Monday, June 18, 2018

ස්වප්නාගේ දානය, එරික්ගේ ස්නානය, ගල පාමුල ඇළ, ගුණේගේ මඟුල් ගෙදර සහ දුවගේ නෝක්කාඩුව.





අපි කට්ටිය ස්වප්නාගේ ගෙට ගොඩවෙන විටත් ස්වප්නා කුස්සියේ ගජරාමෙට වැඩය.   සතියක් විතර එක දිගට වැටුණු මහ වැස්ස හේතුවෙන් ස්වප්නලාගේ ගෙදරට යන පාර මඩ ගොඩක් වී තිබුණි.  වත්ත සෑහෙන්න වල් වැහී තිබුණේ ද අනවරත වැස්ස නිසාය.  හැම තැනම වැවී තිබු කජු ගස්වල පුහුලන් එල්ලී තිබුණේ බල්බ් එල්ලුවාක් මෙනි.  වැහි වලාකුළු නිසා වාතයේ ආර්ද්‍රතාව වැඩිවී දාඩිය ගලන්නට වූ හෙයින් ස්වප්නා දීපු තේවල රස බලන්නට වුණේ වත්තේ තැන් තැන්වල ඉඳගෙනය.  එරික්ට නම් හදිස්සිය තිබුණේ ගෙනාපු බෝතලුත් අරගෙන වත්ත ඉස්මත්තේ ඇති ගල්තලාවට නැග ගන්නටය.

ඒ ගල්තලාව වටේටම ගස් නිසා අපූරු හෙවනක් ගල උඩ විය.  අවශ්‍ය කරන අඩුම කුඩුමද අරගෙන ගලට නැගගත් විට කිසි කෙනෙකුට හොයන්නට බැරිය.  ගල පහළින් ගලා යන දිය පහර වැස්ස නිසා හොඳටම පිම්බී ගලාබැස්සේ සිලි සිලි හඬ නගමිනි.  දෙතුන් සැරයක් ගලට ගිය එරික් ඇවිත් මට කතාකළේය.

"වරෙන්කො බං ! එරික්ට බොන්නට හදිස්සි වෙලාය.  චන්දරේ ගෙ මඟුල් ගෙදර දවසේ වෙච්ච කතාව මම ඌට මතක් කළෙමි.

" එදා නං බැණුම් විතරයි, අද ගුටි කන්නත් වෙයි වගේ!"

" ඒ මොකක්ද? කවුද උඹට බැන්නේ"

" ඇයි මතක නැද්ද මඟුල් ගෙදරදී උඹ මාව කන්න හැදුවෙ!"

" කාටද බං ඔව්ව මතක තියෙන්නෙ!" එරික් කීවේ සිනාසෙමිනි.

අපි හතර දෙනා ගලට ගිහිං කර්තව්‍යය ආරම්භ කළෙමු.  ටවුමෙන් ඇතිවෙන්නට හපන්නට ජාති අරගෙන ආපු නිසා අපි ස්වප්නා ගෙන් බයිට් ඉල්ලන්නට ගියේ නැත.  ඒ වුණාට ටිකකින් ස්වප්නාගේ පුතාද බැදපු මාළු පිඟානක් අරගෙන ගලට ආවේ බයිට් ගේන ව්‍යාජයෙන් දෙකක් ඇන ගන්නටය.  අපි ඌව ද වාඩි කරගෙන වැඩේ කරගෙන ගියෙමු.  ෂොට් එකක් දෙකක් වදිනවිට දෙකන්සෙන් දහඩිය ගලන්නට වූ නිසා ඉස්සෙල්ලාම කමිස ගලවා දැම්මත් දාඩිය දැමීමේ අඩුවක් නැත.  එරික්ට අපූරු අදහසක් ආවේ එවිටය.

" අපි නාමුද?" එරික් අසයි.

" කොහෙද ? මේ ඇලේ ද?"

" මේ මඩ වතුර නාන්න බෑ බං, අපි ළිඳෙන් නාමු."

