Wednesday, May 15, 2013

63.දන්සැල් පුරාණය


අර මම කිව්ව නේද දන්සැල් කතා ටිකක් ලියන්න තියෙනව කියල...දන්සැල් මතක් වෙන්නෙ වෙසක් මාසෙටනෙ.

ඔය අපේ ගම තරම් දන්සැල් දුන්න සහ දෙන ගමක් මේ ශ්‍රී ලංකාවෙ කොහෙවත් නැතුව ඇති...ගමේ දන්සැල් එක්ක මගෙ තියෙන බැඳීමත් දශක හතරක් විතර ඈතට විහිදෙනව...

වෙසක් දන්සැල් පටන්ගත්තෙ පෝයට වන්දනාවෙ යන දුගී මගී යාචකාදීන්ට ආහාර පිළිගන්වන්නනෙ...ඉස්සර නං බැරි අමාරුකම් තියෙන අය තමා ඔය දන්සැල් වලින් කෑවෙ බිව්වෙ...

අපි පොඩි කාලෙ ගෙදර කට්ටිය කුලී කාර් එකක් කතා කරගෙන වෙසක් බලන්න යනකොට හම්බවෙන දන්සැල් වලින් කන්න බොන්න අපි හරි ආසයි...ඒ වුණාට තාත්ත දන්සැල ළඟ කාරෙක නවත්තන්න දෙන්නෙ නෑ.

 අනේ තාත්තෙ නවත්තල කාල යමුකො...

අපි කියනකොට...

එපා එපා චුට්ටෙ යමං...

තාත්ත රියැදුරාට කියනව...

කඩේකට එක්ක ගිහින් අපට කන්න අරගෙන දෙනව...ඔන්න ඔය ආකාරයට තමයි ඒ දවස්වල දන්සැල්වලට පිළිගැනීම තිබුණෙ...

පොඩි දවස්වල දන්සැලකින් කන්න තිබ්බ ආසාව මස්තකප්‍රාප්ත කරගත්තෙ මාස්ටර්ගෙ කැරොල් කණ්ඩායමට එකතුවෙලා කැරොල් කියන්න යනකොට...මාස්ටර් අපිව කන්න එක්කන් ගියෙ දන්සැලකට.

 පස්සෙ කාලෙකදි ඔය දන්සැල් සංස්කෘතිය එහෙම් පිටින්ම උඩු යටිකුරු වුණා...දැන් යන්නෙ වෙසක් බලල දන්සැලුත් කාල එන්න...වෙසක් නැතුව දන්සැල් වන්දනාවෙ යන ගමනුත් තියෙනව...දැන් දන්සැලක් තියෙනව නං ගමේ ගෙවල්වල රෑට කෑම උයන්නෙ නෑ...එතකොට ප්‍රාඩෝ මොන්ටේරෝ වාගෙ වාහන වලිනුත් පවුල් පිටින් ඇවිත් පෝලිමේ ඉඳල කෑම කාල යනව.

දන්සැල් ගැන ගොඩාක් අත්දැකීම් තිබුණත් අද මම කියන්න යන්නෙ මම මෑතකදිම සම්බන්ධ වෙච්චි දන්සැල ගැන...

රාජා කියන්නෙ පොඩි දවස්වල ඉඳලම මගෙ හිතවතෙක්...වෘත්තියෙන් ඉස්කෝලෙක ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් හෙවත් පී ටී අයි කෙනෙක්...වෙසක් පෝය දවසෙ උදේ රාජා ගෙදර කිරිබත් දන්සැලක් දෙනවා...2010 අවුරුද්දෙ මම ලංකාවට ආපු අලුත තමයි මට මේක කිව්වෙ.

වෙසක් දවසේ උදේ පාන්දරම මට කතාකරල කියන්නම් කිව්ව...මටත් හරි ආසයි දැන් මේ වැඩේට...රාජගෙ කුඹුරුවලින් ගත්ත කැකුළු හාල් තමයි කිරිබත් උයන්න ගන්නෙ...

ඔන්න වෙසක්දා පාන්දර තුනට විතර රාජ කතාකරනව...ඒ වෙලාවෙ මොන යකාටද ඔහෙ යන්න පුළුවන්...ඒ මදිවට නිදිමත...

හරි හරි මේ එනව...

කියල ආයෙම නිදාගත්ත...

පාන්දර පහට විතර නැගිටල ගියා...ඒ වෙනකොට කිරිබත් උයල ඉවරයි කෑලි කපනව... ගමේ ගෑණු විස්සක් විතර සූ ගාල කුස්සිය පැත්තෙ ලිප් බැඳගෙන වැඩ.

