Thursday, April 12, 2018

සුද්දාගේ අන්නාසි සොමිය, මඟුල් , අවමඟුල්, ගිණිකෙලි සහ අලුත් අවුරුද්ද.


අපේ ලඟම හිතවතෙකුගේ බිරිඳ කෙටි කලක් අසනීප තත්ත්වයෙන් පසුවී පසුගිය සතියේ මෙලොව හැරගිය අතර ඒ කටයුතු නිසා කාර්ය බහුලව සිටි හෙයින් පසුගිය කාලයේ බ්ලොගය තියෙනවාද වත් බලන්නට වෙලාවත් නොමැති විය.   සාමාන්‍යයෙන් මළගෙයක් මඟුලක් වූ විට පෙර සිට පැවත එන චාරිත්‍ර අනුව අපි මඟුල් ගේ මඟුල් බතේ සිට කිරි හොද්දට බහින තුරාද මළගෙයක් නම් හත්දවසේ දානය අහවර වෙන තුරුමද දිවා රාත්‍රී නොබලා රාජකාරියේ යෙදෙන අතර මේ මළගෙයටද ඒ චාරිත්‍ර නොඅඩුව ඉෂ්ට කළෙමු.   මළගෙයක් නම් වචනාර්ථයෙන්ම ශෝක ජනක අවස්ථාවකි.   එහෙත් මළගිය කෙනා බොහෝ ආයුෂ විඳ කර්මානුරුපව මියගියේ නම් ශෝකය පැත්තකට දමා අපි මළගෙදර සොමිය නොඅඩුව විඳගත්තත් මේ මළගෙදර එසේ සොමිය විඳින්නට තැනක් නොවීය.   හත්දවසේ දානය අවසානයේදී අපි ගෙවල් දොරවල් අස්පස් කර හට්ද බැනර් ද ගලවා දමා පුටු ගොඩවල් ගසා ශෝකබරිතව නිවෙස්වලට ආවෙමු.

අවමඟුල පැවැත්වෙන තුරු අපි හැමගේ හදවත පාරන ශෝකය සෝදාලන්නට රහමෙර බෙහෙවින් උපකාරී වුවත් ප්‍රශ්නයකට තිබුණේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති කමය.   ඒ කොහොමද කිව්වොත් දෙතුන් දෙනෙක් එකතුවී බොහොම අමාරුවෙන් කීයක් හරි එකතුකර ශෝකය නිවාලන්නට පටන් ගන්නා විටම එච්චර වෙලා පැත්ත පළාතකවත් නොහිටි හත් අට දෙනෙක් එක්වරම ප්‍රාදුර්භූත වී උන්ගේ ශෝකයද බලෙන්ම වගේ නිවාලන්නට පටන් ගනිති.   එතකොට ඉතින් ශෝකය පැත්තක තබා අරුන්ගේ දෙමව්පියන්ට මුණු මුණු ගා පිං දෙනවා ඇරෙන්නට වෙන යමක් කරගන්නට බැරිය.   කෙසේ හෝ හත් දවස ගෙවාගත්ත විට ශෝකය නිවාගන්නට මුල් වුනු කීප දෙනෙක්ගේ මුදල් පසුම්බි ලෙල්ලටම හිඳිලාය. 

මළගෙය අස්සේ මඟුල් සොමියකුත් ආපු එක තවත් කතාවකි.   මම කලින් කිව්වා වගේ ඩැනිස් ගේ මල්ලීගේ පොඩි දුවගේ මංගල්‍යය යෙදී තිබුණේ පහුගිය 29 වෙනිදාටය.  මරණය සිද්ද වුණේ 28 වෙනිදාය.   මඟුල් ගේ මළගෙදර අල්ලපු වැටේ ය.   අල්ලපු වැටේ කියා කතාවට කිව්වාට එක ගේකට එහායිනි.   හොඳ වෙලාවට මඟුල ලෑස්ති කර තිබුණේ හෝටලයකය.    ඩැනිස් ගේ මල්ලී දුවගෙන ඇවිත් අපෙන් ඇහුවේ දැන් මම කරන්න ඕනෑ මොකක්ද කියලාය.   මේ වෙලාවේ බිරිඳ මැරුණු අපේ හිතවතා කිව්වේ අමුතුවෙන් මොකුත් කරන්නට අවශ්‍ය නැති බවත් යොදාගෙන තියෙන මඟුල ඒ ආකාරයටම කරන්න කියලාත්ය.   ඇත්තටම කිව්වොත් මාස කීපයකට පෙර සිට හැමදේම සුදානම් කරගෙන නෑදෑයින්ට යාළුවන්ට ආරාධනා කර අවුරුද්දක විතර සිට හෝටල් බුක්කර හැමදේම නූලට තිතට සුදානම් කර තිබු මඟුලක් එකපාරටම වෙනස් කරන්නට යන එක කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව අපි සියලු දෙනාම කීවෙමූ.    අන්තිමට ඩැනිස් ගේ මල්ලී කීවේ ගෙදර කිසිම සද්ද බද්දයක් නොකර මනමාලි හෝටලයට පිටත් වෙන බවත් රාත්‍රියට පවා පිටින් ආ යාළුවන්ට ගෙදර කෑ ගහන්නට ඉඩ නොදෙන බවත්ය.    ඒ කියපු කතාව ඒ විදියටම සිදුවිය.