ස්වප්නලාගේ වත්ත පහළට වෙන්න වෙල අයිනේ ඇති පොඩි ලිඳ වැස්සට පිරී වතුර උතුරා යයි.  නාන්නට කැමති වුණේ මම විතරය.  එරික් ගෙදරට ගිහින් සරමක්ද රෙද්දක්ද තුවායක්ද අරගෙන ආවේය.  සරම මට හැඳගන්නට දුන් එරික් රෙද්ද ඇඳගෙන නාන්න පටන් ගත්තේය.  ටිකකින් ලලනි කෙකි බලට්ටකුත් බැඳගෙන වත්ත පහළට ඇවිත් කජු නාඹර කඩන්නට පටන් ගත්තේ දුවට දෙන්න ගෙනියන්න කියාය.  වතුර දෙක තුනක් නාපු එරික් ජබෝස් ගා ලිඳට පැන්නේය.

" වතුර බොර කරන්නෙ නැතුව ගොඩට ඇවිත් නාපන්  බං!"

" පොඩ්ඩක් ඉඳපන් බං, රෙද්ද ගැලවුණා හොයාගන ගොඩට එන්නං, ඉඳකින් මේකිත් මේ වෙලාවටම මෙතෙන්ට ආවනෙ නැත්නං රෙදි ඕනැත් නෑ!"

ලිඳේ පැය බාගයක් විතර ගතකරමින් හොඳට නාගෙන ආපහු ගලට යද්දී එතන හිටිය උන් බෝතලයක් ඉවර කරලාය.  එරික්ගේත් ලලනිගේත් පොඩි දුව විවාහ වුණේ ගුණේගේ පුතා එක්කය.  ඒ දෙමවුපියන්ගේ යාළුකමට දැන හඳුනාගෙන නොව උන් දෙන්නා මගතොට දී හමුවී ඇයි හොඳයි කියලාය.  එරික් ළිඳේ නාද්දී  මගෙත් එක්ක කිය කියා හිටියේ ඒ කතාවය.

" වැඩේ මට අහුවුනාම මම කොල්ලගෙන් ඇහුවා,  අංකල් තාත්තට නං කියන්න එපා කියල ඌ කිව්වා.  පුතා මම ගුණේව අඳුනන්නෙ අවුරුදු තිහ හතළිහක ඉඳල, ඔයා කොහොම කිව්වත් මට මේ ගැන තාත්තට කියන්න වෙනව කියල මම කිව්වා."

දෙන්නාගේ සම්බන්ධය ගැන විරුද්ධ වෙන්නට කිසිම හේතුවක් දෙපැත්තටම නොතිබුණ නිසා ටික දවසකින් ම මඟුල සිද්ද වුණත් ලොකුවට මඟුල් කනවාට කෙල්ලත් කොල්ලත් කැමතිවී නැත.

" මඟුල කන්න දුන්නෙ නෑනෙ බං, උන් රට යනවයි කිව්වා.  කසාදෙ රෙජිස්ටර් කළා විතරයි, දැන් ඔය ඉන්නෙ රට ගියෙත් නෑ."

එරික් එහෙම කියද්දී මට මතක් වුණේ මීට සෑහෙන කාලයකට පෙර අපි ගියපු මඟුල් ගෙදරකි.  ඒ අපේ අනික් ගුණේගේ අයියාගේ මඟුලයි.  ඒ මඟුල ගෙවල්වල මඟුල් කාපු අන්තිම කාලයේ වගේ තිබ්බ එකකි.  අපේ සෙට් එකේ ගුණේලා තුන්දෙනෙකි.  දෙන්නෙක්ගේ නමත් මුල් අකුරුත් එක විදියමය.  ඉතින් අපි කළේ ඒ දෙන්නාට වෙනම නම් තැබීමය.  මම මේ කියන්නේ  එක වගේ නම තියෙන දෙන්නා ගැන නොව අනික් ගුණේ ගැනයි.  අයියාගේ මඟුලට ආරාධනා කරමින් ගුණේ අපට කීවේ වැඩ තියෙන නිසා දවසකට දෙකකට කලින් ආවොත් හොඳයි කියාය.  ගෙවල්වල ගන්නා මඟුල් වලදී එහෙමය.  මඩු ගහන්නට, සරසන්නට, ගෙවල්වලින් බඩු අදින්නට පමණක් නොව දර පලන්නට, පොල් ලෙලි ගහන්නට, හාල් කොටාගෙන එන්නට ආදී වශයෙන් කරන්නට අටෝරාසියක් වැඩ ඇත.

