Sunday, May 22, 2016

බලුකපුටු දානය අපේ ගමේ දන්සැල් සහ ආරිලෑ අම්මගෙ සීනි සම්බෝල පාන් දන්සැල.


අපේ ගමේ වෙසක් එකට දෙන දන්සැල් ගැන මම කලිනුත් කීප වතාවක් ලියා ඇත.   දන්සැල් පුරාණය දන්සැල් පුරාණය 2 සහ දන්සැල් පුරාණය 3   ඒ කතා කියනවිට මට මතක් උනේ මා නොකියූ දන්සැල් කතාවක්ද ඇති බවය.   අපි කොල්ලන් කල අපේ ගමේ හෝ අහළ පහළ ගමක කිසිම දන්සැලක් තිබුණේ නැත.   දන්සැල් වෙනුවට වෙසක් එකට තිබුණේ වික්කරේ දීපු බලු කපුටු දානය පමණය ඒ දානයට කලින් දවසේ වික්කරේ ගෝනියකුත් අරගෙන ගමේ ගෙවල් ගානේ සම්මාදමේ යන්නේ දානයට බඩු මුට්ටු එකතු කරන්නටය.    ඔහු එකතු කරන්නේ හාල් සහ පොලුත් කරෝලත් විශේෂයෙන් මුදලුත්ය.   හාල් පොල් හෝ කරෝල දෙන්නට නැති අය මුදල් දී සම්මාදම් වෙති.   කොහොම වුනත් දන්සැලට ඇතිවෙන්නට හාල් පොල් සහ කරෝල ගමෙන්ම එකතු කරගන්නා වික්කරේ එකතුවෙන සල්ලි ටික සාක්කුවේ දාගන්නේ අරක්කු බොන්නටය.    වෙසක් දවසේ උදෙන්ම ජයා කොල්ලත් අඬගහගෙන බත් ද කරෝලද උයා කලවම් කරගෙන විල්බැරෝ එකක දමාගන්නා වික්කරේ ගමපුරාම ඇවිදිමින් බල්ලන්ට දානය බෙදයි බලුකපුටු දානය වරුවෙන් ඉවරකරන වික්කරේ හොඳටම කසිප්පු බීගෙන දවසේ ඉතිරි හරිය ගතකරයි.   

ඒ කාලයේ දන්සැල් කෑවේ කන්න නැති මිනිසුන්ය කියා මතයක් සමාජයේ තිබුණු නිසා ඉඳහිට තැනක තිබුණු දන්සැලකටවත් ගොඩවෙන්නට මිනිස්සු අදිමදි කළෝය.    වෙසක් දවසට චුට්ටෙගේ හයරින් කාර් එක කතා කරගන්නා තාත්තා අපිව ගොඩකරවාගෙන වෙසක් බලන්නට රවුමක් එක්කගෙන යයි.    ඔය යද්දී දන්සැල් කීපයක් හමුවුනත් ඒ තැන්වල නවත්වන්නට තාත්තා ඉඩදෙන්නේ නැත.    නවත්තල කාල යමු කියා අපි කොච්චර කිව්වත් 'නවත්තන්නෙ නැතුව යමං චුට්ටේ' කියා කියන තාත්තා කොහෙහරි හෝටලයකින් අපට රෑට කෑම අරගෙන දෙයි. ඒ කාලයේ සමාජයේ දන්සැල් ගැන තිබුණු ආකල්පය ඔන්න ඔහොමය.    දැන්නම් මේ ආකල්පය එහෙම පිටින්ම අනික් පැත්ත පෙරළී ඇතිබව අපි කවුරුත් පිළිගන්නා කාරණයකි.    අපේ ගමේ දන්සැලක් තියෙන දාට ගමේ කිසිම ගෙදරක රෑට උයන්නේ නැත.      ප්‍රාඩෝ මොන්ටෙරෝ වැනි පොෂ් වාහන පාර අයිනේ නවත්වා ඒවායින් එන උදවිය දන්සැල් පෝලිමේ සිටිති.      

ඉතිං වික්කරේ හැම අවුරුද්දෙම බලුකපුටු දානය පවත්වාගෙන යමින් සිටින අතර ගහකින් වැටී මියගියේය. ඊට පස්සෙ අවුරුද්දේ වික්කරේගේ බලුකපුටු දානය දෙන්නට කෙනෙක් නැති නිසා අපි කීප දෙනෙක් එකතුවී බලු කපුටු දානය ලෑස්ති කර බල්ලන්ට කපුටන්ට දුන්නෙමු.    එදා ඒ දානය ඉවර උනායින් පසු අපට කන්නටත් එතනම බත් ටිකක් උයාගෙන කන අතරේ දන්සැල් ගැන කතාවක් ඇතිවිය.    ඒ කතාව දිගදුර ගොස් නතරවුණේ ඊට පස්සෙ අවුරුද්දේ පොසොන් පෝයට අනුරාධපුරේ ථුපාරාමය ඉදිරිපිට සිසිල් පැන් දන්සැලක් පැවැත්වීමෙනි.    ඉන්පසු දිගටම පවත්වාගෙන ගිය ඒ දන්සැල අවුරුදු හතළිස් ගණනකට පසු අදටත් කරගෙන යන්නේ ඒ කාලයේ ඉපදිලා හිටියෙවත් නැති කොල්ලන්ය.

ගමේ අය අනුරාධපුරේ දන්සැල් දුන්නත් ඊටත් සෑහෙන  කාලයක් යනතුරු අපේ ගමේ දන්සැලක් ඇතිවුනේ නැත.   දන්සැල්  ඇතිවුන ආකාරය මම ඔය උඩින් දක්වා තියෙන පෝස්ට් වල ලියා ඇති බැවින් ආයෙම ලිව්වොත් රසික ඒ පෝස්ට් සියල්ලම ගෙනත් මෙතන අතඅරිනවා නොඅනුමානය.    අද මට මතක් වුනේ මගේද යම් සම්බන්ධතාවක් ඇති තව දන්සැලක් ගැනයි එය නම් මීට කලින් ලියා නැති දන්සැලකි.

විස්තරේ මෙහෙමය.   යුද හමුදා භටයෙකු වූ ආරිලෑ පොඩි මල්ලි යුද්දෙන් මියගියේය එය යුද්ධය තදටම ඇවිලුණු පෙදෙසක් වූ බැවින් මැරිච්ච මල්ලිගේ මිනිය ගන්නට ලැබුනෙත් දවස් දෙකකට විතර පස්සේය ගෙදරට ආවේ සීල් තියපු පෙට්ටියකි.    අපි නයිට් ගසා මරණෙට බැහැගෙන වැඩ කළෙමු යුද හමුදා ගෞරවාචාර සහිතව දේහය භූමදානය කෙරුණි.    ඊට මාසෙකට විතර පසු ආරිලගෙ ගෙදරට යුද හමුදාවෙන් ලිපියක් ලැබුණි එහි සඳහන් වුනේ  මියගිය යුද භටයාට හමුදාවෙන් ලැබෙන දීමනා සහ වැටුප ලබාගන්නට ආරිලගෙ අම්මාට ඉදිරිපත් වෙන්නට කියලාය.   පුරවා ඉදිරිපත්කළ යුතු පෝර්ම සමග තවත් සහතික ඉදිරිපත් කළ යුතුවිය පරණ මිනිස්සු වූ ආරිලෑ අම්මලා ළඟ ඒ ඉල්ලන සහතික නොතිබුණු අතර ගන්නා ක්‍රමයක්ද ඔවුන් දැන සිටියේ නැත.    

ආරිලගෙ අම්මා  ඒ ගේ ඉස්සරහින් උදේ හවස කොළඹට වැඩට යන මහත්තුරුන්ට කියා ඒ අයගේ උපකාර ඉල්ලුවත් වැඩේ කෙරුනේ නැත.   ආරි ඒ දවස්වල වැඩකළේ මහකොළඹ ආර්ථික කොමිසමේය වැඩේ හරිනොයන විට ආරි කොළඹ ගියේ වැඩේ කරගෙන එන්නටය.    උදේම කෝච්චියට නැග කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කන්තෝරුවට ගිය ආරි වැඩේ කරගන්නට කොහෙට යන්නද කියා වටපිට බල බලා ඉඳිනු කන්තෝරුවේ ගැවසෙන තැරැව්කාරයෙක් හෙවත් කාක්කෙක්ගේ ඇස ගැටුණි.    ඔය කාක්කන්ට කන්තෝරුවලට නුපුරුදු අයව මේ හැරෙනකොට  හොයාගන්නට පුළුවන්ය කාක්කා වහා පැමිණ ආරිගෙන් විස්තර අහන්නට ගත්තේය.

ඇයි මල්ලි කාවද බැලුවේ මොනා කරගන්නද?

කාක්කන් ගැන නොදන්නා ආරිට කාක්කාගේ පැමිණීම දේවදුතයෙක්ගේ පැමිණීම හා සමාන විය.   ආරි විස්තරය මුල ඉඳන්ම කියන්නට පටන්ගත්තේය.

මෙහෙම බෑ මල්ලි අපි නිවී සැනසිල්ලෙ කතාව අහමු...

කියූ කාක්කා ආරිද කැටුව ළඟ තිබුණු හෝටලයකට ගොඩවී තේ දෙකක්ද ගෙන්වාගෙන ආරිගේ කතාව අහන්නට සුදානම් විය.   දැන් ආරි මුල ඉඳන්ම කතාව කියයි මල්ලී වෙඩි වැදී මියගිය තැනට එනවිට කාක්කා කඳුළු පෙරමින් ඉකි ගසමින් හඬන්නට වුවේය.   ආරිට දැන් පුදුමය ආරි කටත් ඇරගෙන බලා ඉඳීද්දී මල්ලිව කවදාවත් දැක නැති මේ මිනිහා හොටු පෙරාගෙන අඬයි මොන තරම් කරුණාවන්ත මනුස්සයෙක්ද?  ආරිගේ කතාව අවසානයේ කාක්කා කඳුළු පිසිමින් කතාකරන්නට විය.

මගෙ පපුව ඇවිලුනා මල්ලි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ ඉහි ඉහි...

කාක්කා නැවතත් හඬන්නට විය.   බොහෝ වෙලාවක් හඬා අවසන්වූ කාක්කා ඉන්පසුව කාරණාවට බැස්සේය.

