අපේ ගමට පැමිණ නවාතැන් ගත් ගොඩ්ප්‍රීත් සමග ඔහුගේ හලාවත යහළුවන් කණ්ඩායමක්ම ඇවිත් ගොඩ්ප්‍රි හිටපු ගෙදරම ලැගුම් ගත්තත් මාස කීපයක් ගතවනවිට එකා දෙන්නා වෙන වෙන වඩා හොඳ තැන් අල්ලා ගැනීම නිසාවෙන් ගොඩ්ප්‍රි කාමරයේ තනිවිය. ඒත් ඔහු කාමරය මාරු කරන්නට බැලුවේ නැත ඒ වෙනුවට ගොඩ්ප්‍රි තම කාමරයට තවත් යහළුවෙක් අරං ආවේය. ගොඩ්ප්‍රිගේ සද්ධිවිහාරිකයා හෙවත් කාමර සගයා දැදිගම පළාතේ එකෙකි. හලාවත සැට් එකේ ඔක්කොම පාහේ හොඳ පාපන්දු ක්‍රීඩකයන් වුවත් ගොඩ්ප්‍රි ක්‍රීඩාවට කැමැත්තක් දැක්වුයේ නැත. ඔහු වඩාත් කැමති වුනේ ලලනාවන්ටය. ඔහුගේ මේ ලලනා ලැදිකම හේතුවෙන් මට සිදුවූ අකරතැබ්බයකුත් ඇත.
ඒ අවුරුද්දේ ගොඩ්ප්‍රිත් මාත් සමග හලාවත යන්නට ඔහුගේ කාමර සගයාත් එකතුවිය. අපේ හලාවත ගමනේ මුලික අරමුණ වුයේ මුන්නේස්සරම දේවාලයේ මංගල්ලයට සහභාගී වීමයි. ඊට අමතරව ගොඩ්ප්‍රිට තවත් වගකීමක් විය. ඔහු අබේලගේ මුළු පවුලටම තමන්ගෙ අනුග්‍රහයෙන් මුන්නේස්සරම මංගල්ලයට සහභාගී වීමට ආරාධනා කර තිබුණි. රජයේ මුද්‍රණාලයේ සේවය කළ අබේලගේ තාත්තා සිය පවුල සමග සෑම අවුරුද්දකටම සැරයක් ඔහුට නොමිලේ ලැබෙන ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන විනෝද හෝ වන්දනා ගමනක් යයි. ඉතිං ගොඩ්ප්‍රිගේ ආරාධනාව හේතුවෙන් අබේලගේ තාත්තා ඒ අවුරුද්දේ ගමන මුන්නේස්සරම් යන්නට යොදා ගත්තේය. අබේලාගේ පවුල හලාවතට එන්නට දවසකට කළින් අපි තුන්දෙනා සුපුරුදු පරිදි බස් එකේ හලාවත ගියෙමු. අබේලා පහුවදා හලාවත එන්නේ කෝච්චියේය බස් එකේ හලාවතට යන්නට පැය තුනක් පමණ ගතවුවද කෝච්චියේ රාගමට ගිහිං ආයෙම පුත්තලම් කෝච්චියෙ නැගී හලාවතට එන්නට දවසක්ම ගතවේ. නිදහස් ගමන් බලපත්‍රයෙන් ගමන් කරන නිසා පරංගියා කෝට්ටේ යනවා වැනි මේ ගමන යන්නට අබේලාට සිදුවී තිබිණි. එය තවත් විදියකින් කිව්වොත් හිස වටේ අත දමා නහය අල්ලනවා වැනි වැඩකි.
