Wednesday, March 21, 2018

ඩැනිස් ගේ සොමිය, කැතිඩ්‍රාල් බියර්, ඩේවිඩ්, කේබල් කාර්, නාදන් ගේ කඩේ, පප්පාගේ විස්තරය, ගෙස්ට් හවුස් එක සහ කොකු.


අද ලියන්නට බලාපොරොත්තු වුණේ නාරායන් සොයා යාම කතාවේ කොටසක් වුණත් පාඨකයන් කීප දෙනෙක්ම වගේ ඩැනිස් ගේ කතාව ගැන අදහස් දක්වා තිබු නිසා මේ කතාව ඉවරයක් කරන්නට සිතුවෙමි.   ඒත් ඉවරයක් වේදැයි නොදන්නේ කතාව ලියාගෙන යද්දී කුමන පැතිවලට හැරේවි දැයි කලින් කියන්නට බැරි නිසාය.  කොහොම වුණත් මම මේ දවස්වල සීරිස් තුනක කතා ලියාගෙන යමි.   එකක් නම් නාරායන් ගේ කතාවය.   අනෙක් සීරිස් දෙක ස්වප්නා ගේ දානය කතාව සහ ඩැනිස් ගේ සොමියයි.   මේ සීරිස් තුනෙන් කෙටිම එක ඩැනිස් ගේ සොමිය විය හැකි යැයි මට සිතේ.   කොපමණ දිග කතා පෙළක වුවද අවසානයක් තිබිය යුතු හෙයින් මේ සීරීස් තුනම හැකි ඉක්මණින් ඉවර කරන්නට උත්සාහ කරමි. 

අපි අන්තිමට නැවැත්තුවේ ඉස්ටේසමේ දී හමුවුණු කොල්ලා එක්ක හෝටල් කාමරයක් සොයා ගන්නට යන ගමන ආරම්භයේදීය.   දැන් කොල්ලා තේ එක බොමින් ඉස්සරහින්ද අපි තුන්දෙනා කොල්ලා පසුපසින්ද ගමන් කරමින් පාරවල් කීපයක් පසුකර සෑහෙන දුරක් ගමන් කළෙමු.   ඒ අතරතුර කොල්ලා හෝටල් කීපයකට ගොඩ වැදී විපරම් කළත් සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහුගේ මුහුණින් පෙනිණි.   ඒ ගමන කොල්ලා ඇවිදීම නවතා පෝන් එක අතට ගත්තේය.   කෝල් කීපයක් තැන තැනට දුන් පසු ඔහුගේ මුහුණ එළිය විය.

" ඉක්මනට යමු, එක කාමරයක් තියෙනවලු ! "යි කොල්ලා කීවේය.   ආයෙම ගමන පටන් ගත් අපි වීදි කීපයක්ම පසුකර ගොස් එක් හෝටලයකට ඇතුල් වුණෙමු.   කොල්ලා කාමරය සොයාගත්තේ ඒ හෝටලයෙනි.   කොල්ලාම හෝටලයේ අය සමග කතාකර දවසකට යුරෝ 120 කට කාමරය වෙන්කර දුන්නේය. 

" අද මම උදේ වරුව නිවාඩු, ඒ හින්ද හොඳට ගියා!" යි කියමින් කොල්ලා අපෙන් සමුගත්තේය.   අහම්බෙන් හමුවූ ඒ පරාර්ථකාමී තරුණයා නොවන්නට එදා රාත්‍රිය අපට ගෙවන්නට වෙන්නේ බොහෝදුරට රයින් ගඟ අයිනේ බංකුවකය.   කාලයක් යනතුරු කොල්ලා මගෙත් එක්ක ඊ මේල් වලින් යාලු මිතුරුකම් පැවැත් වුවත් පසුකාලීනව අපි දෙන්නාටම ඊ මේල් ලියාගැනීම එපාවිය.