මම මඟුල් ගෙදර ගියේ සුද්දාත් මාදුවාත් එක්කය.   මඟුල් ගෙදර පිටත් වෙන විටම හැලපි කීවේ කළින් ගියපු මඟුල් ගෙදර වගේ සිහි නැතිවෙන්නට බීගෙන එන්න එපා කියලාය.   කලින් ගිය මඟුල් ගේ කිව්වේ 25 වෙනිදා ගිය තවත් මඟුලකටය.   එදා තිබුණේ අපේ ඥාතියෙක් වගේම යාලුවෙකුගේද මඟුලකි.   උගේම අයියාගේ මඟුල ඊට මාස ගණනකට පෙර ඒ හෝටලයේම පැවැත්වුණු අතර එදා බොන්නට දුන්න සවුත්තු බ්‍රැන්ඩි වර්ගය මම නොබොන නිසා අමුවෙන්ම දවල්ට කා ගෙදර ආවෙමි.   හැබැයි මල්ලීගේ මඟුල වෙලාවේ දුන්නේ හොඳ විස්කි වර්ගයකි.   එදා අපේ බොන මේසයේ කාලයකට පසු හමුවුණු හොඳ මිතුරු සමාගමක්ද වූ නිසා රසවත් කතාබහේ යෙදෙමින්ම බෝතල් එකින් එක හිස්කළෙමු.   කොච්චර බීවාද කියා මතකක් නැත්තේ මඟුලේ අන්තිම හරිය බොඳ වුනු නිසාය.   කෙසේ හෝ මඟුලෙන් පසු මම ගෙදර ආවෙමි.   ගෙදර ආපසු හැලපිත් මාත් අතර ඇතිවුණු කතාබහ මේ ආකාරයටය.

" කෝ වෙඩින් කේක් කෑල්ල?"

සාමාන්‍යයෙන් මම මඟුල් ගෙදරක ගියවිට ලැබෙන වෙඩින් කේක් කෑල්ල ගෙනැත් හැලපිට දීම සිරිතකි.

"වෙඩින් කේක් දුන්නෙ නෑ! "  මම පිළිතුරු දුන්නෙමි.

" එහෙනං ෂුවර් එකටම ඔයා දවල්ට කාල නෑ! වෙඩින් කේක් දෙන්නෙ කන්න පෝලිමේ ඉන්නකොට, ඔයා කන්න ගියානං වෙඩින් කේක් අල්ලනවා, එතකොට ඔයා කේක් කෑල්ල අරං සාක්කුවෙ දාගන්නවා, වෙඩින් කේක් නෑ කියන්නෙ ඔයා කාල නෑ කියන එකයි ! "

හැලපී පුර්වාපර සන්ධි ගලපා දැක්වූවාය. මම නිහඬව සිටියෙමි.   දැඩි කුසගින්නකුත් දැනෙන නිසා නොකා ඇවිත් තියෙන බව තේරුම් ගත්තෙමි.

"එතකොට කෝ තෑන්ක් යූ කාඩ් එක ? " හැලපී නැවතත් ප්‍රහාරයක් එල්ල කළාය.

" තෑන්ක් යූ කාඩ් දුන්නෙත් නෑ!" මම කියා සිටියෙමි.

" එහෙනං ඔයා ඇවිත් තියෙන්නෙ ජෝඩුවට කතා නොකර, ජෝඩුවට කතා කළා නම් තෑන්ක් යූ කාඩ් එක දෙනවා.  තෑන්ක් යූ කාඩ් එක නෑ කියන්නෙ ඔයාට ජෝඩුවට කතා කරන්න අමතක වෙලා ඇවිත්.  ලියුම් කවරෙ දුන්නද? හොඳට මතක් කරලා බලන්න! "

අහෝ ඛේදයකි, ලියුම් කවරය සාක්කුවේ සුරැකිව ඇත.