කොහොම උනත් තමන්ගේ ආරාධනාව පිළිගෙන එන අමුත්තන්ව පිළිගන්නට හා සංග්‍රහකරන්නට ගොඩ්ප්‍රි සැදී පැහැදී සිටියේය. ඒ ආගන්තුක සත්කාරයත් සුළුපටු වැඩක් නොවේ. අබේලගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි මහ දෙන්නාත් සමග අට දෙනෙකි. අට දෙනෙකුට දින දෙකක් කෑම බීම නවාතැන් පහසුකම් ගමන් පහසුකම් ලබාදී මුන්නේස්සරම වන්දවා ආපසු යවන කටයුත්ත විශාල ව්‍යාපෘතියකි. අද නම් කෙනෙක් කරන්නට හිතන්නෙවත් නැති මේ දැවැන්ත රාජකාරිය ගොඩ්ප්‍රි බාරගත්තේ ඉතා ඕනෑකමින් සතුටින් සහ සැහැල්ලුවෙනි. දවස පුරා ගමනේ යෙදී හලාවතට එන අබේලගේ නඩය පිළිගන්නට අපි පහුවදා රාත්‍රියේ හලාවත ඉස්ටේසමට ගියෙමු. ගොඩ්ප්‍රි විසින් කණ්ඩායම ගෙනත් නවත්වන ලද්දේ ඔහුගේ අයියාගේ ගෙදරය. ඒ අපි ඉන්න හේතුවෙන් ගොඩ්ප්‍රිලාගේ ගෙදර ඉඩ නැති නිසාය. ඊට පසුව ගතවූ දින දෙකම කැපවුනේ ආගන්තුකයන්ගේ ගමන් පහසුව කෑම බීම හා සුව පහසුව ගැන සොයා බැලීමටත් ඔවුන්ව මුන්නේස්සරම වැන්දවීමටත්ය. සියලුම දේවල් කරදරයක් නැතිව සිදුවී අමුත්තන් පිරිස ආපසු හලාවත දුම්රිය පොළෙන් නිවෙස් බලා පිටත් කොට අපි ආපසු පැමිණියෙමු. ඊට පහුවදා දවස මංගල්ලයේ අවසාන දිනය හෙවත් දිය කපන දිනයයි.
රාත්‍රියේ අපි තුන්දෙනා මුන්නේස්සරමට ගොස් පෙරහැරත් බලා ඒත් සමග දියකපන තැනට හෙවත් හලාවත මෝය කට ලඟට ඇවිත් එතන බලා සිටියෙමු. දිය කපනතුරු එතන නොඑක් කෙළි සෙල්ලම්ය ඒ මහ පාන්දර තුනට තුනහමාරට පමණ වන්නට ඇත . ටිකකින් ගොඩ්ප්‍රි ඇවිත් මට කීවේ අපි දෙන්නා පොඩි ගමනක් ගිහිං එනතුරු එතැනම ඉඳගෙන සිටින ලෙසටය. මමත් සද්ද නැතුව උක් ගහක් හපමින්ද නැටුම් බලමින්ද සිටියෙමි. කාලය ගතවී නැටුම්ද උක් ගහද අවසාන විය ගොඩ්ප්‍රිලා තාම නැත ටිකකින් දිය කැපීමද අවසානවී සෙනග විසිර යන්නට පටන් ගත්හ. මට දැන් හරිම නිදිමතය ඔලුව කඩා වැටේ ගොඩ්ප්‍රිලා එනතුරු කොතෙක් වෙලා බලා ඉන්නට සිදුවේද නොදනිමි. එතැනින් පාරට බැස්ස මම පාර පැන රේල් පාර අයිනෙන් කලපු හුළං වදිමින් ගොඩ්ප්‍රිලගේ ගෙදරට ඇවිත් කාමරයට වැදී නිදාගත්තෙමි. එළිවෙන යාමයේ ගෙදර සද්ද බද්ද ඇහුණද හොඳට නිදාගත් මට ඇහැ ඇරුනේ උදේ අටත් පසුවූ විටය. මට ඇහැරුණ විට උදේට ඉඳිආප්ප කන්නට දී අයියලාගේ ගෙදර එවන්නටයි අම්මාට කී ගොඩ්ප්‍රි අයියලාගේ ගෙදර ගොස් තිබුණි. මම ගොඩ්ප්‍රිගේ අයියලගේ ගෙදර ගිය විට ඔහු මට හොඳටම බැන වැදී ආයෙම කොහෙවත් එක්කං යන්නෙ නැතැයි කීවේය. වැරැද්ද වුනේ කියපු දේ අහන්නෙ නැතිව ගෙදර ගිය එකය. අයියලගෙ ගෙදරට කතාකර බැන්නේ ගෙදරදී ගොඩ්ප්‍රිලගෙ අම්මා මට බනින්නට ඉඩ නොදෙන නිසාය.