මල්ලි මේ ඔෆිස්වල රස්තියාදු වෙන්න ඕනෑ නෑ දැන් මල්ලි ගෙදර යන්න මම වැඩේ කරල දෙන්නං මට සතපහක්වත් එපා ඇත්තමයි මට එච්චරට දුකයි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ...

වැඩේ කරන මහත්තුරුන්ට දෙන්නට සෑහෙන මුදලක් ආරිගෙන් අයකරගත් කාක්කා ආයෙ එන්නට අවශ්‍ය නැති බවත් සතියකින් අදාළ සහතික ටික ගෙදරට තැපෑලෙන් ලැබෙන්නට සලස්වන බවත් ආරිට කීවේය.    වැඩේ ටක්කෙටම හරිගිය නිසා ආරි ගෙදර ආවේ සතුටිනි.    සතිය සති දෙක තුන විය ආපු සහතිකයක් නැත.  මේ කතාවෙන් ටිකක්  මට දවසක් ආරි කිව්වත්  සම්පූර්ණ විස්තරය මට කිව්වේ ආරිලගෙ ගෙදරට එහා ගෙදර හිටපු ධර්මේය.   බලාගෙන හිටියට වැඩේ හරිනොයන බව තේරුම්ගත් ආරිලගෙ අම්මා දවසක් උදේ මම ඒ ගේ ඉස්සරහින් වැඩට යද්දී මගෙත් එක්ක විස්තරය කියා උදව් ඉල්ලුවාය.    ඒ කන්තෝරුවේ මගෙ යාළුවන් කීප දෙනෙක්ම හිටපු නිසා එච්චර කරදරයක් නැතුවම මට වැඩේ කරදෙන්නට හැකිවිය.   ඊට පස්සෙ මාසයේ ආරිලගෙ අම්මගේ වන්දියත් ඊට පසු හැම මාසෙම වැටුපත් ලැබෙන්නට පටන් ගත්තේය.   ආරිලගෙ අම්මත් ඒ ගෙදර කට්ටියත් ගම හැම තැනම කිය කියා ඇවිද ඇත්තේ කිසි කෙනකුට කරන්න බැරිවුන වැඩේ කරදුන් මා විශ්වකර්මයෙක් බවත් මට කරන්නට බැරි වැඩක් නැති බවත් මට යමක් කරන්නට බැරිවුණොත් ඒක සක්කරයාටවත් කරන්නට බැරි බවත්ය.    

ආරිලගෙ අම්මා පාන් සහ සීනි සම්බෝල දන්සැල පටන්ගත්තේ ඒ ලැබුණු මුදලෙන් මියගිය දරුවාට පිං පිණිසය.   ඊට පසුව හැම අවුරුද්දකම මාර්තු සහ අප්‍රේල් මාසවල ලැබෙන වැටුප එකතුකරන ආරිලගෙ අම්මා ඒ මුදලින් වෙසක් දන්සැල නොකඩවා හැම අවුරුද්දකම පවත්වාගෙන ගියාය.    ආරිලගෙ අම්මගේ ගෙවල් තියෙන්නේ අපේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ තුන්මං හංදියේ නිසා දන්සැලට සෙනග අඩුවක් නොවීය.

එක අවුරුද්දක  මම හැලපිත් එක්ක වෙසක් බලා ආරිලගෙ ගෙවල් පැත්තෙන් ආපහු එමින් සිටියෙමි ඒ හැලපැට්ටා වඩාගෙන යන කාලයේය.   ආරිලගෙ අම්මලෑ ගෙවල් ළඟ ඊස් මීස් නැතුව සෙනග පොදිකති පාරෙ යන්නත් බැරිය බැලුවම සීනි සම්බෝල පාන් දන්සැල නැගලාම යන වෙලාවය.   පාන් කන්නට ඉන්න අයගේ පෝලිම කන්ද උඩටම දිගය උණු පානුත් සීනි සම්බෝලවලත් සුවඳට එතැනින් යන්න හිතෙන්නේ නැත.  දරුවා වඩාගෙන පෝලිමේ ඉන්නත් බැරිය සීනි සම්බෝල පාන් අමතක කර ගෙදර යමු කියා මම කිව්වත් හැලපිට පාන් කන්නම ඕනෑ විය.   'ඔයා දරුවත් වඩාගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න'  කියූ මම ගිහිං පෝලිමේ අගින් හිටගත්තෙමි.    දැන් පෝලිම ගාටමින් ඉස්සරහට ඇදෙයි පාන් බෙදන මඩුව හෙවත් මහා සීනි සම්බෝල පාන් දන්සැල ලඟට යනවිට කොහොමත් තව පැය බාගයක් තුන්කාලක්වත් යයි කියා මට හිතෙයි එහෙම ගියත් ලැබෙන්නේ එක සීනි සම්බෝල පාන් කෑල්ලකි අඳුනන කෙනෙක්වත් හිටියොත් තව කෑල්ලක් ඉල්ලාගන්න පුළුවන් වෙයිදැයි සිතමින් කරුවලේ පෝලිමේ හිටගෙන හිටියෙමි.   ටිකකින් කාන්තාවක් ඇවිත් ඉනටත් අත්දෙක තියාගෙන මගෙ දිහා බලා ඉන්නට විය බැලුවම ඒ ආරිලගෙ අම්මාය.

යමු...ආරිලගෙ අම්මා මට කතාකලාය මම කතා නොකර ඇගේ පස්සෙන් ගියෙමි.   ඇය යනගමන් මට දොස් කිව්වේ පෝලිමේ හිටපු එකටය.    අපි හැදුවේ ඉක්මනට පාන් කෑල්ලක් අරගෙන ගෙදර යන්නටය කියා ඇගේ හිත හදන්නට කිව්වෙමි.   'පෝලිමේ හිටිය මදිවට අර  දරුවත් වඩාගෙන නෝනව පාරෙ තිබ්බෙ ගෙට ආවනං මොකද' කියා ඇය ඇසුවාය.    ආරිලගෙ අම්මා එක එක වැඩවලට ගෙටත් එළියටත් දුවද්දී ළමයා වඩාගෙන පාරෙ හිටගෙන ඉන්න හැලපිව දැක ඇත.   ඒ දෙන්නාව ගෙට එක්කගෙන ගිහිං වාඩිකරවා මම කොහෙදැයි අහද්දී මම පෝලිමේ ඉන්න බව දැනගෙන මාව හොයන්නට ඇවිත් ඇත.   ඊට පසු ඇය අපට ඇතිවෙන්නට පාන් කන්නට දී ගෙදර ගෙනියන්නටත් සීනි සම්බෝල පාන් කවරෙකට දමා දුන්නාය.   ඒ වෙනකොටත් කපන්නට තව පාන් කන්දක් ගේ ඇතුලෙ තියෙනවා මම දැක්කෙමි.    රෑකට කොච්චර විතර පාන් දෙනවාදැයි මම නිලමේගෙන් ඇහුව විට ඌ කිව්වේ සාමාන්‍යයෙන් පාන් රාත්තල් හත් අටසීයක් රෑකට කපන බවය.   මට කලින් කියන්නට අමතක වෙච්ච කාරණයක් වුනේ නිළමේ ආරිගේ අයියා බවත් මැරුනේ නිලමේගේත් මල්ලි බවත්ය.   ඊට පස්සෙන් පහු අවුරුදු වල නම් අපි හෝටලයකට යන්නා වගේ කෙළින්ම ගේ ඇතුළට ගිහිං පාන් සප්පායම් වුනෙමු.  දැන් ටික කාලෙක සිට ඒ දන්සැල නැවතී ඇති බවක් පෙනෙන්නට ඇත.   සමහර විට පාන් ගණන් යාම හේතුව වැන්නට ඇත.    රෑකට පාන්ගෙඩි හත් අටසීයක් කපන්නට අදනම් මොන තරම් මුදල් කන්දරාවක් වියදම් වෙයිද?    හොඳට කරගෙන ගිය සීනි සම්බෝල පාන් දන්සැල ඇණහිට ඇත්තේ අරමුදල් හිඟකම නිසාබව නිකං වගේ හිතන්නට හැකිය෴

Wednesday, May 18, 2016

කොහු අඹ ගහ උඩ ශ්‍රීපාදය වෙසක් දන්සැල් සහ ස්ථිර නිවේදකයා.



අපේ ගම අහළ පහළ ගං හතක පමණක් නොව  ඒ කාලේ අපි කිව්ව හැටියට මුළු ඒරියල් එකේම මහ ඉහලින් ප්‍රසිද්ධ වෙන්නට හේතු කාරණා වුනේ පසුකාලීනව අප විසින් ඉදි කරන ලද මහා පරිමාණයේ වෙසක් සැරසිලිය.    පසුකාලීනව කිව්වේ මුල් කාලයේ අප ඉදිකළේ කුඩා පරිමාණ වෙසක් සැරසිලි නිසාය.    අපි වෙසක් සැරසිලි ඉදිකරන්නට පටන් ගත් කාලයේ ටියුබ් බල්බ් වලින් බුදු රැස් වළල්ලක් කරකැවීම සහ ඊට සමගාමීව අලවත්තෙන් හොරෙන් කඩපු අන්නාසි කපා දන්සැලක් දීම, සුද්දලගේ අද ඔය තියෙන කුලී ගේ හදන්න ගත්ත දවස්වල ඒ ගෙපොල උඩ පිරිනිවන් මංචකය ඉදිකර සෝමපාල මහත්තයට කියා ජාතක පොතේ ඇති අදාළ අවස්ථාව එතන සිට ගායනා කරවා සතියක් ප්‍රදර්ශනය කිරීම ආදී දේවල් වූ අතර මා මීට පෙර ඒ ගැන ලියා ඇති බව මතකය.    එවැනි කුඩා ප්‍රමාණයේ වෙසක් සැරසිලි සාර්ථකව ඉදිකර තරමක ප්‍රසිද්ධියක් ලත් අපේ ගමේ තරුණ පිරිස ඊළඟ අවුරුද්දේ  මහා පරිමාණයේ වෙසක් සැරසිල්ලක් ඉදිකරන්නට අර ඇඳගෙන හිටියෙ කලින් අවුරුද්දේ සිටමය.   ඒ සඳහා තරුණයන් කීප දෙනෙකුට උත්තේජනය වී තිබුණේ ඒ අවුරුද්දේ වෙසක් බලන්නට ගිය ගමනකදී දුටු ශ්‍රීපාද ආකෘතියකි.

