Monday, August 12, 2019

ගින්නෙන් උපන් සීතල, 82 ජනාධිපතිවරණය , 83 ජනමත විචාරණය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, අපේ දේශපාලනයේ නිමාව සහ උපයාගේ අවුල..

                                         Photo Credit: Google Images.
ගින්නෙන් උපන් සීතල...1

අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන පළමුවන ජනාධිපතිවරණය දැන් ළඟ ලඟමය.  ජ.වි.පෙ ක්‍රියාකාරිකයින් මීමැස්සන් සේ කාර්ය බහුලවී සිටිති.  රැස්වීම් හැම තැනම පැවැත්වේ.  මහා ජනතා රැළිද කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටින් ද හන්දියක් ගානේ පැවැත්වෙයි.  සුනිල් සහෝදරයා මේ හැම තැනටම දුව පනිමින් සංවිධාන කටයුතුවලට උරදෙයි.  ලොකු රැස්වීම් අමතන්නේ ජ.වි.පෙ නායක විජේවීර, උප නායක උපතිස්ස ගමනායක, ලයනල් බෝපගේ, මහින්ද පතිරණ, වාස් තිලකරත්න ඇතුළු පක්ෂයේ පළමු පෙළ නායකයින් වන අතර කුඩා පොකට් මීටින් වල බොහෝවිට ප්‍රධාන කථිකයා වන්නේ වාස් තිලකරත්න හෝ මහින්ද පතිරණය.  ඔවුන්ට අමතරව ශාන්ත බණ්ඩාර, ගුණරත්න වනසිංහ ඇතුළු දෙවෙනි පෙළ නායකයින් පොකට් මීටින්වල කතාකරති.  පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ හෙවත් සිරි අයියා ලොකු හෝ කුඩා රැස්වීම් කිසිවක කතා කරනවා මා දැක නැත.  බලන්නට ළඟ පාතක ඇති රැස්වීම් සියල්ලම නැරඹීම අපි පුරුද්දක් ලෙස කරගෙන ගියෙමු.  ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම රැස්වීම් නරඹන්නන් සිටින්නේ වත්තල ආසනයේ බව ඔවුන් කළ සමීක්ෂණයකින් හෙළිවූ බව දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ සිනාසෙමිනි.  ශාන්ත බණ්ඩාර රැස්වීම් වල කතාකරනවා කොතෙකුත් දැක ඇති නමුත් මට ඔහුව මුහුණට මුණ ගැසී නොතිබුණි.  දවසක් බටුවත්තේ තිබුණු කුඩා රැස්වීමක් බලන්නට දුම්රියේ එද්දී අප සිටි මැදිරියේම ශාන්ත බණ්ඩාරද සිටියේය.  ඔහුත් බටුවත්තේ රැස්වීමේ කතාකරන්නට යමින් සිටියේය.  පැහැපත් මිටි තරබාරු සිරුරක් හිමි ශාන්ත බණ්ඩාර සමග මම එදා දුම්රියේදී කතා කළෙමි.

දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පිහිටුවීම වත්තල පුරහලේදී  විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදීම සිදු කරන බවත් එය සංවිධානය කිරීම වත්තල දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ට පැවරී ඇති බැවින් ජනාධිපතිවරණයටද සහයෝගයක් ලෙස එය ඉහළින් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති නිසා වෙනත් සියළු වැඩ කටයුතු පසෙක ලා මෙතැන් සිට ඒ සඳහා කටයුතු කළ යුතු බවය.  වියදම් සඳහා මුදල් පක්ෂයෙන් නොලැබෙන බැවින් මුදල් සොයාගැනීමට කැට ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බවද ඔහු කීවේය.  කැට ව්‍යාපාරය ඊළඟ සෙනසුරාදාට පැවැත්වෙන නිසා ආසනයේ සියලුම සාමාජිකයින් සහ හිතවතුන් එයට සම්බන්ධ කරවිය යුතු බවටද ඔහු නියම කළේය.  දෙනෝදාහක් සෙනග යනෙන මහ පාරේ හිඟන්නන් සේ කැට හෙල්ලීම කෙසේ කළ හැකිදැයි අපිට ප්‍රශ්නයක් විය.  දන්නා හඳුනන අයද, රෝහලේ වැඩ කරන අයද අනන්තවත් ඔය කොළඹ මීගමු පාරේ යන එන බැවින් අපි කැට හොල්ලමින් සිටිනවා ඔවුන්ට සිනාවට කාරණයක් විය හැකිය.  අපේ ප්‍රශ්නය ගැන අපටද පෙර සුනිල් සහෝදරයා සිතා ඇත.  ඔහු අපිට කීවේ රෝහල ළඟ පාතක නොව දුරින් ඇති හැඳල හන්දිය හරියේ කැට සොලවන ලෙසටයි.  අපි නියමිත දිනයේ උදේම හැඳල හන්දියට ගියේ සුනිල් සහෝදරයාත් සමගය.  අපි කණ්ඩායම මුළින්ම හෝටලයකට ගොස් උදේට කෑවෙමු.  පූර්ණකාලිකයන් වූ සුනිල් සහෝදරයලා ළඟ මුදල් නැති නිසා සියළු දෙනාගේම බිල අපි මුදල් එකතුකර ගෙව්වෙමු.  ඊට පසු සුනිල් සහෝදරයා අප එකිනෙකා කැට සෙලවිය යුතු පාරවල් පෙන්නා යන්නට ගියේය.  කැට ව්‍යාපාරය අප සිතූ තරමට අපහසු කාරියක් නොවූ අතර කැටවලට අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් මුදල් වැටෙන්නට විය.  කෑ ගසමින් කවි කීවොත් මුදල් වැටෙනවා වැඩිය.  එකතු කිරීමට නියමිත මුදලක් නොවූ අතර එකිනෙකා පරයා වැඩිපුර මුදල් එකතු කරගන්නට උත්සාහයක්ද නොවීය.  කෙසේ හෝ එදා හවස කැට ව්‍යාපාරය නතර කරනවිට සියලුම දෙනාගේ කැට පිරී තිබුණු බව මට මතකය.

පසුවදා සුනිල් සහෝදරයා මහත් සතුටින් සිටියේ කැට ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා මුදලක් ලැබී ඇති බැවින් කිසිම අපහසුවකින් තොරව ආසන බල මණ්ඩලය පිහිටුවීමේ වැඩට වියදම් කළ හැකි නිසාය.  හඳුනන අය මුණ ගැසෙතිය කියා බයෙන් සිටියත් එසේ නොවූ නිසා අපිත් සිටියේ සතුටිනි.  ඊට පසු සතියේ ඉරිදාවක ජ.වි.පෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පැවැත්වුණේ වත්තල පුරහලේදීය.  එදා අපට එම රැස්වීම සාර්ථක කරගැනීමට බොහෝ වැඩ කටයුතු පැවරී තිබු හෙයින් කණ්ඩායමම බෙහෙවින් කාර්ය බහුලවී සිටියෙමු.  මුලික වැඩ කටයුතු අවසන් වූ පසුව අපිත් නගර ශාලාව ඇතුළට ගොස් රැස්වීම බලන්නට වූයෙමු.  යෝජනා කිරීම්, ස්ථිර කිරීම් ආදී කටයුතු කෙරුණේ කලින් සාදාගත් න්‍යාය පත්‍රයකට අනුව බව මට පෙනීගිය කරුණක් විය.  නමක් යෝජනා වූ පසු එය ස්ථිර කළා මිසක වෙනත් යෝජනාවන් කිසිවක් නොවීය.  මම සිතුවේම මෙය කලින් පුහුණු කළ නාට්‍යයක් වේදිකාවේ රඟ දක්වනවා මිස කිසිම ස්වභාවික ගතියක් නොවූ රැස්වීමක් බවමය.  සාමාන්‍යයෙන් කොමියුනිස්ට් වරුන්ගේ රැස්වීම් කලින් යොදාගත් පිටපතකට අනුව කිසිම විරෝධයක් නොමැතිව ගල් රෝලකින් තලන්නාසේ කරගෙන යන බව මම පසුව දැනගතිමි.

නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු ඉදිරිපෙළ නායකයන්ගේ කතා දෙකකින් අනතුරුව නායක විජේවීර සමුළුව ඇමතීම සඳහා නැගී සිටියේය.  නගර ශාලාව පිරී උතුරන්නට සිටි සාමාජිකයින් සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඬව ඔහුගේ කතාව අසමින් සිටිනතුර ශාලාවේ පසුපසට විජේවීරගේ කතාව පැහැදිලිව නොඇසෙන සුළු තත්ත්වයක් හටගත්තේ ශබ්ද විකාශන පද්ධතියේ අඩුපාඩුවක් නිසා විය හැකිය.  අපහසුවට පත් පක්ෂ සාමාජිකයින් අතර සිටි එක තරුණයෙක් නැගී සිටියේය.

"ඇහෙන්නෙ නෑ සහෝදරයා!" ඔහු ශබ්ද නගා කීවේය.

"වාඩිවෙන්න!" විජේවීර ගුගුළේය. "ඔහොම කෑගහනකොට ඇහෙන ටික ඇහෙන්නෙත් නෑ!"  භීතියට සහ අපහසුතාවට පත් ඒ තරුණයා සැණෙකින් නොපෙනී ගියාසේ විය.

සමුළුව අවසානයේ පැමිණ සිටි පක්ෂයේ නායකයින්ට තේ පැන් සංග්‍රහයක් විය.  එය සුදානම් කර තිබුණේ සුනිල් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් බැවින් අපි කණ්ඩායම එම සංග්‍රහය භාරව සිටියෙමු.  සමුළුව සාර්ථකව අවසන් වීම සහ පැමිණ සිටි විශාල පිරිස ගැන තෘප්තියෙන් සිටි විජේවීර තේ බොන්නට ආවේ සිනහසෙමින් සැහැල්ලු සිතකිනි.  ඔහු ළඟ සිටි අය සමග සුහද කතාබහක යෙදෙමින් සංග්‍රහය භුක්ති වින්දේය.  සංග්‍රහයේ මුලිකත්වය ගෙන කටයුතු කළ සුනිල් සහෝදරයා දෙස ඔහු පරීක්ෂාවෙන් බලා සිට විස්තර ඇසුවේ ශාන්ත බණ්ඩාරගෙනි.  ශාන්ත බණ්ඩාර සුනිල් සහෝදරයාවද ඔහුට සහාය වූ අපවද වුජෙවීර ලඟට කැඳවා හඳුන්වා දුන්නේය.  සුනිල් සහෝදරයා බොහෝ ගරුසරු ඇතිව විජේවීර ට කීවේ අප සියල්ලම රැකියා කරන අය බවත් මෑතකදී සිට පක්ෂයට සම්බන්ධව වැඩ කරන බවත්ය.  ඉන්පසුව විජේවීර අප එකිනෙකා ගෙන් කරන රැකියා ඇතුළු විස්තර අසා සිටියේය.

"ඔය අයට පක්ෂෙ වෘත්තීය සමිති මට්ටමෙන් සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කරන්න ඇහැකි නේද?"  කියමින් ඔහු සමුගෙන ගියේය.  ඒ මා විජේවීර සමග කතාකල පළමු සහ අවසාන අවස්ථාවයි.   ඊළඟ අවුරුද්දේ විජේවීරට යටිබිම්ගත වීමට සිදුවූ හෙයින් ඊට පසු විජේවීරව කාහටත් දැකගැනීමට හැකිවුයේ නැත.  එසේ යටිබිම්ගතවූ ඔහු 1989 දී ඝාතනය කෙරෙන තෙක් එළි පහළියට පැමිණියේ නැත.

