයේය. ආදරයක් හෝ ප්‍රේම සම්බන්ධයක් නොවුන ඔවුන්ගේ ඇසුර හුදෙක් දෙදෙනාගේ ලිංගික අවශ්‍යතාවන් පිරිමසා ගැනීමට පමණක් සීමාවූ අතර අනුරට ඇයගෙන් ලැබෙන දෙයට වඩා දෙයක් ඔහු බලාපොරොත්තු නොවූ අතර කාන්තිද අනුරගෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවූ බව අනුර දැනසිටියේය. එහෙත් කාන්තිට නරඹන්නට අවශ්‍ය වූ චිත්‍රපටයක් හෝ නාට්‍යයක් බලන්නට අනුර ඇය කැඳවාගෙන ගියේ කොහේ හෝ දුර නගරයකටය. ඒ දන්නා හඳුනන අයගේ ඇස්වලින් බේරෙන්නටය.
ලිංගික ක්‍රියාවලියේදී බෙහෙවින් සක්‍රීය චරිතයක් වූ කාන්ති අනුරට අවශ්‍ය පමණටත් වඩා තෘප්තිය ලබාදීම අනුර බෙහෙවින් අගය කළ අතර අනුරව සෑහීමකට පත් කරනවා මෙන්ම කාන්තිටද අනුරගෙන් සුරාතාන්තය ලබා ගැනීම අත්‍යාවශ්‍යයෙන් ම උවමනා වූ දෙයක් විය. සම්භෝගයේදී කාන්ති බෙහෙවින් ප්රචණ්ඩ වන අතර දෑස් පියා හිස දෙපසට සොලවමින්ද අනුරගේ බෙල්ලේ කූඩැල්ලෙක් මෙන් එල්ලී සපා කමින්ද අනුරගේ පිට ලේ වෙන්නම නියපොතු වලින් සූරමින්ද සිය තෘප්තිය දක්වාලයි. කෙතරම් අමාරු වුවද ඒ සියල්ලම ඉවසා සිටියත් කෙසේවත් නවත්වන්නට බැරි කාන්තිගේ කෑගැසීම නම් අනුරට මළ කරදරයකි. සද්දයට අම්මා ඇහැරුණොත් වසලා හමාරය. කාන්ති කෑ ගසන්නට පටන්ගත් වනම අනුර සිය අත කාන්තිගේ මුවට තබා ශබ්දය පිටවීම වලකන්නට තැත් කළත් කටට තබන අතද කාන්ති සපාකන්නේ බැල්ලියක් මෙනි. එයින් බේරෙන්නට අනුර කරන්නේ අතට හසුවන කුමක් හෝ රෙදි කැබල්ලක් කාන්තිගේ මුවට එබීමය. එය සමහර විට කාන්තිගේ ගලවා දැමූ රාත්‍රී ඇඳුම හෝ අනුරගේ සරම විය හැක. කාන්තිට එහි ගණනක් නොවන්නේ ඇය ඉන්නේ අසිහියෙන් මෙන් නිසාය. සෑහෙන වේලාවක් දෙදෙනා දෙදෙනාගෙන් සිත්සේ තෘප්තිමත් වන අතර සම්භෝගය අවසානයේ ඇඳුම ඇඳගන්නටත් පෙර කාන්තිට ඇතිවන දැඩි පිපාසය ඇය නිවාගන්නේ අනුරගේ මේසය උඩ ඇති සිහිල් ජලය පිරි හුරුබුහුටි මැටි කොතලයෙන් උඩ බලාගෙන කටට වතුර වත්කර ගැනීමෙනි. දෙදෙනා එක්වන සෑම අවස්ථාවක්ම අවසන කාන්ති දැඩි පිපාසයෙන් පෙළෙන බව දත් අනුර හෑම විටම කොතලයට ජලය පුරවා තැබීමට වග බලාගනී.
දෙදෙනා හමුවූ රාත්‍රියකට පසුදා උදයේ අනුරට වැඩට යන්නට වෙන්නේ බෙල්ලේ සහ පිටේ රතු පැල්ලම්ද සහිතවය. පිට නොපෙණුනත් බෙල්ල නම් හංගන්නට බැරිය. කෙසේ වසංගන්නට තැත් කළක් චන්දරේ වැනි ලිංගිකත්වයේ පරතෙරට ගිය පරිණත උන් අනුරව අල්ලා ගනිති.
"මේ මොනවද බං මේ බෙල්ලෙ? අඩෝ අඩෝ බොරු නං කියන්න ලෑස්තිවෙන්න එපා, පැන්න නේද කොටුවක් ඊයෙ රෑ? චන්දරයා කෑ ගසයි.