කිරිබත් සුවඳ ඉන්න බෑ...ඒ පාන්දර උණුවෙන්ම කිරිබත් කෑලි දෙකක් ගිලල දැම්ම...
 
 ආ... දන්සැල විවෘත කරන්නනෙ මෙයා ඇවිත් ඉන්නෙ...

ගෑණු හිනා වෙනව...කොහොමහරි හතහමාර විතර වෙද්දි රාජලගෙ ගේ ඉස්සරහ ටෙන්ට් එක බැඳල එහෙම දන්සැල පටන්ගත්ත...කැන්ද කොළ කඩල කිරිබත් කෑලි දෙකක් ලුණුමිරිස් එක්ක තියලයි දුන්නෙ...ටිකකින් මුළු ගමම එතන...සමහරු කිරිබත් දාගෙන යන්න ගෙවල්වලින්ම බාජන අරං ඇවිත්...දැන් වැඩේ නැගල යනව...අපි හරි බිසි...ඉවරවෙන කිරිබත් බාජන කුස්සියට අරං ගිහිං ආයෙම පුරෝගෙන එනව.

නමය හමාර විතර වෙනකං දන්සැල දීගත්ත...වැඩේ උනේ කිරිබත්වලට කලින් ලුණුමිරිස් ඉවරවෙච්චි එක අන්තිම හරියෙදි කිරිබත් දුන්නෙ ලුණුමිරිස් නැතුව...

ඔන්න දන්සැල ඉවරවේගන එනකොට තමයි මට මතක් වුණේ මම ගෙදරින් පිටත්වෙද්දි බිරිඳ කිව්වනෙ එයාටත් කිරිබත් එවන්න...බලාගෙන ඉන්නව කියල...හොඳ වෙලාවට මතක් වුණා නැත්නම් කිරිබත් ඉවරවෙනව...

ලුණුමිරිස් නැතුව කිරිබත් කෑලි කීපයක් කෙහෙල් කොළේක ඔතල කිරිබතුත් අරගෙන ගෙවල් පැත්තට යන කොල්ලෙකුට කතාකළා...

මෙන්න මේක අපේ ගෙදරට දීගෙන යනවකො...

කොල්ල පාර්සලෙත් අරන් පිටත් වුණා...

ඒ තමයි රාජගෙ කිරිබත් දන්සැලේ මගෙ පළමුවෙනි අත්දැකීම.

ඊළඟ අවුරුද්දෙ ඒ කියන්නෙ 2011 දි දන්සැල පවත්වන්න කතාබස් කරනකොටම මම කිව්ව...

රාජා...මේ සැරේ ලුණුමිරිස් මම දෙන්නම්...

ළූණු කිලෝ දහයකුයි ඊට සෑහෙන්න කෑලි මිරිස් එහෙම මම වෙසක් වලට කලින් දවසෙම රාජලගෙ ගෙදරට යැව්වා...

ඔන්න පහුවදා කිරිබත් උයල ලුණුමිරිසුත් හැදුවා...විශාල ලුණුමිරිස් බාජනේ දන්සැලට ගෙනියන්න හදනකොට රාජා දුවගෙන එනවා...

හෝව්...හෝව්...

අලි කෝප්පෙකින් එකක් පුරෝල සීනි ගෙනාපු රාජා ඒක ලුණුමිරිස් බාජනේට හැලුවා.

මොකක්ද යකෝ ඒ කරපු ගොන් වැඩේ...

කට්ටියටම මල පැනල...

නෑ...නෑ...එතකොට ලුණුමිරිසෙ හොඳ රසක් එනව...

රාජ කියනව...

හොඳ රස පැත්තකින් තියල අපි තව ලුණුමිරිසක් හැදුව...සීනි දාපු එක ඕනැ කෙනෙකුට කාගන්න කියල...

ඒ සැරේ නං ලුණුමිරිස් ඉවර වුනේ නෑ...ඉතුරුත් වුණා.

ටොප් දන්සැලක් දෙනව අපි ඇසළ පෝයට අනුරාධපුරේ...මේ සැරේ යමු හරිද...

කිරිබත් දන්සැල ඉවරවෙලා තේත් බීල විටකුත් හප හපා මිදුලට වෙලා කයිය ගගහ ඉන්නකොට තමයි රාජ කිව්වෙ...

වැඩිදුර විස්තර රාජ මාත් එක්ක පස්සෙ කිව්ව...ඔය රාජලගෙ ගෙවල් හරියෙ සරත් කියල ව්‍යාපාරිකයෙක් ඉන්නව...එයා කට්ටියක් එක්ක ඇසළ පෝයට අනුරාධපුරේ ගිහින් මඤ්ඤොක්කා දන්සැලක් දෙනව.