ඒ ශ්‍රීපාද ආකෘතිය එපමණ විශාල එකක් නොව කුඩා එකක්වූ අතර එයට නගින්නට පහසුකම්ද නොවීය.   අපේ අය කිව්වේ ඒ ශ්‍රීපාදයම  විශාලව සහ ශක්තිමත්ව ඉදිකළහොත් සෙනග නැග්ගවීමට හැකි බවය.   කරන්න යනදේ ගැන අදහසක් පමණක් ඇතිව අපි සමිතියක්ද පිහිටුවා ගත්තෙමු.   ඊළඟට ශ්‍රීපාදය ඉදිකරන තැන නිශ්චය කරගෙන සැලැස්ම සකසා ගත යුතුවිය.   ඉදිකරන ස්ථානය අත ලඟම තිබුණි ඒ ඩේවිට් අයියාගේ වත්ත මායිමේ තිබුණු දැවැන්ත කොහු අඹ ගසය.   සැලැස්ම වුයේ පොඩි මහින්දලගේ කඩේ ලඟින් ආරම්භවන ශ්‍රීපාදය එතැන් සිට ඉහළට නැග කොහු අඹ ගහ මුදුනේ පිහිටුවන ශ්‍රීපාද පත්මය ලඟින් පහළට බැසීම අරඹා ඩබල් ක්‍රිස්තියන් කුලියට හිටපු ගේ මිදුලෙන් බිමට බැස්සවීමයි.    තැපැල් කන්තෝරුවේ වැඩකළ අපේ ගමේ කුලියට හිටපු ගමගේට ඩබල් ක්‍රිස්තියන් කිව්වේ අක්කයි නංගියි දෙන්නා සමගම පවුල් කාපු නිසාය.   ඉතිං ඔය ආකාරයට සැලැස්ම සකස් කරගෙන මුලික කටයුතු ආරම්භ කළත් විශාල ව්‍යාපෘතියක් වන ශ්‍රීපාද ආකෘතියක් සහ ඊට අදාළ මඩු කුඩම් ඉදිකිරීමට මුලික වශයෙන් පුවක් කොටද  ලණුද ලෑලිද පොල්ලතුද ආදී වශයෙන් මෙකී නොකී දහසක් දේ අවශ්‍ය වූ අතර අපේ කණ්ඩායම සතුව අරමුදලක් නොවීය.   කළින් අවුරුදුවල කරපු වෙසක් සැරසිළි වලදී ආරාධිත අමුත්තන් විසින් දෙනලද මුදල්ද ඩබල් ක්‍රිස්තියන් ගසාකාලාය.   අපි අතෙත් එහෙමකට ඉතිරිකරපු මුදලක් නොවූ අතර අතේ මුදල් තිබුණු කීපදෙනාගේ  මුදල් යොදවා වැඩේ ආරම්භ කළෙමු.

උඩුගම පැත්තේ ජයටම අතුරක්  කරපු නිළමේ අපේ කණ්ඩායමේ සිටීම කොල්ලන්ට මහත්ම ශක්තියක් විය.   නිළමේ කාසි කාරයෙකි පවුල් බරක්ද නැත අවශ්‍ය අරමුදල් සපයන්නට නිළමේ කරගහපු නිසා හිතේ සතුටින් වැඩේ පටන් ගෙන කරගෙන ගියෙමු.    ශ්‍රීපාදය ඉදිකිරීමේදී විශාල වශයෙන් ශ්‍රමය අවශ්‍ය විය කණ්ඩායමේ සිටි කොල්ලන් බොහෝ දෙනෙක් එවකට රැකියා නැතුව සිටි නිසා බොහෝ වැඩ කටයුතු සිදුවුනේ ඔවුන්ගේ ශ්‍රමයෙනි.   එවකටද මම රැකියාවක් කල නිසා මම කළේ ශ්‍රීපාදය ඉදිකරන තැන බලන්නට රාත්‍රියේ යාමයි.   ඊට අමතරව සති අන්ත වල දවසේම ශ්‍රීපාද වැඩබිමේ ගතකළෙමි.   මා බොහෝදුරට කළේ වැඩබිමේ වැඩකරන අයට වෙලාවට තේ ටික කෑම ටික පොඩි උනුත් හවුල් කරගෙන සපයා දීමයි.    ඊට අමතරව අහළ පහළ ගෙවල් දෙක තුනකින් වැඩ කරන අයට කන්න බොන්න දීම නිසා ගමේ ගෙවල් හැම එකකින්ම පාහේ දින වෙන්කරගෙන වැඩබිමට කෑම සහ තේ සපයන්නට වීම වැඩ කරන අයට මහත් පහසුවක් විය.   අරමුදල් ප්‍රශ්නයක් නොවුයෙන් අවශ්‍ය බඩු වෙලාවට ලැබෙන්නට වූ නිසා  දැන් ශ්‍රීපාද ආකෘතියේ වැඩ පිමි පනිමින් ඉදිරියට යයි.   මුලිකවම සැකිල්ල ඉදිකර අවසන්ව දැන් කෙරෙන්නේ නිමහම් කටයුතුය.  ශ්‍රීපාදයට නගින්නට ආරම්භ කරන තැනට ආසන්නව තවත් මඩුවක් ඉදිකළේ කාර්යාලය හැටියටය.   කාර්යාලය තිබුණේ ටිකට් කඩන්නටත් ස්පීකර් කාරයාටත්  ආධාර දෙන අයට කවි කියන කවියාටත් නිවේදන කටයුතු කරන නිවේදකයාටත් රැඳී සිටින්නටය.   ශ්‍රීපාද ආකෘතිය ප්‍රදර්ශනය කරන කාලයේදී එහි ස්ථිර නිවේදකයා සහ ප්‍රචාරක නිලධාරියා ලෙස කොහු අඹ ගහ මුදුනේ සිටම කට්ටිය මාව තෝරාගෙන තිබුණේ ඊට කලින් එල්ලේ මැච් වල නිවේදන කටයුතු කර හුරුවක් තිබුණ නිසා වාගේම ඒ වැඩේ කරන්නට වෙන කෙනෙක් ගමෙන් හොයාගන්නට නැතිවීම නිසාය.

ප්‍රචාරක කටයුතු කීවිට මුලින්ම කරන්නට  වුනේ හොඳ විශ්වාසදායක තැනකින් ස්පීකර් සැට් එකක් හොයාගෙන කලින්ම ඇඩ්වාන්ස් ලබාදීමයි.    මන්දයත් වෙසක් ලං ලං වෙත්ම අහළ පහළ කුලියට දෙන ස්පීකර් හැම එකකටම වැඩ ලැබෙන නිසා ස්පීකර් සැට් එකක් හොයාගන්නට අපහසු වීම නිසායි.    ඊළඟට අවශ්‍ය වන්නේ ශබ්දවාහිනී යන්ත්‍රය සඳහා බලපත්‍රය හෙවත් ස්පීකර් පෝමිට් එක ලබාගැනීමයි.   ඒ සඳහා ස්පීකර් කාරයාගෙන්ද ස්පීකරය හයිකරන ඉඩමේ අයිතිකාරයාගෙන්ද  අවසරය ලිපි මගින් ලබාගෙන ග්‍රාමසේවකගේ නිර්දේශය සහිතව ඉල්ලුම් පත්‍රය පොලීසියට ඉදිරිපත් කරන්නට සිදුවේ.   ඉන්පසුව පෝමිට් එක තැපෑලෙන් ලැබේ.    අපි අවුරුද්දට කරන බක්මහ උළෙලට ස්පීකර් පෝමිට් ඉල්ලුවිට එය ලැබෙන්නේ බක්මහ උළෙල අවසන්වී සතියක් පමණ කල් ගතවී නිසා මේ අවසරය අපි කල් ඇතුවම  ලබාගන්නට උත්සාහ කළේ ප්‍රචාරණය සඳහා යන්නට සුදානම්වූ විට ස්පීකර් පෝමිට් නැත්නම් ස්පීකර් කාරයා වාහනයට නගින්නට අදිමදි කරන නිසාය.    අවසර නැතුව ස්පීකර් පාවිච්චි කළොත් නඩු දමා ස්පීකර් රාජසන්තක කරන්නට පොලිසියට හැකි නිසා ස්පීකර් කාරයන් පෝමිට් නැතුව යන්නට බයය.   දැන් අය නම් ස්පීකර් පෝමිට් ගන්න අවශ්‍යය කියා දන්නෙත් නැතුව ඇති  කියා හිතෙන්නේ රට පුරා හැම තැනම පන්සල්වලද බෝ ගස් වලද උදේටද හවසටද කිසිම විචාරයක් නැතිව මහ හඬින් ප්‍රචාරය වන පන්සිල් සෙත් පිරිත් මතු නොව පැය ගණන් ප්‍රචාරය වන බණද  ඇසෙද්දීය.   ඇහෙනවිට ගෙවල්වල වැඩක්වත් කරගන්නට බැරි මහ කන්කරච්චලයක් වන ඒවාට පෝමිට් ගන්නවා නම් ඒ අයට තුන්සිය හැටපස් දවසේම පෝමිට් ඉල්ලමින් පොලීසිවල යන්නට සිදුවේ.