හෝටලේ කාමරය ඉතා කුඩා එකකි, අපි තුන්දෙනාට යන්තමට වගේ සෑහෙයි.   කාමරයේ පදිංචි වීමෙන් පසුව අපි ඉක්මන් වුණේ දවල්ට කෑම කා ඇවිදින්නට යන්නටය.   කොහේ හරි රටකට ගියොත් යන එන තැන් ගැන අපි තුන්දෙනාගේ එකඟතාවක් කවදාවත් ඇතිවෙන්නේ නැත.   ඒ මොකද කිව්වොත් හැලපි වඩා කමතිවෙන්නේ ඇඳුම් කඩවලත් සුපර් මාකට් ගානේත් රස්තියාදු වෙන්නටය.   හැලපැට්ටා කැමති මැක්ඩොනල්ඩ් සහ KFC වලටය.   මගේ රුචිය වෙනම එකකි.   කෞතුකාගාර හා වෙනත් පුරාණ ස්මාරක බලන්නටද ඒ රටේ ජන ජීවිතය ගැන දැනගන්නට ද මම කැමැත්තෙමි.   කෞතුකාගාර බලන්නට අපේ දෙන්නා එක්ක ගිහිං මම ඉස්සෙල්ලාම පාඩමක් ඉගෙන ගත්තේ ප්‍රංශයේ දීය.   ලුව්ර බලන්නට ගියදා එහි තියෙන අගනා මිළ කළ නොහැකි පුරා වස්තූන් ගැන කිසිම සැළකිල්ලක් නොදැක්වූ අපේ දෙන්නා බලන දෙයක් මට ගිහිං බලා එන්නට කියා පැත්තකට වී ඉඳගෙන සිටියෝය.   පුරාණ මිසරයේ නයිල් නදී නිම්නයේ ශිෂ්ටාචාරය ද පාරාවෝ රජවරුන් හා පිරමීඩ ගැනද මුන් දෙන්නා එක්ක කුමන කතාද?   ඒ දෙන්නා වෙනුවට දැනුම් තේරුම් තියෙන යාලුවෙක් එක්ක ආවානම් මොන තරම් දේවල් දැක බලාගෙන සාකච්ඡා කරන්නට තිබුණාද කියා මා කල්පනා කළේ කේන්තියෙනි.    එක්සත් රාජධානියේදී හා ඉතාලියේදී ද වුණේ ඒ ටිකමය.   ඉතින් ජර්මනියේදී ඒ වැරැද්ද ආයෙම නොකරන්නට ඉටා ගත්තේ අපේ දෙන්නා එක්ක කටුගෙවල් වලට යෑම ටිකට් වලට ගෙවන මුදලටත් පාඩු නිසාය.

අපි දවාලට කෑම කෑවේ ඒ ලඟම තියෙන KFC එකකිනි.   කැතිඩ්‍රාල් යනු කොලෝන් වල ඇති විශාලතම පැරණි දේවස්ථානයක් වන අතර එය කොලෝන් නගරයේ සංකේතය ලෙසද හැඳින්වේ.   දවල්ට කද්දී මම බොන්නට ගත්ත කුඩා බියර් බෝතල් දෙකේ වෙළඳ ලකුණ වුයේ කැතිඩ්‍රාල යයි.   කැතිඩ්‍රාල් හෝ ඩෝම් යනුවෙන් වෙළඳ ලකුණ යොදාගෙන නිෂ්පාදනය කරන බියර් වර්ග හතර පහක්ම ඇතිබව පසුව දැනගන්නට ලැබිණි.   අපේ රටේ මොන යම් හෝ ආගමික සිද්ධස්ථානයක පිංතුරයක් මත්පැන් වර්ගයක වෙළඳ ලකුණ හැටියට යෙදුවොත් කොහොම ජංජාලයක් වේවිද කියා මම කල්පනා කළෙමි.   කොලෝන් දුම්රිය පොළෙන් පිටතට පැමිණ කැතිඩ්‍රාලය ලඟින් පහළට බැස ගඟ පැත්තට යද්දී හමුවන අති විශාල ප්‍රතිමාව ඩේවිඩ් ගේය. 