රාජ හම්බවුණොත් කියන්නෙ දන්සැලේ වරුණාව...

ඔයා එකපාරක් ගියොත් හැමදාම යනව...මරු ගමන අප්පා.

මුලදි නං මගෙ එච්චරම කැමැත්තක් තිබුණෙ නෑ අඳුනන්නෙ නැති කණ්ඩායමකුත් එක්ක ගමනක් යන්න...අඳුනන කෙනෙකුට ඉන්නෙ රාජ විතරනෙ.

රාජගෙ වදෙන් බේරෙන්න බැරිතැන...

හා යංකො එහෙනං...

මම බිරිඳටත් කිව්ව මෙහෙම ගමනක් යනව කියල...

ඔව්වයෙ ගිහිං දඟලන්ඩයි වැව්වල පයින්ඩයි යන්න එපා කොල්ල වාගෙ... ගිය වැඩේ කරල එනව මිසක්...

බිරිඳ අනුමැතිය දුන්නා...

ගමන යන්න වාහන දෙකයි...බස් එකයි එල්ෆ් එකයි එල්ෆ් එකේ බඩු භාණ්ඩ ආදියයි මඤ්ඤොක්කා ටිකයි පටවගෙන යනව...බස් එක සෙනග පටවගෙන ටවුමෙන් පිටත්වෙනවා...මමයි රාජයි එල්ෆ් එකේ එන්නං කිව්ව...

උදෙන්ම පිටත්වෙන්න හිටියට සරත් සහ කණ්ඩායම මඤොක්කා ගලවන්න ගිහිං එද්දි හවස්වුණා...කොහොමහරි පිටත්වෙද්දිම හවස තුනහමාර විතර වුණා...

බුජ්ජොමුව හරියෙ පාර අයිනෙ තමා මඤ්ඤොක්කා ගෝනි ගොඩගහල තිබුණෙ ඒවත් පටවගෙන පිටත්වෙන්න තවපැයක් විතර  ගියා...

 කරුවල වැටෙද්දි පාර අයිනෙ කඩ කීපයක් තිබ්බ තැනක නවත්තල ආප්ප කාල තේ බිව්ව...තැන කොහෙද කියල මට මතක නෑ බෝඩ් එකක්වත් තිබ්බෙ නැති නිසා...ඒ වෙනකොට රාජ එහෙම හොඳට ගහල හිටියෙ...මටත් බොන්න කිව්ව මම බිව්වෙ නෑ.

බඩුත් පටව ගත්තු වාහනේ දැන් අනුරාධපුරය බලා වේගයෙන් ඇදෙනව...රෑත් වෙලානෙ...

හයියෙන් යනව ඈ...ඇල්ලුවොත් එහෙම බලාගන්න එකයි...

රාජ කියනව...බැලුවම මම ජාතික හැඳුනුම්පත වත් ගෙනත් නෑ කල්ලතෝනිය වගේ...

මම සද්ද නැතුව හිටිය වෙන දෙයක් වෙන්නෙ නැතෑ...

වාහනේ දිගටම යනව යනව හැරෙන පාටක් නෑ...ඔන්න පාර අයිනෙ බෝඩ් එකක් තියෙනව...

හබරණ

අපි උඩ ගියා මොකටද යකෝ අපි හබරණ යන්නෙ ...බලපුවාම මූ දඹුල්ලෙන් හරවල නෑ...හැතැප්ම 25ක් 30ක් ඉස්සරහට ඇවිදින්...නවත්තල කඩේකින් අහල බැලුව ඒ පැත්තෙන්ම යන්න පුලුවන්ද කියල...

මේ පැත්තෙන් යන්න ගියොත් මහ දුරක් යන්න වෙනව මහත්තයො ඔය ටික ආපහු යන්න...

මොනව කරන්නද හරවගෙන ආපහු ආව...දඹුල්ලෙ වට රවුමෙන් දකුණට හරවල අඩි දහයක්වත් යන්න වුණේ නෑ රාළහාමි කෙනෙක් නවත්තන්න කියල ටෝච් එකකින් සංඥා කළා...ඉස්සරහින් අයිනට කරල නවත්තපු වාහනෙන් මම  බැහැගෙන ආපහු මුරපොළ ළඟට ගියා පුල් ෆිට් එකේ... මම බීල නෑනෙ...ළඟට යන්න වුණේ නෑ...

මහත්තයල කොහාටද...