" ලියුම් කවරෙ දීලත් නෑ!" මම මෝඩයෙකු සේ කියා සිටියෙමි.   හොඳ වෙලාවට මනමාලයා අහල පහළ එකෙක් වූ නිසා පහුවදා කවරය ගිහිං දී ජාම් බේරා ගන්නට හැකිවිය.

ඉතින් එදා මඟුල් ගෙදර යන්නට ලෑස්ති වෙද්දී හැලපි මතක් කළේ ඒ සිද්ධියයි.   මමත් එදා දැඩි අධිෂ්ටානයෙන් මඟුල් ගෙදර ගියේ ආපහු ඒ දේ සිද්ද වෙන්නට නොදෙමියි කියාය.   ඩැනිස් ගේ මල්ලී සිය දියණියගේ මඟුල් ගෙදරට ආ අය ආදරයෙන් පිළිගත් අතර එදා බොන්නට තිබුණේද කළින් මඟුල් ගෙදර තිබු විස්කි වර්ගයමය.   ඒ නිසා මම බොහොම ප්‍රවේසමෙන් පමණ දැන බීම පාවිච්චි කළත් සුද්දාද මාදුවාද ලංකාවේ තියෙන අන්තිම බෝතලය දැක්කාක් සේ ලවක් දෙවක් නැතිව ගහන්නට පටන් ගත්තෙන් ටිකකින්ම උන් දෙන්නාට උන් හිටි තැන් අමතක වෙන්නටම වෙරිවිය.   කෑම කන්නටද සිහියක් නැතුව එක එක්කෙනා ලඟට ගිහිං කියව කියවා ඉන්න නිසා බලෙන්ම වගේ ඇදගෙන ගිහිං දෙන්නාට කන්නට බෙදාදී ජෝඩුව කාපු මේසයේ ඉන්දවා කන්නට කිව්වෙමි.

කෑමෙන් පස්සේද මුන් දෙන්නා කාට කාට හරි ප්ලග් වෙමින් සිටියා මිසක පැය ගාණක් ගියත් යන්නට වගක් නැත.   ඉස්සෙල්ලාම මම දෙන්නාගේම ලියුම් කවර අතට අරගෙන තිබුණේ උන් දෙන්නා ඔය කවර දෙක ආපහු ගෙදර ගේන එක මට හොඳටම විශ්වාස නිසාය.   දැන් ජෝඩුව පිටත් වෙන්නටත් සුදානම් වුණත් සුද්දාටත් මාදුවාටත් යන්නට වගේ වගක් නැත.   යමුයි කියා කොච්චර කන්කෙඳිරි ගෑවත් ඒවා බීරි අලින්ට වීණා ගයනවා සේය.   මට ඇතිවුණු තැන ඕනෑ වෙලාවක වරෙව් කියා පැත්තකට වී සිටියෙමි.   අන්තිමේ යාලුවෙකුගේද උදව් ඇතිව ඇඟේ ඉඳුල් හලාගෙන කමිස බොත්තම් ඇරගෙන මළ පෙරේතයින් දෙන්නෙක් වගේ හිටපු දෙන්නාව වාහනයට පටවා ගන්නට පුළුවන් විය.   ගෙදර එනතුරුද සුද්දා කිව්වේ කවරය දෙන්නට බැරිවුණා කියලාය.   බීපු එකාට වෙච්චදේ කියා පළක් නැති නිසා මමත් සද්ද නැතිව උන්නෙමි.   පහුවදා අන්නාසි කඩන්නට ගිය වෙලේ ආයෙම සුද්දා මට කීවේ ඊයෙ දෙන්න හිටපු කවරය නැතිවෙලා කියලාය.

මේ දවස්වල අන්නාසි මිළ ගොඩක් හොඳ වුණත් ඉල්ලුමේ තරමට දෙන්නට සුද්දා ළඟ අන්නාසි නැත.   අතරින් පතර පැහී ඉදෙන්නට ලංවුණු ගෙඩි ටික කපා විකුණාගන්න පුළුවන් වුණත් තව තවත් අන්නාසි හොයාගෙන කඩකාරයෝ ගෙදරටම එති.   මේ දවස්වල තියෙන අන්නාසි කොළපාට ගෙඩි වුණත් මී පැණි වගේ මිහිරි රසය.   