අඩි විස්ස පාරේ ජේ.වී.පී කාරයින්ද ජනාධිපතිවරණ පොකට් මීටිමක් තිබ්බේ මඟුල් පොකුණ හන්දියේය.  එයට නම් කැපවී වැඩ කරන්නට අපටද සිදුවිය.  වාස් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ රැස්වීම සාර්ථක අන්දමින් පවත්වාගැනීමට හැකිවීම කාගේත් සතුටට හේතුවක් විය.  දයාසිරිගේ තාත්තා එදා රැස්වීමේදී වාස් තිලකරත්නට බුලත් හුරුල්ලක් දී පිළිගෙන ජේ. වී. පියට එකතුවීම ගමේ අයගේ විමතියට හේතුවක් වුණේ ඔහු කැපුවත් කොළ වර්ගයේ දරුණු යු. ඇන්. පී කාරයෙක් වීම නිසාය.  එදා රැස්වීම අවසානයේ රැස්වීම අමතන්නට පැමිණි නායකයන්ට රාත්‍රී ආහාරය ඒ ළඟ හිතවතෙකුගේ ගෙදරක සුදානම් කර තිබු අතර නායකයන් කෑම කෑමෙන් අනතුරුව පිටත්ව යන තෙක් අප බලාසිටියේ යමක් සප්පායම් වී කෑම ගැනීමට වුවත් ඔවුන් තනිවම කෑම කන්නට කැමතිවුනේ නැත.  "නෑ නෑ ඔය සහෝදරවරුත් එන්න, කට්ටියම එකට කෑම කමු!" යි කියා වාස් තිලකරත්න කියා සිටි හෙයින් යමක් බීමට සිටි අපේ බලාපොරොත්තුව එදා බිඳ වැටුණි.

පක්ෂයේ අවසන් මහා රැස්වීම හැඳල හන්දියේ පැවැත්වුණේ පක්ෂ නායක විජේවීරගේ ප්‍රධානත්වයෙනි.  සුපුරුදු ලෙස ඒ රැස්වීම බලන්නට අපිත් සහභාගී වූ අතර රැස්වීමට පෙර මුළු වත්තල ප්‍රදේශයම සෝදා ගෙන ධාරාණිපාත මහ වර්ෂාවක් කඩා හැලුණි.  විජේවීර එන විට වැස්ස පායා තිබුණි.  "මෙදා සැරේ රට හෝදලම අපට භාරදෙන්නයි හදන්නෙ!" කියා විජේවීර සිය කතාවේදී කීවේය.

ඊට දින දෙකකට පසු පැවැත්වූ ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ජේ. ආර්. ජයවර්ධන මහතා ජයගත්තේ විජේවීර ඇතුළු හතර දෙනකුගේ ඇප ද රාජසන්තක කරමිනි.  විජේවීර ඡන්ද දෙලක්ෂ හැත්තෑ තුන්දහස් ගණනක් ලබාගත්තේ අපේක්ෂකයන් අතර තුන්වෙනි තැන ලබාගනිමිනි.

ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමත් සමග සතුටින් උදම්වූ ජේ. ආර් මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තු බලය තවත් අවුරුදු හයකට ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වුයේ 1982 දෙසැම්බර් මාසයේදීය.  එය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු එකම ජනමත විචාරණය වූ අතර යු. ඇන් පියට අවශ්‍ය වුණේ කෙසේ හෝ ජනමත විචාරණය ජය ගැනීමටය.  ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා පැවති මැතිවරණ වලින් අන්ත දූෂිත, වංචාව සහ සහ බලහත්කාරයෙන් පිරුණු ජනමත විචාරණයෙන් යු. ඇන් පිය ජයගත්තේය.  ජනමත විචාරණයේදී යු. ඇන් පියට විරුද්ධව වැඩ කලේ ජ.වි.පෙ පමණකි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ දියාරු පිළිවෙතක් අනුගමනය කරමින් තැන තැන කතා කළා මිසක යු. ඇන් පියට විරුද්ධව කිසිම ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ගෙනගියේ නැත.  ජේ.ආර් ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි ගලවා දෙතුන් කඩකට බිඳ දමා තිබු හෙයින් ඔවුන්ට ඒ සඳහා ශක්තියක් ද නොවීය.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සේනානායක මහතාද යු. ඇන් පී වේදිකාවේ පළමු වරට කතාකලේ මෙම ජනමත විචාරණයේදීය.