අපි මේ දන්සැලක් දෙන්න අනුරාධපුරේ යනව රාළහාමි ටිකක් රෑ වුණා...

හා යන්න යන්න...

පට ගාල ආපහු හැරිල ගිහින් වාහනේට ගොඩවෙනකොටත් ඩ්‍රයිවර් ලයිසන් ඉන්ෂුවරන්ස් හොයනව...

ඕව ඕනැ නෑ යං යං...

කට්ටියට සතුටුයි උන් හිතල තියෙන්නෙ සෑහෙන වෙලාවක් එතන කට්ට කන්න වෙයි කියල...

ටොප් එකට දාගෙන පෑගුව පෑගිල්ලක් අයිනෙ හිටපු මම දාගෙන හිටපු කැප් තොප්පිය හුළං පාරට ගැලවිලා ඇතුළෙත් වටයක් කැරකිලා ඩ්‍රයිවර් ළඟ තියෙන ජනේලෙන් එළියට වීසිවුණේ සිං ගාල...

 අපි නවත්තල ආපහු ගිහින් බැලුව...මොන පිස්සුද තොප්පියක ළකුණක් වත් නෑ...

ඊට පස්සෙ නං පොලීසි වලින් නැවැත්තුවෙ නෑ...අනුරාධපුරේට එනකොට රෑ නවයහමාරට විතර ඇති...ගුවන් තොටුපොළ පැත්තෙන් තමා ඇතුල් වුණෙත්...පාර හොයාගෙන පූජා නගරයට ඇවිත් ථූපාරාමය ළඟට එනකොට රෑ දහය විතර වුණා...

වතුර ටැප් එකක් ළඟ තැනක් හොයාගෙන වාහන නවත්තල බඩුබාල එහෙම ලෑස්ති වුණා...ගෑණු වැටිච්ච වැටිච්ච තැන්වල නිදාගත්තා...රාජයි මමයි වාහනේ මුවාවට වෙලා දෙකක් ඇනගත්තෙ කන්න යන්න හිතාගෙන...

අපේ ටවුමෙ කට්ටියක් රුවන්වැලි සෑය ළඟ දන්සැලක් දෙනව...රාජගෙ ගෝලයො ආදි ශිෂ්‍යයො එහෙම ගොඩක් දන්සැල දෙන්න ඇවිත්...රාජ ඒ අයට කලින්ම කියල තිබුණා අපි රෑට කන්න එනව කියල...

අපි යනකොට දන්සැල ඉවරවෙලා කට්ටිය පහුවදාට උයන්න ජාති ලෑස්ති කරනව...

රාජව දැකපු ගෝලයො ටික අපිව ආදරයෙන් පිළිගත්තා...

හා සර් එන්න එන්න...

අපි දෙන්නට කෑමත් බෙදල දීල තවත් බෙදන්න ඕනැනම් ළඟට වෙලා බලාගෙන හිටියා...

අපි දෙන්නත් මාර බඩගින්නකින් හිටියෙ...හවස හයට විතර ආප්පයක් කෑවට පස්සෙ මොකුත් නෑනෙ...ඒ මදිවට ෂොට් එක දාපුඑක ගින්දරට පැට්‍රල් දැම්ම වගේ ගින්න ඇවිලෙව්වා...

රාජගෙ ගෝලයන්ට පිංසිද්ද වෙන්න අපි දෙන්න බුරි උල් වෙන්න රෑට බත් කෑවා...

ආපහු ථූපාරාමෙ ළඟට ඇවිත් බලනකොට නිදාගන්න තැනක් නෑ.
 

 තම්බපු මඤ්ඤොක්කා බාල තුනී කරන්න ගෙනාපු රැළි තහඩුවක් ඇදල අරන් මම ඒක උඩ නිදාගත්ත...

හුළං වැදි වැදි එළිවෙනතුරු නින්ද ගියා දන්නෙත් නෑ...

මම තවත් නිදාගන්නව කෙල්ලක් ඇවිත් ඇහැරෙව්වෙ නැත්නම්...ඒ කෙල්ලට තහඩුව ගන්න...

ටැප් එකෙන් වතුර ටිකක් එහෙන් මෙහෙන් මූණෙ තවරගත්තා...රාජා ගිහින් දන්සැලකින් කොළ කැඳ අරන් ඇවිත් මටත් දුන්නා...ටිකකින් උදේට කන්න රොටී ලුණුමිරිස් එක්ක ගෙනත් තිබ්බා ඒත් දන්සැලකින්...