පහුගිය දවසක සුද්දා කිඹුලාපිටි ගිහිං රචින්නා, නිලා, අහස් කූරු හා බමර චක්‍ර මහ ගොඩක් අරගෙන ආවේ පොඩි උන්ට අවුරුද්දට පත්තු කරන්නටය.   ඒ කිඹුලාපිටියේ ගිනිකෙළි වැඩපලක් කරන සුද්දාගේ පරණ ගෝලයෙක්ගෙනි.    ගෝලයා ගුරුතුමාට හොඳට සළකා බොහොම ලාබෙට බඩු ටික ලබාදී ඇත.  සුද්දා ඔය ගිණිකෙලි බඩු ටික ගේද්දී මම හිටියේ සුද්දලාගේ ගෙදරය.   සුද්දාගේ බාලම දෙන්නා නිවුන්නුය.  විනාඩි ගාණකට වැඩුමල් අක්කාත් මල්ලීත්ය.   මම වැඩියම සුද්දලාගේ ගෙදර යන්නට කැමති පොඩි උන් දෙන්නාගේ හුරතල් බලන්නටය.   එදා බඩුත් අරං ආපු සුද්දා කයියකුත් ගසා ලොකු පුතාත් එක්ක අහස් කූරක් උඩ යවන්නට හදන වෙලාවේ පොඩි උන් දෙන්නා කෑ ගහගෙන ගේ ඇතුළට දුවගෙන ගියාට පසු කිසි කෙනෙකුට උන්ව එළියට ගන්නට බැරිවිය.   ඊළඟට සුද්දා දිග නිලා කූරක් අරගෙන ගේ ඇතුලේම පත්තු කළ විට පොඩි උන් දෙන්නා මරහඬ දෙමින් කාමරයට දුවගෙන ගොස් දොරමුල්ලේ කෑ ගහමින් සිටි අතර නිලා කුර ඉවරවෙලා බලනවිට කෙල්ලට බයටම ඇඳුමේම මුත්‍රා පහ වෙලාය.

පොඩි දෙන්නා දඟ කරන්නට ගත් විට දැන් සුද්දාගේ පවුලට තියෙන්නේ නිලා කූරක් අතට ගන්න එක විතරය.   පත්තු කරන්නට අවශ්‍ය නැත.   එවෙලාවට පොඩි උන් දෙන්නා ආගිය අතක් හොයාගන්නට මීක්‌ සද්දක් නැත෴

ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන සියළුම හිතවතුන්ට බත බුලතින් සපිරි වලියෙන් තොර සොමියෙන් බර සිරි සුබ අලුත් අවුරුද්දක්ම වේවා යැයි ඉතසිතින් පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සහ හැලපැට්ටා ය.

44 comments:

  1. මළ ගෙයක් තුළ තිබුණු ශෝකය සෑම හිතකින් දුරස් වේවා
    කළ බලේ නැති මගුල් ගෙදරක රස පහස සැම දින ලැබේවා
    කොළ ම පාටට තිබූ අන්නසි රසින් මිහිරක් නැගේවා
    හැල පෙ හැලපී වගෙම පැට්ටට අලුත් අවුරුදු සුභම වේවා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. රසවත් කවි පැතුමට ස්තුතියි. දුමීටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  2. හැල පෙ හැලපී වගෙම පැට්ටට අලුත් අවුරුදු සුභම වේවා....X 2

    ReplyDelete
    Replies
    1. ඉයන්ටත් ලැබූ අලුත් අවුරුද්ද සුබම වේවා!!

      Delete
  3. කේක් හොයල තියෙන්නෙ ඔබතුමා කෑවද බලන්න.
    තෑන්ක් යූ කාඩ් එක හොයල තියෙන්නෙ යුතුකම ඉටු උනාද බලන්න.

    හැලපි තුමිය හරිම උතුම් බිරිඳක් නේ. ඒ වගේ වෙන්න උත්සාහ කරනවා කියලා අපිත් හිතා ගත්තා ඔන්න.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙනං, නැතුව කොහොමද අවුරුදු විසිපහක් මගෙත් එක්ක කිසිම අරෝවක් නැතුව ජීවත්වෙන්නෙ. ඔබත් එසේම උතුම් බිරිඳක් වෙන බව මට විශ්වාසයි.
      එමාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  4. suba aluth aurudak wewa ayiya athulu pawule semata

    ReplyDelete
    Replies
    1. රාවණා ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  5. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....
    එල ද බ්‍රා මෙන්ඩා, සදු සහ පොඩි මෙන්ඩා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  6. සුද්දගෙ කවරෙට වෙච්ච දේ කියල නෑ කියන්නෙ ඔහේ ඒක මාටිය ගහල කියන එකයි. හැක්..