ඒ මදිවාට ගුණේ ගේ ගෙදර තිබුණේ කන්දකය.  ඒ කන්දේ සමහර තැන්වල මහගිරි දඹේ වගේ දනිස්ස නිකටේ වදින තරමට නැග්මක් තිබේ.  කන්දේ ළිං කැපුවාට වතුර තියෙන්නේ කාලයකට විතරය.  අපි කට්ටිය මේ කන්දත් නැගගෙන ගොස් ගුණේලගේ ගෙදර ලැගුම් ගත්තෙමු.   වැඩ තියනවා කීවාට අපි කට්ටියට කරන්න එහෙමකට බර වැඩක් නැති වුණේ වැඩට ගමේ උදවියත් ඇවිත් හිටපු නිසාවෙනි.  අපි මඟුල් මඩුව සරසමින්ද පැයෙන් පැයට තේ බොමින්ද විහිලු කරමින්ද කාලය ගෙවා දැම්මෙමු.  ඇත්තම කිව්වොත් අපි නොගියාට ගුණේලාට වැඩ කරන අයගෙන් අඩුවක් තිබුණේ නැත.  පළාතේ යමක් කමක් ඇති අයවූ ගුණේලාට අවුරුද්ද කන්නට වැඩිත් එක්ක හාල් පොල් ආදියද වතු පිටිද හරක බාන ද තිබුණු නිසා අපි හිටියාය කියා අමුතු බරක් තිබුණෙත් නැත.  ඇත්තම කතාව නම් ගුණේලාගේ ගෙදර අය අපි ඒ ගෙදර ඇවිත් ඉන්නවාට හරිම කැමතිය.

මනමාලයා වූ අයියා වැඩකලේ ලංකා බැංකුවේය.  ගුණේට බාල නංගියෙක් සහ මල්ලියෙකි.  නංගිට ඒ වනවිටත් කටයුත්තක් බලා විවාහය ස්ථිර කරගෙන තිබුණත් අයියාගේ මඟුල් ගෙදර වැඩ කරන්නට තමන් සිටිය යුතු යැයි කියූ නංගි ඇයගේ මඟුල ඊළඟ අවුරුද්ද වෙනතුරු කල් දමාගෙන තිබුණේ ස්වේච්ඡාවෙනි.  මට කියන්නට අමතක වුණේ ගුණේලාගේ තාත්තා සිටියත් අම්මා නැති එකය.  අම්මා ඊට සෑහෙන කාලයකට පෙර මෙලොව හැර ගොසින්ය.

අපි කට්ටියම රෑට නිදාගන්නේ ගෙයි ඉස්තෝප්පු කාමරේය.  මඟුල් ගෙදර තියෙන එක එක වැඩවල යෙදී නිදාගන්න විටත් හොඳටම රෑ වෙයි.  ඒ ගියත් පැය ගාණක් යනතුරු ඉස්පිරිතාලෙ ගැනත් වැඩ කරන අය ගැනත් එක එකා කියන කතා අහගෙන බක බක ගා හිනාවෙමින් ඉන්න අපට නින්ද යන්නේ මහ පාන්දරය.  මඟුල් ගෙදරට ලොකුම ප්‍රශ්නය වී තිබුණේ වතුරය.  ඒ කාලයේ ගුණේලාගේ ලිඳ හිඳී ගිහින්ය.  කන්දේ උඩටම නැගුණු විට ගස් ගල් අතරින් ගලා එන අපූරු වතුර උල්පතක් තිබේ.  අපි ඒ උල්පත හරස්කර පීලි දමා පහළට වතුර එන්නට සකස් කළෙමු.  පීලි වලින් ගලා එන වතුර බැරල් වල පිරවේ.  ඒ විදියට මඟුල් ගේ තිබ්බ දවස් කීපය පුරාම අඛණ්ඩ ජල සැපයුමක් දෙන්නට හැකිවිය.