දැන් අපේ කට්ටිය වැඩ පටං අරං...වතුර කල්දේරම් ලිප් උඩ රත්වෙන්න තියලා මඤ්ඤොක්කා සුද්ද කරනවා...ගෑණු කට්ටියක් පොල් ගානවා...මමත් දර පලල දුන්නා...ලිප්වලට ගින්දර දැම්මා...මඤ්ඤොක්කා සුද්ද කලා...කුණුඅරං ගිහින් කුණුගොඩට දැම්මා.

වතුර පැහෙන කොට සුද්ද කරපු මඤ්ඤොක්කා තැම්බෙන්න දැම්මා...ඒ ගොල්ලො මඤ්ඤොක්කා තැම්බුවෙ අමුතුම විදියකට...සුද්ද කරපු මඤ්ඤොක්කා කෑලි ටික අර ළූණු ගෝනි තියෙන්නෙ...දැල් ගෝනි...අන්න ඒ ගෝනිවලට දාල කට පටලවල මැදින් ලීයක් යවල ගෝනිය පැහෙන වතුරට බැස්සෙව්වා.

තැම්බුණාට පස්සෙ ලීයෙ දෙපැත්තෙන් උස්සල වතුර පෙරෙන්න ටිකක් වෙලා අල්ලන් ඉඳලා කෙලින්ම ලෑල්ලට බානවා නිවෙන්න...හරිම ලේසි ක්‍රමේ කල්දේරමේ වතුර පෙරන්න ඕනැ නෑනෙ...
 
දන්සැල පටන් ගන්නත් ඉස්සරවෙලා ඉඳන් සෙනග පෝලිම...අපි මඤ්ඤොක්කා තම්බ තම්බ ගිහින් රැළි තහඩුවට හලනවා...සෑහෙන්න පොලුත් ගාගත්තා...දැන් දන්සැල පටන්ගන්න ඔන්න මෙන්න.

                            මතු සම්බන්ධයි.

49 comments:

  1. හැලප පිටුව පෙරලලා කියවන්න හදද්දී පින්තුරෙ දැක්ක ගමන් හිනා වෙලා පන ගියා.

    ReplyDelete
    Replies
    1. අලුත්ම සංකල්පයක් නොවැ...ඒකයි මගෙත් හිත ගත්තෙ

      Delete
  2. ඉස්සර තමයි කන්න නැති හින්දා දන්සල් වලට ගියේ....දැන්නම් ඒක ෆැශන් එකක්.....

    ඒත් මීට අවුරුදු කීපයකට උඩදි මමත් කන්න නැති නිසාම දන්සල් වලට ගිහින් කෑවා.....

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම අප්සැට් එකක් නෑ නොවැ මයියො

      Delete
  3. මම දැක්කා ෆොටෝ එකක් ‘මහා හයර් දන්සැල‘ කියලා ගහපු ත්‍රී වීල් එකකින් හන්දියෙ ඉඳලා පන්සල ගාවට නොමිලේ මිනිස්සු අදිනවා.

    ReplyDelete
    Replies
    1. තව මොන මොන සංකල්ප දන්සැල්වලට එකතුවෙයිද දන්නෙ නෑ

      Delete
  4. දන්සැල් දුන්නට, දන්සැල් වලින් කෑම නම් මට කොහෙත්ම දිරවන්නේ නෑ. බොන ජාතියක්නම්, අයිස්ක්‍රීම් වගේ දෙයක් නම් ඇදලා අරිනවා. වෙසක් එකට මතරව 2008 මැයි 19 වෙනිදත් රට පුරා කිරිබත් දැන්සැල් දුන්නනේ. දැන් ඒවලින් කාපු උන්ට මළ බද්දය හැදිලා.. තටම තටම ඉන්නේ... අපරාදේ............ අනේ ඌ උන්නා නම්......

    ReplyDelete
    Replies
    1. බලමු මොන මොන විදියේ ප්‍රතිචාර එයිද කියලා!

      Delete
    2. ඔව් මාතලන්,දැන් නම් දේන්නම එක වගෙයි.
      තමන්ගේ පැවත්ම උදෙසා මෙයත් අරයා ගිය පාරේ යන්නත් බැරි නෑ.....

      Delete
    3. මිනිහෙක් මැරුණාමත් කිරිබත් දන්සැල් දීපු ජාතියක් අපි

      Delete
    4. ඌ උන්නනම් කොච්චර එකක් ද කියලා ඒ දවස්වලම හිතුණා මාතලං අයියේ.