වෙසක් හෙවත් මැයි මාසය ආරම්භවන විට ශ්‍රීපාදය ඉදීකිරීම අවසන් අදියරට ඇවිල්ලාය හදන්නට මුල්වී කටයුතු කරන උදවිය වැඩවලින් හෙම්බත්වී සිටිති.    මේ වගේ බර වැඩ තියන තැනක ඉන්න කොල්ලන් වැඩ කටයුතු කරන්නේ විවිධාකරයකටය.    ආරම්භයේ සිටම වැඩේට මුල්වී කරගහගෙන වැඩකරපු උන් ඉවරවෙනතුරු එක දිගටම වැඩකරති.    සමහරු වැඩ කරන බව පෙන්නුවත් කරන වැඩක් නැත.    සමහරු එන්නේ වැඩකරන තැනට ගේන කෑම බීම සප්පායම් වී කයිය ගහන්නටය.   ඔය වගේ විවිධාකාර අය එක්කහු කරගෙන වැඩක් කරන්නට ලේසි නැත සමහර වෙලාවට බහින්බස් වීම්ය සමහර වෙලාවට ගෝරිය ඔව්වා සමාදාන කරන්නටත් සිදුවේ.   වැඩ කරන තැන හිටපු උන් මගෙන් බර වැඩ බලාපොරොත්තු නූනත් හැකි හැම වෙලාවකම මමත් ගිහිං ඒ අයගේ වැඩට උදව් කෙරුවෙමි.   දැන් අපි හදපු ශ්‍රීපාද ආකෘතිය බලන්න ලස්සනය සිරිපතුලකුත් හදා අඹගහ මුදුනේ පිහිටෙව්වෙමු.    ශ්‍රීපාදේ නගින අයට පහළ නොපෙනෙන්නට බට වැටියෙන් බට ගාල් කපා ගෙනවුත් නගින පඩිපෙළ දෙපැත්තේ ගසා ලස්සන කළෙමු හේරත් අයියා හිටපු කුලීගේ ළඟ බටයකින් වතුර ගෙනැත් කොල්ලන් සීත ගඟුලක්ද නිර්මාණය කලෝය.

දැන් මගේ වැඩ කොටස ළංවී ගෙන එයි, අපේ ශ්‍රීපාදය ගැන කපිලට කියා අතින් ලියවපු පෝස්ටර් ටවුම හැමතැනමත් අහළ පහළ ගම්වලත් අලවා ඉවරය.   ටවුමේ පල්ලිය ළඟ සහ අපේ පාරට හැරෙන ගල් බෝක්කුව ළඟ පාර හරහට ලොකු බැනර් දෙකක් ඇදලා ඇත.    ඊට අමතරව ශ්‍රීපාදයට යන පාර කියා ඊතල ගසා ඇත.   අපේ පළාත වටේටම ශ්‍රීපාද ආකෘතිය ගැන පණිවිඩය දෙන්නට ස්පීකරයකුත් වාහනේ බැඳගෙන ප්‍රචාරය කරන්නට සිදුවේ.   ඒ වැඩේ තියෙන්නේ වෙසක් දවසේ දවල්ටය ත්‍රීවීල් නැති ඒ කාලේ වැඩේට වෑන් එකක් කුලියට ගන්නට සිදුවේ අදනම් ත්‍රීවීල් එකේ හෝන් දෙක සවිකර නිවේදනය පටිගත කර එය ප්‍රචාරය වෙන්නට සලස්වා හැම තැනම ගියත් ඒ කාලේ ප්‍රචාරයට බොහෝ දුක් විඳින්නට සිදුවිය.   උදේ දහයමාරට එකොළහට විතර ප්‍රචාරය යන්නට වාහනේ පොඩි මහින්දලගෙ කඩේ ලඟට පැමිණෙයි.   වාහනේ යන්නේ එනවුන්ස් කරන මමත් ස්පීකර් කාරයාත්ය.   ස්පීකර් කාරයා ටවුමෙන් නග්ගා ගත යුතුය ඊට අමතරව අත් පත්‍රිකා බෙදන්නට පොඩි උන් කීප දෙනෙක් අරගෙන යන්නට ලෑස්ති කරගෙන සිටියෙමි උන් ටික කියන දේ අහන කීකරු කොටින්ම කිව්වොත් මට කඩේ ගිය කොල්ලන්ය.    ඒ උනාට වාහනේ ඇවිත් නවත්තපු පරක්කුවෙන් එතන හිටපු කොල්ලො කුරුට්ටො පැටිපස් පරාණ ටික ඔක්කොම වාහනේට ගොඩවෙලා හමාරය ස්පීකර් බඩු ටික දාගන්න තියා මටවත් නැගගන්නට ඉඩක් ඉතුරුවී නැත.   මම බිම ඉන්න අතර කොල්ලො ටික වාහනේට වී අයින් වලට මරා ගනිති ශ්‍රීපාද වැඩබිමේ මුලිකයා වූ නිලමේ ඔන්න ඔය වෙලාවේ එතනට ආවේ අපි ප්‍රචාරයට පිටත්වෙන හැටි බලන්නටය වාහනේ පුරා කොලු කුරුට්ටන් පිරී ඉඳිනු දුටු නිළමයාට යක්ෂයා ආරූඨ විය.

බැහැපියව් බැහැපියව් ඔක්කොම,තොපි කොහෙ මඟුලෙ යන්නද...

නිළමේ වාහනේ පිරී හිටපු කොල්ලො ටික ඔක්කොම බිමට බැස්සුවේය.   ඊට පසුව මට අවශ්‍ය වන කීපදෙනා පමණක් නග්ගාගෙන යන්නට ලෑස්ති උනෙමි.    ඒ අව් අස්සේ එකෙක් අඬ අඬා ගිහිං උන්ගෙ අම්මාට නඩුව කියලාය අම්මා කොල්ලාද එක්කරගෙන දුවං ආවේ  නිලමේත් එක්ක ඩීල් එකක් දාගන්නටය.

අනේ මල්ලියෙ මූත් ඔන්නොහේ ගියදෙන් පොඩි එකාගෙ ආසාව නොවැ...

කොල්ලගෙ අම්මා අපේ වැඩේට බොහෝ උදව් පදව් ඇති කාන්තාවක් වු නිසා නිළමේ මොකුත් කීවේ නැත.   කොල්ලා වාහනේට නැගගත් පසු නිළමේ මට කීවේ තවත් කුණු කොන්ත්‍රාත් එන්නට කලින් ඉක්මනට පිටත් වෙන්නට කියලාය.   ඒ කාලයේ ලඟපාත මොනම දන්සැලක්වත් තිබුනේ නැත තිබහට බීම බෝතලයක් සිගරැට් එකක් බිව්වත් ඒ අතින් වියදම් කරගෙනය.   දැන් නං තුංමං හංදියෙන් පිටත්වී ටවුමට යන ටිකට  දන්සැල් හතර පහක් නොවැරදීම හමුවේ.     දවල් දවසට වැඩියත්ම තියෙන්නේ මහා සිසිල් පැන් දන්සැල්ය.  ගමේත් අහල පහළත් ගෙවල්වලින් මුදල් සම්මාදම් කර ඇල්වතුර පාටකර සීනි ටිකක්  දියකර ගත්විට සිසිල් පැන් සාදාගත හැක.  තැලිච්ච අන්නාසි ගෙඩි තුන හතරක් පොඩියට කපා ඒ උඩට ඉහගන්නට තියේ නම් වඩාත් ලස්සනය.   මහා අයිස්ක්‍රීම් දන්සැල්ද තිබුණත් ඒ බොහොම අඩුවෙනි අයිස්ක්‍රීම් කඩෙන් සල්ලිවලට ගතයුතු නිසා වියදම වැඩිය.   ඊට අමතරව මහා බිස්කට් දන්සැල් ද මහා මයියොක්කා දන්සැල්ද කඩල දන්සැල්ද දවාලට වැඩිවශයෙන් දකින්නට ඇත.   රෑ වෙද්දී  මහා දන්සැල් ගාන තවත් ඉහළ යයි බත් දන්සැල්ද කහබත් දන්සැල්ද ප්‍රයිඩ් රයිස් දන්සැල්ද නුඩ්ල්ස් දන්සැල්ද ආදී වශයෙන් දන්සැල්ද හැමතැනමය.    මීට ටික කලකට කලින් වත්තේ ආරිලෑ අම්මා ගේ ඉස්සරහ අවුරුදු පතා පාන් සහ සීනි සම්බෝල දන්සැලක් දුන්නේ ආරිලගේ මැරිච්ච මල්ලිට පිං පිණිසය ඒ කතාවට මගේද යම් සම්බන්ධ කමක් තියෙන නිසා ඒ ගැන වෙනම ලියමි.

ටවුමට ගිහිං ඉස්පීකර් කාරයත් පටවාගෙන ප්‍රචාරය ආරම්භ කළෙමි.   ඉස් ඉස්සෙල්ලම උනේ මෙහෙම දෙයකි සෙනග ගැවසෙන හරියකදී ප්‍රචාරය පටන් ගන්නට හිතාගෙන සිංදුවක් දාගෙන යමු කියා ස්පීකර් කාරයාට කියපු විට ඔහු  කිව්වේ ළඟ තියෙන්නේ රැකෝඩ් ප්ලේයර් එකක් නිසා වාහනේ දුවන විට සිංදු දාන්නට බැරිය කියාය මන්ද එවිට තැටියෙන් කට්ට පනින බැවිනි ඒ නිසා වාහනේ නවත්වා සිංදු දාන්නට සිදුවිය.   පෙන්නන්නේ සිරීපාදෙ නිසා අපි දැම්මෙ සිරීපාදෙ ගැන කියවෙන සිංදුය.

සකල සතම බොදු බෙතියෙන් 
නමදින දුර හෙර හැම බේදේ 
සුගත තථාගත ලෝක තිවංකර 
සම්බුදු සිරිපාදේ...

මග නවත්වා සිංදුව දාන විට කොලු කුරුට්ටන් දුවගෙන එන අතර කාන්තාවන් ජනෙල් දොරවල් වලින් ඔලුව දමා බලති.   සිංදුවත් ඒ දවස්වල නැගලම යන එකකි දැන් සිංදුව නවත්වා කතා කරන්නට වෙලාවයි.

ටොක් ටොක් ටොක් ආයුබෝවන් මේ ඔබ අමතන්නේ .......... ......... රන්තරු තරුණ සංගමයේ ප්‍රචාරක අංශයයි.   රන්තරු තරුණ සංගමය ප්‍රථම වරට අභිමානයෙන් ඉදිරිපත් කරන මහා ශ්‍රීපාද ආකෘතිය මේ මස 12 වන දින එනම් අද සිට...