දැන් මඟුල් ගෙදරට කලින් දවසය.  ඊට කලින් දවස් දෙක තුනක සිට ගමේ ගෑණු කට්ටිය එකතුවී මඟුලට වුවමනා කැවුම්,කොකිස්, ආස්මී ආදී රසකැවිලි හදා අවසාන කළහ.  කෙසෙල්කැන් තුන හතරක් බිං කර දුම් පිඹ තිබුණු අතර ඒවාද ගොඩගෙන නාවා පැත්තකින් තිබ්බේ හොඳට ඉදෙනතුරුය.  පහුවදා ගුණේලගේ ගෙදර මඟුල තියෙන්නේ හවසය.  ඒ කියන්නේ ගුණේගේ අයියා මනමාලිය කැන්දා ගෙන ආවාට පසුවය.  කෝකියන් ඇවිත් මඩු ගසා ගෙන කෑම හදන්නට සුදානම් වෙති.  වැඩ කරන අයට කන්න දෙන්න ගෑණු එකතුවී නොයෙකුත් කතා වල යෙදෙමින් හිනාවෙමින් කෑම උයති.  අපි කරන්නේ හිමිහිට අරන් ආපු  බෝතලයක් දෙකක් අරගෙන වත්ත පහළ මඩුවට යෑමය.  හපන්නට දෙයක් හොයාගන්න යවන්නේ ඩේවිඩ්වය.  ඌ මොත්ත කාරයා වගේම බොන්නෙත් නැත.  ඩේවිඩ් කුස්සිය පැත්තේ කැරකෙමින් සිට ගෑනුන්ට උදව් කරන මුවාවෙන් ටිකක් බටර් ගාමින් සිට හපන්න මොනවා හෝ අරගෙන එයි.

ස්වප්නා ඇතුළු කෙල්ලන් කට්ටිය ආවේ මඟුල් දවසේය.  මඟුල් කිව්වාට එදා තිබුණේ කමින් හෝම් හෙවත් හෝම් කමින් එකය.  මඟුල් ගේත් ඉවරවී කට්ටිය එකා දෙන්නා තුන් හතර දෙනා ටික ටික මඟුල් ගෙදරින් පිටවී යන සැන්දෑවේ අපි ඔක්කොම එක පෙළට තබා තිබු පුටුවල වාඩිවී කතා කරමින් සිටියෙමු.  ස්වප්නා හිටියේ මගේ ළඟ තිබුණු පුටුවේය.

" අදවත් ගෙදර යන්න අදහසක් නැද්ද?" ස්වප්නා ඇසුවාය.

" බලමුකො" මම පිළිතුරු දුන්නෙමි.

සාමාන්‍යයෙන් මඟුල් බත කිරි හොද්දට බහින තුරු මගුල් ගෙදර බින්න බැහැගෙන ඉඳීම අපේ චාරිත්‍රය වුණත් ගුණේලාගේ ගෙදරදී ඒ හොඳ සිරිත පිළිපදින්නට පොඩි අපහසුවක් තිබුණේ ඒ වනවිටත් අපි කට්ටියම දවස් ගණනක් රස්සාවෙන් නිවාඩු ගෙන තිබීම හේතුවෙනි.  එබැවින් එදා සවස හෝ පසුවදා උදේ පිටත්ව යන්නට අපි කතිකා කරගෙන තිබුණෙමු.

" බලන්නෙ මොනවද? දැන් දවස් ගාණක් වැඩට ගියෙත් නෑනෙ, කොහොම හරි හෙට වැඩට යන්න."

" වැඩට යන එක මම බලාගන්නම්, ඔයා දැන් දෙයියනේ කියල ගෙදර යන්න."

අපි කට්ටිය එකතුවී මඟුල් ගේ මුවාවෙන් කකා බිබී විනෝදවෙමින් රස්තියාදු ගැසීම ගැන ස්වප්නා ගේ සිතේ ඇති අප්‍රසාදය මට පැහැදිලිවම තේරුණත් මම එය නොතේරුණාක් මෙන් කතා කළේ ඒ දවස්වල මම ස්වප්නා එක්ක පොඩි පහේ ඔරොප්පුවකින් සිටි නිසාය. ඔරොප්පුවට හේතුව වුණේ මම පොඩිපහේ ශෛල කර්මාන්ත පුහුණුවකට ස්වප්නාට යෝජනාවක් කළත් ඇය ඊට අකමැති වීමය.  මම ඒ යෝජනාව සද්භාවයෙන්ම කළේ විවාහාභිමුඛ යුවතියන්ට ලැබෙන එවන් පළපුරුද්දක් අනාගත විවාහ ජීවිතයට මහෝපකාරී වන නිසා වුවත් ස්වප්නා මගේ පැහැදිලි කිරීම පිළිගන්නට කැමති වුණේ නැත.  සමහරවිට ඒ කාලේම වගේ නන්දා මාලිනී ගැයූ " ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි" ගීතය අසා තිබු නිසාද වෙන්නට පුළුවන.  කෙසේ වුවද ඇයගේ තද බල විරෝධය අවශ්‍ය පමණට වැඩිදැයි සිතාදෝ විරෝධයේ සැර බාල කරන්නට පසු දවසක ඇය මට මෙසේ කීවාය.