ගඟේ බෝට්ටු සවාරියක් යන්නට අපි තුන්දෙනා මුල්වරට එකඟතාවකට පැමිණියෙමු.   ගඟ අයිනේ හිඳ අපි මාරුවෙන් මාරුවට පිංතුර ගද්දි එය දුටු ජර්මන් ජාතිකයෙක් තුන්දෙනාටම එක තැන ඉන්නට කියා පිංතුර අරගෙන දුන්නේය.   ඊට පස්සේ එතැනම තිබුණු තොටුපොළෙන් බෝට්ටුවකට ගොඩ වැදී ගඟේ සවාරියකට එකතු වුණෙමු.   ගඟ දිගේ යද්දී අපි දැක්කේ කේබල් කාර් ගඟ උඩින් එහාට මෙහාට යන හැටිය.   කේබල් කාර්වල යන්නටත් තුන්දෙනාම කැමති වුන නිසා බෝට්ටුව ආපහු එනවිට කේබල් කාර් යන තැනට ලඟින් තිබුණු තොටුපොළේ බැහැගෙන කේබල් කාර් එකක ගඟ උඩින් අනික් පැත්තට ගිහිං ඒකෙම අපහු ආවෙමු.   සාමාන්‍යයෙන් මේ කේබල් කාර් සේවය තියෙන්නේ ගඟේ එහා පැත්තට යන අයගේ පහසුව සඳහා වුණත් කේබල් කාර් අපට මැජික් වගේ නිසා ගමන බෙහෙවින් විනෝදමත් එකක් විය.   ගඟ උඩින් යද්දී ගඟේ බඩු  ගෙනයන යාත්‍රා ලස්සනට දර්ශනය වේ. 












ඊළඟට බලන්නට ගියේ චොකලට් පැක්ටරි එකය.   ඒ ගැන මම මීට පෙර ලියා ඇති නිසා දැන් ලියන්නට නොයමි.   චොකලට් පැක්ටරිය නරඹා එනවිට දවස ගතවී හමාරය.   අපට ආපහු එන්නට තිබුනේ රෑ කෝච්චියේ වුණත් පහුවදා දවල් වෙන්නට පෙර හෝටලයෙන් පිටත් වුණේ හිටියානම් එදාටද ගෙවන්නට වෙන නිසාය.   

දවසම ටවුමේ රස්තියාදුවක් ගසා බලන්නට ඇති තැන් බලමින් දවස ගතකර හවස් වෙද්දී ඉස්ටේසමට ගොස් රෑ කෝච්චියේ නැග ආපහු මිඩි ඉස්ටේසමට එද්දී රෑ නවය පමණ විය.   මිඩි කියන්නේ ප්‍රංශ භාෂාවෙන් මැද කියන එකටය.   එතකොට මිඩි ඉස්ටේසම බ්‍රසල්ස් හි මධ්‍යම දුම්රිය නැවතුම් පොලය.   උතුරු නැවතුම නෝඩ් වන අතර දකුණ සුයිඩ් ය.   මේ නැවතුම් තුනම ගමනාන්ත බව නොකිවමනාය.   එහෙත් දුර ගමනාන්ත හා අන්තර් ජාතික දුම්රිය පිටත් වන්නේ මිඩි වලින් නිසා මිඩි බ්‍රසල්ස් හි ලොකුම නැවතුම ය.   අපේ ගෙදරට එන්න තියෙන ට්‍රෑම් කාර් ද ආරම්භ වන්නේ මිඩි වලිනි.   ට්‍රෑම් කාර් රෑ දොළහ වෙනතුරු දුවන නිසා වෙලාව ගැන ප්‍රශ්නයක් නැත. 