පසුව දැනගත් පරිදි සිදුවූ දේ මෙහෙමය. ගොඩ්ප්‍රිත් ඔහුගේ යහළුවාත් මාව මෝය කට ළඟ තබා ගිහිං තියෙන්නේ ඔවුන්ට ඉඟි බිඟි කළ කෙල්ලන් දෙතුන් දෙනෙක් පස්සෙන්ය. ඉක්මනට ආපහු එන්නට හිතාගෙන ගියත් වැඩේ දිග දුර ගිය නිසා ආපහු මෝය කට ලඟට එනවිට උදේ එළිවෙලාය. ඒ වෙනකොට එතන හිටපු මිනිස්සුවත් මමවත් නැත මුන් දෙන්නාට දෙලෝ රත්වුනේ එවිටය. දැන් ළමයෙක් කොහෙන් හොයන්නටද පුක දාච්ච බල්ලන් මෙන් ටවුමේ හැම තැනම දුව ඇවිද මාව හෙවු මේ දෙන්නා බැරිම තැන ගෙදරට ආවේ මා ගැන බලාපොරොත්තු අත් හරිමිනි. ගෙදරට ආවිට මම කාමරේ නිදිය දෙන්නාට හුස්මක් වැටුණේ එවිටය. එදා හවස අපි තුන්දෙනා ආපහු ගමට ආවේ එන ගමන් මීගමුවේදී සුපුරුදු ලෙස කොරනේෂන් හෝටලයටද ගොඩ වෙමිනි. ඒ ගමන ගියේ කොයි අවුරුද්දේ දැයි මට මතක තිබුණේ නැත මතක් කරගන්නට ක්‍රමයක්ද නැත දහ අතේ කල්පනා කළ මට එක් දෙයක් මතක්විය. ඒ දවස්වල ගොඩ්ප්‍රිලගේ අයියලගෙ ගෙදර තිබුණ රේඩියෝවෙන් තොර තෝංචියක් නැතුව ප්‍රචාරයවූ චිත්‍රපට ජිංගලයකි. එකල චිත්‍රපට වලට ප්‍රචාරය දෙන්නේ එහෙමය. ඊට පසුව ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ වර්ෂය සර්ච් කර අප පළමුවෙන්ම මුන්නේස්සරම් ගිය අවුරුද්ද කුමක්දැයි සොයා ගත්තෙමි. තවත් කියන්නට ඇති දෙයක් නම් ගොඩ්ප්‍රි සිය කාලයද ධනයද වැය කරමින් මේ සියල්ලම කළේ ඔහුගේ චිත්ත තෘප්තිය සඳහා පමණක්ම මිසක ඔහුට මෙහෙමයි කියා ලැබෙන කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නොවීමයි.
කතෝලිකයෙක් වුවද කිසිම ඉරිදාවක ටවුමේ පල්ලියට නොගිය ගොඩ්ප්‍රි නත්තලටවත් පල්ලි ගියාදැයි නොදන්නේ නත්තලට ඔහු ගමේ යන බැවිනි. ඒ වුනත් ඔහු එක්තරා අවුරුද්දක පෙබරවාරි මාසයේ කච්චතිව් දුපතේ පවත්වන සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්ලයට හෙවත් සන්තන්තෝනි මංගල්ලෙට යන්නට සුදානම් වුනේ අප පුදුමයට පත් කරවමිනි. පසුව අප තේරුම් ගත්තේ ඔහු කච්චතිව් ගියේ හුදෙක් අමුතු අලුත් අත්දැකීමක් ලබාගන්නට විනා අලුතෙන් ඇතිවුන ආගම් භක්තියකට නොවන බවයි. මංගල්ලයට යන්නට පෙර ගොඩ්ප්‍රි මට කීවේ මංගල්ලෙට මාවත් කැඳවාගෙන යන්නට ඔහුට උවමනාව තිබුනත් මම කියනදේ අහන්නෙ නැති හිතුවක්කාරයෙක් නිසා පාඩමක් ඉගෙන ගන්නටත් එක්ක දමා යන බවයි. මට මග හැරී ගිය ඒ අපූරු අවස්ථාව නැවත කවදාවත් නොලැබුණේ ඊට අවුරුදු කීපයකට පසු උතුරේ යුද්ධය ආරම්භ වුන නිසාවෙනි . මෙවැනි අපුරු සිදුවීම් මැදින් අප මිත්‍රත්වය ගලා ගියේය. ඊට ටික කලකට පසු මා කලින්ද කීවාක් මෙන් එක අවුරුද්දක මා අපේ මවගේ ගමේ මාස කීපයක් ගතකර ආපසු එනවිට ගොඩ්ප්‍රි ගම නොසිටියේය.