" අපේ ගෙදර ඇවිත් අම්මල තාත්තල එක්ක කතාකරන්න!"

" ඒ මොනවටද?"

" නෑ ඉතින් එතකොට ඔය ප්‍රශ්න මොකුත් මතුවෙන්නෙ නෑනෙ."

ගෙවල් වලින් අවසර ගෙන ලව් කිරීමේ කිසිම ත්‍රිල් එකක් නැත.  ගෙදරින් ලයිසන් ලැබුණු වහාම ඒ ලව් එකේ තියෙන ලල් එක එහෙම පිටින්ම වාෂ්ප වී යයි.  ඒ නිසා ගෙවල්වලින් අසා ලව් කිරීම විලි ලැජ්ජාවකැ'යි මම ස්වප්නාට කීවෙමි.  ස්වප්නා ඊට පස්සේදීත් කීප වතාවක් ඔය කතාව මතක් කළත් මම නිහඬව සිටියේ ඒ වනවිටත් අප දෙදෙනා අතර යම් යම් දේ අරභයා මත ගැටුම් ද නොගැලපීම් ද එක පිට එක මතුවෙමින් පැවති හෙයිනි.  ඒ හේතුවෙන්ම දෙදෙනා එකතුවෙනවාට වඩා වෙන්වීම යෙහෙකැයි දෙදෙනාටම සිතුන හා දෙදෙනාගේ සම්බන්ධය නොන්ඩි ගසමින් ඉදිරියට ගාටන කාලය වැඩි කල් නොයාදීම එළඹියේය.  ළය රෝහලෙන් ස්ථාන මාරු ලැබූ මා කොළඹට සම්ප්‍රාප්ත වුයේත් ඔය කාලයේදීය.  ඊට පසුවද අප දෙදෙනා කීප වතාවක් හමුවුවත් පසුකාලීනව හමුවීමටද දෙදෙනාටම උනන්දුවක් නොමැති වීම නිසාවෙන් ස්වප්නා ඇගේ අතක් බලාගත් අතර මම මගේ අත බලාගත් හෙයින් ඒ කෙටි වූද සිදුවීම් බහුල වූද ඇසුර අවසන් විය.

ඊට අවුරුද්දකට හෝ දෙකකට පමණ පසුව ස්වප්නා සිය රැකියාවට අදාළ කෙටි කාලීන පාඨමාලාවකදී හඳුනා ගත් කෙනෙකු සමග විවාහ වුවාය.  බොහෝ සොඳුරු සිතුවිලි සහිතව විවාහ වුවත් ඒ කිසිවක් සාර්ථක කරගන්නට ස්වප්නා අසමත් වුණේ මුලිකවම ඇගේ තේරීම වැරදි එකක් වූ නිසාය.  ස්වප්නාගේ මනුස්සයා වෙනත් ගෑනු එක්කත් ඇයි හොඳයි කීමත් ඔව්වා ආරංචි වී ඒ ගැන අහනවිට ඔහු ස්වප්නාට නපුරු විදියට සැලකීමත් නිසා කරගත් විවාහය ඇයට තිත්ත වන්නට වැඩිකල් ගියේ නැත.  නන්දා මාලිනී " පෙම් ලොවදී දුටු ඔහුමද මේ" සින්දුව කීවේද ඔය කාලයේදීමය.  ඒ ගීතයේ කියැවෙන දේවල් ඒ විදියටම අත් දකින්නට තරම් ස්වප්නාගේ දෛවය ඇයට අකාරුණික වී තිබිණි.  අවසානයේ දරු දෙදෙනෙකුත් සමග ස්වප්නා තනි කරමින් ඔහු වෙන ගැහැණියක් සමග පවුල් කන්නට පිටත්ව ගියේය.

ජීවිතයේ හැටි එහෙමය.  මම කලිනුත් කීවා සේම ජීවිතය අපට දෙන්නේ අප ආසාකරන හෝ බලාපොරොත්තු වන දේවල් නොව අපට හිමි හෙවත් දෛවය විසින් නියමකර ඇති දේ බව අප වටහා ගන්නේ ටිකක් විතර ප්‍රමාද වෙලාය.   කොහොම වුණත් දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ස්වප්නා රැකියාවද කරමින් දරු දෙදෙනාද කෙසේ හෝ ලොකු මහත් කරගෙන ඉන්න ගේත් පිළිවෙලක් කරගන්නට වෙහෙසෙයි.  ස්වප්නාගේ දුව දැන් සුන්දර තරුණියකි.  අපි කා බී ස්වප්නාගේ සංග්‍රහ සත්කාර විඳ එන්නට සැරසෙන වෙලාවේ කෙල්ල පොඩි නෝක්කාඩුවක් කීවේ ලලනිට සහ රාණිටය.