ට්‍රෑම් කාර් ගැන කියද්දී මට තව කතාවක් මතක්වේ.   ඒ අපි බෙල්ජියමට ගියපු මුල්ම දවස්වල වෙච්ච වැඩකි.   ඒ කාලේ ට්‍රෑම් කාර් ගැන හෝ විවිධ මාර්ගවල දුවන ට්‍රෑම් අංක ගැන මට කිසිම දැනීමක් නොවීය.   දවස හරියටම කිව්වොත් දෙසැම්බර් 25 වෙනිදාවක් නොහොත් නත්තල් දවසක හවසය.   එදා මම බ්‍රසල්ස් හි තියෙන එකම ලංකාවේ කඩේ වන නාදන් ගේ කඩේට ගියේ බඩු ටිකක් ගන්නටය.   ගමන යන්නට හැලපැට්ටා ද මා සමග එකතු විය.   නාදන් ලාගේ කඩේට ට්‍රෑම් එකේ ටිකක් දුර යන්නට තිබේ.   අපි දෙන්නා කඩේට ගිහින් බඩුත් අරගෙන නාදන්ගේ සංග්‍රහය ද භුක්ති විඳ ආපසු ට්‍රෑම් නැවතුමට ආවේ ගෙදර එන ට්‍රෑම් එක අල්ලා ගන්නටය.   ටිකකින් ට්‍රෑම් එකක් පැමිණි අතර එහි අංකය 4 විය.   අංක 4 ට්‍රෑම් අපේ පාරේ යනවා දුටු මතකයක් මට තිබුණු නිසා අපි දෙන්නා ට්‍රෑම් එකට ගොඩවුනෙමු.   ටිකක් දුර යද්දී අපට පෙනුණේ ට්‍රෑම් එක යන්නේ අපට හුරුපුරුදු පාරේ නොවන බවය.   ඊළඟ නැවතුමේදී ට්‍රෑම් එකෙන් බැසගෙන දැන් කුමක් කරන්ට දැයි කතා කරමින් හිටියෙමු.   පාර වැරදුන නිසා හැලපැට්ටා හොඳටම බය වෙලාය.

" මම කිව්වනෙ තාත්තට, දන්නෙ නැති ට්‍රෑම් වල නගින්න එපා කියල! "

හැලපැට්ටා කියයි.   මම ට්‍රෑම් හෝල්ට් එකේ හිටිය කෙනෙකුට කතාකර පාර ඇහුවෙමි.   ඔහු කීවේ දැන් එන ට්‍රෑම් එකේ නැගී ආපහු ගොස් තවත් හන්දියකින් බැස වෙනත් ට්‍රෑම් එකකින් යන්නට කියාය.   අද නත්තල් දවස නිසා කොච්චර රවුම් ගැහුවත් ටිකට් ගන්නට අවශ්‍ය නැති නිසා බය වෙන්නට එපා යැයි ඔහු කීවේ සිනාසෙමිනි.   ආපහු එන ට්‍රෑම් එකකට නැග ටිකක් දුර එද්දී දැක පුරුදු හන්දියක් දුටුව නිසා එතැනින් බැස ගතිමු.   ඒ හන්දියේ සිට අපේ ගෙදරට පයින් යන දුරය.   ගෙදරට එනතුරුම හැලපැට්ටා මට දොස් කීවේය.

දැන් ඉතින් අවුරුදු විස්සක් පමණ අතීතයට ආපසු යන්නට වුවමනා වෙන්නේ ඩැනිස් ගේ කතාව කියන්නටය.   කීප දෙනෙක්ම පප්පාගේ විස්තර දැනගන්නට ආශාවෙන් ඉන්න නිසා ඉස්සෙල්ලාම පප්පා ගැන විස්තරේ කියමි.   මම කළින් කියා තිබුණා වගේ පප්පා උස මහත දේහධාරී පුද්ගලයෙකි.   විනෝදකාමියෙක් වගේම සල්ලි කාරයෙක් නිසා හොඳට වියදම් කර තමන්ගේ සොමිය නොඅඩුව ලබාගනී.   වයස හැට පැන තිබුණත් කොල්ලෙක් වගේ හොඳ ශරීර ශක්තියෙන් යුතුව ඉන්නේ පප්පා ගේ ක්‍රමානුකුල ආහාර රටාව නිසා විය යුතුය.  පප්පා උදේට කෑම කන්නේ උදෑසන හයටය.   කරකරපු පාන් පෙති දෙකතුනක් මාමලේඩ් ජෑම් සහ බටර් සමග උදේට කන ඔහු කන ගමන් පෘතුගීසි පෝට් වයින් කුඩා බෝතල් දෙකක් විතර බොයි.  දවල්ට කෑම හරියටම දවල් දොළහටය.   ගනකමට හැදු කෝන් සුප් එකක් සමග කුළු බඩු දමා සැර නැතිව තම්බා පිළියෙළ කළ මස් පෙත්තක් කන ඔහු දවල්ට බොන්නේ රෙඩ් වයින් ය.   ඊට පසු පළතුරු කයි.   රෑට කෑම ගැන කිසිම තැකීමක් නැත.   තියෙන මොනවා හෝ සුළු දෙයකින් රෑ කෑම සපුරා ගන්නා පප්පා විස්කි බොන්නේ කෑමෙන් පස්සේය.   ඩැනිස් හවස ඉඳන්ම බීගෙන වැඩිවුණ පසු කාත් එක්ක හෝ කොක්කක් ඇදගනී.   කොක්කට කවුරුවත් නැතිම නම් කොක්ක දාගන්නේ පප්පා එක්කය.   ඊට පසු මහ රෑ වෙනතුරු බනිමින් ද තර්ජනය කරමින් ද හඬමින් ද ගතකරන ඩැනිස් කෑමක් නැතිවම නිදාගනී.