දැන් හිතවතුනි අපි මේ කතාවේ අවසානයට ක්‍රමයෙන් ලඟාවෙමින් සිටින්නෙමු. ගොඩ්ප්‍රිගේ ගෙදරට ගොඩවී සිටියද මා ඔහුව කතාවට එකතුකර නොගෙන කොටස් කීපයක්ම ලීවේ හුදෙක් වට රවුමේ යනවාටත් වඩා ගොඩ්ප්‍රිගේත් මගෙත් තිබු අපූරු මිත්‍රත්වය ගැන ඔබට වඩාත් පැහැදිලි කරන්නටත් අප අවසන්වරට හමුවීමෙන් අවුරුදු තිස් ගණනකට පසු අසීරුවෙන් කාලයද ලබාගෙන ඔහු ඉන්න ස්ථානය දන්නා අයද එකතු කරගෙන බොහොම අමාරුවෙන් පාර හොයාගෙන යන මේ ගමන පිස්සුවකට අයාලේ යන ගමනක් නොවන බවත් මේ ගමන ඇත්ත වශයෙන්ම ඔහුට ගුණමකු වීම ගැන කාලයක් සිතේ කොණක හදවත පාරමින් තිබු වේදනාවක් අවසන් කර දමන්නට ගත් පියවරයක් බවත් ඔබට තෝරා පහදා දෙන්නටය. මා සතුටින් සිටියේ මේ ගමන ගොඩ්ප්‍රි හමුවුවොත් මගේ සිතත් සමග බොහෝ කලක් තිස්සේ මා කරනා සටන අදින් නිමාවට පත්වන නිසාය. මා වැඩිදුර ඒ ගැන නොකිව්වත් ඔබට මාගේ ගමනේ අරමුණද මගේ චිත්ත ස්වභාවයද වටහා ගැනීම දැන් අසීරු නොවෙතැයි සිතමි. කතාවේ අවසානයට ළඟාවූනද අද ගොඩ්ප්‍රිව කරළියට ගෙනෙන්නට නොහැකි වන්නේ කතාව දිග වැඩිවන බැවින් මිසක වෙන කිසිම හේතුවක් නිසා නොවන බව කිවයුතුය. අපි නැවතත් කතාවට යමු.
පැණි බීම නොබොන මට කහට තේ එකක් ලැබුණේ ගොඩ්ප්‍රිගේ ලේලියගේ අතිනි. තේ එකද තොල ගාමින් මම කල්පනා කළේ ගොඩ්ප්‍රි තාම නැත්තේ මන්ද යැයි කියාය. ගොඩ්ප්‍රිගේ බිරිඳ නම් හැරී අයියාත් සමග ගජරාමෙට කතාවය. ඒ කතාව තැනින් තැනින් ඇහෙන මට තනියම සිනා පහළවුනේ උග්‍ර මහින්දවාදියෙකු වූ හැරී අයියා සමග තවත් එවැනිම උග්‍ර යූ ඇන් පී කාරියකු වූ ගොඩ්ප්‍රිගේ බිරිඳ ළඟඑන මැතිවරණය ගැන කරන ගොනා සහ මීමා වැනි කතාව කොහොම එකට පෑහෙන්නේ දැයි සිතුන විටදීය෴