" අම්ම අමාරුවෙ වැටෙන්න ඇරලා නැන්දල බලාගෙන හිටිය නේද?"

මේ කතාව අහපු උන් දෙන්නා මුණෙන් මුණ බලාගත්තේ ඇත්ත වශයෙන්ම ස්වප්නා අමාරුවේ වැටුණු එකට ඒ දෙන්නාගේ කොහෙත්ම සම්බන්ධයක් නොතිබූ නිසාය.  ලලනිත්, රාණිත් ස්වප්නා එක්ක පුහුණු පාඨමාලාවේ හිටපු බව ඇත්ත වුණත් ස්වප්නා සිය ප්‍රේම සම්බන්ධය පටන්ගත්තේ ඒ අයගේ උදව් ඇතිව නොව තනිවමය.  නමුත් ඒ පරණ කතා ආපහු ඇදගන්නට එය අවස්ථාව නොවූ හෙයින් හා කෙල්ලට ඔය කරුණු කාරණා පැහැදිලි කිරීම තේරුමක් නැති වැඩක් හෙයින් උන් දෙන්නා නිහඬවම සිටියහ.  ඒ වුණාට එතැන හිටපු එඩ්ඩා කෙල්ලට අපුරු උත්තරයක් දුන්නේය.

" එහෙම වුණා නම් දුවේ අද ඔය කතාව කියන්න ඔයත් මෙතන නෑ නේද?"

ඉතින් මා කොටස් කීපයක්ම ලියු ස්වප්නාගේ දානයේ කතාව නවතන්නට කාලය පැමිණ ඇතත් එයින් කියැවෙන්නේ ස්වප්නා නැවත මුණ නොගැසෙන බව නොවේ.  ඉදිරියේදී මා ලියන වෙනත් කතාවලත් සමහරවිට ස්වප්නා චරිතයක් වෙන්නට ඉඩ ඇත෴

47 comments:

  1. Replies
    1. ගල් කටුවටත් හරස් වෙච්ච එකේ මොක කඩු පයිට්ද බං.

      Delete
    2. එරිකාත් එක්කද, එදා කඩු ෆයිට් තිබුණේ නැති අතර ඌ ඉතා හොඳින් හැසිරුණේය.

      Delete
    3. ප්‍රසා,
      ඒ හරස්වීමම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

      Delete
    4. /// ඒ හරස්වීමම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. /// ++++++++++++++++

      Delete
  2. කොහෙද බොල මේකෙ දානයක් තියෙන්නෙ. .නිකරම තියෙන්නෙ මගුල් නෙ.

    අපි නොදන්න ඔහේගෙ සත්භාවය. හැක්..

    ReplyDelete
    Replies
    1. දානෙ කියල නමට කිව්වාට ඉතින් ඔහේ දන්නවනෙ නේද?

      Delete
  3. කූඩැල්ලො නැති ප්‍රදේශයක් ?

    ReplyDelete
    Replies
    1. ගොඩ කූඩැල්ලන් දෙන්නෙක් විතර මුලදී වැඩ පෙන්නුවත් පසුව උන් ආගිය අතක් නැතිවිය.

      Delete
  4. මේ "ස්වප්නා" කියන්නේ උඹ දාපු නමක්ද නැතිනම් ඒ කෙල්ලගේ ඇත්තම නමද හැලපයියේ ?
    ඒ මොකද හැලපයියා කොල්ලා කාලේ තිබ්බ "ස්වරණා ,කාන්ති ,චන්ද්‍රිකා " වගේ නම් එක්ක ගත්තාම මේ නම හරි uncommon හින්දා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. මේක හැලප පොඩ්ඩක් වෙනස් කරපු නමක්. ඇත්ත නම ඔයා කියල තියනවනෙ මනෝජ් ;)

      Delete
    2. ස්වප්නා යනු ඇයට මම දාපු නමය. කලදී ලියු කතාවක චරිතයක් වූ ඇය හඳුන්වා දීමට ඇගේ නමට ගැලපෙන නමක් සොයමින් සිටි මට මේ නම නිකමට හිතී දැම්මෙමි. එදා එපමණ නොසිතා නම දැම්මත් පසුකාලීනව ඇය මෙතරම් එළියට ඒවි යැයි මට සිතුණේ නැත. දැන් ඉතින් ඒ නමම පාවිච්චි කරන්නට සිදුවේ. මනෝජ් හරි මේ නම හොඳටම අන්කොමන් යැ.