      Delete
  5. වෙසක් දවසට සිල් එහෙම අරන් ඇවිත්, වෙසක් කූඩු බකට් එහෙම පත්තු කරලා මායි අපේ මහත්තයි බයික් එකේ යනවා දන්සැල් වන්දනාවේ... එහෙම කිව්වේ මේ හරියේ ඉතිං තියෙන ඔය තොරණ් කීපය ගාව එහෙම බයික් එක නවත්තලා යන්න බැරි තරම් මහ සෙනඟක් ඉන්න නිසා ඒවයේ නවත්තන්නේ නෑ.. බයික් එකේම බලාගෙන එනවා... හැබැයි බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපයේ නම් පයින්ම යනව බයික් එක දාලා.. ගෝඨා ලොක්කගේ දන්සැලෙන් එහෙම කාල ආව ගිය පාර... ඒත් සමාන්‍යයෙන් මඤ්‌ෙඤාක්ක සහ අයිස්ක්‍රීම් දන්සැල් වලට තමයි මගේ ඇස් දෙක යන්නෙ... කොහොමත් අයිස්ක්‍රීම් 4-5ක්වත් මං කනවා... බයික් එකේ යනගමන් අපේ මහත්තයට කන්න බෑනේ.... ඒත් තාමත් හරිහමන් දුන්තෙල් බත් දන්සැලකින් නම් කාලා නෑ... දන්සැල් කතා ටිකක් තියෙනවා.. ලියන්න කම්මැලියි..... ඔහේ කමෙන්ට් වලටම දාලා දානව.... හි හි

    ReplyDelete
    Replies
    1. හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...
      හි..හී...

      Delete
    2. ඔන්න යාලුවත් පස්සෙන්ම ඇවිත් හිරූ

      Delete
  6. හොද හොද දන්සැල් මතක සිරාටත් තියෙනවා...අපිත් පොඩි උන් කාලෙ බීම දන්සැලකින් පටන් අරන් මහා බත් දන්සැලක් දක්වා වර්ධනය කලා. බීම දන්සැල් නම් කමක් නෑ කියමුකො ඒත් බත් දන්සැල් දෙද්දි වලක්වන්න අමාරුම කාරණේ තමයි පාර්සල් බැදිල්ල. ගොඩාක් වෙලාවට මෙහෙම අරන් යන පාර්සල් නාස්ති වෙනවා. තව කෙනෙක්ට කන්න තියෙන අවස්ථාව අහිමි වෙන නිසා බොහොම අමාරුවෙන් පාර්සල් ගෙනයාම තහනම් කරලා තමයි අපි මේ කාර්යය ඒ දවස් වල කලේ.

    2010 පොසොන් එකට සිරා බයිසිමොටෝවෙන්ම ගියා වට්ටාරම වදින්න. අන්න ඒ වතාවෙ මම ඔය හුළං දන්සලක් ඇස් දෙකෙන්ම දැක්කා...අඹේපුස්ස හරියෙදි තිබුනා මරු දන්සැලක්...ඒකෙ තිබුනෙ ලංකාවෙ පාරම්පරික රස කැවිලි දන්සැලක්..දන්සැලෙන් කැවුම් කොකිස් කෑවට පස්සෙ උඩ එල්ලලා තියෙන කෙසෙලුත් කන්න කියනවා...ඊටත් පස්සෙ ඉගුරු දාපු ප්ලේන්ටියකුත් අතට එනවා... දුකයි...මේ වතාවෙ සිරාට වෙසක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඒව එහෙම තමා සිරා විප්‍රවාසයෙ ඉන්නකොට...අනාගතය වෙනුවෙන් ගොඩක් දේ කැපකරන්නට වෙනවා...අවුරුද්ද,වෙසක්, පොසොන්, යාලුවො,ඥාතියො.
      හිතින් පමණයි මතකයන් විඳින්නට වෙන්නෙ.
      ඔබගෙ පළවෙනි අත්දැකීමනෙ...ඕව ඔහොම තමයි හිත හදා ගන්න.

      Delete
  7. පලවෙනිම දේ.. හබරණට යනකල් ගියානං ආයේ මොටද හැරුනේ.. එහෙමම රිටිගල හරහා මරදන්කඩවලට දාලා යන්නේ නැතිව..

    දෙවැනි එක... අර සීනි කෝප්පේ සීන් එක වැරදි නැහැ... හරිම දේනං සීනි කෝප්පෙයි තව හොදවැයින් පිරිසිදු පොල්තෙල් අරික්කාලක් විතරයි ඕකට දාන එකයි...

    දන්සැල් ගැනනං කතා කොරන්න එපා... ගිය පාරත් කෑවා.. මේ පාරත් කොයි විදියෙන් හරි කනවා...

    ReplyDelete
    Replies
    1. ඒ පාරෙ ගියානං රිටිගල ජයසේනට අහුවෙනව.