මම කියාගෙන යමි, නිවේදනය අවසන්වූ විට ආයෙම සිංදුවය.   ඒ අතරේ පොඩි උන් අත් පත්‍රිකා බෙදති.   කොහොමත් ප්‍රචාරය කරගෙන රවුම ගිහිං අවසන්වන විට හොඳ ගණන්ය.   ගෙදර ගිහිං නාගෙන එහෙම හොඳ ඇඳුමක් ඇඳගෙන ආපහු ශ්‍රීපාදයට හවස හය වෙද්දී වාර්තා කල යුත්තේ ශ්‍රීපාද ආකෘතිය ප්‍රදර්ශනය ආරම්භ වන උත්සව සභාව මෙහෙයවීමට ඇති නිසාවෙනි.     උත්සව සභාවට පන්සලේ ලොකු හාමුදුරුවන්,ගමේ ප්‍රභූවරු පොලිසියේ ස්ථානාධිපති තුමා ආදී වැදගත් උදවියට පැමිණෙන්නට කියා ආරාධනා කර ඇත.   හවස හතරේ ඉඳන් ගමේ මිනිස්සු පවුල් පිටින් එතනට ඇවිත් කට ඇරගෙන බලා සිටිති.   ඒ මදිවට ගමේ අය පිට ගම්වල ඉන්න ඥාතීන්ටත් ලියුම් යවා ශ්‍රීපාදය ගැන දන්වලාය.  

තිසරණ සරණයි,

ආදරණීයපොඩි මල්ලි වෙත ලියා දන්වන වගනම් බොහෝ කාලෙකින් නුඹලාගේ සැප දුක් දැනගන්නට නොලැබීම ගැන කණගාටුවෙමි.  හදිස්සියෙන් මේ ලියමන ලියන්නේ වෙසක් එකට අපේ ගමේ හදල තියෙන සිරීපාදය ගැන දැනුම් දෙන්නටය. මල්ලියේ උඹ ඇතුලු පවුල හැන්දෑවක මෙහෙ ආවොත් රාත්‍රියේ සිරීපාදෙ බලා අපේ ගෙදර නැවතී පහුවදා යන්නට පුලුවනිය. උඹලා පැමිණෙනවා නම් අපේ ගෙදර උදවියත් බොහෝසතුටුය.  එන නොඑන වග හැරෙන තැපෑලෙන් දන්වන්ඩය.

සැපවේවා 
මීට ආදරණීය ලොකු අයියා වන 
පී.අරනෝලිස්

කවුරු ආවත් මම නැතුව වැඩේ පටන්ගන්නට බැරි වෙන එකෙකුටවත් මයික් එකට කතා කරන්නට බැරි නිසාය.    කවුරුහරි හිත දැඩි කරගෙන මයික් එක අතට ගත්තත් කතා කරන්නට යනවිට ගොත ගැසේ.    පසු කාලීනව මම කොල්ලන් කීප දෙනෙකුගේම බය ඇර හොඳට කතාකරන්නට පුළුවන් තත්වයට පත්කළෙමි

ප.ලි.
මේ ලංකාවේ වෙසක් නොදැක මා ගෙවන පස්වන අවුරුද්දයි.  වෙසක් උත්සවයේදී බොහෝ ක්‍රියාකාරීව සිටි පුද්ගලයෙකු වූ මාහට මෙසේ නිකම් උඩ බලාගෙන සිටීමට සිදුවීම සිතට දනවන්නේ මහත් ශෝකයකි. මෙය  ඒ ශෝකය නිසා ලියැවුණු මතක සටහනකි.


දිග වැඩිවන නිසා තව කොටසකට යමු.

Sunday, May 15, 2016

ගන්බෝට් රිජ්වේ තිලකරත්න සහ වික්ටර් හන්ටර්ගේ මාරයා.

අද ලියැවෙන පෝස්ටුවට නිමිත්ත වුනේ හෙවත් උත්තේජනය සැපයුනේ අපේ කල්‍යාණමිත්‍ර ලියූ මෙන්න මේ  පෝස්ටුවෙනි.    එය කියවද්දී ගන්බෝට් වලට නම් තැබීම ගැන ලස්සන කතාවක් මා කියවා ඇති බව මට මතක්වී ඒ කතාවද කමියාගේ කතාවට එකතු වුණොත් තවත් අලංකාර නොවේදැයි සිතා කමියාට කතාකර කතාව දෙන්නට ලෑස්ති වුණත් ඌ එය ලිවීම එකහෙලා ප්‍රතික්ෂේප කර මට ලියන්නට කීවේය.   එමෙන්ම කතාව දැනගන්නට කැමැත්තෙන් සිටින නිසා ඉක්මනින් ලියන ලෙසට පොඩි තර්ජනයකුත් කළේය.    මේ කතාව ඇත්ත වශයෙන්ම මා ලියන කතාවක් නොවන අතර මා කියැවූ පොතකින් උපුටා දැක්වීමකි.     

කමියාගේ කතාවට ගැලපෙන  නිසා ඒ කතාවට ඌන පුර්ණයක් ලෙස මගෙ බ්ලොගයේ පලකරන අතර කමෙන්ට් එකක් ලෙස කමියාගේ බ්ලොගයේ කොටන්නට දිග වැඩි නිසාත් පෝස්ටුවකට කොට වැඩි නිසාත් කතාවේ රසයට හානි නොවන පරිදි ඒ පරිච්ඡේදයේම තවත් කොටසක් පෝස්ටුවට එකතු කළෙමි.    මගේම ස්වාධීන නිර්මාණයක් නොවන අනුන්ගේ පොතක ඇති කතාවක් උපුටා පළකිරීම ගැන පාඨකයන් ඉවසා වදාරතියි උදක්ම බලාපොරොත්තු වෙමි.   කතාව මෙහෙමය.

"හැත්තෑව දශකයේ පිහිටවූ සභාග රජයට නායකත්වය දෙන ලද්දේ බණ්ඩාරනායක මැතිනියයි.   ඇය එම රජයේ අගමැතිනිය වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය පැවරුණේ ද ඇයටමය.   ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු වූ ආතර් රාජ්කුමාර් රත්නවේල් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ අතර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරේ වූයේ රිජ්වේ තිලකරත්නය.   සහකාර ලේකම් වූ මා රිජ්වේට සහාය වීමි. 

රිජ්වේ තිලකරත්න රත්නපුර දිසාපතිවරයා ව සිටි කාලයේ සිට මම පෞද්ගලිකව දැන සිටියෙමි.   කා සමගත් සුහදව සිටි ඔහු සමග රාජකාරියෙහි යෙදීම ප්‍රියජනක විය.   හමුදා පත්වීම් සහ උසස්වීම් කෙළින්ම ඔහුගේ ආධිපත්‍යයට යටත් විය.   රිජ්වේට කෙළින්ම අගමැතිනිය සමග තම රාජකාරි කිරීමට අවස්ථාව ලැබුණු නමුත් නවක කණිෂ්ඨයින් වූ අපට නියෝග ලබාගැනීම සඳහා ලියලියවිලි ඔහුගේ මාර්ගයෙන් අගමැතිනිය වෙත යොමු කිරීමට සිදුවිය.

නීතිය අනුව අගමැතිනිය සියලුම හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරිනිය වූවාය.    එබැවින් පත්වීම් උසස්වීම් වැනි පරිපාලනයේ හැම කටයුත්තකදීම අගමැතිනියගේ අනුමැතිය අවශ්‍ය විය.   හමුදාවල සුළු සුළු පත්කිරීම් කෙරෙහිද මේ නීතියම බලපෑ නමුත් ඒ කාර්යය ඉටුකිරීමේ බලය හමුදා ප්‍රධානීන් හට ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට පවරා තිබිණි.

හමුදාවල උසස් නිලයන් සඳහා පුද්ගලයින් බඳවා ගැනීම සහ උසස් කිරීම සඳහා තෝරාගැනීම්වල අවසාන සම්මුඛ පරීක්ෂනය පවත්වන ලද්දේ අමාත්‍යාංශයේ ය.   මෙම හැම මණ්ඩලයකම පාහේ ප්‍රධානත්වය රිජ්වේට ලැබුණු අතර ඒ ඒ හමුදාවල ප්‍රධානීන්ද දෙවැන්නෝ මෙම මණ්ඩලවල සාමාජිකයෝ වුහ.   ආරක්ෂක අමාත්‍යංශ සහකාර ලේකම්ද එම මණ්ඩලයට ඇතුළු වීම නිසා සෑම මසකම දින හත අටක් මෙම තේරීම් මණ්ඩලයේ සේවය සඳහා යෙදීමට මට සිදුවිය.   රිජ්වේ සමග මෙම මණ්ඩලවල සේවය කිරීම ඉතා විනෝදජනක වූ අතර මණ්ඩලය ඉදිරියට එන අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න ඇසීමේදී රිජ්වේ ඔහුටම ආවේනික වූ පිළිවෙලක් අනුගමනය කළේය.   

වරක් රිජ්වේ සහභාගිවූ මණ්ඩලයක් ගැන මට අද ඊයේ මෙන් සිහිවේ.   එම තේරීම් මණ්ඩලය රැස්වුයේ නාවික හමුදාවට උසස් නිලධාරීන් බඳවා ගැනීම සඳහාය.   නාවික හමුදාපති කපිතාන් වික්ටර් හන්ටර් ද මණ්ඩලයේ සාමාජිකයෙක් විය.   තුන් දෙනෙකු ගෙන් සැදුම්ලත් මෙම මණ්ඩලයේ තුන්වෙනි සාමාජිකයා මම වීමි.   තරුණ කඩවසම් වයස විස්සක පමණ පෙනුමැති තරුණයෙක් මණ්ඩලය ඉදිරියට පැමිණියේය.

'කරුණාකර වාඩිවෙන්න' යැයි මම කීමි.

'බොහොම ස්තුතියි' කී තරුණයා අපහසුවෙන් මෙන් පුටුවේ ඉදිරි කෙළවරට බරවන්නට වාඩිවුයේය.

'දියතලාවට දියතලාව කියන්නේ ඇයි'? රිජ්වේ පළමුවෙනි ප්‍රශ්ණය ඇසීය.

'තෙතමනය ඇති තලාවක් නිසා.ඒ කියන්නේ සීත සමතලා බිමක් නිසා එම ප්‍රදේශයට දියතලාව කියලා කියනවා'.

බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රශ්නයකින් කලබල වූ අපේක්ෂකයා තැතිගත් ස්වභාවයෙන් පිළිතුරු දුන්නේය.   පිළිතුර හරිද වැරදිද යන්න රිජ්වේ කීවේ නැත.   මෙය තේරුම් ගැනීමට අපහසු වික්ටර් හන්ටර් හා මා එකිනෙකාගේ මුහුණු බලා ගතිමු.   තවත් ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පසු ඔහුගේ පරීක්ෂන කටයුතු අවසන් විය.   මින්පසු තරුණ අපේක්ෂකයන් කිහිප දෙනෙක් තේරීම් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ.  ඒ හැම කෙනෙකුගෙන්ම රිජ්වේ 'දියතලාව' ප්‍රශ්ණය ඇසුවේය.  ඒ හැම කෙනෙක්ම මුල් උත්තරයට සමාන උත්තරයක් දුන්හ.   ඊළඟට පැමිණියේ බර්ගර් ජාතික තරුණයෙකි.   ඔහු කිසිම කුහුලක් නැතිව මණ්ඩලය ඉදිරියට පැමිණියේය.   කිසි බයක් සැකක් කුලෑටි ගතියක් නොදක්වා වාඩිවන්නට තිබු පුටුවේ හරි බරි ගැසී හොඳහැටි වාඩිවිය.

'ඔබට කියන්න පුළුවන්ද දියතලාවට දියතලාව කියන්නේ ඇයි කියලා' රිජ්වේ සුපුරුදු ප්‍රශ්ණය මතු කළේය.

'දියතලාවට දියතලාව කියන්නේ ඒකට බණ්ඩාරවෙල හෝ නුවරඑළිය කියන්නට බැරි නිසා'

කිසිම චකිතයක් නැතිව තරුණයා පිළිතුරු දුන්නේය.උත්තරය තේරුම් ගන්නට නොහැකිවූ නාවික හමුදාපතිටත් මටත් මෙය මහා ගැටළුවක් විය.

'එයා විතරයි හරි උත්තරය දුන්නේ' දඟකාර මඳහිනාවක් මුහුණට නගාගත් රිජ්වේ පිළිතුරේ වැරදි නිවැරදි බව පෙන්වා දුන්නේය.

'මොනවද උදේට කෑවෙ' එය රිජ්වේගේ දෙවැනි ප්‍රශ්ණය විය.

'තවම මොකුත් කෑවෙ නෑ සර්' ඔහු පිළිතුරු දුන්නේය.

'ඇයි'?

'මෙහාට එන්න වෙලා ගත වුනා.  පරක්කු වෙන නිසා කෑමගැන නොසලකා මෙතෙනට වෙලාවට ආවා'

'ඇයි'?

'කෑමට වඩා මේ වැඩේ මට ලොකු නිසා'

කෑම නැතිව ඒමට හේතු තරුණයා ඉතා කෙටියෙන් කිසිම පැකිළීමක් නැතිව පහදා දුන්නේය.   තරුණයා ගැන රිජ්වේ හොඳටම පැහැදී ඇති බව ලකුණු එකතු කිරීමේදී අපට පැහැදිලි විය.   බර්ගර් ජාතික තරුණයා එම සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා පමණක් නොව ඔහු ඒ කණ්ඩායමේ පළමුවැනි තැනද ලබා සිටියේය.

වැඩි වැඩක් නැතිව විවේකීව සිටින විට අහිංසක එහෙත් දඟකාර විහිළුවක් කර විනෝදවීමට රිජ්වේ පුරුදුව සිටියේය.   මේ අවදියේ රජය චීනයෙන් කුඩා ප්‍රහාරක යාත්‍රා හත අටක් ගෙන්වාගත්තේය.    මුලින්ම ලැබුණු යාත්‍රා හතර නම් කිරීමේදී ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී යන අකුරු මුල් කරගෙන නම් තබන ලදී.   පළමු වැන්නට 'සුරයා' යැයි නම් තබන ලද අතර ඉතිරි තුනට පිළිවෙලින් 'වීරයා' 'රණකාමී' 'දක්ෂයා' යනුවෙන් නම් තැබුහ.

එක් දිනෙක සවස් වරුවේ රිජ්වේ මා සමග ඔහුගේ කාමරයේ රාජකාරි කටයුත්තක යෙදී සිටින අතර කිසිවෙක් කාමරයේ දොරට තට්ටු කළේය.   දොර විවෘත කරගෙන කාමරයට ඇතුළුවුයේ නාවික හමුදාපති වික්ටර් හන්ටර්ය.   රිජ්වේගේ මුහුණේ දඟකාරී සිනා රැල්ලක් විය.   ඔහු මොකක් හෝ විහිළුවක් කරන්නට යන බව මට දැනිණි.

'ඕ හොඳයි හොඳයි වික්ටර් හම්බුන එක,මට ඕනෑ කරලා තිබුණා වික්ටර් නිස්කලංකව හම්බ වෙන්නට'

රිජ්වේ කතාවට මුල පිරුවේය.

'ඇයි ඒ මොකද'? හමුවීමට උනන්දු වුයේ ඇයිදැයි දැනගැනීමට වික්ටර්ට අවශ්‍ය විය.

'නෑ මට ආරංචියක් ලැබුණා වික්ටර්ට නම්බු නාමයක් ලැබෙන්න යනවා කියලා'

'මට? ඒ මොනවද සර් මට ලැබෙන නම්බුනාමෙ?'

'වික්ටර් ඒක දැනගන්න එපායැ'

'විශ්වාස කරන්න සර් මං නං මේ ගැන මොකවත් දන්නෙ නෑ'

'වික්ටර් ළඟදීම විශ්‍රාම යනවා නේද? ඉතිං අපට ලැබිල තියෙන අලුත්ම ගන්බෝට් එකට වික්ටර්ගේ නම තියන්නට යෝජනාවක් ඉදිරිපත්වෙලා තියනවා.

'මගේ නම තියන්න? ඇයි දෙයියනේ කවුද යෝජනා කළේ?'

සතුටින් ඉපිලීගිය නාවික හමුදාපතිට තව තොරතුරු දැනගන්නට අවශ්‍ය විය.

'කවුද ඉතිං රටේ නායිකාව මිසක්. වෙන කාටද ඔය වැඩේ කරන්න පුළුවන්'

'අනේ සර් මොකක්ද මැඩම් කීවේ?'

'එයා කීවා විශ්‍රාම යන නාවික හමුදාපතිට ගරු කිරීමක් වශයෙන් ලැබිල තියෙන ගන්බෝට් එක වික්ටර් වෙනුවෙන් නම් කරන්න ඕනෑ කියල'

'ඉතිං'

'ඉතිං? ඉතිරි හරිය මැතිනියට කතා කරලා දැනගන්න'

එදා ඒ කතාව එතැනින් හමාර වුවත් වික්ටර් හන්ටර්ට ඒ කතාව තවදුරටත් ගෙන යාමට අවශ්‍ය විය.  ඔහු ඊට පසු අවස්ථාවක් සොයා මැතිනිය හමුවිය.   මෙම හමුවීමෙන් පසු වික්ටර් හන්ටර් නැවත රිජ්වේ හමුවීමට අමාත්‍යංශ කාර්යාලයට ගොඩ වැදුණේය.

'මොකක්ද මැතිනිය කිව්වේ?' හන්ටර් දුටු ගමන්ම රිජ්වේ විමසුවේය.

'මැඩම් හිනාවෙලා කීවා රිජ්වේට කියන්න ඉතිරි හරිය එයා කරයි කියලා'

'හරි හරි අලුත් ගන්බෝට් එකට දාන නමත් සුරයා වීරයා වගේ තාලෙට කියවෙන්න ඕනෑ'

'සර් හොඳ සිංහල කාරයෙක් නොවැ,යෝජනා කරන්න මම මැඩම්ට කියන්නම්'

'වික්ටර්ගේ නමේ අර්ථය ඒ නමේ තියෙන්න ඕනෑ'

'හරි හරි සර් කියන්නකෝ,' වික්ටර්ට ඉවසිල්ලක් නැත.

'හන්ටර් කියන්නේ දඩයක්කාරයා.  ඒ කියන්නෙ සත්තුන්ගෙ මාරයා.  අපි 'මාරයා' කියල යෝජනා කරමු.  මට ඔයිට වඩා හොඳ නමක් ගැන හිතන්න බෑ.'

'හරි හරි' යැයි කී සතුටින්  ඉපිල ගිය හන්ටර් කඩදාසි කැබැල්ලක් සාක්කුවෙන් එළියට ගෙන යෝජනා කරන ලද නම ලියා ගත්තේය.

සති ගණනක් ගතවිය.  ඒ අතර වික්ටර් හන්ටර් අගමැතිනිය හමුවීමට ගොස් රිජ්වේ යෝජනා කළ නම ඉදිරිපත් කර ඇත.

'හරි අපි මේක සලකා බලමුකො' රිජ්වේගේ ලණුව කා ඇති බව තේරුම් ගත් මැතිනිය හන්ටර්ට කීවා යැයි හන්ටර් විසින් කීප දෙනෙකුටම පවසා ඇත.

වික්ටර් හන්ටර් බලාපොරොත්තු වූ පරිදි අලුතින් ලැබුණු චීන ප්‍රහාරක යාත්‍රාවට 'මාරයා' යන නම නොයෙදෙන විට එය රිජ්වේගේ තවත් විහිළුවක් බව හන්ටර්ට අවබෝධ වන්නට ඇත.  ඊට මාස කීපයකට පසු නාවික හමුදාපති තනතුරෙන් විශ්‍රාම ලැබූ හන්ටර් ඕස්ට්‍රේලියාවේ වාසය සඳහා ගිය බවත් එහිදී මියගිය බවත් දැන ගන්නට ලැබිණි".

උක්ත පරිච්ඡේදය මා උපුටා දැක්වුයේ ප්‍රේමතිලක මාපිටිගම විසින් ලියන ලද ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වූ 'ඒක දිග ගමනක්' නම්  කෘතියෙනි.    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් ලෙස කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාමික ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ ලේකම් ලෙස ජයවර්ධන මහතා මියයන තුරු සේවය කළේය.   ඔහු විසින් සිය චරිතාපදානය පල කරන ලද්දේ ජේ ආර් ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසුවය.   මගේ මතකය අනුව ප්‍රේමතිලක මාපිටිගම මහතාද පසුගිය වසරේ මෙලොව හැර ගියේය෴

Sunday, May 8, 2016

බැට් වැඩපොළ රුක්අත්තන ලී කජු ලී සහ බත්මුල නිසා ගැලවීම.



