      Delete
    3. ඇනෝ,
      නම වෙනස් කරපු එක ඇත්ත. ඒත් ඒ නම මනෝජ් කියල නෑ.

      Delete
    4. හැලප, swarna nemeda? mama mechchara kal hithan hitiye ehema :/

      Delete
  5. පසු සටන් ජවනිකා මග ඇරලා නොවැ හැලපයියා ලියල තියෙන්නේ ?
    කොහොම උනත් ස්වප්නා පව් ය .....

    "අපේ ගෙදර ඇවිත් අම්මල තාත්තල එක්ක කතාකරන්න" යැයි ඇය කියූ දේ එදා ඔහේ ඇහුවා නම් අද ස්වප්නා සතුටෙන් ය .
    කොහෙද ඉතින් "ත්‍රිල්" එක ලොකු උනා නොවැ .

    අගේ ඇති කථාව හැලපයියේ .

    ReplyDelete
    Replies
    1. ["අපේ ගෙදර ඇවිත් අම්මල තාත්තල එක්ක කතාකරන්න" යැයි ඇය කියූ දේ එදා ඔහේ ඇහුවා නම් අද ස්වප්නා සතුටෙන් ය .
      කොහෙද ඉතින් "ත්‍රිල්" එක ලොකු උනා නොවැ . ]

      මටත් හිතුනේ මේ ටිකමයි.. හෙහ් හෙහ්

      Delete
    2. පැහැදිලිවම ස්වප්නා පව් යැ. නමුත් අපිත් ගරුකළ පුරුෂාර්ථ තිබුණා නොවැ. ස්වප්නාට ඒවාට ටිකක් අනුගත වුනානම් මේ දේ වෙන්නේ නැත. කොල්ලෙකු අවිශ්වාස කරන කෙල්ලෙකුට කැමති වන්නේ මොන පිරිමියාද?

      Delete
    3. පැතුම්,
      ඔබටත් ඉහත පිළිතුර සෑහේ යැයි සිතමි.

      Delete
    4. ඒක හැබෑව හැලපයියේ .

      Delete
  6. එක පාරකුත් කිව්වා වගේ අපේ මේ වගේ කතා ලියන්න තව අවුරුදු තිහක් වත් ඉන්න ඕනේ!!

    ReplyDelete
    Replies
    1. මූ වාගේ හැදෙන්ඩ එපා මල්ලියේ ... අපිට කතා නැති උනත් කමක් නැ .. වයසට ගියහම බනක් භාවනාවක් කරමු

      Delete
    2. හික්ස්! පව් යකෝ මං අයියේ..

      Delete
    3. ඔව් ඔව් දැම්මම ලියල කුරුවල් කරගන්න එපා කොල්ලෝ.

      Delete
    4. අටං,
      වයසට ගියාම බාවනාවන එක වෙනම ආතල් එකකි. ජය!

      Delete
  7. මුදා හිතේ තිබු බය අමතක කරලා
    එදා ගියානම් සප්නව අද බැඳලා
    එදා මතක ලිපි හැලපක්කා දැකලා
    මෙදා ඉන්න හැටි දෙනවද පහදාලා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැලපක්කා මේ දිනවල තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බ්ලොග් කියවන්නේ නැති නිසා පරණ කතා අත දිගහැර ලියමි.

      Delete
  8. ඔහේ කියවාගෙන ගියා. ලස්සනයි

    ReplyDelete
  9. Helapa ayya suddage annasi thiyenawada thama...thogayak gattekida...

    ReplyDelete
    Replies
    1. සුද්දාගේ අන්නාසි තොග අවසන් වුණේ දැනට සති දෙකකට පමණ පෙරදීය. ඒ තොගවලට හරි මිළක් නොමැතිවීම නිසා සුද්දාට අන්නාසි ටික කුණු කොල්ලයට දෙන්නට සිදුවිය. දැන් තැන තැන කැඩෙන ගෙඩියක් දෙකක් හැරෙන්නට තොගයක් ගන්නට අන්නාසි නැත. හැදෙන ගෙඩි දෙක තුනද අපි කපාගෙන කා දමන්නෙමු.