ජනමත විචාරණය කෙතරම් දූෂිත එකක් දැයි මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා මහතා සිය නිල වාර්තාව මගින් හෙළිදරව් කර තිබුණි.  කෙසේ වුවද මෙම ජනමත විචාරණයේ සිදුවූ දුෂණ ගැන සිය පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් වාර්තා ලබාගත් විජේවීර මැතිවරණ කොමසාරිස් වරයාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරූ අතර කරුණු සලකා බැලු උසාවිය විසින් නඩුව විභාග කිරීමට තීරණය කර නඩුව කල් තබන ලදී.  තීන්දුව කුමක් වුවත් ක‍රපු කියපු වැඩ ටික උසාවියේ හෙළිවන නිසා නුදුරේදීම ජේ. ආර් රෙදි ගලවාගැනීමට නියමිත විය.  අසූ තුනේ කළු ජුලිය ආවේ නඩුව පොරොත්තු ලේඛනයේ තිබියදීය.  ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ජේ.ආර් කළු ජූලියට ජ. වි. පෙ සම්බන්ධ බව බුද්ධි අංශ වාර්තා කළ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය.  එදා සිට විජේවීර ඇතුළු නායකයින් ආගිය අතක් නැතිවූ අතර නඩු කියන්නට පැමිණිලිකරුවන් නැතිවීම හේතුවෙන් නඩුවද කැලේ ගියේය.  ජේ.ආර් ගේ එම තීරණය මෙරට මෙරට තරුණ තරුණියන් හැට දහසකගේ පමණ ජීවිත බිලිගත් එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

යටිබිම්ගතවූ ජනතා විමුක්ති පෙරමුණ නැවත මතුවුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙන් අලුත් නමකිනි.  ඉන්පසුව උදාවුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති අඳුරුතම යුගයයි.  මතක් කරන්නට පවා අප්‍රසන්න එම කාලයේ නොසිදුවිය යුතු බොහෝදේ සිදුවූ බව පමණක් ලියා තබමි.  කටින් කතාකරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පමණක් ගරුකළ අපි බෝම්බයෙන් තුවක්කුවෙන් කතාකළ මිනීමරු දේශපාලනය පිළිකෙව් කළ බැවින් මුලදීම ජ.වි.ප යෙන් ඈත්වී අපේ වැඩක් බලාගෙන සිටියෙමු.  ඔවුන්ගේ වැඩවලට සම්බන්ධ වන ලෙස ක්‍රියාකාරිකයන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් ආවත් අප නෑසු කන්ව සිටියේ ඔවුන් කළ කී දෑ පිළිකුල් සහගත බැවිනි.