අදත් අතීත මතක සටහනක් අවදි වුයේ ගූගල් ස්ට්‍රීට් වීව් වල දැකපු පින්තූරයක් නිසාය.   අපේ ටවුමේ සිට B 445 පාරදිගේ ඊතලය ගෙනගියේ නිකම් කම්මැලිකමටය.   මගේ අතීත මතකය අවදිවුනේ පාරේ මෙන්න මෙතැනදීය.   මේ සථානය මගේ ජීවිතයට සදානුස්මරණීය වන්නේ මම හාපුරා කියා රැකියාවක් කළේ මෙතැන වීමයි.    එයට රැකියාවක් කියනවාද පුහුණුවක් කියනවාද එහෙමත් නැත්නම් වෙනත් නමක් කියනවාදැයි මට තවමත් සිතාගන්නට නොහැක්කේ රැකියාවක් නම් රැකියාවකට යන කෙනෙකුට ලැබිය යුතු වැටුපක් මට නොලැබුණු නිසාත් පුහුණුවක් නම් ඒ ලබාගත් පුහුණුවෙන් මට මොනයම් ආකාරයක හෝ ප්‍රයෝජනයක් නොලැබුණු නිසාත්ය.   ඒ කෙසේ වුවද මා මෙම ස්ථානයේ ගතකළ කාලය යන්තම් මාස කීපයකට සීමාවී නැවතුන හෙයින්  අද මට ඒ කිසිවක් ගැන එතරම් හැඟීමක් නොමැති අතර ඇත්තේ මතක සටහනක් පමණි.  

අපේ කාලයේ එස් එස් සී හෝ ජ්‍යෙෂ්ටය යනුවෙන්ද අදනම් ඕ ලෙවෙල් යනුවෙන්ද හැඳින්වෙන සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීමෙන් පසු ලැබෙන දීර්ඝ නිවාඩුවෙන් මාස කීපයක් අපේ මවගේ ගමේ හෙවත් බෝතලේට වී ගෙවා දැමු බව මා කලින් ලියා ඇත.    ආපසු ගමට පැමිණි මට ගෙදරටවී නිකම් ඉඳීම මහත් අපහසු කාර්යයක් විය.   ලැබෙන එකම සැනසීම දවල් වෙනතුරු නිදාගැනීම පමණකි ඊට පසු දවස ගෙවා දැමීම ඉතා කම්මැලි වුනේ ආශ්‍රය කරන්නට කෙනෙක්වත් දවල්වෙනවිට ගමේ ඉතුරු නොවීම නිසාය.    මේ නිසා තාවකාලික රැකියාවකට හෝ පුහුණුවකට යන්නට ඇත්නම් හොඳය කියා මට නොයෙක් විට සිතුනි.    ඒ වනවිට මගේ හිතවතෙක්ව සිටි වත්තේ ආරි වැඩකළේ මෙන්න මේ ආයතනයේය.(ආරි කිව්වේ මගේ තවත් හිතවතෙක් වූ රෙදිමෝලේ වැඩකළ මයියංගනේ ආරි කියා වරදවා වටහා නොගන්න) මෙම ස්ථානය තරමක කම්හලක් වූ අතර මුලික වශයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් පිති නිපදවීමෙන් ආරම්භකර පසුව වෙනත් වෙනත් නිෂ්පාදනද කරන්නට පටන්ගෙන තිබු  අතර ආයතනයට ලස්සන පොෂ් නමක් තිබුණත්  දන්න කියන සියලු දෙනාම මේ ආයතනය හැඳින්වුයේ බැට් වැඩපොළ යන සරල නාමයෙනි.

බැට් වැඩපොළට  යන්නට මට ඇති ආසාව ගැන මා ආරිට කියූ විට ආරි කිව්වේ ආයතනය හිමිකරු සමග කතාකර බලන ලෙසය.    ආයතනයේ හිමිකරුවා දුරින් අපේ ඥාතියෙක් වූ නිසා අපේ අම්මාට කියා ඔහුත් සමග කතාකළ විට ප්‍රශ්නය විසඳුනි.   ඉල්ලුම් පත්‍ර හෝ වෙනත් ලිය කියවිලි කිසිවක් නොවූ අතර ලැබෙන වැටුප ගැනද කිසිවෙකුගේ සඳහනක් නොවීය.    මා ඒ මාසයේ සිටම ආරිත් සමග බැට් වැඩපොළේ සේවයට යන්නට පටන්ගත්තෙමි.    ආයතනයේ හිමිකරු සිය දරු පවුල සමග පදිංචිව සිටි ගෙටම අල්ලා තනා තිබු එම ආයතනය සතු දහ දෙනෙක් පමණ වැඩකළ කම්හලේ ලී අංශය සහ යකඩ අංශය යනුවෙන් අංශ දෙකක් වූ අතර මා අනුයුක්ත කරන ලද ලී අංශයේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් පිති සහ පේෂකර්ම ආයතනවල පාවිච්චියට ගන්නා බොබින් නිෂ්පාදනය සිදුවිය.    එමෙන්ම ඇණවුම් ලැබෙන ආකාරයට වෙනත් ලී නිෂ්පාදන සකස්කරදීමද සිදුකෙරුණි.    එකල රජය විසින් විදේශ වලින් කරන ආනයන නතර කොට තිබු හේතුවෙන් මෙම ආයතනයේ නිෂ්පාදන වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබු අතර විශාල ඇණවුම් නිතරම ලැබුණි.  මම ආරි සමග හැමදාම උදේ ටවුමට ගොස් බස් එකක නැගී සේවයට ගියෙමි.    මුලින්ම ආයතනයට බැඳෙන හැම ආධුනික සේවකයාටම  කරන්නට ලැබෙන වැඩක්වු බැට් පිරවීමට මටද සිදුවිය.    

බැට් පිරවීම යනු කුමක්දැයි විස්තර කරන්නට කලින් ක්‍රිකට් පිති නිෂ්පාදනය කරන ආකාරය ගැන කෙටි විස්තරයක් කල යුතුය.    පිති නිෂ්පාදනයට යොදා ගන්නා රුක්අත්තන ලී බැට් වැඩපොළට සපයන්නේ ඒ අහළ පහළ ලී මුදලාලි කෙනෙකි.    ඔහු විසින් කප්පවා කුට්ටි කොට ගෙනැවිත් බාරදෙන රුක්අත්තන කඳන් ඉරා ක්‍රිකට් බැට්වල ප්‍රමාණ අනුව සකස් කරගනු ලබයි.     මුදලාලි ඒ වනවිට රුක්අත්තන ගස් කැපීම කෙතරම් ජයට කරගෙන ගියාද කිවහොත් ඒ අහළ පහළක නම් බේතකට පොත්තක් ගලවා ගන්නට වත් රුක්අත්තන ගසක් නොවීය.     ළඟ පාත ගස් නොමැතිවූ කළ පසුබට නොවූ මුදලාලි ගස් සොයමින් වෙනත් ප්‍රදේශ පවා පීරන්නට විය.    ලී මුදලාලිට අසු නොවී ඉතුරුවූ රුක්අත්තන ගසක් අදටත් දැකිය හැක්කේ අපේ ටවුමේ බස් නැවතුම්පොළ ළඟය ඒ දැවැන්ත ගහ කෝච්චි ඉස්ටේෂමට හොඳහැටි පෙනේ.    නගර සභාවට අයිති දේපොලක් නොවන්නට ඒ ගහද ඔහුගෙන් බේරෙන්නේ නැත.    

ක්‍රිකට් පිති කපනවා ඇරෙන්නට රුක්අත්තන ලීය ගන්නේ මිනීපෙට්ටි හදන්නටය.    නමුත් මිනීපෙට්ටි වලටද රුක්අත්තන ලීය ගණන් වැඩි නිසා ඊටත් වඩා මිළෙන් අඩු කජු ලෑලි මිනීපෙට්ටි නිෂ්පාදනයට යොදාගන්නා බව දැනගන්නට ඇත.    කජු ලෑලි ගැන කතාකරනවිට මට හේමපාල ධර්මසේන කියපු කතාවක් මතක්වේ,කොළඹ මල් ශාලාව අයිති මුදලාලි චිත්‍රපට කීපයක් නිෂ්පාදනය කර ඇති නිසා හේමපාල ධර්මසේනලාගේ හිතවතෙකි.   මුදලාලි අලුතෙන් හදපු ගෙට ගෙවැදීමේ උත්සවයට ධර්මසේන හේමපාලටද ආරාධනා ලැබී තිබුණි.   නියමිත දිනයේ ඔහු එහි යන්නේ තවත් ආරාධිතයන් දෙපොළක් වූ මහාචාර්ය සුනිල් ආරියරත්නත් චින්තන ජයසේනත් සමගය.    ඔවුන්ව ආදරයෙන් පිළිගන්නා මුදලාලි ඔවුන් ගෙතුළ ඉන්දවා තවත් වැඩකට ඇතුළට ගිය වෙලේ චින්තන ජයසේන ගෙයි ඇති පුටු මේස ආදී ලී බඩු එකින් එකට තට්ටු කරමින් සාලයේ ඇවිදින්නට විය.    චින්තන මොනවා කරනවාදැයි එවිට සුනිල් ආරියරත්න ටිකක් තදින් අසා ඇත. 

නෑ  මේ බඩු හදල තියෙන්නෙ කජු ලී වලින්ද කියල බැලුවා...

චින්තන ජයසේන කියා ඇත්තේ සුනිල් ආරියරත්නයන්ට හිසේ අත් ගහ ගන්නට සලස්වමිනි.    සංදේශය චිත්‍රපටය කාලයේ සිට චිත්‍රපට සිය ගණනක කලා අධ්‍යක්ෂණය කළ ධර්මසේන හේමපාල ළඟ මෙවැනි රසකතා  දහස් ගණනක් ඇතත් මෙතෙක් මට  ඔහුගෙන් අහගන්නට ලැබී ඇත්තේ කීපයකි.    හේතුව අප දෙන්නා නිතරම මුණ නොගැසීමයි විශේෂයෙන් මා නිතරම ලංකාවේ  නොසිටීම තවත් කාරණයකි.    කලා අධ්‍යක්ෂණය යන විෂයය චිත්‍රපටයකටහෝ ටෙළියකට එකල නම් ඉතා වැදගත් වුවත් දැන් ඉන්නා නිෂ්පාදක වරුන් හා අධ්‍යක්ෂක වරුන් එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් හේමපාල ධර්මසේනයන් මේ වනවිට සිය නිවසේ විවේකයෙන් පසුවෙනවාට කිසිම සැකයක් නැත.