    හැලප පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඕවා ඉතින් මෙහෙම තැන් තැන් වල කියාපානවද මං අහන්නෙ.
      ප්‍රසා ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  8. කිරි ඉතිරේවා නව වසරේ....!
    ඒක නෙවෙයි හැලපේ, අරුන් දෙන්නගේ කවර දෙක හෙටවත් ගෙනිහින් දීහං අලුත් ජෝඩුවට...😂

    ReplyDelete
    Replies
    1. ඔව් බං, අවුරුදු පහුවෙලා හිමිහිට ගිහිං දෙනවා.
      චෙෆාටත් කිරි ඉතිරෙන නව වසරක් වේවා!!

      Delete
  9. සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  10. හැලප පවුලටම නිදුක් නිරෝගී සෞභාග්‍යමත් නව වසරකට ආසිරි !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරකට ආසිරි පතමි!!

      Delete
  11. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ප්‍රා ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  12. හැලප පවුලටත් එසේම වේවා!

    ReplyDelete
  13. හැලප අයියා සහ පවුලේ අයටත් සුභ අලුත් අවුරුද්දක් වේවා .මම නම් මේ බ්ලොගයට අලුත්.ඒත් මාසයක් වගේ කාලයක අවුරුදු 3ක ලිපි ටික කියෙව්වා..එන්න එන්න වසරක් තුල ලියවෙන ලිපි ප්‍රමාණය නම් අඩු වෙනවා වගේ තමා පේන්නෙ...මුල් කාලේ තිබුන ගැම්මෙන්ම ලියන්න....ලියන්න දේවල් හිගපාඩු නම් ඔබතුමාම මුල් කාලෙ ලියපු දේවල් ආපහු කියවන්න ..ඕන තරම් පරන කතා මතක් වේවි.ඒ පරන රහම දෙන්න ශක්තිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවට එකඟයි. ලියැවෙන ලිපි ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. ලියන්න දේවල් වලින් නම් හිඟ පාඩුවක් නැතත් කියවන අයගේ ප්‍රමාණය එන්න එන්නම අඩුවෙන නිසා ලියන්න උත්තේජනයක් ලැබෙන්නෙ නැහැ. ඉස්සර මාසෙකට පෝස්ට් හත අටක් දැම්මා ඒ හැම පෝස්ට් එකකටම හොඳ වීව්ස් ප්‍රමාණයක් සහ කමෙන්ට් සෑහෙන සංඛ්‍යාවකුත් ලැබුණා. නමුත් මේ පෝස්ට් එක උදාහරණයකට ගත්තොත් දැනට දවස් හතක් ගතවෙලත් තාම 500 වත් වීව්ස් නැහැ. ඉතින් ලියන්නෙ මොකටද කියල හිතෙනවා.
      ඒ නිසා දැන් බ්ලොගය පාලු වෙනවාට ලියනවා මිසක උනන්දුවකින් ලියවෙන්නේ නැහැ. කාරණය ඒකයි.ඔබ මගේ බ්ලොගය ගැන දැක්වූ උනන්දුවට බොහොම ස්තුතියි.

      Delete
  14. හැලපයියා ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
    Replies
    1. මනෝජ් ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. කලනටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  16. හැලප පවුලටම , නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු පවුලේ සැමටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!

      Delete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  18. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_445.html

    ReplyDelete
  19. හැලප පවුලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. තුශානීටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  21. ප්‍රීතිමත් නීරෝගිමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!
    සිහිනපුරේ පැත්තෙත් අැවිදින් යන්න ඒන්න.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
      අනිවාර්යයෙන්ම එන්නම්.

      Delete
  22. මට නං මගුල් ගෙවල් අරහන්, රටට ලෝකෙට පේන්න ෆුල් සූට් ගහන් හිරකරගෙන ඉන්න ඕන. එහෙම නොගියොත් නොසලකා හැරියා කියල හිත හොඳ නෑ.

    එහෙම බැලුවම මළ ගෙවල් වඩා හොඳයි ඕමි, කැරම් සහ දුක නිවන තෙල් :)

    ReplyDelete

ඔබේ අදහස්