බොරුවක් කීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොවන්නේ සිදුවූ දේ අතැඹුලක් සේ දන්නා ඌට ඇත්ත හැරෙන්නට වෙනත් දේවල් කීමෙන් පලක් නොමැති නිසාය.
"කෑ ගහන්න එපා බං, කෙනෙක් හම්බ උණා ඊයෙ. එච්චරයි!" අනුර කියයි.
"ඒක දන්නවනෙ, කියපංකො වෙච්ච දෙවල්!" චන්දරේට උන දේවල් විස්තර සහිතවම අසාගන්නට අවශ්‍යය. චන්දරේද ඌ කොටුවක් පැන්නවිට විස්තරය අනුරලාට රසකර කියන්නේය. අනුර චන්දරේට විස්තරය කියනවිට ඌ අසා සිටින්නේ කටත් ඇරගෙනය. ඇස් දෙකෙන් පෙරේතකම බේරෙයි.
අඩවල් වූ දොර ඇරී කාන්ති කාමරයට ආවේ මඳ සුළඟක් සමගිනි. කළුවරට දෑස් හුරුවී සිටි අනුරට ඇගේ පැමිණීම එක්වරම දර්ශනය විය. දුහුල් රාත්‍රී නිදන ගවුමක් හැඳ සිටි ඇය තවත් සළුවකින් දෙවුර වසා සිටියේ සීතලට විය යුතුය. එක්වරම නැගිටගත් අනුර කාන්තිව කාමරය ඇතුළට ගෙන දොර වසා දැම්මේය. වචනයක්වත් නොදොඩා කාන්තිව ඇඳට ගත් අනුර සිය නොඉවසිලිමත් ආසාවන් සියල්ලම කාන්තිගේ සිරුර මත මුදාහැරියේ හිතුවක්කාරී ආකාරයටය. වෙනදාට ඇති මුදු මොළොක් ආලිංගන කණට කෙඳිරීම් ආදර වදන් කිසිත් නොමැති අනුරගේ හැසිරීමට කිසිම විරෝධයක් නොපෑ කාන්ති තමන්ගේ ආසාවන්ද නොමඳව සපුරාගත්තේ අනුරගේ පිටට මිට මොළවාගත් අතින් තහ් තහ් ගා කොස් කඩන්නාක් මෙන් තඩි බාමිනි.
අනුරට කාන්තිව නැවත හමුවූයේ පසුදා සවසය. ඔහු හවස් යාමයේ එළියට යන්නට මගට බසිද්දී කාන්ති ළිඳ ළඟ නාමින් සිටියාය. අනුර දුටු කාන්ති ඔහුට පෑවේ පුළුල් සිනහවකි.
"මොකද මේ මහ හැන්දෑවෙ නාන්නෙ?"
"මම හැමදාම මේ වෙලාවටනෙ නාන්නෙ, ඇයි ඔයා දැකල නැද්ද?"
"හවස නාල දාගෙන කහිනව, එහෙමනෙ!"
"මොකද අනේ ඊයෙ ඔයාට මොකද වෙලා තිබුනෙ?"
"ඇයි මොකක්ද අප්සෙට් එක?'
"අප්සෙට් එක තමයි, යකෙක් වගේ මාව කෑවෙ මොකද, මේ බලන්න!" කාන්ති දිය රෙද්ද මෑත්කර ඇගේ පිරිපුන් ළැම සෑම තැනම පාහේ තිබූ රතුවන් කැළැල් අනුරට පෙන්වූයේ ආදරණීය සිනාවක්ද සහිතවය.
"ප්‍රශ්නයක් නෑනෙ කාටවත් පේන් නැති නිසා!"
"පෙනුනෙ නැතුවට දැන් පුපුරු ගහනවා!" කාන්ති කීවේ නෝක්කාඩුවෙනි.
"රිදෙනව නම් එවෙලෙ කියන්න එපැයි!"
"මම ඉතිං කිව්වෙ නෑ පව්නෙ කියල, අනික ඒ වෙලාවෙ මට එච්චර දැණුනෙත් නෑ!" කාන්ති කීවේ විළියෙනි.
"හරි හරි සනීප කරගෙන එන්නකො. මම යනවා!" අනුර ඇලෙන් පැන නියරට ගොඩවිය. කලින් දින රාත්‍රියේ කාන්තිට කළ දේවල් ඔහු මතක් කළේ මඳ සිනාවකිනි.

No comments:
Post a Comment
ඔබේ අදහස්