නැවතත් ක්‍රිකට් පිති නිෂ්පාදනය පිලිබඳ කතාවට පැමිණියහොත් ක්‍රිකට් පිති 0 සිට 6 දක්වා ප්‍රමාණ වලින් නිපදවනු ලබයි.   ගෙන එන රුක්අත්තන කොටවලින් හැකි තරම් ප්‍රමාණයක් 6 සඳහා කපාගන්නට බලන්නේ එයට වෙළඳපොලේ ලැබෙන මිල වැඩි නිසාය.    ඉන්පසුව පිළිවෙලින් 5,4,3,2,1 සහ 0 සඳහා ලී සකස් කර ගනී.     ලී කැබලි ටික ප්‍රමාණ අනුව වෙන්කරගත් පසු මුලින්ම ඇත්තේ පිත්තේ මිට ලියවීමයි.    ලී කැබැල්ල ලියවන පට්ටලයට සවිකර වේගයෙන් කරකැවෙන්නට සලස්වා මුලින් බොකු නියනෙන් හැඩය පාදාගත් පසු සමතල නියන උපයෝගී කරගෙන මිට නිමැවුම සිදු කරනු ලබන්නේ ඒ සඳහා හොඳින් පුහුණුවූ කෙනෙකි.   ඉන්පසුව යාන්ත්‍රික යත්තෙන් පිත්ත හැඩ ගසාගනු ලබයි.   මේ ආකාරයට නිමැවෙන දල පිත්තේ ලීයට කෘමීන් විසින් කර ඇති හානි මනාව දිස්වේ.    එම ස්ථාන පාදාගෙන හොඳින් ශුද්ධ කර කැපී ඉවතයන රුක්අත්තන ලී කෑලි සිදුරේ ගණනට කපාගෙන ගම්වල ඔබා සිදුරට තබා මිටියකින් තට්ටුකර ඉන්පසු තියුණු තලයකින් සැස ඉතිරි කෑල්ල ඉවත් කර ගත් පසු එතන කෘමින් විද හානිවූ ස්ථානයක් යැයි සොයාගන්නට බැරිවේ.    මුලින්ම ආධුනිකයාට කරන්නට ලැබෙන බැට් පිරවීම යනු මේ කාර්යයයි.මෙසේ සාදාගන්නා පිති දැව සුරක්ෂිතතා ද්‍රාවණයක ගිල්වා අව්වේ තබා වේලාගෙන ඉන්පසුව වැලි කඩදාසි වලින් ඔපදමා පොලිෂ්කර පිත්තේ නිමාව සිදුකරයි.    ඉන්පසුව ඇත්තේ අදාළ සලකුණු සීල් තැබීමයි පිත්ත රුක්අත්තන වුවද පිත්තේ ඉදිරියෙන්ම ලස්සනට willow යනුවෙන් මුද්‍රාව තබනු ලැබේ.     මිට ළඟ සහ මිට උඩ පිත්තේ ප්‍රමාණය සටහන්වේ.   ඉන්පසුව මිටට රබර් ආවරණය යොදා ඉටි කවරයෙන් ආවරණය කර ගත්කල පෙනෙන්නේ පිටරටින් ගෙනා පිත්තක් විදියටමය.   

බැට් වැඩපොළේ සතුටින් වැඩකරමින් මාසයක් පමණ ආරිත් සමග වැඩට ගියෙමි ආවෙමි.   ආරි වැඩට නොගිය එක සෙනසුරාදා දවසක අම්මා හදා දුන් දවල් කෑම එකත් රැගෙන වැඩට යන්නට ගෙදරින් එළියට බැස්සෙමි.    ටවුමට යන්නට අපේ ගෙදර සිට වෙලේ නියර දිගේ ගිහිං මහ පාරට යන්නට සිදුවේ මහ නියර සහ අයිනෙ නියර යනුවෙන් වෙල් යාය දෙපැත්තේ  නියරවල් දෙකකි.   එදා මම අයිනෙ නියර දිගේ ගියේ එතනින් පාරට දුර මීටර් සීයකින් පමණ අඩුවෙන නිසාය.    වැඩිපුර පාවිච්චි නොකරන නිසාවෙන් අයිනෙ නියර වල් වැහී තිබුණත් ඒ ගණනකට නොගෙන මම ඉක්මනින් ගියේ මහ පාරට ගොඩවෙන්නටය.    මහපාර පෙනි පෙනී තියෙද්දී ඇළ අයිනේ ළිඳක් ළඟ මුණ හෝදමින් හිටපු එකෙක් මාව දැක නියරට පැන මග හරස්කළේය.

කොහෙද තෝ යන්නේ?

අහෝ ඛේදයකි,මේ කලින් සතියේ අපේ ගමේදී කෙල්ලෙක් සම්බන්ධව අපිත් එක්ක ගෝරියකට පැටලී ගුටි කාපු එකෙකි.    මුන් කල් වේලා බලා රැක සිට මාව අල්ලාගෙන ඇත්තේ පළිය ගන්නටය.    උන් එදා දුවද්දීත්  කිව්වේ අපේ පාරෙන් යන්ඩ වරෙව්කෝ  කියාය.    දැන් ඉතිං කරුමය පළදී ඇත අද ගුටි කන්නට වෙන එක ෂුවර්ය.

අහුවෙයි කියල තෝ හිතුවෙ නෑ නේද යකෝ තොපිට ලුණු කන්ඩ හරි අපේ පාරෙන් යන්ඩ වෙනව බොළ, උඹ ගිහිං බජාර් එක එක්කං වරෙන් මම මුව තියාගෙන ඉන්නං...

කොල්ලා ඒ ළඟ හිටපු තවත් එකෙකුට කතාකර කීවේය.   ඌ කුරුල්ලෙක් සේ දුවගෙන ගියේ බජාර් එක එක්කං එන්නටය.  මම කකුල් ගැහි ගැහී නියරේ හිටගෙන හිටියෙමි මුගෙත් එක්ක ඩීල් එකක් දාගන්නවා නං මේ වේලාවේය බජාර් එක ආවොත් පැහැදිලිවම කන්නට සිදුවේ.

මොකක්ද ඩෝ තොගෙ අතේ තියෙන්නෙ?  මගේ අතේ තිබු කරදාසි කවරය දැක ඌ ඇහුවේය.

ද දවල් කෑම එක...මම ගැහෙමින් උත්තර බැන්දෙමි.

මෙහෙ දීපිය ඕක...ඌ ක්‍ෂණයකින් කෑම පාර්සලය මගෙ අතින් උදුරා ගත්තේය.    කෑම එක උදුරාගත් පසු උගේ සැර ටිකක් අඩුවුන බව මම දැක්කෙමි සමහරවිට උදේ කෑම නොමිලේම ලැබුණු සතුටට විය හැකිය.    ඌ කියපු බජාර් එක නම් තාම එන පාටක් නැත.

දැන් තොට බේරෙනව නං එක විදිහයි තියෙන්නෙ ඔහොම්මම ආපහු පළ...

මොනවද යකෝ තෝ හෝහපුටුව වගේ මගෙ දිහෑ බලං ඉන්නෙ මැරුම් කන්නෙ නැතුව පල කිව්වෙ...

උගේ බජාර් එක එන්නට තව වෙලා ගතවෙන බව දුටු කොල්ලා ඌටත් පරක්කු වෙන නිසා මගෙත් එක්ක සමාදානයට කතාකරයි.    කෑම එක අරගෙනත් මු මට වැඩට යන්න නොදී ආපහු යන්නට කියපු එක ගැන මට ඇතිවුනේ කේන්තියකි.    මුටම සෙල්ලං දාන්න ඉඩදී බලා ඉන්නට බැරිය මම ඌට පෙනෙන්නට ආපහු යන්නට සැරසුනෙමි මා ආපහු යනු දුටු ඌද අනික් පැත්ත හැරුනේ ගෙදර යන්නටය පැන්න ගමන් ඌව ඇළට තල්ලුකල මම පස්ස නොබලා ආපහු  දිව්වෙමි.    වතුර නාගෙන දනි පනිගා ඌ ඇළෙන් ගොඩ එන විට මම ඌට අහු නොවෙන්නට දුවගොස්  ඉවරය.   ඌ වතුර බේරි බේරි නියරට ගොඩවී අත  දික්කර නියත වශයෙන්ම මා මරණ බවට මරණ තර්ජන කළේය කෑම එක ඇළේ ගහගෙන ගිහින් නිසා ඌටත් නැත මටත් නැත ඒක මාළුන් කා දමන්නට ඇත.    කාලයක් යනතුරු ඒ පැත්තෙන් ටවුමට නොයන්නට මම වග බලාගත්තෙමි.

මට බැට් වැඩපොළේ වැඩ කරන්නට ලැබුණේ මාස දෙක තුනකි.   නැවතත් ඉස්කෝලෙ යන්නට බැට් වැඩපොළට සමුදෙන්නට සිදුවිය.   ඉන්පසුව බැට් වැඩපොළත් සමග මගේ ගණුදෙනුවක් ඇතිවුනේ නැත.   පසුකාලීනව 1989 භීෂණ සමයේ දේශප්‍රේමීන් විසින් ඉතා දක්ෂ නිර්මාණ කරුවෙක් වූ බැට් වැඩපොළේ අයිතිකරුව වෙඩි තබා මරාදමන ලදී.   ඔහුගේ මරණය ගැන දැනගත් සැනෙකින් මට මතක් වුනේ ආයතනයේ වැඩකළ දහයක් පමණවූ සේවක පිරිසය.   ඔවුන්ගෙන් වැඩිදෙනා දරුපවුල් කාරයන් වූ අතර ඉන්පසුව ඔවුන් තම බඩවියත කෙළෙස රැකගනීවිදැයි මතක්වුණු කල ඔවුන් කෙරේ මට මහත් අනුකම්පාවක් ඇතිවිය.    එතැන් සිට නැවත බැට් වැඩපොළ ගොඩගන්නට කිසි කෙනෙකුට හැකි නොවුන අතර ආයතනය වැසී කම්හල අභාවයට ගියේය.    බැට් වැඩපොළේ ගොඩනැගිලි සියල්ලම පාහේ අද වනවිට කඩවලට බදුදී ඇති ආකාරය ඉඳහිට එතැනින් යද්දී මම දකිමි෴