දෙන්නාගේ මිතුරු කමට අවුරුදු කීපයක් ගතවූ පසු පප්පා ඩැනිස්ට යෝජනාවක් කළේය.   යෝජනාව නම් වැල්ලේ තියෙන ඩැනිස් ගේ ඉඩම් කෑල්ලක ගෙස්ට් හවුස් එකක් හැදීමය.   ඉඩම ඩැනිස්ගෙන් වන අතර ගෙස්ට් හවුසියට ආයෝජනය කරන්නේ පප්පාය.   පප්පා ලංකාවට ආවිට ඔහුට නවතින්නට ගෙස්ට් හවුස් එක තනි සම්බුද්දියට දිය යුතු අතර පප්පා ලංකාවේ නැතිවිට ඩැනිස් ගෙස්ට් හවුසියේ කවුරු නවත්වා ගත්තත් පප්පාට ප්‍රශ්නයක් නැත.   මේ ආකාරයට දෙන්නා එකඟතාවකට පැමිණ පප්පා රට සිට ගෙස්ට් හවුසිය හදන්නට ඩැනිස්ට මුදල් එව්වේය.   අද ඉන්නා උන් නම් සංචාරකයෙකු ගෙන් මෙවැනි ආයෝජනයක් ලැබුණොත් ඒ මිනිහා ගෙන් පුළුවන් තරම් මුදල් ගසා කා හදපු දේකුත් නැතුව පොල්ල තියා සංචාරකයාට  ලංකාව පැත්ත බලාගෙන බත් කන්නේවත් නැති තරමට ලංකාව එපා කරවන විදියට වැඩ කළත් ඩැනිස් ඒ ආකාරයේ පජාති වැඩ කරන තුට්ටු දෙකේ මිනිහෙක්  නොවේ.

පප්පා එවපු සල්ලි වලින් ඩැනිස් හොඳ ලස්සනට ගෙස්ට් හවුස් එක හැදුවේය.   සල්ලි මදිවන විට අතින්ද වියදම් කළ ඩැනිස් ගෙස්ට් හවුසිය නිමකළ පසු ගෙනැත් දැම්මේ හොඳම ගෘහ භාණ්ඩය.   බිත්තිවල එල්ලන්නට පිංතුර තෝරා දීම හා ඒවා එල්ලන තැන් පෙන්වා දීම මට පැවරුවේ " උඹ ඉතින් කලාබරය නොවැ! 'යි කියමිනි.    පිංතුර වලට වැඩි ආයුෂක් නැති බව මම දැන සිටියත් මොකුත් නොකියා ඉල්ලපු උදව්ව කරදුන්නෙමි.   ගෙස්ට් හවුසිය විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිතයා වුයේ පප්පාය.   එතෙක් කල් ලංකාවේදී ඩැනිස්ගේ ගෙදර හෝ හෝටලයක නවතින පප්පා ඊට පසු ලංකාවට ආවිට නැවතුනේ අලුත් ගෙස්ට් හවුස් එකේය.   එමෙන්ම ඩැනිස් හම්බවෙන්නට කළුවාමෝදර යන අපගේ නවාතැන වුයේද ගෙස්ට් හවුසියයි.   පප්පා හිටියා කියා අපට වෙනසක් නොවුණේ පප්පාද අපේ හොඳම මිත්‍රයෙක් නිසාය.