දේශපාලනයෙන් ඈත්වීම අපි එකිනෙකාට විවිධාකාරයට බලපෑවේය.  අලුත් වෙනස ස්වප්නා පිළිගත්තේ සාදරයෙනි.  මෙතෙක් කල් එක එක දේශපාලන වැඩට කාර්යබහුලවී සිටි මා එයින් මිදී ඇය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට කාලය ලැබීම ඇය ප්‍රහර්ෂයට පත්කළ කරුණක් විය.  දයාසිරි තම විවාහ මංගල්‍යය ඉහලින්ම පවත්වන්නට කටයුතු කළ අතර ඔහුගේ යහළුවන් වූ අපටද බොහෝ වැඩ රාජකාරි විය.  බිරිඳ විදේශගතවීම නිසා පාළුවෙන් සිටි උපසිංහ සමරනායක ස්කීම් එකේ කෙල්ලෙක් ගැන උනන්දු වෙන්නට වුයේ පාළුව මකා ගැනීම සඳහාය.  ඒ දවස්වල උපයාගේ ගෙදර නැවතී වත්තල පුද්ගලික ආයතනයක වැඩට යමින් සිටි උපයාගේ මල්ලී කොටුවක් පනින්නට පටන් ගත්තේ මේ අතරය.  ක්වාටස් එකේ උපයාගේ අල්ලපු ගෙදර සිටියේ ගුණරත්නය.  දවසේ වැඩ අවසන් කර ඌ ගෙදර එන්නේ බීගෙන හතර ගාතෙන්ය.  ආපු ගමන් පවුලටත් බැන බැන පෙරේතයා පොළොවේ ගැහුවා සේ නිදාගන්නා ගුණයා ඇහැරෙන්නේ පහුවදාටය.  ගුණයා මළ පෙරේතයෙකු වගේ හැසිරුණාට ගුණයාගේ පවුල හැඩ වැඩ ඇති සුදු ලස්සන රුවැත්තියකි.  උපයාගේ මල්ලි ඇයට බැල්ම දමන්නට ගත්තේ මේ අතරය.  ගුණයාගේ වැඩවලින් පීඩාවට පත්ව සිටි ඇයද උපයාගේ මල්ලිට ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට වුවාය.  

රෑට උපයලා නින්දට ගිය පසු පොලු නැති පිටුපස ජනේලය ඇරගන්නා උපයාගේ මල්ලී එතැනින් එහා ඇති ගුණේලාගේ පිටිපස්සෙ දොරට තට්ටු කරයි.  ගුණේගේ පවුල කුස්සියේ දොර ඇරගෙන එළියට එයි.  වැඩේ යන්නේ එහෙමය.  දවසක් රාත්‍රියේ හොඳටම බීමත්ව නින්දට ගිය උපයා මහ රෑ අවදි වුණේ වතුර තිබහක් ඇවිත්ය.  නැගිට්ට ගමන් ඌ දැක්කේ ගෙයි පිටුපස ජනේලය ඇර දමා ඇති අන්දමය.  ගෙයින් පිට කසු කුසුවකුත් ඇසේ.  උපයා කාරණය තේරුම් ගත්තේය.  ඊට පසු ඌ පත්වුණේ මහත් උහතෝකෝටිකයකය.  එක පැත්තකින් මල්ලිය, අනික් පැත්තෙන් තමාගේ යාලුවා වන ගුණයාය. කරන දෙයක් කරන්නට වෙන්නේ දෙපැත්තම අමනාප නොවන්නටය.  බිරිඳ නිවාඩුවට ළඟදී ගෙදර එන නිසා ළමයිනුත් ආවිට ගේ ඉඩ මදිවන බව කියූ උපයා මල්ලිට ළඟ තැනකින් බෝඩිමක් සොයා දුන්නේය.  ඊට පසු ඌ මොනවා කරගත්තත් තමන්ට වගකීමක් නැති බව උපයා අපට කීවේය.

මෑත දවසක මම අටමලාගේ ගෙදර ගිය වෙලාවක අඩි විස්ස පාර පැත්තට ගියේ දන්න කියන කවුරුත් හෝ ඉන්නවාදැයි බලන්නටය.  පරණ කිසි කෙනෙක් හමු නොවූ අතර අඩු තරමින් දයාසිරි ලාගේ ගේ වත් මට සොයාගන්නට බැරි තරමට ඒ පැත්ත වෙනස් වෙලාය.  බලාපොරොත්තු කඩවූ මම හිස් අතින් ආපසු ආවෙමි ෴ 

31 comments:

  1. ජවිපෙ තහනමින් පස්සේ ශාන්ත බණ්ඩාරව ශාන්ත බණ්ඩාර කියා නොදැන පොලිස් අත්අඩංගුවට පත් වුනාලු යම්කිසි අවස්ථාවක.අත්අඩංගුවට පත් වුනාත් කිසියම් හේතුවක් නිසා කුඩුවට නොදමා බංකුවක් මත වාඩි කර සිටි ශාන්ත බණ්ඩාර තමන්ගේ අතේ තිබු මාංචුව උපායශීලිව පන්නා දමමින් පොලිසියෙන් හෙමිහිට පිටව ගියායයි කතාවක් අසා තිබෙනවා.ඒ සඳහා ඔහුගේ අතේ සුවිශේෂී පිහිටීමක් උදව් උනාලු.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඒ කතාව අහල තියෙනවා.

      Delete
  2. Replies
    1. එහෙමත් නෑ. හිතවත් කමක් තිබුනේ.

      Delete
  3. දැන් දේශපාලනයට ගෑවෙන්නේ නැතිවද ඉන්නේ? මාතෘකාවේ 'අපේ දේශපාලනයේ නිමාව' කොටස නිසයි අහන්න හිතුණේ!

    ReplyDelete
    Replies
    1. ඔව් නිමල් දැන් කිසිම දේශපාලන පක්ෂයකට ගෑවෙන්නෙ නැතුවයි ඉන්නෙ.

      Delete
  4. බලාපොරොත්තු කඩ උනේ මොනව හොයාගන්න බැරි වෙලාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු කඩ උනේ පහුගිය දවසක කතරගමට යන ගමන් ගොඩකවෙලදි ඔහේගෙ කඩේ හොයාගන්න බැරි වෙලා. කතා කරන්න නම්බර් එකක්වත් තිබුණේ නැහැ නොවැ.

      Delete
  5. හැලපයා ආණ්ඩු කීයකට සහය දක්වනවාද? එන එන ආණ්ඩුවට සහය දක්වනවාද?

    මෙහි සදහන් අන්දමට ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වා තිබෙනවා.
    ඒ වගේම හැලපගේ පෙර ලිපි අනුව ජනපති ප්‍රේමදාස ආණ්ඩුවටත් හැලපයා වැඩකර තිබෙනවා.
    ඇයි ඉන්පසු මහින්ද මහතාගේ ආණ්ඩුවටත් හැලපෙ වැඩ කරා නොවෑ.
    ඊට පස්සේ මයිත්‍රීපාලනය ගේන්නත් හැලපයා සහය දැක්වුයේ.
    හෙටානිද්දා ගෝටබය මහත්තයාට සහය දක්වන්නත් බැරි නෑ.

    හැන්දෑවේ ජනහිතට ඇවිත් උණු උණු මාළු හොද්දක් එක්ක පාන් ගෙඩියක් කන ගමන් මට මතක් උනේ හැලපගේ පරිණාමය..

    ReplyDelete
    Replies
    1. හැලපයා රජයේ සේවකයෙකි.ආණ්ඩු වරින්වර වෙනස් වුවද රජය සැමදා පවතී. අවාසනාවකට මෙන් රජයට කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් රජයේ ගමන් මග ආණ්ඩුව විසින් තීරණය කරනු ලබයි. රජයේ සේවකයන් වශයෙන් එයට අනුගත වීමට අපට සිදු වේ. ඒ අනුව ආණ්ඩු ගණනාවක් සමග වැඩ කිරීමට මට සිදුවිය. රජයට දිවි හිමියෙන් සේවය කිරීම රජයේ සේවකයකුගේ පරම යුතුකමකි. හෙට දිනයේ සම්බන්ධන් මහතා ආණ්‌ඩුවක් පිහිටෙව්වා වුවද ඒ අනුව වැඩ කිරීම රජයේ සේවකයකුගේ යුතුකමකි. එය දේශපාලන පක්ෂයකට සහාය දැක්වීමක් ලෙස වරදවා වටහා නොගන්නා.