      Delete
  10. මේ ලිපියෙහි දැක්වෙන හැලපතුමාගේ රැකියා මොනවාද? රෝහල් රැකියාව,ගල් වඩුකම,හස්ත කර්මාන්ත...(ශෛල කර්මාන්ත‍යට පසු...මම මගේ අතක් බලා ගත්තෙමි).

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ! දරුණු කේස් දෙක තුනක් ලියන්න ඉතිරිවෙලා තියෙනවා. ඒවා නම් කවදාවත් ලියන්නෙ නෑ කියල හිතාගත්තා. බොලා මාව පණපිටින් කාවි.

      Delete
  11. මට ඒ නම් ටික පටලැවෙනවා. ගුණේලා තුන් දෙනෙක් ? එරික් සහ ලලනි කවුද? ස්වප්නාගේ දරුවෝ දෙන්නෙක්?. ඔය මුල් සිද්ධි සියල්ලම සිදුවෙලා අවුරුදු ගණනකට පස්සේ ආයිත් පාරක් ස්වාප්නාගේ ගෙදරට ගියේ පරණ මතක අලුත් කර ගන්නටද?

    ReplyDelete
    Replies
    1. දයා අයියා ස්වප්නා ගේ දානය ගැන මම ලියපු පරණ ලිපි කියවල නෑ වගේ. දැන් මේ චරිත කවුරුත් දන්නා හඳුනන නිසා මම ලිංක් දැම්මෙත් නෑ. කාලාන්තරයකට පස්සෙ ආපහු ස්වප්නලාගේ ගෙදර ගියේ ඇගේ ආරාධනාවකට අනුව අම්මාගේ තුම්මාසේ දානයටයි. ඔයා ඒ කතා ටික හොයාගෙන කියවනවද?

      Delete
  12. ශෛල කර්මාන්ත පුහුණුවකට ??????

    ReplyDelete
    Replies
    1. එසේය, ඉතා වැදගත් පුහුණුවකි. වෛද්‍යවරුන් වන ඔබට ඔබගේ ක්ෂේත්‍රයේ ලැබෙන පුහුණුවක් හා සමානය.

      Delete
    2. වෙද මහත්තය එයයිගේ බ්ලොගේ ගහන තරමක් කයිවාරු ගහන්නේ කොලු කාලේ ගහපු ගේම් ගැන, ඉස්කෝලේ කාලේ වල බැහිලි ගැන, බට් ශෛල කරුමාන්තේ දන්නේ නැහැ. අහෝ කේදයකි ඉරකි තිතකි.

      Delete
  13. //ජීවිතය අපට දෙන්නේ අප ආසාකරන හෝ බලාපොරොත්තු වන දේවල් නොව අපට හිමි හෙවත් දෛවය විසින් නියමකර ඇති දේ බව අප වටහා ගන්නේ ටිකක් විතර ප්‍රමාද වෙලාය//.
    එකෙන්ම එකඟය. මටත් මේක තේරුනේ ටික කලකට කලින්ය.

    ReplyDelete
    Replies
    1. මල් මල්ලී, මේ ටික තේරුම් ගැනීම හේතුවෙන්ම උඹ ප්‍රඥා දශකයට පියනගා ඇති බව වටහා ගත්තෙමි.

      Delete
  14. ගල් කපන කොස් එකහෙම හොදට කරන්න ඇති මයෙහිතේ... හැක් හැක්..

    මක්කා උනත් සවප්නා පවුයැ...


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. ගල උඩ තියල කොස් කපන එක වෙන්නැති බොට වැරදිලා ලියවිල තියෙන්නෙ.

      Delete
  15. හරිම රසවත්. මට තාම මේ සීරීස් එකේ මුල ටික බලන්න බැරි වුණානේ.

    ReplyDelete
    Replies
    1. කියවල බලන්න. ස්වප්නා කියල කීපයක්ම තිබෙනවා.

      Delete
  16. අප්පේ ... ඒ උන්දැ හැලපයියට සෙල් ලිපි ලියන්න දුන්න නම් කතාව වෙනම අතකට යන්න තිබුණ :-D

    ReplyDelete

ඔබේ අදහස්