රෑ වෙද්දී ගෙස්ට් හවුසියේ අප අරඹන සාජ්ජය ඩැනිස්ගේ පැරණි රසාංග වලින් පටන් ගෙන කොල්ලන්ගේ බයිලා වලින් ද පප්පාගේ ජර්මන් ගීත වලින්ද හැඩවෙන්නේ ගෙස්ට් හවුසිය දෙදරවමිනි.   ඩැනිස්ට පදම වැඩිවෙද්දී කාත් එක්ක හරි කොක්කක් ඇදගනී.   කොක්ක නිසා සාජ්ජය ඇනහිටින එකට පප්පා කැමති නැත.   එවිට පප්පා මාලු කාරයෙක් කද කරට ගන්නාසේ කඳ නවා ඩැනිස්ව කරට ගනී.   අඩි හයක් විතර උස හතර රියන් පුරුෂයෙකු වූ ඩැනිස්ව සෙල්ලම් බඩුවක් සේ කරගහ ගැනීම පප්පාට සුළු දෙයකි.  ඩැනිස් අත පය විසිකරමින් විරෝධය පළකළත් පප්පාගෙන් බේරෙන්නට බැරිය.  පප්පා ඩැනිස්ව කරතියාගෙන ලඟම තියෙන ඩැනිස්ගේ ගෙදරට ගෙනගොස් ඔහුව ඇඳට දමා සිනාසෙමින් ආපසු ආවේ ඩැනිස් නිදි යැයි අපට අතින් කියමින් සාජ්ජයේ ඉතුරු හරිය පටන් ගන්නටය.   

තවත් දවසක අපි කට්ටිය ඩැනිස් එක්ක ගෙස්ට් හවුසියේ සෙට් වී සිටියෙමු.   එදා පප්පා ලංකාවේ නොසිටි දවසකි.   කොක්කක් ඇදගත් ඩැනිස් හොඳටම රණ්ඩුවී අපට බැන වැදුණේය.   බැන වැදී නතර නොවූ ඔහු ගෙස්ට් හවුසියේ කාමරයක ඇඳක් පෙරලා දමා ඇඳ පොල්ලක් ගෙන කන්නාඩි මේසයේද අල්මාරි වලද වීදුරු වලට පහර දී සල සලාං ගා කුඩු කළේය.   ඉන්පසු ටී වී ස්ටෑන්ඩ් එකට පයින් ඇන ටී වී එක බිමට පෙරළා දැම්මේය.   බිත්තිවල එල්ලා තිබු පිංතුර එකින් එක ගෙන පොළොවේ ගසා කුඩුකර දැමීය.   ගෙස්ට් හවුසිය යකුන් නැටු පිටියක් කර වටපිට බැලු ඩැනිස්,

" ඇද්ද තොපිට!"යි කියා අපට ගෙස්ට් හවුසියෙන් එළියට බහින්නැ යි අණකර දොර ලොක්කර යතුරද ගෙන ගෙදර ගියේය.   අපි එදා රෑ නිදා ගත්තේ ගෙස්ට් හවුසියේ ඉස්තෝප්පුවේය.  පහුවදා එළිය වැටෙන විටම ඩැනිස් ගෙස්ට් හවුස් එකට ඇවිත් අපිව ඇහැරවුයේය.    අපි කට්ටියට කන්නට කෑමද බොන්නට තේ ද ඔහු ගෙනැවිත් තිබුණි.   දවල් වනවිට වඩු බාස් කෙනෙක් එක්කර ගෙන ආ ඩැනිස් කැඩුණු ඒවා හදන්නට අවශ්‍ය බඩුද අලුත්ගමින් අරගෙන ආවේය.   අපේ දවසම එදා ගතවුණේ කැඩුණු බිඳුණු බඩු අලුත්වැඩියා කරන්නටත් ගෙස්ට් හවුස් එක සුද්ද පවිත්‍ර කරන්නටත්ය෴

ප. ලි. - ලබන සතියේ ඩැනිස්ගේ මල්ලීගේ පොඩි දුවගේ විවාහ මංගල්‍යයයි.  ඩැනිස්ගේ බිරිඳ හෙවත් අක්කාත් දු දරුවනුත් මඟුල් ගෙදරදී මට මුණගැසෙනු ඇත.   මා රටේ නොසිටි කාලයේදී සිදුවූ දේවලුත් දැනගෙන කතාවේ අවසාන කොටස ලියන්නට බලාපොරොත්තු වෙමි.