      Delete
  6. Ano @8.35am, There is nothing wrong (but the best thing to do) to change your support depending on performance of the party and its leaders. Same corrupt robbers coming to power time and time again, due to most people blindly supporting one party generation after generation. I am not sure anyone with a good mind can support this UNP+JVP govt again, but wait and see, most of them will be back.

    ReplyDelete
  7. හැලපේ ජනමතවිචාරණය ගැන කිව්වට, ජේ ආර් ට එසේ කිරීමට අවශ්‍ය වුණේ ඇයි දැයි කියා නැහැ. 1977 රජයට 5/6 බලයක් තිබුණා. 1978 ව්‍යවස්ථාව අනුව 1982 හී පැවැත්වීමට තිබුණ මහ මැතිවරණය තිබුණානම් සමානුපාතික ක්‍රමය යටතේ 2/3 බලයක් යූ එන් පියට ලැබෙන්නේ නැහැ. එවිට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අපහසු වෙනවා. එම නිසා තිබුණ සංයුතියම පවත්වාගැනීමට තමයි ඔහු එය කලේ. ජනපත විචාරණය පැරදුන ආසන වල අතුරු මැතිවරණ පැවැත්වීමට ඔහු ක්‍රියා කලා.

    ReplyDelete
    Replies
    1. ඒ සියල්ල සඳහා ව්‍යවස්ථ්ව කිහිපවරක් ම සංශෝදනය කරනට ද සිදුවිය. පැරදුන හැම ආසනයකම අතුරු මැතිවරණ පැවැත්වූයේ ද නැත (උදා - රොනී ද මෙල් ගේ ආසනය). ජේආර් යනු නීතිය ගණිකා වෘත්තියේ යෙදවූ දහදුරාවෙකු බව මින් පැහැදිළිවේ.

      Delete
    2. Bulathsinhala or Devinuwara ?

      Delete
    3. ස්තූතියි ඉයන්. මා බලාපොරොත්තු වුණේත් මෙවැනි පෝස්ටුවට අදාළ කරුණු සාකච්ඡා වීමයි.

      Delete
  8. අපට කලින් කාලයක කතා !

    ReplyDelete
    Replies
    1. ඉපදෙන්නත් කලින් කාලයක කතා නේද?

      Delete
    2. නෑ යාන්තමට ඇවිදින කාලෙ එව්වා ... Product of 1981 :)

      Delete
  9. හැලපෙ, ජනාදිපතිවරණෙටත් ඉල්ලපු, පක්ශ නායකයෙක් වෙච්ච විජේවීර, අසූ තුනේදි යටිබිම් ගතවෙන්නෙ ඇයි?
    අඩුම තරමින් ජේ ආර් එක්ක සාකච්චාවකටවත් යන්නැතුව?

    ReplyDelete
  10. මට මතකයි ජනාධිපතිවරණෙ දවසෙ හවස නානළිඳ ගාවදි අපේ මහප්පා කිව්වා, ‌කොබ්බෑකඩුවගෙ ඡන්දෙත් ‌හොරට දාලලු කියලා...

    ReplyDelete
    Replies
    1. නෑ ඔය කියන්නේ ජනාධිපති ඡන්දයට මාස දෙකකට පමණ පසු පැවැත්වුණු ජනමත විචාරණය ගැනයි.

      Delete
  11. හැලප කඩේ දැන් වහලම දාලද ?

    ReplyDelete
  12. හැලපයා මැරිලා ද?

    ReplyDelete
  13. මැකුවොත් හිරේ.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. Sri Lanka Porn Videos and Sri Lankan Latest Leaked Photos Watch Sri Lankan porn videos for free, here on Slutdesi.com Sri lankan girlfriend with big ass, pornstar shows pussy in the room and other porn movies. Sri Lankan porn videos that will please even the pickiest porn fan are right here.

    ReplyDelete

ඔබේ අදහස්