      ඔන්න හැලපෙ ඊගාව පාර කෑමක් හදනවනං අපේ ප්‍රවීණ සූපාචාර්ය මාරයා මහතා විමසන්න. :D

      Delete
    2. ලුණුමිරිසට දෙහි දාල තියෙද්දි පොල්තෙල් දැම්මට කමක් නැද්ද...එහෙම නැත්නම් දෙහිනොදාද පොල්තෙල් දාන්නෙ

      Delete
  8. අද පත්තරේක හමුදුරුකෙනෙක්ම ලියල තිබ්බ අපේ දන්සැල්වලින් කන්න දෙන්න කන්න තියෙන අයටයි.. ඒ හින්දා ඔය සල්ලි පිලිකා රෝහලට වියදම් කරන එක ඊට වඩා හොඳයි කියල. දන්සැල් කරන හුඟක් අය තමුන්ටත් කරගන්නවා ඇතිවෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි සරත්...දන්සැල් වලින් තම තමන්ම කාල යනව මිසක් පිනක් සිද්ද වෙන්නෙ නෑනෙ

      Delete
  9. පහුගිය ඡන්දේ කාලේ අරලිය ගහ ගෙදරත් දුන්නා නේද දන්සැල් පෝලිමට.

    අපේ පුංචම්මත් ඔෆිසීයේ කට්ටිය එක්ක ගිහින් කාලා ආවා මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. අපොයි කකා ඊළඟ ඡන්දෙටත් මන්දිරේ දන්සැල් තියෙයි අඩු නැතුවම

      Delete
    2. බණ්ඩාරනායක උන්නැහැ ලියල තියෙනවා, ‘අතුරුදන් වූ අපේක්ෂකයා‘ කියලා රහස්පරීක්ෂක පොතක්. ඒකෙ තියෙන විදිහට, රාජපක්ෂ වරුන්ගෙ දන්සැල් පුරුද්ද ඒ කාලෙ ඉඳන් එන එකක් කියල පේනවා.

      Delete
    3. තමන්ගෙ වියදමෙන් දෙනවනං තුන්සිය හැටපස් දවසෙම දන්සැල් දුන්නත් අපට මොකෝ...
      අර කකා කියනව වගේ අපට පාන්යැ...

      Delete
  10. මේ පැත්තෙත් වෙසක් එකට ඇතිවෙන්න දන්සල් තියෙනව. ඔය මඤ්ඤොක්කා දන්සලක් තියෙනව වෙසක් එකට සිංහරාජෙ ආරන්‍යෙ. ඒකනං නියමෙට කෙරෙනව.

    මගදි බීපු නැති මනුස්සට ථුපා‍රාමෙටම ගිහිල්ලනෙ දෙකක් ඇණගෙන තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. ඒ ත්‍රිබාසා වන් පෝ ද රෝඩ් කියල කෑමට පෙර ඇනගත්ත එක

      Delete
  11. ගෙදර කොච්චර රහට හැදුවත් දන්සැල්වල වගේ රහට කිරිබත් කොහෙවත් නෑ.. බෙලිමල් කෝප්පේ පවා අමෘර්තය පරාදයි.

    ඉස්කෝලේ යන කාලෙනම් මාසයක් විතර කලින් ඉඳන් දන්සලට ලැස්ති වෙනවා. ඒත් දැන් දවසයි දෙකයි... උදව් කරන්නවත් යන්න වෙන්නේ

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත පැතුම්...ඒ රස අපි ගෙදර හදනකොට එන්නෙ නෑ.
      රම්බා එක්කද දන්සැල් කන්න ගියෙ...

      Delete
  12. මේ බ්ලොග් එකත් හැලපඅයියේ දන්සල් කෑමක් වාගේ මාර රසයි...:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්

      Delete
  13. අන්න නියම දන්සල් ඔය මයියොක්කා උයන කරමෙ හරිම පහසුයි අලුතෙන් වතුර රත් කරන්න ඕන නෑනේ හැලපයියේ... අපිත් දෙපාරක් විතර කොස් දන්සල් දීල තියනවා.. හරියට කැලේ කොස් වාරෙට සෙට් වුණොත් විතරයි දෙන්න පුළුවන් වෙන්නෙ. කොස් කිරි හොදි බැදපු මිරිස් බැදපු කාරල්ලන් සමග බැදපු මැල්ලකොළ එක්ක තමා දන්සල..
    හිතාගන්න හැකි නේද රහ... මේක දෙන්නේ අපේ ගමට හැරෙන තැන හන්දියේ..
    කොස් දන්සලක් කියන්නේ මහ මෙහෙයුමක් වගේ.. කොස් කඩන්න ඕනත් උදේට කපන්න ගේන්න දාහක් වැඩ හිටිනවා.ගමේම කට්ටිය එකා වගේ යමරෙට වැඩ බෙදාගන තමා මේ දන්සල සාර්ථකව කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න නලීන් මම ඊළඟ කතාවෙදි ඔය විස්තර ටික ඔක්කොම ලියනව අපේ දන්සැලේ වෙච්චි දේවල්