41 comments:

  1. ඩැනිස් කොච්චර නසරානියෙක් වුනත් හිතහොඳ එකෙක් පාටය

    ReplyDelete
    Replies
    1. එකෙන්ම, බොහොම හිත හොඳ එකෙකි.

      Delete
  2. බොලාට තරහ යන් නැද්ද ඕකා කොරන වැඩ වලට

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවට ටිකක් තරහ ගියත් මොනා කරන්නද? පහුවදා ඒ ඔක්කොටොම හරියන්න පොර ඉස්සෙල්ලම සමාව ගන්නවනෙ.

      Delete
  3. පප්පා පට්ට පොරක් නේ අය්යේ .....
    ඩැනිය හිත හොද අවංක එකා කියල පප්පා තේරුම් අරං ඇති.

    එකම අවුලකට තියෙන්නේ බිව්වාම ඩැනියට යකා ආවේශ වෙන එකනේ .

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ, ඒ දෙන්නට දෙන්න හොඳට තේරුම් අරගෙන හිටියෙ. මොනව කළත් හිතවත්කම නැති උනේ නැත්තෙ ඒකනෙ.

      Delete
  4. අපි දන්නැතුවැයි ඔහේ කලාබර රුවිත හේරෙක් කියල.
    බීවම පිස්සු කෙලියට ඩැනිස් නියම පොරක් වගෙයි. (ඇඳ පොල්ලෙන් හැලපයගෙ තට්ටෙ පැලුවෙ නැති එකනං ටිකක් අවුල්.)

    ReplyDelete
    Replies
    1. නෑ බං කොච්චර බැන්නත් ගමේ ආපු යාළුවන්ට ගහන්නෙ නෑ මළාට.

      Delete
  5. මොන තරම් හොඳ එකෙක් උනත් ඩැනියා කියන්නේ මහ කරල් පොරක් නෙහ් ? හරියට අපෙ කම්මලයා වගේ....

    ReplyDelete
    Replies
    1. කරල් දෙකක් කිරිකොරහ නටන වීඩියෝ එකක් මගෙලග තියනව FB එකේ දාන්නම් උඹව ටැග් කරල 😉 😐

      Delete
    2. කම්මලයත් කරල් පොරක් කියල දැනගත්තෙ අදනෙ බං.

      Delete
  6. සමහර මිනිස්සු බිව්වාම පිස්සෝ වගේ!

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නෙ නොබිව්වත් පිස්සු ඩයල් එකක් ..

      Delete
    2. ඒමම කියන්න එපා.
      ඒ මහත්තය විස්කි වලට කෝක් සැන්ඩි කරලා බොන්නේ.

      Delete
    3. ඒකනෙ, බෝතලෙන් වෙන දේවල්.

      Delete
  7. බොහෝමයක් හොද මිනිස්සු බිව්වාම පිස්සෝ. බොහෝමයක් පිස්සෝ බිව්වාම සාන්ත දාන්ත පොරවල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. වග කියන්න ඕනෑ හතරැස් බෝතලේ තමා.

      Delete
  8. හිත හොඳ උනාට බිලා ඔහොම හැසිරෙනවා නම් එක අනතුරුදායක තත්වයක්නේ බං හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. නැතුව, මොනා කරන්නද ඉතින් අපිත් ඔහේ හිටියා.

      Delete
  9. අතීත කාමය ලබන සතියේ...

    ReplyDelete
  10. Replies
    1. දැන් වැටවල් කීයක් විතර ඉදිකර තියෙනවද?

      Delete
  11. Replies
    1. රාළහාමිට මීගමු වෙරළේ අරක්කු බීලා ජවුසන් නටන්න හොදයි, අපි හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බුන්නම තමයි උපදෙස් දෙන්න එන්නේ.

      Delete
  12. ප්‍රසිද්ධ ලොකු කෞතුකාගාරවලට වඩා පොඩි විශේෂිත/ප්‍රාදේශීය කෞතුකාගාර ඉන්ටරෙස්ටින් නේද? ඒවගේමයි පොඩි ස්පෙෂලයිස්ඩ් කඩ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. ප්‍රාදේශීය කෞතුකාගාර ගැනත් විස්තර ගොඩක් මගෙ ළඟ තියෙනවා. වෙලාවක ලියන්නම්.