      Delete
  14. සමහර දන්සල් දැන් ඇඩ්වර්ටයිසින්ග් ස්ට්‍රැටජි එකක් වෙලා නැද්ද.මම දැක්ක ගොඩක් තැන වල හීනියට යනවා...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ආවමයි නේද... සාදරයෙන් පිළිගන්නව

      Delete
  15. මේ සැරේ වෙසක් දන්සැල් තහනං කරන සීන් එකක් තියනව නේද බුද්ද සාසන අමාත්‍යාංශයෙන් ??

    ReplyDelete
    Replies
    1. ජේ.ආර්. ගේ කාලේ ඔළු බක්කෝ නටන එක තහනම් කළා නේද? මට මතකයි අපි ජේආර්, සිරිමා වගේ පෙනුඟ තියෙන ඔළු බක්කෝ නටනවා බලනවා.

      Delete
    2. ඒක දාලා තිබ්බේ වෙසක් දවසට විතරයි.. දැන් ඒක අයින් කරලා කියලා තිබ්බා මං දැක්ක....

      Delete
    3. බාර් වහන එකෙන් තමයි. ආන්ඩුව වැඩිම පවක් කරගන්නේ....

      Delete
    4. ඕනමැන්ටල්වත් ආදරයෙන් පිළිගන්නව මගේ බ්ලොගයට

      Delete
  16. මට ගිය අවුරුද්දේ අම්මගේ අභාවයට ගෙදර යන්න වුනානේ වෙසක් මාසේ. අන්න ඒ පාර ඒ කටයුතු ඉවරවෙලා දවසක් මම පාරේ යනකොට දෙනවා දැක්කා මඤ්ඤොක්කා දංසැලක් පූගොඩ වෙල මැද්දෙ. එහෙමම නතර වෙලා අඹරලා ආවේ කැන්ද කොලේට බෙදාගෙන. ඒ අවුරුදු ගානකට පස්සෙ.
    මහා හුලං දන්සැලයි මහා හයර් දන්සැලයි මරුනේ.

    උඹලට මතක් නැද්ද ඔබා අයියද කොහෙද ලිව්වා එක දන්සැලක් ගැන පොඩි එකෙක්ගේ කක්කා රෙදි හෝදන බේසමට ජූස් හදපු?

    ReplyDelete
    Replies
    1. පූගොඩ මඤ්ඤොක්කා දන්සැල මාත් භුක්ති විඳල තියෙනව මචං

      Delete
  17. අනුරාධපුරේ දන්සැල් වැඩි පොසොන් එකට නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිශාන් පොසොන් පෝයට තමා අනුරාධපුරේ අඩියෙන් අඩියට දන්සැල් තියෙන්නෙ

      Delete
  18. අනුන් වෙනුවෙන් කට්ටක් කාගෙන ගිහින් දන්සලක් දෙන්න ! එහෙම සිතුවිලි පහල වෙන්නෙත් පිනට වෙන්නැති නේද ? මම හිතන්නෙ මුලු ලෝකෙන්ම ලංකාවෙ විතරයි දන්සැල් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් එහෙමයි සෙන්නා...අපේ අය තමා පිටරටවලත් දන්සැල් දෙන්නෙ

      Delete
  19. ඇයි ඉතිං මහත්තයෝ ඔච්චර අරක්කු බොන්නේ? එපා එපා අරක්කු බොන්නට බේබද්දෙක් වාගේ.

    ReplyDelete
    Replies
    1. ඔච්චර කියන්නෙ කොච්චරද ඇනෝ මං එච්චර බිව්වෙ නෑනෙ

      Delete
  20. හැලප ළමයො, ඔයාගෙ දන්සැල් කතා කියෙව්වහම අනුරාධපුරේ , මිහින්තලේ දන්සැල් වැඳපු ඒ සුන්දර අතීතය මතක් වුනා. කාලෙකට පස්සෙ ඊයෙ පෙරෙයිද දන්සැලක් වැන්දා කිසිම ආගමික නිදහසක් නැහැය කියන අරාබියෙදි.

    ReplyDelete

ඔබේ අදහස්