      Delete
  13. " ඒ මොකද කිව්වොත් හැලපි වඩා කමතිවෙන්නේ ඇඳුම් කඩවලත් සුපර් මාකට් ගානේත් රස්තියාදු වෙන්නටය. හැලපැට්ටා කැමති මැක්ඩොනල්ඩ් සහ KFC වලටය. මගේ රුචිය වෙනම එකකි. කෞතුකාගාර හා වෙනත් පුරාණ ස්මාරක බලන්නටද ඒ රටේ ජන ජීවිතය ගැන දැනගන්නට ද මම කැමැත්තෙමි. කෞතුකාගාර බලන්නට අපේ දෙන්නා එක්ක ගිහිං මම ඉස්සෙල්ලාම පාඩමක් ඉගෙන ගත්තේ ප්‍රංශයේ දීය. ලුව්ර බලන්නට ගියදා එහි තියෙන අගනා මිළ කළ නොහැකි පුරා වස්තූන් ගැන කිසිම සැළකිල්ලක් නොදැක්වූ අපේ දෙන්නා බලන දෙයක් මට ගිහිං බලා එන්නට කියා පැත්තකට වී ඉඳගෙන සිටියෝය. පුරාණ මිසරයේ නයිල් නදී නිම්නයේ ශිෂ්ටාචාරය ද පාරාවෝ රජවරුන් හා පිරමීඩ ගැනද මුන් දෙන්නා එක්ක කුමන කතාද? ඒ දෙන්නා වෙනුවට දැනුම් තේරුම් තියෙන යාලුවෙක් එක්ක ආවානම් මොන තරම් දේවල් දැක බලාගෙන සාකච්ඡා කරන්නට තිබුණාද කියා මා කල්පනා කළේ කේන්තියෙනි."

    තම උගත්කමට නොගැළපෙන නුගත් ගැහැණුන් කසාද බැඳගත් පිරිමින්ට ඔය කාරණාව පොදු සත්‍යයක්
    ළමුන්ගේ බුද්ධියට සම්පුර්ණ දායකත්වයම වාගේ දරන්නේ මවගේ ජාන බව ඉතාම මෑතකදී සොයාගෙන තිබෙනවා, එහෙව් මව් වරුන්ගේ ළමයින්ටත් අබ සරණයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත. හැලප කියන්නේ සමාජය ආශ්‍රය කරන, හොද රසවින්දනයක් තියෙන කඩවසම් කෙනෙක්. හැලපයා මෙවැනි කාන්තාවක් විවහා කරගෙන දුක්විදින්නේ ඇයි? කලාකාමී, රසවින්දනයක් සහිත කාන්තාවක් සමග විවහාවුවා නම් හැලපගේ ජීවිතය මීට වඩා බොහෝ කලඑළි වේවි..

      Delete
    2. මේ ගැන කුමක් කියන්නද කියා මම තවම කල්පනා කරමි.

      Delete
  14. තුන් දෙනාට ඉන්නට තැන ලැබුනාලූ
    කන් නට හනික කේ එෆ් සී දිව්වාලූ
    යන් නට ගඟ දිගේ ඉඩකුත් ලැබුනාලූ
    මෙන් න අදත් ඇවිදින් මම යනවාලූ......

    ජයවේවා!!!

    ReplyDelete
  15. තුන් දෙනාට ඉන්නට තැන ලැබුනාලූ
    කන් නට හනික කේ එෆ් සී දිව්වාලූ
    යන් නට ගඟ දිගේ ඉඩකුත් ලැබුනාලූ
    මෙන් න අදත් ඇවිදින් මම යනවාලූ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දෙක දෙක දාන්නත් පුරුදුවෙලා නේද? රස කවි දෙක දුමී.

      Delete
  16. මමනම් අදත් කියන්නෙ ඕකාගෙ හොම්බට දෙකක් අනින්නම තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. පව් බං, කොච්චර උනත් වැඩිහිටියා නොවැ.

      Delete
  17. Replies
    1. ආයෙම වෙලාවක ඇවිත් දෙවනත් කරයි.

      Delete
  18. Replies
    1. මේ අර මුකුණුවැන්න වගාවට ගහපු වැටේ කෑල්ලක් වෙන්න ඇති.

      Delete

ඔබේ අදහස්